Pages

Sandumal

Sandumal

Wednesday, April 2, 2014

•බොල්පින් වෑහෙන වේලාවේ

"තවලම්කරුවෝ කවරදාකදෝ එක ම තැනක ඉන්නේ..."






දුක් වේදනා ඇසුරෙහි ම වන ජීවිතය නම් අභියෝගය භාර ගත් දිරි ඇති මිනිස් පිරිසක් අපේ අතීත ගැල් කවි ඇසුරෙහි අද ද දිවමන් ව වෙසෙති. ඔව්හු දැනුදු අප ගේ භාව පථයෙහි, නොඑන බඩු බාහිරාදිය පිරි ගැල් ගෙන, අතුරු අන්තරායයන් ගෙන් ආකූල වනගත, කඳුකර කටුක මංතලා ඔස්සේ ගමනෙහි යෙදෙති. අනෙක ගම් නියම්ගම් බලා බඩු පරිවහනයෙහි යෙදෙමින්, තැන තැන ගිමන් නිවමින්, දිවා රැය ගැල් පැද වූ මොවුහු, ජීවිතය යනු කිමැ යි සැබෑ ලෙස අපට තහවුරු කොට අතීතයට පසු බැස ගිය මිනිස්සු වෙති.

ගම් බිම් කෙරෙන් නික්ම අපමණ වෙහෙස, පාළුව, තනිකම ද සමඟ ගෙවුණු දිවිය සම සිතින් ගත් මේ මිනිසුන් ගේ මනෝ භාවය පළ වන ගැල් කවි රැසක් අප සතු ය. එහෙත් එබඳු ගැල් කවි මඟින් අප දැන හැඳිණි ගැල්කරුවා ගේ ජීවිත ප්‍රවෘත්තියෙහි එතරම් ප්‍රකට නො වූ අංශයක් කෙරේ යොමු වූ ගීතයක් මෙවර අප ගේ වින්දනයට භාජන වෙයි.

රූකාන්ත ගුණතිලකයන් විසින් සංගීතය නිමවා, මින් වසර පසළොසකට පමණ පෙරාතු ව ගැයුණු මේ ගීතය ප්‍රබන්ධ කෙළේ සරත් ප්‍රනාන්දු නම් නිහඬ රචකයෙකි. දැනට බැංකුකරුවකු ලෙස කටයුතු කරන සරත් 2007 දී SLIMආයතනයේ සභාපති ධුරය හෙබැවූ අතර, ආසියා පැසිපික් අලෙවිකරණ මධ්‍යස්ථානයේ ප්‍රධාන ලේකම් ලෙස ද කටයුතු කෙළේ ය. මහනුවර කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයේ කුසලතාපූර්ණ ආදි ශිෂ්‍යයකු වන හෙතෙම, මලල ක්‍රීඩාවන්හි විශේෂ කෞශල්‍යයක් දැක්වූ තැනැත්තෙකි.

තමා හට ගීත ප්‍රබන්ධය සඳහා නිබඳ අනුග්‍රහය ලැබුණේ ප්‍රවීණ සංගීතඥ රූකාන්ත ගුණතිලකයන් ගෙනැ යි හෙතෙම පවසයි.

ආරදය, ප්‍රේමය මුල් කොට පවත්නේ යැයි පැවැසෙන තිරසර සහසම්බන්ධතා යනු මේ ගැල් ගමනෙහි එතරම් උත්කර්ෂවත් බැඳීම් නො වේ. මඳකට බැඳී, එහෙත් බන්ධනගත නො වී, තමාට හිමි අනවරත ගමනට එළැඹි ගැල්කරුවා ගේ ජීවන ස්වරූපය ගීත නිබන්ධක සරත් ප්‍ර‍රනාන්දු, සාටෝපයෙන් තොර, සරල ප්‍රකාශන ලීලාවෙකින් අප ගේ සංවේදනයට හසු කරයි.


"බොල්පින් වෑහෙන වේලාවේ
ඔබ ගෙන් සමු ගෙන යා යුතු වේ
තාමත් ඔබ ඇත සුව නින්දේ
ඒක යි මා නොකියා යන්නේ"


ඇය හා එක යහනෙහි වැද ගෙවූ රැය නිමා වී, හාත්පස අරුණුවන් කැලුම් පැතිරෙයි. ගැල්කරු අවදි ව කුටියෙන් පිටත ලෝකය නරඹයි. උදා අහසින් ඉසියුම් දිය බිඳු (බොල්පිනි) සෙමෙන් වෑහෙන මොහොත යි. දැන් යළි ගැල ගෙන සුපුරුදු ගමන ඇරැඹීමට කාලය යි. එහෙත් තවමත් ඇය සුව නින්දෙහි ය. සමු ගෙන යා යුතු මුත්, ඇය අවදි කොට ඒ සුව නින්ද බිඳිනු ඔහුට රිසි නො වෙයි. හෙතෙම ඇයට නොදන්වා ම නිවහනෙන් නික්මෙයි.

