Pages

Sandumal

Sandumal

Sunday, October 26, 2014

•අවුරුද්දයි


"දිවි මගෙහි මෙතෙක් දුර මා සමඟ ගමන් කල.. මා සමඟ සිනාසුනු.. මා සමඟ ඉකිබින්ද.. රසික ඔබ.. මට..කුමුදෙකි..ගඟුලෙකි.. පහනෙකි..පවනෙකි..."






E - Money ගැන නොදන්න කෙනෙක් ඉන්නවද? මං හිතන්නෙ එහෙම නොදන්න කෙනෙක් නෑ. අනිවාරෙන්ම මේ සටහන කියවන හැමදෙනාම අනිවාරෙන්ම නිකමට හරි මේ කියන්නෙ මොකක්ද කියල දන්නවා. ඇතැම්විට මෙය කියවන කිහිප දෙනෙක් හෝ මේ පිළිබඳව උනන්දුවක් දක්වා මේ පිළිබඳ හදාරා ඇති බවටත් සැකයක් නෑ. ඉතින් මේ E- Money, එහෙම නැත්නම් අන්තර්ජාලයෙන් මුදල් ඉපැයීම කියන කාරණය මගේ හිතටත් වද දුන්න කාලයක් තිබුනා. උසස් පෙළ එහෙම කරල නිකන් වාත වෙවී ගෙදරට වෙලා ඉන්න කාලේ අතට කීයක් හරි හොයාගන්න තිබුනනම් හොඳයි කියල හිතුන කාලෙ මටත් ඔය E- Money රෝගෙ වැළඳුනා.

ඉතින් මාත් මේ ගැන හොයන්න පෙළඹුනා. පුවත් පත් වල මේ ගැන තිබුන දැන්වීම් කියෙව්වා. මේ විදියට මේ ගැන හොය හොය ඉන්නකොට මට දකින්න ලැබුනා E- Money යටතේ කිසියමක් කාර්‍යක් කොන්ත්‍රාත්තුවක් අරන් තිබූ අයෙකු ඒ කාර්‍ය ලංකාවේ අය අතරෙ Sub Contracts විදියට ලබා දෙන අවස්ථාවක්. මං ඒකට සම්බන්ධ වුනා. කරන්න තිබුනෙ සුලු දෙයක්. අදාල කෙනා මට ඊමේල් මඟින් ස්කෑන් කල PDF ෆයිල්ස් කිහිපයක් එවනවා. මං හිතන්නෙ ඒ පැරණි නවකතා. මට තියෙන්නෙ ඒව බලාගෙන ඒ සටහන් MS Word Document එකක ටයිප් කරල ආපහු ඔහුට යවන එක. මේ විදියට මට එවන එක පිටුවක් සඳහා ඔහු මට රුපියල් පනහක් ගෙව්වා. මං මට ලැබුනු PDF සියල්ල පිටපත් කොට යැවූ විට ඔහු අදාළ මුදල මට බැංකුවට එවන්න කටයුතු කලා. මට හොඳට මතකයි ඒ ලැබූ මුලු මුදලින් මං කලේ මට ඒ කාලෙ තිබුන මගේ ඩෙස්ක්ටොප් පරිගනකය සඳහා කම්පියුටර් ටේබල් එකක් ගත්ත එක. ඒක තවම තියෙනවා. ඒත් මේ වැඩේ දිගටම කරන්න ලැබුනෙ නෑ, එකපාරම අදාළ පුද්ගලයා මෙම ලේඛන එවන එක නතරකලා. ඔහු කතාකරල කිව්වා ඔහු මේව ගත්තෙ ඉන්දියානු සමාගමකින් බවත් ඔවුන් සමඟ ගනුදෙනු දුෂ්කර නිසා මෙය නවතා දැමූ බවත්. කොහොම උනත් මේ කාර්‍ය E- Money සම්බන්ධව මගේ තිබූ උනන්දුව තවත් වැඩිකරන්නට සමත් උනා.

