Pages

Sandumal

Sandumal

Tuesday, September 9, 2014

•කඩේ ප්‍රියංකා


"ඔබ පැතු මැණික ඔබ තුරුලේ ඉන්නේ..."








සමහර අයට උඹ ප්‍රියංකා අක්කා උනා. සමහර අයට උඹ ප්‍රියංක නංගී උනා. තවත් සමහරක්ට උඹ  ප්‍රියංක ඇන්ටි උනා. කට්ටියකට උඹ නිකම්ම ප්‍රියංකා උනා. මේ කොහොම උනත් අපි හැමෝටම උඹ කඩේ ප්‍රියංකා උනා.

අපේ හංදියට මානෙල් කඩේ හංදිය කිව්වම මහියංගණේ නොදන්න කෙනෙක් හිටියෙ නෑ. ඒත් කාලයත් සමඟ මානෙල් කඩේ අරාජික උනත් අදටත් ඒ නම ඉතිරිවෙලා තියෙනවා. ඉතින් ඒ කඩේ කඩාවැටුනට පස්සෙ, හංදියට තිබ්බ සිල්ලර කඩේක අඩුපාඩුව මකල දැම්මේ උඹ කඩයක් දැම්මට පස්සෙ. හංදියෙ ආයෙත් බටු ඇට කොල්ලන්ගෙ ඉඳල මහ මිනිස්සු දක්වා කට්ටිය එකතුවෙන්න ගත්තා.

ඒ උඹේ කඩේ හන්දා. හංදිය ආයෙත් කාර්යබහුල උනා. ජනාකීර්න උනා. උවමනාවක් තිබුනත් නැතත් ගමේ ගොඩක් උන් උදේ හවස උඹේ කඩේ ළඟට එකතු උනා. වෙරළබඩින් ඇවිත් විවාහ වෙලා උඹත් මේ ගිම්හාන පොළොවෙ නෑයෙක් උනා. අපිට අපේ ගමේ එකියක්ම උනා. කා අතරත් උඹ කැපී පෙනෙන චරිතයක් උනා. සමහර විට ඒ උඹේ තිබුන මුඛරි කමත්, දැවැන්ත සරීරයත් පිරිමියෙකුට උරුම පෞර්ෂ්‍යත් නිසා වෙන්නැති. දරුවො දෙන්නෙකුටත් අම්මා වෙලා ගෙදර වැඩ කොටසත් අගේට කරගෙන බිරිඳක් අම්මා කෙනෙක් විදියට උඹ හරි අපූරුවට ජීවන සටනට මුහුණ දුන්නා.

කඩේ බිස්නස් බලන් ඉන්නැද්දිම දියුණු උනා. කොලු පැටව්ම දෙන්නෙක් හිටපු උඹේ ඊළඟ ආසාව උනේ දූ සිඟිත්තකගෙ මූණ බලන එකලු. ඉතින් උඹ තුන්වෙනි දරුව වෙනුවෙනුත් ලක ලෑස්ති උනා. නිරන්තර ජීවන සටනට මුහුණ දුන්න අපේ ගමේ කවුරුත් වගේම උඹත් ඒ අතරම තවත් එක් චරිතයක් වෙලා ජීවත් උනා. දවසින් දවස මෝරගෙන එන දරුගැබ ආදරෙන් පිරිමදිමින් ගමේ හැම ගෑණියෙක් අතින්ම මේ පාරනම් මට ඉන්නෙ දුවෙක් කියල හරි ආඩම්බරෙන් කිව්ව කියල හැමෝම දැන් කතාවෙනවා.

එන්න ඉන්න දූ කුමාරිට අලුත් ඇඳුම් පැළඳුම්, බඩු මුට්ටු විතරක් නෙවෙයි, කණකර අබරණ පවා උඹ එකතු කලා කියල දන්න එවුන් දැන් කියනවා. කොහේ යන්න, කොයි වෙලාවක හංදියට ආවත් කඩේ ඉස්තෝප්පු කෑල්ලෙ තියෙන දුඹුරු පාට දම්රෝ පුටුවෙ වාඩිවෙලා උඹ පාර දිහා බලන් උන්නා. ලෙංගතුව හිනා උනා. කතාකලා. බඩේ තියෙන බත් ටික හරි එළියට ඇදල දෙන්න තරම් හිතක් උඹට තිබුනා. ඒ වගේම කොයි වෙලාවක උනත් අහල පහල ගෙදරකට ගොඩ උනාම ලිපේ තියෙන බත් එකෙන් බෙදාගෙන හරි බත් ඩිංගක් කන්න තරම් නිහතමානි කමක් උඹට තිබ්බා.

