Pages

Sandumal

Sandumal

Thursday, April 3, 2014

•මුතුකුඩ ඉහළන මල් වරුසාවේ


"ඉහළන කුඩ මත මුතු සේ විසිරෙන කඳුළු වැස්ස..."







විටෙක පෙම්වතුන්ගේ කඳුළෙන් මහා සාගරය පිරී යයි. පෙම්වතුන් ගේ සුසුම් මහා කුණාටු සේ හමායයි. විරහ විරහනීන් ගේ හදවතින් නැඟෙන වේදනාවෝ ගංගාවන් සේ ගලා යති. මේ සියල්ල කාලය උපදවන්නේ රසයකි. සැබැවින් ම කලාකරුවා වූ කුලී ශෝකය ද රසයක් බවට පත් කරගන්නෙකි. පරාජිත ප්‍රේමය රසයක් බවට පත්වන්නා වූ ගේය පද රචනා නිරන්තරයෙන් හමුවෙයි.

ඒ අතර අපූර්වත්වයෙන් යුතු මනරම් පබැඳුම් ඉඳහිට මුණගැසෙයි. ලූෂන් බුලත්සිංහලයන් විසින් පබඳින ලද රෝහණ වීරසිංහයන්ගේ මනරම් තනු නිර්මාණයෙන් ගායනයෙන් ද සුපෝෂිත වූ ‘මුතුකුඩ ඉහළන’ නැමැති පබැඳුම අතිශයින් සුවිශේෂ වූ විරහ ගීයක් ලෙස අවිවාදයෙන් නම් කළ හැකිය. මක්නිසා ද මනරම් සංගීතයට මුසු වූ සුමියුරු කාව්‍යයක් මෙහි අන්තර්ගත බැවිනි.

සෙංකඩගල පුරවරයට ඇද වැටෙන වරුසාවකි. ඉහළෙන කුඩ මත අතුකැට සේ දිය බිඳු ඉතිරි කරමින් වර්ෂාව ඇද හැලෙයි. එවිට එය මුතු කුඩ ඉහළන මල් වරුසාවකි. වස්සානය දැනුවත් කරමින් වැහිළිහිණියෝ අහසේ පියාඹති. 




වැස්සට මුවා වී කොතැනක හෝ සිටින මේ ගීයේ කථිකයා තමා ඉදිරියෙන් ඇදෙන රිය පෙරහර දෙස බලා සිටී. ඒ අතර ඔහු ඉදිරියෙන් ඇදෙන්නේ සුවිසල් රියකි. රිය කවුළුවෙන් ඔහුට එක්වරම ඇස ගැටෙන්නේ සුපුරුදු දෑසකි. ඒ එක්තරා අතීතයක ඔහු ව වශී කළ දෑසකි. ඔහු තම ජීවිතයේ වැඩියෙන් ම ආදරය කළ දෑසකි.

විදුලියක් ලෙස එක් වර ම ඇස් ගැටෙන ඒ දෑස, ඉගිළෙන රථයක් සමඟ ම ඔහුගෙන් ඈතට ඉගිළ යයි. ඒ දෑස සමඟ ලියවුණු ශෝචනීය ඉතිහාස කතාව එක්වර ම ඔහුගේ සිහියට නැඟෙයි. අනපේක්ෂිත මොහොතක ඔහුගේ හදවත සසල වී යයි. 

ඒ නිසල වීම ලූෂන් බුලත් සිංහලයෝ තම සුපුරුදු ප්‍රතිභාව ඔස්සේ මනාව කැටයම් කරති. රසිකයා තුළ මේ ජවනිකාව චිත්ත රූප ඔස්සේ ප්‍රතිනිර්මාණය කිරීමට රචකයා සමත් වේ.


"මුතු කුඩ ඉහළන මල් වරුසාවේ
උඩ ඉගිළෙන විට වැහි ලේනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී.."


