Pages

Sandumal

Sandumal

Friday, August 15, 2014

•නිල් මහනෙල් බරයි කියා

"වාන් දැමූ පට්ටන්දර අද පරසක්වළ..."







"නංගියේ..මොකද්ද බං මේ ලියුම? ඈ බං, මේ ගාමන්ට් එකකින් නේද?"

"කෝ ඕක මෙහෙ දෙන්න අක්කෙ. ඕක මට ඇවිත් තියෙන්නෙ?"

"මොකද නංගියේ මේ? උඹ ගාමන්ට් යන්නද හදන්නෙ?"

"අනේ නංගියේ, මං මට පුලුවන් විදියකට කන්න අඳින්න දෙන්වනේ, ඇයි රත්තරන් උඹ රස්සාවක් කරන්න හදන්නෙ? මලක් වගේ සැහැල්ලුවට සියුමැලිව හැදිච්ච උඹට බෑ බං කොළඹ රටේ ගිහින් මෙච්චල් වෙන්න"

"බෑ කියල හරියන්නෙ නෑ අක්කෙ. අක්කට තවත් දුක් විඳින්න දෙන්න බෑ මට. මගේ හිත හයියයි. මං යනවා අක්කෙ මේ රස්සාවට."


***************************************************************************************
                                                                                    



2001.08.17
නිවසේදීය,



    දයාබර නංගී,

උඹ නිවාඩුවට ඇවිත් ආපහු ගිහින් එව්ව ලිව්ම හම්බුනා. උඹ පරිස්සමට ගියා කියල දැනගත්තට පස්සෙනම් මගේ ඇඟට ලේ ටිකක් ඉනුවා. මං දන්නවා මං මේ ලියන වෙලාවෙත් උඹ ඔහෙටවෙලා මහන මැසිමත් එක්ක ඔට්ටුවෙනව කියලා. උඹ ඔය මහන ඉඳිකට්ට උඩ පහළ යන හැමවෙලාවකම මගේ පපුව කීරි ගැස්සෙනවා නංගියේ.

දුකයි නංගියේ, වාවගන්න බැරිතරම් දුකයි. ඒත් ඒත් එක්කම ආඩම්බරයි මට උඹ ගැන. උඹට අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ, අම්මයි තාත්තයි ඔත්පල වෙනකොට උඹ බොහොම පුංචියි. මල්ලි ඊටත් පුංචියි. මට යන්තම් අවුරුදු දාසයයි. ඉස්කෝලෙ ගමන නවත්තල මං පුලුවන් හැටියකට පවුලෙ බර කරට ගත්තෙ බර උහුලන්න පුලුවන් කමකට නෙවෙයි. ඒත් ඉන්න හිටින්න ගේ කෑල්ලයි ඉඩමයි තිබ්බ නිසයි, වත්තෙ පොල්, කොස් ගස් වලට පිංසිද්ධවෙන්නයි අපි තුන්වේල සරිකරගත්තට අනික් වියදම් හොයාගන්න ඕනි නිසයි උඹලට ඩිංගක් හරි උගන්නගන්න ඕනි නිසයි මං කුලී වැඩක් හරි කරල කීයක් හරි හොයාගත්තෙ. ඒත් මල් වගේ හැදුනු උඹලට ඒ බර දෙන්න මට තුන් හිතකින්වත් හිත් දුන්නෙ නෑ.

ජීවිතේ බරක් පතලක් නැතිව වරා මල් දෙකක් වගේ සැහැල්ලුවෙන් උන්න උඹයි මල්ලියි දිහා බලල මං මගේ දුක් තුනීකරගත්ත. ඒ නිසා මේ ජීවිතේ බර ඩිංගක් වත් උඹල දෙන්නට දැනෙන්න දෙන්නැතිවෙන්න මං පරිස්සං උනා. නිල් මානෙල් මලක බරවත් දරාගන්න බැරි උඹ, වැවේ දියකඳ කපාගෙන එන හීල් හුළඟෙ හීතල දරාගන්න බැරි තරම් සියුමැලි උඹ කොහොම මේ ජීවිතේ බර දරාගන්නද කියලයි මට ඒ කාලෙ හිතුනෙ.

ඒත් උඹල උස් මහත්වෙනකොට සුද්දෝදන රජ්ජුරුවන්ට සිද්ධාර්ථ කුමාරයාගෙන් ලෝකෙ දුක හංගන්න බැරිවුනා වගේ මේ ජීවිතේ බර උඹෙන් තවත් වහං කරගන්න මට පුලුවන් උනේ නෑ. දැනුං තේරුං ඇතිවෙනකොට ජීවිතේ අමාරුව උඹට තේරුණා. මං හොයාගන්න පිච්චියෙන් මල්ලිගෙයි උඹගෙයි දෙන්නගෙම තියා එකෙක්ගෙවත් ඉගෙනීමට සෑහෙන්නෙ නැතිබව උඹට තේරුණා. ඉතින් උඹ ඉස්කෝලෙට පිටුපානකොට ඒකට මට උඹට බනින්න පුලුවන් කමක් තිබුනෙ නෑ. ඒත් උඹ මල්ලිට එහෙම කරන්න දුන්නෙ නෑ. ගුටි දීල හරි ඌව ඉස්කෝලෙට එලෙව්වා.

ඊළඟට උඹ පත්තර පුරා පෙරල රස්සා හොයනකොට, ඒ දිහා බලං හූලන්නව ඇර වෙන කරන්න පුලුවන් දෙයක් තිබුනෙ නෑ මට. උඹලගේ අඩුපාඩු පිරිමහල දෙන්න මට හයියක් නැතිකොට මං කොහොමද කටක් ඇරල උඹව වලක්කන්නෙ. උඹේ වයසෙ කෙල්ලෙ හැඩට වැඩට අඳිනකොට උඹ හැමදාමත් සෝද සෝද දියාවෙලා ගිය එකම චීත්ත ගවුම ඇන්ද. අනික් එවුන් කනේ අරුංගල් දානකොට උඹ කන් සිදුර වැහෙනවට කරපිංචා නැටි දෙකක් ගහගත්තා. ඉතින් මං කොහොමද උඹට මේ දුක් තවත් විඳින්න අරින්නෙ.

කොහොම උනත්, මට ආඩම්බර සැහැල්ලුවෙන් උඩ පැන පැන පුංචි බොළඳ කෙල්ලෙක් වෙලා ඊයෙ පෙරේද වෙනකල් උන්නු උඹට අද තියෙන ආත්ම ශක්තිය ගැන. මේ ඔක්කොටොම වඩා අදහගන්න බැරි මහමෙරක් තරම් වෙච්ච මේ බර කන්ද කරට ගත්ත උඹ ගැන.

කාලයක් ඉර හඳ වෙලා අපිට එළිය දුන්නු, ඒත් අද දුඹුලු බැඳිල එළිය නිවුනු අසරණ දෙමවුපියෝ දෙන්න අද උඹ නිසා පණගහල ඉන්නවා. ඒ සරණයො දෙන්නගෙ බඩට ගුණ කෑමක් වැටෙන්නෙ උඹ හින්දයි. දෝස්තරල සස්ටජන් දෙන්න කිව්වට ඒ කාලෙ මං බත් කැඳ ටුකක් හරි හදල පෙව්වෙ කොච්චර අමාරුවෙන්ද. ඒත් දැන් උඹ හිංද ඒ මිනිස්සුන්ට හැමදෙයක්ම ලැබෙනවා.

ඔක්කොටම වඩා පොඩි එකාගෙ අධ්‍යාපනය. ඌටත් දැන් අඩුවක් පාඩුවක් නැතිව ඉගෙන ගන්න පින පෑදිලා තියෙනවා. මේ දවස් වල ඌ නැහීගෙන පාඩම් කරනවා. උඹ ගැන මතක් කරකර අඬනවා, කොල්ලෙක් වෙලත්. අක්කගේ සල්ලිවලට. දාඩිය මාන්සියට හොඳ ප්‍රතිපලයක් අරන් දෙනවා කියනවා. අකුරු කරගන්න බැරිව නිවිල යන්න ගිය ඒ තරු කැට වලට ආයෙ එළිය දුන්නෙ උඹයි නංගියේ.

දවසට එක වේලක් පත්තුවෙච්ච උඹෙයි මගෙයි මැටිගෙදර ලිප දැන් වේල් තුනටම පත්තුවෙනවා නංගියේ. කොටින්ම උඹ නිසා අපි හතරදෙනාම ජීවත්වෙලා ඉන්නවා. උඹ අපිව ජීවත් කරනවා. ලෙඩින් ඉන්න අම්මයි, අප්පච්චියි දාල යන්නයි, මල්ලියා බලාගෙන ඌට කෑම ටික තේ ටික හදල දෙන්නයි ඕනි නිසා මං මෙහෙම ඉන්නවා මිසක්, නැත්නම් මාත් උඹ එක්ක එනව නංගියේ. කොහොම උනත්  අපේ ගෙදර ඇවිලිච්ච මේ ගින්දර නිවා දාපු උඹ ගැන කියන්න වචන මට හොයාගන්න බෑ රත්තරනේ. ඒවට මටපොඩිකාලෙ වගේ උඹට කියන්න පුලුවන් කවි සිංදු නෑ නංගි. 

