Pages

Sandumal

Sandumal
Showing posts with label මතක සැමරුම්. Show all posts
Showing posts with label මතක සැමරුම්. Show all posts

Tuesday, September 9, 2014

•කඩේ ප්‍රියංකා


"ඔබ පැතු මැණික ඔබ තුරුලේ ඉන්නේ..."








සමහර අයට උඹ ප්‍රියංකා අක්කා උනා. සමහර අයට උඹ ප්‍රියංක නංගී උනා. තවත් සමහරක්ට උඹ  ප්‍රියංක ඇන්ටි උනා. කට්ටියකට උඹ නිකම්ම ප්‍රියංකා උනා. මේ කොහොම උනත් අපි හැමෝටම උඹ කඩේ ප්‍රියංකා උනා.

අපේ හංදියට මානෙල් කඩේ හංදිය කිව්වම මහියංගණේ නොදන්න කෙනෙක් හිටියෙ නෑ. ඒත් කාලයත් සමඟ මානෙල් කඩේ අරාජික උනත් අදටත් ඒ නම ඉතිරිවෙලා තියෙනවා. ඉතින් ඒ කඩේ කඩාවැටුනට පස්සෙ, හංදියට තිබ්බ සිල්ලර කඩේක අඩුපාඩුව මකල දැම්මේ උඹ කඩයක් දැම්මට පස්සෙ. හංදියෙ ආයෙත් බටු ඇට කොල්ලන්ගෙ ඉඳල මහ මිනිස්සු දක්වා කට්ටිය එකතුවෙන්න ගත්තා.

ඒ උඹේ කඩේ හන්දා. හංදිය ආයෙත් කාර්යබහුල උනා. ජනාකීර්න උනා. උවමනාවක් තිබුනත් නැතත් ගමේ ගොඩක් උන් උදේ හවස උඹේ කඩේ ළඟට එකතු උනා. වෙරළබඩින් ඇවිත් විවාහ වෙලා උඹත් මේ ගිම්හාන පොළොවෙ නෑයෙක් උනා. අපිට අපේ ගමේ එකියක්ම උනා. කා අතරත් උඹ කැපී පෙනෙන චරිතයක් උනා. සමහර විට ඒ උඹේ තිබුන මුඛරි කමත්, දැවැන්ත සරීරයත් පිරිමියෙකුට උරුම පෞර්ෂ්‍යත් නිසා වෙන්නැති. දරුවො දෙන්නෙකුටත් අම්මා වෙලා ගෙදර වැඩ කොටසත් අගේට කරගෙන බිරිඳක් අම්මා කෙනෙක් විදියට උඹ හරි අපූරුවට ජීවන සටනට මුහුණ දුන්නා.

කඩේ බිස්නස් බලන් ඉන්නැද්දිම දියුණු උනා. කොලු පැටව්ම දෙන්නෙක් හිටපු උඹේ ඊළඟ ආසාව උනේ දූ සිඟිත්තකගෙ මූණ බලන එකලු. ඉතින් උඹ තුන්වෙනි දරුව වෙනුවෙනුත් ලක ලෑස්ති උනා. නිරන්තර ජීවන සටනට මුහුණ දුන්න අපේ ගමේ කවුරුත් වගේම උඹත් ඒ අතරම තවත් එක් චරිතයක් වෙලා ජීවත් උනා. දවසින් දවස මෝරගෙන එන දරුගැබ ආදරෙන් පිරිමදිමින් ගමේ හැම ගෑණියෙක් අතින්ම මේ පාරනම් මට ඉන්නෙ දුවෙක් කියල හරි ආඩම්බරෙන් කිව්ව කියල හැමෝම දැන් කතාවෙනවා.

