Pages

Sandumal

Sandumal
Showing posts with label පියසටහන්. Show all posts
Showing posts with label පියසටහන්. Show all posts

Wednesday, May 3, 2017

•සිව් සක සිහිනය

"ජීවිතයේ බර අදින්න... රෝද දෙකට උදව් වෙන්න..."



මෙතුවක් කල් අපි දෙන්නගෙ
ජිවන බර කරට අරන්
ඇද්ද නුඹට උදව් වෙන්න
ඔන්න තවත් කෙනෙක් ඇවිත්

හතර රෝද වලටත් බැරි
මහ බර කඳ කෙඳිරි නොගා
ඇද්ද නුඹට උදව් වෙන්න
ඔන්න තවත් කෙනෙක් ඇවිත්

නෑ බෑ නැති උඹෙයි අපෙයි
සබැඳියාව ගැන කියාලා
හෙට ඉඳලා මෙන්න මෙයත්
හොඳට පුරුදු කරල ගනින්..

උඹට රෝද දෙක උනාට
මෙයාට සිව් සක තිබුනට
උඹයි අයියා උඹයි ලොක්කා
ගනින් මෙයත් හරි පාරට

කවිකාරියි මමයි දෙන්න
මුලින් දැකපු දරුවො දෙන්න
තමයි උඹල ඒක හින්ද
පණ වාගෙයි උඹල දෙන්න..

Wednesday, February 15, 2017

•අපිට තැනක්

"අපේම අපේම නවාතැනක්..."



කිරි සයුරේ
සූරිය පවුලේ..
නිල් පාට...
පුංචි පෘථිවියේ...
අපේම නවාතැනක්
වෙන්කර ගතිමු අද...

Thursday, October 22, 2015

•ගුරු පියසටහන් 01


"දුන්නේ මටද ගුරු දිවියේ මුල් මතකයි
පෙරලූයේ නුඹද නුඹෙ දිවියේ නව පිටුවයි.."




ඇට්ටර දඟකාරයෝ උඹ පංතියෙ දඟ කෙරුව..
මා දුන් පැවරුම් කිසිවක් නොකල සඳ..
නුඹෙ සඟයන් හටත් නුඹ කරදර කරන විට..
දෙන්නට දඬුවමක් නුඹ හට සිතුනි මට...

දූවිලි වැකුණු දාඩිය කුණු සුදු ඇඳුම..
නලලට වැටුණු කෙස් රොද නුඹෙ දඟකාර..
කොච්චර දඟ වුනත් හසරැලි නුඹෙ මූණ
බලමින් නුඹට දෙන්නට බැහැ ගුටි සැරය..

දඟ උඹ නොවෙයි උඹ අතවූ බෝතලයයි..
හිතුනේ එහෙම තරහව මට ඒ සමඟයි..
දඟවූ බෝතලය හට දුන්නද විසිකොට දඬුවම්..
සිතුවේ කවුද බිඳෙතැයි එය අසුරු සැණින්..

දුන්නේ නුඹට මුදලක් එය අරගන්න
නුසුදුසු නිසයි දෙන්නට දඬුවම් නුඹෙ වරදට
දෙගුරුන්ට..
නුඹ යලි පැමිණ මගෙ පා යුග වඳින විට..
දුටුවෙමි කඳුලු බිඳුවක් නුඹෙ නෙතක අග...

නුඹෙ ඇස් කීවෙ මට නුඹ පසුතැවෙන බවයි
දිදුලන දෙනෙත් තුල වූයේ තිරදිටනයි..
දුන්නේ මටද ගුරු දිවියේ මුල් මතකයි
පෙරලූයේ නුඹද නුඹෙ දිවියේ නව පිටුවයි..

Thursday, July 23, 2015

•කඩයිමක්

"සිය වෙනි පියවර.. ඔබත් සමඟම.."



නුහුරු ලොවකට අහඹු ලෙස මා
පය තබා යට ගිය දිනේ..
ඔබ සමඟ අද ඇවිද විත් ඇත
ටිකක් දුර මේ රස ලොවේ..

කෙටියි ආ මඟ
දුරයි යා යුතු මඟ
නිබඳ හිඳිනෙමි ඒ මඟේ..

ඇරඹුමේ සිට ලඟ ඉඳන්
අත ලඟින් මා එක්කරන්
මංමුලාවෙන් වලකමින්
මෙතෙක් දුර මට එළිය දුන්
දයාබර සඟයිනේ පුදමි තුති..
සියක් පියවර තබන මෙදිනේ...


Tuesday, November 11, 2014

•දයාබර සිංදු ඇනෝ


"සහෘදයාණෙනි.. ඔබව සාදරයෙන් පිළිගන්නෙමු..."




අතීතයේ දවසක අපේ බ්ලොග් අවකාශය පුරා සැරිසරමින්, අපේ බ්ලොග් පෝස්ටු  වලට ගී මල් දම් පළඳවමින් හරි අපූරු පුද්ගලයෙක් අපිට මුණ ගැහුනා. "ඇනොනිමස්" මේ වචනය බ්ලොග් ලොව එතරම් පැහැදීමක් ඇතිකරන වචනයක් නෙවෙයි. මේ සංකල්පය බොහෝ වෙලා වලදි භාවිතාවෙන්නෙ යහපතට වඩා අයහපතට කිව්වොත් නිවැරදියි. බොහෝ විට, යම් අඩවියක අදහස් ප්‍රකාශ කිරීමේදී, කෙලින් කියාගත නොහැකි අදහස් ප්‍රකාශ කිරීමටයි ඇනොනිමස් ගොඩක් දෙනෙක් යොදාගන්නෙ. නමුත් අපි අතරට ආව ඇනෝ කෙනෙක්. මේ ඇනෝ සුවිශේෂයි. ඔහු ඇනෝ ඇවිත් අපේ පෝස්ට්ටු වලට එකතු කලේ ගීත.

අපේ ලියන ලිපියේ තේමාවට "ටක්කෙටම" ගැලපෙන ගීයක් මේ ඇනෝ අසුරු සැණින් එකතුකලා. ඒ සමහර බහුතරයක් ගීත අපි මින් පෙර අසා නැති ගී. ඒකත් සුවිශේෂී කාරණයක්. අනිත් විශේෂිත දේ තමයි, මේ බොහෝ ගී අන්තර් ජාලයෙන්ද සොයාගත නොහැකි ගීත. ඉතින් එවන් ගී ඔහු අසා ඒවා යුනිකෝඩ් වලට පෙරලා තමයි අපිට අරන් ආවේ. මේ නිසා මේ ඇනෝ ඇවිදින ගීත විශ්ව කෝෂයක් ලෙස බ්ලොග් ලොව පුරා ප්‍රචලිත උනා.

ඉතින් මේ වටිනා ඇනෝට "සූට්" එකක් අන්දන්න අපි හැමෝටම ඕනි උනා. ඉතින් අපි ඔහුට සූට් එකක් ඇන්දුවා. ඊට පස්සේ ඔහු අපි කවුරුත් අතර "සින්දු ඇනෝ" විදියට ජනප්‍රිය උනා. අපේ මේ සිංදු ඇනෝ ගැන අපේ දේශකත් දවසක් වෙනමම පෝස්ට්ටුවක් ලිව්වා. ඒ තරමට අපි හැමෝටම අපේ සිංදු ඇනෝ, ඉතාම වැදගත්, නැතිවම බැරි පුද්ගලයෙක් උනා.

