Pages

Sandumal

Sandumal

Thursday, June 12, 2014

•වෙල්ලස්සේ ගීතය

"ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ..."




"ආයුබෝවන්! වාසනාවන්! මේ ඔබ අමතන්නේ වෙල්ලස්ස සුරැකීමේ ජාතික සංවිධානයයි. කූඨ බහුජාතික විදේශීය සමාගම් වලට මේ පිං බිම විකිණීමට ඉඩ නොදෙමු. ඔබේත් අපේත් ශ්‍රේෂ්ඨ මුතුන් මිත්තන් සැතපී සිටින මේ ක්ෂේම භූමිය, මේ ඔසු උයන, මේ රන් බිම විනාශ කිරීමට ඉඩ නොදෙමු. ආදරණීය අම්මේ තාත්තේ, අයියේ අක්කේ, මල්ලියේ, නංගියේ, මේ ඔබේ දායකත්වය අත්‍යාවශ්‍යම මොහොතයි. ඔබේ ජීවිතයට වටිනාකමක් එක්කරගන්න. එන්න භූමිය ගලවා ගැනීමේ සටනට අප හා එක්වන්න..."

තුම්මං හන්දියේ තේ කඩය ඉදිරියෙන් ඇදී ගීය ඩෙලිකා වෑන් රථයේ බැඳි ලවුඩ්ස්පීකර් යුගලයේ මොර ගෑම කඩපිල තුල සිටි සියල්ලන්ගේම අවධානය දිනාගැනීමට සමත් විය. බොමින් සිටි කහට වීදුරුවද අතින් ගෙන කිහිපදෙනෙක්ම කඩපිලෙන් බැස පාරට විත් ගුරු පාර දිගේ ඈතට ඇදී යන වෑන් රථය දෙස දුහුවිලි වලාව තුලින් බලා සිටියහ.

"නිකං කාල ගෙවල් වලට වෙලා ඉන්නෙවුන්ගෙ තෙල බහින්නත් මොකක් හරි තියෙන්නෙපැයි. කාලකණ්නි. මුං හිතන් ඉන්නෙ අකුරක් දෙකක් ලියාගන්න පුලුවන් වෙලා ඉහ ළඟට කර ආවම මුං තමයි කෙරුමො කියල. යකෝ, රටේ වෙනදේවල් වලට හොට දාලා එව්වා පාලනේ කොරන්න මේ පැඟිරන්ට පුලුවන්ද. එහෙනම් ඉතින් ඡන්ද තියල මිනිස්සු පාර්ලිමේන්තු යවන්නෝනි නෑනෙ. ඒ මහතැන්ලා ඉන්නෙ ඕව තීරණේ කොරල රට පාලනේ කරන්න තමයි. මුං මොක්කුන්ද?"

අවසන් කහට උගුරද බී මණ්ඩි ටික අහකට විසිකල ගුණසෝම අසෝක වීදුරුව වේගයෙන් මේසය මත තබා, සරමද කැහැපට ගසමින් පිලෙන් පාරට ගියේ නොපෙනී යමින් තිබූ වෑන් රථය දෙස මරුමුස් බැල්මක් හෙලමින් කාරා කෙළ ගසමිනි.

"මුංට තියෙන රුදාව මොකක්ද කියල මට තේරෙනවා. ඊයෙ හවස මැම්බර් මහත්තයා පංසලේදී කියනව මං අහගෙන. ඔය දාන්න යන සුගර් කොම්පැණි‍ය දැම්මොත් මේ ගමේ විතරක් නෙවෙය්, අහල ගං හත අටකම ඉන්න එවුන්ට රස්සා හම්බෙනවලු. මහත්තයා කිව්ව ගමේ ගමේ ඔහේ රස්තියාදුවෙවී ඉන්න කොල්ලොන්ට හොඳ කලක් යයි කියල.

 හොඳට බලහල්ල, ඔය විරුද්ධ ව්‍යාපාරෙ ඉන්නෙ ඔක්කොම අර විස්ස විද්දාලෙ ගිය එවුනුයි, ඉගෙන ගන්න එවුනුයි. මේකයි බොලවු ඇත්ත, ඔය හැත්ත කැමති නෑ, ගමේ අපි වගේ වේලි වේලි ඉන්න එවුන්ට රස්සාවක් හම්බෙනවට. මොක්ද ඕකුන් රට රාජ්ජ වල ගිහින් උපාධි අරං ආවට මොකෝ තාම උන්ට හරිහමං රස්සාවක් තියෙනෙ එකක්යැ. 

ඕකෙ පුරෝගාමියා වෙලා ඉන්නෙ අර පැන්සොන් ගිය රත්නපාල ඉස්කෝලෙ මහත්තයගෙ පුතණ්ඩිය එහෙමනේ. ඕකුං විස්ස විද්දාලෙ ඉන්න කාලෙ ඉඳන් කොලේ ඔව්වගේ වැඩ. අන්තිමේ රත්නායක මහත්තයාගෙ සේසතම ඉවරවෙනකල් අවුරුදු ගානක් තැපල තැපල උපාදිය ගත්තලු. ඒ ගත්තට මොකෝ තාම රස්සාවක් නෑ. ඉතින් උන්ගෙ ඇස්වල කටු ඇමිණෙනව වගේ මේ කොම්පැණිය දාල අපිටත් රස්සා හම්බෙනකොට. උන් පරතෙරටම ඉගනගෙනත් නිකමො වගේ ගෙවල් වලනෙ. ඔන්න ඕකයි හේතුව."

"අනේ ඇත්තට මෙහෙමත් එව්වා. අපිටනම් තේරෙන්නෙ නෑ. අනේ මුදලාලි මට ඔය සබන් බාගෙයි, සීනි සීයයි දුන්නනම්." කඩයට පැමිණි මැගිලින් කීවාය.

"අනේ මංද බොලවු. කොහොම උනත් මට තේරෙන හැටියටනම් රතනසීලී උන්නාන්සෙත් ඔය කොරන්න හදන වැඩේට ඒ හැටි මනාපයක් නෑ වගේ. ඊයේ උන්නාන්සේ පංසලේදී කොල කතාබහ එච්චර පැහැදීමකින් නෙවෙයි කලේ. "

මේ අතර මේ සියලු කතාබස් වලට නිහඬව ඉවසීමෙන් කන්දුන් අයෙකු විය. ඉතාම සංසුන්ව තේ වීදුරුවක් තොලගාමින් ලංකාදීපෙ පත්තරේට දෑස් යොමුකර සිටි ඔහුගේ සවන් නම් යොමුව තිබුනේ මේ කී කතා වලට බව මුහුණේ වූ ඉරියව් වලින් පෙනී ගියේය. සියල්ලෝම නිහඬ වූ පසු ඔහු තම හඬ අවදිකලේය.

"මාමෙ, මං උඹලට ඕකෙ ඇත්තම කතාව කියන්නම්. උඹලැට ඕක ගැන හරි අවබෝධයක් නැති හැඩයි. ඔය කරන්න හදන්නෙ මේ වෙල්ලස්සෙන් අක්කර සිය ගානක් එළිපෙහෙලි කරල ලොකු උක් වගාවක් දානෙක. ඔය එන්නෙ එංගලන්තෙ සුද්දන්ගෙ කොම්පැණියක්ලු. උන්ගෙ වගාවට උන් ඉල්ලලා තියෙන්නෙ මේ ඉසව්වටම තියෙන වටිනාම ඉඩං ටිකලු. කෙටියෙන්ම කියනවානම් රක්ෂිත ටික. ආයෙ උඹලට මං අමුතුවෙන් කියන්නෝනි නෑනෙ ඕවයෙ වටිනාකම ගැන. අපේ වෙද මහත්තයා මෙතන උන්නනම් කියාදෙයි."

"ඇත්තටම ඌවෙ තියෙන සාරවත්ම භූමිය තම්යි උන් ඉල්ලන්නෙ. අපේ හුලංදා ඔය, මාදුරු ඔය, හෑපොල ඔය, එතකොට ලෝකෙ හොඳම අවුසද උයනක් වෙච්ච නිල්ගල කෑලෑව, එවුන් ඉල්ලනවලු. නිකමට හිතහල්ලා, ඇත්තටම ඕක උනොත් ඔය තියෙන සේරම ගස් කපා දාල කැලෑව එළිකරනවා. ඊළඟට ඩෝසර් ගෙනත් මුලු බිමම සමතලා කරල ඒකෙ උක් හිටවයි. උන් අවුරුදු තිහ හතලිහක් ඕකෙන් උන්ගෙ රටට හම්බ කොරල දෙයි. ඊළඟට මේ බිම නිසරු උනාම උන් යන්න යයි. ඔන්න ඔතනින් පස්සෙ තමයි මේ අපිට තරු පේන්න පටන්ගන්නෙ. මේ බිමම කාන්තාරයක් වෙලා තියෙයි."

"අත්බේතකට බිං කොහොඹ පැලයක්කත් හොයාගන්න කැලෑ රොදක් අපිට නැතිවෙයි. ලෝකෙටම උනත් වතුර දෙන්න පුලුවන් අපේ හෑපොල ඔය, හුලංදා ඔය හිඳිල යයි. අපේ කුඹුරු අක්කර දාස් ගනන් අස්සද්දන මාදුරු ඔය ගොඩවෙලා යයි. සොච්චමට කඹුරල අපිත් කොහොමහරි ජීවත් වෙලා නමවත් දන්නැති ලෙඩකින් මැරිල යයි. හැබැයි මේකෙ කරුමෙ ගෙවන්න වෙන්නෙ අපිට නෙවෙයි, අපෙන් පස්සෙ උපදින පරම්පරාවට. උන්ට බොන්න වතුර ඩිංගක් නැතිවෙයි. පුරන් වෙච්ච කුඹුරු යාය නිසා උන්ට කන්න දේකුත් නැතිවෙයි. සුද්දා සාරය උරාබීල හපේ ඉතුරු කරල පැට්ටේරියත් වහල දාල උගේ රටට යයි. අපේ එවුන් මේ පොළොවෙ නන්නත්තාර වෙයි. අනික ඩිංගිත්තක් හිතපල්ලා. මේ බිම අපේ මුතුන්මිත්තන් පණ කෙන්ද දෙවනියට දාල රැකගත්ත බිම. උන්ගෙ ලේ කඳුලක් නොගලපු තැනක් මේ බිමේ නැතිව ඇති."

"අපේ හෑපොල ඔය, හුලංදා ඔය පණ ගැහිල ගලන්නෙ ඒ ලේ වලින් පෝසනය ලබලා. උඹලට මක්කැටයි අමුතුවෙන් කියන්නෙ. අපි හැමෝගෙම සීයලාගෙ සීයල, තමයි 1818 සුද්දට විරුද්දව මුල්ම සටන මේ වෙල්ලස්සෙන් ඇරඹුවේ. සිංහල දේසෙටම එච්චර කොන්දක් තිබිච්ච උන් මේ වෙල්ලස්සෙ විතරයි හිටියෙ. ඒ කාලෙ මේක උයනක්ලු. ලංකාවෙ සශ්‍රීකම බිමලු. කොටින්ම ලංකාවෙ හදවත් උනේ මේ ඌව. එදා බ්‍රවුන්රිග් ආණ්ඩුකාරය මෙහෙට ඇවිත් කිව්වලු මේක ආදම්ගෙ පළතුරු උයන කියල. මුං හටන්කොරන්නෙ මේ බිමේ හැදෙන ඒවා කාපු හයියෙන් කියල කීවලු. ඊළඟට මාසල්ලෝ දාලා නියෝග කලාලු මුලු බිමේම තියෙන සේරම වගාබිම් ගිනිතියල විනාසකරල දාන්න. ගෙඩි හැදෙන හැම ගහක්ම කපල දැම්මලු. ඒ විතරක් නෙවෙයි, අවුරුදු 16ට වැඩි හැම කොල්ලෙක්ම මරාදාන්න නියෝග කරාලු. මේව ඉතින් මං කියන්නෝනි යෑ. ඔක්කෙ ඉන්න ළදරුවා පවා මේ වෙල්ලස්සෙ ඔය කතන්දරේ දන්නවනේ."

