"නොකා නොබි දුක් වින්ඳ අතීතය යළි මට සිහිවෙනවා"
ඔව්..මං ඒ කතාව මෙතනින් පටන්ගන්නම්..මුල ඉඳලම..අතීතයෙන්ම... 1988-89 භීෂණයේ රුදුරු ගිනිදැල් රට පුරා ඇවිලෙද්දි ඒ ගින්නෙ උනුසුම සබරගමුවටත් හොඳ හැටියටම දැනුනා. මේ ගිනිදැල්ලෙ උනුසුමෙන් පිච්චිලා යන්න කලින් එක්තරා යුවලකට සිදුවුනා සීතල සබරගමුවෙන් ගිනිගහන වියළි කලාපෙට ජීවිතේ අරන් එන්න. අවසාන ප්‍රතිපලය විදියට මුලින් උදුරලා දාපු ලපටි පැලයකට සිද්ද උනා බිංතැන්නෙ දූවිලි පොලොවෙ කොහොමහරි පණ ගැටගහගන්න. මේ කතාව පටන්ගන්නෙ එතනින්...
නුවරින් ආව මහියංගනේ බස් එකෙන් 89 අවුරුද්දෙ උනුසුම් දවසක මේ යුවල මහියංගනේ දූවිලි පොලොවට පය තියනවා. අතේ තිබුන රුපියල් තුන්සීයයි දෙන්නගේ ඇඳුම් බෑග් එකයි විතරයි මේ යුවලගේ සන්තකේටම තිබුන එකම වත්කම. ආ.. තව දෙයක් තිබුනා. ඒ තමයි දෙන්න අතර තිබුන අසීමාන්තික සෙනෙහස ඒකට එකතු වුන ආත්ම ශක්තිය. හිතේ හයිය.. තරුණයට තිබුනා දෑතෙ රස්සාවක්. ඔහු අනර්ඝ පෑස්සුම් ශිල්පියෙක්. ඔන්න ඔය අඩුමකුඩුම ටික අරගෙනයි මේ දෙන්න බස් එකෙන් මේ නුහුරු උණුසුම් පුරවරයට පය ගහන්නෙ.
ඒ ආවේ එන්න කලින් කෝල් කරල ඉන්න හිටින්න තැන් ලෑස්තිකරල කෙලින්ම ගිහින් පදිංචි වෙන්න එහෙම බලාගෙන නෙවෙයි. මහියංගනේ කලුපාටද, සුදුපාටද කියලවත් දැනගෙන නෙවෙයි ඔවුන් ආවේ. ඒ ඒකාලෙ තිබ්බ සමාජ සබඳතා වල හැටි. වාසනාවකට මේ නන්නාදුනන නගරෙ මේ තරුණයාගෙ කල්‍යාණ මිත්‍රයෙක් හිටියෙ. ඒ සුනිල්. සුනිල් සහ මේ තරුණයා කාලයක් එකට මොණරාගල ගරාජයක රස්සාව කලා. එකට කෑවා බිව්වා, එක බූරු ඇඳේ නිදාගත්ත. මේ කියන සුනිල් කවුද කියල අදනම් මුලු රටම දන්නවා. ඒත් ඒ ගැන වැඩිය මොකුත් නොකියන්නේ මට මේ කතාව මෙහෙම කියන්න අවසර තිබුනට මගේ නොවන දේවල් කියන්න මට සදාචාරාත්මක අයිතියක් නැති නිසා.
ඒක අමතක කරමු. කොහොමහරි මේ යුවල යනවා මේ සුනිල්ව හම්බෙන්න ඔහු වැඩකරපු ගැරිජ් එකට. ඉතින් ඔහු මේ යුවල සාදරයෙන් පිළිගන්නවා. ඊටපස්සෙ එක්කන් යනවා මහියංගනේ පැරණිම සුප්‍රසිද්ධම සමනල හෝටලයට, තේ බොන්න. ඊළඟ ප්‍රශ්නෙ උනේ රෑට නවතින්නෙ කොහෙද කියන එක. ඒකටත් විසඳුමක් හම්බෙනවා. තරමක් දුරින් ඥාති වෙන නිවසක ඔවුන් රැය පහන් කරනවා. ඊළඟ දවසේ මේ තරුණයා රැකියාවක් හොයන්න පටන්ගන්නවා. තමන්ගේ දෑතෙ රස්සාවට, ප්‍රගුණ කරපු ශිල්ප සාස්තරේට ගැලපෙන රස්සාවක් හොයාගන්න ඔහු මහියංගනේ හැම ගැරිජ් එකකටම යනවා වැඩ ඉල්ලගෙන.
දවස් කිහිපයකට පසු ඔහුගේ උත්සාහය සාර්ථකවෙනවා. පාලං හන්දියේ අදටත් සුප්‍රසිද්ධ ගරාජ් එකක් වෙච්ච අසෝක මෝටර්ස් එකේ ඔහුට රැකියාවක් ලැබෙනවා පුහුණු වෑද්දුම් ශිල්පියෙකු ලෙස. ඒ, රුපියල් හැත්තෑපහක දෛනික වැටුපකට. රැකියාව ලැබුනට පස්සේ, ඔවුන් ඔවුන්ටම කියල කුලී නිවසක් හොයාගන්නවා. ඇත්තෙන්ම නිවසක් කිව්වට ඒක වහල දාපු දිග ශාලාවක් වගේ කඩ කාමරයක්. ඒ කාමරේ මුණින් අතට නවපු හයිය කාඩ්බෝඩ් පෙට්ටියක් ඔවුන් දෙන්නගේ මේස පොඩ්ඩ උනා. සීනි බෝතලේ, තේ කොල බෝතලේ, මිරිස්, තුනපහ බෝතලේ වගේ අවශ්‍යම ජාති ඒ පෙට්ටිය උඩ උනත් බොහෝම ලස්සනට පිළිවෙලට හිටියා. ඒ ළඟම බිමට දමාගත්ත කඩල දාපු කාඩ්බෝඩ් පෙට්ටිය මේ දෙපලගේ සුමුදු සිරි යහන උනා.
ජීවිතේ ගෙවුනෙ ඔහොම. ඇයට ඉතාම දයාබර සෙනෙහෙවන්තයකු ලැබිලා හිටියා. ඔහුට ඉතාම දයාබර මවක් වන් සෙනෙහෙවන්තියක ලැබිලා හිටියා. හම්බෙන සතයක් නෑර මේ කෙල්ලගේ අතට ගෙනත් දීපු මේ ලස්සන කොල්ලා නිකරුනේ වියදම් කලේ නෑ තඹ සතයක්. තනිකඩව ඉන්න කාලෙ මොණරාගල ටවුමේ පෙරලි පෙරලි යන්න තරම් හොඳට අඩි ගහපු මේ කොල්ලා, මේ ආදරණීය හදවත බලාගන්න පටන්ගත්ත දවසෙ ඉඳල මත් වතුර බිංදුවක්, දුම්වැටියක් තමන්ගෙ මුව අසලටවත් ගත්තෙ නෑ.
දුප්පත් කමේ පතුලෙම හිටිය මේ යුවලට අනාගතය සිහිනයක් වගේ උනා. ඒත් ගෙවෙන හැම තත්පරේකදිම ඔවුන් ඒ සිහිනය දුටුවා. හදවතින්ම ඒ හීනෙට තුරුල් උනා. වේලක් හැර වේලක් ඔවුන් කෑවෙ හෙට දවසෙ තුන් වේල කන්න. ඒකයි ඔවුන්ගේ ජීවන දර්ශණය උනේ. කෙල්ල පුංචි උනත් හිතේ උන්නු මහා ගැහැණිය, කළමණාකාරවරිය, කොල්ලගේ හැම දාඩිය බිංදුවක්ම මැණිකක් වගේ රැකගත්ත. කාටවත් කරදරයක් නොවුන මේ අහිංසක යුවල දවසින් දවස, දවසින් දවස හරි ලස්සනට ජීවිතේ ගලපගෙන ඉස්සරහට ගියා. ඔවුන්ට ප්‍රශ්න තිබුනෙ නෑ, තිබුනෙ එකම ප්‍රශ්නයයි. ඒ දුප්පත් කම.
ඒත් ආදරයෙන් පෝසත් වෙච්ච මේ යොවුන් ජීවිතයට අර දුප්පත්කම ප්‍රශ්නයක් උනේ නෑ. ඔන්න ඔහොම කාලය ගතවුනා. එක දවසක් මේ දෙන්නටම හරිම විශේෂ දවසක් උදාඋනා. ඔව්..ඇය...ඇය අම්මකෙනෙක් වෙලා. ඔහු තාත්තා කෙනෙක් වෙලා. දන්නෑ ඒ වෙලාවේ ඔවුන් වින්ද සතුටෙ ප්‍රමාණය කොච්චරක්ද කියලා. ඒ වගේම දන්නෙ නෑ ඔවුන් දෙදෙනා ඔවුන් දෙදෙනාගෙන්ම සඟවාගත් ඉදිරියට මුහුණ දීමට සිදුවන අන්ත දුෂ්කරතා පිලිබඳව සිහිවී නෙතඟ නැඟි කඳුලු කැටවල ගනකම කොච්චරද කියලත්.
