Pages

Sandumal

Sandumal

Friday, May 23, 2014

•වියලී ගිය දෙතනේ නැත කිරි බිඳුවක් එරුණේ

"කප පවතින තුරු නොනිමෙන සුසුමෙන් සමුගැනුනේ"





ශ්‍රී ලංකාව යනු ඉතාම දරුණු ලෙස සාමාජීය හා ආර්ථික වශයෙන් පරිහානියට පත්ව ඇති තවමත් සංවර්ධනය වෙමින් පවතින තුන්වන ලෝකයේ රටකි. කවුරුන් විසින් කිනම් ආශ්චර්‍යක් ගැන කතාකලද කටුක සත්‍ය වන්නේ මෙයයි. මෙම දූපතෙහි වාසය කරන්නන් වශයෙන් අප අත් ඔසවා ඉතා නිහතමානීව මෙම සත්‍යය පිළිගත යුතුය. අද මවිසින් ඔබවෙත ගෙන එනු ලබන ගීතයේ සාකච්ඡා වනුයේ මෙම සමාජ ක්‍රමය තුල අපේ සමාජය මුහුණ පෑ සහ මේ මොහොත වනතුරුත් මුහුණ පාන්නාවූ කටුක ඛේදවාචකයක එක් පැතිකඩකි.

සාකච්ඡා කලයුතු බොහෝ කරුණු කාරණා ඇති බැවින්ද, එම කරුණු ගීතය තුලම සාකච්ඡා කිරීම වඩා සුදුසු හෙයින්ද අපි ගීතය සඳහා යොමුවෙමු. දයාසේන ගුණසිංහ නම් වූ අදීන මාධ්‍යවේදියා අතින් බිහිවූ, ගුණදාස කපුගේ නම් මානවවාදී ගායකයාණන්ගේ සහ අප හදවත් තුල සදා අමරණීයව සිටින් ගී කෝකිලාවක් වන විශාරද මාලිනී බුලත්සිංහලයන්ගේ හඬ පෞර්ෂ්‍ය මුහුවූ මෙම ගීතය ඛෙදනීය සමාජ ව්‍යසනයක් පිළිබඳ හඬ නඟනුයේ රසික අප ප්‍රකම්පනයට පත් කරමිනි. ඒ.. පවතින බිඳ වැටුනු ආර්ථිකය හමුවේ අවිහිංසක දියණියකට අහිමිවන සදාතනික මව්පිය සෙනෙහසත්, අසරණ යුවලකට අහිමි වන දාරක සෙනෙහසත්ය.

"වියලී ගිය දෙතනේ නැත කිරි බිඳුවක් එරුණේ
වැහැරී ගිය උකුලේ නැත සුව යහනක් සැදුනේ
කප පවතින තුරු නොනිමෙන සුසුමෙන් සමුගැනුනේ
හිරු ගිලිහෙන මොහොතක නුඹ මඟ අයිනක රැඳුනේ"

දයාබර පියෙකු මේ පවසන්නේ කිනම් වූ ශෝකාන්තයක්ද. අලුත ළදරුවෙකු බිහිකල තම ආදරණීය ප්‍රියාවිය දෙස ඔහු බලා හිඳියි. ඔහුට දිස් වන්නේ නැවුම් ක්ෂීරයෙන් පෝෂණීයව පිරිපුන් වූ ළය මඬලක්ද? තම සිඟිති දියණිය වෙනුවෙන්ම පේවී සිටින තොටිල්ලක් වන්වූ සුවපහසු උකුල්තලාවක්ද? නැත. ඔහුගේ නෙතට දිස් වන්නේ කිරි කඳුලකුදු නොම එරුණු වැහැරී ගිය ළපැත්තකි. දර ඉපලක් සේ වැහැරී ගිය උකුල් තලයකි. ඇගේ පියබඳ තම දයාබර දියණියට සුව යහනක් නොවන බව ඔහු දනී. ඇයව පෝෂණය කිරීමට තබා තම බිරියට යන්තම් පණ ගැටගසා ගැනීමට තරම්වත් හයියක් ඇයට නැතිබව ඔහු දකී. ඇයට මෙසේ වූයේ මංද. ඔහුට ඇයව පෝෂණය කිරීමට තරම් සවිමත් ආර්ථිකයක් නොමැති වීමයි. සමහර විට ඔහු කුලී කරුවෙක් වියහැක. නැතිනම් නාටාමිවරයෙක්, කම්කරුවෙක්, කරණවෑමියෙක්, කතුරු මුවාත් තියන්නෙක්, සපත්තු මසන්නෙක් හෝ මේ කුමන ආකාරයේ හෝ පීඩිත පංතියේ මිනිසකු වන්නට ඇත. එනම් ඔබේත් මගේත් පංතියේ මිනිසෙකු වන්නට ඇත. කෙසේ හෝ ඔහු දුප්පතෙකි. ඔහුගේ මෙම දුප්පත් බවට ඇත්තටම වගකිව යුත්තේ ඔහුද? නැත්නම් ඇයද? නැත්නම් මේ උපන් ලේ කිරි කැටියාද? එසේත් නොමැතිනම් රට කරවන න් අපට දායාද කල සමාජ ක්‍රමයද?

කෙසේ හෝ ඇයටත්, ඔහුටත් වැටහෙන කරුණ නම් මේ සිඟිත්තිය ජීවත් කරවීමට තරම් වත්කමක් තමන්ට නොමැති බවයි. තමාට අත්වී තිබෙන මේ නිරාදුක, මේ පීඩිතභාවය ඇයට අත්වනු දැකීමට, මතු යම් දිනෙක ඇයද මේ නරාවලට ඇදවැටී දුක් විඳිනු දැකීමට, මේ උතුම් මාපිය යුවල කැමති නොවෙත්. ඒ අනුව අවසානයේ ඔවුන් ගන්නා තීරණය කුමක්ද? කෙතරම් දුකක් වුවද දරාගත නොහැකි වුවද ඔවුන් අමාරුවෙන් හෝ ගත යුතුම හොඳම තීරණය ගනී. ඒ ඇය කෙරෙහි ඔවුන්ගේ හදවතෙහි පිරී ඉතිරී යන ආදරය නිසාම වේ. ඒ අපරිමිත සෙනෙහස වෙනුවෙන් ඔවුන් ඔවුන්ගේ සතුට කැපකරති. ඔවුහු දුක දරාගනිති.

දියණියගේ අනාගත සුබසිද්ධිය උදෙසා ඔවුන් ඇගෙන් ඈත් වී ඇයට සුන්දර ලෝකයක් තනාදීමට තීරණය කරයි.

"කප පවතින තුරු නොනිමෙන සුසුමෙන් සමුගැනුනේ
හිරු ගිලිහෙන මොහොතක නුඹ මඟ අයිනක රැඳුනේ"

දියණියගේ වෙන්ව යාම ඔවුන්ට එසේ මෙසේ දුකක් නොවේ. එය කල්පය පවතින තුරුත් නොනිමෙන වේදනා ගින්නකි. එසේ වුවද ඒ ගින්නෙහි දැවෙමින් ඔවුන් තම දියණිය අතහැර යයි.




මෙම අතැර යාම රචකයා පවසන අයුරු තරමක් සංකීර්ණ බවයි මගේ හැඟීම. එම පැදියෙහි අඩංගු සරල වචනාර්ථය සැලකූ කල රචකයා පවසන්නේ මෙම මාපිය යුවල මේ සිඟිත්තිය මඟ අයිනක දමා යන බවකි. නමුත් ගීතයේ මීළඟ කොටස අසන විට දරුවා මඟ අයිනක දමා ගියද, ඔවුන් දරුවාගේ ඉරණම, එනම් දරුවා කා සතු වූවාද යන වග හොඳින් දන්නා බව පෙනේ.

