Pages

Sandumal

Sandumal

Monday, June 16, 2014

•වරදක් කලත් සිතකින් නොවේ

"වෙනසක් නොවී මගෙ හිස් අතින් පිසලන්නෙ කොයි කඳුල දෝ..."




"උඹ නම් කවදාවත් හැදෙන එකෙක් නෙවෙයි. උඹ හැමදාමත් කලේ මට ගින්දර දූන්න එක. යකෝ උඹව වදල දහදුක් විඳල උඹේ කරදඬු උස් මහත් කරපු උඹේ අම්මට වඩා උඹට කොහොමද කොහෙවත් යන ගෑනියෙක් ලොකු උනේ? නොදකිං ඕකිටනම් හොඳක් වෙන්නෙ නෑ කවදාවත් මට මේ දුන්නු ගින්දරට. ට ඔය කෙල්ලව හම්බුනොත් මං මරාගෙන මැරෙනවා ඕකිව."

"අම්මෙ මේ කියන මඟුලක් මට කියන්න. ඕනිතරමක් මට බනින්න. ඒ අහිංසක කෙල්ලට දොස් කියන්නෙපා. මොකද ඒකී බලෙන් මාත් එක්ක යාලු උනා නෙවෙයිනෙ. මංනෙ පස්සෙන් ගිහින් ඒකිව යාලුකරගත්තෙ."

"උඹට හරියට රිදෙනවා ඒ ඒකිට මොනාහරි කිව්වම. ඒත් උඹට උඹේම අම්මා ගැන එහෙම කැක්කුමක් වේදනාවක් නෑ. උඹ වගේ එකෙක් හැදුවනේ මාත්. උඹේ අප්ප මැරිච්ච දා ඉඳල උඹව ලොකු මහත් කරන්න, උඹට හොඳට උගන්නන්න මං නොවින්ඳ දුකක් නෑ. මං හරියට බඩට කාලා නෙවෙයි බොල උඹට ඉගැන්නුවේ. එහෙව් අම්මා ගැන උඹට කිසි කැක්කුමක් නෑ. ඊයෙ පෙරේදා දැක්ක කොහෙවත් ඉන්න එකියක් උඹට ලොකුයි උඹේ අම්මට  වැඩිය. උඹල වගේ දරුවො හැදුවට වඩා හොඳයි ගඟේ මුහුදේ දැම්මනම්."

"මේකනම් මහ පුදුම කරුමයක්. උදේ එළිවෙච්ච වෙලාවෙ ඉඳලා කච කචේ. කණක් ඇහිල ඉන්න නෑ. මටනම් දැන් මේ ජීවිතේ තිත්තවෙලා."

"ආ හැබෑද? උඹට දැං මේ අම්මගේ වේදනාව කච කචයක් වෙලා. හිසරදයක් වෙලා. ඔව් ඉතින් උඹට දැන් ඉන්නවනේ උඩැක්කියක්, මියුරු තෙපුල් බස් දොඩවල උඹව සනසන්න. ඕකි උඹේ ජීවිතේට ආ දා ඉඳලා අම්ම උඹට හිසරදයක් කියල මං දන්නවා...ඔව් ඔව් පල එලිබැහැලා. මෙලහට ඇති එනකල්. රස්තියාදුකාරියෝ.  මට මේ දෙන වේදනාවට ඕකිටනම් සහගහනවා. මේ වේදනාවෙන්ම මං මැරිල යයි."


****************************************************


"ඒ මචං උඹ මෙතන මොකද කරන්නෙ? උඹ කවදාවත් මෙතනට ආපු එකෙක් නෙවෙයිනෙ බං. මං ඈත ඉඳලම දැක්ක උඹේ බයික්කෙ නවත්තල තියෙනවා. මං ඒත් හිතුවෙ වෙන කවුරුහරු උඹේ බයික්කෙ අරං ඇවිල්ලා කියල."

"මොනා කරන්නද බං. ජීවිතේ හැටි ඔහොම තමයි. මිනිස්සුන්ට වෙනස්වෙන්න වෙනවා. මං මෙතෙන්ට ආව විතරයි මේ. ඉඳා මේක අරං දෙන්නටම අරං වරෙන්. හොඳ චොප්සියකුත් දාන්න කියහං."

"උඹේ සල්ලි බල්ලන්ට කන්න දාලා චොප්සිය දාගනින්.. මං කියන්නෑ උඹට. යකෝ පාටියකට හදිස්සියකට බාරෙකට යවල බෝතලයක් ගෙන්න ගන්න බැරි උඹද යකෝ ඔය කතාකරන්නෙ? අරක්කු මොන රහයිද කියලවත් දන්නවද උඹ?"

"දන්නැති නිසා තමයි බං අද රහ බලන්න යන්නෙ. උඹ මගෙන් අහගන්නැතිව මේ සල්ලි අරන් ගිහින් අරන් වරෙන්."

