Pages

Sandumal

Sandumal

Thursday, April 24, 2014

•රෑ වැඩ මුරය අවසන්වන කණිසමට

"ඇඳුමද නුඹේ ජීවිතය ද මහන්නේ..."






අසූව දශකය ආරම්භ වන්නේ සිංහල විරෝධාකල්ප ගීතයට මංපෙත් සකස් කරමිනි. නන්දා මාලිනියගේ "සත්‍යයේ ගීතය" ගුණදාස කපුගේ ගේ "කාලයේ රාවය" නැවත නන්දා මාලිනිගේ "පවන" වැනි ඒක පුද්ගල ප්‍රසංග සිංහල ගීතයේ පෙරළිකාර ප්‍රසංගයන් ලෙස හැඳින්විය හැකි ය. 



මේ වාගේ අන්තර්ගත නිර්මාණ පිළිබඳ සංවාද විසංවාද පැවතියද විවෘත ආර්ථිකයේ ඇතැම් අතුරු ප්‍රතිඵල පිළිබඳ නිර්දය විවේචනයන් ද අභියෝගාත්මක ප්‍රකාශනයන් ද මේ නිර්මාණ ප්‍රසංග තුළ අන්තර්ගත විය. එහි ගුණ අගුණ කෙසේ වෙතත් දැන් ඒ යුගය ඉතිහාසගතවී අවසන් ය.


ඇඟලුම් කර්මාන්තය බිහිවන්නේ ද විවෘත අර්ථ ක්‍රමයේ ඍජු ප්‍රතිඵලයක් ලෙසිනි. විරැකියාව ඔඩු දුවා තිබූ අවදියක ග්‍රාමීය තරුණ තරුණියන්ට රැකියා සැපයීමට මෙය ඉතා කදිම අවස්ථාවක් විය. නිදහස් වෙළඳ කලාප කටුනායක ප්‍රමුඛ ව බොහෝ ස්ථානවල ඉදිවන්නට විය. මෙය ලංකාවට ආගන්තුක තත්ත්වයක් වූ අතර ග්‍රාමීය තරුණියන් සීග්‍රයෙන් බස්නාහිර පළාතට සංක්‍රමණය වන්නට විය.


බහු ජාතික සමාගම්වලට ආයෝජන අවස්ථා සපයා දුන්නා මිස මෙහි රැකියා කරන්නට එන තරුණ තරුණියන් පිළිබඳ ව රජය සැලකිලිමත් වූ බවක් නොපෙනිණි. ඔවුන් නවාතැන් ගත්තේ, තාවකාලික කුලී නිවාසවල ය. රැකියාවක පිපාසයෙන් සිටි පාසලෙන් සමුගත්, අනුරාධපුර, පොළොන්නරු, කුරුණෑගල දිස්ත්‍රික්කවලින් පැමිණි තරුණියෝ කුකුළු කොටු බඳු කූඩාරම්වල කූඩු වූහ. තම යෞවනයේ සිහින සැබෑ කර ගැනීමට සේම කීයක් හෝඋපයා ගැනීම මොවුන්ගේ එක ම අභිලාෂය විය.


මේ තරුණියෝ කොළඹ, මීගමුව වැනි නාගරික පරිසරය, සංස්කෘතිය හඳුනාගෙන නොසිටියෝ ය. ඉරිදා දිනවල ලබන නිදහස මොවුන් භුක්ති වින්දේ ජීවිතය පිළිබඳ මන්ද බුද්ධික වූ යුවතියන් ලෙසිනි. මොවුහු කාමාතුරයන්ට ගොදුරු වූහ. රැවටිලිකාරයන්ට හසුවූහ. කටුනායක සංගීත සංදර්ශයන් අවසානයේ පිට්ටනි පුරා යටඇඳුම් හා උපත් පාලන කොපු විසිරී පැවතිණි. නරක නාමය ලැබුවෝ මේ තරුණියෝමයි. 

