Pages

Sandumal

Sandumal

Friday, June 20, 2014

•දයාබර රාළේ මාමේ


"මල් සුවඳක්ම විය නුඹ නොමිනිසුන් අතරින් නැඟි…"






ඇත්තටම අල්ලපු ගමේ උනාට නුඹ කාගෙ කවුද කියලවත් මං හරියට දැනං උන්නෙ නෑ. ඒ වගේම කවදාවත් මට ඒ ගැන හොයන්න උවමනාවක් උනෙත් නෑ. ඒත් පුංචි කලෙ ඉස්කෝලෙ යද්දි, පන්ති යත්දි, දැන් රස්සාවට යද්දි හංදියේ නිතර හිටපු නුඹ මාත් එක්ක බොහොම කුළුපඟව හිනා උනා. ඒ හිනාව හරි වෙනස්, හරිම අව්‍යාජයි. ඇත්තටම මං නුඹේ හිනාවට ඇලුම කලා. මේ මොහොතෙත් මට මැවිල පේනවා ඔලුව පැත්තකට ඇලකරලා හැමදාමත් නුඹ හිනාවෙච්ච හැටි. සමහර දාට පුතේ කියල කතාකරපු හැටි. ඇත්ත, මං නුඹත් එක්ක මේ දිගු කාලෙටම වචන විස්සකට වඩා කතාකරල නැතිව ඇති. ඒත්  දවස ගානෙ කතාකරන උන්ට වඩා ලෙංගතු කමක් මට උඹ ගැන තිබුනා. මාත් එක්ක විතරක් නෙවෙයි. මාමෙ උඹ මගේ මල්ලි එක්ක, අම්මා එක්ක, තාත්තා එක්ක, මේ හැමෝම එක්ක හරිම ලෙංගතුව හිටියා. හංදියේ වැඩිහරියක් හිටියේ රස්තියාදු කාරයෝ, ගංජා කාරයෝ, නිතරම ගමේ නෝන්ඩි වෙච්ච ගමට හිසරදයක් වෙච්ච කුපාඩියෝ. ඒත් උන් අතරම හිටපු උඹ ඊට වඩා ගොඩක් වෙනස්. උඹෙන් කාටවත් කරදරයක් තිබුනෙ නෑ. පාඩුවේ හිටපු මනුස්සයා. ඉඳල හිටල අඩියක් ගැහුවට, ගංජා කට්ටක් ඇද්දට ඒකෙන් කාට්වත් හිරිහැරයක් වෙන්න උඹ ඉඩතිබ්බෙ නෑ.

උඹට හරිහමන් රස්සාවක් තිබුනෙ නෑ. ඒත් උඹ උඹේ ගෑනි, දරුවො බඩගින්නෙ තිබ්බෙත් නෑ. වැව හිඳෙන කාලෙට ගඩොල් කැපුවා. වැව පිරුණු කාලෙදි වැවේ දැල් දැම්මා, මාලු ඇල්ලුවා. සමහර වෙලාවල කරත්ත වලින් දර ඇද්දා. හිටපු ගමන් ගඩොල් පටවන්න එන ලොරි වලට හංදියේ ඉන්න ගමන් බ්‍රෝකර් වැඩත් කලා. ඉඳල හිටල කුලී වැඩත් කලා. ගොයම් කාලෙට ගොයම් කැපුවා. උඹ නිකං හිටියෙ නෑ. මේ බිංතැන්නෙ දූවිලි පොලොවෙ පය ගහල ඉරත් එක්ක කාස්ටකේ උඹ ජීවිතේ ගැටගහගන්න ඔට්ටු උනා.

උඹට මහ වයසක් තිබුනෙත් නෑ. අවුරුදු 40ක් කියන්නෙ මහ වයසක්ද! තව කාලෙ එහෙම්මයි. උඹට විතරක් නෙවෙයි, උඹ ගැන අපිට හිතුනෙත් එහෙමයි. ඒත් දවසක් ඒ හැමදේම කණපිට ගහල උඹේ ජීවිතේට කණකොකා ඇඬුවෙ කවුරුවත් නොහිතපු විදියට. එදා ඒ බයික් කාරයා පාරෙ ටිකක් හෙමින් ආවානම්, ඌ උඹේ ඇඟ දිගේ නොගියනම් අද මට උඹ ගැන මෙහෙම ලියන්න වෙන්නෙ නෑ. ඒත් මේ මහියංගණේ උඹටයි මටයි ඕනි දේවල් උනේ කවද්ද. ඒකෙන් උඹ බිමටම වැටුනා. උඹ දවස් ගානක් ඉස්පිරිතාලෙ ජීවිතෙත් මරණෙත් එක්ක පොරබැදුවා. කොහොම හරි උඹ අන්තිමේ දිනුවා.

