Pages

Sandumal

Sandumal

Thursday, April 10, 2014

•සුපෙම් හැඟුම් ඔබෙන් එපා


"සිහිනය මිය යා යුතුය මේ ලෙසින්..."






ප්‍රේමය පිළිබඳ ව විරෝධාකල්ප නිර්මාණයෙන් ද අතරින් පතර මුණ ගැසෙති. හැත්තෑව දශකයේ ගැයුණු එබඳු නිර්මාණයක් මේ මොහොතේ මට සිහිපත් වෙයි.

"මං හින්දා ඔබ නෙතඟින් කඳුළක්
හෙළන්නෙපා
මං හින්දා ඔබ හද තුළ සුසුමන්
නැඟෙන්නෙපා
ගිවිසා ගනිමු අපි
පෙම් යුවළක් සේ කිසිදා එක් නොවනා.."

(ගුණදාස කපුගේ සමඟ මාලිනි බුලත්සිංහල)

(Man Hinda Obe - Malini Bulathsinhala & Gundasa Kapuge)


එසේම ගුණදාස කපුගේ සහ නන්දා මාලිනිය ගැයූ පහත සඳහන් පදමාලාව ද එබන්දකි.

"බිරිඳ මගේ ඔබ
නෑ මා ඔබගේ බිරිඳ නොවේ
දෑඟිලි හුයෙකින් බැඳි පමණින් මා
ඔබගේ බිරිඳ නොවේ.."

(Birinda Mage Oba - Nanda Malini & Gunadasa Kapuge)



මේ ගී දහරාව අතර, එඩ්වඩ් ජයකොඩි නන්දා මාලිනී ගැයූ 'විසඳුමක් නැත ලෝකයෙන්' නැමැති ගීත ය ද බණ්ඩාර අතාවුද ගැයූ 'කොහේ යන්නද කොහේ ඉන්නද? 'වැනි ගීත ද සදා සිහිවටන ලෙස පවතී. එසේ ම අජන්තා රණසිංහයන්ගේ පහත සඳහන් පදමාලාව ද ප්රේමය පිළිබඳ නව්‍යතම ආකල්පයකි.


"පාරමී දම් පුරමු අප දෙන්නා
මටම අයියණ්ඩියක වී ඔබ
නැගණි වී මා එකම මවු කුස
සසර මතු දා උපත ලබනට
පාරමී දම් පුරමු අප දෙන්නා.."

(Paramidam Puramu - Neela Wickramasinghe)




මේ ප්‍රේමයේ විකල්ප ගී දහරාව අතරට අසූව දශකයේ එක් වූ අපූර්ව ගීයක් ලෙසින් ප්රදීපා ධර්මදාස සහ ලක්ෂ්මන් විජේසේකර ගයන 'සුපෙම් හැඟුම්' නැමැති ගීතය එක් කළ හැකි ය.


මෙහිදී තරුණයා ගේ ප්‍රේමය ප්‍රතික්ෂේපිත ප්‍රේමයක් බවට පත් වෙයි. එහෙත් ඇය ඔහුගෙන් දුරස්වීමට උත්සාහ නොගනියි. ඈ තුළ මිතුරුදමක් ඉතිරි ව පවතී. ඒ මිතුරු බවේ නාමයෙන් ඇය ඔහුට පෙම්වතියක් නොවුණ ද මඟ පෙන්වන්නියක් බවට පත් වීමට උත්සාහ දරයි. එය ද එක්තරා උත්තම පරිත්‍යාගයකි. ඒ සඳහා මනරම් කාව්‍යෝක්තියක් රචකයා විසින් පද මාලාවට එක්කොට තිබේ. එනම් ඔහු ඈත සමුදුරේ නෞකාවක් නම් තමා පහන් ටැඹක් වන්නට සූදානම් බවයි.


"සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරු දම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ.."



