Pages

Sandumal

Sandumal

Sunday, April 5, 2015

•සොහොයුරේ..

"නුඹේ නාමෙන් තවත් රතු මල්.. දෙරණ සුපිපෙයි දහස් ගනනින්..."
මේඝ ගර්ජනා අසෙනි වැසි වැටුණු
අනන්තවූ අඳුරු රැයක
නිමා නොවන ගන අන්ධකාරය
නිමා කොට නව දිනෙක අරුණැල්
මිහිකතට උදාකර..
නැවුම් දිදුලන නව දිනක් ගැන
සුබ සිහිනදුටු
සොහොයුරේ...
නුඹෙ සිහිනයට බියගෙන
සිහින දුටු සිත
සිහින දුටු නෙත
සිහින දුටු ගත..
දෙතිස් වදයට පමුණුවා
නිහඬ කල මුත් උන්
නුඹේ හඬ..
උන්ගෙ අවියට
උන්ගෙ සවියට
නොහැකි විය නසන්නට
නුඹේ සිහිනය...
රටක් වෙනුවෙන්
හෙටක් වෙනුවෙන්
නුඹ එදා දුටු සොඳුරු සිහිනය
සැබෑ වෙන තුරු
උදා වෙන තුරු..
නුඹේ නාමෙන් තවත්
රතු මල්..
දෙරණ සුපිපෙයි
දහස් ගනනින්...
•44 වැනි අප්‍රේල් විරු සමරුව වෙනුවෙනි...

Sunday, March 29, 2015

•හොඳින්, බැරිනම් නරකින්..


"නුඹට හැකිවෙද.. සුදු නෙලුමක් වී පිපෙන්න..."

මිනී කන කැනිබලුන්
පිරී ඇති නිම්නයක
නුඹව අතහැර ගොසින්..

ලේ ගඳට ඉව කරන
දත් සපන..බුරන..
ගොරවන...
උන්ගෙ මුඛයෙන් නැඟෙන
කුණු මිනී ගඳ පරයන්
නුඹට හැකිවෙද
සුදු නෙලුමක් වී
පිපෙන්න...

වරක් හැකිදැයි බලන්න
තව වරක් හැකිදැයි බලන්න..
නොහැකිනම් ගඳ පරයන්න
නොවී උන්ගෙන් එකෙක්
නොවී තව කැනිබලෙක්..
මරාගෙන මියයනු
සබඳ නුඹ..
සිංහයෙක් වී
දෙරණ සොලවන...

Sunday, March 22, 2015

•වැහි ලිහිණියනේ

"දුක් කඳුලු හැඟුම් දුරුකර මොහොතක අපෙ පැතුම් අරන් නුඹ පියාසලන්..."

වැහි ලිහිණියනේ විදු බිමට උඩින්
වැහි කඳුලු මැදින් දුර පියාසලන්
පෙම් සිතක පැතුම් දුර ඈත ඉඳන්
ගොස් රැගෙන එන්න හැකිවෙයිද ඉතින්..

නුහුරු රටේ මම තනිව හිඳිම්
පුරුදු රටේ ඈ සුසුම් මැදින්
දුක් කඳුලු හැඟුම් දුරුකර මොහොතින්
අපෙ පැතුම් අරන් නුඹ පියාසලන්..

මේ සිරිපොද මැද අප ගියපු ගමන්
සිහිකරන් හිඳිම් නුඹ ගොසින් වරෙන්
වැහි අඳුර මැදින් ඇගෙ සුසුම් පවන්
සැනසුම් බිඳුවක් නුඹ අරන් වරෙන්..

Monday, March 16, 2015

• සිහිනයක්..

අඬගසයි මට අඬගසයි.. ගිම්හානයක සිට අඬගසයි...

ගිනි හුලන් හමා යන
මද්දහන ගිනි ගහන..
සියඹලා මැයි මාර
වදුලකින් සෙවන උන..
තක්සලා මාවතක්
සිහිනයක ඇඳ තිබේ..

දුෂ්කරම පාසලක
අහිංසක මල් කැකුලු..
පංතියක කොට බිත්තියෙන්
එබි එබී බලනයුරු..
නොදුටු ලෝකයක අරුමැසි..
මැවි මැවී නෙත් පුරා
පුබුදවයි මගේ හද..
දිනක් එනු ඇත
මමද එහි යන..

ගඩා ගෙඩි සියඹලා
අඹ දිවුල් වැල වරකා..
දහදියට එකතු වූ
ඒ කැලෑ මල් වලින්..
හමා එන සුවඳකැන්..
හද පුරා විඳගන්න
පාරමී පුරමි මම..

බොර පාට කමිසයයි
ඉරුණු නිල් කලිසමයි..
ගොවි බිමේ උදැල්ලෙන්
තිලිණ ලද කරගැටයි..
මහ පොලොවෙ පය ගැටී
ගල් තැලුණු පා යුගයි..
හා එක්ව එකට යන
අව්‍යාජ නුඹෙ සිතයි..
අඬගසයි මට අඬගසයි..
ගිම්හානයක සිට අඬගසයි...

ඉඩ හසර ලද ඉසිඹුවක.. කඩිසර ජංගමයෙන් අසීරුවෙන්.. නුහුරු කවි බසක පෙරහුරුව..



Monday, February 9, 2015

•සොඳුර නුඹ ලිහිණියක


"අහිංසක අප දෙදෙනෙ තටු කඩා මේ ලෙසින 
සිදීගිය ගඟ දෑල හැර දැ‍මූවේ කව්ද ...?"






දයාබර හේමා,

ඔන්න ඔයාට පොරොන්දු වුන විදියටම ඔයාට ලියුමක් ලියනවා. හේමා මං අද හවස දෙකහමාර විතර වෙද්දි මෙහෙට ආවා. කෙලින්ම මං ඉස්කෝලෙට ආවේ. බොහොම පුංචි ඉස්කෝලයක් හේමා. මං විදුහල්පති තුමාව මුණගැහුනා. ඉස්කෝලෙ වරදක්නම් නෑ. හරිම අහිංසක ළමයි ඉන්න ඉස්කෝලයක්. දෙකට ඉස්කෝලෙ ඇරලා, ඒත් මං යනකොටත් ළමයි කිහිප දෙනෙක් හිටියා. ඉස්කෝලෙන් කිලෝමීටර් දෙකක් විතර ඈති පරණ ගුරු නිවාසයක් තියෙනවා. ගෙයක් හොයාගන්නකල් මට ඒකෙ ඉන්න පුලුවන්. ඒක ටිකක් ජරාවාසවෙලා. ඒත් මාව එතනට එක්ක ආපු ළමයි තුන්දෙනා මට උදවු කලා මෙතන අස්පස්කරගන්න. හවස් වෙනකල් වැඩකලා. දැන් නම් ඉවරයි. ළඟ ළිඳකින් නාගත්තා. අදට මං පාන් රාත්තලක් ගත්ත කඩෙන් පරිප්පු හොද්දකුත් එක්ක. ඒත් හෙට ඉඳන් උයන්න පටන්ගන්න ඕනි.