හැබැයි ආදරේ තවත් ශක්තිමත් උනා. ජීවිතේට මුහුණ දෙන්න තිබුන ශක්තිය දෙගුණ තෙගුණ උනා. ඒත් මේ අහිංසකයගේ පඩිය නම් රුපියල් හැත්තෑපහම තමයි. ඒ හැත්තෑපහෙන් ඔහුට කරන්න කෝටියක් දේ තිබුනා. ඒත් පුලුවන් උනේ යන්තම් බඩගින්න නිවාගන්නෙක විතරයි. ඉස්සරනම් රෑට අල්ලට සීනි ටිකක් අරන් ක්‍රීම් කැකර් බිස්කට් එකක් පොඟව ගත්ත කහට කෝප්පෙනුත් අනන්තවත් රැයවල් හරිම සතුටින් පහන් කලා ඔවුන්. ඒත් දැන්?? ඇගේ කුසට හොඳ අහාර ඕනි. ඇයට හොඳ පෝෂණයක් ඕනි. ඒත් ඔහු අසරණ උනා මිසක් ඔහුට කරන්න හැකි දෙයක් තිබුනෙ නෑ.
සමහර දවසට බොස් ලඟ කොච්චර පිංසෙන්ඩු උනත් මේ තාත්තට දවසෙ පඩිය හම්බුනේ නෑ. ඒ වගේ දවස් වල වේල පිරිමහගන්නෙක ඔවුන්ට හරිම අමරු උනා. මේත් එහෙම දවසක්. ඔහු හිස් අතින්ම ගෙදර ආවා. කන්න තිබුන හාල් හුණ්ඩුව ලිපේ තියාගත්තෙ රෑටහරි ටිකක් හොඳට කන්න හිතාගෙන. දරුවෙකුත් ඉන්න අම්මගේ බඩට බත් ඩිංගක් වට්ටගන්න. ඔව්..රෑට නම් එහෙම කෑව. ඒත් හෙට උදේට?? සීනි ඩිංගකුයි තේ කොලයි ඇරුණාම වෙන කිසිම දෙයක් තිබ්බෙ නෑ. ඒත් වෙන කරන්න දේකුත් තිබ්බෙ නෑ. තම සොඳුරිය ගැන ඇතිවුන අසීමිත අනුකම්පාවෙන්, දරාගත නුහුනු වූ දුකින් පහුවදා උදේත් ඔහු ඇගේ නළලත සිප එළිබහින්නෙ කඳුලු ගුලි හංගගෙන.
දිනෙන් දින මෝරා වැඩෙන කුස ආදරයෙන් පිරිමදිමින් ඇය බලන් ඉන්නවා ඔහු නොපෙනී යනකල්ම. නොපෙනී යන්නට මොහොතකට පෙර නැවත වරක් හැරී බැලූ ඔහු ඇයට අතවනා අත පහල දමන්නේ තවත් වාවාගත නොහැකි කඳුලු බිංදුව අතින් පිසදමමිනි. හුදෙකලා කුටිය තුල ඇගේ තනියට උන්නෙ කුසේ උන්නු බලාපොරොත්තුව විතරමයි. ගිනිගහන මද්දහන විතරක් නෙවෙයි ඇයව පීඩාවට පත්කලේ. අමෝරා නැඟෙන කුසගින්න ඇයව අඩපණ කලා. බොහෝම හෙමිහිට ගෙවෙන දවස ඇයට දැනුනේ කල්පාන්තරයකටත් වඩා දිගට.
සැරින් සැරේට කතාකරන්න, කෙටි පණිවුඩ යවන්න ජංගම දුරකතන කියල ජාතියක් නොතිබුනු ඒ යුගයේ උදේ නොපෙනී ගිය ඔහු යළි මතුවෙන තුරු ඇයට සිදුවූයේ බලාඅපොරොත්තු දල්වා බලා සිටීමටයි. හැන්දෑ කලුවර ගලා එන විට ඇය සුපුරුදු නාගස මුල වාඩිවෙන්නේ අඳුරු ගුරුපාර තුලින් ඔහුගේ රුව මතුවන තුරු පාරමීදම් පුරන්නටයි. අඳුර තුලින් කිසියම් රුවක් මතුවන සෑම විටෙකම ඇයගේ සැනසුම් සුසුම වාතලයට මුසු වුනද, ඒ රුව තමා පැතූ රුව නොවන වග දැනගත් විට මුදාහල සුසුම යලිත් ගෙන ඇය හදවතෙහි තබා ගත්තා. වෙලාව රාත්‍රී නවය පමණ වනතුරු ඇයට ඇවිලෙනා කුසගින්නත්, දරාගත නුහුනු පාළුවත් තුරුලු කරගෙන මදුරුවන් සමඟ පොර බඳිමින් දෑස් වෙහෙසවන්නට සිද්ධ උනා. අවසානයේ ඇගේ සඳ පායා ආවා. දකුණතින් ගත් සිලි සිලි මල්ලත් සමඟින් අඳුර තුලින් ඔහුගේ රුව මැවී විත් ඇගේ පාලු ලෝකය දවසකින් නිමා කලා. ඔහු ඇය අසලට පැමිණ ආදරයෙන් ඇයව වත්තන් කරගෙන නිවස තුලට ගියේ සිලි මල්ලෙහි වූ පාන් රාත්තල ඇය අතට දෙමින්. මහානර්ඝ වස්තුවක් මෙන් එය ඇය සිය ළමැදට තුරුලුකොටගත්තේ බුර බුරා නඟින කුසේ ගින්දරට එය දිව බොජුනක් මෙන් ඇයට දැනුනු නිසාවෙන්මයි.
දෙදෙනාම එක්ව සීනි දමා ප්ලේන්ටි දෙකක් හදාගත්තේ කහට කෝප්පේ පොඟවා පාන් කෑමෙ දොළදුකක් ඈට තිබූ නිසා නොව පාන් සමඟ කෑමට වෙන කිසිදු දෙයක් ඔවුන් සතු නොවූ නිසායි. එනිසා සාදාගත් තේ කෝප්ප දෙක සමඟ ඔවුන්ගේ දුප්පත් කාඩ්බෝඩ් පෙට්ටි මේසය දෙපස වාඩි වූයේ මොහොතකින් කුසට දැනෙන සොඳුරුතම මිහිරියාව උපරිමයෙන් ලබාගන්නට කෑදර කමිනි. පාන් කෑල්ලක් ඒ සඳහා ඔවුන්ට වූ දිව බොජුන විය. එහෙත්...එහෙත්... දෙකට කඩාගත් පාන් රාත්තල තිබුනෙ නරක් වෙලා. ඒක පුස්කාලා. මෙවර නම් තවදුරටත් කඳුලු සඟවා ගැනීමට මේ හයිය දෙහිතටම පුලුවන් කමක් තිබුනෙ නෑ.
ජීවිතයේ ප්‍රථම වතාවට දරාගත නොහැකි වූ ශෝකයෙන් දෙදෙනා එකිනෙකාව වැළඳගෙන දුක දියවී යනතුරු හඬා වැටුනා. කහට කෝප්පයකින් ඒ රාත්‍රියද ගෙවා දැමීමට ඔවුනට සිද්ධ වුනා..
කාලය මේ විදියට ගත උනා. ඇගේ තනි නොතනියට දයාබර මෑණියන් පැමිණීමත් සමඟ තිබූ දුෂ්කරතා තරමක් මැකී ගියා. දිව පිනවන රස මසවුලු ඇගේ කුසට නැතිවුනත් ඇය ඉතා නීරෝගීව සිටියා.
ඇය තම කුළුඳුල් දරුවා බිහිකිරීමට ගමට ගියා. වතුපිටිවල ඉස්පිරිතාලෙ අනෝරා වැහි වැටෙන නවම් මහේ දිනයක, හීතල හිමිදිරි සඳු දින පාන්දරක ඇය මවු පදවිය ලැබුවා. සුදුම සුදු ලස්සන කොලු පැංචෙක් ඇයට හිමිවුනා. මේ දයාබාර කොලුපැටියගේ තාත්තා නැතිව ඇයට ගොඩක් කල් ඉන්න බැරි නිසාම ඇය වැඩිකාලයක් ගමේ නොරැඳි ආයෙමත් මහියංගනේට එනවා. එදා තරම්ම දුක්බර නැතත් අලුත් ජීවිතෙත් සමඟ ඔවුන් හරි අගේට ජීවන සටනට මුහුණ දෙනවා.