"අන්න එහෙවු සුද්දා තමා අයෙත් මේ වෙල්ලස්සට පයගහන්න හදන්නෙ. මේ අවුරුදු 160ක් විතර ගෙවිල ගියත් සුද්දට මේ බිමේ රහ තාම මතක තියෙන හැඩයි. එදා උන් බලහත්කාරෙන් අපිව විනාසකරල දැම්මා. අපේ පිං බිම සුන්නද්දූලි කරා. අද උන බොහොම අහිංසක විදියට ඇවිත් අපිව ගොනාට අන්දල ආයෙමත් ඒක කරන්නයි මේ හදන්නෙ. ඔන්න ඔය ටික තේරුම් ගනිල්ලා. ඕකයි ඇත්තම කතාව."

"ඈ බං උක්කුවො. උඹ ඔය කියනකල් අපිට හාන්කවිසියක්වත් ඔව්ව ගැන වගක් උනේ නෑනෙ බොල. අම්මපල් උඹල ඔය කියන කතාව සහතික ඇත්ත බං." රුවිතං මුදලාලි හඬ අවධි කලේ ඔහු කතාව නිමකල පසුයි.

"ඉස්සෙල්ලා ලේ කෝප කරගෙන පුප්පව්වට මොකෝ උඹ ඔය කිව්වට පස්සෙ මටත් හිතෙනවා බං මං හිතපු විදිය වැරදියි කියල." කලින් අවස්ථාවේ මේ සම්බන්ධව දරුණු විවේචනයක් කල ගුණසෝම කරුණු කාරණා තේරුම් ගෙන ඇති සැටියකි.

"ඈ බං උක්කු මලේ උඹලට කවුරු ඔය කරුණු කාරණා තේරුම් බේරුම් කරල දුන්නේ?"

"කවුරුත් ඕවල අග මුල මට කියාදුන්නෑ බං. උඹම දැන් ටික්කට ඉස්සෙල්ලා අර ගරහපු අද්දියාපනේ මාත් ලැබුවා නමේ වසරට යනකල්. ඉතින් ඒ පිහිටෙන් ඕවා මට කවුරුවත් කියාදෙන්නෝනි නෑ බං. කරුණු කාරණා, දකිනකොට අහනකොට වෙන්නෙ මේකයි කියල හිතාගන්න පුලුවන්."

"අනිත් එක තමයි, ඉස්සෙල්ලා උඹ කිව්ව වගේ අපේ ගමේ ඉන්න ඔය උපාධි කාරයින්ට ඔව්ව උඹලට අපිට වඩා හොඳ හැටි තේරෙනවා බං. ඒකයි උන්ට ඔය ගැන ඔච්චර කැක්කුම. අනික උඹ කිව්වට උන් රස්සා නැති නිසා මේකට ඉරිසියාව කියල මං අහගෙන ඊයෙ මැම්බර් කාරයා කියනවා අපේ ගමේ ඉන්න ඔය දැන උගත් උන් ටිකලු ඕකුන් මුලින්ම අල්ල ගන්න හැදුවා කියන්නෙ. පැට්ටේරියේ මැනේජර්ලට, සුපවයිසරලට උන්ව ගන්නලු පැලෑන් කරල තියෙන්නෙ මුලින්."

"ඒ නිසා මේ වෙලාවෙ අපි කරන්නෝනි උන්ට ගරහල උන්ට වල කපල අපිත් ඒ වලේම වැටිලා විනාස වෙලා යනේක නෙවෙයි. අපිටත් පුලු පුලුවන් විදියෙ සහයෝගයක් මේ සටනට දීල මේ වෙන්න යන විනාසෙන් මේ අපේ අම්මා වගේ වෙල්ලස්ස බේරගන්නෙකයි."

"හ්ම්..හ්ම්.. දැනුයි අපිටත් කරුණු කාරණා හරියටම තේරුණේ. අම්මප අපි අන්ධ වෙලානෙ බ්ලොවු ඉඳල තියෙන්නෙ." ගුණසෝම නව පණක් ලද්දකු මෙන් පැවසීය.

"අන්ධවෙලා නොවෙයි බොලවු, අපිව අන්ධ කොරලයි තිබුනෙ. ගමේ එවුන්ගෙ විරෝධෙ පටන්ගන්නකොටම මතක නැත්ද බොලාට ........ඇමති තුමා ගමට ඇවිත් කීව දේවල්. එව්වා අපිත් හිස් මුදුනින් පිළිගත්ත නොවැ. උන්ද අපිට සුරපුරයක්නෙ බොලවු මවල  පෙන්නුවේ." සියල්ල අසා සිටි තවෙකෙකු කීය.

"සුරපුරේ මැවෙයි ඇමති තුමාට. ඔය සමාගං වලින් ඕවට කෝටි ගනන් දෙනව ඔය මැති ඇමති ගොල්ලන්ට. ඒකයි උන්නැහැලගේ ඔච්චර අනුකම්පාව. අනික අපේ ගම් වලට හෙන ගැහිල ගියත් ඒ උදවියට කමක් නෑ. ඒ උදවිය කොළඹ රටට වෙලා හොඳ යහතින් වැජඹෙනවා." උක්කුවා යළිත් කීවේය.

"එහෙනම් ඉතින් බොලාලත් දැන් ඔය දාං ඇදිල්ල නතර කොරල, කඩේ ළඟ බොරුවට ටැග් ගැහි ගැහි ඉන්නැතුං පාරට තොටට බැහැපල්ලා. ගමේ අනාගතේ දැන් තියෙන්නෙ තරුණ උඹලයෙ අතේ."  කියමින් මැගිලින් කඩෙන් පාරට බැස නිවස දෙසට ගියාය.


*****************************************************


"අම්මේ...අම්මේ..."


"මොකෝ බං බෙරිහං දෙන්නේ? උඹ අද හොඳටෝම පරක්කුයි. තව ඩිංගක් බලල මං උඹව හොයන්න සීටියවත් යවන්නයි හැදුවෙ." පාසැල් ගොස් පැමිණි පොඩ්ඩාගේ හඬ ඇසුණු මැගිලින් එසේ පවසමින් මුලුතැන් ගෙයි සිට සාලය පැමිණියේය.

"අම්මේ.. අද මාර වැඩක් උනානෙ."

"මාර වැඩ තමයි වෙන්නෙ බං මේ දවස් වල ගමේ. ඉතිං කියහංකො මොකෑ උනේ?"

"ඔන්න අම්මෙ අද අපි ඉස්කෝලෙ ඇරිල ආව. වෙන්ද වගේම අපිට ටිකක් ඉස්සරහින් ආවෙ අපේ රත්න සර්. අම්මට මතකයි නේද අර අලුතින් ආව සර්. ඉතින් අපිත් ඒ පිටිපස්සෙන් තමයි ආවෙ. සර් කච්චේරිය ළඟින්නෙ බෝඩිමට යන්නෙ. ඉතින් අද කච්චේරිය ළඟට එනකොට එතන ලොකූ උද්ගෝසනයක්. අපේ ගමේ මාමලා නැන්දලා ගොඩක් හිටියා. සුගත් අයියත් හිටියා. අපේ රත්න සර් අපිත් එක්ක එතන ටිකක් නැවතිලා බලං හිටියා. උද්ගෝසනේ කරපු අය එක එක දේවල් කිය කිය කෑ ගැහුවා. බෝඩ් ලෑලි උස්සගෙන හිටියෙ. ඒවලත් එක එක ජාති ලියල තිබ්බා."

"සමහර ඒවල ලියල තිබ්බ ඒව මටත් මතක හිටියා. එකක ලියල තිබ්බා "අපේ මුතුන්මිත්තන්ගේ ඇටකටු වැළලිලා තියෙන බිම සුද්දන්ට නොදෙවු!" කියල. "

"ඇත්ත පුතේ ඇත්ත. උඹලගේ අනාගතේ වෙනුවෙන් තමයි ඉතින් ඔය කෑමොර දෙන්නෙ. උන් ඔය ඉඩං ටික උක් වවන්න ඕකුන්ට දුන්නොත් ඉතින් අපට මළගම තමයි ඉතිරිවෙන්නෙ. ඒක නෙවෙයි, ඉතින් ඊටපස්සෙ මොකද්දෑ ඔය උනයි කිව්ව මාර වැඩේ?"

"කොහොමහරි අම්මෙ රත්න සර් ඊළඟ කරපු දේනෙ වැඩේ."

"මේකයි අම්මෙ උනේ, මේක දිහා ටිකක් වෙලා බලං උන්නු සර් ඊළඟට මහ පුදුම වැඩක් කලානේ. සර් අපිට කිව්ව ගෙදර යන්න කියලා. ඊළඟට සරුත් ගිහින් ඒ මිනිස්සු අතරෙම වාඩි උනා. සරුත් උද්ගෝසනේ කරන්න පටන්ගත්තනේ." පොඩි එකා ඇස් ලොකු කරමින් කීවේය.

"හැබෑමද පුතේ? රත්න සර් කොහොමත් මිනිස්සුන්ට හරි ආදරෙයිනෙ. මේ ගමේ සමහරක්ට නැති කැක්කුමක් ඒ ඉස්කෝලෙ මහත්තයාට මේ ගම ගැන තියෙනවා. අනේ වාසනාවන්. ඒ මහත්තයාත් ඕකෙ පෙරමුණ ගත්ත කියන්නෙ අපිට හොඳ විසඳුමක් ලැබෙයි."

"හා.හා.. එහෙනම් දැං උඹත් කාලා ඉඳින්. අන්න බත් බෙදල තියෙනවා අඩි වළඳේ. මූණ සෝදගෙන ඇවිත් කාපං."


*****************************************************

වසර දෙකහමාරකට පසු

උක් දඬු පුරවාගත් විශාල ට්‍රැක්ටර් තුනක් එක පෙළට තුංමං හන්දියේ කඩේ ඉස්සරහින් ඇදී ගියේය. ට්‍රැක්ටර් වල වූ උක් දඬු ගොඩං මත වාඩි වී උන් ගමේ කිහිප දෙනා කඩපිලේ සිටිය උනට අත වනා ගියෝය. දුහුවිලි අවුස්සමින් ගුරුපාරේ පහළට ගමන් ගත් ට්‍රැක්ටර් පෙළ දෙස කඩපිලේ උන් අය ඔහේ බලා සිටියහ. අමුත්තක් නොවෙයි. මාස ගානක සිට ගමට මේවා සුපුරුදු දර්ශණයන්ය.

"අන්තිමේදී අපේ සටන පැරදුනා නේද බොලං."

දිගු සුසුමක් හෙලූ උක්කුවා දුක් මුසුව බලා උන්නේය.



"ටැට්ටරයක් දකින හැම වෙලේම උඹ ඔහොම හූල්ලනව. දැන් ඕක නතර කරගනින් බං. අපි කොච්චර සන්තාප උනත් වෙච්ච දේ උනා. උන් උන්ගෙ වැඩේ කරගත්තා. හතර අතට ණයවෙලා උන්නු අපේම උන් උන් එක්ක එකතුවෙලා පැට්ටේරියේම වැඩට ගියා." මුදලාලි කීය.

"ගමේ එවුන්ගෙ දොසක් නෑ මාමෙ. උන් හරි අසරණයි. එල්ලෙන්න පිදුරු ගහක් හරි හම්බෙනකල් බලං උන්නු උන් පැට්ටේරියේ සොච්චමට රැවටුනා. එවුන් අපේ එවුන්ගෙ දුප්පත් කම දඩමීම කරගත්තා."

"ඒක තමයි බං උනේ උක්කුවෝ. ඒත් අපි කරපු දේවල් වල පොරෝජන නැතුවාම නෙවෙයි. මතකයිනෙ උඹලට, උන්ට දෙන්න තීන්දු කරපු බිමෙං දෙකෙන් පංගුවයිනෙ දුන්නෙ. එදා කච්චේරිය ළඟ අපි කොරපු උද්ගෝසනෙන් පස්සෙ ඔය ලොකු ලොක්කො ඔක්කොම එකතුවෙලා නෙව ඔය තීරණේ ගත්තෙ. අපේ මාන්සියේ පරතිපල ලැබුනා. ඒකෙන් නොවැ රක්ශිතේ ඔය තරමින් හරි බේරුණේ."  බුලත් කෙල පීරක් විද්ද බණ්ඩා මාමා කීය.