ඒක නෙවෙයි හේමා. අද මට ඔයා නැති අඩුව වෙන කවරදාකවත් නැතිතරම් දැනෙනවා. වෙනදට මං ගෙදරට එනකොට ඔයා ආදරෙන් මං ළඟට එනව දුවගෙන. ඔයාගෙ මූණ දකිනකොට හිතේ මොන කරදරේකින් ආවත්, ඇඟට මොන මහන්සියක් දැනුනත් ඒ හැමදේම අතුරුදන්වෙලා යනවා. ඔයා මට ආදරෙන් හදල ගෙනත් දෙන තේ කෝප්පෙ මාව ආයෙත් පණගහල ගන්නවා. ඒත් අද.. ඔයා මගෙන් කොච්චරනම් ඈතකද.

ඊයෙ රෑ ඔයාට මං මොන පණ්ඩිතකම් දෙඩුවත් දැන් මටත් හිතෙනවා අපිට මේ එකපාරටම මොකද්ද උනේ කියලා. තාමත් මේ ට්රාන්සර් එක මට හීනයක් වගේ. ඇත්තටම අපිට මේ මොකද්ද උනේ හේමා?

හේමට මතකද මං දවසක් සක්වා ලිහිණියන්ගෙ කතාව කියල දුන්නා. මං අර කිව්වෙ, සක්වා ලිහිණි කියන කුරුල්ලො හැම වෙලේම කිරිල්ලියි කුරුල්ලයි ඉන්නෙ එකට, ඒත් ඒ දවල්ට විතරයි. මොකද්දෝ අවාසනාවන්ත හේතුවකට උන් දෙන්නට රෑට වෙන් වෙන්න වෙනවලු. ඒකත් මහ පුදුම වෙන්වීමක්, පහුවදා එළිවෙනකල් දෙන්නට එකම ගාඟක දෙපැත්තටවෙලා මූණෙන් මූණ බලාගෙන හඬන්න වෙනවලු, හඳත් එක්ක උදාවෙන රාත්රිය ගෙවිල ගිහිල්ලා ආයෙත් ඉරත් එක්ක පහුවදාට අලුත් දවසක් උදාවෙනකල් උන් දෙන්නට මේ විදියට වෙන්වෙලා අඬන්න වෙනවා. මතකද, ඒ කතාව දවසක් මං ඔයාට කිව්වා.


අද, අපි දෙන්නත් ඒ සක්වා ලිහිණියෝ වගේ වෙලා නේද හේමා. අපිත් අපෙන් වෙන්වෙලා. අපිට අපි ළඟම ඉන්නා පුලුවන් කම තිබුනත් එහෙම කරගන්න බැරි විදියට අපිට ඈතට වෙලා හූල්ලන්න වෙලා. එදා සාහිත්යයෙනම් මේ කුරුලු ජෝඩුවට මේ අපරාදෙ කලේ රාත්රියට ලෝකෙට ආරාදනා කරපු හඳ. හඳ තමයි රාත්රිය ගෙනත් ලිහිණින්ව වෙන්කලේ. ඒත් අපිව වෙන්කරපු වරදට අපිට බෑ හඳට දොස් කියන්න. අපි වෙනුවෙන් හඳ මොනා කරන්නද. වැරදිකාරයෝ හඳ තරම් සෞම්ය නෑ. අපි දෙන්නගේ තටු කපල අපි මෙහෙම අසරණ කලේ කවුද, මොන හේතුවකටද.

මේ ගෙවෙන්නෙ අපේ ජීවිතවල දුශ්කරම කාල පරිච්ඡේදය. හරිම කටුක කාලයක් අපිට. ඒත් මේ විරහ වේදනාවන්, මේ කරදර, තානිකම දරාගෙන අපිට ඉන්න වෙනවා. ඒ අපේ ජීවිත වලට අපි ආදරේ කරන නිසා. අපි හිත් හදාගමු, මේ හැම දෙයක්ම තාවකාලික දේවල් කියලා. හේමා, මං මුලිනුත් කිව්ව වගේ හිතුව තරම් ලේසි නෑ මට ඔයාගෙනුයි දුවගෙනුයි මෙහෙම ඈත්වෙලා ඉන්න එක. ඒක හරිම, හරිම අමාරු දෙයක්, හැම තත්පරේම මට මතක්වෙන්නෙ ඔයාල දෙන්නා. සමහර විට මේ අපි අපෙන් වෙන්වෙලා ගෙවන මුල්ම දවස වෙන්නැති, ටික දවසක් යනකල් මේකට හුරුවෙන්න අමාරුවෙයි. මේ අඩුව මටත් වඩා ඔයාට දැනෙන බව මං දන්නවා.

ඉතින් හේමා, දූ මොකද කියන්නේ? තාත්ති ගැන අහනවද, එයාට තවම තේරුමක් නැති නිසා ඉඳී ඔහොම. ඒත් තාත්ති ගෙදර එන්නෙ නෑ කියල දැනුනනම ගොඩක් දුක හිතෙයි. අපි එයා වෙනුවෙන්ම ඒ කටුකබව දරාගමු. මොකද, අපිට මේ වෙච්ච දේ එයාගෙ ජීවිතේ කවදාවත් එයාට වෙන්න දෙන්න හොඳ නෑ. ඒ වෙනුවෙන් අපි එයාට මීට වඩා හොඳ අනාගතයක් හදල දෙන්න ඕනි. අපේ තටු කපල දාල අපිව මෙහෙම හිරකලත් අපේ දරුවන්ට සීමා මායිම් නැතිව පියාඹන්න ලෝකයක් හදල දෙමු.  නිදහසේ පියාඹන විදිය අපි එයාලට කියල දෙමු.

මං කලිනුත් කිව්ව වගේ මෙහේ මොනතරම් දුෂ්කර උනත් හිත හොඳ මිනිස්සුන්ගෙන් නම් අඩුවක් නෑ වගේ හේමා. ඒ මිනිස්සුන්ගෙ අව්යාජ හිනාවම ඇති. කොල්ලො තුන්දෙනා තමන් වෙනුවෙන් ආව සර් කියල මං වෙනුවෙන් පුදුම මහන්සියක් උනේ හවස්වරුවම. නිදාගන්න පුලුවන් විදියට හාදාගත්තත් ස්ථිර පදිංචියටනම් මේක සුදුසු නෑ හේමා. පායන කාලෙ නිසා හොඳයි, වහලෙන් අහසෙ තරුත් පේනවා, වැහි කාලෙක එහෙමනම් ඉන්න බෑ. දොර ජනෙල් පවා සේරම අබලන්. ඒ නිසා වැහිකාලෙ එන්න කලින් ඉක්මනට කුලී ගෙයක් හරි බෝඩිං කාමරය්ක් හරි හොයාගන්නම ඕනි.

