Pages

Sandumal

Sandumal

Friday, May 23, 2014

•වියලී ගිය දෙතනේ නැත කිරි බිඳුවක් එරුණේ

"කප පවතින තුරු නොනිමෙන සුසුමෙන් සමුගැනුනේ"





ශ්‍රී ලංකාව යනු ඉතාම දරුණු ලෙස සාමාජීය හා ආර්ථික වශයෙන් පරිහානියට පත්ව ඇති තවමත් සංවර්ධනය වෙමින් පවතින තුන්වන ලෝකයේ රටකි. කවුරුන් විසින් කිනම් ආශ්චර්‍යක් ගැන කතාකලද කටුක සත්‍ය වන්නේ මෙයයි. මෙම දූපතෙහි වාසය කරන්නන් වශයෙන් අප අත් ඔසවා ඉතා නිහතමානීව මෙම සත්‍යය පිළිගත යුතුය. අද මවිසින් ඔබවෙත ගෙන එනු ලබන ගීතයේ සාකච්ඡා වනුයේ මෙම සමාජ ක්‍රමය තුල අපේ සමාජය මුහුණ පෑ සහ මේ මොහොත වනතුරුත් මුහුණ පාන්නාවූ කටුක ඛේදවාචකයක එක් පැතිකඩකි.

සාකච්ඡා කලයුතු බොහෝ කරුණු කාරණා ඇති බැවින්ද, එම කරුණු ගීතය තුලම සාකච්ඡා කිරීම වඩා සුදුසු හෙයින්ද අපි ගීතය සඳහා යොමුවෙමු. දයාසේන ගුණසිංහ නම් වූ අදීන මාධ්‍යවේදියා අතින් බිහිවූ, ගුණදාස කපුගේ නම් මානවවාදී ගායකයාණන්ගේ සහ අප හදවත් තුල සදා අමරණීයව සිටින් ගී කෝකිලාවක් වන විශාරද මාලිනී බුලත්සිංහලයන්ගේ හඬ පෞර්ෂ්‍ය මුහුවූ මෙම ගීතය ඛෙදනීය සමාජ ව්‍යසනයක් පිළිබඳ හඬ නඟනුයේ රසික අප ප්‍රකම්පනයට පත් කරමිනි. ඒ.. පවතින බිඳ වැටුනු ආර්ථිකය හමුවේ අවිහිංසක දියණියකට අහිමිවන සදාතනික මව්පිය සෙනෙහසත්, අසරණ යුවලකට අහිමි වන දාරක සෙනෙහසත්ය.

"වියලී ගිය දෙතනේ නැත කිරි බිඳුවක් එරුණේ
වැහැරී ගිය උකුලේ නැත සුව යහනක් සැදුනේ
කප පවතින තුරු නොනිමෙන සුසුමෙන් සමුගැනුනේ
හිරු ගිලිහෙන මොහොතක නුඹ මඟ අයිනක රැඳුනේ"

දයාබර පියෙකු මේ පවසන්නේ කිනම් වූ ශෝකාන්තයක්ද. අලුත ළදරුවෙකු බිහිකල තම ආදරණීය ප්‍රියාවිය දෙස ඔහු බලා හිඳියි. ඔහුට දිස් වන්නේ නැවුම් ක්ෂීරයෙන් පෝෂණීයව පිරිපුන් වූ ළය මඬලක්ද? තම සිඟිති දියණිය වෙනුවෙන්ම පේවී සිටින තොටිල්ලක් වන්වූ සුවපහසු උකුල්තලාවක්ද? නැත. ඔහුගේ නෙතට දිස් වන්නේ කිරි කඳුලකුදු නොම එරුණු වැහැරී ගිය ළපැත්තකි. දර ඉපලක් සේ වැහැරී ගිය උකුල් තලයකි. ඇගේ පියබඳ තම දයාබර දියණියට සුව යහනක් නොවන බව ඔහු දනී. ඇයව පෝෂණය කිරීමට තබා තම බිරියට යන්තම් පණ ගැටගසා ගැනීමට තරම්වත් හයියක් ඇයට නැතිබව ඔහු දකී. ඇයට මෙසේ වූයේ මංද. ඔහුට ඇයව පෝෂණය කිරීමට තරම් සවිමත් ආර්ථිකයක් නොමැති වීමයි. සමහර විට ඔහු කුලී කරුවෙක් වියහැක. නැතිනම් නාටාමිවරයෙක්, කම්කරුවෙක්, කරණවෑමියෙක්, කතුරු මුවාත් තියන්නෙක්, සපත්තු මසන්නෙක් හෝ මේ කුමන ආකාරයේ හෝ පීඩිත පංතියේ මිනිසකු වන්නට ඇත. එනම් ඔබේත් මගේත් පංතියේ මිනිසෙකු වන්නට ඇත. කෙසේ හෝ ඔහු දුප්පතෙකි. ඔහුගේ මෙම දුප්පත් බවට ඇත්තටම වගකිව යුත්තේ ඔහුද? නැත්නම් ඇයද? නැත්නම් මේ උපන් ලේ කිරි කැටියාද? එසේත් නොමැතිනම් රට කරවන න් අපට දායාද කල සමාජ ක්‍රමයද?