එහි ප්‍රතිපලය විදියට මමත් මගේ මිතුරෙකුත් මහනුවර තිබූ මෙවන් E- Money පුහුණු එක්දින වැඩමුලුවකට සහභාගි උන බව මං අද මෙතන කියන්නෙ හද පිරි ලැජ්ජාවෙනි! ඒ, එය ඒ තරම්ම අසාර්ථක ක්‍රමවේදයක් නිසාවෙනි. සාර්ථක අවස්ථා නැතුවාම නොවෙයි. ඔවුන් කියන විදියටම ඉතාම කැපවීමෙන් ඉවසීමෙන් මේ හා රැඳී සිටීමෙන් මෙහි ප්‍රතිපල ලබා ගත හැකියි. නමුත් ප්‍රායෝගිකව මෙය කරන්නට යනවිට ඉබ්බන්ගෙන් පිහාටු ගැනීම ඊට වඩා තරමක් ලේසි බව ඔබට වැටහෙනු ඇත. ඉතාම හොඳ පරිගනක දැනුමක් ඇති අයෙකුට මෙම E- Money ක්ෂේත්‍රය තුල තමන් සඳහා වටිනාකමක්, මාකට් එකක් හදාගැනීමට හැකිවනු ඇත. විශේෂයෙන්ම ග්‍රැෆික් ඩිසයිනින් වගේ කරන අයට. එහෙම නැතිව අපි වගේ වර්ඩ්, එක්සෙල් විතරක් දන්න උදවියට මෙය හරිම දුෂ්කර කාර්‍යක්.

කොහොම උනත් මේ ගැන මගේ රසවත් අත්දැකීම් මං ඔබත් සමඟ පසුව බෙදාගන්නම්. අද මේ කියන්න ආවෙ වෙන දෙයක් ගැන. ඒකට පාර හදාගන්නයි මේ විදියට අර බ්ලොග් බාශාවෙන්ම කියන ආකාරයට පඳුරු තැලුවේ. ඉතින් මේ E - Money වැඩමුලුවෙන් සහ, මේ ගැන තියෙන මම ගෙදරටම ගෙන්න ගත්ත සී ඩී කට්ටලයෙන් කියවුන අන්තර්ජාලයෙන් මුදල් ඉපැයිය හැකි එක්තරා පහසු ආකාරයක් තමයි බ්ලොග් කියන්නේ!! ඒක හරි පහසු කාර්‍යක් විදියටයි ඔවුන් හඳුන්වලා දීල තිබුනේ. කරන්න තිබුනෙ පොඩි දෙයයි, මොකක් හරි මාතෘකාවක් යටතේ තමන්ට කියල බ්ලොග් අඩවියක් පටන්ගන්නවා. ඊළඟට ගූගල් එකෙන්ම ඔවුන්ගේ ඇඩ්සෙන්ස් වලින් ලබල දෙන දැන්වීම ඒ බ්ලොග් එකේ පලකරනවා. ඔන්න ඔච්චරයි, දැන් වැඩේ හරි, පහුවදා ඉඳල තමන්ගෙ අන්තර්ජාතික බැංකු ගිනුමක හෝ ගාලා සල්ලි පිරෙනවා..!!