මෙම යුවල තම සිඟිත්තාට දක්වන අසීමාන්තික සෙනෙහස ගීතය පුරා දක්නට ලැබෙන හෙයින් ඔවුන් මේ බිලිඳා මෙලෙස මහමඟ දමා යනු ඇතැයි සිතිය නොහැක. සමහර විටෙක ඔවුන් තම බිළිඳා මහ මඟ අයිනක තබා ඇය නිරුපද්‍රිතව කා අතට හෝ පත් වන තුරු සැඟව බලා සිටියා විය හැක. නමුදු මෙම වචන කිහිපය තුල ඉන් එහා ගිය වඩා ගැඹුරු අරුතක් පවතී යැයි සිතීමට මා වඩා කැමතිය. මා විස්වාස කරන අන්දමට රචකයා "හිරු ගිලිහෙන මොහොතක" යන ප්‍රකාශයෙන් අර්ථගැන්වීමට උත්සාහ කරනුයේ එම දයාබර සිඟිත්තිය පත්ව ඇති අසරණභාවය, පිළිසරණක් නොමැති බව වීමට හැකිය.

හිරු නොමැති ලොවක් යනු කිසිදු ජීවයක් නොමැති පිළිසරණක් නොමැති ඉසව්වකි. මීළඟට "මඟ අයිනක රැඳුනේ" යනු ඒ සිඟිත්තියගේ ජීවිතයට එල්ලවී ඇති තර්ජනය විය හැක. මහ මඟක් යනු සෑම විටම දූවිල්ලෙන්, පීඩාවෙන් සහ යනෙන වාහන වලින්, මනුසතුන්ගෙන් අනාරක්ෂිත වූ ස්ථානයකි. ඇගේ ජීවිතයට පවතින අනාරක්ෂිත බව නිරූපණයට රචකයා මෙම සංඛේතය යොදාගත්තා විය හැක. එම නිසාම මෙම තත්වය තුල ඇයව හදා ගැනීමට වෙනත් දෑතකට ඔවුන් විසින් බාරකලා වියහැක. වඩාත්ම සාර්ථක අර්ථදැක්වීම මෙය විය හැකි බවයි මගේ අදහස.




කෙසේ හෝ මේ සදාතනික මවුපිය සෙනෙහසින් ඇයට වෙන්වීමට සිදුවෙයි. පවත්නා විශම සමාජ ක්‍රමය විසින් දරු සෙනෙහස මාපියන්ගෙන් ඈත්කරනු ලැබේ.

මෙම සමාජ ඛේදවාචකය ඉතාම මැනවින් ගීතයේ මීළඟ කොටසින් නිරූපණය කරයි.

"උපන් බිමට නුඹ වැඩිවා මිසක දුවේ
වැදූ මවට නුඹ වැඩියක් වේද දුවේ
දුක උහුලා ඉන්නට මට හැකිය දුවේ
නැවු නැඟිලා දුරු රටකට යන්න දුවේ"

මේ අහිංසක මාතාව මේ පවසන්නේ කුමක්ද? ඇය හඬ නගා මෙසේ පවසයි. "මගේ රත්තරන් දුවේ අසරණ අම්මට සමාවෙයන්. උඹව මෙහෙම දෙන්නෙ උඹේ අම්ම වෙච්ච මට උඹව වැඩිවෙලා නෙවෙයි. උඹව වදාපු උඹේ අම්මට උඹව වැඩියක් නෙවෙයි. ඒත් දුවේ මේ රටට උඹ වැඩියිලු. මේ රටට උඹ බරක්ලු. ඒකයි දුවේ උඹව මෙහෙම වෙන දෑතකට දෙන්නෙ. මගෙ රත්තරන් වෙනුවෙන් මං මගේ දුක කොහොමහරි උහුලගෙන ඉන්නම්.  උඹව බර වැඩි මේ රටින් පිටමං වෙලා පලයං මගෙ දුවේ.."

මේ තමයි මේ අසරණීගෙ විලාපය. තමන්ගෙ දයාබර දියණියගේ මුව මඬල අවසන් වතාවට සිපගෙන ඇය කීව කතාවයි ඒ. ඇත්තටම මේ කාළකන්ණි රටට මේ ජීවිතය ජීවත් කරන්න තරම් වත්කමක් නොතිබුනා මිසක් මේ උතුම් අම්මට ඇගේ දියණිය බරක් වෙලා නෙවෙයි, ඇයව හදාගන්න නොරටුන්ට දුන්නෙ. ගීතයේ මේ කොටසෙ අවසානෙදි තමයි ඇයව හදාගන්න දුන්නෙ පිටරටක යුවලකට බව කියවෙන්නෙ.

දයාබර රසිකයිනි, මෙහෙවු රටක් තුලයි ඔබත් මාත් ආශ්චර්‍ය පිළිබඳ තොල් මතුරමින්, සිහින දකිමින් ජීවත් වන්නෙ.රට මහජනතාවගෙනම්, මහජනතාව අයිති රජයටනම්, සෞඛ්‍ය සේවය නොමිලේනම්, අධ්‍යාපනය නොමිලේ නම්, දරු පරපුර අයිති රටට නම් ඇයි අපේ දියණියන් හදාගන්න පිටරටට යවන්නෙ? ඇයි අපේ දරුවන් අරාබියේ වලං හෝදන්නෙ? ඇයි අපේ පියවරුන් තමන්ගෙ දරුවන් ගඟට වීසිකොට ඔහුගේ දිවියද ගඟට බිලිදෙන්නෙ? ඇයි අපේ මවු වරුන් දයාබර දරු පැටවු කළු ගඟේ පාකරන්නෙ? ඇයි දයාබර පියවරුන් ගෙයි මැද මිනීවලවල් කපන්නෙ, තමන්ගෙ ලෙයින් ජාතක වුන දරුවන් මරා වළලන්න?
ඇයි අපේ දියණියන් පාසලේ සේවා පහසුකම් ගාස්තු ගෙවාගත නුහුණුව ගෙල වැළලාගන්නෙ? ඇයි ඔවුන් දෙපයට මිරිවැඬි නොමැතිව මරු තුරුලට යන්නෙ? අපට කියනු ලබන, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය, සීඝ්‍රයෙන් දියුණුවන ආර්ථිකය මේ සිරිලක පවතීනම් එදත් අදත් ඔබටත් මටත් මෙවැනි දේ ඇසීමට දැකීමට ලැබීමෙහි පව, කරුමය කුමක්ද? ඒ ඔබත් මාත් මුලාවී සිටින, මේ පවතින සමාජ ක්‍රමයයි. පවතින බිඳ වැටුණු ආර්ථිකයයි.

ගීත විචාරයක් ලිවීමට යතුරු පුවරුව මත  දෑඟිලි වෙහෙසවූවද මටත් නොදැනී මා ගීත විචාරයෙන් පරිභාහිරව සෞම්‍ය වචන වෙනුවට කටුක වදනින් ඔබට මේ පැවසීමට උත්සාහ කරනු ලැබුවේ පවතින ක්‍රමය හමුවේ අපද ඇතුලු සමස්ථ සමාජයම වැටී ඇති අඳුරු අගාධයේ ගැඹුර පිළිඳවයි.

නැවතත් ගීතයට යොමුවෙමු. මීළඟ කොටසින් මේ දයාබර මෑණියන් නොකියා පවසන්නේ තමන්ට තම දියණිය අහිමිකල මේ පවතින සමාජ, ආර්ථික ක්‍රමයට තමන් කෙතරම් වෛර කලද, ඇය මෙම රටට (වරදවා වටහා නොගන්න, ඇය මේ පවසනුයේ මේ සමාජයවත්, මේ පාලක පංතියවත්, පාලන ක්‍රමය ගැනවත් නොව, මේ පිං බිම ගැනයි. එනම් ශ්‍රී ලංකාව නම් භූමිය පිළිබඳවයි ) අසීමිතව ආදරය කරන බවයි. එනම් මේ උතුම් බිමෙහි ඉපදීමට ලැබීම පෙර පිනක් ලෙස ඇය දකියි. ඒත් එක්කම ඇය නඟන පැණය නම්, මෙබිමෙහි ඉපදීමට පිංකර ඇති මුත් ත දියණිය මෙබිමෙහි රැඳීමට වාසනාවන්ත නොමැතිද යන්නයි.