"ඕන්න.. උද්ගෝසනේ කීවම මතක් උනේ. මං මේක උඹලට කියන්නමයි උන්නෙ. උඹලට මතකයි නෙව එදා උද්ගෝසනේ දවසෙ ඉස්කොලෙ ඇරිල යමින් උන්නු අපේ රත්න ඉස්කෝලෙ මහත්තයා අපිත් එක්ක එකට වාඩිවෙච්ච විදිය?"

උක්කුවා යළි හඬ අවදි කලේය.

"ඒක කොහොම අමතක වෙන්නද බොල. ඒ උත්තමයා එතන එදා එහෙම වාඩිවෙච්ච එක අපිට කොච්චර හයියක් උනාද. උන්නැහේ ආවයි පස්සෙනෙ කච්චේරියෙ මහතැන්ලා පවා එළියටවත් බැස්සේ. අනේ වාසනාවන්, එහෙමත් ඉස්කෝල මහතැන්ලා දකින්නත් අපි වාසනා කොලා බං." එකෙකු කීය.

"අපේ මහත්තයා එතනින් නැවතිලා නෑ නොවැ. මහත්තයාට මේ සිද්ධිය තදින්ම හදවතට දැනිලා. ඉතින් මහත්තයා කවි කාරයා නොවැ. පස්සෙ ඉස්කෝල මහත්තය මේ අවනඩුව ගැන සිංදුවක් ලියල බොලවු."

"නෑ..??"

"නෑ නොවෙයි බොලවු. ලියල. මං දෙතුන් විඩක් සුදේසීය සේවෙන් ඕක ඇහුවා. මේ දවස් වල නිතරෝම දවසට දෙතුන් වතාවක් යනවා ඕක. හරි ජනප්‍රියයි. දන්නවද සිංදුව කියන්නෙ කවුද කියල. අපේ කපුගේ මහත්තයා."

"යකඩෝ.. ඉස්කෝලෙ මහත්තයාට මල් තියල වඳින්නෙපැයි බං. කපුගේ කොලුව කියනව නම් ආයෙ ඉතින් දෙකක් නෑ මල් හතට ඇති. ඒ කොලුව මේ පුංචි දුප්පත් මිනිහ වෙච්ච අපි ගැනමනෙ සිංදු කියන්නෙ." මුදලාලි පැවසීය.

"කෝ හිටහල්ල දැං වෙලාව කීයද? ආ දෙකට පහයි නේද. මාමෙ විගහට රේඩියෝ එක දාහං. හවස දෙකට යනව සිංදු වැඩසටහනක්. මේ දවස් ටිකේම ඔය සිංදුව ගියා ඒකෙ. අදත් ඉන්තේරුවෙන්ම යයි."

උක්කුවා එසේ පැවසීමත් සමඟ මුදලාලි වීදුරු ෂෝ කේසය උඩ වූ යුනික් රේඩියෝව මේසෙ මතට ගෙන සුදේසීය සේවයට කැරකුවේය.

"හොඳයි දයාබර රසික රසිකාවියනි වෙලාව දෙක පසු වී මිනිත්තු දෙකක් වූ තැන ඔබ මේ එකතු වී සිටින්නේ ශ්‍රී ලංකා ස්ව්දේශීය සේවය ඔබට ගෙන එන කැණිමඬල ගීතමය වැඩසටහන සමඟයි. එසේනම් පළමු ගීය ලෙස....."

කවදත් ගැමියන් ප්‍රියකල නිවේදිකාවගේ හඬ ගුවන් විදුලියෙන් ගලා ආවේය. කඩය තුල සියල්ලෝම බලා සිටියේ තමන්ගේ ගීතය ඇසෙන තුරුය.

"කෝ බං තවම නෑනෙ?"

"ඉවසල ඉඳහං. අපේ හදිසියට යන්නෑ"

"පුරා පැය දෙකක් අප ඔබ සමඟ මෙම සුන්දර සැඳෑව ගතකිරීමට සූදානමින් සිටින මේ මොහොතේ, මීළඟට ඔබවෙත ගෙන එන්නේ මෑත කාලයේ ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් එක් සුවිශේෂි සිදුවීමක් පාදක කොටගනිමින් ලියැවුනු ගීතයකි. සිදුවූ ව්‍යසනයේ හෝ භාග්‍යයයෙහි අභ්‍යන්තරය පිළිබඳව...."

"ඔන්න ඔන්න. සින්දුව යන්නයි යන්නෙ. කටවල් වහගෙන අහං ඉඳපියවු"

උක්කුවාගේ තර්ජනය හමුවේ සියල්ලෝම තම දෙසවන් රේඩියෝවට යොමුකලෝය.

"ගීතයේ රචනය රත්න ශ්‍රී විජේසිංහයන්. ගායනය ගුණදාස කපුගේ..මේ වෙල්ලස්සේ ගීතයයි.."


"බිම්බරක් සෙනග ගැවසුන
චන්ද්‍ර සූරයා ඉපදුන
ස්වර්ණ භූමියේ මනරම්
මාළිගාව කෝ...

යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වට කලේ මනරම්
මාළිඟාව ‍දෝ මාළිගාව දෝ..

ට්‍රැක්ටරේ යකඩ ගජසෙන්
කුංචනාදයෙන් ඇලලුන
වෘක්ෂ දේවතාවන් බිම
වැටී පණ ගසයි

මිණී මල් පිපුණු සීතල
නිම්න භූමියේ ඇටකටු
හතර රියන් කඩ අහිමිව
විලාපය නඟයි...

කැලෑ මල් පිපී රතුතොල්
වලින් කෑ ගසා ඉල්ලන
ජාතියේ නිදානයෙ රන්
රුවන් කරඬු කොයි

වෑ කන්ද කඩා බිම් කටු
කම්බියෙන් බෙදා වෙන්කල
බිමේ හිස ගසා දමනා
කඩුව බිම දමව් කඩුව බිම දමව්..."


ගීතය අවසාන වන තෙක් මීයට පිම්බාක් මෙන් නිහඬව සිටිමින් සවන් දුන් කඩ පිලේ සිටි සියල්ලන්ට නැවත සිහි එළවා ගැනීමට ගීතය අවසන් වී තවත් සුලු මොහොතක් ගතවිය.

"ඔන්න ඕකයි සිංදුව. කොහොමද. අපිට වචන කෝටියකින්වත් කියාගන්න බැරුව තිබුන අපිට වෙච්ච අරියාදුව හරි අපූරුවට කියල තියෙන විදිය."

"ඒකනම් හරියටම හරි උක්කුවෝ. කියල වැඩක් නෑ. අහනකොට කඳුලු පිරෙනවා මගේ ඇස්වලට"

"සිංදුවනම් පංකාදුයි ඒත් සමහර තැන් තේරුනේ නෑ බොලං. අනේ උක්කුවෝ උඹැලට ඕවයෙ හොඳ දැනුම් තේරුම් තියෙනවා නොවැ. ඉතින් ඕකෙ සුද්ද තේරුම අපේ බාසාවෙන්ම කියහංකො." අයෙකු ඉල්ලීය.

"හොඳයි එහෙනම් අහගනිල්ලකො. මාමෙ ඔය කහට එකක් වක්කොරානම්"

උක්කුවා දිගු කතාවකට මුලපිරුවේය.

"දැන් ඔය කියන්නෙ මෙන්න මෙහෙමනේ. බිමට බරවෙන්න තරම් මිනිස්සු කන්දරාවක් ඉන්න, ඉර හඳ ලෝකෙට බිහි කරපු මේ රත්තරං බිමේ තිබුනු මාලිගාව කොහෙද කියලයි ඉස්සරෝම අහන්නෙ. ඒ කියන්නෙ මේ බිමේ තිබ්බ පිංසාර බවනොවෑ. ඉර හඳ බිහිකොලා කියන්නෙ රටටම මේ බිම සම්පතක් උනා කියලනේ."

"ඔන්න ඊළඟට කියන්නෙ සුද්දො එතරින් යුද්දෙකට ආව බව. සත් මුහුදු මතින් ගුවනින් කියන්නෙ ඒකයි."

"උන් ඇවිත් මේ සුවර්ණ බිම කටු කම්බි ගහල අල්ල ගත්ත කියලයි ඔය කියන්නෙ."

"ඊළඟට කියන්නෙ මහා සද්දන්ත යන්තර සූත්තර ගෙනල්ල අපේ බිමේ තිබ්බ ගස් කොලන් බිමට සමතලා කොරපු විදියයි.  අලිංගේ කුංචනාද වගේ වෙච්ච ඒ ටැට්ටර වල සද්දෙට ගහකොලත් බය උනාලු."

"ඒ විතරක් නෙවෙයි බොලවු. උඹලට මතකයි නෙව මං එදා කිව්වා මේ පිං බිම යට වැළලිලා ඉන්නෙ මේ බිම අපට බේරල දෙන්න හටන් කොරපු අපේ මුතුන් මිත්තන් කියල. ඊළඟට කියන්නෙ අපේ ඒ මුතුන් මිත්තන් උන් නිදා උන්නු හතර රියන පවා අහිමිවෙලා අඬාවැටෙනවා කියලයි. අපේ මුතුන්මිත්තන් ජීවිත පූජා කරල මේ බිම අපිට උරුම කරල දුන්නට, අපෙන් පස්සෙ පරම්පරාවට මේ බිම උරුම කරල දෙන්න අපිට බැරිවුනා බොලවු. අපි ලැජ්ජා වෙන්නෝනි. උන් කවදා හරි උන්ගෙ මුතුන් මිත්තන් වෙච්ච අපිට සාප කොරයි. ඒ විතරක් නෙවෙයි. මේ වැළලිලා ඉන්න ආත්මයනුත් අපිට සාප කරයි අපි මේ බිම බේර නොගත්තට."

උක්කුවා ආවේගශීලීව කතාකරන විට බණ්ඩා මාමා හොර රහසින්ම නෙතඟට නැඟි කඳුලු බිඳක් පිසදාලනු කිසිවෙකුම නොදුටුවෝය.

"ඊළඟට කියන්නෙත් අපේ ඉදිරි පරපුර ගැනමයි. උන් උන්ගේ උරුමය කොහෙද කිය කිය කෑ ගගහ හොයයි. ඒත් ඒ රන් රුවන් කරඬුවක් වගේ වෙච්ච පිං බිම ඒ වෙනකොට මිහි මතින් අතුගෑවිලා තියෙයි."

"අන්තිමට හැබැයි පුංචි බලාපොරොත්තුවක් ඉතිරි කරනවා. ඒ විතරක් නෙවෙයි, අපේ වගකීම තවම ඉවර නැතිබව කියනවා. අපි තවම පරක්කු නෑ කියල කියනවා."

"කඩා බිඳ දැම්ම වෑ කන්දත්, කටු කම්බි ගහල අල්ල ගත්ත භූමියත්, මේ සේරම විනාස කොරපු මේ වෙල්ලස්සෙ හිස සිඳල දාපු මේ කඩුව බිම දාපල්ලා කියන තර්ජනයෙනුයි සිංදුව ඉවරවෙන්නෙ."

"ඒ කියන්නෙ සටන ඉවර නෑ කියනෙකයි. මේ ගොදුරු බිම අතෑරල පලයල්ලා කියලයි කියන්නෙ."

"ඒනිසා බොලවු අපේ උත්සාහය, සටන අපි කවදාවත් අත්තරින්න නාකයි."

"ඒ විතරක් නෙවෙයි, කපුගේ මහත්තය මේ සින්දුවට සපයපු සංගීතෙත් අරුමයක් තියෙනවා. සටන් ගීත නාද රටාවටයි තනුව හදල තියෙන්නෙ. අනික තමයි උඹල අහල දැකල තියෙනවා නේද පහත රට සාන්ති කර්ම වලදි යක්කු එලවන්න නාද කොරන යක්බෙරේ. ආන්න ඒ යක් බෙරේ නාදය මේ සිංදුවට අරං තියෙනවා. ඒකියන්නෙ රත්න ඉස්කෝලෙ මහත්තයා මේ කියපු කතාව ඇරුනාම කපුගේ මහත්තයා මේ පරදේසක්කාරයෝ යක්කුන්ට සමාන කොරල උන් එලවන යක් බෙර වාදනේ තමා මේ පාවිච්චි කොරල තියෙන්නෙ. මුංට යන්න කියනෙක තමා මේ කියන්නෙ."



