අපිත් දකිමු ඔබ දුරටා වැටෙන් එහා වැඩ හිඳිනා
මහින්ද චන්ද්රසේකර නම් ප්රතිභාන්විත ගීත නිබන්ධක කලාකරුවා ගේ උක්ත ප්රබන්ධය විමසන මා මනැසෙහි මැවෙන්නේ, නුවර කලාවියෙන් ආ සැදැහැති පිරිසක් ජයසිරි මහ බෝ සමිඳු පෙනෙන දුරින් වන වැලි මළුවේ සිට උන්වහන්සේ අමතන දසුන් පෙළකි.
පිරිස අතර වන එක් සැදැහැතියක ප්රමුඛ ව ජය ශ්රී මහා බෝධීන් වහන්සේ ගෙන් මේ විමසා සිටින්නේ කිසිසේත් සුළු කොට සලකා පසෙකට කළ හැකි පැනයක් නො වේ.
"ජය සිරි මා හාමුදුරුවනේ
දර මිටි ඇද්දා, රෑ නිදි වැරුවා"
නුවර වැව, කලාවැව, පදවිය වැව දළ සලකුණු සේ ගැනුණ, නුවර කලාවියට අයත් භූමි භාගයෙහි ජනතාව ‘දර මිටි පෝය’ යනුවෙන් හඳුන්වන්නේ ඇසළ පොහොය යි. එදිනට අනුරාධපුර වන්දනාවේ යෙදුණ ඔව්හු එකල ජය ශ්රී මහා බෝධීන් වහන්සේ අවට ගිනි මැල ගැසීම සඳහා දර මිටියක් රැගෙන ආ හ.
බෝධීන් වහන්සේ හාත්පස ප්රදේශය මෑත අතීතය දක්වා ම ගන වනයේ ග්රහණයට හසු ව පැවැතිණි. බෝධි ස්වාමින් වටා වූ ප්රාකාරය ද කිහිප තැනකින් බිඳ වැටී විවෘත ව තිබිණි. බෝ පත් අනුභවයට රිසි වූ වන ගැබින් පැමිණි වල් අලින් ගෙන් උන්වහන්සේ රැක ගැනීම එකල මහත් අසීරු කටයුත්තක් වූයේ ය.
එහෙත් නුවර කලාවියේ සැදැහැවත් ගිහි පිරිස් , ජයසිරි මා හාමුදුරුවන් භාර ව සිටි හිමිවරුන් ද සමඟ පුරා රැය නොනිඳා, අවට සිවු දිශාවන් හි ගිනි මැල ගසා උන්වහන්සේ රැකවල් කොට නිරුපද්රිත කළ හ.
මේ කාර්යය සඳහා දිනපතා අවශ්‍ය වූ මහත් දර ප්රමාණය සපුරාලීම පිණිස නුවර කලාවියේ ගැමියෝ ඇසළ පොහොයට උඩ මළුවට එන විට, දර මිටියක් රැගෙන එන්නට පුරුදු ව සිටිය හ. ඇසළ පොහොය ‘දර මිටි පෝය’ යන වහර ලැබුවේ මේ කරුණ මුල් කොට ගෙන ය.
ගිනි මැල ගසා ගෙන ජය සිරි මා හාමුදුරුවන් ආරක්ෂා කළ සැදැහැවත් පිරිසට, ‘උඩ මළුවට පිවිසීමේ කිසිදු බාධකයක් එකල නො විණි.
ශ්රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින, මළු හතකින් පරිමිත භූමියෙහි වැලි මළුවට පළමු ව පිවිස, අනතුරු ව විහාර මළුවටත්, ඉක්බිති දෙවැනි මළුවටත් මිස ඉන් ඔබ්බට යෑමට පසු කලෙක කිසිවකුට අවසර නො ලැබිණි.
දෙවැනි මළුවෙන් ඉහළට ඇති සියලු පිවිසුම් දොරටු වසා අගුලු ලා, එහි පාරම්පරික රැකවල්කරුවෝ දිවා රෑ සිය රාජකාරියෙහි යෙදෙති.
මේ ගීතයෙන් අප හමුවේ මැවෙන සැදැහැත්තිය බෝධි ස්වාමීන් ගෙන් ප්රශ්න කරන්නේ, එසේ ගිනි මැල ගසා ගෙන නො නිඳා රැක සිටිය අපට, අද උඩමළුව දක්වා පැමිණීමට තහනම් ද යන්න යි.