එදා නුරා බැලුම් හෙලමින් තමන් සමඟ කෝලම් කල ඇය අද බොහෝම දයාබර බැල්මක් ඔහුවෙත හෙලනවා. ඇගේ දෑස් පුරා දාරක සෙනෙහස උතුර උතුරා ගලාහැලෙනවා. ඔහු ඒ දෙස බලමින් තම සිත අතීතයේ අඳුරු අහුමුලු කරා ගෙනයනවා..
"පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා
නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
දයාව වෑහෙනවා
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා
හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
නෙත් අදන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකි යනවා
එදා වගේ තවමන් වැට අද්දර
නාමල් පූබුදිනවා
නොකා නොබි දුක් වින්ඳ අතීතය
යළි මට සිහිවෙනවා"
-------------------------
පද රචනය - පන්ඩිත් ඩ්බ්.ඩී. අමරදේව
සංගීතය - සුනිල් සරත් පෙරේරා
ගායනය - පන්ඩිත් ඩ්බ්.ඩී. අමරදේව
ගීතය මෙතනින් download කරගන්න...
(Pera Dinayaka Maa - W.D. Amaradewa)
ගීතය මෙතනින් download කරගන්න...
(Pera Dinayaka Maa - W.D. Amaradewa)
මේ සටහන කියවා නිමකල ඔබට සමහර විටෙක සිතෙනවා ඇත මේ නම් මනෝෂ්ගෙම කතාව කියලා. ආයෙ සැකයක් තියාගන්නෙපා. ඔව්.. මේ මගේම කතාව තමයි. මගේම අම්මගෙයි, තාත්තාගෙයි ඇත්තම කතාව තමයි මේ. අතින් දාපු දේවල්, අත්තැරල දාපු දේවල් නෑ මේ කතාවේ. සෘණ අනන්තයෙන් පටන්ගෙන ධන අනන්තය දක්වා ජීවීතේ අරං ගියපු සාර්ථක මිනිස්සු ගැන කතන්දර හොයාගෙන මං කවදාවත් රට වටේ යන්නෙ නෑ. ලෝකෙ පුරා හොයන්නෙ නෑ. මොකද ඒ සඳහා ජීවමාන ආදර්ශය මගේ ඇස් පනාපිටම තියෙන නිසා. මං දැක්ක හොඳම සාර්ථකත්වයේ කතාව තමයි මගේ අම්මගෙයි තාත්තගෙයි කතාව.
රුපියල් තුන්සීයකුයි ඇඳුම් බෑග් එකකුයි අතින් අරං මහියංගනෙන් බැහැපු මගේ අම්මයි තාත්තායි අවුරුදු විසිහයකට පස්සෙ අද මේ පිං බිමේ ලබලා තියෙන සාර්ථකත්වය තමයි මගේ ජීවින ගමනෙ පරමාදර්ශය කරගන්නෙ මං. අද එයාලට ලබාගන්න තවත් දේවල් මහ ගොඩක් නෑ. හැම අතින්ම අංග සම්පූර්ණව ඉතාම ලස්සන ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒ තමයි ඔවුන්ගේ උත්සාහයේ, කැපවීමේ, ධෛර්‍යයේ සහ අපරිමිත ආදරයේ අග්‍රතම ඵලය.
ඒ සාර්ථකත්වය මත හිඳිමින් අද මේ සටහන ඔබට පුදන්නට මට හැකියාව ලැබිලා තියෙනවා, ගෙවුන දුශ්කරම වූ කාල පරිච්චේදයන් දෙස හූල්ලමින් බලමින් නොව, දැඩි ආදරයෙන් උපේක්ෂාවෙන් ඒ දෙස බලමින්. ඇත්තටම මුලින්ම මට ඕනි උනේ මේ ගීය ගැන යමක් ලියන්න නෙවෙයි. ලියන්න කල්පනා කලේ "රජ මැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ" ගීතය සම්බන්ධ කරල ලස්සන කතාවක්. මුලින්ම හිතුවෙ අසරණ වුන අම්මා කෙනෙක් සහ පුතෙකු දෙස බලා හිඳින තුන්වෙනි පාර්ශ්වේක ඉඳිමින් කතාව ලියන්නයි. ඊළඟට හිතුනා ඒ අම්මට හිතෙන විදියට කතාව ලියන්න.
අන්තිමට හිතුනේ, කවදහරි උස් මහත් වෙච්ච මේ ගීතයේ පුතණුවන්ම තම අතීතය සිහිපත් කරන අයුරින් කතාව ලියන්නයි. ඒ පාරෙන් කතාව සිත තුල ගොඩනගාගෙන යනකොට මට හිතුනෙ දෙයියනේ මේ මගේම කතාව නේද කියලයි. ඒ නිසා තීරණය කලා මේ මගේම කතාව ලියන්න. හද පතුලෙන්ම නැඟෙන අවංක සිතුවිලි ලියන්න. ඉතින් ඒ කතාව මුලක ඉඳලම පටන්ගත්තා. ඒත් හිතුවට වඩා බොහොම දීර්ඝ උනා. ඒනිසා විරාමයක් තැබීමට සුදුසු අවස්ථාවක් මට ලැබුනා, එතනටම ගැලපෙන හරිම අපූර්ව ගී පද රචනයක් සමඟින්ම.
ඇත්තටම මට වෙලාවකට හිතෙනවා මගේ මුළු ජීවිතයම හරිම ලස්සන ගීතයක් වෙලා කියලා...
ඉදින් ප්‍රිය සබඳ.. මේ මෙම කතාවෙ අවසානය නොවෙයි. විරාමයක් පමණි. නුදුරු දිනෙකම ආයෙමත් මුණගැහෙමු.
මේ ගීතය පිළිබඳව ධම්මික බංඩාරයන්ගේ විචාරයක් මීට පෙර මං ඔබටගෙන ආවා. යළිත් කියවනවානම් හෝ මඟහැරුනානම්..
මෙතනින් යන්න.
මෙතනින් යන්න.
ඇත්තටම උඹ හරිම සාර්ථකයි. පාං ගෙඩිය පුස් කාපු එක මාරම ලකුණක් බං ඉතාම සංවේදි විදියට ඒක ලියල තියෙනවා. ඇත්ත කතාවක් උනත් නැතත් මේ වගේ කතා ඇත්ත කතා කියලයි මං හැමදාම විශ්වාස කරන්නේ. ඒත් ගීතයේ අදහස ගැන මට තියෙන්නේ වෙනම මානයක්...
ReplyDeleteඅතීතේ ඒ කතාවේ මගේ හිතත් ගොඩක්ම සංවේදී කරපු සිදුවීම තමයි දේශක ඔය පාන් ගෙඩියෙ කතාව..
Deleteමේකෙ හැම අකුරක්ම ඇත්ත මචං. ගීතය ගැන කියනවානම් ඒ ගැන ඉතාම හොඳ විවරණයක් තියෙනවා මං ඔය දාල තියෙන ලින්ක් එකේ.
මෙහෙම බොරු ලියන්න එපා...මේක උනේ 88, 89 නන් 1974 හොදම ගුවන්විදුලි ගීතය සම්මානෙ හම්බ වෙන්නෙ කොහොමද??
Delete"Except for Mahagamasekara and Madawala S. Ratnayake, Sunil has written a large number of lyrics for maestro Amaradeva. For instance, his popular song "Peradinayaka ma pemkala yuvathiya.....", sung by Amaradeva, was adjudged the best radio song in 1974."
source :http://archives.dailynews.lk/2004/12/08/artscop05.html
ඇනෝ හරියට කතාව කියවන්න.මේ මගේ කතාව මිසක් ගීතයේ කතාව නෙවෙයි.මගේ කතාව ගීතයට ආදේශ කිරීමක්.කවුද ඔයාට කිව්වෙ මේ ගීයෙ නිධාන කතාව කියලා.
Deleteමනෝ අපේ හැම එකාගේම අතිතේ මේ වගේද මන්දා ??? බන් එහෙමත් හිතෙනවා
ReplyDeleteඇත්ත මචං.. අපි හැමෝගෙම අතීතය අඩු වැඩි වශයෙන් මීට සමානය. රිදී හැන්ද කටේ ගහගෙන ආව එවුන් කොච්චර අඩුයිද මේ සමාජයේ.
