Pages

Sandumal

Sandumal

Sunday, July 6, 2014

•රජ මැදුරක ඉපදී සිටියානම්

"හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ..."






මේ මගේ සිත අදින් වසර විසි ගනනක් ඈතට දිව ගිය අවස්ථාවකි. මතකය එහි උපරිම කෙළවර දක්වා මාව සොඳුරු ගමනකට කැඳවාගෙන යයි. කතාවේ පෙර කොටසේ ඔබට හඳුන්වාදුන් තරුණ යුවල දිවිගමනේ තවත් සාර්ථක වසර කිහිපයක් ගෙවා දමා ඇත. එම කෙටි කාලය තුලදී ඔවුන් දිගු ගමනක් පැමිණ තිබුනි. ඔවුන්ගේ කිරිකැටියා තිළිණ වී ටික කලක් ගතවෙත්ම තමන් කුලියට ගෙන සිටි කඩකාමරය කෙසේවත් තම බිළිඳු සඳහා නොගැලපෙන බව දෙදෙනාම තේරුම්ගත් පසු, දයාබර පියාණන් දැඩි වෙහෙසක් ගත්තේ කෙසේ හෝ තරමක් හෝ හොඳ නිවසක් කුලියට ලබාගැනීමේ අරමුණෙනි.

නමුදු ඔවුනට සරිලන මට්ටමේ නිවසක් සොයා ගැනීම පහසු කටයුත්තක් වුනේ නෑ. අන්තිමේදී කුලියට ගෙවල් හෙවිල්ලෙන් ඔවුන් හෙම්බත් උනා. මේ අතර ගරාජයේ තමන් සමඟ වැඩකරන මිතුරෙක් ඔහුගේ කනේ හරි අපූරු ආරංචියක් තියනවා. ඒ ආරංචිය ඔවුන්ව නැවුම් බලාපොරොත්තු ගොන්නකින් පිරෙව්වා. ඒ තමයි මහියංගන ගම් උදා භූමියේ තියෙන ඉඩමක් ගැන. අඩුගානකට විකුණන්න තියෙන ඉඩමක් ගැන. ඒ කියන්නෙ තමන්ගෙම කියල තැනක්! ඉතින් දෙන්න තීරණය කරනවා කොහොමහරි ඒ ඉඩම මිලට ගන්න. ඒත් කෝ සල්ලි? ගාන පොඩි උනත් මේ දෙන්නටනම් ඒක ලොකුම ලොකු ගානක්.

මේ කතාවෙ තරුණයා, එහෙම නැත්නම් දැන් ඔයාලා හැමෝම දන්න පරිදි මගේ තාත්තා, තාත්තලාගෙ පවුලෙ බාලයා. බාලයා නිසාම පුංචි කාලෙ ඉඳලම ඔහුට අම්මා තාත්තා කියපු දෙයක් තිබුනා. 

"පුතේ උඹ පවුලෙ බාලයා, කවදහරි මේ වතුපිටි , ගෙවල් දොරවල්, දේපල සේරම උඹට. ඒනිසා අයියලාට ඉගෙන ගන්න අරිමු. උඹ දැන් ඉඳලම මේ දේවල් බලාහදා ගෙන ඉඳහන්. උඹ ඒ හැටි ඉගෙන ගන්නෙ මොකටද."

ඔන්න ඔහොමයි කියල තියෙන්නෙ. ඉතින් මේ විදියට කියලා අක්කර සිය ගානක් වෙච්ච කුඹුරුවල, දුම්කොල බාම් එකේ, වැඩකරන්න උනේ තාත්තාට. තමන්ගෙ ලස්සන ළමා කාලය තරුණ කාලයා ඔහු ගෙවා දැම්මෙ කුඹුරෙ මඩත් එක්ක ඔට්ටුවෙන්න.
ලඳු ඕවිටි කැලෑ මැද හරක් බලාගන්න. තවලම් අරන් යන්න. ඒ තමයි ඔහුගේ සොඳුරු ළමා විය. 

ඒත් ඔහුට බලාපොරොත්තුවක් තිබුනා. ඒ කවදාහරි තමන්ගෙ තාත්තාවගේම ආඩම්බරෙන් මේ හැමදේකම අයිතිය දරාගෙන ජීවත් වෙන්න. 

ඒත් කවදාවත් එහෙම උනේ නෑ. 

බෝඩිං වල නවත්තල ඉහල කොලීජි වලට යවපු තමන්ගෙ වැඩිමහල් සහෝදරයෝ හොඳට ඉගෙන ගත්තා. හමුදාවෙ පොලීසියේ උසස් තනතුරුවලට ගියා. සමහරු උපාධිය අරං ඉස්කෝල ගුරුවරු උනා. ඒ හැමෝටම වියදම්කරන්න, තමන්ගෙ ළමා කාලෙ, තරුණ කාලේ ශ්‍රමය සමඟ දියකර හැරපු තාත්තට දෙමවුපියන්ගෙන් කියල කිසි දෙයක් ලැබුනේ නෑ. දෙනවා කිව්ව කිසිම දෙයක් දුන්නෙ නෑ.
හැම දෙයක්ම ලැබුනේ අර උගත් බුද්ධිමත් මහත්වරුන්ට. මහ ගෙදර පවා. 

එකම එක දෙයක් ලැබුනා තාත්තට. පංසල් වලට පවා ඉඩම් පූජා කරපු තාත්තගේ තාත්තා, මගේ තාත්ටට දීල තිබුනා අක්කර දෙකක කුඹුරු කෑල්ලක්. ඒ පැත්තෙ මිනිස්සු ඒ කුඹුරට කිව්වෙ හඳට මැරෙන කුඹුර කියලයි. ඒ තරම්ම කන්දක් උඩ තමයි ඒ කුඹුර තිබුනෙ. 

ඔය සියලු නොලැබීම, අහිමිවීම කළකිරීම් සමඟිනුයි ඔහු එක් තීරණාත්මක දිනයක ගෙදරින් පිටවෙලා තමන්ගේ ජීවිතේ අලුතින් හොයාගෙන යන්නේ. ඒ ගමන් මඟ තුලිනුයි අනර්ඝ වෑද්දුම් ශිල්පියෙක් බිහිවෙන්නෙ.

මං මේ කියන්න හැදුවෙ අර මුලින් කීව ගම් උදා භූමියේ ඉඩම මිලට ගන්න මේ දෙන්නට පාර කැපෙන විදිය ගැනයි. ඉතින් මේ දෙන්න තීරණය කරනවා තමන්ට කිසිම වැඩක් නැති අර ගමේ තියෙන තමන්ට කියල දූන්න එකම ඉඩම් කෑල්ල, අර හඳට මැරෙන කුඹුර විකුණලා දාන්න. ඒ විදියට ඒ ඉඩම විකුණලා ඔවුන් තමන්ට අවශ්‍ය මුදල හොයාගන්නවා. 

ඒ විදියට මේ ආදරණීය යුවල මහියංගනේ තමන්ගෙ මුල්ම වත්කම තහවුරු කරගන්නවා. රුපියල් තුන්සීයක් විතරක් අතේ තියාගෙන මේ නුහුරු නගරෙට පය තිබ්බ දෙන්න අවුරුදු තුනක් යනකොට තමන්ටම කියල බිම් කොටසක් මේ පෘථිවියෙන් අත්කරගන්නවා.

ඔය විදියට ගත්තු ඉඩමේ තමන්ටම කියල ගේ පොඩ්ඩක් අටවගන්නෙක තමයි ඊළඟ අභියෝගය උනේ. කොහොම හරි, කුඩාකල සිට එකටම හැදී වැඩුණු සුන්දරේ නම් තාත්තාගේ ඥාති සොහොයුරා හා එක්ව මෝඩ ගඩොල් මැටියෙන් එකිනෙක බැඳ අහිංසක ගේ පොඩ්ඩක් දෙතුන් දෙනාගෙම හයියෙන් ගොඩනඟා ගන්න මේ දෙන්නට හැකිවෙනවා. එකල යන්තම් ඇවිදින වයසේ පසු වූ මා, මැටි නාමින් මෝඩ ගඩොල් බිත්ති බැඳීමට එකතු වූ අයුරු සුන්දරේ බාප්පා  අදටත් අප එකතු වූ අවස්ථාවන් හීදී අපරිමිත සංතෝශයකින් නිතරම මතක් කරයි. "චච්චු" ඒ තමා කුඩා මගේ සවනට මැටි ගැටෙන හඬ ඇසුනු ආකාරය.

එනිසා මැටි ගසමින් බිත්ති බැඳි සුන්දරේ බාප්පා මට චච්චු බාප්පා නම් විය. ඔහුද අද පවා මා දකින විට ආදරයෙන් "චච්චු" කියා මට ආමන්ත්‍රණය කරනුයේ අපරිමිත දයාබරත්වයකිනි.

කාලය හෙමිහිට ගතවුනා. උදේට තාත්තා වැඩට ගියවිට හුදෙකලා වුනු මාත් මගේ අම්මත් හවසට ආයෙත් තාත්තා එනතුරු පාලුවට පෙම් බඳිමින් හිටියා. අපේ කියල කාත් කවුරුත් අපි ළඟ නොහිටපු ඒ කාලේ මට මගේ මුළු ලෝකයම උනේ අම්ම විතරයි. අම්මගෙනුයි, තාත්තාගෙනුයි එපිටට ගිය වෙනත් ලෝකයක් තියෙනවාද කියලවත් මං දැනං උන්නෙ නෑ. අම්මටත් එහෙමයි. නාඳුනන ආගන්තුක පළාත් නිසා කිසිම කෙනෙක් ඕනිවට වඩා විස්වාස නොකර සිටීමට මගේ අම්ම පුරුදුවෙලා හිටියා. ඒ නිසාම කාත් සමඟවත් කිසිදු සමීප ඇසුරක් අපිට තිබුනෙ නෑ. අපිට තිබුනෙ හුදෙකලා ලෝකයක්. ඒ ලෝකෙ හිටියෙ අපි තුන්දෙනා විතරයි. අම්මයි, තාත්තයි, මමයි.