"ඔය ගැන තව එක වචනයක් කතාකරොත් හය වසරෙදි අපේ යාලුකම පටන්ගත්ත හේතුව උඹට ඊටත් වඩා රහට දැනෙන්න අම්මප ගහනවා උඹේ කණ ගලෝල යන්න. "

"යකෝ මිනිස්සුන්ට ප්‍රශ්න එනවා. ඒක තමයි ජීවිතේ. වැටිල තිබ්බ පෑන බෙදාගන්න බැරුව අම්බානක කෙලගත්ත අපි දෙන්න ඒ හින්දම හොඳම යාලුවෝ උනේ හය වසරෙදි. එදා ඉඳං අදවෙනකල් අපි දෙන්න සහෝදරයො වගේ ජීවිතේ බෙදාගත්ත. ඉතින් උඹේ ඕනිම දේකට මං ඉන්නවනෙ බං.තියෙන ප්‍රශ්නෙ මටත් කියහං. විසඳගන්න බැරි ප්‍රශ්න මේ ලෝකෙ නෑ බං."

"ඒ උඹ දන්න හැටි තමයි මචං. ඒත් මට තියෙන්නෙ විසඳගන්න පුලුවන් ප්‍රශ්න නෙවෙයි බං."

"අනේ මගෙන් අහගන්නෙපා. දැන් එහෙනම් විසඳගන්න වෙන්නැති මෙතන බෝතල් කඩන්න කතාකලේ. මං තව ඩිංගක් පරක්කු උනානම් ජීවිතේට අරක්කු කටේ නොතියපු උඹ මෙලහකටත් බලුවෙලා. යකෝ අහපං. ප්‍රශ්න වලින් පැනල යන්නවත්, දුක හරි සතුට හරි දියකරල අරින්නවත් තියෙන අවුසදේ අරක්කු නෙවෙයි කියල උඹ ඒ කාලෙ ඉඳාලම අපිට බණ කතාකලා. අපි ඔක්කොම නසරානි වෙනකල් ගසද්දි උඹ විතරක් කෙලින් හිටියා. බේබදුවෙලා කුණුවෙච්ච අපි උඹේ කරපිටින් ගෙවල් වලට ගියා. ආයෙ ජීවිතේට අරක්කු කටේ නොතියන්න හිතාගන්නකල් පහුවදා උඹ අපිට දෝස්මුර තිබ්බා. ජීවිතේ කියල දුන්න."

"ඒත් පහුවදාත් අපේ තියෙන නොසන්ඩාලකමට අපි බිව්වා. ඒත් උඹ උඹේ පෞර්ෂත්වය රැකගෙනා හැමදාමත් කෙලින් උන්නා. උඹ උඹේ ප්‍රතිපත්ති කැඩුවෙ නෑ. යකෝ යාලුවෙක් විදියට ඇත්තටම අපි උඹ ගැන ආඩම්බර උනා. කවුරු කවුරුත් එලිපිට නොකිව්වට උඹ වගේ වෙන්න අපි කවුරුත් හීන මැවුවා. ඒත් අපේ කාඅලකණ්නි කමයි, අරක්කුවල දියාරුවයි අපිට කෙලින් ඉන්න ඉඩදුන්නෙ නෑ. එහෙව් උඹ අද මට මඟුලක් කතාකරනවා." 

"මගේ ඒ හොඳකම නිසා වෙන්නැති මට මගේ අම්මගෙන් මාර පැසසුම් ලැබෙනවා. මං කොච්චර උතුම් දරුවෙක්ද කියනවානම්, මගේ අම්මට දැන් හිතෙනවා මාව උපන් වෙලේ ගඟට විසිකලානම් හොඳයි කියලා. "

"මචං උඹ ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ කියල මට තේරෙනවා බං. ඒත් ඒක විසඳන ක්‍රමේ මේක නෙවෙයි. උඹ කොච්චර නොපිළිගත්තත් මේ ලෝකෙ විසඳුම් නැති ප්‍රශ්න නෑ මචං. අපි කතාකරමු. "

"අමුතුවෙන් කියල ප්‍රශ්නයක් නෑ බං. මට හැමදාම තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියල උඹ දන්නවනෙ බං. "

"හ්ම්... ඒකයි මේ කාරණේ එහෙනම්. මට හිතුනා, උඹට තියන එකම ප්‍රශ්නෙ ඕකනේ ඉතින්. මොකෝ..? අම්ම අදත් උදේම දෝස්මුරයක් දැම්මද?"

"ඒ ගැන කතාකරල වැඩක් නෑ බං. මාත් ඉවසනවා කියල කොච්චරක් ඉවසන්නද බං. කොච්චර කාලයක් ඉවසන්නද. මේක කවදාවත් ඉවර වෙන ප්‍රශ්නයක් නෙවෙයිනෙ බං."