එනම් රට කෙතරම් පිංසාර වුවද රට කරවන හතුරන් විසින් මෙම භූමිය ජීවත් වීමට නුසුදුසු තත්වයට පත්කර ඇති බවයි මෙහි අදහස.

"පෙර කල මහ පිං මහිමෙනි මේ දෙස උපදින්නේ
ඉපදෙනු මිස රැඳෙනා පින ඇයි නුඹ සතු නොවුනේ
දරුවන් ඇස කඳුලින් ළය උණුවන මිනිසුන්ගේ
සරණින් ලොව කොතනක වුව සැනහෙන් දියණියනේ"

කෙසේ වුවද, කෙතරම් කතාකලද, තම දියණියට තවදුරටත් තම මවු රටෙහි දිවිගෙවීමට අවස්ථාව නැතිබවයි පෙනී යන්නෙ. එනිසා අවසාන වශයෙන් ඇය තම දියණියට පවසන්නේ මෙයයි. "දරුවන්ගේ නෙත් කෙවෙණිවල පැනනඟින කඳුලු කැට දැක තම ළය තෙත් කරගන්නා සංවේදී මිනිසුන් සෙවනේ ලොවේ කොතැනක හෝ යස ඉසුරින් තුටින් කල් ගෙවන ලෙසයි." කෙසේ වුවද මෙම ප්‍රකාශනයට අනුව අපටද සැනසුම් සුසුමක් හෙළිය හැකිවන්නේ රචකයා පවසන පරිදි ඇයව හදාගැනීමට දී ඇත්තේ ඉතාම සංවේදී හදවත් ඇති දරුවන්ට අසීමිතව ආදරය කරන විදේශීය යුවලකට බව හැඟී යන හෙයිනි.

එසේනම් එම මාපිය දෙපලට මෙන්ම අපටද හිත හදාගත හැකිවනු ඇත. මේ අනුව ඇගේ අනාගතය සුරක්ෂිත බව පැහැදිලිය.

ගීතයේ අවසාන කොටසින් සංවේදී හදවත් ඇත්තවුන්ගේ දෑසට කඳුලක් නංවන, දයාබර පියෙකුගේ අහිංසක පැතුමක්, බලාපොරොත්තුවක් පිළිබඳව කියවෙයි.

"මතුයම් දිනක සිතිවිල්ලෙන් සිටින සඳ
දෑතක පහස සිහිනෙක මෙන් දැනේවිද
සිතියම් පොතින් ලොව විමසා බලන සඳ
කඳුලක හැඩය මහ සයුරේ දකීවිද"

තම දයාබර දියණිය මෙම සුදු යුවල සමඟ සියලු සැප සම්පත් සමඟින් කෙමෙන් වැඩෙනු ඇත. ඒ සමඟම ලාබාල ඇගේ මනසෙහි සිහින සිතුවමක් සේ පැවති තම සැබෑ මා පියන් පිළිබඳවූ මතකය, තම මවු රට පිළිබඳවූ මතකය, කෙමෙන් කෙමෙන් වි‍යැකී මැකී යනු ඇත. නමුදු පියාණන්ගේ සිත තුල ඉතාම සියුම් බලාපොරොත්තුවක් පවතී. එනම් මෙලෙස උදාවෙන යම් දිනයක, තමා සදාදරණීය දියණිය උස් මහත්වූ ඒ අනාගතයේ දිනයක, සිහිනෙන් ගෑ සුවඳක් මෙන් හෝ සුපුරුදු දෑතක පහස, නුපුරුදු ලෙසකින් හෝ ඈට දැනෙනු ඇතිද යන්නයි. එනම් කිරිකැටි බාල වියේ අහිමිව ගිය මා පි සුවඳ ඇයට යම් දිනෙක යළි සිහිවනු ඇතැයි ඔහු සිතයි. 

එපමණක්ද නොව. අනාගාතයේ දිනයක ඇය වැඩුණු දියණියක් වනු ඇත. ඇය අධ්‍යාපනය ලබනු ඇත. ඇය සිතියම් පොතින් ලෝකය පිළිබඳ සොයනු ඇත. එවන් දිනයක ඉන්දියන් සාගරයේ කඳුලක හැඩය ගත් කුඩා දූපතක් ඇය නෙත් ගැටෙයිද? ඒ, තමන් උපන් දවස් වල තමන් රටට වැඩියැයි රටින් නෙරපාලූ දේශය බව ඇයට සිහිවනු ඇත්ද? 




මේ පුංචි දූපත තුල තමන්ගේ අතීතය සැඟවී ඇතැයි ඇය සිහිනෙකින් හෝ සිතනු ඇත්ද?

ගීතයේ මෙම අවසන් කොටසද ඉතාම ප්‍රබලව හදවතට කිඳා බසී. රචකයා මෙහිදීද අපේ රටට අත්ව ඇති අභාග්‍ය එකම එක වචනයකින් හිතට දැනෙන ලෙස ප්‍රකාශ කරයි. බොහෝ කවියන්, බොහෝ උගතුන් අපිට මෙම දිවයින දැකීමට හුරුපුරුදු කලේ මුතු ඇටයක් ලෙසයි. එනිසා ඉන්දියන් සාගරයේ මුතු ඇටය, පෙරදිග මුතු ඇටය, මේ ආදී වශයෙන් විවිධාකාරවූ අතිශය වටිනා වස්තූන් වලට උපමාකරමින් අපේ රට දැකීමට ඔව්හු අපට හුරු කලෝය. විවෘත ආර්ථිකය නම් වූ දෙපැත්ත කැපෙන ආයුධය අප රටට ලැබුනු සමයෙන් පසුව, ඇත්තටම මේ "ඇට" කිසිවක් අපේ රටට උපමා කිරීමට හැකිතරම් සුදුසු බවක් ඉන් පසුව අප පාලනය කල ඇත්තන් රටට ලබා නොදුන්නේය. නමුදු ඔවුන් හැමදාමත් උත්සාහ කලේ මුතු ඇටයක් අපට පෙන්වීමටය. අපිද ඊට යහමින් රැවටුණෙමු. නමුදු ගීතය තුලින් රචකයා අප දෑස් බැඳි කඩතුරා ඉරාදමමින් අපට සත්‍ය පසක් කරවීමට සමත් විය. සිතෙහි හටගන්නා මෙම හැඟීමත් සමඟම ගීතය අවසාන වන මොහොතේ උස් හඬින් වැයෙන ශ්‍රී ලංකා ජාතික ගීයෙහි "ශ්‍රී ලංකා මාතා" යන කොටස ශ්‍රවනය වත්ම සියුම් හිරිවැටීමක් සිරුර පුරා දිවයන්නේ අපේ මවුබිමට උරුමව ඇති ශෝකාන්තය පිළිබඳව ඉතාම සංවේගජනක හැඟීම ගොන්නක් සමඟිනි.





කෙසේ වුවද ඇත්ත වශයෙන්ම අපේ මවු බිම මුතු ඇටයක්ද, එසේත් නොමැතිනම් කඳුලු බිංදුවක්ද යන වග තීරණය කිරීමට ඔබට බාර කරමින් මම මේ සටහන මෙතෙකින් අවසන් කරන්නෙමි.