"ඔන්න ඕකයි බං මේ සිංදුවේ තේරුම. දැං කාට කාටත් වැටහෙන්න ඇති නොවෑ. ඇත්තටම අපේ යුතුකම වගකීම, අපේ සටන තාම ඉවර නෑ බොලවු. අපි සටන් කරමු. කොහොමහරි මේ හැත්ත එලවල දාල අපේ මුතුන් මිත්තන් අපිට උරුම කරල දුන්න මේ මාලිගාව අපෙන් පස්සෙ පරපුරටත් උරුම කරල දෙමු."

කතාව අහවර කල උක්කුවා හිස් කහට කෝප්පය පිල් කණ්ඩිය මත තබා නැගිට්ටේ නැවුම් බලාපොරොත්තුවක් සිත්හි දරාගෙනය. ඔහුට සවන් දෙමින් සිටි පිරිසද නැවුම් හුස්මකින් ළය පුරවා ගත්තේ තමන්ට ඉතිරිව ඇති රාජකාරිය ගැන යළි යළිත් මෙනෙහි කරමිනි.

තුංමං හන්දියට රාස්සිගේ අවුව වැටෙමින් තිබිණ. පැය කිහිපයකට පෙරාතුව ට්‍රැක්ටර් වල නැගී ෆැක්ටරියට උක් ගස් ප්‍රවාහනය කල පිරිස උක් පිහි සහ හිස බැඳි තුවා දෑතට ගෙන දැඩි වෙහෙසකාරී මුහුණින් යුතුව ගුරුපාර දිගේ පේලියට පැමිණෙමින් සිටියහ.











(Bimbarak Senaga / Wellasse Geethaya - Gunadasa Kapuge)



ගීතයේ ස්වර ප්‍රස්ථාරය



සියලු ඡායාරූප අන්තර්ජාලයෙනි.

විශේෂ ස්තූතිය : ගීතය සඳහා ස්වර ප්‍රස්ථාරයක් සොයා දුන් බ්ලොග් සහෘදයාට..


94 comments:

  1. මට අර සියැටල් වල රතු ඉන්දියානු නායකයගෙ කතාව මතක් උනා.

    ReplyDelete
    Replies
    1. මිහිමඬලේ ගීතය... මං ජීවිතේටම කියවල තියෙන සංවේදීම ලියවිල්ල. ඇත්තටම ඒ කතාව අපේ වෙල්ලස්සටත් පොදුයි මාතලන් අයියේ.

      Delete
  2. ඇත්ත වචන කෝටියකින් වත් කියන්න බැරි දෙයක් හිතට තදින් දැනෙන්න ඒ ගීතයෙන් කියලා තියෙනවා.. පෝස්ට් එක කියෙව්වහම හිතට ලොකු වේදනාවක් දැනුනා අපි ගැනම.

    හුඟක් සාර්ථක පෝස්ට් එකක්..

    ReplyDelete
    Replies
    1. ඔව් තුශානි ඔබ හරි. ඇත්තටම අපි අපි ගැනම පසුතැවෙන්නෝනි. කතාව මෙතනින් ඉවර නෑ. උන් අපේ බිම උදුර ගන්න වරින් වර එක එක වෙස් මූණු දාගෙන එනවා.

      Delete
  3. හරිම සාර්ථක නිර්මාණයක් මනෝෂ්........

    ඔබගේ මේ නිර්මාණයක් එක්ක අපිට පේන තවත් දෙයක් තියෙනවා. ඒ ඔබ සතුව ඇති නවකතා සහ කෙටිකතා ලිවීමේ හැකියාවයි... මෙවැනි නිර්මාණයක් පසුබිම් කොට ගෙන ඔබ විසින් ගොඩනගන කතාව ඔබ තුළ ඇති ඒ හැකියාව පැහැදිලිව පෙන්නනවා.. අපි හිතනවා ඔබ ඒ පැත්තටත් අත ගැහුවොත් හොදයි කියලා. ඒක ඔබ හිතන හොද විදිහකට පටන් ගන්න. ඔබ විසින් මෙවැනි නිර්මාණ කාර්යයක් වෙනුවෙන් කාලය සහ ශ්‍රමය වැය කරන එක එවැනි මාර්ගයන් ඔස්සේ මීට වඩා ඵලදායි තැනකට ඔබව ගෙනයාවි... ඉතින් ගීත විචාරයන් සමග ම එම නිර්මාණ කාර්යය ගැනත් හිතුවොත් මොකද කියලා අපි ඔබට ආරාධනා කරනවා...

    මේ ගීතය ගැන කිවුවාම මනෝෂ් මට රත්න ශ්‍රී ගේ වචන එක්ක එකතු වුණ කපුගේ ගේ හඩ කොයිතරම් සාර්ථකයි ද කියලා කියන්න වචන නෑ... මේ මං ප්‍රියතම ගීතයක්. ඒ වගේ ම මේ ගීතයෙන් දැනෙන ජාතිකානුරාගී හැගීම මෑතක ලියපු ආවඩන ගීත වලට වඩා කොයිතරම් හෘදයාංගම ද මනෝෂ්.....................

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගී පවුරෙ මං ගීත රසවිඳින්නත් කලින් තමා කෙටිකතා සහ නවකතාවලට පෙම් බඳින්න පටන්ගත්තෙ. ඒ වගේම නවකතා ලියන එකත් මං කාලයක් කලා. පුංචි කාලෙ ඔය ඇඩ්වෙන්චර් ටයිප් එකේ කතා හරි ආසාවෙන්නෙ කියෙව්වෙ. මං ඒ කාලෙ පොඩි කතා දෙකතුනකුත් ලිව්වා. ඒව තාම මගේ පරණ පොත් අස්සෙ තියෙනවා. එකක් ලිව්වා සක්වල දූපත කියල, තව එකක් ලිව්ව වැව් පතුලේ අභිරහස කියලා, ඊළඟට බාගෙට ලියල නතරකලා රාවණා පොකුණ කියල එකකුත්. ඒ නිසා කෙටිකතා නවකතා ලියන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. කාල වෙලාව සහ අවස්ථාව ලැබෙන විදියට අපි යමක් කරන්න බලමු ගී පවුරේ. ගී පවුරෙ හයිය , දහිරිය තියෙනකල් මොනවද කරන්න බැරි.

      කපුගේ රත්න ශ්‍රී සුසංයෝගය ගැනනම් ඉතින් කතාකරන්න පෝස්ට් සීයක් දැම්මත් මදි කුරුටු. ආලවඩන ගීත කලාවෙන් ඔබ්බට සිංහල සරල ගීය අරන් ගියේ මේ දෙපලනෙ. සමාජෙ මොන කොටසටද මේ දෙදෙනා ගීතයක් නොගෙයුවේ. කරණවෑමීන් ගැන්, සන්නාලියන් ගැන, රෙදි සෝදන ලියන් ගැන, පොල් ලෙලි, තුලින් යෙදෙන කර්මාන්තයක නියැලෙන අය ගැන, පෙදරේරුවන් ගැන. තව කොච්චරනම් දේ ගැන ලිව්වද. මේක තමයි සැබෑම ගේය පද රචකයෙකුගේ සැබෑම සමාජ මෙහෙවර.

      Delete
    2. ඇත්ත මනෝෂ්....

      කරගල ගගා එන්න
      ලෙලි තලන ඔය අතට රන් මුදුව බර වැඩිද දෝණි
      අහස උසට නැග ගියාට
      දියාලුවෝ
      වැරහැලි ඇද අඩු කුලියට සළු මැසුව කුමාරි
      මාරියාවේ
      දවසේ කරදර කරඋඩ
      නිර්මලා

      තව කොච්චරක් නම් මේ ලිස්ට් එක දිග් කරන්න පුළුවන් ද මනෝෂ්...

      ඇත්තට ම ගායකයෙක්ගේ සමාජ වගකීම මැනැවින් ඉටු කරපු කෙනෙක් තමයි කපුගේ.. හැම ආරකම සහ සමාජයේ ඇස නොගැටෙන හැම පැත්තක්ම ස්පර්ශ කරපු ගායකයෙක්.. සාමාන්‍ය මිනිස්සුත් එක්ක ජීවත් වුණ පොළවේ පය ගහපු මිනිහෙක්. මේ වගේ ගායකයෝ අද නැති තරම්.. ඇල්බම් පිරෙන්න මල් ගැන ආදර ගීත කියන ටොයිස් ගායකයන්ට සහ ගේය පද නොවන රචනා කරන අයට මේ දේවල් ඉගෙන ගන්න වටිනවා මනෝෂ්.............

      Delete
    3. සහතික ඇත්ත ගී පවුරේ.. ඇත්තටම මේ ගැන කතාකාරන්න කොච්චරක්නම් තියෙනවද. මං අහල තියෙනවා කපුගේ වරක් කිව්වලු, තමන් ගායනා කරපු ප්‍රේම ගීත ගැන තමන් පසුතැවෙනවා කියලා. ඒ ගීත ටික වෙනුවට සමාජෙයේ දුක ගැන තව වැඩිපුර දෙයක් ගායනාකරන්න තිබ්බලු. කොටින්ම ඇතැම් ගුවන් විදුලි නාලිකාවලින් ඔහු ඉල්ලුවලු ඒ ප්‍රේම ගීත ප්‍රචාරය කරන්න එපා කියලත්. මේක මං මාධ්‍ය සාකච්ඡාවකින් අහපු දෙයක්.

      ඇත්තටම වර්ථමානය ගැනනම් හරිම කණගාටුයි කුරුටු. කපුගේ කරපු සමාජ මෙහෙවර එතනින් එහාට කවුරුවත් අරන් ගියේ නෑ. කපුගේ අපිව දාල ගියාට පස්සෙ හැමෝම කර ඇරියා. එතෙක් කපුගේ වගේම ඒ ගැන ගීත ගයපු අයත් නිහඬ උනා. අද නන්දා මාලිනි නිහඬයි. සුනිල් එදිරිසිංහයන් නිහඬයි. වික්ටර් රත්නායකයන් නිහඬයි. දිවුල්ගනේ ගැන කතාකරන්න දෙයක් ඉතිරිවෙලාම නෑ. අපිට අන්තිමට ඉතිරි උනේ කපුගේගෙ සිංදු ටික විතරයි. ඒ ටික හරි පරිස්සමින් සමාජය තුල රැඳී තිබෙනවානම්..

      Delete
    4. \\ආවඩන ගීත//

      ඇත්තටම මං මේක මුලින් දැක්කෙ "ආලවඩන" කියලනෙ කුරුටු. ඔබ යොදපු නමනම් කදිමයි. ඇත්තටම "ආයුබෝවන් මහරජාණෙනි" කියනවට වඩා කොච්චරනම් උතුම්ද මේ වගේ ගීතයන්.. මේ කියන්නෙ අපේම කතාවනේ.

      Delete
  4. ගීතය නැතිව කථාව විතරක් තිබ්බනං කෙටිකථාවක් කියල හිතෙනවා.. අැත්තටම සුපිරියි මනොෂ්.. ඔබගේ කෙටි කථා ලිවීමේ හැකියාව ඉහලයි..
    මේ ගීයට අද කාලේ අය අඩි පොලවේ හප්පලා නටනව අැර වෙනදෙයක් කරන් නෑ.. මිනිස්සු හිතන් නෑ මේ (හිතන්න හිතන් නෑ) මේ තියෙන්නේ ජාතියේම පරාජයේ ගීය කියලා...

    මිනීමල් පිපුණු සීතල නිම්න භූමියේ අැටකටු..
    හතර රියන් කඩ අහිමිව විලාපය නගයි..