"හරි මචං, කාරණේ පැහැදිලියි. එහෙනම් දැන් පණ්ඩිතය නොවී නැගහන් මගේ බයික් එකට. උඹේ එක ඔතන තිබුනාවෙ. එනකොට ගමු."

"උඹ කොහෙද යන්න හදන්නෙ?"

"කොහෙ උනත් තියෙන ප්‍රශ්න වැඩිකරන නැති ප්‍රශ්න ඇති කරන මේ වගේ අපායකට නෙවෙයි, උඹේ ප්‍රශ්නෙ ඩිංගක් හරි විසඳගෙන හිතට සැනසීමක් ගන්න පුලුවන් තැනකට. මං උඹට පොරොන්දු වෙනවා උඹේ මේ ප්‍රශ්නෙට හොඳ උත්තරයක් අපිට හොයාගන්න පුලුවන් වෙනව කියල. දැන් නැගහංකො."


*****************************************************


"ඇයි උඹට මෙතනට එන්න හිතුනෙ?"

"මේ වැව් කන්ද තමයි මචං බාර් එක අපේ ප්‍රශ්න විසඳගන්න තැන බවට පත්වෙන්න කලිං අපේ හැම ප්‍රශ්නයක්ම විසඳල දීපු තැන. අපි අපේ හැම ප්‍රශ්නයක්ම කතාකරපු තැන. මෙතන බාර් එකට වඩා ගොඩක් වෙනස්. බාර් එකේ ඉඳල අපි කතාකරපු කිසිම ප්‍රශ්නෙකට කවදාවත් අපිට විසඳුම් හම්බුනේ නෑ. ඒ වෙනුවට එතන අපේ ප්‍රශ්න ඩබල් කරා. ඒත් මෙතන, පුංචි කාලෙ ඉඳල අපි කතාකරපු හැම ප්‍රශ්නෙකටම විසඳුම් දුන්නා. සාර්ථක විසඳුම් දුන්නා. පුංචිම කාලෙ රෑට ඇඳේ හුජ්ජ ගියත් අපි ඒ ප්‍රශ්නෙත් ඇවිත් කතාකලේ මෙතන. ඒකට පවා අපි උත්තර හොයාගත්ත. එතනින් පටන්ගත්ත ජීවිතේ අන්තිමේ පවුලෙ, අධ්‍යාපනේ විතරක් නෙවෙයි, රස්සාවෙ ප්‍රශ්න, ගමේ ප්‍රශ්න පවා අපි විසඳගත්තෙ මෙතන ඉඳලනෙ බං. උඹට ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ."

"ඔන්න බලහං අද මේ කුඹුක් ගහ යටින් නැඟිටින්න කලිං මේ ප්‍රශ්නෙටත් අපිට උත්තරයක් හම්බෙනවා."

"මං හිතන්නෑ බං මේ ප්‍රශ්නෙටනම් මට විසඳුමක් තියෙයි කියලා. අම්මා කවදාවත් නිමේෂාට කැමතිවෙන්නෙ නෑ මචං. ඒක මට ඉර හඳ වගේ ෂුවර්. අර බාර් එකටවත්, මේ වැව් කණ්ඩියටවත් බෑ මචං නිමේෂාව ගෙනත් අපේ අම්මගේ කුලෙන් තියන්න. ඒ අහිංසකීගෙ ජාතකේ වෙනස් කරන්න. මේ කිසිම දේකට පුලුවන්කමක් නෑ."

"අම්මා නිමේෂාට අකමැතිවෙන්න තියෙන එකම හේතුව ඔය කුල ප්‍රශ්නෙ විතරද බං?"

"වෙන මොන ප්‍රශ්නයක්වත් නෑ බං. සල්ලිබාගෙ අතින් පවා ඒ මිනිස්සු අපිට වඩා ඉඅහලින් ඉන්නවා. කෙල්ලගෙත් කිසිම වරදක් නෑ මචං."

"ඒකිගෙනම් මොන වරදක්ද බං. චූ කරන්න යන්න ටීචර්ගෙන් අහන කාලෙ ඉඳලම දන්න කෙල්ලනෙ බං. "

"ඒක තමයි මචං. අනික උගත්කමෙන්, රූපෙන් අඩුවක්ද. ඒකි මං වගේ හාල්පාරුවෙක් නෙවෙයි බං. හෙට අනිද්ද උපාධිකාරියක්. හොඳ රජයෙ රස්සාවක් කරයි. හැම අතින්ම අංග සම්පූර්ණයි මචං. ඒත් දෙවියො ඒකිව අඩු කුලේක උපද්දවලා. මාව වැඩි කුලේක උපද්දවලා. ඒකයි කරුමෙ."

"ඒකිගේ උගත් කම ගැන, හැදියාව ගැන, අම්මා දන්නැත්ද බං?"