ඉතින් ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද! බ්ලොග් එකක් හදාගන්න විදියත් ඒකෙ කියල තිබුනා. ඉතින් මාත් දෙපාරක් හිතුවෙ නෑ හදාගත්තා බ්ලොහ් එකක්. දැන් ඉතින් මමත් හිතින් ලක්ෂ පතියෙක්. මං මුල ඉඳල හදාගෙන තිබුන ආරූඩ නමක් තිබුනා "සඳුමල්" කියල. ඒ නමින් මං හැදුවා බ්ලොග් එකක්. දැන් මට හෙන ආඩම්බරයි, මොකද මටම කියල වෙබ් එඩ්‍රස් එකක් එහෙමත් තියෙනවනේ. ලෝකෙ කොහේ ඉන්න මොකා ඒක ගැහුවත් එන්නෙ මගේ සයිට් එකටනේ.. ඔහොමයි හිතුනේ. ඉතින් මහත්වරුනි, කියන්න සංතෝසයි එකම එක පෝස්ට් එකක්වත් නැති මගේ බ්ලොග් එක සඳහා මං අයදුම් කලා ඇඩ්සෙන්ස්, ගූගල් එකෙන්. එහෙන් පණිවුඩයක් ලැබුනා මගේ අඩවිය ඇඩ්සෙන්ස් සඳහා සුදුසුද බලන්න එයාලගේ විශේෂඥයෝ රිවීව් කරනවා, දවසකින් දෙකකින් දැනුම් දෙන්නම් කියලා. මං ඉතීන් බලන් හිටියා, උපරිම විස්වාසෙන්. මං දැන් හිතෙන් හෙන පොරක්. ලස්ස පතියෙක්. හොඳ වෙලාවට ඇඩ්සෙන්ස් වලින් හොයන සල්ලි වලින් ලීස් එක දාන්න කියල මං හයිබ්‍රිඩ් එකක් එහෙම ගත්තෙ ඒ දවස්වලම. මොකද දවස් දෙක තුනකින් මට ගූගල් ගෙන් පණිවුඩයක් ලැබුනා. ඒකෙ කියල තිබුනෙ  Insufficient Contents නිසා මට ඇඩ් දෙන්න බෑ කියලයි!!! ප්‍රමාණවත් නෙවෙයි නෙවෙයි, කිසිම දෙයක්, පෝස්ට් එකක් නොතිබූ මගේ බ්ලොග් එකට ඇඩ් දෙන්න ඒ මිනිස්සුන්ට පිස්සුයැයි. මං ඒත් උත්සාහය අත්තැරියෙ නෑ.

ඊළඟට මං කල්පනා කලා මගේ බ්ලොග් එකෙ මොනාද දාන්නෙ කියලා. ඉතින් මං මගේ මංගල පෝස්ට් එක විදියට දැම්මා "Let's Learn English" කියල පෝස්ට් එකක්. මොකද ඔය සුද්දගේ බාසාව මට ටිකක් පුලුවන්. අනාගතේ මගේ ජීවිතේ පාර හැදිල තියෙන්නෙත් ඔය සුද්දගේ බාසාවට පිංසිද්ධ වෙන්න. ඒ ගැන පසුවට කියන්නම්. ඉතින් මං ඔය ව්‍යාකරණ ටිකක් එහෙම දාල, සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ආස, මුල් අවස්ථාවෙ ඉන්න හුදූ ජනයට අවබෝධයක් ලැබෙන විදියට මොනා හරි මං ඒකෙ දාල තිබුනා කියල මතකයක් තියෙනවා මට. ඔන්න ඒක දාල ඊළඟට මං ආයෙත් රික්වෙස්ට් කලා ඇඩ්සෙන්ස් වලට! ආයෙත් රිජෙක්ට් උනා. තව මොනා හරි දැම්මා, ආයෙ ඉල්ලුව, ආයෙ රිජෙක්ට් උනා. ඊළඟට මං ඒ මඟුලත් අතෑරලා දැම්මා. එහෙමම මට E - Money අමතක වෙලා ගියා. දෙයියනේ කියල තවමත් රස්සාව කරගෙන ඉන්න තැන රස්සාව හම්බුනාට පස්සෙ මට E - Money ඕනි වුනේ නෑ. ඊට වඩා පොලොවෙ පයගහල කරන්න පුලුවන් රස්සා ඕනි තරම් තියෙන බව වටහගෙන මං E - Money වලින් ඈතටම වෙලා එහෙම එකකට මං ගියෙත් නෑ වගේ හිටියා, තාමත් ඉන්නවා පත්තරවල එහෙම තාමත් යන ඒකෙ ඇඩ් දැක්කම.