ගාමන්ට් කෙල්ලන් විවාහ කර නොගත යුතු බව ඔවුන් විනාශ කළ ඇත්තෝ ම ප්‍රචාරය කළහ. මාලයක් වළල්ලක් හදා ගැනීමට සොච්චමක් සොයා ගැනීමට කොළඹ පැමිණ, අඩු පඩියට ශ්‍රමය විකුණූ මේ තරුණියෝ මෙබඳු අභාග්‍යකට උරුමකම් කීවෝය. (වර්තමානයේ තත්වය එදාට වඩා යහපත් බව මෙහිදී සිහි කරමි.) 


එහෙත් මේ අභාග්‍යය ඉතා සියුම් ලෙස ස්පර්ශ කිරීමට එකල නිර්මාණකරුවෝ අසමත් වූහ.
බන්දුල අතින් මෙබඳු නිර්මාණයක් බිහිවන්නේ එබඳු අවාසනාවන්ත පරිසරයක ය. මෙහි විශේෂත්වය වන්නේ බොහෝ විරෝධාකල්ප නිර්මාණ වලදී මෙන් ආවේගශීලී නොවී සංයමයෙන් තම නිර්මාණය ඉදිරිපත් කිරීමයි.


"රෑ වැඩ මුරය අවසන්වන කණිසමට
නුඹෙ රුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණලු කැරළි වැටෙනා සඳ අලුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කළ පවට.."


උදෑසන වූ කලී දහසක් බුදුන් බුදුවෙන සුවහසක් මල් පූදින යාමයකි. එහෙත් රෑ වැඩ මුරය නිම කළ මේ කැලෑමල් කම්හලේ යකඩ ගේට්ටුවෙන් එළියට එන්නේ පර මල් ලෙසිනි. මුළුලෝකයට ම ඉර පායද්දී ඔවුන්ගේ ලොවට රෑ වෙයි.


රෑ එළිවන තුරු ශ්‍රමය කැපකළ ද මේ තරුණියන් ගේ ලෝකයට අරුණලු උදා නොවන බව මේ තුළින් ධ්වනිතවේ.


ශ්‍රමය රන් ආකාරයකි. ජීවත්වීමට ශ්‍රමය කැපකළ යුතුය. මාතෘ භූමියට ජාතික ධනය ගෙන ඒමට ශ්‍රමය පූජා කළ යුතුය. ඒත් එකල මේ තරුණියන්ට සිදු වූයේ මූලික මිනිස් අයිතිවාසිකම් පවා භුක්ති විඳීමට නොහැකිව සොච්චම් වැටුපකට තම තාරුණ්‍යය අලෙවි කිරීමටයි. රචකයා, මේ යෞවනියන් ගේ ඛේදවාචකය දෙස තම සානුකම්පිත ඇස යොමු කරයි.


"තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ
මල්විය නොවෙද මේ දියකර හරින්නේ
මැෂිමද හිත ද මහ හයියෙන් හඬන්නේ.."


"දෑඟිලි නිදිවරන්නේ" යන යෙදුම වූ කලී අපූර්ව කාව්‍යෝක්තියකි. මැෂිම ළඟ නිදිමරන හුරුබුහුටි ඇඟිලි තුඩු වල උරුමක්කාරියන් ගේ ග්‍රාමීය සුන්දරත්වය විදුලි බල්බවල ප්ලෝරසන් ආලෝකය විසින් දවා හළු කරනු ලබයි. මල් වයස අකාලයේ දියවී යද්දී මැෂිමටත් වඩා හයියෙන් හිත හඬා වැටෙයි. හඬා වැටෙන්නේ මැෂිමද? නැතිනම් හිතද? යනුවෙන් නැගෙන ප්‍රශ්නය රසිකයා කම්පනය කරවන්නකි.




මේ යෞවනියන් ගේ සිහින මොනවාද? චේන්පොටක්, වළල්ලක්, කරාබු කුට්ටමක් කෙසේ හෝ මිලට ගැනීම, නංගිට මල්ලිට අධ්‍යාපනය දීම, වරිච්චි බිත්ති ගඩොලින් බැඳ ගැනීම, ලෙඩින් සිටින මවට, පියාට බෙහෙත් කිරීම, බැංකු පොතේ කීයක්වත් ඉතිරි කර ගැනීම මොවුන් ගේ සිහින අතර මුල් තැනක් ගනී.


