Pages

Sandumal

Sandumal

Tuesday, August 12, 2014

•සිලිං බිලිං කූරු වළලූ

"අල්ලන්නට ආස ඇති කඳුළු වලට දෙන්නෙ නැතී
බෝනික්කෝ කඳුලැල්ලෙන් බොඳවී මැකුණා..."






සිහිනෙන් ගෑ සුවඳක් මෙන් යටි සිත පත්ලෙහි තැන්පත්ව තිබූ මතක අග්ගිස්සක ඡායා මාත්‍රයන් පසුකරමින් මෝටර් රිය පදවමින් සිටි මගේ පාදය ක්ෂණිකවම තිරිංග හා සිර වූයේ අකුණු පහරක් මෙන් පැන නැඟී ආ සිතුවම් පටක් අසුරු සැනකින් මගේ නෙත් සිත මානයේ පෙනී නොපෙනී ගිය නිසාවෙනි. ඒ සමඟම අවධි වූයේ මසිතෙන් මැකී යමින් තිබූ අතීතාවර්ජනයක සිහින සිතුවම් පටයි.

අඳුරින් ගහන වූ මතක මංපෙතක මෝටර් රිය පදවාගෙන ආවද, මෙතෙක් වෙලාවක් මොහොතකට හෝ නැවතී රථයෙන් බැස දුහුවිල්ලෙන් පිරි සුපුරුදු මාවතට පය තැබීමට මසිත නොපෙළඹුනද අසුරු සැනකින් දුටු එක්තරා දසුනක් මාව ක්ෂණිකවම නතර කිරීමට සමත්විය. නෙත් අදහා ගැනීමට නොහැකි වුවද සෙබස්තියන් මාමාගේ තොරොම්බල් කරත්තය විසි වසරකට පෙරාතුව නවතා තිබූ ස්ථානයේම එලෙසින්ම නවතා තිබුනි. එකලට වඩා බෙහෙවින් මහළු වුවද එදා තිස් වියෙහි වූ ඔහු අද පනස් වියැති වියපත් මිනිසෙකුව එදා මෙන්ම එක් අතක් කරත්තයට බරකොට ඊට හේත්තු වී සිටියේය.

එදා මෙන්ම අදද දැවැන්ත මාර ගස කරත්තයට සෙවන දුන්නේය. අසල වූ නළ ළිඳ එදාට වඩා මළ බැඳී තිබුනද තවමත් ක්‍රියාකාරී තත්වයේ පැවතුණි. තරමක් එපිටින් වූ බූන්දි, බොම්බ මොටයි, මුරුක්කු පිරවූ සේදිරිස් මාමාගේ කරත්තය එදා පරිදිම විය.ඒ සමඟම අතීතයේ මෙන්ම, තරමක් සුලු වෙනසකම් සහිතව "දිරිය පොළෙහි" වූ අනෙකුත් සියලු අංගෝපාංග අදත් එලෙසම නෙත් අභිමුව විය. මේ සියලු දේවල් නොව, මගේ හිත මොහොතකට නතර කරනු ලැබුවේ, මුලින්ම මං ඔබට හඳුන්වාදුන් සෙබස්තියන් මාමාගේ තොරම්බල් කරත්තය අභියස මා දුටු දසුනයි. ඇත්තෙන්ම එය සිහිනයක්දැයි මට සිතාගත නුහුනු විය.