මෙහෙම කාලය ගත වුනා. ඔහු අපි අතර නිතරම කමෙන්ට් කරමින්. සින්දු කියමින් රැඳී උන්නා. එහෙම ගතවූ කාලයට වටිනාකමක් එක් කරමින්, අදසුවිශේෂි දවසක් වෙලා. මං මේ කියන්න හැදුවෙ ඒ ගැනයි. ඇත්තමයි, ඔයාල මං එක්ක එකඟවෙයි, අද බ්ලොග් අවකාශෙටම සුවිශේෂි දවසක්. ඔන්න කියන්නම් එහෙනම්.

අපේ දයාබර සිංදු ඇනෝ ඔහුගේම කියල බ්ලොග් එකක් පටන් අරන්. මීට එහා මොකුත් කියන්නෙ නෑ මං. මට අද බොහොම සතුටු දවසක්. මෙන්න මෙතනින් ඔයාලත් ගිහින් බලන්න.

http://sinduano.blogspot.com/


"මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවි

මා මළපසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනවි
නන්නාදුන නා ඔබ ගේ
අත් අකුරින් ලියනු මැනවි

අඩ සඳ බැසගෙන යන සඳ
සීතල අඳුරු රැයක
අඬ සඳ බැසගෙන යන සඳ
රෑහි නඟන රැව් අතරින්
එතකොට ඒ ගී රාවයයාන්තමින් මට ඇසේවී"

පද රචනය – මහගම සේකර

සංගීතය හා ගායනය – ඩබ්.ඩී. අමරදේව








Sunday, October 26, 2014

•අවුරුද්දයි


"දිවි මගෙහි මෙතෙක් දුර මා සමඟ ගමන් කල.. මා සමඟ සිනාසුනු.. මා සමඟ ඉකිබින්ද.. රසික ඔබ.. මට..කුමුදෙකි..ගඟුලෙකි.. පහනෙකි..පවනෙකි..."






E - Money ගැන නොදන්න කෙනෙක් ඉන්නවද? මං හිතන්නෙ එහෙම නොදන්න කෙනෙක් නෑ. අනිවාරෙන්ම මේ සටහන කියවන හැමදෙනාම අනිවාරෙන්ම නිකමට හරි මේ කියන්නෙ මොකක්ද කියල දන්නවා. ඇතැම්විට මෙය කියවන කිහිප දෙනෙක් හෝ මේ පිළිබඳව උනන්දුවක් දක්වා මේ පිළිබඳ හදාරා ඇති බවටත් සැකයක් නෑ. ඉතින් මේ E- Money, එහෙම නැත්නම් අන්තර්ජාලයෙන් මුදල් ඉපැයීම කියන කාරණය මගේ හිතටත් වද දුන්න කාලයක් තිබුනා. උසස් පෙළ එහෙම කරල නිකන් වාත වෙවී ගෙදරට වෙලා ඉන්න කාලේ අතට කීයක් හරි හොයාගන්න තිබුනනම් හොඳයි කියල හිතුන කාලෙ මටත් ඔය E- Money රෝගෙ වැළඳුනා.

ඉතින් මාත් මේ ගැන හොයන්න පෙළඹුනා. පුවත් පත් වල මේ ගැන තිබුන දැන්වීම් කියෙව්වා. මේ විදියට මේ ගැන හොය හොය ඉන්නකොට මට දකින්න ලැබුනා E- Money යටතේ කිසියමක් කාර්‍යක් කොන්ත්‍රාත්තුවක් අරන් තිබූ අයෙකු ඒ කාර්‍ය ලංකාවේ අය අතරෙ Sub Contracts විදියට ලබා දෙන අවස්ථාවක්. මං ඒකට සම්බන්ධ වුනා. කරන්න තිබුනෙ සුලු දෙයක්. අදාල කෙනා මට ඊමේල් මඟින් ස්කෑන් කල PDF ෆයිල්ස් කිහිපයක් එවනවා. මං හිතන්නෙ ඒ පැරණි නවකතා. මට තියෙන්නෙ ඒව බලාගෙන ඒ සටහන් MS Word Document එකක ටයිප් කරල ආපහු ඔහුට යවන එක. මේ විදියට මට එවන එක පිටුවක් සඳහා ඔහු මට රුපියල් පනහක් ගෙව්වා. මං මට ලැබුනු PDF සියල්ල පිටපත් කොට යැවූ විට ඔහු අදාළ මුදල මට බැංකුවට එවන්න කටයුතු කලා. මට හොඳට මතකයි ඒ ලැබූ මුලු මුදලින් මං කලේ මට ඒ කාලෙ තිබුන මගේ ඩෙස්ක්ටොප් පරිගනකය සඳහා කම්පියුටර් ටේබල් එකක් ගත්ත එක. ඒක තවම තියෙනවා. ඒත් මේ වැඩේ දිගටම කරන්න ලැබුනෙ නෑ, එකපාරම අදාළ පුද්ගලයා මෙම ලේඛන එවන එක නතරකලා. ඔහු කතාකරල කිව්වා ඔහු මේව ගත්තෙ ඉන්දියානු සමාගමකින් බවත් ඔවුන් සමඟ ගනුදෙනු දුෂ්කර නිසා මෙය නවතා දැමූ බවත්. කොහොම උනත් මේ කාර්‍ය E- Money සම්බන්ධව මගේ තිබූ උනන්දුව තවත් වැඩිකරන්නට සමත් උනා.

එහි ප්‍රතිපලය විදියට මමත් මගේ මිතුරෙකුත් මහනුවර තිබූ මෙවන් E- Money පුහුණු එක්දින වැඩමුලුවකට සහභාගි උන බව මං අද මෙතන කියන්නෙ හද පිරි ලැජ්ජාවෙනි! ඒ, එය ඒ තරම්ම අසාර්ථක ක්‍රමවේදයක් නිසාවෙනි. සාර්ථක අවස්ථා නැතුවාම නොවෙයි. ඔවුන් කියන විදියටම ඉතාම කැපවීමෙන් ඉවසීමෙන් මේ හා රැඳී සිටීමෙන් මෙහි ප්‍රතිපල ලබා ගත හැකියි. නමුත් ප්‍රායෝගිකව මෙය කරන්නට යනවිට ඉබ්බන්ගෙන් පිහාටු ගැනීම ඊට වඩා තරමක් ලේසි බව ඔබට වැටහෙනු ඇත. ඉතාම හොඳ පරිගනක දැනුමක් ඇති අයෙකුට මෙම E- Money ක්ෂේත්‍රය තුල තමන් සඳහා වටිනාකමක්, මාකට් එකක් හදාගැනීමට හැකිවනු ඇත. විශේෂයෙන්ම ග්‍රැෆික් ඩිසයිනින් වගේ කරන අයට. එහෙම නැතිව අපි වගේ වර්ඩ්, එක්සෙල් විතරක් දන්න උදවියට මෙය හරිම දුෂ්කර කාර්‍යක්.

