Pages

Sandumal

Sandumal

Wednesday, December 10, 2014

•සුදු රැළි ගවුම සලායා


"පුංචි දෝණියේ නුඹ නුඹෙ මවට සමානා"





වෙලාව දහවල් එක හමාර පසු වූවා පමණි. පාසැල් ගේට්ටුවට මදක් එපිටට වී මෝටර් රථයේ හිඳිමින්ම මා බලා සිටියේ කඩි ගුලක් සේ පොදිකන ගේට්ටුවෙන් මගේ දියණියගේ සිඟිති මුහුණ මතුවෙනා තුරුය. විවිධ වයස් මට්ටම්වල, සිසු සිසුවියෝ පොරකමින් පාසල් ගේට්ටුවෙන් මතුවෙමින් නොපෙනෙමින් සිටියේ මගේ පාසැල් කාලයට මගේ හිතද යොමු කරමිනි. අතීතයේ මෙවැනිම දිනක මම මෙසේ මෙම ගේට්ටුව අභියසට වී සිටියෙමි. මීට මද දුරක් එපිටින් වූ මා ඉගෙනගත් විද්‍යාලයෙන් විනාඩි කිහිපයක් කලියෙන් පැනගන්නා මා එක හමාර වන විට කෙසේ හෝ මෙතනට පැමිණෙන්නේ දයාබර ඇය දැක ගැනීමේ නොනිමි ආසාවෙන්ය. ඒ වන විට මා ඇයට මගේ ආදරය ප්‍රකාශ කර හෝ නොතිබුන මුත් සැමදා ඒ රසඳුන නෙත් ගල්වා ගැනීමට මම මෙතනට පැමිණියෙමි.

එදා මෙම පාසල් ගේට්ටුව අභියස මෙතරම් කලබලයක් නොතිබුනි. ගේට්ටුව පැත්තේ පාර අයිනේ නතර කර තිබූ පාපැදියක් යතුරු පැදිඅයක් හැරුණු කොට වෙනත් වාහනයක් විනි නම් ඒ ඉතාම කලාතුරකිනි. පාරෙන් එහා පැත්තේ මා දැන් සිටින තැන වූයේ කුඩා පොත් කඩයක් සහ බස් නැවතුමයි. සතර අත විහිදී සිටියේ පාසැල් ළමුන් පමණෙකි. නමුත් අද තත්වය වෙනස් වී ඇත. පාපැදි වෙනුවට පාසැල් වෑන්, ත්‍රී රෝද රථ, මෝටර් රථ පාර දෙපසම පෝලිමට නවත්වා තිබේ. එදා තිබුන කමල් අයියාගෙ කුඩා පොත් කඩය අද නොමැත. ඒ වෙනුවට එතන වූයේ ඩීවීඩී හලකි. ඊටම යාබදව ජංගම දුරකතන අලෙවි සැලක් හා කොමියුනිකේෂන් එකක් ස්ථාපනය කොට තිබේ. එදා තිබූ සුවිසල් සියඹලා, මාර වෘක්ෂයන් අද පෙන්නෙන්න්ටවත් නැත. සතර අත විහිදී සිටි පාසැල් ළමුන් වෙනුවට අද පාට ඇඳුමින් සැරසුණු, යකඩ දම්වැල් අතේ කරේ එල්ලාගත්, අවුල් වී ගිය හිසකේ වලින් යුත් තරුණයන් පාසල අසලින් නිතර එහේ මෙහේ ගැවසෙනු පෙනෙන්නට ඇත. ඩීවීඩී හලේ තවත් කිහිප දෙනෙක් වූ අතර පාසැල් හැරගිය තරුණයන් අතරම පාසැල් ඇඳුමින් සැරසුනු ශිෂ්‍යයන් කිහිප දෙනෙකුද එහි විය. බහුතරයක් දෙනා ජංගම දුරකතන අලෙවිසැලට වී දුරකතන අතේ තබා ගනිමින්, ඒවා එහෙට මෙහෙට මානමින් සිටි අතර හැංගි හැංගි ඒවායේ කැමරා මානමින් සිටියේ සිසුවියන් ඉලක්ක කරගනිමින් විය යුතුය.

