Pages

Sandumal

Sandumal

Sunday, May 11, 2014

•ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා


"කලා වැවේ නිල් දියවර අපෙ අම්මා..."





"අම්මා" තරම් ආදරණීය වචනයක් තවත් කොහිද? අලුත උපන් දරුවා බහ තෝරද්දී කිරි සුවඳ මුවෙන් ප්‍රථමයෙන් ගිලිහෙන වචනය අම්මාය. ඇය ආදරයේ උල්පත බව ප්‍රේමකීර්ති ලියා තැබුවේය. මක්සිම් ගෝර්කි "අම්මා" යනුවෙන් නවකතාවක් වෙන් කළේය. අම්මා ගැන ලියවුණු ගී කව් අප්‍රමාණය. ඒ අතර අමරණීය ගීත රචනාවන් රාශියක් පවතී. ඉන් කීපයක් මේ සටහන ආරම්භයේ සිහිපත් කරමි.



ආදරයේ උල්පත වූ අම්මා - වික්ටර් (ප්‍රේමකීර්ති)
අම්මාවරුනේ - නන්දා මාලිනී (ධර්මසිරි ගමගේ)
මිහිමඬලේ අඳුරු කුසේ - නන්දා මාලිනී (ඩබ්.ඒ.අබේසිංහ)
දෙවැනි බුදුන් ලෙස - සුනිල් එදිරිසිංහ (සුනිල් ආරියරත්න)
දවසක් පැල නැති හේනේ - ගුණදාස කපුගේ (රන්බණ්ඩා සෙනවිරත්න)



මා මෙහි සඳහන් කළේ නිර්මාණ කීපයක් පමණි. ග්‍රේෂන් ගැයූ "බිළිඳුනේ දරුවනේ", ඇන්ජලීන් ගැයූ "අම්මලා දුක්ගන්නේ" වැනි ගීතවල සිට "ජීවිතේ මල් අම්ම ඉන්න කල්" දක්වාම මවු ගුණ ගී ගැයී ඇත. සිංහල පද්‍ය සාහිත්‍යයේ ද අම්මා පිළිබඳ ලියැවුණු අවස්ථා අප්‍රමාණය. ඒ අතර පසුකාලීන බොහෝ රචකයන්ගේ නිර්මාණ සඳහා පෝෂණය සැපයූ අපූරු කාව්යයක් මෙහිදී සිහිපත් කරමි.

"ඇවිද ලඳු දෙණි කැලෑ බිම්වල
රැගෙන විත් තුන්හිරිය පන්කොළ
වියා නෙක් විසිතුරු රටා පැදුරු
රටාවක් බව මේ මහා විශ්වය
කුඩා කල සිට ම මට
කියා දුන් අම්මා ඔබය"
(ප්‍රබුද්ධ – මහගම සේකර)

දරුවකු වැදූ පමණින් මවක නොවන බවත් මවක වීමේ සුදුසුකම දරුවකු වෙනුවෙන් අපරිමිතව කැපවීම බව බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් නැමැති ජර්මානු නාට්‍යකරුවා හුණුවටයේ කතාවේ දී සිහිපත් කළේය.

"මවුගුණය ඇති අය
දරුවන් දිනිය යුතු වෙය
ගොවි දන මනා වූ
ලැබිය යුතු වූ සේම ගම් බිම්"
(බර්ටොල්ට් බ්රෙෂ්ට් ගේ හුණුවටයේ කතාව)
හෙන්රි ජයසේන පරිවර්තනය)

මවු ගුණය ඇති සැබෑ මවුවරුන් ගැන ගැයුණු ගී පදමාලාවන් අතර අතිවිශිෂ්ට පදමාලාවක් ලෙස සුනිල් දයානන්ද කෝණාරයන්ගේ "ගමට කලින්" ගීතය හඳුන්වා දිය හැකිය. බෞද්ධ සංස්කෘතියෙන් හික්මුණු අපගේ ග්‍රාමීය මාතාවන්ගේ උතුරා යන මවුගුණය මෙතරම් ගැඹුරින් ඇගැයීමට ලක් වූ නිර්මාණ අල්පය.


"ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩිනා
ඒ හිරු එළියෙන් නැණමල් පොඩි පිපුණා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලාවැවේ නිල් දියවර අපෙ අම්මා"

මෙම ඉර පායන්නට පෙර නිවසේ මුළුතැන්ගෙට පායන හිරු මඬල අම්මා ය. හිරු එළියෙන් විකසිත වෙන අනේකවිධ පුෂ්පයන් සේ ඇය දරුවන්ව පාසල් යවයි.