කොහොම උනත් මේ ගැන මගේ රසවත් අත්දැකීම් මං ඔබත් සමඟ පසුව බෙදාගන්නම්. අද මේ කියන්න ආවෙ වෙන දෙයක් ගැන. ඒකට පාර හදාගන්නයි මේ විදියට අර බ්ලොග් බාශාවෙන්ම කියන ආකාරයට පඳුරු තැලුවේ. ඉතින් මේ E - Money වැඩමුලුවෙන් සහ, මේ ගැන තියෙන මම ගෙදරටම ගෙන්න ගත්ත සී ඩී කට්ටලයෙන් කියවුන අන්තර්ජාලයෙන් මුදල් ඉපැයිය හැකි එක්තරා පහසු ආකාරයක් තමයි බ්ලොග් කියන්නේ!! ඒක හරි පහසු කාර්‍යක් විදියටයි ඔවුන් හඳුන්වලා දීල තිබුනේ. කරන්න තිබුනෙ පොඩි දෙයයි, මොකක් හරි මාතෘකාවක් යටතේ තමන්ට කියල බ්ලොග් අඩවියක් පටන්ගන්නවා. ඊළඟට ගූගල් එකෙන්ම ඔවුන්ගේ ඇඩ්සෙන්ස් වලින් ලබල දෙන දැන්වීම ඒ බ්ලොග් එකේ පලකරනවා. ඔන්න ඔච්චරයි, දැන් වැඩේ හරි, පහුවදා ඉඳල තමන්ගෙ අන්තර්ජාතික බැංකු ගිනුමක හෝ ගාලා සල්ලි පිරෙනවා..!!

ඉතින් ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද! බ්ලොග් එකක් හදාගන්න විදියත් ඒකෙ කියල තිබුනා. ඉතින් මාත් දෙපාරක් හිතුවෙ නෑ හදාගත්තා බ්ලොහ් එකක්. දැන් ඉතින් මමත් හිතින් ලක්ෂ පතියෙක්. මං මුල ඉඳල හදාගෙන තිබුන ආරූඩ නමක් තිබුනා "සඳුමල්" කියල. ඒ නමින් මං හැදුවා බ්ලොග් එකක්. දැන් මට හෙන ආඩම්බරයි, මොකද මටම කියල වෙබ් එඩ්‍රස් එකක් එහෙමත් තියෙනවනේ. ලෝකෙ කොහේ ඉන්න මොකා ඒක ගැහුවත් එන්නෙ මගේ සයිට් එකටනේ.. ඔහොමයි හිතුනේ. ඉතින් මහත්වරුනි, කියන්න සංතෝසයි එකම එක පෝස්ට් එකක්වත් නැති මගේ බ්ලොග් එක සඳහා මං අයදුම් කලා ඇඩ්සෙන්ස්, ගූගල් එකෙන්. එහෙන් පණිවුඩයක් ලැබුනා මගේ අඩවිය ඇඩ්සෙන්ස් සඳහා සුදුසුද බලන්න එයාලගේ විශේෂඥයෝ රිවීව් කරනවා, දවසකින් දෙකකින් දැනුම් දෙන්නම් කියලා. මං ඉතීන් බලන් හිටියා, උපරිම විස්වාසෙන්. මං දැන් හිතෙන් හෙන පොරක්. ලස්ස පතියෙක්. හොඳ වෙලාවට ඇඩ්සෙන්ස් වලින් හොයන සල්ලි වලින් ලීස් එක දාන්න කියල මං හයිබ්‍රිඩ් එකක් එහෙම ගත්තෙ ඒ දවස්වලම. මොකද දවස් දෙක තුනකින් මට ගූගල් ගෙන් පණිවුඩයක් ලැබුනා. ඒකෙ කියල තිබුනෙ  Insufficient Contents නිසා මට ඇඩ් දෙන්න බෑ කියලයි!!! ප්‍රමාණවත් නෙවෙයි නෙවෙයි, කිසිම දෙයක්, පෝස්ට් එකක් නොතිබූ මගේ බ්ලොග් එකට ඇඩ් දෙන්න ඒ මිනිස්සුන්ට පිස්සුයැයි. මං ඒත් උත්සාහය අත්තැරියෙ නෑ.

ඊළඟට මං කල්පනා කලා මගේ බ්ලොග් එකෙ මොනාද දාන්නෙ කියලා. ඉතින් මං මගේ මංගල පෝස්ට් එක විදියට දැම්මා "Let's Learn English" කියල පෝස්ට් එකක්. මොකද ඔය සුද්දගේ බාසාව මට ටිකක් පුලුවන්. අනාගතේ මගේ ජීවිතේ පාර හැදිල තියෙන්නෙත් ඔය සුද්දගේ බාසාවට පිංසිද්ධ වෙන්න. ඒ ගැන පසුවට කියන්නම්. ඉතින් මං ඔය ව්‍යාකරණ ටිකක් එහෙම දාල, සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ආස, මුල් අවස්ථාවෙ ඉන්න හුදූ ජනයට අවබෝධයක් ලැබෙන විදියට මොනා හරි මං ඒකෙ දාල තිබුනා කියල මතකයක් තියෙනවා මට. ඔන්න ඒක දාල ඊළඟට මං ආයෙත් රික්වෙස්ට් කලා ඇඩ්සෙන්ස් වලට! ආයෙත් රිජෙක්ට් උනා. තව මොනා හරි දැම්මා, ආයෙ ඉල්ලුව, ආයෙ රිජෙක්ට් උනා. ඊළඟට මං ඒ මඟුලත් අතෑරලා දැම්මා. එහෙමම මට E - Money අමතක වෙලා ගියා. දෙයියනේ කියල තවමත් රස්සාව කරගෙන ඉන්න තැන රස්සාව හම්බුනාට පස්සෙ මට E - Money ඕනි වුනේ නෑ. ඊට වඩා පොලොවෙ පයගහල කරන්න පුලුවන් රස්සා ඕනි තරම් තියෙන බව වටහගෙන මං E - Money වලින් ඈතටම වෙලා එහෙම එකකට මං ගියෙත් නෑ වගේ හිටියා, තාමත් ඉන්නවා පත්තරවල එහෙම තාමත් යන ඒකෙ ඇඩ් දැක්කම.

කොහොම හරි රස්සාවට ආවට පස්සෙ මට ලැබුන මගේම වගේ පරිගනකයටයි, අසීමිත අන්තර්ජාල පහසුකමටයි, MAS අධිපති මහේෂ් මහත්තයාටයි,පිංසිද්ධ වෙන්න මාත් ඩිජිටල් ලෝකෙට බොහෝම සමීප උනා. ඔය අතරෙ දවසක් අහම්බෙන් මට ආව ඊමේල් පණිවුඩයකින් හරි අපූරු කෑම්ප් එකක් ගැන අපූරු ලිපියක් කියවන්න ලැබුනා. ඒ වෙන කොහෙවත් නෙවෙයි, අභීතගේ මීමුරේ කෑම්ප් එක ගැන. ඒ ලිපියෙ අගට තිබුන වෙබ් ලිපිනෙන් මං අහම්බෙන් ඉස්සෙල්ලාම සිංහල බ්ලොග් ලෝකයට අවතීර්ණ උනා!!! ඔන්න මෙතෙක් කතාව.