"අනේ මොකෝ බං නොදැන. ඒකිගේ ජාතකෙත් එක්ක හොයාගන්න පුලුවන් උනානම් ඕක හොයාගන්න බැරිවෙයියැ."

"කියහංකො අම්මා මොකද කියන්නෙ කියලා."

"එයා කියන ඒවල කිසි තර්කයක් නෑ බං. අනික ඒ කියන ඒවා මේ යුගේට වලංගුත් නෑ. එයා ඉතින් කියන විදියට එයාලගේවත්, අපේ තාත්තලාගෙවත් පවුල් වල කවුරුවත් මෙච්චර කාලෙකට අඩු කුල වල මිනිස්සුත් එක්ක පෑහුනේ නෑලු. පරම්පරාවෙ ගෞරවේ රකින්නලු. මං මේක කලොත් මැරුණු තාත්තාට කරන අපහාසයක්ලු. තාත්තා වලෙන් නැඟිටල ඇවිත් සාපකරයිලු. මළ විකර ගොඩයි බං. හැමදාම අග ඉඳල මුලටයි, මුල ඉඳල අගටයි හැමදාම උදේ හවස අපේ ගෙදර වාදනය වෙන්නෙ ඔය තැටිය තමයි බං. "

"අර කෙල්ලට සතෙක්ට වගේ බනිනවා මචං. මට බැන්නනම් අහන් ඉන්න පුලුවන්. ඒත් කිසි වරදක් නැති අර අහිංසකීට බනිනකොට මට පට්ට දුකයි බං. මංනෙ බං පස්සෙන් ගිහින් ගිහින් ඒකිව දාගන්න ට්‍රයි කලේ. උඹලට මතකයිනෙ ඒකාලේ. කොච්චර අමාරුවෙන්ද ඒකි මට හා කිව්වෙ. අනික එදා ඒකි කිව්ව කතාව මගේ පපුවේ කෙටුවා වගේ ඇඳිලා තියෙන්නෙ බං. ඒකි කිව්වෙ 'මේ මගේ පළවෙනි ආදරේ, ඒ වගේම මේ මගේ අන්තිම ආදරේ. මට අනිත් අයට වගේ දෙතුන් දෙනෙකුට දෙන්න ආදරේ ඉතිරිකරල තියාගන්න බෑ. මගේ සංතකේට තිබ්බ ඔක්කොම ආදරේ ඔයාට මං අද දුන්නා. ඒ නිසා මාව කවදාවත් අමතාකකරන්නෙපා. එහෙම කලොත් මං සදහටම තනිවෙනවා.' ඔහොමයි බං ඒකි කීවෙ. ඉතින් මට පුලුවන්ද මේ වගේ හිස් බාල කාරණේකට එයාව අමතකකරල දාන්න?"

"ඒකි රත්තරං කෙල්ලෙක් බං. අද කාලෙ ඔහොම කෙල්ලො නෑ බං. උඹට ආයෙ කවදාවත් ඒ වගේ කෙල්ලෙක් හම්බෙන්නෙත් නෑ. ඒ වගේම ඒ වගේ ගුණයහපත් ලේලියෙක් උඹලගෙ අම්මටත් ජීවිතේට හොයාගන්නත් බෑ."

"ඒත් එක්කම මචං මොනා කිව්වත් උඹලගේ අම්මා. එයාලගේ තියෙන මෝඩකම් වලට හරි, නැත්නම් මේ අලුත් සමාජෙට හැඩගැහෙන්න, අලුත් විදියට හිතන්න එයාලට හිත්දෙන්නෙ නැති නිසා හරි මෙහෙම කිව්වට, අම්ම උඹට පණ ඇරල මචං. පුංචි කාලෙ ඉඳලම අපි උඹලව දන්නවනෙ මචං. තාත්තා නැතිවෙනකොට උඹ බොහොම පොඩියිනෙ. ගෙදර කුමාරිහාමි කෙනෙක් වගේ උන්නු උඹලගේ අම්මා තාත්තාගෙ මරණින් පස්සෙ උඹව මේ තත්වෙට ගේන්න කොච්චර දුකක් වින්දද. ඒක අපි හැමෝම දැක්කනෙ බං. එයා උඹට කවදාවත් කිසිම දේකින් අඩුපාඩුවක් දැනෙන්න ඇරියෙ නෑ. කවදාවත් උඹට කෑමෙන් බීමෙන්, ඇඳුමෙන් පැළඳුමෙන් අඩුවක් දැනෙන්න දුන්නෙ නෑ. උඹ ඉල්ලුවෙ මොනාද පහුවදා උඹට ඒ දේ ලැබුනා. අම්මා තාත්තා දෙන්නම ඉඳලවත් අපිට එහෙම තිබුනෙ නෑ බං. ඇත්තටම පුංචිකාලෙ අපිට හිතුනා උඹලගේ අම්මා අපේ අම්මා උනානම් කියලා. "