පහුගිය දවසක උඹේ කඩේ ලඟ නිතර උන්න අපේ ගමේම රාළෙ මාමා ගැනත් මං මේ විදියටම ලිව්වා. ඒත් මං හීනෙකින්වත් හිතුවෙ නෑ, උඹේ කඩේ ළඟ එහෙම උන්නු රාළේ මාමා ගැන ලියපු විදියටම මට ඊට තුන් මාසයක් යනකොටම උඹ ගැනත් ලියන්න වෙයි කියලා. මේක මහ කරුම ලෝකයක්, කරුම දෛවයක්. රාළෙ මාමා අපෙන් උදුරගත්තෙ අපේම වැව උනාට ඒක එහෙම වෙන්න පාර කැපුවෙ රාළෙ මාමාව හප්පලා උන්දැ ලෙඩෙක් කරපු අපේ ගමට අල්ලපු ගමේ විසේකාරයෙක්. මේ වතාවෙ ඒකගෙම අප්පා උඹව අපෙන් සදහටම උදුර ගත්තා. උඹත් රාළෙ මාමගේ ලෝකෙටම එකතු උනා.

පහුගිය සතියෙ සෙනසුරාද මහ ගිනි මද්දහනෙ උඹ උඹේ දරු පැටවු දෙන්නයි නෑණන්ඩියි එක්ක මහ පාර අයිනෙන් නාන්න ගියේ මොන කරුමයකටද කියල අපි තාමත් හිතනවා. ඒ වගේම මහ විසාල පතරංග පාරෙ තාර කට්ටෙනුත් පහළින් වැල්ල දිගේ ගියපු උඹව යටකරන්න තරම් මේ මනුස්සයා එච්චරටම පොට්ට උනේ කොහොමද කියන එකත් අපිට ප්‍රශ්නයක්. අපි දන්නෙ නෑ මේ මනුස්සයා මඟින් නංගගත්ත ගැහැණියගේ සීට් බෙල්ට් එක දාන්න ගියාද, නැත්නම් වෙන මොකක් හරි කරන්න ගියාද කියලා. මොකද ඒ තරමටම උන්දැගෙ චරිත සහතිකේ හොඳ නිසා.

අපි දන්න එකම දේ පොට්ටයෙක් වගේ මේ කරුමක්කාරයා පිටිපස්සෙන් ඇවිත් පාරෙ අයිනෙන් ගිය ප්‍රියංකව යටකලා කියල විතරයි. උඹට අහකට පැනල බේරෙන්න පුලුවන්කම තියෙද්දිත් උඹ කලේ උඹේ නෑණන්ඩිවයි දරු පැටවු දෙන්නවයි අහකට තල්ලුකරල දාපු එක. ඒකෙන් උන් තුන්දෙනාම බේරුණා. ඒත් උඹ අපිව දාල ගියා. උඹ විතරක් නෙවෙයි, උඹ පෙරුම්පුරාගෙන බලන් හිටිය උඹේ දූ සිඟිත්තත් අපිව දාල ගියා.


පහුගිය දවසකත් අපේ ගෙදර ආව වෙලාවෙ අවාරෙට හැදිල තිබුන අඹ රෑන දැකල පැහුනාම අඹ ඉල්ලලා තිබුන විදිය අම්මා මතක් කරන්නෙ ඇහේ කඳුලු පුරෝගෙන. අපේ අම්මගෙන් බත් මුලක් නොකාපු එකම ගැබ්බර අම්මෙක් වත් නෑ අපේ ගමේ. ඒත් උඹට බත් මුලක් දීගන්න අම්මට බැරිවෙච්ච වේදනාව උහුල ගන්න අම්මටත් අමාරුයි.