කෙසේ හෝ ඇයටත්, ඔහුටත් වැටහෙන කරුණ නම් මේ සිඟිත්තිය ජීවත් කරවීමට තරම් වත්කමක් තමන්ට නොමැති බවයි. තමාට අත්වී තිබෙන මේ නිරාදුක, මේ පීඩිතභාවය ඇයට අත්වනු දැකීමට, මතු යම් දිනෙක ඇයද මේ නරාවලට ඇදවැටී දුක් විඳිනු දැකීමට, මේ උතුම් මාපිය යුවල කැමති නොවෙත්. ඒ අනුව අවසානයේ ඔවුන් ගන්නා තීරණය කුමක්ද? කෙතරම් දුකක් වුවද දරාගත නොහැකි වුවද ඔවුන් අමාරුවෙන් හෝ ගත යුතුම හොඳම තීරණය ගනී. ඒ ඇය කෙරෙහි ඔවුන්ගේ හදවතෙහි පිරී ඉතිරී යන ආදරය නිසාම වේ. ඒ අපරිමිත සෙනෙහස වෙනුවෙන් ඔවුන් ඔවුන්ගේ සතුට කැපකරති. ඔවුහු දුක දරාගනිති.

දියණියගේ අනාගත සුබසිද්ධිය උදෙසා ඔවුන් ඇගෙන් ඈත් වී ඇයට සුන්දර ලෝකයක් තනාදීමට තීරණය කරයි.

"කප පවතින තුරු නොනිමෙන සුසුමෙන් සමුගැනුනේ
හිරු ගිලිහෙන මොහොතක නුඹ මඟ අයිනක රැඳුනේ"

දියණියගේ වෙන්ව යාම ඔවුන්ට එසේ මෙසේ දුකක් නොවේ. එය කල්පය පවතින තුරුත් නොනිමෙන වේදනා ගින්නකි. එසේ වුවද ඒ ගින්නෙහි දැවෙමින් ඔවුන් තම දියණිය අතහැර යයි.




මෙම අතැර යාම රචකයා පවසන අයුරු තරමක් සංකීර්ණ බවයි මගේ හැඟීම. එම පැදියෙහි අඩංගු සරල වචනාර්ථය සැලකූ කල රචකයා පවසන්නේ මෙම මාපිය යුවල මේ සිඟිත්තිය මඟ අයිනක දමා යන බවකි. නමුත් ගීතයේ මීළඟ කොටස අසන විට දරුවා මඟ අයිනක දමා ගියද, ඔවුන් දරුවාගේ ඉරණම, එනම් දරුවා කා සතු වූවාද යන වග හොඳින් දන්නා බව පෙනේ.

මෙම යුවල තම සිඟිත්තාට දක්වන අසීමාන්තික සෙනෙහස ගීතය පුරා දක්නට ලැබෙන හෙයින් ඔවුන් මේ බිලිඳා මෙලෙස මහමඟ දමා යනු ඇතැයි සිතිය නොහැක. සමහර විටෙක ඔවුන් තම බිළිඳා මහ මඟ අයිනක තබා ඇය නිරුපද්‍රිතව කා අතට හෝ පත් වන තුරු සැඟව බලා සිටියා විය හැක. නමුදු මෙම වචන කිහිපය තුල ඉන් එහා ගිය වඩා ගැඹුරු අරුතක් පවතී යැයි සිතීමට මා වඩා කැමතිය. මා විස්වාස කරන අන්දමට රචකයා "හිරු ගිලිහෙන මොහොතක" යන ප්‍රකාශයෙන් අර්ථගැන්වීමට උත්සාහ කරනුයේ එම දයාබර සිඟිත්තිය පත්ව ඇති අසරණභාවය, පිළිසරණක් නොමැති බව වීමට හැකිය.