මේ මං ළඟා වුනේ මගේ මේ ජීවිතයේ මතකයේ අන්තිම කෙළවරට. ඒ කියන්නෙ පටන්ගැන්මට. මෙතැන් සිට ලියවෙන දේවල් මං අහපු දේවල් නෙවෙයි. මට මතක දේවල්. අපි හිටපු ගම් උදා භූමියේ තිබුන ගමට කිව්වෙ වගාව කියලා. ඒකට වගාව කියන්නෙ ඇයිද කියලනම් මං අදටවත් දන්නෙ නෑ. කොහොමහරි මේ ගම අසලින්මයි මහවැලි ගඟ ගලාගෙන ගියේ. ඒ නිසා ගමේ මිනිස්සුන්ගෙ ලොකුම සම්පත් උනේ මහවැලි ගඟ. මිනිස්සු නාන්න පාවිච්චි කලේ ගඟ. බොන්න වතුර ගත්තෙත් ගඟෙන්. බොහෝ දෙනෙක්ගෙ ජීවිකාව උනෙත් ගඟ. ඒ කිව්වෙ වැලි ගොඩ දැමීම.

හිටියෙ බොහොම නූගත් පිරිසක්. කුමක් හෝ වැඩක් කර හවසට කීයක් හරි අතට ගන්න මොවුන් මීළඟට හම්බුන තුට්ටු දෙක වියදම් කලේ කසිප්පු වලට. ඒ නිසාම හවස හයෙන් පස්සෙ මුලු ගමම අසූචි ගොඩක් කිව්වොත් වඩා නිවැරදියි.

කොහොම උනත් ගඟ සම්බන්ධයෙන් මට තියෙන්නෙ කවදාවත්ම අමතක නොවන මතකයන් පෙළක්. කොච්චර එපා කිව්වත් අම්ම කලෙත් අරන් වතුර ගේන්න ගඟට යනකොට බොහෝ වෙලාවලදි මාත් ඒ පස්සෙන්ම යනවා. මොකද ගඟේ වතුර කලේට එකතුකරග්න්න විදිය නට හරිම ආස හිතෙන දෙයක්. ගඟට බහින තැනින්ම බොන්න වතුර ගන්නෙ නෑ. ගඟේ මැදට වෙන්න තැනින් තැන තියෙනවා

වැලි වලින් සැදුනු කුඩා දූපත්. ඉතින් බොන්න වතුර ගන්නවනම් ඉස්සෙල්ලාම මේ දූපතකට යනවා. ඊළඟට අඩියක් පමණ ගැඹුරට වැල්ලෙ වලක් හාරනවා. මෙහෙම හාරනකොට ඉතාම සුලු වෙලාවකින් ඒ වල ඉතාම පිරිසිදු වතුර වලින් පිරෙනවා. මේ විදියට ඉස්සෙල්ලාම පිරෙන වතුර ටික පොඩි කෝප්පයක ආධාරයෙන් ඉවතට ඉහල දානවා. ඊටපස්සෙ අලුතින්ම උනන වඩා පිරිසිදු වතුර තමයි කලේට පුරවගන්නෙ. ඒකත් මටනම් හරිම විනෝදයක් ඒකාලේ. ගෙදරින් අරන් එන පෙරහන් කඩය කලේ කට උඩින් හොඳට තියාගෙන ඒ මතට තමයි වතුර වත්කරන්නෙ. එතකොට හරිම ලස්සනට පිරිසිදු වතුර ටික කලේට එකතුවෙනවා. ඒක බලං ඉන්න හරිම ආසහිතෙන වැඩක්.

ඉතින් මේ විදියට කලේ පිරුණට පස්සෙ අම්මා එක උකුලකට කලේ ගන්නවා. අනිත් උකුලට මාව වඩාගෙන ආයෙමත් ගෙදර යනවා. ඇත්තමයි මං එහෙම පස්සෙන් යන එක ඇයට අමතර කරදරයක්. වෙහෙසක්. ඒත් ඉතින් ඒ කාලේ මට එහෙම තේරෙන්නෙ නෑනේ.

දිනක් මාව නිදිකරවපු අම්මා, මං නිදි අතරේ අසල කඩේට යනවා. නින්දෙන් ඇහැරුනු මං හිතල තියෙන්නෙ අම්මා වතුර ගේන්න ගඟට ගියා කියලයි. ඒ මහියංගනේට මුරුගසං වරුසා වැටෙන දෙසැම්බර් මාසෙ දිනයක්. ඉතින් එදා මහවැලි ගඟ පිටාර මට්ටමටම ළඟා උන දවසක්. මේ ගඟේ විශේෂත්වයක් තියෙනවා. ඒ ගඟ උඩහට වහිනකොට ගඟේ වතුර මට්ටම ක්ෂනිකව ඉහල නඟිනවා බලං ඉන්දැද්දිම. ඉතින් මේත් එහෙම දවසක්. කොහොමහරි අම්මා කඩේට ගිහින් ගෙදර එනකොට මාව නෑ කියල දැනගත්තගමන් ඇය දුවගෙන ඇවිත් ගඟ ළඟට. ඒ එනකොට මං අම්මා වෙනදට වතුර ගන්න ගඟට බහින තැන තිබුනු ගලක් උඩට වෙලා වාඩිවෙලා ගලාගෙන යන මඩ පැහැති වේගවත් ජල කඳ දිහා බලාගෙන කල්පනාකරකර ඉන්නවලු. ඒ වෙනකොටත් ගඟේ වතුර මට්ටම වේගයෙන් වැඩිවෙමින් තිබුනලු. අම්මා ඉක්මනට මාව එතනින් ඔසවගෙන ඉවත් වෙනවත් සමඟම ක්ෂණිකව ඉහල නැඟි ජල පහර මා වාඩිවී සිටි ගල යටකරගෙන ගලාගෙන ගියාලු. ඉතින් එදා අම්මා තව මොහොතක් ප්‍රමාද උනානම් අද කීයටවත් ඔබට මෙහෙම සටහනක් කියවන්න නම් ලැබෙන එකක් නෑ.

මාව තනියෙන් ගෙදර දමා යා නොහැකි නිසාම අම්මා ගොඩක් වෙලාවල එයා යන හැම තැනම මාව එක්කන් ගියා. ගඟට නාන්න යනකොටත් එහෙමයි. ඒ නාන්න ගියාම ගං ඉවුරෙ තියපු බේසම ඇතුලෙ ඇය මාව ඉන්දවල රෙදි සෝදනලු.  මාව නොවැටෙන විදියට බේසම වටේට සෝදපු රෙදි අහුරනවලු. අම්මා නාල එනකල් ළඟ තිබුන කෙසෙල් ගහක කොල ඉරමින් ඒවා සපමින් මං අඬනවලු. මේ අතීතය සිහිකරන හැම විටම අදටත් ඇගේ දෑස් කඳුලින් තෙමිලා යනවා. 

මං ඉපදුනේ අනෝරා වැහි වැටෙන පාන්දරකලු. ඒ නිසාද මංද අදටත් මං වැස්සට පුදුම ආදරෙයි. වැස්සයි පාලුවයි, තනිකමයි, මායි අතර තියෙන්නෙ කවදාවත් කඩලා වෙන්කරන්න බැරි මහ පුදුමාකාර ආත්මීය බැඳීමක්. මේ දැනුත් මට මතක් වෙනවා මාව ඇඳේ නිදිකරවල අම්මා ගඟට ගිය බොහෝ දවස් වල ඇඳ අසල ජනෙල් කවුලුවෙන් සීතලට මගේ කුඩා කාමරයට කඩාවැදුනු වැහි හිරිකඩට ලොබ බඳිමින් රූරා හැලෙන වැහි වතුර දිහා කටේ ඇඟිල්ලක් ගහගෙන බලං හිටපු හැටි මං. වහලෙ තිබුන තහඩු, උළු අරං යන්න තරම් වේගෙන් හමපු චණ්ඩ සුළඟට සවන් යොමමින් අමුතුම ලෝකයක තනිවෙලා මගේ පුංචි හිත කල්පනා කලා.

ඇත්තෙන්ම මාව ළඟම තියාගෙන ජීවත් වෙන්න, මට තනියක් වේදනාවන් නොදැනෙන්න මාව ආදරෙන් බලාගන්න මගේ ආදරණීය අම්මා පුදුමාකාර දුකක් වින්දා. විශේෂයෙන්ම පොළ දවසට. එදාටනම් එයා වින්දෙ පුදුම දුකක්. පොලෙන් සතියකට ගන්න අදටත් මට මහම මහ බරකට දැනෙන දැවැන්ත බඩු මලු දෙකත් අරන් ඒ දවස් වල මාවත් වඩාගෙන වගාවට තියෙන කිලෝ මීටර් දෙක පයින් යන එක අම්මට කොහොමටවත් කරන්න බෑ. ඉතින් එදාට එයා කරන්නෙ ඉස්සෙල්ලා බඩු මලු දෙක බිමින් තියලා මාව වඩාගෙන ටික දුරක් ගෙනත් මාව පාර අයිනෙ ගහක් යට හෙවනින් තියලා ආයේ බඩු මලු ළඟට යනවලු. ඊළඟට ඒ බඩු මලු දෙක මං ඉන්න තැනට ගෙනත්, ආයෙ ඒවා එතන තියල මාව තව ටිකක් දුරට වඩාගෙන ගිහින් තියෙනවා. ආයෙ ඇවිත් මලු දෙක අරන් එනවා. හිතාගන්නවත් පුලුවන්ද දයාබර ඔබට. ඒ තමයි මගේ අම්මගේ ආදරය. මාව අඩියක්වත් පයින් ඇවිද්දුවේ නෑ.