ඉඳිකටු මල ආදරෙන් උඹ ඉම්බෙ රිදෙන බව දැනගෙනම බව මං දන්නවා නංගියේ. ඒත් ඒ ඉඳිකට්ට උඹ ආදරෙන් ඉම්බෙ අපි වෙනුවෙන් කියල මතක් වෙනකොට පපුව හිරවෙනවා වගේ. ඒ වේදනාව සතුටක් කරගෙන ඒත් උඹ හිනාවෙනවා. අපිටත් හිනාවෙන්න කියනවා. උඹ කොච්චරනම් දුකක් විඳිනවද මගේ නංගියේ. ඔය හිනාවට යටින් ගල් කරගෙන ඉන්න කඳුලුවල බර මට දැනෙනවා. අනේ මට උඹේ කඳුලු දියවෙලා යනකල් අඬන්න පුලුවන්නම්..

හීනි හීනි නූල් එකට අමුනල උඹ ඔය මහන්නෙ අපේ ජීවිතේ ඉරුණු තැන්. උඹ මහන නූල් පොටේ එල්ලිලා අපි අපේ ජීවිත ජීවත් කරනවා. උඹේ ඔය නූල් පොට අපේ ගෙදර හැමෝගෙම අත්වැල වෙලා.

උඹ ගමෙන් ගිය දවස් වල ගමේ උන් නොයේක් කයි කතන්දර කිව්වා. අපේම නෑයො පවා. හැබැයි ඒ එකෙක්වත් එච්චර කාලෙකට අපිට හාල් මිටක් දීල නෑ. උන්නද මළාද බලල නෑ. උන් කිව්වා උඹත් ඉවරය් කියලා. සිදාදියේ ගාමන්ට් රස්සාවට යන එවුන් ගැන කුමන කතාද කිව්වා. ජුකී මහන්න ගියා කියන්නෙ ඉතින් ජීවිතේ විහින් ඉවරකරගත්ත වගේ කිව්වා. සමහරු පාරෙ යනකොට මට ඇහෙන්නම හින්ට් ගැහුව. සමහර උන් කිව්ව කුණු කතා මට උඹට කියන්න බෑ මගෙ නංගියේ. ඒ තරම්ම දේවල් උන අපිට කිව්ව. මං මගේ රත්තරං වෙනුවෙන් ඒ හැම වෙලේම හිත යටින් අඬා වැටුනා. ඒත්, මං මගේ නංගි ගැන දන්න නිසා ඩිංගක්වත් බය උනේ නෑ. ඒත් මට ගොඩාක් දුක හිතුන.

ඒත් නංගියේ උඹ පහුගිය දොහේ ගම ආවම ඒ හැම එකාගෙම කටවල් වැහුනා. මට තාමත් මැවිල පේනවා උඹ උඹට තිබ්බ එකම දම්පාට බ්ලවුස් එකයි, දිග සායයි ඇඳගෙන ගමෙන් ගියපු හැටි. ගමේ උන් කිව්වෙ උඹ නිවාඩුවට එනකොට දැන් බලාගත්තැකි කියලා. ඒත් උඹ ගමේ උන්න වගේම චීත්ත ගවුම් කෑල්ලක් ඇඳගෙන උඹේ බිමට දිග කොන්ඩේ එහෙට මෙහෙට පද්ද පද්ද ඉස්සර වගේම එනකොට උඹට ගල් ගහන්න බලං උන්නු එවුන්ගෙ කටවල් පූට්ටු උනා. පට්ටන්දර දෙඩෙව්ව උනුයි, උන්ගෙ පට්ටන්දරය් උඹ පර සක්වලටම වීසිකලා බං. දැන් දැන් ගමේ හැම එකාම උඹේ වරුණෙ කියන්න පටන් අරං.

ජයසේකර මුදලාලියගෙ පුතා තැන් දෙක තුනකම කියෝල තියෙනවා උඹව කරකාරෙට ගන්න මනාපයි කියල. මං දන්නවා පුංචි සංදියේ ඉඳලම උඹට ඒකව නයාට අඳු වගේ කියල. මං මේ කිව්වෙ ගමේ එකාලගෙ උඹට තියෙන ගෞරවේ ගැන.

ඉතින් නංගියේ මං දැනට නවතින්නම්. ආයෙ වංගියක් උඹට ලියන්නම්. උඹ්ට උපදෙස් දෙන්න මං පණ්ඩිත නෑ. අනික උඹට එහෙම ඕනිත් නෑ. මගෙ නඟා ගැන මං දන්නවා. අම්මයි, අප්පච්චියි, මල්ලියි උඹව ආදරෙන් මතක්කරන්න කිව්වා. පරිස්සමින් ඉඳපං මගෙ නංගියේ. උඹට දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි.


මීට,
අක්කා.







නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද
ඇල් සුළඟත් රළුයි කියා සිසිල නොවින්ද
කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද 
අදහන්නට පුළුවන්ද...

දුඹුලු බැඳී ඉර හඳ දෙක
අකුරු බැරිව රන් තරු කැට 
මුළුතැන් ගෙයි ඇවිලෙන දුම් නොනගින ගින්දර 
නිවූ නුඹට වඩා කුමන කවියද සුන්දර...

තබා දෙතොල ඉඳික‍ටු තුඩ 
මිහිරි සිනා විකසිත කළ 
නූල් පටින් නුඹ තැනුවේ ගෙදරට අත්වැල
වාන් දැමූ පට්ටන්දර අද පරසක්වළ

පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
සංගීතය : රෝහණ වීරසිංහ





පසුව ලියමි

කිවියර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ තවත් අසමසම අපූර්වතම පද පෙලක් කලකට පසුව ඔබ හමුවට ගෙන ඒමට අවස්ථාව ලැබුණි. මෙහිදී මතක් කල යුතු සුවිශේෂිතම කාරණාවනම්, මේ අපූර්වතම ගීය මගේ දෙසවනට සමීප වූ අකාරයයි. එහි සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ අපේ හිත මිතුරු පත්තර මල්ලී බ්ලොග් රසවතාටයි. පහුගිය දිනෙක ඔහු මෙම ගීය මට රසවිඳීමට අවස්ථාව සැලසූ අතර මේ සඳහා සංවේදනාවක් ලිවීමට යෝජනා කලේය. ඒ අනුව ඔබට අද මෙම සංවේදනාව සහ ගීතය සමීප කිරීමට මට අවස්ථාව හිමි විය. එනිසා පළමුවෙන්ම පත්තර මල්ලීට මාගේ දයාබර ස්තූතියි පුදකර සිටින්නෙමි. මෙලෙස දයාබර සහෘද ඔබෙන් ලැබුනු ගීතයන් කිහිපයක්ම මා සතුව සුරැකිව පවතින අතර සුදුසු වේලාවන් හීදී එම ගීත සඳහාද සංවේදනාවන් ඔබවෙත ගෙන ඒමට බලාපොරොත්තුවෙන් සිටින්නෙමි.

ගීතය පිළිබඳව යමක් කියනවානම්... මා මෙසේ කියන්නම්. මෑත කාලයේදී මා ඇසූ වඩාත් රසවත්ම, සංවේදීම, පපු කුහර විනිවිද ගිය විශිෂ්ඨතම ගීතය මෙයයි. එය එතරම්ම මගේ හදවතට දැණුනි. ගීතය තුලත් වඩාත් මා සිත් ගත් කොටස වන්නේ ගීතයේ අවසන් කොටසයි. 

"තබා දෙතොල ඉඳික‍ටු තුඩ 
මිහිරි සිනා විකසිත කළ 
නූල් පටින් නුඹ තැනුවේ ගෙදරට අත්වැල
වාන් දැමූ පට්ටන්දර අද පරසක්වළ"

"වාන් දැමූ පට්ටන්දර අද පරසක්වළ" මෙම වචන කිහිපය තුල කෙතරම් නම් දිගු කතාවක් අන්තර්ගත වන්නේද. මෙම වචන කිහිපය තුල කෙතරම් වටිනා පණිවිඩයක් අපේ සමාජයටත් ඇඟලුම් සේවිකාවන්ටත් ලබා දෙන්නේද. මෙයයි පද රචනයේ අපූර්වත්වය. මෙයයි පද රචකයාගේ විශිෂ්ඨත්වය. ගීතයක් තුල රත්න ශ්‍රී ලකුණ මෙයයි. ගීත රචනය තුල ඔහු අසම සම යැයි මා පවසන්නේ එනිසායි. ඒ හා මුසුවුන දීපිකා ප්‍රියදර්ශණී මහත්මියගේ හඬ මාධූර්‍යත්, රෝහණ වීරසිංහයන්ගේ මිහිරි තනුවත් සිංහල ගීත සාහිත්‍යට තවත් අපූර්වතම නිර්මාණයක් උරුම කර දී ඇත.