හිරු නොමැති ලොවක් යනු කිසිදු ජීවයක් නොමැති පිළිසරණක් නොමැති ඉසව්වකි. මීළඟට "මඟ අයිනක රැඳුනේ" යනු ඒ සිඟිත්තියගේ ජීවිතයට එල්ලවී ඇති තර්ජනය විය හැක. මහ මඟක් යනු සෑම විටම දූවිල්ලෙන්, පීඩාවෙන් සහ යනෙන වාහන වලින්, මනුසතුන්ගෙන් අනාරක්ෂිත වූ ස්ථානයකි. ඇගේ ජීවිතයට පවතින අනාරක්ෂිත බව නිරූපණයට රචකයා මෙම සංඛේතය යොදාගත්තා විය හැක. එම නිසාම මෙම තත්වය තුල ඇයව හදා ගැනීමට වෙනත් දෑතකට ඔවුන් විසින් බාරකලා වියහැක. වඩාත්ම සාර්ථක අර්ථදැක්වීම මෙය විය හැකි බවයි මගේ අදහස.




කෙසේ හෝ මේ සදාතනික මවුපිය සෙනෙහසින් ඇයට වෙන්වීමට සිදුවෙයි. පවත්නා විශම සමාජ ක්‍රමය විසින් දරු සෙනෙහස මාපියන්ගෙන් ඈත්කරනු ලැබේ.

මෙම සමාජ ඛේදවාචකය ඉතාම මැනවින් ගීතයේ මීළඟ කොටසින් නිරූපණය කරයි.

"උපන් බිමට නුඹ වැඩිවා මිසක දුවේ
වැදූ මවට නුඹ වැඩියක් වේද දුවේ
දුක උහුලා ඉන්නට මට හැකිය දුවේ
නැවු නැඟිලා දුරු රටකට යන්න දුවේ"

මේ අහිංසක මාතාව මේ පවසන්නේ කුමක්ද? ඇය හඬ නගා මෙසේ පවසයි. "මගේ රත්තරන් දුවේ අසරණ අම්මට සමාවෙයන්. උඹව මෙහෙම දෙන්නෙ උඹේ අම්ම වෙච්ච මට උඹව වැඩිවෙලා නෙවෙයි. උඹව වදාපු උඹේ අම්මට උඹව වැඩියක් නෙවෙයි. ඒත් දුවේ මේ රටට උඹ වැඩියිලු. මේ රටට උඹ බරක්ලු. ඒකයි දුවේ උඹව මෙහෙම වෙන දෑතකට දෙන්නෙ. මගෙ රත්තරන් වෙනුවෙන් මං මගේ දුක කොහොමහරි උහුලගෙන ඉන්නම්.  උඹව බර වැඩි මේ රටින් පිටමං වෙලා පලයං මගෙ දුවේ.."

මේ තමයි මේ අසරණීගෙ විලාපය. තමන්ගෙ දයාබර දියණියගේ මුව මඬල අවසන් වතාවට සිපගෙන ඇය කීව කතාවයි ඒ. ඇත්තටම මේ කාළකන්ණි රටට මේ ජීවිතය ජීවත් කරන්න තරම් වත්කමක් නොතිබුනා මිසක් මේ උතුම් අම්මට ඇගේ දියණිය බරක් වෙලා නෙවෙයි, ඇයව හදාගන්න නොරටුන්ට දුන්නෙ. ගීතයේ මේ කොටසෙ අවසානෙදි තමයි ඇයව හදාගන්න දුන්නෙ පිටරටක යුවලකට බව කියවෙන්නෙ.