    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. මේකත් එක ආකාරයක නව යටත්විජිතකරණයක් තමයි විදානේ.. අපේ රටේ තියෙන සරුසරා පොළව උක්වලින් හූරාගෙන කෑවට පස්සේ වතුර කළඳක් අහිමි පොළවේ සරුසාරකම මිය යනවා.. ඌව වෙල්ලස්ස කියන්නේ කුඹුරු අස්වද්දපු, වතුර වලින් අඩුවක් නැති, මනෝෂ් කියනවා වගේ බෙහෙත් පැලෑටි වලින් ගහණ පළාතක් තමයි. නමුත් මේ හූරාගෙන කන්න යන්නේ ඒ සශ්‍රීකත්වය කියලා ඔවුන්ට නොතේරෙන හැටි. මේ තුළින් නැති වෙන්නේ අපේ මහපොළවේ තියෙන සරුසාර කම කියලා උන්ට නොතේරෙන හැටි.......

      Delete
    2. සිරාවටම බොල මාත් මුල් ටික කියවත්දි හිතුවෙ කෙටිකතාවක් කියලමයි.

      Delete
    3. විදානේ,

      අපේ එවුන් ගැනම ලියපු මේ ගීතය අහල අපේ යුතුකම ගැන හදවතට එක දසමෙක දෙයක් දාගන්නැතිව අපේම උන්, මේ වෙල්ලස්සෙම උන් අද මේ ගීතය ප්‍රසංග වේදිකාවක හරි මොකක් හරි පාටියකදි හරි ඇහෙනකොට සරම කරට අරන් නටනවා. ඇත්තටම හිතට පුදුම දුකක් කලකිරීමක් ඇතිවෙනවා එතකොට. අපේ මිනිස්සුන්ට කවදා නුවණ පෑදෙයිද..

      Delete
    4. ගී පවුරේ,

      ගී පවුර ඔය කියන කාරණේ වෙල්ලස්සෙ මිනිස්සු අද ඇත්තටම අත්විඳිනවා. ප්‍රබල ජන විරෝධයක් මැද එදා හිටපු පාලකයො උක් කොම්පැනිය දාන්න අවසර දුන්නා. අක්කර සිය ගානක් වෙල්ලස්සෙ වනාන්තරය මුලිනුපුටලා දැම්මා. අද තියෙන්නෙ එදා තිබ්බ මාදුරු ඔය නෙවෙයි. එදා හෑපොල දෑල අද නෑ. හුලංදා ඔය එදාවගේ සරු නෑ. ඒ සාරය ඔක්කොම දැන් පිටරටවල.

      සමහරවිට ගී පවුර දන්නවත් ඇති. එදා උන්ට දුන්නෙ ඉල්ලපු ඉඩමෙන් භාගයයි. 1818 කැරැල්ලට අවුරුදු දෙසීයක් පිරෙනකොට ආයෙත් සුද්දා වෙල්ලස්සට ආව. ආවේ එදා ආව නමෙන් නෙවෙයි. බූකර්ටේට් කියල වෙන කොම්පැනියක නමෙන්. ආයෙත් අපේ ඉඩම් ටික ඉල්ලුවා. ආණ්ඩුවෙන් දෙන්න ගියේ. ඒත් ආයෙත් ජන විරෝධයක් ආවා. සමන්ත විද්‍යාරත්න පාර්ලිමේන්තුවේ පැය දෙකක් කතාකලා. කරුණු කාරනා තේරුම් කලා. ආණ්ඩුවේම බොහෝදෙනා ඔහුට පක්ෂ උනා. පනත ආයෙ අකුල ගත්තා. ඒත් තාවකාලිකව. මං දන්නවා උන් කොහොමහරි ඉතිරි ටිකත් අල්ලගන්නවා.

      මේ පාර උන් කිට්ටු කලේ හරියටම වෙල්ලස්සෙ හදවතට. නිල්ගල රක්ශිතේට. උන්ගෙම පරීක්ශණ වාර්ථාවල තියෙනවලු ඒ බිම් කඩේ තියෙන ජල සම්පත ගැන. භූගත ගංගා ගලා බහිනවලු. ලංකාවෙ හොඳම ජල පෝශක කලාපයක්ලු. 2007 උන් ආවෙ. ඒත් යන්න උනා. ඒත් තාම උන් කැසකවනවා. වෙල්ලස්ස සහරාවක් වෙනකල් සුද්දා උගේ සටන අත්තරින්නෙ නෑ කුරුටු.

      Delete
    5. ප්‍රියේ,

      මේක ගෙනාවෙ උඹටමයි. ඔන්න ගීතයත් තියෙනවා, විචාරයත් තියෙනවා, කතාවකුත් තියෙනවා, ඒ විතරක් නෙවෙයි උඹ කැමතිම නිධාන කතාවත් තියෙනවා.

      Delete
    6. සිරාවටම සතුටුයි මචං. ඒ ඉල්ලීම ඉටු කරාට. අනික ස්තූතියි දැවැන්තයින් දෙන්නෙක්ගෙ බොක්කටම වදින සින්දුවකින්ම ඒක පටන් ගත්තට.

      Delete
    7. මගේ බ්ලොග් එකටත් අද දැවැන්ත දවසක් මචං..

      Delete
  5. හැගුම්බර තවත් කතාවක් රැගත් ගීතයක් තමයි "මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික සුදු බන්ඩි මගේ නිදන් ඉන්න ඉඩම මනිනවද " රත්න ශ්‍රී ගෙම ගීතයක් , ඒකෙනුත් හොඳ කතාවක් ලියන්න පුළුවන් වෙයි

    ReplyDelete
    Replies
    1. ඉවාන් අයියේ දැනටමත් ඒක මං ලියල තියෙන්නෙ. ඔයාට ඒක මඟ ඇරිලා වගේ. මෙන්න මෙතනින් ගිහින් බලන්නකෝ..

      Delete
    2. සමාවෙන්න ඕනේ ,මට එක මග ඇරිලා . ඒක නියමයි ,මේක නියමාආආආආයි

      Delete
    3. ඔන්න ඔ‍ය පෝස්ට් එකෙන් දැක්කට පස්සෙ තමා මාත් මූට බල කලේ කතා ලියපිය කියලා.

      Delete
    4. ඉවාන් .. පෝය දවස හින්දා බේරුනා කියල හිතාගං ඈ !!!

      Delete
    5. ඉවාන්,

      සමා කුමට, සුලු අතපසුවීමක්නෙ, ඒකත් කියෙව්වනේ.

      \\ඒක නියමයි ,මේක නියමාආආආආයි//

      ඒක මරු!

      Delete
    6. ප්‍රියෝ,

      ඒකනෙ මචං මං ලෝබ නැතිව හැමවෙලේම කියන්නෙ මාව මෙතනට ගෙනාවෙ උඹල කියලා. ගීත විචාර ගැන ලිව්වට මොකද, ඇත්තටම ගීත විචාරයක් කියන්නෙ මොකක්ද කියල මට කියල දුන්නෙ උඹල.

      Delete
    7. පත්තරයෝ,

      උඹනම් සිරාම බොක්කක් මචං.

      Delete
  6. මේක තමයි මනෝෂ් ගෙන් දැකපු හොඳම ලිපිය.. වචන ටික කොච්චර හදවතට දැනුනද කිව්වොත් මං ආපහු සින්දුව ඇහුවා.
    වෙල්ලස්සෙ තර්ජනාත්මක විලාපය..
    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ඒ විලාපයෙන් වැඩක් ගන්න වෙල්ලස්සෙ එවුන්ට උවමනාවක් නෑ මචෝ දැන්. ගොඩක්ම මහන්සියෙන් ලිව්වෙත් මේක තමයි බං.

      ඔය විදියට ගීතය හැමෝගෙම හදවතට දැනෙනවා නම්..

      Delete
  7. උඹ මේකට වෙලා තියෙන මහනිසිය දැක්කාම මොනා කියන්නද කියල හිතාගන්න බෑ...
    ඇත්තට අපේ පිට කොන්ද බිදින්න උදව් දෙන්නෙ අපිම පත් කරල යවපු ටෙද්ශපාලුවො ටික... ඒවටම තවත් උල් පංදම් දෙන අපේම උං ඉන්න කං ඕ වගේ විලාප කීයක් නංඇහෙයිද...

    රත්න ශ්‍රී මේක දැක්කනං උඹව හොයං එයි මචෝ...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචං. මේ රට හැමදාමත් කෑවෙ දේශපාලුවෝ. වෙන රටවල් වල දේශපාලකයන් වෙන රටකට ඇරල හරි උන්ගෙ රට ගොඩදාගන්නවා. මේ කතාවෙ වෙන්නෙත් ඒකමනේ. ඒත් අපේ රටේ උන් අපේ රටේම මිනිස්සුන්ට ඇරල උන් ගොඩයනවා.

      රත්න ශ්‍රී සර්ව හම්බෙන්න යන්න මට ලොකු ආසාවක් තියෙනවා මචං.

      Delete
  8. මාතලන්ගේ පාර පෙන්නිල්ල දිගේ ආවේ .......... නිවාඩුවේ ලිපිය කියවන්නම් පස්සේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතිය් ආවට. ඉතාම ආදරයෙන් පිළිගන්නවා. විවේකයක් ඇතොත් ඇවිත් කියවන්න. ඒ පැත්තටත් එන්නෝනි.

      Delete
  9. මාතලන් අයියන්ඞිතමයි පාර කිව්වෙි.
    හිතට දැනුනා. ලියවිල්ල උපරිමයි.
    තවත් සදරෑ කෙනෙක් යන හැදින්විමට වටිනාකමක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. ඔයාවත් ඉතාම සාදරයෙන් පිළිගන්නවා. ගොඩක් ස්තූතියි ආවට.

      ඒ හැඳින්වීම ඇත්තටම ලොකු වගකීමක්. ඒ හැඳින්වීම වෙනුවෙන් මට හැකි උපරිමය කරන්න පොරොන්දුවෙනවා. සඳරුගේ බ්ලොග් එක හීනයක් මට.

      Delete
  10. කියවන කනාගේ හදවතටම දැනෙන විදියට ලියල තියෙනවා. කතාව කියවන අපිත් වෙල්ලස්ස රැකගැනීමේ සටනේ හවුල්කාරයෝ උනා වගේ හැගීමක් දැනුනා.

    මාතලන් කියපු මග සලකුණු දෙගේ ආවේ.සියැටල් ගේ වගේ ලිපියක් ඇති කියල හිතාගෙන තමයි ගොඩ වැදුනේ. එත් ඊට ගොඩක් වෙනස් නමුත් ඒ හැගීම හිතට දැනෙන විදියට ලියල තියෙන නිර්මාණයක්.
    අනිවාර්යයෙන්ම ආපහු එන්නම්.
    සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. මාත් වෙල්ලස්සෙ එකෙක් නිසා වෙන්නැති මට නිරායාසෙන් මේ ටික ලියවුනා. ඔයාලගේ හදවතට මේ කම්පනය එතරම්ම ස්ම්ප්‍රේශණය කරන්න මට හැකි වෙච්ච එක මේ ලිවීමෙන් මං ලබපු ලොකු ජයග්‍රහනයක්. ඉතාම ස්තූතියි ආවට.

      අනිවාරෙන්ම පුලු පුලුවන් වෙලාවල ගොඩවෙලා යන්න. ඉතාම ආදරයෙන් පිලිගන්නවා.

      Delete
    2. වෙල්ලස්ස සහ මකර කොඩිය අතර තියන සම්බන්ධය මොකද්ද....? මනෝ.......

      Delete
    3. නිහිංසා, මේ දාල තියෙන්නෙ ඌවෙ පළාත් කොඩිය. ඔය ඉන්නෙ බේරුණ්ඩ පක්ෂියා.

      Delete
    4. ඔය ඉන්නේ බේරුණ්ඩ පක්ෂියා නෙමෙයි නේද මචං , අර සබරගමු කොඩියේ ඉන්න ඔලු දෙකේ කුරුල්ලද කොහෙද බේරුණ්ඩ පක්ෂියා

      හරියටම ෂුවර් නැ එහෙමද කොහෙද

      Delete
    5. සියදහස් වාරයක් සමාවෙන්නෝනි වෙච්ච වැරැද්දට. මේ ඌව කොඩියෙ ඉන්නෙ බේරුණ්ඩ පක්ෂියා නෙවෙයි. මේකෙ ඉන්නෙ හංසයා. දන්න කියන අයගෙන් අහල හරියටම තහවුරු කරගත්තා.

      අටම් අයියේ ඔයා කීව හරි. බේරුණ්ඩ පක්ෂියා කියන්නෙ ඔලු දෙකක් තියෙන රූපෙ. මේක මතක් කරල නිවැරදිකරල දුන්නට අටම් අයියට අනේක වාරයක් පිං.