Deleteඋඹ උඹේ ගොඩක් පෝස්ට් වලින් අපේ යටි හිත් වලට කතා කරනවා බං.……
ReplyDeleteමේ පෝස්ට් එක පබ්ලිෂ් වෙලා විනාඩි දෙක තුනකින්ම දැකලා කියෙවුවත් මට තාම කියන්න දෙයක් හිතා ගන්න බැහැ බන්. මම ගීතය පැත්තකින් තියලයි කතාව වින්දෙ.…
උඹෙ අම්මයි තාත්තයි උඹට විතරක් නෙමේ අපිටත් මාර අත්දැකීමක් ගොන්නක් දීලා තියෙන්නෙ බං.
මේවා මහ පොළවෙ ජීවත් වෙන අපි හැමෝගෙම කතාව මේක තමයි මචං. අපි හැමෝටම වගේ මෙහෙම කතාවක් තියෙනවා. ඒ සියුම් තැන් ස්පර්ෂ කරන්න උඹ මාර දක්ෂයෙක් බං.……… සිරාවටම උඹ දක්ෂයෙක්…………
"මේවා මහ පොළවෙ ජීවත් වෙන අපි හැමෝගෙම කතාව මේක තමයි මචං. අපි හැමෝටම වගේ මෙහෙම කතාවක් තියෙනවා."
Delete@ප්‍රියා +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
අපේ අම්මා මට කියල තිබුන අතීතය මතක් උනා .........මටත් කියන්න දෙයක් හිතා ගන්න බෑ මනෝ ...
උඹට ජය ........
ප්‍රියෝ ටීෂර්ට් එකක් ගත්තැයි .. ? ලස්සනේ බැරුවා :D දවසකට දියං මටත් ඈ..
Delete"මගේම කලිසම අගේට ඇඳගෙන
උගේ වගේ යනවා " කියන්ඩ ඔට්ටු නෑ ඕං !!
අනේ මංද මචං. උඹලට කතාව එච්චරටම වදිනවද. කිසිම වෙහෙසක් ආයාසයක් නැතිව ලිව්වෙ මචං. මොකද මේක හදපු එකක් නෙවෙයිනේ. අපේම කතාවනේ.
Deleteඇත්තමයි මචං, ගන්නවානම් මගේ රත්තරං අම්මගෙයි තාත්තගෙයි ජීවිත කතාවෙන් අපිට පාඩම් ගොඩයි. ජීවිතේ කඩාවැටෙන හැම මොහොතකම මං නැවත නැවත්ත් සිහිපත් කරන්නෙ මේ කතාව.
ජීවිතයේ සියුම් තැන් අපේ ජීවිත වඩාත් සංවේදී කරනවා. ඒ වගේම ඒ සියුම් තැන් යලි යලිත් ස්පර්ෂ කිරීමෙන් අපේ ජීවිතයට හොඳ පන්නරයක් ලැබෙනවා.
අම්මගේ උකුලේ නැලවෙන කාලෙ ඉඳල මටත් මේ කතාව අපේ අම්ම කියල දුන්න මචං. මේ දේවල් පොඩි කාලෙ ඉඳල වින්ද නිසාත්, ආදරෙන් අම්මා කියල දුන්නු නිසාත් වෙන්නැති මට දුක හඳුනන සංවේදී මනුස්සයෙක් වෙන්න පුලුවන් උනේ.
Deleteඅනේ මචං ප්‍රියා.. මේ රිප්ල්යි වැලේ උඩම එක දැම්මෙ උඹට සහෝ.. ආමන්ත්‍රණය දාන්න බැරිවුනා.
Deleteඅඩේ ඔව් බං ප්‍රියා, පත්තරේ කියන්න වගේ උඹ රූපෙ මාරු කරල නේද. කලිං දෙකටම වඩා ඒක නම් හොඳයි. දැන් නම් මඟකදි දැක්කත් උඹව අඳුනගන්න පුලුවන් වෙයි.
Deleteඒ පත්තරේ.. ඇයි උඹට මෙහෙම මතක් වෙන්නැත්ද?
පෙර දිනයක මා පෙම්කල යුවතිය
රටකජු විකුණනවා
මගේම ලියුමක රටකජු ඔතලා
ආපහු මට දෙනවා
ලියුම බලන්නද රටකජු කන්නද
හිත මගේ ලතවෙනවා
මගේම ලියුමේ මොනව බලන්නද
මම රට කජු කනවා..
අනේ මචංලා..නිකං හිත සැහැල්ලු වෙන්න විතරයි මේක දැම්මේ. ගීතයට අපහාසයක් කරන්න තුන් හිතකින්වත් හිතුවෙ නෑ. මොකද මේ මං පණට වගේ ආදරේ කරන ගීතයක්.. අමුතුවෙන් කියන්නෝනි නෑනේ..
http://maathalan.blogspot.com/2014/04/maestro-music-taste-cultural-police.html
Deleteඒවා අපහාස නෙමෙයි. ඒවට කියන්නේ උපහාසය කියලා. මම කලින් පෝස්ට් එකෙත් කිව්වේ ඒකමයි. ඔහේලා මේවා වන්දනීය කරන්න හදනවා. ඒත් සින්දුවේ අයිතිකාරයෝ ගීතය විඳිනවා. උඩ තියෙන ලින්ක් එක බලන්න.
Deleteපෝස්ට් එක ගැන නම් වච්නයක් කියන්නේ නෑ. උඹ මේ රටට සම්පතක්. ඒත් තව විවෘත වෙන්න බලපන්. එතකොට මාර සැහැල්ලුවක් දැනෙනවා. නිවනට බොහෝම ලංවෙනවා. සියළු දෙනාම මිය යද්දි අමරදේව මාස්ටර් අදත් ආතල් එකේ ඉන්නේ ඒ සැහැල්ලු බව නිසා.
http://maathalan.blogspot.com/2014/04/maestro-music-taste-cultural-police.html
Deleteහප්පා..මං ඕක කියවන දවස් වල මං බ්ලොග් වලට ගොඩක් අලුත්. ඔය තමයි මං වාදෙකට අහු උන පළමු වතාව. එදා කතාකරපු දේවල් මේ ළඟදිත් මතක් උනා මට.
\\Manosh SandaruwanApril 2, 2014 at 1:35 AM
හ්ම්.. ගීතයක් තමාට රිසි පරිදි රසවිඳින එක රසික අයිතියනේ. ඒකට බලපෑම් කරන්න බෑ තමා. නමුත්, ගීතයක් එහි මුල් නිර්මාණයෙන් විකෘති කර එය සමාජගත කරනවනම්, එය අනුමත් කරන්න බෑ. මේ ඉතින් මගේ අදහස. එකඟ වෙන අයත් ඇති, නැති අයත් ඇති. නිකමට කීවෙ. කොහොම උනත් අමරදේව මාස්ටර්ගෙ "පෙර දිනයක මා පෙම් කල යුවතිය" ගීතයේ විචාරය මගේ බ්ලොග් එකේ තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවනම් ගිහින් බලන්න. මෙන්න ලින්ක් එක.
http://masandumal.blogspot.com/2014/01/blog-post_27.html
ReplyDelete
Replies
Maathalan - Priyantha HewageApril 2, 2014 at 9:28 PM
ඒ ඔබේ මතය ඒ මතයට අපි ගරු කරනවා. නමුත් කළාව කියන්නේ මොකක්ද කියලා දන්න මනුස්සයෙකුට ඔබේ මතය හා එකඟ වෙන්න බෑ. ලංකාවේ කළාව අනුව නම් අවුලක් නෑ.
Manosh SandaruwanApril 3, 2014 at 9:51 PM
මම කියන්නෙ එහෙම කලාම ඒ මුල් නිර්මාණයේ තියෙන රසය නැතිවෙනවා. නිර්මාණය හෑල්ලුවට ලක්වෙලා ඒක නිකං "හාල්" වෙලා යනවා. නිර්මාණය විහිලුවක් වෙනවා. පේනවනේ කමෙන්ට්ස් පුරාවට විවිද ගීත විහිලු වෙලා තියෙන විදිය.
කවුද කැමති තමන්ගෙ නිර්මාණ විහිලුවෙනවට. නිකමට හිතන්න. ඔයා මොකඛරි පෝස්ට් එකක් දානව ගොඩක් මහන්සිවෙලා. කියවව්න්න එන අපි ඒක කොපි කරල අරන් ඒකෙ අදහස විකෘති කරල ඒක විහිලුවට ලක් කරල හැම තැනම පතුරවනවා. පෘතුග්ජන මිනිහෙක් විදියට ඔයාට පුංචිහරි වේදනාවක්, කළකිරීමක් දැනෙන්නැතිවෙයිද?