දයාබර රසිකයිනි, මෙහෙවු රටක් තුලයි ඔබත් මාත් ආශ්චර්‍ය පිළිබඳ තොල් මතුරමින්, සිහින දකිමින් ජීවත් වන්නෙ.රට මහජනතාවගෙනම්, මහජනතාව අයිති රජයටනම්, සෞඛ්‍ය සේවය නොමිලේනම්, අධ්‍යාපනය නොමිලේ නම්, දරු පරපුර අයිති රටට නම් ඇයි අපේ දියණියන් හදාගන්න පිටරටට යවන්නෙ? ඇයි අපේ දරුවන් අරාබියේ වලං හෝදන්නෙ? ඇයි අපේ පියවරුන් තමන්ගෙ දරුවන් ගඟට වීසිකොට ඔහුගේ දිවියද ගඟට බිලිදෙන්නෙ? ඇයි අපේ මවු වරුන් දයාබර දරු පැටවු කළු ගඟේ පාකරන්නෙ? ඇයි දයාබර පියවරුන් ගෙයි මැද මිනීවලවල් කපන්නෙ, තමන්ගෙ ලෙයින් ජාතක වුන දරුවන් මරා වළලන්න?
ඇයි අපේ දියණියන් පාසලේ සේවා පහසුකම් ගාස්තු ගෙවාගත නුහුණුව ගෙල වැළලාගන්නෙ? ඇයි ඔවුන් දෙපයට මිරිවැඬි නොමැතිව මරු තුරුලට යන්නෙ? අපට කියනු ලබන, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය, සීඝ්‍රයෙන් දියුණුවන ආර්ථිකය මේ සිරිලක පවතීනම් එදත් අදත් ඔබටත් මටත් මෙවැනි දේ ඇසීමට දැකීමට ලැබීමෙහි පව, කරුමය කුමක්ද? ඒ ඔබත් මාත් මුලාවී සිටින, මේ පවතින සමාජ ක්‍රමයයි. පවතින බිඳ වැටුණු ආර්ථිකයයි.

ගීත විචාරයක් ලිවීමට යතුරු පුවරුව මත  දෑඟිලි වෙහෙසවූවද මටත් නොදැනී මා ගීත විචාරයෙන් පරිභාහිරව සෞම්‍ය වචන වෙනුවට කටුක වදනින් ඔබට මේ පැවසීමට උත්සාහ කරනු ලැබුවේ පවතින ක්‍රමය හමුවේ අපද ඇතුලු සමස්ථ සමාජයම වැටී ඇති අඳුරු අගාධයේ ගැඹුර පිළිඳවයි.

නැවතත් ගීතයට යොමුවෙමු. මීළඟ කොටසින් මේ දයාබර මෑණියන් නොකියා පවසන්නේ තමන්ට තම දියණිය අහිමිකල මේ පවතින සමාජ, ආර්ථික ක්‍රමයට තමන් කෙතරම් වෛර කලද, ඇය මෙම රටට (වරදවා වටහා නොගන්න, ඇය මේ පවසනුයේ මේ සමාජයවත්, මේ පාලක පංතියවත්, පාලන ක්‍රමය ගැනවත් නොව, මේ පිං බිම ගැනයි. එනම් ශ්‍රී ලංකාව නම් භූමිය පිළිබඳවයි ) අසීමිතව ආදරය කරන බවයි. එනම් මේ උතුම් බිමෙහි ඉපදීමට ලැබීම පෙර පිනක් ලෙස ඇය දකියි. ඒත් එක්කම ඇය නඟන පැණය නම්, මෙබිමෙහි ඉපදීමට පිංකර ඇති මුත් ත දියණිය මෙබිමෙහි රැඳීමට වාසනාවන්ත නොමැතිද යන්නයි.

එනම් රට කෙතරම් පිංසාර වුවද රට කරවන හතුරන් විසින් මෙම භූමිය ජීවත් වීමට නුසුදුසු තත්වයට පත්කර ඇති බවයි මෙහි අදහස.

"පෙර කල මහ පිං මහිමෙනි මේ දෙස උපදින්නේ
ඉපදෙනු මිස රැඳෙනා පින ඇයි නුඹ සතු නොවුනේ
දරුවන් ඇස කඳුලින් ළය උණුවන මිනිසුන්ගේ
සරණින් ලොව කොතනක වුව සැනහෙන් දියණියනේ"