"ඒක තමයි මචං මාත් කියන්නේ. උඹම කියහංකො මේ ප්‍රශ්නෙට උත්තරයක් කොහෙද තියෙන්නෙ කියලා. මං දන්නවා මචං මං කරන්නෙ වරදක් කියලා. ඒත් මචං මං ඒක හිතකින් කරනවා නෙවෙයි. මං අම්මව සැනසුවොත් මං නිමේෂාට වරදක් කරනවා. මං නිමේෂාව සැනසුවොත් අම්මට වරදක් කරනවා.  නිමේෂාට ගින්නක් දෙන්නැතිව මට ඒකිව මගේ කරගන්න පුලුවන් බං. ඒත් මං එහෙම කරල ඒකිගෙ හිතේ ගින්න නිවනකොට මගේ අම්මා ගිනිගොඩක පිච්චෙනවා බං. ඉතිං ඇයි මචං මේ දෙන්නම මෙහෙම මාව අසරණ කරන්නෙ. මගෙන් පළිගන්නෙ? මචං මට අම්මත් ඕනි ගෑනිත් ඕනි. දෙන්නම මට මචං මගේ ඇස් දෙකවගේ. ඒත් මචං මං මගේ අත්දෙකින් ඔය දෙන්නගේ ඇස් වලින් කාගෙ ඇස්වල උනන කඳුලුද බං පිහල දාන්නෙ? මං පට්ට අසරණයි බං."

"මං උඹට ඇත්තම කියන්නම් මචං. උඹ මගේ බොක්ක. උඹට කියන්න ලැජ්ජා නෑ මට. මං අද එළියට බැස්සෙ තීරණයක් අරං මචං. මට මචං හිත හදාගන්න බෑ. මට මචං අම්මගෙ ලෝකෙ අම්මත් එක්ක තනිවෙන්නත් බෑ. මට මචං නිමේෂාත් එක්ක නිමේෂාගෙ ලෝකෙ තනිවෙන්නත් බෑ. මේ දෙන්නවම මගේ ලෝකෙට අරං එන්නත් බෑ මචං. ඒනිසා මචං මං තීරණය කලා මේ දෙන්නගෙම ලෝකෙන් මං ඈත්වෙලා යන්න. ඔව් මචං මේ කාලකණ්නි ලෝකෙන්ම වෙන්වෙලා යන්න. අම්මා අසරණ වෙයි, නිමේෂා සදහටම තනිවෙයි. ඒ දෙන්නම මට සාප කරයි. අම්මා කියයි කොහෙවත් යන ගෑනියෙක් නිසා අම්ම මං ලෝකෙ අසරණ කලා කියලා. නිමේෂා කියයි මගේ කිසිම වරදක් නැතිව මං අඩු කුලේ ඉපදිච්චි පවට මං එයාව මේ ලෝකෙ තනි කලා කියලා. ඒකට කමක් නෑ මචං. මට බෑ මචං කාගෙවත් පැත්ත ගන්න. ඒ නිසා ඒක තමයි මට ගන්න තිබුන හොඳම තීරණය. ඒත් මචං සිහියෙන් ඒක කරන්න තරම් මට කොහොමවත්ම හිත හදාගන්න බෑ. එච්චර පෞර්ෂයක් මට නෑ. ඒකයි මං අසිහියෙන් හරි ඒ දේ කරගන්න අරක්කු වල පිහිට පතන්න හැදුවෙ බං. මට ඕනි උනේ අඳුරු පාට මත් බෝතලයකට මුවා වෙලා හොරෙන්ම මේ ලෝකෙන් වෙන්වෙලා යන්න මචං. ඒත් උඹ ඒකට ඉඩ දුන්නෙ නෑ. මං දන්නවා මට දැන් ඒ විසඳුමත් නෑ කියලා. මට පිස්සු හැදෙයි මචං."

"මචං..මචං.. මේ අහපන් මචං. ඔච්චර කැඳයෙක් වෙන්නෙපා මචං. අපිට ලැජ්ජයි. සිරාවට බං. මං මේ උඹව පාච්චල් කරනව නෙවෙයි, උඹේ බොක්කටම මං කියන දේවල් වදින්නෝනි නිසයි මේ ටයිප් එකෙන් කියන්නෙ. යකෝ ඔය කරන්න ගිය ගොං තකතීරු වැඩේට වඩා කරන්න වෙන ඕනි තරම් විසඳුම් තියෙනවා ඕකට. අපේ කටේ පොඩිකාලෙ ඉඳල තියෙනවා නේද ප්‍රස්ථාව පිරුළු දෙකක්. මොකද්ද, 'කාලයා සියලු ප්‍රශ්න විසඳනවා', 'හැමදේම වෙන්නෙ හොඳට' උඹ අහල තියෙනවනේ?"

