"කවුද අතවනන්නේ... තොටුපළ අයිනේ..."
මගේ සිතුවිලි හැත්තෑව දශකයේ මුල් භාගයට දිවයයි. මම එකල කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ නේවාසිකාගාරයේ නේවාසික ශිෂ්‍යයෙක්මි. අප පාසලේ පස්මහල් විද්‍යාගාරයට අමතරව තවත් පස්මහල් ගොඩනැඟිල්ලක් ඉදිවෙමින් පැවතිණි. එකල මෙහි පස්වනමහල දිග ශාලාවකි.
"අන්න වික්ටර් රත්නායක ඇවිල්ලා.. අලුත් තට්ටු පහේ උඩ සින්දු කියනවා..."
හවස 2.30 ට පමණ නේවාසික ශිෂ්‍යයෙක් කෑ ගසා කීවේ ය. එතුමන්ගේ ගීත රාශියක් අසා නොතිබුණ ද, හුරුපුරුදු නමක් බැවින් අපි කීපදෙනක් අස්පවේගයෙන් දිව ගියෙමු. එකිනෙකා තරගයට තට්ටුවෙන් තට්ටුව පඩිපෙළ දිගේ දිව ගිය ආකාරය මට තාමත් මතකයි. අප පාසලේ හත්වන ශ්‍රේණියේ සිසුවෝ වීමු.
වැඩිහිටි ශිෂ්‍යයන් ගේ කලා සංගමයක් විසින් ඇරයුම් ලද වික්ටර් රත්නායකයන් පුටුවක වාඩිවී සර්පිනාවක් ළඟ තබාගෙන මයික්‍රොෆෝනයක් ඉදිරියේ වාඩිවී සිටින අයුරු මම දුටුවෙමි.
එකල රූපවාහිනිය නොතිබූ බැවින් මේ රූපකාය දෙස මා බලා සිටියේ විස්මයෙනි. සුදු අත්දිග ලෝගුවක් ඇඳ කරතෙක් කොණ්ඩය වවා සිටි තාරුණ්‍යයත් මැදිවියත් අතර අපූරු පුද්ගලයකු දේශනයක් පවත්වමින් ගයන්නට පටන් ගත්තේ ය.
"හබල බිඳිලා...
පෙරළුණු ඔරුවක
සුන්බුන් නෙත දැවටේ..."
ඔහු 'හබල බිඳීලා...' යන කොටස පාරුකවියක් මෙන් ඇද පැද ගයද්දී මුළු ශාලාව ම මීයට පිම්බාක් මෙනි. ගයා හමාර වූ පසු සිසුන්ගෙන් නැඟුණේ කන් බිහිරි කරවන අත්පොළසන් නාදයකි.
එදා සිට මම වික්ටර් රත්නායකයන් ගේ ගීත ගැන වඩාත් උනන්දු වීමි. "ස" ප්‍රසංගය කීපවරක් ම පොරකකා නැරඹුවෙමි. සුනිල් ආරියරත්න, ප්‍රේමකීර්ති ද අල්විස්, ධර්මසිරි ගමගේ, අජන්තා රණසිංහ ආදී පද රචකයන්ගේ නම් මගේ හිතට කාවදින්නේ මේ ගීත අසන්නට පෙලඹීමත් සමඟිනි. මේ අතර හැත්තෑව දශකයේ දී, උගත්, නූගත්, බාල මහලු කා අතරත් ජනප්‍රිය වූ අපූර්ව නිර්මාණයක් ලෙස මේ ගීතය හඳුන්වා දිය හැකිය.
"තොටුපළ අයිනේ
කවුද අත වනන්නේ...
කවුද අත වනන්නේ...
තොටුපළ අයිනේ.."
පද මාලාවෙන් ප්‍රථමයෙන් මැවෙනුයේ චිත්ත රූපයකි. ගඟක්, තොටුපළක් මෙන්ම තොටුපළ ළඟ සිට අතවනන අඳුරු ඡායාවක් ඒ චිත්ත රූපයෙහි අන්තර්ගත ය. ඒ චිත්තරූපය තවදුරටත් විකාශනය වන්නේ දෙවන පද පෙළ සමඟයි. මෙය සැඳැ කළුවර ගලා එන හෝරාවකි. වැටකේ ඉවුරක උණපඳුරු හෙවණක දක්නට හැක්කේ කුමක් ද? ඒ හබල බිඳී ගොස් පෙරළුණු ඔරුවකි. රචකයා මේ ඔස්සේ ධ්වනිථාර්ථ රාශියක් මවනු ලබයි.