මුතුකුඩ ඉහළන්නට මේ වරුසාව මල් වරුසාවක් වුව ද ඔහුට නම් මෙය කඳුළු වරුසාවක් ම ය. ඔහුගේ හදවත මෙන් ම අවට පරිසරය ද අඳුරු වී තිබේ. වැහි අඳුර ළා හිරු එළියක් ද සමඟ මිශ්‍රවෙයි. එවිට වීදිය දිගේ දියදහරා ගලා බසින්නේ දේදුනු පැහැයෙනි. අතීතයේ මිහිරි මතකයන් ගෙන් තාමත් ඔහුගේ හදවත හැඟීම්බර ව මෙන් ම සෞන්දර්යාත්මක ව ස්පන්දනය වන බව හැඟී යයි. රචකයා ගේ භාෂා භාවිතයේ පිරිපුන් බව පද රචනාවක් ද නිරන්තරයෙන් ඉස්මතු වෙයි. ජනශ්‍රැතියේ උකහා ගත් ‘අඳුරු ලලා’ වැනි යෙදුම් සමඟ පාරිසරික සංකේත ඔස්සේ මේ තරුණයා ගේ මනෝභාවයන් සංකේතවත් වේ.


අතීතයේ දවසක මෙබඳු ම වරුසාවක් සෙංකඩගල පුරයට ඇද වැටෙද්දී මේ වීදිය දිගේ ඇවිද ගිය ආකාරය ඔහුට සිහිපත් වේ. 



එදා ඔහු ඇවිද ගියේ තනි ව නොව, දැන් මොහොතකට පෙර ඉගිළී ගිය දෑසේ හිමිකාරිය සමඟ ය. එහෙත් එදා ඒ වැස්ස ඔහුට දැනුණේ ආදර මධු වැස්සක් ලෙස ය. එක කුඩයක සෙවණේ එක ම මඟක ගමන් කළ ඔවුන් දෙදෙනා අද දෙමංසලක දී දෙමඟකට වෙන්වී තිබේ. මෙය දෛවයේ තවත් සරදමක් ම ය.


"අඳුරු ලලා
සෙංකඩගල වැස්සේ
දිය දහරා...
පාටයි දේදුන්නේ.."


ඒ මිහිරි යටගියාවෙන් මතුවන වැස්සට තෙමෙමින් ඔවුන් දෙදෙනා කොතරම් සිහින මාළිඟා තනන්නට ඇති ද?





 දැන් ඒ සියල්ල ම නාය ගොසිනි. ඈ ගිය සුවිසල් මොටෝරිය පදවන්නට ඇත්තේ ඇගේ සැමියා විය යුතු ය. දැන් ඈ අයිති ඔහුට ය. ඒ දෑස අයිති ඔහුට ය. තමාට උරුම වී ඇත්තේ දරාගන්නට බැරි හුදෙකලාවක් පමණකි. අඬනවා නම් අඬන්නට. මේ වැස්සට වඩා කඳුළු, ඔහු සතු ව තිබෙනවා විය යුතු ය. යොවුන් ආදරය ඔහුට ඉතිරි කර ඇත්තේ එපමණකි. මේ දෛවයේ කුරිරු සරදමක් මිස වෙන කුමක් ද?



අවසානයේ දී ලූෂන් බුලත්සිංහලයන් තම පබැඳුම අපූර්වතම පරිසමාප්තියක් කරා ගෙන එනු ලබයි. ඒ දෛවෝපගත සරදමක් මේ සිදුවීමට ඈඳා ගනිමිනි. ඒ ආදර නිල් දෑස රැගත් සුවිසල් මොටෝරිය, ඔහු ව පසුකර ගෙන යන්නේ, ඔහු ව මඩ වතුරෙන් නහවමිනි. ජීවිතයේ ඔහු ලද පරාජය හා ඔහුගේ අසරණකම සන්නිවේදනය කිරීමට රචකයා මේ සිද්ධිය උපයෝගි කරගනියි. සහෘද සිත්සතන්හි මේ අභාග්‍යවන්ත පෙම්වතා කෙරෙහි හටගන්නේ විශාල අනුකම්පාවකි. ඒ අනුකම්පාව ඔස්සේ රසිකයා සසලවන්නේ මේ පරාජිතයාගේ හදවතේ මේ මොහොතේ ඇතිවන සිතුවිල්ල මත ය.


