Pages

Sandumal

Sandumal

Friday, June 6, 2014

•උත්තමාචාරය

"ඔබ මට පවනෙක් මැයි ගිම් සමේහී හමා ආ..."






ගීත විචාරයන් සමඟින් මා මෙතෙක් ආ ගමන් මඟ තුල මගේ බ්ලොග් සටහන් අතර සියේට අනූනවයක්ම වූයේ ධම්මික බංඩාරයන් නම් වූ සොඳුරු ගේය පද රචකයාණන් ගේ ගීත විචාරයි. මගේ බ්ලොග් සටහන් දයාබර බ්ලොග් පාඨකයන් හට වඩා සමීප වූයේ පසුගිය මාර්තු මාසයේ පමණ සිටයි. මාර්තු සිට ජූනි දක්වා වූ මේ ඉතාම කෙටි කාලපරිච්ඡේදය තුල මා බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා ඉතා විශාල පාඨක ප්‍රතිචාර ගොන්නක් සමඟ මෙම පැමිණ ඇති ගමන්මඟ පිළිබඳ මට ඇත්තේ අහිංසක සතුටකි. ආඩම්බරයකි.  

මුල් කාලයේදී ධම්මික බංඩාරයන්ගේ ගීත විචාරය සමඟින් පමණක්ම පෝස්ට්ටු ඔබවෙත ගෙන ආවද පසුව, විචාරයට ගැලපෙන විවිධ ඡායාරූප ආදී අලවට්ටම් දමා ඔබට වඩාත් ආකර්ශණීයව ලිපිය ගෙන ඒමට උත්සාහ කලෙමි. ඉන් අනතුරුව, ගීත විචාරයට පසුව, විචාරය පිළිබඳව සහ ගීතය පිළිබඳව මට හැඟෙන දැනෙන මගේ අදහස්ද ලියා දැම්මෙමි. ඒ සඳහාද යහපත් ප්‍රතිචාර ලැබුනු අතර, මා පිළිබඳ යමක් ඔබ අතරට ගෙන යාමට එය ඉවහල් විය.

කෙසේ වුවද මා සමඟ උන් යාවජීව බ්ලොග් මිතුරන් දිනෙන් දිනම මා දිරිමත් කල අතර විචාරයට යටින් වූ මගේ අදහස් දුටු බහුතරයකගේ අදහස වූයේ මවිසින්ම ලියන ලද ස්ව‍යං ගීත විචාරයක් පළකරන ලෙසයි. එහිදී මා දිරිමත් කල පිරිස අතර කුරුටු ගෑ ගී පවුර, ප්‍රියා, අවන්හල, විදානෙඅරූ අයියා ආදී බොහෝ පිරිසක් විය. ඇත්තෙන්ම මා ගීත විචාරයක් ගෙන ඒමට තීරණය කලේ ගී පවුරේ සාමාජිකයන් නිසාවෙනි. නම් සඳහන් කල සහ සඳහන් කිරීමට අතපසු වූ මේ සියල්ලන්ගේම, ආධාර උපදෙස් සහ ලෙංගතු අවවාද මැද මං මගේ පළමු විචාරය පළ කෙලෙමි. ඒ සඳහා වූ ඉහල පාඨක ප්‍රතිචාර නිසාවෙන්ම ඉක්මනින් දෙවන සහ තෙවන විචාරද ගෙන ආවෙමි.

එම ගීත විචාර ත්‍රිත්වය තුල මට විවිධාකාර වූ උපදෙස් යෝජනා ලැබුනු අතර, මෙහි පෙරමුණෙහිම වූ දයාබර සඟයෙකු වූයේ අපේ පත්තර මල්ලි නම් සොඳුරු බ්ලොග් රසවතායි. පුද්ගලිකව නිතර දුරකතනයෙන් අමතමින් ඔහුගේ වටිනා කාලය මා වෙනුවෙන් කැපකරමින්, ඔහු ගත් වෙහෙසට මගේ කෘතවේදීත්වය පළකරමි. අවාසනාවකට මේ සොඳුරු පිස්සු කොල්ලාට කෙතරම් කීවද ඔහුට බ්ලොග් එකක් අටවා ගැනීමට කිසිදු උවමනාවක් නොමැත!. නමුත් සිංහල බ්ලොග් පිටු අතර කරණම් ගසමින් ඔහු අපට ශක්තියක් වෙමින් අපත් සමඟම නිතරම් රැඳී සිටිමින් අපව දිරිගන්වයි.

