Pages

Sandumal

Sandumal

Thursday, October 30, 2014

•අරලිය ලන්දට

"අරලිය ලන්දට සඳ පායන කොට තුරුලිය මල් වට බඹරු බමන විට
සිය සිය සිය දහසට ඇඟිලි ගණිනා මට ඔබ ගැන සිහිවෙනවා..
එතකොට ගී පද ලියැවෙනවා..."






අපේ ජීවිතවල සමහර අත්දැකීම් තියෙනවා ජීවිත කාලයක් පුරාවටම අපිට අමතක කරන්න බැරි, අමතක වෙන්නෙ නැති. මතක් කරල බලන්න, හය හතර තේරෙන්න පටන් ගත්ත දා ඉඳල අද වෙනතුරු ඔබේ ජීවිතේට ඒ වගේ අත්දැකීම් නම් කීයක් ඇත්ද. සමහර දේවල් ඉතාම සුලු නොවැදගත් දේවල්. ඒත් ඒවා ඔබේ මතකයෙන් බැහැරවෙන්නෙ නෑ. ඒවා බොහෝම සුලු නොවැදගත් දේවල්. හැබැයි.. ඒ මට, ඔබට නෙවෙයි. මං කිව්වේ, ඒ අත්දැකීම් අනෙක් අයට බොහොම සුලු නොවැදගත් කාරණා. නමුත් ඔබට ඒව බොහොම වැදගත් සොඳුරු හෝ අඳුරු මතකයන්.

බොහෝවිට මේ අත්දැකීම් අපේ ජීවිතේ ළමා කාලයට අයිති දේවල්. මොන හේතුවකටද මංදන්නෙ නෑ මටනමේ වගේ අත්දැකීම මහ ගොඩක් තියෙනවා. සමහර අවස්ථාවල් සිදුවුණු සිදුවීම්, කතා කල දේවල්, සිද්ධ වෙච්ච තැන්. මහ පුදුම විදියට හිතේ ඇඳිල තියෙනවා. කියන්න තරම්වත් වටින දේවල් නෙවෙයි, සමහරා විට අම්මත් එක්ක බෙහෙත් ගන්න යනකොට වෙච්ච දෙයක්, නැත්නම් ගෙදරට නෑයෙක්, හිතවතෙක් පැමිණි වෙලාවක වෙච්ච කතාබහක්. නැත්නම් තනියෙන්ම සිටින මොහොතක සිතට දැනුනු සිතිවිල්ලක් වෙන්නත් පුලුවන්.

ඒත් ගැඹුරින් කල්පනා කරල බැලුවම අද ඒ දේඅපේ වයසෙ හැටියට බොහොම කුඩා සිදුවීමක් උනත්, එදා, වසර දෙකක තුනක, හතරක ළමයෙකුට මහා ලොකු දෙයක්. ඔලුවට බර යමක්. නැත්නම් නෑඹුල්, නිකැළල් ලපටි හිතක තදින් ඇඳුනු සිතිවිල්ලක්, සිතුවමක්. ඒක හරියට, ඉස් ඉස්සෙල්ලාම ගෙදරක බිත්තියක කපරාරුව උඩින් ගාපු හුණු පාර වගෙයි. ලේසියෙන් මකන්න බෑ. පුද්ගල චරිත වලටත් මේ දේ පොදුයි. සමහර මිනිස්සු ඉන්නවා අපට තාමත් නයාට අඳු කොල වගෙයි, සමහරු ඉන්නවා දකිනකොට හරි පිළිකුල්, තවත් සමහරු ඉන්නවා අපි එයාලට කොන්දේසි විරහිතව ආදරෙයි. මෙතන වෙන්නෙත් කලින් දේමයි.

දැන් ඔයාලට හිතෙනවා ඇති අදනම් මේ කියන්න යන්නෙ මගේ ජීවිතේ මැවැනි අතීත සිදුවීමක් කියලා. ඔව් ඔබ හරි. මේ කතාව එහෙම එකක් තමයි. නමුත් මතකයේ තියෙන මෙවන් සිය ගනනක් සිදුවීම අතර මේ මගේ මේ සටහන් වල තේමාවට ගැලපෙන කතාවක්. ඒ කිව්වෙ ගී සංවේදනාවක්. සමහර ගීත තියෙනවා මං අර උඩින් කිව්ව අත්දැකීම් වගේ අපේ ජීවිත වලින් ගලවල අයින් කරන්න බැරි. ඒ තරම්ම ඒ ගීත අපේ ජීවිත සමඟ බද්ධවෙලා. ගීතය ඇහෙන වාරයක් පාසා හිත අතීතෙට දුවන, එහෙම දුවල එක්කො හිතින් හඬා වැටෙන නැත්නම් සිනාසෙන ගීත අපේ ළඟ ගෝනි ගනන් ඇති.

ඉතින් මේ කියන්න යන්නෙ එහෙම ගීයක් ගැන.

මේ සිද්ධිය වෙනකොට මට අවුරුදු හතරක්, පහක් වගේ ඇති. ඔය කියන කාලෙ අපි පදිංචිවෙලා හිටියෙ සොරබොර වැව පාරේ, කුලී ගේක. මං ඒ ගැන කලින් වතාවකුත් කියල තියෙනවා. ඉතින්, තාත්තා වැඩකලේ අනුන්ගෙ ගරාජ් එකක, පඩියට. ඒ නිසාම වැඩ ඇරිලා එන්න හරිහමන් වෙලාවක් තිබුනෙ නෑ. සමහර විට පහට හයටත් ආවා, ඒත් සමහර දවස් වල අට නවය උනා, දහය දොළහ වෙච්ච දවසුත් නොතිබුනා නෙවෙයි. කොහොම උනත් මේ කොයි දවසෙ උනත් තාත්තා එනකල්ම තනියෙන්ම ඉඳපු අම්මයි මමයි, අර ඉදුණු බත් මුට්ටිය නිවෙනකල් ඉන්න බෑ වගේ, තාත්තා හවස ගෙදර එනකල් පෙර මඟ බලාගෙන ඉන්න පුරුදු වෙලා හිටියා.

ඇත්තටම මෙහෙම් ගෙවුන ගොඩාක් දවස් මට තාමත් මතකයි. හරිම සුන්දර වෙලාවක් ඒක.ගෙදර වැඩපල, රෑට උයන පිහින දේවල් අහවර කරල නාලා එහෙම අම්මයි මමයි මේ පෙරමඟ බලා ඉඳීම කියන කටයුත්ත පටන්ගන්නවා. මේකට තෝරගන්නෙ එක්කො මිදුලෙ බැඳල තිබුන ඔංචිල්ලාව, එහෙම නැත්නම් මිදුලෙන් ගෙනත් තියාගන්න ලී පුටුව. කොහොම හරි හවස හයට විතර අපි මෙහෙම වාඩිවෙනවා. අම්මා පුටුවෙ හරි ඔංචිල්ලාවෙ හරි වාඩිවෙලා මාව ඔඩොක්කෙට ගන්නවා. ඊළඟට ඉතින් මගේ ඔලුව අතගගා නොයේක් දේවල් කිය කිය පාර දිහා බලන් ඉන්නවා.

කට ඇරගෙන මං උඩ බලාගෙන ඉන්නවා. එහෙම ඉන්නකොට තමයි මගේ මුහුණට නැඹුරු වෙච්ච අම්මගේ මූණ මට හොඳට පේන්නෙ. එතකොට මට පේන්නෙ හැබැයි අම්මගේ මූණ විතරක්ම නෙවෙයි. මට මුලු ලෝකෙම පේනවා. ඉර බැහැගෙන යනවා. මට මහා විසාලව පේන තඹ පාට අහසෙ කලු පාටට කුරුලු රෑන් එක යායට පියාඹනවා. හරි කලබලේකින්. අම්මා උන්ව පෙන්නල මට කියනවා, අන්න පැටවු හොයාගෙන කුරුලු තාත්තාලා කෑමත් අරන් කූඩු වලට පියාඹනවා, ඔය විදියටමා තාත්තිත් දැන් මඟින් එනව ඇති පුතේ කියලා.

මෙහෙම ඉන්නකොට එයා බොහෝ විට ගීත මුමුණනවා. මං හිතන්නෙ ඒ නිසාම කුඩා කල ඉඳලම මං ලයාන්විතව ගැයෙන ගීත වලට අපරිමිතව ආදරය කරන්න පටන්ගත්තා. අම්මගේ උකුලට වෙලා, ඒ තුරුල්ලෙ උණුහුම විඳිමින්, හවස ආකාසෙ දිහා බලාගෙන අම්මගේ ආදරණීය හඬින් ඔබ අහපු ගීයක් කෙතෙක් කාලයක්නම් ඔබේ හදවතේ රැඳිල තියෙයිද. බොහෝ විට මේ ගී මං මුලින්ම ඇහුවෙත් ඒ අදාල ගායකයා හෝ ගායිකාවගේ හඬින් නෙවෙයි. අම්මගේ දයාබර හඬින්. මෙහෙම ගෙවෙන ගොඩාක් දවස් වල බොහෝ විට තාත්තා එනාකොට අම්මගේ තුරුල්ලට වෙලා හොඳ උණුහුමට ගී අසමින් උන් මට එහෙමම නින්ද ගිහින්. ඉතින් එහෙම වෙලාවලදි තාත්තා මාව වඩාගෙන බොහොම පරිස්සමින් මාව ගෙට අරන් යන විදිය මට හීනෙන් වගේ මතකයි තාමත්. සමහර දවස් වල තාත්ත එනකොට ගොඩක්ම රෑ වෙනවා, එහෙම එක දවසක තාත්තා එනකොට අම්මයි පුතයි දෙන්නම පුටුවට වෙලා නිදාගෙන හිටපු හැටි අදටත් තාත්තා මතක් කරනවා හිටිගමන්.

මේ හැමදේම කිව්වෙ මේ හැම එකක්ම එකිනෙකට බොහොම සවිමත්ව බැඳිල තියෙන නිසා. දැන් තමයි හරියටම කතාවට යන්න හදන්නෙ මං. මේ කියන්න යන දවසත් මං අර කිව්ව වගේම සුපුරුදු දවසක්. හැබැයි එදා පොඩි වෙනසක් තිබුනා, එදා අපේ ගෙදරට තවත් අමුත්තෙක් ඇවිත් හිටියා. ඇත්තටම බැලුවොත් එයා අමුත්තෙක් නෙවෙයි, අපියි හරිනම් එයාගෙ අමුත්තො. මොකද ඒතමයි අපි කුලියට ඉන්න ගෙදර අයිතිකාරී. හරියටම කිව්වොත් කුමී ඇන්ටි. ඔව්, මං එයාව ඇමතුවේ එහෙම. අපිට ගේ කුලියට දීල එයා රට ගිහින් හිටියේ. මේ එයා රට ඉඳන් ආපු කාලෙක දවසක්. එදා ඒ ඇන්ටි අපේ (එයාගෙ)ගෙදර හිටියේ.

දවසෙ කාල සටහන ඇගේ ආගමනයෙන් ටිකක් විස්ථාපනය වෙච්ච නිසා එදා අම්මට උයන්න රෑ උනාද කොහෙද. කොහොම හරි මොකක් හරි හේතුවකට එදා අම්මට වෙනද වගේ මාත් එක්ක තාත්තා එනකල් පාර දිහා බලන් ඉන්න තරම් ව්විවේකයක් තිබුනෙ නෑ. ඒත් මං කොහොමද පුරුද්දෙන් මිදෙන්නෙ. අම්මට ඉන්න කියල මං ලෑස්තිවුනා තාත්තා එනකල් මඟ බලන් ඉන්න. ඉතින් මං ගෙදර සන්ශේඩ් එක යටට ඇවිත් ඒකෙ තිබුන ආරුක්කුවේ යට වාඩිවෙලා කම්මුලට අත් දෙකත් තියාගෙන මදුරුවො එලව එලව වාඩිවෙලා හිටියා.

ඔන්න ඉතින් මං එහෙම ඉන්නකොට අර කීව කුමී ඇන්ටි මං ගාවට ආවා. පුතේ මොකද කරන්නෙ කියල මට කතාකරල එහෙම, එයා මාව ඔඩොක්කෙට ගත්තා. මාත් එක්ක අනන් මනන් ටිකක් කතාකර කර ටිකක් වෙලා හිටියා. කතාකරන්න තරම් දේකුත් නැති නිසා වෙන්නැති ටිකකින් එයා නිහඬ උනා. මටත් ඉතින් වගක් නෑ ඔහේ පාර බලාගෙන හිටියා. ටිකෙන් ටික අඳුර වැටුණා. ඒත් අඳුරට රජ කරන්න අවස්ථාව ලැබුනෙ නෑ. මුලු පරිසරයම බොහොම අලංකාර කරගෙන පුන් සඳ පායලා තිබුනා. ලෝබ නැතිව මුලු පරිසරයටම එළිය දුන්නා. ගහකොල රත්තරන් පාටින් නෑවිලා තිබුනා.

මෙහෙම වෙලාව යනකොට කුමී ඇන්ටි හීන් හඬින් ගීයක් මුමුණන්න පටන් ගත්තා. මනෝ ලෝකෙක හිටපු මම හීන් හඬින් බොහොම හෙමින් කියපු මේ ගීයට ආසාවෙන් කන්දුන්නා. අපේ මිදුලෙ තිබුනා අරලිය ගහක්. ඒ වෙලාවෙ ඒ අරලිය ගහේ කලු පාට කොල අතරින් රන් තැටියක් වගේ ලස්සනට හඳ පායලා තිබුනා පෙනුනා. ගීතය පටන් ගන්නකොටම කියපු වචන වලට මගේ නෙත් ඉස්සරහ මැවිල තිබුන දර්ශණය හරි අගේට පෑහුනා. මට ගීතයේ අනෙක් පද කිසි දෙයක් වැදගත් උනේ නෑ. ගීතය කියන්නෙ කා වෙනුවෙන්ද, මොකක් ගැනද කියල මට තේරුනෙත් නෑ, තේරුම් ගන්න උවමනාවක් උනෙත් නෑ. ගීතයේ තේරුම අද හදවතට හොඳින්ම දැනෙනාවා. එදා කුමී ඇන්ටි ඒ ගීතයෙන් නිරායාසයෙන් පිටකලේ ඇගේ තනිකම සහ බලාපොරොත්තුව වෙන්න ඇති. මොකද මම දන්නෙ නෑ අදටවත් ඇය එය ගැයුවේ සියදිවි හානි කරගෙන ඇගෙන් වෙන්වෙලා ගිය ඇගේ දයාබර සැමිය වෙනුවෙන්ද එහෙම නැත්නම්, වෙන කවුරුන් හෝ වෙනුවෙන්ද කියලා. මට ඒක හොයන්න උවමනාවකුත් නෑ. මට තේරුණ එකම දෙයක් තිබුනා. ඒ මගේ ඇස් ඉස්සරහ අරලිය අත්තකට මුවා වෙච්ච සඳ මඬලක් තිබුනා. ගීතය තුලත් අරලිය ගස් වලට සඳක් මුවා වෙලා තිබුනා. එහෙම නැත්නම් අරලිය ගහකට සඳ පායලා තිබුනා. මට පෙනුන දේම කුමී ඇන්ටි ගායනා කලා. ඒ නිසා ඒ ගීතයත් දුටුව දසුනත් නොමැකෙන ලෙස හිතේ තදින්ම..තදින්ම ඇඳිලා ගියා.