දශක දෙකකට එපිට අතීතයේ දිනක මේ පරිසරය මැදම, මේ තොරම්බල් කරත්තය අභියස කඳුලින් පිරි දෙනෙතින් කුඩා දැරියක්ව මා බලා සිටි අයුරින්ම අදද, මගේම රුව මෙතන එලෙසින්ම දක්නට ලැබෙයි. ඇත්තෙන්ම මා දකින්නේ අවතාරයක්ද? නැතිනම් නපුරු සිහිනයක්ද? මගේම ආත්මයද? මා මැරී ඉපදීවත්ද? එලෙසින්ම, එලෙසින්ම, එදා වගේම, සායම් දියවී සේදී ගිය, දිරාපත්ව පඬරැල්වී ගිය, වර්ණයක් නොමැති වූ ගවුම් කෑල්ලකින් වැසී ගිය මේ ළමා ජීවිතය පෙර මාවම නොවන්නේද? බඩ මැදින් ඉරීගිය ගවුම් කෑල්ලෙහි ඉණ, දෙහි කටුවකින් අමුණාගෙන හැඩපලු ගෙතී ගිය කෙස්ස නිතර දෑඟිලිවලින් සකසමින්, හොටු බේරෙන නැහැය අතින් පිස දමා ගවුමෙහි පොඩිකර ගනිමින් කුණු දූවිලි වැකුණු නිරුවත් දෙපයින් මේ බලා සිටින්නේ මං ම නොවන්නේ කෙසේද?

කරත්තය තල්ලු කරන තාලයට සිලිං බිලිං හඬ නංවමින් දිලිසි දිලිසී ලතාවකට පැද්දෙන දේදුන්නේ පාට හතෙන්ම හැඩ වැඩ වූ වළලු, මාල, අරුමෝසම් දෙස හිනැහෙන නෙතින් ආසාවෙන් බලා ඉන්නා කුඩා දැරිය කරත්තයේ ගමන් තාලයට ඒ අසලින් ඇවිද යන්නේ මගේම අතීතයේ මා තනිකර දමාය.

ඒ අතීතයේ අඳුරු දිනයේ කුඩා දැරියකව හුන් මාද මෙලෙසින්ම සෙබස්තියන් මාමාගේ රෝද දෙකේ අත් කරත්තය පසුපස පියමැන්නේ අතින් අල්ලන්ට වරම් නැති නමුදු නෙතින් අල්ලා සිතින් තුරුලු කරගත් මේ අරුමෝසම් ලෝකය මගේම කරගනිමිනි.

එදා කරත්තයේ සිටි බෝනික්කන් මාව දැක මා සමඟ සිනාසුනි. ඒ, මදෙස බලා සමච්චලයට හිනාවුනු මිනිසුන් මෙන් නොව මගේ පුංචි සිතේ ඇතිවූ සිනහව මෙන්ම පිවිතුරුවය. මම බෝනික්කන් සමඟ කතාකලෙමි. පසු පසම දිවගියෙමි. බෝනික්කාටත් වඩා ලස්සන සුරංගනාවියක් එහි පැමිණුනි. ඇගේ මවට ඇවිටිලි කරනලදි. සැනකින් මාත් සමඟ සිනාසෙමින් කතාකරමින් හුන් බෝනික්කිය අර සුරංගනාවිය විසින් තුරුළු කරගන්නා ලදි. ඇගේ පපුවට සිරව ගිය මුහුණ ආයාසෙන් මුදවා ගත් බෝනික්කිය අවසන් වතාවට මා හට සිනා සී අතවනනු මං බොඳව ගිය දෙනෙතින් බලා සිටියෙමි.

අද ඇයද එලෙසින්ම බලාහිඳියි. කාසි ඇත්තෝ මේ විසිතුරු ලොව තමන් සතු කරගනිති. එදා මමත්, අද ඇයත් භෞතිකව හිමිකරගත නොහැකි  සිහිනය හදවතින් අයිතිකරගෙන මනෝ ලෝකයක සැරිසරති. කාසිවලට මිසක් කඳුලු වලට මාරු නොවන මේ අරුමෝසම් දෙස බලා කඳුලු කැට සලන්නේ, කවදාවත් හිමි නොවන අපට උරුම නොමැති ලෝකයක අසිරිය හදවතට අනින පිහිපාරවල් වල වේදනාවෙන් බව දන්නේ අපිම පමණි.