කෙසේ වුවද කාලය මැවු වෙනසක අරුමය පිළිබඳ සිතමින් එදවස මතක සැමරුම් ස්මරණය කරමින් ගේට්ටුව දෙස බලාහුන් මා අතීතයත් වර්ථමානයත් අතර පැටලී අතරමංව උන්නෙමි. එක්වරම ගේට්ටුවෙන් මතු වූයේ අනේක වාරයක් මා දෑස් දකින්නට පෙරුම් පිරූ ඒ නෙතඳුන් රුවයි. කොණ්ඩ කරල් දෙකෙන් එකක් පපුව හරහා පහලටද අනෙක පසු පසින් පිට හරහාද වැටීමට සලස්වාගෙන, දඟකාර ගමනින්, සුදු ගවුමේ රැලි සලමින් ඒ මතුවූයේ මීට දශක දෙකක මගේ අතීතයයි. ඔව් දුවේ, ඒ මතුවුනේ ඔයා නෙවෙයි, ඔයාගෙ අම්මමයි. මගේ නෙත රැවටුනු බව මට වැටහුනේ ටික වෙලාවකුත් ගියාට පස්සෙ. මතක ලොවින් මිදිල වර්ථමානෙට ආවෙ මං එතකොටයි. එදා මං මෙතනම හිට ගෙන ඉන්නකොට ඔයාගෙ අම්මත් ඔය ගේට්ටුවෙන් මතුවෙලා පාර අයිනට ආවෙ අද ඔයා ආව විදියටමයි. බිමට බර දෙනෙත් වරින්වර එසවෙමින්, දෙපස බලමින්, සුදු ගවුමෙ රැලි සලමින්, ආවෙ ඔය විදියටමයි.  එදා ඔයාගෙ අම්ම එහෙම එනකොට මට මතක් උනේ මහගම සේකරගෙ කවි, මං මිමිණුවේ අමරදේවයන්ගෙ ගී. ඒවට තාලය සපයමින් මෙතන තිබුන දැවැන්ත සියඹලා ගස්වල මාර ගස් වල උන්නු කුරුල්ලො කිචි බිචි ගෑවා. ඒ හැමදේම මැදින් සුරංගනාවියක් වගේ දූගෙ අම්මා පුංචි කෙල්ලෙක් විදියට දුවගෙන ආවා. අද ඔයත් ඒ විදියමයි. දූගෙ අම්ම වගේමයි. ඒත් අද එහෙම ඉන්නෙ මගෙ දුව විතරයි. එදා එහෙම පසුබිම හදපු ලස්සන පරිසරයනම් අද නෑ. සේකරගේ පදවැල් අමරදේවගේ හඬින් අද ඇහෙන්නෙ නෑ. ඒ වෙනුවට "හිත හිරිවට්ටන ඔය ලොකු ඇස් දෙක සින්නක්කරේට ලියාගන්න" ඉල්ලමින් හඬ නගන සිංදුවකට දූගෙ වයසෙම වගේ කෙලිපැටික්කියන් ටිකක් අඩ නිරුවතින් රඟදෙනවා ඩීවීඩී කඩේ රූපවාහිනී යන්ත්‍රයේ. එදා අම්මි එනකල් බලන් හිටිය ඔයාගෙ තාත්ති වගේ කොල්ලන් නෙවෙයි, අද ඔයාල දිහාවට ජංගම දුරකතන කැමරා හොරෙන් මානමින් කෑදර බැල්මවල් ඔයාලට හෙලමින් මත් වෙච්ච කොලු ගැටවු නරුම නෙතින් බැලුම් හෙලනවා ඔයාලට. එදා වගේ ඔයාලගේ නටවන දෙනෙත් වලට, දිගම දිග කොන්ඩෙට සුදුගවුමෙ ලස්සනට, වටකුරු මූණෙ හුරතලේට  නෙවෙයි, ඔයාලගේ පිරුණු ළමැදට, ළපටි අත් පා වලට, පිරුනු උකුලට. ඒ නිසාම ඒ බැල්මෙ තියෙන්නෙ ආදරය සෙනෙහස උතුරා යන දයාබර හැඟුමක්නම් නෙවෙයි, රාගයයෙන් කාමයෙන් උතුරන ගිනිගෙන දැවෙන බැල්මක්.ඒත් මගෙ දූ මේ කිසිවක්ම නොදැන එදා අම්ම ආව විදියටම දුවගෙන එනව මං දිහාවට, තාමත් ලෝකය එදා වගේමයි හිතාගෙන..

"තාත්ති..ගොඩක් වෙලාද ඇවිත්? යමු ඉක්මනට, මට අද තුනට ක්ලාස්.."




සුදු රැළි ගවුම සලායා
නෙතඟින් බැලුම් බලායා
වීදි කෙළවරින් මතු වන
පුංචි දෝණියේ නුඹ
නුඹෙ මවට සමානා....

මහගමසේකරගේ කවි
මග දෙපස පිපීලා සැලුනා
තුරු හිස කුරුලු තුඩින්
අමරදේවයන් ගැයු
ගී පද වැටුණා
පොත් මිටිය අරන් ඈ දිව ආවා
ඒ වගේම අද ඔබ දිව එනවා....

