"නෑ..."
"උඹ දෑස නිලුපුල් තෙමා අහල තියෙනව ද?"
"උඹ කපුගේ ගැන දන්නව ද?"
"නෑ..."
"එතකොට මාරියාවේ?"
"නෑ..."
මේ සංවාදයට දැන් වසර තිහක් ගෙවී ඇත. ප්රශ්නය අසන්නේ මගේ මිතුරෙකි. පිළිතුරු දෙන්නේ මා ය. ඇඹිලිපිටිය ප්රදේශයේ වී මෝලක වී ගෝනි දෙකක් මත අපි වාඩි වී සිටියෙමු. උසස් පෙළ විභාගයෙන් පසු මම මගේ මිතුරාගේ ඥාති නිවසක ගොස් සිටියෙමි. මගේ මිතුරා අද කොහේදැයි මම නොදනිමි. නම සිංහාරච්චි ය. පදිංචිය කොටිකාවත්තේ ය.
මේ ලියන මොහොතේ මම ඔහු ව සිහි කරමි. මක්නිසා ද මට ගුණදාස කපුගේ නම් වූ ගායකයාගේ ගී අසන්නට පුරුදු කළේ ඔහු බැවිනි. ඒ පුරුද්ද ඇබ්බැහි කමක් බවට පත්වී මා පසු කලක කපුගේවාදියකු වීමි. අද මා කපුගේවාදියකු නොවුවත් ඔහුගේ ගායන විලාසය, කටහඬ හා තනු නිර්මාණ සිහිපත් කරන්නේ ඉතා ආදරයෙනි. ගෞරවයෙනි.
කපුගේ බැබළෙන්නට කරුණු කීපයක් බලපායි. පළමුවැන්න නම් ඔහුගේ හඬයි. පාළු සුසාන භූමියක් පසු කරගෙන සුළඟේ දෝංකාර දෙන ශෝකී නාදයක් ඔහු සතු ය. “උන්මාද සිතුවම්” නමැති ගීය ඔහු ගැයු විලාසයට කිසිවකුට අනුකරණය කළ නොහැකි ය. “උලලේනෝ” වැනි ගීතයක් අනුකරණය කිරීමට, ආධුනිකයකු හෝ උත්සාහ කරනු මා දැක නැත. “මාරියාවේ” නැමැති ගීයද එසේ ම ය.
අනෙක් කරුණ වන්නේ ප්රතිභා පූර්ණ ගීත රචකයන් රාශියක් ඔහු වටා එක්වීමයි. ස්වර්ණ ශ්රී බණ්ඩාර, රත්න ශ්රී විජේසිංහ, රංබණ්ඩා සෙනෙවිරත්න හා ලූෂන් බුලත්සිංහල ඒ අතරින් ප්රධාන ය. ඔවුන් ගේ ගේය පද මාලා මා පෙර කී සුවිශේෂ සොහොන් හඬ සමඟ මනා ව බද්ධ විය. එසේම ඔහු සඳලුතලයෙන් බැස මිනිසුන්ට බද්ධ වූ සොඳුරු මිනිසකු විය.
ලූෂන් බුලත්සිංහලයන් ගේ නිර්මාණයක් ගැන මම ගිය වතාවේ ද සටහනක් තැබුවෙමි. මෙවර ද ඔහුගේ නිර්මාණයක් තෝරා ගැනීම ගැන කිසිවෙක් අමනාප නොවෙත් වා! “සුදු නැන්දා” නම් වූ ගීතය වැඩියෙන් විකාශනය වූයේ ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවය තුළයි. මේ ගීය එකල කොතරම් ජනපි‍්‍රය වී ද යත් මිතුරන් සමඟ විනෝද වන සෑම විටක ම මම මේ ගීය ගායනා කළෙමි.
ගැමි තරුණයකු මුහුණ දෙන ශෝචනීය අනුභූතියක් මේ සඳහා වස්තු වෙයි. තම වස්තු බීජය සංකේතාත්මක කාව්යමය භාෂාවක් ඔස්සේ ගොනු කිරීමට ලූෂන් බුලත්සිංහලයෝ සමත් වෙති.
