Pages

Sandumal

Sandumal

Monday, May 26, 2014

•මිනින්දෝරු කන්තෝරුවෙ

"රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙනියේ පස් යට..."




කඩි ගුලක් සේ පොදිකමින් එළියට ඇදෙන ළමුන්ට පසුපසින් හෙමි හෙමින් ඔහු පාසැල් ගේට්ටුවෙන් පිටතට පැමිණියේය. සුරතේ වූ හම් බෑගය තුලට කණ්නාඩි කුට්ටම සහිත කුඩා පසුම්බිය දමා ගැනීමට මදක් පමා වූ ඔහු මිරිගුව නළියමින් ඉද්ද ගැසුවාක්මෙන් දිවෙන ගුරු පාරට පිය එසවූයේ ගුරු නිවහන තෙක් වූ සැතපුම් කිහිපය ඉක්මනින් ගෙවා දැමීම සඳහායි.

වියළි කලාපයේ හිසට ඉහළින් වූ ගිනියම් හිරුගේ චණ්ඩ රශ්මියට දකුණින් පැමිණි මේ ගුරුතුමා දැන් දැන් හුරු වී ඇතුවා සේය. වියළි කලාපයටම ආවේණික වූ ගිනියම් හුළඟ දහදියෙන් පෙඟුනු කමිසය සිහිල් කරමින් හමායන අයුරු විඳිමින් ඔහු දෙපස සොඳුරු දසුන් හා ගැටෙමින් හුදෙකලාවේම පියමැන්නේය.

උදේට දකින දසුන් සහ හවසට දකින දසුන් හැමදාමත් වෙනසක් නොවී තිබුනේ සිතුවම් පටක් නැවත නැවතත් නරඹන්නා සේය. සෞන්දර්යෙන් පිරුණු හිත මේ දසුන් දෙස බැලූයේ තම කවි සිතට විවිධ පදවැල් එක්කරමිනි. නුමුදු ඔහු ඒවා තම පන්හිඳට මුහු කලේ එහෙමත් අවස්ථාවල පමණි. ඒ ඔහුගේ හද පත්ලටම දැනුනු සංවේදී සිදුවීම් සඳහා පමණි.

හුලංදා ඔයට පෙම් බැඳීමට සිතට බලකරන මේ ගිනිගහන මද්දහන සතර අතින් අවි අමෝරා සිටියද තවත් මොහොතකින් පසු බැසිය යුතු වන්නේ තව මොහොතකින් හමුවන සියඹලා හෙවන නිසාවෙනි. 


ඔහු යා යුතු මගෙහි හමාරක් මේ වන විටත් නික්ම ගොස් තිබුනි. ගමනේ ඉතිරි අඩ වැටී ඇත්තේ හේන් ගම්මානය මැදිනි.මඟ දෙපස වූ කුඩා පැල්පත් සමඟ ඒවා වටකරගෙන සිටියේ වියළි හේන් බිම්ය. ඊටත් ඔබ්බෙහි වූයේ ගන වනාන්තරයයි. මෙම ගොවි නිවාස තුල සිටියේ අව්‍යාජ ගැමියන්ය. කිසිදු ලෝබකමකින් තොරව ඔවුන් ඔහු හා සිනාවූයේ අපරිමිත ගෞරවයකිනි.මෙම අහිංසක ගැමි සුවඳ ඔහු පපු කුහර තුලටම ඔබා ගත්තේ අතිශය කුළුණුබර හදවතිනි.නෙතට හුරු දසුන් සමඟින් පසුකර යන මෙම පැල්පත් සමූහය කෙළවර වන්නේ රංබණ්ඩාගේ පැල්කොටය අසලිනි. පිලට වී කුමක් හෝ කර්තව්‍යක නියැලෙමින් සිටින රංබණ්ඩා කවදත් මේ ඉස්කෝල මහත්තයා සමඟ කුලුපඟව සිනාසෙයි. නමුත් මෙදින එය තරමක් වෙනස් වී ඇත.ඔහු කම්මුලේ අතක් තබාගෙන වියළි ගිම්හානය දෙස ඔහේ බලා සිටියේය.