දොර දොර වියරු ගැයුම්
ඉඟි බිඟි සළෙල බැලුම් පොර කනවා
කම්හල් දොරටු වැසී සා ගිනි
සිඟමන් ඉල්ලා යනවා
ඒ කිසිත් නොදැන නුඹ දිව එනවා
ලෝකයම එදා වගෙ යයි හිතලා....

පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - වික්ටර් රත්නායක
ගායනය - වික්ටර් රත්නායක





අහන්න ගීතය...

video


විශේෂ සටහන : ගීතය රසවිඳීමට මා හට තිළිණ කල අපේ දයාබර සිංදු ඇනෝට හද පිරි ප්‍රණාමය...

ඡායාරූපය අන්තර්ජාලයෙනි..


Tuesday, December 2, 2014

•සන්ෆ්ලවර්ස්


"කණ්ඩායම් සංගීතය සහ ප්‍රසංග වේදිකාව තුල සන්ෆ්ලවර්ස් භූමිකාව..."




පුංචි කාලෙ ගමේ ගියාම ගියපු ගමන් මං එල්ලෙන්නෙ එහේ තිබ්බ පුංචි කැසට් යන්ත්‍රයේ. මං දාගන්නෙ ඒ දවස්වල බොහොම ජනප්‍රිය වෙලා තිබ්බ සන්ෆ්ලවර්ස්ලගේ සාස්තරේ කැසට පීස් එක. මගෙ මාමා, අම්මගෙ මල්ලි ඒ දවස් වල ඉලන්දාරියෙක්. ඉතින් ඔය වගේ ඒ කාලෙ නැගලම යන කැසට් පට එකක්වත් එහේ මඟ ඇරුණෙ නෑ ඒ නිසා. ඒ අතරින් මගේ හිත ගිය මං ආසම කැසට් එක තමයි සන්ෆ්ලවර්ස්ලගේ මේ සාස්තරේ. ඒ කාලෙ සුභාවිත ගීත රසවිඳීන්න තරම් මනසක් නොතිබුන මං මේ කැසට් පටයෙ ගීත වලට බොහොම ආකර්ෂණය උනා. සමහර විට ඔයාලටත් ඒ කැසට් එක මතක ඇති. ඒක රතු පාටයි. ඒකෙ කේස් එක අනිත් ඒවගේ වගේ නෙවෙයි. ටිකක් වෙනස්. ඒක නිකන් පොඩි පොතක් වගේ. පිටකවරෙ සන්ෆ්ලවර්ස් මුලු ගෲප් එකේම ෆොටෝ එක තිබුනා. ඒකෙ කලු පාට තොප්පියක් දාලා කලු සන් ග්ලාස් දෙකක් දාගෙන ඉඳපු නෙල්සන් වාස්ගෙ රූපෙ මගෙ හිතේ හොඳට ඇඳිල තිබුනා. ඉතින් ද්‍රශ්‍ය මාධ්‍ය සමීප නැති ඒ කාලෙ, මං හිතෙන් මවාගත්ත මේ සෙට් එක මේ සිංදු කියන විදිය.

ඉතින් ගීත විදියට මගේ හිතේ ගැඹුරින්ම තැන්පත්වෙලා තියෙන මේ සන්ෆ්ලවර්ස්ලගේ ගීත සාහිත්‍ය ඔවුන්ටම අනන්‍ය වූ ඒ සංස්කෘතිය ගැන අද ගී සංවේදනාවෙන් කතා කරන්න මං තෝරගත්තා.

පුද්ගලිකව මං ඔළුවට, හදවතට මිසක් කකුල් වලට ගායනා කරන ගීත සාහිත්‍යයට කිසිම මනාපයක් නෑ. මොකද ඇහුවෙ මොකක්ද, ඒකෙන් කිව්වෙ මොකක්ද කියලවත් ඔලුවට නොයන, කකුල් වලට අහන ගීත වලින් මිනිසා තුල හොඳ රසිකත්වයක්, ගී වින්දනයක් හෝ ගීය තුලින් සමාජ භාවිතයක්, ජීවිතාදර්ශයක් නොලැබෙන බවයි මගේ විස්වාසය. ගීතයක් තියෙන්නෙ විඳින්න මිසක් විඳවන්න නෙවෙයි. ඉතින් ඒ ගීයෙන් වෙන්නෙ නෙටුම් තෙල් භාගෙකින් සන්තර්පනය වෙලා වැලි කාගෙන පස් කාගෙන බිම වැතිරිලා දාඩිය පෙරාගෙන කකුල් කෙඩෙත්තුව හැදෙනකල් කොකු පණුවන් සේ ඇඹරෙමින් වද විඳීමනම් එය ගීතයක් විඳීම නෙවෙයි කියන එකයි මගේ මතය. ඒ නිසාම මං එවැනි ගීත වලට, එවැනි ගීත ගයන ප්‍රසංග වේදිකාවට කැමති නෑ.