"හැන්දෑ වරුවේ
ඉවුරේ වැටකේ
උණ පඳුරේ සෙවණේ..
හබල බිඳීලා.. පෙරළුණ ඔරුවක
සුන්බුන් නෙත දැවටේ..."
මෙහි කථකයා ජීවිතයේ කටුක අත්දැකීම් රාශියකට මුහුණ දුන් පුද්ගලයකු බව මේ ඔස්සේ පැහැදිලි වෙයි. ඔහු ප්‍රේමවන්තයකු නම්, ප්‍රේමයෙන් පරාජිත පුද්ගලයකු බව මේ මඟින් හැඟී යයි. එහෙත් ඒ අඳුරු අතීතය මෙනෙහි කරමින් ඒ මත වේදනා විඳීමට ඔහු සූදානම් නොමැති බව මෙහිදී පැහැදිලි වෙයි.
"ඒ දෙස නොබලමි
තොටුපළ අයිනේ
කවුද අතවනන්නේ..."
එසේ නම් ඔහුට අතවනන්නේ කවුරුන් ද? අලුත් ආදරයක් ද? එය එසේම බව මීළඟ පද පෙළින් මනාව පැහැදිලිවේ. ඔහු පෙරමඟ එගොඩින් දක්වන්නේ කුමක්ද? ඇවිළෙන තරු යුවළකි. එය කාන්තාවකගේ දෑසක් විය නොහැකි ද? ඒ තරු යුවළ දිලිසෙද්දී ඔරු කඳමත පැතිරී යන්නේ නුපුරුදු සුවඳකි. එය ආදරයේ ම සුවඳ මිස වෙන කුමක් ද?
"ආ මඟ අඳුරේ පෙර මග එගොඩින්
තරු යුවළක් ඇවිලේ
ඔරුකඳ ඇතුළේ නුපුරුදු සුවඳක්
දියමංකඩ විසිරේ..."
ඒ සුවඳට පිටුපාන්නට ඔහුට නොහැකිය. ඔහුගේ අනාගත ජීවිතයේ සුබ ප්‍රාර්ථනා සියල්ල ඒ සුවඳ මත රැඳී පවතී. ඒ නිසා ඔහු හෙට දවසේ හඬන්නට නොව සිනාසෙන්නට සැරසෙයි.
"හෙට ම හිනැහෙමී
තොටුපළ අයිනේ
කවුද අත වනන්නේ..."
ජීවිත තොටුපළේ ආදරයෙන් පරාජිත වූවකු නැවත දිග්විජය ලැබීමක් සමස්ත නිර්මාණය පුරා දක්නට හැකිය.
මේ නිර්මාණයේ අරුත් මීට වඩා පුළුල් පරාසයක වුවද රසවිඳීමේ හැකියාව රසිකයා සතුව පවතී.
මේ තොටුපළ සංසාර තොටුපළ නම් කථකයා විසින් එගොඩ යා නොහැකි පෘථග්ජනයෙකි. ඔහුගේ හබල බිඳී ඔරුකඳ පෙරළී ඇත. එහෙත් එගොඩ ගොඩින් ඔහු දකින්නේ දැල්වෙන ආලෝකයකි. ඒ නිර්මල ආගමික දර්ශනයකි. ඒ මඟින් හෙට දවසේ දිග්විජය ලද හැකිය. මේ නිසාම "තොටුපළ අයිනේ" නැමැති පද මාලාව පුළුල් පරාසයක විහිදී යයි.
වික්ටර් රත්නායකයන් මේ පදමාලාව තුළ අපූර්ව දේශීය සංගීතමය අත්හදා බැලීමක නිරතවෙයි. බෙංගාලි පාරු ගී මෙන් ම සිංහල ජන ගී සම්ප්‍රදාය ඇසුරු කරමින් ගිටාරය, බටනළාව, ජලතරංග ආදී සංගීත භාණ්ඩ යොදා ගනිමින් අපූර්ව සංගීත රිද්මයක් නිර්මාණයට එක්කර තිබේ.