එහෙත් ඇගේ තීන්දුවෙන් ඔහු ගේ හිත පෑරෙයි. ඔහුට අවශ්‍යවන්නේ ඒ මිතුරු දමට එහා යන ළබැඳියාවකි. ඒ නිසා ඔහු ඔහුගේ ජීවන නෞකාව පැදවීමට ඇය පහන් ටැඹක් බවට පත්කර නොගනී. ඔහු සිත දැඩිකර ගෙන තරු එළියෙන් තම ගමන ආරම්භ කරයි. ඔහු ලද මානසික ආතතියේ බරපතළකම ඉතා මැනවින් ස්පර්ශ කිරීමට මෙහිදී රචකයා සමත් වේ.


"තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුර ගමන යමි ඉතින්
කිසිදින අප හමු නොවන බව දනිමි
සිහිනය මිය යා යුතු ය මේ ලෙසින්.."



මෙහිදී ඔහුගේ පරාජිත බව මෙන් ම පරාජිත බව ඉදිරියේ සිත දැඩි කර ගැනීමට ගන්නා උත්සාහය ද රචකයා මනාව ප්‍රතිනිර්මාණය කරයි.


ඇය ඔහුට ළං නොවන කරුණ රචකයා පැහැදිලි නොකරයි. ඇතැම් විට ඇයට පෙම්වතකු සිටිනවා විය හැකි ය. නොමැති නම් ඇය ආලයෙන් බැට කෑ එකියක විය යුතු ය.


එහෙත් ඇය නපුරු යුවතියක නොවේ. ඇයගේ හදවත ද ඔහු වෙනුවෙන් කම්පාවෙයි. තමා වෙනුවෙන් වැළපෙන, තම ප්‍රේමය ඉදිරියේ හඬා වැටෙන මේ පුද්ගලයා අමතක කර දැමීමට ඇය සූදානම් නැත. ඇය හුදෙකලාවට පෙම් බඳින නමුත් ඔහු ව සිහිපත් කරන්නී ය.


ළං කර නොගත්ත ද ඔහුව දුරින් හෝ දැක ගැනීම ඇගේ අභිප්‍රායයි. ඇගේ යටි සිත තුළ ඔහු කෙරෙහි ළෙන්ගතු කමක් පවතී. එහෙත් ඔහුට ළං වීමට නොහැකි, පරිසරයක් ඈ වටා නිර්මාණය වී තිබේ. එහෙත් හිරු අවරට යන සන්ධ්‍යාක තමා වෙනුවෙන් වැළපෙන මේ හුදෙකලා ආත්මය වෙනුවෙන් කඳුළක් සැලීමට ඇය අමතක නොකරයි.


"දිවයුරු සැඟවෙන මොහොතක තනිවී
ඉකි බිඳිමින වියරුවේ පාළුවෙන්
එය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසුණි යළි දකින තුරු දුරින්.."


ගීතය අවසානයේ ඉතා දැඩිව අනුකම්පාවට හසුවන්නේ මේ පරාජිත තරුණයා ය. එහෙත් ඔහුගේ පරාජිත බව ඉදිරියේ මේ තරුණිය ද්වේෂයට ලක් නොවීම විශේෂත්වයකි. එසේ ම මේ අනුභූතිය යෞවනයට පමණක් ම සීමා නොවන්නකි. ජීවිතයේ විවිධ වයස් මට්ටම්වලදී ප්‍රේමය හා බැඳුණු මෙබඳු අත්දැකීම විඳ ගැනීමට මනුෂ්‍යයාට සිදුවෙයි. ඒ නිසා ම රචකයා ගේ අනුභූතිය වැළඳ ගැනීම ඇති ඉඩ පරාසය වැඩිවෙයි.


පද රචනයට අමතර ව මෙහි ගායනය හා සංගීතය පිළිබඳ ව සඳහන් කළ යුතු යැයි මට හැඟේ. ප්‍රදීපා ගේ හඬ ශ්‍රාවකයා හඳුනාගන්නේ මුලින් ම වේදිකාවෙනි. එහෙත් ඇගේ මධුර හඬින් ඈ උපරිම ප්‍රයෝජනය ගත්තා යැයි මම නොසිතමි. මේ ගීතය පමණක් නොව 'දූවිල්ලෙන් සැදුන ලියේ', 'විනේ කටින උන්' ආදී ගීත ද ඇගේ මනරම් ගැයුම් ය.