එන්න ඉන්න දූ කුමාරිට අලුත් ඇඳුම් පැළඳුම්, බඩු මුට්ටු විතරක් නෙවෙයි, කණකර අබරණ පවා උඹ එකතු කලා කියල දන්න එවුන් දැන් කියනවා. කොහේ යන්න, කොයි වෙලාවක හංදියට ආවත් කඩේ ඉස්තෝප්පු කෑල්ලෙ තියෙන දුඹුරු පාට දම්රෝ පුටුවෙ වාඩිවෙලා උඹ පාර දිහා බලන් උන්නා. ලෙංගතුව හිනා උනා. කතාකලා. බඩේ තියෙන බත් ටික හරි එළියට ඇදල දෙන්න තරම් හිතක් උඹට තිබුනා. ඒ වගේම කොයි වෙලාවක උනත් අහල පහල ගෙදරකට ගොඩ උනාම ලිපේ තියෙන බත් එකෙන් බෙදාගෙන හරි බත් ඩිංගක් කන්න තරම් නිහතමානි කමක් උඹට තිබ්බා.

පහුගිය දවසක උඹේ කඩේ ලඟ නිතර උන්න අපේ ගමේම රාළෙ මාමා ගැනත් මං මේ විදියටම ලිව්වා. ඒත් මං හීනෙකින්වත් හිතුවෙ නෑ, උඹේ කඩේ ළඟ එහෙම උන්නු රාළේ මාමා ගැන ලියපු විදියටම මට ඊට තුන් මාසයක් යනකොටම උඹ ගැනත් ලියන්න වෙයි කියලා. මේක මහ කරුම ලෝකයක්, කරුම දෛවයක්. රාළෙ මාමා අපෙන් උදුරගත්තෙ අපේම වැව උනාට ඒක එහෙම වෙන්න පාර කැපුවෙ රාළෙ මාමාව හප්පලා උන්දැ ලෙඩෙක් කරපු අපේ ගමට අල්ලපු ගමේ විසේකාරයෙක්. මේ වතාවෙ ඒකගෙම අප්පා උඹව අපෙන් සදහටම උදුර ගත්තා. උඹත් රාළෙ මාමගේ ලෝකෙටම එකතු උනා.

පහුගිය සතියෙ සෙනසුරාද මහ ගිනි මද්දහනෙ උඹ උඹේ දරු පැටවු දෙන්නයි නෑණන්ඩියි එක්ක මහ පාර අයිනෙන් නාන්න ගියේ මොන කරුමයකටද කියල අපි තාමත් හිතනවා. ඒ වගේම මහ විසාල පතරංග පාරෙ තාර කට්ටෙනුත් පහළින් වැල්ල දිගේ ගියපු උඹව යටකරන්න තරම් මේ මනුස්සයා එච්චරටම පොට්ට උනේ කොහොමද කියන එකත් අපිට ප්‍රශ්නයක්. අපි දන්නෙ නෑ මේ මනුස්සයා මඟින් නංගගත්ත ගැහැණියගේ සීට් බෙල්ට් එක දාන්න ගියාද, නැත්නම් වෙන මොකක් හරි කරන්න ගියාද කියලා. මොකද ඒ තරමටම උන්දැගෙ චරිත සහතිකේ හොඳ නිසා.

අපි දන්න එකම දේ පොට්ටයෙක් වගේ මේ කරුමක්කාරයා පිටිපස්සෙන් ඇවිත් පාරෙ අයිනෙන් ගිය ප්‍රියංකව යටකලා කියල විතරයි. උඹට අහකට පැනල බේරෙන්න පුලුවන්කම තියෙද්දිත් උඹ කලේ උඹේ නෑණන්ඩිවයි දරු පැටවු දෙන්නවයි අහකට තල්ලුකරල දාපු එක. ඒකෙන් උන් තුන්දෙනාම බේරුණා. ඒත් උඹ අපිව දාල ගියා. උඹ විතරක් නෙවෙයි, උඹ පෙරුම්පුරාගෙන බලන් හිටිය උඹේ දූ සිඟිත්තත් අපිව දාල ගියා.