මම දෑස පියා ගනිමි. ගංගාව ගලා යනු මට ඇසෙයි. මා අසල ඇත්තේ බිඳුණු හබලක් හා පෙරළුණු ඔරුවකි. එහෙත් මම බලාපොරොත්තු අත් නොහරිමි.
මක්නිසාද නුපුරුදු සුවඳක් සමඟ තරු යුවළක් ඈත අහසේ දිලිසෙන බැවිනි.
තොටුපළ අයිනේ...
කවුද අත වනන්නේ..
කවුද අතවනන්නේ
තොටුපළ අයිනේ..
හැන්ඳෑ වරුවේ
ඉවුරේ වැටකේ
උණ පඳුරේ සෙවණේ..
හබල බිඳීලා... පෙරළුණු ඔරුවක
සුන්බුන් නෙත දැවටේ..
ඒ දෙස නොබලමි...
තොටුපළ අයිනේ
කවුද අත වනන්නේ..
ආ මඟ අඳුරේ
පෙර මඟ එගොඩින්
තරු යුවළක් ඇවිලේ..
ඔරුකඳ ඇතුළේ.. නුපුරුදු සුවඳක්
දියමංකඩ විසිරේ
හෙට මම හිනැහෙමි
තොටු පළ අයිනේ
කවුද අත වනන්නේ..
ගී පද - සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
(Thotupola Aine - Victor Rathnayake)
***************************************************************************
දයාබර බ්ලොග් මිතුරු, මිතුරියනි, විවිධාකාර අරුත් සහිත ඉසවු සොයායන තවත් අපූර්වතම ගීතයක් ලෙස මෙම ගීතයද අපිට ආසාවෙන් වැළඳගත හැකි ගීතයකි. ඉහත විචාරය තුලින් දක්වා ඇති පරිදි, ගීතය මතුපිටින් දකින්නට ඇති රූපමය සිත්තම සේම, එහි සැඟව ඇති, ප්‍රේමයෙන් පරාජිත වී නව ඇරඹුමක් කරා පියමැනීමට සූදානම් වන මිනිසෙකුගේ කතාවත්, ඊට සහමුලින්ම බැහැරව නිර්වාණය පිළිබඳ කියවෙන වඩා ගැඹුරු අර්ථයත් යන මේ සියලු විචාරණ වලට අමතරව ඔබ සතුවත් මීට හාත්පසින්ම වෙනස් විවිධාකාර වූ නිර්මාණශීලි විචාර මේ ගීතය සඳහා පවතින බව මා හොඳාකාරවම දනිමි.
ඉතින් එන්න. කියවන්න. රසවිඳින්න. ඔබේ අදහස, විචාරය, විවේචනය කමෙන්ට් විදියට මාත් එක්ක බෙදාගන්න.
ඒත් එක්කම උදාවූ මේ නැවුම් නව වසර, සිංහල අපේ හැබෑම අවුරුදු උදාව, ආදරණීය බ්ලොග් මිතුරු මිතුරියන්ට සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
ගීතයේ එක් අරුතක කියවෙන පරිදි ජීවිත මංතලාවෙ කොතනක හෝ වැරදීමක්, පරාජයක්, පසුබෑමක් හිමිවූ අපේම කොල්ලෙක්ට කෙල්ලෙක්ට මේ සුබ අවුරුද්ද, නව උදාවක, ආදරයක, ජීවිතයක, ඇරඹුම සනිටුහන් වන සොඳුරු තොටුපලක් වේවා...!
ඒවගේම මේ මස 20වන දිනට පැලවත්ත බුද්ධදාස පිටියේදී පැවැත්වීමට නියමිත, සයිබර් අවකාශයේ සහෘදයන්ගේ ලෙංගතු හමුව, අවුරුදු උත්සවය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යි මම හදවතින්ම ප්‍රාර්ථනාකරමි. පැමිණ සහභාගීවීමට තරම් වාසනාව නොමැතිමුත්, ඔබ සැමට සුභාසිරි ගෙන ඒමට මම මෙය අවස්ථාවක් කරගන්නෙමි.
