පෙර සිට ම තමාට හුරු පුරුදු අවන්හල වෙත සිය සොඳුරිය ද සමඟ පැමිණ සිටින කථකයාට කොළොම්තොට දර්ශනය වෙයි. (කොළොම්තොට යනු මුහුදුතොට, නැව්තොට හෙවත් වරාය යන අරුත මූලික කොටගත් සමස්ත කොළඹ නගරය ම අඟවන වදනකි.) කොළොම්තොට නුදුරින් පෙනෙන මේ මොහොතේ එය මහලු වී නැතැ යි කථකයාට සිතෙයි.
පෙර තුරුණු වියෙහි දුටු කොළොම්තොටෙහි වියපත්වීමක් හෙතෙම නො දකී. ගෙවුණු යටගියාවෙහි ඇය හා වරින් වර පැමිණ ගතකළ මේ අවන්හල පවා පැරැණි වී නැති සෙයක් තත් ක්ෂණයෙහි ඔහුට හැඟෙයි. කාලයා ගේ බලපෑමෙන් එහෙම පිටින් වෙනස් වී නැත ද අවන්හල නව මුහුණුවර ගෙන සිටියි.
එදා නැව්තොටට ඉහළින් මහත් ආකාශය අරා දිලි සඳ අද ද පෙර සේ ම ය. එය ද කථකයාට ගෝචර වනුයේ තවමත් යෞවන භාවයෙන් යුත් සඳක් සේ ය. තමා දකින මේ සියල්ලෙහි දුක්බරිත බවක, වියවුලක, පසුතැවීමක ලකුණු ඔහුට නො පෙනෙයි. මේ සැඳෑවෙහි මුළු මහත් පැවැත්ම ම රංගනයක යෙදෙමින් ප්‍රමෝදය පළකරනු වැන්න. මේ මොහොතේ තමා කෙරෙන් පරිබාහිර පැවැත්මේ ඉතා ලිහිල් සැහැල්ලු චලනයක් අවන්හල් කවුළුවෙන් අවලෝකනය කරන කථකයා තුළ නැඟෙන්නේ 'එහෙත් අප දෙන්නා' යන පැනයයි.
අප සියල්ලනට මෙන් ම කථකයාට ද තමා දන්නා හඳුනන තමා ඇසුරෙහි පවතින ජීව අජීව සියල්ල කාලයෙන් පැන නැඟුණු ඒවා ය. අපි මේ මහා කාල ප්‍රවාහයට හසු වූවෝ වෙමු. ලෞකික ජීවිතයෙහි කුදු මහත් සියල්ලෙහි පැවත්ම අපි ත්‍රයිකාලික ලෙස වටහා ගමු; අර්ථකථනය කරමු. ඒ අර්ථකථනයෙහි ගොදුරු බවට ද අපි සියල්ලෝ පත් වී සිටිමු.
"කොළොම්තොට නැත මහලු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳ ම යි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා..
බලන් කැඩපත සොඳුරියේ...
කුඹ ගසක් උඩ නැවතිලා
සිනා සලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ
පාට වත්සුනු දෙකොපුලෙන් පිස දා
පෙරුම් පුරමින් හමු වෙලා
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන අරුම ද නර කෙසක් නැඟිලා..!"
කථකයා මෙකී කාල සංඥාවෙන් පැන නැඟුණු සිතිවිලි මඟින් කොළොම්තොට ද, අවන්හල ද, සඳ ද, තමා ද, තම සොඳුරිය ද තුලනය කරයි. කාලයා ගේ ප්‍රබල ම බලපෑමෙහි තතු බෙහෙවින් සලකුණු වී ඇත්තේ තමා හා තම පෙම්බරිය කෙරෙහි බව හේ් සිය අබිමුවැ වන කැටපතෙහි දකියි. අනතුරු ව කැටපත දෙස බලන මෙන් හෙතෙම සිය ප්‍රියාවට පවසයි.
තුරුණු වියෙහි සිට ම පෙම්වතුන් ව සිටි යුවළක්, ඔවුනට පෙර සුපුරුදු අවන්හලට පැමිණ සිටින මේ මොහොත ඔවුන් ගේ වියපත් භාවයේ මොහොත බව මේ පබැඳුමෙහි වන සියුම් ඇඟැවුමකි. මෙතෙක් දෙදෙන ඒ පිළිබඳ දැනුම්වත් වීමක පසු නො වූ හ. මෙතෙක් ඒ හා සමඟ ජීවත් වුව ද ඔව්හු ඒ බවක් දැන නො සිටිය හ.
"එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ"
කැටපතෙහි පෙනෙනුයේ එදා උතුරා යන තරම් රූ සපුවෙන් යුතු ව පැවැති ස්වකීය පිළිබිඹු නො වේ.
නැව්තොටෙහි නැංගුරම් ලූ නැවක කුඹගස අහසෙහි නැඟ සිටිනුද, ඒ කුඹගස උඩ නතර වී සරදම් සිනා නංවන සඳ ද කථකයා දකියි. දෙදෙන ගෙවා ලූ යටගියාවෙහි තතු දත් නිහඬ සාක්ෂිකරුවා වනුයේ සඳ ය. අද ඔව්හු ජරපත්භාවයෙහි මුවදොර වෙසෙති. එදා මෙදා තුර තතු හැඳිනි බැවින් ද සඳේ මේ සරදම් සිනා? කථකයා යළි සිය සොඳුරිය අමතා පාට වත්සුණු දෙකොපුල් මතින් පිස හැර කැටපත දෙස බලන්නැ යි කියයි. කාලයා ගේ ස්පර්ශයෙන් වියපත් බව කරා හෙළුණු වත මඬලෙහි සැබෑ ස්වරූපය මනා ව දැකිය හැක්කේ එවිට ය.
ගීතයේ අවසන් භාගය විමසන කල හැඟෙනුයේ, දෙදෙන සිය තාරුණ්‍යයේ සිට ම පෙරුම් පිරීම් බඳු දුෂ්කර තත්ත්වයන් ඇසුරෙහි ලොවට රහසේ හමුවෙමින් පෙම් බැඳි බවකි. එහෙත් අවසන අප සියල්ලන් මුහුණ දිය යුතු ම වන ධර්මතාවට තම සොඳුරිය ද අවනත වී ඇති බව කථකයාට හැඟෙයි. කල වයස ගතවීම පිළිබඳ කම්පාව හෝ සංවේගයක් ගීතය ඇසුරෙහි නො නැෙඟයි. "කුමන අරුම ද නරකෙසක් නැඟිලා"යනුවෙන් මෙහි දී වයස්ගතවීම පිළිබඳ ඉඟිකාරක උක්තියක් අපට හමුවෙයි. 'අරුම'යන වදනෙහි ආශ්චර්යවත්, විශේෂ, හිඟ, දුර්ලභ යනාදී අරුත් ද වෙයි.
උනුන් රහසේ බැඳි පෙමෙහි ආශ්චර්යය පළ කරමින් නැඟුණු නරකෙසකි මේ. ප්‍රේමයේ සුන්දරත්වය හමුවේ ජරා, ව්‍යාධි, මරණ යනාදී ධර්මතා පිළිබඳ කතා කිරීම පවා අපි මඟහරිමු. ඒවා ප්‍රේමයේ සෞන්දර්යය හා සමඟ කිසි සේත් සම නො වේ ය යන්න බොහෝ දෙන අදහති. එහෙත් යෞවන විය, තාරුණ්‍යය හා සමඟ හැම කල්හි ම පවත්නා තතුවකි මහලු විය. ආදරයෙහි පවත්නා සුන්දරත්වයට හේතු වන්නේ ද මේ වියපත්වීමේ ධර්මතාව ම නො වේ ද? මිනිසා සදාකාලික පැවැත්මක වී නම් ආදරය, අනුරතිය යන සියල්ල මෙතරම් සුවයක් දනවා ද? අප නොසැලැකුව ද ආදරය හා මහලු විය නිතර සම්මුඛ ව පවත්නේ වෙයි. ඒ දෙදෙනාම වෙන් කොට සැලැකීම මහත් වේදනාවට කරුණු වෙයි.
ගීතයේ කථකයාට සිය ප්‍රියාව ගේ හිසෙහි නැඟි නරකෙස අරුමයකි. මේ ආශ්චර්යය ඔවුන් මේ තාක් ගෙවා ආ ප්‍රේමණීය සමය පුරා බලාපොරොත්තු නොවූවකි. එහෙත් එය සිදුවී ඇත. නරකෙස දැකීමෙන්, වත්සුණු පිස හළ ඇය ගේ වත මඬල දැකීමෙන් කථකයා ගේ සිත්හි ඇති වන වේදනාව හෝ කම්පාව ප්‍රකට ලෙස ඇඟැවීම ගීත නිබන්ධක ලූෂන් බුලත්සිංහල ගේ අපේක්ෂාව නො වේ.
