Pages

Sandumal

Sandumal

Thursday, June 12, 2014

•වෙල්ලස්සේ ගීතය

"ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ..."




"ආයුබෝවන්! වාසනාවන්! මේ ඔබ අමතන්නේ වෙල්ලස්ස සුරැකීමේ ජාතික සංවිධානයයි. කූඨ බහුජාතික විදේශීය සමාගම් වලට මේ පිං බිම විකිණීමට ඉඩ නොදෙමු. ඔබේත් අපේත් ශ්‍රේෂ්ඨ මුතුන් මිත්තන් සැතපී සිටින මේ ක්ෂේම භූමිය, මේ ඔසු උයන, මේ රන් බිම විනාශ කිරීමට ඉඩ නොදෙමු. ආදරණීය අම්මේ තාත්තේ, අයියේ අක්කේ, මල්ලියේ, නංගියේ, මේ ඔබේ දායකත්වය අත්‍යාවශ්‍යම මොහොතයි. ඔබේ ජීවිතයට වටිනාකමක් එක්කරගන්න. එන්න භූමිය ගලවා ගැනීමේ සටනට අප හා එක්වන්න..."

තුම්මං හන්දියේ තේ කඩය ඉදිරියෙන් ඇදී ගීය ඩෙලිකා වෑන් රථයේ බැඳි ලවුඩ්ස්පීකර් යුගලයේ මොර ගෑම කඩපිල තුල සිටි සියල්ලන්ගේම අවධානය දිනාගැනීමට සමත් විය. බොමින් සිටි කහට වීදුරුවද අතින් ගෙන කිහිපදෙනෙක්ම කඩපිලෙන් බැස පාරට විත් ගුරු පාර දිගේ ඈතට ඇදී යන වෑන් රථය දෙස දුහුවිලි වලාව තුලින් බලා සිටියහ.

"නිකං කාල ගෙවල් වලට වෙලා ඉන්නෙවුන්ගෙ තෙල බහින්නත් මොකක් හරි තියෙන්නෙපැයි. කාලකණ්නි. මුං හිතන් ඉන්නෙ අකුරක් දෙකක් ලියාගන්න පුලුවන් වෙලා ඉහ ළඟට කර ආවම මුං තමයි කෙරුමො කියල. යකෝ, රටේ වෙනදේවල් වලට හොට දාලා එව්වා පාලනේ කොරන්න මේ පැඟිරන්ට පුලුවන්ද. එහෙනම් ඉතින් ඡන්ද තියල මිනිස්සු පාර්ලිමේන්තු යවන්නෝනි නෑනෙ. ඒ මහතැන්ලා ඉන්නෙ ඕව තීරණේ කොරල රට පාලනේ කරන්න තමයි. මුං මොක්කුන්ද?"

අවසන් කහට උගුරද බී මණ්ඩි ටික අහකට විසිකල ගුණසෝම අසෝක වීදුරුව වේගයෙන් මේසය මත තබා, සරමද කැහැපට ගසමින් පිලෙන් පාරට ගියේ නොපෙනී යමින් තිබූ වෑන් රථය දෙස මරුමුස් බැල්මක් හෙලමින් කාරා කෙළ ගසමිනි.

"මුංට තියෙන රුදාව මොකක්ද කියල මට තේරෙනවා. ඊයෙ හවස මැම්බර් මහත්තයා පංසලේදී කියනව මං අහගෙන. ඔය දාන්න යන සුගර් කොම්පැණි‍ය දැම්මොත් මේ ගමේ විතරක් නෙවෙය්, අහල ගං හත අටකම ඉන්න එවුන්ට රස්සා හම්බෙනවලු. මහත්තයා කිව්ව ගමේ ගමේ ඔහේ රස්තියාදුවෙවී ඉන්න කොල්ලොන්ට හොඳ කලක් යයි කියල.

 හොඳට බලහල්ල, ඔය විරුද්ධ ව්‍යාපාරෙ ඉන්නෙ ඔක්කොම අර විස්ස විද්දාලෙ ගිය එවුනුයි, ඉගෙන ගන්න එවුනුයි. මේකයි බොලවු ඇත්ත, ඔය හැත්ත කැමති නෑ, ගමේ අපි වගේ වේලි වේලි ඉන්න එවුන්ට රස්සාවක් හම්බෙනවට. මොක්ද ඕකුන් රට රාජ්ජ වල ගිහින් උපාධි අරං ආවට මොකෝ තාම උන්ට හරිහමං රස්සාවක් තියෙනෙ එකක්යැ. 