ඒවගේම සහභාගීවීමට නොහැකිවූ අඩුව පුරවාගැනීමට සයිබර් බක්මහ උළෙලේ සියලු අවස්ථා ඇතුලත් ඡායාරූප පෙලක් අපට ගෙන එතැයි අපි මඟ බලා සිටින්නෙමු. ආයාචනය කරන්නෙමු. ෆේස්බුක් වල නොදා, පෝස්ට් වලින්ම අරන් එන්න පුළුවන්නම් හොඳයි.
එහෙනම්, ඔන්න ආයෙමත්,
"සුබම සුබ වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා.....!"
අළුත් අවුරුද්දේ සිත පහන් කරවන විවරණයක්...
ReplyDeleteඔබ ඇතුලු පවුලේ සියළු දෙනාට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!
ජය වේවා!!!
පහන් සිතින් ඔබටත් පවුලේ සියලු දෙනාටත් වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා.
Deleteසුබම සුබ අළුත් අවුරුද්දක්.........ගී පබදනු..... අරුත කියා අපට......තව දිනකට .....
ReplyDeleteඅනිවාරෙන්ම! පවුලේ සියලු දෙනාටත් වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා.
Delete// තොටුපළ අයිනේ
ReplyDeleteකවුද අතවනන්නේ..."//
කවුරුහරි පට්ට වේසියෙක් වෙන්න ඇති.
ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මම ඉතාමත්ම ගරුකරමි.
Deleteඇනෝ, මටත් ඔය අදහසම තමා ආවෙ. ඒත් ඔයිට වඩා සැර අඩු කරලා කිවුවනම් කොච්චර වටීද? :)
Deleteඇනෝගෙ අදහස ගැන මාත් ගොඩක් දුරට හිතුවා.මට හිතෙනවා ඒ විදියටත් ඒ ගීතය ගැන හිතන්න පුලුවන් කියලා.කැටයම් නැතිව ඇනෝ ඒක කෙලින්ම කියල තිබුනා. මාත් පස්සෙ තේරුම්ගත්තෙ.
Delete///ඔරුකඳ ඇතුලේ නුපුරුදු සුවඳක්..////
Deleteමේ විදිහට බැලුවොත් දැන් මේකටත් මොකක් හරි ගැලපීමක් කරගත හැකිනේ. ගැලපීම් කරන්න පුළුවන් තමන්ට හිතෙන ඕනෑම අයුරකින්. නිකන් හිතන්න "රෑට කමු අපි කමු අපි වම්බටු" කියලා ජොලි සීයාගේ. මේක කෙනෙක් වෙනත් විදිහට දකින එකේ අප්සට් එකක් නැහැ. ඒ අයුරින්ම ආතල් එකක් ගත්තත් වරදක් නැහැ. ඒ තමන්ගේ අයිතිය. වැඩේ වෙලා තියෙන්නේ ....මේ ආකාරයෙන් නම් හැම දෙයක්ම විග්‍රහ වෙන්නේ..විචාර වෙන්නේ...සෞන්දර්යාත්මක හෝ ශෘංඝාරාත්මක අදහස් නොලියවේවී...වේසියෙක් (මම මේ වචණෙට පෞද්ගලිකව අකැමතියි..එහෙම වෙන්නේ ඇයත් අපි අතරෙම ස්ත්‍රීයක් නිසා ) අත වැනුවා...ඔරුවේ දාගෙන අහවල් වැඩේ කරා...කියන අදහසින් නම් මේවා ගැන හිතන්නේ...අපිත් ලියමු..රසවිඳිමු ...මෙහෙම
ස්ටේෂම අයිනේ වේසිය අත වැනුවා.....කෝච්චි බංකුවේ මම ඒකිට **වා...ආදි වශයෙන්.හිතෙන හැම දෙයක්ම , ගීතය හිතලා ලියපු එකා ලියලා තියෙන්නේ මෙහෙමයි කියලා විචාර කරන්න ගියාම වෙන හානියට තමයි මම නම් බය.
අජිත් කුමාරසිරිගේ ගීතයක අම්මා රෙද්ද ගැලෙව්වා...තාත්තා එහෙම්මම ඇලවුනා කියලා ඌ ගයනවා... ඒකේ වැරැද්දක් නැහැ..ඒ අජිත් කෙලින්ම කියන දේ සහ ඔහුට කියා ගන්න උවමනා දේ.