"අහලනං තියෙනවා. ඒත් ඕවට කියන්නෙ ආප්තෝපදේශ කියලා"

"අනේ අනේ තියාගං උඹේ ආප්පෙ. මං කියන්නෑ ඉතිං උඹට. මහ ලොකු පණ්ඩිතකමනං තියෙනවා."

"හරි ඒක මොකහරි. ඒක මොකක් උනත් ඒකෙන් කියන කතාව අපි විහිලුවට ගත්තට, නිකං කටට ආව පලියට කියල දැම්මට මේ කතාවෙ සෑහෙන ඇත්තක් තියෙනවා මචං."

"ඒ නිසා ඔන්න ඔය තියරි දෙක තමයි මේ වෙලාවෙ උඹේ පිහිටට තියෙන්නෙ. අපි මෙහෙම කරමු මචං. උඹ ගනින් තීරණයක්. මට කියහං මේ ප්‍රශ්න මොකුත් නැත්නම් මොකද්ද උඹ ගන්න තීරණේ?"

"ඒක ඉතින් අහන්න දෙයක්ද බං. මං එහෙනම් නිමේෂාව අපේ අම්මගෙ ලේලි කරල අපේ ගෙදර එක්කන් යනවනෙ බං."

"හරි.. එහෙනම් උඹ ඉස්සෙල්ලාම ස්ථීරවම ඒ තීරණේ අරං ඉඳහං."

"ඒත් මචං.."

"ඉඳහංකො කියනකල්."

"එතකොට උඹට අඩුම ගානෙ හිතට සැහැල්ලුවක් හරි දැනෙයි. මොකද මඩේ හිටවපු ඉන්න වගේ වැනි වැනි ඉඳපු උඹට දැන් කෙලින් තීරණයක් තියෙනවා. හරි..එතනින් එහාට උඹ කරන්නෝනි ඒ ගත්ත තිරණේ ක්‍රියාත්මක කරන්න ඕනි කරන පාර හෙමින් හෙමින් කපාගන්නෙකයි. ඒ කියන්නෙ අර කාලයට ඉඩදීම කියන එකයි. හැබැයි කාලය ඉඩදීල උඹ බකංනිලං ඉන්නෙපා. උඹ ඒ අරමුණ සාර්ථක වෙනකල් ඒ වෙනුවෙන් වෙහෙසියන්. හැබැයි කොයි වෙලාවකවත් නිකං බොරුවට කලබල වෙලා සේරම අවුල් කරගන්නෙපා. මොකද උඹට ඕනි තරම් කාලෙ තියෙනවා."

"ඉස්සෙල්ලාම උඹ අම්මත්තෙක්ක දාගන්න වලි නවත්තපං. දැන් උඹ තීරණයක් අරන්නෙ ඉන්නෙ. ඒ නිසා එයා මොනා කිව්වත් උඹට අවුලක් නෑනෙ. ඒ නිසා ඒක පාර්ශ්වීය සටනක් කරගෙන යන්න අම්මට ඉඩදීල උඹ පැත්තකට වෙයන්. මොකද එයාට ඒකපාර්ශ්වීය සටනක් කරන්න බෑනෙ බං දිගටම. ඒ නිසා කියන හැමදේම ඔලුව නමාගෙන අහගෙන ඉඳහං ගොනා සේ. ඊළඟට ඔය කියවිල්ල එයාටම එපාවෙලා ටිකෙන් ටික අඩුවෙනවා. ඔය අතරෙ දැන් උඹ තීරණයක් අරන් ඉන්න නිසා බාගෙන කන්න තියෙන වල ඉහගෙන කන්න හදන්නැතිව නිමේෂත් එක්ක තියෙන ගනුදෙනු ටිකක් අඩුකරහං. උඹ ඒකමයි කරන්නෙ කියල තීරණයක් අරන්නෙ තියෙන්නෙ, ඒ නිසා ඒ පැත්ත අවුලක් නෑනෙ, ඒ නිසා ඒකිටත් මේ ටික තේරුම්කර දීලා දෙන්න පොඩ්ඩක් අම්මගෙන් ෂේප් වෙලා ඉඳහල්ලා. එතකොට ඔය ගින්න ටික ටික නිවෙනවා. ඔහොම ටික කාලයක් යනකොට අම්ම ආයෙත් උඹත් එක්ක ඉස්සර වගේම ෆිට් වෙනවා. ඊළඟට මුලින් විහිලුවෙන් විහිලුවෙන්, ආයෙත් නිමේෂා ගැන ටිකෙන් ටික අම්මගෙ ඔලුවට දාන්න පටන් ගනින්. ඒකිගෙ අධ්‍යාපනේ ගැන, ජොබ් එක ගැන, දේපල ගැන නිකං ඔහෙ කියවපං. ඔන්න ඔහොම ටිකෙන් ටික හෙමින් හෙමින් උපක්‍රමශීලීව වැඩේ කරහං."