මං වෙනුවෙන් ඇයට යළි යළිත්, යළි යළිත් කිහිප වාරයක්ම ගීතය ගායනා කරන්න උනා. ඒත් මට ඇති හිතුනෙ නෑ. බැරිම තැන එයා මට ඒ සිංදුව ලියල දුන්නා. මට අද වගේ මතකයි, කුමී ඇන්ටි මට ඒක ලියල දුන්නේ ගෙදර කොහේ හරි මොකක් හරි හේතුවකට තිබිච්ච බිල් පොතක. ඒක අපි නිතර දකින බිල් පොතක් වගේ නෙවෙයි, ඒක අඩියක් විතර දිග එකක්. එක ළඟ එක ළඟ මල් වගේ එකම රටාවකට විහිදිලා තිබුනා රතු පාට කවරයක් තිබුන ඒකට. පිටු ගොඩාක්, ඔක්කොම වගේ ඉතිරිවෙලා තිබුන බිල් පොත මට අයිති උනා. මං ඒ පොතේ කිහිපවාරයක් අම්මටත් කියල ඒ සිංදුව ලියාගත්තා. මමත් අමාරුවෙන් අකුරු ගැටගහගෙන ඒක ආයෙමත් ලියන්න හැදුවා. ඒත් බැරිවුනා. ඒත් ඒ සිංදුව මට කටපාඩම් උනා. ඒ විතරක් නෙවෙයි, මං දිගටම ඒ පොතේ සිංදු ලියවගන්න පටන් ගත්තා අම්මටත් කිය්ලා. අම්මා ඒ කාලෙ අලුතින් කියපු හැම සිංදුවක්ම මං ඒකෙ ලියාගත්තා අම්මට කියලා.

අද ඒ සිංදු පොත කොහෙද දන්නෙ නෑ. මට ඒක මඟ ඇරිලා. සමහර විට ඊට අවුරුද්දකට විතර පස්සෙ අපි ඒ ගෙදරින් ආව දවසෙ ඒක අමතක වෙන්න ඇති. නැත්නම් කවුරුන් හෝ එය අහක දමන්න ඇති. කොහොම උනත් අද මං දන්නෙ නෑ ඒ පොත කොහේ කොතනක තියෙනවද නැත්ද කියලා. ඒ වගේම මං දන්නෙ නෑ, අද වෙනකොට කුමී ඇන්ටි කොහේ කොතනක ඉන්නවද කියලා. ආරංචි විදියට එයා තාමත් රට. කොහොම උනත් අද මං ළඟ මේ අජීවී වස්තුවත්, ජීවී මනුස්සයාත් නිසා සජීවී මතකයක් ඉතිරිවෙලා තියෙනවා.

අදටත් හඳ ඇති රෑක අරලිය ගහකට නෙවෙයි,වෙන මොන ගහකට හරි ඒ හඳ එළිය වැටිලා ලස්සනට පේනකොට මට මේ ගීය මතක් වෙන්වා. නිරායාසයෙන්ම කියවෙනවා. ඒත් එක්කම සොරබොර වැව පාරෙ අදටත් කාත් කවුරුත්ම නැතිව පාලුවට ගිහින් තියෙන මගේ ළමා කාලයෙන් කාලපරිච්ඡේදයක් ගෙවිච්ච් ඒ කුඩා කුලී නිවස මැවිල පේනවා.



අරලිය ලන්දට සඳ පායන කොට
තුරුලිය මල් වට බඹරු බමන විට
සිය සිය සිය දහසට ඇඟිලි ගණිනා මට
ඔබ ගැන සිහිවෙනවා.. 
එතකොට...
ගී පද ලියැවෙනවා...

රඹවන් හේනේ කරල් පැසෙන කොට
අඹ මල් ගානේ ගිරව් හඬන විට
දොඹ තුරු මානේ සෙවන දකින මට
ඔබ ගැන සිහිවෙනවා..
එතකොට...
සිතිවිලි ඉගිලෙනවා...

දඬු‍වැල් බෑ මී සුවඳ දැනෙන කොට
පඬුවන් අහසේ තරු පායන විට
හැඬුමට නොහැකිව දෙඇස වසන මට
ඔබ ගැන සිහි‍වෙනවා..
එතකොට...
සිහිනය උපදිනවා...

ගායනය : නන්දා මාලිනී
පද රචනය : ප්‍රියන්ත ධර්මවංශ
සංගීතය : කාලෝ විජේසිරි


(Araliya Landata - Nanda Malini)




(හැකියාවක් තිබේනම් ප්‍රියන්ත ධර්මවංශගේ සහ කාලෝ විජේසිරිගේ ඡායාරූප දෙකක් මා වෙත ලබා දෙනමෙන් මගේ දයාබර සහෘදයන්ගෙන් මම ඉතාම ආදරයෙන් ඉල්ලා සිටින්නෙමි.)

Sunday, October 26, 2014

•අවුරුද්දයි


"දිවි මගෙහි මෙතෙක් දුර මා සමඟ ගමන් කල.. මා සමඟ සිනාසුනු.. මා සමඟ ඉකිබින්ද.. රසික ඔබ.. මට..කුමුදෙකි..ගඟුලෙකි.. පහනෙකි..පවනෙකි..."






E - Money ගැන නොදන්න කෙනෙක් ඉන්නවද? මං හිතන්නෙ එහෙම නොදන්න කෙනෙක් නෑ. අනිවාරෙන්ම මේ සටහන කියවන හැමදෙනාම අනිවාරෙන්ම නිකමට හරි මේ කියන්නෙ මොකක්ද කියල දන්නවා. ඇතැම්විට මෙය කියවන කිහිප දෙනෙක් හෝ මේ පිළිබඳව උනන්දුවක් දක්වා මේ පිළිබඳ හදාරා ඇති බවටත් සැකයක් නෑ. ඉතින් මේ E- Money, එහෙම නැත්නම් අන්තර්ජාලයෙන් මුදල් ඉපැයීම කියන කාරණය මගේ හිතටත් වද දුන්න කාලයක් තිබුනා. උසස් පෙළ එහෙම කරල නිකන් වාත වෙවී ගෙදරට වෙලා ඉන්න කාලේ අතට කීයක් හරි හොයාගන්න තිබුනනම් හොඳයි කියල හිතුන කාලෙ මටත් ඔය E- Money රෝගෙ වැළඳුනා.

ඉතින් මාත් මේ ගැන හොයන්න පෙළඹුනා. පුවත් පත් වල මේ ගැන තිබුන දැන්වීම් කියෙව්වා. මේ විදියට මේ ගැන හොය හොය ඉන්නකොට මට දකින්න ලැබුනා E- Money යටතේ කිසියමක් කාර්‍යක් කොන්ත්‍රාත්තුවක් අරන් තිබූ අයෙකු ඒ කාර්‍ය ලංකාවේ අය අතරෙ Sub Contracts විදියට ලබා දෙන අවස්ථාවක්. මං ඒකට සම්බන්ධ වුනා. කරන්න තිබුනෙ සුලු දෙයක්. අදාල කෙනා මට ඊමේල් මඟින් ස්කෑන් කල PDF ෆයිල්ස් කිහිපයක් එවනවා. මං හිතන්නෙ ඒ පැරණි නවකතා. මට තියෙන්නෙ ඒව බලාගෙන ඒ සටහන් MS Word Document එකක ටයිප් කරල ආපහු ඔහුට යවන එක. මේ විදියට මට එවන එක පිටුවක් සඳහා ඔහු මට රුපියල් පනහක් ගෙව්වා. මං මට ලැබුනු PDF සියල්ල පිටපත් කොට යැවූ විට ඔහු අදාළ මුදල මට බැංකුවට එවන්න කටයුතු කලා. මට හොඳට මතකයි ඒ ලැබූ මුලු මුදලින් මං කලේ මට ඒ කාලෙ තිබුන මගේ ඩෙස්ක්ටොප් පරිගනකය සඳහා කම්පියුටර් ටේබල් එකක් ගත්ත එක. ඒක තවම තියෙනවා. ඒත් මේ වැඩේ දිගටම කරන්න ලැබුනෙ නෑ, එකපාරම අදාළ පුද්ගලයා මෙම ලේඛන එවන එක නතරකලා. ඔහු කතාකරල කිව්වා ඔහු මේව ගත්තෙ ඉන්දියානු සමාගමකින් බවත් ඔවුන් සමඟ ගනුදෙනු දුෂ්කර නිසා මෙය නවතා දැමූ බවත්. කොහොම උනත් මේ කාර්‍ය E- Money සම්බන්ධව මගේ තිබූ උනන්දුව තවත් වැඩිකරන්නට සමත් උනා.

එහි ප්‍රතිපලය විදියට මමත් මගේ මිතුරෙකුත් මහනුවර තිබූ මෙවන් E- Money පුහුණු එක්දින වැඩමුලුවකට සහභාගි උන බව මං අද මෙතන කියන්නෙ හද පිරි ලැජ්ජාවෙනි! ඒ, එය ඒ තරම්ම අසාර්ථක ක්‍රමවේදයක් නිසාවෙනි. සාර්ථක අවස්ථා නැතුවාම නොවෙයි. ඔවුන් කියන විදියටම ඉතාම කැපවීමෙන් ඉවසීමෙන් මේ හා රැඳී සිටීමෙන් මෙහි ප්‍රතිපල ලබා ගත හැකියි. නමුත් ප්‍රායෝගිකව මෙය කරන්නට යනවිට ඉබ්බන්ගෙන් පිහාටු ගැනීම ඊට වඩා තරමක් ලේසි බව ඔබට වැටහෙනු ඇත. ඉතාම හොඳ පරිගනක දැනුමක් ඇති අයෙකුට මෙම E- Money ක්ෂේත්‍රය තුල තමන් සඳහා වටිනාකමක්, මාකට් එකක් හදාගැනීමට හැකිවනු ඇත. විශේෂයෙන්ම ග්‍රැෆික් ඩිසයිනින් වගේ කරන අයට. එහෙම නැතිව අපි වගේ වර්ඩ්, එක්සෙල් විතරක් දන්න උදවියට මෙය හරිම දුෂ්කර කාර්‍යක්.

කොහොම උනත් මේ ගැන මගේ රසවත් අත්දැකීම් මං ඔබත් සමඟ පසුව බෙදාගන්නම්. අද මේ කියන්න ආවෙ වෙන දෙයක් ගැන. ඒකට පාර හදාගන්නයි මේ විදියට අර බ්ලොග් බාශාවෙන්ම කියන ආකාරයට පඳුරු තැලුවේ. ඉතින් මේ E - Money වැඩමුලුවෙන් සහ, මේ ගැන තියෙන මම ගෙදරටම ගෙන්න ගත්ත සී ඩී කට්ටලයෙන් කියවුන අන්තර්ජාලයෙන් මුදල් ඉපැයිය හැකි එක්තරා පහසු ආකාරයක් තමයි බ්ලොග් කියන්නේ!! ඒක හරි පහසු කාර්‍යක් විදියටයි ඔවුන් හඳුන්වලා දීල තිබුනේ. කරන්න තිබුනෙ පොඩි දෙයයි, මොකක් හරි මාතෘකාවක් යටතේ තමන්ට කියල බ්ලොග් අඩවියක් පටන්ගන්නවා. ඊළඟට ගූගල් එකෙන්ම ඔවුන්ගේ ඇඩ්සෙන්ස් වලින් ලබල දෙන දැන්වීම ඒ බ්ලොග් එකේ පලකරනවා. ඔන්න ඔච්චරයි, දැන් වැඩේ හරි, පහුවදා ඉඳල තමන්ගෙ අන්තර්ජාතික බැංකු ගිනුමක හෝ ගාලා සල්ලි පිරෙනවා..!!

ඉතින් ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද! බ්ලොග් එකක් හදාගන්න විදියත් ඒකෙ කියල තිබුනා. ඉතින් මාත් දෙපාරක් හිතුවෙ නෑ හදාගත්තා බ්ලොහ් එකක්. දැන් ඉතින් මමත් හිතින් ලක්ෂ පතියෙක්. මං මුල ඉඳල හදාගෙන තිබුන ආරූඩ නමක් තිබුනා "සඳුමල්" කියල. ඒ නමින් මං හැදුවා බ්ලොග් එකක්. දැන් මට හෙන ආඩම්බරයි, මොකද මටම කියල වෙබ් එඩ්‍රස් එකක් එහෙමත් තියෙනවනේ. ලෝකෙ කොහේ ඉන්න මොකා ඒක ගැහුවත් එන්නෙ මගේ සයිට් එකටනේ.. ඔහොමයි හිතුනේ. ඉතින් මහත්වරුනි, කියන්න සංතෝසයි එකම එක පෝස්ට් එකක්වත් නැති මගේ බ්ලොග් එක සඳහා මං අයදුම් කලා ඇඩ්සෙන්ස්, ගූගල් එකෙන්. එහෙන් පණිවුඩයක් ලැබුනා මගේ අඩවිය ඇඩ්සෙන්ස් සඳහා සුදුසුද බලන්න එයාලගේ විශේෂඥයෝ රිවීව් කරනවා, දවසකින් දෙකකින් දැනුම් දෙන්නම් කියලා. මං ඉතීන් බලන් හිටියා, උපරිම විස්වාසෙන්. මං දැන් හිතෙන් හෙන පොරක්. ලස්ස පතියෙක්. හොඳ වෙලාවට ඇඩ්සෙන්ස් වලින් හොයන සල්ලි වලින් ලීස් එක දාන්න කියල මං හයිබ්‍රිඩ් එකක් එහෙම ගත්තෙ ඒ දවස්වලම. මොකද දවස් දෙක තුනකින් මට ගූගල් ගෙන් පණිවුඩයක් ලැබුනා. ඒකෙ කියල තිබුනෙ  Insufficient Contents නිසා මට ඇඩ් දෙන්න බෑ කියලයි!!! ප්‍රමාණවත් නෙවෙයි නෙවෙයි, කිසිම දෙයක්, පෝස්ට් එකක් නොතිබූ මගේ බ්ලොග් එකට ඇඩ් දෙන්න ඒ මිනිස්සුන්ට පිස්සුයැයි. මං ඒත් උත්සාහය අත්තැරියෙ නෑ.