සාහිත්‍යමය විචාරයක් ගීත සාහිත්‍යට අවශ්‍යයි. නමුත් විකාර රූපි විචාරයන් මේ ගීත රස විඳීමේ ආශ්වාදය බිඳ වට්ටා දමයි. ඒක බොහෝ දුරට වෙලා ඉවරයි.
//සාහිත්‍යමය විචාරයක් ගීත සාහිත්‍යට අවශ්‍යයි. නමුත් විකාර රූපි විචාරයන් මේ ගීත රස විඳීමේ ආශ්වාදය බිඳ වට්ටා දමයි.//
Deleteඇත්තමයි අරූ..
සමාජෙ විවිධ පුද්ගලයන් ඉන්නෙ විවිධ මානසික මට්ටම්වල සහ බුද්ධි මට්ටම්වලෙන අරූ අයියෙ. ඉතින් තම තමන්ගෙ තේරුම්ගැනීමේ සහ මානසික තත්වයන් මතයි එයාලා ගීත රසවිඳින්නෙ. හැම ගීතයකටම විකාරරූපි අර්ථකතනයන් ලබා දීම අනුමත කරන්න බෑ. මම හැම වෙලේම කියන්නෙ, තම තමන්ට රිසි ආකාරයෙන් ගීත රසවින්දට කමක්නෑ. හැබැයි, තමන් මේ ගීතය තේරුම්ගත්ත විදිය තමා හරිම විදිය කියල හිතාගෙන ගීත රචකයාටත් එහා ගිහින් තමන්ගෙ මතය බලහත්කාරෙන් සමාජ ගතකිරීමනම් කොහොමවත්ම අනුමත කරන්න බෑ.
Deleteඔබ සියලුදෙනාට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.
ReplyDeleteඔබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
Deleteමටත් හිතට ආවෙනම් ගණිකාවක් කියවෙනවද යන්න තමා. වැරදිහට හිතන්න එපා මගේ හිතට ආපු අවංක හැඟීම. මොකද එකම දේ උනත් දහ දෙනෙක්ට දහවිදිහකට පේන්න පුළුවන්නෙ.
ReplyDeleteමනෝටත් සුබ නව වසරක් වේවා………!!!
(ඇයි මනෝ බුකියෙ නැත්ද?)
පිස්සුද බං. මොනව වැරදියට හිතන්නද. ඇනෝ සහ උඹ දුන්න අර්ථය ගැන මාත් ගොඩක්දුරට හිතුවා. උඹල හිතපු විදියත් හරි. තොටුපලක් කියන්නෙ කාටවත් සින්නක්කර අයිති දෙයක් නෙවෙයි. ඕනි කෙනෙකුට යන්න පුලුවන්. හැබැයි ගියා කියල නතරවෙලා ඉන්නෙ නෑනෙ. අදාල කාරිය කරගෙන එනවා. ඉතින් මේ තොටුපල කියන්නෙ ගණිකා නිවාසයක්, ගණිකාවක් වෙන්න පුලුවන්. උඹල හරි. බලහං, එකම ගීතයක් අපිට කොච්චරනම් ආකාරවලින් රසවිඳින්න පුලුවන්ද.
Deleteමං හැමදාමත් කියනවා වගේ මේ තමා මගේ බ්ලොගේ අරමුණ. මේ තමා සාර්ථකත්වය. උඹලට ගොඩක්ම ස්තූතියි.
(ඒ බං, මට ඔය බුකිය තේරෙන්නෙ නෑ බං. ඇත්තටම මොකක්ද? උඹල බුකිය කියන්නෙ ෆේස් බුක් නෙවෙයිනෙ?)
අවවාදයයි!!!!!!!!!!ෆේස් බුක් යනු බුකියකි....ඔබ ඇබ්බැහිවීමට ඉඩ ඇත.!! හැකිනම් වැලකී සිටින්න.
Deleteහ්ම්ම් ඔව් අරූ අයියෙ දැන්නම් ටිකක් බුකියට යොදන කාලය අඩු කරන්න තමාකල්පනාව. :)
Deleteඔව්..ඔව්..කල්පනා කරලා බලපන්....පරණ ප්‍රියාට උඩින් බුකි ලක්ෂන පහල වෙන ගතියක් පේනවා :D
Deleteරේස් බුකියට ගියත් කමක් නෑ ෆේස් බුකියට නොගිහං නෙහ්..