නමුත් ඒ මගේ මතය පමණයි. සියල්ලන්ගේ මතය එය විය යුතු බවවත්, ප්‍රසංග වේදිකාව හරසුන් බවවත් නෙවෙයි මං සාධනය කරන්න යන්නේ. හුදෙක් මෙය මගේ මතයම පමණයි. එය ඔබේ මතය විය යුතු නෑ, එලෙසම එය ඔබේත් මතය බවට පත් කරවන්න මං උත්සාහ ගන්නෙත් නෑ. ප්‍රසංග වේදිකාවෙන් මා නොලබන වින්දනය ලබන අය ඕනෑ තරම් සිටී. එසේ නොවන්නේ නම් ප්‍රසංග වේදිකාව මෙතරම් දුර ගමනක් පැමිණීම සිදුවිය නොහැකියි.

ඒ කෙසේ වුවත් මා හට අමතක කල නොහැකි, පිළිකුල් කල නොහැකි, එසේම බැහැර කොට හිතින් අහක් කල නොහැකි ප්‍රසංග වේදිකාවක් තියෙනවා. ඒ තමයි සන්ෆ්ලවර්ස්ලගේ ප්‍රසංග වේදිකාව. ඒකට හේතු තියෙනවා. එසේ නොමැතිනම්, සුභාවිත ගීය රසවිඳින, ඊට පෙම් කරන අප වැන්නවුන් හට ඔවුන්ගේ වේදිකාව, වේග රිද්ම ප්‍රසාංගික වේදිකාව මෙතරම් රහ වීමට නොහැකියි. ඔවුන් ලංකාවෙ අනෙකුත් සංගීත කණ්ඩායම් අතරින් විශේෂයි නොව සුවිශේෂයි. ඒ කාරණා කිහිපයක් නිසා. ඔවුන් ලංකාව තුල අලුත් ගී සංස්කෘතියක් බිහිකලා. ඔවුන් ලංකාව තුල සංගීත විප්ලවයක් සිදුකලා, ඔවුන් සුභාවිත ගීයෙන් ගැයූ කම්කරු පංතියේ හඬ, ගොවි ජන හඬ, ධීවර හඬ, සාමාන්‍ය මනුස්සයාගෙ හඬ, වේගරිද්මයෙන් ගයන්නට උනා.

ඒ නිසාම සුභාවිත ගීත වැළඳනොගත්, ඒ කෙරෙහි අවධානය යොමු නොකල රසිකයන් හට තමන් ආදරය කරන වර්ගයේ ගී රාශියක් තිලිණ උනා. වේග රිද්මයෙන් තමන් ගැන ගැයෙන්නට උනා. ඔවුන් ආදරය කියන සංකල්පය බොළඳ ගී බවට පත්කරල දියාරු තාරුණ්‍යයක් අඬන තාරුණ්‍යයක් බිහිකරවාගෙන, තමන් වටා ඒකරාශි කරගන්නවාට වඩා රටේ ඇත්ත ප්‍රශ්න ගැන, කම්කරුවන් ගැන වැඩකරන මිනිස්සු ගැන, කාලින ප්‍රශ්න ගැන ගී පිට ගී ගැයුවා. එනිසා රිද්මය වෙනස් උනත් සන්ෆ්ලවර්ස් කපුගේ වගේම මේ රටට, මේ රටේ මිනිස්සුන්ට ඔවුන්ගේ හදවතට ගී ගැයුවා. 

මේ සටහන කියවගෙන යනකොට ඔබේ හිත ඔබටත් නොදැනිම අතීතෙට යනව ඇති. සන්ෆ්ලවර්ස් ගැයූ ගී සිහිවෙනව ඇති. නිරායාසයෙන් ඒ තාලයට ඔබේ පා බිමට තට්ටු කරනු ඇති. ඔබේ හිස දෙපසට සෙලවෙනව ඇති. ඔවුන් ඔබේ ජීවිතයෙන් බොහෝ කාලයක් ඔබ සමඟ රැඳී උන්නා. ඒ නිසාම ඔවුන් පිළිබඳ මතක, ඔවුන්ගේ ගී පිළිබඳ මතක, ඒ සංවේදනාවන් ඔබට මේ මොහොතේ සිහිවනවා ඇත.