"රිය ඇතුළේ
උණුසුම ඔබට දිදී
නහවයි මා
රියසක මඩ වතුරේ
නෑ හිත රිදුණේ
අදත් එදා සිහි වී
අපේ සබඳකම් නෑ රියසක දන්නේ.."


මේ සුවිසල් මොටෝරිය පවා ඔහුට සරදම් කරන ආකාරය රචකයා නිරූපණය කරයි. ඇයට උණුසුම දෙන මොටෝරිය ඔහු ව මඩ වතුරෙන් නැහැවීමට තරම් අකාරුණික වී ඇත. ඒත් මේ සියල්ල දරා සිටීමට තරම් ළතෙත් බවක් තවමත් ඔහුගේ හදවතේ ඉතිරි වී පවතී. ඇය වෙනුවෙන් හදවතේ හටගත් ආදරය තව ම ඉතිරි වී ඇත. ඒ ආදරයේ නාමයෙන් ඒ අකාරුණික රථයේ රෝදයට වුව ද සමාව දිය හැකි ය. “අපේ සබඳකම් නෑ රිය සක දන්නේ” නැමැති යෙදුම් අතිශයින් ප්‍රබල යෙදුමකි.





ඈ කෙරෙහි පැවැති ආදරයේ තරම මේ අජීවී රියසක දැන සිටින්නේ කෙලෙසද? දැන සිටියා නම් මේ රියසක, තමාට මෙබඳු සරදමක් නොකරනු ඇත. ආදරය කළ සිතින්, වෛර කිරීමට ඔහු සූදානම් නැත.


ලූෂන් බුලත්සිංහලයන් ගේ පදමාලා ඔහුට ම ආවේණික වූ සුවිශේෂ ගුණාංග රාශියක් පවතී. එකක් නම් පරිසරය, සංකේතාත්මක ව තම අනුභූතීන් සමඟ මනාව බද්ධ කර ගැනීමට ඔහු තුළ පවතින්නා වූ හැකියාවයි. "පිපුණු මලේ රුව", "දම් පාටින් ළා", "සඳලතා නඟේ", "පුන් පෝදා සඳ", "කන්‍යාවී", වැනි නිර්මාණ ඒ සඳහා නිදර්ශන කීපයක් පමණකි. එසේ ම විශාල ආත්ම සංයමයක් ඒ නිර්මාණ තුළ අන්තර්ගතව පවතී.


ආදරය ගැන ලිවිය හැකිවන්නේ ආදරය හොඳින් හඳුනන විට ය. ආදරය වූ කලී බෝසත් පාරමිතාවකි. එහි වෛරයට ඉඩක් නොමැත. අමාදහරක් ලෙස එය හදවත් දොවමින් නොපෙනෙන අනන්තයක් කරා ඇදී යයි. ඒ උත්තරීතර මානවදයාව මනාව සංස්පර්ශ කිරීමට ලූෂන් බුලත්සිංහලයෝ සමත් වෙති.


ගීත පදමාලාවක වචනයකට යා හැකි දුර සමතික්‍රමණය කිරීමේ හැකියාව තනුව බිහිකරන සංගීතඥයා සතු විය යුතු ය. ඒ ජන්ම වාසනා ගුණය රෝහණ වීරසිංහයන් සතු ය. අනෙකුත් ගායකයන් වෙනුවෙන් තනු නිර්මාණය කරන රෝහණ වීරසිංහයන්, මේ පදමාලාව සඳහා තනුව නිර්මාණය කරන්නේ තමාගේ ගායනය පිණිසයි.
ඇතැම් විට මේ අපූරු පබැඳුම තමා ගායනා නොකර අතැහැර දැමීමට සිතක් ඔහුට පහළ නොවන්නට ඇත. ඇත්තෙන් ම ඔහු මේ පද මාලාවට ලොබ බැන්දා විය යුතු ය. ගායනයේදී ඔහු පදමාලාවටත් ඔහු ගේ ම තනුවට උපරිම සාධාරණය ඉටු කරගෙන ඇති බව පැහැදිලි ය.