කෙසේ වුවද, කෙතරම් කතාකලද, තම දියණියට තවදුරටත් තම මවු රටෙහි දිවිගෙවීමට අවස්ථාව නැතිබවයි පෙනී යන්නෙ. එනිසා අවසාන වශයෙන් ඇය තම දියණියට පවසන්නේ මෙයයි. "දරුවන්ගේ නෙත් කෙවෙණිවල පැනනඟින කඳුලු කැට දැක තම ළය තෙත් කරගන්නා සංවේදී මිනිසුන් සෙවනේ ලොවේ කොතැනක හෝ යස ඉසුරින් තුටින් කල් ගෙවන ලෙසයි." කෙසේ වුවද මෙම ප්‍රකාශනයට අනුව අපටද සැනසුම් සුසුමක් හෙළිය හැකිවන්නේ රචකයා පවසන පරිදි ඇයව හදාගැනීමට දී ඇත්තේ ඉතාම සංවේදී හදවත් ඇති දරුවන්ට අසීමිතව ආදරය කරන විදේශීය යුවලකට බව හැඟී යන හෙයිනි.

එසේනම් එම මාපිය දෙපලට මෙන්ම අපටද හිත හදාගත හැකිවනු ඇත. මේ අනුව ඇගේ අනාගතය සුරක්ෂිත බව පැහැදිලිය.

ගීතයේ අවසාන කොටසින් සංවේදී හදවත් ඇත්තවුන්ගේ දෑසට කඳුලක් නංවන, දයාබර පියෙකුගේ අහිංසක පැතුමක්, බලාපොරොත්තුවක් පිළිබඳව කියවෙයි.

"මතුයම් දිනක සිතිවිල්ලෙන් සිටින සඳ
දෑතක පහස සිහිනෙක මෙන් දැනේවිද
සිතියම් පොතින් ලොව විමසා බලන සඳ
කඳුලක හැඩය මහ සයුරේ දකීවිද"

තම දයාබර දියණිය මෙම සුදු යුවල සමඟ සියලු සැප සම්පත් සමඟින් කෙමෙන් වැඩෙනු ඇත. ඒ සමඟම ලාබාල ඇගේ මනසෙහි සිහින සිතුවමක් සේ පැවති තම සැබෑ මා පියන් පිළිබඳවූ මතකය, තම මවු රට පිළිබඳවූ මතකය, කෙමෙන් කෙමෙන් වි‍යැකී මැකී යනු ඇත. නමුදු පියාණන්ගේ සිත තුල ඉතාම සියුම් බලාපොරොත්තුවක් පවතී. එනම් මෙලෙස උදාවෙන යම් දිනයක, තමා සදාදරණීය දියණිය උස් මහත්වූ ඒ අනාගතයේ දිනයක, සිහිනෙන් ගෑ සුවඳක් මෙන් හෝ සුපුරුදු දෑතක පහස, නුපුරුදු ලෙසකින් හෝ ඈට දැනෙනු ඇතිද යන්නයි. එනම් කිරිකැටි බාල වියේ අහිමිව ගිය මා පි සුවඳ ඇයට යම් දිනෙක යළි සිහිවනු ඇතැයි ඔහු සිතයි. 

එපමණක්ද නොව. අනාගාතයේ දිනයක ඇය වැඩුණු දියණියක් වනු ඇත. ඇය අධ්‍යාපනය ලබනු ඇත. ඇය සිතියම් පොතින් ලෝකය පිළිබඳ සොයනු ඇත. එවන් දිනයක ඉන්දියන් සාගරයේ කඳුලක හැඩය ගත් කුඩා දූපතක් ඇය නෙත් ගැටෙයිද? ඒ, තමන් උපන් දවස් වල තමන් රටට වැඩියැයි රටින් නෙරපාලූ දේශය බව ඇයට සිහිවනු ඇත්ද? 




මේ පුංචි දූපත තුල තමන්ගේ අතීතය සැඟවී ඇතැයි ඇය සිහිනෙකින් හෝ සිතනු ඇත්ද?