ගීතයක තනුව, සංගීතය මා රසවින්දද, ඒ පිළිබඳ විචාරයක් කිරීමට තරම් සංගීතය පිළිබඳ දැනුමක් මා හට නොපවතී. නමුත් මේ ගීතයේ සංගීතයේද යම් සුවිශේෂි බවක් ඇතැයි මට හැඟෙයි. ඒ ගීතය පුරාම කඩින් කඩ ඇසෙන අපූරු නාදයයි. එය මෙන්න මේ අහවල් නාදය යැයි කීම්ට මා පොහොසත් නැත. එසේ වුවද ගීතය රසික හදවතට අවධාරණය කරමින්, මේ කියන කතාව තුලම අප රඳවා ගනිමින් ඒ වැයෙන පසුබිම් වදනය ගීතයට අපූරු වර්ණයක් ලබා දී ඇත. එම වාදනය මට සිතෙන අයුරින් ස්වර පුවරුවකින්(කී බෝඩ්) නැඟෙන්නක් විය යුතුයි. මේ පිළිබඳ විවරණයක්, අපේ සංගීත විශේෂඥවරයා වන පත්තර මල්ලීගෙන් මම උදක්ම බලාපොරොත්තුවෙමි.

එසේනම් මේ සටහන මෙතෙකින් නිමා කරන්නෙමි. දයාබර ඔබට මේ ගීතයේ රසයද බෙදා ගැනීමට ඇරයුම් කරමි.

අවසාන වශයෙන් මමද ඇඟලුම් කර්මාන්තශාලාවක රැකියාව කරන අයෙකු ලෙස අපේ දයාබර ඇඟලුම් කර්මාන්තශාලාවල සේවය කරන සොහොයුරියන්ගෙන් මෙලෙස ඉල්ලීමක් කරමි.



"ඔබලා වෙනුවෙන් ගැයෙන මෙම ගීතයට ඔබලා විසින්ම සාධාරණයක් ඉටුකරලන්න."

ඒසේ නම් දැන් ගීතය අසමු...


video


Tuesday, August 12, 2014

•සිලිං බිලිං කූරු වළලූ

"අල්ලන්නට ආස ඇති කඳුළු වලට දෙන්නෙ නැතී
බෝනික්කෝ කඳුලැල්ලෙන් බොඳවී මැකුණා..."






සිහිනෙන් ගෑ සුවඳක් මෙන් යටි සිත පත්ලෙහි තැන්පත්ව තිබූ මතක අග්ගිස්සක ඡායා මාත්‍රයන් පසුකරමින් මෝටර් රිය පදවමින් සිටි මගේ පාදය ක්ෂණිකවම තිරිංග හා සිර වූයේ අකුණු පහරක් මෙන් පැන නැඟී ආ සිතුවම් පටක් අසුරු සැනකින් මගේ නෙත් සිත මානයේ පෙනී නොපෙනී ගිය නිසාවෙනි. ඒ සමඟම අවධි වූයේ මසිතෙන් මැකී යමින් තිබූ අතීතාවර්ජනයක සිහින සිතුවම් පටයි.

අඳුරින් ගහන වූ මතක මංපෙතක මෝටර් රිය පදවාගෙන ආවද, මෙතෙක් වෙලාවක් මොහොතකට හෝ නැවතී රථයෙන් බැස දුහුවිල්ලෙන් පිරි සුපුරුදු මාවතට පය තැබීමට මසිත නොපෙළඹුනද අසුරු සැනකින් දුටු එක්තරා දසුනක් මාව ක්ෂණිකවම නතර කිරීමට සමත්විය. නෙත් අදහා ගැනීමට නොහැකි වුවද සෙබස්තියන් මාමාගේ තොරොම්බල් කරත්තය විසි වසරකට පෙරාතුව නවතා තිබූ ස්ථානයේම එලෙසින්ම නවතා තිබුනි. එකලට වඩා බෙහෙවින් මහළු වුවද එදා තිස් වියෙහි වූ ඔහු අද පනස් වියැති වියපත් මිනිසෙකුව එදා මෙන්ම එක් අතක් කරත්තයට බරකොට ඊට හේත්තු වී සිටියේය.

එදා මෙන්ම අදද දැවැන්ත මාර ගස කරත්තයට සෙවන දුන්නේය. අසල වූ නළ ළිඳ එදාට වඩා මළ බැඳී තිබුනද තවමත් ක්‍රියාකාරී තත්වයේ පැවතුණි. තරමක් එපිටින් වූ බූන්දි, බොම්බ මොටයි, මුරුක්කු පිරවූ සේදිරිස් මාමාගේ කරත්තය එදා පරිදිම විය.ඒ සමඟම අතීතයේ මෙන්ම, තරමක් සුලු වෙනසකම් සහිතව "දිරිය පොළෙහි" වූ අනෙකුත් සියලු අංගෝපාංග අදත් එලෙසම නෙත් අභිමුව විය. මේ සියලු දේවල් නොව, මගේ හිත මොහොතකට නතර කරනු ලැබුවේ, මුලින්ම මං ඔබට හඳුන්වාදුන් සෙබස්තියන් මාමාගේ තොරම්බල් කරත්තය අභියස මා දුටු දසුනයි. ඇත්තෙන්ම එය සිහිනයක්දැයි මට සිතාගත නුහුනු විය.

දශක දෙකකට එපිට අතීතයේ දිනක මේ පරිසරය මැදම, මේ තොරම්බල් කරත්තය අභියස කඳුලින් පිරි දෙනෙතින් කුඩා දැරියක්ව මා බලා සිටි අයුරින්ම අදද, මගේම රුව මෙතන එලෙසින්ම දක්නට ලැබෙයි. ඇත්තෙන්ම මා දකින්නේ අවතාරයක්ද? නැතිනම් නපුරු සිහිනයක්ද? මගේම ආත්මයද? මා මැරී ඉපදීවත්ද? එලෙසින්ම, එලෙසින්ම, එදා වගේම, සායම් දියවී සේදී ගිය, දිරාපත්ව පඬරැල්වී ගිය, වර්ණයක් නොමැති වූ ගවුම් කෑල්ලකින් වැසී ගිය මේ ළමා ජීවිතය පෙර මාවම නොවන්නේද? බඩ මැදින් ඉරීගිය ගවුම් කෑල්ලෙහි ඉණ, දෙහි කටුවකින් අමුණාගෙන හැඩපලු ගෙතී ගිය කෙස්ස නිතර දෑඟිලිවලින් සකසමින්, හොටු බේරෙන නැහැය අතින් පිස දමා ගවුමෙහි පොඩිකර ගනිමින් කුණු දූවිලි වැකුණු නිරුවත් දෙපයින් මේ බලා සිටින්නේ මං ම නොවන්නේ කෙසේද?

කරත්තය තල්ලු කරන තාලයට සිලිං බිලිං හඬ නංවමින් දිලිසි දිලිසී ලතාවකට පැද්දෙන දේදුන්නේ පාට හතෙන්ම හැඩ වැඩ වූ වළලු, මාල, අරුමෝසම් දෙස හිනැහෙන නෙතින් ආසාවෙන් බලා ඉන්නා කුඩා දැරිය කරත්තයේ ගමන් තාලයට ඒ අසලින් ඇවිද යන්නේ මගේම අතීතයේ මා තනිකර දමාය.

ඒ අතීතයේ අඳුරු දිනයේ කුඩා දැරියකව හුන් මාද මෙලෙසින්ම සෙබස්තියන් මාමාගේ රෝද දෙකේ අත් කරත්තය පසුපස පියමැන්නේ අතින් අල්ලන්ට වරම් නැති නමුදු නෙතින් අල්ලා සිතින් තුරුලු කරගත් මේ අරුමෝසම් ලෝකය මගේම කරගනිමිනි.

එදා කරත්තයේ සිටි බෝනික්කන් මාව දැක මා සමඟ සිනාසුනි. ඒ, මදෙස බලා සමච්චලයට හිනාවුනු මිනිසුන් මෙන් නොව මගේ පුංචි සිතේ ඇතිවූ සිනහව මෙන්ම පිවිතුරුවය. මම බෝනික්කන් සමඟ කතාකලෙමි. පසු පසම දිවගියෙමි. බෝනික්කාටත් වඩා ලස්සන සුරංගනාවියක් එහි පැමිණුනි. ඇගේ මවට ඇවිටිලි කරනලදි. සැනකින් මාත් සමඟ සිනාසෙමින් කතාකරමින් හුන් බෝනික්කිය අර සුරංගනාවිය විසින් තුරුළු කරගන්නා ලදි. ඇගේ පපුවට සිරව ගිය මුහුණ ආයාසෙන් මුදවා ගත් බෝනික්කිය අවසන් වතාවට මා හට සිනා සී අතවනනු මං බොඳව ගිය දෙනෙතින් බලා සිටියෙමි.

අද ඇයද එලෙසින්ම බලාහිඳියි. කාසි ඇත්තෝ මේ විසිතුරු ලොව තමන් සතු කරගනිති. එදා මමත්, අද ඇයත් භෞතිකව හිමිකරගත නොහැකි  සිහිනය හදවතින් අයිතිකරගෙන මනෝ ලෝකයක සැරිසරති. කාසිවලට මිසක් කඳුලු වලට මාරු නොවන මේ අරුමෝසම් දෙස බලා කඳුලු කැට සලන්නේ, කවදාවත් හිමි නොවන අපට උරුම නොමැති ලෝකයක අසිරිය හදවතට අනින පිහිපාරවල් වල වේදනාවෙන් බව දන්නේ අපිම පමණි.