Delete
Uditha MeeghathennaApril 4, 2014 at 8:40 AM
@Manosh Sandaruwan
ලිඳේ ඉන්න මැඩියෙක් තමන් දන්නා සිමාව ලෝකය යැයි සිතනවා ඒත් අන්තර්ජාලය පාවිච්චිකරන ඔබවැනි කෙනෙක් ඉතාම පටු අදහසක් මාර අදහසක් සේ හිසේ තදින් දරාගෙන ගල්කරගෙන සිටීම ගැන කණගාටු වෙමි. අඩු තරමේ ඔබ පෙනී සිටින මතය ඉතා පටු ආකල්පයක් පමණක් බවවත් ඔබට නොතේරේ. ඔබ දිවි හිමියෙන් ඒ වෙනුවෙන් පෙනී සිටි.
මා කියන දේ ඔබ පිළිගැනීමට අකමැතිනම් කරුණාකර කෘතියක් හෝ නිර්මාණයක් සමාජ ගත කල වහාම කතෘ අහෝසි වන බව ඇකඩමික් විදියට දැන ගැනීමට කැමතිනම් ප්‍රංශ සාහිත්‍ය විචාරකයෙකු වන රෝලන්ඩ් බාත්ස් විසින් 1967 ලියන ලද "The Death of the Author" නම් රචනාව කියවන්න.
ඔබ හිතන විදියටසාහිත්‍ය කළා නිර්මාණ වල අර්ථය සඳහා අවසන් පරම අයිතිය ඇත්තේ කතෘ ට යැයි සිතන ලිං මැඩි අදහස් 70 දශකය වන විට ලෝකයෙන් තුරන් වූ පැරණි හණමිටි අදහස් .
ඇත්තටම හණමිටි කරේ තියං ඒවා ගැන ආඩම්බර වෙන ලංකාවේ තරුණ පරපුර ගැන කණගාටුයි . නලින්ද සිල්වාගෙන් පසු බිහිවූ ආපස්සට යන අතීතකාමී පරපුරකට හණමිටි අදහස් කරේ තියාගෙන යෑම හැර වෙන විකල්පයක් නොමැති වීම අපේ රටේ අභාග්‍යයකි.
කරුණාකර ලෝකය සමග ඉදිරියට යන්න . අමරදේව මාස්ටර්ගේ ගීතයකින් මේක මම අවසන් කරන්නම්
පටු අදහස් නම් පවුරින් ලෝකය
කැබලි වලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙලින් තබාගෙන
හිඳිනට හැකි කොහිදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියානනේ
http://www.tbook.constantvzw.org/wp-content/death_authorbarthes.pdf
Manosh SandaruwanApril 6, 2014 at 9:30 PM
අයින්කරන්නෝනි දේවල්, වෙනස් කරන්න ඕනි දේවල් සහ යාවත්කාලීන වෙන්නොනි දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙනව. තියෙන එක තියෙන්නෙ ඇරල ඇයි බැරි අලුත් දෙයක් කරන්න. වෙනස් දෙයක් කරන්න. පරණ එකෙන් යැපෙන්නෝනි නෑ තාරුණ්‍යය.//
ඔන්න ඔහොමයි උනේ..
\\ඒත් තව විවෘත වෙන්න බලපන්.//
Deleteමේ කිව්වෙ ගීත ගැන මං දරණ මතය ගැනද මාතලන් අයියේ, එහෙම නැත්නම් මගේ කතාවෙ මොකඛරි අඩුවක් ගැනද?
උඹ ඉන්න මතය ගැන. හොඳ දේ අගය කලාම ඇති. වඳින්න පුදන්න අදහන්න නමස්කාර කරන්න යන්න ඕන නෑ. උපරිමය කියන දේ තියෙන්නේ එතන නෙමෙයි. අපේ සංගීතයට වඩා රසය පිරි සංගීතයන් ළොවේ බොහෝම තියෙනවා. මතක තියාගන්න අපි ඉන්නෙ ලංකාවේ උනාට. ලංකාව තියෙන්න පෘතුවිය ඇතුලේ. පෘතුවිය කියන්නේ විශ්වයේ අංසුවක් පමණයි.
Deleteමේං මාත් ආවා !!!!
Deleteහරි උඹත් වරෙන්. ඔන්න එහෙනම් මාත් පටන් ගන්නවා. හොඳ දේ අගය කරනවා මං. ඒත් මාතලන් අයියා කියන විදියට එතනින් නවතින්නේ නෑ. අපි මොනාද අදහන්නෝනි? අපි මොනාටද ගරු කරන්නෝනි? අපි මොනාද ආදර්ශ්ට ගන්නෝනි. කොටින්ම කිව්වොත් හොඳ දේවල්. ඉතින් හොඳ දේට ඒ අදාල ගෞරවය දැක්වුවාම ඒකෙ ඇති වැරද්ද මොකද්ද?
Deleteලොකෙ එහෙම එව්වා ඇති. මෙතනින් පිට මේ මන්දාකිනියෙන් පිට තවත් චක්‍රාවාට වල අපිටත් වඩා ගොඩක් දියුනු ජීවීන් සතුව මීට වඩා දස දහස් ගුනයක් වටිනා සංගීතය ඇති. ඒත් එව්වා ගැන හොයන්න කලිං අපි අපේ දේ දැකලා ඉන්න එපැයි.
ඔන්න ඔහොමයි මට හිතෙන්නෙ.
මේන් මාත් ආවා. :D
Deleteවැඩක් නෑ මචං, ආයෙ කාලෙකට මාතලන් එන්නෙ නෑ. අන්න අරෙහෙ හෙන කේස් එකකට අතගහලා.
Deleteහරිම සතුටුයි මචං උඹලා අද ඉන්න තත්ත්වය ගැන. ඒ වගේම උඹේ සුපිරි හැකියාව ගැන. ඒ දිරිය මා පිය යුවළ ගැන අපේ හිත්වලත් ඇති කළේ පහන් හැගුමක්. උඹේ මුළු පවුලටම සුබ පතනවා මේ වෙලාවේ. මේ මහ පොළවේ පය ගසා සිටින මිනිසුන්ගේ කතාවයි.
ReplyDeleteඇත්තෙන්ම නලීන් අයියේ..අපේ අම්මලා ඇවිත් තියෙන කතාව මටනම් නවකතාවක් වගෙයි. අද අපි ඒ අතීතෙ දිහා උපේක්ෂාවෙන් බලලා පුදුම සුවයක් ලබනවා. නලීන් අයියට ගොඩාක් ස්තූතියි මේ කරපු සුබපැතුමට.
Deleteඇත්තෙන්ම ඒ මහ පොලොවෙ පය ගහපු මිනිස්සු තමයි. මේ පෝස්ට් එක අද එයාල දකී හවසට. පුදුම විදියෙ සතුටක් ලබයි එයාලා.
අපි ගොඩක් අයගේ අම්මල තාත්තලගෙ කතාව මේ වගේ තමයි....
ReplyDeleteආදර කතාවක් කියන්න හිතුනා....
ඒකනම් හරියටම හරි වගේ. ඇත්තමයි මේ ලින්ක් එක දැම්මට නම් පිං. ඔය තියෙන්නෙ අපේ වගේ කතා තවත්. මේ අව්‍යාජ බව තමයි මේ ලෝකෙ සුවඳ කරන්නෙ. අම්මට කියන්න එයා ඒ කාලෙ ගොඩක්ම ලස්සනයි කියලා.
Deleteඅර දකුනු පැත්තේ උඩ තියන පොටෝ එකයි අයින් කරහං.
ReplyDeleteලියාගන ලියාගන පලයං
දැන් හරිපාරට ආවා
ඔය පාරට ගන්න ඔයාල කොච්චරනම් මට අතදුන්නද.
Deleteධම්මික බංඩාරයන්ගේ විස්තරය... හ්ම්.. ඒ තමයි මේ ගමනෙ හිණිමඟ. අයින් කරනෙක හිතට එකඟ නෑ වගේ තාමත්. අපි බලමු අයියේ.
ඒක අයින් කරන්න එපා බං.. උඹ නැගපු පඩි පෙල එතැනයි..
Deleteඒක හරියටම හරි දේශක. ඒක එතන තිබුන කියල හානියක් නම් නෑ. අලුතින්ම ආව කෙනෙක් මං දැන් ලියන ඒවත් ධම්මික බංඩාරයන්ගෙ කියල වරදවා වටහා නොගන්නවානම්. එතන ලියල තියෙන දේ පොඩි වෙනසක් කලානම් හරි කියල හිතෙනවා.
Deleteකවදාවත් මුල අමතක කරන්න එපා. ඒ තමයි උඹව හදපු විශ්වකර්මයා.
DeleteMaathalan +++++++++++++++
Deleteදොහොත් මුදුනින් පිළිගන්නවා මාතලන් අයියේ, අරූ අයියේ මේ වචන ටික..