මගේ රෝස පාට කකුල් කැතවෙයි, කලුවෙයි, පිච්චෙයි කියලා ගෙදරත් ලස්සන හුරුබුහුටි මේස් සපත්තු දාලයි අම්මයි තාත්තයි මාව ආදරෙන් හැදුවෙ. ඉතින් පයින් මාව ඇවිද්දවන්නෙ කොහොමද එයාලා.

අම්මත් එක්ක නගරෙට ගියපුවම, අම්මයි තාත්තගෙයි දෙන්නගෙම අත්වල එල්ලිලා පෝයට පංසල් ගියාම, වෙසක් එකට, පොසොන් එකට ගියාම පාර දෙපැත්තෙ තියෙන දහසක් අරු මෝසම් කෙලි සෙල්ලම් බඩු අතර මං මොහොතකට තනිවෙනවා. ආසාවෙන් බලං ඉන්නවා. මගේ තාත්තට රුපියල් 80ක පඩියක් අරන් මට රුපියල් 100ක සෙල්ලම් කාර් එකක් අරං දෙන්න බැරිබව මං ඒ කාලෙ තේරුම් නොගෙන හිටියත් අතේ තියෙන ගානෙ හැටියට එයාල මට අරං දෙන සෙල්ලම් බඩු මං හරි ආසාවෙන් තුරුල්කරගත්තා. 

කොච්චර අමාරුකම් තිබුනත් ඒ අමාරුකම් මට නොදැනෙන්න එයාල මං වෙනුවෙන් අනන්ත දුක් ඉහිලුවා. ඒක මං දන්නවා. කවදාවත් එක මොහොතකටවත් මට බඩගිනි උහුලන්න ඉඩතිබ්බෙ නෑ එයාලා. කවදාවත් මගේ කිරි එක වරද්දවුවේ නෑ ඒ දෙන්නා. මාළු මාමා ගේ ඉස්සරහින් "මාළෝ..මාළෝ..." කියල කෑගහගෙන යනකොට මාත් "ආළෝ.." ගාගෙන කඩුල්ල ළඟට දුවල ඉවරයි. මීකිරි මාමා, "මී..කිරී..., මී..කිරී..." කියාගෙන යනකොට මං ඊට වඩා හයියෙන් "පී..කිරී..." ගාගෙන දුවගෙන ආව හැටි අවුරුදු විසිගානකට පස්සේ, අදත් තවමත් මීකිරි විකුණන මාමා කඳුලු පිරිච්ච ඇස්වලින් මතක් කරනවා මං ඒ කාලේ "පී..කිරී..." කියල කෑගහපු හැටි, කලාතුරකින් හරි මුණගැහුනොත්.

කොහොම උනත් අම්මගේත් තාත්තාගේත් අසීමාන්තික ආදරයට තුරුල් වෙලා තට්ට තනියම පාලුවෙන්, ගතවෙච්ච මගේ ළමා කාලෙට අදත් මං පුදුම විදියට ආදරේ කරනවා. ඒ පාලුවට නිතරම හිත දුවල එනවා. ඒ හැඟීම මං පුදුම විදියට විඳිනවා. අදටත් ජනේලෙන් බේරිලා ආව හිරිකඩ හුළඟෙ සීතල මට දැනෙනවා. කුඹුක් ගස් හෙවනේ නිසංසලේ ගලාගෙන ගියපු ගඟේ වතුර වලින් ආව අමුතුම සුවඳ මේ දැනුත් මගේ නාස් කුහර පලාගෙන යනවා මට දැනෙනවා. තව ලියන්න දේවල් මහ ගොඩයි. ඒත් අදට මෙතනින් නතර කරනවා. 

මගේ බිළිඳු අවධිය ගැන සිහිපත් වෙන හැම මොහොතකම නිතැතින්ම මට සිහිවෙන ගීතයක් තියෙනවා. මේ ගීතයේ තියෙන හැම වචනයක්ම මගේ ළමා කාලෙට සමපාත නොවුනත් එහි බොහෝ තැන් මගේ බිලිඳු වියේ සියුම් තැන් තදින් ස්පර්ෂ කරනවා. ඒ නිසා මට මේ ගීය කවදාවත් මගේ හිත පතුලෙන් අයින්කරන්න බෑ. අදට නවතින්නම් මේ ගීතයත් සමඟින්..



"රජ මැදුරක ඉපදී සිටියානම් 
නුඹත් රජෙකි පුතුනේ..
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි 
අද නුඹෙ සිරියහනේ...
හීනෙන් හිනා නොවී 
මා හඬවාපන් මේ රෑ යාමේ...

පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලි..
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී..
අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...

ඉද හිට මොලවන ලිපත් දනී පුත කැද රස සුනු සහලේ..
දිව බොදුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ..
ඇදලා කල් ගිය රෙදි වැරලි නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ..."


ගායනය : විශාරද මාලනී බුලත්සිංහල
පද රචනය : ලූෂන් බුලත්සිංහල
සංගීතය : එච්. එම්. ජයවර්ධන 




(Raja Meduraka Ipadi Sitiyanam - Malini Bulathsinhala)




ගීතයේ ස්වර ප්‍රස්ථාරය

******************************************************

ඡායාරූප අන්තර්ජාලයෙනි.

විශේෂ ස්තූතිය : ගීතය සඳහා ස්වර ප්‍රස්ථාරයක් සොයා දුන් බ්ලොග් සහෘදයාට..




107 comments:

  1. උඹ කොහොම පිලි ගනිද මන්දා මගේ ජීවිතය කියලා මීට වඩා වෙනස් නෑ ,ඉස්සර ගෙදර ඇතුලේ බිත්ති වලින් හතු පිපෙන්නෙ ,උල්දියට වතුර පිරිලා එහෙන් ගේ ගිලා බහිනවා...මෙවා අත්දකින්න ඕන බන් නැත්නම් එක කොහොමද කියලා හරියට තෙරුම් ගන්න ,
    මෝඩ ගඩොල් කියන්නෙ පිලිස්සුවෙ නැති ගඩොල් නේ ?ඔය ගගේ වැල්ලෙ වලක් හරන එකට කියන්නෙ පූ වල කියලා නේ ???
    උඹ දන්නවද එච් ඇම් ජයවර්ධන ශුරින් ගේ ගම කොහෙද කියලා ???පොඩ්ඩක් හොයලා බලහන් ...

    ReplyDelete
    Replies
    1. බොක්කෙන්ම දියන් මචං අත. මේ බිංතැන්නෙ අපි ඔක්කොමගේ ජීවිත එකවගේ මචං. බිංතැන්නෙ විතරක් නෙවෙයි, අද මේ මහ පොලොවෙ පය ගහල ඉන්නෙ මේ රටෙන් බාගයකම ජීවිත මේ වගේ කියලා මං දැන් දන්නවා. මට මගේ ජීවිතයට තියෙන වටිනම ආබරණ ටික තමයි මගේ අතීතය. අද ඒ අතීතය දිහා ආපහු හැරිල බලපුවාම ඇවිත් තියෙන ගමන් මඟ ගැන ඇතිවෙන තෘප්තිය ගැන කියාගන්න වචන නෑ සහෝ මට.

      මෝඩ ගඩොල් කියන්නෙ පුච්චපු නැති අමු ගඩොල් තමයි මචං. ඒ දවස් වල ඒ ගේ හදන්න ගඩොල් වත්තෙන්ම අපිම කපාගත්තා. උඹලට ආයෙ මෝඩ ගඩොල් ගැන අමුතුවෙන් මං මොනා කියන්නද මචෝ. හැබැයි අදටත් අපේ ගම් පලාත් වල තියෙනවා මෝඩ ගඩොලින් බැඳපු ගෙවල් අවුරුදු සීයක් විතර පරණ. යකඩ වගේ හයියයි ඒ බිත්ති. පූවල කියන්නෙත් ඔය වතුර ගන්න වැල්ලෙ හාරන වලට තමයි. ඒ වචනය මේ වෙලාවෙ උඹ මතක් කරපු එකනම් ලොකු දෙයක්.

      එච්. එම්. ජයවර්ධනයන් ගැනනම් ගොඩක් විස්තර දන්නෙ නෑ මං. දන්නෙ මාලිනී බුලත්සිංහලයන්ගේ සැමියා විදියට සහ විශිෂ්ඨ සංගීතඥයෙකු විදියට තමයි. මං ඒ ගැන හොයල බලන්නම් සහෝ...

      Delete
    2. සහෝ එච්. එම්. ජයවර්ධන සියබලාණ්ඩුවේ නේද ?.....

      Delete
    3. අනිවාර්යයෙන්ම එක තමයි මං මේ සදුමල්ට කියලා තියෙන්නෙ ,අපේ වටිනා මිනිස්සු පෙන්නන තියෙන තැන් මග හරිනවා ,කැලුම් කොහෙද දන්නෙ නෑ ,එත් මුයි මායි දෙන්නාම එකම පැත්තේ මු හිතා මතාම මෙක මගහැරියද කියලා මට තරහකුත් අවා. සමහර විට සදුමල් දන්නෙ නැතුව ඇති ඒහෙම හිතලා තමයි හොයලා බලන්න කිව්වෙ

      Delete
    4. මාත් තොපේ පැත්තේම තමයි බොල .....

      Delete
    5. එල කිරිස් මං දැනන් උන්නෙ නෑ නොවෑ .....බුකියේ ඉන්නවා නම් කියහන් මං දන්න කෙනෙක් වෙන්න පුළුවන් හැක් ....