රංබණ්ඩාගේ මෙම ස්ව්භාවය දුටු ඔහු තුල ඇතිවූයේ තරමක කුකුසකි. එම කුකුස කතිරයට එකක් පන්නා දමා තිබූ උණ බට කඩුල්ලෙන් පැන ඔහු අසලට යෑමට තරම් බලවත් වූ හෙයිනුත්, ඇතැම් දිනවලදී පවස නිවන රංබණ්ඩාගේ ගුරුලේත්තුවේ සිහිල් දිය පහස විඳීමට ඇතිවූ පිපාසයත් නිසා ඔහු රං බණ්ඩාගේ පැල් කොටයට ගොඩවිය. නමුදු කල්පනා ලෝකයක් තුල මංමුලා වී සිටි මෙම මහල්ලා හට ගුරු මහතාගේ පැමිණීම හාන්කවිසියක්වත් නිච්චි නොවීය. කෙසේ නමුදු රැල් බුරුල් හැරි ගුරුතුමාගේ හඬ හමුවේ දැහැන්ගත ලොවින් මිදුනු මහල්ලා වහා නැඟී සිටියේ තම උරහිසේ රඳවා තිබූ ලේන්සුව දෝතින් ගෙන බුලත් කහට බැඳි දසන් කිහිපය දක්වා සිනාසුනේ ඉතාම ලෙංගතු අයුරිනි. නමුදු මේ සිනහවට සඟවාගත නොහැකිවූයේ ඔහු නෙත් කෙවෙනි තුල අරගල කල කඳුලු කැට කිහිපයයි. 

ඉතාම දයාබරව ඔහු වත්තන්කොට පසෙකින් වාඩිගත් ඉස්කෝලෙ මහතා,

"මාමේ, මොකද මේ? මාමා ලොකු හිතේ අමාරුවකින් වගේ..?" කියා ඇසුවේය.

සුසුමක් ගිනියම් වාතලයට මුදාහල මහල්ලා,

"එහෙමයි අපේ මහත්තයෝ.. මගේ පපුව වාවන්නෙ නෑ.." යැයි පිළිවඳන් දුනි.

"ඒ මොකෝ අපේ මාමෙ..? හිත සැහැල්ලුවෙයි. මට කීවනම් කාරණේ..?"

තරමක් වෙලා කල්පනාවක නිමග්න වූ මහල්ලා දිගු කතාවකට මුලපිරුවේය.

"මහත්තයෝ... අර ඈත පේනව නේද..?"

ඔහුගේ දෙනෙත් යොමුවූ දිශාවට සමාන්තරව අපේ කතානයක ගුරුතුමාගේ දෙනෙත්ද යොමුවිය. එහි වූයේ පැරණි සොහොන් කොතකි.

"ඔතන නිදාගෙන ඉන්නෙ  මගේ සුදුබණ්ඩි මහත්තයෝ. ඔය වැළලිලා තියෙන්නෙ මගේ පණ කෙන්ද. හැමදාම හැන්දෑකොරේ මං උන්දැ නිදන තැනට යනවා. බිං කළුවර වැටෙනකල් මං ඔතන ඉන්නවා.මගේ සුදුබණ්ඩි මං එක්ක ගතකරාපු අතීතෙ මට සිහිවෙනවා. පාළොස්වක පෝය දාට හඳ එළියට මේ පළාතම ලස්සනයි. එදාට මං එළිවෙනකල් ඔතනට වෙලා මගේ සුදුබණ්ඩි එක්ක කතාකරකර ඉන්නවා.. පහුගිය අවුරුදු 10ම මං ගතකලේ ඔහොම. ඒත්  මහත්තයෝ දෙතුන් දොහකට උඩදි මේ හැමදේම වෙනස් උනා.