ඊට පස්සෙ මාත් අර මොකද්ද හම්බුන මොකාද වගේ මොනිටරේටම මූණ ඔබාගෙන බ්ලොග් කියවන්න පටන්ගත්තා. වැඩක් තිබුනත් නැතත් අනිවාරෙන් බ්ලොග් කියවන එක දිගටම කලා. මුලින්ම අභීතගේ පෝස්ට් සියල්ලම වගේ කියෙව්වා කමෙන්ට්ස් එක්කම. ඊළඟට ඔහුගේම බ්ලොග් රෝලෙන් අනෙකුත් සිංහල බ්ලොග් කියවන්නත් පටන්ගත්තා. හැබැ‍යි මොකකවත් කමෙන්ට් කරන්න ගියේ නෑ. එකම එක කමෙන්ට් එකක් දැම්මා අභීතගේ බ්ලොග් එකේ, මං අර කිව්ව ඊ මේල් එකෙන් ආව ඔහුගේම පෝස්ට් එකේ. එදා තමයි දැනගත්තෙ කමෙන්ට් කරන්න අපිටම කියල ප්‍රෝෆයිල් එකක් එහෙම ඕනි කියලා. මට මතක විදියට ආයෙ කමෙන්ට්ටුවක් දැම්මා රාජ් ගේ නවාතැනේ. ඒ දැම්මෙත් E - Money ගැන මොනාහරි අහලා. ඔහු ඒකට රිප්ලයි කරලත් තිබුනා.

ඉතින් ඒ රෝලෙන්, මේ රෝලට, ඒකෙන් තව එකකට, ඔහොම ඔහොම මං සිංහල බ්ලොග් ලෝකය පුරා කරක් ගැහුවා. කොහෙවත් කමෙන්ට් නොකලත් මං මේ කලාව ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේ සංස්කෘතිය ගැන අවබෝධයක් ලබා ගත්තා. ඒ කලාවෙ තිබුනා අන්තර්ජාලේ වෙනත් සමාජ අඩවි වල නැති මනුස්ස කමක්, බැඳීමක්, සහෝදර කමක්, සටන් කාමීත්වයක්, විප්ලවාදී බවක්, ඒ වගේම සංවේදීබවක්, ආධ්‍යාත්මික බවක්. මං දැක්කා දිලුම් වෙනුවෙන් බ්ලොග් ලෝකෙ සහෘදයන් අත්වැල් බැඳගත් හැටි. ඒ වගේම නංගි කෙනෙක්ට පිහිට වෙලා ජීවිත බේරගත්ත හැටි. මං දැක්කා ඔබා අයියා වෙනුවෙන් මිනිස්සු දුක් වෙච්ච හැටි. මං දැක්කා අවුරුදු උත්සව පවත්වමින්. සැණකෙලි පවත්වමින්, එකම ගමක එකම පවුලක් වගේ මේ අය බැඳිල උන්නු හැටි. බ්ලොග් අඩවියක් පටන් අරන් ඇඩ්සෙන්ස් ගිණුමක් හදාගෙන උන් කියන විදියටම කීයක් හරි හොයාගෙන කනවට වඩා කොච්චරනම් එහාට ගිය මානව බැඳීම් ගොන්නක් මේ තුල තියෙනවද කියන කාරණය මං අවබෝධ කරගත්තා.

කවදත් සමාජ වෙබ් අඩවි, ෆේස්බුක්, ට්විටර්, ගොසිප් වගේ දේවල් අප්‍රිය කරපු මම මේ බ්ලොග් කලාව හරිම ආදරයෙන් වැළඳගත්තා. ඒ සංස්කෘතියට ආදරය කරන්න පටන්ගත්තා. එහි වටිනාකම තේරුම්ගත්තා. ඉතින් ඒත් එක්කම එදා සල්ලි හොයන්න කියල බ්ලොගක් අටවගත්ත මට අද ඒ වෙනුවට මේ සහෝදර පවුලට එකතුවෙන්න බ්ලොග් එකක් හදාගන්න පුදුම ආසාවක් ඇතිවුනා. වැඩිය සමාජ සම්බන්ධතා පවත්වන්න අකැමති මං, මේ සමාජ ජාලයටනම් බලෙන් හරි එකතුවෙන්න ඕනි කියන හැඟිම මට ඇතිවුනා.

බ්ලොග් ලෝකෙ එක එක අයට එක එක මාතෘකා තිබුනා. ගොඩක් අයගෙ බ්ලොග් දිනපොතක් වගේ. ඒ තරම්ම එයාලගේ ජීවිතයේ සියුම් තැන් පවා ඒවල අකුරු කරල තිබුනා. සමහරු කෙටිකතා, සමහරු කවි, සමහරු නිසැඳස්, මේ වගේ විවිධ මාතෘකා. ඉතින් මං කල්ප්නා කලා මට හරියන තේමාව. ඔව්.. ඒක තමයි, මං සුභාවිත සිංහල ගීයට කොච්චර ආසයිද, ගීත විචාර කියවන්න කොච්චර ආසයිද, ගීත හා බැඳුනු නිධාන කතා මං කොච්චර මහන්සියෙන් හෙව්වද. මං වත් නොදැන හිටපු කොච්චර හොඳ විනෝදාංශයක්, තේමාවක් මං ළඟම තිබිලද. ඉතින් මං මගේ බ්ලොග් එකේ තේමාව ඒ විදියට තෝරගත්තා.

ඉතින් ඇඩ්සෙන්ස් බලාගෙන මං හදාගත්ත බ්ලොග් එකේ දාල තිබුන අනන්මනන් පෝස්ට් සියල්ල මං ඉවත් කලා. ඒක මෝඩ කමක් කියල අදයි මට තේරෙන්නෙ. ඒ පෝස්ට් තියාගෙන හිටියනම් ඒව ඉතාම හොඳ මතක සිහිවටන වෙනවා. කොහොම හරි ඒ ටික අයින් කරල පළමු පර්යේෂන පෝස්ට් එක විදියට මං මෙන්න මේ සටහන මගේ බ්ලොග් එකට එකතුකලා. මේකත් ගීතයක් හා බැඳුනු කතාවක්. මට මේ කතාව ලැබුනෙ ඊමේල් එකකින්. මේ සටහන ලියපු කෙනා කවුරු උනත්, මං ඔහුව නොදන්නවා උනත්, මං ඔහුට සදා ණයගැතියි. ඒ තියපු මුල් ගලෙන් මං අද බොහොම දුර ගමනක් ඇවිත් තියෙනවා.