"පාර්වතී ඔබෙයි මගෙයි පෙම් කතන්දරේ
මම ලියාතියන්නම් කෙහෙල් කොලේ..
වංගෙඩියෙන් මෝල් ගහක් වෙන් උනා වගෙයි
මාව දාල ඇයිද උඹ ගියේ.."


(සන්ෆ්ලවර්ස් සංගීතයට මුසුවූ ගීය සොයා ගැනීමට අපහසු විය. නමුත් මෙයද නීල් වර්ණකුලසූරිය විසින්ම ගායනා කරයි.)


එලෙස ප්‍රේමය ගැන ඔවුන් නැවුම් ආකාරයකින් ගී ගයන ගමන්ම අපේ රටේ ප්‍රධානම වෘත්තීන් දෙකක් වන රට මැද ගොවිතැනයි. රට වටේ ධීවර කර්මාන්තෙයි එකට සුසංයෝග කරමින් ඔවුන් විඳින දුක ඔවුන්ගේ කඳුලැල් වගේම හසරැල්ද නිරූපණය කරමින් අපේ මුවුන් කිසිදා නොගිලිහෙන ගීයක් අපට දායාද කලෝය. ධීවර ගොවි සුහදතාව එකමුතු කම ගීයෙ මතු පිටින් නිරූපණය වුවද ඉන් ගැඹුරට විහිදී ගිය කාරණයක් ඒ තුල ඔවුන් නිරූපණය කොට ඇත. එනම් රටට බත සපයන ගොවියගෙයි, රටට මාළු සපයන ධීවරයගෙයි සමාජ කාර්‍යභාරයයි. ඔවුන් මේ රටේ ස්වයං පෙෂණයට, ආර්ථිකයට දක්වන දායකත්වයයි.

"ඔරුවේ නැගිලා කිසි බයක් නෑ හිතේ
මුහුදේ ගෙවිලා යයි අපේ ජීවිතේ
නඟුලේ බලයෙන් මඩ තලන්නේ කෙතේ
අපගේ සුවඳයි ඔහෙලාගෙ බත් පතේ..."



එමෙන්ම, ඔවුන් ගැයූ මා මහත් සේ ඇලුම් කල තවත් ගීයක් වේ. මත් පැන්, මිතුරන් සතුරන් කරන, සතුරන් මිතුරන් කරන, වරෙක මිතු දම් ශක්තිමත් කරන හරි අපූරු සාධකයක්. කෙසේ වුවත් මත්පැන් වලින් මිනිසාගෙ හිතේ අභ්‍යන්තරයේ ඇති සිතුවිලි කරලියට ගෙන ඒමට සමත් පානයක් ලෙස මම විස්වාස කරමි. එනම් බොක්කට දාගත් පසු බොක්කෙ ඇති දේවල් එලියට ගන්නා දියරයකි. එනිසා සතුරන් හඳුනා ගැනීමටත්, උඩින් ඉන්න මිනිසා යටින් ඉන්න තිරිසනා හෝ දෙවියා හඳුනා ගැනීමටත් එක් අතකට මෙය උපකාරී වේ. එනිසා බීල බීල ජොලියේ කොච්චර සිංදු කිව්වත් ඒ අතුරු මිතුරු හැලියේ ඇතැම් විට ලෝදිය උතුරා යා හැකියි. අන්න ඒ යථාර්තය හරිම සරල වගරිද්ම ගීයක් විදියට සන්ෆ්ලවර්ස්ලා සමාජයට අරන් ගිය විදිය ඉතාම අපූරුයි.

"බීල බීල ජොලියේ අපි සිංදු කියන්නේ
අතුරු මිතුරු හැලියේ ලෝදිය උතුරන්නේ
දැම්මට පාටි..ඩෝන්ට් බී නෝටී
ඔහ්.. යූ බර්ටී..යූ ආ නවු නෝටී..
බීලා පිස්සු නටන්නේ
නෝනා කොස්ස ගෙනෙන්නේ.."



ඒ වගේම මත් පැන් භාවිතය තමන්ගෙ දුක ශෝකය තුනී කරන්න යොදාගැනීමට අයෙකු යොමුවෙන අයුරු, තමන් ජීවත් වන සමාජයෙන් ලබන ද්‍රෝහි වීම, කලකිරීම්, හැරයාම්, විරහ වේදනා, චපලත්වය හමුවේ යහපත් තරුණයන් මත් පැනට හුරුවන අයුරු ඔවුහු ගීයෙන් ගායනා කලහ. කිනම් හේතුවකට හෝ මත් පැනට හුරු වීම සාධාරණීකරණය කල නොහැකි මුත් පවතින සමාජ යථාර්තය ඔවුන් ගීයෙන් සාර්ථකව නිරූපණය කලා..මං දන්නවා, මතක් වෙනකොටත් ඔබ බොහෝ දෙනෙක්ට නැටවෙනව ඉබේම. කොටින්ම ප්‍රසංග වේදිකාවට අකැමති මටත් මේ සිංදු වලටනම් නැටවෙනවා.