පහුගිය දවසකත් අපේ ගෙදර ආව වෙලාවෙ අවාරෙට හැදිල තිබුන අඹ රෑන දැකල පැහුනාම අඹ ඉල්ලලා තිබුන විදිය අම්මා මතක් කරන්නෙ ඇහේ කඳුලු පුරෝගෙන. අපේ අම්මගෙන් බත් මුලක් නොකාපු එකම ගැබ්බර අම්මෙක් වත් නෑ අපේ ගමේ. ඒත් උඹට බත් මුලක් දීගන්න අම්මට බැරිවෙච්ච වේදනාව උහුල ගන්න අම්මටත් අමාරුයි.

කොහොම උනත් අපි හැමෝටම නොමැකෙන මතකයක් ඉතිරිකරල, මුලු ගමක්ම අඬවල උඹයි උඹේ ලේ කැටියයි අපිව දාල ගියා.

උඹ සිහිය නැතිව ඉස්පිරිතාලෙ ඉද්දි, උඹේ කුසේ උන්නු අහිංසකී දඟලපු හැටි, උඹ ළඟම උන්නු අය විස්තර කරනකොට ඇහට කඳුලක් නොගත්ත එකම පිරිමියෙක්වත් හිටියෙ නෑ අපේ ගමේ. අන්තිමේදී, උඹ පෙරුම්පුරපු උඹේ කිරි කැටියයි උඹයි නාන්න ගිහින් ගෙදර ආවෙ පෙට්ටියකින්. බලෙන් කුසෙන් එළියට ආපු උඹේ ලේ කැටියත් රෙද්දකින් පොරවල මූණු පොඩ්ඩ විතරක් පේන්න උඹේම කකුල් දෙක උඩ තියල තිබ්බ දර්ශණය මේ ලෝකෙ කවුරුත්ම දකින්න පවු නොකරන්න ඕනි දර්ශනයක්. ඒත් අපි පවු කලා එහෙම දකින්න. ප්‍රායෝගිකව ඒ කරල තිබුන දේ අනුමත කරන්න අපිට බැරි වුනත් ඒ උඹේ පවුලෙ අයගෙ මනාපෙ.


අන්තිමේදි රියදුරු බලපත්‍රයක්වත් අතේ නැතිව පාරෙ ගිය කාලකණ්නි මාරයෙක් නිසා අපේ මුළු ගමම අඬාවැටුනා. උඹ අපිට අහිමි උනා.

රාළෙ මාමා මරාදැම්මා. යුක්තියක් ඉටු උනේ නෑ. අදටත් උන් යස අගේට පාරෙ වාහන එලවනවා. මේ පාර උගේ මහ එකා උඹව මරල දැම්මා. උඹ විතරක් නෙවෙයි, කුසේ ඉඳපු දරු පැටියත්. අම්මගේ නීතිය සල්ලි වලට යටයිද කියල අපි දන්නෙ නෑ. කොහොම උනත් උඹට යුක්තිය ඉටුකරනෙක වලක්වන්න මේ  වතාවෙ නම් බැරිවෙයි.අපි හැමෝම මේ මුලු ගමම බලාගෙන ඉන්නෙ දැන් උඹ වෙනුවෙන් යුක්තිය ඉටුවෙනකල්. උඹේ කඩේ අද වහල. හංදිය අද පාලුයි. උඹේ දරුවො දෙන්න හිස් අහස දිහා බලාගෙන හූල්ලනවා. අපි තාම පිළිගන්න කැමති නෑ උඹ අපිව දාල ගිහින් කියලා. ඒත් උඹ අපෙන් අද උදුර ගෙන. උඹ යන්න ගිහින්.

ඉතින්... උඹටයි උඹේ සිඟිත්තියටයි සංසාරෙ කිසිම ආත්මෙක මේ වගේ ඛේදවාචකයක් සිදු නොවේවා කියල අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා.


"ඔබ දෙදෙනාට නිවන් සුව!"