Deleteමුල අමතක කලානම් කවමදාකවත් මගේ අතින් මේ වගේ සටහනක් ලියවෙන්නෙත් නෑ. මුල අමතක කරන එකාට අගක් නෑ කොහොමටවත්. මගේ මුල තමයි මාව හැමදාමත් ශක්තිමත් කරන්නෙ. මුල නැතිව මට ගමනක් නෑ...
අන්දර යායේ වැව්තාවුල්ලේ
ReplyDeleteසක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී..
වළාකුලේ දා බිදු තවරා
මහපොළවට මහ වැසි ගෙනෙනා
දිවි ගමනේ ඉම කදුමුදුනේ හිද
පිතු සෙනෙහේ කඳුලැලි සලනා
තුරු හිස මුදුනේ මල් පලදා
කැකුළු මුවට ඵල වැල නෙලුවා
ඒ දඬු මං බැද සත්කුළු පව් බිඳ
සිදාදියට යන මං තැනුවා...
ගායනය: කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : කුමාර ලියනගේ
සංගීතය : රෝහණ ධර්මකීර්ති
අඩේ පත්තරේ.. උඹ නම් නියම පොරක්. මගේ තාත්තට ගැලපෙනම සිංදුව මේක. උඹ දන්නද මචං, තාත්තගේ පිංතූරෙක පසුතලයට මේ ගීතය යොදලා එයාගෙ උපන් දිනේට මං එක රාමු කරල තෑගි දුන්නා.. ඒතර්ම් වටිනවා මට මේ ගීතය ඔහු වෙනුවෙන්..
Delete\\ඒ දඬු මං බැද සත්කුළු පව් බිඳ
සිදාදියට යන මං තැනුවා...//
ඒකයි ඇත්තම කතාව...
පත්තරේ....කියන්න දෙයක් නැහැ බන්....
Deleteඑකඟයි අරූ අයියේ.....
Deleteවිශ්මකර්මයෝ අරූ අයියේ !!!! විශ්මකර්මයෝ !!
Deleteඋත්සාහවන්තයෝ..පත්තරේ, උත්සාහවන්තයෝ.....
Deleteඋඹ ලියන ඒව කොච්චර හිතට වදිනවද කිව්වොත් කමන්ට් එකට ලියන්නෙ මොනවද කියල හිතාගන්න බැරි වෙනවා. ...
ReplyDeleteහැම දෙමව්පියෙක්ගෙම මේ වගේ කතාවක් ඇති..
උඹ සාර්ථකයි මනෝ..
සුභ පතනවා..!!
අනිවාරෙන්ම මචං, අපේ ගොඩාක් මවුපියන්ගේ අතීත කතාව මේ වගේ තමයි.
Deleteයම් සාර්ථකත්වයක් ලබල තියෙනවා නම් ඒකට උඹලගේ හයිය ගොඩක්ම උදවු උනා මචං මට.
ඔය උඹේ විතරක් නෙවෙයි.. අපෙත් කතාව මචං. ඒක අද කියන්නේ හරිම අභිමානයෙන් !!
ReplyDeleteකියෝගෙන එද්දි මං හිතුවා මේ සිංදුවෙ නිධානෙ කියන්න යන්නෙ කියලා.ඒත් කතාව ටිකක් වෙනස් වේගෙන එද්දි මංඥං වෙලා හිටියේ.. අප්පට බොල මේක ඊට රහයිනේ. සත්‍ය ප්‍රබන්ධයට වඩා රහයි මස්සිනා. ටොපේ ටොප් !!!!
කෝ මේ කුරුට්ටා අද ??
බලං යනකොට අපි හැමෝගෙම ජීවිත කතා එක වගේමයි නේද බං. උඩ ඉඳං පල්ලෙහාට හැමෝම මේ දේ කියල තිබුනා. එක වගේම සෙට් එකක් එකට සෙට් වෙලා. මාර සතුටුයි මචං. ඇයි මචං අපි හැමෝටම මෙහෙම වෙලා තියෙන්නේ?
Deleteඒකනේ බං..මාත් මේ බලං ඉන්නෙ අපේ ගී පවුරෙන් එනකල්.
අපි ගොඩක් අයගේ ජීවන කතාව ඕක තමයි,සඳූ.දෙමව්පියො දුප්පත් වුනත් එයාලා හදවතින් බොහොම පෝසත්.වානේ තලන්න තලන්න,වතුරේ දාන්න දාන්න,ගින්නේ රත් කරන්න කරන්න තමයි පන්නරය ලබන්නේ.ගීතය ගැන කියනවානම් පරිණත දෙමව්පියන්ගේ ප්‍රේම ගීතයක් කියලා අපි කියමු.ප්‍රේමය දිහා බොහෝම කාව්‍යාත්මක අදහසක් දෙනවා.මේ වගේ ගීයකට රූපරචනයක් කරනවා නම් නිහඬ කෙටි සිනමාකරුවෙක් සාර්ථක වෙයි.මොකද වදන් වලින් හිතේ මැවෙන රූප හරිම ප්‍රබලයි.එතකොට රූපයෙන් දෙන්න ඕන පසුබිමක්,නිහඬවම.
ReplyDeleteඒකනේ..එතකොට මේක අපි හැමෝගෙම ගීතය වෙලා. ඇත්ත හිමපියල්ලේ.. අපේ දෙමවුපියන් ලබලා තියෙන ජීවිත පන්නරය.. ඒ පරිණත බව.. ඒව හරි පුදුමාකාරයි. ඒකෙන් අපේ ජීවිතත් පන්නරය ලබනවා.
Deleteගීතයේ රූපරචනය ගැන ඔබ කියන දේ සමඟ මං සපුරාම එකඟ වෙනවා..
කමෙන්ට් කරලා කියන්න දෙයක් නෑ බන්. දිගටම ලියහන්.... සාර්ථකයි. ජය....!
ReplyDeleteවිචාරෙ දියං හොඳ හිතින් !!!
Deleteප්‍හු..... විචාර,, තෝ තමා අර පික්සු බස්සිටත් කියලා තියෙන්නේ...
Deleteඅහුවෙන්න එපා මට තෝව...! හරක් මස් උනත් කම නෑ... කනවා මම උබව.....((*$^&^#
නිමෝ...
Deleteහිතෙන දෙයක් තිබුනොත් අනිවාරෙන්ම කියහං මචං, ඇදක් කුදක් එහෙම උනත් කමක් නෑ.
පත්තරේ...
Deleteඅනිවා මචං ගේම ඉල්ලමු!!
ඈහ්...! හරක් මස්??? මේ අපේ පත්තරය..?? පත්තරය හරක් මස්, නිමෝ ඌරුමස්!! හැක්..හැක්!!
Deleteඔච්චරම කියන විචාරෙ බලලා එනකල් ඉඳහංකො මාත්..
ඒ මචංලා..අන්න මාත් නෙලලා ආවා පත්තරයට යටිං.
Deleteඇයි බං උබ හැමදාම අපේ කතාම ලියන්නේ. ෂොපින් බෑග් දෙකක ඇදුම් කෑලි ටිකක් පුරවාගෙන, කදුකරේ ගමේ තුන් මං හන්දියේ අපේ අම්මයි තාත්තයි බස් එකකට නගින්න හිටපු හැටි මට මතක් උනා. දවස් දෙකකට කලින් කව්දෝ ගිනිබත් කරපු මෙතෙක් තමන් ජිවත් කරපු පෙට්ටි කඩේ අගුරු ගොඩ දිහා අම්මා බලන් හිටපු හැටි මට ආයෙත් ආයෙත් මැවිලා පේනවා. වෙනසකට තිබ්බේ එදා අපේ අම්මගෙයි තාත්තගෙයි අත්වල ෂොපින් මලු වලට අමතරව මමත් මල්ලිත් එල්ලිලා හිටියා. සීතල කදුකරේ අතැරලා ඇවිත් මහවැලි ජනපදයක පොලක් පොලක් ගානේ තාත්තා ලොතරැයි පෙට්ටියක් අරන් යද්දී, අපිව හෙවනක ඉන්දලා අම්මා මහා පොලව එක්ක ඔට්ටු උණ හැටි. කමෙන්ට් එකක් නෙමෙයි මනොෂ්, මේ පොස්ට් එකක් ලියන්නම තරම් දේවල් ගොඩක් මතු කරපු සටහනක්.
ReplyDeleteවීරේ...