අන්න ඒ විදියට නිල වශයෙන් මගේ බ්ලොග් ආගමනය පටන්ගන්නවා. ඒ හරියටම 2013.10.26 වෙනිදා. අදට හරියටම අවුරුද්දකට කලින්. අද 2014.10.26 වෙනිදා. ඉතින් ඔන්න ඕකයි මට ඔයාලට කියන්න ඕනි වුනේ. අපි හැමෝම සහෝදරත්වයෙන් එකතුවෙන, අදහස් බෙදාගන්න, ගී රස විඳින, සඳුමල් බ්ලොග් එක බ්ලොග් ලෝකෙට එකතුවෙලා අදට හරියටම අවුරුද්දයි.. ලිපි 80ක් පුරාවට නැරඹුම් වාර 30000ක් සමඟින් දයාබර ඔබේ අදහස් දැක්වීම 3211 එක්ක මෙම සංඛ්‍යා දත්තයන්ට කිසිම දිනෙක මැන හමාර කල නොහැකි දයාබර බැඳීම අන්තයක් සමඟ දින තුන්සිය හැටපහක් ගෙවී ගිහින්..

ජීවිතයේ මට හමුවූ සොඳුරුතම මිනිසුන් සමඟින් ගෙවී ගිය පහුගිය දින තුසිය හැටපහ මගේ ජීවිතයට නව අරුතක් එක් කල, කිසිදාක අමතක නොවෙන කාලපරිච්ඡේදයක් විදියටයි මට හැඟෙන්නේ. මින් පෙර අවස්ථා ගනනාවකදිම සඳහන් කල පරිදිම මගේ යම් හැකියාවක් වූයේ නම් එය හඳුනාගෙන වේගයෙන් දිව යන මේ නිර්මාණ ලෝකයේ මාව මඟහැරෙන්නට, මාව අතරමංවෙන්නට, මාව අතෑරෙන්නට නොදී, මගේ අත ළඟින්ම අල්ලගෙන, මේ සා දුර මාව රැගෙන ආ හිමිවිය යුතු තරමටත් වඩා වටිනාකමක් මට ලබල දීල මෙතෙක් කල් වගේම මින් ඉදිරියටත් මට අපරිමිත ශක්තියක් වෙලා ළඟ ඉන්න මගේ දයාබර සහෘදයනි, ඔබලා හැමෝටම අනේක වාරයක් ස්තූතියි!!!

ආ මඟ කෙටියි...යා යුතු මඟ දුරයි... ගෙවා යන ඒ මඟ කල යුතු දේ බොහෝයි... සබඳ අපි උනුන් පරයා නැගෙන කඳු නොවී ලෝකයට සිහිල් ජල දහරක්ම වෙමු...!




"සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන..

වියරු ගිනි දැල් නොවෙමු
වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වසින..

නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන..."

පදරචනය : දර්ශන මේදිස්
සංගීතය : ගුණදාස කපුගේ
ගායනය : ගුණදාස කපුගේ




(Sabanda Api Kandu Nowemu - Gunadasa Kapuge)







බ්ලොග් අඩවියට වසරක් පිරීමත් සමඟම එහි පසුතලයෙහිද වෙනස්කම් කිහිපයක් සිදු කලෙමි. විශේෂයෙන්ම පෙර තිබූ පසුතලය කියවන්නා හට වෙහෙසකර බව කිහිප දෙනෙකුන්ම පවසන ලදි. ඒ අතර ඒ බව මට මුලින්ම කීවේ කතන්දරයි. ඉන්පසු මෑතකදී ඉන්දික සොහොයුරාද පවසනු ලැබීය. ඒ අතරතුර කිහිප දෙනෙකුම මේ බව පැවසූ නිසාම, මටද ඒකාකාරී වී තිබූ එම පසුතලය ඉවත් කොට අලුත් පසුතලයක් යෙදීමි. මා ලියන දෙයහි වටිනාකම වැඩිවන්නේ එය ඔබ කියවනවානම් පමණි. එසේ කියවීමටනම් ඒ සඳහා ප්‍රියමනාප පසුබිමක් තිබිය යුතුය. එහෙයින්, යම් අඩුපාඩුවක් වේ නම් ඔබේ දයාබර අදහස් මට ඉතාමත් අගනේය.





Wednesday, October 22, 2014

•ඈ මගේ නෙළුම් මල


"හඬින් පණ ලැබූ මගේ නෙළුම් මල..."








"පුතේ.. උදේ උඹට ලියුමක් ආවා. ඕං මං මේසෙ උඩ තියල ඇති."

මා නිවසට ගොඩ වන හඬ ඇසී අම්මා කුස්සියේ සිට කීවාය. එකත් එකටම මේ මං මඟ බලාගෙන උන්නු ලියමන වෙන්නෝනි.

"දිලීගෙන්ද අම්මේ?"

"ඒ දරුව තමයි මයෙ හිතේ. උඹේ නමට තිබුන නිසා මං කඩන්න ගියේ නෑ."

සිතූ පරිදිම ලියමන ඇගෙනි. ඔළිඳ ගෙඩි වැනි ඇගේ වටකුරු අත් අකුරින් ලියූ මගේ නම සහ ලිපිනයෙන්ම මම එය හඳුනාගතිමි.

***********************************************

                                                                      චමරියේ සිට ලියමි..
                                                           1997.08.13,


දයාබර ජයේ,

ඉතිං ඔයාගෙ සැපදුක් කොහොමද? මම කරදරයක් නැතිව ඉන්නවා. මේ පුංචි ඉස්කෝලෙ ඇත්තටම හොඳයි. මේ පැත්තෙ හරිම අව්‍යාජ මිනිස්සු ඉන්නෙ.චමරියේ ඉන්නෙ මමයි, මං වගේම මෙහෙට ආව තව ටීචර්ලා හතරදෙනෙකුයි. දෙන්නෙක් නම් එයාලගේ දුෂ්කර අවුරුදු පහේ අන්තිම අවුරුද්ද ඉන්නෙ. එයාල ඊළඟ අවුරුද්දෙ එයාලගේ ගම් පළාතට ට්‍රාන්සර් හදාගනී. අනිත් දෙන්නනම් මාත් එක්කම වගේ මෙහෙට අලුතින් ආපු අය. හැමෝම හරිම හොඳයි. ඔයා එදා මෙහෙ ආව වෙලේ බය වෙච්ච ලොකුම දේ මගේ ආරක්ෂාවනේ. ඇත්තටම මාත් මුලින් බයේ හිටියෙ. නොදන්න පළාත්නෙ........




===============================================================

අතීතයේ දවසක මා ලියූ මෙම සටහන ඔබට මතකද? මතක අයටනම් හිතෙන්නත් ඇති මේ මොකද ආයෙත් මේ පරණ එකක් මෙතනට ගෙනාවෙ කියලා. ඉතින්, ඇත්තටම මේ කියන්න හදන්නෙත්, ඒ සටහන ආයෙ මෙහෙම මතක් කරපු හේතුව තමයි.

මගේ දයාබර ඔබ බොහෝ දෙනෙක් දැනටමත් දන්නවා, මං දැනට සේවය කරන්නෙ ඇඟලුම් කර්මාන්තශාලාවක කියලා. ඉතින් අපේ කර්මාන්තශාලාවෙත් ඉන්නවා සාහිත්‍යට, නිර්මාණකරනයට, ගීතයට බෙහෙවින්ම ලැදි සහෝදර සහෝදරියන්.

