Monday, January 7, 2019
Saturday, October 22, 2016
•වැහි මතක
වහිනවා අනෝරා වැහි..
අඳුරුලලා පාසල් බිම..
ලා අඳුරෙ ගුලිවෙලා
උස මහත ගොඩනැඟිලි..
නඟිනවිට පඩිපෙල්..
හරිම අඳුරුයි කොරිඩෝ..
සීතලයි පාලුයි..
දශකයකටත් දුර එපිට
මිහිරිතම අතීතෙක
හුරුපුරුදු සුවඳකින්
වෙලෙයි මගෙ සියොළඟම
මෙවන් වැහි කෝඩ වල
ඔබ එතැයි මඟබලා
උඩතට්ටුවට වී මං
හිටිය හරි සීතලෙන්..
පතා ඔබෙ උණහුමක්
ගෙවුනු එවන් දින දහසක්
ගෙනෙයි මතකයට මගෙ
අදත් මේ අඳුරු වැස්සේ...
දැල් හෝල් පිස හමන
කිතිකවන හීතලේ..
අඳුරු කොරිඩෝ කෙලවර හිඳිද්දී..
Wednesday, October 19, 2016
•ආයෙත් එනකල් 3
බිමට බර නුඹෙ නෙත් කෙවෙනි අග..
රැඳුනු බර කඳුලු බිඳු දෙක..
බලාගෙන බිම සිටිනවා දැක
හඬයි මාසිත මටත් නොදැනිම..
අපෙ හුස්ම රැඳි අහස්කුස අද..
වේදනාවක සුසුම් බරටම
කඩා වැටිලා තරුත් එක්කම
පේනවා මට දහ අටේ සිට..
යනව මම අද එනව යලි හෙට
නොවුනමුත් දුර කාලයක් එය
ගෙවෙන තත්පරත් කල්පවී ඇත
ඔබ මගෙන් හුඟ දුරක් ගෙන යන..
Tuesday, June 14, 2016
•රහසක්
Friday, May 27, 2016
•ආයෙත් එනකල් 2
Wednesday, May 25, 2016
•ආයෙත් එනකල්
Thursday, April 28, 2016
•මිතුදම්
"නොමැත මිතුරන්.. මේ කටුක පොළොව මත..."
මිතුදම...
තවත් එක් බැඳීමක්
බැඳීමට අපහසු
දරන්නට අපහසු..
නොමැත මිතුරන්
අත ඇඟිලි තරමට
නොගනිමි ලෙහෙසියෙන්
අතැඟිලි'තර තවත් අතැඟිලි..
නමුත් සමහර අතැඟිලි
හැරයයි මිතුරුදම්..
පවසා අපට ගහන්නට අත්පොඩි..
තනි අතින්....
කොන්දේසි විරහිතව
බොහෝ දේ කැපකර
හදවතින් ගොඩනැඟූ
ඒ වගේ මිතුරුදම්
අද මඟැර යන විට
හැඟේනොමැත මිතුරන්..
මේ කටුක පොළොව මත...
හුදෙකලා ලොව තුල
ගොඩනැඟූ තනිකම
සම්පතකි..
කිසිදා
නොරිදවන සිත...
Monday, April 4, 2016
•මරණයක සැමරුම
සබඳ...
බක් මහේ දිනක පෙරදා..
උඹේ කඳුළැල් සෝ සුසුම් මැද..
උඹේ උණුසුම් කරමතින් මම
නොඑන ගමනක් ගියෙමි..
වර්ෂයක් ඉක්ම ගොස් ඇත..
ඔබ තවම දුකින් යැයි හිතුන හින්දාම
මම පැමිණියෙමි මීදුමක
බැහැදකින්නට ඔබ සැවොම
පිසලන්න ඔබෙ කඳුලු..
දුමාරය මැදින් මමදුටුව දේ ඇත්‍තක්ද..
පීඨෙ ක්‍රීඩා පිටිය සැණකෙළියක්ය එකම එක..