      Delete
  11. ඔන්න මලේ මාතලන්ගෙන් පාර අහගෙන සැට් එකම බැහල ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. මාතලන් අයියට පිං දෙන්න වචන නෑ මං ළඟ. සෙට් එකම බොක්කෙන්ම, එකෙන්ම, උඩින්ම පිළිගන්නවා.

      Delete
    2. ඕ යේස්.. සැට් එකට සලකන්ඩ කේස් දෙකක්ම ගෙනත් තියෙන්නේ.. හැන්දෑවට සමරමු පොරි හැලෙන්ඩ !!!

      Delete
    3. යකෝ පෝය දවසෙ බෝතලයක් දෙකක් හොයා ගන්ඩත් නැති එකේ උඹ කේස් දෙකක්ම හොයා ගත්තෙ කොහෙන්ද බං? :o

      මේ ඔක්කොටම කලින් හපන්න තියෙන්නෙ මොනවද කියපිය. :)

      Delete
    4. ස්පෙෂල් ඉතාලි වයින් මචං. හපන්න තියෙන්නෙ දත්මිටි!!

      Delete
  12. සිරාවටම කතාව සාර්ථකයි බං. මට මුල් ටිකේ හිතුනෙ කෙටි කතාවක් කියලා.

    ඒ කාලෙ ඉදන්ම ඔය ගීතය ඇහැත්දි මහ අමුතු හැඟීමක් දැනෙන්නෙ බං. ඒත් ඔය පිටි පස්සෙ ඔච්චර ලොකු කතාවක් තියෙනවා කියලා දැනුනෙ අදයි. ආයෙත් මේ සින්දුව කොහෙදි ඇහුවත් උඹවයි මේ පෝස්ට් එකයි අනිවාර්‍යෙන් මතක් වෙයි.

    ඇත්තටම වචන කෝටියකින් කියන්න බැ‍රි කතාව රත්න ශ්‍රී‍යන් අපූරුවට ගීයකට නැඟුවා. ඒ වගේම විචාර ගණනාවකින් කල නොහැකි සිද්ධියක් උඹ ලස්සනට කතාවකට ගොනු කලා.………………

    සුබ පැතුම් මනෝ…………

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රියා, සිංදුව පුංචිම කාලෙ ඉඳලම මාත් ඇහුවා. කතාවත් දැනන් හිටියා. ඒත් කතාව රත්න ශ්‍රී සර්ගෙ හඬින්ම අහනකල් මෙහෙම කාටවත් කියන්න හිතුනෙ නෑ. මේක වෙල්ලස්සට විතරක් නෙවෙයි, අපේ මුලු රටටම පොදුයි.

      හදවතින්ම සුබපතන උඹලව මට මහමෙරක්.

      Delete
    2. ප්‍රියෝ.
      ///ආයෙත් මේ සින්දුව කොහෙදි ඇහුවත් උඹවයි මේ පෝස්ට් එකයි අනිවාර්‍යෙන් මතක් වෙයි.///

      මොනාද කියන්නෙ බං ඒකනම් බුදු ෂුවර් !!!

      Delete
    3. උඹල මේ කියන දේවල් ඇති මට ජීවිත කාලෙටම උඹලව මතක හිටින්න.

      Delete
    4. පත්තරේ, ඒකෙ ආයෙ දෙකක් නෑ. අනිවා, ඩෙෆා.

      Delete
    5. පට්ටම සතුටුයි මචං. සත්තයි කියාගන්න බෑ.

      Delete
  13. සුන්දර නිර්මාණයක් ගැන තවත් සුන්දර නිර්මාණයක් , සුබ පතමි ඔබේ නිර්මාණශීලී කාර්යය වෙනුවෙන්
    (පැමිණියේ මාතලන්ගේ බ්ලොග් එකේ දැනුවත් කිරීමෙන් , ස්තුතිය මාතලන්ටත්)

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම සුන්දර අදහසක් ඔබ කියල තියෙන්නෙ. ඉතාම ආදරයෙන් පිළිගන්නවා. ගොඩක්ම ස්තූතියි.

      මාතලන් අයියටත් කියාගන්න බැරිතරම් ස්තූතියි.

      Delete
  14. මේ සින්දුවට පදනම් වෙච්ච කතාව දන ගත්තේ අද ... බොහොම ස්තුතියි . ඔබගේ සටහනත් හරිම රසවත් .. හිතන්න බොහෝ දේවල් තියෙන කතාවක්. රැල්ලට නොගොස් ඔබේ විදියට දිගටම මේ බ්ලොග් එක ලියාගෙන යන්න ..

    ReplyDelete
    Replies
    1. මං ලියපු දෙයින්, ඔබ අලුත් අත්දැකීමක් ලැබුවනම්, ඒ මගේ ලිවීමේ අරමුණ සඵල වීමක්. ආවෙ හෙමින් ගමනක් ඉවසීමෙන්. ඒ ගමනම මට ආශිර්වාදයක් උනා. මේ මගේ ශෛලිය. අනිවාරෙන් ඔබේ උපදෙස හැමදාමත් හිතේ තියාගන්නවා.

      ඉතාම ස්තූතියි. සාදරයෙන් පිලිගන්නවා.

      Delete
  15. ලස්සනයි කතාව..... මට හිතෙන්නේ මනෝෂ් වෙල්ලස්ස නියෝජනයක් කියල......

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම.. මාත් වෙල්ලස්සෙම එකෙක්නෙ.

      Delete
  16. කපුගේ රත්න ශ්‍රී ගේ ගේය පද වලට උපරිම සාධාරණයක් ඉෂ්ට කරා මචං.. උඹත් උඹට පුලුවන් උපරිමය වෙනත් විදියකින් කලා.. අප්‍රමාණ සංතෝෂයි බොක්කෝ අප්‍රමාණ සංතෝෂයි.. !!

    උඹේ සංවේදි ලියවිල්ලට ඉත සිතින් සුභ පතනවා මස්සිනා !!!

    ReplyDelete
    Replies
    1. සියලු ශක්තිය දාල ලිව්වෙ මචෝ.. ඒකෙ අග්‍රඵලය උඹේ මේ කමෙන්ට් එකෙන්ම පේනවා. මං අද වෙන කවදාකටත් වඩා සතුටු වෙනවා මචං. මට රිප්ල්යි කරල ඉවර කරන්න බැරිතරම් කමෙන්ට්ස් එනවා. මං අද ලබන සතුටෙ, තෘප්තියේ බාගෙකටත් වඩා උඹටත් අයිතියි මචං. උඹ හෙවනැල්ල වගේ පස්සෙන් හිටියා.

      මීට වඩා කිව්වොත් උඹෙන් සුන්දර බැනුම් පාරක් අහගන්න පුලුවන්. ඒ නිසා නවතිනවා කොල්ලෝ..

      Delete
    2. @$@@#& %@%#*$ @*&#% ¢¡¢'@%@:> >£÷×´.... !!!!!!

      Delete
    3. ඕ යේස්!! ඔය තියෙන්නෙ මං කිව්ව විදියටම!!
      උඹනම් මරු බං.

      Delete
  17. මේ සටහන ගැන අදහසක් නොව්. මේ සිද්ධියට අදාළව ගත් කල තවත් අමතක කළ නොහැකි නමක් ඇත ඒ කපිල කුමාර කාලිංග. මතක ඇතිනේ උක්දඩු ගින්න. එදා ඒ සටන් බිම තුළ කපුගේ බිම වාඩි වි සර්පිනාව වයමින් ගි ගැයුවා. කපිලලා තම තමන්ට හැකි පමණනි් දේ කළා. අපිත් ඒ අසලම උන්නා. ඒ ඔක්කොටම වඩා වටිනවා ඔබේ මේ නව නැම්මකින් ලැයැවුණු සටහන.

    ReplyDelete
    Replies
    1. එතුමන් ගැන මං ටිකක් අහල තියෙනවා නලීන් අයියේ. ඇත්තටම මේ සිද්ධියට ඉතාම සමීපව ඔයාල ඉඳල තියෙනවා. අපි වෙනුවෙන් ඒ මතකය පෝස්ට් එකකින් අයියගේ බ්ලොග් එකේ ආයෙ අලුත් කලොත් හොඳ නැත්ද? මේක ඉල්ලීමක්..අපි වෙනුවෙන්..

      Delete
  18. පත්තර මල්ලිගේ මගපෙන්වීම යටතේ තමයි මේ පැත්තට ආවේ. බ්ලොග් එක ලෝඩ් වෙන්න ටික වෙලාවක් ගියා මොකද දන්නේ නැහැ.

    කලාකාරයෝ කියන්නේ කාටවත් ජැක් ගහන අය නොවෙයි කියන එක සනාථ කෙරෙන හොඳ උදාහරණයක් මේ ලිපිය. කලාකාරයෝ නිල් රතු කොළ නෙවෙයි. උන් පොදු මහජනතාවගේ පාටයි, මහජනතාවගේ සුවඳයි, උන්ගේ හිතේ දුවන්නේ මහජනතාවගේ හැඟීම්. මිනිස්සුන්ට කියාගන්න බැරි දේවල් උන් ලෝකෙටම කියනවා. අන්න අන්න අපේ හඬ කියලා මිනිස්සු බොහොම හොඳින් තේරුම්ගන්නවා. මිනිස්සු තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානය කිරීම සඳහා, එක ගීතයකට, එක කවියකට, කරන්න පුළුවන් මෙහෙවර මෙතෙකැයි කියන්න බැහැ. මේ වගේ සර්වකාලීන ගීත රචකයෝ, සර්වකාලීන ගායක ගායිකාවෝ, එකිනෙකා වියැකී යනවිට, අපි කලයුත්තේ ඔවුන්ගේ සංකල්පනා, ඔවුන්ගේ හඬ මිනිස්සුන්ගේ මතකයෙන් ඈත්වන්නට ඉඩ නොදී රැකගැනීමයි.

    එවන්වූ ඔබේ මේ උත්සාහයට මාගේ තුති පැසසුම් පිරිනමනවා.

    ReplyDelete
    Replies
    1. මේ සටහන් බ්ලොග් ලෝකෙට අරං යන්න පත්තර මල්ලී පුදුමාකාර වෙහෙසක් ගන්නවා. අපේ විචාරකතුමා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිලිගන්නවා මං. පේජ් එක ලෝඩ්වෙන්න ගොඩක්වෙලා ගියේ නම් ඇයිද මංදා. තෙවනි පාර්ශ්වීය එච්.ටී.එම්.එල් කෝඩ්ස්වත් මොකුත් දාලනම් නෑ.

      ඇත්තටම විචාරකතුමනි ඔබතුමා කියනවා වගේ කලාකරුවෙක් කියන්නෙ කිසිසේත්ම ප්‍රශස්ති ගායනා කලයුතු අයෙක් නෙවෙයි, කලාකරුවො බිහිවෙන්නෝනි මිනිස්සු අතරින්. කලා කරුවා මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න මිනිස්සුත් එක්ක එකට පොලොවෙ පයගහල ඉන්න කෙනෙක් වෙන්නෝනි.
      කලාකරුවෙක්ට පුලුවන් ජනතාව පෙළෙන දුක, ජනතාවගේ ප්‍රශ්න වඩා සංවේදීව පාලකයන්ට පෙන්නා දෙන්න. ඒ වගේම කලා කරුවෙක් හැම විටම ජනතාව මුලාවෙන් මුදවන්, ජනතාවගේ දෑස් විවර කරන, ඔවුන්ව සුරංගනා ලෝකවල අතරමං නොකරන අයෙකු විය යුතුයි. මේ දෙපලම එවැනි දුර්ලභ ගනයේ කලාකරුවන්. එහෙම අය හරි ටිකයි හිටියෙ ලංකාවට. ඒත් අවාසනාවකට කපුගේගෙන් පස්සේ ඒ ගමන ඉදිරියට ගෙනයෑමේ වගකීම කවුරුවත් නිසියාකාරව බාරගත්තෙ නෑ.