කොහොම උනත් අපි හැමෝටම නොමැකෙන මතකයක් ඉතිරිකරල, මුලු ගමක්ම අඬවල උඹයි උඹේ ලේ කැටියයි අපිව දාල ගියා.

උඹ සිහිය නැතිව ඉස්පිරිතාලෙ ඉද්දි, උඹේ කුසේ උන්නු අහිංසකී දඟලපු හැටි, උඹ ළඟම උන්නු අය විස්තර කරනකොට ඇහට කඳුලක් නොගත්ත එකම පිරිමියෙක්වත් හිටියෙ නෑ අපේ ගමේ. අන්තිමේදී, උඹ පෙරුම්පුරපු උඹේ කිරි කැටියයි උඹයි නාන්න ගිහින් ගෙදර ආවෙ පෙට්ටියකින්. බලෙන් කුසෙන් එළියට ආපු උඹේ ලේ කැටියත් රෙද්දකින් පොරවල මූණු පොඩ්ඩ විතරක් පේන්න උඹේම කකුල් දෙක උඩ තියල තිබ්බ දර්ශණය මේ ලෝකෙ කවුරුත්ම දකින්න පවු නොකරන්න ඕනි දර්ශනයක්. ඒත් අපි පවු කලා එහෙම දකින්න. ප්‍රායෝගිකව ඒ කරල තිබුන දේ අනුමත කරන්න අපිට බැරි වුනත් ඒ උඹේ පවුලෙ අයගෙ මනාපෙ.


අන්තිමේදි රියදුරු බලපත්‍රයක්වත් අතේ නැතිව පාරෙ ගිය කාලකණ්නි මාරයෙක් නිසා අපේ මුළු ගමම අඬාවැටුනා. උඹ අපිට අහිමි උනා.

රාළෙ මාමා මරාදැම්මා. යුක්තියක් ඉටු උනේ නෑ. අදටත් උන් යස අගේට පාරෙ වාහන එලවනවා. මේ පාර උගේ මහ එකා උඹව මරල දැම්මා. උඹ විතරක් නෙවෙයි, කුසේ ඉඳපු දරු පැටියත්. අම්මගේ නීතිය සල්ලි වලට යටයිද කියල අපි දන්නෙ නෑ. කොහොම උනත් උඹට යුක්තිය ඉටුකරනෙක වලක්වන්න මේ  වතාවෙ නම් බැරිවෙයි.අපි හැමෝම මේ මුලු ගමම බලාගෙන ඉන්නෙ දැන් උඹ වෙනුවෙන් යුක්තිය ඉටුවෙනකල්. උඹේ කඩේ අද වහල. හංදිය අද පාලුයි. උඹේ දරුවො දෙන්න හිස් අහස දිහා බලාගෙන හූල්ලනවා. අපි තාම පිළිගන්න කැමති නෑ උඹ අපිව දාල ගිහින් කියලා. ඒත් උඹ අපෙන් අද උදුර ගෙන. උඹ යන්න ගිහින්.

ඉතින්... උඹටයි උඹේ සිඟිත්තියටයි සංසාරෙ කිසිම ආත්මෙක මේ වගේ ඛේදවාචකයක් සිදු නොවේවා කියල අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා.


"ඔබ දෙදෙනාට නිවන් සුව!"




"දෙවියනි විභූෂණ කරුණා ගුණ පිරුන
කොයි ලොව සිටියාද අප ඉන්නේ නොදැන
නොබැලුවෙ ඇයිද මේ දුක්බර කරුණු ගැන
දිවැසින් බලා වෙන්නට තිබුනනෙ සරණ

හැදුවේ කැදැල්ලක් සාමෙන් සිටින්නයි
ඊළඟ සිතුවෙ දරු සුරතල්  දකින්නයි
සිතුවේ අනේ ඒ දරුවන් සනසන්නයි
වෙහෙසුනෙ නිතර ජීවන මඟ සොයන්නයි

මාරක රිය හැපුනත් දිවි තොරවෙන්න
පින් මදි නඟේ මනු ලොව ඉන්න
නොහැකි උනේ දියණිට ලොව දැකගන්න
පෙර කරුමයක් ඔබ සුවසේ සැතපෙන්න