හෙණ හඬින් ගිගුම් දෙනරළු බේස් නද අතර නේකවිද ගී සින්දු
ඒ අතර රඟයි මා මිතුරු කැල කුල්මත්ව
එය ක්‍රිකට් උළෙලක්ලු
අණුස්මරණය කරන
ඔබ සැවොම දුක් වෙච්ච
මගේ මළගම දිනට..
සැබෑවක් විය නොහැක මෙය
මා දකින්නේ සිහිනයක්මය
නොහැක මගෙ මිතුකැලට
මගේ මරණය කරගන්න පොපියනා කෙළිබිමක්
විය නොහැක මෙය සැබෑවක්
මා දකින්නේ සිහිනයක්..
පැමිණ ඇත මා වැරදි තැනකට
මගේ විදු බිම නොවෙයි මේ
මගේ මිතුරන් නොවෙයි මේ..
ම'මිතුරන් කොහේ හෝ සිට
දන් දෙනව ඇති ලේ බිඳු
තබනවා ඇත බෝධි පූජා..
මගේ මා පියන් සමඟින්
පුද දෙනව ඇත බණද දානද..
පිං පිණිස..
නුඹව හැරගිය..
නුඹේ මිතුරා නමට....
දොළොස් මසක් ගෙවී ඇති තැන...
**************************************
නිමිත්ත : *********** ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ජ්‍යේෂ්ඨ සොහොයුරෙකු පසුගිය වසරේ අප්‍රේල් මස හදවත් රෝගයක් විසින් අපෙන් උදුරාගන්නා ලදි. ඔහු වෙන්ව ගොස් වසරක් පිරීම නිමිතිකොටගෙන දැනට පාසැල් පද්දතියට එකතුවී සිටින එම "ජ්‍යේෂ්ඨ" සොහොයුරන් විසින් "ක්‍රිකට් මැච් එකක්" සංවිධානය කොට පවත්වන ලදි!!!!!
Wednesday, October 7, 2015
•යථාර්තය
"ඒ තරු එලිය ලෝකය සනසන දාට..
මගේ කවිය දරුවනි නුඹ ගයනු ඇත.."
සුවඳක් නොමැති කුසුමකි ගුරු පාද පියුම්..
රතු තොල් උල් කරන් දොඩනා වහසි බැනුම්..
පංතිය කුලය පට්ටම තුල ගිලුණු නුවන්..
සීතල සිහින සුරපුරයක සිහින දැක..
දහදිය කඳුලු සුවඳට ඔරවමින් හිඳ..
කොටුවෙන් එපිට ඇති ලෝකය නොදුටු සඳ..
පට්ටම මතම හිඳගෙන උඹ සිටිනු මැන..
ගුරුවරු දුටිමි මේ වගෙ උන් නොම දුටිමි
සවරම් ලොවට අපි පොෂ් මදි දැන ගතිමි..
ගීයක් කතාවක් කවියක් විඳ නොමැති..
තොප ගැන දුකක් නැත දුක දරුවන් නමිනී..
කියවා බලව ගුරු ගීතය එක සැරයක්
රසවිඳ බලනු ගුරු තරුවක් එක සැරයක්
වන්නට නොහැකිනම් ගුරු තරු එළියක්
නික්මෙනු මැනවි ගුරු කුලයට දී අරුතක්..
පාවෙන ලොවක දකිනා සිල්ලර සිහින
නොදකින දිනෙක බිහිවෙයි ගුරු තරු නිබඳ
ඒ තරු එලිය ලෝකය සනසන දාට..
මගේ කවිය දරුවනි නුඹ ගයනු ඇත...
Friday, September 11, 2015
•දඹානේ "වැදි" ළමයි!
"අවරගිර කුලවතුන් සිටිද්දී නිරුවතින්... උන් හිඳියි විළි වසා සැතපුමක් ඉදිරියෙන්..."
මහියංගනය...
තවමත් හිතන උන් ඇත
එය අමුතු ලොවක් බව
මිහිමතින් දුර තිබෙන..