මම තවමත් පාත් නොකල රිය කවුලුවෙන් බලා හිඳිමි. ඒදා මෙන්ම සෙබස්තියන් මාමා කටේ ඇඟිල්ලක් ගසාගෙන තමා පසු පස එන කිළිටි කෙල්ලට බැන වදිනු පෙනේ. ඒත් ඇය හඬමින් සිනාසෙයි. මුදුන් වන මද්දහනේ හිරුගේ කිරණ අරුමෝසම් මාල වළලු වල ගැටී පරාවර්ථනය වෙයි. ඒ එළියට දැරිවිය ලොබ බැඳ ආදරයෙන් මුහුණට හරවා ගන්නට තැත් කලද පරාවර්තිත හිරු එළියද ඇගේ දෑස් නිලංකාර කරමින් රවා ඔරවා බලන්නේ උඹට මේ ලෝකෙ හිමි නෑ, දුවපං මෙතනින් කෙල්ලේ යැයි කියමින්දෝ කියා මගේ සිත කියයි. එසේ වුවද තමන්ට සැහැසිකම් කල හිරු කිරණට, හිස් අහසට, බොල් පොළොවට පවා අපි ආදරේ කලේ අපේ සෙවණට හුන් එකම සම්පත ඒ සොබාදහම පමණක්ම වූ හෙයිනි.

වීදි දරුවෙක්ව ගතකල මගේ ළමා විය මට පසක් කර දුන් නියත දහම අද මගේ නෙත ගැටුණු මේ අහිංසකාවිය උගනමින් සිටියි. එදා සෙබස්තියන් මාමාගේ රෝද කරත්තය පසු පස වරුවක්ම දිව යමින් හුන් මා සිහින ලොවින් පියවි ලොවට ආයේ, මෙලොව මට හුන් එකම හවුහරණ වූ දයාබර මවු සෙනෙහස මහ පාර මැද රක්ත වර්ණ කලාලයක වැතිර හුන් අයුරු දැකීමෙනි.  හදවත යකඩින් නිමැවුනු යකඩ යකෙකු මගේ හිඟන මව මහපාරේ බිලිගෙන හුන් ඒ කාලකණ්නි දසුනින් උන්මන්තක වූ මා මවගේ ගැහෙන සිරුර බදාගෙන හඬනු පමණි මේ අහස යට මගේ අවසන් මතකය. 

සිහිනයෙන් අවධිවුන මා සිටියේ සුරදූතිකාවන් පිරිවරාගත් බිමක බව මට හැඟුනි. ඒ මගේ නව ජීවිතයේ ඇරඹුම විය. ළමා නිවාසයක අනාථයෙකු ලෙස මා හැදී වැඩුණු අතර අවසානයේ මා ඉන් නික්මුනේ නීතීඥවරියක් ලෙසිනි. මේ, දශක දෙකකට පසුව මා කුඩා කල වීදි දරුවෙකු විලස හැදී වැඩුනු මගේ අහස යටට පැමිණි මුල්ම වතාවයි. තවමත් කිසිවක් වෙනස් වී නැත. මගේ අතීතය මට අතීතයක් පමණක්ම වුවද එහි වර්ථමාන උරුමක්කරුවන් ඒ ජීවිතය විඳිමින් සිටී.

හැර යානොහැකි, නොදුටුවා සේ නික්මිය නොහැකි මගේම අතීතය වෙත පියමං කිරීමට මෝටර් රථයෙන් බැසගත් මා ඒ අහිංසක දැරිය වෙත යාමට පිය ඔසවන විට අසල සිටි මිනිසෙකු හතරට පහට මා අභියස නැවී බුලත් කහට බැඳි දසන් දක්වා බයාදු ලෙස සිනාසී "නෝනා.." ලෙස මා ආමන්ත්‍රණය කරන ලදි. ඔහු එසේ බුහුමන් දැක්වූයේ මා තුල වූ අතීත කිළිටි වීදි දරුවාටද නො එසේනම් සුදු සාරියකින් වැසීහුන් සුදු පාට වැදගත් නෝනාටත් ඇය බැස ආ කාරයටත්ද යන්න මම නොදනිමි. ඒ කුමකට වුවද එදා මා හට කොලොප්පම් කරමින් ඇතැම් විට හිරිහැර කලවිටද මා සිනාසුනු අයුරින්ම ඔහුට සිනහවක් පා මා ඉදිරියට පියමැන්නෙමි.

