Pages

Sandumal

Sandumal

Friday, June 27, 2014

•පෙර දිනයක මා පෙම් කල යුවතිය

"නොකා නොබි දුක් වින්ඳ අතීතය යළි මට සිහිවෙනවා"




ඔව්..මං ඒ කතාව මෙතනින් පටන්ගන්නම්..මුල ඉඳලම..අතීතයෙන්ම... 1988-89 භීෂණයේ රුදුරු ගිනිදැල් රට පුරා ඇවිලෙද්දි ඒ ගින්නෙ උනුසුම සබරගමුවටත් හොඳ හැටියටම දැනුනා. මේ ගිනිදැල්ලෙ උනුසුමෙන් පිච්චිලා යන්න කලින් එක්තරා යුවලකට සිදුවුනා සීතල සබරගමුවෙන් ගිනිගහන වියළි කලාපෙට ජීවිතේ අරන් එන්න. අවසාන ප්‍රතිපලය විදියට මුලින් උදුරලා දාපු ලපටි පැලයකට සිද්ද උනා බිංතැන්නෙ දූවිලි පොලොවෙ කොහොමහරි පණ ගැටගහගන්න. මේ කතාව පටන්ගන්නෙ එතනින්...

නුවරින් ආව මහියංගනේ බස් එකෙන් 89 අවුරුද්දෙ උනුසුම් දවසක මේ යුවල මහියංගනේ දූවිලි පොලොවට පය තියනවා. අතේ තිබුන රුපියල් තුන්සීයයි දෙන්නගේ ඇඳුම් බෑග් එකයි විතරයි මේ යුවලගේ සන්තකේටම තිබුන එකම වත්කම. ආ.. තව දෙයක් තිබුනා. ඒ තමයි දෙන්න අතර තිබුන අසීමාන්තික සෙනෙහස ඒකට එකතු වුන ආත්ම ශක්තිය. හිතේ හයිය.. තරුණයට තිබුනා දෑතෙ රස්සාවක්. ඔහු අනර්ඝ පෑස්සුම් ශිල්පියෙක්. ඔන්න ඔය අඩුමකුඩුම ටික අරගෙනයි මේ දෙන්න බස් එකෙන් මේ නුහුරු උණුසුම් පුරවරයට පය ගහන්නෙ.

ඒ ආවේ එන්න කලින් කෝල් කරල ඉන්න හිටින්න තැන් ලෑස්තිකරල කෙලින්ම ගිහින් පදිංචි වෙන්න එහෙම බලාගෙන නෙවෙයි. මහියංගනේ කලුපාටද, සුදුපාටද කියලවත් දැනගෙන නෙවෙයි ඔවුන් ආවේ. ඒ ඒකාලෙ තිබ්බ සමාජ සබඳතා වල හැටි. වාසනාවකට මේ නන්නාදුනන නගරෙ මේ තරුණයාගෙ කල්‍යාණ මිත්‍රයෙක් හිටියෙ. ඒ සුනිල්. සුනිල් සහ මේ තරුණයා කාලයක් එකට මොණරාගල ගරාජයක රස්සාව කලා. එකට කෑවා බිව්වා, එක බූරු ඇඳේ නිදාගත්ත. මේ කියන සුනිල් කවුද කියල අදනම් මුලු රටම දන්නවා. ඒත් ඒ ගැන වැඩිය මොකුත් නොකියන්නේ මට මේ කතාව මෙහෙම කියන්න අවසර තිබුනට මගේ නොවන දේවල් කියන්න මට සදාචාරාත්මක අයිතියක් නැති නිසා.

ඒක අමතක කරමු. කොහොමහරි මේ යුවල යනවා මේ සුනිල්ව හම්බෙන්න ඔහු වැඩකරපු ගැරිජ් එකට. ඉතින් ඔහු මේ යුවල සාදරයෙන් පිළිගන්නවා. ඊටපස්සෙ එක්කන් යනවා මහියංගනේ පැරණිම සුප්‍රසිද්ධම සමනල හෝටලයට, තේ බොන්න. ඊළඟ ප්‍රශ්නෙ උනේ රෑට නවතින්නෙ කොහෙද කියන එක. ඒකටත් විසඳුමක් හම්බෙනවා. තරමක් දුරින් ඥාති වෙන නිවසක ඔවුන් රැය පහන් කරනවා. ඊළඟ දවසේ මේ තරුණයා රැකියාවක් හොයන්න පටන්ගන්නවා. තමන්ගේ දෑතෙ රස්සාවට, ප්‍රගුණ කරපු ශිල්ප සාස්තරේට ගැලපෙන රස්සාවක් හොයාගන්න ඔහු මහියංගනේ හැම ගැරිජ් එකකටම යනවා වැඩ ඉල්ලගෙන.

දවස් කිහිපයකට පසු ඔහුගේ උත්සාහය සාර්ථකවෙනවා. පාලං හන්දියේ අදටත් සුප්‍රසිද්ධ ගරාජ් එකක් වෙච්ච අසෝක මෝටර්ස් එකේ ඔහුට රැකියාවක් ලැබෙනවා පුහුණු වෑද්දුම් ශිල්පියෙකු ලෙස. ඒ, රුපියල් හැත්තෑපහක දෛනික වැටුපකට. රැකියාව ලැබුනට පස්සේ, ඔවුන් ඔවුන්ටම කියල කුලී නිවසක් හොයාගන්නවා. ඇත්තෙන්ම නිවසක් කිව්වට ඒක වහල දාපු දිග ශාලාවක් වගේ කඩ කාමරයක්. ඒ කාමරේ මුණින් අතට නවපු හයිය කාඩ්බෝඩ් පෙට්ටියක් ඔවුන් දෙන්නගේ මේස පොඩ්ඩ උනා. සීනි බෝතලේ, තේ කොල බෝතලේ, මිරිස්, තුනපහ බෝතලේ වගේ අවශ්‍යම ජාති ඒ පෙට්ටිය උඩ උනත් බොහෝම ලස්සනට පිළිවෙලට හිටියා. ඒ ළඟම බිමට දමාගත්ත කඩල දාපු කාඩ්බෝඩ් පෙට්ටිය මේ දෙපලගේ සුමුදු සිරි යහන උනා.

ජීවිතේ ගෙවුනෙ ඔහොම. ඇයට ඉතාම දයාබර සෙනෙහෙවන්තයකු ලැබිලා හිටියා. ඔහුට ඉතාම දයාබර මවක් වන් සෙනෙහෙවන්තියක ලැබිලා හිටියා. හම්බෙන සතයක් නෑර මේ කෙල්ලගේ අතට ගෙනත් දීපු මේ ලස්සන කොල්ලා නිකරුනේ වියදම් කලේ නෑ තඹ සතයක්. තනිකඩව ඉන්න කාලෙ මොණරාගල ටවුමේ පෙරලි පෙරලි යන්න තරම් හොඳට අඩි ගහපු මේ කොල්ලා, මේ ආදරණීය හදවත බලාගන්න පටන්ගත්ත දවසෙ ඉඳල මත් වතුර බිංදුවක්, දුම්වැටියක් තමන්ගෙ මුව අසලටවත් ගත්තෙ නෑ. 

දුප්පත් කමේ පතුලෙම හිටිය මේ යුවලට අනාගතය සිහිනයක් වගේ උනා. ඒත් ගෙවෙන හැම තත්පරේකදිම ඔවුන් ඒ සිහිනය දුටුවා. හදවතින්ම ඒ හීනෙට තුරුල් උනා. වේලක් හැර වේලක් ඔවුන් කෑවෙ හෙට දවසෙ තුන් වේල කන්න. ඒකයි ඔවුන්ගේ ජීවන දර්ශණය උනේ. කෙල්ල පුංචි උනත් හිතේ උන්නු මහා ගැහැණිය, කළමණාකාරවරිය, කොල්ලගේ හැම දාඩිය බිංදුවක්ම මැණිකක් වගේ රැකගත්ත. කාටවත් කරදරයක් නොවුන මේ අහිංසක යුවල දවසින් දවස, දවසින් දවස හරි ලස්සනට ජීවිතේ ගලපගෙන ඉස්සරහට ගියා. ඔවුන්ට ප්‍රශ්න තිබුනෙ නෑ, තිබුනෙ එකම ප්‍රශ්නයයි. ඒ දුප්පත් කම.

ඒත් ආදරයෙන් පෝසත් වෙච්ච මේ යොවුන් ජීවිතයට අර දුප්පත්කම ප්‍රශ්නයක් උනේ නෑ. ඔන්න ඔහොම කාලය ගතවුනා. එක දවසක් මේ දෙන්නටම හරිම විශේෂ දවසක් උදාඋනා. ඔව්..ඇය...ඇය අම්මකෙනෙක් වෙලා.  ඔහු තාත්තා කෙනෙක් වෙලා. දන්නෑ ඒ වෙලාවේ ඔවුන් වින්ද සතුටෙ ප්‍රමාණය කොච්චරක්ද කියලා. ඒ වගේම දන්නෙ නෑ ඔවුන් දෙදෙනා ඔවුන් දෙදෙනාගෙන්ම සඟවාගත් ඉදිරියට මුහුණ දීමට සිදුවන අන්ත දුෂ්කරතා පිලිබඳව සිහිවී නෙතඟ නැඟි කඳුලු කැටවල ගනකම කොච්චරද කියලත්.

හැබැයි ආදරේ තවත් ශක්තිමත් උනා. ජීවිතේට මුහුණ දෙන්න තිබුන ශක්තිය දෙගුණ තෙගුණ උනා. ඒත් මේ අහිංසකයගේ පඩිය නම් රුපියල් හැත්තෑපහම තමයි. ඒ හැත්තෑපහෙන් ඔහුට කරන්න කෝටියක් දේ තිබුනා. ඒත් පුලුවන් උනේ යන්තම් බඩගින්න නිවාගන්නෙක විතරයි. ඉස්සරනම් රෑට අල්ලට සීනි ටිකක් අරන් ක්‍රීම් කැකර් බිස්කට් එකක් පොඟව ගත්ත කහට කෝප්පෙනුත් අනන්තවත් රැයවල් හරිම සතුටින් පහන් කලා ඔවුන්. ඒත් දැන්?? ඇගේ කුසට හොඳ අහාර ඕනි. ඇයට හොඳ පෝෂණයක් ඕනි. ඒත් ඔහු අසරණ උනා මිසක් ඔහුට කරන්න හැකි දෙයක් තිබුනෙ නෑ.

සමහර දවසට බොස් ලඟ කොච්චර පිංසෙන්ඩු උනත් මේ තාත්තට දවසෙ පඩිය හම්බුනේ නෑ. ඒ වගේ දවස් වල වේල පිරිමහගන්නෙක ඔවුන්ට හරිම අමරු උනා. මේත් එහෙම දවසක්. ඔහු හිස් අතින්ම ගෙදර ආවා. කන්න තිබුන හාල් හුණ්ඩුව ලිපේ තියාගත්තෙ රෑටහරි ටිකක් හොඳට කන්න හිතාගෙන. දරුවෙකුත් ඉන්න අම්මගේ බඩට බත් ඩිංගක් වට්ටගන්න.  ඔව්..රෑට නම් එහෙම කෑව. ඒත් හෙට උදේට?? සීනි ඩිංගකුයි තේ කොලයි ඇරුණාම වෙන කිසිම දෙයක් තිබ්බෙ නෑ. ඒත් වෙන කරන්න දේකුත් තිබ්බෙ නෑ. තම සොඳුරිය ගැන ඇතිවුන අසීමිත අනුකම්පාවෙන්, දරාගත නුහුනු වූ දුකින් පහුවදා උදේත් ඔහු ඇගේ නළලත සිප එළිබහින්නෙ කඳුලු ගුලි හංගගෙන.

දිනෙන් දින මෝරා වැඩෙන කුස ආදරයෙන් පිරිමදිමින් ඇය බලන් ඉන්නවා ඔහු නොපෙනී යනකල්ම. නොපෙනී යන්නට මොහොතකට පෙර නැවත වරක් හැරී බැලූ ඔහු ඇයට අතවනා අත පහල දමන්නේ තවත් වාවාගත නොහැකි කඳුලු බිංදුව අතින් පිසදමමිනි. හුදෙකලා කුටිය තුල ඇගේ තනියට උන්නෙ කුසේ උන්නු බලාපොරොත්තුව විතරමයි. ගිනිගහන මද්දහන විතරක් නෙවෙයි ඇයව පීඩාවට පත්කලේ. අමෝරා නැඟෙන කුසගින්න ඇයව අඩපණ කලා. බොහෝම හෙමිහිට ගෙවෙන දවස ඇයට දැනුනේ කල්පාන්තරකටත් වඩා දිගට. 

සැරින් සැරේට කතාකරන්න, කෙටි පණිවුඩ යවන්න ජංගම දුරකතන කියල ජාතියක් නොතිබුනු ඒ යුගයේ උදේ නොපෙනී ගිය ඔහු යළි මතුවෙන තුරු ඇයට සිදුවූයේ බලාඅපොරොත්තු දල්වා බලා සිටීමටයි. හැන්දෑ කලුවර ගලා එන විට ඇය සුපුරුදු නාගස මුල වාඩිවෙන්නේ අඳුරු ගුරුපාර තුලින් ඔහුගේ රුව මතුවන තුරු පාරමීදම් පුරන්නටයි. අඳුර තුලින් කිසියම් රුවක් මතුවන සෑම විටෙකම ඇයගේ සැනසුම් සුසුම වාතලයට මුසු වුනද, ඒ රුව තමා පැතූ රුව නොවන වග දැනගත් විට මුදාහල සුසුම යලිත් ගෙන ඇය හදවතෙහි තබා ගත්තා. වෙලාව රාත්‍රී නවය පමණ වනතුරු ඇයට ඇවිලෙනා කුසගින්නත්, දරාගත නුහුනු පාළුවත් තුරුලු කරගෙන මදුරුවන් සමඟ පොර බඳිමින් දෑස් වෙහෙසවන්නට සිද්ධ උනා. අවසානයේ ඇගේ සඳ පායා ආවා. දකුණතින් ගත් සිලි සිලි මල්ලත් සමඟින් අඳුර තුලින් ඔහුගේ රුව මැවී විත් ඇගේ පාලු ලෝකය දවසකින් නිමා කලා. ඔහු ඇය අසලට පැමිණ ආදරයෙන් ඇයව වත්තන් කරගෙන නිවස තුලට ගියේ සිලි මල්ලෙහි වූ පාන් රාත්තල ඇය අතට දෙමින්. මහානර්ඝ වස්තුවක් මෙන් එය ඇය සිය ළමැදට තුරුලුකොටගත්තේ බුර බුරා නඟින කුසේ ගින්දරට එය දිව බොජුනක් මෙන් ඇයට දැනුනු නිසාවෙන්මයි.

දෙදෙනාම එක්ව සීනි දමා ප්ලේන්ටි දෙකක් හදාගත්තේ කහට කෝප්පේ පොඟවා පාන් කෑමෙ දොළදුකක් ඈට තිබූ නිසා නොව පාන් සමඟ කෑමට වෙන කිසිදු දෙයක් ඔවුන් සතු නොවූ නිසායි. එනිසා සාදාගත් තේ කෝප්ප දෙක සමඟ ඔවුන්ගේ දුප්පත් කාඩ්බෝඩ් පෙට්ටි මේසය දෙපස වාඩි වූයේ මොහොතකින් කුසට දැනෙන සොඳුරුතම මිහිරියාව උපරිමයෙන් ලබාගන්නට කෑදර කමිනි. පාන් කෑල්ලක් ඒ සඳහා ඔවුන්ට වූ දිව බොජුන විය. එහෙත්...එහෙත්... දෙකට කඩාගත් පාන් රාත්තල තිබුනෙ නරක් වෙලා. ඒක පුස්කාලා. මෙවර නම් තවදුරටත් කඳුලු සඟවා ගැනීමට මේ හයිය දෙහිතටම පුලුවන් කමක් තිබුනෙ නෑ.

ජීවිතයේ ප්‍රථම වතාවට දරාගත නොහැකි වූ ශෝකයෙන් දෙදෙනා එකිනෙකාව වැළඳගෙන දුක දියවී යනතුරු හඬා වැටුනා. කහට කෝප්පයකින් ඒ රාත්‍රියද ගෙවා දැමීමට ඔවුනට සිද්ධ වුනා..

කාලය මේ විදියට ගත උනා. ඇගේ තනි නොතනියට දයාබර මෑණියන් පැමිණීමත් සමඟ තිබූ දුෂ්කරතා තරමක් මැකී ගියා. දිව පිනවන රස මසවුලු ඇගේ කුසට නැතිවුනත් ඇය ඉතා නීරෝගීව සිටියා.