ප්‍රියංකා නඟේ නුඹ කොතනද ඉන්නේ
ඔබ පැතු මැණික ඔබ තුරුලේ ඉන්නේ
සුරතල් බලන්නට නැහැ නෙත් පියවෙන්නේ
ඔබ දෙදෙනා දෙව් මව් තුරුලට යන්නේ

මතු එක් දිනෙක මේ මනු ලොව උපදින්න
පොඩි දුව සමඟ එන්නකො කූඩුවෙ ඉන්න
පැතුමන් පතමි පැතුමෙන් එය ඉටුවෙන්න
දෙව් මව් තුරුලෙ ඔබ දෙදෙනා සැතපෙන්න..."


ගමක් හැඬවූ මෙම ඛේදවාචකයේ කඳුලු, පැරකුම් පෙදෙසේ සමන් මාමා, සහ දෙහිගොල්ලේ තෝමස් මාමා අතින් මෙලෙස කවියට නැඟුනි...


ඒ සමඟින්ම මෙම උපදේශාත්මක කවියද ඔවුන් දෙදෙනා අතින් ලියැවිණි..


"රියදුරු මහතුනේ මෙය සිහියට ගනිල්ලා
ඇස් කන් ඇරලා මහ පාරේ පලයල්ලා
මේ වන් විපත් ගැන සියැසින් බලපල්ලා
හොඳ කල්පනාවෙන් රිය පැදපල්ලා!"









36 comments:

  1. උඹ අපිවත් අඬවනවා බං.
    ඇයටත් කිරිකැටියාටත් නිවන් සුව පතමු.

    ReplyDelete
    Replies
    1. //උඹ අපිවත් අඬවනවා බං.//+++++++++++

      මේ වගේ සංවේදී සටහන් නම් උඹෙන්ම තමා මනෝ!

      Delete
    2. ඇත්තෙන්ම අපි හැමෝම එකතුවෙලා මේ දෙදෙනාට නිවන් සුව පතමු.

      මගේ බ්ලොග් එක විසිටරේ රෝලෙ අප්ඩේට් වෙන්නෑ කිව්ව අවුල දැන් නම් හරි නේද?

      Delete
    3. සිදුවීමේ තිබුන සංවේදී බව තමයි ප්‍රියා ඒකට හේතුව.

      Delete
  2. මතක අමතක නැති හිතේ
    සහස් කන්දක් කවි ඇතේ
    උඹ නමට කවි කදු නැතේ
    ඒ වුණත් සොදුරුම පද ගෙතේ..
    වින්ද දුක් කද අපමණා
    සතුට දන් දී හිනැහුණා
    ජීවිතය ලස්සන කලා
    අක්කෙ නුඹ කවියක් වුණා...

    සංවේදී සටහනක් මනෝ... ඊටත් වඩා උඹ ඒක ලියන්න පාවිච්චි කරල තියෙන භාෂාව ඇස් අගිස්සට කදුලක් ගේනව..

    ප්‍රියංක අක්කටත් අගේ දරුවාටත් නිවස් සුව ලැබේවා..
    උප නූපන් ජාතිවකවත් මෙවන් තිරිසන් මිනිසුන් අතර නොයිප දේවා

    ReplyDelete
    Replies
    1. මචං මහී, උඩ තියෙන උඹ දාපු පදපෙල ගීතයක්ද? නැත්නම් උඹේම නිර්මාණයක්ද? මොකක් උනත් හරිම අපූරුයි. ඇත්තෙන්ම හද සසල කරනවා.

      ඒකෙන් මේ ලිපිය තවත් සංවේදී කලා උඹ.

      Delete
  3. අැස් දෙකට කඳුලු එනවා මනෝෂ්, වෙනදා වගේම සංවේදී සටහනක්..

    ඇයටත් කිරිකැටියාත් නිවන් සුව පතමු...!!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මේ සිද්ධිය් ඒ තරම්ම ශෝකාකූලයි විදානේ. අපි හැමෝම ඔවුන්ට නිවන් සුව පතමු.