කෙසේ හෝ මගේ ගීත විචාර තුන සහ අවසානයට පළකල ගී සංවේදනාව, මගේ බ්ලොග් එක නවමු මාවතකට යොමු කල හැරවුම් ලක්ෂයක් වේ යැයි මා සිහිනෙකිනිදු නොසිතුවෙමි. නමුත් බ්ලොග් එකෙහි ගමන් මඟ වෙනස් කිරීමට මා නිරායාසයෙන්ම පෙළඹවීමට එය හේතුවක් වී ඇත. මං ලියන්නේ මට ඕනි ඒවාය. නමුත් එහිදී මම නම්‍යශීලී විය යුතු යැයි මම විස්වාස කරමි. මක් නිසාද යත් මා ලිව්වට කියවන්නේ මගේ දයාබර පාඨකයන්ය. එනිසා මා ලිවිය යුත්තේ ඔවුහු ප්‍රියමනාපව කියවන ඒවා විය යුතුය.

නමුත් ඒ යම් සීමාවකට යටත්වය. මාගේ බ්ලොග් ලිපි වලින් මා බලාපොරොත්තු වූයේ ගිලිහී යමින් පවතින රසවින්දනය යම් ප්‍රමාණයකට හෝ යළි තරුණ පරපුර වෙත ගෙන ඒමයි. එනිසාම, මගේ නිර්මාණාත්මක බව යට ගසමින් එය සඟවා ගනිමින්, වඩා සාර්ථක නිර්මාණ කරුවෙකුගේ ගීත විචාරයන් ගෙන ආවේ ඒවා කියවීම තුලින් මා ලබාගත් රසය, ඔබත් සමඟ බෙදාගැනීමටයි. අවිය වෙනුවට පෑන සමාජයක් ගොඩනැංවිය හැකි හොඳම ආයුධය බව මම විස්වාස කරමි. පන්හිඳකින්  ජීවය ලබන ගීතයක් තුල සමාජයට ගතහැකි ආදර්ශයන් බොහෝය.

එනිසා මගේ දැඩි විස්වාසය වන්නේ මිනිස් සිත සංවේදී බවට පත් කරන සුභාවිත ගීත කුණු වෙමින් පවතින සමාජයට ඉතාම හොඳ ඔසුවක් බවයි. වරෙක ගුණදාස කපුගේ ශූරීන් කියූ පරිදි, එතුමා විසින් ගායනා කරන ලද "අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ" ගීතය ඇසූ සහෝදරයන් දෙදෙනෙකු තමන්ගේ ඉඩම් ආරවුල ඉතාම දයාබරව සමථයකට පත් කරගත් වගයි. මේ බව කපුගේට එම සහෝදරයන්ගේ මෑණියන් කියනුයේ හඬා වැටෙමිනි. තවද "ලඳුනේ" ගීතය අසන ඔබ, මෙතෙක් කල් ගණිකාවක් පිළිබඳ ඔබ තබාගෙන සිටි වැරදි අවබෝධය ඔබෙන් පලවාහරිමින්, ගණිකාවක් පිළිබඳ වඩා මානුෂවාදීව සිතීමට ඔබව පොළඹවනු ඇත.

කියනවානම් මෙවන් උදාහරණ අනන්ත වූ සංඛ්‍යාවක් මට ඔබ හමුවේ තැබිය හැක නමුත් අවශ්‍යතාවය වූයේ ගීතයකින් සමාජය වෙනස් කල හැකි බව ඔබට පෙන්වා දීම පමණි. එනිසා මගේ ස්ව‍යං නිර්මාන පසෙකලා බ්ලොග් කලාව තුල සිටින සොඳුරු මිනිසුන්ට හොඳ ගීත රසාස්වාදයක් ලබා දීමට ධම්මික බංඩාරයන්ගේ ගීත විචාර ඔබට ගෙන ආවෙමි. විවිධ අය විවිධ අදහස් මති මතාන්තර දැරූ අතර බොහෝ අය මගේ බ්ලොග් ඩටහන් අතර ඇවිද ගිය මුත් කිසිදු අදහසක් පළ මං නොකලේ අනුන්ගේ ගීත විචාර ගෙන ආ හෙයිනි. වරෙක වෙනත් බ්ලොග් සටහනක ඇනෝ කෙනෙක් මට දරුණු වාග් මාලවක් තිළිණ කලේද මේ කරුණ අරබයායි. නමුත් මා යළිත් කියනුයේ මම අනුන්ගේ ගීත විචාර ගෙන ආවේ මට මගේම වූ නිර්මාණ හැකියාවක් නොමැති වූ නිසා නොවේ.