ඉතින් මාධ්‍ය ක්ෂේත්‍රයට බෙහෙවින්ම ලැදි, අප ආයතනයේ සේවය කරන නුවන් අමරසිංහ සොහොයුරාට මගේ බ්ලොග් අඩවියේ වූ මෙම ලිපිය ඇස ගැටී තිබුනා. 

ඉතින් ඔහුට තවත් නිර්මාණශීලී සිතුවිල්ලක් පහල උනා. ඒ තමයි, අපේ ආයතනයේ අභ්‍යන්තර ගුවන් විදුලි නාලිකාව වෙච්ච "රේඩියෝ ශේඩ්" නාලිකාවේ මෙම නිර්මාණය විකාශය කරන්න. 

ඉතින්, රේඩියෝ ශේඩ් හි, වැඩසටහන් නිශ්පාදකවරයෙකු විදියටත් කටයුතු කල නුවන්, අපේ තවත් සහෝදරියක් සමඟ එක්ව මෙම ලිපිය පටිගතකරනු ලැබුවා. එසේ පටිගත කොට ඊට පසුබිම් සංගීතයක් යොදා, අවසානයේ ගීතයද එකතුකොට, ඉතාම අලංකාර වැඩසටහනක් සකස් කලා.

ඉතින් මට හිතුනා, මගේ මේ නිර්මාණය මුලින්ම රසවිඳි, මගේ දයාබර මිතුරු මිතුරියන් වන ඔබ සැමටත් මෙම දෙවන නිර්මාණය රසවිඳීමට සලස්වන්න.

ගොඩාක් අඩුපාඩු ඇති, වෘත්තීය මට්ටමින් නැතුව ඇති, මොකද, ජනමාධ්‍ය පිළිබඳව කිසිදු පාඨමාලාවක්, පුහුණුවක් නොමැතිව, තමන් අසන, දකින දේවල් ගුරු කොට ගනිමිනුයි අපේ දයාබර සහෘදයන් මේ දේවල් සිදුකරන්නෙ.

ඇඟලුම් කර්මාන්තශාලාවක් තුල දහසකුත් එකක් වැඩ රාජකාරී මධ්‍යයේ, ඉසිඹුවක් ලද මොහොතක ඔවුන් කල මෙම නිර්මාණය රසවිඳීමට එසේනම් මම ඔබට දැන් පිළිගන්වමි, නුවන් අමරසිංහ සොයුරාගේ නිපැයුමෙන් හා අදියුරුවමින්, පවිත්‍රා තලකුඹුර සොයුරියගේ හඬින්..



video




ඈ මගේ නෙළුම් මල
රොන් සුවඳ බෙදා දෙන
වන්නි ගම් දොරක පීදෙන
පුංචි පැටව්නට

හේනට එන ගිරවුන්ගෙන්
අකුරු ඉගෙන ගෙන
අහසේ තරු ගණන් කරන
ගල්කැට ඇහිඳින
පුංචි පුතුනි බලාගන්න මගේ නෙළුම් මල

ඉල්මාසේ වැහි එනතුරු
නියගෙට වේලෙන
නෙළුම්මලට මල්යායට සීතල අරගෙන
වැවක් වෙන්න ඉඩ දෙනවද හීනෙන්වත් මට

ගී පද – රත්න ශ්‍රී විජේසිංහ
තනුව - එච්. එම්. ජයවර්ධන
ගායනය – ගුණදාස කපුගේ




(Ae Mage Nelum Mala - Gunadasa Kapuge)


මේ ඕඩියෝ ක්ලිප් එක බ්ලොගර් වල ඕඩියෝ ක්ලිප් එකක් විදියට ඇඩ් කරන්න බැරි නිසා මට මේ ඕඩියෝ එක වීඩියෝ එකකට කන්වර්ට් කරගන්න උනා. ඒකට මට උදව් කලේ මෙන්න මේ සයිට් එක. ඔයාලත් ගිහින් බලන්න. කරදරයක් නැතිව වැඩක් කරගන්න පුලුවන් හොඳ තැනක්. ඒ වගේම කලින් ලිපියෙ වගේම මේ ලිපියටත් ඡායාරූපය හොයාගත්තෙ අන්තර්ජාලයෙන්, ඔයාලට මතකත් ඇති, මේ ගාමණී චිත්‍ර පටයේ රූපරාමුවක්.


Sunday, October 12, 2014

•එකතුවට ස්තූතියි..


"රන් අස්වනු නෙළුවෝ වෙමු..."






අද මේ ලියන්න යන්නෙ වෙනදට වඩා විශේෂ සටහනක්. ඒ නිසා ගී සංවේදනාවක්නම් ඔබ වෙත ලබා දීමට නොහැකියි අද. සාමාන්‍යයෙන් මට සෙනසුරාද දවසට පරිගනකය සමඟ එකතුවීම බෙහෙවින්ම අපහසුයි. රැකියාවට නොයන සෙනසුරාදා දින මට ඒ තරමටම කාර්ය බහුලයි. ඉති මේ සතියෙ සෙනසුරාදා, ඒ කියන්නෙ ඊයේ, මේ වැඩ රාජකාරි අස්සෙ විවේකයක් ලැබුනු පුංචි මොහොතක මං නිකමට වගේ පරිගනකය අන්තර්ජාලයට සම්බන්ධ කරල, මගේ ජී මේල් ගිණුමට ලොග් වෙලා ඊ මේල පරීක්ෂා කලා.

ඉතින් නෙතට නුපුරුදු නමකින් මට ඊ ලිපියක් ලැබිල තිබුනා. ඒ ලිපිය ලැබිල තිබුනෙ එකතුව.org කියන අපිට නිතර අත හිත දෙන බ්ලොග් සින්ඩියෙන්. ඒත් එක්කම එකතුව කිව්ව ගමන් මට තවත් විශේෂ දෙයක් මතක් උනා. ඒ තමා එකතුවෙන් පවත්වපු එකතුව බ්ලොග් සම්මාන උළෙල. ඉතින් හිතේ කුතුහලයෙන්ම මං ඉක්මනට පණිවුඩය කියෙව්වා. එහි තිබුනෙ මෙහෙම දයක්.

"ඔබගේ බ්ලොග් අඩවිය එකතුව බ්ලොග් සම්මාන සැනකෙලියෙහි හොදම බ්ලොග් යටතේ සම්මාන හිමි කරගෙන ඇත. මෙතනින් ඔබට ජයග්‍රහනට පිලිබද වැඩි විසතර ලබා ගැනීමට හැක. අප වෙත ඔබගේ නිවැරදි ලිපිනයන් ඊමේල් පනිවිඩයක් මගින් දැනුම් දෙන්න. ඔබට හිමි ත්‍යාග එමගින් ඔබට ලැබීමට සැලසීමට කටයුතු කරනු ලැබේ. සුභ පැතුම්! "

ඔන්න ඔහොමයි කියල තිබුනෙ. ඉතින් හිතාගන්න පුලුවන්නෙ හිතට කොච්චරනම් සතුටක් දැනෙන්න ඇතිද කියලා. ඇත්තෙන්ම පාසැල් සමයේ මොකක් හරි තරඟයකින් දිනල කියල දැනගත්තම දැනුන සතුට තරම්ම සතුටක් දැනුනා මේ වෙලාවෙ. ඉතින් මේ ජයග්‍රහනය ගැන නිහතමානීව සතුටු වෙන ගමන් ඒ සතුට ඔයලා හැමෝම එක්කෑඅ සතුට බෙදාගන්නයි මේ සටහන මෙලෙස තබන්නට හිතුවේ. 