"දෙවියනි විභූෂණ කරුණා ගුණ පිරුන
කොයි ලොව සිටියාද අප ඉන්නේ නොදැන
නොබැලුවෙ ඇයිද මේ දුක්බර කරුණු ගැන
දිවැසින් බලා වෙන්නට තිබුනනෙ සරණ

හැදුවේ කැදැල්ලක් සාමෙන් සිටින්නයි
ඊළඟ සිතුවෙ දරු සුරතල්  දකින්නයි
සිතුවේ අනේ ඒ දරුවන් සනසන්නයි
වෙහෙසුනෙ නිතර ජීවන මඟ සොයන්නයි

මාරක රිය හැපුනත් දිවි තොරවෙන්න
පින් මදි නඟේ මනු ලොව ඉන්න
නොහැකි උනේ දියණිට ලොව දැකගන්න
පෙර කරුමයක් ඔබ සුවසේ සැතපෙන්න

ප්‍රියංකා නඟේ නුඹ කොතනද ඉන්නේ
ඔබ පැතු මැණික ඔබ තුරුලේ ඉන්නේ
සුරතල් බලන්නට නැහැ නෙත් පියවෙන්නේ
ඔබ දෙදෙනා දෙව් මව් තුරුලට යන්නේ

මතු එක් දිනෙක මේ මනු ලොව උපදින්න
පොඩි දුව සමඟ එන්නකො කූඩුවෙ ඉන්න
පැතුමන් පතමි පැතුමෙන් එය ඉටුවෙන්න
දෙව් මව් තුරුලෙ ඔබ දෙදෙනා සැතපෙන්න..."


ගමක් හැඬවූ මෙම ඛේදවාචකයේ කඳුලු, පැරකුම් පෙදෙසේ සමන් මාමා, සහ දෙහිගොල්ලේ තෝමස් මාමා අතින් මෙලෙස කවියට නැඟුනි...


ඒ සමඟින්ම මෙම උපදේශාත්මක කවියද ඔවුන් දෙදෙනා අතින් ලියැවිණි..


"රියදුරු මහතුනේ මෙය සිහියට ගනිල්ලා
ඇස් කන් ඇරලා මහ පාරේ පලයල්ලා
මේ වන් විපත් ගැන සියැසින් බලපල්ලා
හොඳ කල්පනාවෙන් රිය පැදපල්ලා!"









Friday, June 20, 2014

•දයාබර රාළේ මාමේ


"මල් සුවඳක්ම විය නුඹ නොමිනිසුන් අතරින් නැඟි…"






ඇත්තටම අල්ලපු ගමේ උනාට නුඹ කාගෙ කවුද කියලවත් මං හරියට දැනං උන්නෙ නෑ. ඒ වගේම කවදාවත් මට ඒ ගැන හොයන්න උවමනාවක් උනෙත් නෑ. ඒත් පුංචි කලෙ ඉස්කෝලෙ යද්දි, පන්ති යත්දි, දැන් රස්සාවට යද්දි හංදියේ නිතර හිටපු නුඹ මාත් එක්ක බොහොම කුළුපඟව හිනා උනා. ඒ හිනාව හරි වෙනස්, හරිම අව්‍යාජයි. ඇත්තටම මං නුඹේ හිනාවට ඇලුම කලා. මේ මොහොතෙත් මට මැවිල පේනවා ඔලුව පැත්තකට ඇලකරලා හැමදාමත් නුඹ හිනාවෙච්ච හැටි. සමහර දාට පුතේ කියල කතාකරපු හැටි. ඇත්ත, මං නුඹත් එක්ක මේ දිගු කාලෙටම වචන විස්සකට වඩා කතාකරල නැතිව ඇති. ඒත්  දවස ගානෙ කතාකරන උන්ට වඩා ලෙංගතු කමක් මට උඹ ගැන තිබුනා. මාත් එක්ක විතරක් නෙවෙයි. මාමෙ උඹ මගේ මල්ලි එක්ක, අම්මා එක්ක, තාත්තා එක්ක, මේ හැමෝම එක්ක හරිම ලෙංගතුව හිටියා. හංදියේ වැඩිහරියක් හිටියේ රස්තියාදු කාරයෝ, ගංජා කාරයෝ, නිතරම ගමේ නෝන්ඩි වෙච්ච ගමට හිසරදයක් වෙච්ච කුපාඩියෝ. ඒත් උන් අතරම හිටපු උඹ ඊට වඩා ගොඩක් වෙනස්. උඹෙන් කාටවත් කරදරයක් තිබුනෙ නෑ. පාඩුවේ හිටපු මනුස්සයා. ඉඳල හිටල අඩියක් ගැහුවට, ගංජා කට්ටක් ඇද්දට ඒකෙන් කාට්වත් හිරිහැරයක් වෙන්න උඹ ඉඩතිබ්බෙ නෑ.