      Delete
    6. අඩේ සහෝ..සිරාවටම මචං මං දැනං උන්නෙ නෑ එහෙම දෙයක්. දැන් උඹල ඔය කිව්වම තමයි දන්නෙ එච්.එම් ජයවර්ධනයන් අපේ පළාතෙ කියලා.

      සහෝටයි කැලුම්ටයි දෙන්නටම තුති මේ කාරණය මතක් කලාට.

      Delete
    7. එච්.එම්.ජයවර්ධන පස්සර මධ්‍ය මහා විදුහලේ බව කියා තිබෙනවා.

      H.M.JAYAWARDANA

      Delete
    8. අරූ අයියේ..ඔයා මේ වචනෙට අකැමති උනත් මං මෙහෙම කියනවා. ඇත්තටම ඔයාට ගොඩක් පිං. මට මහමෙරක් වගේ වටිනවා ඔයා මේ දුන්නු ලින්ක් එකේ තිබුන ලිපිය. ඔව්..මං ඔහු ගැන කියෙව්වා. ලිපිය තුලින් වඩා සංවේදීව මං ඔහුව කියෙව්වා. හැමෝටම මං ආයචනය කරනවා මේ ලින්ක් එකට ගිහින් ඒ ලිපිය කියවන්න කියලා. ඒ තරම්ම වටිනවා. සහෝදර කිව්ව වගේ මට මහා ආඩම්බරයක් දැනෙනවා මේ ශ්‍රේෂ්ඨ මිනිසා අපේ පළාතේ මුලක් වෙච්ච එක ගැන.

      Delete
    9. හේරත් මුදියන්සේලාගේ ජයවර්ධන (එච්.එම්. ජයවර්ධන) යනු ශ්‍රීලාංකීයා ගායකයෙකි, තනු රචකයෙකි.මාලිනී බුලත්සිංහලගේ ස්වාමියාවූ හෙතෙම කසුන් කල්හාර ජයවර්ධනගේ පියාණන් ය.සියඹලාන්ඩුවේදී‍‍ උපතලද ඔහු පස්සර මධ්‍ය මහා විද්‍යාලයෙන්‍ අධ්‍යාපනය ලැබීය.(http://si.wikipedia.org/wiki/%E0%B6%91%E0%B6%A0%E0%B7%8A.%E0%B6%91%E0%B6%B8%E0%B7%8A._%E0%B6%A2%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1)

      Delete
    10. ලින්ක් එක දුන්නටනම් ස්තූතියි කැලුම්.. ඒත් ඒකේ ආටිකල් එක නෑනේ.

      Delete
  2. මුලින් ම ස්තූති කරන්න ඕනේ මේ ගීතය තෝරාගත්තා............ අපි ඉතුරු ටික සංවේදනාව කියවලා ම කතා කරමු.......

    ReplyDelete
    Replies
    1. අනිවාරෙන්ම ගී පවුරේ... අපි ඒ ගැන කතාකරමු. ගීතයනම් ඉතින් මගේ බිළිඳු වියේ ජාතික ගීය වගේ තමයි මට.

      Delete
    2. ඇත්ත ම කතාව කියන්නම් මනෝෂ්................

      ගගෙන් වතුර ගන්න සිද්ධියට එනකල් කියෙව්වා. තව දුරටත් කියවන්න බෑ. මොකද මට මෙතන දැන් අඩන්න බෑ. ඒ මනෝෂ් ගැන දුක හිතිලා විතරක් නෙමෙයි. මට මගේ ළමා කාලය මතක් වෙලා. අපි කොහෙන් හම්බුනත් අපි හැමෝම එකම තැනක තමයි ඉදලා තියෙන්නේ කියලා මට හිතෙනවා. කවදා හරි දවසක මං ලියන්නම් මගේ ළමා කාලය. ඒක ගමක වුණ දෙයක් නෙමෙයි. ටිකක් විතර නාගරික තැනක වුණ දෙයක්. හැබැයි මමත් ළමා කාලයේ විදින්න පුළුවන් උපරිම දුක් වින්දා. අදටත් ඒ අමාරුකම්, වේදනාවල් හොදට ම තේරෙන්නේ ඒ හින්දා වෙන්න ඇති.

      ඒ වගේ ම ඒ දුක විදපු හැමෝම කියනවා වගේ මටත් ඒ ජීවිතේ හරිම සුන්දරයි. ඒ වෙන මොනවත් හින්දා නෙමෙයි මනෝෂ් ඒ කාලේ හරිම සරළ නිසයි. හැබැයි අපි වෙනුවෙන් අම්මලා තාත්තලා වින්ද දුක් ගැන නම් අපි නිතර මතක් කරන්න ඕනේ. ඒ අය වෙනුවෙන් අපි දැන් වුණත් කරන දේවල් කොයිතරම් පොඩියි ද කියලා හිතෙන්නේ එතකොටයි.

      ඔය දුක මං හොදට දන්නවා මනෝෂ්... සමහර විට ඔබ මට වැඩිය ඒක විදවලා ඇති. ඒත් දුප්පත්කම කියන දේ මං හොදට දන්නවා. කඩවල් වල තියෙන සෙල්ලම් බඩු දිහා බලලා කවදාවත් අපි ඒවා ඉල්ලලා නෑ. ඒ ආසාව නැතුව නෙමෙයි. මට යන්තං තේරෙන දවසේ ඉදලා දන්නවා තාත්තට ඒක කරන්න බෑ කියලා. ඉතින් මං ඒවාට ආසා නෑ කියලා ලෝකයට පෙන්නුවා. වෙන දෙයක් තියෙනා මනෝෂ් මං අදටවත් පිටිකිරි බොන්නෑ. මට අප්පිරියයි. ඒත් ඒ වෙන මොනවත් හින්දා නෙමෙයි. මට පොඩි කාලේ කිරි ගෙනත් දෙන්න බෑ කියලා මං දන්න නිසා මං ඒක එපා කියලා ප්‍රතික්ෂේප කරා. දැන්වත් මට ආයෙම ඒක පටන් ගන්න බෑ. මං ඒක ඒ තරම් එපා කරගත්තා. දෙමවුපියෝ ගැන හිතලා..

      කොහොම වුණත් ගීතය නම් කතාවට නියමෙට ගැලපෙනවා.. කතාව අගෙයි මනෝෂ්... ගීතය ගැන බින්දුවක් වත් කතා කරන්න ඕනේ නෑ ඒ ගීතය ගැන විචාරය කරන්නට... මං ඒක අද තේරුම්ගත්තා. ඒක ජීවිතේ කොටසක් වීම තමයි හොදම දේ........ කියන්න වචන නෑ මනෝෂ්.............. නියමයි...

      Delete
    3. ගී පවුරේ.... මට මේ මගේ කතාවටත් වඩා දහස් ගුණයක් සංවේදීව දැනුනා ඔබේ මේ කතාව. ඇත්තටම මේ ලංකාව පුරා විසිරිලා හිටියට, අපි කවදාවත් දැකල හඳුනලා නැතිවුනාට, අපි හැමෝම එකම අම්මගේ දරුවො නොවුනට, අපි හැමෝගෙම කතාව සමානයි. ඒක මහ පුදුමයක්. මට දැනෙන්නෙ අපි හැමෝම එකම පවුලක වගේයි.

      ගී පවුර කීව පිටිකිරි සම්බන්ධ කතාවනම් මට දරාගන්න බැරි වුනා. ඒ තරම්ම ඒක මාව වේදනාවට පත්කලා. ඔබ අදටත් කිරි අප්‍රිය කරගෙන..හිතා මතාම... ඔබ ඔබේ මවුපියන්ට කෙතරම්ම ආදරේ කරලද. මේ ගීතයේ හැම වචනයක්ම ඔබේම ජීවන අන්දරය වෙලා. ඔබේ මවුපියන්ට වේදනාවක් නොදැනෙන්න ඔබ නිහඬවම කෙතරම් වේදනාවල්, ආශාවන්, දුක් කඳුලු කම්කටොලු දරාගෙනද. ඔබ ඇත්තෙන්ම ආදර්ශමත් විශිෂ්ඨ දරුවෙක්. සෝබන සිරිමත් ආකාරයේ දරුවන් අතර ඔබ මහ පොලොවේ පය ගහල ජීවත් වෙච්ච, අදටත් ජීවත් වෙන අසිරිමත් දරුවෙක්. ආඩම්බරයි, ඇත්තෙන්ම මට පුදුම ආඩම්බරයි ඔබ ගැන. අද ඔබටත් මටත්, අපි දෙන්නටම ගෙවුන අතීතය දිහා පුදුමාකාර උපේක්ෂාවකින් බලන්න පුලුවන්. හදවතින්ම සතුටු වෙන්න පුලුවන්. අපි වඩාත් සංවේදී කුළුණුබර මිනිස් කැලක් විදියට එකතුවෙලා ඉන්නෙ, අතීතයෙන් අපි ලබපු පන්නරය නිසාම වෙන්නැති.

      හැමදාමත් මගේ ලිපිවලට නවමු අදහස් එකතුකරමින්, නව කෝණයන්ගෙන් නිර්මානය දකිමින් විඳිමින්, ඉතාම දයාබර ලෙස මාව අගය කරමින් මගේ බ්ලොග් එක දේදුන්නක් වගේ වර්ණ ගැන්නුවා ගී පවුර. අද ඒකෙ උපරිමයට ඇවිත්. ඔබේ මේ අතීතය මගේ බ්ලොග් පිටුවෙ තවරන්න තරම් ඔබ නිහතමානී උනා. ඒකෙන් මගේ නිර්මාණයට, ඇත්තෙන්ම මගේ කතාවට අලුත් වටිනාකමක් එකතුකලා.

      Delete
    4. කුරුට්ටා ++++++++++++++++++++++++++++

      Delete
    5. කුරැටු උඔගේ කථාවට මම මනාපයි.