"මගේ සුදුබණ්ඩි නිදන තැනට ටිකක් එපිටහින් අර ඈත පේන්නෙ මගෙ ලොකු පුතාගෙ ගෙදර. උන්ටත් දැන් දරුවො ඉන්නවා.. ඉතිං උන්ට දැන් ඕනිලු මේ ඉඩම කට්ටිවලට කඩල දරු මුණුපුරන්ට ලියල දෙන්න..අපි සේරම මෙච්චරකල් හිටියෙ එකම ඉඩමක.. ඒත් දැන් උන්ට ඕනිලු මේ ඉඩම මායිම් කොරල බෙදල වෙන්කොරගන්න. 

තව දෙතුන් දොහකින් මිනින්දෝරු මහතැන්ලා එනවලු මේ ඉඩම මනින්ඩ. 

අනේ මහත්තයෝ ඉඩම බෙදුවොත් මායිම වැටෙන්නෙ මගේ අහිංසකී, සුදුබණ්ඩිගේ සොහොන උඩින්. අනේ මහත්තයෝ එහෙම උනොත් මට ආයෙ මගේ සුදුබණ්ඩි ලඟට යන්න බැරිවෙයි. මයෙ පුතණ්ඩියටත් වඩා මෙහෙම කොරන්න උවමනා වෙලා තියෙන්නෙ උන්දැගෙ හාමිනේට. මගේ ලේලිට.සමහර විට උන් සොහොන කඩාදායි. මට වාවන්නෙ නෑ මහත්තයෝ. මං මගේ සුදුබණ්ඩිව තනි කලේ නෑ කවදාවත්. උන්දෑ කාටවත් කරදරයක් නැතිව සැතපිලා උන්නෙ ඔතන. තව ටික දොහකින් මාත් උන්දැගෙ ලෝකෙට යනකල් මට ඕනි සුදුබණ්ඩි ලඟට වෙලා ඉන්න විතරයි මහත්තයෝ."

දෙනෙතින් පැන ආ කඳුලු ගුලිවලට නිදහසේ තම දෙකොපුල් සිප ගැනීමට ඉඩදුන් රංබණ්ඩා ඈත පෙනෙන සුදුබණ්ඩිගේ සොහොන දිහා ඇහිපිය නොහෙලා බලා සිටියේය.



***************************************************************

වියළි කලාපයට තවත් උණුසුම් රාත්‍රියක් උදාකරමින් හාත්පස අඳුර ගිලගනිද්දී තනිකමට පෙම් බැඳි අප කතානායක ගුරුතුමා, තම කාමරය තුල සක්මන් කරමින් සිටියේ දහවල තමන් ඇසූ සංවේදී කතා පුවත යලි මෙනෙහි කරමිනි. පසෙක එල්ලා තිබූ බෝල කූඩුවත් එහි එල්ලා තිබූ කමීස කහිපයත්, කුඩා ඇඳත්, ඒ අසල වූ මේසයත්, කුඩා ලී පුටුවත් ඔහුගේ වත්කම කියාපාමින් ඔහු සමඟම පාලුවට හුරුවී තිබුණි.

මේ අතර වූ ඉඩෙහි සක්මන් කරන ඔහුට රංබණ්ඩාගේ සංවේදී කතා පුවත යලි යලිත් මතකයට වද දුන්නේ යටපත් කල නොහැකි ලෙසිනි. රංබණ්ඩා මාමාගේ කතාව ඔහුගේ හිතට ගෙනදුන්නේ මහත් වූ වේදනාවකි. ඔහු ඔහුගේ වේදනාව මුතු ඇටයක් බවට පත්කිරීමට උත්සාහ ගත්තේය. තවදුරටත් ඔහුට ඔහුගේ කවිසිත සඟවා ගත නොහැකි විය. සක්මන් කිරීම නවතාලූ ඔහු පුටුව පසෙකට ඇද, මේසයට වාඩිවිය.  

කවි උල්පතට ජීවය දුන් පන්හිඳ සුරතට ගත් ඔහු තම දින පොතේ යමක් කුරුටු ගෑවේ රංබණ්ඩා වෙනුවෙන් සදාතනික වූ මතක සටහනක් ලොවට දායාද කරමිනි.