ප්රබල විරෝධාකල්පයක යටි හඬක්, ඉතා නිහතමාන එහෙත් නො අඩු සැදැහැබර ස්වරයෙකින් ගීතයේ මුල් භාගයෙන් මතු වනු ඇසෙයි.
ආගම යනු සංස්කෘත භාෂාවෙහි එන ‘ධර්ම’ යන වදන හා සම වන පදයෙකි. ‘ධර්ම’ යනු ස්වභාවය යි. අප ගේ හා ප්රකෘතියෙහි මූලික ස්වභාවය යි.
පැවැත්මෙහි මූලික ස්වභාවයයි. ගින්නේ ධර්මය උණුසුම් වීම යි. ධර්මය යන්නෙන් විහාරයක් හෝ බෝ රුකක් අදහස් නො වේ. කවර හෝ සංවිධානාත්මක සිරිත් විරිත් පද්ධතියක් ධර්මය නො වේ.
අතීතයේ ගිනි මැල ගසමින්, අලි ඇතුන් ගෙන් විපත් වනු නො දී, රැකවල් කළ දනන් හා ජය සිරි මා හාමුදුරුවන් අතර වූයේ පෙර කී ප්රකෘති සහ සම්බන්ධය යි. ඒ සබඳතාව ඇසුරේ අතර මැදි අධිකාරිත්වයක් නො විණි. මෙකී අධිකාරිත්වය පැමිණීමට පෙර ආගම යනු ‘ආදරය’ විය.
මිනිසා ඔවුනොවුන් කෙරෙහි මෙන් ම අනෙකුත් ජීව ගණ හා ඇළ දොළ, කඳු, මිටියාවත්, තුරුලිය යනාදි සියල්ල කෙරෙහි විවෘත ව සහසබඳතා පැවැත්වීම ද කරුණා සහගත වීම ද ආගම යි; ආදරයයි. මෛත්රි සහගත අනුකම්පක හදැති වීම යනු ද ආගම යි.
එබඳු ආගම පුද පූජා, චාරිත්‍ර සහිත චිරාගත යැයි හුවා දැක්වෙන අධිකාරයකට යටත් වීමේ ඵල වශයෙන් විද්යමාන වූ තත්ත්වය පිළිබඳ සියුම් ඉඟියක් මහින්ද චන්ද්රසේකරයන් මෙමඟින් අපට ගෙන හැර නො පාන්නේ ද? ආගම මිනිසා ගේ හදවතේ පෞද්ගලික ප්රකාශනය සේ පැවැතීමේ ස්වභාවය පරිවර්තනය කරමින්, එය සංවිධානාත්මක පොදු වැඩ පිළිවෙළක් වූ කල පුද පූජා මූලිකත්වයට පත් විය. ශුද්ධත්වය හා පූජනීයත්වය අත්‍යවශ්‍ය ගරු බියක් ලෙස සැලැකීම ලොව පුරා සිදු විය.
දැදුරු වුණු ගල් බිතු සහිත පර්වත තීරයක මුදුනෙහි වූ වන අරුණක ඇති, කඳ කුමරුන් ගේ පිළිමයක් සහිත පාළු දෙවොලක් මම දනිමි. ඒ දෙව් පිළිමයෙහි අබිමන, තේජස, දිදුලන නෙත් වතෙහි වූ බැරෑරුම් ගුප්ත ස්වභාවය දැකිය හැකි වූයේ ඊට වෙන් වුණු පූජෝත්සව සමයෙහි පමණි.
අවාරයෙහි ද එහි පිවිසුණු අපට දක්නට ලැබුණේ ඒ කඳ දෙව් පිළිමය, අවට කඳු වැටි හා තුරුලිය ද සමඟ සම ව, මහත් නිශ්ශබ්දතාවෙහි කුලුණු සුපසන් වතින් සම්භාෂණයෙක යෙදී සිටින අයුර ය.
