"ඡායාවකි එය මායාවකි එය සසර පුරා ඔබ ඈතට ඇදුණා..."
මේ ගීතය මා තෝරාගත්තේ පද රචනාවක අසිරිය ඔබ සමඟ බෙදාගන්නට ම නොවේ. අප අතරින් මැකී ගිය අමරණීය හඬක් සිහිගන්වමින් ශෝකයෙන් උපත ලබන මතක ආස්වාදයක යෙදීමටයි. මොහොතකට මම විජය කුමාරණතුංගයන් ගේ දේශපාලන චරිතය අමතක කරමි. ඒ මා ඔහුගේ දේශපාලනය ප්රතික්ෂේප කරන නිසා නොවේ.
දේශපාලනයේ දී විජය අයිති වූයේ එක්තරා පිරිසකට පමණි. එහෙත් කලා ලෝකයේදී විජය අප සියලු දෙනාගේ ම ආදරණීය කලාකරුවෙකි. ආදරණීය මිනිසෙකි. ඒ නිසා “දඟගෙයි දඬුවම්” වැනි නිර්මාණයක් හිතාමතාම මඟ හැර කලාතුරකින්වත් අපේ නාලිකාවල අද නෑසෙන මේ ශෝකී ගීතය තෝරා ගතිමි.
සමාජයෙ හි මෙන්ම කලාකෘතීන්හි ද සියල්ල අභිබවා ගෙන විජය නැමැති මිනිසා මතුවන නිසා මම ඔහු ගැන වචන කීපයක් සටහන් කරමි.
විජය වැනි මිනිසකු යළි ශ්රී ලංකාවේ උපදී යැයි මම විශ්වාස නොකරමි. ආකර්ෂණීය සුන්දර බව, මිනිස් කම, රංගනය, කටහඬ, ගායනය, කථිකත්වය, පෞර්ෂත්වය ආදි සියල්ල මිනිසකුට එක්වර දායාද කරන්නේ ඉතා කලාතුරකිනි. වාසනාවට හෝ අවාසනාවට විජයට ඒ සියල්ල පිහිටා තිබිණි. ඔහු වැන්නකුට වෙඩිතබා මරා දැමිය හැක්කේ, ඊර්ෂ්යාවෙන් අන්ධ වූ ම්ලෙච්ඡ ඝාතකයකුට හෝ උන්මත්තකයකුට පමණි. එහෙත් සියල්ල සිදු වී අවසන් ය.
"රූස්ස ගහ ළඟ පාළු මාවතේ
කළුවර යාමේ කළු ගඟ අයිනේ
කවුරුද ඈතින් මා අමතන්නේ
ඔබේ සුවඳ දෝ හිත දැවටෙන්නේ"
විජයගේ කටහඬට යටින් ඇති පදපෙළ රොමැන්ටික් දර්ශනයෙන් පෝෂණය ලද පද පෙළකි. කළු ගඟ අයිනේ පාළු මාවතක හුදෙකලාව සිටින මිනිසකු අපේ මනසේ ඇදී යයි. කළු ගඟ දෑලට කළුවර වැටී ඇති මොහොතක ඔහුට ඔහුගේ නම කියා කව්දෝ අමතනු ඇසෙයි. පාළු පරිසරය ඒ හඬේ දෝංකාරයෙන් සසල වෙයි. තරුණයකු ගේ හද සසල කරවන වියෝ වූ ආදරයක දෝංකාරය රචකයා රසිකයා ඉදිරියේ මවන්නේ ඒ අයුරිනි.
වියෝ දුක වූ කලී වියෝ දුකක් ම ය. එය අප අත් විඳින්නේ යථාර්ථයෙන් බැහැරවයි. අප ආදරය කළ රූප ඡායා ඕනෑ ම මොහොතක අප අවට දැකිය හැකි ය. අපට මවාගත හැකි ය. රචකයා තෝරාගන්නේ එවැනි රූප ඡායා කලාත්මක ව මැවිය හැකි හුදෙකලා අද්භූත පරිසරයකි. එය රෑ මැදියමේ දකින සිහිනයක් හා සමාන ය. සෞන්දර්යය යනු එයයි.
"එහා තොටින් ඔබ පාරුව පැදගෙන
මෙහා තොටට එයි මා හමුවන්නට
ඔබ මා පෙම් කළ මේ ගං තොටුපළ
සිහින නගරයකි ඔබ මා වෙන් කළ"
ආදරය යනු මායාවන්ගේ උපතයි. සිත දිව යන්නේ ඈත ගම්මානයකටයි. පාරුව පැදීම යථාර්ථයක් හෝ කල්පිතයක් විය හැකි ය. පැරණි වැඩවසම් ගම්මානයක එය යථාර්ථයක්ද විය හැකි ය. ගඟේ පාරුව මෙන්ම ජීවිතයේ පාරුවද ඇය ඔහු වෙත පදවයි. එහෙත් මේ තොටුපළ ඔවුන්ගේ කඳුළු තොටුපළකි. ඇය මේ තොටුපළේ පාරුව පෙරළී ගිලී මිය ගියා විය නොහැකි ද? මේ මඟින් සංකේතාර්ථ බැහැර කොට එවැනි සිද්ධියක් යථාර්ථය කොට ගතහොත් මේ ගීතය තුළ පවතින රොමැන්ටික් සෞන්දර්යය අපරිමිත ය. මට මඩවල රත්නායකයන්ගේ නිර්මාණයක් සිහිවෙයි.