"ඔය අතරේ උඹේ හොඳම යාලුවා විදියට මාත් පොඩි මැච් එකක් ගහන්නම්. මටත් පුලුවන් ෂේප් එකේ මේක ගැන උඹලගේ අම්මගේ ඔලුවට දාන්න. ඒකට හොඳ ප්ලෑන් එකක් මං ගාව තියෙනවා. එව්ව ගැන උඹ හිතන්නෙපා. මං ඒක ගානට කරන්නම්. උඹ දැනට මං කිව්ව විදියට කරපන්කො."

"දැන් උඹට සැටිස්ද?"

"මචං මගේ ඇඟට අලුත් පණක් ආව වගේ බං. ඇත්තමයි. අඩුම තරමෙ මොකුත් නැතිව හිටපු මට දැන් බලාපොරොත්තුවක් හරි තියෙනවා. උඹේ ක්‍රමේ බොහෝදුරට හරියයි කියල මගේ හිත කියනවා මචං. මේ ප්ලෑන් එකෙන් කාගෙවත් හිතක් රිදවන්නැතිව මේක ගොඩදාගන්න පුලුවන්. උඹනම් දෙයියෙක් බං.  මාව මෙහෙම ගොඩදැම්මට උඹට පිංසිද්ධ වෙනවා බං."

"අල්ලල දාහං මචං. අපේ මේ යාලු ෆිට් එකට මොනාද බං කරන්න බැරි. මෙව්ව මොනාද. මං උඹට මේ වගේ දිගුකාලීන ප්ලෑනක් දුන්නෙ උඹලගෙ අම්ම අසනීපකාරි නිසා. නැත්නම් මං උඹට කියන්නෙ හෙටම කෙල්ලව බැඳහං කියලා. අම්මවා ෂේප් කරගන්න අපිට පුලුවන් ඊට පස්සෙ. ඔයිට වඩා බං හත් දවසෙ, තුම්මාසේ, අවුරුද්දෙ දානෙ දුන්නු දෙමවුපියොත් ළමයි බමයි ඉන්නකොට ආයෙත් ඔය සේරම අමතකකරලා දරුවො ළඟට ගන්නව බං. එතකොට උඹට ගෑණිත් ඉන්නවා අම්මත් ඉන්නවා. ඒත් උඹලගේ අම්මගේ තියෙන ලෙඩ රෝග ආබාධ එක්ක එච්චර කස්තිරමක් අල්ලන එක අවධානම්. ඒ නිසා මේ ක්‍රමේට යමු මචං."

"මොකෝ කියන්නෙ? උඹ ඇග්‍රිද වැඩේට?"

"එකෙන්ම මචං, එකෙන්ම. මට නිකං දැම්ම ප්‍රශ්නෙ ඉවරයි වගේ. කොහොම හරි ගේම ගහමු මචං. මං ආයෙ වැටෙන්නෙ නෑ."

"අන්න එහෙම වරෙන්. දාපන් මස්සිනා පහක්. ඔන්න එහෙනම් වැව් කණ්ඩිය අපේ තවත් ප්‍රශ්නයක් විසඳුවා. මං උඹට පොරොන්දු උනානෙ මේ කුඹුක් ගහ යටින් නැඟිටින්නෙ විසඳුමක් හොයාගෙන කියලා."

"මෙදා පාරනම් ප්‍රශ්නෙ විසඳුවේ වැව් කණ්ඩිය නෙවෙයි මචං උඹ."

"හරි හරි බං වැව් කණ්ඩිය උඩනෙ වාඩිවෙලා හිටියෙ.  ඒකනෙවෙයි, එහෙනම් දැන් යමං. උඹේ බයික්කෙත් බාර් එක ළඟනේ."

"යමං..යමං.."

"මේ.."

"ම්.."

"උඹ ඉස්සෙල්ලා බොහෝම දුකින් ජීවිතේම එපාවෙලා මට කතාවක් කිව්වෙ නේද."

"ඉතිං"

උඹේ ඒ කතාව ඇහුවට පස්සෙ මට හරි අපූරු සිංදුවක් මතක් උනා බං. ඒ සිංදුවනම් උඹටම ලියපු එකක්ද කොහෙද"

"මොකද්ද මචං ඒ සිංදුව?"

"හ්හ්ම්.. ඒක මෙහෙම කියන්න බෑ. අද රෑට මචං මං බොනවා. මොකටද. උඹේ ප්‍රශ්නෙ විසඳිච්ච සතුටට. උඹත් වරෙන්. අපි දාමු පොඩි පාටියක්. මං චරියටත් කෝල් එකක් දාල එක්ක ගන්නම්. ඌ ලස්සනට උගේ ගිටාර් එක ගහද්දි මං ලස්සනට උඹේ ඒ සිංදුව කියන්නම්."