"අඬන විට මා කුඩා අවදියේ බඩගිනිව
තම්බා බතල දලු
ලුණු දියර ඉස
පොල් හා මුසුකොට කවා
බඩගිනි නිවූ අම්මා ඔබය"
(ප්‍රබුද්ධ – මහගමසේකර)

ඇය එසේ හැදූ වැඩූ දරුවන් සමාජයට වැඩදායක පුරවැසියන් බවට පත්වූ විට ඇය නිහඬව විඳින්නේ ලොව්තුරු සුවයකි. එසේ නම් සරුසාර කෙත්වතු දහස් ගණනක් අස්වැද්දූ කලාවැවේ නිල්දියවර ඈ නොවේද? කෝණාරයන් ලාංකීක ශිෂ්ටාචාරය හා බෞද්ධ සංස්කෘතිය මත මේ උදාරතර මවුගුණය බද්ධ කිරීමට නිර්මාණයේ ආරම්භයේ පටන්ම සමත්වී තිබේ. මේ නිසා සැබෑ ලාංකික මවකගේ උත්තරීතරත්වය, හා ගුණ සුවඳ නිර්මාණයෙන් වහනය වෙයි. එය විටෙක සැබෑ ආසියාතික මවගේ ද මවුගුණය ද මේ නිර්මාණයේ ගැබ් වේ.

"රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු - සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් - සිත නෑ නිදි විඳගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන - නින්දේ හීන දකින්නේ
මහමායාවනි කවදා දෝ ඔය නෙත් - දරු සෙනෙහසින් මිදෙන්නේ"

දරුවන් ලොකු මහත් වූ පමණින් මේ මවුගුණය හමාර නොවේ. ඔවුන්ගේ ජීවිත පුරාම ඇය සෙවණැල්ලක් බවට පත්වෙයි. තම රැකීරක්ෂා නිමකොට දරුවන් නිවසට එනතුරු ඈ මඟබලා සිටින්නීය. දරුවන් ප්‍රමාද වී නම් කළුවර හඬා වැටුණත් ඈ නොනිදන්නීය. දරු සෙනෙහසින් නොමිදෙන ඇයව රචකයා "මහාමායාව"ට සමාන කරනුයේ ඇගේ උත්තරීතර මවුගුණය වෙනුවෙන් ඇය ඇමතීමට සුදුසුම වචනය එය බැවිනි. දරුවන්ට සියල්ල පිරිනමා දරුවන්ගෙන් කිසිවක් බලාපොරොත්තු නොවන මේ මවුගුණයට ආශිර්වාද කරනු විනා දරුවන් වෙන කුමක් කරන්නද? එම නිසාම රචකයා එම මවු ගුණයට ආශිර්වාද කරයි.

"වෙල් එළිවල ඇවිදින දෙපා රිදෙන විට
විහඟ ගීත බණ පද වේවා
බෝ මළුවක ඇවිළෙන පහන් වැටක් සේ
තුන්සිත නිවී සැදේවා"

"මතු උපදින සසරේ විශාඛාව වී
මෙත් මඟ නෙත් හමුවේවා
ඇත් රැජිනියනේ ඔබෙ නැළවිලි ගීතය
ලොවම නිවන කවියක් වේවා"

මේ "අම්මා" සිංහල බෞද්ධ සංස්කෘතියේ නිර්මාණයකි. ඒ නිසා රචකයා බුදුදහම හා සම්බන්ධ යෙදුම් ඇයට ආශිර්වාද කිරීම සඳහා යොදාගනී. විහඟ ගීත බණ පද වන්නටත් පහන් වැටක ඇති සංයමය සිතට ලබන්නටත් බුදුන් දැක නිවන් දකින්නටත්, අනුන්ට නිවන් මඟ පෙන්වන්නටත් ඇයට හැකියාව ලැබේවා! යනුවෙන් ප්‍රාර්ථනා කරන්නේ එබැවිනි. රචකයා භාවිතා කරන "ඇත් රැජිනියනේ" නැමැති යෙදුම කලාතුරකින් ඇස ගැසෙන කාව්‍යෝක්තියකි.

"මගෙ ඇත් රජුනි හිමි සඳ අද කොතැනකද?"
(යසෝදරාවත – ජනකවි)

අප්‍රමාණ දුක් ගැහැට විඳ දරා ගැනීමට යෝධබල යෝධ සවිය තිබූ ඈ වෙනුවෙන් ජනශ්‍රැතියෙන් උකහා ගත් ඒ යෙදුම වඩාත් යෝගය්‍ය ය.