අරමුණ වූයේ මා ඉහත සඳහන් කල කාරණයයි. එම අරමුණ තුල මා කෙතරම් සාර්ථක වූවද යැයි මම නොදනිමි. නමුදු මා ගෙන ආ බොහෝ ගීත විචාර වල ගීත බහුතරයක් දෙනා දැක තිබුනේද එදාය. එනිසාම "මේ ගීතයත් මං මීට කලින් අහල නෑ, ඔන්න අද තමයි ඇහුවේ" කියල බොහෝ දෙනා කීවේය. එම අවස්ථාවල මා අහිංසක සතුටක් ලැබුවේ, ඔබට මඟ හැරී ගිය නමුත් ඔබ ඇසිය යුතුම ගීතයක් ඔබට සමීප කිරීමට ලැබීමේ භාග්‍ය මා ලද හෙයිනි. නමුදු එය කෙතරම් සාර්ථක වූවාද යන්න දන්නේ ඔබම පමණකි. මක් නිසාද යත්, මාව සතුටු කිරීමට කුමක් හෝ කමෙන්ට් එකක් දැමීමනම් ඔබේ අරමුණ වූයේ, ගීතය ඔබ රසනොවින්දානම්, ගීතය යළි යළිත් රසවිඳීමට ඔබගේ ගීත ගොන්න තුල ඔබ එම ගීතය සුරැකිව තබා නොගත්තානම් මගේ ප්‍රයත්නය අසාර්ථක වී ඇත. නමුත් සැබෑවටම ඔබ එය රසවින්දානම්, ඔබ ඉන් යමක් ගත්තානම්, තවත් අප මෙන්ම මෙම ගීතය රස නොවිඳි අයෙකුට එය රසවිඳීමට ලබා දුන්නේ නම් මගේ අරමුණ සඵල වී ඇත.

අද ඔබට මෙවන් සටහනක් ගෙන ඒමට මා පෙළඹවූ කාරණයට යළි හැරෙමි. 

මෙතෙක් කීවේ මෙම බ්ලොග් සටහන් වල අරමුණ සහ අනුන්ගේ ගීත විචාර ඔබට ගෙන ආ හේතුවයි. කෙසේ වුවද, මුලින් සඳහන් කලා මෙන් මගේම ගීත විචාර තුනට පසු මට වැටහුණු දෙයනම් මගේ මෙම බ්ලොග් පිටු මගේම වූ නිර්මාණ වලි සැරසීමට කාලය පැමිණ ඇති බවයි..එනිසා අද පටන් ධම්මික බංඩාරයන්ගේ ගීත විචාර වලට සමු දීමට තීරණ‍ය කළෙමි!

මා සතුව ඔබට ගෙන ඒමට බලාපොරොත්තුවෙන් තවත් ගීත විචාර 45ක් පමණ පවතී. නමුත් මෙතැන් සිට මම එම විචාරයන් එසේම තියෙන්නට හරිමි. කිසිවෙකුට හෝ එම විචාර කියවීමට අවශ්‍යනම්, ඔබගේ විද්‍යුත් ලිපිනය මා හට වන්න. වර්ඩ් ෆයිල් එකක් ආකාරයෙන් එම ගීත විචාර මං ඔබට එවීමට කටයුතුකරන්නම්.

එසේනම් මෙම සටහන නිමකිරීමට මත්තෙන් තවත් සඳහන් කල යුතු ඉතාම වැදගත් කරුණක් පවතී. කවදා හෝ දිනෙක ධම්මික බංඩාරයන් හට මෙම සටහන් කියවීමට අවස්ථාවක් ලැබේ දැයි නොදනිමි. එසේ වුවද,

ධම්මික බංඩාර මහත්මයාණෙනි,

ඔබ තුමාට අනේක වාරයක් ස්තූතියි. මේ ඔබතුමාගේ ගීත විචාර නම් වූ අත්තිවාරම මත මා ඉහළට නැඟි ඉණිමඟට පයින් ගැසීමක් නොවේ. නමුත් මේ වනවිට ඉණිමඟෙහි මම සැලකිය යුතු තරම් උසක් නැඟ ඇත්තෙමි. දැන් මා සූදානම් වන්නේ ඔබෙන් ලද අත්වැලෙන්, ඔබෙන් ලද ආභාශයෙන් මගේම වූ හිණිමඟක ඉතිරි මඟ ගෙවා යාමටයි. ඔබ තුමාට අනේක වාරයක් මම ස්තූතිවන්ත වන්නෙමි. මේ මොහොතේ මට සිහිපත්න්වන යමක්ද ලියා තබමි. ඔබ තුමාගේ ගීත විචාරයන් මා මෙසේ පළ කරන බව ඔබ තුමාට පැවසීමටත්, ඔබ තුමාගෙ අවසරය ලබා ගැනීමටත් මම ඔබ තුමාට දුරකතනයෙන් කතාකල මොහොතේ ඔබතුමා මා කෙරෙහි දැක්වූ ළෙංගතු බව කිසි දිනෙක මට අමතක නොවේ. ඉතාම දයාබරව, "ඉතින් ඕව තියෙන්නෙ කාට හරි කියවන්න තමයි. ඉතින් ඔයා ඕවා ඔය විදියට හරි කාට හරි කියවන්න දෙන එක කොච්චර හොඳයිද" කියා කිසිදු ලෝබකමකින් තොරව පැවසූ අයුරු සිහිවන විට ඔබ තුමා කෙරෙහි මට ඇතිවන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි අපරිමිත ගෞරවයකි.