ඇය තම කුළුඳුල් දරුවා බිහිකිරීමට ගමට ගියා. වතුපිටිවල ඉස්පිරිතාලෙ අනෝරා වැහි වැටෙන නවම් මහේ දිනයක, හීතල හිමිදිරි සඳු දින පාන්දරක ඇය මවු පදවිය ලැබුවා. සුදුම සුදු ලස්සන කොලු පැංචෙක් ඇයට හිමිවුනා. මේ දයාබාර කොලුපැටියගේ තාත්තා නැතිව ඇයට ගොඩක් කල් ඉන්න බැරි නිසාම ඇය වැඩිකාලයක් ගමේ නොරැඳි ආයෙමත් මහියංගනේට එනවා. එදා තරම්ම දුක්බර නැතත් අලුත් ජීවිතෙත් සමඟ ඔවුන් හරි අගේට ජීවන සටනට මුහුණ දෙනවා. 

එදා නුරා බැලුම් හෙලමින් තමන් සමඟ කෝලම් කල ඇය අද බොහෝම දයාබර බැල්මක් ඔහුවෙත හෙලනවා. ඇගේ දෑස් පුරා දාරක සෙනෙහස උතුර උතුරා ගලාහැලෙනවා. ඔහු ඒ දෙස බලමින් තම සිත අතීතයේ අඳුරු අහුමුලු කරා ගෙනයනවා.. 


"පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා

නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
දයාව වෑහෙනවා
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා

හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
නෙත් අදන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකි යනවා

එදා වගේ තවමන් වැට අද්දර
නාමල් පූබුදිනවා
නොකා නොබි දුක් වින්ඳ අතීතය
යළි මට සිහිවෙනවා"
-------------------------
පද රචනය -  පන්ඩිත් ඩ්බ්.ඩී. අමරදේව 
සංගීතය     -  සුනිල් සරත් පෙරේරා 
ගායනය     -  පන්ඩිත් ඩ්බ්.ඩී. අමරදේව


ගීතය මෙතනින් download කරගන්න...
(Pera Dinayaka Maa - W.D. Amaradewa)



පසුව ලියමි

මේ සටහන කියවා නිමකල ඔබට සමහර විටෙක සිතෙනවා ඇත මේ නම් මනෝෂ්ගෙම කතාව කියලා. ආයෙ සැකයක් තියාගන්නෙපා. ඔව්.. මේ මගේම කතාව තමයි. මගේම අම්මගෙයි, තාත්තාගෙයි ඇත්තම කතාව තමයි මේ. අතින් දාපු දේවල්, අත්තැරල දාපු දේවල් නෑ මේ කතාවේ. සෘණ අනන්තයෙන් පටන්ගෙන ධන අනන්තය දක්වා ජීවීතේ අරං ගියපු සාර්ථක මිනිස්සු ගැන කතන්දර හොයාගෙන මං කවදාවත් රට වටේ යන්නෙ නෑ. ලෝකෙ පුරා හොයන්නෙ නෑ. මොකද ඒ සඳහා ජීවමාන ආදර්ශය මගේ ඇස් පනාපිටම තියෙන නිසා. මං දැක්ක හොඳම සාර්ථකත්වයේ කතාව තමයි මගේ අම්මගෙයි තාත්තගෙයි කතාව.

රුපියල් තුන්සීයකුයි ඇඳුම් බෑග් එකකුයි අතින් අරං මහියංගනෙන් බැහැපු මගේ අම්මයි තාත්තායි අවුරුදු විසිහයකට පස්සෙ අද මේ පිං බිමේ ලබලා තියෙන සාර්ථකත්වය තමයි මගේ ජීවින ගමනෙ පරමාදර්ශය කරගන්නෙ මං. අද එයාලට ලබාගන්න තවත් දේවල් මහ ගොඩක් නෑ. හැම අතින්ම අංග සම්පූර්ණව ඉතාම ලස්සන ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒ තමයි ඔවුන්ගේ උත්සාහයේ, කැපවීමේ, ධෛර්‍යයේ සහ අපරිමිත ආදරයේ අග්‍රතම ඵලය. 

ඒ සාර්ථකත්වය මත හිඳිමින් අද මේ සටහන ඔබට පුදන්නට මට හැකියාව ලැබිලා තියෙනවා, ගෙවුන දුශ්කරම වූ කාල පරිච්චේදයන් දෙස හූල්ලමින් බලමින් නොව, දැඩි ආදරයෙන් උපේක්ෂාවෙන් ඒ දෙස බලමින්. ඇත්තටම මුලින්ම මට ඕනි උනේ මේ ගීය ගැන යමක් ලියන්න නෙවෙයි. ලියන්න කල්පනා කලේ "රජ මැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ" ගීතය සම්බන්ධ කරල ලස්සන කතාවක්. මුලින්ම හිතුවෙ අසරණ වුන අම්මා කෙනෙක් සහ පුතෙකු දෙස බලා හිඳින තුන්වෙනි පාර්ශ්වේක ඉඳිමින් කතාව ලියන්නයි. ඊළඟට හිතුනා ඒ අම්මට හිතෙන විදියට කතාව ලියන්න.

අන්තිමට හිතුනේ, කවදහරි උස් මහත් වෙච්ච මේ ගීතයේ පුතණුවන්ම තම අතීතය සිහිපත් කරන අයුරින් කතාව ලියන්නයි. ඒ පාරෙන් කතාව සිත තුල ගොඩනගාගෙන යනකොට මට හිතුනෙ දෙයියනේ මේ මගේම කතාව නේද කියලයි. ඒ නිසා තීරණය කලා මේ මගේම කතාව ලියන්න. හද පතුලෙන්ම නැඟෙන අවංක සිතුවිලි ලියන්න. ඉතින් ඒ කතාව මුලක ඉඳලම පටන්ගත්තා. ඒත් හිතුවට වඩා බොහොම දීර්ඝ උනා.  ඒනිසා විරාමයක් තැබීමට සුදුසු අවස්ථාවක් මට ලැබුනා, එතනටම ගැලපෙන හරිම අපූර්ව ගී පද රචනයක් සමඟින්ම.

ඇත්තටම මට වෙලාවකට හිතෙනවා මගේ මුළු ජීවිතයම හරිම ලස්සන ගීතයක් වෙලා කියලා...

ඉදින් ප්‍රිය සබඳ.. මේ මෙම කතාවෙ අවසානය නොවෙයි. විරාමයක් පමණි. නුදුරු දිනෙකම ආයෙමත් මුණගැහෙමු.

මේ ගීතය පිළිබඳව ධම්මික බංඩාරයන්ගේ විචාරයක් මීට පෙර මං ඔබටගෙන ආවා. යළිත් කියවනවානම් හෝ මඟහැරුනානම්..
මෙතනින් යන්න.





Tuesday, June 24, 2014

•ගිගිරි ජගරි හඬවනා

"සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ මා දිහා බලන්න ලෙච්චමී"




මේ ළඟදි දවසක අපේ දයාබර සහෘද බ්ලොග් රසවතෙකු වන පත්තර මල්ලිගෙන් මට ඊමේල් පණිවිඩයක් ඇවිත් තිබුනා. ඒකෙ ඔහු මෙන්න මෙහෙම කියල තිබුනා.

"මචං මනෝෂ්, මෙන්න මේ සිංදුව උඹ අහල තියෙනවද. බලපං මේකට හොඳ විචාරයක් හරි කතාවක් හරි ලියන්න පුලුවන්ද කියලා.."

මේ විදියට කියල ඔහු ගීතයක මුල් පද ටික එවලා තිබුනා.

"ගිගිරි ජගරි හඬවනා
කසෙන් අසුට තලමිනා
තීරු පට්ට තීරු තීරු
කළම්ඹා එමී.."

ඔන්න ඔහොමයි තිබුනෙ. හොඳයිනෙ, මාත් නිකං තීරු තීරු වෙලා කැළැම්ඹිලා ගියා මේ මොකද්ද බොලේ මේ කියලා. ඇත්තටම මොකුත් හිතාගන්න බැරිවුනා. මොහොතකට මට හිතුනා පත්තරය මට ලණුවක්වත්ද දුන්නෙ කියලා. මෙහෙම සිංදුවක් ඇත්තටම තියෙනවද කියලා. මොකද මේ සිංදුව මං කවදාවත්ම අහල නෑ. හීනෙන්වත් ඇහිලත් නෑ. කෝකටත් කියල ඊළඟට මං කලේ මේ වචන ටික දාලා ගූගල් එකේ හොයපු එක. මෙන්න ඊට පස්සෙ ආවා මේ සිංදුව අඩංගු සබැඳි ගොඩක්. එකකට දෙකකට ගියාට පස්සෙ මුලු පද රචනය
ම හොයාගන්න පුලුවන් උනා. ඒ විතරක් නෙවෙයි අගේ ඇති වීඩියෝවකුත් හම්බුනා.

මුලින් මට හිතුනෙ මේක මොකක් හරි නාට්‍යක සිංදුවක් හරි නූර්ති ගීයක් හරි කියලයි, මේ මුල් පද ටිකේ හැටි දැක්කම. ඒ නිසාම පදරචනයේ ඉතිරි ටික කියවන්න කලින් ඉක්මනට යටට ගිහින් බැලුවා කවුද ලියල තියෙන්නෙ කියලා. බලද්දිනේ හොඳම පුදුමය හම්බුනේ.

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සරත් දසනායක
ගායනය: ෆ්‍රෙඩී සිල්වා

ඔන්න ඔහොමයි තිබුනෙ. ගීතය ලියල තියෙන්නෙ මගේ ප්‍රියතම ගේය පද රචකයෙකු වෙන ප්‍රේමකීර්ති ද අල්විස්. තනුවත් තවත් ශ්‍රේෂ්ඨ සංගීතඥකු වෙච්ච සරත් දසනායකයන්ගේ. ඊටපස්සෙ ගායනය ෆ්‍රෙඩී සිල්වා. මෙතනදිත් මං පුදුම උනා. ප්‍රේමකීර්ති, ෆ්‍රෙඩී, මේ දෙන්නගේ සුසංයෝගයක් දැක්කමයි මං මේ. ඉතින් මේ සංකලනය දැක්ක මං ඊළඟට පහලට ආවටත් වඩා වේගෙන් උඩට ගියේ මං නොඅසපු ප්‍රේමකීර්තිගේ පද රචනය කියවීමේ ආශාවෙන්.

මුල් කොටස කියවනකොට ඇත්තටම මගේ හිතේ ඇඳිලා ගියේ යුද්දයක් දිනලා අස්සයා පිටේ නැඟිලා හරි උජාරුවට එන කුමාරයෙකුගේ රූපයක්. ඒත් ඊළඟට ඒ රූපෙ මැකිලා හිසේ ජටාවක් බැඳගත්ත මහා රාජා කෙනෙක් මතක් උනා. කොහොමින් හරි මේ කියන්න හදන්නෙ බලපුලුවන්කාර ජේත්තුකාරයෙක් ගැන කියලනම් මට හොඳට තේරුනා. ප්‍රේමකීරිතියන්ගේ වෙනත් කිසිදු පදරචනයක දකින්න නොලැබෙන විශේෂත්වයක් මේ රචනාවෙ තිබුනා. ඒ තමයි ගීතයේ තැනින් තැනට දෙමළ වචන යොදා තිබීම.

ඒනිසා ගීතය හරිම රසවත් වෙලා. ඒ වගේම ඒකටම නිකං කතාකරනකොටත් අපිට හිනා යන ෆ්‍රෙඩී සිල්වගේ හාස්‍ය මුසු කටහඬ එකතු වෙලා ගීතය හරිම නිදහස් හාස්‍ය මතුකරන නිර්මාණයක් බවට පත්වෙලා තිබුනා. හැබැයි ඒකෙන් මං ලොකු අමාරුවකනම් වැටුනා. මොකද මේ සමහර දෙමළ වචනවල තේරුම හරියටම ගන්න බැරිවුනා නිසා සමහර තැන් අපැහැදිලි උනා. ඒ වගේ එක තැනක් තමයි අර තෝම්බුලේ කතාව. ඇත්තටම දැනං උන්නෙ නෑ "තෝම්බලේ" කියන්නෙ කාටද හෝ මොකටද කියලා.

"ඔලිඳ ඇට අඩුක්කුවක් ඔඩොක්කුවේ දමන්..
පිච්ච මල් කැලෑවෙ ලෙච්චමී...
තාලි පෙට්ටි ආරනූල් අරුංගල් අරන්
මං කඩෙන් බලන්න ආවෙමි..
ආඬවනේ.. ඇයි ද මේ..."

ඔන්න ගීතයේ මේ කොටසින් පස්සෙ නම් ගීතයේ නිදන් වස්තුව පිළිබඳ දළ අදහසක් ඔලුවට වැටුනා. මැවුන චිත්ත රූපය මෙහෙම කියන්නම්. ඔයාල පෙරහැරවල් බලල ඇතිනේ. ඒ පෙරහැරේ එක අංගයක් තියෙනවා ඔය ලෙච්චමීලා තේ කූඩ පිටේ එල්ලගෙන වත්තෙ දළු නෙලන ආකාරය නිරූපණය කරන දර්ශනයක්. එතනදි වත්තෙ මහත්තයා එනවා කොට කලිසමකුත් ඇඳගෙන දනිස් පොල්කට්ට ළඟටා එනකල් තියෙන මේස් ජෝඩුවකුත් දාගෙන සුදු ටී ෂර්ට් එකකුත් ඇඳගෙන ඒක අර කොට කලිසමට යටකරගෙන බස්තමකුත් අතේ අරං. මේ එන වත්තෙ මහත්තයා හරි මනමාල එකෙක්. ඉතින්ම් මේ සංදර්ශනය පුරාවටම යන්නෙ මහත්තයාගෙ "මළ කෝලං සහ මළ සමයං" තමයි තියෙන්නෙ. ලෙච්චමීලත් මේකට කැමතියි අකැමතියි තාලෙන් තමයි යන්නෙ නට නට. වෙලාවකට බොරුවට ගස්සගෙන යනවා. ඉතින්, ගීතයේ මේ කොටස අහනකොට මට ඔන්න ඔය වගේ දර්ශනයක් තමයි මතක් උනේ. සමහර විට මේ කියන ලෙච්චමී ඔඩොක්කුවට එකතුකරගත්ත ඔළිඳ වලින් තෝඩු හදාගන්න ඇති, කැලෙන් නෙලාගත්ත පිච්ච මල් වලින් වරලස සරසගන්න ඇති. ඒ තමයි මේ ලෙච්චමීගේ තියෙන සුන්දර බව, ඒ විතරක් නෙවෙයි ලෙච්චමීගෙ නැති බැරි කම්, දුප්පත්කම් ගැනත් මෙතනදි කියැවෙනවා කියලයි මටනම් හිතෙන්නෙ.

ඒ කොහොම උනත් එහෙම ඉන්න දුප්පත් ලෙච්චමීව බලන්න මේ ජේත්තුකාරයා අරං එනවා මැණික් ආබරණ, අරුංගල් වගේ දේවල්. කොහොම උනත් මේ වෙලාවෙ ඇය ඉන්නෙ නම් මේ කතානායකයා එක්ක තරහින් වගේ. ඒකයි ඔහු අහන්නෙ "ආඬවනේ ඇයිද මේ" කියල.

සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ
මා දිහා බලන්න ලෙච්චමී...
ඔන්ඩු රෙන්ඩු මූනු කියල ඇඟිලි ගනිමිනා
තල් වැටෙන් එබීල බලමිනා...
අසු පිටේ නැගීල උඹව යන්න එක්කරන්
එන තුරා ම ඉන්නෙ රත්තරං...
ආඬවනේ... ඇයි ද මේ...
සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ
මා දිහා බලන්න ලෙච්චමී..

ඊටපස්සෙ අපේ වත්තෙ මහත්තයා වෙන පැත්තකින් පොල් පැලේට කිට්ටුකරනවා. තෑගි බෝග ගෙනත් දීල රවට්ටගන්න බෑ වගේ. ඒ නිසා ලෙච්චමීල නෙවෙයි, අපේ ගම්වල කුසුම්ලාත් නිකංම රැවටෙන මාතෘකාවට වත්තෙ මහත්තයා එනවා. ඇඟිලි ගැන ගැන ඉන්නලු තල් වැටෙන් එබිලා මඟ බලමින්. මෙයා එනවලු ඉක්මනටම අසුපිටින් කැන්දන් යන්න මේ ලෙච්චමීව.  ඒත් ඉතින් ඇය සැනසෙන පාටක් නෑ, ඉති ඔහු අහනවා, "අනේ දෙයියනේ ඇයි මේ...?"