ලක්ෂ්මන් විජේසේකරයන් සතුව ඇත්තේ කෙනෙකුට කලාතුරකින් පිහිටන විපුලම්භයට නැඹුරු වූ කටහඬකි. ඔහුගේ එක්තරා ගීයකින් මා තරුණ කළ නැළවුණෙමි. වැළපුණෙමි.


"දෑත දෙපාලන ගිගිරි සරින්
මා කැඳවා නොතැවෙන්
සිව් සිය ගව් දුර ඇදෙන ලෙසින්.."
(ලක්ෂ්මන් විජේසේකර)

ගීතය මෙතනින් download කරගන්න...
(Datha Depalana Gigirisarin - Lakshman Wijesekara)


කෙසේ වෙත් මේ පද රචනයට මේ දෙදෙනාගේ හඬ සම්මිශ්රණය අත්වැලක් වී තිබේ. රෝහණ වීරසිංහයන් වඩාත් උනන්දුවෙන් මෙහි තනු නිර්මාණය කර ඇති බවක් මට හැඟීයයි. එය ඒ තරමට ම පද මාලාව සමඟ බද්ධ වෙයි.


ශෝකය, එය අත් විඳින්නට රසයක් නොවුව ද රසිකයා ඉදිරියේ එය රසයක් බවට පත් වේ. ඒ ශෝක රසය මේ නිර්මාණය තුළ උපරිමයෙන් අන්තර්ගත ය. ඔහුගේ සිහිනය මෙන් අප කාගේ සිහින විවිධ අවස්ථාවල මිය යන්නට පුළුවන.


එසේ ම දුරින් සිට අපට එළිය දෙන අය කොපමණ සිටිත් ද? ප්‍රදීපාගාරයක ආලෝකය පෙනි පෙනී ඉවත බලාගෙන තරු එළියෙන් ජීවිත ඔරුව පැදීමට ඔහු ගන්නේ සාර්ථක උත්සාහයක් ද? ආදරය නොමැති නම් මෙසේ කෙනකුට දුරින් සිට ආලෝකය ගෙනදිය හැකි ද? මේ ගීතය ඇසෙන හැම විට ම ම සිත පැනයක් ඉතිරි වෙයි. 


මෙබඳු සුපෙම් හැඟුම් පිරි සිහිනය, මේ අයුරින් මිය යා යුතු ද?





(Supem Hengum - Pradeepa Dharmadasa & Lakshman Wijesekara)









**********************************************************************************




සිතුවිලි අමුතුම ඉසව්වකට පාවී යන වචනයෙන් විස්තර කිරීමට නොහැකි වන අතිශය හැඟීම්බර සංකල්පනා සිත්හි ජනිතවන, දහසකුත් ගී අතර තවත් නොමැකෙන රසවත්ම ගීතයක් මෙයත්.

විචාරය හැමදාම වගේ ධම්මික බංඩාර මහත්මයාගෙ. ඡායාරූපය අන්තර්ජාලයෙන්. එක්තුවෙන්න ආරාධනා කරනවා ළබැඳි මිතුරන් හැමෝටම, එන්න ගීතය හා විචාරය රසවිඳින්න. හැඟෙන දැනෙන දේ බෙදාගමු හැමෝම එක්ක.




23 comments:

  1. //ශෝකය, එය අත් විඳින්නට රසයක් නොවුව ද රසිකයා ඉදිරියේ එය රසයක් බවට පත් වේ. ඒ ශෝක රසය මේ නිර්මාණය තුළ උපරිමයෙන් අන්තර්ගත ය. ඔහුගේ සිහිනය මෙන් අප කාගේ සිහින විවිධ අවස්ථාවල මිය යන්නට පුළුවන.//
    සැබැව්න්ම...