ඊළඟට මං කල්පනා කලා මගේ බ්ලොග් එකෙ මොනාද දාන්නෙ කියලා. ඉතින් මං මගේ මංගල පෝස්ට් එක විදියට දැම්මා "Let's Learn English" කියල පෝස්ට් එකක්. මොකද ඔය සුද්දගේ බාසාව මට ටිකක් පුලුවන්. අනාගතේ මගේ ජීවිතේ පාර හැදිල තියෙන්නෙත් ඔය සුද්දගේ බාසාවට පිංසිද්ධ වෙන්න. ඒ ගැන පසුවට කියන්නම්. ඉතින් මං ඔය ව්‍යාකරණ ටිකක් එහෙම දාල, සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ආස, මුල් අවස්ථාවෙ ඉන්න හුදූ ජනයට අවබෝධයක් ලැබෙන විදියට මොනා හරි මං ඒකෙ දාල තිබුනා කියල මතකයක් තියෙනවා මට. ඔන්න ඒක දාල ඊළඟට මං ආයෙත් රික්වෙස්ට් කලා ඇඩ්සෙන්ස් වලට! ආයෙත් රිජෙක්ට් උනා. තව මොනා හරි දැම්මා, ආයෙ ඉල්ලුව, ආයෙ රිජෙක්ට් උනා. ඊළඟට මං ඒ මඟුලත් අතෑරලා දැම්මා. එහෙමම මට E - Money අමතක වෙලා ගියා. දෙයියනේ කියල තවමත් රස්සාව කරගෙන ඉන්න තැන රස්සාව හම්බුනාට පස්සෙ මට E - Money ඕනි වුනේ නෑ. ඊට වඩා පොලොවෙ පයගහල කරන්න පුලුවන් රස්සා ඕනි තරම් තියෙන බව වටහගෙන මං E - Money වලින් ඈතටම වෙලා එහෙම එකකට මං ගියෙත් නෑ වගේ හිටියා, තාමත් ඉන්නවා පත්තරවල එහෙම තාමත් යන ඒකෙ ඇඩ් දැක්කම.

කොහොම හරි රස්සාවට ආවට පස්සෙ මට ලැබුන මගේම වගේ පරිගනකයටයි, අසීමිත අන්තර්ජාල පහසුකමටයි, MAS අධිපති මහේෂ් මහත්තයාටයි,පිංසිද්ධ වෙන්න මාත් ඩිජිටල් ලෝකෙට බොහෝම සමීප උනා. ඔය අතරෙ දවසක් අහම්බෙන් මට ආව ඊමේල් පණිවුඩයකින් හරි අපූරු කෑම්ප් එකක් ගැන අපූරු ලිපියක් කියවන්න ලැබුනා. ඒ වෙන කොහෙවත් නෙවෙයි, අභීතගේ මීමුරේ කෑම්ප් එක ගැන. ඒ ලිපියෙ අගට තිබුන වෙබ් ලිපිනෙන් මං අහම්බෙන් ඉස්සෙල්ලාම සිංහල බ්ලොග් ලෝකයට අවතීර්ණ උනා!!! ඔන්න මෙතෙක් කතාව.

ඊට පස්සෙ මාත් අර මොකද්ද හම්බුන මොකාද වගේ මොනිටරේටම මූණ ඔබාගෙන බ්ලොග් කියවන්න පටන්ගත්තා. වැඩක් තිබුනත් නැතත් අනිවාරෙන් බ්ලොග් කියවන එක දිගටම කලා. මුලින්ම අභීතගේ පෝස්ට් සියල්ලම වගේ කියෙව්වා කමෙන්ට්ස් එක්කම. ඊළඟට ඔහුගේම බ්ලොග් රෝලෙන් අනෙකුත් සිංහල බ්ලොග් කියවන්නත් පටන්ගත්තා. හැබැ‍යි මොකකවත් කමෙන්ට් කරන්න ගියේ නෑ. එකම එක කමෙන්ට් එකක් දැම්මා අභීතගේ බ්ලොග් එකේ, මං අර කිව්ව ඊ මේල් එකෙන් ආව ඔහුගේම පෝස්ට් එකේ. එදා තමයි දැනගත්තෙ කමෙන්ට් කරන්න අපිටම කියල ප්‍රෝෆයිල් එකක් එහෙම ඕනි කියලා. මට මතක විදියට ආයෙ කමෙන්ට්ටුවක් දැම්මා රාජ් ගේ නවාතැනේ. ඒ දැම්මෙත් E - Money ගැන මොනාහරි අහලා. ඔහු ඒකට රිප්ලයි කරලත් තිබුනා.

ඉතින් ඒ රෝලෙන්, මේ රෝලට, ඒකෙන් තව එකකට, ඔහොම ඔහොම මං සිංහල බ්ලොග් ලෝකය පුරා කරක් ගැහුවා. කොහෙවත් කමෙන්ට් නොකලත් මං මේ කලාව ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේ සංස්කෘතිය ගැන අවබෝධයක් ලබා ගත්තා. ඒ කලාවෙ තිබුනා අන්තර්ජාලේ වෙනත් සමාජ අඩවි වල නැති මනුස්ස කමක්, බැඳීමක්, සහෝදර කමක්, සටන් කාමීත්වයක්, විප්ලවාදී බවක්, ඒ වගේම සංවේදීබවක්, ආධ්‍යාත්මික බවක්. මං දැක්කා දිලුම් වෙනුවෙන් බ්ලොග් ලෝකෙ සහෘදයන් අත්වැල් බැඳගත් හැටි. ඒ වගේම නංගි කෙනෙක්ට පිහිට වෙලා ජීවිත බේරගත්ත හැටි. මං දැක්කා ඔබා අයියා වෙනුවෙන් මිනිස්සු දුක් වෙච්ච හැටි. මං දැක්කා අවුරුදු උත්සව පවත්වමින්. සැණකෙලි පවත්වමින්, එකම ගමක එකම පවුලක් වගේ මේ අය බැඳිල උන්නු හැටි. බ්ලොග් අඩවියක් පටන් අරන් ඇඩ්සෙන්ස් ගිණුමක් හදාගෙන උන් කියන විදියටම කීයක් හරි හොයාගෙන කනවට වඩා කොච්චරනම් එහාට ගිය මානව බැඳීම් ගොන්නක් මේ තුල තියෙනවද කියන කාරණය මං අවබෝධ කරගත්තා.

කවදත් සමාජ වෙබ් අඩවි, ෆේස්බුක්, ට්විටර්, ගොසිප් වගේ දේවල් අප්‍රිය කරපු මම මේ බ්ලොග් කලාව හරිම ආදරයෙන් වැළඳගත්තා. ඒ සංස්කෘතියට ආදරය කරන්න පටන්ගත්තා. එහි වටිනාකම තේරුම්ගත්තා. ඉතින් ඒත් එක්කම එදා සල්ලි හොයන්න කියල බ්ලොගක් අටවගත්ත මට අද ඒ වෙනුවට මේ සහෝදර පවුලට එකතුවෙන්න බ්ලොග් එකක් හදාගන්න පුදුම ආසාවක් ඇතිවුනා. වැඩිය සමාජ සම්බන්ධතා පවත්වන්න අකැමති මං, මේ සමාජ ජාලයටනම් බලෙන් හරි එකතුවෙන්න ඕනි කියන හැඟිම මට ඇතිවුනා.

බ්ලොග් ලෝකෙ එක එක අයට එක එක මාතෘකා තිබුනා. ගොඩක් අයගෙ බ්ලොග් දිනපොතක් වගේ. ඒ තරම්ම එයාලගේ ජීවිතයේ සියුම් තැන් පවා ඒවල අකුරු කරල තිබුනා. සමහරු කෙටිකතා, සමහරු කවි, සමහරු නිසැඳස්, මේ වගේ විවිධ මාතෘකා. ඉතින් මං කල්ප්නා කලා මට හරියන තේමාව. ඔව්.. ඒක තමයි, මං සුභාවිත සිංහල ගීයට කොච්චර ආසයිද, ගීත විචාර කියවන්න කොච්චර ආසයිද, ගීත හා බැඳුනු නිධාන කතා මං කොච්චර මහන්සියෙන් හෙව්වද. මං වත් නොදැන හිටපු කොච්චර හොඳ විනෝදාංශයක්, තේමාවක් මං ළඟම තිබිලද. ඉතින් මං මගේ බ්ලොග් එකේ තේමාව ඒ විදියට තෝරගත්තා.

ඉතින් ඇඩ්සෙන්ස් බලාගෙන මං හදාගත්ත බ්ලොග් එකේ දාල තිබුන අනන්මනන් පෝස්ට් සියල්ල මං ඉවත් කලා. ඒක මෝඩ කමක් කියල අදයි මට තේරෙන්නෙ. ඒ පෝස්ට් තියාගෙන හිටියනම් ඒව ඉතාම හොඳ මතක සිහිවටන වෙනවා. කොහොම හරි ඒ ටික අයින් කරල පළමු පර්යේෂන පෝස්ට් එක විදියට මං මෙන්න මේ සටහන මගේ බ්ලොග් එකට එකතුකලා. මේකත් ගීතයක් හා බැඳුනු කතාවක්. මට මේ කතාව ලැබුනෙ ඊමේල් එකකින්. මේ සටහන ලියපු කෙනා කවුරු උනත්, මං ඔහුව නොදන්නවා උනත්, මං ඔහුට සදා ණයගැතියි. ඒ තියපු මුල් ගලෙන් මං අද බොහොම දුර ගමනක් ඇවිත් තියෙනවා.

අන්න ඒ විදියට නිල වශයෙන් මගේ බ්ලොග් ආගමනය පටන්ගන්නවා. ඒ හරියටම 2013.10.26 වෙනිදා. අදට හරියටම අවුරුද්දකට කලින්. අද 2014.10.26 වෙනිදා. ඉතින් ඔන්න ඕකයි මට ඔයාලට කියන්න ඕනි වුනේ. අපි හැමෝම සහෝදරත්වයෙන් එකතුවෙන, අදහස් බෙදාගන්න, ගී රස විඳින, සඳුමල් බ්ලොග් එක බ්ලොග් ලෝකෙට එකතුවෙලා අදට හරියටම අවුරුද්දයි.. ලිපි 80ක් පුරාවට නැරඹුම් වාර 30000ක් සමඟින් දයාබර ඔබේ අදහස් දැක්වීම 3211 එක්ක මෙම සංඛ්‍යා දත්තයන්ට කිසිම දිනෙක මැන හමාර කල නොහැකි දයාබර බැඳීම අන්තයක් සමඟ දින තුන්සිය හැටපහක් ගෙවී ගිහින්..

ජීවිතයේ මට හමුවූ සොඳුරුතම මිනිසුන් සමඟින් ගෙවී ගිය පහුගිය දින තුසිය හැටපහ මගේ ජීවිතයට නව අරුතක් එක් කල, කිසිදාක අමතක නොවෙන කාලපරිච්ඡේදයක් විදියටයි මට හැඟෙන්නේ. මින් පෙර අවස්ථා ගනනාවකදිම සඳහන් කල පරිදිම මගේ යම් හැකියාවක් වූයේ නම් එය හඳුනාගෙන වේගයෙන් දිව යන මේ නිර්මාණ ලෝකයේ මාව මඟහැරෙන්නට, මාව අතරමංවෙන්නට, මාව අතෑරෙන්නට නොදී, මගේ අත ළඟින්ම අල්ලගෙන, මේ සා දුර මාව රැගෙන ආ හිමිවිය යුතු තරමටත් වඩා වටිනාකමක් මට ලබල දීල මෙතෙක් කල් වගේම මින් ඉදිරියටත් මට අපරිමිත ශක්තියක් වෙලා ළඟ ඉන්න මගේ දයාබර සහෘදයනි, ඔබලා හැමෝටම අනේක වාරයක් ස්තූතියි!!!

ආ මඟ කෙටියි...යා යුතු මඟ දුරයි... ගෙවා යන ඒ මඟ කල යුතු දේ බොහෝයි... සබඳ අපි උනුන් පරයා නැගෙන කඳු නොවී ලෝකයට සිහිල් ජල දහරක්ම වෙමු...!




"සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන..

වියරු ගිනි දැල් නොවෙමු
වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වසින..

නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන..."

පදරචනය : දර්ශන මේදිස්
සංගීතය : ගුණදාස කපුගේ
ගායනය : ගුණදාස කපුගේ




(Sabanda Api Kandu Nowemu - Gunadasa Kapuge)







බ්ලොග් අඩවියට වසරක් පිරීමත් සමඟම එහි පසුතලයෙහිද වෙනස්කම් කිහිපයක් සිදු කලෙමි. විශේෂයෙන්ම පෙර තිබූ පසුතලය කියවන්නා හට වෙහෙසකර බව කිහිප දෙනෙකුන්ම පවසන ලදි. ඒ අතර ඒ බව මට මුලින්ම කීවේ කතන්දරයි. ඉන්පසු මෑතකදී ඉන්දික සොහොයුරාද පවසනු ලැබීය. ඒ අතරතුර කිහිප දෙනෙකුම මේ බව පැවසූ නිසාම, මටද ඒකාකාරී වී තිබූ එම පසුතලය ඉවත් කොට අලුත් පසුතලයක් යෙදීමි. මා ලියන දෙයහි වටිනාකම වැඩිවන්නේ එය ඔබ කියවනවානම් පමණි. එසේ කියවීමටනම් ඒ සඳහා ප්‍රියමනාප පසුබිමක් තිබිය යුතුය. එහෙයින්, යම් අඩුපාඩුවක් වේ නම් ඔබේ දයාබර අදහස් මට ඉතාමත් අගනේය.





Friday, October 24, 2014

•ශාන්තිනී


"මහත්වරුනි මා නෙලු මල මට සිඹින්න දෙන්න..."