ජීවත් වීමට නම් මොවුන් වැඩ කළ යුතු ය. ඒ ගැන වාදයක් නොමැති ය. එහෙත් එකල ඔවුන් වැඩ කළේ වර්තමානයේ තරම්වත් යටිතල පහසුකමක් නැති කර්මාන්ත ශාලාවලයි. වැඩ ඇරෙන මොහොතේ පැක්ටරියේ ගේට්ටුව ළඟ මනමාල බමරු සැරිසරති.


බස් රථයකවත් නිදහසේ යා නොහැකි ය. මොවුහු නොදැනුවත්කම නිසාම විවිධ කාමාතුරයන්ට ගොදුරු වෙති. මහමඟ තනි ව යා නොහැකි ය. එකල කටුනායක නිදහස් වෙළඳ කලාපය කඳුළු කලාපයක් ම විය.


"නුඹෙ කඳුළැලි ද සයුරේ රැළි නඟන්නේ
හද සුසුමන් ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවණැල්ල ද සිටින්නේ
ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ.."
   

සාගරය පිරෙන්නට කඳුළු මේ යුවතියන් ගේ හදවත් තුළ පවතී. ඔවුන්ගේ සුසුමෙන් කුණාටුවක් නිර්මාණය විය හැකිය. නන්නාඳුනන නගරයේ මොවුන්ගෙ තනි නොතනියට සිටිනුයේ හෙවණැල්ල පමණකි. ඔවුන් මේ දුක් විඳින්නේ ඇඳුම මැසීමට නොව ජීවිතයේ ඉරුණු තැන් මසා ගැනීමටයි.




කලාකරුවකු ගේ සංවේදී බවෙහි උපරිමය මේ නිර්මාණය තුළ දක්නට හැකි ය. තමා ජීවත්වන සමාජ ආර්ථික දේශපාලන පරිසරයෙන් මතුකරන සමාජ ගැටලු රචකයා මනා ලෙස සංස්පර්ශ කරයි.


මේ නිර්මාණයේ සංගීතය හා ගායනය රචකයා ගේ අදහස් වඩාත් අර්ථවත් කිරීමට සමත් වී තිබේ. රෝහණ වීරසිංහයන් හවායින් ගිටාරය තුළින් මවන ස්වර රටා ඔස්සේ මේ ස්ත්‍රීන්ගේ හදවතෙන් නැඟෙන විලාපය ප්‍රතිරාව නැංවීමට සමත් වී තිබේ. එසේම ජනකවි තුළ එන වැලපුම් ගායනාහි හමුවන ස්වර රටා ගීතය පුරා ම දක්නට හැකි ය. 

පැරණි ජනකවියක් මේ මොහොතේ මට සිහිවෙයි.

"ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට
කන්නේ කරවලයි රට හාලේ බතට
බොන්නේ බොරදියයි පූරුවෙ කළ පවට
යන්නේ කවදාද මව්පියො දකින්නට"


ජනශ්‍රැතියෙන් පෝෂිතව ජන නාද රටා බටහිර සංගීතය සමඟ සම්මිශ්‍රණය කොට තම සංගීතමය ප්‍රතිහාර්යය රෝහණ වීරසිංහයෝ මුළු නිර්මාණය පුරාම පතුරවති. සුනිල් එදිරිසිංහයෝ තම හඬ ඔස්සේ රසික හදවත් සසල කරවති.


ශ්‍රම සූරා කෑම එදා මෙන් ම අද ද අඩු වශයෙන් සමාජයේ පවතී. රටකට අවශ්ය වන්නේ ශ්‍රම අභිමානයයි. එසේ අභිමානවත් ලෙස ශ්‍රමය කැප කිරීමට හැකි රටක් බිහිවෙතොත් මේ ගීය අමතක කළ හැකිය. එහෙත් විඩාබර මුහුණින් සුසුම් හෙළමින් රෑ වැඩ මුරය පමණක් නොව දවල් වැඩමුරය නිමකර පැමිණෙන යුවතියක දකින වාරයක් පාසා මේ ගීය නින්නාද වනු වැළකිය නොහැකි ය.