කොහොම හරි රස්සාවට ආවට පස්සෙ මට ලැබුන මගේම වගේ පරිගනකයටයි, අසීමිත අන්තර්ජාල පහසුකමටයි, MAS අධිපති මහේෂ් මහත්තයාටයි,පිංසිද්ධ වෙන්න මාත් ඩිජිටල් ලෝකෙට බොහෝම සමීප උනා. ඔය අතරෙ දවසක් අහම්බෙන් මට ආව ඊමේල් පණිවුඩයකින් හරි අපූරු කෑම්ප් එකක් ගැන අපූරු ලිපියක් කියවන්න ලැබුනා. ඒ වෙන කොහෙවත් නෙවෙයි, අභීතගේ මීමුරේ කෑම්ප් එක ගැන. ඒ ලිපියෙ අගට තිබුන වෙබ් ලිපිනෙන් මං අහම්බෙන් ඉස්සෙල්ලාම සිංහල බ්ලොග් ලෝකයට අවතීර්ණ උනා!!! ඔන්න මෙතෙක් කතාව.

ඊට පස්සෙ මාත් අර මොකද්ද හම්බුන මොකාද වගේ මොනිටරේටම මූණ ඔබාගෙන බ්ලොග් කියවන්න පටන්ගත්තා. වැඩක් තිබුනත් නැතත් අනිවාරෙන් බ්ලොග් කියවන එක දිගටම කලා. මුලින්ම අභීතගේ පෝස්ට් සියල්ලම වගේ කියෙව්වා කමෙන්ට්ස් එක්කම. ඊළඟට ඔහුගේම බ්ලොග් රෝලෙන් අනෙකුත් සිංහල බ්ලොග් කියවන්නත් පටන්ගත්තා. හැබැ‍යි මොකකවත් කමෙන්ට් කරන්න ගියේ නෑ. එකම එක කමෙන්ට් එකක් දැම්මා අභීතගේ බ්ලොග් එකේ, මං අර කිව්ව ඊ මේල් එකෙන් ආව ඔහුගේම පෝස්ට් එකේ. එදා තමයි දැනගත්තෙ කමෙන්ට් කරන්න අපිටම කියල ප්‍රෝෆයිල් එකක් එහෙම ඕනි කියලා. මට මතක විදියට ආයෙ කමෙන්ට්ටුවක් දැම්මා රාජ් ගේ නවාතැනේ. ඒ දැම්මෙත් E - Money ගැන මොනාහරි අහලා. ඔහු ඒකට රිප්ලයි කරලත් තිබුනා.

ඉතින් ඒ රෝලෙන්, මේ රෝලට, ඒකෙන් තව එකකට, ඔහොම ඔහොම මං සිංහල බ්ලොග් ලෝකය පුරා කරක් ගැහුවා. කොහෙවත් කමෙන්ට් නොකලත් මං මේ කලාව ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේ සංස්කෘතිය ගැන අවබෝධයක් ලබා ගත්තා. ඒ කලාවෙ තිබුනා අන්තර්ජාලේ වෙනත් සමාජ අඩවි වල නැති මනුස්ස කමක්, බැඳීමක්, සහෝදර කමක්, සටන් කාමීත්වයක්, විප්ලවාදී බවක්, ඒ වගේම සංවේදීබවක්, ආධ්‍යාත්මික බවක්. මං දැක්කා දිලුම් වෙනුවෙන් බ්ලොග් ලෝකෙ සහෘදයන් අත්වැල් බැඳගත් හැටි. ඒ වගේම නංගි කෙනෙක්ට පිහිට වෙලා ජීවිත බේරගත්ත හැටි. මං දැක්කා ඔබා අයියා වෙනුවෙන් මිනිස්සු දුක් වෙච්ච හැටි. මං දැක්කා අවුරුදු උත්සව පවත්වමින්. සැණකෙලි පවත්වමින්, එකම ගමක එකම පවුලක් වගේ මේ අය බැඳිල උන්නු හැටි. බ්ලොග් අඩවියක් පටන් අරන් ඇඩ්සෙන්ස් ගිණුමක් හදාගෙන උන් කියන විදියටම කීයක් හරි හොයාගෙන කනවට වඩා කොච්චරනම් එහාට ගිය මානව බැඳීම් ගොන්නක් මේ තුල තියෙනවද කියන කාරණය මං අවබෝධ කරගත්තා.

