Pages

Sandumal

Sandumal

Thursday, November 20, 2014

•වැලි පොල් කට්ටට

"හෙට ගෙට එන වැඩිහිටි කාලෙට දැන්.. මේන් ආයුබෝවන්..."




මගේ දෝණියේ, මං දෝණිට අද ලොකූ කතාවක් කියන්නයි මේ ලෑස්ස්තිවෙන්නෙ. දුව දැන් මේ කියවන්නෙ දූගේ අම්මි ලියපු බොහොම පරණ සටහනක්. කොච්චර පරණයිද කියනවානම්, මේ සටහන හරියටම දූගෙ වයසමයි. හ්ම්... මයෙ දෝණිට පුදුමයි නේද. පුදුම වෙන්න එපා දුවේ, ඔයා ඉපදිච්ච දවසෙයි අනාගතේ දවසක උදාවෙන්න තිබ්බ මේ මොහොත වෙනුවෙන් මං ඔයාට මේක ලිව්වෙ. ඔන්න අහගන්නකෝ..

මේ ලියන මොහොතෙ මගෙ දෝණි හොඳ සැපට නිදි. බිංකුණ්ඩෙක් වගේ ඔයා හරි පුංචියි. දැන් වෙලාව රෑ දොලහත් පහුවෙලා. දෝණිගෙ තාත්ති දෝණි ළඟට වෙලා ඉද්දි තමයි අම්මි මේ ලියන්නෙ. ඒත් දුවේ ඊට අවුරුදු ගානකට පස්සෙ ඔයා මේක කියවන්නෙ. 

ඉතින් දුවේ ඔයා මේක කියවන මොහොතෙ ඔයානම් කාමරේක හිරකරල තියන්න සිද්ධ උනා මට. මේ වෙලාවෙ අම්මිටනම් වැඩ කෝටියයි. කුස්සියෙ, සාලෙ, මිදුලෙ එකම එක යුද්ධයයි. ඉතින් මේ දවසෙ මෙච්චර හරියක් කියාගන්න ඔයාගෙ අම්මිට වෙලාවක්, නිදහසක් නැති නිසාම මෙහෙම ඔයාට කාමරේට වෙලා කියවන්න මේක මං කලින්ම ලියල තිබ්බ එක කොච්චර හොඳද කියල අදනම් මට හිතෙනවා.

දෝණියේ, මෙතනින් එහාට අම්මි ලියල තියෙන හැම අකුරක්ම මයෙ දෝණි හරිම පරිස්සමින් කල්පනාවෙන් කියවන්න. ඒ හැම අකුරක්ම හොඳට තේරුම් ගන්න. හිතට ගන්න. දුවේ..ඔයා අද ලොකු ළමයෙක්. මගෙ පොඩි හුරතලී අද වැඩිවියට පත්වෙලා. දුවේ, ලංකාවෙ අපිට මේ දේ තවත් එක් මනුස්ස පරාණයක ප්‍රජනන සමයක ආරම්භය විදියට සැහැල්ලුවෙන් හිතල අමතක කරන්න පුලුවන් කාරණයක් නෙවෙයි. ඒක දූ දන්නවනේ. ඉතින් දුවේ ඒ නිසානෙ අපි මේ ලක ලෑස්තිවෙලා නැකැත් බලල පුංචි උත්සවයක් අරන් මේක මේ චාරිත්‍ර වාරිත්‍ර වලට කරන්නේ. හැබැයි දුවේ දෝණි වාසනාවන්තයි.

දූගෙ යාලුව්න්ගෙ අනිත් අම්මලා තාත්තලා වගේ දූගෙ ජීවිතේ මේ වටිනා මොහොත අපි "පාටියක්නම්" කරගත්තෙ නෑ. දෝණිගේ යාලුවන්ගෙ තාත්තලා වගේ මේක බේබදු පාටියක් කරගත්තෙත් නෑ. තාත්තිගෙයි අම්මිගෙයි පවුලෙ සමීපම නෑයො ටික එකතුකරගෙන, මගෙ දෝණි සති ගනන් ඔය පුංචි කාමරේ පෙරේතියක් වගේ හිර නොකරගෙන අපි බොහොම චාමෙට, ඒත් ලස්සනට පිළිවෙලට මේ කටයුත්ත කරන්නයි අපේ මේ ලෑස්තිය. හරි, ඒ කතා ඇති දැන්. මං දැන් දූට කියන්න ආව ටික කියල ඉන්නම්කෝ.