උඹට හරිහමන් රස්සාවක් තිබුනෙ නෑ. ඒත් උඹ උඹේ ගෑනි, දරුවො බඩගින්නෙ තිබ්බෙත් නෑ. වැව හිඳෙන කාලෙට ගඩොල් කැපුවා. වැව පිරුණු කාලෙදි වැවේ දැල් දැම්මා, මාලු ඇල්ලුවා. සමහර වෙලාවල කරත්ත වලින් දර ඇද්දා. හිටපු ගමන් ගඩොල් පටවන්න එන ලොරි වලට හංදියේ ඉන්න ගමන් බ්‍රෝකර් වැඩත් කලා. ඉඳල හිටල කුලී වැඩත් කලා. ගොයම් කාලෙට ගොයම් කැපුවා. උඹ නිකං හිටියෙ නෑ. මේ බිංතැන්නෙ දූවිලි පොලොවෙ පය ගහල ඉරත් එක්ක කාස්ටකේ උඹ ජීවිතේ ගැටගහගන්න ඔට්ටු උනා.

උඹට මහ වයසක් තිබුනෙත් නෑ. අවුරුදු 40ක් කියන්නෙ මහ වයසක්ද! තව කාලෙ එහෙම්මයි. උඹට විතරක් නෙවෙයි, උඹ ගැන අපිට හිතුනෙත් එහෙමයි. ඒත් දවසක් ඒ හැමදේම කණපිට ගහල උඹේ ජීවිතේට කණකොකා ඇඬුවෙ කවුරුවත් නොහිතපු විදියට. එදා ඒ බයික් කාරයා පාරෙ ටිකක් හෙමින් ආවානම්, ඌ උඹේ ඇඟ දිගේ නොගියනම් අද මට උඹ ගැන මෙහෙම ලියන්න වෙන්නෙ නෑ. ඒත් මේ මහියංගණේ උඹටයි මටයි ඕනි දේවල් උනේ කවද්ද. ඒකෙන් උඹ බිමටම වැටුනා. උඹ දවස් ගානක් ඉස්පිරිතාලෙ ජීවිතෙත් මරණෙත් එක්ක පොරබැදුවා. කොහොම හරි උඹ අන්තිමේ දිනුවා.