මෙහෙට කරන්ට් එහෙමත් නෑ, මේ ලියන්නෙත් හවස කඩෙන් ගෙනාපු භූමිතෙල් ලාම්පුවේ එළියෙන්. මදුරුවෝ කපුටො වගේ. ඇඟේ හැප්පුනාම අපිත් වීසිවෙන සයිස්. මදුරු කොයිල් එහෙම නැතුව හිටියොත් උන් අපිව උස්සගෙනත් යයි. ඒකයි මං ඔයාලව එක්ක එන්න අකැමතිම උනේ මේ ගමනට. ඒත් හේමා මට ඔයාල දෙන්න නැතුව ඉන්න අමාරුයි. ඒ නිසා මං ඉක්මනටම හොඳ ගෙයක් හොයාගන්නම් කුලියට. හැමදේම හරියකට පිළිවෙලක් උනාම මං ඔයාල දෙන්නවත් මෙහෙට එක්ක ගන්නම්. දූ තාම පොඩියිනේ. එයා ඉස්කෝලෙ යන කාලෙ වෙනකොට සමහර විට අපිට ආයෙමත් ගමට මාරුවක් හදාගන්න බැටිවෙන එකක් නෑ. ඒක ඒ කාලෙට බලමු. ටිකක් දුර උනත් ඉස්කෝලෙට, මං ටවුන් එක කිට්ටුවෙන් ගෙයක් බලන්නම්. එහෙම නැතුව ඔයාල දෙන්නට මෙහේ ඇවිත් ඉන්න අමාරුයි. එතකල් ටිකක් ඉවසන්න හේමා.

දැන් නම් හුන්ගාක් නිදිමතයි. ඔයා දැන් සමහර විට නිදිත් ඇති දෝණිව තුරුල්කරන්, ඔයාල දෙන්නගේ උනුහුම මට දැනෙනවා වගෙයි. මොනාකරන්නද, ලොබකමින් මතක් කරනවා හැර. හෙට උදේම ඉස්කෝලෙට යන්නත් ඕනි, මට ගණන් පංතියකුයි, විද්යාව පන්තියකුයි දෙකක්ම ලැබෙයි වගේ. හෙට තමයි ඒ දේවල් පිලිවෙලක් කරගන්න වෙන්නේ.

ඔයාල දෙන්නට ඕනි හැම වියදමක්ම ම්න් එවනවා. ඒ නිසා හොඳින් ඉන්න හේමා. ටික කාලෙකින් මං ඔයාලව කොහොම හරි එක්ක එන්නම්. එතකල් මාසෙකට වතාවක් මං ගෙදර එන්නම්. හැම සතියෙම එන්න ගියොත් එතනත් ලොකු වියදමක්නේ.

එහෙනම් මං දැන් නවතින්නම්. හොඳින් පරිස්සමින් ඉන්න. අපේ දුවට මේ කිසිම දෙයක් දැනෙන්න තරම් තේරුමක් නෑ, ඒත් එයාට මං නැති අඩුව දැනෙන්න දෙන්නපා හේමා. එයාව ආදරෙන් බලාගන්න. මගෙ කෙලි පැටික්කිට මං ගොඩක්ම ආදරේ බව කියන්න. එයාවයි අම්මිවයි ඉක්මනට තාත්ති ළඟට ගන්න බව කියන්න. එයාට තේරෙන්නෙ නැතිවෙයි. ඒත් එයාට එහෙම කියන්න. මට ඔයාල දෙන්නව හැම මොහොතකම මතක්වෙනවා. දෙන්නට බුදු සරණයි.

මීට,
ඔයාගෙ ආදරණීය රත්නේ.




සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන 
මමද ලිහිණියෙකු වෙමි කැඩුනු තටු පිරි මදින 

අහිංසක අප දෙදෙනෙ තටු කඩා මේ ලෙසින 
සිදීගිය ගඟ දෑල හැර දැ‍මූවේ කව්ද 
සඳට ‍දොස් නොකියන්න සඳ කුමක් කරන්නද 
බාල වයසින් මැරුණ ප්‍රේමයකි තරු එළිය 
‍ 

කටුක දුක් විරහ මැද අතරමං වී ගියද 
අපි තවම පෙම් කරමු අපේ ජීවිත වලට 
කියාදෙමු පියඹන්ට අපි අපේ පැටවුන්ට 
නිදහසේ තටු ලැබුණ කුරුල්ලන් වී දිනෙක 


ගායනය : ගුණදාස කපුගේ 
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ 
සංගීතය : ගුණදාස කපුගේ




(Sondura Nuba Lihiniyeki - Gunadasa Kapuge)



ගීතය අහනවනම්..





Thursday, January 29, 2015

•මගෙ බිසවුනේ අසාපන්

"දුෂ්කර වු ඒ පළාතේ මට යන්න දෙන්න දේවි..."






"රත්නේ.. රත්නෙ.."

"රත්නේ.."

"හ්..හ්ම්.. ඇ..ඇයි?"

"හප්පේ..මොන ලෝකෙද හිටියේ? මං කොච්චර කතාකලාද. ඇයි රත්නෙ මේ? අද ඉස්කෝලෙ ඇරිල ආව වෙලාවෙ ඉඳල ඔයා හරි වෙනස්. බලාගත්තු අතේ බලාඅගෙන කල්පනාකරනවා. ඇයි මේ? මොකුත් ප්‍රශ්නයක්වත්ද? කියන්නකො මටත්."

"ප්‍රශ්නයක්නම් තමයි හේමා. ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. කෝ.. දූ නිදිද?"

"හ්ම්.. උදේ ඉඳල නට නටා ඉඳල ඔන්න දැන් නින්දෙ. ඒක නෙවෙයි, කියන්නකො රත්නෙ, මොකද උනේ? රස්සාවෙ ප්‍රශ්නයක්ද?"

"ඔව් හේමා. අහල කලබල වෙන්නෙපා, මාව ට්‍රාන්සර් කරලා."

"මොනවා.. අනේ දෙයියනේ මොන වරදක් කලාටද ඒ? මේ හදිස්සියේ. කොහාටද?"

"ඔය ඉතින් ඔයා කලබල වෙලානේ."

"කලබල නොවී කොහොමද රත්නේ. මට එහෙම කිව්වට ඔයත් ඔය ඉන්නෙ කලබල වෙලානේ. කියන්නකො මට, මොකද්ද හේතුව? කොහෙටද ට්‍රාන්සර් එක?"