ඕකෙ පුරෝගාමියා වෙලා ඉන්නෙ අර පැන්සොන් ගිය රත්නපාල ඉස්කෝලෙ මහත්තයගෙ පුතණ්ඩිය එහෙමනේ. ඕකුං විස්ස විද්දාලෙ ඉන්න කාලෙ ඉඳන් කොලේ ඔව්වගේ වැඩ. අන්තිමේ රත්නායක මහත්තයාගෙ සේසතම ඉවරවෙනකල් අවුරුදු ගානක් තැපල තැපල උපාදිය ගත්තලු. ඒ ගත්තට මොකෝ තාම රස්සාවක් නෑ. ඉතින් උන්ගෙ ඇස්වල කටු ඇමිණෙනව වගේ මේ කොම්පැණිය දාල අපිටත් රස්සා හම්බෙනකොට. උන් පරතෙරටම ඉගනගෙනත් නිකමො වගේ ගෙවල් වලනෙ. ඔන්න ඕකයි හේතුව."

"අනේ ඇත්තට මෙහෙමත් එව්වා. අපිටනම් තේරෙන්නෙ නෑ. අනේ මුදලාලි මට ඔය සබන් බාගෙයි, සීනි සීයයි දුන්නනම්." කඩයට පැමිණි මැගිලින් කීවාය.

"අනේ මංද බොලවු. කොහොම උනත් මට තේරෙන හැටියටනම් රතනසීලී උන්නාන්සෙත් ඔය කොරන්න හදන වැඩේට ඒ හැටි මනාපයක් නෑ වගේ. ඊයේ උන්නාන්සේ පංසලේදී කොල කතාබහ එච්චර පැහැදීමකින් නෙවෙයි කලේ. "

මේ අතර මේ සියලු කතාබස් වලට නිහඬව ඉවසීමෙන් කන්දුන් අයෙකු විය. ඉතාම සංසුන්ව තේ වීදුරුවක් තොලගාමින් ලංකාදීපෙ පත්තරේට දෑස් යොමුකර සිටි ඔහුගේ සවන් නම් යොමුව තිබුනේ මේ කී කතා වලට බව මුහුණේ වූ ඉරියව් වලින් පෙනී ගියේය. සියල්ලෝම නිහඬ වූ පසු ඔහු තම හඬ අවදිකලේය.

"මාමෙ, මං උඹලට ඕකෙ ඇත්තම කතාව කියන්නම්. උඹලැට ඕක ගැන හරි අවබෝධයක් නැති හැඩයි. ඔය කරන්න හදන්නෙ මේ වෙල්ලස්සෙන් අක්කර සිය ගානක් එළිපෙහෙලි කරල ලොකු උක් වගාවක් දානෙක. ඔය එන්නෙ එංගලන්තෙ සුද්දන්ගෙ කොම්පැණියක්ලු. උන්ගෙ වගාවට උන් ඉල්ලලා තියෙන්නෙ මේ ඉසව්වටම තියෙන වටිනාම ඉඩං ටිකලු. කෙටියෙන්ම කියනවානම් රක්ෂිත ටික. ආයෙ උඹලට මං අමුතුවෙන් කියන්නෝනි නෑනෙ ඕවයෙ වටිනාකම ගැන. අපේ වෙද මහත්තයා මෙතන උන්නනම් කියාදෙයි."

"ඇත්තටම ඌවෙ තියෙන සාරවත්ම භූමිය තම්යි උන් ඉල්ලන්නෙ. අපේ හුලංදා ඔය, මාදුරු ඔය, හෑපොල ඔය, එතකොට ලෝකෙ හොඳම අවුසද උයනක් වෙච්ච නිල්ගල කෑලෑව, එවුන් ඉල්ලනවලු. නිකමට හිතහල්ලා, ඇත්තටම ඕක උනොත් ඔය තියෙන සේරම ගස් කපා දාල කැලෑව එළිකරනවා. ඊළඟට ඩෝසර් ගෙනත් මුලු බිමම සමතලා කරල ඒකෙ උක් හිටවයි. උන් අවුරුදු තිහ හතලිහක් ඕකෙන් උන්ගෙ රටට හම්බ කොරල දෙයි. ඊළඟට මේ බිම නිසරු උනාම උන් යන්න යයි. ඔන්න ඔතනින් පස්සෙ තමයි මේ අපිට තරු පේන්න පටන්ගන්නෙ. මේ බිමම කාන්තාරයක් වෙලා තියෙයි."

"අත්බේතකට බිං කොහොඹ පැලයක්කත් හොයාගන්න කැලෑ රොදක් අපිට නැතිවෙයි. ලෝකෙටම උනත් වතුර දෙන්න පුලුවන් අපේ හෑපොල ඔය, හුලංදා ඔය හිඳිල යයි. අපේ කුඹුරු අක්කර දාස් ගනන් අස්සද්දන මාදුරු ඔය ගොඩවෙලා යයි. සොච්චමට කඹුරල අපිත් කොහොමහරි ජීවත් වෙලා නමවත් දන්නැති ලෙඩකින් මැරිල යයි. හැබැයි මේකෙ කරුමෙ ගෙවන්න වෙන්නෙ අපිට නෙවෙයි, අපෙන් පස්සෙ උපදින පරම්පරාවට. උන්ට බොන්න වතුර ඩිංගක් නැතිවෙයි. පුරන් වෙච්ච කුඹුරු යාය නිසා උන්ට කන්න දේකුත් නැතිවෙයි. සුද්දා සාරය උරාබීල හපේ ඉතුරු කරල පැට්ටේරියත් වහල දාල උගේ රටට යයි. අපේ එවුන් මේ පොළොවෙ නන්නත්තාර වෙයි. අනික ඩිංගිත්තක් හිතපල්ලා. මේ බිම අපේ මුතුන්මිත්තන් පණ කෙන්ද දෙවනියට දාල රැකගත්ත බිම. උන්ගෙ ලේ කඳුලක් නොගලපු තැනක් මේ බිමේ නැතිව ඇති."