උඹේ අතපය හතරට මොකුත් උනේ නෑ තමයි. ඒත් එහෙම උනානම් මීට වඩා කොච්චර හොඳද කියල අද මට හිතෙනවා. උඹ ආයෙත් අර හිනාවත් එක්කම අපි අතරට ආවා. හංදියේ උඹේ අඩුව පිය උනා. ඒත් ඒ කලිං විදියටමනම් නෙවෙයි. කාලකණ්නි ලෙඩක් එක්ක. මීමැස්මොරය හරි අප්ස්මාරෙ හරි, ඒක මොකක් උනත් ඒකෙන් උඹ හිටිගමන් ඇදගෙන වැටෙන්න පටන් ගත්තා. හිටපු ගමන් උඹ කපාදැම්ම ගහක් වගේ බිම ඇදගෙන වැටුනා. නහරයක් තැලිලාලු,මොලේට ලේ අරන් යන. දොස්තරල එහෙමලු කිව්වෙ. උඹේ වෛද්‍ය රිපෝට්වල තිබුනෙ කිසිම වෙලාවක තනියෙන් වතුරක් අහලකටවත් යන්න එපා කියලලු.
ගින්නක් ළඟට යන්නෙපා කියලලු. උස් තැන් වල නඟින්න යන්න එපා කියලලු. ඇයි උඹ කොයිවෙලේ වැටෙයිද කියන්න බැරි නිසාලු. ඒත් උඹ කොහොම ඉන්නද එහෙම. සල්ලි බාගෙ යහමින් තිබුනෙ නෑ උඹට. නඩත්තු කරන්න ගෑනියෙක්, දරුවෙක් හිටියා උඹට. ඒ නිසා කලිං වගේම මොන මොනව හරි කරල කීයක් හරි හම්බකරගන්න දැඟලුවා උඹ. උඹට තිබ්බා සල්ලි අමාරුකම් ගැන මිනිස්සු කතාවෙනවා. උඹේ ලෙඩේට බදුල්ලෙ ක්ලිනික් තියෙනකොට පාන්දර පහේ බදුලු බස් එකට නඟින උඹට සමහර දාට අතට තිබුනෙ බස් ගාස්තුව විතරයිලු. ආයෙ හවස ගෙදර එනකල් උඹේ කුස පිරුණේ ඇල් වතුරෙන් විතරයිලු.

අපස්මාරෙ තිබ්බ උඹ ඒත් කලන්තෙ නොදා ගෙදර ආවා. ඒ උඹේ හිතේ හයිය. උඹට තව සහෝදරයො දොලොස්දෙනෙක් ඉන්නවලු. ඒ හැම එකාම මං අඳුනන්නෙත් නෑ. සමහර එවුන් උඹේ මල්ලිලා, අයියලා කියල දැනගත්තෙත් එදා. ප්‍රශ්නෙ ඒක නෙවෙයි, මෙවුං එකෙකුටවත් උඹට මීට වඩා හයියක් වෙන්න බැරිවුනේ ඇයි කියන එකයි. ඒනිසාම කාටවත් අත නොපා උඹ ජීවිතේ ගැටගහගත්තා. 

එදත් එහෙම දවසක්. දන්නෑ උඹ මොනතරම් ප්‍රශ්න කන්දරාවක් හිතින් දරාගෙන එළි බැස්සද කියලා. සමහර විට බඩට බත් ඩිංගක්වත් වැටිල තිබුනද කියලත් සැකයි. හුලං පුරෝපු තඩි ටියුබ් එකයි, මාලු දැලයි කරේ තියාගෙන උඹ වැවට යන්න ගියේ සමහර විට විකුණන්නම මාලු අල්ලන්නද, නැත්නම් වේල පිරිමහගෙන උඹේයි දරු පවුලෙයි බඩගිනි නිවාගන්නද කියෙනෙක මං තාමත් හිතනවා. ඒ කොහොම උනත් උඹ ගියේ ජීවිතේ ගැටගහගන්න බව අපි හැමෝම දන්නවා. ඒත් එක්කම උඹ වැවේ කාටවත් පේන්නැති අඳුරු ඉසව්වකට ගියේ අපෙන් හැංගෙන්න නෙවෙයි කියලත් ගමම දන්නවා.