තවම කෙටේරිය කර මතය
තවම කොල අතු ඉණ වටය
තවම දුනු හී පිට මතය
තවම තලගොයි උරහිසය
යැයි සිතන උන අවරගිර හිඳ
බලයි හොටවල් උල් කරන්..
අසයි කටවල් බලි ඇරන්..
කෙටේරිය බිම තබා හුඟකලක් ඉක්ම ගොස්..
සිටින මුත් දඹානේ පොරමොලන්..
තවම දුනු හී අත දරාගත්
අවරගිර වැදි දනන්
විදියි අප හට වෙර අරන්..
සිතයි උන් දඹානේ කැලෑමල්
සිප් හලට එනබවක් මරාගෙන
තලගොයින්...
නැහැ එහේ මෙහෙ තරම්
සැර සුවඳ පියරු මල්..
ඇත හපුටු මල් කැකුලු
සුවඳ දෙන ජීවිතේ..
කෙල පැමිණි උගතුනේ
අසනු මැන මේ වගත්
මරාගෙන නොආවත් උන්
පාසලට තලගොයන්..
තිබූ මුත් ගොරහැඩිව
උන් අත්ල බෝ සෙයින්
ගල් තැලී ඇති නමුත්
දෙපායුග නිරුවතින්..
මහ පොළොවෙ පය ගසා
ඇත ඔවුන් දහිරියෙන්..
උන් නමට අපහාස
නගත් නුඹ මේ ලෙසින්
උන් දිහා වපරැහින්
බලත් නුඹ පිළිකුලෙන්
අවරගිර කුලවතුන් සිටිද්දී
නිරුවතින්...
උන් හිඳියි විලි වසා
සැතපුමක් ඉදිරියෙන්...
නිමිත්ත : මෑතදී හද පෑරු කථිකාචාර්ය දෙබසක්...
"Some students at the Dambana School bring roasted iguanas for their lunch..."
Thursday, July 16, 2015
•මුල් දින මතක
හැමතැනම අයියලා
නමුත් ඒ මල්ලිලා
ඔවුන්ගේ ගර්ජන,
රැවුම් එරවුම් හමුවේ
බිම බලා සිටිනා
අනාගත ගුරු පැටවු...
සර්ලා මෙහෙමද?
ටීචර්ලා මෙහෙමද?
ඉස්කෝලවල මොවුන්
බකතපස් රකිනවද..?
පරිප්පු හා සම්බෝල
සම්බෝල හා පරිප්පු
කලණ මිතුරන් වෙලා
තුන් වේල ලඟ හිඳියි..
මදුරු රජදහනක් අසල
ගලා යන කුණු ඇලක් අසබඩ
"ඩෝම්" යැයි කියාගත්
බිං ගෙයකි හිසට වහලට..
කියන දේ අහන
ඇහෙන දේ කරන
අණ ලැබෙන තුරු කල් මරන
දැන්ම පිට කොඳු බිඳූ
අනාගත ගුරුවරුන්
සිරගතව හිඳියි අද...
Monday, June 29, 2015
•තනි තරුවේ
තනිව දිලෙන තනි තරුවේ..."
තනි තරුවේ...
තනි තරුවේ...
ඈත අහසෙ පාලු කොනක
තනිව දිලෙන තනි තරුවේ...
අන්සතු එලියෙන් බබලන
ලප කැළලින් අවලස්සන
චෞර රැජින සරා සඳට
නොදෙවෙනි මගෙ තනි තරුවේ...
ඔබෙ එලියෙන් දිදුලන
නෙත් සනහන රුවින් සපිරි
ආඩම්බර සඳට පවා
එළිය සදන තනි තරුවේ...
සඳක් වෙන්න හීන මවන
දහස් ගනන් තරු අතරේ
ජීවිතයේ බහ තේරුව
මහ පොලොවට පෙමින් බැඳුනු
අමරණීය තනි තරුවේ...
Friday, June 19, 2015
•සොඳුරු සැඳෑවක
Tuesday, April 28, 2015
•කොළොම්පුරේ
දසත නැඟෙන අජිනොමොටෝ රසකාරක
ෆ්‍රයිඩ් රයිස් සුවඳ...