"අපේ හෑපොල ඔය, හුලංදා ඔය පණ ගැහිල ගලන්නෙ ඒ ලේ වලින් පෝසනය ලබලා. උඹලට මක්කැටයි අමුතුවෙන් කියන්නෙ. අපි හැමෝගෙම සීයලාගෙ සීයල, තමයි 1818 සුද්දට විරුද්දව මුල්ම සටන මේ වෙල්ලස්සෙන් ඇරඹුවේ. සිංහල දේසෙටම එච්චර කොන්දක් තිබිච්ච උන් මේ වෙල්ලස්සෙ විතරයි හිටියෙ. ඒ කාලෙ මේක උයනක්ලු. ලංකාවෙ සශ්‍රීකම බිමලු. කොටින්ම ලංකාවෙ හදවත් උනේ මේ ඌව. එදා බ්‍රවුන්රිග් ආණ්ඩුකාරය මෙහෙට ඇවිත් කිව්වලු මේක ආදම්ගෙ පළතුරු උයන කියල. මුං හටන්කොරන්නෙ මේ බිමේ හැදෙන ඒවා කාපු හයියෙන් කියල කීවලු. ඊළඟට මාසල්ලෝ දාලා නියෝග කලාලු මුලු බිමේම තියෙන සේරම වගාබිම් ගිනිතියල විනාසකරල දාන්න. ගෙඩි හැදෙන හැම ගහක්ම කපල දැම්මලු. ඒ විතරක් නෙවෙයි, අවුරුදු 16ට වැඩි හැම කොල්ලෙක්ම මරාදාන්න නියෝග කරාලු. මේව ඉතින් මං කියන්නෝනි යෑ. ඔක්කෙ ඉන්න ළදරුවා පවා මේ වෙල්ලස්සෙ ඔය කතන්දරේ දන්නවනේ."

"අන්න එහෙවු සුද්දා තමා අයෙත් මේ වෙල්ලස්සට පයගහන්න හදන්නෙ. මේ අවුරුදු 160ක් විතර ගෙවිල ගියත් සුද්දට මේ බිමේ රහ තාම මතක තියෙන හැඩයි. එදා උන් බලහත්කාරෙන් අපිව විනාසකරල දැම්මා. අපේ පිං බිම සුන්නද්දූලි කරා. අද උන බොහොම අහිංසක විදියට ඇවිත් අපිව ගොනාට අන්දල ආයෙමත් ඒක කරන්නයි මේ හදන්නෙ. ඔන්න ඔය ටික තේරුම් ගනිල්ලා. ඕකයි ඇත්තම කතාව."

"ඈ බං උක්කුවො. උඹ ඔය කියනකල් අපිට හාන්කවිසියක්වත් ඔව්ව ගැන වගක් උනේ නෑනෙ බොල. අම්මපල් උඹල ඔය කියන කතාව සහතික ඇත්ත බං." රුවිතං මුදලාලි හඬ අවධි කලේ ඔහු කතාව නිමකල පසුයි.

"ඉස්සෙල්ලා ලේ කෝප කරගෙන පුප්පව්වට මොකෝ උඹ ඔය කිව්වට පස්සෙ මටත් හිතෙනවා බං මං හිතපු විදිය වැරදියි කියල." කලින් අවස්ථාවේ මේ සම්බන්ධව දරුණු විවේචනයක් කල ගුණසෝම කරුණු කාරණා තේරුම් ගෙන ඇති සැටියකි.

"ඈ බං උක්කු මලේ උඹලට කවුරු ඔය කරුණු කාරණා තේරුම් බේරුම් කරල දුන්නේ?"

"කවුරුත් ඕවල අග මුල මට කියාදුන්නෑ බං. උඹම දැන් ටික්කට ඉස්සෙල්ලා අර ගරහපු අද්දියාපනේ මාත් ලැබුවා නමේ වසරට යනකල්. ඉතින් ඒ පිහිටෙන් ඕවා මට කවුරුවත් කියාදෙන්නෝනි නෑ බං. කරුණු කාරණා, දකිනකොට අහනකොට වෙන්නෙ මේකයි කියල හිතාගන්න පුලුවන්."