Deleteමනෝෂ්
Deleteඇනෝගේ කොමෙන්ට් එක දැක්කම මතක් උනේ..
1995 - 1995 විතර වික්ටර් රත්නායකගේ "ස" ප්‍රසංගයට විරුද්ධව --රි සයන්න නමින් මඩ කැසට් එකක් කරලා තබුනා අපිත් ඒ දවස්වල ඒක රස කරකර ඇහුවා (විශ්වවිද්‍යාල කොල්ලෝ ටිකක් කළා කියල තමයි කිව්වේ) ඒ කැසට් එකේ ඔය වගේ අදහස් සෑහෙන ප්‍රමාණයක් තබුණා...
බුකිය බුකිය කිව්වට මේක මේ ෆේස්බුකිය කියල දැනගත්ත අදනෙ මචංලා. ඕං බලපල්ල මගේ සාමාන්‍ය දැනීමෙ තරම! එහෙවු එකක් නම් මටත් තියෙනවා. ඔය අවාරෙට වගේ ගොඩවෙලා බලනව මාසෙකට සැරයක් විතර. ගියාපුවාම ගොඩ එනව බොරු. එකෙක්ගෙ එකක් බලල අනිත් පැත්ත හැරෙනකොට තව පස් දෙනෙක් විතර අරව මේවා දාල. කොහොමහරි පැය 3,4ක් විතර ඉවරවෙන්නයි, මෙගාබයිට් 400ක් විතර ඉවරවෙන්නයි යන්නෙ බොහොම සුලුවෙලාවයි. ඉතින් අන්තිමට කොරපු දේකුත් නෑ, ගත්ත දේකුත් නෑ. ඊට වඩා කොච්චර වටිනවද බං මෙහෙම බ්ලොගග් ලියාගෙන, තව ඒවා කියවගෙන ඉන්නෙක. දැනුම වැඩිවෙනවා. අලුත් දේවල් හම්බෙනවා. අර්ථාන්විතදේවල් ලැබෙනවා. හොඳ දෙයක් සමාජගත කිරීමෙන් ලැබෙන ආත්මතෘප්තිය ඔය බුකියෙ නෑ. හැම දේම කෘතීමයි. උපන්දිනේ ලං උනාම බුකියෙන් මතක්කරල දෙනවා. ඉතින් හිටු කියල අපි විශ් කරනවා. හදවතින්මද? නෑ. කරන්නන්වාලේ. අපේ පැවැත්ම බුකියෙ තහවුරු කරන්න, නඩත්තුකරන්න. හැමෝම එහෙම නැතිව ඇති. අරුත්බර දේවලුත් ඇති. ඒත් මං මේ කීවෙ බහුතර ස්ව්භාවය. බ්ලොග හොඳයි බං. වටිනා කාලය වටිනා විදියට යොදාගෙන වටිනාකමක් එක්කරන්න පුලුවන්.
Deleteඕං බුකියෙ මගේ ලිපිනය. හෙට අනිද්දට ඕක ඩිලීට් කරල දාන්නත් හිතෙනවා මචංලා..
https://www.facebook.com/manosh.sandaruwan
විදානෙ, දැනුම් තේරුම් නැතිකාලෙ ඔයවගේ ගීත උපහාසයට ලක් කරල අපිත් ආතල් ගත්ත. ඒත් මේවගේ වටිනාකම අද හොඳින්ම දැනෙනවා. කොහොම උනත් ගීතය වෙනස්ම මානයකට අරන් යන්න ඇනෝට හැකිවුනා. මාත් මුලදි ඔහුව වැරදියටයි තේරුම්ගත්තෙ.
Deleteගී මිහිර පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා !!
ReplyDeleteඔබටත් සුබම සුබ වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා..!
Deleteනිදහස් නිවහල් ස්වාධීන අදහස් ලියා තැබීමට ශක්තිය ලැබේවා!!!!!!!!!!!
ReplyDeleteස්තූතියි!ස්තූතියි!! ඒ උනාට අනුන්ගෙ විචාර අරන් එන්න එපා කියලවත්ද කීවෙ අරූ අයියෙ?
Deleteනැහැ මනෝෂ්...එහෙම හිතුවේ නැහැ. හරි දේ කරන්න කියන අදහසයි ලියවිලා තියෙන්නේ.