"මෙන්න මේකයි කියල හේතුවක් නෑ හේමා. ඒකයි මගේ හිතටත් දුක. අපේ දේසපාලකයන්ට මිනිහෙක්ට මෙහෙම කරන්න හේතුවක් ඕනිම නෑනේ. මං උන්ගෙ පදේට නැටුවෙ නැති හින්ද තමයි මේ. තමන්ගෙ දේශපාලන මතය ස්වාධීනව තියාගන්න තරම්වත් නිදහසක් නැති කාලකණ්නි රටක් මේක."

"අනේ දෙයියනේ...  මං ඔයාට මුලින්ම කිව්ව රත්නෙ මේ ටික වෙයි කියලා. කෝ ඔයා ඇහුවද. දැන් ඉතින් වෙච්ච දේ උනා. හැබැයි ඔයා කොහෙට ට්‍රාන්සර් කලත් මායි දූයි අනිවාරෙන්ම එනව ඔයත්තෙක්ක යන්න."

"හිතන තරම් ඒක ලේසි නෑ හේමා. දන්නවද මාව ට්‍රාන්සර් කරල තියෙන්නෙ කොහෙටද කියලා? ඔක්කම්පිටියට.."

"මයෙ අම්මේ ඒ මොන දීපංකරේකද? මං ඒ නම ඇහුවෙත් අදයි.

"මං දන්නෙත් නෑ හේමා. ඒත් ඔක්කම්පිටිය තියෙන්නෙනම් මොණරාගල පැත්තේ."

"අනේ දෙයියනේ.. එච්චර දුරක. අනේ රත්නෙ, ඔයා එච්චර දුරක යවල මේ ගාල්ලෙ මායි දූයි තනියෙන් කොහොම ඉන්නද. අපි දෙන්නත් එනව රත්නෙ ඔයත්තෙක්ක. දැන් කවදද ඔයාටෙ එහෙට යන්න තියෙන්නේ?"

"මහ කාලයක් නෑ හේමා.. මේක වහාම ක්‍රියාත්මක ක්ෂණික මාරුවක්ලු. ලබන සඳුදට මං එහේ ඉන්න ඕනි."

************************************************************************************************************

"ඕනිකරන හැමදේම හරි නේද රත්නේ? අනේ මට බයයි. මට බෑ ඔයාව තනියෙන් යවන්න. හෙට මේ වෙලාව වෙනකොට ඔයා මගෙනුයි දූගෙනුයි හැතැම්ම සියගානක් ඈත් වෙලා. තට්ට තනියම, කාත් කවුරුවත් අඳුනන්නෙ නැති නන්නාදුනන පළාතක. මෙහේ මායි දුවයි තනියම. කාගෙවත් පිළිසරණක් නැතිව."

"අපිට වෙන විකල්පයක් නෑ හේමා. මේ හැමදේම යථා තත්වෙට පත්වෙනකල් අපි ටිකක් ඉවසමු. මට එහේ කරදරයක් වෙන එකක් නෑ. ඔයාටත් මෙහේ ප්‍රශනයක් වෙන්නෙ නෑ. ඔය මෙහේ ඉඳන් දූට හොඳට උගන්නන්න."

"අනේ රත්නේ, අපි වෙන විදියක් බලමු. අපි ඔය කෙහෙල්මල් රස්සාවෙන් අයින් වෙමු."

"හැඟීම් වලට වහල් වෙන්නෙපා හේමා. අපිට යථාර්තෙට මූණ දෙන්න වෙනවා. මේ රස්සාව නැතුව කොහොමද අපි ජීවත් වෙන්නෙ? දූට හොඳට උගන්නන්නෙ."

"ඒවා පස්සෙ බලමු රත්නෙ. වැදගත්ම දේ අපි තුන්දෙනා එකට ඉන්නෙක නේද. එතන තමයි ශක්තිය තියෙන්නේ. මැරුණත් අපි තුන්දෙනා එකට. දූට ඔයා න්තුව බෑ. මටත් ඔයා නැතුව බෑ. ඒ වගේම ඇත්තම කතාව ඔයාටත් අපි දෙන්නම නැතිව බෑ. ඉන්න තැනක නොකා නොබී එකට මැරෙන්න හරි අපි නවතිමු රත්නේ, මං වඳින්නම්. අපි මෙහෙන් වෙන රස්සාවක් හොයාගමු. එතකල් අපි කොහොමහරි ජීවිතේ ගැට ගහගමු."

"හෙට ගමනාට හැම දේම ලෑස්තිකරගෙන තියෙන්නේ. අපි මේ හැම දෙයක්ම පහුගිය සතියෙම අනන්තවත් කතාකලා. ගන්න තියෙන හොඳම සුදුසුම එකම තීරණේ අපි දෙන්න මේ ගත්තෙ. ඉතින් ඇයි දැන් මේ ආයෙත්? වෙන් වෙන්න තියෙන මොහොත ළංවෙන්න ළංවෙන්න දුක වැඩියි තමයි හේමා. මං කඳුලු හිරකරගෙන හිත ගලක් කරගෙන් අඉන්නවා. ඒත් ඔයාට ඒ දේ අමාරුයි කියල මං දන්නවා. ඒ නිසයි මේ. ඒත් අපි මේ අමාරුම මොහොත ගෙවිල යන්න ඉඩදෙමු. අපි අපේ ජීවිත අවුල් නොකරගෙන ඉමු. රස්සාව නැතිකරගෙන මං මෙහේ නැවතුනොත්, අපි තුන්දෙනාගෙම ජීවිත අනාථ වෙනවා. අපි අපේ දූ ගැන හිතන්න ඕනි. රස්සාව නැතිකරගන්නවට වඩා හුඟාක් අමාරුයි රස්සාවක් හොයාගන්නෙක. අපිට එහෙම උනොත් ගොඩාක් දුක් විඳින්න වෙයි. අද රටේ මිනිස්සු ජීවත් වෙන විදිය පේනවනේ. කරන්නම අතක් නැතිකොට ගෑණු උදවිය පිටරටවල් වල යනවා බැලමෙහෙවර වලට. මට එහෙම තත්වෙකට ඔයාව පත්කරන්න බෑ හේමා. මට ඔයාව රට පටවන්න බෑ. මට මගේ දරුවො වාල්කම් කරනවා බලන්න බෑ. ඒ නිසා අපි බොහොම බුද්ධිමත්ව වැඩකරමු මේ වෙලාවෙ. ඒ නිසා මට යන්න දෙන්න හේමා."

"ඉතින් රත්නෙ ඔයාට ඔච්චරටම රස්සාව ඕනිනම්, ඔච්චරටම යන්න ඕනි නම්, ඉතින් අපිත් එක්ක යන්නකෝ. තාම ඒකට පරක්කුවක් නෑනෙ. තියෙන ඇඳුම් කඩමාල්ලක් ඔතාගෙන දූයි මායිත් ලෑස්තිවෙන්නම් හෙට උදේම ඔයත්තෙක්ක යන්න."