      Delete
  4. ප්‍රියංකා අක්කටත් ඇගේ මෙලොව එළිය නොදුටු දරුවාටත් නිවන් සුව පතන්නෙමි..!
    මේ වගේ දෙයක් නැවතත් අහන්නට නොලැබේවා කියල තමයි කියන්න තියෙන්නෙ.. :(

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ, මේ වගේ කාලකණ්නි සිදුවීම යලිත් සිදු නොවන්න අපි ප්‍රාර්ථනා කරමු. ඒත් අපේ මිනිස්සුන්ගේ මාර්ග විනය කවදානම් හැදෙයිද.

      Delete
  5. මනෝ උඹ අදත් වෙනදා වගේම සාර්ථකයි ...
    පට්ට සංවේදී කතාවක් ..සංචාරකයා කියනවා වගේ නැවතත් අහන්නට නොලැබේවා කියල තමයි කියන්න තියෙන්නෙ....

    තිඹිරි ගෙදර සිට සොහොන්බිම වෙතයි 
    අපේ ගමන් මග විහිදෙන්නේ 
    ඒ කෙටි මාවත සැරිසරනා අප 
    කුමට සටන් වැද වෙහෙසෙන්නේ 

    අනෙකෙකුගේ සොම්නස සිඳලන්නට 
    උදේ හවා ගිනිගෙන ඇවිදින්නේ 
    තනිවම ආ අප උන්හිටි ගමනේ 
    තනිවම යන බව නොමැත සිතන්නේ 

    තණ්හාවෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් 
    සිතින් දහස් වර ඉපිද මැරෙන්නේ 
    ඔබ අප හැමදෙන ලෝ අම්බලමේ 
    විඩා නිවන්ටයි පැමිණ සිටින්නේ 

    ගායනය - නන්දා මාලනී
    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න 
    සංගීතය - සේන වීරසේකර

    ReplyDelete
    Replies
    1. සින්දු ඇනෝ...

      ගැලපෙනම ගීතයකින් මේ දෙදෙනාට උපහාර පිදීම ගැන ඔබට අනේක වාරයක් තුති. ඒ වගේම මෙවන් සිදුවීම් නම් යළි සිදු නොවේවා කියන ඔබ හැමෝගෙම පැතුමට අපි හැමෝමත් එකතුවෙනවා.

      Delete
  6. උඔගේ ලියවිල්ල අපිව අඩවනවා බං.
    ඇයටත් නුපන් කිරිකැටියාටත් නිවන්සුව පතමු.

    ReplyDelete
    Replies
    1. ඒ මගේ ලිවීමටත් වඩා මේ ඛේදවාචකයේ තියෙන ශෝකාන්තය මචෝ..

      Delete
  7. පපුවම හීතල උනා බං!

    අර සක්කිලි බල්ලත් එක්ක එන කේන්තියට. අනේ මන්දා බං

    ප්‍රියංකා අක්කටත් අර නූපන් දරු පැටියටත් යළිත් කිසි කලෙක මෙවන් විපතක් නොවේවා!!

    ReplyDelete
    Replies
    1. \\අර සක්කිලි බල්ලත් එක්ක එන කේන්තියට. අනේ මන්දා බං//

      සහතික ඇත්ත මචං. ඒකත් එක්ක එන කේන්තිය මේ ලිපියෙන් පළ නොකරන්න ලියල ඉවරවෙනකල් මං මාර ගේමක් දුන්නෙ. ලියවෙන්න යන්නෙම ඒකගෙ පාහර කම ගැන.

      උඹට කියන්න මචං, ඕක වෙලා ටිකකින් අහම්බෙන් මාත් එතනට ආවා. මූ ඉන්නව මිනිස්සු ගොඩේ නිකන් නරියෙක් වගේ. ඊළඟට මේක එකපාරම බයික් එකක නැඟල පැනල යන්න හැදුවෙ. ඒත් බැරිවුනා. බයි එකෙන් ඇදල අරගෙන දුන්න ඌට පොරි හැලෙන්න්න වටේ ඉඳපු මිනිස්සු.

      Delete
    2. අනිවා ඔය වගේ සක්කිලි පාහරයන්ට නම් සමාවක් දෙන්න නරකයි බං! අහිංසක කුරුළු කූඩුවක් කඩා ඉහිරෝපු පව්කාරයා.