සෙබස්තියන් මාමාද මා හඳුනානොගත් හෙයින්, "නෝනේ.. නෝනට මොනවැයි ඕනි" කියා මගෙන් ඇසීය. දෛවය කෙතරම්නම් පුදුමාකාරද. එදා මා සිහින මැවූ හැම කෙළිබඩුවක්ම අදද එහි විය. නමුත් ඒදා පොපියමින් මගේ හදවත මොරගා ඉල්ලූ ඒ ආශාවන් අද මා අසලකවත් නැති අයුරු!! ඒදා ආශාව විය. නමුදු වත්කමක් නොමැතිවිය. අද වත්කමක් ඇත, නමුදු ආශාවක් නොමැත. මෙය නොවේද ජීවිතය. නමුත් අදත් දිලිසෙන දෑසක් අරුමෝසම් දෙස බලා හිඳියි. ඒ පුංචි එකී ආශාවෙන් මිරිකෙමින් සිටී. "මෙයාට ආස හැමදෙයක්ම" සෙබස්තියන් මාමාට මම පිළිතුරු දුනිමි. "මේ හපුටු කෙල්ලට??" ඔහු මවිත වී අසයි. "නෑ මේ අහිංසක දරුවට" මම තරමක් දැඩිව පිළිතුරු දුනිමි. "හො..හොඳමයි නෝනෙ"

"කෙලී, බොට පේනවද? මේ නෝනා උඹට මෙව්වා අරන්දෙන්න යන්නෙ. කැමති එකක් ඉල්ලගනින්"

ඉමහත් පුදුමයට පත්ව හුස්මක් ඉහලට ගත් ඈ ක්ෂණිකව මා එදා වඩා ප්‍රියකල වර්ගයේ බෝනික්කෙකු රැගෙන ළයට තුරුල්කරගත්තාය. අමතරව වළලු කිහිපයක් ගත්තාය. පසුව බියෙන් මෙන් මදෙස බැලීය. නෙතට නැඟි කඳුලක් කාටත් හොරා පිසදාගත් මම ඇයට එහි වූ තවත් කෙළිබඩු කිහිපයක් ලබා දුන්නෙමි. තවත් මොහොතක් මගේ දෙනෙතට එබී හුන් ඇය මීළඟට මගේ නෙත් මානයෙන් එපිටට දිවගියාය.

නොපෙනී යන ඇය දෙස මොහොතක් බලා හුන් මා තවමත් මවිතයෙන් නෙත් අයාහුන් සෙබස්තියන් මාමාගේ මුදල ගෙවා හැකි ඉක්මනින් යලිත් මෝටර් රථය වෙත පැමිණියෙමි. වහා ඊට ගොඩවී දොර වසා ගත් මම රියදුරු අසුනේ වාඩිවී තදින් දෙනෙත් පියාගත්තෙමි.



"සිලිං බිලිං කූරු වළලූ පාට හතේ මාල පබලූ
වයිවාරණ අරුමෝසම් වටේට එල්ලා
රෝද දෙකේ මාළිගාව පොළට ඇවිල්ලා

කතා කරන බෝනික්කෝ  පියා සලන සූටික්කෝ 
කාසි වලට මාරු වෙලා අතින් අතට යනවා
මල් ගවුමේ අග හිඟ තැන් දෙහි කටුවෙන් හංගා ගෙන
පුංචි ඇහින් කඳුලැල්ලෙන් බැලූම් හෙළනවා

මද්දහනේ හිරු දෙවියෝ කැඩපතකින් ඔරවනවා
බලා උන්න පුංචි ඇහේ කඳුලැල් නැගුණා
අල්ලන්නට ආස ඇති කඳුළු වලට දෙන්නෙ නැතී
බෝනික්කෝ කඳුලැල්ලෙන් බොඳවී මැකුණා"


පද රචනය - හේමසිරි ගුණතුංග
සංගීතය - කලණි පෙරේරා
ගායනය - නීලා වික්‍රමසිංහ






(Silin Bilin Kuru Walalu - Neela Wikramasinghe)


********************************************************************************



පසුව ලියමි


අද ඔබ වෙත ගෙන ආ මෙම ගී සංවේදනාවට පසු මෙලෙස පසු සටහනක් තැබීමට සිත් වූයේ කරුණු තුනක් මුල්කරගෙනයි.