ප්‍රේමයේ සොඳුරු මතගැටුම, නෝක්කාඩු හරි අපූරුවට ප්‍රේමකීර්ති කියනවා මේ ගීතයේ. ඒව අනික්වා වගේ කන් කරච්චල් නෙවෙයි, ඒව "පෙම් කරච්චල්" එහෙමයි දකින්නෙ. හරිම සුන්දරයි.

ඉතින් ඔන්න ඔයවගේ හැඟීමක් තමයි මට මේ ගීය ඇහුවම ඇතිවුනේ.  ප්‍රේමකීර්තිගේ ශෛලියෙන් තරමක් එපිට ගිය මේ සාර්ථක පද රචනයට ෆ්‍රෙඩී සිල්වගේ හාස්‍ය මුසු හඬටම ගැලපෙන කදිමතනුවක් යොදන්න සරත් දසනායක හපන්කම් දක්වලා තියෙනවා.

ඒත් එක්කම ගීතයේ තනුව යම් යම් ප්‍රමාණ වලින් එකිනෙකට වෙනස් වන අවස්ථා ගීතය තුල තිබුනා. ඒ ගැන ලියන්න තරම් හොඳ සංගීත දැනුමක් නෑ මට. කොහොම උනත් "ආඬවනේ ඇයිද මේ..? " කියන කොටස කතාකරන බාශාවෙන්ම ගීතය මැදට යොදා තැබීමෙන් වෙනස්ම රසයක් ගීතයට එකතුවෙලා තියෙන බවයි මගේ හැඟීම.

කොහොම උනත් ඇත්තෙන්ම ගීතය වෙනුවෙන් ඉහතින් මං කලේ සුපුරුදු ලෙස කරන විචාරයක් වත්, සංවේදනාවක් වත් නම් නෙවෙයි. මොකද මට මේ ගීතය ගැන මෙතනින් එහා ගිය දෙයක් ගැන කියන්න තරම් දැනුමක් නෑ ඇත්තටම. ගීතය මට තේරුම් යන හැටි සහ ගීතය මට දැනෙන හැටි විතරයි ලිව්වේ.


ඉතින් ගීතය ගැන තවදුරටත් විස්තර හොයනකොට දැනගත්තා මේ ගීතය කස්තුරි සුවඳ නම් චිත්‍රපටයට අඩංගු උන ගීතයක් කියල. චිත්‍ර පටයේ මෙමෙ ගීතය අඩංගු වීඩියෝව පහතින් බලන්න..















අද මං ඔබට විවෘත ආරාධනාවක් කරනවා. මට සාර්ථකව සියේට සියේයක් මේ ගීතය විචාරය කරන්න බැරිවුනා. ඒ නිසා මං මගේ දයාබර සහෘදයන්ගෙන් ඉල්ලන්නෙ, එන්න, මේ ගීතය රසවිඳින්න, ඔබේ විචාරය, විග්‍රහය හෝ සංවේදනාව ඉදිරිපත් කරන්න. මං හිතනවා හැමෝම එකතුවෙලා මේක කලොත්  මෙම ගීතය සඳහා වඩා සාදාරණීය අර්ථාන්විත අරුතක් එකතුකරන්නට අපිට හැකිවෙයි..


ගිගිරි ජගරි හඬවනා කසෙන් අසුට තලමිනා
තීරු පට්ට තීරු තීරු කළම්ඹා එමී..
කඩු ද කොඩි ද වන වනා පනම් පෝරු උසුලනා
නම්බුකාර තෝම්බුලගෙමහාරාජා මං

ඔලිඳ ඇට අඩුක්කුවක් ඔඩොක්කුවේ දමන්..
පිච්ච මල් කැලෑවෙ ලෙච්චමී...
තාලි පෙට්ටි ආරනූල් අරුංගල් අරන්
මං කඩෙන් බලන්න ආවෙමි..

ආඬවනේ.. ඇයි ද මේ...

සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ
මා දිහා බලන්න ලෙච්චමී...
ඔන්ඩු රෙන්ඩු මූනු කියල ඇඟිලි ගනිමිනා
තල් වැටෙන් එබීල බලමිනා...

අසු පිටේ නැගීල උඹව යන්න එක්කරන්
එන තුරා ම ඉන්නෙ රත්තරං...
ආඬවනේ... ඇයි ද මේ...
සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ
මා දිහා බලන්න ලෙච්චමී..

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: සරත් දසනායක
ගායනය: ෆ්‍රෙඩී සිල්වා






(Gigiri Jagari - Freddie Silva)



ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ සොඳුරුතම මිනිසා පිළිබඳ මෙහි කුඩා සටහනක් තබමි. දහසකුත් එකක් මිලන වූ මල් අතර ප්‍රේමකීර්ති අපට අහිමි වූ පරව ගිය සුන්දරතම මලකි. මේ අහිංසක සමනල කවි සිත ඇත්තෙන්ම අපිට අහිමිවූවා නොව අහිමි කලාය. ඒ කවුද කොහොමද කියන කාරණය ඇත්ත ඇති සැටියෙන් දන්නෝ නිති. ඌරාගේ මාලු ඌරාගේ ඇඟේම තබා කැපූ යුගයක, කැකුණ තැලූ ඌරන් නිසා මඟුල් කෑ හබන් කුකුලන් සිටි යුගයක මේ සොඳුරු සිත අඳුරු වී මිලින විය. ප්‍රේම්ලාගේ අගය එදාටත් වඩා අද අපට මැනවින් වැටහෙමින් ඇත. ඔවුන් හිස් කර ගිය ඉඩ තව තවත් ප්‍රසාරණය වනවා මිස පිරවිය හැකිවී නොමැත.

දයාබර මිනිසාණෙනි, ඔබට අපගේ උත්තමාචාරය..!




විශේෂ ස්තූතිය : ගීතය මා හට සමීප කරමින් ගීතය පිළිබඳ යමක් සටහන් කිරීමට පාර පෙන්වූ පත්තර මල්ලීට.

Friday, June 20, 2014

•දයාබර රාළේ මාමේ


"මල් සුවඳක්ම විය නුඹ නොමිනිසුන් අතරින් නැඟි…"






ඇත්තටම අල්ලපු ගමේ උනාට නුඹ කාගෙ කවුද කියලවත් මං හරියට දැනං උන්නෙ නෑ. ඒ වගේම කවදාවත් මට ඒ ගැන හොයන්න උවමනාවක් උනෙත් නෑ. ඒත් පුංචි කලෙ ඉස්කෝලෙ යද්දි, පන්ති යත්දි, දැන් රස්සාවට යද්දි හංදියේ නිතර හිටපු නුඹ මාත් එක්ක බොහොම කුළුපඟව හිනා උනා. ඒ හිනාව හරි වෙනස්, හරිම අව්‍යාජයි. ඇත්තටම මං නුඹේ හිනාවට ඇලුම කලා. මේ මොහොතෙත් මට මැවිල පේනවා ඔලුව පැත්තකට ඇලකරලා හැමදාමත් නුඹ හිනාවෙච්ච හැටි. සමහර දාට පුතේ කියල කතාකරපු හැටි. ඇත්ත, මං නුඹත් එක්ක මේ දිගු කාලෙටම වචන විස්සකට වඩා කතාකරල නැතිව ඇති. ඒත්  දවස ගානෙ කතාකරන උන්ට වඩා ලෙංගතු කමක් මට උඹ ගැන තිබුනා. මාත් එක්ක විතරක් නෙවෙයි. මාමෙ උඹ මගේ මල්ලි එක්ක, අම්මා එක්ක, තාත්තා එක්ක, මේ හැමෝම එක්ක හරිම ලෙංගතුව හිටියා. හංදියේ වැඩිහරියක් හිටියේ රස්තියාදු කාරයෝ, ගංජා කාරයෝ, නිතරම ගමේ නෝන්ඩි වෙච්ච ගමට හිසරදයක් වෙච්ච කුපාඩියෝ. ඒත් උන් අතරම හිටපු උඹ ඊට වඩා ගොඩක් වෙනස්. උඹෙන් කාටවත් කරදරයක් තිබුනෙ නෑ. පාඩුවේ හිටපු මනුස්සයා. ඉඳල හිටල අඩියක් ගැහුවට, ගංජා කට්ටක් ඇද්දට ඒකෙන් කාට්වත් හිරිහැරයක් වෙන්න උඹ ඉඩතිබ්බෙ නෑ.

උඹට හරිහමන් රස්සාවක් තිබුනෙ නෑ. ඒත් උඹ උඹේ ගෑනි, දරුවො බඩගින්නෙ තිබ්බෙත් නෑ. වැව හිඳෙන කාලෙට ගඩොල් කැපුවා. වැව පිරුණු කාලෙදි වැවේ දැල් දැම්මා, මාලු ඇල්ලුවා. සමහර වෙලාවල කරත්ත වලින් දර ඇද්දා. හිටපු ගමන් ගඩොල් පටවන්න එන ලොරි වලට හංදියේ ඉන්න ගමන් බ්‍රෝකර් වැඩත් කලා. ඉඳල හිටල කුලී වැඩත් කලා. ගොයම් කාලෙට ගොයම් කැපුවා. උඹ නිකං හිටියෙ නෑ. මේ බිංතැන්නෙ දූවිලි පොලොවෙ පය ගහල ඉරත් එක්ක කාස්ටකේ උඹ ජීවිතේ ගැටගහගන්න ඔට්ටු උනා.

උඹට මහ වයසක් තිබුනෙත් නෑ. අවුරුදු 40ක් කියන්නෙ මහ වයසක්ද! තව කාලෙ එහෙම්මයි. උඹට විතරක් නෙවෙයි, උඹ ගැන අපිට හිතුනෙත් එහෙමයි. ඒත් දවසක් ඒ හැමදේම කණපිට ගහල උඹේ ජීවිතේට කණකොකා ඇඬුවෙ කවුරුවත් නොහිතපු විදියට. එදා ඒ බයික් කාරයා පාරෙ ටිකක් හෙමින් ආවානම්, ඌ උඹේ ඇඟ දිගේ නොගියනම් අද මට උඹ ගැන මෙහෙම ලියන්න වෙන්නෙ නෑ. ඒත් මේ මහියංගණේ උඹටයි මටයි ඕනි දේවල් උනේ කවද්ද. ඒකෙන් උඹ බිමටම වැටුනා. උඹ දවස් ගානක් ඉස්පිරිතාලෙ ජීවිතෙත් මරණෙත් එක්ක පොරබැදුවා. කොහොම හරි උඹ අන්තිමේ දිනුවා.

උඹේ අතපය හතරට මොකුත් උනේ නෑ තමයි. ඒත් එහෙම උනානම් මීට වඩා කොච්චර හොඳද කියල අද මට හිතෙනවා. උඹ ආයෙත් අර හිනාවත් එක්කම අපි අතරට ආවා. හංදියේ උඹේ අඩුව පිය උනා. ඒත් ඒ කලිං විදියටමනම් නෙවෙයි. කාලකණ්නි ලෙඩක් එක්ක. මීමැස්මොරය හරි අප්ස්මාරෙ හරි, ඒක මොකක් උනත් ඒකෙන් උඹ හිටිගමන් ඇදගෙන වැටෙන්න පටන් ගත්තා. හිටපු ගමන් උඹ කපාදැම්ම ගහක් වගේ බිම ඇදගෙන වැටුනා. නහරයක් තැලිලාලු,මොලේට ලේ අරන් යන. දොස්තරල එහෙමලු කිව්වෙ. උඹේ වෛද්‍ය රිපෝට්වල තිබුනෙ කිසිම වෙලාවක තනියෙන් වතුරක් අහලකටවත් යන්න එපා කියලලු.
ගින්නක් ළඟට යන්නෙපා කියලලු. උස් තැන් වල නඟින්න යන්න එපා කියලලු. ඇයි උඹ කොයිවෙලේ වැටෙයිද කියන්න බැරි නිසාලු. ඒත් උඹ කොහොම ඉන්නද එහෙම. සල්ලි බාගෙ යහමින් තිබුනෙ නෑ උඹට. නඩත්තු කරන්න ගෑනියෙක්, දරුවෙක් හිටියා උඹට. ඒ නිසා කලිං වගේම මොන මොනව හරි කරල කීයක් හරි හම්බකරගන්න දැඟලුවා උඹ. උඹට තිබ්බා සල්ලි අමාරුකම් ගැන මිනිස්සු කතාවෙනවා. උඹේ ලෙඩේට බදුල්ලෙ ක්ලිනික් තියෙනකොට පාන්දර පහේ බදුලු බස් එකට නඟින උඹට සමහර දාට අතට තිබුනෙ බස් ගාස්තුව විතරයිලු. ආයෙ හවස ගෙදර එනකල් උඹේ කුස පිරුණේ ඇල් වතුරෙන් විතරයිලු.

අපස්මාරෙ තිබ්බ උඹ ඒත් කලන්තෙ නොදා ගෙදර ආවා. ඒ උඹේ හිතේ හයිය. උඹට තව සහෝදරයො දොලොස්දෙනෙක් ඉන්නවලු. ඒ හැම එකාම මං අඳුනන්නෙත් නෑ. සමහර එවුන් උඹේ මල්ලිලා, අයියලා කියල දැනගත්තෙත් එදා. ප්‍රශ්නෙ ඒක නෙවෙයි, මෙවුං එකෙකුටවත් උඹට මීට වඩා හයියක් වෙන්න බැරිවුනේ ඇයි කියන එකයි. ඒනිසාම කාටවත් අත නොපා උඹ ජීවිතේ ගැටගහගත්තා. 

එදත් එහෙම දවසක්. දන්නෑ උඹ මොනතරම් ප්‍රශ්න කන්දරාවක් හිතින් දරාගෙන එළි බැස්සද කියලා. සමහර විට බඩට බත් ඩිංගක්වත් වැටිල තිබුනද කියලත් සැකයි. හුලං පුරෝපු තඩි ටියුබ් එකයි, මාලු දැලයි කරේ තියාගෙන උඹ වැවට යන්න ගියේ සමහර විට විකුණන්නම මාලු අල්ලන්නද, නැත්නම් වේල පිරිමහගෙන උඹේයි දරු පවුලෙයි බඩගිනි නිවාගන්නද කියෙනෙක මං තාමත් හිතනවා. ඒ කොහොම උනත් උඹ ගියේ ජීවිතේ ගැටගහගන්න බව අපි හැමෝම දන්නවා. ඒත් එක්කම උඹ වැවේ කාටවත් පේන්නැති අඳුරු ඉසව්වකට ගියේ අපෙන් හැංගෙන්න නෙවෙයි කියලත් ගමම දන්නවා.

උඹ හැංගෙන්න හැදුවෙ මාලුවෙක් දෙන්නෙක් තඩිගහල ජීවිතේ යන්තම් ගොඩදාගන්න දඟලන උඹලගේ බඩට ගහලා උඹලව කුදලගෙන යන්න බලං ඉන්න ධීවර මහත්තරුන්ගෙන් කියල අපි දන්නවා. උඹ ටියුබ් එකේ නැඟල වැවේ ගියේ ලෙෂර් වර්ල්ඩ් යන සිදාදියේ මහත්තුරු වගේ ආතල් ගන්න නෙවෙයි කියල දන්නෙ ගමේ අපි විතරයි. උඹත් කැමතියි උඹටම කියල ෆයිබර් ඔරුවක් තිබුනනම්. ඒත් උඹට එච්චර වත්කමක් කොහෙන්ද. ඉතින් මෙ දේවල් හින්දමයි උඹ අපි කාටවත් නොපෙනෙන ඉසව්වුකටවෙලා උඹේ ජීවිත දැල එලුවෙ.







ඒත් උඹ හීනෙකින්වත් හිතන්නැතුව ඇති මේ දැලට පැටලෙන්නෙ උඹේම ජීවිතේ කියල. උඹට අමතක උනා, නැත්නම් ජීවන අරගලය හමුවේ උඹ හිතලම අමතක කලා උඹේ අසනීපෙ ගැන. ඒත් උඹේ මරුවට නම් ඒක හොඳට මතක තිබිල වගෙයි. තෝමස් මාමා උඹව ගොඩට ගත්තෙ අඩි දහයක් විතර වතුර යට ඉඳලලු. ඒ වෙනකොටත් උඹ අපිව දාලා ගිහින් වරුවක් විතර ගිහින්ලු. 