අද  කෙටිකතාවක් වගේ ගී සංවේදනාවක් නෙවෙයි ඔබ මේ කියවන්න සූදානම් වෙන්නෙ. මගේ ප්‍රියතම විනෝදාංශයක් තමයි ගීත ලියන්න පසුබිම් වෙච්ච කතා හොයන එක. ඒවා කියවන එක. අපි ආසාවෙන් රසවිඳින සමහර ගීත, ඒ රචකයාට ලියන්න හේතු වෙච්ච මුල් හේතු හරිම සුන්දරයි. ආකර්ෂණීයයි. ඒ කතාව දැනගත්තම, ඊළඟ පාර ඒ ගීතය අසනකොට කවදටත් වඩා බැඳීමක් ඒ ගීය එක්ක අපිට ඇතිවෙනවා. අර රචකයාගෙ කතාව මතක් වෙනවා. සිද්ධිය මැවිල පේනවා. ගීත රසවිඳින්නන්ට ඒක හරි සුන්දර අත්දැකීමක්.

ඉතින් අද මේ කියන්න හදන්නෙ මං අහපු ඒ වගේ කතාවක්. මං දන්නවා මේ වගේ දේවල්, ඒ කිව්වේ, මං ඕකට පාවිච්චි කරන වචනෙ ගී නිධාන කතා, අහන්න ආස සහෘදයන් රාශියක් මාත් එක්ක ඉන්නවා. ඉතින් ඒ අය වෙනුවෙනුයි අද මේ ලිපිය. සමහර විට මේ කතාව මීට කලින් අහපු අයත් ඇති. ඒ අය මට මොහොතකට සමාවෙන්න.


මට මතක විදියට ඒ දෙදාස් දහය අවුරුද්දෙ. ඔව්, ඔව්, අපි ඒ ලෙවල් කරපු අවුරුද්දෙ. බදුල්ල ධර්මදූත ඉස්කෝලෙ අපේ යාලුවෝ සෙට් එකක් හිටියා සංගීතෙට බොහොම ලැදි. උන් පොඩි ගෲප් එකකුත් හදාගෙන හිටියා. සිංදුවක් දෙකක් එහෙමත් කලා. අපි හිටියෙ මහ විද්‍යාලේ. ඒත් මහවිද්‍යාලෙ එවුන්ටත් වඩා අපි මුන් සෙට් එකත් එක්ක ෆිට්වෙලා හිටියා. ක්ලාස් එකකට ආවත් ඒක පටන් ගන්නකල් මුන් ටික කලේ සිංදු කියපු එක. තව මොනා හරි කියන්න ගියොත් අනිවාරෙන් මාතෘකාවෙන් පිට පනිනවා. ඒ නිසා ඒ කතා මෙහෙමම නතර කරල කියන්න හදපු දේ කියන්නම්.


ඉතින් මං මේ කියපු යාලුවෝ සෙට් එක හරිම අපූරු වැඩසටහනක් සංවිධානය කලා. ඒ තමා කපුගේ සමරු වැඩසටහනක්. ඔය වෙනකොට විභාගෙ එහෙම ලියල මං ගෙදර ඇවිත් හිටියෙ. ඉතින් ඒ නිසා එයාල මට කතාකරල මේ පණිවිඩේ දුන්නා. ඉතින් නියමිත දවසේ උදෙන්ම මමත් කවිකාරිත් මහියංගනෙන් බදුලු බස් එකකට නැග්ගා. මට මතක විදියට ඒ දෙසැම්බර් හෝ නොවැම්බර් මාසෙ දිනයක්.


අපිත් ඉතින් බදුල්ලෙන් බැහැල අදාල තැනට ගිහින් හොඳින් වේදිකාව පේන තැනක වාඩිවුනා. හැම තැනම කපුගේගෙ සිතුවම් වලින් සරසල තිබුනා. ඔහු ගැයූ ගී වල කොටස් තැන් තැන් වල හරිම අපූරුවට සටහන් රල තිබුනා. මට දැනුනෙ ආරාමයකට ගොඩ උනාවගේ ශාන්ත බවක්. ඉතින් සාමාන්‍ය විදියටම මෙවන් උත්සවයක සමාරම්භය සිදු කරන අයුරින්ම මුල් කොටස් ටික සිද්ධ උනා. මීළඟට තිබුනෙ එතනින් එහාට මෙම උත්සවය, එසේත් නැතිනම් කපුගේ අනුස්මරණ ගීතාවලිය ඉදිරියට මෙහෙයවාගෙන යාමේ කටයුත්ත. ඒ කියන්න මං පුල පුලා බලාසිටි අවස්ථාව.


ඒ මොකද කියල කියනවානම් ඒ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා සහ ප්‍රධාන දේශකයා උනේ රත්න ශ්‍රී විජේසිංහයන්! මට ඉතින් එදාට කෑම ඕනිත් නෑ ඔන්න. එතන සිදුවීම්, ගායනා කල ගීත, කීව දේවල් හැම දෙයක්ම මං ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒ නිසා මං දැන් මේ ලියන්න හදන්නේ මේ අද ඔබ හමුවට ගෙනා ගීතයේ කතාව රත්න ශ්‍රී මහත්මයාම කීව හැටියි. එහෙනම් මෙතනින් එහාට ඒ කතාව මගේ මතකයේ හැටියට එතුමා කියූ ලෙසම ඔබට ගෙනෙන්නම්.


එතුමා කිව්වේ මෙන්න මේ විදියට..


"මේ කියන්න යන සිදුවීම උනේ මං උසස්පෙළ ලියන කාලේ. උසස් පෙළ විභාගයට මුහුණ දීලා ප්‍රධාන විශයන් සියල්ල නිමවෙලා තිබුනේ. අන්තිමට ඉතුරුවෙලා තිබුනෙ ඉංග්‍රීසි විශය විතරයි. ඒත් ඉංග්‍රීසි විශය තිබුනෙ අපේ අන්තිම විශයත් ඉවරවෙලා සතියකට විතර පස්සේ. ඉතින් ඒ නිසා සතියක කාලයක් යනතුරු කරන්න තරම් විශේෂ වැඩක් තිබුනෙත් නෑ. ඉතින් අපිත් එක්ක හිටපු මිතුරන් විවිධ දේවල් සැලසුම් කලා. ඔය අතරෙ හිටපු එක් මිතුරෙක් තමන්ගෙ ඥාතිවරයකුගේ නිවසකට යන්න තීරණය කලා. ඒ නුවර එළියේ. ඉතින් ඔහු ඒ නිවාඩු දවස් කිහිපය ගතකරන්න නුවර එළියට ගියා."


"ඉතින් ඔහුට ගතකරන්න තිබුනෙ බොහොම සුන්දර පරිසරයක සුන්දර කාලයක්. සොබා සෞන්දර්‍යයෙන් අනූන පරිසරයක තමයි ඔහු නතරවෙලා හිටියේ. ඉතින් මෙයා හැමදාමත් උදේට අවධිවෙලා ඒ අවට මංමාවත් වල ඇවිදින්න පුරුදුවෙලා හිටියා. තේවතු මැදින් වැටිල තිබුන අඩි පාරවල් වල ඔහු ඇවිදගෙන අවට සිරි නරඹමින් ගියා. මෙහෙම යන දවසක ඔහු යන පාර ඉස්සරහට මුණ ගැහුනා යුවතියක්. පෙනුමෙන් ඇය දමිළ යුවතියක් බව ඔහුට වැටහෙනවා. ඒ උනත් ඇය බොහොම ලස්සන සුන්දර යුවතියක්. මේ විදියට දෑස් හමු උන පළමු දවසෙම මේ දෙදෙනාගේ දෙනෙත් අතර බැඳීමක් ඇතිවුනා. ඔවුන් ටිකක් වෙලා එකිනෙකා දිහා බලාගෙන හිටියා. ටිකකින් ඔහු ඇයට කතා කලා. හැබැයි සිංහලෙන්. ඒත් ඇයට එක සිංහල වචනයක්වත් නොතේරුණු බව ඇගේ හැසිරීමෙන් ඔහුට අවබෝධ උනා. ඒත්.. කරන්න දෙයක් තිබුනෙ නෑ, ඔහුට දෙමළ භාශාව පුලුවන් කමක් තිබුනෙත් නෑ."


"මේ විදියට දවස් ගානක් ඔහුට ඇයව හැම උදයකම මුණගැහුනා. හැමදාමත් දෙන්නට දෙන්න හිනා උනා. ඇස් වලින් අදහස් හුවමාරු කරගත්තා. ඒත් කවදාවත් එක වචනයක්වත් කතාකරන්න පුලුවන් උනේ නෑ. ඒක හරි කණගාටුදායක දෙයක්. කියාගන්න දාහක් දේවල් ඔවුන්ට තියෙන්න ඇති. ඒත් කතාකරන්න විදියක් ඔවුන්ට තිබුනෙ නෑ. අඩුම තරමෙ ඇගේ නමවත් ඔහු දැනගෙන හිටියෙ නෑ. ඩිංගක් හිතල බලන්න. ඒ හැඟීම කොච්චර සංවේදිද කියලා. මේ හැමෝම මිනිස්සු. එකම වර්ගයක ජීවීන්. මේ හදවත් අතර හැඟීම් ඇතිවෙන්න, ජාතිය, ආගම්, කුලමල, භාශාව වැදගත් වෙන්නෙ නෑ. ඒත් සියුම් මානව හැඟීම් වචන වලට පරිවර්ථනය කරගන්න බැරි මහා බාධකයක් ඔවුන් ඉදිරිපිට තිබුනා."


"සතියකට ආසන්න කාලය ඉතාම ඉක්මනට ගෙවුනා. ඉතින් මගේ යාලුවටත් තමන්ගෙ නිවාඩුව ඉවරකරල ආපහු එන්න කාලය ළං උනා. ඉතින් ඔහු එන්නෙ හෙටයි කියල ගෙවුනු අවසාන රෑ, එදා හැන්දෑවෙ පොඩි සාදයක් ලෑස්ති කරල තිබුනා. ඔහුගේ සමුගැනීම වෙනුවෙන්. ඉතින් තමන්ගෙ ඥාතියා ඒ සාදයට අහල පහල කිහිප දෙනෙකුටත් ආරාධනා කරල තිබුනා. ඉතින් රෑ හතට විතර සාදය පටන් ගත්තා. මගේ මිතුරා පුදුමයට පත් කරමින් මේ සාදයට අර මං කලින් කියපු ඔහුට මඟදි නිතර හමු උන ගෑණු ළමයත් ඇවිත් හිටියා. බොහොම ලස්සනට ඳල, මාල වළලු දාල, ඇය සුරංගනාවියක් වගේ ඇගේ පියාත් එක්ක මේ සාදයට ඇවිත් හිටියා. ඔහු නොදැන උන්නට ඇගේ පියා මගේ මිතුරාගේ ඥාතියාගේ සමීපතම හිතවතෙක්. ඔහු ද්‍රවිඩ උනත්, මේ සිංහල දෙමළ පවුල් දෙක අතර හොඳ මිත්‍රත්වයක් තිබිල තියෙනවා. මේ වෙලාවෙ ඔහුට දැනගන්න ලැබෙනවා මෙච්චරකල් තමන් සමඟ හදවතින් පමණක් කතාකල යුවතියගේ නම. ඇය ශාන්තිනී."


"සාදය අතර තුරත් වරින් වර එකිනෙකාගේ දෑස් හමුවෙමින් වෙන් වෙමින් මේ දෙදෙනා කතාකරගන්න බැරුව දාහක් දේවල් හිත් වල හංගගෙන හිටියා. ඒත් ඔහු දැනගෙන හිටියා මේ බැඳීම තමන්ගෙ හදවතටම සීමා කලයුතු බව. මේ ලෝකයේ සම්ප්‍රදායන් වලට අනුව මේ හැඟීම පිටකරගන්න ශාන්තිනීටවත් තමන්ටවත් බැහැ කියන එක.හැම දේම  ඒ විදියට අවසන් උනානම් සමහර විට අද මේ කතාව මට ඔයාලත් එක්ක කියන්න බරිවෙන්න ඉඩ තිබුනා. මං එහෙම කිව්වේ මේ සාදය අවසාන අවස්ථාවෙ එක් විශේෂ සිදුවීමක් උනා. ඉතින් හැමෝම කාල බීල, සතුටුවෙලා අන්තිමේදී අමුත්තන් වෙනුවෙන් පුංචි කතා කිහිපයක් පැවැතුවුනා. අන්තිමේදී මේ සාදය පවත්වන්න හේතු වෙච්ච මගේ මිතුරාටත් යමක් කියන්න අවස්ථාව උදා උනා. ඉතින් ඔහු යමක් කියන්න උත්සාහ කලා. හැමෝටම ස්තූති කලා. ඒත් මෙහෙම කතා කරන අතර තුර මං කීව යුවතියගේත් මගේ මිතුරාගේත් දෑස් අනන්තවාරයක් එකිනෙක හා ගැටුණා."


"අවසානයේ ඔහු කිව්ව මං හෙට මෙහෙන් යනවා, සමහර විට ආයෙ කවදාවත් අපි හමු වෙන එකක් නෑ කියලා. ඇයට මේ කිසි දෙයක් තේරුණේ නැතිවෙන්න ඇති, ඒත් එහෙම කියල ඔහු වාඩිවෙන්න හදනකොට අර යුවතිය එකපාරටම මහ හයියෙන් අඬන්නට පටන්ගත්තා. හැමෝම පුදුම උනත් මගේ යාලුවාටනම් ඒක පුදුමයක් උනේ නෑ. ඒ වෙනුවට ඔහුත් හැමෝටම හොරා දෑස් වල පිරිච්ච කඳුලු පිහදගත්තා."


"ඉතින් මේ සිද්ධිය ඇසුරුකරගෙන තමයි අපි මීළඟට අහන්න යන ගීතය මගේ අතින් ලියැවුනේ. ගීතය කපුගේ සංගීතවත් කලා, දිවුල්ගනේ ගායනා කලා. ඉතින් සමස්ථයක් විදියට මට මේ අත්දැකීමෙනුත්, ගීයෙනුත් කියන්න ඕනි උනේ, මානව හදවත් තුල ගොඩනැඟෙන සියුම් බැඳීම වලට ආගමක්, ජාතියක්, භාශාවක් අදාල වෙන්නෙ නෑ කියලයි. අපි හැමෝම මිනිස්සු."


"ගීතය අහන්න කලින් මං තව එකම එක දෙයක් කියන්නම්. මෙච්චර දේවල් කතා කරපු එකේ මං මේ රහසත් එළිකරන්න ඕනි. මේ සිද්ධියට මුහුණ දීපු මගේ යාලුවා වෙන කවුරුවත් නෙවෙයි, මමම තමයි..!"


ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ අඬන චන්දිරන්
පහන් පැලට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්
ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යං..

කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන්
උඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
බියේ සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම්
බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්..

සියල් සිරිත් දෑ කුළ ගොත් ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනී විතරක් මට දෙන්න
තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න
මහත්වරුනි මා නෙලු මල මට සිඹින්න දෙන්න..

පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - ගුණදාස කපුගේ
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ




(Shanthini Thema Wete - Karunarathna Divulgane)



(සියලු ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි.)




Wednesday, October 22, 2014

•ඈ මගේ නෙළුම් මල


"හඬින් පණ ලැබූ මගේ නෙළුම් මල..."








"පුතේ.. උදේ උඹට ලියුමක් ආවා. ඕං මං මේසෙ උඩ තියල ඇති."

මා නිවසට ගොඩ වන හඬ ඇසී අම්මා කුස්සියේ සිට කීවාය. එකත් එකටම මේ මං මඟ බලාගෙන උන්නු ලියමන වෙන්නෝනි.

"දිලීගෙන්ද අම්මේ?"

"ඒ දරුව තමයි මයෙ හිතේ. උඹේ නමට තිබුන නිසා මං කඩන්න ගියේ නෑ."

සිතූ පරිදිම ලියමන ඇගෙනි. ඔළිඳ ගෙඩි වැනි ඇගේ වටකුරු අත් අකුරින් ලියූ මගේ නම සහ ලිපිනයෙන්ම මම එය හඳුනාගතිමි.

***********************************************

                                                                      චමරියේ සිට ලියමි..
                                                           1997.08.13,


දයාබර ජයේ,

ඉතිං ඔයාගෙ සැපදුක් කොහොමද? මම කරදරයක් නැතිව ඉන්නවා. මේ පුංචි ඉස්කෝලෙ ඇත්තටම හොඳයි. මේ පැත්තෙ හරිම අව්‍යාජ මිනිස්සු ඉන්නෙ.චමරියේ ඉන්නෙ මමයි, මං වගේම මෙහෙට ආව තව ටීචර්ලා හතරදෙනෙකුයි. දෙන්නෙක් නම් එයාලගේ දුෂ්කර අවුරුදු පහේ අන්තිම අවුරුද්ද ඉන්නෙ. එයාල ඊළඟ අවුරුද්දෙ එයාලගේ ගම් පළාතට ට්‍රාන්සර් හදාගනී. අනිත් දෙන්නනම් මාත් එක්කම වගේ මෙහෙට අලුතින් ආපු අය. හැමෝම හරිම හොඳයි. ඔයා එදා මෙහෙ ආව වෙලේ බය වෙච්ච ලොකුම දේ මගේ ආරක්ෂාවනේ. ඇත්තටම මාත් මුලින් බයේ හිටියෙ. නොදන්න පළාත්නෙ........




===============================================================

අතීතයේ දවසක මා ලියූ මෙම සටහන ඔබට මතකද? මතක අයටනම් හිතෙන්නත් ඇති මේ මොකද ආයෙත් මේ පරණ එකක් මෙතනට ගෙනාවෙ කියලා. ඉතින්, ඇත්තටම මේ කියන්න හදන්නෙත්, ඒ සටහන ආයෙ මෙහෙම මතක් කරපු හේතුව තමයි.

මගේ දයාබර ඔබ බොහෝ දෙනෙක් දැනටමත් දන්නවා, මං දැනට සේවය කරන්නෙ ඇඟලුම් කර්මාන්තශාලාවක කියලා. ඉතින් අපේ කර්මාන්තශාලාවෙත් ඉන්නවා සාහිත්‍යට, නිර්මාණකරනයට, ගීතයට බෙහෙවින්ම ලැදි සහෝදර සහෝදරියන්.

ඉතින් මාධ්‍ය ක්ෂේත්‍රයට බෙහෙවින්ම ලැදි, අප ආයතනයේ සේවය කරන නුවන් අමරසිංහ සොහොයුරාට මගේ බ්ලොග් අඩවියේ වූ මෙම ලිපිය ඇස ගැටී තිබුනා. 

ඉතින් ඔහුට තවත් නිර්මාණශීලී සිතුවිල්ලක් පහල උනා. ඒ තමයි, අපේ ආයතනයේ අභ්‍යන්තර ගුවන් විදුලි නාලිකාව වෙච්ච "රේඩියෝ ශේඩ්" නාලිකාවේ මෙම නිර්මාණය විකාශය කරන්න. 

ඉතින්, රේඩියෝ ශේඩ් හි, වැඩසටහන් නිශ්පාදකවරයෙකු විදියටත් කටයුතු කල නුවන්, අපේ තවත් සහෝදරියක් සමඟ එක්ව මෙම ලිපිය පටිගතකරනු ලැබුවා. එසේ පටිගත කොට ඊට පසුබිම් සංගීතයක් යොදා, අවසානයේ ගීතයද එකතුකොට, ඉතාම අලංකාර වැඩසටහනක් සකස් කලා.

ඉතින් මට හිතුනා, මගේ මේ නිර්මාණය මුලින්ම රසවිඳි, මගේ දයාබර මිතුරු මිතුරියන් වන ඔබ සැමටත් මෙම දෙවන නිර්මාණය රසවිඳීමට සලස්වන්න.

ගොඩාක් අඩුපාඩු ඇති, වෘත්තීය මට්ටමින් නැතුව ඇති, මොකද, ජනමාධ්‍ය පිළිබඳව කිසිදු පාඨමාලාවක්, පුහුණුවක් නොමැතිව, තමන් අසන, දකින දේවල් ගුරු කොට ගනිමිනුයි අපේ දයාබර සහෘදයන් මේ දේවල් සිදුකරන්නෙ.

ඇඟලුම් කර්මාන්තශාලාවක් තුල දහසකුත් එකක් වැඩ රාජකාරී මධ්‍යයේ, ඉසිඹුවක් ලද මොහොතක ඔවුන් කල මෙම නිර්මාණය රසවිඳීමට එසේනම් මම ඔබට දැන් පිළිගන්වමි, නුවන් අමරසිංහ සොයුරාගේ නිපැයුමෙන් හා අදියුරුවමින්, පවිත්‍රා තලකුඹුර සොයුරියගේ හඬින්..



video




ඈ මගේ නෙළුම් මල
රොන් සුවඳ බෙදා දෙන
වන්නි ගම් දොරක පීදෙන
පුංචි පැටව්නට

හේනට එන ගිරවුන්ගෙන්
අකුරු ඉගෙන ගෙන
අහසේ තරු ගණන් කරන
ගල්කැට ඇහිඳින
පුංචි පුතුනි බලාගන්න මගේ නෙළුම් මල

ඉල්මාසේ වැහි එනතුරු
නියගෙට වේලෙන
නෙළුම්මලට මල්යායට සීතල අරගෙන
වැවක් වෙන්න ඉඩ දෙනවද හීනෙන්වත් මට

ගී පද – රත්න ශ්‍රී විජේසිංහ
තනුව - එච්. එම්. ජයවර්ධන
ගායනය – ගුණදාස කපුගේ




(Ae Mage Nelum Mala - Gunadasa Kapuge)


මේ ඕඩියෝ ක්ලිප් එක බ්ලොගර් වල ඕඩියෝ ක්ලිප් එකක් විදියට ඇඩ් කරන්න බැරි නිසා මට මේ ඕඩියෝ එක වීඩියෝ එකකට කන්වර්ට් කරගන්න උනා. ඒකට මට උදව් කලේ මෙන්න මේ සයිට් එක. ඔයාලත් ගිහින් බලන්න. කරදරයක් නැතිව වැඩක් කරගන්න පුලුවන් හොඳ තැනක්. ඒ වගේම කලින් ලිපියෙ වගේම මේ ලිපියටත් ඡායාරූපය හොයාගත්තෙ අන්තර්ජාලයෙන්, ඔයාලට මතකත් ඇති, මේ ගාමණී චිත්‍ර පටයේ රූපරාමුවක්.


Saturday, October 18, 2014

•එක යායට මල් පීදුනු බිම් තීරේ


"ඔබට මතක නැති වුනාට අද වාගේ මතකයි මට..."




කරට උඩින් ඇති මහා බර කන්ද එදානම් පුලුන් රොදක් සේ දැනිච්ච විදිය... ඒත් අද.. ඒ බර මහ මෙරකටත් වඩා වැඩියි. ඒත්.. හිතාගන්නත් බෑ. ඇත්තටම මේ එදා නොදැණුන මහ බර අද දැනෙන්නේ ඇත්තටම කරටද, නැත්නම් හදවතටද..

යන්නෙ එදා ගිය පාරෙමයි. ඒ බඩවැටිමයි..ඒ කඳු හෙල් මයි. ඒත් ඇයි මේ...එදාට වඩා අද බර වැඩියි.

අතීතෙට ගිය හිතත් එක්ක ආයෙමත් බර සැහැල්ලු උනා වගෙයි. වර්මානයේ අඩිය තියමින් අතීතයේ ඇවිද යන මේ ගමන බර සැහැල්ලු කලත්, අතීත මංකඩවල් අසල හිත වර්මානයට යමින් ඇතැම්විට බර දෙගුණ තෙගුණ නොකලාත් නෙවෙයි.

එකල වූයේ සුපුරුදු නමුත් රසබර කාලසටහනකි. පාන් කළුවරේම ආරම්භ කරන ගමන හෝරා ගනනාවක් තිස්සේ ඇවිද යමින් ගමනාන්තයට ළඟා උනා. ඒ  හැම සුමානයකටම වාරයක්. එතනින් පස්සෙ ලැබෙන්නෙ මිහිරිතම හෝරා කිහිපයක්. පුංචි නඩයෙ හිටපු තුන්දෙනාගෙන් එක් අයෙක් සිදාදියට යන්න පිටත් උනාම අනෙක් දෙදෙනාට ලැබෙන්නෙ සොඳුරුතම මොහොතක්. නිල් තණ නිල්ලේ හිතේ හැටියට වැතිරිලා ඔව්හු, ඔවුනට ලංව රහස් කොඳුරමින් බොහෝ වේලාවල් ගතකලා. සිලි සිලියෙන් ගලා ගිය සිහිල් දොල පාරෙන් පිපාසය නිවාගත්තා.

එකිනෙකාගේ සිරුරු වල උණුසුම ලබමින් දෙදෙනා ඉරගල වැටීමට ආසන්න හෝරාව තෙක් කෙලිදෙලින් හිඳ, සිදාදියට ගිය අනෙකා පැමිණි පසු යලි නවාතැනට ගමන් අරඹයි.  මේ වූ කලීද, මනරම් චාරිකාවකි. සිදාදියෙන් ගෙනා බඩු පොදි කරේ තබාගෙන හැල්මේ යන මේ ගමනේ වෙහෙසක් බිඳුවකුදු එදා නොදැනුනේ තමන් අසලින්ම හරි හරියට අඩිය තියන දයාබරිය නිසාවෙන්මයි. රාස්සිගේ අව්ව වැටිල පාට වෙච්ච හැන්දෑවෙ හමාගෙන යන සිහිල් සුලං රොදට දඟ කරන නාඹරියගේ  දඹ රන් පාට වැටිච්ච කෙහෙරැල් සිතට එක්කල මිහිරියාව..

අඩ අඳුරේ මඟ කියමින් පසු පසින් එන පළමුවැන්නා වයන බට නලාවෙන් නික්මෙන සුමිහිරි ගායනාවන් සිත් මිහිරෙන් පිරවූ හැටි.. මඟ දිගට හමුවෙන අනන්ත දොල පාරවල්, දියපාර වල් වලින් දෙපා දොවමින් දෙදෙනාම, එකටම එකටම ඇවිද ගිය හැටි..

ඒත් මේ මතක හැමදේම අද එකෙකුට විතරක් උරුම වෙලා. යායට මල් පිපුනු තැනිවල, උරෙන් උර ගැටෙමින් ඇවිද ගිය හැටි, කනෙන් කනට රහස් කොඳුරමින් දෙදෙනා විතරක්ම ගිය හැටි, රාස්සිගේ අවුව වැටිල තඹ පාට වෙච්ච ලස්සන කෙහෙරැල් හුලං එක්ක දඟ කරන මිහිර වින්ද හැටි, කඳු හෙල් මිටියාවත් සිසාර, ඇල දොල මතින් පනිමින්, දෙපා දොවමින්, ගොපලු කොලුගේ බටනලා ගීත වල තාලයට එකට ඇවිදගෙන ගිය හැටි,

උඹට අමතක උනාට රත්තියේ, මේ නාකි හඳයට කවදාකවත්ම අමතක නෑ, මතකයි අද වාගෙම. ඒත් නාඹර වයිරට දපනෙ වැටිල උඹල දෙන්න ඒ මංකඩවල් වලම මට ඉස්සරහින් ඇවිදගෙන යනකොට, අද මාව අමතක කරල ඉන්න උඹව දකින මට, උරුම ඒ අතීත මතකයන්ගේ මිහිර විතරමයි රත්තියේ..


එක යාය මල් පීදුනු බිම් තීරේ
පාර දිගේ කනින් කනට 
කොදුර කොදුර ඔබයි මමයි 
විතරයි හිටියේ

රාස්සිගේ අවුව වැටී 
දඹ රන් වූ ඔබෙ කෙහෙරැලි
සුළං සමග පොර බැදුවා
ඔබට මතක නැති වුනාට 
අද වාගේ මතකයි මට

ගොපලු කොලුගෙ බටනලාව
සංගීතය මවන කළට
දොළේ දියෙන් පා දෙවුවා
ඔබට මතක නැති වුනාට 
අද වාගේ මතකයි මට

ගීත රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : එච්. එම්. ජයවර්ධන
ගායනය : සනත් නන්දසිරි





(Eka Yayata Mal Peedunu - Sanath Nandasiri)



Tuesday, October 14, 2014

•අනුපිටපත් ඉවත් කරමු


"අපේ පරිගනකයේ මතකය ගිලගන්නා  Duplicate Files..."






ලියන්න යන්නෙ නම් පොඩි පහේ තාක්ශ්ණික කාරණයක් ගැන. ගී සංවේදනාවක් කියවන්න හිතාගෙන ඇවිත් මේ කිව්ව කතාව අහල කේන්ති එහෙම ගියානම් තරහ අවසර! ඒත් අමතකවෙලා යන්න කලින් මේකත් ලියල දැම්මනම් කවුරු හරි වැඩක් ගනී කියල හිතුවා. ඒ නිසා ඔන්න ඔහේ ඕනි එකක් කියලා ලියල දැම්මා.