"අනිත් එක තමයි, ඉස්සෙල්ලා උඹ කිව්ව වගේ අපේ ගමේ ඉන්න ඔය උපාධි කාරයින්ට ඔව්ව උඹලට අපිට වඩා හොඳ හැටි තේරෙනවා බං. ඒකයි උන්ට ඔය ගැන ඔච්චර කැක්කුම. අනික උඹ කිව්වට උන් රස්සා නැති නිසා මේකට ඉරිසියාව කියල මං අහගෙන ඊයෙ මැම්බර් කාරයා කියනවා අපේ ගමේ ඉන්න ඔය දැන උගත් උන් ටිකලු ඕකුන් මුලින්ම අල්ල ගන්න හැදුවා කියන්නෙ. පැට්ටේරියේ මැනේජර්ලට, සුපවයිසරලට උන්ව ගන්නලු පැලෑන් කරල තියෙන්නෙ මුලින්."

"ඒ නිසා මේ වෙලාවෙ අපි කරන්නෝනි උන්ට ගරහල උන්ට වල කපල අපිත් ඒ වලේම වැටිලා විනාස වෙලා යනේක නෙවෙයි. අපිටත් පුලු පුලුවන් විදියෙ සහයෝගයක් මේ සටනට දීල මේ වෙන්න යන විනාසෙන් මේ අපේ අම්මා වගේ වෙල්ලස්ස බේරගන්නෙකයි."

"හ්ම්..හ්ම්.. දැනුයි අපිටත් කරුණු කාරණා හරියටම තේරුණේ. අම්මප අපි අන්ධ වෙලානෙ බ්ලොවු ඉඳල තියෙන්නෙ." ගුණසෝම නව පණක් ලද්දකු මෙන් පැවසීය.

"අන්ධවෙලා නොවෙයි බොලවු, අපිව අන්ධ කොරලයි තිබුනෙ. ගමේ එවුන්ගෙ විරෝධෙ පටන්ගන්නකොටම මතක නැත්ද බොලාට ........ඇමති තුමා ගමට ඇවිත් කීව දේවල්. එව්වා අපිත් හිස් මුදුනින් පිළිගත්ත නොවැ. උන්ද අපිට සුරපුරයක්නෙ බොලවු මවල  පෙන්නුවේ." සියල්ල අසා සිටි තවෙකෙකු කීය.

"සුරපුරේ මැවෙයි ඇමති තුමාට. ඔය සමාගං වලින් ඕවට කෝටි ගනන් දෙනව ඔය මැති ඇමති ගොල්ලන්ට. ඒකයි උන්නැහැලගේ ඔච්චර අනුකම්පාව. අනික අපේ ගම් වලට හෙන ගැහිල ගියත් ඒ උදවියට කමක් නෑ. ඒ උදවිය කොළඹ රටට වෙලා හොඳ යහතින් වැජඹෙනවා." උක්කුවා යළිත් කීවේය.

"එහෙනම් ඉතින් බොලාලත් දැන් ඔය දාං ඇදිල්ල නතර කොරල, කඩේ ළඟ බොරුවට ටැග් ගැහි ගැහි ඉන්නැතුං පාරට තොටට බැහැපල්ලා. ගමේ අනාගතේ දැන් තියෙන්නෙ තරුණ උඹලයෙ අතේ."  කියමින් මැගිලින් කඩෙන් පාරට බැස නිවස දෙසට ගියාය.


*****************************************************


"අම්මේ...අම්මේ..."


"මොකෝ බං බෙරිහං දෙන්නේ? උඹ අද හොඳටෝම පරක්කුයි. තව ඩිංගක් බලල මං උඹව හොයන්න සීටියවත් යවන්නයි හැදුවෙ." පාසැල් ගොස් පැමිණි පොඩ්ඩාගේ හඬ ඇසුණු මැගිලින් එසේ පවසමින් මුලුතැන් ගෙයි සිට සාලය පැමිණියේය.

"අම්මේ.. අද මාර වැඩක් උනානෙ."

"මාර වැඩ තමයි වෙන්නෙ බං මේ දවස් වල ගමේ. ඉතිං කියහංකො මොකෑ උනේ?"

"ඔන්න අම්මෙ අද අපි ඉස්කෝලෙ ඇරිල ආව. වෙන්ද වගේම අපිට ටිකක් ඉස්සරහින් ආවෙ අපේ රත්න සර්. අම්මට මතකයි නේද අර අලුතින් ආව සර්. ඉතින් අපිත් ඒ පිටිපස්සෙන් තමයි ආවෙ. සර් කච්චේරිය ළඟින්නෙ බෝඩිමට යන්නෙ. ඉතින් අද කච්චේරිය ළඟට එනකොට එතන ලොකූ උද්ගෝසනයක්. අපේ ගමේ මාමලා නැන්දලා ගොඩක් හිටියා. සුගත් අයියත් හිටියා. අපේ රත්න සර් අපිත් එක්ක එතන ටිකක් නැවතිලා බලං හිටියා. උද්ගෝසනේ කරපු අය එක එක දේවල් කිය කිය කෑ ගැහුවා. බෝඩ් ලෑලි උස්සගෙන හිටියෙ. ඒවලත් එක එක ජාති ලියල තිබ්බා."