පූජනීය යැයි සැලැකෙන සියල්ල ආගමික හෝ දේව සංස්ථාවකට යටත් කොට ගැනීමෙන් මනුෂ්යයා ඉදිරියෙහි ම වැටක් නිර්මාණය වෙයි. එය සිදුවන්නේ ද මිනිසුන් ගේ ම ප්රත්යක්ෂ පූර්ණ අසරණ භාවය, බිය, අපේක්ෂා භංගත්වය, අනාරක්ෂිත බව පිහිට කොට ගෙන ය. බියෙන් තැති ගත් මිනිසුන් නිසා ම ශුද්ධත්වය යන්න ආරෝපණය වෙයි.
ශුද්ධත්වය නමැති නාමකරණය සමඟ තහංචි ද පැනැවෙයි. එහෙත් ශුද්ධත්වය, පූජනීයත්වය පැවැතිය යුත්තේ මිනිසා ගේ සමීප සම්බන්ධය ඇසුරෙහි ම ය.
"වැලි මළුවේ හිද සාදු කියන කොට
අහිතක් නොහිතා ඉන්න හොඳයි"
පෙර ජය සිරි මා හාමුදුරුවනට සමීප ව විසූ පරපුරක ඇත්තෝ අද මළු හතෙන් පහතින් ම පිහිටා ඇති වැලි මළුවේ සිට උන්වහන්සේට සාදු කියා නමස්කාර කරති. ‘අහිතක් නොහිතා ඉන්න හොඳයි’ යන්න, මේ තත්ත්වය අන් පාර්ශ්වයක මැදිහත් වීමෙන් සිදුවී ඇති බවක් ගම්යමාන කිරීමකි. පෙර සබඳකම් කෙසේ වුව, අද ඒ සඳහා වන සියලු අවස්ථා වැසී ගොසිනි.
උන්වහන්සේට බාරහාර කරනු පිණිස එදා පේවි පේවී උඩ මළුවට ආ මේ මිනිස්සු හේනේ, කෙතේ සිය වෙහෙස වපුරා පදම් වූවෝ වෙති. බෝධි ස්වාමීන් සමීපයේ ම සිට එදා වූ කිරි අහර, මල්වට්ටි, පහන් පූජා යනාදී බාර වීම් සියල්ලෙහි සේ ම අද බාරවල ද දහදිය මුසු වී ඇත. එහෙත් ඒ බාර පිළිගනු මැනැවැ යි සැදැහැත්තිය අයැදියි. ඈත් කිරීමක්, වෙන් කිරීමක් සිදු වී ඇති බවට ඉඟියක් ද මෙමඟින් සැපැයේ.
වසර 2245 ක පමණ දිගු කාල වකවානුවක් මුළුල්ලේ ජය ශ්රී මහා බෝධි රාජයාණෝ ද ජීවි ලෝකයට හිමි පැවැත්මේ විපරිණාමයට හසු ව සිටිති. උන්වහන්සේ පවා ක්ෂණ භංගුර හෙවත් සැණ වෙනස් වෙමින් පවත්නා ධර්මයෙකි.
උන්වහන්සේ ගේ ශුද්ධත්වයට, පූජනීයත්වයට හේතු වන්නේ ද මෙකී විපරිණාම ධර්මයට අනුගත වූ බව මිස, සදාකාලිකත්වයක් නො වේ. එහෙත් සියලු වැට කොටු පූජනීයත්වය උත්කර්ෂයට පත් කිරීම සඳහා ය. සැබෑ ආධ්යාත්මික ජීවිතයේ උදාව සඳහා නො වේ.
"රන් වැට පාමුල සාධු කියන කොට
ළෙංගතු කම් නොහිතන්ඩ හොඳයි
බුදු හාමුදුරුවො දුටුවා වාගේ
දුක උහුලා ගෙන ඉන්න හොඳයි"
දෙවැනි මළුව හෙවත් දේවාල මළුවට පිවිසුණු මේ සැදැහැති පිරිසට, රන් වැට මළුව ඉහළින් පෙනෙයි. ඔවුන් සිටිනුයේ රන් වැටට පහළිනි. මෙතෙක් ජය සිරි මහ හාමුදුරුවන් ඇමැතූ සැදැහැත්තිය, තමා සමඟ වන පිරිස අමතන අයුරක් ගීතයේ මේ තෙවැනි භාගයෙන් හැඟේ. එදා රැකවල් කළ කාලයේ සිට පැවැති ළෙංගතු කම් මේ අවස්ථාවේ සිහි නො කළ මනා ය. එයින් සිදුවන්නේ දුක වැඩිවීම පමණි. මේ බෝධීන් වහන්සේ නො ව බුදුන් වහන්සේ යැයි සිතා දුක උහුලා ගැනීම මැනව.