උඹේ අතපය හතරට මොකුත් උනේ නෑ තමයි. ඒත් එහෙම උනානම් මීට වඩා කොච්චර හොඳද කියල අද මට හිතෙනවා. උඹ ආයෙත් අර හිනාවත් එක්කම අපි අතරට ආවා. හංදියේ උඹේ අඩුව පිය උනා. ඒත් ඒ කලිං විදියටමනම් නෙවෙයි. කාලකණ්නි ලෙඩක් එක්ක. මීමැස්මොරය හරි අප්ස්මාරෙ හරි, ඒක මොකක් උනත් ඒකෙන් උඹ හිටිගමන් ඇදගෙන වැටෙන්න පටන් ගත්තා. හිටපු ගමන් උඹ කපාදැම්ම ගහක් වගේ බිම ඇදගෙන වැටුනා. නහරයක් තැලිලාලු,මොලේට ලේ අරන් යන. දොස්තරල එහෙමලු කිව්වෙ. උඹේ වෛද්‍ය රිපෝට්වල තිබුනෙ කිසිම වෙලාවක තනියෙන් වතුරක් අහලකටවත් යන්න එපා කියලලු.
ගින්නක් ළඟට යන්නෙපා කියලලු. උස් තැන් වල නඟින්න යන්න එපා කියලලු. ඇයි උඹ කොයිවෙලේ වැටෙයිද කියන්න බැරි නිසාලු. ඒත් උඹ කොහොම ඉන්නද එහෙම. සල්ලි බාගෙ යහමින් තිබුනෙ නෑ උඹට. නඩත්තු කරන්න ගෑනියෙක්, දරුවෙක් හිටියා උඹට. ඒ නිසා කලිං වගේම මොන මොනව හරි කරල කීයක් හරි හම්බකරගන්න දැඟලුවා උඹ. උඹට තිබ්බා සල්ලි අමාරුකම් ගැන මිනිස්සු කතාවෙනවා. උඹේ ලෙඩේට බදුල්ලෙ ක්ලිනික් තියෙනකොට පාන්දර පහේ බදුලු බස් එකට නඟින උඹට සමහර දාට අතට තිබුනෙ බස් ගාස්තුව විතරයිලු. ආයෙ හවස ගෙදර එනකල් උඹේ කුස පිරුණේ ඇල් වතුරෙන් විතරයිලු.

අපස්මාරෙ තිබ්බ උඹ ඒත් කලන්තෙ නොදා ගෙදර ආවා. ඒ උඹේ හිතේ හයිය. උඹට තව සහෝදරයො දොලොස්දෙනෙක් ඉන්නවලු. ඒ හැම එකාම මං අඳුනන්නෙත් නෑ. සමහර එවුන් උඹේ මල්ලිලා, අයියලා කියල දැනගත්තෙත් එදා. ප්‍රශ්නෙ ඒක නෙවෙයි, මෙවුං එකෙකුටවත් උඹට මීට වඩා හයියක් වෙන්න බැරිවුනේ ඇයි කියන එකයි. ඒනිසාම කාටවත් අත නොපා උඹ ජීවිතේ ගැටගහගත්තා. 

එදත් එහෙම දවසක්. දන්නෑ උඹ මොනතරම් ප්‍රශ්න කන්දරාවක් හිතින් දරාගෙන එළි බැස්සද කියලා. සමහර විට බඩට බත් ඩිංගක්වත් වැටිල තිබුනද කියලත් සැකයි. හුලං පුරෝපු තඩි ටියුබ් එකයි, මාලු දැලයි කරේ තියාගෙන උඹ වැවට යන්න ගියේ සමහර විට විකුණන්නම මාලු අල්ලන්නද, නැත්නම් වේල පිරිමහගෙන උඹේයි දරු පවුලෙයි බඩගිනි නිවාගන්නද කියෙනෙක මං තාමත් හිතනවා. ඒ කොහොම උනත් උඹ ගියේ ජීවිතේ ගැටගහගන්න බව අපි හැමෝම දන්නවා. ඒත් එක්කම උඹ වැවේ කාටවත් පේන්නැති අඳුරු ඉසව්වකට ගියේ අපෙන් හැංගෙන්න නෙවෙයි කියලත් ගමම දන්නවා.