"සමහර ඒවල ලියල තිබ්බ ඒව මටත් මතක හිටියා. එකක ලියල තිබ්බා "අපේ මුතුන්මිත්තන්ගේ ඇටකටු වැළලිලා තියෙන බිම සුද්දන්ට නොදෙවු!" කියල. "

"ඇත්ත පුතේ ඇත්ත. උඹලගේ අනාගතේ වෙනුවෙන් තමයි ඉතින් ඔය කෑමොර දෙන්නෙ. උන් ඔය ඉඩං ටික උක් වවන්න ඕකුන්ට දුන්නොත් ඉතින් අපට මළගම තමයි ඉතිරිවෙන්නෙ. ඒක නෙවෙයි, ඉතින් ඊටපස්සෙ මොකද්දෑ ඔය උනයි කිව්ව මාර වැඩේ?"

"කොහොමහරි අම්මෙ රත්න සර් ඊළඟ කරපු දේනෙ වැඩේ."

"මේකයි අම්මෙ උනේ, මේක දිහා ටිකක් වෙලා බලං උන්නු සර් ඊළඟට මහ පුදුම වැඩක් කලානේ. සර් අපිට කිව්ව ගෙදර යන්න කියලා. ඊළඟට සරුත් ගිහින් ඒ මිනිස්සු අතරෙම වාඩි උනා. සරුත් උද්ගෝසනේ කරන්න පටන්ගත්තනේ." පොඩි එකා ඇස් ලොකු කරමින් කීවේය.

"හැබෑමද පුතේ? රත්න සර් කොහොමත් මිනිස්සුන්ට හරි ආදරෙයිනෙ. මේ ගමේ සමහරක්ට නැති කැක්කුමක් ඒ ඉස්කෝලෙ මහත්තයාට මේ ගම ගැන තියෙනවා. අනේ වාසනාවන්. ඒ මහත්තයාත් ඕකෙ පෙරමුණ ගත්ත කියන්නෙ අපිට හොඳ විසඳුමක් ලැබෙයි."

"හා.හා.. එහෙනම් දැං උඹත් කාලා ඉඳින්. අන්න බත් බෙදල තියෙනවා අඩි වළඳේ. මූණ සෝදගෙන ඇවිත් කාපං."


*****************************************************

වසර දෙකහමාරකට පසු

උක් දඬු පුරවාගත් විශාල ට්‍රැක්ටර් තුනක් එක පෙළට තුංමං හන්දියේ කඩේ ඉස්සරහින් ඇදී ගියේය. ට්‍රැක්ටර් වල වූ උක් දඬු ගොඩං මත වාඩි වී උන් ගමේ කිහිප දෙනා කඩපිලේ සිටිය උනට අත වනා ගියෝය. දුහුවිලි අවුස්සමින් ගුරුපාරේ පහළට ගමන් ගත් ට්‍රැක්ටර් පෙළ දෙස කඩපිලේ උන් අය ඔහේ බලා සිටියහ. අමුත්තක් නොවෙයි. මාස ගානක සිට ගමට මේවා සුපුරුදු දර්ශණයන්ය.

"අන්තිමේදී අපේ සටන පැරදුනා නේද බොලං."

දිගු සුසුමක් හෙලූ උක්කුවා දුක් මුසුව බලා උන්නේය.



"ටැට්ටරයක් දකින හැම වෙලේම උඹ ඔහොම හූල්ලනව. දැන් ඕක නතර කරගනින් බං. අපි කොච්චර සන්තාප උනත් වෙච්ච දේ උනා. උන් උන්ගෙ වැඩේ කරගත්තා. හතර අතට ණයවෙලා උන්නු අපේම උන් උන් එක්ක එකතුවෙලා පැට්ටේරියේම වැඩට ගියා." මුදලාලි කීය.

"ගමේ එවුන්ගෙ දොසක් නෑ මාමෙ. උන් හරි අසරණයි. එල්ලෙන්න පිදුරු ගහක් හරි හම්බෙනකල් බලං උන්නු උන් පැට්ටේරියේ සොච්චමට රැවටුනා. එවුන් අපේ එවුන්ගෙ දුප්පත් කම දඩමීම කරගත්තා."

"ඒක තමයි බං උනේ උක්කුවෝ. ඒත් අපි කරපු දේවල් වල පොරෝජන නැතුවාම නෙවෙයි. මතකයිනෙ උඹලට, උන්ට දෙන්න තීන්දු කරපු බිමෙං දෙකෙන් පංගුවයිනෙ දුන්නෙ. එදා කච්චේරිය ළඟ අපි කොරපු උද්ගෝසනෙන් පස්සෙ ඔය ලොකු ලොක්කො ඔක්කොම එකතුවෙලා නෙව ඔය තීරණේ ගත්තෙ. අපේ මාන්සියේ පරතිපල ලැබුනා. ඒකෙන් නොවැ රක්ශිතේ ඔය තරමින් හරි බේරුණේ."  බුලත් කෙල පීරක් විද්ද බණ්ඩා මාමා කීය.