මං කැමති උනේ නෑ උඹේ පරවුනු මූණ දිහා බලන්න. මොකද මං දන්නවා වෙනද වගේ අද උඹ මයෙ දිහා බලල කීයටවත් අර හිනාව මට දෙන්නෙ නෑ කියල. ඒත් අවසන් වතාවටත් මට උඹේ මූණ නොබල බැරිවුනා. ඒ තමයි උඹ මාත්තෙක්ක හිනා නොවුනු පලවෙනි දවස. ඒත් උඹේ මූණ අතරින් මට උඹේ හිනා මූණ මැවි මැවී පෙනුනා.

දහසකුත් ප්‍රශ්න සදහටම හංගගෙන උඹ අද පොලොව යට වැළලිලා. අදට දවස් දෙකක් ගිහින්. උඹ සමඟ වැළලුනේ උඹේ ප්‍රශ්න විතරක් නෙවෙයි. අපේ ගමේ, අපේ පළාතෙ, විතරක් නෙවෙයි අපේ රටේ බහුතරයක් දෙනාට තියෙන ප්‍රශ්න ගොඩක් සමඟයි උඹ පරවෙලා ගියේ. ඒව අපට හිතන්න ඉතුරු කලේ අපේ රටේ තියෙන මේ ප්‍රශ්න විසඳගෙන ආයෙමත් මේ වගේ අකල් මරණෙකට ගොදුරු නොවීමට එන ආත්මෙක හරි උඹට ඉඩ සලසලා දීමට අවස්ථාවල් ලබාදෙන්න පුලුවන් විදියක් ගැනයි.

අදත් උදේ වැඩට යන්න හංදියට ආව වෙලාවෙ උඹේ හිනා මූණ නෑ කියල දැන දැනත් මං වෙනද උඹ වාඩිවෙලා ඉන්න බංකුව දිහා බැලුවා. ඒත් උඹ එතන හිටියෙ නෑ. උඹ හිටියෙ එතන නෙවෙයි. හංදියේ බස් හෝල්ට් එකේ කණුවක උඹ හිටියා. හැබැයි උඹ හිටියෙ හිනාවෙලානම් නෙවෙයි. උඹේ ඔය මූණ තියෙන මේ මරණ දැන්වීමත් තව ටික දොහකින් ගැලවිලා යයි. උඹ ගැන මතකයත් හැමෝටම අමතකවෙලා යයි. 

උඹ වැවේ ගිලිලා මැරුණ කියල අහපුවෙලේ මට ඒක දරාගන්න අමාරුවුනා. මට මතක් උනේ රත්න ශ්‍රී විජේසිංහයන් ලියපු සුදු නෙළුම කෝ සොරබොර වැවේ සිංදුව. ඒත් මං ඒක කාටවත් කිව්වෙ නෑ. එහෙම කිව්වනම් කට කැඩිච්ච එකෙක් කියයි, ඒ සිංදුවෙ මැරුණේ ජීවිතේ ගැටගහගන්න , පන්සල් යන අයට විකුණන්න මල් කඩපු අහිංසක පුංචි කෙල්ලෙක් කියල. මූ නැහුනෙ පවු කරන්න වැවේ ගිහින් කියලා. ඒත් මට එහෙම පේන්නෙ නෑ. මටනම් පේන්නෙ මේ සිද්ධි දෙකේදිම මියැදුනේ පවතින ආර්ථික හා සමාජීය රටාවෙන් බැට කන, ජීවිතේ ගැටගහගන්න සොච්චමක් හොයාගන්න වෙර වීරිය දරපු අහිංසක මනුස්ස පරාණ දෙකක් විතරයි. කැඩුවෙ මල්ද, ඇල්ලුවෙ මාලුද කියනෙක මට වැදගත් නෑ. වැදගත් වෙන්නෙ ඒ දෙකෙන් කොයික හරි කරපු හේතුවයි.

ඒ නිසා උඹ ගැන මං මෙහෙම ටිකක් ලිව්වා. මට කවි ලියන්න බෑ. මගේ හිත සංවේදී කරන සිදුවීමාක් කවියකට නඟාගන්න මට කොච්චර ඕනි උනත් වරුවක් දඟලලා වත් මට ඒක කරගන්න බෑ. ඒත් උඹේ මිනිය දිහා බලන් එදා ගතකරපු කාලකණ්නිම මිනිත්තු දහයෙදි මට මෙහෙම නම් හිතුනා.

"සුදු නෙලුම නොවුනත් ඔබ සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
මල් සුවඳක්ම විය නුඹ
නොමිනිසුන් අතරින් නැඟි…

මල් නෙලන්නට නොම ගියේ මුත් නුඹ
බුදු පුදට මහියංගණේ
නුඹ මැරූ මසු කැල විය
අපේ දිව රසවත් කලේ…

ඉතින් කෙලෙසක දෑඟිලි යොමන්නද
කිලිටි හිතකින් නුඹ දෙසේ
සුදු නෙලුමමයි මට උඹේ රුව
නිදා සිටිනා පෙට්ටියේ…"






මේ ඔබ වෙනුවෙන් මා තබනා මතක සැමරුමයි. මෙහෙම මතක සැමරුමක් ඔබ වෙනුවෙන් තැබූ බව ඔබට සමීප කිසිවෙකුත් නොදන්නා බව මම දනිමි. ඔබ මියගොස් ඇත. අපද එළඹෙන පැයේ හෝ තව කාලාන්තරයකින් හෝ මියැදෙනු ඇත. අපෙන් පසු පරම්පරාවට නුඹ සිහිනයක් පමණක් වනු ඇත. ඉන්පසු පරම්පරාවට ඔබ මිරිඟුවක් වනු ඇත. නමුදු කවදාකවත් මැකී නොයන ඔබ පිලිබඳ මතකයක් මෙලෙස මම සයිබර් අවකාශය වෙත මුදාහරින්නෙමි. අන්තර්ජාලය ලොව පවතින තුරු මෙම සිහිවටනය ලොවේ කොතැනක හෝ සිටින්නෙකුට ඔබ පිළිබඳ මතකය අලුත් කරනු ඇත.

"දයාබර රාළේ මාමේ උඹ ආයෙත් මේ ජරාජීර්ණ සමාජය තුල ඉපදෙන්න එපා..!"




(පසුගිය දිනෙක දම්බරාව වැවේ ගිලී මියගිය අපේ ගමේ රාළේ මාමා වෙනුවෙනි.)




Monday, June 16, 2014

•වරදක් කලත් සිතකින් නොවේ

"වෙනසක් නොවී මගෙ හිස් අතින් පිසලන්නෙ කොයි කඳුල දෝ..."




"උඹ නම් කවදාවත් හැදෙන එකෙක් නෙවෙයි. උඹ හැමදාමත් කලේ මට ගින්දර දූන්න එක. යකෝ උඹව වදල දහදුක් විඳල උඹේ කරදඬු උස් මහත් කරපු උඹේ අම්මට වඩා උඹට කොහොමද කොහෙවත් යන ගෑනියෙක් ලොකු උනේ? නොදකිං ඕකිටනම් හොඳක් වෙන්නෙ නෑ කවදාවත් මට මේ දුන්නු ගින්දරට. ට ඔය කෙල්ලව හම්බුනොත් මං මරාගෙන මැරෙනවා ඕකිව."

"අම්මෙ මේ කියන මඟුලක් මට කියන්න. ඕනිතරමක් මට බනින්න. ඒ අහිංසක කෙල්ලට දොස් කියන්නෙපා. මොකද ඒකී බලෙන් මාත් එක්ක යාලු උනා නෙවෙයිනෙ. මංනෙ පස්සෙන් ගිහින් ඒකිව යාලුකරගත්තෙ."

"උඹට හරියට රිදෙනවා ඒ ඒකිට මොනාහරි කිව්වම. ඒත් උඹට උඹේම අම්මා ගැන එහෙම කැක්කුමක් වේදනාවක් නෑ. උඹ වගේ එකෙක් හැදුවනේ මාත්. උඹේ අප්ප මැරිච්ච දා ඉඳල උඹව ලොකු මහත් කරන්න, උඹට හොඳට උගන්නන්න මං නොවින්ඳ දුකක් නෑ. මං හරියට බඩට කාලා නෙවෙයි බොල උඹට ඉගැන්නුවේ. එහෙව් අම්මා ගැන උඹට කිසි කැක්කුමක් නෑ. ඊයෙ පෙරේදා දැක්ක කොහෙවත් ඉන්න එකියක් උඹට ලොකුයි උඹේ අම්මට  වැඩිය. උඹල වගේ දරුවො හැදුවට වඩා හොඳයි ගඟේ මුහුදේ දැම්මනම්."

"මේකනම් මහ පුදුම කරුමයක්. උදේ එළිවෙච්ච වෙලාවෙ ඉඳලා කච කචේ. කණක් ඇහිල ඉන්න නෑ. මටනම් දැන් මේ ජීවිතේ තිත්තවෙලා."

"ආ හැබෑද? උඹට දැං මේ අම්මගේ වේදනාව කච කචයක් වෙලා. හිසරදයක් වෙලා. ඔව් ඉතින් උඹට දැන් ඉන්නවනේ උඩැක්කියක්, මියුරු තෙපුල් බස් දොඩවල උඹව සනසන්න. ඕකි උඹේ ජීවිතේට ආ දා ඉඳලා අම්ම උඹට හිසරදයක් කියල මං දන්නවා...ඔව් ඔව් පල එලිබැහැලා. මෙලහට ඇති එනකල්. රස්තියාදුකාරියෝ.  මට මේ දෙන වේදනාවට ඕකිටනම් සහගහනවා. මේ වේදනාවෙන්ම මං මැරිල යයි."


****************************************************


"ඒ මචං උඹ මෙතන මොකද කරන්නෙ? උඹ කවදාවත් මෙතනට ආපු එකෙක් නෙවෙයිනෙ බං. මං ඈත ඉඳලම දැක්ක උඹේ බයික්කෙ නවත්තල තියෙනවා. මං ඒත් හිතුවෙ වෙන කවුරුහරු උඹේ බයික්කෙ අරං ඇවිල්ලා කියල."

"මොනා කරන්නද බං. ජීවිතේ හැටි ඔහොම තමයි. මිනිස්සුන්ට වෙනස්වෙන්න වෙනවා. මං මෙතෙන්ට ආව විතරයි මේ. ඉඳා මේක අරං දෙන්නටම අරං වරෙන්. හොඳ චොප්සියකුත් දාන්න කියහං."

"උඹේ සල්ලි බල්ලන්ට කන්න දාලා චොප්සිය දාගනින්.. මං කියන්නෑ උඹට. යකෝ පාටියකට හදිස්සියකට බාරෙකට යවල බෝතලයක් ගෙන්න ගන්න බැරි උඹද යකෝ ඔය කතාකරන්නෙ? අරක්කු මොන රහයිද කියලවත් දන්නවද උඹ?"

"දන්නැති නිසා තමයි බං අද රහ බලන්න යන්නෙ. උඹ මගෙන් අහගන්නැතිව මේ සල්ලි අරන් ගිහින් අරන් වරෙන්."

"ඔය ගැන තව එක වචනයක් කතාකරොත් හය වසරෙදි අපේ යාලුකම පටන්ගත්ත හේතුව උඹට ඊටත් වඩා රහට දැනෙන්න අම්මප ගහනවා උඹේ කණ ගලෝල යන්න. "

"යකෝ මිනිස්සුන්ට ප්‍රශ්න එනවා. ඒක තමයි ජීවිතේ. වැටිල තිබ්බ පෑන බෙදාගන්න බැරුව අම්බානක කෙලගත්ත අපි දෙන්න ඒ හින්දම හොඳම යාලුවෝ උනේ හය වසරෙදි. එදා ඉඳං අදවෙනකල් අපි දෙන්න සහෝදරයො වගේ ජීවිතේ බෙදාගත්ත. ඉතින් උඹේ ඕනිම දේකට මං ඉන්නවනෙ බං.තියෙන ප්‍රශ්නෙ මටත් කියහං. විසඳගන්න බැරි ප්‍රශ්න මේ ලෝකෙ නෑ බං."

"ඒ උඹ දන්න හැටි තමයි මචං. ඒත් මට තියෙන්නෙ විසඳගන්න පුලුවන් ප්‍රශ්න නෙවෙයි බං."

"අනේ මගෙන් අහගන්නෙපා. දැන් එහෙනම් විසඳගන්න වෙන්නැති මෙතන බෝතල් කඩන්න කතාකලේ. මං තව ඩිංගක් පරක්කු උනානම් ජීවිතේට අරක්කු කටේ නොතියපු උඹ මෙලහකටත් බලුවෙලා. යකෝ අහපං. ප්‍රශ්න වලින් පැනල යන්නවත්, දුක හරි සතුට හරි දියකරල අරින්නවත් තියෙන අවුසදේ අරක්කු නෙවෙයි කියල උඹ ඒ කාලෙ ඉඳාලම අපිට බණ කතාකලා. අපි ඔක්කොම නසරානි වෙනකල් ගසද්දි උඹ විතරක් කෙලින් හිටියා. බේබදුවෙලා කුණුවෙච්ච අපි උඹේ කරපිටින් ගෙවල් වලට ගියා. ආයෙ ජීවිතේට අරක්කු කටේ නොතියන්න හිතාගන්නකල් පහුවදා උඹ අපිට දෝස්මුර තිබ්බා. ජීවිතේ කියල දුන්න."

"ඒත් පහුවදාත් අපේ තියෙන නොසන්ඩාලකමට අපි බිව්වා. ඒත් උඹ උඹේ පෞර්ෂත්වය රැකගෙනා හැමදාමත් කෙලින් උන්නා. උඹ උඹේ ප්‍රතිපත්ති කැඩුවෙ නෑ. යකෝ යාලුවෙක් විදියට ඇත්තටම අපි උඹ ගැන ආඩම්බර උනා. කවුරු කවුරුත් එලිපිට නොකිව්වට උඹ වගේ වෙන්න අපි කවුරුත් හීන මැවුවා. ඒත් අපේ කාඅලකණ්නි කමයි, අරක්කුවල දියාරුවයි අපිට කෙලින් ඉන්න ඉඩදුන්නෙ නෑ. එහෙව් උඹ අද මට මඟුලක් කතාකරනවා." 

"මගේ ඒ හොඳකම නිසා වෙන්නැති මට මගේ අම්මගෙන් මාර පැසසුම් ලැබෙනවා. මං කොච්චර උතුම් දරුවෙක්ද කියනවානම්, මගේ අම්මට දැන් හිතෙනවා මාව උපන් වෙලේ ගඟට විසිකලානම් හොඳයි කියලා. "

"මචං උඹ ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ කියල මට තේරෙනවා බං. ඒත් ඒක විසඳන ක්‍රමේ මේක නෙවෙයි. උඹ කොච්චර නොපිළිගත්තත් මේ ලෝකෙ විසඳුම් නැති ප්‍රශ්න නෑ මචං. අපි කතාකරමු. "

"අමුතුවෙන් කියල ප්‍රශ්නයක් නෑ බං. මට හැමදාම තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියල උඹ දන්නවනෙ බං. "

"හ්ම්... ඒකයි මේ කාරණේ එහෙනම්. මට හිතුනා, උඹට තියන එකම ප්‍රශ්නෙ ඕකනේ ඉතින්. මොකෝ..? අම්ම අදත් උදේම දෝස්මුරයක් දැම්මද?"

"ඒ ගැන කතාකරල වැඩක් නෑ බං. මාත් ඉවසනවා කියල කොච්චරක් ඉවසන්නද බං. කොච්චර කාලයක් ඉවසන්නද. මේක කවදාවත් ඉවර වෙන ප්‍රශ්නයක් නෙවෙයිනෙ බං."

"හරි මචං, කාරණේ පැහැදිලියි. එහෙනම් දැන් පණ්ඩිතය නොවී නැගහන් මගේ බයික් එකට. උඹේ එක ඔතන තිබුනාවෙ. එනකොට ගමු."

"උඹ කොහෙද යන්න හදන්නෙ?"

"කොහෙ උනත් තියෙන ප්‍රශ්න වැඩිකරන නැති ප්‍රශ්න ඇති කරන මේ වගේ අපායකට නෙවෙයි, උඹේ ප්‍රශ්නෙ ඩිංගක් හරි විසඳගෙන හිතට සැනසීමක් ගන්න පුලුවන් තැනකට. මං උඹට පොරොන්දු වෙනවා උඹේ මේ ප්‍රශ්නෙට හොඳ උත්තරයක් අපිට හොයාගන්න පුලුවන් වෙනව කියල. දැන් නැගහංකො."