මම තවමත් පාත් නොකල රිය කවුලුවෙන් බලා හිඳිමි. ඒදා මෙන්ම සෙබස්තියන් මාමා කටේ ඇඟිල්ලක් ගසාගෙන තමා පසු පස එන කිළිටි කෙල්ලට බැන වදිනු පෙනේ. ඒත් ඇය හඬමින් සිනාසෙයි. මුදුන් වන මද්දහනේ හිරුගේ කිරණ අරුමෝසම් මාල වළලු වල ගැටී පරාවර්ථනය වෙයි. ඒ එළියට දැරිවිය ලොබ බැඳ ආදරයෙන් මුහුණට හරවා ගන්නට තැත් කලද පරාවර්තිත හිරු එළියද ඇගේ දෑස් නිලංකාර කරමින් රවා ඔරවා බලන්නේ උඹට මේ ලෝකෙ හිමි නෑ, දුවපං මෙතනින් කෙල්ලේ යැයි කියමින්දෝ කියා මගේ සිත කියයි. එසේ වුවද තමන්ට සැහැසිකම් කල හිරු කිරණට, හිස් අහසට, බොල් පොළොවට පවා අපි ආදරේ කලේ අපේ සෙවණට හුන් එකම සම්පත ඒ සොබාදහම පමණක්ම වූ හෙයිනි.

වීදි දරුවෙක්ව ගතකල මගේ ළමා විය මට පසක් කර දුන් නියත දහම අද මගේ නෙත ගැටුණු මේ අහිංසකාවිය උගනමින් සිටියි. එදා සෙබස්තියන් මාමාගේ රෝද කරත්තය පසු පස වරුවක්ම දිව යමින් හුන් මා සිහින ලොවින් පියවි ලොවට ආයේ, මෙලොව මට හුන් එකම හවුහරණ වූ දයාබර මවු සෙනෙහස මහ පාර මැද රක්ත වර්ණ කලාලයක වැතිර හුන් අයුරු දැකීමෙනි.  හදවත යකඩින් නිමැවුනු යකඩ යකෙකු මගේ හිඟන මව මහපාරේ බිලිගෙන හුන් ඒ කාලකණ්නි දසුනින් උන්මන්තක වූ මා මවගේ ගැහෙන සිරුර බදාගෙන හඬනු පමණි මේ අහස යට මගේ අවසන් මතකය. 

සිහිනයෙන් අවධිවුන මා සිටියේ සුරදූතිකාවන් පිරිවරාගත් බිමක බව මට හැඟුනි. ඒ මගේ නව ජීවිතයේ ඇරඹුම විය. ළමා නිවාසයක අනාථයෙකු ලෙස මා හැදී වැඩුණු අතර අවසානයේ මා ඉන් නික්මුනේ නීතීඥවරියක් ලෙසිනි. මේ, දශක දෙකකට පසුව මා කුඩා කල වීදි දරුවෙකු විලස හැදී වැඩුනු මගේ අහස යටට පැමිණි මුල්ම වතාවයි. තවමත් කිසිවක් වෙනස් වී නැත. මගේ අතීතය මට අතීතයක් පමණක්ම වුවද එහි වර්ථමාන උරුමක්කරුවන් ඒ ජීවිතය විඳිමින් සිටී.

හැර යානොහැකි, නොදුටුවා සේ නික්මිය නොහැකි මගේම අතීතය වෙත පියමං කිරීමට මෝටර් රථයෙන් බැසගත් මා ඒ අහිංසක දැරිය වෙත යාමට පිය ඔසවන විට අසල සිටි මිනිසෙකු හතරට පහට මා අභියස නැවී බුලත් කහට බැඳි දසන් දක්වා බයාදු ලෙස සිනාසී "නෝනා.." ලෙස මා ආමන්ත්‍රණය කරන ලදි. ඔහු එසේ බුහුමන් දැක්වූයේ මා තුල වූ අතීත කිළිටි වීදි දරුවාටද නො එසේනම් සුදු සාරියකින් වැසීහුන් සුදු පාට වැදගත් නෝනාටත් ඇය බැස ආ කාරයටත්ද යන්න මම නොදනිමි. ඒ කුමකට වුවද එදා මා හට කොලොප්පම් කරමින් ඇතැම් විට හිරිහැර කලවිටද මා සිනාසුනු අයුරින්ම ඔහුට සිනහවක් පා මා ඉදිරියට පියමැන්නෙමි.

සෙබස්තියන් මාමාද මා හඳුනානොගත් හෙයින්, "නෝනේ.. නෝනට මොනවැයි ඕනි" කියා මගෙන් ඇසීය. දෛවය කෙතරම්නම් පුදුමාකාරද. එදා මා සිහින මැවූ හැම කෙළිබඩුවක්ම අදද එහි විය. නමුත් ඒදා පොපියමින් මගේ හදවත මොරගා ඉල්ලූ ඒ ආශාවන් අද මා අසලකවත් නැති අයුරු!! ඒදා ආශාව විය. නමුදු වත්කමක් නොමැතිවිය. අද වත්කමක් ඇත, නමුදු ආශාවක් නොමැත. මෙය නොවේද ජීවිතය. නමුත් අදත් දිලිසෙන දෑසක් අරුමෝසම් දෙස බලා හිඳියි. ඒ පුංචි එකී ආශාවෙන් මිරිකෙමින් සිටී. "මෙයාට ආස හැමදෙයක්ම" සෙබස්තියන් මාමාට මම පිළිතුරු දුනිමි. "මේ හපුටු කෙල්ලට??" ඔහු මවිත වී අසයි. "නෑ මේ අහිංසක දරුවට" මම තරමක් දැඩිව පිළිතුරු දුනිමි. "හො..හොඳමයි නෝනෙ"

"කෙලී, බොට පේනවද? මේ නෝනා උඹට මෙව්වා අරන්දෙන්න යන්නෙ. කැමති එකක් ඉල්ලගනින්"

ඉමහත් පුදුමයට පත්ව හුස්මක් ඉහලට ගත් ඈ ක්ෂණිකව මා එදා වඩා ප්‍රියකල වර්ගයේ බෝනික්කෙකු රැගෙන ළයට තුරුල්කරගත්තාය. අමතරව වළලු කිහිපයක් ගත්තාය. පසුව බියෙන් මෙන් මදෙස බැලීය. නෙතට නැඟි කඳුලක් කාටත් හොරා පිසදාගත් මම ඇයට එහි වූ තවත් කෙළිබඩු කිහිපයක් ලබා දුන්නෙමි. තවත් මොහොතක් මගේ දෙනෙතට එබී හුන් ඇය මීළඟට මගේ නෙත් මානයෙන් එපිටට දිවගියාය.

නොපෙනී යන ඇය දෙස මොහොතක් බලා හුන් මා තවමත් මවිතයෙන් නෙත් අයාහුන් සෙබස්තියන් මාමාගේ මුදල ගෙවා හැකි ඉක්මනින් යලිත් මෝටර් රථය වෙත පැමිණියෙමි. වහා ඊට ගොඩවී දොර වසා ගත් මම රියදුරු අසුනේ වාඩිවී තදින් දෙනෙත් පියාගත්තෙමි.



"සිලිං බිලිං කූරු වළලූ පාට හතේ මාල පබලූ
වයිවාරණ අරුමෝසම් වටේට එල්ලා
රෝද දෙකේ මාළිගාව පොළට ඇවිල්ලා

කතා කරන බෝනික්කෝ  පියා සලන සූටික්කෝ 
කාසි වලට මාරු වෙලා අතින් අතට යනවා
මල් ගවුමේ අග හිඟ තැන් දෙහි කටුවෙන් හංගා ගෙන
පුංචි ඇහින් කඳුලැල්ලෙන් බැලූම් හෙළනවා

මද්දහනේ හිරු දෙවියෝ කැඩපතකින් ඔරවනවා
බලා උන්න පුංචි ඇහේ කඳුලැල් නැගුණා
අල්ලන්නට ආස ඇති කඳුළු වලට දෙන්නෙ නැතී
බෝනික්කෝ කඳුලැල්ලෙන් බොඳවී මැකුණා"


පද රචනය - හේමසිරි ගුණතුංග
සංගීතය - කලණි පෙරේරා
ගායනය - නීලා වික්‍රමසිංහ






(Silin Bilin Kuru Walalu - Neela Wikramasinghe)


********************************************************************************



පසුව ලියමි


අද ඔබ වෙත ගෙන ආ මෙම ගී සංවේදනාවට පසු මෙලෙස පසු සටහනක් තැබීමට සිත් වූයේ කරුණු තුනක් මුල්කරගෙනයි.