එකෙකා ගේ සිරුරු ඇසුරු කොට පිබිදීමක් සිදු වූ මොහොත ඉක්ම ගොස් ය. තවත් ඒ අනුරාගී රාත්‍රියේ ආස්වාදය පිළිබඳ ලෝභයෙන් ඇගේ සෙවණෙහි බන්ධනගත වනු නො හැකි යත් මේ නොනිමි ගැල් ගමනෙහි සියලු අත්විඳීම් එදින, එතැන, ඒ මොහොත, ඒ රැය යනුවෙන් වන අඛණ්ඩ නිමේෂ පරම්පරාවක් පමණි. ගමන් ගැනීමට නියමිත මඟෙහි සියල්ල, එදිනට නියමිත ගනුදෙනු පමණි. එබැවින් යුග දිවිය, ආවාහය වැනි සංස්ථාපිත සීමාවනට අවනත කළ නො හැකි ගමනෙකි මේ.

ආදරය යනුවෙන් නම් කළ හැකි බැඳුමක් මේ සබඳකමෙහි නො වේ. දැන හැඳුනුම්කම් පුළුල් වීමෙන් ඇති වූ ප්‍රියමනාප හැඟීමෙන්, සිරුරු කෙරෙන් නැඟි අනුරතිය සමනය කරනු පිණිස දෙදෙනගේම කැමැත්තෙන් සිදු වූ එක්වීමෙකි මේ. එහෙත් මේ හුදු යාන්ත්‍රික සබඳකමක් ම නො වේ. ඔහු තුළ ඇය කෙරේ උපන් යම් ස්නේහයක් ඇතැ යි, සුව නින්දෙන් ඇය අවදි නොකොට ම පිට ව එන බව කීමෙන් ගම්‍යමාන වෙයි.

"ගැල පිට නැගලා ඈත ගම් බලා
පියමන් කර යන්නේ
තවත් නිවහනෙක ගිමන් නිවන තුරු
ඔබ සිහියට එන්නේ"

ඇගේ නිවහනින් බැහැර ව ඈත ගම් නිගම් බලා ගැල පෙරමඟට ඇදී යයි. ඇය කෙමෙන් ඔහු ගේ සිහියට පිවිසුණ ද, එහි ඇති කිසි වෙසෙස් බවක් නැත. මේ ගමන් වටයෙහි මතු නො ව ඊට පෙරාතුව ද ඔහු ඇය හා රැය ගෙවන්නට ඇත. මේ තාවකාලික ස්මරණය මේ අයුරින් ම මින් පෙර ද සිදු විය. ඇය කෙරෙහි කිසිදු ගිජු භාවයක් ද ඔහු තුළ ඉතිරි වී නැත. එබැවින් ඔහු යළි පසුපසට ඇඳීමක් ද සිදු නො වේ. හැම වරෙක ම සිදු ව ඇත්තේ පියමන් කොට යෑමෙකි.

සුව සෙවණ සදන ඊළඟ නිවහනෙහි දී ඇය පිළිබඳ සැමැරුම් සියල්ල යටපත් ව යනු නිසැක ය. මේ එක ගැල් මඟෙහි තව තව නවාතැන් ඔහුට හුරු පුරුදු ය. ඊළඟ නිවහනෙහි ද ඔහු හා රැය ගෙවනු පිණිස ළං වන, වෙන අන් ළඳකි. පෙර දා හමු වූ තැනැත්තිය, ගෙවා ආ මඟෙහි ළං වූ තවත් එක් මාගමක පමණි. එබැවින්,

"ඔබ අවදි ව මා සොයනු එපා
ඈත යි මා ඉන්නේ
තවලම්කරුවෝ කවර දාක දෝ
එක ම තැනක ඉන්නේ..."

ඇය අවදි ව ගැල්කරු සොයනු ඇති මුත්, මේ වන විට ඔහු දුර ඈතක ය. එසේ සෙවීමෙහි ඇති පල කිම් ද? ඇය තමා වෙනුවෙන් කැප වී බලා සිටිය යුතු කතක් නො වේ. තමා ගේ ම ආස්වාදය සඳහා පැවැතිය යුතු ළඳක් නො වේ. ඊළඟ පැමණීමෙහි දී යම් විටෙක යළි ඇය හමු විය හැකි මුත්, එතෙක් ඇය ඔහු හද පාරවන කෙවිටක් නො වෙයි.