      Delete
    6. "අපි කොහෙන් හම්බුනත් අපි හැමෝම එකම තැනක තමයි ඉදලා තියෙන්නේ කියලා මට හිතෙනවා." @කුරුටු
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    7. පත්තරේ, සංජීව. කැලුම්...

      කුරුටුගේ කතාවට කොච්චර ලකුණු දුන්නත් මදි. මේ අව්‍යාජ බව නිහතමානිකමම කොච්චර වටිනවද බං. මේ තම්යි මහපොල්වෙ පයගහල ඉන්න මිනිස්සු.

      Delete
  3. සංවේදී ලියමනක් මනෝෂ්.. උඹ දන්නවා ඇති වානේ පන්නරය ලබන හැටි.. ඒ වගේ මේ සියළු හැල හැප්පිලි උඹේ ජීවිතට පන්නරය දෙන්න ඇති.. වරිච්චි බිත්ති, ටකරංවහල. ගොම මැටි ගාපු බිම.. සහ හඳට මැරෙන කුඔුර නෙතු අග කඳුළුත් එක්ක මගේ හිතේ නලියන්න ගත්තා..
    ජීවිතේ ටික දුරක් ඇවිල්ලා ආපහු හැරිලා බලලා සතුටු වෙන්න පුඵවන්නම් ඒ හොදටම ඇති.. රජ උනා වගේ තමයි... එතකොට හීනෙන් නෙවෙයි හැබැහින්ම හිනාවෙන්න පුළුවන්... ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ හැම දේම උඹට සජීවීව හදවතටට දැනුනා විදානේ. ඒකම ඇති මට ඉහේ මල් පිපෙන්න. මේ ලිවීමතුල අද මං ටිකක් අසාර්ථකවෙලා කියලයි මට හිතිල තිබුනේ. ඒත් දැන් එහෙම හිතෙන්නෙ නෑ. හැබෑම කතාව නිසා මචං, සන්වේදීකම වැඩියි.

      අනිවාරෙන්ම මචං ඇවිත් තියෙන ගමන ගැන නම් අද දස දහස් ගුණයක් සතුටුවෙන්න පුලුවන්. වානේ පන්නරය ලැබූ හැටි.... හිත පතුලටම දැනුනා උඹේ කතාව මචං. මේ තමයි ජීවිතේ....

      Delete
    2. //වානේ පන්නරය ලබන හැටි..//
      අන්න කතාව විදානෙ.. හරියට හරි ,එළම කිරි !!!

      Delete
    3. තලන්න තලන්න තව තවත් මුවහත් වෙන ජීවිත..

      Delete
  4. ගීතයත් එක්ක අපූරුවට ගලාගෙන යන කතාවක් .... සංවේදියි .... විශිෂ්ටයි

    උඹට ඔය ස්වර ප්‍රස්තාර හොයලා දෙන බ්ලොග් සහෘදයා දුරස්ථ ගිටාර් පාඨමාලාවක් කරනවා .. දැනටත් ශිෂ්‍යයෝ බර ගානක් ඉන්නවා. බොරුනම් අහල බලපන්

    ReplyDelete
    Replies
    1. මටත් ආසයි උනේ ඉගන ගන්න, ගුරු පඩුරු විදියට ගල් බාගයක් ඇති වෙයිද?

      Delete
    2. ඒකනේ ඉවාන් අයියේ.. කියල වැඩක් නෑ. සහෘදයාට එහා යමක් ලිව්වොත් ඒකා මාව පතුරු ගහනවලු. මට වෙඩි තියනවලු. ඉතින් මාත් එහෙම ලියල නිකං ඉන්නවා. කොච්ච්‍ර කිව්වත් වැඩක් නෑ.

      දුරස්ථ ගිටාර් පාඨමාලාව ගැන මාත් දන්නවා. මං ඇහුව විදියටනම් ඉවාන් කියන්නේ ඒ පාඨමාලාවේ ඉන්න වඩාත්ම දීප්තිමත් කැපී පෙනෙන වේගයෙන් දියුණු වෙන ශිෂ්‍යයෙක්. ඊයෙත් කතා උනා.

      මාත් ඉක්මනටම ගිටාර් කට්ටක් හොයාගත්තගමන්, එකතුවෙනවා පංතියට.

      Delete
    3. මචං විදානේ...

      උඹ ගල් බාගයක් අරං වරෙන්, මං මේ පැත්තෙන් වල් ඌරු මස් කෑල්ලක්වත් හොයන් එන්න බලන්නම්. මොනා උනත් ගුරානෙ බං. දොළ පිදේනි, පඬුරු පාක්කුඩම් තියන එක අපේ යුතුකම නොවැ!

      Delete
    4. මාත් ජොයින්ට් එකක් ඇරං එන්නං පංතියට සහභාගි වෙන්න උඹලා එක්ක.. බිකෝස් එතකොට තමා ටොප් එකට ඔව්ව මොලේට යන්නෙ.. අහපං මාතෙයගෙන් කෙන්ජගෙන් බොරුනං :D
      අර ගිටාර් එක කරේ තියං ගහන්ඩත් උගන්නනවද බං ඔය පංතියෙ.?? මට ඕනැ ආං එහෙම ගහන්ඩ. කීයක් ගියත් කාරි නෑ :D

      Delete
    5. ගුරත් අැවිල්ලද මන්දා කියල හිෙතනවා

      Delete
    6. මංගාව වයලීන් එකක් තියනවා ඕකෙන් බැරිද ගිටාර් පාඨමාලාව හදාරන්න..
      මං මේ ගුරාගෙන් අහන්නේ...

      Delete
    7. ඒයි පත්තරයා උඹ ජොයින්ට් එකක් ගහල පංතියට ආවට කමක්නෑ..!!!හැබැයි අපිට හොඳට උගන්නපං ඈ... නැත්නම් නිකං අපිත් ගංජා ගහල වගේ ඉඳී!!

      ආයෙ තවත් වහල වැඩක් නෑ බොල. උඹේ කීර්තිය දසත පැතිරිලා ඉවරයි.

      Delete
    8. ආයෙ මංද නෙවෙයි නලීන් අයියේ....!!

      Delete
    9. බලමු විදානයෝ ගුරා ඇවිත් උත්තරයක් දෙයිද කියලා. කොහොමත් දැන් මටයි ඉවාන්ටයි ගොලුබෙලි කට්ටක් හරි හොයාගන්න වෙයි දැන් හැංගෙන්න.

      හප්පා...ඕක හරි සැරයි ඔහොම හිටියට.

      Delete
    10. ආං පටලෝගෙන.. මං නෙමෙයි ඔය ඉවාන් තමා මටත් නොදන්න දෙයක් කියල දුන්නෙ...විදානෙයො වයලින් එකෙන් නොටේෂන් එක එක ගැහුවහැකි නේ බං.. ස්වර ටිකට අත හුරු නං බලාගෙන ගහන්න ගං..ගුරා දෙයි ෂප් එක.. නලින් අයියේ ගුරා කමෙන්ට් එක දාලා ඌ මාරු, අහක ඉන්න අපි බයිට් :D

      Delete
    11. අනේ ගුරෝ මාවත් බදව ගනින්… ලොකු උදවුවක්. :)

      Delete
    12. යකෝ පත්තරයෝ.. ඔන්න උඹ වැල්ලෙ ඔලුව හංගගත්තට උඹේ පස්ස පැත්ත එලියේ...

      Delete
    13. ප්‍රියා.. ඉඳහං මාත් එනකල්.

      Delete
    14. මටත් පංතියේ ඉඩක් නැද්දෝ.............?? ගුරා කවුද කියලා දැනෙනවා දැනෙනවා වගේ

      Delete
    15. උඹට දැනෙන එක හරි. ඕකට තවත් හැංගිලා ඉන්න දෙන්න නරකයි.

      Delete
  5. උඹ පවුලේ එකම දරුවද?

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++
      ලොකුම ප්‍රශ්නය උඹට ඒකද මචෝ... හෙක්... හෙක්.....

      Delete
    2. ආ..නෑ..නෑ.. මාතලන් අයියණ්ඩි. තව එකෙක් ඉන්නවා. මලයා අපි අතරට එනකොට මේ අමාරුකාලේ ගෙවිලා.

      Delete
    3. ඒකනේ කෙන්ජි අයියා...

      Delete
    4. නෑ මේ ලියලා තියෙන විදියට මට එහෙම හිතුනා...

      Delete
    5. ඒක හොද ප්‍රශ්නයක් අයියන්ඞි

      Delete
    6. මල්ලි උඹට වඩා වසර කීයක් බාලද.. මොකෝ මට මේකේ තියෙන කරුණු ගැන ඒ තරම් පැහැදීමක් නැති උනා. සමහර කරුණු බොහෝ අබව්‍යයි. සමාවෙයන්. මම දන්නවා මේක ලෙඩක් කියලා. මට දැණුන දේ කිව්වේ. ඒකයි අර ප්‍රශ්ණෙත් ඇහුවේ. ඒකෙන් මගේ මතය තහවුරු උනා.

      Delete
    7. මාතලන් අයියණ්ඩිට හිතේ ඇතිවෙලා තියෙන ප්‍රශ්නෙ ගැන මට හරියට තේරෙන්නෙ නෑ. කෙලින්ම ඇහුවනම් අපි දෙන්නටම ලේසියි. ඒත් මං ප්‍රශ්නෙට උත්තරේ දෙන්නම්. මල්ලි මට වඩා අවුරුදු 7ක් බාලයි. ඒ කියන්නෙ අවුරුදු 7ක් මං හැදුනෙ අම්ම, තාත්තා එක්ක විතරයි. මං මේ කියපු මේ කතාව මට අවුරුදු 3ක් විතර කාලේ.