ආදරයේ වේදනාව මිහිරක් කරගැනීමට කෙනෙකුට නොහැකිද? සැබැවින් ම එය කළ හැකි දෙයක් මැයි. හදවත් බුර බුරා ඇවිළෙන ආත්මාර්ථය හැකිතාක් බැහැර කළ හැකි මිනිසාට වේදනාව මිහිරක් බවට හරවා ගත හැකි ය. එවිට පරාජිත ප්‍රේමය වුව ද මල් සුවඳක් සේ හමාවිත් හදවතේ මොහොතක් රැඳී ඉන් පිටවනු ඇත.


ගීතයක තනුවක මිහිර, ගායකයාගේ හඬෙහි මිහිර සියල්ල අතහැර දමා, ගීතයක පද මාලාවක්, ආස්වාදනීය ලෙස මෙනෙහි කරන්නට ලැබේ නම් ඒ අවස්ථාව ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. ඒ හැකියාව මේ පබැඳුමෙහි අන්තර්ගත ය. 

මේ ගීතය ඇසෙන වාරයක් වාරයක් පාසා මනහර කඳු වළලු වලින් පිරි සෙන්කඩගල පුරයට ඇද හැලෙන වැහි කෝඩයක් මගේ මනසට නැඟෙයි. 

ජීවිතයේ බොහෝ යස ඉසුරු වලට හිමිකම් නොකියන තරුණ වියේ මුල නොව අග සිටින්නකු කඩ පිලක අයිනේ වැස්සට මුවා වී සිටිනු මට දිස්වෙයි.



"මුතුකුඩ ඉහළන මල් වරුසාවේ
උඩ ඉගිළෙන විට වැහිලේනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ
දෑස ගියා ඉගිළී

අඳුරු ලලා...
සෙංකඩගල වැස්සේ
දිය දහරා...
පාටයි දේදුන්නේ
තෙමි තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංසලේ

රිය ඇතුළේ...
උණුසුම ඔබට දිදී
නහවයි මා
රියසක මඩ වතුරේ
නෑ හිත රිදුණේ අදත් එදා සිහිවී
අපේ සබඳ කම් නෑ රිය සක දන්නේ"


පද රචනය - ලූෂන් බුලත්සිංහල
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - රෝහණ වීරසිංහ


(Muthu Kuda Ihalana - Rohana Weerasinghe)








******************************************************************************************



වෙනද වගේම මෙයද ධම්මික් බංඩාර මහත්මයාගෙ ගීත විචාරයක්. මෙම ගීතයද මගේ ප්‍රියතම ගීත ගොන්නෙන් එකක්. ඔබත් විචාරය සහ ගීතය රසවිඳින්න. හැඟෙන දැනෙන දේ පහල කමෙන්ට්ස් වලින් බෙදාහදා ගමු.


23 comments:

  1. ‍ගොඩක් ආසා කරන සිංදුවක් ම‍නෝෂ්........ගීතය ව‍‍ගේම ඔ‍බේ විචාරයත් රස වින්දා.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. ස්තූතියි.. හැබැයි යාලු විචාරයනම් මගේ නෙවෙයි. ධම්මික බංඩාර මහත්මයාගෙ. නැත්නම් පොදු ජනතාව වැරදි වැටහීමක්වත් ඇතිකරගනී.

      Delete
  2. හොදින් දැනුනා මේ විචාරය මට නම්.. ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. මං අරන් එන හැම ලිපියකටම දේශක අයියා කමෙන්ට් කරනවා. ගොඩක් ස්තූතියි අයියේ.

      Delete
  3. ඇත්තෙන්ම ඔය ගීතයෙ නියම හැඩතල දැක්කෙ ධම්මික මහතාගෙ විචාරය තුලිනුයි.

    ReplyDelete
    Replies
    1. පට්ට සතුටුයි මචෝ.. රසවින්දනම් මේ ගීතයත්.