*****************************************************


"ඇයි උඹට මෙතනට එන්න හිතුනෙ?"

"මේ වැව් කන්ද තමයි මචං බාර් එක අපේ ප්‍රශ්න විසඳගන්න තැන බවට පත්වෙන්න කලිං අපේ හැම ප්‍රශ්නයක්ම විසඳල දීපු තැන. අපි අපේ හැම ප්‍රශ්නයක්ම කතාකරපු තැන. මෙතන බාර් එකට වඩා ගොඩක් වෙනස්. බාර් එකේ ඉඳල අපි කතාකරපු කිසිම ප්‍රශ්නෙකට කවදාවත් අපිට විසඳුම් හම්බුනේ නෑ. ඒ වෙනුවට එතන අපේ ප්‍රශ්න ඩබල් කරා. ඒත් මෙතන, පුංචි කාලෙ ඉඳල අපි කතාකරපු හැම ප්‍රශ්නෙකටම විසඳුම් දුන්නා. සාර්ථක විසඳුම් දුන්නා. පුංචිම කාලෙ රෑට ඇඳේ හුජ්ජ ගියත් අපි ඒ ප්‍රශ්නෙත් ඇවිත් කතාකලේ මෙතන. ඒකට පවා අපි උත්තර හොයාගත්ත. එතනින් පටන්ගත්ත ජීවිතේ අන්තිමේ පවුලෙ, අධ්‍යාපනේ විතරක් නෙවෙයි, රස්සාවෙ ප්‍රශ්න, ගමේ ප්‍රශ්න පවා අපි විසඳගත්තෙ මෙතන ඉඳලනෙ බං. උඹට ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ."

"ඔන්න බලහං අද මේ කුඹුක් ගහ යටින් නැඟිටින්න කලිං මේ ප්‍රශ්නෙටත් අපිට උත්තරයක් හම්බෙනවා."

"මං හිතන්නෑ බං මේ ප්‍රශ්නෙටනම් මට විසඳුමක් තියෙයි කියලා. අම්මා කවදාවත් නිමේෂාට කැමතිවෙන්නෙ නෑ මචං. ඒක මට ඉර හඳ වගේ ෂුවර්. අර බාර් එකටවත්, මේ වැව් කණ්ඩියටවත් බෑ මචං නිමේෂාව ගෙනත් අපේ අම්මගේ කුලෙන් තියන්න. ඒ අහිංසකීගෙ ජාතකේ වෙනස් කරන්න. මේ කිසිම දේකට පුලුවන්කමක් නෑ."

"අම්මා නිමේෂාට අකමැතිවෙන්න තියෙන එකම හේතුව ඔය කුල ප්‍රශ්නෙ විතරද බං?"

"වෙන මොන ප්‍රශ්නයක්වත් නෑ බං. සල්ලිබාගෙ අතින් පවා ඒ මිනිස්සු අපිට වඩා ඉඅහලින් ඉන්නවා. කෙල්ලගෙත් කිසිම වරදක් නෑ මචං."

"ඒකිගෙනම් මොන වරදක්ද බං. චූ කරන්න යන්න ටීචර්ගෙන් අහන කාලෙ ඉඳලම දන්න කෙල්ලනෙ බං. "

"ඒක තමයි මචං. අනික උගත්කමෙන්, රූපෙන් අඩුවක්ද. ඒකි මං වගේ හාල්පාරුවෙක් නෙවෙයි බං. හෙට අනිද්ද උපාධිකාරියක්. හොඳ රජයෙ රස්සාවක් කරයි. හැම අතින්ම අංග සම්පූර්ණයි මචං. ඒත් දෙවියො ඒකිව අඩු කුලේක උපද්දවලා. මාව වැඩි කුලේක උපද්දවලා. ඒකයි කරුමෙ."

"ඒකිගේ උගත් කම ගැන, හැදියාව ගැන, අම්මා දන්නැත්ද බං?"

"අනේ මොකෝ බං නොදැන. ඒකිගේ ජාතකෙත් එක්ක හොයාගන්න පුලුවන් උනානම් ඕක හොයාගන්න බැරිවෙයියැ."

"කියහංකො අම්මා මොකද කියන්නෙ කියලා."

"එයා කියන ඒවල කිසි තර්කයක් නෑ බං. අනික ඒ කියන ඒවා මේ යුගේට වලංගුත් නෑ. එයා ඉතින් කියන විදියට එයාලගේවත්, අපේ තාත්තලාගෙවත් පවුල් වල කවුරුවත් මෙච්චර කාලෙකට අඩු කුල වල මිනිස්සුත් එක්ක පෑහුනේ නෑලු. පරම්පරාවෙ ගෞරවේ රකින්නලු. මං මේක කලොත් මැරුණු තාත්තාට කරන අපහාසයක්ලු. තාත්තා වලෙන් නැඟිටල ඇවිත් සාපකරයිලු. මළ විකර ගොඩයි බං. හැමදාම අග ඉඳල මුලටයි, මුල ඉඳල අගටයි හැමදාම උදේ හවස අපේ ගෙදර වාදනය වෙන්නෙ ඔය තැටිය තමයි බං. "

"අර කෙල්ලට සතෙක්ට වගේ බනිනවා මචං. මට බැන්නනම් අහන් ඉන්න පුලුවන්. ඒත් කිසි වරදක් නැති අර අහිංසකීට බනිනකොට මට පට්ට දුකයි බං. මංනෙ බං පස්සෙන් ගිහින් ගිහින් ඒකිව දාගන්න ට්‍රයි කලේ. උඹලට මතකයිනෙ ඒකාලේ. කොච්චර අමාරුවෙන්ද ඒකි මට හා කිව්වෙ. අනික එදා ඒකි කිව්ව කතාව මගේ පපුවේ කෙටුවා වගේ ඇඳිලා තියෙන්නෙ බං. ඒකි කිව්වෙ 'මේ මගේ පළවෙනි ආදරේ, ඒ වගේම මේ මගේ අන්තිම ආදරේ. මට අනිත් අයට වගේ දෙතුන් දෙනෙකුට දෙන්න ආදරේ ඉතිරිකරල තියාගන්න බෑ. මගේ සංතකේට තිබ්බ ඔක්කොම ආදරේ ඔයාට මං අද දුන්නා. ඒ නිසා මාව කවදාවත් අමතාකකරන්නෙපා. එහෙම කලොත් මං සදහටම තනිවෙනවා.' ඔහොමයි බං ඒකි කීවෙ. ඉතින් මට පුලුවන්ද මේ වගේ හිස් බාල කාරණේකට එයාව අමතකකරල දාන්න?"

"ඒකි රත්තරං කෙල්ලෙක් බං. අද කාලෙ ඔහොම කෙල්ලො නෑ බං. උඹට ආයෙ කවදාවත් ඒ වගේ කෙල්ලෙක් හම්බෙන්නෙත් නෑ. ඒ වගේම ඒ වගේ ගුණයහපත් ලේලියෙක් උඹලගෙ අම්මටත් ජීවිතේට හොයාගන්නත් බෑ."

"ඒත් එක්කම මචං මොනා කිව්වත් උඹලගේ අම්මා. එයාලගේ තියෙන මෝඩකම් වලට හරි, නැත්නම් මේ අලුත් සමාජෙට හැඩගැහෙන්න, අලුත් විදියට හිතන්න එයාලට හිත්දෙන්නෙ නැති නිසා හරි මෙහෙම කිව්වට, අම්ම උඹට පණ ඇරල මචං. පුංචි කාලෙ ඉඳලම අපි උඹලව දන්නවනෙ මචං. තාත්තා නැතිවෙනකොට උඹ බොහොම පොඩියිනෙ. ගෙදර කුමාරිහාමි කෙනෙක් වගේ උන්නු උඹලගේ අම්මා තාත්තාගෙ මරණින් පස්සෙ උඹව මේ තත්වෙට ගේන්න කොච්චර දුකක් වින්දද. ඒක අපි හැමෝම දැක්කනෙ බං. එයා උඹට කවදාවත් කිසිම දේකින් අඩුපාඩුවක් දැනෙන්න ඇරියෙ නෑ. කවදාවත් උඹට කෑමෙන් බීමෙන්, ඇඳුමෙන් පැළඳුමෙන් අඩුවක් දැනෙන්න දුන්නෙ නෑ. උඹ ඉල්ලුවෙ මොනාද පහුවදා උඹට ඒ දේ ලැබුනා. අම්මා තාත්තා දෙන්නම ඉඳලවත් අපිට එහෙම තිබුනෙ නෑ බං. ඇත්තටම පුංචිකාලෙ අපිට හිතුනා උඹලගේ අම්මා අපේ අම්මා උනානම් කියලා. "

"ඒක තමයි මචං මාත් කියන්නේ. උඹම කියහංකො මේ ප්‍රශ්නෙට උත්තරයක් කොහෙද තියෙන්නෙ කියලා. මං දන්නවා මචං මං කරන්නෙ වරදක් කියලා. ඒත් මචං මං ඒක හිතකින් කරනවා නෙවෙයි. මං අම්මව සැනසුවොත් මං නිමේෂාට වරදක් කරනවා. මං නිමේෂාව සැනසුවොත් අම්මට වරදක් කරනවා.  නිමේෂාට ගින්නක් දෙන්නැතිව මට ඒකිව මගේ කරගන්න පුලුවන් බං. ඒත් මං එහෙම කරල ඒකිගෙ හිතේ ගින්න නිවනකොට මගේ අම්මා ගිනිගොඩක පිච්චෙනවා බං. ඉතිං ඇයි මචං මේ දෙන්නම මෙහෙම මාව අසරණ කරන්නෙ. මගෙන් පළිගන්නෙ? මචං මට අම්මත් ඕනි ගෑනිත් ඕනි. දෙන්නම මට මචං මගේ ඇස් දෙකවගේ. ඒත් මචං මං මගේ අත්දෙකින් ඔය දෙන්නගේ ඇස් වලින් කාගෙ ඇස්වල උනන කඳුලුද බං පිහල දාන්නෙ? මං පට්ට අසරණයි බං."

"මං උඹට ඇත්තම කියන්නම් මචං. උඹ මගේ බොක්ක. උඹට කියන්න ලැජ්ජා නෑ මට. මං අද එළියට බැස්සෙ තීරණයක් අරං මචං. මට මචං හිත හදාගන්න බෑ. මට මචං අම්මගෙ ලෝකෙ අම්මත් එක්ක තනිවෙන්නත් බෑ. මට මචං නිමේෂාත් එක්ක නිමේෂාගෙ ලෝකෙ තනිවෙන්නත් බෑ. මේ දෙන්නවම මගේ ලෝකෙට අරං එන්නත් බෑ මචං. ඒනිසා මචං මං තීරණය කලා මේ දෙන්නගෙම ලෝකෙන් මං ඈත්වෙලා යන්න. ඔව් මචං මේ කාලකණ්නි ලෝකෙන්ම වෙන්වෙලා යන්න. අම්මා අසරණ වෙයි, නිමේෂා සදහටම තනිවෙයි. ඒ දෙන්නම මට සාප කරයි. අම්මා කියයි කොහෙවත් යන ගෑනියෙක් නිසා අම්ම මං ලෝකෙ අසරණ කලා කියලා. නිමේෂා කියයි මගේ කිසිම වරදක් නැතිව මං අඩු කුලේ ඉපදිච්චි පවට මං එයාව මේ ලෝකෙ තනි කලා කියලා. ඒකට කමක් නෑ මචං. මට බෑ මචං කාගෙවත් පැත්ත ගන්න. ඒ නිසා ඒක තමයි මට ගන්න තිබුන හොඳම තීරණය. ඒත් මචං සිහියෙන් ඒක කරන්න තරම් මට කොහොමවත්ම හිත හදාගන්න බෑ. එච්චර පෞර්ෂයක් මට නෑ. ඒකයි මං අසිහියෙන් හරි ඒ දේ කරගන්න අරක්කු වල පිහිට පතන්න හැදුවෙ බං. මට ඕනි උනේ අඳුරු පාට මත් බෝතලයකට මුවා වෙලා හොරෙන්ම මේ ලෝකෙන් වෙන්වෙලා යන්න මචං. ඒත් උඹ ඒකට ඉඩ දුන්නෙ නෑ. මං දන්නවා මට දැන් ඒ විසඳුමත් නෑ කියලා. මට පිස්සු හැදෙයි මචං."

"මචං..මචං.. මේ අහපන් මචං. ඔච්චර කැඳයෙක් වෙන්නෙපා මචං. අපිට ලැජ්ජයි. සිරාවට බං. මං මේ උඹව පාච්චල් කරනව නෙවෙයි, උඹේ බොක්කටම මං කියන දේවල් වදින්නෝනි නිසයි මේ ටයිප් එකෙන් කියන්නෙ. යකෝ ඔය කරන්න ගිය ගොං තකතීරු වැඩේට වඩා කරන්න වෙන ඕනි තරම් විසඳුම් තියෙනවා ඕකට. අපේ කටේ පොඩිකාලෙ ඉඳල තියෙනවා නේද ප්‍රස්ථාව පිරුළු දෙකක්. මොකද්ද, 'කාලයා සියලු ප්‍රශ්න විසඳනවා', 'හැමදේම වෙන්නෙ හොඳට' උඹ අහල තියෙනවනේ?"

"අහලනං තියෙනවා. ඒත් ඕවට කියන්නෙ ආප්තෝපදේශ කියලා"

"අනේ අනේ තියාගං උඹේ ආප්පෙ. මං කියන්නෑ ඉතිං උඹට. මහ ලොකු පණ්ඩිතකමනං තියෙනවා."

"හරි ඒක මොකහරි. ඒක මොකක් උනත් ඒකෙන් කියන කතාව අපි විහිලුවට ගත්තට, නිකං කටට ආව පලියට කියල දැම්මට මේ කතාවෙ සෑහෙන ඇත්තක් තියෙනවා මචං."

"ඒ නිසා ඔන්න ඔය තියරි දෙක තමයි මේ වෙලාවෙ උඹේ පිහිටට තියෙන්නෙ. අපි මෙහෙම කරමු මචං. උඹ ගනින් තීරණයක්. මට කියහං මේ ප්‍රශ්න මොකුත් නැත්නම් මොකද්ද උඹ ගන්න තීරණේ?"

"ඒක ඉතින් අහන්න දෙයක්ද බං. මං එහෙනම් නිමේෂාව අපේ අම්මගෙ ලේලි කරල අපේ ගෙදර එක්කන් යනවනෙ බං."

"හරි.. එහෙනම් උඹ ඉස්සෙල්ලාම ස්ථීරවම ඒ තීරණේ අරං ඉඳහං."

"ඒත් මචං.."

"ඉඳහංකො කියනකල්."

"එතකොට උඹට අඩුම ගානෙ හිතට සැහැල්ලුවක් හරි දැනෙයි. මොකද මඩේ හිටවපු ඉන්න වගේ වැනි වැනි ඉඳපු උඹට දැන් කෙලින් තීරණයක් තියෙනවා. හරි..එතනින් එහාට උඹ කරන්නෝනි ඒ ගත්ත තිරණේ ක්‍රියාත්මක කරන්න ඕනි කරන පාර හෙමින් හෙමින් කපාගන්නෙකයි. ඒ කියන්නෙ අර කාලයට ඉඩදීම කියන එකයි. හැබැයි කාලය ඉඩදීල උඹ බකංනිලං ඉන්නෙපා. උඹ ඒ අරමුණ සාර්ථක වෙනකල් ඒ වෙනුවෙන් වෙහෙසියන්. හැබැයි කොයි වෙලාවකවත් නිකං බොරුවට කලබල වෙලා සේරම අවුල් කරගන්නෙපා. මොකද උඹට ඕනි තරම් කාලෙ තියෙනවා."