ඉන් පළමුවැන්න නම් මෙම සොඳුරු ගීතයේ තනුව නිර්මාණය කල කළණි පෙරේරා සංගීතවේදියාණන්ගේ ඡායාරූපයක් මා හට සොයා ගැඇනීමට නොහැකි විය. එනිසා මෙහි නීලා වික්‍රමසිංහයන්ගේ සහ මේ ගීතය අපට තිළිණ කල හේමසිරි ගුණතුංගයන්ගේ සේයාරුවක් පමණක් පලකරන ලදි. මේ පිළිබඳ දයාබර ඔබ මට සමාවුව මැන.

දෙවන කාරණය වන්නේ මෙම ගීතය නිර්මාණය වූ ආකාරයයි. අසූව දශකයේ රචනා වූ මෙම ගීතයද නිධාන කතාවක් සහිත් සජීවී ගීතයකි. වන්දනා චාරිකාවක් සඳහා පොලොන්නරුවට ගිය මොහොතක අහම්බෙන් ඇස ගැටුනු මෙම තොරොම්බල් කරත්තය සහ ඒ අසල හුන් මෙම අවිහිංසක වීදි දැරිය පිළිබඳ සිතෙහි උපන් සංවේගජනක සිතිවිල්ල ඔහු විසින් මෙලෙස ගීතවත් කරන ලදි.

තෙවැන්නනම් මේ ගීතයට අදාළ නොවන, මට සහ මගේ මෙම බ්ලොග් නිවහනට අදාල වන කාරණයකි. එනම් මෙම පෝස්ට්ටුවත් සමඟ මගේ පුංචි බ්ලොග් අඩවිය නැරඹුම් වාර විසිදහසට ළඟා වී ඇත. නැරඹුම් වාර දසදහසේදීත් මා ඔබට එය සිහිපත් කලයුරු මට අද මෙන් සිහියට නැඟේ. එහිදී ඔබ මා වෙත දායාද කල සුබ පැතුම් දිරිගැන්වීම හමුවේ දස දහසට ළඟා වූවාට වඩා කිහිප ගුණයක සීඝ්‍රතාවයකින් මා හට විසිදහසේ සීමාවට ළ්ඟා වීමට හැකියාව ලැබුණි. ඒ ඔබගේ අපරිමිත දායකත්වයෙනි. සහයෝගයෙනි, උපකාරයෙනි.

ඉතින්, පෝස්ට් 69ක් පුරා පසුපස ලුහුබඳින්නන් 71ක් සමඟින් මේ ගමන පැමිණීමට ඔබ මට ලබා දුන් අපරිමිත ශක්තියට මාගේ ස්තූතියි, ප්‍රණාමය මෙසේ පුදකර සිටින්නෙමි. ඔබට මාගේ ආචාරය!



******************************


විශේෂ සටහන 

මෙම ගීතය සඳහා තනුව නිර්මාණය කල කලණි පෙරේරා සංගීතවේදිනියක ලෙස මුලදී මවිසින් හඳුන්වා දුන් අතර ඒ මාතින් සිදුවූ අතපසුවීමකිනි. එම අවස්ථාවේ දේශක සහ පත්තර මල්ලී විසින් මාව නිවැරදිකිරීමට තරම් කාරුණික වූ අතර එම දෙපලට මාගෙ හෘදයාංගම ස්තූතිය පලකර සිටිමි.


තවද කලණි පෙරේරාගේ සංගීතඥයාගේ සේයාරුවක් මාහට සොයාගැනීමට නොහැකි වූ අතර ලිපිය සඳහා කමෙන්ට්ටුවක් යෙදූ තිස්ස දොඩංගොඩ සොහොයුරා විසින් මෙතුමාගේ සේයාරුවක් සහිත ස්බැඳියක් මාවෙත ලබා දීමට තරම් කාරුණික විය. තිස්ස සොහොයුරාටද මේ මොහොතේ මං මාගේ හදපිරි ස්තූතියි පුදකර සිටිමි.




Thursday, August 7, 2014

•පියසටහන්

"ජීවිත වැලි මළුවේ ගැඹුරටම එරුණු පියසටහන්..."





අද මං මේ කියන්න හදන්නෙ ටිකක් වෙනස් විදියෙ දෙයක්. ඇත්තෙන්ම අද මං ඔයාලට ගීත විචාරයක්වත්, සංවේදනාවක්වත් අරන් ආවෙ නෑ. ඒත් යමක් රන් ආවා. කියන්න හිතාගෙන ආවා. මේක එක්තරා ආකාරයක ඉල්ලීමක් විදියටත් කියන්න පුලුවන්.

කෙලින්ම මාතෘකාවට එන්නම්. අද මගේ කවිකාරි අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා. මේ කවිකාරි ගැන මීට කලින් වතාවකද දෙකකදි මං පුංචි ඉඟියක් ඔයාලට දුන්නා. ඔව්.. මගේ නිසා කියනවා නෙවෙයි. ඇය බොහෝම ලස්සනට කවි ලියනවා. නිසැඳැස් ලියනවා. එහෙම ලියපු කවි පොතක් එයා ළඟ තියෙනවා. ඒ ලියන බොහෝ දේවල් එයාගෙ ජීවිතේ එයාගෙ හිත සසල කරපු, පහන් කරපු, නිසල කරපු දේවල්. කොටින්ම සැබෑ ජීවන අත්දැකීම්. ඉතින් සයිබර් ලෝකෙ හුඟක්ම නුහුරු මේ කවිකාරිට මං කීපවතාවක්ම ඇවිටිලි කලා බ්ලොග් පිටුවක මේ නිර්මාණ අලවල තියමු කියල. ඒත් එයා ඒකට කැමති උනේම නෑ. කොටින්ම එයා ලියන ඒ දේවල් මට හැර වෙන කෙනෙක්ට පෙන්නන්නවත් එයා කැමතිත් නෑ.

"මං මේව ලියන්නෙ මගේ ආත්ම තෘප්තියට, ඉතින් ඒක එතනින් ඉවරයි. මේව මෙහෙම හරි පොතක ලියල එකතුකලේ ඔයා බල කරපු නිසා. ඉතින් මේව මොනාටද බ්ලොග් එකක් දාන්නෙ?"

ඔන්න යෝජනාව ගෙනාව වෙලේ එයා කිව්ව එක. ඒත් මං කිව්වෙ, කවුරු කියෙව්වත් නැතත් මේව මේ කොල කෑලි වල තියෙනවට වඩා සයිබර් අවකාශයේ කොහේ හරි පරිස්සමට අරන් තිබ්බම තව අවුරුදු සීයක් උනත් තියෙයි. කවදාහරි ඔයාටම මේව කියවන්න ලැබෙනකොට මීටත් වඩා ආත්ම තෘප්තියක් දැනෙයි. ඒ නිසා ප්ලීස් අපි බ්ලොග් එකක් පටන් ගමු කියලයි.

ඔන්න ඔහොමයි මේ නුහුරු ලෝකෙට මේ කවිකාරි එක්ක එන්න පාර කැපුනෙ. බ්ලොග් නුහුරු මටත් මේ සංස්කෘතිය අලුත් එකේ මේ කවිකාරිට මේ ගමන කොහොමත් අමාරුයි. මං ලියන බ්ලොග් සටහන් කියවල ඒවගේ ඔයාලා දාන කමෙන්ට්ස් කියවල බ්ලොග් කියන වචනෙ ගැන ඉස් ඉස්සෙල්ලාම දැනගත්ත මගේ කවි කාරිට මේ නුහුරු ලෝකෙට එන්න අත්වැලක් වෙන්න පුංචි සහයෝගයක් දුන්නා.

ඉතින් මං දන්නවා මේ බ්ලොග් ලෝකෙ ඉන්න ඔයාලා ගොඩක් දෙනා කවි රසවිඳින, නිසැඳැස් ලියන සොඳුරු රසවතුන් කියලා. ඉතින් මේ සුහද ආරාධනය ඔයාල හැමෝටමයි. මගේ කවිකාරිගේ බ්ලොග් අඩවියට ගොඩවැදී බලන්න. මේ නුපුරුදු ලෝකෙට හුරු වීමට ඇයට ඔබේ අත්වැල මහමෙරක් තරම් වේවි. ඔබේ අදහසක් ඇයට පහන් වැටක් වේවි. මේ පුංචි කාලෙදි ඔයාලා හැමෝම මට දුන්නු සහයෝගය, අත්වැල ඇයටත් ලබා දෙන ලෙස ඔබෙන් මම ඉල්ලා සිටින්නෙමි.

ඒ වගේම බ්ලොග් සින්ඩි පවත්වාගෙන යන දයාබර සොයුරු සොයුරියනි, ඔබගේ සින්ඩියට මේ අඩවියත් එකතුකරගන්නා මෙන් දයාබරව ඉල්ලනවා.


ජීවන වැලි මලුවෙහි සටහන් වූ "පියසටහන්" සමඟින් ඇයත් සමඟ අපිත් ඇවිද යමු..