"මිනින්දෝරු කන්තෝරුවෙ මුලාදෑණි ටික
සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනව ද
ඈ ඇහැ අරේවි යන්න හොඳයි දම්වැල් අරගෙන
තරහ අවසරයි යනව ද දම්වැල් අරගෙන

පිං ‍කුඹුරු නෙළන කාලෙට මට හීල අරන් එන
හිස විසාධියට තෙල් උලලා තොන්තුවා‍ වෙන
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙනියේ පස් යට
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙනියේ පස් යට

දෙයි හාමුදුරුවො දන්නවනම් දැන් ඈ නැති වග
තෙල් පාන වුණත් නිවා දමයි සංහිඳ පාමුල
වාවන් නෑ මේ දුරුත්ත සංසාරේ තනි මට
වාවන් නෑ මේ දුරුත්ත සංසාරේ තනි මට"

*********************************************************

ඔහු රත්න ශ්‍රී විජේසිංහයන්. නූතන යුගයේ සොඳුරුතම කවියා, ගේය පද රචකයා ඔහු බවයි මගේ හැඟීම. තම දිවි මං තලාවෙ හද සසල කල තැන් ඔහු හරි අපූරු ගීත බවට පත් කල ඔහු ඉතාම සංවේදී ප්‍රායෝගික ගීත රචයෙක්. දුෂ්කර පළාත් ගුරු සේවය තුල ඔහු ලද අත්දැකීම් ආශ්‍රයෙන් අපේ ගීත සාහිත්‍යට ඉතාම වටිනා ගී නිර්මාණ රැසක් දායාද වී ඇත. ඒ අතරින් මගේ බිසවුනේ අසාපන්, බිම්බරක් සෙනඟ ගැවසුණු, වැනි ගීත තවමත් අප රසික හදවත් ප්‍රකම්පනය කරනුයේ එහෙයිනි.

සිංහල ගීත සාහිත්‍යයේ විප්‍රලම්බ ශෘංගාර රසයේ මිහිරියාව මනාව විඳ ගත හැකි ගීත කිහිපය අතරට මේ ගීතයද අපට එකතු කරගත හැකිය. තම සෙනෙහෙවන්තිය සැතපී සිටින බිම බෙදා වෙන්කිරීමට සැරසෙන අවස්ථාවක ඒ දරුණු වේදනාව දයාබර සැමියෙකුට දැනෙන ආකාරය සහ ඔහුගේ නිස්කලංක ශෝකී ජීවිතයට එල්ලවන අභියෝගය මේ ගීතය තුලි නිරූපණය කෙරේ.

ගීතයේ ප්‍රස්තුතයට එකවරම ප්‍රවිශ්ඨ වන රචකයා මෙම කතාව, කතාවේ මැදින් පටන්ගෙන හරි අපූරු ආකාරයට මුල මැද අග ගලපයි. පළමු කොටම ඔහු මේ ආමන්ත්‍රණය කරනුයේ තම සොඳුරිය නිදන භූමිය මැනීම සඳහා පැමිණි මිනින්දෝරු කණ්ඩායමටයි. ඔහු ඔවුන්ගෙන් ඉතාම සංවේදී ඉල්ලීමක් කරයි. එනම්, ඔවුන් කිරීමට සැරසෙන කටයුත්තෙන් ඇයගේ නින්දට බාධාවෙයි. ඒනිසා පිං සිද්ධවෙයි, ඔය මිනුම් දම්වැල් ටිකත් අරගෙන යන්න පුලුවන්ද? ඔහු එසේ අසයි. එය වඩා සංවේදීව අපට දැනෙනුයේ රත්න ශ්‍රී කිවිඳු ඒ සඳහා යොදා ඇති යෙදුම නිසයි. "ඈ ඇහ ඇරේවි යන්න හොඳයි දම්වැල් අරගෙන". ඔහුට ඔවුන්ව පලවා හැරිය නොහැක. ඔහුට ඔවුන් කරන දේට විරුද්ධවිය නොහැක. එනිසා ඔහු ඉල්ලීමක් කරයි.