ගලා හැලෙන උණුසුම..දහදිය..
ගින්දර...ගින්දර...ගින්දර...
ගිනිගහන රළු වැල්ල
පිළී ගඳ මඳ සුළං...
මුඩුක්කු වට කරගත් දෙව් විමන්
විදුලි ආලෝක සැනකෙළි
හෙන පුපුරු වන් බේස් නද...
මත් වතුර..
බමන නෙත්..
දසත විසිරුණු කුණු..
ගඳ ගසයි..
ගඳ ගසයි..
ගඳ ගසයි..
පෙලට පෙලට එකට යාව
අඳුරු බිං ගෙවල් වන් ලෑලි ගෙවල්..
දිවි ගෙවන මිනිසුන්.. ගැහැණුන්..
විසඳෙන ඉරණම්...
නගරෙ මැද නිශ්චලව
කොල පාට දිය පිරුණු
ගඳ ගහන දිය මං...
ඒ වටා මවන්නට වෙර දරන සුරපුරක්..
සුනිල දිය දහර
නොදුටු නෙත් රවටන්න
අපුල දිය දහර වෙර දරන තරමක්...
දුගී බව මැද මැවුනු සුරවිමන්..
අපුලයි...
අපුලයි...
අපුලයි...
කොළොම්පුරේ....
Sunday, April 5, 2015
•සොහොයුරේ..
අනන්තවූ අඳුරු රැයක
නිමා නොවන ගන අන්ධකාරය
නිමා කොට නව දිනෙක අරුණැල්
මිහිකතට උදාකර..
නැවුම් දිදුලන නව දිනක් ගැන
සුබ සිහිනදුටු
සොහොයුරේ...
සිහින දුටු සිත
සිහින දුටු නෙත
සිහින දුටු ගත..
දෙතිස් වදයට පමුණුවා
නිහඬ කල මුත් උන්
නුඹේ හඬ..
උන්ගෙ අවියට
උන්ගෙ සවියට
නොහැකි විය නසන්නට
නුඹේ සිහිනය...
හෙටක් වෙනුවෙන්
නුඹ එදා දුටු සොඳුරු සිහිනය
සැබෑ වෙන තුරු
උදා වෙන තුරු..
නුඹේ නාමෙන් තවත්
රතු මල්..
දෙරණ සුපිපෙයි
දහස් ගනනින්...
Sunday, March 29, 2015
•හොඳින්, බැරිනම් නරකින්..
"නුඹට හැකිවෙද.. සුදු නෙලුමක් වී පිපෙන්න..."
මිනී කන කැනිබලුන්
පිරී ඇති නිම්නයක
නුඹව අතහැර ගොසින්..
ලේ ගඳට ඉව කරන
දත් සපන..බුරන..
ගොරවන...
උන්ගෙ මුඛයෙන් නැඟෙන
කුණු මිනී ගඳ පරයන්න
නුඹට හැකිවෙද
සුදු නෙලුමක් වී
පිපෙන්න...
වරක් හැකිදැයි බලන්න
තව වරක් හැකිදැයි බලන්න..
නොහැකිනම් ගඳ පරයන්න
නොවී උන්ගෙන් එකෙක්
නොවී තව කැනිබලෙක්..
මරාගෙන මියයනු
සබඳ නුඹ..
සිංහයෙක් වී
දෙරණ සොලවන...
Sunday, March 22, 2015
•වැහි ලිහිණියනේ
"දුක් කඳුලු හැඟුම් දුරුකර මොහොතක අපෙ පැතුම් අරන් නුඹ පියාසලන්..."
වැහි ලිහිණියනේ විදු බිමට උඩින්
වැහි කඳුලු මැදින් දුර පියාසලන්
පෙම් සිතක පැතුම් දුර ඈත ඉඳන්
ගොස් රැගෙන එන්න හැකිවෙයිද ඉතින්..
නුහුරු රටේ මම තනිව හිඳිම්
පුරුදු රටේ ඈ සුසුම් මැදින්
දුක් කඳුලු හැඟුම් දුරුකර මොහොතින්
අපෙ පැතුම් අරන් නුඹ පියාසලන්..