නෑනා මස්සිනා සම්බන්ධය ගැමි ජීවිතය හා බද්ධ වූවකි. බොහෝ විට මස්සිනා නෑනා දෙමාපිය ආශිර්වාදය මත විවාහ කරගනී. එහෙත් මේ ගැමි තරුණයාට එබඳු වාසනාවක් හිමිවී නොමැති ය. කිනම් හෝ දෛවෝපගත අභාග්යයක් නිසා සියල්ල කණපිට පෙරළි තිබේ. රචකයා මේ විරසකය සන්නිවේදනය කරන්නේ පාරිසරික සංකේත ඔස්සේ ය.
"සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ
මාමණ්ඩි ඇයි මට මඟ හැරියේ..."
ඔහු දුටු විගස සුදු නැන්දා දොර වසයි. මාමණ්ඩී මඟ හැර යයි. ගේ තුළින් ඇසෙන්නේ ඉකි බිඳුමකි. වෙනදා ඔහු පිළිගැනීමට ඉදිරියට දිව එන සිනා මුහුණ අද දකින්නට නොමැත. ඒ සුසුදු වත ගේ මුල්ලට වී ඉකි බිඳියි. මෙය ගැමි පරිසරයේ සිදුවිය හැකි සිද්ධි දාමයකි. මේ දර්ශනය රචකයා චිත්රයට නඟයි. ලූෂන් බුලත්සිංහල සිංහල ගීතයේ රූප රචකයා වන්නේ එබැවිනි. තම නෑනණ්ඩියගේ නිවසේ පරිසරය ම ඔහුට එරෙහි වන ආකාරය රචකයා චිත්රයට නඟයි.
"වෙනදා ඉඳිකඩ අද මට හරස් වෙලා
වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා"
රචකයා විසින් ශෝක රසය මැවීම සඳහා යොදාගන්නේ මීළඟ අවස්ථාවයි. තම නෑනණ්ඩියට තෑගි දීමට රීදි පොටක් ඔහු හංගාගෙන පැමිණ ඇත. මේ ගැන නොදන්නා හීන් නඟාට ඒ ගැන කෙසේ පවසන්න ද? රිදී පොට තෑගි දීම ගැන දින සති මාස ගණන් මැවු සිහින සියල්ල බොඳ වී ගොසිනි.
"රිදී පොටක් හංගා ගෙන ආවා
හීන් නඟේ නුඹ නෑ දන්නේ"
රචකයා තම පාරිසරික සංකේත මාලාව ඉදිරියට ම ගෙනි යයි. ඒ සෑම සංකේතයක ම මේ තරුණයාගේ පරාජිත ඉරණම රැඳී පවතී. තම නෑනා ගේ සැළලිහිණි කූඩුවේ සැළලිහිණියාට ද මේ වෙනස වැටහී තිබේ. උගේ සතුටු ගී ගොළු වී ගොසිනි. කනප්පුවේ තිබෙන බුලත් හෙප්පුව වූ කලී හිත හොඳින් කෙනෙකු පිළිගැනීමේ සංකේතයකි. ඒත් ඒ හොඳ හිත පළුදු වී ගොසිනි. මේ මොහොතේ හෙප්පුව බිම වැටී තිබේ. ඒ අජීවී වස්තු පවා වේදනාවට පත් වී තිබේ.
"තටු පොරවාගෙන සැළයා කූඩු වෙලා
කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා
පාන් පැලට අද පර මල් වැඩලා
ගලේ විහාරෙත් ගොළු වීලා"
පහන් පැලේ මල් පිදීමට තරම් පහන් සිතක් දැන් පහළ නොවේ.
මල් අසුන මත ඇත්තේ පරමල් ය. පෝදාට දෙදෙනා එක් ව මල් පිදීමට ගිය ගලේ විහාරය පවා තුෂ්ණිම්භූත ව බලා සිටී. ඔවුන්ගේ ආදරය සමඟ ආගමික ගුණ සුවඳ ද බද්ධ වී තිබු ආකාරය රචකයා මේ මඟින් මතු කර දක්වයි.