හෙතෙම ඇය මත රඳා පවතින්නෙක් නො වේ. ඇය අයත් කර ගැනීමට යත්න දරන්නෙක් ද නො වේ. අයිති කර ගැනීම යනු සම්බන්ධතාව පවත්වා ගැනීම නොවන බව ඔහු මේ කටුක ගමනෙහි දී ම අත්විඳින්නට ඇත. අයිති කර ගැනීම වූ කලි සබඳතා විනාශ කර ගැනීමෙකි. අයිති කර නොගන්නා සබඳතාව මේ ප්‍රබන්ධයෙහි ප්‍රබල ඇඟැවුමෙකි. එය අනෙකා ගේ නිදහසට බාධා නොකරන සබඳකමෙකි.

'ඔබ අවදි ව මා සොයනු එපා' යි ඔහු පවසන්නේ තමා මෙන් ම ඇය ද දැන් පෙර සේ ම නිදහසේ බැවිනි. ඇයට නොබැඳී ඇති බැවින් සබඳතාව තව දුරටත් පවතිනු ඇත. එසේ ම මේ නොනවතින ගැල් ගමනට එක් තැනක් යැයි නියමිත තැනක් නැත. ගිමන නිවන, සෙවණ සදන හැම තැනක් ම මදක් ගෙවා, යළි හැර යන තැන් වේ. තවලම්කරුවන් ගේ ජීවිතය එබඳු ය. මේ යථාර්ථය හැඳිනිය හොත් ඇය ඔහු සොයා නොවෙහෙසෙනු ඇති. ඔහු පිළිබඳ සිතින් දුක් අනුභව නොකරනු ඇති.

අතීත ගැල්කරුවන් ගේ ලෝකයෙන් බැහැරට ගෙන වුව ද මේ ගීතයේ වස්තු විෂයය පිළිබඳ ව සම්භාෂණයෙක යෙදීමට අපට පිළිවන. වර්තමාන පාරිභෝගික සංස්කෘතියෙහි ව්‍යාප්තිය සමඟ ඒ හා කල්පනා කරන යමකුට වුව ද මේ අත්දැකීම මෙකල සමාජ ජීවිතය හා බද්ධ කොට වටහා ගත හැකි ය.

වෘත්තීය කාර්යයන් පිණිස නිතර චාරිකාවෙහි යෙදෙමින්, නුවරින් නුවර, රටින් රට යන ඇතැම්හු තමා වෙත එළැඹෙන අවස්ථාවන් වින්දනය කරන්නෝ වෙති. ගැල් දිවියෙහි පමණක් නො ව අද මේ මොහොතට ද පොදු මේ නිදහස් පෙලැඹුම ගීත නිබන්ධක සරත් ප්‍රනාන්දු අතීතයෙහි තබා පවසනු ද විය හැකි ය.

අපි අප ගේ පොදු පරිකල්පනය මෙහෙයවමින් හැම විට ම සමාජ ජීවිතයේ ස්වරූපය වටහා ගන්නෝ වෙමු. මේ වූ කලි සමාජ කල්පිතය යනුවෙන් හැඳින්වෙයි. මෙකී කල්පිතය ගීත ප්‍රබන්ධයට පිවිස එය උචිත සංගීතාකෘතියෙකින්, පවිත්‍ර ගායන ස්වරයෙකින් යුතු ව අප හමුවට පැමිණි අවස්ථාවෙකි මේ. මෙමඟින් අපි මනුෂ්‍යාත්මයේ එක් පාර්ශ්වයක් අපේ සංවේදනයට හසු කරමු.

පදමාලාවෙහි අති සරල බව ඉක්මවන යටි හඬක් මට මේ ගීතය ඇසුරෙහි දැනෙයි. ගීතය පුරවන හිස් වදන් නො ව, සියුම් ඇඟැවුමක් සහිත සංකල්ප රූපී උක්ති මාර්ගයක් මේ රචනයෙන් විද්‍යමාන යි. එහි සරල භාවයෙහි වන ගැඹුර, කථකයා ගේ ජීවිතය මෙන් ම, ඔහුට පිටු දුන් සංස්කෘතික ජීවිතය ද වෙත අප ආපසු කැඳවයි. අප තුළ සියුම් අනුවේදනයක් ඇති කරන්නේ පෙර කී ඒ සමාජ කල්පිතය යි.