මේකත් මගේම අත්දැකීමක ප්‍රතිපලයක් තමයි. දැන් දවස් දෙකතුනකට කලින් මට පොඩි අලකලංචියක් උනා. ඒ තමයි මගේ පරිගනකයේ ගබඩා ධාරිතාවය ඉවරෙටම ඉවර උනා.

හදිසියකට ගිගාබයිටයක් වත් නැතිවෙන තරමට ඉඩකඩ සීමා සහිත උනා. බැලුව මම ඩිලීට් කරල අයින් කරල දාල ඉඩගන්න පුලුවන් මොනාහරි තියෙනවද කියලා. එහෙම තිබුන අනවශ්‍ය ෆයිල්ස් කිහිපයක් මකල දැම්මත් සුලු ඉඩ ප්‍රමාණයක්වත් වැඩිපුර හොයාගන්න බැරි වුනා. ඉතින් කරගන්න දෙයක් නැතිව මං ටිකක් කල්පනා කලා. ඩිලීට් කරල අයින් කරන්න තරම් කිසිම දෙයක් තිබුනෙ නෑ. ඔක්කොම තිබුනෙ අත්‍යාවශ්‍යම දේවල්. ඉතින් මං මේකට විසඳුමක් කල්පනා කලා.

හදිසියේම මට මතක් උනා සමහර විට අපි අතින් අතපසුවීම් වලින් එකතු වෙච්ච Duplicate Files සෑහෙන ප්‍රමාණයක් හාඩ් ඩිස්ක් එකේ ගබඩාවෙලා ඇති. ඒ නිසා ඒ ටික අයින්කරගත්තොත් මට සැලකිය යුතු ඉඩක් හොයාගන්න පුලුවන් වෙයි කියල මට හිතුනා. ඒත් මේක කොහොමද කරන්නෙ, පරිගනකයේ අනේක විද තැන්වල සේව් වෙලා තියෙන Duplicate Files මං කොච්චරක් කියල හොයන්නද, කොහොම හොයන්නද. ඉතින් මේ ගැන හිතනකොට මට නිකමට වගේ හිතුනා, Duplicate Files හොයල දෙන මෘදුකාංග සමහර විට අන්තර්ජාලෙ ඇති කියලා.

ඉතින් මම Duplicate File Finder කියල ගූගල් සෙවුමක් කලා. ඔන්න ඉතින් මේ ජාතියේ මෘදුකාංග රාශියක සබැඳි මට දකින්නට ලැබුනා. ඉතින් ඒ අතරින් මගේ හිත ගිය එකක් මං තෝරගත්තා. මෙගාබයිට් එකක් තරම්වත් නොවන කුඩා ගොනුවක් වෙච්ච ඒ මෘදුකාංගය Download කරගෙන මං ඒක පරිගනකයට Install කලා. ඊට පස්සෙ මේ මෘදුකාංගය ධවනය කරල බැලුව. ෂහ්! ඒක කදිමෙට වැඩකරනවා. ඒ වගේමයි භාවිතයත් හරිම පහසුයි සරලයි. කොහොමින් හරි මං මගේ හාඩ් ඩිස්කයේ විවිධ පාටිෂන් සඳහා මෙම මෘදුකාංගය මඟින් ඩුප්ලිකේට් සර්ච් කලා. ප්‍රතිපල ගොඩක්ම සාර්ථක උනා. ඔයාල දන්නවද, මගේ පරිගනකයේ ඩුප්ලිකේට් ෆයිල්ස් දහස් ගනනක් හම්බුනා. ඉතින් ඒ මෘදුකාංගය භාවිතයෙන්ම මං ඒව සියල්ලම මකල දැම්මා.

ඉතින් මං නොහිතනා තරම් ඉඩක් මට ආපසු අත්කරගන්න මට පුලුවන් උනා. කොටින්ම කිව්වොත් ගිගාබයිට් 4කටත් වඩා Duplicate Files මට මේ මෘදුකාංගය හොයල දුන්නා. ඉතින් මට නැවතත් ඉතාම සුලු ඉඩක් ආපසු අත්පත්කරගන්න හැකිවුනා.

ඉතින් ඔන්න ඕකයි කතාව. මට මේක මෙහෙම ලියන්න හිතුනෙ, මට විස්වාසයි ඔයාලගේත් කම්පියුටර් වල ඔබ නොහිතන තරම් ඉඩකඩක් මෙවැනි ද Duplicate Files සඳහා භාවිතා වෙලා ඇති. ඉතින් ඒ ටික නැවත හොයාගෙන එකවරම කරදරයකින් තොරව මකල දාල නිකරුණේ අපතේ ගොස් තිබූ ඉඩකඩ ඔබට ඉතිරි කරගත හැකියි.

ඉතින් මං ඔයාලටත් මේ මෘදුකාංගය මං ලබාගත්ත සබැඳිය ලබා දෙන්නම්. තවමත් මෙවැනි පරීක්ෂණයකට ඔබේ පරිගනකය ලක් කොට නොමැතිනම් මේ හරහා එම අත්දැකීමවිඳ බලන්න. ඔබට මෙය බෙහෙවින්ම ප්‍රයෝජනවත් වනු ඇත.



මෘදුකාංගය ස්ථාපනය කොට විවෘත කරගන්න.





මෙලෙස Open වූ පසු මම රතු පැහැයෙන් කොටුකර දක්වා ඇති අයුරින් එම Check Box Select කරගන්න. මීළඟට ඊට තරමක් ඉහලින් මම කොල පැහැ කොටුවෙන් දක්වා ඇති ස්ථානයට ඔබගේ පරිගනකයේ ඩුප්ලිකේට් ෆයිල්ස් සර්ච් කල යුතු පාත් එක ලබා දෙන්න. මීළඟට දකුණු පස ඉහල ඇති START SEARCH බට්න් එක ක්ලික් කිරීමෙන් සෙවීම ආරම්භ කල හැකිය. අවසානයේ සියලු Duplicate Files පෙන්වා දෙනු ලබන ආතර එම මොහොතේම කැමතිනම් ඒවා Delete කල හැකිය.

එසේනම් මෙය අත්හදා බැලීමට ඔබටත් ඇරයුම් කරන ගමන්  අදට මෙතකින් මං නවතිනවා. ගී සංවේදනාවක් කියවන්න බලාපොරොත්තුවෙන් ඇවිත් කිසියම් අයෙකුට යම් අපහසුවක් සිදු වූවානම්, සියදහස් වරක් සමාවෙන්න. මා අත් විඳි පහසුව ඔබත් සමඟත් බෙදාගන්නයි උවමනා උනේ. 

එසේනම් ඉතාම ඉක්මනින් ගී සංවේදනාවක් සමඟින් යළිත් අපි හමුවෙමු.



(දයාබර සිංදු ඇනෝ... වද දෙනව කියල ඔබට මෙහෙමත් වද දෙන එක සාධාරණ නෑ තමයි. ඒත්, හැකිනම්, මේකට ගැලපෙන සිංදුවක්........)





Sunday, October 12, 2014

•එකතුවට ස්තූතියි..


"රන් අස්වනු නෙළුවෝ වෙමු..."






අද මේ ලියන්න යන්නෙ වෙනදට වඩා විශේෂ සටහනක්. ඒ නිසා ගී සංවේදනාවක්නම් ඔබ වෙත ලබා දීමට නොහැකියි අද. සාමාන්‍යයෙන් මට සෙනසුරාද දවසට පරිගනකය සමඟ එකතුවීම බෙහෙවින්ම අපහසුයි. රැකියාවට නොයන සෙනසුරාදා දින මට ඒ තරමටම කාර්ය බහුලයි. ඉති මේ සතියෙ සෙනසුරාදා, ඒ කියන්නෙ ඊයේ, මේ වැඩ රාජකාරි අස්සෙ විවේකයක් ලැබුනු පුංචි මොහොතක මං නිකමට වගේ පරිගනකය අන්තර්ජාලයට සම්බන්ධ කරල, මගේ ජී මේල් ගිණුමට ලොග් වෙලා ඊ මේල පරීක්ෂා කලා.

ඉතින් නෙතට නුපුරුදු නමකින් මට ඊ ලිපියක් ලැබිල තිබුනා. ඒ ලිපිය ලැබිල තිබුනෙ එකතුව.org කියන අපිට නිතර අත හිත දෙන බ්ලොග් සින්ඩියෙන්. ඒත් එක්කම එකතුව කිව්ව ගමන් මට තවත් විශේෂ දෙයක් මතක් උනා. ඒ තමා එකතුවෙන් පවත්වපු එකතුව බ්ලොග් සම්මාන උළෙල. ඉතින් හිතේ කුතුහලයෙන්ම මං ඉක්මනට පණිවුඩය කියෙව්වා. එහි තිබුනෙ මෙහෙම දයක්.

"ඔබගේ බ්ලොග් අඩවිය එකතුව බ්ලොග් සම්මාන සැනකෙලියෙහි හොදම බ්ලොග් යටතේ සම්මාන හිමි කරගෙන ඇත. මෙතනින් ඔබට ජයග්‍රහනට පිලිබද වැඩි විසතර ලබා ගැනීමට හැක. අප වෙත ඔබගේ නිවැරදි ලිපිනයන් ඊමේල් පනිවිඩයක් මගින් දැනුම් දෙන්න. ඔබට හිමි ත්‍යාග එමගින් ඔබට ලැබීමට සැලසීමට කටයුතු කරනු ලැබේ. සුභ පැතුම්! "

ඔන්න ඔහොමයි කියල තිබුනෙ. ඉතින් හිතාගන්න පුලුවන්නෙ හිතට කොච්චරනම් සතුටක් දැනෙන්න ඇතිද කියලා. ඇත්තෙන්ම පාසැල් සමයේ මොකක් හරි තරඟයකින් දිනල කියල දැනගත්තම දැනුන සතුට තරම්ම සතුටක් දැනුනා මේ වෙලාවෙ. ඉතින් මේ ජයග්‍රහනය ගැන නිහතමානීව සතුටු වෙන ගමන් ඒ සතුට ඔයලා හැමෝම එක්කෑඅ සතුට බෙදාගන්නයි මේ සටහන මෙලෙස තබන්නට හිතුවේ. 

මීට මාස කිහිපයකට කලින් එකතුව බ්ලොග් සින්ඩිය සහ රේඩියෝ කළුතර එකතුවෙලා මෙලෙස බ්ලොග් සම්මාන සැනකෙලියක් සංවිධානය කලා ඔබට මතක ඇති. අපි සමහර දෙනා මෙම තරඟය සඳහා අපේ බ්ලොග් අඩවිද යොමු කල බවත් ඔබට මතක ඇති. ඉතින් විවිධ බ්ලොග් තේමාවන් යටතේ සංවිධානය කර තිබූ මෙම තරඟය සඳහා මමත් මගේ මෙම බ්ලොග් අඩවිය සාහිත්‍ය අංශය සඳහා ඉදිරිපත් කලෙමි. ඒ දුර සිට අසීරු ඉලක්කයකට විදින හීයක් ලෙසිනි. ජයග්‍රහනයක් පිළිබඳ බලාපොරොත්තුවක් සිතෙහි නොතිබූ නමුත්, තරඟය සඳහා ඉදිරිපත් වුනෙමි.

කෙසේ හෝ අවසානයේ කිසිසේත්ම බලාපොරොත්තු නොවුන අයුරින්, සාහිත්‍ය අංශය සඳහා වූ තරඟයෙන්, ඔබ සැවොම මා සමඟ දයාබරත්වයෙන් අත්වැල් පටලාගෙන රසවිඳින ඔබේත් මගේත් මෙම බ්ලොග් අඩවිය, ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත. එය මා ඔබත් සමඟ පවසන්නේ අපරිමිත සතුටකිනි. අහිංසක ආඩම්බරයකිනි.

බ්ලොග් ලොව ඔබත් සමඟ එක්ව හරි හැටි වසරක්වත් ගතවීමට මත්තෙන් මේ ලැබූ ජයග්‍රහනය, පැසසුම, තිළිණය, ඇත්තෙන්ම මට මහමෙරකි. කිවයුතු සුවිශේෂීම දෙයක් වේ. එනම් මෙම ජයග්‍රණය ඇත්තෙන්ම මට හිමිකර දුන්නේ දයාබර ඔබමයි. මේ ඔබේ ශක්තියයි. ඔබ මට ලබා දුන් අපරිමිත ශක්තියයි.මා ලියූ අකුරු වලත්, ඔබ මා සමඟ එක්ව ගෙවූ වටිනාම කාලයේත් මිහිරිතම අස්වැන්න ලැබී ඇත.  මා මේ පිළිබඳ මෙතරම්ම අගේ කොට කියවනුයේ මගේ බ්ලොග් අඩවිය බ්ලොග් අවකාශය තුල ලබාගත් ඉහළම ජයග්‍රහණය මෙය වන හෙයිනි.

මෙවන් අගය කිරීමක් සහ මෙවන් චිත්තප්‍රීතියක් මින් පෙර මගේ බ්ලොග් අඩවිය වෙනුවෙන් මා ලැබූයේ නමේ ඒ එකම එක වතාවකි. ඒ මීට මාස කිහිපයකට පෙරදී, අප අතර සිටින ප්‍රවීණතම සහ ජ්‍යේෂ්ඨතම බ්ලොග් සහෘදයකු වන අපේ මාතලන් අයියණ්ඩිය විසින් මගේ බ්ලොග් අඩවිය ඔහුගේ සින්ඩිය තුලින් හඳුන්වාදුන් මොහොතෙහිය. එදා ලද සතුට, මා අදද එලෙසින්ම විඳගත්තෙමි.

මේ අවස්ථාවේදී කිව යුතු සුවිශේෂිතම කාරණයක් වේ. එනම් ඉහතින්ද පැවසූ පරිදි මෙම ජයග්‍රහණය මා ලැබූයේ ඔබගේම සහයෝගය නිසාවෙනි. පළමුවෙන්ම ධම්මික බංඩාරයන්ගේ ගීත විචාරයන් පමණක් ගෙන එමින් සිටි කලෙක මගේම වූ නිර්මාණයන් සඳහා මා යොමු කල මගේ දයාබර බ්ලොග් සහෘදයන්  හට මගේ දයාබර ප්‍රණාමය පුද කරමි. එහිදී කුරුටු ගෑ ගීපවුර, ප්‍රියා, විදානේ, අරූ අයියා, දේශක, මහේෂ්, විශේෂයෙන් මතක් කරමි. මීළඟට කවදත් මගේ අඩවියට තාක්ශණික සහයෝගය නොමඳව, නොපැකිලව ලබා දුන් අටම් අයියාටත්, මගේ බ්ලොග් අඩවිය බ්ලොග් ලෝකය තුලට ගෙන ගිය මාතලන් අයියාටත් සතූතිවන්ත වෙමි.

