"දළදා හාමුදුරුවනුත් සැතපී සිටි මොහොතක..."
නුවර වැවේ වැව රවුමේ
හඳ පායපු රෑ දවසක
ඇවිද ගියා මම
තනියම...
සීත සුළං හා මුහු උන
දිය රැළි මුමුණන රහසක්
මට ඇහුනා හීං හඬින්
ඉකි ගසමින් බිඳුනු හඬින්...
අනේ මගේ කිරි කැටියා
වංගෙඩියේ ලා කෙටුවා...
කිරිත් එක්ක ලේ මුහුවී
මගෙ ඇස් ලඟ බොඳවූවා
අනේ මගේ මද්දුමයා
අයියණ්ඩිත් අඬගහගෙන
ලේ ඉල්ලපු වඩිගයාට
හිස බිලි දුන්නා...
දළදා හාමුදුරුවනුත්
සැතපීලා උන් මොහොතක
උන් මාවත් සැඟවූවා
බෝගම්බර දිය රැළි යට...