"ඕන්න.. උද්ගෝසනේ කීවම මතක් උනේ. මං මේක උඹලට කියන්නමයි උන්නෙ. උඹලට මතකයි නෙව එදා උද්ගෝසනේ දවසෙ ඉස්කොලෙ ඇරිල යමින් උන්නු අපේ රත්න ඉස්කෝලෙ මහත්තයා අපිත් එක්ක එකට වාඩිවෙච්ච විදිය?"

උක්කුවා යළි හඬ අවදි කලේය.

"ඒක කොහොම අමතක වෙන්නද බොල. ඒ උත්තමයා එතන එදා එහෙම වාඩිවෙච්ච එක අපිට කොච්චර හයියක් උනාද. උන්නැහේ ආවයි පස්සෙනෙ කච්චේරියෙ මහතැන්ලා පවා එළියටවත් බැස්සේ. අනේ වාසනාවන්, එහෙමත් ඉස්කෝල මහතැන්ලා දකින්නත් අපි වාසනා කොලා බං." එකෙකු කීය.

"අපේ මහත්තයා එතනින් නැවතිලා නෑ නොවැ. මහත්තයාට මේ සිද්ධිය තදින්ම හදවතට දැනිලා. ඉතින් මහත්තයා කවි කාරයා නොවැ. පස්සෙ ඉස්කෝල මහත්තය මේ අවනඩුව ගැන සිංදුවක් ලියල බොලවු."

"නෑ..??"

"නෑ නොවෙයි බොලවු. ලියල. මං දෙතුන් විඩක් සුදේසීය සේවෙන් ඕක ඇහුවා. මේ දවස් වල නිතරෝම දවසට දෙතුන් වතාවක් යනවා ඕක. හරි ජනප්‍රියයි. දන්නවද සිංදුව කියන්නෙ කවුද කියල. අපේ කපුගේ මහත්තයා."

"යකඩෝ.. ඉස්කෝලෙ මහත්තයාට මල් තියල වඳින්නෙපැයි බං. කපුගේ කොලුව කියනව නම් ආයෙ ඉතින් දෙකක් නෑ මල් හතට ඇති. ඒ කොලුව මේ පුංචි දුප්පත් මිනිහ වෙච්ච අපි ගැනමනෙ සිංදු කියන්නෙ." මුදලාලි පැවසීය.

"කෝ හිටහල්ල දැං වෙලාව කීයද? ආ දෙකට පහයි නේද. මාමෙ විගහට රේඩියෝ එක දාහං. හවස දෙකට යනව සිංදු වැඩසටහනක්. මේ දවස් ටිකේම ඔය සිංදුව ගියා ඒකෙ. අදත් ඉන්තේරුවෙන්ම යයි."

උක්කුවා එසේ පැවසීමත් සමඟ මුදලාලි වීදුරු ෂෝ කේසය උඩ වූ යුනික් රේඩියෝව මේසෙ මතට ගෙන සුදේසීය සේවයට කැරකුවේය.

"හොඳයි දයාබර රසික රසිකාවියනි වෙලාව දෙක පසු වී මිනිත්තු දෙකක් වූ තැන ඔබ මේ එකතු වී සිටින්නේ ශ්‍රී ලංකා ස්ව්දේශීය සේවය ඔබට ගෙන එන කැණිමඬල ගීතමය වැඩසටහන සමඟයි. එසේනම් පළමු ගීය ලෙස....."

කවදත් ගැමියන් ප්‍රියකල නිවේදිකාවගේ හඬ ගුවන් විදුලියෙන් ගලා ආවේය. කඩය තුල සියල්ලෝම බලා සිටියේ තමන්ගේ ගීතය ඇසෙන තුරුය.

"කෝ බං තවම නෑනෙ?"

"ඉවසල ඉඳහං. අපේ හදිසියට යන්නෑ"

"පුරා පැය දෙකක් අප ඔබ සමඟ මෙම සුන්දර සැඳෑව ගතකිරීමට සූදානමින් සිටින මේ මොහොතේ, මීළඟට ඔබවෙත ගෙන එන්නේ මෑත කාලයේ ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් එක් සුවිශේෂි සිදුවීමක් පාදක කොටගනිමින් ලියැවුනු ගීතයකි. සිදුවූ ව්‍යසනයේ හෝ භාග්‍යයයෙහි අභ්‍යන්තරය පිළිබඳව...."

"ඔන්න ඔන්න. සින්දුව යන්නයි යන්නෙ. කටවල් වහගෙන අහං ඉඳපියවු"

උක්කුවාගේ තර්ජනය හමුවේ සියල්ලෝම තම දෙසවන් රේඩියෝවට යොමුකලෝය.