මේ සිරිපොද මැද අප ගියපු ගමන්
සිහිකරන් හිඳිම් නුඹ ගොසින් වරෙන්
වැහි අඳුර මැදින් ඇගෙ සුසුම් පවන්
සැනසුම් බිඳුවක් නුඹ අරන් වරෙන්..
Monday, March 16, 2015
• සිහිනයක්..
අඬගසයි මට අඬගසයි.. ගිම්හානයක සිට අඬගසයි...
ගිනි හුලන් හමා යන
මද්දහන ගිනි ගහන..
සියඹලා මැයි මාර
වදුලකින් සෙවන උන..
තක්සලා මාවතක්
සිහිනයක ඇඳ තිබේ..
දුෂ්කරම පාසලක
අහිංසක මල් කැකුලු..
පංතියක කොට බිත්තියෙන්
එබි එබී බලනයුරු..
නොදුටු ලෝකයක අරුමැසි..
මැවි මැවී නෙත් පුරා
පුබුදවයි මගේ හද..
දිනක් එනු ඇත
මමද එහි යන..
ගඩා ගෙඩි සියඹලා
අඹ දිවුල් වැල වරකා..
දහදියට එකතු වූ
ඒ කැලෑ මල් වලින්..
හමා එන සුවඳකැන්..
හද පුරා විඳගන්න
පාරමී පුරමි මම..
බොර පාට කමිසයයි
ඉරුණු නිල් කලිසමයි..
ගොවි බිමේ උදැල්ලෙන්
තිලිණ ලද කරගැටයි..
මහ පොලොවෙ පය ගැටී
ගල් තැලුණු පා යුගයි..
හා එක්ව එකට යන
අව්‍යාජ නුඹෙ සිතයි..
අඬගසයි මට අඬගසයි..
ගිම්හානයක සිට අඬගසයි...
ඉඩ හසර ලද ඉසිඹුවක.. කඩිසර ජංගමයෙන් අසීරුවෙන්.. නුහුරු කවි බසක පෙරහුරුව..
Saturday, January 10, 2015
•යුගයක ඇරඹුම
Monday, November 24, 2014
•හැරවුම් ලක්ෂ්‍යය
01. ජවිපෙ සහය මෛත්‍රී ඇතුලු යූ එන් පී ප්‍රමුඛ පොදු විපක්ෂයට ලබා දීමට බොහෝ ඉඩකඩ ඇති බවට කනින් කොනින් ආරංචි පැමිණෙන විටම මගේ මව පැවසූයේ "88-89 මරල දාපු අහිංසක කොල්ලො මිනී වලේ ඉඳන් සාප කරනවා මුං යූ එන් පී එකට එකතු වුනොත් නම්" කියලයි. ජවිපෙ බොහෝ දෙනෙකු මෙම මතයේම සිටිති. එනිසාම ජවිපෙට පක්ෂ බොහෝ ජනයා මෙවර ජවිපෙ වෙනුවෙන් ඡන්දයක් පාවිච්චි නොකරනු ඇත. මගේ පියා ඇතුලු සමීපව ඇසුරු කරන කිහිප දෙනෙකුම මේ බව දැන්ම තීරණය කොට ඇත. නමුත් වටහාගතයුතු ප්‍රායෝගික සත්‍යනම් අප අතීතයෙන් පාඩම් උගෙන ගත යුතු මුත් අප අතීතයේ ජීවත් නොවිය යුතු බවයි. ගෙවුන අතීතයේ සිදු වූ දේවල් කිසිසේත් සමාව දිය හැකි හෝ දිය යුතු දේවල් නොවේ. එසේ සිතන විට තම ආදර්ණීය සහෘදයන් හට දෙතිස් වදය දෙමින් අමු අමුවේ මරා දැමූ යූ එන් පී කාරයින්ගේ මුහුණ බැලීමටවත් හැඟීමක් ඇති නොවීම සර්ව සාධාරණය. නමුත් ඒ හදවතට පමණක්ම ඉඩ දුන් විටයි. නමුදු වගකිව යුතු පරිණත