රූකාන්ත ගුණතිලකයන් ගේ අවස්ථෝචිත ගායන ලීලාව අතීත ගැල්සාත්තුකරුවන් ගේ ලෝකය සිහි ගන්වමින් දෝංකාර නංවන උච්ච තානයකින් යුක්ත ය. ගැල් ගමනෙහි රිද්මය සමඟ, තිරසර නොවන ජීවන සම්බන්ධතා, හමුවීම, වෙන්වීම, පාළුව, ධ්වනිත කරන නාදාත්මක පරිසරය ද, අවසනට යෙදෙන ආලාපය ද ගීතයේ මූලික අරුත තීව්‍ර කරනු සමත් වෙයි.



"බොල්පින් වෑහෙන වේලාවේ
ඔබ ගෙන් සමු ගෙන යා යුතු වේ
තාමත් ඔබ ඇත සුව නින්දේ
ඒක යි මා නොකියා යන්නේ

ගැල පිට නැගලා ඈත ගම් බලා
පියමන් කර යන්නේ
තවත් නිවහනෙක ගිමන් නිවන තුරු
ඔබ සිහියට එන්නේ

ඔබ අවදි ව මා සොයනු එපා
ඈත යි මා ඉන්නේ
තවලම්කරුවෝ කවර දාක දෝ
එක ම තැනක ඉන්නේ..."



(Bol Pini Wehena Welawe - Rookantha Gunathilaka)








*******************************************************************************************************************



මිතුරු මිතුරියනි, ගීතයේ ප්‍රස්තුතය අති රමණීය ලෙස ගීතය තුලින් නිරූපණය කර ඇති ආකාරය නිසා මෙම ගීතය ඉතාම ආශාවෙන් රසවිඳිය හැකි තවත් එක් මනරම් ගීතයකි. මෙම ගීතය තුල කියැවෙන කතාවෙ සාධාරණ අසාධාරණ බව හෝ, එම සිද්ධි දාමය තුල ඇති සංස්කෘතික පසුබිම මොහොතකට අමතක කලහොත් මෙය ගීතයක් ලෙස ඔබට රසවිඳීමට කිසිදු බාධාවක් නොවනු ඇත. මක් නිසාද යත් මෙහි සාකච්ඡාවට බඳුන් වූ සිදුවීම  අප සංස්කෘතියට පටහැනි වීමයි.

මා ඔබට මින් පෙර ගෙන ආ බොහෝ ගීත විචාර ධම්මික බංඩාර මහත්මයා විසින් විවරණය කල ගීත වුවද, අද ගෙන ආ මෙම ගීතයේ විචාරය කර ඇත්තේ, තවත් ප්‍රවීණ ගීත් රචකයෙකු, ගීත් විචාරකයෙකු වන නන්දන වීරසිංහ මහතායි. ඔබට මතකනම් සාමාන්‍යපෙළ සිංහළ සාහිත්‍ය පොතෙහි අපට හමුවූ "දුම්මල ගලට ගිය අම්මා" නම් පද්‍ය නිර්මාණයෙහි කතුවරයා වන්නේද මෙතුමාය.

මෙම ගීතය රචනා කොට ඇති සරත් ප්‍රනාන්දු මහතාගෙ ඡායාරූපයක් මා හට සොයාගැනීමට නොහැකි විය. ඒ පිළිබඳ පාඨක ඔබ මා හට සමාවුව මැන.

තවද, මේ ගීත විචාරය සඳහා යෙදීමට මා සිත්හි ඇඳුනු පිංතූරය අන්තර්ජාලයෙන් සොයාගැනීමට මා මහත් පරිශ්‍රමයක් දැරුවද එම උත්සාහය ව්‍යර්ථ විය. ඔහු ඇය හැරයාමට සූදානම් මොහොතේ ඇය සුවසේ ඔහුට පිටුපා නිදා සිටිනයුරු උපේක්ෂාසගතව මෑත් වූ දොරින් ඔහු ඇය දෙස බලාසිටිනයුරු දැක්වෙන ඡායාරුවක් මෙයට යෙදීමට තිබුනිනම් කදිමයැයි මට හැඟේ..

විචාරය සහ ගීතය රසවිඳ හැකිනම් ඔබේ සිතුවිල්ලත් එකතු කරන්න..

19 comments:

  1. බෝම ස්තුතිය මනෝෂ්. උඹේ කාර්යබාරයත් දිනයක සෑහෙන්න වටිනවා අනිවා..

    ReplyDelete
    Replies
    1. කවුරුහරි ප්‍රයෝජනයක් ගන්නවනම් එච්චරයි බං.