මගේ දෝණියේ, ඊයෙ වෙනකල් ඔයා අම්මගෙයි තාත්තගෙයි තුරුල්ලෙ බොහොම් පුංචි කෙලි පැටික්කියක් විදියට බොහොම සැහැල්ලුවෙන් ජීවිතේ ගෙව්වා. දූට ජීවිතේ ගැන බරක්පතලක් තේරුමක් තිබුනෙත් නෑ. අපි එහෙම බරක් දූට දැනෙන්න ඇරියෙත් නෑ. ඒත් දෝණියේ, අදින් පස්සෙ දූගෙ ඒ සැහැල්ලු ජීවිතේටනම් සමුදෙන්න වෙනව. මං මේ කියන්නෙ අදින් පස්සෙ හැම දේම අතෑරල ගේ ගෙම්බියක් වෙන්න කියල එහෙම නෙවෙයි. දූට මේ කියන්නෙ ඊයෙට වඩා හෙට දවසෙ හැම නිතරම කල්පනාවෙන්, බුද්ධිමත්ව, වගකීමෙන් ජීවත් වෙන්න මගෙ පොඩි කෙල්ල පුරුදු වෙන්න ඕනි. මොකද දුවේ අදින් පස්සෙ ඔයා මේ සමාජෙට ලොකු ගෑණියෙක්. තරමක් දුරට අපෙන් මිදුණු නිදහස් කිරිල්ලියෙක්. ඉතින් දුවේ දූට මට මීට වඩා මේ දේ විස්තර කරල කියල දෙන්න පුලුවන්, ඒත් කෙල්ලෙ, ඒ මහප්‍රාණ මගෙ කෙල්ලට දැන්ම තේරෙන එකක් නෑ. ඒව මං හෙමීහිට දෝණි මගෙ ඔඩොක්කෙට අරන් පස්සෙ දවසක කියල දෙන්නම්.

ඉතින් බබෝ, ඉස්සරහට මගෙ කෙල්ලට අර වැලි පොල් කට්ටටයි, බෙලි කටු හැන්දටයි, කොස් කොල ගොට්ටටයි නම් ආයුබෝවන් කියන්න පුලුවන් ඔන්න. පහුගිය දවස් වල මාත් එක්ක රණ්ඩුනේ ඇත්ත වළං ඕනි කියල. ඔන්න දැන් පුලුවන් පුරුදුවෙන්න ඔයාට. වැලි පොල් ක්ට්ට වෙනුවට ඇතිලි හැලි වළං, බෙලිකටු හැන්ද වෙනුවට පොල්කටු හැන්ද, කොස් කොල ගොට්ට වෙනුවට කිරි ගොට්ට.

ඇයි තව ඔය අර කුස්සියෙ පොඩි බංකු කෑල්ලට රෙද්දක් පොරවල, ඒක ඔතල අරන් බබෙක් වගේ නළවන්නෙ. ඒ මදිවට දවසක් බලද්දි මගෙ සාරි පොඩ්ඩකුත් අරන් ඇඳගෙන. ඉතින් පැහිච්චියේ, අද ඉඳල ඔයා කවදහරි ඇත්තම අම්ම කෙනෙක් වෙන දවසට එකත්කරගන්න මේ හැමදේම ඔයාගෙ අම්මිගෙන් බලාගෙන ඉගෙන ගන්න වෙනවා. ඔයාගෙ වැඩිහිටි ජීවිතේ පටන් ගැන්ම තමයි මේ.

මතකද, කෝටුවකුත් අරන්, හුණු කූරත් අතින් අරන් පුංචි ටීචර් බෝනික්කන්ට අකුරු උගන්නපු හැටි. දැන් ඒ සෙල්ලම් හැබෑ කරගන්න පාර කපාගන්න කාලෙ ඇවිත් පැංචියේ. මගෙ දෝණි ඔයාට කැමති පාරකින් ඔයා ආස පාරකින් මේ සමාජෙට යහපතක් කරන හොඳ රස්සාවක් කරන්න කවදහරි. ඉතින් මේ හැමදේම පටන්ගන්න කාලෙ හරි ඉතින් දැන්.

ඒ විතරක් නෙවෙයි බෝනික්කියෙ, ඔයා මෙච්චරකල් ජීවත් වෙච්ච සුරංගනා ලෝකෙන් බැහැල ඇවිත් මේ මහ පොළොවෙ හැබෑවටම පයගහන්න වෙනව හෙට ඉඳල ඔයාට. මං මේ ඔයාව බයකරන්න කියනව නෙවෙයි ඔයාට, බොරු කරන්නෙ මොකටද මං කෙලි පැංචිට. දුවේ ඒ සුරංගනා ලෝකෙ හිටපු ලස්සන, අහිංසක රාජ කුමාර කුමාරියන්ට වඩා මේ පොළොවෙ ඉන්න මිනිස්සු හරි නපුරුයි, නරකයි, ගුප්තයි. හැමෝම නෙවෙයි, ඒත් ගොඩක් ඉන්නෙ එහෙම අය. ඉතින් ඒ අය අර සුරංගනා කතාවල සුරංගනාවියන් බිලිගන්න රාස්සයෝ වගේ බලන් ඉන්නෙ මගේ සමන් මල් කැකුල වගේ ලස්සන කුමාරියන් බිලිගන්න. ඉතින් මයෙ කෙල්ලේ හැම වෙලේම පරිස්සම් වෙන්න. අම්මියි තාත්තියි ඔයාව ආදරෙන් පරිස්සම් කරනවා. ඔයා බයවෙන්නෙපා. ඉතින් ඒ නිසා ඔය තව ටිකක් ලොකු වෙලා මේ සමාජෙ තේරුම්ගන්නකල් තාත්තියි අම්මියි කියන පාරෙ යන්න, කියන දේ අහන්න. මං දන්නවා දෝණි එහෙම අහනවා කියලා.