දයාබර මිතුරු මිතුරියනි, එසේනම් අද සිට ඔබේ හයියෙන් මම අලුත් ගමනක් අරඹන්නෙමි. මෙතෙක් ගෙන ආ පෝස්ට් 56ක් පුරා ඔබ මා ළඟින්ම හිඳ මට ලබාදු ශක්තිය ඉදිරියටත් පවතින බව මම දනිමි. එමෙන්ම ඊයේ දිනය මගේ බ්ලොග් එකට ඉතාම වැදගත් දිනයකි. එනම් මගේ බ්ලොග් එක නැරඹුම් වාර 10000ක් පසු කලේය. ඒ ඔබගේ ශක්තියෙනි. එය මා හට මෙතරම් විශේෂ වුවද යමෙකුට ඉතා සුලු කරුණක්ද විය හැක. නමුදු මෙය මට මහමෙරකි. හිට්ස් 150ක් පමණ තිබූ මුල්ම කාලයේ සඳරුගේ හිස් අහස දුටු විට මං ගැනම ලැජ්ජා සිතුනි. එහි වූයේ අංක හතක සංඛ්‍යාවකි. නමුදු සිංහල බ්ලොග් කලාව පිළිබඳ කරුණු කාරණා මම උගෙන ගත්තෙමි.

එසේනම් අදසිට මා වටා වූ රාමුව මම ඉවත් කරගන්නෙමි. නව ආරකින් අලුත් ගමනක් අරඹන්නෙමි. මගේ බ්ලොග් එකේ තේමාව, ගීත සහ ඊට සබැඳි සියලු දේවල්ය. නමුදු, ඊට පරිබාහිර මගේ නිර්මාණ ඔබට ගෙන ඒමට මින් ඉදිරියට මම එය බාධාවක් කරගන්නේ නැත. එනිසා සීමාව තවත් පුළුල් වනු ඇත.

මෙයින් අවසන් කරමි. හැමදාමත් මට ශක්තියක් වූයේ මගේ ළඟම රැඳුනු, මගේ ගමනට ආශිර්වාද කරන  දයාබර ඔබයි. මේ වෙනසට මට පාර කියූවේද සහෘද ඔබයි. එනිසා මින් ඉදිරියටත් ඔබේ අදහස් මට රටක් රාජ්ජයක් තරම් අනගියි. ඉතින් ඔබේ යෝජනා, චෝදනා සහ විවේචන මම තව දුරටත් බලාපොරොත්තු වන්නෙමි. 

එන්න අපි කතාකරමු. ඔබේ අදහස් මගේ සාර්ථකත්වයයි.

ස්තූතියි....!

මේ ඔබ වෙනුවෙන් වූ මගේ ආචාරයයි...

"දිවි මගෙහි මෙතෙක් දුර මා සමඟ ගමන් කල.. මා සමඟ සිනාසුනු.. මා සමඟ ඉකිබින්ද.. රසික ඔබ.. මට..කුමුදෙකි..ගඟුලෙකි.. පහනෙකි..පවනෙකි..."

"ඔබ මට කුමුදෙක් මැයි 
ලා සඳේ රෑ පිපී ආ..,
ඔබ මට ගඟුලෙක් මැයි 
සා පිපාසා නිවා ආ..,
ඔබ මට පහනෙක් මැයි 
මාසේ පෝදා දිලී ආ.,
ඔබ මට පවනෙක් මැයි 
ගිම් සමේහී හමා ආ

ඔබ මට පැණසෙක් මැයි
මා දෙසේ දොස් දකින්ටා
ඔබ මට අවියෙක් මැයි
ඒ දෝසේ මුල් සිඳින්ටා
ඔබ මට බුදදස් මැයි
රෝග පීඩා සොයන්ටා
ඔබ මට ඔසුවෙක් මැයි
රෝ නිධානේ තබන්ටා"


ගීතය මෙතනින් download කරගන්න...
(Oba Mata Kumudekmei - Nandamalini)