      Delete
    3. කියල වැඩක් නෑ ප්‍රියා. මිනිස්සු කුපිත වෙලා ඉන්නෙ. කලින් වතාවෙත් සාදාරණයක් උනේ නෑනෙ.

      Delete
    4. මේ වතාවෙ වත් සාදාරණය ඉටු උනොත් හොදයි!

      Delete
    5. ඒ වෙනුවෙන් තමයි මචෝ ගමේ හැමෝම බලන් ඉන්නෙ, හැප්පුන අනිත් ගෑනු කෙනා අද බදුල්ලෙන් මහියංගනේට ආයෙ එවලා. කකුල දෙපොලකින් කැඩිලා.

      Delete
  8. මනෝෂ්...ඔබ කාලෙකට පස්සෙ මේ පෝස්ට් එකක් දැම්මෙ...ඒ දාපු එකෙනුත් අපි හැමෝවම තවත් කාලෙකට හඬවන්න ඔබ සමත් වෙලා...මුළු හිතම අතරමං වෙනවා මේ වගේ සිදුවීම් ඇහුවම...හිතාගන්න කොහොමවත් බෑ මේ සිදුවීම සැබැවින්ම ළඟ ඉඳන් අත්දැක්ක ඔබලාගේ හැඟීම්...සේරම මිනිස්සු...වාහනේ එළවපු එකත්...පාරෙ ගිය එවුනුත්...ගමේ අනික් මිනිස්සුත්...ඒ හැමෝමත් මිනිස්සු විදිහට ඉපදුනු අය...පෙර කර්මය සහ මෙලොවදී එකතු කරගන්නා දේවල් හැමෝටම පොදුයි...අර වාහනේ පදවපු එකා යම්කිසි දෙයක් දැන් එකතු කරගන්න ඇති...ප්‍රියංකා අක්කත් ඒ පැටියත් මේ සසරේ නියම විදිහට සමුගත්තත් අපි හැමෝගේම මෙවැනි සංවේදී ප්‍රාර්ථනා සහ ඇය කරගත් පින් හමුවේ ඇයටත් පැටියටත් හොඳ ආත්මයක් ලැබේවි...!!!

    ReplyDelete
    Replies
    1. පහු ගිය දවස්වල තිබුන පොඩි පොඩි කරදර හින්ද පෝස්ට් එකක් දාන්න බැරිවුනා ගී පවුරේ. ඒ අතරෙ තමයි මේ සිදුවීම උනේ. අකුණක් ගැහුව වගේ එකපාරම වෙච්ච මේ දේ නිසා ඇත්තටම අපේ ගමම හෙල්ලුනා. තාමත් මිනිස්සුන්ට අදහගන්න බෑ මේ වෙච්ච දේ. ප්‍රියංකව ඉස්පිරිතාලෙ ගෙනිච්චට පස්සෙ අපි කවුරුවත් හිතුවෙ නෑ මෙච්චර දෙයක් වෙයි කියල. හිතුවෙ සනීපවෙලා ගෙදර එයි කියලා. තාමත් හීනයක් වගේ වෙච්ච දේ. මෙහෙම කම්පනයක් මෑතකදි ඇතිවෙලාම නෑ මගේ හිතටත්. ඔබ කියනව වගේ කුසල අකුසල කර්ම වල ප්‍රබලතාවය මත මෙවැනි අකල් මරණ වෙනව ඇති කුසේ උන්නු පැටියට මෙලොව එළිය දකින්නත් කලින් මේ වගේ කරුමයක් පලදුන්නෙ ඒ නිසා වෙන්නැති.

      කොහොම උනත් අපි මේ දෙන්නට එන කිසිම ආත්මෙක මේ වගේ ඛේදවාචකයක් නොවෙන්න හැමවෙලාවෙම ප්‍රාර්ථනා කරනවා.

      Delete
  9. නිකන්ම නිකන් නිව්ස් එකක්.. නෙත් කඳුලෙන් පුරවලා.. පපුවේ වෙදනාවක් ඇති කරන විදියට ලියන්න හැම එකාටම බෑ.. ඒ අතින් නම් උඹට ගහන්න එකෙක් නෑ.. ඒ තරම් සංවේදීයි...