Deleteඅපේ අව්‍යාජ වෛද්‍යතුමා.. ඔබේ මේ නිහතමානි බවට මුලින්ම මං ආචාර කරනවා,
ඇත්තමයි.. මේ කතාවනම්... ඔව්, කියන්න ලැජ්ජා නෑ. ඇහැට කඳුලක් ඉනුවා. ඒකෙ හංගන්න දෙයක් නෑ. ආදරයෙන් ඉල්ලනවා මේක පෝස්ට් එකක් විදියට දාන්න ඔබේ එක්ටැම්ගෙයි. ඒ බ්ලොග් එකට සලකනවා මදි.. ඇත්තමයි ඔබේ ලිවීම නම් හරිම අපූරුයි. පපු කුහර ඇතුලටම දැනෙනවා. ඔබේ නෙලුම් මල ගැන ඔබ ලියල තිබුන කතාව.. මං එතනත් කිව්වා.
අපි හැමෝම දුකෙන් උපන් මිනිස්සු. හැබැයි අති සංවේදී හදවත් තියෙන දයාබර ම්නිස්සු. මේ කතාව මෙතන ලියල තියල මගේ බ්ලොග් සටහනට ඔබ දැක්වූ ගෞරවයට මගේ දයාබට කෘතවේදීත්වය පළකරනවා. ඔබේ කතාව බොහොම හැඩකලා මගේ ලිපිය..
වීරේ....+++++++++
Deleteවීරෙගේ කතාව මගේ කතාවටත් වඩා ගොඩාක්ම සංවේදියි..
Deleteවිරේ උඹේ කතාවත් සැහෙන දැනෙන කතාවක් බන්
Deleteවීරෙ.. මොනවා කියන්නද බං උඹට !!!
Deleteකියල වැඩක් නෑ සහෝ... මේ කතාව මගේ කතාවටත් වඩා මට දැනුනා...
Deleteමොනවා කියන්නද පත්තරේ.. මං නම් කියන්නෙ මේ සංවේදී කතාව බ්ලොග් එකේ ලියන්න කියලයි අපේ දොස්තර මහත්තයාට..
Delete@ වීරේ , මුගේ පොස්ට් එක වගේම උඹේ කමෙන්ට් එකත් බොක්කටම වැදුන මචෝ ........ "ඇයි බං උබ හැමදාම අපේ කතාම ලියන්නේ"+++++++++++
ReplyDeleteඒකතමයි බං..වීරෙගේ මේ කතාව පෝස්ට් එකකින් තවත් හැඩට ලියන්න ඔහුට සිත් පහල වේවා කියල මං ප්‍රාර්ථනා කරනවා.
Deleteඅපි හැමෝම එකම බෝට්ටුවේ මිනිස්සු නේද බං?
ඔය වගේම අමරදේව මහත්මයා ගයන අපූරු සිංදුවක් ගයනවා මෙන්න මෙතනඅඩුපාඩු තියෙන්න පුලුවන්.ඒත් මම ඔරිජිනල් එක වගේම මේකත් රසවිඳිනවා..වෙනසක් !!!!
ReplyDeleteවීඩියෝ ක්ලිප් එකනම් බැලුව මචං. ස්පීකර් නැති නිසා අහන්න වෙන්නෙ හවස ඕෆ්වෙලා ගෙදර ගියාම තමයි. ඒ අහලම හොඳද නරකද කියල කියන්නම්කො. ඊට කලින් බලපු අය ඉන්නවනම් අදහස් කියන්න කියලත් ආරාධනා කරනවා.
Deleteඅහන්න දෙයක් නෑ.. උඹට අවුල්
Deleteහැක් !!
අඩේ..එහෙමම කියන්නත් එපා බොලං. මං එච්චර අන්තගාමි නෑ. ස්ටේජ් එක උඩ නටන තොවිලෙට වැඩිය මනාප නැතිවුනත්, ගායනා කිරීමට මං මනාපවෙන්න හොඳටම ඉඩ තියෙනවා..
Deleteඔන්න මචං දෘෂ්‍ය අත්දැකීමත් ලැබුවා. උඹ කිව්ව වගේ ඒක හොඳ උත්සාහයක් මචං. මියුසික් නම් උපරිමයි. ගායනය ගැන නම් ගොඩක් සතුටුවෙන්න බෑ. ඒ මොනා උනත් තරුණ නව පරපුර මෙවැනි ගීත තෝරාගැනීමම මදෑ. ඒකම ලොකු දෙයක්. උඹට ස්තූතියි මචං මේ පාර පෙන්නුවට.
Deleteකට්ටියම ගිහින් බැලුවොත් නේද හොඳ??
හා උඹ බැලුවැයි.. වරදක් නෑ.මම නං ආසයි .හොඳ උත්සාහයක්. හැබැයි ඔය උන්ගෙ උපරිමය නෙමෙයි... කරන්න පුලුවං කම තියෙද්දි නොකර ඉන්නවා කියල මට හිතෙන්න බං.
Deleteඅන්න ඒකනම් මටත් දැනුනා මචෝ... මේ උන්ගෙ උපරිමය නෙවෙයි තමා. ඊට වඩා ලොකු හැකියාවක් තියෙනවා මෙයාලට..
Deleteමේ කතාවේ වර්තමාන තත්වය ගැන හිතලා සතුටුවෙන්න පුළුවන් නේද මනොෂ්..?
ReplyDeleteමම එනෝ දිගටම මෙහේ .. :)
අපි දෙන්නා එක වයසේ වගේ...;)
අනිවාරෙන්ම, වර්ථමානයනම් ගොඩක්ම ලස්සනයි. කියවන්න වටින දේවල් තියෙනවානම්, ජීවිතයට යමක් ගන්න හැකිනම්, ඔබේ පැමිණීම මං ඉතාම සාදරයෙන් පිළිගන්නවා...
Deleteආහ්...! රාණි මුඛර්ජිනම් මට වඩා හුඟක් වයසයි මං හිතන්නේ. අපේ අම්මලාගෙ වයස!
මනෝෂ්......මට ඇත්තේ හරිම සතුටක්. එකක් පෞද්ගලිකව උඹලාගේ ජීවන තත්වය පිලිබඳව. අනිත් එක උඹේ ලිවීමේ හැකියාව ගැන. උඹ සැබෑ මිනිහෙක්. ඔය ගතිගුණ වෙනස් වෙන්න දෙන්න එපා. ආදරණීය දෙමව්පියනට නිදුක් නිරෝගී සුවය පතමි!!!
ReplyDeleteකාලෙකට පෙර මේ රටට ආපු දවස්වලත් සීනි ටිකක් ගන්න විදිහක් නැතුව කහට බිව්වා මායි වයිෆුයි. බතුයි, පරිප්පුවෙනුයි දවස් ගණන් හිටියා. ඒවා අතීත මතක සටහන්.
මං දන්නවා එහෙම හදවතින්ම සතුටුවෙන පිරිස අතරේ අරූ අයියත් ඉන්නවා කියලා.
Deleteඒ වගේම මගේ අම්මයි තාත්තයි වෙනුවෙන් ඔබේ මේ ප්‍රාර්තනය වෙනුවෙන් මං හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. මේ සටහන් දැක්කම එයාලටත් ලොකු සතුටක් දැනෙයි..
ඇත්තමයි අරූ අයියේ ඒ දුක්බර අතීතය අද හරි මිහිරියාවක් ගේනවා නේද අපේ හදවත් වලට? මෙතනට ආපු හැම කෙනාටම මේ වගේ කතාවක් තිබුනා. අපි සේරම එකම පවුලක කියල දැනෙනවා මට.
අදනම් මං අන්තිම පරක්කුයි.....................
ReplyDeleteඒත් දැනුත් හරියට වෙලාවක් නෑ කියවන්න. පොරොන්දු වෙනවා හෙට දවල් වෙන්න කලින් කියවලා විස්තර කියනවා ම තමයි.... ෂුවර්. දැන් ලොකු වැඩක ඉන්නේ මනෝෂ්.....................
ඒකට කමක්නෑ ගී පවුරේ...මං දන්නවා කොයි වෙලාවෙ ආවත් ගී පවුරේ කමෙන්ට් එක හැමදාමත් ලිපිය තවත් ලස්සන කරනවා කියලා. හෙට ඇවිත් නිවාඩු පාඩුවේ කියවලා අදහසක් දෙන්නකෝ..
Deleteහරිම සාර්ථකයි මනෝෂ්.......
Deleteකතාව හරිම සංවේදීව ආයෙමත් මතක් කරලා බලන්න වෙනවා ඔබේ අවසන් සටහනත් එක්ක. ඒ කතාව ඔබේ කතාව කියලා කිව්වා ම ආයෙමත් ඒක කියවලා බලන්න අපිට හිතෙනවා. හරිම සංවේදීයි සහ සාර්ථක නිර්මාණයක් මනෝෂ්. කතාව ගොතලා නෙමෙයි ඇත්ත කතාවකට ගීතයක් සම්බන්ධ කරලා කිව්වා නම් හරි මං හිතන්නේ... මේකෙදී කතාවත් ඇත්තක්. මං දන්නෑ මේ ගීතයේ සැබෑ කතාවත් ඇත්තක් ද කියලා......