    අගනේය විවරණය..
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. සිහින මියගියත් අද ඒවා සුන්දර මතකයන් විදියට අපේ ජීවිතවලට පාර කියනවා.

      Delete
  2. මනොෂ් සංගීතයට ලැදියි නේද.....? හොද විවරණය.... තව කුරුළු කියලත් අපුරුවට ගීත වලට අර්ථ කතන දෙන කෙනකුත් ඉන්නව ...

    ReplyDelete
    Replies
    1. ඔව් කෙන්ජි, මං ගොඩකම ආසයි සුභාවිත ගීතයට.
      ඔව්, ඔව්, කුරුලු ඉන්න දිහාට නිතරම යනව මාත්.
      කෙන්ජිගේ පළවෙනි කමෙන්ටුව. ඉතාම සාදරයෙන් පිළිගන්නව ඔබව.

      Delete
  3. මනෝ, මම නම් හිතන්නෙ ඔය යුවතිය පෙම්වතෙක් ඉන්න ‍යුවතියක් නොව හුදකලාවට පෙම්කරන යුවතියක්.

    කොහොමත් කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහත්දි 'අපි සහෝදරයො වගේ ඉමු' 'අපි යහළුවො වගෙ ඉමු' කියන එක දැන්නන් පැෂන් එකක් වෙලානෙ. ඒත් ඒ වෙලාවට ඇති වෙන කෝපය මේ ගිතයෙදි ඇති නොවීම කපිල මහත්මයගෙ විශේෂ දක්ෂ කමක්.

    ReplyDelete
    Replies
    1. හ්ම්..හ්ම්.. ප්‍රියා නවතම මාවතකට ගීතය යොමුකරනවා. මට කවදාවත් ඔහොම හිතුනෙ නෑ. ඒ අර්ථයෙනුත් අපූරුවට මේ ගීතය රසවිඳින්න පුලුවන්නෙ බං.

      Delete
  4. මම මේ සින්දුව රස වින්දේ හුගක් කලින් ඉදන්. එහි හැම පද පේලියක්ම මට හොදටම මතකයි.. ඇත්තටම මේ සින්දුව මාව වෙනස් කළා... ස්තුතියි මතකය අළුත්කරාට..

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ. ගීතයේ වටිනාකම කොච්චර වැඩිවෙනවද. ස්තූතියි දේශකයෝ...

      Delete
  5. අපි මුලින්ම පද රචනය දිහා අවධානය යොමු කරොත් එතනදි අවසානය වෙන්නේ පිරිමි ලමයා මේ යුවතියගේ මිත්‍රත්වය එපා,ප්‍රේමය පමණක් පැතුවෙමි කියලා යන්න යන එක.නමුත් ගායනය පැත්තෙන් ගත්තොත් අවසානයේදී දෙන්නම ඒකට එකඟ වෙන ස්වභාවයක් තියෙනවා.
    මෙතනදි පහන් ටැඹ නැත්නම් ප්‍රදීපාගාරය කියන්නේ කිසිම නැවකට අයිති නැති දෙයක්.හැම නැවක්ම ගොඩබිම හොයාගන්නේ ඒකෙන්.ඒත් ‍රැ‍ඳෙන්නේ නෑ.ආපහු යනවා.තවත් නැවකට ප්‍රදීපාගාරය සේවය සපයනවා.එතකොට කෙනෙකුට මේක ලෝකේ පැරණිම ‍රැකියාවට සම්බන්ධ කරන්න පුලුවන්.ඒත් නැවකට ප්‍රදීපාගාරය මඟ කිව්වට නැව එන්නේ වරායට.අනික දෙන්නේ එලිය විතරයි.ඒ නිසා අර පැරණිම ‍රැකියාවට බද්ධ කරන එක එච්චර සාර්ථක නෑ. මේ යුවතිය තනිව ඉන්න පෙරුම පුරන්නියක්.ජීවිතේ අනියත බව දකින්නියක්.මේ සබඳතාව ඉංග්‍රීසි බසින් හඳුන්වමු platonic friends කියලා.