(Re Weda Muraya - Sunil Edirisinghe)









***************************************************************************


ධම්මික බංඩාරයන් විසින් විචාරය කරනලද අද මවිසින් ඔබවෙත ගෙන ආ මේ ගීතය තුල කලින් විචාරවල මෙන්, විවිධාකාරවූ ඉසවු වලට අපගේ සිතිවිලි මෙහෙයවිය හැකි විවිධාකාර වූ අරුත් නොමැතිමුත්, ගීතයේ මතුපිටින් සරලව ගලායන තේමාව තුල අපට කතාකල හැකි, කතාකල යුතු ගැඹුරු සමාජ සංස්කෘතික කාරණාවන් රාශියක් ගැබ්ව පවතින අපූර්වතම ගීතයක් ලෙස හඳුනාගත හැකිය.

ලංකාවේ ඇඟලුම් කර්මාන්තශාලා ආරම්භවූ මුල් වකවානුවේ තිබූ අතිශය දුක්කඃදායි තත්වය අද නොමැති නමුත්, අදටත් "ගාමන්ට් කෙල්ලන්" සමාජය තුල අවලංගු කාසි ලෙස සැලකුම් ලබයි. නමුත්, අද මෙම තත්වයට වගකිව යුත්තේ එම ඇඟලුම් කම්හල්වත්, පවතින පාලනයවත් නොව, මෙම සේවිකාවන්මය. මක් නිසාදයත්, එම තත්වයට ඔවුන් පත්වීමට අවැසි පාර ඔවුන්ම කපාගෙන ඇති හෙයිනි. නමුදු, මෙහි මූලිකම වරද ඇත්තේ ඔවුන් තුල නොව ඔවුන් එම තත්වයට පත්වීමට මං සැලසූ එදා අතීතයේ පැවති අවිදිමත්, නොදියුණු විවෘත් ආර්ථික සංකල්පය තුලින් බිහි වූ සමාජ සංස්කෘතියයි.

මෙම ඇඟලුම් කම්හල් තුල ඒ තුලම ගොඩනැඟුනු උප සංස්කෘතියක් පවතින අතර, එහි ඉන්නවුන් ඒ තුලට අනුගත්වීම නිරායාසයෙන්ම සිදුවන්නකි. ඒසේ නොවී, තම අනන්‍යතාව රැකගනිමින් රැකියාව පමණක් කරගෙන "පාඩුවේ" ඉන්න පිරිස් සිටිනුයේ ඉතාම අතලොස්සකි. ගාමන්ට් එකක්"(ගාමන්ට් එකක් යනු මෙම සංස්කෘතිය තුල එක් ඇඟලුමක් හැඳින්වීමට සුලබව භාවිතා වන වචනයකි. එනිසා මින් ඉදිරියට එය ෆැක්ට්‍රිය ලෙස හඳුන්වමි.) තුලට ආපසු සිදුවන මුල්ම දෙයනම් ලැජ්ජ බය නැතිවීමය. 

මේවා තුල අම්මලා,තාත්තලා, නැන්දලා, මාමලා නොමැති අතර සිටිනුයේ අක්කලා,අයියලා,නංගිලා හා මල්ලිලා පමණි. තව සර්ලා සහ මැඩම්ලා, මිස්ලා සිටිති. වයස කුමක් වුවද, අවුරුදු 55ක් වුවද මෙම උප සංස්කෘතිය තුල ඔහු හෝ ඇය, අක්කා හෝ අයියාය. අවුරුදු18ක අයෙකු වුවත් ඔහු අමතන්නේ මෙමෙ සහෝදරාත්මක වදනින්ය. මේ නිසා මේ තුල ගෞරවය, ලැජ්ජාව, බය නොමැත. ආ අලුතම තිබෙන සියලුම කුණුහරුප ටික හිරිකිතක් නැතිව භාවිතා කිරීමට ස්ත්‍රී පාර්ශවය හුරුවන අතර පුරුෂයන් එහි ගුරුවරුය. යහපත් කාන්තාවන් ඉන් නවතින නමුදු බොහෝ අය ඉන් නොනැවතී ඒවා කිරීමට පටන්ගනී. සිටින සියලු දෙනාට මේවා සුලු දේවල් වන අතර මෙය එදිනෙදා කන බො එක තරමට සාමාන්‍යකරනිය වීමට ගතවන්නේ සුලු කාලයකි.