දේශපාලන ව්‍යාපාරයක් ලෙස එලෙසින් හදවතට, හැඟීම් වලට වහල් වී තීරණ ගැනීම කිසිසේත්ම කල නොහැකි දෙයකි. අනෙක් අතට, ඔවුන් එදා මියැදුණේ, සටන් කලේ යූ එන් පීය සමඟ නොව පවත්නා ක්‍රමයට එරෙහිවය. එසේ නොමැතිව යූ එන් පීය සමඟ හෝ එහි නායකයින් සමඟ පුද්ගලික කෝන්තරයක් පිරිමසා ගැනීමට ඔවුන් අවි ගැටුවේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ යහපත් රටකි. යුක්ති ගරුක රටකි. සාධාරණ සමාජයකි. සැමට මිනිසුන් සේ ජීවත්ව මිනිසුන් සේ මිය යා හැකි දේශයකි. ඉතින් අතීතයේ ඒ සඳහා විවිධ ක්‍රමවේදයන්, උපාය, උපක්‍රමයන් සටන් මෙහෙය වීය. එමෙන්ම වර්ථමානයේද ඒ අයුරින්ම උපාය උපක්‍රම, තීන්දු තීරණ ගනිමින් පවතී. එහිදී වටහාගත යුතු සත්‍ය නම් ක්‍රමය කුමක් වුවද, එදා මෙන්ම අදද අරමුණ එකක්ම වීමයි. එනිසා මිය ගිය සොයුරන් ඒ අරමුණ වෙනුවෙන් එලොව සිට හෝ ආශිර්වාද කරනු ඇත. මෙම කාරණය සටහන් කලේ ඒ පිලිබඳ දෙගිඩියාවෙන් සිටින්නවුන් වෙනුවෙනි.
02.මේ අවස්ථාවේදී අවශ්‍යනම් ජවිපෙට කිසිදු අපේක්ෂකයකුට සහය නොදී පසෙක සිට බලා සිටීමට හැකිය. මෙය නීති විරෝධී ජනාධිපතිවරණයක්ය යන මතයේ ඔවුන් සිටින හෙයින් මෙය වර්ජනය කල හැකිය. නමුදු එය තරමක අවධානමක් සේ මට හැඟෙයි. මක් නිසාද යත්, මෙම සටනින් මෛත්‍රී ජයගෙන මීළඟට නව ආණ්ඩුවක් පිහිට වුව හොත් එය යූ එන් පීය ප්‍රමුඛ ආණ්ඩුවකි. එනම් අගමැති වනුයේ පවසන ලෙසින්ම රනිල්ය. යූ එන් පීය යනු ස්ව්භාවයෙන්ම බලය අභිමුව බලයෙන් අන්ධව බල කාමීව පිස්සු බලු රෑනක් විලසින් හැසිරෙන පිරිසකි. එය ඔවුන් ඔවුන්ගේ දේශපාලන ඉතිහාසය තුලින් යළි යළිත් ඔප්පු කොට ඇති කාරණයකි. යූ එන් පී ආණ්ඩු පිහිට වූ සෑම විටකම බැට කෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සහ අනෙකුත් දේශපාලන පක්ෂ වල පාක්ෂිකයන් මේ සඳහා සාක්ෂි දෙනු ඇත. 77 ජේ.