ඉතින් දුවේ මේ ළමා කාලෙට සමු දීල හෙට එන වැඩිහිටි කාලෙට එහෙනම්  අපි සුබ නැකතින් පියවර නගමු. අපිත් ඉන්නවා දූත් එක්කම.

තාත්තියි අම්මියි දූගෙන් මහා දේවල් බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඕනි දූ හොඳ ළමයෙක් වෙනව දකින්නයි. ගුණ යහපත්ව, සංවරව, ඒ වගේම මේ රටට සමාජෙට වැඩ දායක සාධාරණ මනූසයෙක් උනොත්, ඒ ඇති දුවේ අපි දෙන්නට. ඒ වගේම කවදහරි දවසක දූ ඔයාගෙ අම්මියි තාත්තියි වගේ සතුටින් සමඟියෙන් ඉන්නව දකින්න තිබුනනම් ඒ ඇති.

ඉතින් දෝණියේ මෙච්චර දේවල් මං මේ ලිව්වෙ මගෙ කෙල්ල ඉපදිලා ගෙදර ගෙනාව මේ පළවෙනි දවසමයි. ඔයාට තාම සතියක් වත් නෑ. මේ මොකුත් නොතේරෙන අහිංසක ඔයා දැන් හොඳටම දොයි කටේ පුංචි ඇඟිල්ලකුත් ගහගෙන. තාත්ති ඔයා ළඟම ඉන්නවා ආදරෙන් ඔයා දිහා බලාගෙන. ඉතින් මං මේ ලිව්වෙ අනාගතේ එන දවසක් ගැන. ඒ දවස එනකල් ඔයා ජීවත් වෙන විදිය මං මේ දැන් ඉඳලම හිතින් මවාගෙන ලිව්වෙ මේ. ඉතින් අද ඒ දවස එහෙම උදා වෙලා. මං පැතුව විදියටම. ඒකනේ මගෙ කෙල්ල දැන් මේක කියවන්නේ. නේද. බොහොම පිං මගෙ රත්තරන් දුවේ. ඉතින් මං දන්නව මගෙ කෙල්ල මගෙ හීනෙ විදියටම හරි ලස්සනට අනාගතෙත් ජීවත් වෙන බව. ඔයාට ආයෙත් දවසක මං මේ විදියෙම සටහනක් දෙනවා. ඒ දෙන්නෙ ඔයා මනමාලියක් වෙලා යන දවසට. ඉතින් දුවේ දැන් පාන්දරටත් ළඟඉ. අම්මිට නිදිමතයි, තාත්තිටත් එහෙමලු. එහෙනම් මං දැන් නවතිනවා. මං මේ ලියමන පරිස්සමට අරන් තියනවා. ඔයා ලොකු ළමයෙක් වෙච්ච දවසක මං මේක ඔයා අතට දෙනවා. අර කාමරේක හිරවෙලා ඉන්න පුංචි මොහොතෙ ඔයාට මේක කියවන්න. 

මගෙ දෝණිට තාත්තියි අම්මියි ගොඅඩාක්ම, ගොඩාක්ම ආදරෙයි.

දෝණිට බුදුසරණයි.


වැලි පොල්කට්ටට බෙලිකටු හැන්දට
කොස් කොළ ගොට්ටට ආයුබොවන්
ඉතින් ආයුබෝවන්...

බංකු ලෑල්ලට රෙදි පොරවා ලා
සාරි පොඩිත්තක් ඉඟ දවටා ලා
ගෙයි මිදුලේ හිඳ නැළවූ කාලෙට
ඉතින් ආයුබෝවන්...

වේවැල අරගෙන පුටුවට තලලා
හුණු කූරෙන් ගෙයි බිත්තියෙ ලියලා...
ටීචර් වීලා ඉගැන්නු කාලෙට
ඉතින් ආයුබෝවන්...

මින් පසු ගෙදරින් පිටත නොයන්නයි
ගුරුහරුකම් පිළිපැද හැසිරෙන්නයි...
හෙට ගෙට එන වැඩිහිටි කාලෙට දැන්
මේන් ආයුබෝවන්...

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : පුණ්‍යසිරි මහවත්ත
ගායනය : පේෂලා මෙන්ඩිස්









විශේෂ ස්තූතිය..

මෙම වටිනා ගීතය ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දෙමින් මේ සඳහා සංවේදනාවක් ලිවීමට මා උනන්දු කල දයාබර "සිංදු ඇනෝ..." සහෘදයාණෙනි ඔබට මේ තුති කුසුම් පුදකරමි..