ගීතයේ මෙම අවසන් කොටසද ඉතාම ප්‍රබලව හදවතට කිඳා බසී. රචකයා මෙහිදීද අපේ රටට අත්ව ඇති අභාග්‍ය එකම එක වචනයකින් හිතට දැනෙන ලෙස ප්‍රකාශ කරයි. බොහෝ කවියන්, බොහෝ උගතුන් අපිට මෙම දිවයින දැකීමට හුරුපුරුදු කලේ මුතු ඇටයක් ලෙසයි. එනිසා ඉන්දියන් සාගරයේ මුතු ඇටය, පෙරදිග මුතු ඇටය, මේ ආදී වශයෙන් විවිධාකාරවූ අතිශය වටිනා වස්තූන් වලට උපමාකරමින් අපේ රට දැකීමට ඔව්හු අපට හුරු කලෝය. විවෘත ආර්ථිකය නම් වූ දෙපැත්ත කැපෙන ආයුධය අප රටට ලැබුනු සමයෙන් පසුව, ඇත්තටම මේ "ඇට" කිසිවක් අපේ රටට උපමා කිරීමට හැකිතරම් සුදුසු බවක් ඉන් පසුව අප පාලනය කල ඇත්තන් රටට ලබා නොදුන්නේය. නමුදු ඔවුන් හැමදාමත් උත්සාහ කලේ මුතු ඇටයක් අපට පෙන්වීමටය. අපිද ඊට යහමින් රැවටුණෙමු. නමුදු ගීතය තුලින් රචකයා අප දෑස් බැඳි කඩතුරා ඉරාදමමින් අපට සත්‍ය පසක් කරවීමට සමත් විය. සිතෙහි හටගන්නා මෙම හැඟීමත් සමඟම ගීතය අවසාන වන මොහොතේ උස් හඬින් වැයෙන ශ්‍රී ලංකා ජාතික ගීයෙහි "ශ්‍රී ලංකා මාතා" යන කොටස ශ්‍රවනය වත්ම සියුම් හිරිවැටීමක් සිරුර පුරා දිවයන්නේ අපේ මවුබිමට උරුමව ඇති ශෝකාන්තය පිළිබඳව ඉතාම සංවේගජනක හැඟීම ගොන්නක් සමඟිනි.





කෙසේ වුවද ඇත්ත වශයෙන්ම අපේ මවු බිම මුතු ඇටයක්ද, එසේත් නොමැතිනම් කඳුලු බිංදුවක්ද යන වග තීරණය කිරීමට ඔබට බාර කරමින් මම මේ සටහන මෙතෙකින් අවසන් කරන්නෙමි.







"වියලී ගිය දෙතනේ නැත කිරි බිඳුවක් එරුණේ
වැහැරී ගිය උකුලේ නැත සුව යහනක් සැදුනේ
කප පවතින තුරු නොනිමෙන සුසුමෙන් සමුගැනුනේ
හිරු ගිලිහෙන මොහොතක නුඹ මඟ අයිනක රැඳුනේ

උපන් බිමට නුඹ වැඩිවා මිසක දුවේ
වැදූ මවට නුඹ වැඩියක් වේද දුවේ
දුක උහුලා ඉන්නට මට හැකිය දුවේ
නැවු නැඟිලා දුරු රටකට යන්න දුවේ

පෙර කල මහ පිං මහිමෙනි මේ දෙස උපදින්නේ
ඉපදෙනු මිස රැඳෙනා පින ඇයි නුඹ සතු නොවුනේ
දරුවන් ඇස කඳුලින් ළය උණුවන මිනිසුන්ගේ
සරණින් ලොව කොතනක වුව සැනහෙන් දියණියනේ

මතුයම් දිනක සිතිවිල්ලෙන් සිටින සඳ
දෑතක පහස සිහිනෙක මෙන් දැනේවිද
සිතියම් පොතින් ලොව විමසා බලන සඳ
කඳුලක හැඩය මහ සයුරේ දකීවිද"


පද රචනය - දයාසේන ගුණසිංහ
සංගීතය - ගුණදාස කපුගේ
ගායනය - ගුණදාස කපුගේ / මාලනී බුලත්සිංහල



ගීතය මෙතනින් download කරගන්න...
(Viyalee Giya Dethane - Gunadasa Kapuge / Malini Bulathsinhala)








(සියලු ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි.)


                     ගීත විචාරය,
                                                 -මනෝෂ් සඳරුවන් (සඳුමල්)




***************************************************************************

පසුව ලියමි

ගියවර පෝස්ට්ටුවෙන් පොරොන්දු වූ පරිදි අද මා ඔබ වෙත මෙලෙස ගෙන ආවේ මාගෙ දෙවැනි ස්ව්යං ගීත විචාරයයි. ඔබට මාගෙ පළමු ගීත විචාරය මඟහැරුනි නම්, මෙතනින් ගොස් එය රසවිඳින්න.