"මුළින්ම මට නුඹේ සිසිල දැනුණේ
ඇය වෙනකෙකුගේ පහස ලබූ දවසේ
වෙන තුරුළක චපල එයා නැලවේ
උඹ තුරල් වෙලා ඉඳපන් මගෙ පපුවේ

බෝතලේ..... මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ.."

මේ පද රචනාවෙත් තියෙනවා විශේෂත්වයක්. ඒ තමයි, විරහ වේදනාව දුරු කරගන්න බෝතලේක පිහිට පැතුවත්, ඒ බෝතලයත් තමන්ව දාල යනවා තමන්ගෙ අතමිට හිඟ වෙච්ච දවසට. ඒ කියන්නේ, නෙල්සන් වාස් මේ කියන්නෙ බූට් එකට බෝතලේ බදාගන්න කියන එක නෙවෙයි. ඒක එහෙම කරගන්න එක විසඳුමක් නෙවෙයි කියන එකයි.

"උඹෙ යාලුවෝ ඔක්කොම මම වගේදෝ
චපල පෙමක අවසන් ප්‍රතිඵලේදෝ
භවෙන් භවය හොයාපු සැනසුමදෝ
උඹට එහා තව නිවනක් වේදෝ

ළඳකට බෑ පෙම් කරන්න සමසේ
උඹට හැකිය සලකන්නට එකසේ
ඒත් අඟහිඟකම් ඇති වුණදා නිවසේ
උඹත් මාව දාලා යාවි දුකසේ..."



සන්ෆ්ලවර්සලා ගායනා කල තවත් කාලීනතම ගීයක් තමයි ඊළඟට ඔබට මතක්කරල දෙන්න හදන්නේ. අපේ රටේ වසර 30ක කාලයක් ඇදි ඇදී ගිය කුරිරු යුද්ධයක් තිබුනා. ඒ යුද්ධය මේ රටේ නිර්මාණය කලේත්, එහි පැතිරීමට වගකිව යුත්තේත් මේ රටේ හිටපු පාලකයන්මයි. ඒ වගේම ඇතැම් පාලකයන් මේ යුද්ධය පවා අයුතු විදියට තමන්ගේ වාසි, ලාබ ප්‍රයෝජන සඳහා යොදාගත්තා. කොටින්ම කිව්වොත් යුද්ධය වවාගෙන කෑවා. නමුත් ඒකෙන් බැට කෑවෙ මේ රටේ සිංහල මුස්ලිම් ද්‍රවිඩ සාමාන්‍ය ජනයා. ඒ මිනිසුන් වෙනුවෙන්, ඔවුන් විඳින පීඩාව වෙනුවෙන්, මේ අසාධාරණය වෙනුවෙන් සන්ෆ්ලවර්ස් ඔවුන්ගේ හඬ අවධිකලා.

"එළාර දුටු ගැමුණු යුද්ධය තේමාවුණු
නාට්‍යයක් නැටුවලු ඉස්සර කාලේ
දැන් කාලෙ වගේමලූ යුද්ධ කතා බලන්නමලු
වැඩි දෙන එකතුවුනේ ඉස්සර කාලේ..."



අදටත් ග්‍රවුන්ඩ් එකේ බැහැල ක්‍රිකට් ගහන අපේ ක්‍රීඩකයන්ට වඩා ඒ ගැන දන්නේ ජීවිතේට බැට් එකක් අතින් අල්ලලා නැති පණ්ඩිත විචාරකයන්. අනේ ඒ වෙලාවටනම් හිතෙනවා අපේ කොල්ලො ටික ග්‍රවුන්ඩ් එකෙන් එළියට අරන් මෙයාලව ඇතුලට දැම්මනම් හොඳයි කියලා, කරන අපූරුව බලන්න. ඔන්න ඕක සන්ෆ්ලවර්ස්ලට මෙන්න මෙහෙම හරි අපූරුවට දැනුනා.

"දින්න දාට කොල්ලෝ ෂා නියමයි කියලා
කරවට මල් මාල දමනවා එකක් දෙකක් අයියෝ
පැරදුනාම ගොයියෝ මොකක්ද මේ කළේ අහනවා..."