මේ කීවෙ උදාහරණයක් පමණි. මේ කොටන්නේද "ගාමන්ට් එකක්" තුල සිට බැවින් මෙහි උපසංස්කෘතිය පිළිබඳ මා හටද මනා අවබෝධයක් පවතී. මේ ගැන කීමට සහ කතාකිරීමට අප්‍රමාණ කරුණු ඇතිමුත්, මේ ඒ සඳහා සුදුසු අවස්ථාවක් නොවන හෙයින් මේ පිළිබඳ මින් නවතිමි.

ගීතය දෙසට නැවත අවදානය යොමු කරන විට විචාරය තුල සඳහන් වන ආකාරයටම අතිසංවේදී මෙම නිර්මාණය සවන් වැකෙන හැම මොහොතකම අසරණ අහිංසක අපේම සොයුරු සොයුරියන් ගැන මහත්වූ කම්පාවක් ඔබ තුලත් මා තුලත් ඇතිවීම වළකාලනු නොහැකිය. දිනපතාම උදේ හවා හැම නිතරම මගේ දෑසට හසුවන මෙම සංවේගී දර්ශණය මා කම්පා කිරීමට නිතර සමත්වුවද, ඒ හා සමඟම එම හැඟීම් මැකීයන්නේ ඔවුන්ගේ ඇතුලාන්තය පිළිබඳ මා සිත් තුල පවතින කලකිරීම හේතුවෙනි.

වර්ථමාන තරඟකාරීත්වය සමඟ ඇඟලුම් සමාගම්ද, වැඩක් කරගන්නා එකාට විශ්ව විද්‍යාල  බවට පත්ව ඇති අතර එහිම අනෙක් පසද නිර්මාණය වී ඇත. ඒ සමඟම පවතින හා පැවතුන අදූරදර්ශී පාලනයන් නිසා ලංකාවෙ කාබාසිනියාකරන ලද අද්‍යාපන ක්‍රමයේ ප්‍රතිපලයක් ලෙස බිහිවන දහස් සංඛ්‍යාත රැකියා විරහිතයන් හට මෙම ඇඟලුම් කම්හල් කතරට ක්ෂේම භූමියක් බවට පත්ව තිබීමද මෙම සමාජ පරිහානිය තුල සැඟව ඇති වාසනාවකි. ආශිර්වාදයකි. එසේ නොමැතිවිනි නම් මෙම සමාජය මීටත් වඩා දූෂිත වන්නේ විරැකියාව තුලින් බිහිවන සමාජ විරෝධීන් අතිනි.

කෙසේ වුවද ගීතය තුලින් කි‍යවෙන සමාජ පරිහානිය, ඒ ශෝකාන්තය මෙම සමාජ ක්‍රමය පවතින තුරුම කුණුවෙමින් ඕජස් ගලමින් පවතිනු ඇත. වරද ඇත්තේ මේ අහිංසකාවියන් තුල නොව ඔවුන්ට මෙතනට ඇද දැමූ දූෂිත සමාජ, දේශපාලනික සහ ආර්ථික ක්‍රමවේදය තුලයි. එහි තර්කයක් නොමැත.

(පෝස්ට්ටුව තුල අඩංගු සියලු ඡායාරූප අන්තර්ජාලයෙනි)





22 comments:

  1. මාත් කැමති ගීතයක්. ඔබ කියනව වගේ ගීත විචාරයක් කියෙව්වම අපි ගීතයක් ගැන නොහිතපු දේවල් පවා දැනෙනවා.. අගය කරමි ඔබගේ මෙහෙය...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි දේශක. ඔහොම අහන්න ලැබෙන එකත් සතුටක්. මොකද සමහරු ඇනෝ ඇවිත් මාව දැඩිව විවේචනය කරල තිබුන සමහර බ්ලොග් වල අනුන්ගෙ ගීත විචාර දානව කියල. ඒත් ඒකෙන් යමක් ලබාගන්න පිරිසකුත් සිටීම සතුටට කරුණක්.