ගීත විචාරයට පසුව මෙලෙස පසු සටහන් තැබීමට සිත් වූයේ මෙම විශිෂ්ඨ ගීතයේ රචකයාණන් පිළිබඳව යමක් සාක්ච්ඡා කල යුතුම බැවිනි. විචාරය තුල එවැන්නකට ඉඩප්‍රස්ථාවක් නොවූ හෙයින් මෙම ඉඩ මම ඒ සඳහා ප්‍රයෝජනයට ගනිමි.

ඉහතින් සඳහන් කොට ඇති අයුරින්ම මෙම මනරම් ගේය පද රචනාවෙහි නිර්මාතෘවරයා වන්නේ දයාසේන ගුණසිංහයන්ය. මෙතුමා ඔබට නුහුරු නුපුරුදු චරිතයක් නොවන්නේ ඔහු කවියෙකු පමණක් නොව ප්‍රවීන පුවත්පත් කලාවේදියෙකු, නො එසේනම් මාධ්‍යවේදියෙකු වන හෙයිනි. මෙම නිර්මාණය සැලකීමේදී ඇත්ත වශයෙන්ම මෙම රචනය ගීතයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුවකින් සිදු වූ නිර්මාණයක් නොවේ. මේ කවි පංතියකි. මේ කවි පංතිය අඩංගු වනුයේ ඔහු විසින් ලියා පළ කරන ලද "නොවඳිමි සිදුහත්" කාව්‍ය සංග්‍රහය තුලයි.

පසු කලෙක ගීතයක් බවට පරිවර්ථනය වූයේ මෙම කාව්‍යයි. ඒ ගුණදාස කපුගේ ශූරීන් අතිනි. ඒ මෙම ගීතයේ උප්පත්ති කතාවයි.

දයාසේන ගුණසිංහයන් අපිට වැදගත් වනුයේ ඔහු කවියෙක් වූ නිසාම පමණක් නොවේ. ඔහු මාධ්‍යවේදියෙකි. නිකම්ම නිකන් මාධ්‍යවේදියෙකු නොව ප්‍රතිභාපූර්ණ, අදීන මාධ්‍යවේදියෙකි. 1950 දශකයේ අගභාගයේ පෙරාදෙණිය සරසවියෙන් ගෞරවවේදී උපාධියක් ලබා අධ්‍යාපනය හමාර කල මෙතුමා ඉන් පසු ගුරුවරයෙකු ලෙස තම වෘත්තීය දිවිය අරඹයි.

අනතුරුව ඔහු මාධ්‍යවේදියෙකු ලෙස කල එළි බසිනුයේ ප්‍රථමයෙන්ම "දිනමිණ" පුවත්පත හරහාය. (අපේ සහෘද බ්ලොග් සඟයෙකු, මාධ්‍යවේදියෙකු වන නලීන් සොහොයුරා මෙතුමන් සමීපව ඇසුරු කරන්නට ඇත.) පසු කලෙක දිවයින ඉරිදා සංග්‍රහයේ ආරම්භක කතෘ වූයේද මෙතුමායි. පුවත්පත් කලාව, කලාවක් කරගනිමින්, පෑන තම අවිය කරගත් මේ අදීන මාධ්‍යවේදියා කිහිප විටක්ම පැවති පාලනය යටතේ දණ්ඩනයට ලක්වූයේ ඔහු තුල තිබූ මෙම අදීන ගුණාංග නිසාවෙනි. ඔහු කිසිවෙකුටත් වහල් නොවූ නිවහල් මාධ්‍යවේදියෙකි. සමාජයට ආදරය කල ජනතාවාදී මාධ්‍යවේදියෙකි.

