Pages

Sandumal

Sandumal

Saturday, November 15, 2014

•සාගර වෙරළක


"ඔබම මාද විය මාද ඔබම විය..."








2007.12.08


ආදරණීය මහී,

මේ ලියුම ලියන්න කලින් මං ගොඩාක් හිතුව. දවස් ගානක් කල්පනා කලා. ඇත්තටම මං ලියන්නෙ මොනාද කියලත් කල්පනා කලා. මට කියාගන්න මහ ගොඩක් දේවල් තියෙනවා. ඒව මගේ හිතට වතුර වගේ පැහැදිලියි, ඒත් ඒව මෙන්න මේවයි කියල වචන වලට පෙරලගන්න, අනේ මට කොච්චර මහන්සි උනත් බෑ. ඒව මට ඔයා ඉස්සරහට ඇවිත් කියාගන්නත් බෑ. ඔයා දන්නවනේ ඔයා ඉස්සරහ මං ගොලුවෙනවා, මට මාවම අමතකවෙනවා. ඉතින් කල්පනා කරල කරල අමාරුවෙන් ගැටගහගත්ත අකුරු ටික තමයි දැන් මේ ඔයා කියවන්නේ. 

සමන් මලින් පවන් සලන, ජනේලෙන් පෙරිල එන සඳ රැස් යහන මත වැතිරිලා ලියුම් ලියන බොළඳ කෙල්ලෙක් නෙවෙයි ඔයාට ඉන්නෙ කියල ඔයාම දන්නවනේ. ඒත් මට ඔයාගෙ මූණ ඉස්සරහට ඇවිත් හරි, ඔයාගෙ පපුවට ඔලුව තියාගෙන හරි කියාගන්න මට බැරි කතාවක් මට තියෙනව ඔයාට කියන්න. ඒකයි මෙහෙම ලියන්නෙ මං.

අතීතෙ එක්තරා දවසක අපි ආදරෙන් බැඳුනා. ඔයාගෙ එකම එක බැල්මකට මගේ මුලු ජීවිතේම නතු වුනා. ගහක් ගලක් වගේ එක හිතකින් හිටිය මං ඔයාගෙ ආදරේ ඉස්සරහ වෙඬරු පිඬක් වගේ දියවෙලා ගියා. මට දැන් ඔයාගෙන් තොර පැවැත්මක් නෑ. ඔයා නැමැති විසල් වෘක්ෂයේ එතුනු ඔයාගෙන් යැපෙන පරපෝෂී වැලක් වගේ මං. ඉතින් මං අමුතුවෙන් ඔයාට නොකිව්වට ඔයා දන්නවා මට ඔයාගෙන් තොර ජීවිතයක් නෑ කියලා. ඒ වගේම ඔයා ගැනත් මං එහෙම දන්නවා.


දවසින් දවස ශක්තිමත් වෙච්ච අපේ බැඳීම මුලු හදවතින්ම අපි දෙන්නව දෙන්නෙක් නෙවෙයි, එක්කෙනෙක් බවට පත් කලා. ඒ බැඳීම මතින් නිර්මාණය වෙච්ච අපේ ලෝකයේ අපි හුදෙකලා උනා. පාරාදීසයන් වල ඇවිදගෙන ගියා. සිතින් සිත ලංවෙලා එකට යාවෙලා උන්නු අපි ගතිනුත් ලං උනා. අපි අපිට තුරුලු වෙලා ලෝකයෙන් සැඟවිලා වෙරළ ඉමේ ගතකල සැඳෑවන්.. මහ ගොඩක් නැතත් ඒ සොඳුරු මොහොතවල් මං බොහොම පරිස්සම් කරගනෙ ඉන්නවා. ඒ හැම මතකයක් අතරින්ම යුවතියක් විදියට මගේ හිතේ ගැඹුරින්ම සනිටුහන් වෙච්ච සුන්දරම මතකය, ඔව් මං දන්නවා ඔයාටත් ඒක එහෙමමයි කියලා. සාගර වෙරළක ඇඳුනු අපේ රහස් පියසටහන් ලෝකෙටම හොරෙන් මැකී බොඳවී ගිය විදියටම, ලෝකෙන්ම සැඟව ගිය, ලෝකයට බොඳව ගිය, ඒත් අපි දෙන්නටම සදාතනික නොමැකෙන පිය සටහනක් හදවතේ ඉතුරු කල ඒ සොඳුරුතම මොහොත, අපි ගෙවූ මිහිරිතම දිනය.. ඒ රන් හිරු රැස විහිදී අපේ ජීවිත එළිය කල මොහොතේ සිතින් වගේම අපි ගතිනුත් එක්කෙනෙක්ම උනා. ඔබම මා උනා, මාද ඔබම උනා.