මීට මාස කිහිපයකට කලින් එකතුව බ්ලොග් සින්ඩිය සහ රේඩියෝ කළුතර එකතුවෙලා මෙලෙස බ්ලොග් සම්මාන සැනකෙලියක් සංවිධානය කලා ඔබට මතක ඇති. අපි සමහර දෙනා මෙම තරඟය සඳහා අපේ බ්ලොග් අඩවිද යොමු කල බවත් ඔබට මතක ඇති. ඉතින් විවිධ බ්ලොග් තේමාවන් යටතේ සංවිධානය කර තිබූ මෙම තරඟය සඳහා මමත් මගේ මෙම බ්ලොග් අඩවිය සාහිත්‍ය අංශය සඳහා ඉදිරිපත් කලෙමි. ඒ දුර සිට අසීරු ඉලක්කයකට විදින හීයක් ලෙසිනි. ජයග්‍රහනයක් පිළිබඳ බලාපොරොත්තුවක් සිතෙහි නොතිබූ නමුත්, තරඟය සඳහා ඉදිරිපත් වුනෙමි.

කෙසේ හෝ අවසානයේ කිසිසේත්ම බලාපොරොත්තු නොවුන අයුරින්, සාහිත්‍ය අංශය සඳහා වූ තරඟයෙන්, ඔබ සැවොම මා සමඟ දයාබරත්වයෙන් අත්වැල් පටලාගෙන රසවිඳින ඔබේත් මගේත් මෙම බ්ලොග් අඩවිය, ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත. එය මා ඔබත් සමඟ පවසන්නේ අපරිමිත සතුටකිනි. අහිංසක ආඩම්බරයකිනි.

බ්ලොග් ලොව ඔබත් සමඟ එක්ව හරි හැටි වසරක්වත් ගතවීමට මත්තෙන් මේ ලැබූ ජයග්‍රහනය, පැසසුම, තිළිණය, ඇත්තෙන්ම මට මහමෙරකි. කිවයුතු සුවිශේෂීම දෙයක් වේ. එනම් මෙම ජයග්‍රණය ඇත්තෙන්ම මට හිමිකර දුන්නේ දයාබර ඔබමයි. මේ ඔබේ ශක්තියයි. ඔබ මට ලබා දුන් අපරිමිත ශක්තියයි.මා ලියූ අකුරු වලත්, ඔබ මා සමඟ එක්ව ගෙවූ වටිනාම කාලයේත් මිහිරිතම අස්වැන්න ලැබී ඇත.  මා මේ පිළිබඳ මෙතරම්ම අගේ කොට කියවනුයේ මගේ බ්ලොග් අඩවිය බ්ලොග් අවකාශය තුල ලබාගත් ඉහළම ජයග්‍රහණය මෙය වන හෙයිනි.

මෙවන් අගය කිරීමක් සහ මෙවන් චිත්තප්‍රීතියක් මින් පෙර මගේ බ්ලොග් අඩවිය වෙනුවෙන් මා ලැබූයේ නමේ ඒ එකම එක වතාවකි. ඒ මීට මාස කිහිපයකට පෙරදී, අප අතර සිටින ප්‍රවීණතම සහ ජ්‍යේෂ්ඨතම බ්ලොග් සහෘදයකු වන අපේ මාතලන් අයියණ්ඩිය විසින් මගේ බ්ලොග් අඩවිය ඔහුගේ සින්ඩිය තුලින් හඳුන්වාදුන් මොහොතෙහිය. එදා ලද සතුට, මා අදද එලෙසින්ම විඳගත්තෙමි.

මේ අවස්ථාවේදී කිව යුතු සුවිශේෂිතම කාරණයක් වේ. එනම් ඉහතින්ද පැවසූ පරිදි මෙම ජයග්‍රහණය මා ලැබූයේ ඔබගේම සහයෝගය නිසාවෙනි. පළමුවෙන්ම ධම්මික බංඩාරයන්ගේ ගීත විචාරයන් පමණක් ගෙන එමින් සිටි කලෙක මගේම වූ නිර්මාණයන් සඳහා මා යොමු කල මගේ දයාබර බ්ලොග් සහෘදයන්  හට මගේ දයාබර ප්‍රණාමය පුද කරමි. එහිදී කුරුටු ගෑ ගීපවුර, ප්‍රියා, විදානේ, අරූ අයියා, දේශක, මහේෂ්, විශේෂයෙන් මතක් කරමි. මීළඟට කවදත් මගේ අඩවියට තාක්ශණික සහයෝගය නොමඳව, නොපැකිලව ලබා දුන් අටම් අයියාටත්, මගේ බ්ලොග් අඩවිය බ්ලොග් ලෝකය තුලට ගෙන ගිය මාතලන් අයියාටත් සතූතිවන්ත වෙමි.

එපමණක් නොව, මගේ බ්ලොග් සටහන් සමඟ නිතර රැඳෙමින්, ඒවායේ ගුණ දොස් විචාරමින්, මා දිරිගන්නවමින් නිබඳ ශක්තියක් වන දයාබර පත්තර මල්ලී, මගේ ගී සංවේදනා ගීයෙන් සරසන අපේ සිංදු ඇනෝ, සංජීව මෙන්ඩිස්, තුශානි,කෙන්ජි, සංචාරක, සහෝදර, සොමියා ආදී සහෘදයන් සියල්ලන්ටම මගේ ආදර ස්තූතිය මෙසේ පලකරමි. එමෙන්ම මේ තරඟය සඳහා මා උනන්දු කොට, ඒ සඳහා යොමු වීමට මා පෙලඹවූ, මගේ නිර්මාණ දිවියේ නොමැකෙන සෙවැනැල්ල වන් දයාබර කවිකාරිටත් තුති පුදමි.

එමෙන්ම මෙවැනි බ්ලොග් සම්මාන උළෙලක් සංවිධානාය කොට, එහි වියදම් දරා ගනිමින්, සිංහල බ්ලොග් කරුවන් මෙලෙස දිරි ගන්වා සිංහල බ්ලොග් සාහිත්‍ය වෙනුවෙන් අමිල මෙහෙයක් ඉටුකරන එකතුව සින්ඩියේ සියලු සහෘදයන්ටහ් රේඩියෝ කළුතර හි, සියලු දෙන්නටමත් මගේ විශේෂ ආදර ස්තූතිය මෙලෙස පුදකරමි.

මගේ අඩවියට පැමිණ නිබඳ මා දිරි ගන්නවන, නම් කී නොකී සියල්ලන්ටම ස්තූතියි. අනේ එක නමක් හරි අමතක උනානම් සියවරක් සමාවෙන්න. ඔබ හැමදෙනාම තමයි මගේ ශක්තිය. ස්තූතියි සියල්ලන්ටම නැවතත්.