"මං දන්නවා ඔයා මට කොච්චර ආදරෙයිද කියල හේමා. ඒත් මං ඔයාටත් ඊටත් වඩා ආදරෙයි. ඒ නිසා මං මේ යන වංකගිරියට මට ඔයාලවත් එක්ක යන්න බෑ. ඒ නිසා මෙහෙම කඳුලු පුරවගෙන අඬන්න එපා. ඒ දුෂකර පළාඅතට මට ඔයාව එක්ක යන්න බෑ. ඉන්න තැනක් තියෙයිද, ගුරු නිවාසයක් තීයෙයිද, නැත්නම් කුලී ගේක ඉන්න වෙයිද, එහෙම තැනක් හොයාගන්නකල් කොතන කොහොම ඉන්න වෙයිද, මේ කිසිම දේකට හරිහමන් උත්තරයක් නැතිව ඒ නන්නාදුනන හිමේට මට ඔයාව එක්ක යන්න බෑ හේමා. හිතන්න දූ ගැන, එයා කොහොම ඉන්නද එහෙම තැනක. "

"ඔයා හඳක් වගේ. හඳ එලියක් වගේ. ඒ එලියෙ සිහිලට වෙලා හා පැටියෙක් වගේ ඉන්න අපේ දුව සුවෙන් ඉන්නවා, ඒ සුව යහන කඩල දාන්න අපිට බෑ. කරදරයක් නැති ඔයාගෙ උනුහුම රැකවරණය ආදරය එයාට ඕනි. සර්ප විමාඅනෙකට එයාව ගෙනියන්න අපිට බෑ. නොදන්න පළාතක දුෂකර බව එයාට දරාගන්න බෑ. ඒ නිසා එයාව ලෙඩ නොකර, එයාව බඩගින්නෙ නොතියා, හොඳ කෙල්ල වගේ හේමා ඔයා මේ නගරෙ නවතින්න."

"මට තේරෙනවා රත්නේ. මට තේරෙනවා. ඔයා මටයි දූටයි අසීමිතව ආදරෙයි කියල දන්නවා මං. ඔයා පෙරුම් පුරන බෝධිසත්වයෙක් වගේ මනුස්සයෙක්. දුවයි මායි ගොඩක් වාසනාවන්තයි. ඒත් දෙයියනේ, මට මේක දරාගන්න බෑ. මෙච්චර ඈතක ඔයාව යවන්න හිත හදාගන්න බෑ මට."

"මට ඕනි ඔයාල දෙන්නව සතුටින් සුවෙන්, හොඳින් ජීවත් කරන්න තමයි හේමා. ඒ නිසා මට මේ මොනවත් දුෂකර දේවල් නෙවෙයි. මට පෙරුම් පුරන්න ඕනි නෑ. ඕනි මගේ ජීවිතේ දීල හරි ඔයාල දෙන්නව රකින්නයි. ඒ නිසා මේ යන ගමනට මං ඔයාගෙන් ඉල්ලන්නෙ කඳුලු පිහදගෙන අපේ අනාගතේ වෙනුවෙන් නාඬා ඉන්න කියලයි. ඒ ශක්තිය විතරක් මට දෙන්න හේමා."

"මගේ ආශිර්වාදයයි, ශක්තියයි ගෙවෙන හැම මොහොතකම ඔයා ළඟ තියෙනවා රත්නේ. ජීවිතේ ගෙවෙන හැම තත්පරයකම මගේ හිත තියෙන්නෙ ඔයා ළඟ, මතක් වෙන්නෙ ඔයාව. හැම වෙලේම දෙවියන්ගෙන් මං ඉල්ලන්නෙ ඔයාව රැකල දෙන්න කියලයි. ඔයාට කිසිම දුකක් කරදරයක් වෙන්න එපා කියලයි. යනගමන හිත හොඳින් යන්න රත්නේ. ඔයා කිව්ව වගේ ඉදිරි අනාගතේ පුරා උදාවෙන අපේ සුවදායි අනාගතේ වෙනුවෙන් මේ පොඩි කාලෙ අපි අපි වෙනුවෙන්ම ඉවසමු. ඊටපස්සෙ අපිට හැකිවෙයි මැරෙනකල්ම අපේ ළඟටම වෙලා ඉන්න."

"ඔව් හේමා. ඒ විදියට සුබවාදීව අපි ජීවිතේ දිහා බලමු. ජීවිතේ අහිමිවීම් පමණක්ම උරුම වෙච්ච මට හිමි වීම් ලැබුනෙ ඔයා හින්දයි. ඔයාගෙ ශක්තිය, ඔයාගෙ වචන, ඔයාගෙ ආදරේ මට මහ ශක්තියක් වෙලා මගේ හැමදේටම හැමදාමත් ලැබෙනවා. ඒකට ඔයාට ගොඩක් පින්. ඒ නිසා අපි මේ ටික කාලෙ කොහොමහරි ඉවසමු."

"හ්ම්.. එහෙනම් දැන් අපි නිදාගමු රත්නේ. හෙට ඔයා බොහොම දුරගමනක් යන්නේ. උදේම ඇහරෙන්නත් වෙනවා. කාලාන්තරයකට මට ආයෙ මෙහෙම ඔයා ළන්න්හ ඉන්න බැරිවෙයි."

"මොනා කරන්නද.. කමක් නෑ හේමා.. මං දන්නවා මොණරාගල ඒ පාලු කාමරේත් ඔයාගෙ සුවඳ අරන් ඔයා හීනෙන් හරි එනවා කියලා. අපි හිත් හදාගෙන ඉමු."

"ගියපු ගමන් මට ලියුමක් එවන්න රත්නේ, හැම විස්තරය්ක්ම කියලා. මං මඟබලන් ඉන්නවා. ඔයාගෙන් ලියුමක් ලැබෙනක්ල් මං ඉන්නෙ බයෙන්.."

"ඒ ගිහින් විතරක් නෙවෙයි හේමා.. මං ඔයාට නිතර ලියන්නම්... ලිවීම හැර මගේ තනිය මකාගන්න වෙන දෙයක් නෑ මට..."




මගෙ බිසවුනේ අසාපන් 
නුඹ මන්ත්‍රි දේවි නොවුනි..
දුෂ්කර වු ඒ පළාතේ 
මට යන්න දෙන්න දේවි...//

මේ කදුළු ඇයිද දෑසේ 
බෑ යන්ට නුඹට හිමයේ..//
ගොස් ඉන්ට කුලී නිවසේ ‍
විස ඝෝර සර්ප බවනේ..

නුඹ චන්ද්‍ර මඩල වැන්නේ 
සා පැටව් එහි නිදන්නේ..//
හාමතේ නොලා දරුවෝ 
නවතින්න බිසව් නගරේ

නුඹ නොදී එතෙර රටටා 
දරු නොදී වාල් කමටා...//
දිවි පු‍දා තොප රකින්නම් 
නොපුරා එහෙත් පෙරුම් දම්...



ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ



(Mage Bisaune Asapan - Gunadasa Kapuge)



ගීතය අහනවනම්..




Saturday, January 10, 2015

•යුගයක ඇරඹුම


"අප පතන නායකයා ඔබම වේ නම්..."






සියල්ලම සිතූ පරිදිම පැතූ පරිදිම සිදුව ඇත. ඉල්ලූ වෙනස රටට ලැබී ඇත. සියල්ලෙහිම "පර්ෆෙක්ට්" ගතියක් සිතට දැනෙමින් ඇත. අවසානයේ මෛත්‍රී යුගයක උදාව සිදු වුනි.

පෙරදින උදෑසනින්ම සිදු වූ සංවේදී සිදුවීමෙන් ඇරඹුමක් ගන්නට අවසර පතමි. ඒ හිටපු ජනපති, ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ අරලියගහ මැදුරෙන් නික්ම යාමයි. ඔහු තුල නොමැති වූ නමුදු තවම අප තුල පවතින මනුෂ්‍යත්වයේ නාමයෙන් සංවේදී සිත් ඇත්තවුන් වන අප වැනි පොදු ජන හදවත් මොහොතකට සංවේගයට පත් කිරීමට එම සිදුවීම සමත් වුනි.

2010න් පසු උග්‍ර මහින්ද විරෝධියකු වූ, මගේ අපමණ පිළිකුලට බඳුවූ එම සොඳුරු ඒකාධිපතියාගෙ නික්ම යාම, දුක සතුට මිශ්‍ර වූ කඳුලු තුඩක් දෙනෙතට නැංවූ සිදුවීමක් බව ඔබට කියන්නට මම ලජ්ජා නොවෙමි. "අනේ මේ මනුස්සයා කරගත්ත දෙයක්.." එහෙමයි මට නිතරම හිතුනෙ. ඒක මේ දැනුත් හිතෙනවා. නමුත් ඒ සමඟම සිතුවම් පටක් මෙන් ඇදී යන ඔහුගේ "කෙරුවාව" සිහි වන විට දෙපතුල් වල සිට ඉහලට ලෝහිත ගිණියමක් සිරුරට දැනෙනුයේ කඳුලු වියළි කරමිනි. අද ඔහුට එලෙස බැස යාමට තරම් හෝ නිදහසක් උරුමව තිබුනා. ඔහු වෙනුවෙන් සියල්ලෝම ඔහුට ගෞරව කලා. නමුදු බැරිවීමකින් හෝ අද දිනුවේ මහින්ද රාජපක්ෂ නම් මෛත්‍රීට මෙලෙස සරලව පොළොන්නරුවට යා හැකිවෙයිද? සැකයක් නෑ, එහෙනම් මෛත්‍රීටද අවම වසර දෙකකටවත් නොකල වරදකට සිරබත් කෑමට සිදුව්න බව නිසැකයි. 2010 දි සරත් ෆොන්සේකා සෙන්පති තුමන්ට අත්වූ ඉරණම අප දුටුවෙමු. යුදගිනිදැල් නිවූ එතුමාට අවසානයේ රාජකාරි ජීවිතයෙන් ඔහු උපයාගත් සොල්දාදුවෙකු දෙවි දෙවෙනි කොට පෙම් බඳින තමන්ගේ නිළ තනතුරුද අහිමි වීම, දශක ගණනක හමුදා සේවය වෙනුවෙන් ඔහුගේ පෙන්ෂන් එකද අහිමි කලයුරු සිහිකල විට සිතට දැනෙන අපමණ කලකිරීම විස්තර කල නොහැකිය.

නමුදු මෛත්‍රී පාලනයක් තුල හිටපු ජනපතිඳුන්ට කිසිදු හිරිහැරයකින් තොරව හෙලිකොප්ටරයක නැඟී තම මුල් නිවස වූ මැදමුලනට යාමට අවකාශ සැලසිණි. හිතට ඇති කණගාටුවනම් ඔහු එලෙස නික්ම ගියේ යුද්ධය ඉවර කල ශ්‍රේෂ්ඨ, අති ගෞරවනීය, අසහාය, අපරාජිත නායකයකු ලෙස නොව, සිය රටේ ජනතාව අතින් ප්‍රතික්ශේප වූ පරාජිතයකු ලෙස වීමයි. මේ තත්වයට පත් නොවී සියලු ගෞරව සහිතව පෙරහරක පා පලස් උඩු වියන් මතින් මල් වැසි මුතු කුඩ යටින් ඔහුට මැදමුලනට යාමට හැකියාව තිබුනි. නමෞදු බලයෙන් අන්ධ වූ බල කාමයෙන් පිස්සු වැටුනු ඔහුට එය නොතේරුණු අයුරු... 

අවසාන මොහොතේ එතුමා හිතට වදින කතාවක් කලා. තමන් ජනමතයට හිස නවා නික්ම යනබව පැවසුවා. ඒ අවස්ථාවේ ඔහු කීව එදා දෙදස් නවයේදී මං වෙනුවෙන් එසවුණු අත් අද මට විරුද්ධව එසවිලා කියලා. නමුත් එතුමා තේරුම්ගත යුතු වූ දේ නම් ඒ අත් ඔහුට එරෙහිව එසවූයේ, ඔහුගේ අසීමාන්තික ඒකාධිපතිත්වයට එරෙහිව බව. එතුමාට තිබුනා හොඳ අවස්ථාවක්, එතුමාට තිබුනා නම්බුකාර විදියට ධූරයේ වලංගු වාර දෙක ගත කල පසු තම පක්ෂයේම් වෙනත් අයෙකු නම් කර එතුමාගෙ කාර්‍ය නිමකර බැස යාමට. එසේත් නොමැතිනම් මෙවරම සංධානයේ අපේක්ෂකයා ලෙස වෙනත් අයෙකු ඉදිරිපත් කිරීමට. ඒ මෛත්‍රීම වුවත්, ඔහුට දිනීමේ හැකියාව තිබුනා.

එය එසේ වූවානම් යුග මෙහෙවරක් කල ශ්‍රෙෂ්ඨ පුත්‍රයකු ලෙස ඔහුට සමුගැනීමට හැකියාව තිබුනි. නමුද් සදාකල් බලයේ සිටීමට සිහින මැවූ ඔහුගේ එක් පුද්ගල සිහිනය ඔහුටත් ඔහුගේ පවුලටත්, ඒ වටා සිටි කල්ලියටත් යන සියල්ලන්ටම විනාශය ගෙන එන ලදි. මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම දේශපාලන පාඩම වූයේ එයයි. අවි ගත්තෝ අවියෙන්ම නැසෙන්නා සේ බල කාමයෙන් උන්මන්තක වූ ඔහුත් ඔහුගේ පවුලත් බලය විසින්ම විනාශකර දමන ලදි. ඔහුගේ අමාත්‍යමණ්ඩලයටම විනාශයා උදා කරන ලදි. ලංකා ඉතිහාසයේ ශ්‍රෙෂ්ඨතම ජනාධිපතිවරයා ජනතාව අතින් ප්‍රතික්ෂේප වූ ප්‍රථම පරාජිත ජනාධිපතිවරයාඅ බවට පත් විය.