මේ පොදු සාධාරණ තත්ත්වය අකම්පිත ව ඉවසන කථකයකු මෙහි දී අපට හමුවෙයි. සුන්දරත්වය, ප්‍රේමය, ආදරය, රූපකායය යනාදී සියල්ල විපරිණාම වීම යනු ඒවා කාලය හා අත්යන්ත බැඳීමක පවත්නා බවය. එ සේ කාලය හා බැඳී පවත්නා සියල්ල අවසන සිය කෙටි සෞන්දර්යය නිමා කොට අභාවය කරා යේ. රූසපුවෙන්, කායික හා මානසික උත්කර්ෂයෙන් යුතු දෙදෙනකු කරා වුව ද අවසන එළැඹෙන්නේ මේ අභාවයා ගේ නියාමය අඟවන වියපත් වීමේ ලකුණු යි.
ගීත ප්‍රබන්ධකයා යම් මතවාදයක හෝ දෘෂ්ටියක නියෝජිතයකු ලෙස පෙනී සිටීමක් මෙහි දැක්ක නො හේ. මෙමඟින් ලූෂන් බුලත්සිංහල රචකයාණෝ ප්‍රේමය වැනි සාධාරණ ජීවන සබඳතාවන් හමුවේ අවසන ජීවිතයා මුහුණ දෙන තතුව අතිශය සංක්ෂිප්ත ඇඟැවීමක් සේ අප වෙත පතිත කරති. මේ වූ කලි ප්‍රබන්ධකයා පෙරට විත් කරන විස්තර කථනයක් නො ව, කිසියම් චිත්තරූපික මාර්ගයක් ඇසුරු කොට කැරෙන සියුම් දැනැවීමකි.
ප්‍රබන්ධයෙහි වන ප්‍රමුඛ සංකල්පනය අමරදේවයෝ සිය හසල ගායන කෞශ්‍යල්‍යයෙන් පරිසමාප්තියට පත් කරනු මේ ගීතය ශ්‍රවණයෙහි දී ඔබට හැඳිනිය හැකි ය. අසිරිමත් වූ ප්‍රේමය හමුවේ මෙතෙක් අදිසි ව සිටි වියපත් බවේ සලකුණු, අප කථකයා මඳක් සසල කළ ද, ඉන් නොසැලී නැඟෙන තිරසර අවබෝධයෙක ශ්‍රවණ රමණී පිළිබිඹුව අමරදේවයන් ගේ මේ ගැයුමෙහි වෙයි.
විශාරද ගුණදාස කපුගේ සංගීතවේදීයාණන් ගේ නාදකෘතිය හා සංගීත සංයෝජනය ගීතයේ ඇඟැවුම තීව්ර කරන සියුම් නාද භාෂණයක් ම වෙයි.
ගීතය මෙතනින් download කරගන්න...
(Kolomthota Netha Mahaluwee - W.D. Amaradewa)
"කොළොම්තොට නැත මහලු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳ ම යි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා..
බලන් කැඩපත සොඳුරියේ...
කුඹ ගසක් උඩ නැවතිලා
සිනා සලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ
පාට වත්සුනු දෙකොපුලෙන් පිස දා
පෙරුම් පුරමින් හමු වෙලා
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන අරුම ද නර කෙසක් නැඟිලා"
පද රචනය - ලූෂන් බුලත්සිංහල
සංගීතය - විශාරද ගුණදාස කපුගේ
ගායනය - පණ්ඩිත් අමරදේවයන්
පද රචනය - ලූෂන් බුලත්සිංහල
සංගීතය - විශාරද ගුණදාස කපුගේ
ගායනය - පණ්ඩිත් අමරදේවයන්
ගීතය මෙතනින් download කරගන්න...