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මෙවැනි ඛේදවාචක අද රටේ මෙතරම්ම සාමාන්‍ය පුවතක් වෙච්ච එක කොයි තරම් අවාසනාවක්ද. හරිනම් වෙන්නෝනි මේවා මහ අසාමාන්‍ය, කලාතුරකින් වෙන සිදුවීම් වෙන එකයි. ඒත් ඒ තත්වෙට අපේ මිනිස්සුන්ගෙ විනය, හැදියාව ගොඩනැඟෙන්න තව කොච්චර කාලයක් යයිද. ඒ වෙනුවෙන් මේ වගේ අහිංසක ජීවිත කීයක් මහ පාරට බිලිවෙයිද.

      Delete
  10. මන්දා බං කියන්න වචන නෑ , උඹට තියෙන්නේ මිනිස්සු අඬවන්නම හැදුනු ලිවීමේ රටාවක්

    ReplyDelete
    Replies
    1. සිදුවීමෙ තිබුන අතිශය සංවේදීබව සහ ශෝකාකූල බව වෙන්නැති ඉවාන් අයියෙ ඒකට හේතුව.

      Delete
  11. මමත් සෑහෙන්න වාහනයෙන් එහෙ මෙහෙ යනවා. ඇත්තටම මොකක්ද දැන් පාරේ තියන විනය. විනය අපිටම විනයක් වෙලා. සමහර රියදුරොත් එකයි පදිකයොත් එකයි. මේ වගේ අනතුරු වලින් අවුරුද්දකට කීදෙනෙක් මැරෙනවද? පවුල් කීයක් අනාථ වෙනවද? ඒත් කවුද ඒ ගැන හිතන්නේ. දැන්නම් මීටර් සීයෙන් සීයට පොලීසිය තියන්න වෙනවා මහපාරේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම විචාරකතුමනි අපේ රටේ පාරෙ විතරක් නෙවෙයි කොතනකවත් විනයක් නෑනෙ. රටේ ඉහල ඉඳල පහලටම විනය හදන්නෝනි. ආස්චර්ය පාන්න අධිවේගය, වරාය, ගුවන් තොටුපලවල් වලින් විතරක් කරන්න බෑ. මිනිස්සුන්ගෙ ආධ්‍යාත්මික සංවර්ධනයත් සිද්ධ වෙන්න ඕනි. මිනිස්සු පිරිහිලා. ඒ මේ සමාජ රටාව නිසා. තාවකාලික පැලැස්තර විසඳුම් වෙනුවට සමස්ථ සමාජ ක්‍රමයම වෙනස් වෙන ස්ථිර ක්‍රමවේදයක් රටට අවශ්‍යයි. නැතිව මේ රට තව ඉස්සරහට එක අඟලක්වත් අරං යන්න බෑ. පොලිසිය මහ පාරෙ මීටර් සීයෙන් සීයට නෙවෙයි අඩියෙන් අඩියට දැම්මත් වැඩක් නෑ, නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නැත්නම්.

      Delete
  12. මේ නිවුස් එක නිකන් දැක්කනම් හිතට මේ තරම් දැනෙන එකක් නැති වෙයි බං.. ඒත් උඹ ලියලා තියෙන ටික.. මන්දා බං මොනවා කියන්නද කියලා..

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නෙ සිදුවීමක පසු විපරම අපි නිවුස් එකකින් නොදකින නිසයි බං. අපි නිවුස් එක කියවල එතනින් එහාට ගැඹුරට දුරට හිතුවනම්, මේ දේවල් අපිට නිවුස් එකකිනුත් දකින්න පුලුවන්.

      Delete
  13. ඇත්තටම හැඟීම් බර ලියවිල්ලක්....

    ReplyDelete
    Replies
    1. ඊටත් වඩා හැඟීමබර සිදුවීමක්.

      Delete
  14. චූට්ටක් පරක්කුයි …

    ReplyDelete
    Replies
    1. හරි චුට්ට! බොට මක්කා උනාද බං?

      Delete