      Delete
  4. මගේ විචාරය නම් මේ තේරුමම වෙන විදිහකට.
    වර්ෂාව මල් වරුසාවක් වෙන්නේ ඒක විඳින කෙනෙකුට.ඒ කියන්නේ මෙතනදි නම් පෙම්වතුන්ට.වැහිලේනිය කියන්නේ වැස්සට ආසා කරන කෙනෙක් කියලනේ අපේ ගැමියො කියන්නේ.ඉතින් මෙයාගෙ හිටපු පෙම්වතිය එයාට වැහිලේනියක් වෙනවා මොකද ඇය ඒ රිය තුළ ඉඳගෙන වැස්ස ආශ්වාදනය කරන නිසා.ඒත් වැහිලේනිය පියාඹන්නේ උඩ අහසේ.එයාට බෑ කිට්‍ටු වෙන්න.ඒ කියන්නේ සමාජ පංතීන් දෙකක ගැ‍ටුමක් හින්දා මේ දෙන්නා දුරස් වෙලා.
    එදා නුවරදි මේ දෙන්නා වැස්සට තෙමෙද්දි ඒක එයාලට මල් වැස්සක් වුනා.ඒක පැහැදිලියි.
    මේ රියසක කතාව හරි අපූරුයි.මොකද රිය සකේ මැද කේන්ද්‍රය හා රෝදය අතර සම්බන්ධයක්,ඒ කියන්නේ දෙන්නා දෙන්නට බලාගෙන හිටියට කවදාවත් එක් වෙන්නේ නෑ.අනික මාක්ස්වාදයේදී කට්ටිය දීලා අතාරින කේන්ද්‍රය හා පරිධිය කියන එකත් මෙතනදි ඉස්මතු වෙනවා.රචකයා අයිති වෙන්නේ පරිධියට.ඉතින් ඒ අවසානය මෙයා මඩ වතුරින් නෑවෙනවා.එතකොට ඒ දවස් වල පාරේ යනකොට මෙයාලා මඩ නෑවා.ඒත් ඒක දෙන්නටම දැනිලා නෑ ආදරය හින්දා.නමුත් දැන් මෙයා පාරේ වැස්සේ තෙමෙනවා.ආදරයත් අහිමි වෙලා.දුකින්.ඒ හින්දා ඒ මඩ පාර මෙයාට දුකක්.

    ReplyDelete
    Replies
    1. ඔන්න අදහස්. ඇත්තටම අමුතු සිතුවිල්ලක්. වෙනමම පැත්තකට ගීතය ගෙනගියා ඔබ. ඇත්තටම හිම පියල්ලේ ඔබට ස්තූතියි ගොඩක්ම. ඔබේ මේ අදහස ආබරණයක් මගේ බ්ලොගයට.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. කලක් මගේ ඇසට කඳුළු නැංවූ මගේ ප්‍රියතම ගීයක්..මම අහල තියෙන විදියට බුලත්සිංහල මහතා ට මෙයට පාදක වී තිබෙන්නේ ඔහු මුහුණ දුන් සත්‍ය සිද්ධියක්...

    මඳ‍ෙව් විල
    http://chamikaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඒකත් එහෙමද. එහනම් ඔයාට මේ ගීතය වඩාත් සංවේදීව දැනෙනවා ඇති..

      Delete
  7. මාත් හුඟක්ම ආස සිංදුවක් මේක.. රෝහණ වීරසිංහයන් ගයනවා කියල දැන ගත්තෙත් මම මේකට ආස වෙලා ටික කාලයක් ගිහිනුයි..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්, සාදරයෙන් පිළිගන්නව ඔයාව. අද නේද ආවෙ ඉස්සෙල්ලාම? ඇත්තටම රෝහණ වීරසිංහයන් ගීත කිහිපයක් උනාට ගායනා කරල තියෙන්නෙ, ඒ හැම ගීතයක්ම ඉහළම තත්වයක තියෙනවා. රසය අඩුවෙන්නෙ නෑ.

      Delete
  8. රෝහණ වීරසිංහ කීව... සෝමතිලක ජයමහ නෙවීද...?
    මගෙ ප්ලේලිස්ට් එකේ උඩිංම තියෙන සිංදුවක්....
    විචාරය නං වෙනද වගේම නියමයි...
    ඩොකෙක් වුණාට ධම්මික බණ්ඩාර කියන්නෙ පට්ට බුලට් එකක් වගේ... නැද්ද....
    ඇත්තටම මේක රෝහණ වීරසිංහගෙද

    ReplyDelete
    Replies
    1. ඔව් මහේෂ්, මේ ගීතය ගායනා කරන්නෙ රෝහණ වීරසිංහයන්ම තමා.හොඳට අහල බලන්නකො.