"ගීතයේ රචනය රත්න ශ්‍රී විජේසිංහයන්. ගායනය ගුණදාස කපුගේ..මේ වෙල්ලස්සේ ගීතයයි.."


"බිම්බරක් සෙනග ගැවසුන
චන්ද්‍ර සූරයා ඉපදුන
ස්වර්ණ භූමියේ මනරම්
මාළිගාව කෝ...

යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වට කලේ මනරම්
මාළිඟාව ‍දෝ මාළිගාව දෝ..

ට්‍රැක්ටරේ යකඩ ගජසෙන්
කුංචනාදයෙන් ඇලලුන
වෘක්ෂ දේවතාවන් බිම
වැටී පණ ගසයි

මිණී මල් පිපුණු සීතල
නිම්න භූමියේ ඇටකටු
හතර රියන් කඩ අහිමිව
විලාපය නඟයි...

කැලෑ මල් පිපී රතුතොල්
වලින් කෑ ගසා ඉල්ලන
ජාතියේ නිදානයෙ රන්
රුවන් කරඬු කොයි

වෑ කන්ද කඩා බිම් කටු
කම්බියෙන් බෙදා වෙන්කල
බිමේ හිස ගසා දමනා
කඩුව බිම දමව් කඩුව බිම දමව්..."


ගීතය අවසාන වන තෙක් මීයට පිම්බාක් මෙන් නිහඬව සිටිමින් සවන් දුන් කඩ පිලේ සිටි සියල්ලන්ට නැවත සිහි එළවා ගැනීමට ගීතය අවසන් වී තවත් සුලු මොහොතක් ගතවිය.

"ඔන්න ඕකයි සිංදුව. කොහොමද. අපිට වචන කෝටියකින්වත් කියාගන්න බැරුව තිබුන අපිට වෙච්ච අරියාදුව හරි අපූරුවට කියල තියෙන විදිය."

"ඒකනම් හරියටම හරි උක්කුවෝ. කියල වැඩක් නෑ. අහනකොට කඳුලු පිරෙනවා මගේ ඇස්වලට"

"සිංදුවනම් පංකාදුයි ඒත් සමහර තැන් තේරුනේ නෑ බොලං. අනේ උක්කුවෝ උඹැලට ඕවයෙ හොඳ දැනුම් තේරුම් තියෙනවා නොවැ. ඉතින් ඕකෙ සුද්ද තේරුම අපේ බාසාවෙන්ම කියහංකො." අයෙකු ඉල්ලීය.

"හොඳයි එහෙනම් අහගනිල්ලකො. මාමෙ ඔය කහට එකක් වක්කොරානම්"

උක්කුවා දිගු කතාවකට මුලපිරුවේය.

"දැන් ඔය කියන්නෙ මෙන්න මෙහෙමනේ. බිමට බරවෙන්න තරම් මිනිස්සු කන්දරාවක් ඉන්න, ඉර හඳ ලෝකෙට බිහි කරපු මේ රත්තරං බිමේ තිබුනු මාලිගාව කොහෙද කියලයි ඉස්සරෝම අහන්නෙ. ඒ කියන්නෙ මේ බිමේ තිබ්බ පිංසාර බවනොවෑ. ඉර හඳ බිහිකොලා කියන්නෙ රටටම මේ බිම සම්පතක් උනා කියලනේ."

"ඔන්න ඊළඟට කියන්නෙ සුද්දො එතරින් යුද්දෙකට ආව බව. සත් මුහුදු මතින් ගුවනින් කියන්නෙ ඒකයි."

"උන් ඇවිත් මේ සුවර්ණ බිම කටු කම්බි ගහල අල්ල ගත්ත කියලයි ඔය කියන්නෙ."

"ඊළඟට කියන්නෙ මහා සද්දන්ත යන්තර සූත්තර ගෙනල්ල අපේ බිමේ තිබ්බ ගස් කොලන් බිමට සමතලා කොරපු විදියයි.  අලිංගේ කුංචනාද වගේ වෙච්ච ඒ ටැට්ටර වල සද්දෙට ගහකොලත් බය උනාලු."

"ඒ විතරක් නෙවෙයි බොලවු. උඹලට මතකයි නෙව මං එදා කිව්වා මේ පිං බිම යට වැළලිලා ඉන්නෙ මේ බිම අපට බේරල දෙන්න හටන් කොරපු අපේ මුතුන් මිත්තන් කියල. ඊළඟට කියන්නෙ අපේ ඒ මුතුන් මිත්තන් උන් නිදා උන්නු හතර රියන පවා අහිමිවෙලා අඬාවැටෙනවා කියලයි. අපේ මුතුන්මිත්තන් ජීවිත පූජා කරල මේ බිම අපිට උරුම කරල දුන්නට, අපෙන් පස්සෙ පරම්පරාවට මේ බිම උරුම කරල දෙන්න අපිට බැරිවුනා බොලවු. අපි ලැජ්ජා වෙන්නෝනි. උන් කවදා හරි උන්ගෙ මුතුන් මිත්තන් වෙච්ච අපිට සාප කොරයි. ඒ විතරක් නෙවෙයි. මේ වැළලිලා ඉන්න ආත්මයනුත් අපිට සාප කරයි අපි මේ බිම බේර නොගත්තට."