කවදත් සමාජ වෙබ් අඩවි, ෆේස්බුක්, ට්විටර්, ගොසිප් වගේ දේවල් අප්‍රිය කරපු මම මේ බ්ලොග් කලාව හරිම ආදරයෙන් වැළඳගත්තා. ඒ සංස්කෘතියට ආදරය කරන්න පටන්ගත්තා. එහි වටිනාකම තේරුම්ගත්තා. ඉතින් ඒත් එක්කම එදා සල්ලි හොයන්න කියල බ්ලොගක් අටවගත්ත මට අද ඒ වෙනුවට මේ සහෝදර පවුලට එකතුවෙන්න බ්ලොග් එකක් හදාගන්න පුදුම ආසාවක් ඇතිවුනා. වැඩිය සමාජ සම්බන්ධතා පවත්වන්න අකැමති මං, මේ සමාජ ජාලයටනම් බලෙන් හරි එකතුවෙන්න ඕනි කියන හැඟිම මට ඇතිවුනා.

බ්ලොග් ලෝකෙ එක එක අයට එක එක මාතෘකා තිබුනා. ගොඩක් අයගෙ බ්ලොග් දිනපොතක් වගේ. ඒ තරම්ම එයාලගේ ජීවිතයේ සියුම් තැන් පවා ඒවල අකුරු කරල තිබුනා. සමහරු කෙටිකතා, සමහරු කවි, සමහරු නිසැඳස්, මේ වගේ විවිධ මාතෘකා. ඉතින් මං කල්ප්නා කලා මට හරියන තේමාව. ඔව්.. ඒක තමයි, මං සුභාවිත සිංහල ගීයට කොච්චර ආසයිද, ගීත විචාර කියවන්න කොච්චර ආසයිද, ගීත හා බැඳුනු නිධාන කතා මං කොච්චර මහන්සියෙන් හෙව්වද. මං වත් නොදැන හිටපු කොච්චර හොඳ විනෝදාංශයක්, තේමාවක් මං ළඟම තිබිලද. ඉතින් මං මගේ බ්ලොග් එකේ තේමාව ඒ විදියට තෝරගත්තා.

ඉතින් ඇඩ්සෙන්ස් බලාගෙන මං හදාගත්ත බ්ලොග් එකේ දාල තිබුන අනන්මනන් පෝස්ට් සියල්ල මං ඉවත් කලා. ඒක මෝඩ කමක් කියල අදයි මට තේරෙන්නෙ. ඒ පෝස්ට් තියාගෙන හිටියනම් ඒව ඉතාම හොඳ මතක සිහිවටන වෙනවා. කොහොම හරි ඒ ටික අයින් කරල පළමු පර්යේෂන පෝස්ට් එක විදියට මං මෙන්න මේ සටහන මගේ බ්ලොග් එකට එකතුකලා. මේකත් ගීතයක් හා බැඳුනු කතාවක්. මට මේ කතාව ලැබුනෙ ඊමේල් එකකින්. මේ සටහන ලියපු කෙනා කවුරු උනත්, මං ඔහුව නොදන්නවා උනත්, මං ඔහුට සදා ණයගැතියි. ඒ තියපු මුල් ගලෙන් මං අද බොහොම දුර ගමනක් ඇවිත් තියෙනවා.