      කතාව අභව්‍යයි කියල අදහස් කරපු දේ මට තේරුණේ නෑ.

      Delete
  6. සුපිරි ලියවිල්ල....
    මම නව මැදගම,හේනානිගල,දෙහිඅත්තකණ්ඩිය පැතිවල ගියාම එහෙ වැව් වල ජලය ගෙනල්ල මිනිස්සු උණු කරල බිව්වෙ ....
    ඒ වැව් වල මිනිස්සු නානව ,රෙදි සෝදනව ,ට්‍රැක්ටරය බස්සල මඩ හෝදනව ,හරක් නාවනව .....
    රන්දෙනිගල ජලාශයෙන් යට වුන තෙල්දෙණිය වගේ පැතිවල ජනතාව ඒ ප්‍රදේශ වල පදිංචි කරවන විට තිබුන තත්වය...
    සහනාධාර වලින් යැපුන මිනිස්සු.... එයාල එක්ක ගත කරපු ජීවිතය මතක් වුනා....

    ReplyDelete
    Replies
    1. කෙන්ජි අයියා මේ ළඟපාතමනෙ වැඩකරල තියෙන්නෙ. ඒ කාලේ තත්වය නම් එහෙම තමයි අයියේ. දැන්නම් මේ පැතිවල මිනිස්සුන්ට පානීය ජලය ලබා ගන්න ක්‍රම තියෙනවා. අර කිව්ව කතාවනම් සහතික ඇත්ත. වැවේ එකම තැනක මිනිස්සු නානවා, හරකුත් නාවනවා, බල්ලොත් නාවනවා, අර කිව්වත් අගේ ට්‍රැක්ටරුත් සෝදනවා. එතනින්ම බොන්න වතුරත් අරං යනවා. ගඟේ වගේ වැවේ වතුර ගලාගෙන යනව කියලවත්යැ.

      Delete
    2. වැඩ කොලේ නැහැ මල්ලිය ඒ පැතිවල මනුෂයෝ එක්ක දවස් ගණන් ගත කලා ........එයාලගෙ ජීවිතය අත්විදින්න.....

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. මම ඇලයාපත්තුව ඔයාමඩුව තන්තිරිමලේ සිවලාකුලම ලයින් එකේ ගියා කෙන්ජි මාමා ට්‍රිපක් මෙදා පාර.. කරවෙලා ගිහිල්ලා.
      . විටක් ගන්ඩ පොඩි කඩ කෑල්ලකට ගොඩ උනා...
      ඒ කඩේ උන්න අහිංසක අම්මා කිව්වෙ මෙන්න මෙහෙමයි

      "අපිට සල්ලි නෙමෙයි අපිට ඕන වතුර පුතේ "

      දැයට කිරුලට ඔයාමඩුවෙ බට ලයින් ඇදල ෂෝ එකක් ගහපු උංගෙ අම්මලාට ##වන්ඩ හිතුනා.. අම්මාපල්ලා !!!

      Delete
    5. පලයන්ඞ පත්තරයා උඹ ෂියට් එකක් ගන්ඞ නේද නැවැත්තුවෙි?

      Delete
    6. ඒ කියන්නෙ කෙන්ජි අයියා මොකක් හරි රිසච් එකක් කලාද එහෙම නැත්නම් සංචාරය කලාද. කොහොම උනත් මේ ගම්වල යථාර්තය එහෙම සියැසින් දැකලා හදවතින් වින්ද එකනම් ඔබට ජීවිතේ කවදාවත් අමතක වෙන්නැති අත්දැකීම් ගොන්නක් වෙන්න ඇති.

      Delete
    7. ඒ පත්තරේ..අන්න ඒ උඹ දැක්ක කතන්දරේ තමයි මේ කාලකණ්නි පලාත්වල හැබෑම ස්වරූපය. ඔය දේවල් වහල තමයි අරුන්දල දැයට තොප්පිය තියන්න එන්නෙ. කට නලියනව බං. වෙන මොකුත් කියන්නෙ නෑ මං. දැයට මඟුල.

      Delete
    8. සංජීව..අර කිව්වත් වගේ ඕක බුලත් විට කන්නම නතර වෙන්නැති එහෙනම්!!

      Delete
    9. සංජීව අයියා .. :D තෝ තමා මිනිහා .

      Delete
    10. /////මේ කාලකණ්නි පලාත්වල/////
      මනෝෂ්.....ඔය පලාත්වල වරදක් නෙමේ. ඕවාට වගකිවයුතු කාළකන්නින්ගේ වරදක්.

      Delete
    11. ආ.. ඒකියන්නෙ සංජීව හරි. එහෙම නේද පත්තරේයෝ..

      Delete
    12. ඇත්තමයි එහෙම කියවුනා අරූ අයියේ. පළාත්නම් හරිම සුන්දරයි. අර කිව්වත් වගේ කාලකණ්නි යක්කුන්ගෙ කාලකන්නිකම ඒ පලාත් අඳුරින් වහගෙන.

      Delete
    13. පළාතට, රටට නෙමේ බං බනින්න ඕන ඕවයෙ අරක් ගත්තු යක්කු විශේෂයක් ඉන්නවා. ඒ කාළකණ්නි පිශාචයන්ටයි. උන් තමා ඕවට වගකිවයුතු පාළකයො, නිළධාරියො.

      Delete
    14. ඔව් මචං හිතට ආව ආවේගටයි එහෙම කියවුනේ. නැත්නම් මාත් පුදුම ආදරෙයි මේ පළාතට. මේ රට කරවන හැත්ත නිසා තමයි මචං මේ හැමදෙයක්ම අසුන්දර වෙලා තියෙන්නෙ.

      Delete
  7. කතාව නම් හොඳටම හිතට වැදුන. කියවගෙන යනකොට මගේ අතීත මතක සටහන් හරියට චිත්‍රපටියක් වගේ ඇදීගෙන ගියා.

    බොහොම ලස්සන නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. අනේ මංද ශෙහාන්.. මං අර කලින් පෝස්ට් එකෙත් කිව්ව වගේ අපි හැමෝම එකම බෝට්ටුවෙන් එගොඩ වෙච්ච එවුන්.

      ගොඩක්ම ස්තූතියි ඔයාටත්.

      Delete
    2. ගොඩක් වෙලාවට එහෙම දැනෙනවා තමයි.

      Delete
  8. සුපිරිම ඒෙකත් උපරිමය මලයා ලියැවිල්ල...

    ReplyDelete
    Replies
    1. අඩේ නලීන් අයියා, වචන ටිකනම් මල් හතයි. ඉහේ මල් පිපුණ වගේ.

      Delete
  9. ඔය තත්වෙ නොදැනෙන්න හදන ළමයි මහ අමුතු ජාතියක් වෙනව මං හිතන්නෙ...

    අපේ අම්මලත් මං පොඩි කාලෙ මාර දුකක් වින්ඳ උනත් අවුරදු 7කට පස්සෙ මල්ලි හම්බුවෙද්දි ගේ කෑල්ලක් අටෝ ගෙන පොඩ්ඩක් ඔලුව උස්සලා හිටියෙ... ඌ 8 වසරට විතර එද්දි අපේ ගෙදර පරණ කාරෙකක් තිබ්බ.. මොන හේතුවක් හින්දද මන්ද අම්මත් කියන්නෙ අක්කට මුල මතක තිබ්බට මලය නං ගන්න දෙයක් නෑ කියල... මං ඒ වෙලාවට කියන්නෙ අපිට නැතිකමට දුක් වින්ඳට ඌ තියාගෙන දුක් විඳින්නෙ මොකටද, ඌට කරන දෙයක් කර ගන්න දෙන්න කියල... ඒත් මාත් දන්නවා උගේ නාස්තිය වැඩියි කියල... මොකද උපතින්ම ලෙඩක් තියාගෙන උෟ ඉපදුන දා ඉඳල අම්මල විඳපු දුක මං දැකල තියෙන නිසා.. කොසු පොලු වලිනුත් මං ගුටි කෑවට මේ වෙනකං උෟ තාත්තගෙන් ගුටියක් කාලා නැති බව මං හොදටම දන්න නිසා... ඒත් ඌට ඒ දුක දැනෙන්න නොදුන්න එක මහ වරදක් කියල මට වෙලාවකට හිතෙනව...

    ඒ වගේ එවුන්ට ඉන්නෙ අපේ මල්ලි විතරක් නෙවෙයි...

    දාලා යන්න බැරිම උන එකා.....

    ReplyDelete
    Replies
    1. හිරු.. ඔයත් හැමදාමත් වගේ අදත් මගේ ලිපියට පාට එකතුකරලා. කලින් දුන්න ලින්ක් එකත් නියමයි. මං ඒ ලස්සන කතාව කියෙව්වා. මගේ අම්මගෙයි තාත්තගෙයි කතාව තරම්ම ආදරණීයයි ඒ කතාවත්. මේ ලිංක් එකත් ඒ වගේම ඇති කියල හිතනවා. ගිහින්ම බලන්නම්.

      උඩින් අර මාතල අයියත් එක්කත් කිව්ව වගේ මගේ මල්ලි ඉපදෙනකොටත් තත්වෙ ඔය වගේ. ඒ වෙනකොට අපේ දුෂ්කර කාලෙ ගෙවිලා ගිහිල්ලා. ඒ නිසාම මලයට එහෙමකට කියල කිසිම දුකක්, අඩුවක් පාඩුවක් තනිකමක් දැනුනෙ නෑ. ඉල්ලපු හැමදේම ඉල්ලුවටත් වඩා ඉකමනට එයාට ලැබුනා. ඒ නිසාමද මංද දුක වැඩිය තේරෙන්නෙ නෑ ඌටත්. තාම පොඩි එකා. මේ අවුරුද්දෙ ඕලෙවල්. ඒත් ඒකට ජීවිතේ කිසිම බරක්පතලක් නෑ. සමහර විට ඉතින් වයසත් එක්ක තේරුම ගනී.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. අක්කල ඉන්න උංව ගෙදරින් එලියට ගන්ඩ අපි කාපු කටු :D චැහ්.
      ඒව මතක් උනා බං..