තවමත් සිහින ලොවින් අවධි නොවූ උන්මම්තකයින්ගේ නවතම වාචාලය වන්නේ මෛත්‍රීට හිමි වූයේ "දෙමළ ඡන්ද" බවයි. නො එසේනම් "මුස්ලිම් ඡන්ද" බවයි. එලෙස හණ කෙටූ වෙනම ඡන්ද කොටසක් එකම රටක පැවතිය හැකිද? එසේම ඒද මේ රටේ පුරවැසිභාවය ලබන සියලු අයිතිවාසිකම් හිමි මේ රටේ ඡන්ද දායකයන් නොවන්නේද. එලෙස නිදහසක් නොමැතිනම් මහින්ද රාජපක්ෂ මේ රටට උදා කල සාමය හිතලුවක්ද. මෙම කාරණා වලට ඊයේ රාත්‍රියේ ජාතික නාලිකාවෙන් විකාශය වූ "සුළඟට පසු" සංවාදයට එක්වූ අතුරලියේ රතන හිමි කදිම පැහැදිලි කිරීමක් කලෝය.

ගලේ පැහැරූ බළලාට සිදු වූ දෙය සිදුවූ ජාතික නාලිකාවේ පසු තැවීම, කලකිරීම එම වැඩසටහනේ පමණක් නොව, ඊයේ පෙරවරුවේ සිටම මනාව දක්නට ලැබුනි. කෙසේ වුවද දියයට සැඟවූ රබර් බෝල මෙන් අදිසි හස්තයන්හි තෙරපුමට හසුව ගිලී සිටි රාජ්‍ය මාධ්‍ය ආයතන දිය දෙබෑ කරමින් ඒ ඉහළට එසවුනේ එහෙයිනි. "සුළඟට පසුව" එහි ප්‍රතිඵලයකි. තම නාලිකාව පසු ගිය ජනපතිවරණයේත්, ඉට පෙරත් සිදු කල ඒ නොකල යුත්ත පිළිබඳ කණගාටු වන ඔවුහු ඉදිරියේදී උදාවූ යහපාලනය තුල වඩාත් සමබර මාධ්‍යකරණයක නියැලීමට ප්‍රතිඥා දීමද පැසසිය යුත්තකි. මෛත්‍රී යුගයක් උදාකල යුත්තේ මේ සියලු දෙනාටමය.

සංධාන ආණ්ඩුවේ ජීවනාලිය වූයේ මෛත්‍රීපාල බව දැන් දැන් හෙලිවෙමින් පවතී. දිවි නැගුම, රජයේ පොහොර සහනාධාරය, වී සඳහා සහතික මිලක් ලබා දීම, වී අලෙවි මණ්ඩලය රැක ගැනීම, වැනි කෘෂිකර්ම ඇමතිවරයා ලෙස ඔහුගේ කාර්‍යන්ද, සෞඛ්‍ය ඇමතිවරයා ලෙස, දුම්වැටි සඳහා රූපමය අවවාධ ගෙන ආ පනත සේම ඔහු නියෝජනය කල ආණ්ඩුවෙන්ම අතුරුදන් කල සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට පණ දීමේ කෙටුම්පත් යෝජනාවද රට වෙනුවෙන් ඔහුගේ කැපවීම සපථ කරන්නකි.

\\මචන්, අපි අපේ යුතුකම ඉටු කරා. මහින්ද කියන හොරා අද පරදිනවා කතා දෙකක්
නෑ!! ඒත් මට උඹට කියන්න පොඩි කතාවක් තියෙනවා.

මචන් මේ දැන් මට අපේ ගෙවල් ලගම දෙන්නෙක්ගෙ කතාවක් ඇහුනා. පුළුවන්නම් උඹ
ඡන්ද රිසාල්ට් ආවම පෝස්ට් එකක් දානව නම් ඒකත් දාපන්. (උඹ පහුගිය ටිකේ
ලිවුවෙත් නෑනෙ)

මූ මචං බෙහෙත් ගෙන්නන ප්‍රයිවට් කම්පැණියක වැඩ, මුගෙ අම්මල තාත්තලා මෛතීට
සපෝට් කලේ ඒත් මූ පහු ගිය කාලෙම පුදුම තරම් මරාට කඩේ ගියා. කොටින්ම අද
තාත්තටයි අම්මටයි බලම කරලා මරාට චන්දෙ දාන්න.

දැන් ටිකකට කලින් මූ තව එකෙක් එක්ක කතාව මට ගෙදට්ට ඇහෙනවා.
"අර කාළකණ්නියා ආවොත් අපි ඉවරයි බං. ඒ  !@@##@! පුතා අර සෞඛ්‍ය පනත එළියට
දාපු ගමන් අපිටයි කෙළවෙන්නෙ. ඌ කියන විදිහට අඩු ලාභ තියාන් කොහොමද බං මේ
බිස්නස් රන් කරන්නෙ? මහින්ද නොදින්නොත් කෙළියා තමා! මෛත්‍රී හදන්නෙ අපිට
කෙළින්න" ඔන්න මචන් සාමාන්‍ය මධ්‍යම පාංතිකයෙකුගෙ කාළකණ්නි චින්තනය.

මුන් මේ කෙළින්න යන්නෙ රටේ අහිංසක දුප්පත් නැති බැරි මිනිහට තියෙන නිදහස්
සෞඛ්‍ය සේවාවට නෙමේද බං????   ඇයි බං මේ අසාධාරණේ? මෙතනදි විතරක් නෙමේ
හැම තැනදිම මෙහෙමයි!

උන් හොරු බව දැන දැනත් තමන්ගෙ වාසියට ඇයි බං මෙහෙම් කරන්නෙ?????

මට නම් කළකිරුණා බං!!