"පියසටහන් මැකී නොමැත තව
මා ආ දිගු ගමනේ
මගේම පියවර මත පියනගමින්
ඔබ එනු දුටුවෙමි මා ලුහුබදිමින්
පියසටහන් මැකී නොමැත

ගිරි ශිඛර මුදුන්වල, වන ලැහැබේ අතු අග
දෝංකාර  දුන් එදා ගැයූ ගී
 මා ඔබට ගැයූ ගී
ඇසේද තවමත් ඇලේ දොළ් ගලනා ගීයේ

රලු බොරලු ගමන් මග
වැලිතලා වැනිය අද
හැරීබලමි මම
ඔබේ ඇසින්
ඔබ නොදුටු ඇසින්
නොවේද මතුවට ඔබත් මමත් හමුවන දවසක්
"

පද රචනය : සුනිල් ගමගේ
සංගීතය : ගුණදාස කපුගේ
ගායනය : ගුණදාස කපුගේ



*******************************************************************************




Sunday, August 3, 2014

•මල් පිපිලා එදා වගෙම බලන්න මැණිකේ

"එදා අපෙ හීන මාලිඟ මෙදා උන් තනා ගත් සඳ
කඩා නොලන්ටයි..."




"කීයටද අද ක්ලාස් ඉවරවෙන්නෙ?"

"දෙකහමාරට අම්මේ"

"හරි තුන වෙද්දි ගෙදරට එන්නෝනි, අතන මෙතන රස්තියාදුවෙනවා එහෙම නෙවෙයි ඔන්න"

"අනේ අම්මෙ, මට අද ලයිබ්‍රියට යන්නත් ඕනි. අනූත් එනවා කිව්වා, නෝට්ස් වගයක් හොයාගන්නත් තියෙනවා."

"අනේ මේ දුව, උඹට බෑ මාව තම්බන්න. උඹ ලොකූ අඩව්වුකට සැරසෙනව කියල මට හොඳට තේරෙනවා පහුගිය දවස් ටිකේ ඉඳලම. මං මේ බොහෝම කරුණාවෙන් කියන්නෙ, උඹ ගෑල්ලමෙක්. වීදුරු බඩුවක් වගේ පරිස්සමට ඉඳපන්. උඹල මේ තත්වෙට උස්මහත් කරන්න, සමාජෙන් කතාවක් නාහ හදාගන්න අපි ගොඩාක් දුක් වින්දා. අනික විභාගෙට තව දවස් කීයද. මේ මනුස්සයාගෙ දාඩිය වලට කඹුරන්නැතිව හොඳට ඉගෙනගනින් අනන් මනන් අත්තැරල දාලා."

"අනේ අම්මෙ, අම්ම මේ උදේ පඳරම මොන විකාරයක් කියවනවද කියල මටනම් තේරෙන්නෙ නෑ. බලන්නකො තාත්තෙ."

"අනේ මේ, උඹ තොත්ත බබා. උඹට මං කියන දේ තේරෙන්නෙම නෑ. ඒකෙන් කමක් නෑ, උඹ තුන වෙද්දි ගෙදර නාවොත් අද මං උඹව හමගහනවා."

"හරි කුසුම්, හරි. කලබල නොවී ඉන්නකො. අපේ දුවට මොලේ තියෙනවා එයා එහෙම වැරදි දෙයක් කරන්නැතිවෙයි"

"අනේ මේ තිස්ස, ඔයා තමයි මේ හැමදේම කරන්නෙ. අඩුපාඩුවට හරියන්න තව ෆෝන් එකකුත් අරන් දුන්නා. දැන් හොඳයිනෙ. හැබැයි තිස්ස මේකි මොකඛරි ජරමරයක් පටලගත්තොත් ඔයා තමයි වගකියන්නෝනි."

"දරුවට ෆෝන් එකක් අරන් දුන්නෙ හදිස්සියකදි ගෙදරට කෝල් එකක් ගන්නනේ කුසුම්, අනික දැන් මේ වයසෙදි මොන ළමයා අතේද ෆෝන් එකක් නැත්තෙ."

"හපෝයි ගෙදරටම කෝල් ගන්න. එතකොට රෑ දෙගොඩහරි යාමෙ කාමරේට වෙලා මුනු මුනු කෝල් ගන්නෙ මොන ගෙදරටද දන්නෑ. අනේ මේ තිස්ස ඔයත් මගෙන් මොකුත් නාහ ඉන්න."

හරි හරි, දූ... ඔයා අද ක්ලාස් ඉවරවෙච්චගමන් ගෙදර එන්නකො. වැඩේ ඉවරයිනෙ. ලයිබ්‍රියේ වැඩේ වෙන දවසක කරගමු අපි. අද එන්න. හරිද?"

"හොඳයි තාත්තේ.."

"හ්ම්.. එහෙනම් දැන් පරිස්සමට යන්න. පරක්කුවෙනවනේ."


*********************************************************************************

"ඔහොම කලබල වෙන්නෙපා කුසුම්. ඔයාට අඬන්න තරම් දෙයක් උනේ නෑනෙ ළමයො."

"ඔයානම් කියයි තිස්ස. මට විතරක් නෙවෙයි, ඔයාටත් අඬන්න වෙයි අපේ කෙල්ල කරදරයක් කරගත්තොත්. මට බය ඒකයි. මට හොඳටම ඉව වැටිලා තියෙන්නෙ. අපේ එකී මොකක් හරි සම්බන්ධයක් පටලගෙන ඉන්නෙ."

"මටත් ඒක දැනිලා තියෙනවා කුසුම්. ඒත් අපි මෙහෙම නෙවෙයි කරන්නෝනි"

"කොහොමද කරන්න කියන්නෙ. කෙල්ල මොකෙක් හරි අතින් අනාතවෙනකල් බකන්නිලං ඉන්නද කියන්නෙ? එහෙම නැත්නම්, හෙට අනිද්ද ලියන විභාගෙත් ෆේල් කරගෙන නන්නත්තාර වෙනකල්ද බලං ඉන්න කියන්නෙ? අනේ මංද තිස්ස වෙලාවකට මට තේරෙන්නෙ නෑ ඔයා මොනවගේ තාත්තා කෙනෙක්ද කියල. ටිකක් බැරෑරුම්ව හිතන්නකො. ඔයා මේක සීරියස් ගන්නෙම නෑ. මේක විහිළුවක් නෙවෙයි. සෙල්ලමකුත් නෙවෙයි."

"මට අපේ ඔෆිස් එකේ කීපදෙනෙක්ම කිව්ව අපේ දුව අහවල් පාරෙ කොල්ලෙක් එක්ක කතාකර කර ගියා. අහවල් බස්ටෑන්ඩ් එකේ කොල්ලෙක් එක්ක හිටියා. අහවල් පාක් එක පැත්තට ගියා කියලා. උන් ඒව කියන්නෙත් කටවල් උල් කරගෙන තලු මර මර. මොන අම්මටද තිස්ස තමන්ගෙ දරුව ගැන මෙහෙම කියනකොට දරාගෙන ඉන්න පුලුවන්. මේ කෙල්ලෙක්. කොල්ලෙක් නෙවෙයිනෙ නාවල ගෙට ගන්න. යමක් උනොත් උනාමයි. නරක නාමයක් ගෑවුනොත් ආයෙ ඒක මකල දාන්න බෑ. මුන්ගෙ කර දඬු උස්වෙලා මනමාල විසේ ගැහුවට මුන්ට මේවයේ බරක්පතලක් තේරුමක් නෑ. උන් හිතන්නෙත් නෑ. උන්ටනම් තේරුමක් නෑ කියමුකො. ඒත් තේරුම් බේරුම් තියෙන සමාජෙ පරිණත මනුස්සයෙක් වෙච්ච ඔයත් මෙහෙම අන්ධයා වගේ ඉන්නෙක තමයි මට විඳවගන්නම බැරි."

"කුසුම් මේ අහන්න. ඔයා එහෙම හිතන්නෙපා මං ගැන. ඔයාට වඩා දේවල් මටත් ආරංචිවෙනවා. ඒත් මං ඔයාටවත් කියන්නෙ නෑ ඔයා කලබල වෙන නිසා. කොහොම උනත් මෙහෙම බොරුවට උඩපැනලා ක්ලබල උනා කියල මේ ප්‍රශ්නෙ විසඳෙනවද? අපේ දුවට එහෙම සම්බන්ධයක් තියෙනවා නම් එයා ඒක නවත්තයිද? ඒක එහෙම වෙනවානම් ප්‍රශ්නයක් නෑ, අපි දෙන්නම උඩ පනිමු. මෙතන දුව මැද තියාගෙන යකා නටමු. ඒත් ඒකෙන් මේක කෙලවර වෙයිද? ඔයාම මට උත්තරයක් දෙන්නකො. ටිකක් හිත නිවාගෙන හොඳට කල්පනාකරල උත්තරයක් දෙන්නකො."

"හ්ම්........

අනේ මංදන්නෑ තිස්ස..මොනාකරන්නද මට තේරෙන්නෙ නෑ. මට නිකං පිස්සුවගේ. මට බයයි.. අපේ දුව ගැන බයයි. අපි කොච්චර ආදරෙන්ද එයාව හදන්නෙ. මලක් වගේ. ඔයාට මතකනේ එයා හය හතර නොතේරෙන පුංචි කෙල්ල කාලෙ. එයා අපිව කොච්චරනම් සතුටින් තිබ්බද. අනේ කෙල්ල ලොකු නොවී ඒ විදියටම හිටියනම්..."