"වියලී ගිය දෙතනේ නැත කිරි බිඳුවක් එරුණේ
වැහැරී ගිය උකුලේ නැත සුව යහනක් සැදුනේ
කප පවතින තුරු නොනිමෙන සුසුමෙන් සමුගැනුනේ
හිරු ගිලිහෙන මොහොතක නුඹ මඟ අයිනක රැඳුනේ

උපන් බිමට නුඹ වැඩිවා මිසක දුවේ
වැදූ මවට නුඹ වැඩියක් වේද දුවේ
දුක උහුලා ඉන්නට මට හැකිය දුවේ
නැවු නැඟිලා දුරු රටකට යන්න දුවේ

පෙර කල මහ පිං මහිමෙනි මේ දෙස උපදින්නේ
ඉපදෙනු මිස රැඳෙනා පින ඇයි නුඹ සතු නොවුනේ
දරුවන් ඇස කඳුලින් ළය උණුවන මිනිසුන්ගේ
සරණින් ලොව කොතනක වුව සැනහෙන් දියණියනේ

මතුයම් දිනක සිතිවිල්ලෙන් සිටින සඳ
දෑතක පහස සිහිනෙක මෙන් දැනේවිද
සිතියම් පොතින් ලොව විමසා බලන සඳ
කඳුලක හැඩය මහ සයුරේ දකීවිද"


පද රචනය - දයාසේන ගුණසිංහ
සංගීතය - ගුණදාස කපුගේ
ගායනය - ගුණදාස කපුගේ / මාලනී බුලත්සිංහල



ගීතය මෙතනින් download කරගන්න...
(Viyalee Giya Dethane - Gunadasa Kapuge / Malini Bulathsinhala)








(සියලු ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි.)


                     ගීත විචාරය,
                                                 -මනෝෂ් සඳරුවන් (සඳුමල්)




***************************************************************************

පසුව ලියමි

ගියවර පෝස්ට්ටුවෙන් පොරොන්දු වූ පරිදි අද මා ඔබ වෙත මෙලෙස ගෙන ආවේ මාගෙ දෙවැනි ස්ව්යං ගීත විචාරයයි. ඔබට මාගෙ පළමු ගීත විචාරය මඟහැරුනි නම්, මෙතනින් ගොස් එය රසවිඳින්න.

ගීත විචාරයට පසුව මෙලෙස පසු සටහන් තැබීමට සිත් වූයේ මෙම විශිෂ්ඨ ගීතයේ රචකයාණන් පිළිබඳව යමක් සාක්ච්ඡා කල යුතුම බැවිනි. විචාරය තුල එවැන්නකට ඉඩප්‍රස්ථාවක් නොවූ හෙයින් මෙම ඉඩ මම ඒ සඳහා ප්‍රයෝජනයට ගනිමි.

ඉහතින් සඳහන් කොට ඇති අයුරින්ම මෙම මනරම් ගේය පද රචනාවෙහි නිර්මාතෘවරයා වන්නේ දයාසේන ගුණසිංහයන්ය. මෙතුමා ඔබට නුහුරු නුපුරුදු චරිතයක් නොවන්නේ ඔහු කවියෙකු පමණක් නොව ප්‍රවීන පුවත්පත් කලාවේදියෙකු, නො එසේනම් මාධ්‍යවේදියෙකු වන හෙයිනි. මෙම නිර්මාණය සැලකීමේදී ඇත්ත වශයෙන්ම මෙම රචනය ගීතයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුවකින් සිදු වූ නිර්මාණයක් නොවේ. මේ කවි පංතියකි. මේ කවි පංතිය අඩංගු වනුයේ ඔහු විසින් ලියා පළ කරන ලද "නොවඳිමි සිදුහත්" කාව්‍ය සංග්‍රහය තුලයි.

පසු කලෙක ගීතයක් බවට පරිවර්ථනය වූයේ මෙම කාව්‍යයි. ඒ ගුණදාස කපුගේ ශූරීන් අතිනි. ඒ මෙම ගීතයේ උප්පත්ති කතාවයි.

දයාසේන ගුණසිංහයන් අපිට වැදගත් වනුයේ ඔහු කවියෙක් වූ නිසාම පමණක් නොවේ. ඔහු මාධ්‍යවේදියෙකි. නිකම්ම නිකන් මාධ්‍යවේදියෙකු නොව ප්‍රතිභාපූර්ණ, අදීන මාධ්‍යවේදියෙකි. 1950 දශකයේ අගභාගයේ පෙරාදෙණිය සරසවියෙන් ගෞරවවේදී උපාධියක් ලබා අධ්‍යාපනය හමාර කල මෙතුමා ඉන් පසු ගුරුවරයෙකු ලෙස තම වෘත්තීය දිවිය අරඹයි.

අනතුරුව ඔහු මාධ්‍යවේදියෙකු ලෙස කල එළි බසිනුයේ ප්‍රථමයෙන්ම "දිනමිණ" පුවත්පත හරහාය. (අපේ සහෘද බ්ලොග් සඟයෙකු, මාධ්‍යවේදියෙකු වන නලීන් සොහොයුරා මෙතුමන් සමීපව ඇසුරු කරන්නට ඇත.) පසු කලෙක දිවයින ඉරිදා සංග්‍රහයේ ආරම්භක කතෘ වූයේද මෙතුමායි. පුවත්පත් කලාව, කලාවක් කරගනිමින්, පෑන තම අවිය කරගත් මේ අදීන මාධ්‍යවේදියා කිහිප විටක්ම පැවති පාලනය යටතේ දණ්ඩනයට ලක්වූයේ ඔහු තුල තිබූ මෙම අදීන ගුණාංග නිසාවෙනි. ඔහු කිසිවෙකුටත් වහල් නොවූ නිවහල් මාධ්‍යවේදියෙකි. සමාජයට ආදරය කල ජනතාවාදී මාධ්‍යවේදියෙකි.

ලේක් හවුස් ආයතනයේ රාජකාරි කරන සමයේ මෙතුමා විසින් නිර්මිත "රන් තැටියක කඳුලු" කව්‍ය සංග්‍රහය සඳහා රාජ්‍ය සම්මාන හිමිවිය. තවද මෙතුමා කෙටිකතා කරුවෙකු ලෙසද තම ප්‍රතිභාව නංවාගත් අයෙකු විය. 1986දී පළවූ "කැනල් පාරෙ නිශාචරයෝ" කෙටි කතා සංග්‍රහය රාජ්‍ය සම්මානයට පාත්‍ර විය. එතුමාගේ අනෙක් කෙටිකතා එකතුව වූයේ "කේතුමතී හෝටලයේ රාත්‍රියක්" නම් කෙටිකතා සංග්‍රහයයි. කාව්‍යකරණයෙන්, කෙටිකතාකරණයෙන් නතර නොවූ මේ මිනිසා, විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යටද යොමුව ඇත. එහිදී එතුමන් විසින් " නිල් තාරකාවට ගිය තිදෙනා" නමින් විද්‍යා ප්‍රබන්ධයක්ද අපට තිළිණ කොට ඇත. ඔහු ඉන් නොනවතී. අනතුරුව ඔහු පරිවර්ථන කෘතියක්ද එලිදක්වා ඇත. ඒ "චිනුවා අචේබ්" නම් අප්‍රිකානු ලේඛකයාගේ "A Man Of The People" කෘතිය, "පොදු ජනයාගේ මිනිහෙක්" නමින් සිංහලට පරිවර්ථනය කරමිනි. ගුණසිංහයන් මෙම කෘතිය තුලින් ලාංකීය සමාජ ක්‍රමය වෙනස් කර බිඳ වැටුනු ආර්ථිකය, සමාජය යළි ගොඩනැංවීම කෙරෙහි  ප්‍රගතිශීලී නව සමාජ ව්‍යාපාරයක් ගොඩනැංවීමේ අවශ්‍යතාවය දැඩිව පෙන්වා දී ඇත. නිරතුරුවම සමාජය හා ගැටෙමින් පීඩිතයාගේ දුක, ඔහුගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න කරගනිමින් පෑන හැසිරවූ මේ උත්තරීතර මිනිසා මේ නිසාම පැවති පාලනයන් විවේචනය කිරීමේ වරදට දැඩි මර්ධනයකට මුහුන දුන්නේය.