"මිනින්දෝරු කන්තෝරුවෙ මුලාදෑණි ටික
සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනව ද
ඈ ඇහැ අරේවි යන්න හොඳයි දම්වැල් අරගෙන
තරහ අවසරයි යනව ද දම්වැල් අරගෙන"

මීළඟට ඔහුට සිහිපත්වන්නේ තම දයාබර බිරිඳ පිළිබඳ වූ සොඳුරු මතක සටහන් පෙළකි. මේ ඔහුට ඇයගේ සෙනෙහස වඩාත්ම තදින් හදවතට දැනුනු අවස්ථා විය හැකියි. ඇය ඔහුට ඇඹුල අරන් ආව විදිය, බත් පත බෙදා අතට දුන් අයුරු, සමහර විට වෙල් නියර මත හිඳ බත් කැවූ සැටි ඔහුට යළි යළිත් මැවී පෙනෙනු ඇත. උදේ සිට අඳුරු වැටෙන තුරු, හේනේ කුඹුරෙ වෙහෙස වී ආ විට ඇය ආදරයෙන් ඔහුගේ හිස අත ගෑ හැටි, ලෙඩක් අසනීපයක් වූ විට ළඟම රැඳෙමින් ඔහුට සුවයක් වූ ආකාරය ඔහුට සිතුවම් පටක් මෙන් මැවී බොඳවී යයි. සැමියෙකුට බිරිඳගේ ආදරය වඩ වඩාත් දැනෙනුයේ මෙවන් අවස්ථාවල බවයි මගේ හැඟීම.ඔහුට එලෙස සැලකූ, ඔහුට එතරම්ම දයාබර වූ, ඔහුගේ දිවියට නිබඳ සෙවනැල්ල වූ මේ රත්තරන් දෑත, මේ රත්තරන් සෙනෙහස, මේ රත්තරන් ගැහැණිය තමයි අද මේ විදියට දෙණියේ පස් වලට යටවී සිටින්නේ.

ගීතයේ මෙම කොටසේ අවසන් පැදිපෙල දෙවතාවක් ඉතාම හැඟීමබරව ගායනා වන්නේ ඔහුගේ මෙම හැඟීමෙහි ඇති කටුක වේදනාව රසික අප හදවත් තුලටද මනාව සම්ප්‍රේෂණය කරමිනි.

"පිං ‍කුඹුරු නෙළන කාලෙට මට හීල අරන් එන
හිස විසාධියට තෙල් උලලා තොන්තුවා‍ වෙන
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙනියේ පස් යට
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙනියේ පස් යට"


ගීතයේ අවසාන කොටසින් ඔහුගේ තනිකම, සුදුබණ්ඩි නැති ඔහුගේ ජීවිතයේ අසම්පූර්ණ බව වඩාත් තීව්‍ර ලෙස නිරූපණය කොට ඇත.


"දෙයි හාමුදුරුවො දන්නවනම් දැන් ඈ නැති වග
තෙල් පාන වුණත් නිවා දමයි සංහිඳ පාමුල
වාවන් නෑ මේ දුරුත්ත සංසාරේ තනි මට
වාවන් නෑ මේ දුරුත්ත සංසාරේ තනි මට"

සංහිඳ යනු දෙවියන්ට පුද පූජෝපහාර පවත්වන, දෙවියන් උදෙසා බාරහාර වෙන ස්ථානයයි. එසේත් නොමැතිනම් ගෙපැලක පහන් පැලයි. කෙසේ හෝ සංහිඳ යනු දෙවියන් උදෙසා වන පූජනීය ස්ථානයි. නමුත් රචකයා පවසනුයේ දෙවියන් උනත් දන්නවා නම් ඇය නැතිවග, දෙවියන් දන්නවානම් ඇය නොමැති ලොව තුල ඔහු හුදෙකලා වී ඇති ආකාරය, තම පුදසුනේ, එනම් සංහිඳ පාමුළ දැල්වෙන පහන වුවද දෙවියන් විසින් නිවාලනු ඇති බවයි. 