"ළමයෝ ඕක තමයි ලෝක ධර්මතාවය. අපි දරුවො හැදුවට දරුවො අපිට අයිති නෑ. ඒ දරුවො අයිති මේ ලෝකෙට. එයාල අපේ බූදලයක් නෙවෙයි කුසුම්. හරි වයස ආවම එයාල කූඩුවෙන් ඉගිල්ලිලා යනවා. අපිට බෑ ඒක නවත්තන්න. අපිට බෑ එයාලගේ තටු බැඳල තියන්න."

"එන්න ඉස්සර වගේම මං මට පුලුවන් විදියට ඔයාට තේරුම්කරල දෙන්න උත්සාහ ගන්නම්."

"ඔව් තිස්ස. මගේ ඔලුව යකාගෙ කම්මල වගේ. ඔයා එදා කිව්ව දෙයක් කවදාවත් වැරදිලා නෑ. ඒ නිසා මං අහන් ඉන්නම්. මගේ මේ හිත හදන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක්"

"කුසුම්ට මතකද.. අපි දෙන්න යාලුවෙච්ච හැටි. යාලුවෙච්ච දවස?"

"ඔයත් මොනා අහනවද මංද. මැරිලා ඉපදුනත් ඒ කාලෙ අමතකවෙයිද තිස්ස. මට තාම මතකයි, එදා චිත්‍ර කාමරේ ළඟදි කලබලේට ලියපු පොඩිවෙච්ච ලියුම් කෑල්ලක ඔයා මගෙන් ආදරේ ඉල්ලලා තිබුන විදිය. ඊට දවස් දෙකකට පස්සෙ මේන් හෝල් එක ළඟදි මං මගේ ආදරේ ඔයාට දූන්නු විදිය. එදා අගෝස්තු මාසෙ දෙවනිදා. ඉස්කෝලෙ වාර නිවාඩුව දෙන දවසෙ. එදා ඔයාගෙ ඇස්වල තිබුන සතුට මට මේ දැනුත් මැවිල පේනවා."

"ආ...හැබෑද? ඒකියන්නෙ දැන් මගේ කුසුම් මැරිලා ඉපදිලා වගෙයි. ඒකනේ මේ හැමදෙයක්ම මතකවෙලා තියෙන්නෙ."

"පිස්සුද තිස්ස? අමතකවෙලානම් මං දැන් කිව්වෙ කොහොමද. ඔයාටනම් ඔල්මාද."

"අනේ අනේ කුසුම්, එහෙම අමතක නැත්නම් දැන් මේ උදේ පාන්දර දුවගෙ ඇඟට පැන්නෙ කොහොමද? ඒ කාලෙ මතක මං ඒකනේ කටවහගෙන හිටියෙ."

"ආ.. ඇත්තද. ඒ කාලෙ වගේ නෙවෙයි තිස්ස දැන්. ලෝකෙ හරි වෙනස්. විෂමයි. අපේ කාලෙ තිබ්බ සරල සොඳුරු බව දැන් නෑ. ඒහෙනම් ඉතින් ඒ කාලෙ අපේ ආච්චිලා සීයලා අවුරුදු දහයෙන් දොලහෙන් කසාදත් බැන්දෙ? ඒ කියල දැනුත් එහෙම කරනවද?"

"වෙනස් වෙලා තියෙන්නෙ සමාජෙ විතරයි කුසුම්. ජීවත්වෙන රටාව වෙනස් වෙලා. ජීවත්වෙන ක්‍රමය වෙනස් වෙලා. ඒත් එදාවත් අදවත් මිනිස්සුන්ගෙ හිත් වෙනස් වෙලා නෑ. මං කිව්වෙ සොබාදහම වෙනස් වෙලා නෑ. අපි පුංචි කාලෙත් අපේ සීයලා ආච්චිලා පුංචි කාලෙත් නියමිත කාලෙදි ගස්වල මල් පිපුණා. ගෙඩි හැදුනා. අදත් එහෙමයි සොබාදහම වෙනස් වෙන්නෙ නෑ. ඉතින් ඒක මනුස්ස සතාටත් පොදුයි. ගස් වල මල් පිපෙනවා වගේම නිසි කාලෙදි හිත්වල මල් පිපෙනවා. ඒ මල් සුවඳට බඹරු ඇදෙනවා. මල් සුවඳ විදිනවා. රොන් ගන්නවා."

"ඔයා කියන දේ මට තේරෙනවා තිස්ස. ඒත් ගස් වල මල් පිපිලා ඊළඟට ගෙඩි හැදෙනවා වගේම හිත්වල පිපිච්ච මල් නිසා අකාලයේදිම ගෙඩි හැදුනොත් අපි මොකද කරන්නෙ? මං බයයි තිස්ස."

"මිනිස්සු විදියට අපි අමුතු අමුතු සංස්කෘති මවාගෙන, ආගම් හදාගෙන, නීති රාමු වලට කොටුවෙලා කෘත්‍රීම ජීවිත ගතකලාට, අපේ මේ පිස්සු වැඩ සොබාදහම යන්තම්වත් මායිම් කරන්නෙ නෑ. ඒ නිසා මනුසතාටත් හැඟීම පහල වෙනවා, මල් පිපෙනවා. ඒ විතරක් නෙවෙයි සොබාදහමෙ නීති සපිරුණාම ගෙඩිත් හැදෙනවා. අපි රාමුවලට කොටුවෙලා නීති යට හිරවෙලා ඒ සොබාදහමට අභියෝගකරන්න හැදුවට හරියන්නෙ නෑ. ඒත් මං මේක ඔයාට කිව්වට සමාජෙට කියන්න ගියොත් උන් මට පිස්සෙක් කියයි. ඒ නිසා සමාජය තුල ජීවත් වෙන සමාජ සත්වයෝ විදියට අපිට සිද්ධවෙනවා ඒ සමාජෙට අනුගතවෙන්න."

"අන්න එතනදි අපි මේ තේරුම් ගත්ත දේවල් එක්ක අනිත් අය වගේ අන්තගාමි නොවී ප්‍රායෝග්ක විදියට විවෘත මනසින් හිටියම හරි."

"ඔයා කියන කතාව මාත් පිළිගන්නවා. ඒත් තිස්ස එහෙම හිතලා අපිට පුලුවන්ද අපේ කෙල්ලට යන අතකට යන්න දෙන්න. මොකද මේ අපේ දරුවා. කූඩුවෙන් ඉගිලිලා යන කුරුල්ලෙක් නෙවෙයිනෙ මේ."

"ඒක හරි. එතනදි අපිට කරන්න පුලුවන් දේවල් ගොඩක් තියෙනවා කුසුම්. මං කලිනුත් කිව්ව වගේ තරුණ වයසට එන අපේ ළමයින්ට මේ හැඟීම් දැනීම් ඇතිවෙනවා. ඒක වලක්වන්න කාටවත් බෑ. ඉතින් මෙතනදි අපේ දරුවො මේ දැනෙන ආදර සුවඳ මඟඇරල ගියොත් ඔන්න ප්‍රශ්නයක් නෑ. ඒත් අපේ දරුව ඒ සුවඳ විඳින්න පටන්ගත්තොත් ඔන්න අර ප්‍රශ්න සේරම ඇතිවෙනවා. ඉතින් මෙහෙම දෙයක් වෙනවනම් ඒක වලක්වන්න කාටවත් බෑ. ඒක ඇතිවෙන්නෙ ඉතින් කරුමෙට. මේ ප්‍රශ්නෙ ගොඩක් වෙලාවට එන්නෙ අපේ දරුවො ඉස්කෝලෙ යන කාලෙදි මෙහෙම සම්බන්ධතා අතිවෙන එකෙන්නෙ."

"ඔන්න ඔඅතනදි දෙමවුපියො විදියට අපිට කරන්න පුලුවන් දේවල් ටිකක් තියෙනවා. මුල්ම දේ තමයි දරුවට හය හතර තේරෙන කාලෙ ඉඳලම කියල දෙන්න වෙනවා පාසැල් කාලෙදි ඇතිකරගන්න මේ වගේ සම්බන්ධතාවල ආදීනව ගැන. එහෙම කියල දරුව මේ වගේ දේවල් වලින් ඈතකරල තියාගන්න පුලුවන් නම් හරි. ඒත් ඒක එච්චර සාර්ථක නෑ. ඉතින් අකැමැත්තෙන් උනත් කරන්න තියෙන ඊළඟ හොඳම දේ වගේම ප්‍රායෝගිකම දේ තමයි, එවැනි තෝරාගැනීමක් කරනවා නම් ඒ කරන්න කලින් ඒ ළමයට ඒ වගේ දේකට හොඳ අවබෝධයක්, තේරුමක් ලබල දෙන එක. ඒත් ඉතින් අම්මෙක්ට තාත්තෙක්ට ඒක කොච්චර අමාරු දෙයක්ද? අපි කොහොමද කටේ කිරි සුවඳ නොගිය අපේ දරුවට උඹ මෙන්න මෙහෙම කොල්ලෙක් යාලුවෙයන් කියල කියන්නෙ. ඒක හරියට ඒ වගේ දේකට අපි උඩගෙඩි දෙනවා වගෙයිනෙ. ඒත් එහෙම කියල අපි කටවහගෙන ඉඳල නොතේරුම් කමට කෙල්ල මොකෙක්ටහරි රැවටුනොත්, එතනදිත් අසරණ වෙන්නෙ අපි. ඒ නිසා අපිට පුලුවන් වෙන්නෝනි අපේ දරුවට බොහෝම සූක්ෂමව ඒ අවබෝධය ලබල දෙන්න. මොකද අපි කොච්චර හිතන්න අකැමැති උනත් අපේ කිරිකැටිය කියන්නෙත් සොබාදහමෙ නීතියට අනුකූල වෙච්ච ජීවිතයක්. ඒයාටත් හැඟීම් දැනීම් තියෙනවා."