"ඉස්සෙල්ලාම උඹ අම්මත්තෙක්ක දාගන්න වලි නවත්තපං. දැන් උඹ තීරණයක් අරන්නෙ ඉන්නෙ. ඒ නිසා එයා මොනා කිව්වත් උඹට අවුලක් නෑනෙ. ඒ නිසා ඒක පාර්ශ්වීය සටනක් කරගෙන යන්න අම්මට ඉඩදීල උඹ පැත්තකට වෙයන්. මොකද එයාට ඒකපාර්ශ්වීය සටනක් කරන්න බෑනෙ බං දිගටම. ඒ නිසා කියන හැමදේම ඔලුව නමාගෙන අහගෙන ඉඳහං ගොනා සේ. ඊළඟට ඔය කියවිල්ල එයාටම එපාවෙලා ටිකෙන් ටික අඩුවෙනවා. ඔය අතරෙ දැන් උඹ තීරණයක් අරන් ඉන්න නිසා බාගෙන කන්න තියෙන වල ඉහගෙන කන්න හදන්නැතිව නිමේෂත් එක්ක තියෙන ගනුදෙනු ටිකක් අඩුකරහං. උඹ ඒකමයි කරන්නෙ කියල තීරණයක් අරන්නෙ තියෙන්නෙ, ඒ නිසා ඒ පැත්ත අවුලක් නෑනෙ, ඒ නිසා ඒකිටත් මේ ටික තේරුම්කර දීලා දෙන්න පොඩ්ඩක් අම්මගෙන් ෂේප් වෙලා ඉඳහල්ලා. එතකොට ඔය ගින්න ටික ටික නිවෙනවා. ඔහොම ටික කාලයක් යනකොට අම්ම ආයෙත් උඹත් එක්ක ඉස්සර වගේම ෆිට් වෙනවා. ඊළඟට මුලින් විහිලුවෙන් විහිලුවෙන්, ආයෙත් නිමේෂා ගැන ටිකෙන් ටික අම්මගෙ ඔලුවට දාන්න පටන් ගනින්. ඒකිගෙ අධ්‍යාපනේ ගැන, ජොබ් එක ගැන, දේපල ගැන නිකං ඔහෙ කියවපං. ඔන්න ඔහොම ටිකෙන් ටික හෙමින් හෙමින් උපක්‍රමශීලීව වැඩේ කරහං."

"ඔය අතරේ උඹේ හොඳම යාලුවා විදියට මාත් පොඩි මැච් එකක් ගහන්නම්. මටත් පුලුවන් ෂේප් එකේ මේක ගැන උඹලගේ අම්මගේ ඔලුවට දාන්න. ඒකට හොඳ ප්ලෑන් එකක් මං ගාව තියෙනවා. එව්ව ගැන උඹ හිතන්නෙපා. මං ඒක ගානට කරන්නම්. උඹ දැනට මං කිව්ව විදියට කරපන්කො."

"දැන් උඹට සැටිස්ද?"

"මචං මගේ ඇඟට අලුත් පණක් ආව වගේ බං. ඇත්තමයි. අඩුම තරමෙ මොකුත් නැතිව හිටපු මට දැන් බලාපොරොත්තුවක් හරි තියෙනවා. උඹේ ක්‍රමේ බොහෝදුරට හරියයි කියල මගේ හිත කියනවා මචං. මේ ප්ලෑන් එකෙන් කාගෙවත් හිතක් රිදවන්නැතිව මේක ගොඩදාගන්න පුලුවන්. උඹනම් දෙයියෙක් බං.  මාව මෙහෙම ගොඩදැම්මට උඹට පිංසිද්ධ වෙනවා බං."

"අල්ලල දාහං මචං. අපේ මේ යාලු ෆිට් එකට මොනාද බං කරන්න බැරි. මෙව්ව මොනාද. මං උඹට මේ වගේ දිගුකාලීන ප්ලෑනක් දුන්නෙ උඹලගෙ අම්ම අසනීපකාරි නිසා. නැත්නම් මං උඹට කියන්නෙ හෙටම කෙල්ලව බැඳහං කියලා. අම්මවා ෂේප් කරගන්න අපිට පුලුවන් ඊට පස්සෙ. ඔයිට වඩා බං හත් දවසෙ, තුම්මාසේ, අවුරුද්දෙ දානෙ දුන්නු දෙමවුපියොත් ළමයි බමයි ඉන්නකොට ආයෙත් ඔය සේරම අමතකකරලා දරුවො ළඟට ගන්නව බං. එතකොට උඹට ගෑණිත් ඉන්නවා අම්මත් ඉන්නවා. ඒත් උඹලගේ අම්මගේ තියෙන ලෙඩ රෝග ආබාධ එක්ක එච්චර කස්තිරමක් අල්ලන එක අවධානම්. ඒ නිසා මේ ක්‍රමේට යමු මචං."

"මොකෝ කියන්නෙ? උඹ ඇග්‍රිද වැඩේට?"

"එකෙන්ම මචං, එකෙන්ම. මට නිකං දැම්ම ප්‍රශ්නෙ ඉවරයි වගේ. කොහොම හරි ගේම ගහමු මචං. මං ආයෙ වැටෙන්නෙ නෑ."

"අන්න එහෙම වරෙන්. දාපන් මස්සිනා පහක්. ඔන්න එහෙනම් වැව් කණ්ඩිය අපේ තවත් ප්‍රශ්නයක් විසඳුවා. මං උඹට පොරොන්දු උනානෙ මේ කුඹුක් ගහ යටින් නැඟිටින්නෙ විසඳුමක් හොයාගෙන කියලා."

"මෙදා පාරනම් ප්‍රශ්නෙ විසඳුවේ වැව් කණ්ඩිය නෙවෙයි මචං උඹ."

"හරි හරි බං වැව් කණ්ඩිය උඩනෙ වාඩිවෙලා හිටියෙ.  ඒකනෙවෙයි, එහෙනම් දැන් යමං. උඹේ බයික්කෙත් බාර් එක ළඟනේ."

"යමං..යමං.."

"මේ.."

"ම්.."

"උඹ ඉස්සෙල්ලා බොහෝම දුකින් ජීවිතේම එපාවෙලා මට කතාවක් කිව්වෙ නේද."

"ඉතිං"

උඹේ ඒ කතාව ඇහුවට පස්සෙ මට හරි අපූරු සිංදුවක් මතක් උනා බං. ඒ සිංදුවනම් උඹටම ලියපු එකක්ද කොහෙද"

"මොකද්ද මචං ඒ සිංදුව?"

"හ්හ්ම්.. ඒක මෙහෙම කියන්න බෑ. අද රෑට මචං මං බොනවා. මොකටද. උඹේ ප්‍රශ්නෙ විසඳිච්ච සතුටට. උඹත් වරෙන්. අපි දාමු පොඩි පාටියක්. මං චරියටත් කෝල් එකක් දාල එක්ක ගන්නම්. ඌ ලස්සනට උගේ ගිටාර් එක ගහද්දි මං ලස්සනට උඹේ ඒ සිංදුව කියන්නම්."

"උඹට තියෙන්නේ.. අපිට සූර් අතරෙ අපේ බයිට් ටිකටත් හොරෙන් ඇරලා සැන්ටින් කෝක් එකටත් ගේම දීල.. උඹේ සිංදුව අහන් ඉන්න. ඊට පස්සේ..අපිට අග මුල නැති වැල පෑගුනාම ඔය කොහෙන් හරි අපිව බුදිකරවලා, සුපුරුදු පරිදි හෙට උදේට උඹේ ධර්ම දේශනාව පවත්වලා අපිට බනින එක තමයි..හරිය..?"



"වරදක් කලත් සිතකින් නොවේ 
රිදවන්නෙ පලිගන්නේ ඇයි
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් 
මට මාගෙ ඇස් දෙක වගෙයි

ඔබෙ ගිනි නිවා ඇගේ සිත දවා
අප එක් වෙලා කුමටදෝ
වෙනසක් නොවී මගෙ හිස් අතින් 
පිසලන්නෙ කොයි කඳුල දෝ..

අසරන ඔබයි තනි වුනු ඇයයි
මට සාප කල යාවිදෝ 
ඔබේ ලොකයෙන් ඇගෙ ලොකයෙන් 
සමු ගන්න සිදු වේවිදෝ.."

පද රචනය : ප්‍රණීත් අබේසුන්දර
ගායනය සහ සංගීතය: සනත් නන්දසිරි






(Waradak Kalath Sithakin Nowe - Sanath Nandasiri)



ගීතයේ ස්වර ප්‍රස්ථාරය



පසුව ලියමි.

සනත් නන්දසිරි නම් වූ ප්‍රතිභාපූර්ණ ගායකයාණන් විසින් ගායනා කරන ලද ප්‍රණීත් අබේසුන්දරයන් ගේ පදරචනයක් වන අද දින ඔබ හමුවට ගෙන ආ මෙම ගීතය සහ ගී සංවේදනාව යුග කිහිපයක්ම අප කාගේත් දෙසවන් අතර රැව් දුන් මතකයෙන් ගිලිහී නොයන ඉතාම සොඳුරු ගීතයකි.

මෙහි ගේය පද රචකයාණන් වන ප්‍රණීත් අබේසුන්දරයන් පිළිබඳව මින් පෙර මා ඔබට ගෙන ආ ධම්මික බංඩාරයන්ගේ ගීත විචාරය තුලින් ද බොහෝ දේ කතා කලෙමු. ඒ ඔහු විසින් රචනා කරන ලද සෙනෙහසකට අරුතක් පුරවන්නට ගීතය තුලිනි.

කෙසේ වුවද මේ ගීතයේ එක්තරා විශේෂත්වයක් වන්නේ මෙම ගීතය තුන් කොන් ආදර කතාවක ගොඩට වැටුණු තවත් ගීතයක් වීමයි. නන්දා මාලිනී ගායනා කරන දුහුල් මලක් චිත්‍රපටයේ හමුවන රන් කෙන්දෙන් බැඳි ගීතය, දයාරත්න රණතුංගයන් ගායනා කරන සමකෝණි ත්‍රිකෝණයකි ගීතය, අමරා රණතුංගයන් ගායනා කරන සුලෝචනා ගීතය, වසන්තා තිලකාංගනී ගායනා කරන එපා තවත් ඔබ මා රවටන්නට ගීතය ,ආදී තුන්කොන් ආදර කතා අතරට මේ ගීතයද එකතු වී ඇත. එය එසේ වුවද එවැනි කතාවකින් පරිබාහිරවද මෙම ගීතය රසවිඳීමට කිසිදු බාධාවක් මට හමු නොවිණි. එනිසා තුන් කොන් ආදර කතාවක් වෙනුවට නැන්දම්මා, ලේලිය සහ පුතු අතර හටගන්නා තුන්කොන් ගැටුමක් ගීතය තුලින් මම දුටුවෙමි. එනිසා එය පාදක කොටගනිමින් ගීතය හරහා වෙනස් රසයක් ඔබට ලබා දීමට ගත් උත්සාහයක ප්‍රතිපලයක් ලෙස ඉහත කතාව නිර්මාණය විය. කතාවකින් ආවරණය කල ගීත විචාරයේ සාර්ථක බව හෝ අසාර්ථක බව තිරණය කිරීමට ඔබට බාරකරන්නෙමි.

මිනිස් ලෝකය ඇරඹුනු දා සිට පැවත එතැයි පැවසෙන නැන්දම්මා ලේලිය අතර ගැටුම, වෛරය නිසා අවුල් වූ ජීවිත ගතකරන සියලු අම්මලාගේත් ලේලිලාගේත්, පුතුන්ගේත් සිතට සාමය, සතුට, සහනය උදාවේවා..





ඡායාරූපය අන්තර්ජාලයෙනි.

විශේෂ ස්තූතිය : ගීතය සඳහා ස්වර ප්‍රස්ථාරයක් සොයා දුන් බ්ලොග් සහෘදයාට..




Thursday, June 12, 2014

•වෙල්ලස්සේ ගීතය

"ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ..."




"ආයුබෝවන්! වාසනාවන්! මේ ඔබ අමතන්නේ වෙල්ලස්ස සුරැකීමේ ජාතික සංවිධානයයි. කූඨ බහුජාතික විදේශීය සමාගම් වලට මේ පිං බිම විකිණීමට ඉඩ නොදෙමු. ඔබේත් අපේත් ශ්‍රේෂ්ඨ මුතුන් මිත්තන් සැතපී සිටින මේ ක්ෂේම භූමිය, මේ ඔසු උයන, මේ රන් බිම විනාශ කිරීමට ඉඩ නොදෙමු. ආදරණීය අම්මේ තාත්තේ, අයියේ අක්කේ, මල්ලියේ, නංගියේ, මේ ඔබේ දායකත්වය අත්‍යාවශ්‍යම මොහොතයි. ඔබේ ජීවිතයට වටිනාකමක් එක්කරගන්න. එන්න භූමිය ගලවා ගැනීමේ සටනට අප හා එක්වන්න..."

තුම්මං හන්දියේ තේ කඩය ඉදිරියෙන් ඇදී ගීය ඩෙලිකා වෑන් රථයේ බැඳි ලවුඩ්ස්පීකර් යුගලයේ මොර ගෑම කඩපිල තුල සිටි සියල්ලන්ගේම අවධානය දිනාගැනීමට සමත් විය. බොමින් සිටි කහට වීදුරුවද අතින් ගෙන කිහිපදෙනෙක්ම කඩපිලෙන් බැස පාරට විත් ගුරු පාර දිගේ ඈතට ඇදී යන වෑන් රථය දෙස දුහුවිලි වලාව තුලින් බලා සිටියහ.

"නිකං කාල ගෙවල් වලට වෙලා ඉන්නෙවුන්ගෙ තෙල බහින්නත් මොකක් හරි තියෙන්නෙපැයි. කාලකණ්නි. මුං හිතන් ඉන්නෙ අකුරක් දෙකක් ලියාගන්න පුලුවන් වෙලා ඉහ ළඟට කර ආවම මුං තමයි කෙරුමො කියල. යකෝ, රටේ වෙනදේවල් වලට හොට දාලා එව්වා පාලනේ කොරන්න මේ පැඟිරන්ට පුලුවන්ද. එහෙනම් ඉතින් ඡන්ද තියල මිනිස්සු පාර්ලිමේන්තු යවන්නෝනි නෑනෙ. ඒ මහතැන්ලා ඉන්නෙ ඕව තීරණේ කොරල රට පාලනේ කරන්න තමයි. මුං මොක්කුන්ද?"

අවසන් කහට උගුරද බී මණ්ඩි ටික අහකට විසිකල ගුණසෝම අසෝක වීදුරුව වේගයෙන් මේසය මත තබා, සරමද කැහැපට ගසමින් පිලෙන් පාරට ගියේ නොපෙනී යමින් තිබූ වෑන් රථය දෙස මරුමුස් බැල්මක් හෙලමින් කාරා කෙළ ගසමිනි.

"මුංට තියෙන රුදාව මොකක්ද කියල මට තේරෙනවා. ඊයෙ හවස මැම්බර් මහත්තයා පංසලේදී කියනව මං අහගෙන. ඔය දාන්න යන සුගර් කොම්පැණි‍ය දැම්මොත් මේ ගමේ විතරක් නෙවෙය්, අහල ගං හත අටකම ඉන්න එවුන්ට රස්සා හම්බෙනවලු. මහත්තයා කිව්ව ගමේ ගමේ ඔහේ රස්තියාදුවෙවී ඉන්න කොල්ලොන්ට හොඳ කලක් යයි කියල.

 හොඳට බලහල්ල, ඔය විරුද්ධ ව්‍යාපාරෙ ඉන්නෙ ඔක්කොම අර විස්ස විද්දාලෙ ගිය එවුනුයි, ඉගෙන ගන්න එවුනුයි. මේකයි බොලවු ඇත්ත, ඔය හැත්ත කැමති නෑ, ගමේ අපි වගේ වේලි වේලි ඉන්න එවුන්ට රස්සාවක් හම්බෙනවට. මොක්ද ඕකුන් රට රාජ්ජ වල ගිහින් උපාධි අරං ආවට මොකෝ තාම උන්ට හරිහමං රස්සාවක් තියෙනෙ එකක්යැ. 

ඕකෙ පුරෝගාමියා වෙලා ඉන්නෙ අර පැන්සොන් ගිය රත්නපාල ඉස්කෝලෙ මහත්තයගෙ පුතණ්ඩිය එහෙමනේ. ඕකුං විස්ස විද්දාලෙ ඉන්න කාලෙ ඉඳන් කොලේ ඔව්වගේ වැඩ. අන්තිමේ රත්නායක මහත්තයාගෙ සේසතම ඉවරවෙනකල් අවුරුදු ගානක් තැපල තැපල උපාදිය ගත්තලු. ඒ ගත්තට මොකෝ තාම රස්සාවක් නෑ. ඉතින් උන්ගෙ ඇස්වල කටු ඇමිණෙනව වගේ මේ කොම්පැණිය දාල අපිටත් රස්සා හම්බෙනකොට. උන් පරතෙරටම ඉගනගෙනත් නිකමො වගේ ගෙවල් වලනෙ. ඔන්න ඕකයි හේතුව."