      මං මීට උඩිනුත් කියල තියෙනවා වගේ අද නන්දා මාලිනි නිහඬයි. සුනිල් එදිරිසිංහයන් නිහඬයි. වික්ටර් රත්නායකයන් නිහඬයි. දිවුල්ගනේ ගැන කතාකරන්න දෙයක් ඉතිරිවෙලාම නෑ. අපිට අන්තිමට ඉතිරි උනේ කපුගේගෙ සිංදු ටික විතරයි.

      ගීතයකට පුලුවන් සමාජයක් සහමුලින්ම වෙනස් කරන්න. මිනිස්සු හිතන විදිය වෙනස් කරන්න ගීතයකට පුලුවන්. ඒක මං ඉතාම දැඩිව විස්වාස කරන දෙයක්. ඒ නිසා, ඔබතුමා කියනවා වගේම සමාජයෙන් වහං වෙලා යන, නමුත් සමාජය තුල ඉහලින්ම තිබිය යුතු මෙවන් ගීත නිරතුරුවම සමාජය තුල යාවත්කාලීන කිරීමට අපිට හැකි හැමදේම හැකි උපරිමයෙන් අපි කරන්නෝනි.

      ඉතාම ස්තූතියි විචාරකයෙනි මේ පැත්තට ආවටත්, වටිනා අදහසක් එකතුකලාටත්.

      Delete
    2. //කාරයෝ නිල් රතු කොළ නෙවෙයි. උන් පොදු මහජනතාවගේ පාටයි, මහජනතාවගේ සුවඳයි, උන්ගේ හිතේ දුවන්නේ මහජනතාවගේ හැඟීම්. මිනිස්සුන්ට කියාගන්න බැරි දේවල් උන් ලෝකෙටම කියනවා.//

      ඔබතුමා සමඟ සම්පූර්ණයෙන්ම එකඟයි..දෑත් ශක්තිමත් කිරීමට වඩා ඔවුන්ට සමාජ වගකීමක් තියනවා..ගීයකින් කවියකින් කලාකෘතියකින් කලහැකි දේ බොහොමයි..

      Delete
    3. \\දෑත් ශක්තිමත් කිරීමට වඩා ඔවුන්ට සමාජ වගකීමක් තියනවා//

      අර කිව්වත් වගේ ඔන්න ඔච්චරයි.

      Delete
  19. දන්නැ කියන්න ලැජ්ජ වුනත්,චුට්ටක්වත් දන්නැති දෙයක් ගැන ගොඩාක් දේවල් දැනගත්තා.ස්තුතියි .
    අනේ අපේ බ්ලොග් පැත්තේ නැවිදින් හරි මේ වගේ ඒවා ලියන්න..

    ReplyDelete
    Replies
    1. මල්මීගේ මං කැමතිම දෙයක් තමයි හිතේ බඩේ හංගං ඉන්නැතිව මෙන්න මෙහෙම කතාකරනෙක.

      අනේ අනේ මල්මියෝ.. ඒ පැත්තෙ නෑවිදින් කොහොමැයි.

      Delete
  20. මාතලන් සින්ඩිය හරහා ආවේ, ඔයාගේ මීට කලින් ලිපි දෙකක් විතර තමයි කියෝලා තිබ්බේ,, මේ සංවේදී ලියවිල්ල තමයි මාත් ආසම කරන්නේ, ඒ වගේම කියෝගෙන ආවේ කතාවක් වගේ ,ඔයාගේ ලිපිය කියෝලා සින්දුව අහද්දී ඒකෙ අමුතු රසයක් දැනුණා ස්තුති

    ReplyDelete
    Replies
    1. මටත් මතකයි ඔයා මගේ පෝස්ට් එකකට හෝ දෙකකට අදහස් පළකලා කියලා. මමනම් ඒ පැත්තෙ යාවජීව සාමාජිකයෙක්. නිතර එනවා. ඔබට දැනුනු රසය මට දැනුනෙත් ඔය විදියටමයි. ඒ රසය ඔයාලත් එක්ක බෙදාගන්න ගත්ත් උත්සාහයක ප්‍රතිපලය තමයි මේ. ගොඩක්ම ස්තූතියි ආවටත් අදහසක් එකතුකලාටත්.

      Delete
  21. මනෝ මුලින්ම මට පොඩි සතුටක් තියෙනවා උඹ මෙක ලිව්ව එක ගැන ,මං මෙක සැහෙන කාලයක ඉදන් ලියන්න හිතේ තද කරන් හිටපු දෙයක් ,උඹේ මතකේ හරි නම් මතක් කරලා බලපන් මං උඹේන් මෙක ලියන්න කියලා ඉල්ලුවා තව ගීතයක් එක්ක එකත් මට පස්සෙ මතක් වුණා ,මගේ ගාව සැහෙන කරුණු තියෙනවා ඔය දේ ගැන මං හිතන්නෙ උඹ මෙක ගැන දැසින් දැක්ක,වින්ද එකෙක් නම් නෙවෙයි (කිව්වට තරහ වෙන්ඩ එපා,මේ කියන්නෙ ඒ කාලේ ඉපදිලා හිටපු කතාවක් නෙවෙයි ) උණේ මොකක්ද කියලා උඹ හරියටම දන්නෙ නෑ කියලා හිතුණා(මම දන්නෙත් ඔය සටන කරපු මිනිස්සු කියන කතා තමා වැඩිපුර ) සමහර තැන් වල දි මේ දේවල් වල විපාක අද ඉපදෙන පොඩි උනුත් විදිනවා එ දේවල් මොනවද කියලා අහලා වැඩක් නෑ මං හිතන්නෙ ,
    මං නම් අහලා නෑ රත්න ශ්‍රි මේ සටන් වලට මෙහෙම සම්බන්ධ වුනා කියලා.....

    මං මේ ගැන කතා දෙක තුනක්ම මේ වගේ එකකුත් ඉස්කොල කාලේ කියවලා තියෙනවා,නුවණ සඟරාව ද වෙන එකක ද කියලා මතක නෑ, එ දවස් වල එ කතාවෙත් අපි දන්න කතාවෙත් වෙනස් කම් තිබුණා මෙකත් එහෙමයි ....මීට වඩා සටනක් ගියා මනෝ හොදට හොයලා බලපන් අපේ මිනිස්සු නිකන් කෑ ගහලා වැඩේ අත හැරියේ නෑ,අදටත් තියෙනවා අක්කර දහස් ගානක් ඩොසර් කරපු ඉඩම්,ඒ ඉඩම් තිබුණේ උබ කියන හුලංදාව පැත්තෙ නම් නෙවෙයි මං දන්න තරමින් ,එක පැත්තක් සෙවනගල අදටත් වැඩියෙන් උක්mඅනික් පැති ටික හ්ම්ම් මීට වඩා ඕන නෑ..... අනික මේ සිද්ධි වෙලා තියෙන්නෙ අසු ගණන් වල නේ මං නම් ඉපදෙන්න හිතලවත් නෑ ඒ වුණත් ..

    ReplyDelete
    Replies
    1. "Nothing is forgotten" සහෝ..උඹ මට මේ ගැන ලියන්න කිව්වෙ මං ලියපු මිනින්දෝරු කන්තෝරුවෙ ගීයෙ කතාවට. මේක ලියනකොට මට උඹවත් මතක් උනා. හරි දැන් උඹ අහපු දේට උත්තර දෙන්නම්කො..

      ඇත්තටම මචං උඹ මේක ලියන්න කරුණු එකතුකරගෙන හිටිය කියල මං දැනන් හිටියෙ නෑ. එහෙම නිකමට හරි උඹ එදා කිව්වනම් මං ලියන්නෙත් නෑ මේක.

      මෙහෙමයි මචං, මේක සියැසින් දකින්න උඹ විතරක් නෙවෙයි මමවත් ඔය කාලෙ ඉපදිලා හිටියෙ නෑ. මචං මේක කතාවක්. ප්‍රබන්දයක්. මේ කතාවෙ උක්කුවා මං නෙවෙයි බං. ඒ තියා ඒ කතාව වෙච්ච කඩපිලේ මගේ පරම්පරාවෙ එකෙක්වත් ඉඳල නෑ. අඩුම තරමින් එහෙම තුංමං හන්දියක්වත් කඩයක්වත් තිබුනද කියල කියන්න මං හරියට දන්නෙ නෑ. අනික උඹ මේ කතාවෙන් වටහා ගත්ත සටන මේ කඩපිලේ කතාකරපු ටිකවත්, මොණරාගල කච්චේරිය ඉස්සරහ කරපු උද්ගෝෂණයවත් විතරක් නෙවෙයි මචං. මං මේ උඹ මට දැන් එව්ව මේලටත් එක්කයි මේ මේකෙම රිප්ල්යි කරන්නෙ. වෙල්ලස්සෙ එදා වෙච්ච දේ කතාවක් අනුසාරයෙන් වඩා සමීපව කියවන කෙනාට ළඟා කරන්න ගොඩනගපු උදාහරණයක් විතරයි මේ කතාව. මීට වඩා අති දැවැන්ත සටනක, හඬක් එදා ඌවෙන් නැඟුන බව මාත් අහල තියෙනවා.අනිත් එක සහෝ මං මේ කතාවෙ කොතනකවත් කියල නෑ හුලංදාවෙ උක් වගාකරපු වගක්. කිව්වෙ මේ කරපු වන විනාසය හුලංදා ඔයටත් බලපාන බව. හෑපොලටත්, මාදුරුවටත් බලපානව කියලයි මං කීවෙ. මට වඩා හොඳට උඹ දන්නවනෙ මචං ඒක.අනිත් කාරණේ මචං රත්න ශ්‍රී සර් ගෙ කතන්දරේ. මං මචන් සීයට දාහක් සහතික කරල වගකීමෙන් කියනවා රත්න ශ්‍රී සර් පුද්ගලිකවම, මං ඔය කතන්දරේ උඩින් කියපු සිද්ධියට සම්බන්ධවෙනවා. ඒ කාලෙ සර් උගන්නවුවේ මොණරාගල රාජකීයේ. ඉස්කෝලෙ ඉඳල නවාතැනට යන්නෙ මොණරාගල කච්චේරිය ළඟින්ලු. එක දවසක් එහෙම යනකොට තමයි ඔය කිව්ව උද්ගෝෂණය දැකලා රත්නශ්‍රී සරුත් ඒකට සම්බන්ධවෙලා තියෙන්නෙ. මේ ගීතය ලියන්න එතුමාට මූලිකම ප්‍රස්තුතය වෙන්නෙත් මේ සිදුවීම.මට හරි පුදුමයි සහෝ ඒ කතාව අහල නෑ කිව්වම.

      අනික සහෝ, සහෝට අමතක නැතිව ඇති 2007දිත් බූකර්ටේට් කියන බ්‍රිතාන්‍ය සමාගම එදා උදුරගන්න බැරිවෙච්ච ඉඩම් ටික ආයෙ උදුරගන්න වෙල්ලස්සට ආව හැටි. උන් එදත් ඉල්ලුවේ නිල්ගල. අදත් ඉල්ලන්නෙ නිල්ගල.

      ඔන්න ඕකයි මචං ඉතින්. රත්නශ්‍රී සර්ගෙ කතන්දරේ ඇරුණම අනිත් හැම දෙයක්ම සියේට සීයක් මං හිතල ලියපුවා. ඒත් මචං මට විස්වාසයි වෙල්ලස්සෙ කොතනක හරි ඔය කතාව ඔය විදියට මිනිස්සු කතාවෙන්නැති. වෙල්ලස්සෙ වෙච්ච අභාග්‍ය ගැන කියන්න මං තෝරගත්ත චරිත සහ දෙබස් ප්‍රබන්ධයක් උනත්, ඒ ප්‍රබන්ධෙට යටින් කියැවුණු සිද්දිය තමයි එදා වෙල්ලස්සෙ ඇත්තටම සිද්ධ උනේ.

      Delete
    2. වැරදි වැටහිමක් මනෝ මං කරුණු එකතු කරේ බොගියට ලියන්න කියලාම නෙවෙයි ,මං රත්න ශ්‍රි මේ ව්‍යපාරෙට සම්බන්ධ වුණ විදිය ගැන හරියට හොයා බලන්නම් ,මං කියන්න හැදුවේ උඹ රත්න ශ්‍රි නැතුව මෙක කරපු අපේ මනුස්සයෙක් ගැන ලිව්වා නම් මට නම් මීට වඩා දැනෙයි කියන එක විතරයි,මොකද මෙකට මහන්සි උණේ අපේ උන් ,එ ගැන හිතන්න එපා මට තෙරුනා එක් විදියකට උඹ මෙක ගොඩ නගන්න හදපු විදිය .....