ඒ අතරම ඔවුන් සතුව ඉතාම හොඳ උපදේශාත්මක ගීත සාහිත්‍යයක් තියෙනවා. ඔබට යළිත් සිහිවෙනව ඇති පහත ගීතයන්..

දකින දකින දේ කරන, අනුන් වගේ කරල අමාරුවේ වැටෙන මිනිස්සුන්ට ඔවුන් මෙහෙම ගැයුවා..


"තොප්පි වෙළෙන්දෙක් දවසක් දා
තොප්පි ගොඩක් කර තියන් ගියා
චුට්ටක් වැඩියෙන් අරගත් හින්දා
නිදිමත වගෙ දැණුනා..."



ඒත් එක්කම මෙන්න මේ ගීතය මටනම් හැඟෙන්නෙ සන්ෆ්ලවර්ස්ලා තුන් කල් දුටු ගීයක් විදියටයි. මොකද එදාට, අදට වගේම හෙටටත් මෙම ගීතය එක වගේම අපූරුවට ගැලපෙනවා. බලන්න මේ කියන විදියෙ අය අපි අතරත් ඉන්නවද කියලා.

"ලෝකෙ වැරදි හොනවා
හරිදේ හොයාගන්නවා
ඒත් වරද හරිය කරල දානවා
ලොවට බනම කියනවා
ආගම පෙරට දානවා
වතුර යටින් ගිණි ගෙනියනවා.."



ඒ වගේම අපේ සමහර උදවිය ඉන්නවා අඳින ඇඳුමෙන්, කන බොන කෑමෙන්, හැසිරෙන විදියෙන් පමණක් සිංහල කම මනින. නමුත් ඇත්තටම මේ සුදු සරම් පොරවගෙන ඉන්න, ලෝකෙට පේන්න අල බතල මයියොක්කා කන මේ උදවියම තමයි ජාතිය වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම ද්‍රෝහිකම් පාවාදීම් කරන්නෙ. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා රට රටවල් වල ගියාම කැඩිච්ච ඉංග්‍රීසියෙන් කතාකරන්න පටන් ගත්තාම තමන් සිංහලද කියලත් අමතක වෙන. අර අපි කියන්නෙ කලු සුද්දො, ගොඩ සුද්දො කියලා. ඔන්න ඔය දෙගොල්ලන්ටම ඔවුන් මෙලෙස ගායනා කලා.

"ආරිය සිංහල කිට් එක ඇන්දට
අල බතලයි මයියොක්කයි කෑවට
කොණ්ඩය පීරා පොල්තෙල් ගෑවට
හොඳ සිංහලයෙක් වෙයිද මචං.."


video



මීට අමතරව ඔවුන් ගැයූ අපේ හදවත් වලින් කිසි දින නොමැකෙන ගීත රාශියක් පවතිනවා.

"බ්‍රින්ග් ද රබානා හරි අප් බ්‍රින්ග් ද රබානා
බයිල සෙෂන් මීගමු වැල්ලේ.."

"උන්නත් ගජ ඉළන්දාරි ගමක් පුරවලා
බැලුවොත් මං එක පාරක් අඩිය හප්පලා.."

"පිං මාළු වලේ කුසල් හාමි මාලු බානවා
සිල් අරන් ඇවිත් සීලවතී මකුණො මරනවා.."

"ඉපදුනු දා පටන්ම ආදරයෙන් මා හදා
වැඩු බව ලොව මට කිව්වා.."

"මම උගතා මම ජගතා
කියලා කයිය ගහන මහදැනමුත්තේ.."

මීළඟට නෙල්සන් වාස් ගයන මං අතිශය ඇලුම් කරන ඉංග්‍රීසි ගීයක් තිබ්‍රන්වා, ඔබටත් මතක ඇති.

"I can't live without you.."



ඉතින් මෙවන් එකී නොකී මෙකී ගීත රාශියක්, අරුතින් පිරි ගී රාශියක් වේග රිද්ම සංගීතයට, ප්‍රසංග වේදිකාවට දායාද කල මෙම කණ්ඩායම පිළිබඳ මගේ තියෙන්නෙ බොහොම ගෞරවයක්, මනාපයක්. අද සමඟ සැසඳීමේදී ඒ හැඟීම තවත් වැඩිවන අතරම හතු පිපෙන්නාසේ පිපී මිලින වී යන අනෙකුත් සංගීත කණ්ඩායම් පිළිබඳ කලකිරීමක්, අප්‍රසාදයක්ද මතුවෙනවා. ඒ වගේම අද ජනප්‍රියත්වයක් උරුම කොටගෙන තිබෙන අනෙකුත් සංගීත කණ්ඩායම් වලට සන්ෆ්ලවර්ස්ලා සම කිරීමට නොව ඒ ආසන්නයටවත් යාම සිහිනයක් පමණක්ම වනු ඇත.