උක්කුවා ආවේගශීලීව කතාකරන විට බණ්ඩා මාමා හොර රහසින්ම නෙතඟට නැඟි කඳුලු බිඳක් පිසදාලනු කිසිවෙකුම නොදුටුවෝය.

"ඊළඟට කියන්නෙත් අපේ ඉදිරි පරපුර ගැනමයි. උන් උන්ගේ උරුමය කොහෙද කිය කිය කෑ ගගහ හොයයි. ඒත් ඒ රන් රුවන් කරඬුවක් වගේ වෙච්ච පිං බිම ඒ වෙනකොට මිහි මතින් අතුගෑවිලා තියෙයි."

"අන්තිමට හැබැයි පුංචි බලාපොරොත්තුවක් ඉතිරි කරනවා. ඒ විතරක් නෙවෙයි, අපේ වගකීම තවම ඉවර නැතිබව කියනවා. අපි තවම පරක්කු නෑ කියල කියනවා."

"කඩා බිඳ දැම්ම වෑ කන්දත්, කටු කම්බි ගහල අල්ල ගත්ත භූමියත්, මේ සේරම විනාස කොරපු මේ වෙල්ලස්සෙ හිස සිඳල දාපු මේ කඩුව බිම දාපල්ලා කියන තර්ජනයෙනුයි සිංදුව ඉවරවෙන්නෙ."

"ඒ කියන්නෙ සටන ඉවර නෑ කියනෙකයි. මේ ගොදුරු බිම අතෑරල පලයල්ලා කියලයි කියන්නෙ."

"ඒනිසා බොලවු අපේ උත්සාහය, සටන අපි කවදාවත් අත්තරින්න නාකයි."

"ඒ විතරක් නෙවෙයි, කපුගේ මහත්තය මේ සින්දුවට සපයපු සංගීතෙත් අරුමයක් තියෙනවා. සටන් ගීත නාද රටාවටයි තනුව හදල තියෙන්නෙ. අනික තමයි උඹල අහල දැකල තියෙනවා නේද පහත රට සාන්ති කර්ම වලදි යක්කු එලවන්න නාද කොරන යක්බෙරේ. ආන්න ඒ යක් බෙරේ නාදය මේ සිංදුවට අරං තියෙනවා. ඒකියන්නෙ රත්න ඉස්කෝලෙ මහත්තයා මේ කියපු කතාව ඇරුනාම කපුගේ මහත්තයා මේ පරදේසක්කාරයෝ යක්කුන්ට සමාන කොරල උන් එලවන යක් බෙර වාදනේ තමා මේ පාවිච්චි කොරල තියෙන්නෙ. මුංට යන්න කියනෙක තමා මේ කියන්නෙ."



"ඔන්න ඕකයි බං මේ සිංදුවේ තේරුම. දැං කාට කාටත් වැටහෙන්න ඇති නොවෑ. ඇත්තටම අපේ යුතුකම වගකීම, අපේ සටන තාම ඉවර නෑ බොලවු. අපි සටන් කරමු. කොහොමහරි මේ හැත්ත එලවල දාල අපේ මුතුන් මිත්තන් අපිට උරුම කරල දුන්න මේ මාලිගාව අපෙන් පස්සෙ පරපුරටත් උරුම කරල දෙමු."

කතාව අහවර කල උක්කුවා හිස් කහට කෝප්පය පිල් කණ්ඩිය මත තබා නැගිට්ටේ නැවුම් බලාපොරොත්තුවක් සිත්හි දරාගෙනය. ඔහුට සවන් දෙමින් සිටි පිරිසද නැවුම් හුස්මකින් ළය පුරවා ගත්තේ තමන්ට ඉතිරිව ඇති රාජකාරිය ගැන යළි යළිත් මෙනෙහි කරමිනි.

තුංමං හන්දියට රාස්සිගේ අවුව වැටෙමින් තිබිණ. පැය කිහිපයකට පෙරාතුව ට්‍රැක්ටර් වල නැගී ෆැක්ටරියට උක් ගස් ප්‍රවාහනය කල පිරිස උක් පිහි සහ හිස බැඳි තුවා දෑතට ගෙන දැඩි වෙහෙසකාරී මුහුණින් යුතුව ගුරුපාර දිගේ පේලියට පැමිණෙමින් සිටියහ.











(Bimbarak Senaga / Wellasse Geethaya - Gunadasa Kapuge)



ගීතයේ ස්වර ප්‍රස්ථාරය



සියලු ඡායාරූප අන්තර්ජාලයෙනි.

විශේෂ ස්තූතිය : ගීතය සඳහා ස්වර ප්‍රස්ථාරයක් සොයා දුන් බ්ලොග් සහෘදයාට..