වෘත භාවය, ආදරය, කරුණාව ඉක්ම ගිය, වෙන් කිරීම්, වැට කොටු ඇති තැන කිසිවක් පූජනීය නො වේ. මිනිසුන් ගේ් සමීප භාවයෙන් තොර මළ ලොවක ශුද්ධත්වය, පූජනීයත්වය අර්ථ රහිත වේ.
බුදුන් වහන්සේ දෙවැනි සතියෙහි ජය ශ්රී මහා බෝධීන් වහන්සේ දෙස ඇසි පිය නො හෙළා බලා සිටිමින් අනිමිස ලෝචන පූජාව කළ හ; කළ ගුණ දැක් වූ හ.
එහෙත් එය ඈත වැලි මළුවක සිට හෝ රන් වැටකින් එපිට සිට නො ව, බෝමැඩෙහි නිල් ගන සාකා වෙත ළං වී හිඳ දෙනුවනින් කළ පූජාවක් විය. එය මහා පුරුෂයාණ කෙනෙකුන් සමස්ත ස්වභාව ධර්මයා වෙත කළ කෘත ගුණ දැක්වීමෙකි.
ප්රකෘති ජීවිතයට එරෙහි විවිධ ආරෝපණ මඟින්, ඒ හා සමඟ වන මිනිසා ගේ සබඳතාව දුරස් කිරීම පිළිබඳ ඇඟැවුමක් මේ කවි නිමැවුමේ යටිතලයේ රැවු දෙයි. එ සේ ම මහින්ද චන්ද්රසේකරයන් ගේ ගීතයෙහි බස බෝධීන් වහන්සේට සමීප ව විසූ ගැමි ජනකායක ගේ බස අපට සිහි කරයි. එය ජනකවියෙහි සරල රීතිය හා, උසස් කවියට හිමි ව්යඤ්ජනා ශක්තියෙන් පොහොණේ ය.
දීපිකා ප්රියදර්ශනී පීරිස් නම් ගායනවේදිනිය සතු තිරසර ස්වරය, ගීතයේ අර්ථ මාධුර්යයට මෙහෙ කරයි. රෝහණ වීරසිංහයන් ද බැතිබර, එහෙත් ගීතයේ වස්තු විෂයය හා සබැඳෙන අන්දමේ නාදාකෘතියක් නිමවා තිබීම ද මෙහි දී වෙසෙසින් සඳහන් කළ මනා ය. ගීතයේ සමූහයා ගේ හඬෙහි කැටි වී නැඟෙන්නේ පෙර කී තහංචියෙන් මැඬුණු හදවත්හි ශෝකාලාපය යැයි ද හැෙඟ්.
"ජය සිරි මා හාමුදුරුවනේ
දර මිටි ඇද්දා රෑ නිදි වැරුවා

ගිනි මැල ගහගෙන රැක හිටියා
එහෙව් අපට අද එන්න තහංචි ද
ජය සිරි මා හාමුදුරුවනේ
වැලි මළුවේ හිඳ සාධු කියන කොට
අහිතක් නොහිතා ඉන්න හොඳයි
ඉස්සර වාගෙ ම ඩාදිය මුහු වුණු
අපේ බාර පිළිගන්න හොඳයි
රන් වැට පාමුල සාධු කියන කොට
ළෙංගතු කම් නොහිතන්ඩ හොඳයි
බුදු හාමුදුරුවො දුටුවා වාගේ
දුක උහුලා ගෙන ඉන්න හොඳයි"
පද රචනය : මහින්ද චන්ද්රසේකර
ගායනය : දීපිකා ප්රියදර්ශනී පීරිස්
(Jaya Sir Maa Hamuduruwane - Deepika Priyadarshani )
උපුටා ගැනුම : සිඵමිණ පුවත්පතෙහි පුන්කලස අතිරේකය සඳහා නන්දන වීරසිංහ මහතා විසින් ලියන ලද ලිපියකිනි.
No comments:
Post a Comment