      Delete
    4. ඔය තියෙන්නෙ අත්දැකීම. ඒ උනාට පත්තරයො මං හරි මනාපයි මට අක්ක කෙනෙක් හිටියනම්.

      Delete
  10. ස්තුති මනෝෂ් අතීත මතක සටහන් වලට මාව අරන් ගියාට. කලින් ලිපියට දැම්ම කමෙන්ටුවමයි ආයෙත් දාන්න වෙන්නෙ. මගෙත් හය හතර තේරෙන්න පටන් ගත්ත බාල කාලේ ගෙව්නෙ ඔය ලග පාත තමයි. දෙහිඅත්තකණ්ඩිය, සිරිපුර අවට ගෙවපු කාලේ මතක ඔබ ආයෙත් අළුත් කලා. නරක කාලායක් නිසාත් උපන් ගමෙන් පිටමන් වෙලා නාදුනන පළාතක ජීවත්වෙන්න වුනු නිසාත් අපිත් ගෙව්වෙ හුදෙකලා පාලු ජීවිත. කිසිම මනුස්සයෙක් අහල පහල නැති පාලු ඉලුක් යායක් මැද්දෙ ඉඩම් කෑල්ලක් ගන්න තාත්තා සල්ලි හොයා ගත්ත විදිහ ගැන අවබෝධයක් නැතත් පොලවල් ගානේ ගිහින් ලොතරැයි විකුනපු මනුස්සයෙක්ට ඒක ලේසි වැඩක් නොවන බව නම් මං දන්නවා. ඒ ඉඩමේ ගේ කෑල්ලක් නග්ගන්න බැදපු ගඩොල් වලින් වැඩිමනක් කැපුනෙ අම්මගේ අතින්. සර්පය්න්ගෙන් අපිව පරිස්සම් කරන්න ඕන නිසා අම්මා මුලු ඉඩම් කෑල්ලෙම අගලින් අගල උදැල්ලෙන් පෙරලලා ඉළුක් මුලේ ඉදන් ගැලෙව්ව හැටි. ඉඩම කෙලවරේ තිබ්බ පුංචි වගුර කුඹුරු කෑල්ලක් කල හැටි. අපි වැඩිපුරම දැක්කෙ අම්මගේ කැපකිරීම් උනත් තාත්තා ඊට නොදෙවෙනි ලෙස කැප උනා. පොසොන් එකට බූංදි, පුහුල් දෝසි, මුරුක්කු පුරවපු වීදුරු කරත්තයක් තල්ලු කරගෙන දෙහිඅත්තකණ්ඩියෙන් දිඹුලාගල දක්වා යන්න පිටත් වෙන තාත්තා සතියකින් විතර ආපහු එන හැටි දිඹුලාගල කන්ද දකින හැම මොහොතකම මතක් වෙනවා.
    කලින් කමෙන්ට් එක දැකලා ඔබ කියල තිබ්බ නේ බ්ලොග් එකේ ලියන්න කියල. මං උත්සහ කරන්නම්. ඒත් මං සාර්තක නොවුනොත් ඒක ඔවුන්ගෙ කැප කිරීම් වලට කරන අසාධාරණයක් කියලයි මට හිතෙන්නෙ. මොනව උනත් ඔබ නම් සාර්ථකයි. බොහොම ස්තුතී අයෙත් ඒ අතීතයට එක්කන් ගියාට.

    ReplyDelete
    Replies
    1. ඔබේ මේ අව්‍යාජ බවට, නිරහංකාරත්වයට, අවංක බවට ඔබට ආචාරය පුදකරන්න විදියක් මට හිතාගන්න බෑ. ඔබ මේ පොළොවෙ පයගහල ජීවත් වෙන සරල සුන්දර මනුෂ්‍යයෙක්. ඔබේ ලිවීමේ හැකියාව ගැන මං හොඳටම දන්නවා. ආයෙ ඒකෙ සැකයක් නෑ. ඒ නිසා ඔබේ මේ සංවේදී කතාව අප වෙනුවෙන් බ්ලොග් පිටුවක සනිටුහන් කරන්න පුලුවන්නම් ඒක ඇත්තටම ලොකු දෙයක්. ඒ තමයි, ඔබේ ඒ දිරිය මා පිය දෙපල වෙනුවෙන් ඔබ දක්වන ඉහලම උත්තමාචාරය.

      ඔබේ කතාව සහ, අද ඔබ ඉන්න තැන දිහා බලපුවාම කියවන අපේ දෑස් නිරුත්සාහයෙන්ම කඳුලින් තෙත්වීම වලක්වන්න බෑ. ඒ දුකට නෙවෙයි, අලු මතින් නැඟිට්ට ඔබේ පවුලේ ශක්තිය ගැන හිතේ ඇතිවෙන සුපහන් හැඟීම නිසයි.

      ඔබේ ලිවීමේ සාර්ථකත්වය මේ කමෙන්ට් එකේම තියෙනවා. ආයෙ ඒ ගැන සැකයක් නෑ. ඒ නිසා අපි වෙනුවෙන් විස්වාසෙන් ඔබේ කතාව ලියන්න. මේක ආයාචනයක්.

      මට අද හරිම සතුටක් දැනෙනවා. මං වගේම කතා තියෙන, මටත් වඩා ජීවිතේ දුක ජයගත්ත සහෘදයන් රෑනක් අද මාත් එක්ක ඉන්නවා.

      කවදත් වගේ ඔබේ කමෙන්ට් එක අදත් මගේ බ්ලොග් එකට අපරිමිත වටිනාකමක් එකතුකලා.

      Delete
  11. කියන්න දෙයක් ඉතුරු නොකරම හැමදේම ලියවිලා බං.. ආයේ අමුතුවෙන් මොනවා කියලා කියන්නද.. මම නම් දන්නේ මෙච්චරයි.. ජීවිතේ වෙහෙසක් අරන් ගොඩ ආව මිනිස්සු ලග ලගන්න පුළුවන් හැම දේම තියෙනවා කියන එක..

    ReplyDelete
    Replies
    1. මං දන්නවා දිනේෂ්... කියාගන්න හිතේ තියෙන දේවල් උඹට විතරක් නෙවෙයි මටත් හරියට ගලපගන්න බෑ. උඹේ කතාව හරියටම හරි. බිංදුවෙන් නැඟිට්ට මිනිස්සු ළඟ ජීවිතේට ගන්න දේවල් මහ ගොඩයි. ඒ අත්දැකීම් තව කෙනෙක්ට පුදුම විදියට ජීවිතේ කියාදෙනවා.

      Delete
  12. අපි ඔක්කම එකම බෝට්ටුවෙ මචෝ..
    ඒ හිංද මං වැඩිය මොනවත් කියන්න යන්නෙ නෑ...
    මොකද එහෙම කරන්න ගියොත් මෙතන එකම ඇඩියාවක් වෙනව

    ReplyDelete
    Replies
    1. ඔව් මහී... අපි ඔක්කොම එකම බෝට්ටුවකින් ක්ශේම භූමිය හොයාගෙන යාත්‍රා කරන කට්ටිය. මටත් ඒක පුදුම විදියට තේරුණා.

      මං දන්නවා උඹේ හිතේ තියෙන වේදනාව. ගී පවුරව මතක් උනා මට.

      Delete
  13. දැන් සිංදුවක් ඇහෙනකොට උඔ මතක් වෙනවා

    ReplyDelete
    Replies
    1. අඩේ! ඒකත් මරු නොවැ.අහන්නත් සන්තෝසයි ඇත්තටම.

      Delete
  14. අඩෝ කියන්න වචන නෑ මනෝ, සිරාවටම සංවේදීව ලියන්න උඹෙ තියෙන හැකියාව අති විශිෂ්ටයි බං.

    අම්මා පොළේ ගිහින් එත්දි උඹවයි බඩු මලු දෙකයි ගේන විදිහ කියවත්දි නම් බං මහා බරක් හිතට එකතු වෙනවා.

    අවංකවම නියමයි බං.…

    ReplyDelete
    Replies
    1. අම්මා ඒ දවස් වල ඒ වින්ද දුක ගැන කියනකොට අද උනත් මට දැනෙන්නෙ පුදුම වේදනාවක් බං.

      ඒ අතීතේ ඉඳපු මිනිස්සු අදටත් මඟතොටේ හම්බෙනවා. එයාල අදත් මේ කතාව මතක් කරනවා.

      Delete
  15. //"පුතේ උඹ පවුලෙ බාලයා, කවදහරි මේ වතුපිටි , ගෙවල් දොරවල්, දේපල සේරම උඹට. ඒනිසා අයියලාට ඉගෙන ගන්න අරිමු. උඹ දැන් ඉඳලම මේ දේවල් බලාහදා ගෙන ඉඳහන්. උඹ ඒ හැටි ඉගෙන ගන්නෙ මොකටද."// උඹලගෙ තාත්තට ලොකු අසාධාරණයක් බං වෙලා තියෙන්නෙ. ඒ තරම් දෙයක් වෙලත් වැටෙන්නැතුව කකුල් දෙකෙන් හිටගත්තු උඹලව හිට්ටවපු ඒ රත්තරන් මනුස්සයා පුදුම දහිරිය වන්තයෙක් බං.