      Delete
  2. කපුගේ ශුරින් ගේ ගීත වලට මෙන්ම සුනිල් එදිරිසිංහ සුරින් ගේ ගිත වලටද කැමැත්තක් ඇත ....ගිත විචාරය කිරිමෙන් අපි බොහෝ වෙලාවට නොදකින පැති ගිතයෙන් මතු වෙනවා ...අපි වීනොදෙට කියන සිංදු බොහෝ වෙලාවට ගැබ් වෙලා තියෙන්න පුළුවන් මිනිස්සු ව්දින දුක් කතා ....කොම උනත් හොද වැඩක් ..
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එතකොට ගීතය වඩාත් ආශාවෙන් රසවිඳින්න හැකිවෙනවා. මොකද අපි දන්නවා ගීතයෙන් කියවෙන්නෙ මොකක් ගැනද කියලා.

      ස්තූතියි සහෝ...

      Delete
  3. මම නම් හිතන්නෙ තාමත් ගාමන්ට් කෙල්ලන්ට පොඩි අසාධාරණයක් සමාජයෙ සිදු වෙනවා. ගාමන්ට් විතරක් නෙමේ මෙතනට අදාල නොවන නිසා නොකීවට තවත් ක්ෂේත්‍ර ගණනාවක ඔය අර්බුදය තියෙනවා. ඒ අතරින් ගාමන්ට් ප්‍රමුඛයි.
    ගොඩක් උන් ගාමන්ට් කෙල්ලෙක් කියපු ගමන් බලන්නෙ මහ ගෝත්‍රික ඇසකින්.

    සුනිල් එදිරිසිංහයන් මගෙත් ප්‍රියතම ගායකයෙක්. මේ ගීතය නම් වැඩිය අහලා තිබ්බෙ නෑ. ඒත් මේක කියෙවුවම අහලා බලන්න හිතුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රියා, ගාමන්ට් විතරක් නෙවෙයි, උඩ ඉඳල පල්ලෙහාට තියෙන හැම රැකියා ක්ශේත්‍රයකම ඔය තත්වෙ තියෙනවා. ඒත් ඒකෙන් ගාමන්ට් ඉස්මතුවෙලා කැපිල පේනවා. ඒවගේ තැනක පිරිස වැඩී. අඩුම 1500ක්වත් ඉන්නවා. ඉතින් ඕනි දෙයක් පැතිරිලා යන වේගෙ වැඩියි. සමාජෙ අතරට යනව වැඩි. අනික ගාමන්ට්වල ඉන්නෙ ගොඩක් අඩු අධ්‍යාපනයක් ලබපු අය. ඒ නිසා ඉදිරිය ගැන නොහිත වැඩකරනවා. උසස් යැයි සම්මත රැකියාවල නියුතු අය හොරෙන් කරන දේවල් මෙයාල එළිපිටම කරල මාට්ටු වෙනවා. ඊටපස්සෙ "චාටර්" වෙනවා. හැබැයි කොතනත් වෙන්නෙ එකම දේ. ඒත් වැරදි නාමෙ ඇවිත් තියෙන්නෙ ගාමන්ට් කෙල්ලොන්ට විතරයි.

      Delete
  4. කවුරු කොහොම් කිවුවත් ගාමන්ට් කෙල්ලෝ කිවුවම සමාජයේ හුඟක් තාම ඒ අය දිහා බලන්නේ වැරදි විදිහට.. ඒක නම් වෙනස් වෙන්න තව සෑහෙන කාලයක් යාවි..

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. ඒ තත්වෙ වෙනස් කරන්න පුලුවනුත් ඇඟලුම් සේවිකාවන්ට විතරයි. MAS Active, Brandix වගේ ආයතන මේ ක්ශේත්‍රය ඉතා යහපත් ආකාරයට වෙනස් කරමින් සිටිනවා. කොහොමත් එදාට වැඩි පිලිගැනීමක් අද තියෙනවා මේ ක්ශේත්‍රෙට.