උඹ හැංගෙන්න හැදුවෙ මාලුවෙක් දෙන්නෙක් තඩිගහල ජීවිතේ යන්තම් ගොඩදාගන්න දඟලන උඹලගේ බඩට ගහලා උඹලව කුදලගෙන යන්න බලං ඉන්න ධීවර මහත්තරුන්ගෙන් කියල අපි දන්නවා. උඹ ටියුබ් එකේ නැඟල වැවේ ගියේ ලෙෂර් වර්ල්ඩ් යන සිදාදියේ මහත්තුරු වගේ ආතල් ගන්න නෙවෙයි කියල දන්නෙ ගමේ අපි විතරයි. උඹත් කැමතියි උඹටම කියල ෆයිබර් ඔරුවක් තිබුනනම්. ඒත් උඹට එච්චර වත්කමක් කොහෙන්ද. ඉතින් මෙ දේවල් හින්දමයි උඹ අපි කාටවත් නොපෙනෙන ඉසව්වුකටවෙලා උඹේ ජීවිත දැල එලුවෙ.







ඒත් උඹ හීනෙකින්වත් හිතන්නැතුව ඇති මේ දැලට පැටලෙන්නෙ උඹේම ජීවිතේ කියල. උඹට අමතක උනා, නැත්නම් ජීවන අරගලය හමුවේ උඹ හිතලම අමතක කලා උඹේ අසනීපෙ ගැන. ඒත් උඹේ මරුවට නම් ඒක හොඳට මතක තිබිල වගෙයි. තෝමස් මාමා උඹව ගොඩට ගත්තෙ අඩි දහයක් විතර වතුර යට ඉඳලලු. ඒ වෙනකොටත් උඹ අපිව දාලා ගිහින් වරුවක් විතර ගිහින්ලු. 

මං කැමති උනේ නෑ උඹේ පරවුනු මූණ දිහා බලන්න. මොකද මං දන්නවා වෙනද වගේ අද උඹ මයෙ දිහා බලල කීයටවත් අර හිනාව මට දෙන්නෙ නෑ කියල. ඒත් අවසන් වතාවටත් මට උඹේ මූණ නොබල බැරිවුනා. ඒ තමයි උඹ මාත්තෙක්ක හිනා නොවුනු පලවෙනි දවස. ඒත් උඹේ මූණ අතරින් මට උඹේ හිනා මූණ මැවි මැවී පෙනුනා.

දහසකුත් ප්‍රශ්න සදහටම හංගගෙන උඹ අද පොලොව යට වැළලිලා. අදට දවස් දෙකක් ගිහින්. උඹ සමඟ වැළලුනේ උඹේ ප්‍රශ්න විතරක් නෙවෙයි. අපේ ගමේ, අපේ පළාතෙ, විතරක් නෙවෙයි අපේ රටේ බහුතරයක් දෙනාට තියෙන ප්‍රශ්න ගොඩක් සමඟයි උඹ පරවෙලා ගියේ. ඒව අපට හිතන්න ඉතුරු කලේ අපේ රටේ තියෙන මේ ප්‍රශ්න විසඳගෙන ආයෙමත් මේ වගේ අකල් මරණෙකට ගොදුරු නොවීමට එන ආත්මෙක හරි උඹට ඉඩ සලසලා දීමට අවස්ථාවල් ලබාදෙන්න පුලුවන් විදියක් ගැනයි.

අදත් උදේ වැඩට යන්න හංදියට ආව වෙලාවෙ උඹේ හිනා මූණ නෑ කියල දැන දැනත් මං වෙනද උඹ වාඩිවෙලා ඉන්න බංකුව දිහා බැලුවා. ඒත් උඹ එතන හිටියෙ නෑ. උඹ හිටියෙ එතන නෙවෙයි. හංදියේ බස් හෝල්ට් එකේ කණුවක උඹ හිටියා. හැබැයි උඹ හිටියෙ හිනාවෙලානම් නෙවෙයි. උඹේ ඔය මූණ තියෙන මේ මරණ දැන්වීමත් තව ටික දොහකින් ගැලවිලා යයි. උඹ ගැන මතකයත් හැමෝටම අමතකවෙලා යයි. 