එනිසාම ඉතා වෙහෙස මහන්සියෙන් අනුපමේය කැපවීමෙන් ඔහු බිහිකල දිවයින පුවත්පත් ආයතනයේ දොරටුවද මේ උදාර මාධ්‍යවේදියාණන් හට වැසෙනුයේ ඔහු අන්ත කලකිරීමට පත් කරවමිනි.
මිල මුදලට, වරප්‍රසාද වලට තම පෑන මෙහෙය නොවූ මේ මිනිසා සමාජය තුල සැබෑ මාධ්‍යවේදියෙකුගේ ප්‍රතිමූර්තිය ගොඩනැඟූයේ එදත් අදත්, නිවටයින් සේ පාලකයන්ගේ කටු ලෙවකමින්, උන් අබියස දනින් වැටී උන් වෙනුවෙන් ප්‍රශස්ති ලිවීමට තම පෑන හසුරුවන, තමන්ගේ පංතියේ මිනිසුන් අමතකකර තම මාධ්‍ය වගකීම බල්ලට දැමූ අමන "පත්තර කාරයන්හට" සැබෑම පුවත්පත් කලාව මේ යැයි හඬගා කියමිනි. එනිසා එතුමන් වැනි මිනිසෙකු අතින් නිර්මිත ඉහත ගීතය පිළිබඳ අප පුදුමවිය යුතු නැත.

කෙසේ වුවද මේ මහා මාධ්‍ය සෙන්පතියා අපෙන් වියෝ වී මේ වන විට වසර 18ක් පමණ ඉක්ම ගොස් ඇත. නමුත්, තවමත් ඔහු අප අතර ජීවමානව හිඳිමින් අපට පෙන්වනුයේ රට තුල කෙමෙන් වියැකී යන මාධ්‍යවේදීන්ගේ වගකීම යළි නඟාසිටුවිය යුතු බවයි. පාලකයන් වෙනුවෙන් නොව, ජනතාව වෙනුවෙන් සිදුකරන්නාවූ, පාලකවාදී නොව ජනතාවාදී වූ මාධ්‍ය මෙහෙවරක අඩුව එදාටත් වඩා තදින් අපට අද දැනෙමින් පවතී. එනිසා මේ මොහොතේ අප ප්‍රාර්ථනා කල යුත්තේ රටේත් ජනතාවගේත් අනාගතය උදෙසා අපේ දයාබර මාධ්‍ය සහෘදයන්ගේ නෙත් දැන්වත් විවර වේවා කියායි.


36 comments:

  1. ගීතයකින් මේ වගේ දෙයක් ළයාන්විතව ගැයෙනකොට සමාජ ඛේදවාචකයන් තවත් හොඳින් අපට දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක හරි අජිත්. ගීතයකින් වෙන්නෝනිත් ඒකම තමා. එතකොට අපි ඒ ගැන ඊටවඩා හිතන්නත්, ඒ වෙනුවෙන් යමක් කරන්නත් පෙළඹෙනවා. ඒක තමයි ගීතයකින් සිදුවෙන සමාජ මෙහෙවර.

      Delete
  2. සමාජ විශමතාව බහුලවම මුණගැහෙන්නෙ ආසියාකරවයන්..
    අපේ මිනිස්සු කියනව හැම එකාටම ස තැං තියනව කන්න අදින්න තියෙනව බතිං බුලතිං ආඪ්‍යායයි අරකයි මෙිකයි...
    ඇත්තටම ඇන්දවීම හා මිත්‍යාව වැපිරීම අතිං අපි එක..
    අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්න වුං අනන්තයි උංට හොදක් කරපු එවුං නැති තරං... උංගෙ දුක විකුණං කෑව මිසක

    අපුරු නිර්මාණයක්... හිතට දැනෙන සංගීතයකට ලයාන්විත කටහඩවල් ද්වයක් මගින් කල අගනා නිමැවුමක්
    දුප්පතාගේ සෝකාන්තය හැමදාම..
    විචාරය පට්ට... ඇත්තටම වෙනද ඒවට වඩා හොදා මට නම්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අතීතෙ ඉඳලම උනේ ඒ ටික තමයි මහී. උන් අපිව හොඳට ඇන්දුවා. අපිත් හොඳට ඇන්දුනා. වැඩේ කියන්නෙ දයාබර ජනතාවත් හරිම කැමතියි මේ ක්‍රියාවලියට. එයාල හරිම ආසයි අඳින්න, රැවටෙන්න. ඒ එයාල පුරුදු උන හැටි. පාලකයො පුරුද් කරගත්ත හැටි.

      \\අපේ මිනිස්සු කියනව හැම එකාටම ස තැං තියනව කන්න අදින්න තියෙනව බතිං බුලතිං ආඪ්‍යායයි අරකයි මෙිකයි...
      ඇත්තටම ඇන්දවීම හා මිත්‍යාව වැපිරීම අතිං අපි එක..
      අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්න වුං අනන්තයි උංට හොදක් කරපු එවුං නැති තරං... උංගෙ දුක විකුණං කෑව මිසක//

      මේ කියමන ගැන මං ඔබත් සමඟ සපුරා එකඟ වෙනවා. මේක තමා උනේ. අදටත් වෙන්නෙම මේක තමා. තියෙන ඔක්කොම නැතිකරල අන්තිමේදී "දේශප්‍රේමීත්වය" කියන තොන්ඩුව මිනිස්සුන්ගෙ බෙල්ලට දැම්මම උන් හොඳටම ඒකෙ හිරවෙනවා. ආයෙ කට අරින්නෙ නෑ. මිනිස්සු තේරුම්ගන්නෝනි තමන් රැවටිලා කියල ඉස්සරෝම. ඒකට හොඳ මාර්ගයක් මෙවැනි ගීත රසවිඳින එක. එතකොට අපිට තේරෙනවා සමාජයේ සැබෑ තත්වය. අපේ බොක්කටම වදිනවා අපිට වෙලා තියෙන දේ. ඒනිසා මේ ගීත තරුණ පරම්පරාව අතරට යන්නෝනි. එතකොටයි ඔවුන් අලුතින් හිතන්න පටන්ගන්නෙ. නමුත් ඒක වෙන්නෙ නෑ. තරුණ පරම්පරාව හරසුන් ගීත අතර තනිකරල ඔවුන් සුරංගනා ලෝක වල පාකරල පාලකයො කිසි බාධාවක් නැතිව හරි අගේට උන්ගෙ ගමන යනවා. තරුණ පරම්පරාව දියාරුවෙලා යනවා. රට කාලකණ්නි වෙනවා. ඕකයි වෙන්නෙ.

      Delete
  3. රචකයා ගැන තොරතුරු ඉදිරිපත් කිරීම ඉතා වටිනවා.. ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. මේ රචකයින් සමාජයට අමතකවෙලා යන්න ඉඩදෙන්න බෑ දේශක.

      Delete
  4. ලස්සන නිර්මාණයක්...
    මහපොලවේ සුවඳ වැඩිපුර දැනෙන පුංච් මිනිහාගේ තත්වය කියාපාන අගනාම නිර්මාණයක්තත

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් විදානෙ, නිර්මාණය මිනිසාට සමීපවෙන තරමට එහි වටිනාකම ඉහළ යනවා. ඇත්තටම මේ සමාජ ඛේදවාචකය එදාට වඩා අදටයි ගැලපෙන්නෙ. ඒකයි නිර්මාණයේ වටිනාකම. සර්වකාලීනයි.

      Delete
  5. මනෝෂ්,

    ඔබේ දෙවැනි ගීත විචාරය. ඉතා සාර්ථකයි. ඇත්තට ම මෙම ගීතය මාගේ පරිඝණකයෙහි ගුණදාස කපුගේ ශූරීන්ගේ ගීත ගොන්න අතර තිබුණ මුත් මීට පෙර එය අසා තිබුණේ නැත. එය මුලින් ම කිව යුතු වන්නේ මේ ගීතය ඔබේ විචාරය තුලින් මා සවන් වෙත යොමු කළ නිසාවෙනි.... දැන් ඒ ගීතයට මා ඉතා කැමතියි.. ඒ ඔබේ විචාරය නිසාය.