    උඹ විශ්වාස කරනවද මගේ ඥාතියෙක් උගේ ඉගෙනගන්න ටිකක් උනන්දු නැති පුතාට නිතරම කියන වාක්‍ය මගේ කණ් දෙකට ඇහිලා තියෙනවා "මූ මොකට ඉගෙන ගන්නවද එකම දරුවා එකේ කවදා හරි මේ ඔක්කොම මූටනෙ. ඔන්න ඔහෙ හිටපු දෙන්." ඉගෙනීමක අගය දන්නැති කම බං… මහ පිස්සුවක්.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ බං ඒ වෙලාතියෙන අසාධාරණේ නම්. මගේ ආච්චියි, සීයයි තමයි මචං. සීයනම් දැන් නෑ. ඒත් ආච්චිනම් ඉන්නවා. ඒත් මං මේව කියන්න ලැජ්ජවෙන්නෙ නෑ බං. අරං හදාගත්ත දරුවෙක්ටවත් මං හිතන්නෑ අම්මෙක් තාත්තෙක් මෙහෙම කරයි කියල බං.

      හැබැයි මචං, හැමදේම වෙන්නෙ හොඳට කියන්න වගේ එහෙම වෙච්ච එකත් හොඳයි. මොකද අද තාත්තා ඉන්න තැන හදාගත්තෙ එයාමයි. එයාගෙම කැපවීඖත්සාහය. එයාගෙම වත්කම. කවුරුවත් දීපු දෙයක් වත් පිනට ලැබුන දේවල් වත් නෙවෙයි.

      ඒ වගේම අද එයාගෙම හයියෙන් එයාගේ දෙපයි නැඟිටපු තාත්තා පවුලේ අනිත් කාටවත් ළඟාවෙන්න බැරිතරම් ඉතාම හොඳ තැනක ඉන්නවා. එදා හැමදේම ලැබුන අයට වඩා මොකුත් නොලැබුන තාත්තා හොඳට ඉන්නවා. අද අපේ ආචිචි අතීතෙ ගැන පසුතැවෙනවා.

      Delete
    2. චැහ්.. මට ඔහොම කිව්වෙ නෑනෙ :D

      Delete
    3. උඹටත් ඔහොම කියලා අර අපේ තාත්තට කොලා වගේ කලා නම් තිබ්බ බලාගන්න!

      Delete
    4. අපිට එහෙම නොකිව්වත් අපි කලේ ඔහේ හිටපු එකනෙ බං. හි :)

      Delete
    5. කිව්වට බෑ..කරුමේ..කරුමේ...

      Delete
  16. මොනවා කියන්නද මනෝ ....උඹට ජය

    ReplyDelete
    Replies
    1. දන්නවා මචෝ..නොකීවත්. ස්තූතියි උඹටත්.

      Delete
  17. බෝම හොදයි.. උඹට පාරක් ඇත...

    ReplyDelete
    Replies
    1. වචන පහක් තුල රචනාවක් ඇත. ඇත්තමයි වටිනවා.

      Delete
    2. වචන පහක් තුල රචනාවක්…… රෝද තුනක් උඩ හීන ගොඩක්…… :) :)

      Delete
    3. ඇයි මචං ඉස්සර ටියුෂන් එකේ බංකුවේ වාඩිවෙලා ඉන්නගමන් කියන්නෙ,

      "අඟල් හයක් උඩ හීන ගොඩක් ඇත!" කියලා.

      Delete
  18. කට්ටිය කලින්ම ලියලා තියෙන හින්දා,විශේෂයෙන්ම ඔයාගේ ජීවිතය,ගම ගැන.සරලව කිව්වොත් මේ ගීතය යම් දුප්පත් දරුවෙකුගේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවාගේ ඉරණම ගැන කියන කතාවක්.ඒත් අද ලෝකයේ මිනිස්සු තමන් උපතින් ගත්ත ඉරණම මත ජීවත් වෙන්න ඕන නෑ.මේ ගීතය ගයපු ගායිකාවගේ පුතා අද දවසේ සංගීත ලෝකයේ ලංකාවේ යම් ආකාරයක් රජ කෙනෙක්.මේ ගීතය මට ගොඩක් දැනුනේ මං ඉස්කෝලේ සාමාන්‍ය පෙළයි, උසස් පෙළයි සමත් වෙච්ච වෙලාවේ.ඒත් ගොඩක් වෙලාවල මේ කියන රජ ගෙවල්වලින් බිහි වෙච්ච අයට වඩා බොහෝම දුක් ගැහැට මැදින් ආපු අය ගොඩක් උඩට ගිහිල්ලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අනිවාරෙන්ම. මට කියපු කෙනා මතක නෑ. ඒත් කවුරුහරි කියලා තියෙනවා තමන් දුප්පත්ව ඉපදෙන එක වරදක් නෙවෙයි, නමුත් තමන් මියයන්නේ දුප්පත්වනම් ඒක තමන්ගේ වරදක් කියලා. මේ දුෂ්කරතාවයන් සුපර් පෙට්‍රල් කරගෙන ජීවන රේස් එක දුවන එක තමයි හපන්කම. දුක කියවනවට වඩා විඳගෙන ඉදිරියට ගිහින් ජීවිතේ ජයගන්නෙක තමයි විශිෂ්ඨත්වය. ඒ විදියට දිනුවට පස්සේ තමන් අතීතෙ විඳි දුක් ගැන සිහිකරනෙක තරම් පට්ට රහක් තවත් නෑ.

      ඇත්තටම ඔබ කියනා වගේ ගීතය තුලම ඒ ජීවමාන සාක්ශිය තියෙනවා.

      Delete
  19. හුඟක් සංවේදීව දැනුනා මනෝෂ්.. බාදක එනකොට ජීවිතේ කරදරයක් කියලා හිතුනත් බාදක පහුකරලා ආපහු ජීවිතේ දිහා හැරිලා බලද්දී බාදක මැද්දෙන් ගත කරපු ජීවිතය කොයි තරම් නම් ලස්සනද කියලා හිතෙනව නේද...

    සටහනට වගේම මුල් පින්තුරයටත් හිත හුඟක් ඇදිලා ගියා.. ඔබ් පින්තූර තෝරා ගැනීමත් විශිෂ්ටයි...

    ReplyDelete
    Replies
    1. \\බාදක එනකොට ජීවිතේ කරදරයක් කියලා හිතුනත් බාදක පහුකරලා ආපහු ජීවිතේ දිහා හැරිලා බලද්දී බාදක මැද්දෙන් ගත කරපු ජීවිතය කොයි තරම් නම් ලස්සනද කියලා හිතෙනව නේද... //

      සහතිකෙන්ම ඇත්ත තුශානි. අන්න ඒ දවසට හිතට දැනෙන්නෙ නිරාමිස සතුටක්. ඒ සතුට විඳින්නම ඕනි. මෙහෙම කියන්න තේරෙන්නෙ නෑ.

      ඇත්තටම මගේ හිතේ මැවෙන පිංතූරෙ හොයාගන්නෙක තමයි මට අමාරුම වැඩේ. කොහොමහරි පෝස්ට් එක ලියන්න ගිය වෙලාවටත් වඩා වැඩිවෙලාවක් දඟලලා හොයල හොයලා හිතේ මැවුන චිත්‍රෙට ටිකක් හරි සමාන එකක් හොයාගන්නවා.

      Delete
  20. ඇඹිලිපිටියෙ ගත කරපු පුංචි කාලෙ මතක් වුණා බං..
    බලනකොට අපි ඔක්කොමගෙම කතාව තමයි මේ..
    මං දැං මේකට එන්නෙ සිංදුවට වැඩිය කතාව කියවන්න..උඹෙ ලිවිල්ල නං පට්ටම පට්ටයි...

    ReplyDelete
    Replies
    1. ඉතින් බලපං, උඹත් අපේ බෝට්ටුවේ. උඩ ඉඳල පහලට තියෙන කමෙන්ට්ස් වල හැම එකෙක්ම අපේ කතාවෙ කොටස් කාරයෝ. මට දැනෙන්නෙ අපි හැමෝම එකම පවුලක් කියලයි.

      උඹේ අගය කිරීමටනම් ස්තූතියි. ඒක දිරියක්, තව ලියන්න.

      Delete
  21. කියන්න දෙයක් නැහැ ඉතිරිවෙලා. මගේ කතාව කියවන අය මගේ කුඩා කාලය ගැන දන්නවානේ. අපේ තාත්තා,,,සීයාගෙන් ලැබුනු සියල්ලක් විතරක් නෙමේ..අම්මාගේ දේවලුත් නාස්තිකරපු කෙනෙක්. උඹලාගේ තාත්තා යමක් ගොඩනගපු කෙනෙක්. ඒත් අපේ තාත්තා ඉතා හොඳ සුන්දර මනුස්සයෙක්.

    මනෝෂ්ට හැමදාම සුබ පතනවා!!

    ReplyDelete
    Replies
    1. ඒකනම් හරි අරූ අයියේ. අපේ තාත්තා බිංදුවේ ඉඳලම හැමදෙයක්ම අමුතුවෙන්ම ගොඩනගපු කෙනෙක්. අපේ හැම තාත්තා කෙනෙක් තුලම බොහෝම සුන්දර මනුෂ්‍යයෙක් ජීවත්වෙනවා අරූ අයියේ.

      මේ ගමනට අරූ අයියගේ හයිය මට හැමදාමත් උදවු කලා. ස්තූතියි අයියා.

      Delete
  22. කියලා වැඩක් නෑ බං.... අතිවිශිෂ්ඨයි........ බොක්කටම වැදුනා.............

    ReplyDelete
    Replies
    1. හ්ම්.. බොහෝම ස්තූතියි මල් මල්..

      Delete
  23. අනේ මන්දා මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ..සුපිරිම කතාවක් මනෝෂ්...

    ReplyDelete
    Replies
    1. මොනවා නොකීවත් කමක් නෑ සුසී. මෙහෙම හරි අදහසක් දාල යන එකම කොච්චර දෙයක්ද?

      Delete