"අනේ ඇත්තට මෙහෙමත් එව්වා. අපිටනම් තේරෙන්නෙ නෑ. අනේ මුදලාලි මට ඔය සබන් බාගෙයි, සීනි සීයයි දුන්නනම්." කඩයට පැමිණි මැගිලින් කීවාය.

"අනේ මංද බොලවු. කොහොම උනත් මට තේරෙන හැටියටනම් රතනසීලී උන්නාන්සෙත් ඔය කොරන්න හදන වැඩේට ඒ හැටි මනාපයක් නෑ වගේ. ඊයේ උන්නාන්සේ පංසලේදී කොල කතාබහ එච්චර පැහැදීමකින් නෙවෙයි කලේ. "

මේ අතර මේ සියලු කතාබස් වලට නිහඬව ඉවසීමෙන් කන්දුන් අයෙකු විය. ඉතාම සංසුන්ව තේ වීදුරුවක් තොලගාමින් ලංකාදීපෙ පත්තරේට දෑස් යොමුකර සිටි ඔහුගේ සවන් නම් යොමුව තිබුනේ මේ කී කතා වලට බව මුහුණේ වූ ඉරියව් වලින් පෙනී ගියේය. සියල්ලෝම නිහඬ වූ පසු ඔහු තම හඬ අවදිකලේය.

"මාමෙ, මං උඹලට ඕකෙ ඇත්තම කතාව කියන්නම්. උඹලැට ඕක ගැන හරි අවබෝධයක් නැති හැඩයි. ඔය කරන්න හදන්නෙ මේ වෙල්ලස්සෙන් අක්කර සිය ගානක් එළිපෙහෙලි කරල ලොකු උක් වගාවක් දානෙක. ඔය එන්නෙ එංගලන්තෙ සුද්දන්ගෙ කොම්පැණියක්ලු. උන්ගෙ වගාවට උන් ඉල්ලලා තියෙන්නෙ මේ ඉසව්වටම තියෙන වටිනාම ඉඩං ටිකලු. කෙටියෙන්ම කියනවානම් රක්ෂිත ටික. ආයෙ උඹලට මං අමුතුවෙන් කියන්නෝනි නෑනෙ ඕවයෙ වටිනාකම ගැන. අපේ වෙද මහත්තයා මෙතන උන්නනම් කියාදෙයි."

"ඇත්තටම ඌවෙ තියෙන සාරවත්ම භූමිය තම්යි උන් ඉල්ලන්නෙ. අපේ හුලංදා ඔය, මාදුරු ඔය, හෑපොල ඔය, එතකොට ලෝකෙ හොඳම අවුසද උයනක් වෙච්ච නිල්ගල කෑලෑව, එවුන් ඉල්ලනවලු. නිකමට හිතහල්ලා, ඇත්තටම ඕක උනොත් ඔය තියෙන සේරම ගස් කපා දාල කැලෑව එළිකරනවා. ඊළඟට ඩෝසර් ගෙනත් මුලු බිමම සමතලා කරල ඒකෙ උක් හිටවයි. උන් අවුරුදු තිහ හතලිහක් ඕකෙන් උන්ගෙ රටට හම්බ කොරල දෙයි. ඊළඟට මේ බිම නිසරු උනාම උන් යන්න යයි. ඔන්න ඔතනින් පස්සෙ තමයි මේ අපිට තරු පේන්න පටන්ගන්නෙ. මේ බිමම කාන්තාරයක් වෙලා තියෙයි."

"අත්බේතකට බිං කොහොඹ පැලයක්කත් හොයාගන්න කැලෑ රොදක් අපිට නැතිවෙයි. ලෝකෙටම උනත් වතුර දෙන්න පුලුවන් අපේ හෑපොල ඔය, හුලංදා ඔය හිඳිල යයි. අපේ කුඹුරු අක්කර දාස් ගනන් අස්සද්දන මාදුරු ඔය ගොඩවෙලා යයි. සොච්චමට කඹුරල අපිත් කොහොමහරි ජීවත් වෙලා නමවත් දන්නැති ලෙඩකින් මැරිල යයි. හැබැයි මේකෙ කරුමෙ ගෙවන්න වෙන්නෙ අපිට නෙවෙයි, අපෙන් පස්සෙ උපදින පරම්පරාවට. උන්ට බොන්න වතුර ඩිංගක් නැතිවෙයි. පුරන් වෙච්ච කුඹුරු යාය නිසා උන්ට කන්න දේකුත් නැතිවෙයි. සුද්දා සාරය උරාබීල හපේ ඉතුරු කරල පැට්ටේරියත් වහල දාල උගේ රටට යයි. අපේ එවුන් මේ පොළොවෙ නන්නත්තාර වෙයි. අනික ඩිංගිත්තක් හිතපල්ලා. මේ බිම අපේ මුතුන්මිත්තන් පණ කෙන්ද දෙවනියට දාල රැකගත්ත බිම. උන්ගෙ ලේ කඳුලක් නොගලපු තැනක් මේ බිමේ නැතිව ඇති."

"අපේ හෑපොල ඔය, හුලංදා ඔය පණ ගැහිල ගලන්නෙ ඒ ලේ වලින් පෝසනය ලබලා. උඹලට මක්කැටයි අමුතුවෙන් කියන්නෙ. අපි හැමෝගෙම සීයලාගෙ සීයල, තමයි 1818 සුද්දට විරුද්දව මුල්ම සටන මේ වෙල්ලස්සෙන් ඇරඹුවේ. සිංහල දේසෙටම එච්චර කොන්දක් තිබිච්ච උන් මේ වෙල්ලස්සෙ විතරයි හිටියෙ. ඒ කාලෙ මේක උයනක්ලු. ලංකාවෙ සශ්‍රීකම බිමලු. කොටින්ම ලංකාවෙ හදවත් උනේ මේ ඌව. එදා බ්‍රවුන්රිග් ආණ්ඩුකාරය මෙහෙට ඇවිත් කිව්වලු මේක ආදම්ගෙ පළතුරු උයන කියල. මුං හටන්කොරන්නෙ මේ බිමේ හැදෙන ඒවා කාපු හයියෙන් කියල කීවලු. ඊළඟට මාසල්ලෝ දාලා නියෝග කලාලු මුලු බිමේම තියෙන සේරම වගාබිම් ගිනිතියල විනාසකරල දාන්න. ගෙඩි හැදෙන හැම ගහක්ම කපල දැම්මලු. ඒ විතරක් නෙවෙයි, අවුරුදු 16ට වැඩි හැම කොල්ලෙක්ම මරාදාන්න නියෝග කරාලු. මේව ඉතින් මං කියන්නෝනි යෑ. ඔක්කෙ ඉන්න ළදරුවා පවා මේ වෙල්ලස්සෙ ඔය කතන්දරේ දන්නවනේ."

"අන්න එහෙවු සුද්දා තමා අයෙත් මේ වෙල්ලස්සට පයගහන්න හදන්නෙ. මේ අවුරුදු 160ක් විතර ගෙවිල ගියත් සුද්දට මේ බිමේ රහ තාම මතක තියෙන හැඩයි. එදා උන් බලහත්කාරෙන් අපිව විනාසකරල දැම්මා. අපේ පිං බිම සුන්නද්දූලි කරා. අද උන බොහොම අහිංසක විදියට ඇවිත් අපිව ගොනාට අන්දල ආයෙමත් ඒක කරන්නයි මේ හදන්නෙ. ඔන්න ඔය ටික තේරුම් ගනිල්ලා. ඕකයි ඇත්තම කතාව."

"ඈ බං උක්කුවො. උඹ ඔය කියනකල් අපිට හාන්කවිසියක්වත් ඔව්ව ගැන වගක් උනේ නෑනෙ බොල. අම්මපල් උඹල ඔය කියන කතාව සහතික ඇත්ත බං." රුවිතං මුදලාලි හඬ අවධි කලේ ඔහු කතාව නිමකල පසුයි.

"ඉස්සෙල්ලා ලේ කෝප කරගෙන පුප්පව්වට මොකෝ උඹ ඔය කිව්වට පස්සෙ මටත් හිතෙනවා බං මං හිතපු විදිය වැරදියි කියල." කලින් අවස්ථාවේ මේ සම්බන්ධව දරුණු විවේචනයක් කල ගුණසෝම කරුණු කාරණා තේරුම් ගෙන ඇති සැටියකි.

"ඈ බං උක්කු මලේ උඹලට කවුරු ඔය කරුණු කාරණා තේරුම් බේරුම් කරල දුන්නේ?"

"කවුරුත් ඕවල අග මුල මට කියාදුන්නෑ බං. උඹම දැන් ටික්කට ඉස්සෙල්ලා අර ගරහපු අද්දියාපනේ මාත් ලැබුවා නමේ වසරට යනකල්. ඉතින් ඒ පිහිටෙන් ඕවා මට කවුරුවත් කියාදෙන්නෝනි නෑ බං. කරුණු කාරණා, දකිනකොට අහනකොට වෙන්නෙ මේකයි කියල හිතාගන්න පුලුවන්."

"අනිත් එක තමයි, ඉස්සෙල්ලා උඹ කිව්ව වගේ අපේ ගමේ ඉන්න ඔය උපාධි කාරයින්ට ඔව්ව උඹලට අපිට වඩා හොඳ හැටි තේරෙනවා බං. ඒකයි උන්ට ඔය ගැන ඔච්චර කැක්කුම. අනික උඹ කිව්වට උන් රස්සා නැති නිසා මේකට ඉරිසියාව කියල මං අහගෙන ඊයෙ මැම්බර් කාරයා කියනවා අපේ ගමේ ඉන්න ඔය දැන උගත් උන් ටිකලු ඕකුන් මුලින්ම අල්ල ගන්න හැදුවා කියන්නෙ. පැට්ටේරියේ මැනේජර්ලට, සුපවයිසරලට උන්ව ගන්නලු පැලෑන් කරල තියෙන්නෙ මුලින්."

"ඒ නිසා මේ වෙලාවෙ අපි කරන්නෝනි උන්ට ගරහල උන්ට වල කපල අපිත් ඒ වලේම වැටිලා විනාස වෙලා යනේක නෙවෙයි. අපිටත් පුලු පුලුවන් විදියෙ සහයෝගයක් මේ සටනට දීල මේ වෙන්න යන විනාසෙන් මේ අපේ අම්මා වගේ වෙල්ලස්ස බේරගන්නෙකයි."

"හ්ම්..හ්ම්.. දැනුයි අපිටත් කරුණු කාරණා හරියටම තේරුණේ. අම්මප අපි අන්ධ වෙලානෙ බ්ලොවු ඉඳල තියෙන්නෙ." ගුණසෝම නව පණක් ලද්දකු මෙන් පැවසීය.

"අන්ධවෙලා නොවෙයි බොලවු, අපිව අන්ධ කොරලයි තිබුනෙ. ගමේ එවුන්ගෙ විරෝධෙ පටන්ගන්නකොටම මතක නැත්ද බොලාට ........ඇමති තුමා ගමට ඇවිත් කීව දේවල්. එව්වා අපිත් හිස් මුදුනින් පිළිගත්ත නොවැ. උන්ද අපිට සුරපුරයක්නෙ බොලවු මවල  පෙන්නුවේ." සියල්ල අසා සිටි තවෙකෙකු කීය.

"සුරපුරේ මැවෙයි ඇමති තුමාට. ඔය සමාගං වලින් ඕවට කෝටි ගනන් දෙනව ඔය මැති ඇමති ගොල්ලන්ට. ඒකයි උන්නැහැලගේ ඔච්චර අනුකම්පාව. අනික අපේ ගම් වලට හෙන ගැහිල ගියත් ඒ උදවියට කමක් නෑ. ඒ උදවිය කොළඹ රටට වෙලා හොඳ යහතින් වැජඹෙනවා." උක්කුවා යළිත් කීවේය.

"එහෙනම් ඉතින් බොලාලත් දැන් ඔය දාං ඇදිල්ල නතර කොරල, කඩේ ළඟ බොරුවට ටැග් ගැහි ගැහි ඉන්නැතුං පාරට තොටට බැහැපල්ලා. ගමේ අනාගතේ දැන් තියෙන්නෙ තරුණ උඹලයෙ අතේ."  කියමින් මැගිලින් කඩෙන් පාරට බැස නිවස දෙසට ගියාය.


*****************************************************


"අම්මේ...අම්මේ..."


"මොකෝ බං බෙරිහං දෙන්නේ? උඹ අද හොඳටෝම පරක්කුයි. තව ඩිංගක් බලල මං උඹව හොයන්න සීටියවත් යවන්නයි හැදුවෙ." පාසැල් ගොස් පැමිණි පොඩ්ඩාගේ හඬ ඇසුණු මැගිලින් එසේ පවසමින් මුලුතැන් ගෙයි සිට සාලය පැමිණියේය.

"අම්මේ.. අද මාර වැඩක් උනානෙ."

"මාර වැඩ තමයි වෙන්නෙ බං මේ දවස් වල ගමේ. ඉතිං කියහංකො මොකෑ උනේ?"

"ඔන්න අම්මෙ අද අපි ඉස්කෝලෙ ඇරිල ආව. වෙන්ද වගේම අපිට ටිකක් ඉස්සරහින් ආවෙ අපේ රත්න සර්. අම්මට මතකයි නේද අර අලුතින් ආව සර්. ඉතින් අපිත් ඒ පිටිපස්සෙන් තමයි ආවෙ. සර් කච්චේරිය ළඟින්නෙ බෝඩිමට යන්නෙ. ඉතින් අද කච්චේරිය ළඟට එනකොට එතන ලොකූ උද්ගෝසනයක්. අපේ ගමේ මාමලා නැන්දලා ගොඩක් හිටියා. සුගත් අයියත් හිටියා. අපේ රත්න සර් අපිත් එක්ක එතන ටිකක් නැවතිලා බලං හිටියා. උද්ගෝසනේ කරපු අය එක එක දේවල් කිය කිය කෑ ගැහුවා. බෝඩ් ලෑලි උස්සගෙන හිටියෙ. ඒවලත් එක එක ජාති ලියල තිබ්බා."

"සමහර ඒවල ලියල තිබ්බ ඒව මටත් මතක හිටියා. එකක ලියල තිබ්බා "අපේ මුතුන්මිත්තන්ගේ ඇටකටු වැළලිලා තියෙන බිම සුද්දන්ට නොදෙවු!" කියල. "

"ඇත්ත පුතේ ඇත්ත. උඹලගේ අනාගතේ වෙනුවෙන් තමයි ඉතින් ඔය කෑමොර දෙන්නෙ. උන් ඔය ඉඩං ටික උක් වවන්න ඕකුන්ට දුන්නොත් ඉතින් අපට මළගම තමයි ඉතිරිවෙන්නෙ. ඒක නෙවෙයි, ඉතින් ඊටපස්සෙ මොකද්දෑ ඔය උනයි කිව්ව මාර වැඩේ?"

"කොහොමහරි අම්මෙ රත්න සර් ඊළඟ කරපු දේනෙ වැඩේ."

"මේකයි අම්මෙ උනේ, මේක දිහා ටිකක් වෙලා බලං උන්නු සර් ඊළඟට මහ පුදුම වැඩක් කලානේ. සර් අපිට කිව්ව ගෙදර යන්න කියලා. ඊළඟට සරුත් ගිහින් ඒ මිනිස්සු අතරෙම වාඩි උනා. සරුත් උද්ගෝසනේ කරන්න පටන්ගත්තනේ." පොඩි එකා ඇස් ලොකු කරමින් කීවේය.

"හැබෑමද පුතේ? රත්න සර් කොහොමත් මිනිස්සුන්ට හරි ආදරෙයිනෙ. මේ ගමේ සමහරක්ට නැති කැක්කුමක් ඒ ඉස්කෝලෙ මහත්තයාට මේ ගම ගැන තියෙනවා. අනේ වාසනාවන්. ඒ මහත්තයාත් ඕකෙ පෙරමුණ ගත්ත කියන්නෙ අපිට හොඳ විසඳුමක් ලැබෙයි."

"හා.හා.. එහෙනම් දැං උඹත් කාලා ඉඳින්. අන්න බත් බෙදල තියෙනවා අඩි වළඳේ. මූණ සෝදගෙන ඇවිත් කාපං."


*****************************************************

වසර දෙකහමාරකට පසු

උක් දඬු පුරවාගත් විශාල ට්‍රැක්ටර් තුනක් එක පෙළට තුංමං හන්දියේ කඩේ ඉස්සරහින් ඇදී ගියේය. ට්‍රැක්ටර් වල වූ උක් දඬු ගොඩං මත වාඩි වී උන් ගමේ කිහිප දෙනා කඩපිලේ සිටිය උනට අත වනා ගියෝය. දුහුවිලි අවුස්සමින් ගුරුපාරේ පහළට ගමන් ගත් ට්‍රැක්ටර් පෙළ දෙස කඩපිලේ උන් අය ඔහේ බලා සිටියහ. අමුත්තක් නොවෙයි. මාස ගානක සිට ගමට මේවා සුපුරුදු දර්ශණයන්ය.