උඹ හැංගෙන්න හැදුවෙ මාලුවෙක් දෙන්නෙක් තඩිගහල ජීවිතේ යන්තම් ගොඩදාගන්න දඟලන උඹලගේ බඩට ගහලා උඹලව කුදලගෙන යන්න බලං ඉන්න ධීවර මහත්තරුන්ගෙන් කියල අපි දන්නවා. උඹ ටියුබ් එකේ නැඟල වැවේ ගියේ ලෙෂර් වර්ල්ඩ් යන සිදාදියේ මහත්තුරු වගේ ආතල් ගන්න නෙවෙයි කියල දන්නෙ ගමේ අපි විතරයි. උඹත් කැමතියි උඹටම කියල ෆයිබර් ඔරුවක් තිබුනනම්. ඒත් උඹට එච්චර වත්කමක් කොහෙන්ද. ඉතින් මෙ දේවල් හින්දමයි උඹ අපි කාටවත් නොපෙනෙන ඉසව්වුකටවෙලා උඹේ ජීවිත දැල එලුවෙ.







ඒත් උඹ හීනෙකින්වත් හිතන්නැතුව ඇති මේ දැලට පැටලෙන්නෙ උඹේම ජීවිතේ කියල. උඹට අමතක උනා, නැත්නම් ජීවන අරගලය හමුවේ උඹ හිතලම අමතක කලා උඹේ අසනීපෙ ගැන. ඒත් උඹේ මරුවට නම් ඒක හොඳට මතක තිබිල වගෙයි. තෝමස් මාමා උඹව ගොඩට ගත්තෙ අඩි දහයක් විතර වතුර යට ඉඳලලු. ඒ වෙනකොටත් උඹ අපිව දාලා ගිහින් වරුවක් විතර ගිහින්ලු. 

මං කැමති උනේ නෑ උඹේ පරවුනු මූණ දිහා බලන්න. මොකද මං දන්නවා වෙනද වගේ අද උඹ මයෙ දිහා බලල කීයටවත් අර හිනාව මට දෙන්නෙ නෑ කියල. ඒත් අවසන් වතාවටත් මට උඹේ මූණ නොබල බැරිවුනා. ඒ තමයි උඹ මාත්තෙක්ක හිනා නොවුනු පලවෙනි දවස. ඒත් උඹේ මූණ අතරින් මට උඹේ හිනා මූණ මැවි මැවී පෙනුනා.

දහසකුත් ප්‍රශ්න සදහටම හංගගෙන උඹ අද පොලොව යට වැළලිලා. අදට දවස් දෙකක් ගිහින්. උඹ සමඟ වැළලුනේ උඹේ ප්‍රශ්න විතරක් නෙවෙයි. අපේ ගමේ, අපේ පළාතෙ, විතරක් නෙවෙයි අපේ රටේ බහුතරයක් දෙනාට තියෙන ප්‍රශ්න ගොඩක් සමඟයි උඹ පරවෙලා ගියේ. ඒව අපට හිතන්න ඉතුරු කලේ අපේ රටේ තියෙන මේ ප්‍රශ්න විසඳගෙන ආයෙමත් මේ වගේ අකල් මරණෙකට ගොදුරු නොවීමට එන ආත්මෙක හරි උඹට ඉඩ සලසලා දීමට අවස්ථාවල් ලබාදෙන්න පුලුවන් විදියක් ගැනයි.

අදත් උදේ වැඩට යන්න හංදියට ආව වෙලාවෙ උඹේ හිනා මූණ නෑ කියල දැන දැනත් මං වෙනද උඹ වාඩිවෙලා ඉන්න බංකුව දිහා බැලුවා. ඒත් උඹ එතන හිටියෙ නෑ. උඹ හිටියෙ එතන නෙවෙයි. හංදියේ බස් හෝල්ට් එකේ කණුවක උඹ හිටියා. හැබැයි උඹ හිටියෙ හිනාවෙලානම් නෙවෙයි. උඹේ ඔය මූණ තියෙන මේ මරණ දැන්වීමත් තව ටික දොහකින් ගැලවිලා යයි. උඹ ගැන මතකයත් හැමෝටම අමතකවෙලා යයි. 