"කොහොමත් දෙමවුපියෝ විදියට අපි ආදර්ශමත් උනානම් දරුවො ඒ ආදර්ශෙ ගන්නවා. මගේ කෙල්ල දන්නවා එයාගෙ තාත්තා කොහොම මනුස්සයෙක්ද කියලා. එයාගෙ තාත්තා අම්මට කොච්චර ආදරෙයිද කියලා. ඉතින් කුඩා කාලෙ ඉඳලම එයාගෙ ලෝකෙ වීරයා, ප්‍රතිරූපය උනේ තාත්තා. ඉතින් ඒ නිසා එයා එයාගෙ ආදරයෙනුත් බලාපොරොත්තුවෙන්නෙ ඒ වගේ ප්‍රතිරූපයක්. ඒ කියන්නෙ, එයා එයාගෙ ආදරවන්තයා විදියට එයාගෙ තාත්තගේ වගේ ගතිගුණ තියෙන කෙනෙක් හොයා ගන්නවා ඉබේම. ඔන්න ඕක තමයි සාර්ථකම පිලියම මේ වගේ දේකදි."

"ඉතින් දුවක් ඉන්න අම්ම කෙනෙක්ට පුලුවන් පුංචි කාලෙ ඉඳලම තමන්ගෙ දුවට තමන්ගෙ තාත්තා ගැන කියල දෙන්න, ඒතුලින් එයාගෙ අනාගත සහකාරයා ගැන සූක්ෂම අදහසක් එයාගෙ මොළය තුල තැන්පත් කිරීමේ වගකීම අම්මට ගන්න පුලුවන්.  හැබැයි මෙතනදි තාත්තට තියෙනවා මහා වගකීමක්. ඒ තමයි තමන්ගෙ දරුවන්ට ආදර්ශයක් වෙන්න පුලුවන් පියෙකු විදියට ගෞරවනීය ජීවිතයක් ගෙවන එක. ඒ නිසා කොහොමත් දරුවො හදන්න කලින් දෙමවුපියෝ හැදිල ඉන්නම ඔනි." 

"ඉතින් කුසුම් ඔන්න ඔය විදියට හිතපුවාම බයවෙන්න දෙයක් නෑ අපිට අපේ දරුවො ගැන. ඒ නිසා දැන් අපි කරන්න ඕනි දරුවට තරවටු කරලා මේවා කඩල බිඳල දානෙක නෙවෙයි. මොකද ඒකෙන් වෙන්නෙ මේ ප්‍රශ්න තවත් වැඩිවෙන එක විතරයි. අපි කොච්චර දේවල කලත් ඒකෙන් මේ ආදර හැඟීම එයාලගේ පපුවලි ගලවල වීසිකරන්න අපිට බෑ. ඒ වෙනුවට වෙන්නෙ අපේ තාඩන පීඩන එක්ක ඒ හැඟීම තවත් හදවතටම ඇලෙන එක විතරයි. තවත් ඇට්ටර වෙලා එයාල අපිට අහිමිවෙන එක විතරයි. කොලේ යන එකා කොලෙන් කනවා වගේ අපි දැන් කරන්න ඕනි මේකම ඉත්තෙක් කරගෙන ඒකෙන්ම අපේ දුවගේ අනාගතේ සාර්ථක කරගන්න පාර කපන එකයි."

"ඒ නිසා අපි එයාට ආදරෙන් හැමදේම කියල දෙමු අපි. දැන් ඒකට කාලෙ හරි. තවත් පරක්කුවෙලා බෑ."

"ඔයාට පිං සිද්ධවෙනවා තිස්ස. උදේ ඇවිලුණු ගින්දර දැන්නම් මගේ පපුවෙ නෑ. මට දැන් බයක් නෑ. මට විස්වාසයි ඔයා අපේ දුවව ආදරෙන් පරිස්සම් කරගන්නවා කියලා."

"එහෙම තේරුගත්තෙක ලොකු දෙයක් කුසුම්. අපි ඕනිවට වඩා කලබල උනොත් එයාල හදිස්සිවෙලා ඉකමන් තීරණ අරන් ජීවිතේම අවුල් කරගන්නවා. එයාලා නොදරුවෝ උනාට අපි නොදරුවෝ නෙවෙයිනෙ. අපි පොඩි ළමයි වගේ කලබල වෙලා ඒ කලබලෙන් එයාලගේ ජීවිත අවුල් කරනවානම් අපේ අම්ම තාත්තා කමෙන් ඇති වැඩේ මොකද්ද."

ඔහොමයි ජීවිතේ. අපේ පරම්පරාව ඉවරයි. ඒත් සොබාදහම එතනින් ඉවර නෑ. දැන් අපේ දරුවන්ගෙ පරම්පරාව උදාවෙලා. ඉතින් එදා වගේම ආයෙත් මල් පිපිලා. මල් වල සුවඳ දසත පැතිරෙනවා. ඒ සුවඳ හංගන්න අපිට පුලුවන් කමක් නෑ. පුලුවන් උනත් එහෙම කරන්න අයිතියක් අපට නෑ. ඒනිසා ඒ මල් එක්ක, සුවඳත් එක්ක, බඹරුත් එක්ක තරහ අරං තේරුමක් නෑ කුසුම්.

අපේ යුගය ඉවර උනාට ආදරේ ඉවරවෙලා නෑ. ඉර හඳ බලං ඉන්නවා අපේ තැනගන්න අපේ දරුවන්ට එළිය දෙන්න. එදා වගෙම ගලන ඇළ දොල ගංගා අදත් ගලනවා එයාලගේ ලෝකෙට සිසිල දෙන්න. සොබාදහමම ලෑස්තිවෙලා ඉන්න වෙලාවෙ අපි විතරක් වහංවෙලා වැඩක් නෑ.

ඉතින් අපි එදා ඇවිද ගිය පාරවල් අද අපේ දරුවන්ට වෙන්වෙලා. අපි තරහ අරන් හරියයිද කුසුම්. ඉතින් අපිට සිද්ධ වෙනවා ඒ මාවත් වල ඔවුන්ට හිමි ඉඩ ව්න්කරල දීල මාවතෙන් බැහැල ඉඩදෙන්න. ඒ මාවත්වල එයාල අත් පටලගෙන එදා අපි ගොඩනඟපු හීන මාලිගා දිහා බලලා එයාලගේ හීන මාලිගා ගැන කතාකරකර යනකොට ඈතට වෙලා අපිට ඒ දිහාවෙ උපේක්ෂාවෙන් බලං ඉන්න වෙනවා. අපිට අයිතියක් නෑ ඒ මාළිගා කඩා බිඳදාන්න. 

ඉතින් අපි ඒ යථාර්තෙට මුහුණ දෙමු කුසුම්. එයාල යන ගමනට අපි ශක්තියක් වෙමු එයාලට අත්වැලක්වෙලා. ඒ පාර හරස් නොකර යන්න ඕනි නිවැරදිම පාර අපි එයාලට පෙන්නල දෙමු. මං දන්නවා අපේ රත්තරන් දුව කවදාවත් වරදක් කරනොගන්න බව. ඒ නිසා අපි බය නැතිව ඉමු. අපි සොබාදමට ඉඩදීල බලන් ඉමු කුසුම්..




"මල් පිපිලා එදා වගෙම බලන්න මැණිකේ

බමරු ඇදෙනවා සුවඳට සතර දිගන්තේ

තරහ නොගෙන 

සාදු සාදු කියන්න මැණිකේ


එදා අපට පෙම්වත් සඳ අද දරුවන්ටයි
ගලා හැලෙන නිල් ඇල දොල පෙම් කවියක් වෙයි
එදා අප වෙලී ගිය මග මෙදා උන් බැඳී යන සඳ 

තරහ නොගන්ටයි

කෝඩුකාර පෙම්බස් දැන් ඉතින් ඔවුන්ටයි
රෑට පිපෙන තරු මල්වල රේණු ගණින්ටයි
එදා අපෙ හීන මාලිඟ මෙදා උන් තනා ගත් සඳ
කඩා නොලන්ටයි"


ගායනය : සුනිල් එදිරිසිංහ

පද රචනය : රවී සිරිවර්ධන

සංගීතය : රෝහණ වීරසිංහ






(Mal Pipila Eda Wagema - Sunil Edirisinghe)