(Kolomthota Netha Mahaluwee - W.D. Amaradewa)
************************************************************************************************
මා ඔබට මින් පෙර ගෙන ආ බොහෝ ගීත විචාර ධම්මික බංඩාර මහත්මයා විසින් විවරණය කල ගීත වුවද, අද ගෙන ආ මෙම ගීතයේ විචාරය කර ඇත්තේ, තවත් ප්‍රවීණ ගීත් රචකයෙකු, ගීත් විචාරකයෙකු වන නන්දන වීරසිංහ මහතායි. ඔබට මතකනම් සාමාන්‍යපෙළ සිංහළ සාහිත්‍ය පොතෙහි අපට හමුවූ "දුම්මල ගලට ගිය අම්මා" නම් පද්‍ය නිර්මාණයෙහි කතුවරයා වන්නේද මෙතුමාය.
ඡායාරූප සියල්ලම අන්තර්ජාලයෙනි..
රස විඳින්න මෙම ගීතයත් විචාරය සමඟින. බෙදාහදා ගමු අපි අපේ අදහස් අදත් පුරුදු ලෙංගතුකමෙන්.
හැමදාම කියනව වගේ අගේ ඇති විවරණයක්.....
ReplyDeleteමගේ එකතුවට තවත් එකක්
ජය වේවා!!!
හොඳයි.. හොඳයි.. ඔබට වටිනවා නම් ගොඩක් සතුටුයි මටත්.
Deleteදැං එතකොට මේක බන්ඩාරගේ එකක් නෙමෙයි නේ... මට මගදි තේරුනා රිදමයේ වෙනසක්...
ReplyDeleteඅන්න හරි. මේක ධම්මික බංඩාර මහත්මයාගෙ නෙවෙයි. මේ විචාරය කරල තියෙන්නෙ නන්දන වීරසිංහ මහත්මයා. ඒ දෙදෙනගේ ශෛලිය එකිනෙකට ගොඩක් වෙනස්. නන්දන මහත්මයාගෙ විචාර සරලයි, කෙටියි. ඒ වගේම ඕනිම කෙනෙකුට කියවපුගමන් ඉක්මනට තේරුම්ගන්න පුලුවන්. ධම්මික මහත්මයාගේ විචාර ටිකක් ගැඹුරුයි. දීර්ගව විස්තර කරනවා. වටහාගැනීමට හොඳ අවධානෙකින් කියවන්නෝනි. ගීතයට අමතරව අදාල නිර්මාණකරුවන්ගෙ වෙනත් නිර්මාණ ගැනත් විස්තර කරනවා. ඔන්න ඔහොමයි ඉතින් වෙනස.
Deleteමා කැමති ගීත බොහොමයක් ලියූ ලූෂන් බුලත්සිංහලගේ තවත් අගනා පදමාලවක්. ස්තූතියි!!
ReplyDeleteඑතුමාගෙ පදමාලාවන් බොහොමයක් අපේ හදවත්වල රැඳුනු සුවිශේෂි නිර්මාණයන් තමයි.
Deleteවෙනදා සේම අගනා විචාරයක්...
ReplyDeleteමනෝ ඇයි ඔබේ විචාරයක් පළ නොකරන්නේ... ඇත්තටම ඔබ උත්සාහ ගත යුත්තේ එයට නොවෙද
තාම ඒවගේ දේකට සුදුසු නෑ හිතෙනවා මහේෂ්. සරලයි වගේ පෙනුනට මේක ඉතාම බැරෑරුම් දැඩි වගකීමකින් කරන්නෝනි දෙයක් විදියටයි මට හිතෙන්නෙ. අපි කියනදේ පුංචිහරි වරදක් තිබුනොත් පාඨකය වැරදි අවබෝධයක් ඇතිකරගන්නවා. ඒක ඒ නිමාණයට වගේම නිර්මාණකරුවට අපි කරන ලොකු අසාධාරණයක්. ආයෙ හරිගස්සන්න බැරි වරදක්. ඉතාම හොඳ සාහිත්‍ය දැනුමක් ඕනි ගීත විචාර ලියන්න. ගීතය ගැනනම් ඔහේ කියවන්න පුලුවන්. නමුත් සාරවත් යමක් ලියන්න තරම් හොඳ සාහිත්‍ය දැනුමක්, ගීත ගැන දැනුමක් නෑ මහේෂ් මට. ඊට වඩා හොඳයි මේ විදියට ඉදිරිපත් කරල ඔයාලටත් වටිනා යමක්, ගන්න පුලුවන් යමක් මේ විදියට ලබා දෙන එක.