"තොටමුණ බඩ සිටි රුවන් මලී
ගඟ බිලිගත් මගෙ රුවන් මලී
ගමට සිටිය එක රුවන් මලී
ගමට වරෙන් අද රුවන් මලී"
(ගායනය, පණ්ඩිත් අමරදේව)
(Thotamuna Bada Siti Ruwanmali - W.D. Amaradewa)
පි‍්‍රයයන්ගෙන් වෙන්වීම දුකක් ම ය. ඒ පි‍්‍රයයන් හා බැඳුණ භෞතික සිද්ධාන්ත හදවත් පාරවන ආකාරය අරුම පුදුම ය.
මේ භෞතික සිද්ධාන්ත විටෙක අභෞතික වන්නේ ය. දෘෂ්යමාන ලෝකයේ අදෘශ්යමාන ලෙස පි‍්‍රයයන්ගේ ඡායාවන් මැවැන්නේ එබැවිනි. නැවත වරක් මට “රුවන්මලී” ගීතය සිහිවෙයි. ගඟ බිලිගත් රුවන්මලීට ආදරය කළ තරුණයා සවස්යාමයක ගං ඉවුරට පිවිසෙයි. එවිට ඔහු දකින මනෝමය සිත්තම් මඩවල රත්නායකයන් චිත්රයට නඟන්නේ මෙසේය.
"ඉර අවරට යන සැන්දෑ යාමේ
දුම්බර කඳු වැටි මුඳුන් වලින්
සිහින් වළාවක් හෙමින් ඇවිල්ලා
මේ තොටමුණ ළඟ ලැඟුම් ගනී
සුදු ඔසරිය ඇඳ වළා පෙළෙන් බැස
රුවන් මලී තොටමුණට ඇදේ
කළය පුරා දිය උකුළෙ තබාගෙන
හෙමින් හෙමින් පා නඟණු පෙනේ"
(මඩවල එස්. රත්නායක)
මෙම නිර්මාණයේ දී රුවන්මලීට ආදරය කළ යෞවනයා දකිනුයේ කුමක් ද? රුවන්මලී දුම්බර කඳුවැටි මුදුන්වල ගැටෙන සුදු වලාකුළකින් බැස තොටමුණ දෙසට ඇදී දිය ගෙනයන ආකාරයයි. දියේ ගිලී මියගිය රුවන්මලී පිළිබඳ ව දකින සිහින මායාවන් හා සමාන මායාවන් මේ නිර්මාණයේ ද රචකයා යොදා ගනී. එවැනි මායා රූප යොදා ගැනීමෙන් ශෝක රසය ප්රබල ව උද්දීපනය කළ හැකිය.
"පාරුව පෙර මෙන් ගඟ මැද පෙනුණා
පියවර හඬ මා අසල ම ඇසුණා
ඡායාවකි එය මායාවකි එය
සසර පුරා ඔබ ඈතට ඇදුණා..."
ගඟ දිය මත සෙවණැලි පමණක් ඉතිරිකොට ඇය ද ගඟ දියයට සැඟ ව ගොසින්. මේ සංසාරයේ ඇය නැවත මුණ නොගැසෙන්නේ ය යන යථාර්ථයට මේ තරුණයාට අකමැත්තෙන් හෝ මුහුණ දෙන්නට සිදුවෙයි. රූස්ස ගහ, පාළු මාවත, කළු ගඟ, සැඳෑකළුවර, ඒ මැදින් ඇදෙන පාරුව වැනි චිත්ත රූප නිසා පාළුව හා ශෝකය තව තවත් වර්ධනය වේ.
මෙහි සංගීතය වූ කලී පදමාලාව තවදුරටත් පෝෂණය කරන්නකි. සරත් දසනායකයෝ මේ සඳහා ජනගී, පාරු කවි ආදියෙහි පවතින වැලපුම් විරිත් වල ආභාසය ලබා තිබේ.
විජය කුමාරණතුංග ගැන නැවත මම කිසිවක් නොලියමි. එසේ වුවහොත් “තත්සර ඇසුර” අතිශයින් හැඟීම්බර පුද්ගල ඇසුරක් බවට පත්වනු ඇත. එහෙත් රිදී තිරය බැබළ වූ විජය, දුලබ හඬකින් ගී ගැයූ විජය, සසර පුරාවට ඈතට ඇඳුණු බව දැනෙන වාරයක් පාසා දැනෙන වේදනාව මේ කාලකණ්ණි සමාජයට ශාප කරන්නට හැකි තරම් බරපතළ ය. විජය ඔබ යළිත් අප අතර උපදින්නට එපා.
"රූස්ස ගහ ළඟ පාළු මාවතේ
කළුවර යාමේ කළු ගඟ අයිනේ
කවුරුද ඈතින් මා අමතන්නේ
ඔබේ සුවඳ දෝ හිත දැවටෙන්න..
එහා තොටින් ඔබ පාරුව පැදගෙන
මෙහා තොටට එයි මා හමුවන්නට
ඔබ මා පෙම් කළ මේ ගං තොටුපළ
සිහින නගරයකි ඔබ මා වෙන් කළ..
පාරුව පෙර මෙන් ගඟ මැද පෙනුණා
පියවර හඬ මා අසල ම ඇසුණා
ඡායාවකි එය මායාවකි එය
සසර පුරා ඔබ ඈතට ඇදුණා..."
(Russa Gaha Langa - Vijaya Kumaranathunga)
උපුටා ගැනුම : සිඵමිණ පුවත්පතෙහි පුන්කලස අතිරේකය සඳහා ධම්මික බණ්ඩාර මහතා විසින් ලියන ලද ලිපියකිනි.
"කියවල ඉවර වෙලා අදහසක් එකතු කරලම යන්න.. "
No comments:
Post a Comment