එපමණක් නොව, මගේ බ්ලොග් සටහන් සමඟ නිතර රැඳෙමින්, ඒවායේ ගුණ දොස් විචාරමින්, මා දිරිගන්නවමින් නිබඳ ශක්තියක් වන දයාබර පත්තර මල්ලී, මගේ ගී සංවේදනා ගීයෙන් සරසන අපේ සිංදු ඇනෝ, සංජීව මෙන්ඩිස්, තුශානි,කෙන්ජි, සංචාරක, සහෝදර, සොමියා ආදී සහෘදයන් සියල්ලන්ටම මගේ ආදර ස්තූතිය මෙසේ පලකරමි. එමෙන්ම මේ තරඟය සඳහා මා උනන්දු කොට, ඒ සඳහා යොමු වීමට මා පෙලඹවූ, මගේ නිර්මාණ දිවියේ නොමැකෙන සෙවැනැල්ල වන් දයාබර කවිකාරිටත් තුති පුදමි.

එමෙන්ම මෙවැනි බ්ලොග් සම්මාන උළෙලක් සංවිධානාය කොට, එහි වියදම් දරා ගනිමින්, සිංහල බ්ලොග් කරුවන් මෙලෙස දිරි ගන්වා සිංහල බ්ලොග් සාහිත්‍ය වෙනුවෙන් අමිල මෙහෙයක් ඉටුකරන එකතුව සින්ඩියේ සියලු සහෘදයන්ටහ් රේඩියෝ කළුතර හි, සියලු දෙන්නටමත් මගේ විශේෂ ආදර ස්තූතිය මෙලෙස පුදකරමි.

මගේ අඩවියට පැමිණ නිබඳ මා දිරි ගන්නවන, නම් කී නොකී සියල්ලන්ටම ස්තූතියි. අනේ එක නමක් හරි අමතක උනානම් සියවරක් සමාවෙන්න. ඔබ හැමදෙනාම තමයි මගේ ශක්තිය. ස්තූතියි සියල්ලන්ටම නැවතත්.



"පියාඹන්න අවසරයි පියාපතද සැහැල්ලුයි,

ඉතින් නිල් අහස මගෙයි
මගේ පුංචි කුරුල්ලෝ නිල් අහස විසාලයි
නුඹ ගැන තවම මට බයයි

විලිකුන් මියුරු පලින සැරසුණු වනන්තරය

එන්නැයි ලඟට අතවනයි
සසලව නොයන් පුතුනි පලවැල පිරුණු අරණ
මේ මුළු ලොවෙම උරුමයයි

අත්ත‍ටු සලන අතර උපදින සීත සුළඟ

මුළු ලොව නිවා සනසවයි
ඒ සිහිලැල් සුළඟම පුතුනේ ලොව රිදවන
සැඩ සුළඟකට මුලපුරයි"

-කපුගේ සමඟින් මිත්‍ර කපුගේ-



Thursday, October 9, 2014

•අජානේය ස්කූටර


"කාට අහිමි උනත් සාදු මල් පිපියන් සැමදා..."





සචින්ත ඉස්කෝලෙ යන කාලෙ ඉඳල මගේ යාලුවෙක්. ඒත් ඔහුත් මාත් එතරෙ එතරම්ම සමීප බවක් තිබුනෙ නෑ. ඒ කියන්නෙ ගජයෙක් නෙවෙයි. අපි දෙන්න කවදාවත් එකම පංතියකට අහුවෙලත් නෑ. කොහොම උනත් පුංචි කාලෙ ඉඳල අද වෙනතුරු ඔහුත් මමත් එකම විදියටම මිතුරන්. මුණ ගැහුනම කතාකරනවා, හිනාවෙනවා එච්චරයි ඉතින්.  ඒත් අද මං ඔහු ගැන ලියනවා. ඒ ඔහු වෙනුවෙන් විතරක්ම නෙවෙයි. අපි හැමෝම වෙනුවෙන්. මේ තත්වයට පත්වුන හැමෝම වෙනුවෙන්. මේ තත්වයට මිනිසුන් පත් කරන හැමෝම වෙනුවෙන්.

කතාව මෙහෙම පටන්ගන්නම්. ඔහුගේත් මගේත් පාසල් මිතුදම තිබුනෙ සාමාන්‍ය පෙළ දක්වා පමණයි. මොකද, උසස් පෙළ කරන්න මට වෙනත් පාසලකට යන්න සිද්ධ උනා. ඉතින් අතේ දුරින් තිබුන මිතුදම අවුරුදු තුනකට විතර නැත්තටම නැති වුනා. ඊළඟට ආයෙත් යාළුකම අලුත් උනේ පාසලෙන් එළියෙදි. එතකොට හැමෝම උසස් පෙළ කරල, මහ මිනිස්සුවෙලා හිටියෙ. සාමලා, අමරලා තව දුරටත් ඉතිරිවෙලා හිටියෙ නෑ. ඔක්කොම සිඟිති ලොවෙන් මිදිල සැබෑ ලෝකෙට පයගහලා. තවදුරටත් ගෙවල් වලින් කකා බිබී ඉන්න පුලුවන් කමක් කාටවත් තිබුනෙ නෑ. ඉතින් හැමෝම ළමා කම් අතෑරල මිනිස්සු විදියට ජීවිත රේස් එක දුවන්න ලක ලෑස්තිවෙලා හිටියා.

මෙන්න මේ වගේ කාලෙක ආයෙත් සචින්ත මට හම්බුනා. ඒ වෙනකොට උසස් පෙළින් අධ්‍යාපනය හමාර කරල හිටියෙ ඔහු. පුද්ගලික ආයතනයක සාමාන්‍ය රැකියාවකුත් ලබාගෙන තිබුනා. ඒක නෙවෙයි වැදගත්ම දේ. උසස්පෙළ කරන කාලෙම ඔහු පෙම්වතියකුත් හොයාගෙන තිබුනා. ඒක තමයි මේ කතාවෙ වැදගත්ම කොටස. ඇය බොහොම ලස්සන කෙල්ලෙක්. බජාර් එකේ බාසාවෙන්ම කියනවානම්, පට්ට කෑල්ලක්. කට්ටිය කතාවුනේ එහෙම. අපේ කතා නායකයත් ඉතින් මොණර වගේ හිටියෙ. රස්සාවක් තිබුනා. කසාද බඳින්න හොඳ කෙල්ලෙක් හිටියා. ගෙවල් දොරවල් තිබුනා. දෙමාපිය ආශිර්වාදෙ තිබුනා. ඉතින් කොල්ලෙක් විදියට ඔහු මොණරෙක් වගේ හිටිය කියල වරදකුත් තිබුනෙ නෑ. ඔහු එහෙම ඉන්න ඕනි.

ඉතින් කාලය ඔහොම ගත වුනා. සචින්ත මට ඉඳල හිටල හම්බුනා. මුණ ගැහුනම විස්තර කතා කලා. මනුස්සයා නිතරම හරි සතුටින් හිටියා. අවුරුදු හතරක විතර ප්‍රේම පුරාණයක් තිබුන ඔහු ඒ ගැන හරි ආඩම්බර උනා. කොයි කොල්ලත් වගේ තමන්ගෙ කෙල්ල ගැන හරි උජාරුවෙන් කතාකලා. ඉතින් කෙල්ලෙක් හොයාගන්න බැරුව තාමත් වාතවෙන අපේ පරම්පරාවෙ අනිත් කොල්ලො අතර සචින්ත හරි වාසනාවන්තයෙක් විදියට ඉස්මතු උනා. දෙන්න පොතේ ලියල නීතියෙන් කසාද බැඳල නොතිබුන ටික විතරයි. දෙන්න එකටමයි හිටියෙ. බොහෝ දවස් වල ඇය සචින්තලාගෙ ගෙදරටත් ආවා. සචින්තගේ දෙමවුපියන් පවා ඇයට තමන්ගෙම දරුවෙකුට වඩා ආදර කලා.

දැන් තමයි කතාවෙ වැදගත්ම ඉසව්වුට ළඟා වෙන්නෙ. සචින්ත රැකියාවක් කලාට ඔහුගේ වෙන්න හිටපු මනාලිය රැකියාවක් කලේ නෑ. තාරුණ්‍යට අපේ පළාතෙ තියෙන පහසුම රැකියාව තමයි ඇඟලුම් කම්හල. එකක් නෙවෙයි දෙකක්ම තියෙන නිසා ප්‍රදේශයේ හාරදහසක් පමණ තරුණ පිරිසට ඒක ලොකු අත්වැලක්. ඉතින් මේ පෙම්වතියත් අපේ පෙම්වතාගෙන් අවසර ඉල්ලුවා "ගාමන්ට් යන්න". මුලින්ම ඔහු මේ යෝජනාවට කොහොමටවත්ම එකඟවෙලා නෑ. ඔහු එකඟ නොවුන එක සාධාරණ බවයි මම උනත් හිතන්නෙ. මොකද තිබෙන එකම රස්සාව ඒක උනත් කෙල්ලෙක්ට නොගැලපෙනම රස්සාවත් ඒකම තමයි. 

සමාජ දැනුම අඩු, බුද්ඩිමත් බවින් අඩු කෙනෙක් මේ පරිසරය තුල ලෙහෙසියෙන්ම අතරමං වෙනවා. නොමඟට යොමු වෙනවා. අනිත් පැත්තෙන් කෙතරම් බුද්ධිමත් යහපත් කෙල්ලෙක් උනත් මේ රෑනට වැටුණු ගමන් වෙන්නෙ, අර කපුටු රෑනට මැදිවෙච්ච සුදු පරවියාට වෙන දේමයි. මොකද අපේ කාලකණ්නි සමාජය බලන් ඉන්නෙ මේ සියුමැලියන් ගිලගන්නමයි. ඒත් එක්කම හැමෝම මේ අය දිහා බලන්නෙත් එකම පාට කණ්නාඩියකින්. ඉතින් හොඳම දේ තමයි බැරිම මොහොතක හැර රැකියාවකට ඇඟලුම් කම්හල තෝරා නොගැනීමයි.  ඉතින් ඒ නිසාම, කිසිම ආර්ථික ප්‍රශ්නයක් නොතිබුන සචින්තගේ පෙම්වතිය ගෙදර නිකන් ඉන්න බැරි කම්මැලි කමට මේ රැකියාවට යාම නුසුදුසු බවයි අපි හැමෝගෙම මතය උනේ.  නමුත් ඇගේ ආයාචනයන් හමුවේ අසරණ උන සචින්ත අවසානයේදී ඇගේ කැමැත්තට අකැමැත්තෙන් කැමති උනා. එලෙසින් ඇයත් ඇඟලුම් සේවිකාවක් උනා.

කාලය එලෙස ගත වුනා. මට සචින්ත මුණ ගැහුනෙත් නෑ කාලෙකින්. ඔය අතරෙ මං වැඩකරන ෆැක්ට්‍රියෙත් පොඩි ඕපාදූපයක් ගියා. හැමෝම කතා උනේ මෙහෙම.

"අඩේ මාර කේස් එක. ශිරන්තයා කෑල්ලක් ගෙනල්ලනේ"

ඔන්න ඕකයි ගොසිප් එක. ශිරන්ත කිව්වෙ අපේ ෆැක්ට්‍රියේම තත්ව පාලන අංශයේ වැඩකරන කොල්ලෙක්. ඉතින් මේ මනුස්සයා කෙල්ලෙක් ගෙනාව කිව්වම ඒක හැමෝටම පුදුමයක් උනා.

"මට හිතාගන්න බෑ බං ඕක බැන්ද කිව්වම. ඕකා මේකෙ කෑලි කීයක්නම් ඇද්දද. ඌ එකක් වත් සිරා කරේ නෑනෙ බං. උගේ වැඩේ කරගත්තා අයින් උනා. කෙල්ලොත් ඒකට විතරනේ බං ඌ එක්ක ගියේ. මං නම් හිතුවෙ ඕකා ඔය විදියට තැනින් තැන ඇන ඇන තව කාලයක් ඉඳී කියලා."

ඔන්න ඔහොමයි කට්ටිය ශිරන්ත ගැන කතා වුනේ. ෆැක්ට්‍රියේ කෙල්ලොන්ගෙන් බාගයක්ම වගේ ඇදල තියෙන ශිරන්ත කෙල්ලෙක් බඳින්නම ගෙනාව කිව්වම හැමෝම කතා උනේ ඔයවගේ දේවල්. ඒ උනත් අන්තිමේදී ඔපාදූපය සත්‍යක් බවට පත්වෙලා තිබුනා. ඔව්, ශිරන්ත කෙල්ලෙක් ගෙනත්. බැලින්නම් ෆැක්ට්‍රියේම කෙල්ලෙක් තමයි ගෙනත් තියෙන්නෙ. දෙන්න ගෙවල් වලට හොරෙන් ඇවිත් තියෙන්නෙ. කොහොමින් හරි ටික දවසකින් කසාදත් බැඳලා. හැම සිද්ධියක්ම වගේ මේ සිද්ධියත් දවස් දෙකෙන් හැමෝටම අමතක උනා. මොකද ඊට වඩා රසවත් ඕපාදූප අලුතින් දිනපතා එකතු උනා.

සති දෙකකට විතර පස්සෙ ශිරන්ත ආයෙත් වැඩට ආවා. බැන්ද බැන්ද කිව්වට අපි කවුරුත් ශිරන්තගේ කෙල්ල දැකල තිබුනෙත් නෑ. දවසක් ශිරන්ත මාව හම්බෙන්න ආවා.

"මචං, මං බැඳල ස්ටූඩියෝ එකෙන් වෙඩින් ෆොටෝ දෙකතුනක් ගත්තා. ඒ ටික ගන්න මට ආයෙ යන්න වෙන්නෙ ලබන සතියෙ. මට පොඩි උදව්වක් කරපන්කො."

"කියපං බං මොකද්ද වෙන්න ඕනි."