      Delete
    3. මේකයි මචෝ.. මගේ තේමාව ගී සංවේදනානෙ බං. ගීතයක නිධාන කතාව හෝ විචාරය ගොඩ දානෙකයි බං මූලිකම දේ. ඒකයි මේ සිද්ධිය ගීතය වටා ගොනුකරල ලිව්වෙ. ගීතයෙන් එහා ගියපු කතන්දර දහස් ගානක් තියෙන බව දන්නවා කොල්ලෝ. ඒත් මෙතන අරමුණ උනෙ බං කතාවක් ඇසුරුකරගෙන ගීතය සමාජෙට අරන් යන එකනෙ බං.

      රත්න ශ්‍රී සර්ගෙ කතන්දරේ ගැන උඹම හොයල බලහංකො. ඒ ගැන එතුමා එතුමාගෙ හඬින්ම කියනවා උඹට බලන්න පුලුවන් මෙන්න මේ ලින්ක් එකට ගියොත්.

      https://www.youtube.com/watch?v=sbSliJiZ5mM&list=PLN-MLMEqduVlGsJl52n3eNjtBWLQisrCX

      අනේ මචං මෙන්න මේකත් කියන්නම ඕනි. වෙල්ලස්සෙ වෙච්ච මේ සටන ගැන මං මේ ලිව්ව් දේ නිසා මොකඛරි අඩුපාඩුවක් උනානම් අනේ මචං මට සියදහස් වාරයක් සමාවෙයන්. මොකද වෙල්ලස්සෙම එකෙක් විදියට උඹට දැනෙන හිතේ අමාරුව මට හොඳටම තේරෙනවා. මං මෙතන කතාකලේ ගීතය ගැන විතරයි බං. ඒ නිසා සටන සහ ඊට සම්බන්ධ වෙච්ච පුරෝගාමින් ගැන යමක් ලියාගන්න බැරිවුනා තමයි. උඹට පුලුවන් කමක් තියෙනනම් අර එකතුකරල තියෙන කරුණු ටිකත් දාල මේ ගැන හොඳ පරිපූර්ණ ලිපියක් දාහං මචං. ඒක ලොකු දෙයක්. ඒ කතාව මේ රටම දැනගන්නෝනි.

      Delete
  22. මාතලන් ගොයියගෙන් පාර අහගෙන ආවේ! වැඩේ හොඳයි වගේ.,. බලමු බලමු එක එක කියෝගෙන ගිහිං

    ReplyDelete
    Replies
    1. පිළිගන්නවා..පිළිගන්නවා.. ඉතාම ලෙංගතුව පිළිගන්නවා. එකින් එක කියවගෙන යමුකො එහෙනම්..

      Delete
  23. අපේ මිනිස්සුන්ට හුඟක් දේවල් ගැන අගය දැනෙන්නේ පස්සේ.. ඒ, ඒ දේ නැති වුනාට පස්සේ.. ඊට පස්සේ ඉතින් හිතින් හුල්ලනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙන්නෙත් නෑ.. මනෝෂ්, අද කතාව ගොඩ නගපු හැටි විශිෂ්ඨයි..

    ReplyDelete
    Replies
    1. කොහොමත් ළඟ තියෙන දේ කිසි අගයක් නෑනෙ අපේ අයට. ඒ දේ නැතිවුනාම තමයි අගේ තේරෙන්නෙ. මේ හැමදේම වෙනස් කරන්න පුලුවන් අපේ මිනිස්සුන්ට. ඉතාම සුලු දෙයයි කරන්න තියෙන්නෙ. ඒත් අපේ කට්ටිය හරිම කැමතියි හැමදාමත් රැවටෙන්න. ඒකයි අවුල. ඒක දැන් පරම්පරාගතව ජාන වලටම කාවැදිලා.

      Delete
  24. ඔය යක් බෙරය කියන්නේ එක විදිහකට සටනට යෑමත් අනෙක් අතින් විනාශයත් හඟවන හඬක්.නිධානය චිත්‍රපටියේ ඒ යුවළ විවාහ වෙලා නිවසට එන කොට පසුබිමින් යක් බෙරයක් හැඬවෙන්නේ ඒකයි.(මගුල් බෙර වාදනයක් වෙනුවට).

    පරිසර අර්බුධය හරි සංකීර්ණයි.ඒත් ලංකාවේ දේශපාලනය ඕකට විරුද්ධ වෙන්න මිනිස්සු උසි ගන්වන්නේ විදේශීය කියලා.ඒත් දේශීය කෙනෙක් කරත් විනාශය මයි කියලා ඒ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ.කෙටියෙන්ම කියනවා නම් ස්වභාවික සම්පතක් සංරක්ෂණය කරමින් එහි ආර්ථික ප්‍රතිලාභ භුක්ති විඳීම ගැන දැන් ලංකාවේ මිනිස්සු හිතන්නේ නෑ.නිල්ගල වටින්නේ ඒ ජල සම්පත හා බෙහෙත් නිසා.

    ඒ වගේම ඔය බිම්බරක් සෙනඟ කියන්නේ ගජබා රජු ඉන්දියාවෙන් අරන් ආපු ( හිලව්වට) සෙනඟ කියලත් කියනවා.

    ReplyDelete
    Replies
    1. යක් බෙරයේ ඒ අරුත් දෙකම ඉතාම කදිමෙට මේ සිදුවීමට ගැලපෙන නිසාම වෙන්නැති කපුගේ ගීතයට යක්බෙරය යොදාගන්නෙත්.

      විදේශීය බලවේගයක් උනත් දේශීය බලවේගයක් උනත් ඔය දෙකෙන්ම වෙන්නෙ අපේ රට විනාස වෙලා යන එක. ඇත්තටම විදේශ බලපෑමක් උනත් එකපාරට අපේ රටට එනව නෙවෙයිනෙ. අනිවාරෙන්ම ඒක පිටිපස්සෙන් දේශීය බලවේගෙකුත් තියෙනවා මයි. බොහෝ විට දේශපාලන සෙවනැල්ලක්. අපේ මිනිස්සු යථාර්තය තේරුම් ගන්න දවසට පෙරහැර ගිහින් තියෙයි කියලයි මටනම් බය.

      බිම්බරක් සෙනඟ ගැන හිමපියල්ලේ කීව දේ අදමයි ඇහුවෙ. නොදන්න යමකුත් දැනුමට එකතු උනා. ගොඩක්ම ස්තූතියි.

      Delete
  25. බ්ලොග් බිත්තියේ පාට වෙනස් කොරහං කෝ මලේ ඇහැට ප්‍රිය එකක් දාපන් ජය

    ReplyDelete
    Replies
    1. අඩේ.. රාජ් අයියණ්ඩියෙ, මං මේ තීම් එක හරි ආසාවෙන් නොවැ දාං ඉන්නෙ.

      Delete
  26. මාතලන් ලොක්ක පාර පෙන්නුව ....
    උඹ කට්ටිය එක්ක කමෙන්ට් කර ...කර ඉද්දි මම හිතුව ...ඉක්මනට අපි අතරට එයි කියල රස සාගරයක් සමග...
    දැන් එය ඔප්පු කලා ...... දිගටම යමං ...අපි උඹ එක්ක....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා කෙන්ජි මාමෙ. මට මතක විදියටනම් මීට කලින් එක වතාවක් කෙන්ජි මාමා මේ අහට ආවා. හැමෝගෙම පිහිටෙන් දුරක් ආවා. තව දුරක් ඒ විදියටම යන්න බලං ඉන්නවා..

      ගොඩක්ම ස්තූතියි කෙන්ජි මාමේ..

      Delete
  27. මම එක තැනක අහපු දෙයක් තමයි මෙතන ‘කැලෑ මල්‘ කියලා තිබුණට ඇත්තටම රත්න ශ්‍රී මහත්තයා ලියා තියෙන්නේ ‘කෑල මල්‘ කියන එක කියලා. මොකද කෑල මල්වලින් ඔහු සංකේතවත් කරලා තියෙන්නේ පුංදි ළමයින්ගේ රතු පාට තොල්. නමුත් කපුගේ මහත්තයා මෙක් ‘කැලෑ මල්‘ කියලා හිතලා සිංදුව ඒ විදයටම කිව්වලු.

    ReplyDelete
    Replies
    1. සමහර විට ඒක වෙන්නැති සිද්ධවෙන්න ඇත්තෙත්. මොකද කැලෑ මල් කියනවට වඩා කෑල මල් කිව්වම එතන ලිකු අර්ථයක් තියෙනවා. අදහස වඩාත් ලස්සන වෙනවා එයි. රත්න ශ්‍රී සර් කියන්නෙ ඒ වගේ සියුම් තැන් හරි අපූරුවට ස්පර්ශ කරන නිර්මාණකරුවෙක්නෙ.

      මේ අදහස අරං ආවට ඇත්තෙන්ම ස්තූතියි. ඒ වගේම ඉතාම සාදරයෙන් ඔබව පිළිගන්නවා මේ බ්ලොග් එකට.

      Delete
  28. සදුමල්... මගේ මලයගේ නම..........සාර්තක නිර්මාණයක් සහෝ....

    ReplyDelete
    Replies
    1. ආහ්... මලයට මොනා හිතෙයිද මංද එහෙනම් මේක දැක්කොත්. සාදරයෙන් පිළිගන්නවා මේ ඉසව්වට. ඒ වගේම අදහසක් එකතුකලාටත් ගොඩක් ස්තූතියි..

      Delete
  29. ජයසේන ජයකොඩිගේ 'පර සතුරෝ' කියවල තියෙනවද? කියවල නැත්තන්, කියවන්න. ඒ පොතේ විස්තර කරල තියෙන හුඟක් තැන් මගේ ගෙදර ළඟම දේවල්.. වෙල්ලස්ස සටන ගැන ලියවුණු ඉතා ඉහළ ගණයේ කෘතියක් ඒ.. රට, ජාතිය ගැන මහා ලොකුවට කතා නොකළත්, වෙල්ලස්ස කියල කිව්වම හිතට දැනෙන දේ වචන අතික්‍රමණය කරන සුලුයි.

    ReplyDelete
    Replies
    1. අපේ නීතීඥතුමියව ඉතාම ආදරයෙන් පිළිගන්නවා මේ පැත්තට මුලින්ම

      ඇත්තටම මාට මෙතුවක් කල් මේ පොත කියවන්න ලැබිල නෑ. ජයසේන ජයකොඩි මහත්මයාගෙ පොත් මං කියවන්නෙ ඉතාම ආසාවෙන්. එතුමා තරම් ගොවි ජනපද ව්‍යාපාරය තුලින් ශ්‍රී ලංකාවෙ බිහිවුන අලුත් ගම්බිම්, සංස්කෘතිය ගැන රසවත්ව ලියපු වෙනත් අයෙක් මට නම් නැහැ. අවාසනාවට එතුමා අපිව දාලා ගියා.

      ඇත්තෙන්ම ගොඩක්ම පිං මේ පොත ගැන හෝඩුවාවක් ලබා දුන්නාට. අවාසනාවට මගේ ගම් පළාතෙන් හරිම අමාරුයි මේ වගේ පොත් හොයාගන්න. නමුත් හැකි ඉක්මනින් කොහොමහරි මේ පොත හොයාගන්නෝනි. ස්තූතියි නැවතත්..

      Delete
  30. ඇත්තෙන්ම සිත කකියවන ලිපියක්

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම වෙල්ලස්සෙ කතාව අහපුවාම ඕනිම හිතක් පපුවක් තියෙන මනුස්සයෙක්ගෙ හද වේදනාවෙන් පුරවනවා.

      ගුණසිංහ සර්ට බ්ලොග් එකක් තියෙනවදා? මං ප්‍රෝෆයිල් එකනම් බැලුවා. ඒත් හොයාගන්න බැරිවුනා.

      Delete
    2. තියෙනව නෙහ්?
      https://sugv.wordpress.com/

      Delete