"උඹට තියෙන්නේ.. අපිට සූර් අතරෙ අපේ බයිට් ටිකටත් හොරෙන් ඇරලා සැන්ටින් කෝක් එකටත් ගේම දීල.. උඹේ සිංදුව අහන් ඉන්න. ඊට පස්සේ..අපිට අග මුල නැති වැල පෑගුනාම ඔය කොහෙන් හරි අපිව බුදිකරවලා, සුපුරුදු පරිදි හෙට උදේට උඹේ ධර්ම දේශනාව පවත්වලා අපිට බනින එක තමයි..හරිය..?"



"වරදක් කලත් සිතකින් නොවේ 
රිදවන්නෙ පලිගන්නේ ඇයි
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් 
මට මාගෙ ඇස් දෙක වගෙයි

ඔබෙ ගිනි නිවා ඇගේ සිත දවා
අප එක් වෙලා කුමටදෝ
වෙනසක් නොවී මගෙ හිස් අතින් 
පිසලන්නෙ කොයි කඳුල දෝ..

අසරන ඔබයි තනි වුනු ඇයයි
මට සාප කල යාවිදෝ 
ඔබේ ලොකයෙන් ඇගෙ ලොකයෙන් 
සමු ගන්න සිදු වේවිදෝ.."

පද රචනය : ප්‍රණීත් අබේසුන්දර
ගායනය සහ සංගීතය: සනත් නන්දසිරි






(Waradak Kalath Sithakin Nowe - Sanath Nandasiri)



ගීතයේ ස්වර ප්‍රස්ථාරය



පසුව ලියමි.

සනත් නන්දසිරි නම් වූ ප්‍රතිභාපූර්ණ ගායකයාණන් විසින් ගායනා කරන ලද ප්‍රණීත් අබේසුන්දරයන් ගේ පදරචනයක් වන අද දින ඔබ හමුවට ගෙන ආ මෙම ගීතය සහ ගී සංවේදනාව යුග කිහිපයක්ම අප කාගේත් දෙසවන් අතර රැව් දුන් මතකයෙන් ගිලිහී නොයන ඉතාම සොඳුරු ගීතයකි.

මෙහි ගේය පද රචකයාණන් වන ප්‍රණීත් අබේසුන්දරයන් පිළිබඳව මින් පෙර මා ඔබට ගෙන ආ ධම්මික බංඩාරයන්ගේ ගීත විචාරය තුලින් ද බොහෝ දේ කතා කලෙමු. ඒ ඔහු විසින් රචනා කරන ලද සෙනෙහසකට අරුතක් පුරවන්නට ගීතය තුලිනි.

කෙසේ වුවද මේ ගීතයේ එක්තරා විශේෂත්වයක් වන්නේ මෙම ගීතය තුන් කොන් ආදර කතාවක ගොඩට වැටුණු තවත් ගීතයක් වීමයි. නන්දා මාලිනී ගායනා කරන දුහුල් මලක් චිත්‍රපටයේ හමුවන රන් කෙන්දෙන් බැඳි ගීතය, දයාරත්න රණතුංගයන් ගායනා කරන සමකෝණි ත්‍රිකෝණයකි ගීතය, අමරා රණතුංගයන් ගායනා කරන සුලෝචනා ගීතය, වසන්තා තිලකාංගනී ගායනා කරන එපා තවත් ඔබ මා රවටන්නට ගීතය ,ආදී තුන්කොන් ආදර කතා අතරට මේ ගීතයද එකතු වී ඇත. එය එසේ වුවද එවැනි කතාවකින් පරිබාහිරවද මෙම ගීතය රසවිඳීමට කිසිදු බාධාවක් මට හමු නොවිණි. එනිසා තුන් කොන් ආදර කතාවක් වෙනුවට නැන්දම්මා, ලේලිය සහ පුතු අතර හටගන්නා තුන්කොන් ගැටුමක් ගීතය තුලින් මම දුටුවෙමි. එනිසා එය පාදක කොටගනිමින් ගීතය හරහා වෙනස් රසයක් ඔබට ලබා දීමට ගත් උත්සාහයක ප්‍රතිපලයක් ලෙස ඉහත කතාව නිර්මාණය විය. කතාවකින් ආවරණය කල ගීත විචාරයේ සාර්ථක බව හෝ අසාර්ථක බව තිරණය කිරීමට ඔබට බාරකරන්නෙමි.

මිනිස් ලෝකය ඇරඹුනු දා සිට පැවත එතැයි පැවසෙන නැන්දම්මා ලේලිය අතර ගැටුම, වෛරය නිසා අවුල් වූ ජීවිත ගතකරන සියලු අම්මලාගේත් ලේලිලාගේත්, පුතුන්ගේත් සිතට සාමය, සතුට, සහනය උදාවේවා..





ඡායාරූපය අන්තර්ජාලයෙනි.

විශේෂ ස්තූතිය : ගීතය සඳහා ස්වර ප්‍රස්ථාරයක් සොයා දුන් බ්ලොග් සහෘදයාට..