සෑම කවියක් ම ගීතයක් නොවේ. එහෙත් සෑම සාර්ථක ගීයක ම හොඳ කවියක් ගැබ් ව පවතී. මෙය හොඳ කවියක් අන්තර්ගත හොඳ ගීයක් වන්නේ එබැවිනි.
සුභාවිත සිංහල ගීතය අද කඩා වැටෙන්නේ හොඳ කවියන් ගීත රචනයට අවතීර්ණ නොවීම හේතුවෙනි. අද තරුණ පරපුර විශ්වාසය තබා ඇත්තේ තනු නිර්මාණ ගැන පමණි. එසේ නොමැති නම් ඔවුන් ගේ විශ්වාසය රූප රචනා කෙරෙහි ය.
රසිකයන්ගේ රසිකත්වය ද සැබැවින් ම මොට වී ඇත. එසේ නැතිනම් මොට කර ඇත. ශ්රී ලංකාව ගොඩගන්නට කර්මාන්තශාලා හෝ මහාමාර්ග තැනිමෙන් පමණක් ම නොහැකි ය. බාල පරපුරට හොඳ දේ අසන්නට ඉඩ තැබිය යුතු ය. වල් බූරු ජනමාධ්‍ය තුළ වල් පැළ උදුරා දැමිය යුතු ය.
මානව හිමිකම්වල සැබෑ අර්ථය හඳුනා ගත යුතු ය. ඕනෑ ම දෙයක් ඉදිරිපත් කිරීමට නිදහසක් ඇත්නම් ප්රතික්ෂේප කිරීමේ නිදහස ද පැවතිය යුතු ය. වැසිකිළි තිබිය යුත්තේ එය තිබිය යුතු තැන ය. එය සාලයට ගෙන එන්නේ නම් එය ද මානව හිමිකම් කඩකිරීමකි. පරිසර දූෂණයකි.
ප්රසිද්ධ ස්ථානවල කුණු දැමීම තහනම් ය. එහෙත් ප්රසිද්ධ ජනමාධ්‍ය වලින් කුණු බෙදා හරියි. නිවේදක ගිරව් හා ගිරවියෝ ඒ සඳහා සැදී පැහැදී සිටිති.
එක් ප්රසිද්ධ සිංහල ගුරුතුමෙක් රූපවාහිනියේ “අසැබි චිත්‍රපට”සඳහා ඉඩක් සැපයිය යුතු බව දේශනයකදී පැවසුවේ ය. අපට ඒ තරම් ම නිදහසක් අවශ්‍ය ද? මේ ගැන තවත් සිතන්නට ඔබ පෙලැඹේ නම් මෙම වෑයම තව තවත් අර්ථවත් වනු ඇත. මක්නිසාද, සංගීතයේ තත්සර අප ඇසුරු කළ යුත්තේ, වඩා යහපත් හෙට දවසේ සංවේදී මිනිසුන් බිහි කිරීමට මිස පිස්සන් බිහි කිරීමට නොවන බැවිනි.
(Sudu Nenda Ai - Gunadasa Kapuge)
උපුටා ගැනුම : සිඵමිණ පුවත්පතෙහි පුන්කලස අතිරේකය සඳහා ධම්මික බණ්ඩාර මහතා විසින්
ලියන ලද ලිපියකිනි.
"කියවල ඉවර වෙලා අදහසක් එකතු කරලම යන්න.. "
මාත් කැමති ගීත වලින් එකක්, තේරුම අමුතු විදියට නිරුපනය කරන්නේ.ඒකටයි හිත ඇදිලා යන්නේ..
ReplyDeleteකැස්පර් මගේ පරණ පෝස්ට්ටුත් ෆලෝ කරනවා වගේ.. හොඳයි..හොඳයි.. ගීත රසවිඳීම පිළිබඳ ඔබ දක්වන උනන්දුව ගැන සතුටුයි ගොඩක්..
ReplyDelete