      Delete
  5. මේ සමාජයේ තවත් පැතිකඩක් ... විචාරයෙන් ගීතයට හොඳ සාධාරනයක් කරලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔබටත්..

      Delete
  6. මං අාසම ගී කිහිපයෙන් එකක්..
    මල් විය නොවෙද මේ දියකර හරින්නේ....
    මැසිමද නුඹේ ජීවිතයද මහන්නේ.....


    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ගාමන්ට් ෆැක්ටරි වල තත්වය වඩා යහපත් ආකාරයට පරිවර්ථනය වෙමින් තිබුනත්, ශ්‍රම සූරා කෑමෙනම් අඩුවක් නෑ තවම. 8-6 වෙනකල් මැරෙන මේ කෙල්ලන්ට සාධාරණ වැටුපක් ලැබෙනවානම්..

      Delete
  7. ලස්සන සිංදුවකට නියම විවරණයක් කරලා තියනවා...
    ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කැස්පර් ඔබටත්..

      Delete
  8. ගීතයක් හරිහමන් ගීතයක් වෙන්නේ එහි පදරචණය, සංගීතය සහ ගායනය අසන්නාගේ හදවතට සමීප වෙනවානම් පමණි. මේ එවන් ගීයකි.

    ReplyDelete
    Replies
    1. ඒක හරි. ගීත ප්‍රස්තුතය අපි කාටත් පොදු අත්දැකීමක් වෙන තරමට එය අපේ හදවතට සමීප වෙනවා වැඩි වැඩියෙන්.

      Delete
  9. මනෝෂ් මේ ගීතයේ පද ටික හරිම ලෙංගතුයි. ඒවා හරිම සරළයි. ඒ වගේ ම ඒවා පරිසරයත් එක්ක හරි අගේට බද්ධ කරලා. ඒකයි මේ ගීතය ඕනෙම කෙනෙක්ට තේරෙන්නේ. අනික ඒ භාවිතා කරලා තියෙන වචන හරිම නිර්මාණශීලීයි. ඒ නිසා කවියේ තියෙන විදග්ධභාවයත් රැකිලා තියෙනවා.

    අනික තමයි මේ ගීතයට යොදා තියෙන සංගීතය. ඒක වේදනාව හා මුහුවුණ කණට ප්‍රිය සංගීතයක්.

    ඒ වගේ ම සුනිල් එදිරිසිංහයන්ගේ කටහඩ. මේ ගීතයට මහත්වූ වටිනාකමක් එකතු කරනවා. ඒ වගේ ම කිසි හදිස්සියක් නැති, මේ සංවේදී ගැටළුව ගැන හිතමින් ගායනා කරන හඩක් අපිවත් ඒ ගැන හිතන්නට යොමු කරනවා. ඇත්තට ම අපි හැමෝම මේ ගීතය අහන කොට ඒ දේ හිතින් මවාගෙන ඒකට සමවදින්නේ මේ කාරණා කීපයම නිසයි.

    අනික තවත් දෙයක් කියන්න තියෙනවා මනෝෂ්, ධම්මික බණ්ඩාර නම් ගේයපද රචකයාගේ, විචාරකයාගේ සහ ගුරුවරයාගේ අදහස් ගෙන හැර දැක්වීමට ස්තූතිවන්ත වන අතර ම ඒ පහළින් ඇති ඔබේ රචනා විලාශය ද අතිශය හිත් ඇදගන්නා සුළු බව නම් නොකියාම බැරිය..........................

    ReplyDelete
    Replies
    1. ගීතය පිළිබඳ ඔබගේ සහ අප සැවොමගේ පොදු අදහස් ඉතා රසවත් ලෙස නමුත් හරවත්ව ඔබ විස්තර කර ඇති ආකාරය වඩාත් සිත්ගන්නා සුලුයි. ඔබ කියනවා වගේ පද රචනයෙන්, සංගීතයෙන් සහ මාධූර්‍ය ගායනයෙන් අනූන මෙම ගීතයේ කිසිදු අඩුපාඩුවක් නැතිතරම්. සියලුම දෙයින් පරිපූර්ණ වූ විශිෂ්ඨතම ගීතයක්.