    විචාරය ගැන කතා කරාම ඉතා හරවත් කියලා කියන්න පුළුවන්. විශේෂයෙන් ම ඔබ නිකන්ම නිකන් විචාරකයෙක් නෙමෙයි. ඔබ අපි නොදන්නා ගේය පද රචකයෙකු පිළිබද ව ද හදුන්වා දීමක් කරන්නට තරම් තොරතුරු ගවේෂණයකින් පසුව ගීතයක් විචාරය කරන්නෙක් බව ඔප්පු කළේය. මෙවැනි විශ්ලේෂණාත්මක විචාරයක් ඔස්සේ ඔබේ වපසරිය පුළුල් වන බව පැහැදිලි ව පේනවා.

    ගීතය කපුගේ ශූරීන්ගේ කම්පන ප්‍රසංගයට ඇතුළත් වූවක් දැයි මම නොදනිමි. නමුත් ඒ තුළින් ද කියැවෙන්නේ කම්පන තුළින් ඔහු මිනිසුන් වෙත ගෙනා පණිවුඩය ම වේ. රටක පවතින ආර්ථික සමාජ පරිහානිය ගායකයෙකු ලෙස ඔහු සමාජය හමුවේ දිගහරින්නේ ජනතාව අවදිකරමින් රට නිසිමගට ගැනීමේ අවශ්‍යතාවය නිසාය. මෙය ගායකයෙකු ලෙස ඔහුගේ ද රචකයෙකු ලෙස දයාසේන ගුණසිංහයන්ගේ ද සමාජ වගකීම බව සැබෑවකි. නමුත් අද සිටින ගායකයන් සහ ගේයපද (ගේය පද යැයි කීමට ඒවා සුදුසු නොවන්නේ ගැයීමට නොහැකි ඒවා වන බැවිනි) රචකයන්ගේ සමාජ වගකීම කොතැනකදැයි අපට මහත්වූ ගැටළුවක් ඇත්තේ ය.

    ඔබ විසින් ගීතය රූපක මවමින් මනාව විචාරය කොට ඇති අතර //හිරු ගිලිහෙන මොහොතක නුඹ මඟ අයිනක රැඳුනේ// යන්න ඔබ තාර්කික ව විග්‍රහ කරන්නේ දරුවා පිටරටකට යැවීම ගැන ඔවුන් නිශ්චය කරගත් බව ගෙනහැර දක්වමිනි. එය තාර්කික සාධාරනීකරණයක් බවයි අපට හැගෙන්නේ....

    අනෙක් අතට තමන්ගේ දරුවා පිටරටකට හදා වඩා ගැනීමට දීමෙන් ඔවුන් සැනසුන ද ඒ ඔවුන්ගේ දරුවාය. එබැවින් කෙදිනක හෝ තමන් ගැන සිහිපත් කරනු ඇතැයි ඔවුන් බලාපොරොත්තුවෙති.
    //සිතියම් පොතින් ලොව විමසා බලන සඳ
    කඳුලක හැඩය මහ සයුරේ දකීවිද"//
    මේ ඔවුන්ගේ අහිංසක බලාපොරොත්තුවකි................. ඔබ එය මනාවට පැහැදිලි කරයි. ගීතය අවසානයේ යොදා ඇති සිතියම සහ ජාතික කොඩිය ද අවසන් වාදනය සමග මනාව සම්බන්ධ වෙයි. ඉතා අගනා ගීත විචාරයක් මනෝෂ්....

    නැවතත් අප කිව යුත්තක් ඇත. ඒ ඔබ පරිචයක් සහිත ගීත විචාරකයෙකු බවයි. එපමණක් නොව ඔබ ගවේෂණශීලී විචාරකයෙකු බවයි.....................................

    ReplyDelete
    Replies
    1. //ඒ ඔබ පරිචයක් සහිත ගීත විචාරකයෙකු බවයි. එපමණක් නොව ඔබ ගවේෂණශීලී විචාරකයෙකු බවයි.....................................// ++++++++++++

      සම්පූර්ණයෙන්ම එකඟයි.

      Delete
    2. ගී පවුරේ,

      හැමදාමත් මගේ බ්ලොග් එකට ආබරණයක් උනා ඔබ කණ්ඩායමේ අදහස්. ඒ වගේම මගේ මේ ගමනට ඔයාලගෙ අදහස් හැමදාමත් අඩිතාලමක් උආ. ඒ නිසා සේරටම කලිං ඔයාලට ගොඩක්ම ස්තූතියි.

      කාලයක් තිබුන, ගුණදාස කපුගේ ශූරීන්ගේ ගීත එකක් නෑර මං රසවිඳපු. ඒ මං සුභාවිත ගීත රසවිඳීමට පටන්ගත් මුල් දවස් වල. ඒ කාලෙදි තමා මීට කලින් අහල තිබුනෙ නැති මේ ගීතය මටත් අහන්න ලැබුනෙ.ගීතය අහපු පළමු වතාවෙ මං ගල් ගැහුන. ආයෙමත් ඇහුවා. කීප වතාවක්ම ඇහුවා. ගීතයේ අන්තිම කොටස හදවත පතුලටම දැනුනා. මං දන්න හැමෝටම ගීතය අහන්න දුන්න. නමුත් ගීතය ගැන කිසිම තොරතුරක් හොයාගන්න බැරිවුනා. ඊට කාලෙකට පස්සෙ, ඉරිදා ලංකා පුවත් පතේ චන්දන සිරිමල්වත්ත ලියපු ලිපියක් කියවන්න හම්බුනා. බලනකොට ඒකෙ මුලින්ම මේ පැදි පෙල සටහන් කරල තිබුනා. ඒ ලිපියම වෙන්වෙලා තිබුනෙ මේ අසහාය මාධ්‍යවේදියා වෙනුවෙන්. එතනින් මට ගොඩක් කරුණු එකතුකරගන්න පුලුවන් උනා.

      අදටත් මේ ගීතය සවන් වැකෙන හැම මොහොතකම විස්තර කරගන්න බැරි අමුතුම හැඟීමක් හිතට දැනෙනවා. තමන්ගෙ අතීතය නොදත් විදේශීය හුරුවට හැදුනු ලස්සන සුදු කෙල්ලක් පොතකට මූණ ඔබාගෙන කල්පනාකරන සිත්තමක් මගේ හිතේ ඇඳෙනවා ගීතය අවසාන වනවත් සමඟම.

      මං දන්නවා, ගී පවුරෙ රසිකයන් හැමදාමත් මගේ විචාරය අකුරක් නෑර කියවනවා. විචාරය හදවතිම රසවිඳිනවා. තියෙන අඩුපාඩු, හදාගත යුත් තැන්, අගය කල යුතු තැන් මනා කොට මට කියලදෙනවා. ඒකයි වටිනාකම. ඒකයි ඔයාලගෙ කමෙන්ට් මට ආබරණයක් වෙන්නෙ. ඇත්තටම ගොඩාක්ම ස්තූතියි ගී පවුරේ...

      Delete
    3. ප්‍රියා,

      ඇත්තටම සතුටුයි මචං. ස්තූතියි..ස්තූතියි ගොඩක්ම.

      Delete
  6. පට්ට මචං. ඔන්න උඹේ අර බොරු බය බොරුවක්ම කියලා ඔප්පු වෙනවා දැන්. ඔය තියෙන්නෙ ලෙසටම.

    මේකත් මම අහලා නැති ගීතයක් බං. මට නිකමට වගේ හිතුනා මේ කතා කෙරෙන්නෙ වීදි පවුලක් ගැනදෝ කියලා. වීදි පවුලක හැදෙන දරුවෙකු මහමඟදී දැක විදේශීය යුවලක් ඉල්ලාගෙන යාමක්ද කියලා.

    කොහොම උනත් උඹේ රට ගැනයි සමාජය ගැනයි අදහස සෑහෙන්න දැනෙනවා මචෝ.