සුනිල් දයානන්දයන් මෙන්ම කරුණාරත්න දිවුල්ගනේ නම් ගායකයාණන් ද මේ මවුගුණය, ගැමි සුවඳ හොඳින් හඳුනාගත් මිනිසුන් වීම නිර්මාණයේ සුගායනයට බෙහෙවින් හේතුවී තිබේ. උදෑසනක මේ ගීතය ශ්‍රවණය වෙද්දී එය අමාදහරක් මෙන් හදවත තෙමා ගලා හැලෙයි. මේ සටහන අවසන් කිරීමට පෙර මම සුනිල් දයානන්ද කෝණාරයන් වෙනුවෙන් සටහනක් තබමි.

ඔහු ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසලේ සංගීත ගුරුවරයාය. ගැඹුරු මුහුදක් මෙන් නිසලය. කීර්තිය ජනප්‍රියත්වය සොයා යාමට අබමල් රේණුවක වෙහෙසක් නොගනියි. නිහඬව තම මෙහෙවර ඉටු කරයි. අඩුවෙන් කතාකරයි. වැඩියෙන් වැඩ කරයි. කලා වෙළඳ පොළේ විකුණුම් භාණ්ඩයක් වීමට උත්සාහ නොකරයි. බෙලිකටුවලින් පිරි කලාව නැමැති සාගරයේ ඔහු මුතුකැටයකි. සංගීත ඥානයෙන් ද සාහිත්‍යය ඥානයෙන් ද පිරිපුන් මිනිසෙකි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ බොහෝ දෙනා ඔහු ගැන නොදනිති.

නැතිනම් නොදන්නවා සේ සිටිති. ඔහුගේ පාසලේ ඇතැම් ශිෂ්‍යයන් ද ඔහුව හඳුනන්නේ සාමාන්‍ය ගුරුවරයෙකු ලෙස පමණක් බව මම පෞද්ගලිකව දනිමි. ශිෂ්‍යයෝ බහුතරයක් ඔහු තුළ සිටින නිර්මාණශීලී මිනිසා නොදකිති. පාසල් ගුරුවරුන් හෝ මේ මිනිසාගේ වටිනාකම දන්නවා දැයි නොදනිමි. මේ කිසිවක් ඔහුට නම් අදාළ නොවේ. ඔහු වැඩ ඉල්ලාගෙන යන්නෙක් නොවේ. ඔහුගෙන් වැඩක් ගැනීම සත්කෝරළයේ පමණක් නොව මුළු මහත් ශ්‍රී ලංකාවේ ම වගකීමකි. එසේ නොමැති නම් ඔහු වටා තිබෙන ලෝකයේ මෝඩ උද්ධච්ච බවට හා කුහකත්වයට ගොදුරු වී මේ ජාතික සම්පත අප අපතේ හැරියා වනු ඇත. මේ අහිංසක මිනිසා හුදෙකලා වනු ඇත.




(Gamata Kalin Hiru - Karunarathna Divulgane)





(ගීත විචාරය ධම්මික බංඩාර මහතා විසිනි. ඡායාරූප අන්තර්ජාලයෙනි.)




***********************************************************


කණට නුපුරුදු නමුත් රසය අසීමිත වූ දුර්ලබ ගීත දෙකකට පසු අද මා ඔබ වෙත ගෙන ආවෙ ඔබේ සවනට ඉතාම සමීප ඔබට නිතර ඇසෙන ඔබ නිතර රසවිඳින ගීතයක් හා විචාරයකි. ගීතය කෙතරම් සුලබ නමුදු සවන් වැකෙන හැම මොහොතකම කිසි දින අසා නැති මියුරුතම ගීතයක් ලෙස යලි යලිත් අලුත් වෙමින් රසවිඳිය හැකි මෙම ගීතයද මෙරට බිහි වී ඇති විශිෂ්ඨ ගනයේ මවු ගුණ ගීත අතර අග තැන්පත් වී ඇත්තේ මවු ගුණ ගීත සාහිත්‍යයේ ලකුණ, සංඛේතය ලෙස බවයි මගේ හැඟීම.