    ReplyDelete
    Replies
    1. උඩ කමෙන්ටුවකින් ප්‍රියා ගීතය වෙනස් ආකාරයකට රසවිඳින්න කියල දුන්න. දැන් හිමපියල්ල කියන කතාව ඇහුවම ගීතයට තිබුන ආදරය තවත් වැඩිවුනා. අපෙන් එහාට ගොඩක් දුරට ගීතය ගැන හිතල හිමපියල්ල. ලෝකයේ පැරණිම රැකියාව සම්බන්ධකරල උනත් අමුතුම අර්ථයකින් මේ ගීතය රසවිඳින්න පුලුවන් තමා. ඔබ හරි.

      මං දාන පෝස්ට් වලට මේවගේ අමිල වටිනාකමක් එක් කරනවට ඔයාලට ගොඩක් ස්තූතියි. ගීතය ගැන මගේ හිතේ තිබුනෙ යම් රාමුවකට කොටුවුන අදහසක්. ඒත් ඔයාල මාව ගොඩක් දුර අරන් ගියා. මේකතමා මට ඕනි.

      Delete
  6. පට්ට
    අරූ අය්ය කියල තියෙන හිංද මං මොකුත් කියන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. \\අරූ අය්ය කියල තියෙන හිංද මං මොකුත් කියන්නෙ නෑ//

      ඒ තේරුනේ නෑ බං කීව එක. කවුද අයියා කියල තියෙන්නේ?

      Delete
  7. මෙවැනි ලිපි කියවන්න ලැබීමත් වාසනාවක්. ගී රස වින්දනය අද පිරිහී ගිහින්. කනට වඩා කකුල් වලට ලියන ගීත නිසා. 'සුපෙම් හැඟුම්' ගීතය මා සිත තදින් පැහැරගත් ගීතයක්. මට මතක් වුණා වදරින්ග් හයිට්ස් නවකතාවේ සිදුවීම් මේ ගීතය අහද්දී.

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි විචාරක. කකුල්වලට ගීත ලියන්නෙ බහුතර රසික පිරිසක් අහන්නෙ කකුල්වලට දැනෙන සිංදු නිසා වෙන්නැති. රසිකයා අපිට මේවා එපා කියල ප්‍රතික්ෂේප කරනවන් ගීත රචකයන්ට සිදුවෙනවා ජනතාවට අවශ්‍ය දේ දෙන්න. ගී රසවිදනය මිනිස්සුන්ගෙන් කොච්චර ඈතට ගිහින්ද කියනෙක මතක්වෙනකොට හිතට දැනෙන්නෙ පුදුමාකාර කළකිරීමක්.

      Delete
  8. පද වැලට පෙරලුනු ආදරයේ විවිධ ස්වරූපයන් ඔබ හොඳින් විචාරයට නගලා තියෙනවා..
    ගී රස විඳින්න හොඳ අවස්ථාවල ලබා දීලා තියෙන්නේ .. ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. අපිට මේ වගේ හොඳ ගීත විචාර ලිවීම ගැන අපි ධම්මික බංඩාරට ස්තූතිවන්ත වෙමු.

      Delete
  9. හරිම අගෙයි .................................

    ReplyDelete
  10. මේ කමෙන්ටුව ඔයා දකීද නැද්ද දන්නේ නෑ.ඒත් මේ සින්දුව මගේ ජීවිතේට ගොඩාක් සමීපයි.ඒ නිසාම මුකුත් නොකියා යන්න හිතුනේ නෑ..

    "තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
    දැඩි සිතකින් දුර ගමන යමි ඉතින්
    කිසිදින අප හමු නොවන බව දනිමි
    සිහිනය මිය යා යුතු ය මේ ලෙසින්.."

    සිහිනය මිය යා යුතුයි..නමුත් එය එතරම් පහසු නෑ..ඇත්තටම මේ ගීතයේ මන් කැමති ඒත් අකැමතිම පද ටිකත් මේ ටික..