"මට ෆොටෝ ටික බලන්න ආසයි. ලබ සතිය වෙනකල් ඉන්න බෑ. ස්ටුඩියේ එකා මගේ යාලුවෙක්. මං උඹේ මේල් එඩ්‍රස් එක ඌට දෙන්නද, ඒකට ඒ ටික දාන්න කියලා. උඹට පුලුවන් නේද මට ඒ ටික අරං පෙන් එකක දාල දෙන්න."

"අයියෝ ඕක මොකද්ද බං. ඌට දාන්න කියපන්කො. මං ඒ ටික උඹට දාල දෙන්නම්"

ඉතින් මෙහෙම කියල මං ඌට මගේ මේල් එඩ්‍රස් එක දුන්නා. විනාඩි දහයක් විතර යනකොට මට මේල් එකක් ආවා. මං දැක්කා ඒ ශිරන්තගේ වෙඩින් ෆොටෝ ටික කියලා. ශිරන්ත දුන්න පෙන් ඩ්‍රයිව් එකට මං ඒ ටික සේව් කලා. ඉතින් නිකමට වගේ මං එකක් ඕපන් කරල බැලුවා. දෙයියනේ මට මගේ ඇස් අදහගන්න බැරි වුනා. ඔව් මේ කියවන ඔබට හිතෙන විදිය හරි. ඔව් මනාලිය ඇයම තමයි. කවුද, වෙන කවුරුවත් නෙවෙයි, මගේ පාසල් මිතුරා. සචින්තගේ අනාගත බිරිඳ! පෙම්වතිය!! ඒත් මනාලයා සචින්ත නෙවෙයි, මගේ රැකියා මිතුරා, ශිරන්ත. ඒ කියන්න දෙයියනේ, ශිරන්තයා මේ පන්නගෙන ඇවිත් තියෙන්නෙ සචින්තගේ පෙම්වතිය.

අදහගන්නවත් පුලුවන්ද. ගාමන්ට් එකට ඇවිත් මාස තුනයි, අවුරුදු හතරක ප්‍රේමයක මළගම. පස්සෙ ආරංචි වෙච්ච විදියට මේ කෙල්ල ට්‍රේනින් ලයින් එකට ආව දවස් වලම හැමදාමත් වෙන විදියට ඇහැට කණට පේන කෙල්ලන් වෙනුවෙන් වැඩකරන ශිරන්තගේ ඇන්ටනාව මේ කෙල්ල පැත්තට හැරවිලා. ඉතින් ගැහැණු සොඬෙක් වෙච්ච ශිරන්ත බොහෝ විට කරන විදියටම මොකක් හරි ක්‍රමේකට මේ කෙල්ලවත් දැලේ දාගෙන තියෙනවා. ඊටපස්සෙ එක දවසක කොහොම හරි මේ කෙල්ලවත් කොතනකට හරි අරන් ගිහින් තියෙනවා. ඉතින්, අන්න එදා, ඇයට ඇගේ සිව් වසරක පෙම් ගීතය අමතක වෙලා තියෙනවා.

මං ඊළඟට සචින්තට කෝල් එකක් ගන්න හැදුවා. ඒත් නම්බර් එක ඩයල් වෙද්දිම මං ඉක්මනින් ඇමතුම විසන්ධි කලා. මං මොනා අහන්නද. සක් සුදක් සේ පැහැදිලි සිද්ධිය ගැන අහන්නෙ මොන හිතකින්ද. සචින්ත දැන් මොනවගේ මානසිකත්වයක ඉන්නව ඇතිද. මේ වගේ වෙලාවක දුරකතනයෙන් කතාකරල රිදෙන තුවාලෙට තවත් අනින එක සුදුසු නෑ. ඒ නිසා මං හිතුවා හම්බුන දවසකම කතාකරනවා කියලා.

ඊළඟ සතියෙ සචින්ත මට හම්බුනා. දෙයියනේ, සචින්තව අඳුනගන්නවත් බෑ. හිටියගෙන් බාගයයි. පොල් කූර වගේ වෙලා. ඒ මදිවට අතකුත් බැන්ඩේජ් කරගෙන. සචින්ත මට මූණ දුන්නෙ නෑ. ඒත් මං ළඟට ගිහින් කතාකලා. සචින්ත මට විස්තරේම කිව්වා. ගාමන්ට් එකට ගිහින් සති දෙකක් විතර යද්දි ඇඟේම පළුවක් වගේ හිටපු කෙල්ල වෙනස් වෙච්ච හැටි කියද්දි ආයෙත් උගේ වේළුන ඇහි කූඩ වල කඳුලු පිරුනා.. මං ඌව නැවැත්තුවා. සිද්ධියේ මුල මැද අග සේරම දැනගෙන හිටපු මං ආයෙත් ඇයි අහිංසකයව අඬවන්නෙ.

මට ඕනි උනේ සචින්තගේ හිත හදන්න. ඒත් සචින්ත මට මෙහෙම කිව්වා.

"මචං, මං වැටුනා, මං බිමටම වැටුනා. ඒ නිසා මට තවත් අලුතින් වැටෙන්න තැනක් නෑ. මට මිනිස්සුන්ට මූණ දෙන්න බැරිවුනා. මං මිනිස්සුන්ගෙන් හැංගුනා. මට වේදනාව දරාගන්න බැරිවුනා. මතකයන් මට පන්න පන්න වද දුන්නා. එක වෙලාවක මට ඒකි නැතුව ඉන්නම බැරි වුනා. තව වෙලාවක ඒකි වෙන එකෙක්ගෙ තුරුල්ලෙ ඉන්න විදිය මට මැවි මැවී පෙනුනා. මට දුන්න දේවල් ඒකි වෙන කොහෙවත් යන බල්ලෙක්ට පූජා කරන හැටි මට මැවිල පෙනුනා."

"ඒකි එක්ක මං ගෙවන්න හීන මවපු හීන අනාගතේ මගේ දෙපා පාමුල බිඳිල තිබුනා. මට මාව පාලනය කරගන්න බැරිවුනා. දවසක් අම්ම මට ගෙත් දීල තිබුන ජින්ජි බියර් බෝතලේ අරං පුටුවෙ ගහල කඩලා මං මගේ අතේ බල නහරෙටම ඇනගත්තා. ලේ විදින්න ගත්තා. මං පුදුම සැහැල්ලුවකින් මගේ ඇඟේ තියෙන අන්තිම ලේ, බින්දුවටම යන්න ඇරලා එහෙමම කාමරේ බිම දිගා වෙලා ඇස් පියාගත්තා. සිහිය එනකොට මං හිටියෙ ඉස්පිරිතාලේ. කාලකණ්නි පුතෙක් නිසයි, ඒ පුතාගෙ පඩත්තල කෙල්ල නිසයි මගේ අම්මයි තාත්තයි අක්කයි අපා දුක් වින්දා. ඉස්පිරිතාලෙන් මාව සනීප උනාට පස්සේ කවුන්සලර් කෙනෙක් ළඟට දැම්මා. මං එතනින් ගොඩ ගියා මචං. මට එතනින් ආයෙත් ජීවිතේ හම්බුනා. ආදරේ කියන්නෙ මොකද්ද, ජීවිතේ කියන්නෙ මොකද්ද කියල මං තේරුම් ගත්තා. මං ආයෙත් අලුත් මිනිහෙක් උනා. ඒත් එතකොට මට ගොඩක් දේවල් අහිමිවෙලා. කොටින්ම මගේ රස්සාව පවා. ඒත් ඉතින් රස්සාව මොකද්ද, මගේ අනාගත හීන මාළිගාවම නැතිවෙච්ච මට. ඒකිට මාව තවත් එක කොල්ලෙක් විතරක් වෙන්න ඇති, ඒත් ඒකි මට මගේ ජීවිතේම උනා. ඒත් දැන් මං හිත හදාගෙන ඉන්නෙ බං."

ඔන්න ඔයවගේ දිග කතාවක් සචින්ත මට කිව්වා. මමත් උගේ හිත හදන්න නොයේක් දේවල් කිව්වා. කොහොමත් ජීවිතේ කසාදයකින් පටන් ගන්න කලින් මේ වෙච්ච දේ උනේ උගේ හොඳට කියල සචින්ත තේරුම් අරං හිටියා. කසාද බැඳල, දරු මල්ලන් ඉන්න දවසක ඇය මෙවැනි දෙයක් කලා නම් ඔහු පත්වන තත්වයට වඩා ඊට පෙරම ඇගේ චපලත්වය හඳුනාගෙන ඇගෙන් ගැලවීමට තරම් ඔහු වාසනාවන්ත වූ බව ඔහු තේරුම් අරන් තිබුනා.

කාලයේ වැලි තලාවට යට වෙමින් මේ හැමදෙයක්ම අතීතෙට එකතු කරමින් කාලය ඉදිරියට ගමන් කලා. සචින්තකගේ සදාදරණීය බිරිඳ වීමට නියමිතව සිටි යුවතිය අද වෙන අයෙකුගේ සොඳුරිය වී ඔහුත් සමඟ අත්වැල් පටලා යන අයුරු දිනපතා මං දැක්කා. කිසිත් නොවූ විලසින්, මතකය අමතක වූ විලසින් ඇය හැසිරෙන විලාසය සියල්ලන් මවිතයට පත් කලා. සප්ත මහා සයුර විසින් සඟවාගෙන සිටින රහස් වලටත් වඩා රහස් සඟවා ගනිමින්, රළ බිඳ සිනාසෙන ගුප්ත යෞවනියන් ලෙස අපටද සිටිය හැකිනම් කියා හැඟීමක් සිතට දැනුනා. හවස වැඩ නිමවී බොහෝ දිනයන්හී ඇය ඔහුගේ යතුරු පැදියේ නැඟී යන අයුරු දකින මසිත සචින්ත නම් මගේ මිතුරා පිළිබඳ සංවේගී හැඟීමක් ජනිත කලා.

දෛවය හරි පුදුමාකාරයි. කාලයේ ඔසුවෙන් සුවපත් වෙමින් සිටි සචින්තට නැවතත් රස්සාවක අවශ්‍යතාවය දැනුනා. මාර්ග සංවර්ධන කොන්ත්‍රාත් ආයතනයක සුපරීක්ෂක වරයෙකු විදියට ඔහුට රස්සාවල් ලැබුනා. හරියටම මේ කියන කාලෙදිම තමයි අපේ ෆැක්ට්‍රියට යන පාර කාපට් කරන්න පටන්ගත්තෙත්. ඉතින් සචින්තත් මේ පාරටම රාජකාරියට වැටුණා.ඇගේ පරණ පෙම්වතිය, දැන් වෙනකෙකුගේ ප්‍රියාදර බිරිඳ, ඒ වල්ලභයා සමඟ යතුරු පැදියේ නැඟී අහංකාර ලීලාවෙන් වැඩට යන්නේත් මේ මාර්ගයේමයි. ඉතින් දෛවයේ සරදමේ උපහාසයට ලක් වෙමින් මගේ දයාබර මිතුරාට මේ කාලකණ්නි දර්ශණය හැම උදයකම හැම හවසකම දකින්න උනා.

ඇතිවෙන්න අඬල ඉඳපු ඔහු,ආයෙත්නම් ඇඬුවෙ නෑ. ඒ වෙනුවට හරිම උපේක්ෂාවෙන් ඒ දිහා බලන් හිටියා. මමත් යතුරු පැදියෙන් වැඩට ගිය එක්තරා දවසක, වැඩ නිමවී යන ගමන් අතර මඟදී හමුවූ සචින්ත සමඟ මඟ නැවතී කතාකරමින් උන්නා. මෙහෙම ඉන්නකොට, අර උදුම්බරා කූමාරිය, ඇගේ කුමරුත් සමඟ අස්සයා පිටින් වඩිමින් උන්නා. දුහුවිල්ලෙන් මුවා කල එම දසුන දිහා මගේ මිත්‍රයා පුදුමාකාර උපේක්ෂාවකින් බලාගෙන හිටියා. ඇය දෙස බලා හිඳින වග දුටු කුමාරිය, දුහුවිල්ලට පිළිකුලින් රවමින් අතේ තිබුන ලේන්සුව මුහුණට තදකරගත්තා.

පසුවී යන ඔවුන්ගෙන් දෑස් ඉවතට ගනිමින් මගේ මිතුරා හරි පුදුම කතාවක් කිව්වා.

"මචං, මං උඹට කිව්වේ, මං හිත හදාගෙන ඉන්නෙ. එයාට හොඳනම්, එයා සතුටින් නම් මට ඕනි එච්චරයි. ඒ නිසා මට කියන්න පුලුවන් ඔබගෙන් තව පැල් පතකට එළිය ගෙනේවා කියලා. ඒත් මචං මට බය එයා ඔය යන ගමන තව කොච්චර දුර යන්න පුලුවන් වෙයිද කියලා. මොකද මට කරපු දෙයින් මං එයාවත් තේරුම් ගත්තා. අනික ඔය කොල්ලා ගැනත් මං හොඳට දන්නවා."

ඔහුටත් වඩා හොඳින් ශිරන්ත පිළිබඳ දැනහුන් මම, මගේ බෝසත් මිතුරාගේ කරට අතක් දමාගෙන ඔහේ කල්පනා කලා.  ඒත් එක්කම මේ කතාව කවදහරි ලියන්න ඕනි කියලත් හිතාගත්තා. අමතක වෙලා යමින් තිබුන මේ සිද්ධිය පහුගිය දවසක අඩ සඳ යාය අහනකොට ආයෙමත් මතක් උනා. ඒ මේ ගීතයත් එක්ක. මේ ගීයෙ හැම වචනයක්ම මගේ මිතුරාගේ කතාව එක්ක කොච්චර හොඳට සමපාත වෙනවද. ඇත්තටම කලා කරුවා කියන්නෙ නම් විශ්ම කර්මයෙක්.


අජානේය ස්කූටර තුරගා පිට වඩිනා
කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
බදා හිමි දෙවුර එසවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුළ බිම වැටෙයි ද සිතුනා

සූසැට ශිල්පය උගෙනා පාරගතව ගියෙනා
පාරේ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුනා
මා ගත ඩා බිදු හදුනා සඳය සිනා නගනා
ප්‍රේමවන්ති විලවුන් ගැ ලේන්සු පට සිබිනා

සදාකල්ම පෙම් වතුන්ගේ සිහින පුරා පිපෙනා
උදුම්බරා මලක් තියේ ආදරයැයි කියෙනා
රැ තුන්යම සුවද උලා උදැසනින් මැකෙනා
කාට අහිමි උනත් සාදු මල් පිපියන් සැමදා

පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ




(Ajaneya Skootara - Karunarathna Diulgane)