මං උදාහරණයක් කියන්නම්. සන්ෆ්ලවර්ස්ලා සමඟ අනෙකුත් ගායක කණ්ඩායම් සියල්ල වේදිකාවකට නැංවුවද, අනෙක් ගායන කණ්ඩායම් වලට එක දිගට පැය හතර පහකට වඩා ගයන්න තමන්ගේම කියල ගීත නොමැත. නමුත් සන්ෆ්ලවර්ස්ලාට අනෙකුත් කිසිදු ගායකයකුගේ පිහිටක් නොලබා දවසක් වුවද ගැයීමට තමන්ගේම කියා ගී නිර්මාණ විශාල ප්‍රමාණයක් පවතී. ඉතින් මේ අඩුව වසා ගන්නට අනෙකුත් බොහෝ ගායක කණ්ඩායම් වෙනත් ගායකයන්ගේ ගායිකාවන්ගේ ගීත ගයමින් වේදිකාවේ රැඳී සිටිනු පෙනේ. එසේත් බැරිකොට නන්දා මාලිනිය වැනි ගායිකාවන්ගේ ගීතද පිරිමින්(හිතන විදියට ) විසින් ගැහැණු හඬින් ගායනා කරමින් දඟලනු දක්නට ලැබේ. ඉතුරු හරියට කාලයට අනුව ජනප්‍රිය වෙච්ච හින්දි ගීත යලි යලිත් "පට්ට ගසනු" දැකිය හැකිය.තමන්ටම කියා ගී නිර්මාණ, තමන්ට ආවේණික වූ සංස්කෘතියක් පැවතියේනම් ඔවුන්ට මෙලෙස හිඟා කෑමට සිදු නොවනු ඇත. මෙය කම්මැලිකම සහ නොහැකියාව හැර වෙන කුමක්වත් නොවේ.

එනිසා මා තරයේ විශ්වාස කරනු ලබනු දේ නම්, ප්‍රසංග වේදිකාවේ, කණ්ඩායම් සංගීතයේ අසහාය ගායක කණ්ඩායම, අසම සම ගායක කණ්ඩායම් සන්ෆ්ලවර්ස් බවයි. එහි නියමුවන් වූ නීල් වරණකුලසූරිය, නෙල්සන් වාස් ඇතුලු පිරිසට එහි ගෞරවය හිමිවිය යුතුයි. ප්‍රසංග වේදිකාවේ ඔවුන් දෙදෙනාගේ වියපත් නොවූ තාරුණ්‍යය හමුවේ අනෙකුත් කණ්ඩායම් වල නායකයන් ගායකයන් සුකිරි බටිල්ලන්මය. වියපත් මහල්ලන්මය.

මෑත දිනයක මා වැඩ නිමවී තරමක් රෑ බෝ වී නිවසට යන මොහොතක වර්ථමානය වනවිට රටේ ජනතාව අතර අපකීර්තියට ලක් වූ ආණ්ඩුවේ රූපවාහිනියක එක් ලොතරයි පතක් හඳුන්වා දීම නිමිති කොටගෙන සන්ෆ්ලවර්ස් සමඟින් වූ සංගීත සන්දර්ශණයක් විකාශය වෙමින් තිබුනි. එහිදී මගේ සිත අතීතයට දිව ගියේ සන්ෆ්ලවර්ස් ගායක කණ්ඩායමේ ගීතයන් රැසක් යළි සිහියට නංවමිනි. එනිසාම කාලයකට ඉහත ළමා කාලයේ මා රසවිඳි ඔවුන්ගේ "සංගීත සාතරේ" ගී ඇල්බමය නැවත රසවිඳීමේ නොනිමි ආශාවක් මට ඇතිවිය. ඉතින් පසු දින අපේ දයාබර සිංදු ඇනෝට ස්තූතිවන්ත වීමට මට එම ඇල්බමයේ ගීත නැවත ලබා ගැනීමට හැකිවිය. පසුගිය දින කිහිපයේම මම ඒවා නැවත නැවතත් රසවිඳීමි. ඉතින් එම රසය එම අතීත මතකය ඔබ සමඟත් බෙදා ගැනීම වෙනුවෙන් මෙම සටහන මෙලෙස මෙහි තබන්නට සිත් විය..

සන්ෆ්ලවර්ස් ජනප්‍රියම ගී කිහිපයක් ඔබට මෙතනින් ගොස් බාගත කරගැනීමට හැකිවනු ඇත..

එසේනම් රසවිඳිමු.. මතකය අලුත් කරගමු.. කතාකරමු..