Deleteඅදයි කමෙන්ට් එකක් කොටන්නේ මනෝශ්. ඔබේ ලියැවිල්ල අපූරුයි. දිගටම ලියන්න. සුභපැතුම්!!
ReplyDeleteඅදහස් දැක්වීමට සහ සුබපැතුමට ස්තූතියි බස්සියො.
Deleteමේක බොහොම පරිස්සමෙන් විමසන්න ඕන ගීතයක්.මොකද තොටුපලක් කියන්නේ කවුරුත් යන එන තැනක්.තොටුපල අයිනේ අත වනන කෙනා පේන්නේ නැත්තේ අඳුර වැටිලා හින්දා.අනික තොටුපල කියන්නේ පැරණි විශ්වාස අනුව නම් අන්ධකාර බලවේගයන්ට හොඳ තැනක්.
ReplyDeleteනමුත් මෙ තොටියෙක්.මේ ඉවුරු දෙක අතර නිතර යන එන කෙනෙක්.එවැන්නෙකුට අත වනන්නේ කවුද කියලා අඳුන ගැනීම අවශ්‍ය නෑ වගේම හඳුනා ගැනීමට නොහැකියාවකුත් නෑ.ඒත් ඇයි එහෙනම් කවුද අත වනන්නේ කියලා අහන්නේ?
හේතුව ඔහු ඉන්නේ ජීවිතයේ සැන්දෑ සමයේ.
බිඳුනු ඔරුවක සලකුණු ඔහුට පෙනෙනවා.ඒත් ඔහු ඒ දෙස බලන්නේ නෑ.
ඇයි,
තොටියෙකු වන ඔහු ඒ දෙස නොබලන්නේ?
හේතුව මේ ඔරු රස්සාවෙන් ඔහු විඩාවට පත් වෙලා හින්දා.පෙර කාලේ කළ කී සොඳුරු මතකයන් ඔහු නොබලා අමතක කර හරිනවා.පැරණි ඔරුව ආශ්‍රිතව ඔහු මේ පඳුරු අසල පෙම් කරන්න ඇති.ඒත් දැන් ඒ ඔරුව බිදීලා.ජීවිතයේ අනිත්‍යය.
දැන් එතකොට ඔහු එගොඩට යන ගමනේ තරු යුවලක් දකිනවා.මෙතනදි රචකයා කියන්නේ ඒක ඇවිලෙනවා කියලා.රාත්‍රියට එලිය දෙන්නේ තරු.මෙතනදී සඳ පායනවා කියන්නේ නැත්තේ සඳෙන් ප්‍රේමය සංකේතවත් වෙන නිසා.තරු යුවල ඇවිලෙන්නේ ඔහුගේ අඳුරු දිවියට ආලෝකය දෙන්න.ඔහුට නුපුරුදු සුවඳක් දෙන්නේ අන්න ඒකයි.ඔහු ජීවිතයේ සත්‍යය සොයා යනවා.
එහෙම නම් මෙහි අරුත වෙන්නේ සසර නම් චාරිකාව උපත හා විපත යන ඉවුරු දෙක අතරේ ඔරුව නම් ජීවිත අත්දැකීම් මත පැද යන මිනිසා ජීවිතයේ සත්‍යය සෙවීමට යෑමයි.
මේ ගීතය ගැන තියෙන ප්‍රබලම මතය තමා ගීතය නිර්වාණ අවබෝධය පිළිබඳව කියැවෙනව කියන එක. ගීතය ඔබ පදයෙන් පදය අර්ථකතනය කරන අයුරු හරිම අපූරුයි. ස්තූතියි ඔබට..
Deleteඔීනම කෙනෙකුට ඔනම ආකාරයට නිර්මාන ගැන අර්ත කථනය කල හැක. නමුත් යතාර්තය දැකීමට නොහැකිය. එය එසේ වන්නේ තමා තුල ඇති උගත්කම මත නොවේ. බුද්ධි මට්ටම මතය. ගීතයක අරුත තේරුම් ගැනීමට නම් සන්වෙිදී මනසක් තිබිය යුතුයි. මෙය මගේ මතය පමනි. ඔීනම අයෙකුට ඕනම ආකාරයකින් සිතිය හැකි නමුත් නිර්මාන කරුවාට හෝ ගීතයට හානියක් කිරීම නොකල යුතුයි.
ReplyDelete