    සුබ පැතුම්……!!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචං. කොහොමහරි ඉතින් මගේ බය නැතිකරල ගත්තෙ උඹලනෙ. ඒ නිසා දැන් මෙහෙම සාර්ථකවෙනවා.

      ගීතයේ සරලම කතාව ඒක තමයි මචං. විදේශීය යුවලක් ඉල්ලගෙන යනවා මේ දරුවව. අපිට අහල දැනගන්න දයාසේන ගුණසිංහයන් දැන් අපි අතර නෑනේ. ඒත් මචං මට මෙහෙම හිතෙනවා. මේ ගීතයේ ස්වරූපය ගත්තම ටිකක් ආගන්තුකයිනෙ. මේ විදේශීය කතාව නිසා. ඒ නිසා සමහර විට මේ දයාසේනයන් හැබෑවටම අත්වින්ද දෙයක් වෙන්නෝනි. ඒකියන්නෙ, මෙතුමා මගතොටේ යන එනකොට මේවගේ සිදුවීමක් දකින්න ඇති. පාරෙ අසරණව සිටි මේ යුවලගෙන් මේ දරුවව විදේශීය යුවලක් බාරගන්නවා. එහෙමත් නැතිනම් එතුමා මෙවැනි සිදුවීමක් අහන්න ඇති. එතුමාගෙ සමකාලීනයෙක්ගෙන් හරි අපිට මේ ගැන අහල හරියටම දැනගන්න තිබුනනම්..

      Delete
    2. ඇත්තෙන්ම සමහර එය එතුමා ඇසූ දුටු දෙයක් විය හැකියි. මේවා සමාජයෙ අනන්තවත් වෙනවා මචං. අර පහු ගිය ටිකේ ඔහොම ගිය දරුවො දෙමාපියො හොයාගෙන ආවෙත්.

      Delete
    3. ඔවු මචං. ඒක ඇත්ත. මටත් මතකයි, පහුගිය අවුරුදු කීපයේම එහෙම ආව තමා රට ඉඳල ගොඩක් අය තමන්ගෙ අම්මා තාත්තා හොයාගෙන. ජාතික රූපවාහිනියෙ වෙනම වැඩසටහනකුත් ගියා එහෙම සිදුවීමක් ගැන.

      Delete
  7. මස්සිනා, උඹේ විචාරයට සුභපැතුම්.. අති විශිශ්ටයි කියල මුරුංග අත්තෙ තියන්නෙ නෑ..විචාරය රහයි .රචකයා ගැන ලියපු එකට මගෙ සැලියුට් එක යාලුවා..අන්න ඒව නියම යුතුකං ...අද බඩගාන උඹ හෙට පිනුං ගහයි.!! ජයවේවා..දිගට ලියපං..

    ReplyDelete
    Replies
    1. මං දන්නව මචං උඹල මාව මේ තියන්නෙ මුරුංගා අත්තෙ නෙවෙයි කියල. උඹලගෙ මේ ප්‍රතිචාර තමයි මාව මෙච්චර දුර් ගෙනාවෙ.

      මේ රචකයා ගැන ලිවිය යුතුමයි මචං. ඒක යුතුකමකටත් වඩා වගකීමක්. මෙවැනි මිනිසුන් එදා සිටි පාලකයන් විසින් සමාජයෙන් වසන් කලා. ඔවුන් සැඟවී ගියා. නමුත් තවදුරටත් අපට ඔවුන් සඟවා තබන්නට බෑ. ඔවුන් මිය ගියත් ඔවුන් ඉතිරිකල දේවල් දැන්හරි එළියට අදින්නෝනි. ඒවා එදාටත් වඩා අදට ඔබිනවා. අද වෙන්නෙත් එදා දයාසේන ගුණසිංහලාට වෙච්ච දේවල්මයි. අද ඉන්න එවුනුත් සැබෑ මානව හිතවාදීන්, සැබෑ දේශප්‍රේමීන් දේශදෝහීන් විදියට හංවඩු ගහල සමාජෙන් ඈත් කරනවා. ඇත්තම දේශද්‍රෝහීන්, සමාජ විරෝධීන් ටික දේශප්‍රේමියො විදියට අපිට පෙන්නලා උන් ඔසවලා තියනවා. මේ වෙනස අපි පැහැදිලිව වටහාගත යුතුමයි.

      Delete
  8. දරුවන් වෙනුවෙන් කිරි එරෙන් එක හෝ එසේ නොවෙන එක මොකක් උනත් කාන්තාව කියන්නේ දරුවන් වෙනුවෙන්ම ජීවිතය කැප කරන සම්ප්‍රදායික මවට සමාන කරන එකට මම විරුද්ධයි. දරුවන් හදන එකට වඩා නූතන කාන්තාවට කරන්න බොහෝ දේවල් තිබෙනවා.ඇත්තෙන්ම මේ ගීත වලත් ගැබ්වෙලා තියෙන්නෙම සම්ප්‍රදායික හා ගතානුගතික බව. නූතනත්වය කරා යන අප ගැලවියයුත්තේ මේ සම්ප්‍රදායිකත්වයෙන්.

    ReplyDelete
    Replies
    1. වනිතා, ඔබේ මේ අදහස ගැන මං ඔබෙන් සාධාරණ ප්‍රශ්නයක් ඇහුව කලින් හැම ඔබ මෙම කරුණ මතුකල මගේ හැම පෝස්ට්ටුවකින්ම. ඒවගේම ඔබේ බ්ලොග් සටහන තුලිනුත් මං එය ඇහුවා. නමුත් අද වන තුරුම ඔබ ඊට පිළිතුරක් දුන්නෙ නෑ. ඔබ එය මඟහැරියා. එනිසා එම ප්‍රශ්නයට පිළිතුරක් දී සිටින්න. එසේ නොමැතිව අප මෙය තවදුරත් ඉදිරියට සාකච්ඡා කිරීමෙන් කිසිම පලක් නෑ.

      කොහොම උනත් මෙය කියවා අදහසක් එකතු කිරීම ගැන මං ඔබට අනේක වාරයක් ස්තූතිවන්ත වනවා.

      Delete
    2. හොඳයි මේ සම්ප්‍රදායිකත්වයෙන් ගැලවුනු පසු කාන්තාව කොයි වගේද? සමාජය කොයි වගේද වෙන්නේ කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද?

      Delete
    3. ඔන්න ඔය ප්‍රශ්නෙම තමයි මචං මාත් එයාගෙන් අහල තිබුනෙ. උත්තරයක් දෙන්නෙ නෑ ඒකට. හෙමීහිට ලිස්සල යනවා.

      Delete
  9. මෙහෙම සින්දු තියෙනවද කියලත් හිතෙනවා අද ඇහෙන දෙකයි පනහේ සින්දු වලට වඩා, එත් මොන මධ්‍යයේද මේ වගේ සින්දුවක් අහන්නවත් හම්බ වෙන්නේ නේද? ඔක්කොම අද රැල්ලක් වෙලා ඒ රැල්ලේම ගහගෙන යනවා විතරයි. කලින් අහලා නෑ, එත් මේක කියෙව්වම සින්දුව ගැන හොඳ වැටහීමක් ලැබුනා, ස්තූතියි, ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. වරෙක වික්ටර් රත්නායකයන් කීව වගේ දැන් තියෙන්නෙ ගීත නෙවෙයි, වාත. ඒ සංස්කෘතියටම හරියන කොටසක් තමයි විද්‍යුත් මාධ්‍ය ආයතනවල ලොකු ලොකු පුටුවල ඉඳල පහලටම ඉන්නෙත්. ඒනිසා මාධ්‍ය තුලත් මේ ගීත වලට ඉඩක් නෑ. ඒනිසා මහජනතාව අතරට මේ ගීත, මේ ගීතවලින් සමාජයට කියනු ලබන කාරණා යන්න තියෙන ඉඩ ගොඩක්ම අඩුයි.

      Delete
  10. මනෝෂ්....