අනෙක් අතට ඇය මෙම නිවසේ පහන වී සිටි අවධියේ, සංහිඳ අසල ඇය පහනක් දල්වන්න ඇති. ඇය නොමැති මෙම පරිච්ඡේදයේ ඔහු එම අඩුව පුරවන්නට ඇත. නමුත් දෙයිහාමුදුරුවො ඇය නැතිවග දන්නවා නම් ඒ දල්වන පහන වුවද නිවාලනු ඇත යන්න විය හැකියි මෙහි අදහස. තවද මේ බැරෑරුම් ප්‍රකාශය තුල ඇයගේ චරිතය පිළිබඳව, නෝඑසේනම් පතිනියක ලෙස ඇගේ උතුම බව පිළිබඳව නිරූපණය වනවාද වියහැක.

කෙසේ වුවද ඔහු පවසන්නේ ඇය නොමැති මෙම ජීවිතය කෙසේ වත් ඔහුට තව දාරගනු නොහැකි බවයි. ඔහු දකින්නේ ඇයගේ නික්ම යාම තුලින් ඔහු සංසාරය පුරාවටම තනි වූ බවකි, අසරණවූ බවකි. 
"වාවන් නෑ මේ දුරුත්ත සංසාරේ තනි මට" 
වියලි කලාපයේ දුරුත්ත කෙතරම් කටුකදැයි එහි වෙසෙන්නෝ දනිති. අනෝරා වැහි වැටෙන, කටුකතම සීතලෙන් පීඩා ගෙන එන මෙම සීත සමය ඉතාම කටුක අවදියකි. එක දිගට දින හතක් දිවා රෑ වහින හත් දුරුත්තේ සීතල ඔබ විඳ ඇතිනම්, අන්න ඒ සීතලේ කටුක බවටයි රචකයා ඇය නොමැති ඔහුගේ ජීවිතය උපමා කරනුයේ.

කෙසේ වුවද, අවසාන වශයෙන් පැවසිය හැක්කේ ඔහුගේ සුදුබණ්ඩි නිදා සිටින ඉඩම, ඇගේ සොහොන මතින් බෙදා වෙන්කල හැකි වුවද, මේ සෙනෙහෙවන්ත යුවලගේ සෙනෙහස මිනින්දෝරුවන්ට, නීතියට පමණක් නොව, සොබාදහමට වුවද බෙදා වෙන්කල හැකිවේද?




(Minidoru Kanthoruwe - Karunarathna Divulgane)





(සියලු ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි.)


                ගීත විචාරය,
                                                        -මනෝෂ් සඳරුවන් (සඳුමල්)




***************************************************************************


මා දයාබර පාඨක සහෘදයන්හට ඉතාම සතුටින් පවසන වගනම්, අද මා ඔබ වෙනුවෙන් මේ ගෙන ආවේ මාගේ තුන්වෙනි ස්වයං ගීත විචාරයයි.


 මෙය වෙනදා ඔබට ගෙන එන ගීත විචාරයට වඩා තරමක් වෙනස් ආකාරයෙන් ඉදිරිපත් කිරීමට සිතුවේ මෙහි නිදාන කතාව, එනම් ගීතය නිර්මාණය කිරීමට වස්තු බීජය සැපයූ සිදුවීම පිළිබඳ මා අසා ඇති හෙයින් එය ඔබටද වඩාත් රසවත්ව රසවිඳීම සඳහායි. මගේ එම උත්සාහයේ සාර්ථක බව හෝ අසාර්ථක බව තීරණය කිරීම රසික ඔබට අයිති කර්තව්‍යයකි. කෙසේ වුවද මෙහිලා මා පැවසිය යුතු වැදගත්ම කරුණ නම් ඉහත කතාන්දරය මුලුමනින්ම මගේ හිතලුවකට අනුව මවිසින් නිර්මාණය කරන ලද්දකි. එනිසා එය සත්‍ය සිදුවීමෙන් කෙතරම් දුරස්ථදැයි මම නොදනිමි. අවශ්‍ය වූයේ වඩාත් රසවත් අයුරින් ඔබට මෙය විඳීමට අවස්ථාව ලබා දීමයි. නමුත් ගීතයේ උත්පත්ති කතාවේ, නොමැතිනම් මා හඳුන්වන ආකාරයට නිදාන කතාවේ මූලිකම හරය මෙම කතාව ගොඩනැගීමට ප්‍රස්තුත වූ සිද්ධිය බව ඔබට පවසනුයේ වගකීමෙනි. එම නිදාන කතාව මා මීට කලින් අසා ඇත්තෙමි. ඒ අනුව මෙම කතාව තරමක් ආලවට්ටම් දමා ඔබ වෙත ගෙන ඒමට උත්සාහ කලෙමි.