      ඒත් අවාසනාවනම්, මෙවන් අලංකාර ගීත රසවිඳීමට තරම් මෙම ගීතයට ප්‍රස්තුත වූ සමාජ කණ්ඩායම් තුල රසවින්දනයක් නොමැතිවීම. ඔවුන් බහුතරයක් තමන් ගැනම ගැයෙන මේ ගීතයට සහ මෙවන් තවත් බොහෝ සුභාවිත ගීතවලට ගරහනු මම පුද්ගලිකවම අත්දැක ඇත්තෙමි.

      ගොඩක් ස්තූතියි ගී පවුරේ ඔබට, කල අගය කිරීම වෙනුවෙන්.........

      Delete
    2. ඇත්ත මනෝෂ්,

      මේ සන්නාලියන්ගේ සමාජය පැටලිලා ඉන්න අතිධාවනකාරී සහ ආර්ථික වශයෙන් පීඩනයට පත්වුණ තත්වයක් තුළ ඔවුන්ට මේ වගේ නිවුණ ගීතයක් අහන්න තරම් මානසිකත්වයක් නැති තරම්. ඔවුන් වේගයෙන් දුවන තේරුමක් නැති ගීත පස්සේ දිවීම මානසික අතින් ගත්තාම සාමාන්‍ය දෙයක් මනෝෂ්. ඒ වගේ ම ඔවුන් තුළ පවතින අඩු අධ්‍යාපන මට්ටමත් මේ වගේ ගීතයක් වෙත යොමු නොවීමට හේතුවක්. ඔවුන්ට අනුව අමු අමුවේ තේරුම කියලා දාන රැප් ගීත තමයි සංගීතය වෙන්නේ. ඒ ඔවුන් සතුව පවතින බුද්ධි මට්ටම නියෝජනය කරන ගීත වන නිසා. හොදට බලන්නකෝ ඔවුන්ගේ වීරයෝ තමයි සුජීව ප්‍රසන්න ආරච්චි වගේ අමු අමුවේ ලියන මිනිස්සු සහ අජිත් මුතුකුමාරණ වගේ අමු අමුවේ ගයන මිනිස්සු......

      Delete
    3. හරියටම හරි. එයාලට කෙලින්ම තේරුම කියල දාන වේගරිද්ම නැටවෙන ගීත තමා හිතට අල්ලන්නෙ. ඒත් ඒක අඩු අධ්‍යාපන මට්ටම නිසා කියල කියන්නත් අමාරුයි. මං දන්න මනුස්සයෙක් ඉන්නවා හරියට ලියන්න කියවන්නවත් බෑ. ඒත් පුදුමාකාර විදියෙ රසවින්දනයක් තියෙනවා. කොහොම උනත් මේ ගීත අහන්නෝනි පීඩාවට පත් උන ඒ සමාජ කොටස් විසින්මයි. නැත්නම්, උන්ගෙ ඔලු ගෙඩි ටික සුද්ද උනේ නැත්නම්, මේ ගඳ ගහන සමාජය කවදාවත් වෙනස්කරන්න බෑ.

      \\හොදට බලන්නකෝ ඔවුන්ගේ වීරයෝ තමයි සුජීව ප්‍රසන්න ආරච්චි වගේ අමු අමුවේ ලියන මිනිස්සු සහ අජිත් මුතුකුමාරණ වගේ අමු අමුවේ ගයන මිනිස්සු......//

      මේ කතාව හරියටම හරි. දැනට මං වැඩකරන ආයතනයෙත් පුස්තකාල පහසුකම් පවා තියෙනවා. ඒත් ඒවයෙ තියෙන සාරවත් නවකතා, කෙටිකතා පොත් දවසින් දවස තිබ්බ තැන්වලම දූවිලි තට්ටුවලින් වැහිල යනවා. කෙල්ලො ටික තුරුල්කරන් අරන් යන්නෙ "භාවනා". දුක හිතෙනවා. කවද මේ සමාජය වෙනස් වෙයිද..?

      Delete
  10. ප්ර8සංසනීයයි

    ReplyDelete