    පොඩි අදහස් ටිකක් පුද්ගලික ව එවන්නට අවශ්‍යයි. ඒ නිසා ඊමේල් ලිපිනයක් කියනවාද... එහෙම නැතිනම් පහත ඇති අපේ මේල් ලිපිනය. ඒකට ඊයක් විදින්න. පොඩි දේවල් ටිකක් කියන්න තියෙනවා. ඒක පුද්ගලික ව කියන එක හොදයි කියලා හිතෙනවා. ඒකයි....................

    ReplyDelete
    Replies
    1. weerasinghehasitha@gmail.com

      Delete
    2. අපෝයි එවන්නම්. ඉතාම සතුටුයි මගේ මේ උත්සාහයට ඔයාලගෙන් ලැබෙන අත්වැලට. මෙන්න ඊ මේල් ලිපිනය..

      masandumal@gmail.com

      Delete
  11. මේ ගීතයත් මා අසන්නට ප්‍රිය ගීත ගොන්නෙන් එකක්. ගීතයක විචාරය මීට වඩා යම් පමනකින් සංයුක්ත විය යුතුද...එසේ නොමැතිනම් මේ ආකෘතිය තුලම දීර්ඝව විචාරය කල යුතුද කියන සිතුවිල්ල මා තුල තියෙනවා. මේ ගැන අපේ සහෘද බ්ලොග් කරුවන්ට මොකක්ද කියන්න තියෙන්නේ? මට ආපු සිතුවිල්ලක්. ලිහාදෙන්න බලන්න.

    දයාසේන ගුණසිංහයන්ගේ පුවත්පත් මාධ්‍ය කලාව තුල මාදුටු සුවිශේෂ දක්ෂතාවයක් තමයි තීරු ලිපි ලිවීමේ මනා හැකියාව. එකල දිවයිනේ පලවූ උකුස්සා..අමතක කරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔය ප්‍රශ්නෙ මේ ලියන මටත් තියෙනවා අරූ අයියෙ. ගීතයේ අදහස මගේ හිතට තෘප්තියක් දැනෙන තුරු කියවන්නාට ලබා දීමේ බලාපොරොත්තුවෙන් ලියාගෙන යනකොට අන්තිමේදී ඒක අනවශ්‍ය තරමට දිග ලියවිල්ලක් වෙනවා. වචනයෙන් වචනය තේරුම් පැහැදිලි කරල දෙන ලිවීමක් වෙනවා. ඒත් එහෙම නොලීවොත් ගීතයේ ගැබ් උන අර්ථය සාර්ථකව පාඨකයාගේ මනසට කාවැද්දවිය හැකිදැයි සැකයකුත් ඇතිවෙනවා.

      ඒනිසා ඇත්තටම මේ පිළිබඳව සංවාදයක් ගොඩනැඟිය හැකිනම් ඒක ගොඩක්ම වටිනවා.

      Delete
    2. මනෝෂ්...අපි බලමු මේකට තව කවුරු හරි ප්‍රතිචාර දක්වයිද කියලා. මට එහෙම හිතෙන්නේ ඇයි.....ගීතයේ අර්තය හෝ එහි විචාරත්මක පසුබිම වටහාගන්නට වඩාත් වෙහෙසක් හෝ කාලයක් දරන්නට වීම කොයි තරම් දුරට ප්‍රායෝගිකද හිතන නිසා. මම ප්‍රවේශයක් ගත්තේ සාකච්ඡාවකට.

      විචාරකයා තම විචාරය ඉදිරිපත් කරන්නේ කුමන පසුබිමක පාඨකයින්ටද කියන එක පැහැදිලි නම්, වචනයෙන් වචනයට විග්‍රහ කල යුතුද?

      Delete
  12. මනෝෂ්...අපි බලමු මේකට තව කවුරු හරි ප්‍රතිචාර දක්වයිද කියලා. මට එහෙම හිතෙන්නේ ඇයි.....ගීතයේ අර්තය හෝ එහි විචාරත්මක පසුබිම වටහාගන්නට වඩාත් වෙහෙසක් හෝ කාලයක් දරන්නට වීම කොයි තරම් දුරට ප්‍රායෝගිකද හිතන නිසා. මම ප්‍රවේශයක් ගත්තේ සාකච්ඡාවකට.

    විචාරකයා තම විචාරය ඉදිරිපත් කරන්නේ කුමන පසුබිමක පාඨකයින්ටද කියන එක පැහැදිලි නම්, වචනයෙන් වචනයට විග්‍රහ කල යුතුද?

    ReplyDelete
    Replies
    1. ඔතන මෙහෙම දේකුත් තියෙනවා අරූ අයියේ. තරමක් ඉදිරියට හිතනන්න පුලුවන් පාඨකයන්ටනම් මනාව අදහස වැටහෙයි සංක්ෂිප්තව ලියන දේ උනත්. නමුත් ලියාගෙන යද්දි තේරෙනවා ගොඩක් දෙනෙක්ට ගීතයක් වටහා ගැනීමට තියෙන ශක්තිය තරමක් මොටවෙලා කියල.

      කොහොම උනත් අපි බලමු ඔයා කීව වගේ මේ පිළිබඳ සංවාදයක් ගොඩනැඟුනොත් අපේ කට්ටියගේ අදහස් කොහොම වේවිද කියලා. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නෙ පෝස්ට් එක දැන් නෙත් මානෙන් ඈතට ගිහින් නිසා කට්ටිය මේක දකීද කියනෙක තමයි.

      Delete
    2. ඔව් මනෝෂ්.මම පරක්කු වෙලානේ ආවේ. උඹ මේක ඊළඟ පෝස්ට් එකෙන් ඇදලා ගන්න බලපන්. උඹට වැදගත් වෙයි ආධුනික විචාරකයෙක් නිසා. මොකද මේ බ්ලොග් ලෝකයේ ඉන්නවා බොහෝ දැණුම් ඇති අය. මම බොහෝ දේ ඉගෙනගන්නවා මේ තුලින්.

      Delete
    3. ඊළඟ පෝස්ට් එකත් දැන් පරණයි අරූ අයියේ.නිතර එන හැමෝම ඇවිත් බලලා ගිහින් ඉවරයි. මීළඟට අලුතින්ම දාන පෝස්ට් එකටම යටින් මං මේ කාරණය මතුකරනවා. ඒක හොඳ නැවුම් ප්‍රවේශයක් වෙයි එතකොට. හැබැයි ඔන්න ඒ පෝස්ට් එකටනම් ප්‍රමාද නොවී අරූ අයියා එන්නම ඕනි හොඳේ?

      Delete
    4. මනෝෂ්,....

      මං එක් අවස්ථාවක ඔබේ මේල් ලිපිනයක් ඉල්ලා සිටියෙත් ඔය කාරණාව මතු කරන්න තමයි. මං හිතුවා ඒක ටිකක් පෞද්ගලික ව කතා කරොත් හොදයි කියලා. ඒත් දැන් අරූ මේ ගැන මතු කරලා තියෙන නිසා මමත් හිතනවා අපි ඒ ගැන විවෘත ව කතා කරොත් හොදයි කියලා...

      මගේ අදහස නම් මනෝෂ් ධම්මික බණ්ඩාරයන් භාවිතා කරන ක්‍රමයට ම අපි යායුතු නෑ කියන එකයි. නමුත් කියවන්නාගේ කාලය, දැනුම වැනි කාරණා සලකා බැලුවා ම සරලව සහ සංක්ෂිප්ත ව යන්න පුළුවන් නම් හොදයි තමයි. ඉතින් අපි යෝජනා කරන්නේ විචාරයන් හරවත් ව, සරලව අවශ්‍ය යැයි හැගෙන තරමට කටි කොට ලිවීම යෝග්‍යයයි කියාය..................

      Delete
    5. මේ අදහස මෙහෙමම මගේ අලුත් පෝස්ට් එකට අරං යමුකො ගී පවුරේ..?

      http://masandumal.blogspot.com/2014/05/blog-post_29.html

      Delete