උඹ වැවේ ගිලිලා මැරුණ කියල අහපුවෙලේ මට ඒක දරාගන්න අමාරුවුනා. මට මතක් උනේ රත්න ශ්‍රී විජේසිංහයන් ලියපු සුදු නෙළුම කෝ සොරබොර වැවේ සිංදුව. ඒත් මං ඒක කාටවත් කිව්වෙ නෑ. එහෙම කිව්වනම් කට කැඩිච්ච එකෙක් කියයි, ඒ සිංදුවෙ මැරුණේ ජීවිතේ ගැටගහගන්න , පන්සල් යන අයට විකුණන්න මල් කඩපු අහිංසක පුංචි කෙල්ලෙක් කියල. මූ නැහුනෙ පවු කරන්න වැවේ ගිහින් කියලා. ඒත් මට එහෙම පේන්නෙ නෑ. මටනම් පේන්නෙ මේ සිද්ධි දෙකේදිම මියැදුනේ පවතින ආර්ථික හා සමාජීය රටාවෙන් බැට කන, ජීවිතේ ගැටගහගන්න සොච්චමක් හොයාගන්න වෙර වීරිය දරපු අහිංසක මනුස්ස පරාණ දෙකක් විතරයි. කැඩුවෙ මල්ද, ඇල්ලුවෙ මාලුද කියනෙක මට වැදගත් නෑ. වැදගත් වෙන්නෙ ඒ දෙකෙන් කොයික හරි කරපු හේතුවයි.

ඒ නිසා උඹ ගැන මං මෙහෙම ටිකක් ලිව්වා. මට කවි ලියන්න බෑ. මගේ හිත සංවේදී කරන සිදුවීමාක් කවියකට නඟාගන්න මට කොච්චර ඕනි උනත් වරුවක් දඟලලා වත් මට ඒක කරගන්න බෑ. ඒත් උඹේ මිනිය දිහා බලන් එදා ගතකරපු කාලකණ්නිම මිනිත්තු දහයෙදි මට මෙහෙම නම් හිතුනා.

"සුදු නෙලුම නොවුනත් ඔබ සොරබොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
මල් සුවඳක්ම විය නුඹ
නොමිනිසුන් අතරින් නැඟි…

මල් නෙලන්නට නොම ගියේ මුත් නුඹ
බුදු පුදට මහියංගණේ
නුඹ මැරූ මසු කැල විය
අපේ දිව රසවත් කලේ…

ඉතින් කෙලෙසක දෑඟිලි යොමන්නද
කිලිටි හිතකින් නුඹ දෙසේ
සුදු නෙලුමමයි මට උඹේ රුව
නිදා සිටිනා පෙට්ටියේ…"






මේ ඔබ වෙනුවෙන් මා තබනා මතක සැමරුමයි. මෙහෙම මතක සැමරුමක් ඔබ වෙනුවෙන් තැබූ බව ඔබට සමීප කිසිවෙකුත් නොදන්නා බව මම දනිමි. ඔබ මියගොස් ඇත. අපද එළඹෙන පැයේ හෝ තව කාලාන්තරයකින් හෝ මියැදෙනු ඇත. අපෙන් පසු පරම්පරාවට නුඹ සිහිනයක් පමණක් වනු ඇත. ඉන්පසු පරම්පරාවට ඔබ මිරිඟුවක් වනු ඇත. නමුදු කවදාකවත් මැකී නොයන ඔබ පිලිබඳ මතකයක් මෙලෙස මම සයිබර් අවකාශය වෙත මුදාහරින්නෙමි. අන්තර්ජාලය ලොව පවතින තුරු මෙම සිහිවටනය ලොවේ කොතැනක හෝ සිටින්නෙකුට ඔබ පිළිබඳ මතකය අලුත් කරනු ඇත.

"දයාබර රාළේ මාමේ උඹ ආයෙත් මේ ජරාජීර්ණ සමාජය තුල ඉපදෙන්න එපා..!"




(පසුගිය දිනෙක දම්බරාව වැවේ ගිලී මියගිය අපේ ගමේ රාළේ මාමා වෙනුවෙනි.)