ඉන් පළමුවැන්න නම් මෙම සොඳුරු ගීතයේ තනුව නිර්මාණය කල කළණි පෙරේරා සංගීතවේදියාණන්ගේ ඡායාරූපයක් මා හට සොයා ගැඇනීමට නොහැකි විය. එනිසා මෙහි නීලා වික්‍රමසිංහයන්ගේ සහ මේ ගීතය අපට තිළිණ කල හේමසිරි ගුණතුංගයන්ගේ සේයාරුවක් පමණක් පලකරන ලදි. මේ පිළිබඳ දයාබර ඔබ මට සමාවුව මැන.

දෙවන කාරණය වන්නේ මෙම ගීතය නිර්මාණය වූ ආකාරයයි. අසූව දශකයේ රචනා වූ මෙම ගීතයද නිධාන කතාවක් සහිත් සජීවී ගීතයකි. වන්දනා චාරිකාවක් සඳහා පොලොන්නරුවට ගිය මොහොතක අහම්බෙන් ඇස ගැටුනු මෙම තොරොම්බල් කරත්තය සහ ඒ අසල හුන් මෙම අවිහිංසක වීදි දැරිය පිළිබඳ සිතෙහි උපන් සංවේගජනක සිතිවිල්ල ඔහු විසින් මෙලෙස ගීතවත් කරන ලදි.

තෙවැන්නනම් මේ ගීතයට අදාළ නොවන, මට සහ මගේ මෙම බ්ලොග් නිවහනට අදාල වන කාරණයකි. එනම් මෙම පෝස්ට්ටුවත් සමඟ මගේ පුංචි බ්ලොග් අඩවිය නැරඹුම් වාර විසිදහසට ළඟා වී ඇත. නැරඹුම් වාර දසදහසේදීත් මා ඔබට එය සිහිපත් කලයුරු මට අද මෙන් සිහියට නැඟේ. එහිදී ඔබ මා වෙත දායාද කල සුබ පැතුම් දිරිගැන්වීම හමුවේ දස දහසට ළඟා වූවාට වඩා කිහිප ගුණයක සීඝ්‍රතාවයකින් මා හට විසිදහසේ සීමාවට ළ්ඟා වීමට හැකියාව ලැබුණි. ඒ ඔබගේ අපරිමිත දායකත්වයෙනි. සහයෝගයෙනි, උපකාරයෙනි.

ඉතින්, පෝස්ට් 69ක් පුරා පසුපස ලුහුබඳින්නන් 71ක් සමඟින් මේ ගමන පැමිණීමට ඔබ මට ලබා දුන් අපරිමිත ශක්තියට මාගේ ස්තූතියි, ප්‍රණාමය මෙසේ පුදකර සිටින්නෙමි. ඔබට මාගේ ආචාරය!



******************************


විශේෂ සටහන 

මෙම ගීතය සඳහා තනුව නිර්මාණය කල කලණි පෙරේරා සංගීතවේදිනියක ලෙස මුලදී මවිසින් හඳුන්වා දුන් අතර ඒ මාතින් සිදුවූ අතපසුවීමකිනි. එම අවස්ථාවේ දේශක සහ පත්තර මල්ලී විසින් මාව නිවැරදිකිරීමට තරම් කාරුණික වූ අතර එම දෙපලට මාගෙ හෘදයාංගම ස්තූතිය පලකර සිටිමි.


තවද කලණි පෙරේරාගේ සංගීතඥයාගේ සේයාරුවක් මාහට සොයාගැනීමට නොහැකි වූ අතර ලිපිය සඳහා කමෙන්ට්ටුවක් යෙදූ තිස්ස දොඩංගොඩ සොහොයුරා විසින් මෙතුමාගේ සේයාරුවක් සහිත ස්බැඳියක් මාවෙත ලබා දීමට තරම් කාරුණික විය. තිස්ස සොහොයුරාටද මේ මොහොතේ මං මාගේ හදපිරි ස්තූතියි පුදකර සිටිමි.