අන්න ඒ විදියට නිල වශයෙන් මගේ බ්ලොග් ආගමනය පටන්ගන්නවා. ඒ හරියටම 2013.10.26 වෙනිදා. අදට හරියටම අවුරුද්දකට කලින්. අද 2014.10.26 වෙනිදා. ඉතින් ඔන්න ඕකයි මට ඔයාලට කියන්න ඕනි වුනේ. අපි හැමෝම සහෝදරත්වයෙන් එකතුවෙන, අදහස් බෙදාගන්න, ගී රස විඳින, සඳුමල් බ්ලොග් එක බ්ලොග් ලෝකෙට එකතුවෙලා අදට හරියටම අවුරුද්දයි.. ලිපි 80ක් පුරාවට නැරඹුම් වාර 30000ක් සමඟින් දයාබර ඔබේ අදහස් දැක්වීම 3211 එක්ක මෙම සංඛ්‍යා දත්තයන්ට කිසිම දිනෙක මැන හමාර කල නොහැකි දයාබර බැඳීම අන්තයක් සමඟ දින තුන්සිය හැටපහක් ගෙවී ගිහින්..

ජීවිතයේ මට හමුවූ සොඳුරුතම මිනිසුන් සමඟින් ගෙවී ගිය පහුගිය දින තුසිය හැටපහ මගේ ජීවිතයට නව අරුතක් එක් කල, කිසිදාක අමතක නොවෙන කාලපරිච්ඡේදයක් විදියටයි මට හැඟෙන්නේ. මින් පෙර අවස්ථා ගනනාවකදිම සඳහන් කල පරිදිම මගේ යම් හැකියාවක් වූයේ නම් එය හඳුනාගෙන වේගයෙන් දිව යන මේ නිර්මාණ ලෝකයේ මාව මඟහැරෙන්නට, මාව අතරමංවෙන්නට, මාව අතෑරෙන්නට නොදී, මගේ අත ළඟින්ම අල්ලගෙන, මේ සා දුර මාව රැගෙන ආ හිමිවිය යුතු තරමටත් වඩා වටිනාකමක් මට ලබල දීල මෙතෙක් කල් වගේම මින් ඉදිරියටත් මට අපරිමිත ශක්තියක් වෙලා ළඟ ඉන්න මගේ දයාබර සහෘදයනි, ඔබලා හැමෝටම අනේක වාරයක් ස්තූතියි!!!

ආ මඟ කෙටියි...යා යුතු මඟ දුරයි... ගෙවා යන ඒ මඟ කල යුතු දේ බොහෝයි... සබඳ අපි උනුන් පරයා නැගෙන කඳු නොවී ලෝකයට සිහිල් ජල දහරක්ම වෙමු...!




"සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන..

වියරු ගිනි දැල් නොවෙමු
වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වසින..

නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන..."

පදරචනය : දර්ශන මේදිස්
සංගීතය : ගුණදාස කපුගේ
ගායනය : ගුණදාස කපුගේ




(Sabanda Api Kandu Nowemu - Gunadasa Kapuge)







බ්ලොග් අඩවියට වසරක් පිරීමත් සමඟම එහි පසුතලයෙහිද වෙනස්කම් කිහිපයක් සිදු කලෙමි. විශේෂයෙන්ම පෙර තිබූ පසුතලය කියවන්නා හට වෙහෙසකර බව කිහිප දෙනෙකුන්ම පවසන ලදි. ඒ අතර ඒ බව මට මුලින්ම කීවේ කතන්දරයි. ඉන්පසු මෑතකදී ඉන්දික සොහොයුරාද පවසනු ලැබීය. ඒ අතරතුර කිහිප දෙනෙකුම මේ බව පැවසූ නිසාම, මටද ඒකාකාරී වී තිබූ එම පසුතලය ඉවත් කොට අලුත් පසුතලයක් යෙදීමි. මා ලියන දෙයහි වටිනාකම වැඩිවන්නේ එය ඔබ කියවනවානම් පමණි. එසේ කියවීමටනම් ඒ සඳහා ප්‍රියමනාප පසුබිමක් තිබිය යුතුය. එහෙයින්, යම් අඩුපාඩුවක් වේ නම් ඔබේ දයාබර අදහස් මට ඉතාමත් අගනේය.