      Delete
  2. මේ පෝස්ට් එක කලින් වතාවකුත් පලකලා. නමුත් තාක්ෂනික ගැටළුවක් හේතුවෙන් ගොඩක් අයට එය දැකීමට නොහැකි වුනා. ඒ නිසා මෙය නැවත අලුතින් පළකල නිසා කලින් පෝස්ට්ටුව ඩිලීට් කලා. නමුත් එහි ඒ වන විට ප්‍රියා එහි කමෙන්ටුවක් දාල තිබුන. අනේ සමාවෙයන් ප්‍රියෝ..

    ReplyDelete
    Replies
    1. අයියෝ ඕවා ගණන් ගන්නවද බං? අවුලක් නෑ දැන් අප්සට් එක ඕකේද?, (y) :)

      Delete
    2. තෑන්ක්ස් මචෝ.. දැන් නම් අවුල හරි වගේ. අද දාපු පෝස්ට් එක දාල ටිකවෙලාවකින් බ්ලොග් රෝල්වල අප්ඩේට් වෙලා තිබුනා. ඔයාගෙ රෝලෙත් අප්ඩේට් උනා නේද?

      Delete
    3. මචන් තවත් මොකක් හරි අවුලක් තියෙනවා. ඊයෙ අප්ඩේට් උනාට අද උඹේ බ්ලොග රෝලෙ හොයා ගන්නත් නෑ. :(

      Delete
    4. ඔව් බං. මාත් දැක්ක උදේ. මට මේක දැං එපාවෙලා තියෙන්නෙ බං. මොන මඟුලක් වෙලාද දන්නෑනෙ බං.

      Delete
  3. මමත් හුඟක් ආස ගීතයක්... ඒත් අර්ථය ගැන මේ තරම් හිතුවේ නෑ කලින්..
    විචාරය අපූරුවට ලියලා තියෙනවා ..

    ReplyDelete
    Replies
    1. අපි අහන ඔය ගොඩක් සිංදුවල පද රචනය පිළිබඳ ටිකක් ගැඹුරින් හිතල බැලුවොත් අපිට එහි අර්ථය ගැන හොඳ අවබෝධයක් ලබාගන්න පුලුවන්. ඒත් එක්කම අපිට ඒ ගීතය වෙනදටත් වඩා ගොඩක් ආසාවෙන් රසවිඳින්න පුලුවන්.

      Delete
  4. අගනේය අගනේය.. බොහෝ අගනේය..
    ගීය අසා තබුනාට රසවිඳ තිබුනේ නැත..
    අරුතත් සමග සබැදිව රිසිසේ විඳිය හැක..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. කදිමයි..කදිමයි.. අසා රසවින්දනම් කදිමයි..

      Delete
  5. ගීතය කලින් අහල තිබුණට මෙච්චර වගතුගක් දැනගෙන හිටියෙ නෑ නොවැ...
    බොහොම ස්තූතියි මනෝෂ්..!

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් දන්නවනෙ.. ස්තූතියි ඔබටත්..

      Delete
  6. ජීවිතය තවලමක් වගේ තැන තැන නතර වෙනවා.....සදාකාලික නවාතැනක් නැතිද මන්දා......

    ReplyDelete
    Replies
    1. අපි ජීවිතයට ලස්සන නවාතැනක් හදාගත යුතුමයි. නැත්නම් අපේ ජීවිත වල්මත් වෙනවා..

      Delete
  7. ගීතය ඉතා සරල ලෙස හඳුන්වාදිය හැක්‌කේ සරල ගැයීමකට උචිත කවියක්‌ ලෙසිනි. සාහිත්‍යයේත්, සංගීතයේත් මධුර ඵලයක්‌ ලෙසින් ගීතය බිහිවේ. ගීතය පිළිබඳව විවිධ අර්ථකථන පළ වූවත්, ඒවා පරිශීලනයෙන්ම එහි යථාර්ථය සොයා ගැනීම පහසු නොවේ.

    ReplyDelete
    Replies
    1. ඔබ වහන්සේව නමස්කාරපූර්වකව පිලිගන්නවා මේ අඩවියට... එ වගේම ගීතය පිලිබඳ ඔබ වහන්සෙගෙ අදහස් වලට ඉතාම ගරු කරනවා.. බොහොම ස්තූතියි..

      Delete
  8. පුද්ගලයාගේ ජීවිතය අර්ථයෙන්, ආනන්දයෙන්, තෘප්ත කලාංගයකි ගීතය

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නෙ මේ ගීයට මං ලියපු ගී සංවේදනාව..

      http://masandumal.blogspot.com/2015/04/blog-post.html?m=1

      Delete