ලේක් හවුස් ආයතනයේ රාජකාරි කරන සමයේ මෙතුමා විසින් නිර්මිත "රන් තැටියක කඳුලු" කව්‍ය සංග්‍රහය සඳහා රාජ්‍ය සම්මාන හිමිවිය. තවද මෙතුමා කෙටිකතා කරුවෙකු ලෙසද තම ප්‍රතිභාව නංවාගත් අයෙකු විය. 1986දී පළවූ "කැනල් පාරෙ නිශාචරයෝ" කෙටි කතා සංග්‍රහය රාජ්‍ය සම්මානයට පාත්‍ර විය. එතුමාගේ අනෙක් කෙටිකතා එකතුව වූයේ "කේතුමතී හෝටලයේ රාත්‍රියක්" නම් කෙටිකතා සංග්‍රහයයි. කාව්‍යකරණයෙන්, කෙටිකතාකරණයෙන් නතර නොවූ මේ මිනිසා, විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යටද යොමුව ඇත. එහිදී එතුමන් විසින් " නිල් තාරකාවට ගිය තිදෙනා" නමින් විද්‍යා ප්‍රබන්ධයක්ද අපට තිළිණ කොට ඇත. ඔහු ඉන් නොනවතී. අනතුරුව ඔහු පරිවර්ථන කෘතියක්ද එලිදක්වා ඇත. ඒ "චිනුවා අචේබ්" නම් අප්‍රිකානු ලේඛකයාගේ "A Man Of The People" කෘතිය, "පොදු ජනයාගේ මිනිහෙක්" නමින් සිංහලට පරිවර්ථනය කරමිනි. ගුණසිංහයන් මෙම කෘතිය තුලින් ලාංකීය සමාජ ක්‍රමය වෙනස් කර බිඳ වැටුනු ආර්ථිකය, සමාජය යළි ගොඩනැංවීම කෙරෙහි  ප්‍රගතිශීලී නව සමාජ ව්‍යාපාරයක් ගොඩනැංවීමේ අවශ්‍යතාවය දැඩිව පෙන්වා දී ඇත. නිරතුරුවම සමාජය හා ගැටෙමින් පීඩිතයාගේ දුක, ඔහුගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න කරගනිමින් පෑන හැසිරවූ මේ උත්තරීතර මිනිසා මේ නිසාම පැවති පාලනයන් විවේචනය කිරීමේ වරදට දැඩි මර්ධනයකට මුහුන දුන්නේය.

එනිසාම ඉතා වෙහෙස මහන්සියෙන් අනුපමේය කැපවීමෙන් ඔහු බිහිකල දිවයින පුවත්පත් ආයතනයේ දොරටුවද මේ උදාර මාධ්‍යවේදියාණන් හට වැසෙනුයේ ඔහු අන්ත කලකිරීමට පත් කරවමිනි.
මිල මුදලට, වරප්‍රසාද වලට තම පෑන මෙහෙය නොවූ මේ මිනිසා සමාජය තුල සැබෑ මාධ්‍යවේදියෙකුගේ ප්‍රතිමූර්තිය ගොඩනැඟූයේ එදත් අදත්, නිවටයින් සේ පාලකයන්ගේ කටු ලෙවකමින්, උන් අබියස දනින් වැටී උන් වෙනුවෙන් ප්‍රශස්ති ලිවීමට තම පෑන හසුරුවන, තමන්ගේ පංතියේ මිනිසුන් අමතකකර තම මාධ්‍ය වගකීම බල්ලට දැමූ අමන "පත්තර කාරයන්හට" සැබෑම පුවත්පත් කලාව මේ යැයි හඬගා කියමිනි. එනිසා එතුමන් වැනි මිනිසෙකු අතින් නිර්මිත ඉහත ගීතය පිළිබඳ අප පුදුමවිය යුතු නැත.

කෙසේ වුවද මේ මහා මාධ්‍ය සෙන්පතියා අපෙන් වියෝ වී මේ වන විට වසර 18ක් පමණ ඉක්ම ගොස් ඇත. නමුත්, තවමත් ඔහු අප අතර ජීවමානව හිඳිමින් අපට පෙන්වනුයේ රට තුල කෙමෙන් වියැකී යන මාධ්‍යවේදීන්ගේ වගකීම යළි නඟාසිටුවිය යුතු බවයි. පාලකයන් වෙනුවෙන් නොව, ජනතාව වෙනුවෙන් සිදුකරන්නාවූ, පාලකවාදී නොව ජනතාවාදී වූ මාධ්‍ය මෙහෙවරක අඩුව එදාටත් වඩා තදින් අපට අද දැනෙමින් පවතී. එනිසා මේ මොහොතේ අප ප්‍රාර්ථනා කල යුත්තේ රටේත් ජනතාවගේත් අනාගතය උදෙසා අපේ දයාබර මාධ්‍ය සහෘදයන්ගේ නෙත් දැන්වත් විවර වේවා කියායි.