      මහේෂ්ට පොඩී පැටලිල්ලක් වෙලා. ඔය පැටලිල්ල මටත් වුනා. මේ කියන ධම්මික බංඩාර වෛද්‍යවරයෙක් නෙවෙයි. වෘත්තියෙන් ගුරුවරයෙක්. මේ දෙන්නගෙම නම් දෙක සමානයි. ඒ වගේම දෙන්නම ගීත ලියනවා, විචාරය කරනවා. මහේෂ් හිතාගෙන හිටපු වෛද්‍ය ධම්මික නම් බ්ලොග් එකකුත් ලියනවා. http://yasanathsithuwili.blogspot.com/ මමත් ඔය පැටලිල්ල හරිම අමාරුවෙන් ලිහාගත්තෙ.

      කමෙන්ට්ස්වල වටිනාකම මේක තමා. අපි කොච්චර දේවල් බෙදාගන්නවද, නොදන්න දේවල් දැනගන්නවද.

      Delete
  9. නියමයි මනෝෂ්..
    ආසම ගීතයක්...

    ReplyDelete
  10. කී සැරයක් ඇහුවත් එපා වෙන්නෙ නැති පුදුම තරම් ලස්සන සිංදුවක්... ඒ එක්කම කලකට ඉස්සෙල්ලා මේ සිංදුවට යශෝධා කළ රඟපෑමත් මතක් වුණා... රෝහණ වීරසිංහ රසිකයන්ට කොච්චර අසාධාරණයක්ද කළේ අඩුවෙන් සිංදු කියලා...

    ReplyDelete
    Replies
    1. ඒකනම් සහතික ඇත්ත. අහන හැම වෙලාවෙම හිත අමුතුම ඉසවු හොය හොයා දුවනවා. හැබැයි රෝහණ වීරසිංහ සිංදු සීයක් කීව වගේ තමා මේ ගීත කිහිපයේ වටිනාකම.

      යශෝධගෙ රඟපෑම තියෙන රූප රචනය මෙන්න..

      www.youtube.com/watch?v=t_ePUF0mgOo

      Delete
  11. සින්දුව ගොඩක් ලස්සනයි....... සැහෙන්න කාලයක් සින්දුවේ චිත්ත රුප හිතේ තිබුණා..... කවදාවත් අමතක වෙන්නේ නැ.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... බහුතරයක් දෙනාගෙ හදවති මකාදැමිය නොහැකි පුදුම සහගත ගීතයක් තමා මේ..

      Delete
  12. රිය ඇතුළේ...
    උණුසුම ඔබට දිදී
    නහවයි මා
    රියසක මඩ වතුරේ
    නෑ හිත රිදුණේ අදත් එදා සිහිවී
    අපේ සබඳ කම් නෑ රිය සක දන්නේ

    ඉස්සර බයික් එකේ වැස්සේ යනකොට හොඳ මඩ පාරවල් වදිනවනේ ලඟින් යන කාර් වලින් .. ඒ වෙලාවට මට මේ කෑල්ල මතක් වෙනවා හැමදාම .. බයික් එකෙයි මගෙයි තියෙන සම්බන්ද කම කාර් එක දන්නේ නෑනේ කියල හිතුනම මටම හිනා යනවා .. :D

    ReplyDelete
    Replies
    1. අහා..! මාත් ඔය අත්දැකීම ඔහොමම විඳල තියෙනවා. හැබැයි ඒ බයික් එකක්වත් නැතිකාලෙ. වැහි වෙලාවල වැස්සෙන් බේරෙන්න අමාරුවෙන් පාරෙ අයිනෙ හිටං ඉන්නකොට කාර් රෝදවලින් වීසිවෙන මඩ වතුර අනන්තවත් නාල තියෙනවා.

      ඒ සුන්දර අත්දැකීම මට පාඩමක් උගන්නව්ව. අදටත් මං වාහනේක යනවනම් ම්ම්මගේ අතීතෙට මඩ වතුර වීසිකරන්නෙ නෑ මං කවදාවත්.

      Delete