මෙහි නිර්මාතෲවරයා.. ඒ සොඳුරුතම මිනිසා.. රත්න ශ්‍රී විජේසිංහයන් පිළිබඳ මේ අවස්ථාවේ මම කිසිවක්ම පැවසීමට උත්සාහ නොකරන්නෙමි. මෙම අසහාය ගේය පද රචකයාණන්, කවියන්, මේ සංවේදී මනුෂ්‍යයා පිළිබඳව කතාකිරීමට මට කිසිසේත්ම මෙම ඉඩ ප්‍රමාණවත් නොවේ. ඔහු වෙනුවෙන් ලිපි පෙලක්ම සැකසිය යුතුය. එම ලිපි පෙල ඔබ වෙත අනාගතයේ දිනක තිලිණ කිරීමට මම බලාපොරොත්තුවන්නෙමි. එතෙක්, ඔහු පිලිබඳ ලියැවුනු අගනා ලිපියක් වෙත දැන් මම ඔබව යොමු කරමි. මෙම ලිපිය මගේ බ්ලොග් අඩවියෙහි මුල් කාලීන ලිපි අතර පවතින ලිපියකි. කියවීම සඳහා මෙතනින් යන්න.

මෙම පද රචනයට ජීවය දෙමින් එය ගීයක් බවට පත් කලේ, මෙහි පාට තැවරූයේ තවත් ඉතාම සොඳුරු මිනිසෙකු වන සංගීතය : එච්.එම්.ජයවර්ධනයන්ය.

පොළොවේ පයගසා හිඳිමින් උදාරතර මිනිසෙකුගේ අත් උදවුවෙන් මිනිසුන් අතරින් බිහිවූ මෙම ගායකයා පිළිබඳ මම කිසිවක්ම නොලියමි. ඔහු අපට ඉතිරිකල මෙවන් සොඳුරු නිර්මාණ කිහිපයකට පසු ඔහු අප හැරදා බොහෝ දුර ගොස් ඇත. එනිසා අද ඔහු අප අතර නැත. ජනතාව වෙනුවෙන්, ජනතාවගේ දුක ගැන සමාජයට උගන්වන්න යැයි ඔහුට ගුරුහරුකම් ඔහුට අද ඒ යුතුකම අමතකව ගොස් ඇති සැටියකි.

අවසාන වශයෙන්, මේ ඔබට මං ගෙන ආවේ ප්‍රිය සෙනෙහෙවන්තියගේ මරණීය වියෝවෙන් ප්‍රකම්පනයට පත් වූ තුන්වෙනි සෙනෙහෙවන්තයාගේ ශෝකාන්තයයි. මෙහි පළමුවැන්න ධම්මික බංඩාරන්ගේ විචාරයක් ලෙසින් පළකල "ඇය යන්න ගියා මැකිලා" ගීතයයි. ඉන් අනතුරුව ඔබ වෙත ගෙන ආවේ මගේ පළමු ස්ව්යං ගීත විචාරය වූ, "පබළු නගේ" ගීතයයි.  මේ තුන් වැන්නයි. එනිසා මෙම විරහ රසය දැන් ඔබ ඕනිවටත් වඩා විඳ ඇතැයි සිතමි. එනිසා තව දුරටත් මේ හා සමාන ගීත ඔබ වෙත ගෙන ඒමට උත්සාහ නොකරමි.

එසේනම් දයාබර මිතුරු මිතුරියනේ මේ ආරාධනය ඔබටමයි. එන්න රසවිඳින්න. ඔබගේ අදහස් පවසන්න. ඔබේ යෝජනා, චෝදනා සහ විවේචන ඉදිරිය සඳහා ඉතාමත්ම අගනේය.