"පියාඹන්න අවසරයි පියාපතද සැහැල්ලුයි,

ඉතින් නිල් අහස මගෙයි
මගේ පුංචි කුරුල්ලෝ නිල් අහස විසාලයි
නුඹ ගැන තවම මට බයයි

විලිකුන් මියුරු පලින සැරසුණු වනන්තරය

එන්නැයි ලඟට අතවනයි
සසලව නොයන් පුතුනි පලවැල පිරුණු අරණ
මේ මුළු ලොවෙම උරුමයයි

අත්ත‍ටු සලන අතර උපදින සීත සුළඟ

මුළු ලොව නිවා සනසවයි
ඒ සිහිලැල් සුළඟම පුතුනේ ලොව රිදවන
සැඩ සුළඟකට මුලපුරයි"

-කපුගේ සමඟින් මිත්‍ර කපුගේ-



Thursday, August 7, 2014

•පියසටහන්

"ජීවිත වැලි මළුවේ ගැඹුරටම එරුණු පියසටහන්..."





අද මං මේ කියන්න හදන්නෙ ටිකක් වෙනස් විදියෙ දෙයක්. ඇත්තෙන්ම අද මං ඔයාලට ගීත විචාරයක්වත්, සංවේදනාවක්වත් අරන් ආවෙ නෑ. ඒත් යමක් රන් ආවා. කියන්න හිතාගෙන ආවා. මේක එක්තරා ආකාරයක ඉල්ලීමක් විදියටත් කියන්න පුලුවන්.

කෙලින්ම මාතෘකාවට එන්නම්. අද මගේ කවිකාරි අලුතින් බ්ලොග් එකක් පටන්ගත්තා. මේ කවිකාරි ගැන මීට කලින් වතාවකද දෙකකදි මං පුංචි ඉඟියක් ඔයාලට දුන්නා. ඔව්.. මගේ නිසා කියනවා නෙවෙයි. ඇය බොහෝම ලස්සනට කවි ලියනවා. නිසැඳැස් ලියනවා. එහෙම ලියපු කවි පොතක් එයා ළඟ තියෙනවා. ඒ ලියන බොහෝ දේවල් එයාගෙ ජීවිතේ එයාගෙ හිත සසල කරපු, පහන් කරපු, නිසල කරපු දේවල්. කොටින්ම සැබෑ ජීවන අත්දැකීම්. ඉතින් සයිබර් ලෝකෙ හුඟක්ම නුහුරු මේ කවිකාරිට මං කීපවතාවක්ම ඇවිටිලි කලා බ්ලොග් පිටුවක මේ නිර්මාණ අලවල තියමු කියල. ඒත් එයා ඒකට කැමති උනේම නෑ. කොටින්ම එයා ලියන ඒ දේවල් මට හැර වෙන කෙනෙක්ට පෙන්නන්නවත් එයා කැමතිත් නෑ.

"මං මේව ලියන්නෙ මගේ ආත්ම තෘප්තියට, ඉතින් ඒක එතනින් ඉවරයි. මේව මෙහෙම හරි පොතක ලියල එකතුකලේ ඔයා බල කරපු නිසා. ඉතින් මේව මොනාටද බ්ලොග් එකක් දාන්නෙ?"

ඔන්න යෝජනාව ගෙනාව වෙලේ එයා කිව්ව එක. ඒත් මං කිව්වෙ, කවුරු කියෙව්වත් නැතත් මේව මේ කොල කෑලි වල තියෙනවට වඩා සයිබර් අවකාශයේ කොහේ හරි පරිස්සමට අරන් තිබ්බම තව අවුරුදු සීයක් උනත් තියෙයි. කවදාහරි ඔයාටම මේව කියවන්න ලැබෙනකොට මීටත් වඩා ආත්ම තෘප්තියක් දැනෙයි. ඒ නිසා ප්ලීස් අපි බ්ලොග් එකක් පටන් ගමු කියලයි.

ඔන්න ඔහොමයි මේ නුහුරු ලෝකෙට මේ කවිකාරි එක්ක එන්න පාර කැපුනෙ. බ්ලොග් නුහුරු මටත් මේ සංස්කෘතිය අලුත් එකේ මේ කවිකාරිට මේ ගමන කොහොමත් අමාරුයි. මං ලියන බ්ලොග් සටහන් කියවල ඒවගේ ඔයාලා දාන කමෙන්ට්ස් කියවල බ්ලොග් කියන වචනෙ ගැන ඉස් ඉස්සෙල්ලාම දැනගත්ත මගේ කවි කාරිට මේ නුහුරු ලෝකෙට එන්න අත්වැලක් වෙන්න පුංචි සහයෝගයක් දුන්නා.

ඉතින් මං දන්නවා මේ බ්ලොග් ලෝකෙ ඉන්න ඔයාලා ගොඩක් දෙනා කවි රසවිඳින, නිසැඳැස් ලියන සොඳුරු රසවතුන් කියලා. ඉතින් මේ සුහද ආරාධනය ඔයාල හැමෝටමයි. මගේ කවිකාරිගේ බ්ලොග් අඩවියට ගොඩවැදී බලන්න. මේ නුපුරුදු ලෝකෙට හුරු වීමට ඇයට ඔබේ අත්වැල මහමෙරක් තරම් වේවි. ඔබේ අදහසක් ඇයට පහන් වැටක් වේවි. මේ පුංචි කාලෙදි ඔයාලා හැමෝම මට දුන්නු සහයෝගය, අත්වැල ඇයටත් ලබා දෙන ලෙස ඔබෙන් මම ඉල්ලා සිටින්නෙමි.

ඒ වගේම බ්ලොග් සින්ඩි පවත්වාගෙන යන දයාබර සොයුරු සොයුරියනි, ඔබගේ සින්ඩියට මේ අඩවියත් එකතුකරගන්නා මෙන් දයාබරව ඉල්ලනවා.


ජීවන වැලි මලුවෙහි සටහන් වූ "පියසටහන්" සමඟින් ඇයත් සමඟ අපිත් ඇවිද යමු..




"පියසටහන් මැකී නොමැත තව
මා ආ දිගු ගමනේ
මගේම පියවර මත පියනගමින්
ඔබ එනු දුටුවෙමි මා ලුහුබදිමින්
පියසටහන් මැකී නොමැත

ගිරි ශිඛර මුදුන්වල, වන ලැහැබේ අතු අග
දෝංකාර  දුන් එදා ගැයූ ගී
 මා ඔබට ගැයූ ගී
ඇසේද තවමත් ඇලේ දොළ් ගලනා ගීයේ

රලු බොරලු ගමන් මග
වැලිතලා වැනිය අද
හැරීබලමි මම
ඔබේ ඇසින්
ඔබ නොදුටු ඇසින්
නොවේද මතුවට ඔබත් මමත් හමුවන දවසක්
"

පද රචනය : සුනිල් ගමගේ
සංගීතය : ගුණදාස කපුගේ
ගායනය : ගුණදාස කපුගේ



*******************************************************************************