"අන්තිමේදී අපේ සටන පැරදුනා නේද බොලං."

දිගු සුසුමක් හෙලූ උක්කුවා දුක් මුසුව බලා උන්නේය.



"ටැට්ටරයක් දකින හැම වෙලේම උඹ ඔහොම හූල්ලනව. දැන් ඕක නතර කරගනින් බං. අපි කොච්චර සන්තාප උනත් වෙච්ච දේ උනා. උන් උන්ගෙ වැඩේ කරගත්තා. හතර අතට ණයවෙලා උන්නු අපේම උන් උන් එක්ක එකතුවෙලා පැට්ටේරියේම වැඩට ගියා." මුදලාලි කීය.

"ගමේ එවුන්ගෙ දොසක් නෑ මාමෙ. උන් හරි අසරණයි. එල්ලෙන්න පිදුරු ගහක් හරි හම්බෙනකල් බලං උන්නු උන් පැට්ටේරියේ සොච්චමට රැවටුනා. එවුන් අපේ එවුන්ගෙ දුප්පත් කම දඩමීම කරගත්තා."

"ඒක තමයි බං උනේ උක්කුවෝ. ඒත් අපි කරපු දේවල් වල පොරෝජන නැතුවාම නෙවෙයි. මතකයිනෙ උඹලට, උන්ට දෙන්න තීන්දු කරපු බිමෙං දෙකෙන් පංගුවයිනෙ දුන්නෙ. එදා කච්චේරිය ළඟ අපි කොරපු උද්ගෝසනෙන් පස්සෙ ඔය ලොකු ලොක්කො ඔක්කොම එකතුවෙලා නෙව ඔය තීරණේ ගත්තෙ. අපේ මාන්සියේ පරතිපල ලැබුනා. ඒකෙන් නොවැ රක්ශිතේ ඔය තරමින් හරි බේරුණේ."  බුලත් කෙල පීරක් විද්ද බණ්ඩා මාමා කීය.

"ඕන්න.. උද්ගෝසනේ කීවම මතක් උනේ. මං මේක උඹලට කියන්නමයි උන්නෙ. උඹලට මතකයි නෙව එදා උද්ගෝසනේ දවසෙ ඉස්කොලෙ ඇරිල යමින් උන්නු අපේ රත්න ඉස්කෝලෙ මහත්තයා අපිත් එක්ක එකට වාඩිවෙච්ච විදිය?"

උක්කුවා යළි හඬ අවදි කලේය.

"ඒක කොහොම අමතක වෙන්නද බොල. ඒ උත්තමයා එතන එදා එහෙම වාඩිවෙච්ච එක අපිට කොච්චර හයියක් උනාද. උන්නැහේ ආවයි පස්සෙනෙ කච්චේරියෙ මහතැන්ලා පවා එළියටවත් බැස්සේ. අනේ වාසනාවන්, එහෙමත් ඉස්කෝල මහතැන්ලා දකින්නත් අපි වාසනා කොලා බං." එකෙකු කීය.

"අපේ මහත්තයා එතනින් නැවතිලා නෑ නොවැ. මහත්තයාට මේ සිද්ධිය තදින්ම හදවතට දැනිලා. ඉතින් මහත්තයා කවි කාරයා නොවැ. පස්සෙ ඉස්කෝල මහත්තය මේ අවනඩුව ගැන සිංදුවක් ලියල බොලවු."

"නෑ..??"

"නෑ නොවෙයි බොලවු. ලියල. මං දෙතුන් විඩක් සුදේසීය සේවෙන් ඕක ඇහුවා. මේ දවස් වල නිතරෝම දවසට දෙතුන් වතාවක් යනවා ඕක. හරි ජනප්‍රියයි. දන්නවද සිංදුව කියන්නෙ කවුද කියල. අපේ කපුගේ මහත්තයා."

"යකඩෝ.. ඉස්කෝලෙ මහත්තයාට මල් තියල වඳින්නෙපැයි බං. කපුගේ කොලුව කියනව නම් ආයෙ ඉතින් දෙකක් නෑ මල් හතට ඇති. ඒ කොලුව මේ පුංචි දුප්පත් මිනිහ වෙච්ච අපි ගැනමනෙ සිංදු කියන්නෙ." මුදලාලි පැවසීය.

"කෝ හිටහල්ල දැං වෙලාව කීයද? ආ දෙකට පහයි නේද. මාමෙ විගහට රේඩියෝ එක දාහං. හවස දෙකට යනව සිංදු වැඩසටහනක්. මේ දවස් ටිකේම ඔය සිංදුව ගියා ඒකෙ. අදත් ඉන්තේරුවෙන්ම යයි."

උක්කුවා එසේ පැවසීමත් සමඟ මුදලාලි වීදුරු ෂෝ කේසය උඩ වූ යුනික් රේඩියෝව මේසෙ මතට ගෙන සුදේසීය සේවයට කැරකුවේය.

"හොඳයි දයාබර රසික රසිකාවියනි වෙලාව දෙක පසු වී මිනිත්තු දෙකක් වූ තැන ඔබ මේ එකතු වී සිටින්නේ ශ්‍රී ලංකා ස්ව්දේශීය සේවය ඔබට ගෙන එන කැණිමඬල ගීතමය වැඩසටහන සමඟයි. එසේනම් පළමු ගීය ලෙස....."

කවදත් ගැමියන් ප්‍රියකල නිවේදිකාවගේ හඬ ගුවන් විදුලියෙන් ගලා ආවේය. කඩය තුල සියල්ලෝම බලා සිටියේ තමන්ගේ ගීතය ඇසෙන තුරුය.

"කෝ බං තවම නෑනෙ?"

"ඉවසල ඉඳහං. අපේ හදිසියට යන්නෑ"

"පුරා පැය දෙකක් අප ඔබ සමඟ මෙම සුන්දර සැඳෑව ගතකිරීමට සූදානමින් සිටින මේ මොහොතේ, මීළඟට ඔබවෙත ගෙන එන්නේ මෑත කාලයේ ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් එක් සුවිශේෂි සිදුවීමක් පාදක කොටගනිමින් ලියැවුනු ගීතයකි. සිදුවූ ව්‍යසනයේ හෝ භාග්‍යයයෙහි අභ්‍යන්තරය පිළිබඳව...."

"ඔන්න ඔන්න. සින්දුව යන්නයි යන්නෙ. කටවල් වහගෙන අහං ඉඳපියවු"

උක්කුවාගේ තර්ජනය හමුවේ සියල්ලෝම තම දෙසවන් රේඩියෝවට යොමුකලෝය.

"ගීතයේ රචනය රත්න ශ්‍රී විජේසිංහයන්. ගායනය ගුණදාස කපුගේ..මේ වෙල්ලස්සේ ගීතයයි.."


"බිම්බරක් සෙනග ගැවසුන
චන්ද්‍ර සූරයා ඉපදුන
ස්වර්ණ භූමියේ මනරම්
මාළිගාව කෝ...

යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වට කලේ මනරම්
මාළිඟාව ‍දෝ මාළිගාව දෝ..

ට්‍රැක්ටරේ යකඩ ගජසෙන්
කුංචනාදයෙන් ඇලලුන
වෘක්ෂ දේවතාවන් බිම
වැටී පණ ගසයි

මිණී මල් පිපුණු සීතල
නිම්න භූමියේ ඇටකටු
හතර රියන් කඩ අහිමිව
විලාපය නඟයි...

කැලෑ මල් පිපී රතුතොල්
වලින් කෑ ගසා ඉල්ලන
ජාතියේ නිදානයෙ රන්
රුවන් කරඬු කොයි

වෑ කන්ද කඩා බිම් කටු
කම්බියෙන් බෙදා වෙන්කල
බිමේ හිස ගසා දමනා
කඩුව බිම දමව් කඩුව බිම දමව්..."


ගීතය අවසාන වන තෙක් මීයට පිම්බාක් මෙන් නිහඬව සිටිමින් සවන් දුන් කඩ පිලේ සිටි සියල්ලන්ට නැවත සිහි එළවා ගැනීමට ගීතය අවසන් වී තවත් සුලු මොහොතක් ගතවිය.

"ඔන්න ඕකයි සිංදුව. කොහොමද. අපිට වචන කෝටියකින්වත් කියාගන්න බැරුව තිබුන අපිට වෙච්ච අරියාදුව හරි අපූරුවට කියල තියෙන විදිය."

"ඒකනම් හරියටම හරි උක්කුවෝ. කියල වැඩක් නෑ. අහනකොට කඳුලු පිරෙනවා මගේ ඇස්වලට"

"සිංදුවනම් පංකාදුයි ඒත් සමහර තැන් තේරුනේ නෑ බොලං. අනේ උක්කුවෝ උඹැලට ඕවයෙ හොඳ දැනුම් තේරුම් තියෙනවා නොවැ. ඉතින් ඕකෙ සුද්ද තේරුම අපේ බාසාවෙන්ම කියහංකො." අයෙකු ඉල්ලීය.

"හොඳයි එහෙනම් අහගනිල්ලකො. මාමෙ ඔය කහට එකක් වක්කොරානම්"

උක්කුවා දිගු කතාවකට මුලපිරුවේය.

"දැන් ඔය කියන්නෙ මෙන්න මෙහෙමනේ. බිමට බරවෙන්න තරම් මිනිස්සු කන්දරාවක් ඉන්න, ඉර හඳ ලෝකෙට බිහි කරපු මේ රත්තරං බිමේ තිබුනු මාලිගාව කොහෙද කියලයි ඉස්සරෝම අහන්නෙ. ඒ කියන්නෙ මේ බිමේ තිබ්බ පිංසාර බවනොවෑ. ඉර හඳ බිහිකොලා කියන්නෙ රටටම මේ බිම සම්පතක් උනා කියලනේ."

"ඔන්න ඊළඟට කියන්නෙ සුද්දො එතරින් යුද්දෙකට ආව බව. සත් මුහුදු මතින් ගුවනින් කියන්නෙ ඒකයි."

"උන් ඇවිත් මේ සුවර්ණ බිම කටු කම්බි ගහල අල්ල ගත්ත කියලයි ඔය කියන්නෙ."

"ඊළඟට කියන්නෙ මහා සද්දන්ත යන්තර සූත්තර ගෙනල්ල අපේ බිමේ තිබ්බ ගස් කොලන් බිමට සමතලා කොරපු විදියයි.  අලිංගේ කුංචනාද වගේ වෙච්ච ඒ ටැට්ටර වල සද්දෙට ගහකොලත් බය උනාලු."

"ඒ විතරක් නෙවෙයි බොලවු. උඹලට මතකයි නෙව මං එදා කිව්වා මේ පිං බිම යට වැළලිලා ඉන්නෙ මේ බිම අපට බේරල දෙන්න හටන් කොරපු අපේ මුතුන් මිත්තන් කියල. ඊළඟට කියන්නෙ අපේ ඒ මුතුන් මිත්තන් උන් නිදා උන්නු හතර රියන පවා අහිමිවෙලා අඬාවැටෙනවා කියලයි. අපේ මුතුන්මිත්තන් ජීවිත පූජා කරල මේ බිම අපිට උරුම කරල දුන්නට, අපෙන් පස්සෙ පරම්පරාවට මේ බිම උරුම කරල දෙන්න අපිට බැරිවුනා බොලවු. අපි ලැජ්ජා වෙන්නෝනි. උන් කවදා හරි උන්ගෙ මුතුන් මිත්තන් වෙච්ච අපිට සාප කොරයි. ඒ විතරක් නෙවෙයි. මේ වැළලිලා ඉන්න ආත්මයනුත් අපිට සාප කරයි අපි මේ බිම බේර නොගත්තට."

උක්කුවා ආවේගශීලීව කතාකරන විට බණ්ඩා මාමා හොර රහසින්ම නෙතඟට නැඟි කඳුලු බිඳක් පිසදාලනු කිසිවෙකුම නොදුටුවෝය.

"ඊළඟට කියන්නෙත් අපේ ඉදිරි පරපුර ගැනමයි. උන් උන්ගේ උරුමය කොහෙද කිය කිය කෑ ගගහ හොයයි. ඒත් ඒ රන් රුවන් කරඬුවක් වගේ වෙච්ච පිං බිම ඒ වෙනකොට මිහි මතින් අතුගෑවිලා තියෙයි."

"අන්තිමට හැබැයි පුංචි බලාපොරොත්තුවක් ඉතිරි කරනවා. ඒ විතරක් නෙවෙයි, අපේ වගකීම තවම ඉවර නැතිබව කියනවා. අපි තවම පරක්කු නෑ කියල කියනවා."

"කඩා බිඳ දැම්ම වෑ කන්දත්, කටු කම්බි ගහල අල්ල ගත්ත භූමියත්, මේ සේරම විනාස කොරපු මේ වෙල්ලස්සෙ හිස සිඳල දාපු මේ කඩුව බිම දාපල්ලා කියන තර්ජනයෙනුයි සිංදුව ඉවරවෙන්නෙ."

"ඒ කියන්නෙ සටන ඉවර නෑ කියනෙකයි. මේ ගොදුරු බිම අතෑරල පලයල්ලා කියලයි කියන්නෙ."

"ඒනිසා බොලවු අපේ උත්සාහය, සටන අපි කවදාවත් අත්තරින්න නාකයි."

"ඒ විතරක් නෙවෙයි, කපුගේ මහත්තය මේ සින්දුවට සපයපු සංගීතෙත් අරුමයක් තියෙනවා. සටන් ගීත නාද රටාවටයි තනුව හදල තියෙන්නෙ. අනික තමයි උඹල අහල දැකල තියෙනවා නේද පහත රට සාන්ති කර්ම වලදි යක්කු එලවන්න නාද කොරන යක්බෙරේ. ආන්න ඒ යක් බෙරේ නාදය මේ සිංදුවට අරං තියෙනවා. ඒකියන්නෙ රත්න ඉස්කෝලෙ මහත්තයා මේ කියපු කතාව ඇරුනාම කපුගේ මහත්තයා මේ පරදේසක්කාරයෝ යක්කුන්ට සමාන කොරල උන් එලවන යක් බෙර වාදනේ තමා මේ පාවිච්චි කොරල තියෙන්නෙ. මුංට යන්න කියනෙක තමා මේ කියන්නෙ."



"ඔන්න ඕකයි බං මේ සිංදුවේ තේරුම. දැං කාට කාටත් වැටහෙන්න ඇති නොවෑ. ඇත්තටම අපේ යුතුකම වගකීම, අපේ සටන තාම ඉවර නෑ බොලවු. අපි සටන් කරමු. කොහොමහරි මේ හැත්ත එලවල දාල අපේ මුතුන් මිත්තන් අපිට උරුම කරල දුන්න මේ මාලිගාව අපෙන් පස්සෙ පරපුරටත් උරුම කරල දෙමු."

කතාව අහවර කල උක්කුවා හිස් කහට කෝප්පය පිල් කණ්ඩිය මත තබා නැගිට්ටේ නැවුම් බලාපොරොත්තුවක් සිත්හි දරාගෙනය. ඔහුට සවන් දෙමින් සිටි පිරිසද නැවුම් හුස්මකින් ළය පුරවා ගත්තේ තමන්ට ඉතිරිව ඇති රාජකාරිය ගැන යළි යළිත් මෙනෙහි කරමිනි.

තුංමං හන්දියට රාස්සිගේ අවුව වැටෙමින් තිබිණ. පැය කිහිපයකට පෙරාතුව ට්‍රැක්ටර් වල නැගී ෆැක්ටරියට උක් ගස් ප්‍රවාහනය කල පිරිස උක් පිහි සහ හිස බැඳි තුවා දෑතට ගෙන දැඩි වෙහෙසකාරී මුහුණින් යුතුව ගුරුපාර දිගේ පේලියට පැමිණෙමින් සිටියහ.











(Bimbarak Senaga / Wellasse Geethaya - Gunadasa Kapuge)



ගීතයේ ස්වර ප්‍රස්ථාරය



සියලු ඡායාරූප අන්තර්ජාලයෙනි.

විශේෂ ස්තූතිය : ගීතය සඳහා ස්වර ප්‍රස්ථාරයක් සොයා දුන් බ්ලොග් සහෘදයාට..