කොහොම වුණත් නැවත වරක් ඔබේ නිර්මාණශීලීත්වය ඔබ මොනවට ඔප්පු කරලා තියෙනවා මනෝෂ්. හරිම සතුටුයි.
අන්න හරි ගී පවුරේ...හැබෑ කතාවකට ගීතයක් සම්බන්ධ කලා. ඒ කතාවේ ඒ විරාමයට මට වඩාත් සුදුසුම යැයි හැඟුනේ මේ ගීතය තමයි. කුරුටුලාට විතරක් නෙවෙයි. මංම ලියපු මේ කතාව මටත් නැවත නැවත කියවන්න හිතෙනවා. ඒ හැම වෙලාවකම ඕනිම අභියෝගයක් කඩාගෙන බිඳගෙන යන්න පුලුවන් විදියෙ අමුතුම හයියක් හිතට දැනෙනවා.
Deleteමනෝෂ්, උඹ මගේ අතීත පෝස්ට් කියවලා ඇත්නම් මීට සුළු වෙනස් කම් තියෙනව මගේ කතාව කියවලා ඇති.. බලාගෙන යද්දී අපි ඔක්කොම එකම බෝට්ටුවේ හිටිය මිනිස්සු බං.. සතුට තමයි අපේ බෝට්ටුව කොතනකදිවත් පෙරළුනේ නැති එක..
ReplyDeleteදිනේෂ්.... මට උඹේ අතීත පෝස්ට් ටිකනම් තාම කියවගන්න බැරිවුනා. ඒත් උඹ කියන මේ කතාව හින්ද මට දැන් ඕනි ඒ ටිකත් ඉකමනටම කියවන්නයි.
Deleteමේ කමෙන්ට්ස් වල උඩ ඉඳල පහලට ආපු අපි හැමෝගෙම කතාව මේ වගේම වෙලා මචං. ඒකත් හරි පුදුමයි. දුකෙන් නැගිට්ට අපි හැමෝටම පුදුමාකාර සංවේදී හදවත් ඉතිරිවෙලා තියෙනවා. අපි හැමෝම එකම බෝට්ටුවේ. ඒත් අපි සාර්ථකව තොටුපලට සේන්දුවෙලා. ඒක ක්ෂේම භූමියක්..
පට්ටයි මචං.. මගේ සැලියුට් එක උඔට.
ReplyDeleteස්තූතියි මචං..
Deleteමිට ඉස්සර මෙි ගිතය ගැන මම තේරැම් අරගෙන තිබුන විදිහ සම්පුර්නයෙන්ම වැරැදි. ධම්මික මහතාගේ විචාරයත් කියෙව්වා.
ReplyDeleteපරන ලිපි ටිකත් කියවන්න හිතාගෙන ඉන්නේ.
උඹ විතරක් නෙවෙයි, ධම්මික බංඩාරයන්ගෙ ගීත විචාරය හම්බෙනකල් මාත් ඒ ගීතයේ අර්ථය වැරදියටයි වටහාගෙන තිබුනෙ.
Deleteපුලුවන්නම් පරණ ටිකත් කියවපන් මචං. ගීත ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න ඒක ලොකු අත්වැලක් වෙයි.
වෙනදට වඩා අද කතාව සංවේදී මචෝ...
ReplyDeleteමේ කාවෙන් උඹට පුළුවන් අපිව අඩවන්න...
ඇත්තමයි...
හිත හිල් කල දාපු කතාවක්...
දාඩිය කදුුළු දුක මතින් නැගිටපු එකා තරං පොරක් මේලෝකෙ නෑ බං...
පට්ට කියන්නෙ පටේ පට්ට...
ජයවේවා
\\දාඩිය කදුුළු දුක මතින් නැගිටපු එකා තරං පොරක් මේලෝකෙ නෑ බං..//
Deleteඅනිවාරෙන්ම මචං. අන්න එතන තමයි වටිනාකම තියෙන්නෙ. මේ කතාව උඹව ගොඩක්ම සංවේදී කරල වගෙයි..
අතීතය අමතක කරලදාලා ජීවත්වෙන්න හදන වර්තමාන මිනිස්සු අතරේ ඔබ හරිම විශිෂ්ඨයි.. මේ ගීතය නැවත අහන සෑම වාරයක් පාසාම මට මේ කතාව මතක් වෙයි.. ඒ තරමටම මේ සිදුවීම තදින් හිතට දැනුනා..
ReplyDeleteමං අර උඩිනුත් වතාවක් කියල තියෙනවා වගේ මුල අමතක වෙච්ච මිනිහට කවදාවත් අගක් නෑ තුශානි. මුල හොඳට මතකයි නම් හැමදාමත් මුදුන් අතුවල, රිකිලි වල සුවඳ මල් පිපෙනවා. ගෙඩි හැදෙනවා.
Deleteගොඩක්ම ස්තූතියි ඔබට..
තමන්ගේ අතීතය අමතක නැති මිනිහාට, තමන්ගේ දෙමව්පියන් අමතක නැති මිනිහාට, තමන් කවුදැයි නිවැරදිව අවබෝධ කරගත් මිනිහාට, තමන්ගේ ජීවිතය කවදාවත් වරදින්නේ නැත. ඔබේ උතුම් දෙමව්පියන්ගේ ආදර්ශවත් ජීවිතයට ආශිර්වාද වේවා!
ReplyDeleteඒක තමයි නියම ජීවිත දර්ශණය විචාරක. ඇත්තෙන්ම, අපි කවදාවත් අතීතය අමතකකරලා අනාගතයක් ගැන හිතල වැඩක් නෑ. අතීතයෙන් ලද පන්නරය තමයි අනාගත ජීවිතය සාර්ථක කරන්නෙ.
Deleteවිචාරකටතුමාට ගොඩාක්ම ස්තූතියි..
පුස් කාපු පාං ගෙඩිය එක්ක නැවුම් වූ ආදරය හරියට දැං පෝරණුවෙන් බෑව වගෙයි.ආදරේ නැවුම් වෙන්නෙ වේදනාවන් එක්ක, හරියට උම මේ බ්ලොග් එකේ උඩ කලාව වේදනාවෙන් උපදිනව කිව්වා වගේ.පුස් නොකෑ නිර්මාණ ශක්තියට සුබ පැතුම්!අගොස්තු 7 - 8 මගේ නාට්‍ය්‍ය ප්‍රදර්ශනය වෙනවා.බස්නාහිර පළාත් සෞන්දර්්‍යය නිකේතනය වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.එදාට වරෙල්ලා කොොහාමහරි අපහසුතා ගොඩක් මැද්දෙ උඹලගෙ සෙනෙහස දිරිය වගේම මූල්‍යමය වශයෙන් ආදරය කරපු කීප දෙනාගෙ හයියත් මේ නිර්මාණයෙ තියෙනවා.
ReplyDeleteඅගනුවරින් ගවු ගානක් ඈතින් ඉන්න අපිට ඒ වගේ දේකටවත් සහභාගිවෙන්න තරම් වාසනාවක් නෑ නිශ්මන් අයියේ.
Deleteඔයා පෝස්ට් එක ගැන දුන්න අදහසනම් මසුරන්.
\\පුස් කාපු පාං ගෙඩිය එක්ක නැවුම් වූ ආදරය හරියට දැං පෝරණුවෙන් බෑව වගෙයි.ආදරේ නැවුම් වෙන්නෙ වේදනාවන් එක්ක//
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
පුළුවන්නම් ඇවිත් යන්න වරෙං.නැත්නම් උඹලගෙ ගමට ආපු දවසක හරි බලල මට දැනෙන දේ කියපං.කවුරු හරි ඉන්නවනම් ඩ්‍රාමා එක ගෙන්නන්න මේ නම්බර් එකට කතා කරපං
Deleteතීක්ෂණ ගම්මන්පිල - 0773 673 785
බොරු කියන්නෙ මොකටද අයියේ, එන්න නම් අවස්ථාවක් නැතිවෙයි. ඒ අපේ ලැබීම. ඒත් මේ දුන්න නම්බර් එකනම් මට ගොඩක් වටිනවා. අපේ නගරෙටත් මේ නාට්‍ය ගෙන්න ගන්න අවස්ථාවක් ලබාගන්න මං මගේ උපරිම උත්සාහය යොදනවා. බොහෝම ස්තූතියි අයියේ..
Deleteනියමයි මනොෂ්... කියන්න වදන් නෑ...
ReplyDeleteජය වේවා!!!!
ස්තූතියි විදානේ....
Delete