උඹ වැවේ ගිලිලා මැරුණ කියල අහපුවෙලේ මට ඒක දරාගන්න අමාරුවුනා. මට මතක් උනේ රත්න ශ්‍රී විජේසිංහයන් ලියපු සුදු නෙළුම කෝ සොරබොර වැවේ සිංදුව. ඒත් මං ඒක කාටවත් කිව්වෙ නෑ. එහෙම කිව්වනම් කට කැඩිච්ච එකෙක් කියයි, ඒ සිංදුවෙ මැරුණේ ජීවිතේ ගැටගහගන්න , පන්සල් යන අයට විකුණන්න මල් කඩපු අහිංසක පුංචි කෙල්ලෙක් කියල. මූ නැහුනෙ පවු කරන්න වැවේ ගිහින් කියලා. ඒත් මට එහෙම පේන්නෙ නෑ. මටනම් පේන්නෙ මේ සිද්ධි දෙකේදිම මියැදුනේ පවතින ආර්ථික හා සමාජීය රටාවෙන් බැට කන, ජීවිතේ ගැටගහගන්න සොච්චමක් හොයාගන්න වෙර වීරිය දරපු අහිංසක මනුස්ස පරාණ දෙකක් විතරයි. කැඩුවෙ මල්ද, ඇල්ලුවෙ මාලුද කියනෙක මට වැදගත් නෑ. වැදගත් වෙන්නෙ ඒ දෙකෙන් කොයික හරි කරපු හේතුවයි.

ඒ නිසා උඹ ගැන මං මෙහෙම ටිකක් ලිව්වා. මට කවි ලියන්න බෑ. මගේ හිත සංවේදී කරන සිදුවීමාක් කවියකට නඟාගන්න මට කොච්චර ඕනි උනත් වරුවක් දඟලලා වත් මට ඒක කරගන්න බෑ. ඒත් උඹේ මිනිය දිහා බලන් එදා ගතකරපු කාලකණ්නිම මිනිත්තු දහයෙදි මට මෙහෙම නම් හිතුනා.

"සුදු නෙලුම නොවුනත් ඔබ සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
මල් සුවඳක්ම විය නුඹ
නොමිනිසුන් අතරින් නැඟි…

මල් නෙලන්නට නොම ගියේ මුත් නුඹ
බුදු පුදට මහියංගණේ
නුඹ මැරූ මසු කැල විය
අපේ දිව රසවත් කලේ…

ඉතින් කෙලෙසක දෑඟිලි යොමන්නද
කිලිටි හිතකින් නුඹ දෙසේ
සුදු නෙලුමමයි මට උඹේ රුව
නිදා සිටිනා පෙට්ටියේ…"






මේ ඔබ වෙනුවෙන් මා තබනා මතක සැමරුමයි. මෙහෙම මතක සැමරුමක් ඔබ වෙනුවෙන් තැබූ බව ඔබට සමීප කිසිවෙකුත් නොදන්නා බව මම දනිමි. ඔබ මියගොස් ඇත. අපද එළඹෙන පැයේ හෝ තව කාලාන්තරයකින් හෝ මියැදෙනු ඇත. අපෙන් පසු පරම්පරාවට නුඹ සිහිනයක් පමණක් වනු ඇත. ඉන්පසු පරම්පරාවට ඔබ මිරිඟුවක් වනු ඇත. නමුදු කවදාකවත් මැකී නොයන ඔබ පිලිබඳ මතකයක් මෙලෙස මම සයිබර් අවකාශය වෙත මුදාහරින්නෙමි. අන්තර්ජාලය ලොව පවතින තුරු මෙම සිහිවටනය ලොවේ කොතැනක හෝ සිටින්නෙකුට ඔබ පිළිබඳ මතකය අලුත් කරනු ඇත.

"දයාබර රාළේ මාමේ උඹ ආයෙත් මේ ජරාජීර්ණ සමාජය තුල ඉපදෙන්න එපා..!"




(පසුගිය දිනෙක දම්බරාව වැවේ ගිලී මියගිය අපේ ගමේ රාළේ මාමා වෙනුවෙනි.)