ඉතින් ලෝකය හරිහැටි දකින්නත් කලින්, දාහක් දේ තව දැකගන්නට, දැන හැඳිනගන්නට ඉතිරිවෙලා අපිට තියෙද්දිත් අපි අපේම උනා. මේ ගමන තව හරි දුරයි, මේ පටන්ගත්ත විතරයි, ඒත් අපේ පටන්ගැන්මම විසල් පිම්මක් උනා. ඉතින් රත්තරන් ඒ හින්දම අපිට කතාකරන්න දේවල් ගොඩක් තියෙනවා, මහ ගොඩක් තියෙනවා. මට බය නෑ, මට ඔයා අවිස්වාසත් නෑ. මං දන්නවා කිසිම කිසි දවසක ඔයා මාව මඟ දාල යන්නෙ නැතිවග. මාව අතරමං කරන්නැතිවග. ඒකයි මං බය නැතිව දෙවි කෙනෙක් වගේ ඔයාව අදහන්නෙ. මට ඒ විස්වාසය කොන්දේසි විරහිතව ඔයා ගැන තියෙනවා.

ඒත් ඒ දකින්න තියෙන ලෝකය, ඉදිරියට ගමන් කරන්න තියෙන මහ දුර අතරෙ මගේ හිත හිරවෙලා වගේ දැනෙනවා. ඒ හැඟීම මට කියාගන්න තේරෙන්නෙ නෑ. මං මේ කියන්නෙ අවිස්වාසෙකින් හෙම නෙවෙයි, මට මගේ ජීවිතේ ගැන බයකුත් නෑ. ඒත්.. වෙලාවකට හිතෙනවා අනේ අපි ඉක්මන් උනා වැඩිවත්දෝ කියලා.මට නිකන් දැනෙන්නේ පුංචි කාලෙම හැමදාටම ඇඳන් ඉන්න ඔසරියක් ඇඳගත්තා වගේ. අනේ මට සමාවෙන්න මේ වචන නිසා හිත රිදෙනවා නම්, මං මේ ඒ මොහොත ගැන පසුතැවෙනවා නෙවෙයි. ඒත් අනේ මංද මට තේරෙන්නෙ නෑ කියාගන්න මේ දැනෙනෙ හැඟීම.

මට දැනෙන දෙයින් බිඳක් මං කියන්නම් රත්තරන්. මේ ලෝකෙ කෙල්ලෙක්ට තමන්ගෙ කොල්ලට දෙන්න පුලුවන් ලස්සනම සුන්දරම දේ මං මගෙ කොල්ලට ලබල දුන්න. නෑඹුලේම මං ඔයාගෙම ඔයාගෙම උනා. ඒක ඕනි පිරිමියෙක් තමන්ගෙ සොඳුරියගෙන් පතන දෙයක්. මට ඒ ගැන තියෙන්නෙ අප්‍රමාණ භක්තියක්, සතුටක්. දා දුන්නු දේවල් ගැන මං ආත්ම තෘප්තියක් ලබනවා. ඒත් මට හිතෙනවා මං මේව මගෙ කොල්ලට දෙන්න ඉක්මන උනා වැඩිද කියල. මං එහෙම කිව්වෙ, අනාගතේ උදාවෙන ඔයා මගේම, මං ඔයාගෙම වෙන නැකතෙ මට අලුතින් ඔයාට දෙන්න දෙයක් නෑනෙ දැන්. 

ඒත් එක්කම, මගේ මුලු සිරුරම දැන් ඔයා. මට මං කියල කෙනෙක් නෑ දැන්, මගේ හැම දෙයක්ම ඔයාගෙ, කොටින්ම මං කියන්නෙ ඔයා, ඔයා කියන්නෙ මං. සිතින් වගේම ගතින් මං කැපවුනේ ඔයාට. ඉතින් මට එදාවත්, අදවත්, හෙටවත් ඔයාගෙන් රකින්න රහස් මොකුත් නෑ. මං, මං ගැන දන්නෙ කොච්චරක්ද, අන්න එච්චරක්ම ඔයත් දැන් දන්නවා මං ගැන.ඒත් රත්තරන්, මෙතනින් ඉස්සරහට ඒ ආධ්‍යාත්මික හැඟීම හැර මට මගෙ රත්තරන් වෙනුවෙන් පෙන්නන්න වෙන කිසිම භෞතික දෙයක් නෑ. මං හිතන්නෙ ඔයාට තේරෙනව මං මේ කිව්ව දේ.