මම හිතන් හිටියෙ තරුණ පරම්පරාව හො‍ර කමට විරුද්දයි කියලා. ඒත්?????????//

මා මේ උපුටා දැක්වූයේ ඔබේත් මගේත් සමීපහම බ්ලොග් හිතවතෙකු මා හට එවා තිබූ ඊමේල් පණිවුඩයකි. එය එලෙසින්ම මෙතනින් සනිටුහන් කලේ මෙම සිදුවීම ඔහුගේම වචන වලින් ඔබ හමුවට කීම ඔබට මෙය වටහා ගැනීමට පහසුවක් වන හෙයිනි. මේ පවසන්නේද සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳවමය. ඉතින් මෙවන නරුමයන් සිටින සමාජයක් තුල, අප ජීවත් වන අපේ පංතියේම සිටින මෙවන් කාලකණ්නින් සමඟ මෛත්‍රී යුගයකට අපේ මවුබිම රැගෙන යාම හිතන තරම් සරල සුන්දර පහසු කටයුත්තක් නම් නොවනු ඇත. නමුත් මා තරයේ විශ්වාස කරනුයේ මුල හොඳනම් ගහ හැදෙනු ඇති බවය. රටේ නායකයාගෙන් සියල්ල පටන්ගත යුතුය. අපි මෛත්‍රී විශ්වාස කරන්නෙමු. ඒ විශ්වාසය රැකීම ඔහුගේ කාර්‍යයි. එසේ නොවුන හොත් මහින්දගේ ඉඅරණමම ඔහුටද අත්වනු ඇත. මේ ගමන මේ කියන ආකාරයෙන්ම යන්නේ නම්, බොහෝ දෙනෙකුට රිදෙනු ඇත, බොහෝ දෙනෙකුට දැනෙනු ඇත, බහුතරයක් කුලප්පු වනු ඇත. නමුදු මහජනයා හට තමන් "ජීවත් වනවා" බව දැනෙනු ඇත. මෙතෙක් කල් තිරිසනුන් සේ දුක්ඛිතව ජීවත්ව හුරු වූ මේ රටේ අහිංසක ජනතාවට සැබෑවටම මිනිසුන් සේ ජීවත් වන්නේ කෙසේදැයි හැඟෙනු ඇත. කල්පිත අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ නොව භීෂිත දේශීය කුමන්ත්‍රණ කරලියේ රඟනු ඇත. එනිසා අප මහජනාය්ගේ යුතුකම ඉටුකරලියයුතුය.


කෙසේ හෝ අවසානයේ රට අවශ්‍ය වෙනස ලැබුනි. නමුදු මේ ජයගත්තේ තරඟයේ මුල් අදියර පමණි. වඩා බාධක සහිත දුෂ්කරම වූ අසීරුතම වූ කොටස ඉදිරියෙන් තවමත් ඉතිරිව ඇත. එනම් රටට අවැසි වෙනස, වෙනස් කල පුද්ගලයා ලවා සපුරාගැනීමයි. එනිසා අප සතු යුතුකම වගකීම දෙගුණව අද සිට ඇරඹෙනු ඇත. දිනූ ජයග්‍රහණයේ මිහිර දේශයට අත්කල යුතුව ඇත. මෛත්‍රීගේ වචනයනම් මිහිරිය. පෙනුමෙන් අවංකය, නමුත් ක්‍රියාවෙන් එය ඔප්පු කරන තුරු සටන අත්හැරිය නොහැකිය. කෙසේ වුවද නහයෙන් උඩට ගිලී සිටි අප දැන් යළිදු නහයෙන් හුස්ම ගැනීමට තවත් අවස්ථාවක් උදා වී ඇත. මෙවර එම අවස්ථාවෙන් උපරිම ඵල නෙළාගත යුතුය. තව දුරටත්, දෙමළ ඡන්දය, මුස්ලිම් ඡන්දය යනාදී වශයෙන් ජාතිවාදී ප්‍රවාහයකට නොගොස් යුද්ධය නිමකල රටක සාමය ඇතිකිරීමට බැඳි සර්ව ජන දම්වැලෙන් දිවයිනම වටකල යුතු කාලය එළඹ ඇත. ජාතීන් අතර සමඟිය යළිදු 83න් ඔබ්බට කෙලෙස හෝ රැගෙන යා යුතුය. එක රටක්, එක ජාතිකත්වයක්, එකම ධජයක් යට අප සියල්ලන්ටම එකට සිටගැනීමට හැකිවේවායි දයාබර පැතුමක් අධිෂ්ඨානයක් ගොඩනඟමු!


එමෙන්ම මෙම ජනාධිපතිවරණයෙන් දුටු විශේෂිතම කරුණක් නම්, තවමත් පිටකොන්දක් සහිත රාජ්‍ය නිළධාරීන් අප හට ඉතිරිව ඇති බවය. මැතිවරණ කොමසාරිස්තුමන් ඉන් එක් අයෙකි. ලබා දුන් මේ ජයග්‍රහණය වෙනුවෙන් අපි එතුමන්ට ශීර්ෂ ප්‍රණාමයෙන් ගෞරවයෙන් ආචාරකල යුතුය. ඒ කෙසේ වෙතත්, අධික ලෙස ප්‍රමාද වූ මැතිවරණ ප්‍රතිඵලයත්, ආසන 160න් 58ක් පමණක් නුකුත් වූ මොහොතක හිටපු ජනපති ගත් තීරණයත් අතර වූ කතාව මෛත්‍රී පාලනයක් යටතේ එතුමන් හෙලිකරනු ඇතැයි අපි හුදෙක්ම බලපොරොත්තුවන්නෙමු.

තවද, ඇරඹුමේදීම අපට වෙනසක් පෙන්වූ මෛත්‍රීපාල ජනපතිතුමන්ගේ චාම් දිවුරුම් දීමේ උළෙලේ ආදර්ශය සමඟින් ඉදිරියම මෙම ගමන මෙලෙසින් යනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු..

ඒ සමඟම සියල්ලට පෙර දැකීමට, අත් විඳීමට මා පෙරුම්පුරණා දෙයක් වේ. එනම් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට අහිමි කල ඒ නිසි ගෞරවය, යළි එතුමන්ට අත්කර දීමත්, නිර්ලජ්ජිත දේශපාලන පලිගැනීමකට ලක් කල ශිරාණි බණ්ඩාරනායක මැතිණියගේ තනතුර ඇයට යලි ලබා දීමත්ය.

එසේනම් මෛත්‍රී පාලනයකට ජය පතමු.
මහ මැතිවරණයේ මගේ ඡන්දයකියූ ඒ පාලනය ජනතාව උදෙසා ලබා ගැනීම වෙනුවෙනි...


කවදා පායද්ද අප දිනිසුරාණෝ 
රණ බිමකට සරිලන සෙනෙවියාණෝ 
මුඩු බිමකට සරිලන ජල කඳාණෝ 
සුන් බුන් කොඳු ඇට සිටුවන රජාණෝ 

කවදා පායත්ද අප පුන් සඳාණෝ 
පර හිත පිණිස දළදන් දෙන ඇතාණෝ 
නිදුකින් ඉන්ට මඟ පෙන්වන වෙදාණෝ 
මුසා බසින් අප නොපෙළන රජාණෝ.... 

කවදා එත්ද අපගේ එක් වෙතාණෝ 
ගිමනට හෙවණ දෙන තුඟු නුග තුරාණෝ 
අප සමබිමක රඳවන සොහොයුරාණෝ.. 
රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ!!

පද : සුනිල් ආරියරත්න
සංගීතය : සරත් දසනායක

ගායනය : නන්දා මාලිනී