    මේ ගීතය ඇහෙනකොට පුදුම පාලුවක් තනිකමක් දැනෙනවා.
    පහන් ටැබක් වන බව කියන්න ලේසි.ඒත් ඒ බව අහන්න අමාරුයි..
    තනිව ගමන් කරන බව කියන්න ලේසි.ඒත් ඒක කරන්න අමාරුයි..
    සිහිනය මිය යන බව හිතන්න ලේසි.ඒත් ඒක පිළිගන්න අමාරුයි..

    ගීතය තරම් ජීවිතය පහසු නෑ..ඒ මොනවා වුනත් විය යුත්ත මේ ගීතයේ තියෙනවා.ගොඩාක් ආසයි මේ ගීතයට...


    ReplyDelete
    Replies
    1. ඔයාලගේ මේ හැම කමෙන්ට් එකක්ම මගේ මේල් බොක්ස් එකට එනවා සුසී. ඒ නිසා මට මේ එකක්වත් මඟහැරෙන්නෙ නෑ. ඔයාලගේ මේ සොඳුරු, රුදුරු, සතුටු, වේදනා මතකයන් තමයි මගේ බ්ලොග් පිටු ලස්සනට සරසන්නෙ. ඒ නිසා කොච්චර පරක්කු වෙලා ලැබුනත් මේ හැම කමෙන්ටුවක්ම, අකුරක්ම මට ගොඩාක් වටිනවා.

      ගීතය හදවතින්ම විඳිනකොට මෙවන් අත්දැකීමක් තිබුනත් නැතත් ඒ සංවේදී හැඟීම අපේ පපුවටම දැනෙනවා සුසී.

      ඇත්තෙන්ම ඔබ කිව්ව හරි. මේ ගීතයේ කියල තියෙන දේ තමයි වෙන්නෝනි. එත් කරන්න අමාරුම දේත් මේක තමයි. නමුත් අමාරුවෙන් හරි කරන්නම ඕනිත් මේකයි. මිනිස්සු කියන අපි සංවේදී ශෝකජනක හැඟීම් අතර ජීවිතේ මොනතරම් නම් අතරමං වෙනවද.. ජීවිතේ අපි බලාපොරොත්තුවෙන හැමදේම ලැබෙන්නෙ නෑ. ලැබුන පුංචි දෙයත් පරිස්සමට රැකගන්න අපි කොච්චර දු විඳිනවද.

      ඇත්ත, ඔබ කිව්වෙ ඇත්ත. ගීතය තරම් ජීවිතය පහසු නෑ. ඒත් ගීතයෙන් අපිට අපේ වේදනාව විඳවන්නෙ නැතිව විඳින්න පාර කියල දෙනවා.

      දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය..කටු පොකුරු සිපගනිමි හෙට මලක් වනු පිණිස.. එහෙමයි රත්න ශ්‍රී කිව්වෙ. ඕක තමයි ජයග්‍රහනය.

      ඔබේ හද සසල කරවන සංවේදී කමෙන්ටුවට මගේ උත්තමාචාරය!

      Delete
  11. තව හිතට සමීප ගීතයක් මනෝෂ්..මේ සියල්ල මීට දශකයකටත් එහා අතීත මතක රැසක් ආයෙත් හිතට ගෙනාවා..ඒ කාලේ පිස්සුවෙන් වගේ ආදරේ කළ ගීයක් මේ..තාමත් ඒ වචන හඬ තනුව ඒ සංවේදීකම ස්පර්ශ කරනවා හිත පතුළක තියෙන..ඔබට පින් මෙවන් සටහන් ගෙන එනවාට...

    ReplyDelete
    Replies
    1. ජලය, සුළඟ සහ රාත්‍රිය අතර බැඳුනු පාලු, ශෝකී හුදෙකලා බවක් දැනෙනවා මටත් මේ ගීතය අසන වාරයක් වාරයක් පාසා. ඔබට ගොඩක් ස්තූතියි තනි තරුවේ..

      Delete