Deleteහැබැයි මහේෂ් මෙහෙම අදහසක්නම් තියෙනවා. ඔය ගොඩක් ගීතවලට තියෙනවනෙ ගීතය නිර්මාණය වෙන්න පසුබිම් වුන ලස්සන සිදුවීම. ඉතින් ඔය ගීත කතන්දර ටිකකුත් දන්නව මං. ඉදිරියට ඒ කතන්දර ටිකක් නම් අරන් එන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේවගේ ගීත විචාර ලිපි තව ටිකක් තියෙනවා. ඒ ටිකත් දාලම අපි බලමුකො අලුත් විදියක්. තව මේවා ගැන ඉගෙනගන්න දේවල් ගොඩාක් තියෙනවා. ඊට පස්සෙ මාත් උත්සාහ කරන්නම්කො මගේම ගීත විචාර ටිකක් අරන් එන්න.
හැමදාම වගේ අදත් ගොඩක් රසවින්දා.. ඒ වගේම අමරදේවයන්ගෙ ආසම ගීතයක්..
ReplyDeleteගොඩක් ස්තූතියි මනෝෂ්..
අපේ කාලෙ එවුනුත් මේ ගීත මෙච්චර ආසවෙන් රසවිඳින එකගෙන මාරම සතුටුයි මචෝ..
Deleteඅමරදේවයන් ගයන මම කැමතිම ගීතයක්.
ReplyDeleteලූෂන්, අමරදේව, කපුගේ වැනි දැවන්තයින් තිදෙනෙක් එකතු වී කල නිර්මාණයක් නිසා එහි අගය තවත් වැඩී.
මහේෂ්ට කිවුවා වගේ පසුබිම් කතා ටිකකුත් ගේන්න පුලුවන්නම් මරු මනෝ.
සහතික ඇත්ත මචං. අතිදැවැන්තයන් තුන්දෙනෙක් අතින් බිහිවුන අතිදැවැන්ත නිර්මාණයක්.
Deleteවිචාර ටිකෙන් පස්සෙ අනිවාරෙන් පසුබිම් කතා ටික ගේන්නම් මචෝ.
අතරින් පතර දාන්න...
Deleteඔක්කොම විචාර ටික සීරීස් එකක් විදියට එකදිගටම දාල ඊළඟට වෙනසක් කලා නම් හොඳයි කියලයි හිතෙන්නෙ විදානෙ. බලමුකො අපි.
Deleteසිංදුව කැමතිම එකක් ,
ReplyDeleteජයවේවා!!!!!!!!!!!
ස්තූතියි!
Deleteලූශන් බුලත්සිංහලයන් ලිවුව සිංදු වලට මගෙත් තියෙන්නේ විශේෂ කැමැත්තක්.. ඒවායේ පදමාලා ඇත්තටම හරිම අපූරුයි..
ReplyDeleteඔබ හරි දිනේෂ්. ඒ වගේම තමයි රත්න ශ්‍රී විජේසිංහයන්. එතුමාගේ පදමාලවනුත් අසම සමයි.
Deleteවයසට ගියත් හැබෑ ආදරය මිය යන්නේ නැත.....
ReplyDeleteඒක හරි. සැබෑ ආදරයට කිසිම දේකින් සීමවක්, මායිමක් නෑ.
Deleteමේ සින්දුවත් එක්ක මාර විදිහට ෆිට් වෙනවා ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය. කාලයක පටන් වෙඩින් වලටම කැප වෙච්ච තැනක් නිසා රචකයා බැන්දේ එතන වෙන්නත් පුළුවන්. පස්සේ කාලෙක වෙනත් දෙකට එතනට ගියාම ආපු සිතිවිල්ලක් ද?
ReplyDeleteගෙස් එකක්.
තව ඔප්ෂන් එකක් ආකාස කඩේ.
මේ කීව තැන් දෙකෙන් එකකටවත් ඇත්තටම මං ගිහින් නෑ සුජීව. ඒත් ඔබේ අනුමානය නම් බොහෝදුරට හරියන්න පුලුවන්. ඇත්තෙන්ම මේ ලූෂන් බුලත් සිංහලයන්ගේම සැබෑ අත්දැකීමක් වෙන්නත් බැරි නෑ.
Deleteඅදහසක් එකතු කලාට බොහෝම ස්තූතියි ඔබට.