ගීතය ඔබෙ නෙතට සිතට වඩා සමීප බැවින් ඒ පිළිබඳ තවදුරටත් සාකච්ඡාකිරීමට මා මෙය අවස්ථාවක් කරනොගන්නා අතර ඒ වෙනුවට ඔබ වෙත ඉදිරිපත් කිරීමට තරමක් විශේෂ වැදගත් කාරණාවක් ඇත. එනම් මගේ බ්ලොග් සටහන් තුලින් මෙතෙක් කල් මා ගෙන ආවෙ ප්‍රවීණ ගීත රචකයකු සහ ගීත විචාරකයකු වන ධම්මික බංඩාර මහතාගෙ ගීත විචාරයන්ය. ආ ගමන් මඟ තුලදී මා හා අත්වැල් බැඳගත් බොහෝ සහෘදයන්ගේ නිරන්තර ඉල්ලීමක් වූයේ ධම්මික බංඩාරයන්ගේ ගීත විචාර වලට පමණක් සීමා නොවී මවිසින් විචාරය කරන ලද, ස්වයං ගීත විචාරයන්ද ගෙන එන ලෙසය.

නමුත් තවමත් මගේ අදහස සහ මා ඔවුන්ට ප්‍රකාශ කල දෙය වූයේ ගීතයක් විචාරය කිරීමට තරම් උගත් කමක් සුදුසු කමක් මා සතු නොවන බවය. මාද ඔබ සියලු දෙනා මෙන්ම ගීත රසිකයකු පමණක් බවය. ඇත්ත වශයෙන්ම මා සිතන ආකාරයට ගීතයක් විචාරය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා ඉතාම උසස් සාහිත්‍ය දැනුමක්, සිංහල දැනුමක් තිබිය යුතුය. තවද ගීත නිර්මාණයන් පිලිබඳ හොඳ සමීප දැනුමක්, ඇසුරක් පැවතිය යුතුය. ඉතින් කරුණු එසේ හෙයින් මගේ මතය වන්නේ ගීත විචාරය කිරීම සඳහා මා තවමත් කිසිසේත්ම සුදුසු නොවන බවය.

එසේ වුවද කලිනුත් කී පරිදි පාඨක ඉල්ලීම මේ වන විට බැහැර කිරීමට නොහැකි තරම් දැන් උත්සන්න වී ඇත. විශේෂයෙන්ම මගේ බ්ලොග් සටහන් තර නිතර සැරිසරන කුරුටු ගෑ ගී පවුරේ සමාජිකයන් මේ ඉල්ලීම මගෙන් නිතර ප්‍රබලව ඉල්ලා සිටී. එවැනි බොහෝ බ්ලොග් මිතුරු මිතුරියෝ, මගේ මේ ප්‍රයත්නයට සුබපතන්නන් මේ ඉල්ලීම, මේ යෝජනාව, මෙම අදහස නිතර මා හමුවට ගෙන ආවෝය. එමෙන්ම නිතර බ්ලොග් ලොවට එබී බලන්නේ නැති වුවද ඔබ තවම නොහඳුනන, නමුදු කවි සංකල්පනා තුලින් ළඟදීම බ්ලොග් ලොව ඔබ අප අතරට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින මගේ මෙම උත්සාහයට නිරන්තරයෙන් මා හට අපරිමිත ශක්තියක් වන මගේ දයාබර සෙනෙහෙවන්තියද නිතර මා හට පැවසූයේ මගේම ගීත විචාර ඉදිරිපත් කිරීමට කාලය එළඹ ඇති බවය. මුල සිටම ඇගේ අදහස වූයෙ එයයි. නමුදු මගේ දෙගිඩියාවට ඉඩ දෙමින් මම ඉන් වැලකී සිටියෙමි.
කෙසේ වුවද දැන් මාහට තවදුරටත් මෙය මඟහැරීමට නොහැකි තත්වයට පත්ව ඇති අතර එනිසා අවසානයේ මගේ ගීත විචාරයක් ඔබ හමුවට ගෙන ඒමට තීරණය කෙලෙමි.

ඒ අනුව එම ගීත විචාරය මේ වන විට සකසමින්, කරුණු එකතු කරමින් සිටින අතර එම විරාමය අතර තුර ඔබට රසවිඳීමට අද මෙම ගීත විචාරය ගෙන ආවෙමි. ඉතින් මගේ මීළඟ පෝස්ට්ටුව තුලින් එම ගීත විචාරය ඔබට ගෙන ඒමට මම බලාපොරොත්තු වෙමි. 

එසේනම් එතෙක් මෙම ගීත විචාරයද රසවිඳින්න. වෙනද වගේම එකතු වී අපි අපේ වටිනා අදහස් බෙදාගමු..