ඒකයි මං කිව්වෙ අපි ඉකමන් උනා වැඩිවත්දෝ කියලා. ඉතින් කාලයක් එක්ක ඔයාට මං ගැන පුංචිම හරි සැකයක්, අවිස්වාසයක් ඇතිවුනොත්, අනේ රත්තරන් මගේ නිදොස් බව ඔයා ඉස්සරහ ඔප්පු කරල පෙන්නන්න සාක්කියක් මං ළඟ නෑ දැන්. ඉතින් එහෙම දවසක ඔයාට මාව එපාවුනොත්. මට බයයි.. අන්න ඒ නිසා අපි හොඳ අවබෝධෙන් ජීවත් වෙමු. මට මාව විස්වාසයි. මට ඔයාවත් විස්වාසයි. ඒ වගේම අපේ ආදරෙත් විස්වාසයි. ඉතින් ඒ විසවාසෙ බැඳීම අපි සදාකල් පරිස්සම් කරමු රත්තරන්. 

මට කියාගන්න ඕනි උනේ මේ දේවල්. මෙහෙම හරි ගලපගත්තෙ හරිම අමාරුවෙන්. අනේ මට කවදාවත්ම ඔයාගෙ මූණ බලාගෙන ඔයා ළඟට වෙලානම් මේ ටික කියාගන්න බෑ. ඒකයි කලාතුරකින් මෙහෙම ලිවුමක් ලිව්වෙ. මේ අපේ තුන්වෙනි ලියුම නේද. ඒකෙත් තියෙනවා කලාවක්. අපේ ආදරේ අපිටම ආවේණික දේවල් වලින් පිරිල නේද. ඉතින් එහෙනම් නවතිනව මං. අනේ මේ කීව දේවල් වලින් ඔලුව එහෙම අවුල් කරගන්නෙපා හොඳේ.. ඕනි අපේ මේ ආදරේ කප් සුවහස් කාලයක් ආදරෙන් පරිස්සම් කරගන්නයි මගෙ රත්තරන්.

ඔයාට බුදුසරණයි.

ඔබේම දයාබර,

රේඛා




ඔබම මාද විය
මාද ඔබම විය

සාගර වෙරළක පිය සටහන් මත
ඔබ මා සමගින් ගෙවූ දිනක්‌ ඇත
ඒ රන් හිරු රැස විහිදුණු මොහොතේ
ඔබම මාද විය මාද ඔබම විය

පවසා ගන්නට දහක් වදන් ඇත
පෙන්විය නොහැකි වූ දහස්‌ දසුන් විය
ඒ සැම මැද්දේ සිත් කය සිරවුණු
අහිංසකාවිය පමණ ද ඔබ ළඳ

ඔබමය මා සිත ඔබමය මා ගත
සිතින්ද සිරුරෙන්ද පොබ කළ හිමියනි
ඔබෙන් රකින්නට රහස්‌ කිසිත් නැත
එවන් කලෙක මා එපා නොකල මැන

පද රචනය : බණ්ඩාර කේ. විජේතුංග
ගායනය : විශාරද මාලනී බුලත්සිංහල
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
චිත්‍රපටිය: මධුසමය




(Obama Mada Wiya - Nanda Malini)






1991 දී තිරගත වූ "මධුසමය" චිත්‍රපටය සඳහා බණ්ඩාර කේ. විජේතුංගයන් විසින් රචනා කොට මාලිනී බුලත්සිංහලයන් ප්‍රේමසිරි කේමදාසයන්ගේ තනුවට ගායනා කරන ලද මෙම ගීතය චිත්‍රපටයේ ආබාධිත තරුණයා සහ ඔහු වෙනුවෙන්ම පේවී උන් පතිනියක වටා ගෙතුනු සැකය පසුබිම් කොටගත් කතාවක් සඳහා තේමා විය.


චිත්‍රපටයෙන් පරිභාහිරව ගීතයේ අරුත වෙනත් මානයකින් දැකීමට මා ගත් කුඩා උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස මෙම සංවේදනාව ලියැවුනි. එහි සාර්ථක අසාර්ථකභාවය විචාරීම ඔබට බාර කරමි.

සංවේදනාවෙහි හමුවන පෙම්වතියන්, පෙම්වතුන් භාහිර සමාජය තුල අපට කොතෙකුත් හමුවනු ඇත. ඔවුන් අතරින් අතලොස්සක් තමන්ගේ ජීවිත මල් යහනාවන් බවට පත් කර ගනිති. නමුත් බහුතරයක් දෙනාගේ ජීවිත වලට එවන් සුන්දර ඉරණමක්ම අත්වේද? සුදු පිරුවටයයි මංගල යහනයි කඳුලින් තෙමා ගන්නා යුවතියන් කී දෙනෙකුනම් ඇත්ද. ඒ අවස්ථාව හෝ අහිමිව අනාථ අසරණ වෙන කී දෙනෙකුනම් ඇත්ද?



(ඡායාරූපය අන්තර්ජාලයෙනි)