ආර් දිනූ විට අපේ රට මේ කුරිරු අත්දැකීමට දරුණුව මුහුණ දුන් බව ඔබ සැම දන්නා කාරණයකි. එදා තිස්සපුරින් ගිය නිදහස් පාක්ෂිකයන් වූ මගේ පියාගේ ඥාතීන් ඒ ගිය ගැම්මෙන් තවමත් බදුල්ලට වී සිටිති. ඒදා ඔවුන්ගේ මෙන්ම මේ රටේ අහිංසක ගොවිජනයාගේ, කතිරයක් පමණක් ගැසූ ගොවි ජනයාගේ පැසී අස්වනු නෙලීමට තිබූ කුඹුර අක්කර සියගනනින් මොවුන් ගිනිබත් කලෝය. ගෙවල් දොරවල් අලු දූවිලි බවට පත් කලෝය. මා ඉහත කී පියාගේ ඥාතීන් සිය නිවසේ සුරතලයට ඇතිකල මුව පොව්වන් දෙදෙනෙකු ඇස් ඉදිරිපිට මරා මස් කල අයුරු ඒ මහල්ලා අදටත් සිහිපත් කරනුයේ කඳුලු පිරි දෙනෙතිනි. එවන් අපකීර්තිමත් දේශපාලන ඉතිහාසයක් ඇති යූ එන් පීය මෙවරද ජයගත හොත් මෙවැනි තත්වයක් ඇති වීමට ඇති ඉඩකඩ බෙහෙවින්ම වැඩිය. එවන් වාතාවරණයක් තුල ජවීපේ මෙවර සහය නොදී සිටිනවාට වඩා සහය දී ආණ්ඩුව ඇතුලේ සිටීම ජවිපේ පැවැත්මට හිතකරය. එය පුහු නිර්භීතකම් පෑමට වඩා දේශපාලනික වශයෙන් බුද්ධිමත් එමෙන්ම කපටි තීරණයකි. යහපත වෙනුවෙන් කපටිකම් කලාට පවු සිදුවන්නේ නැත. ක්‍රියාදාමයෙන් ඉවත්ම දෙපසටම විරුද්ධව කටයුතු කිරීමෙන් ජවිපෙ බලවත් හතුරෙකු නිර්මාණය කරගත හැකිය. නීතියක්, යුක්තියක් නොපවතින රටක අධිකරණයෙන්ද පිළිසරණක් නොමැති රටක, මෙවන් වාතාවරණයක් උග්‍ර වුවහොත් නැවතත් ජවිපෙය තහනම් කොට හෝ තම දේශපාලන උවමනාවන් සාක්ෂාත් කරගැනීමට යූ එන් පීය උත්සාහ නොගනු ඇතැයි අපට සහතිකයක් නොමැත. එසේ වුවහොත් යළිත් සිදුවන්නේ රට 88-89 දක්වා ගමන් කිරීමයි. නමුදු පරිණත දේශපාලන ප්‍රවාහයක් ලෙස ජවිපෙ කිසිදු දිනෙක තෙවනි වරටත් එවැනි තීරණයක් නොගන්නා බවට මට ඉර හඳ මෙන් විශ්වාසය. සන්නද්ධ අරගල වලින් විප්ලව කොට ආණ්ඩු පිහිට වීමේ ඉතිහාසය අද ලොවෙන් වියැකී ගොස් ඇති යල් පැනගිය ක්‍රමවේදයකි. අනෙක් අතට මහජනතාවට අසීමිතව ආදරය කරන දේශපාලන ව්‍යාපාරයක් ලෙස පක්ෂයේ කිසිදු තීන්දු තීරණයකින් ජනතාවට නියපිටින්වත් හානියක් නොවිය යුතු බවත්, ඉතිහාසයේ සිදු වූ වැලැක්වීමට ක්‍රමයක් නොමැතිම වූ එම ඛේදවාචකයන් මින් ඉදිරියේ කිසිදු දිනෙක මෙම දේශය තුල සිදු වීමට ඉඩක් නොතබන බවටත් අනුර දිසානායකයන්ද මෑතකදී සපථ කිරීමෙන් එවන් තත්වයක් යළි නිර්මාණය වීමට ජවිපෙන් වචනයක හෝ දායකත්වයක් සිදු නොවන බවට තරයේ විස්වාස කල හැකිය. ඉතින් එවන් තත්වයක් ඇති වීම වළක්වා ගැනීමටත්, එනම් පක්ෂය වෙත යලිත් වරක් එජාපයේ කුරිරු මර්ධනය දියත් නොවීමට මෙවර ගනු ඇතැයි විශ්වාස කල හැකි තීන්දුව හේතු කාරණයක් වනු ඇත.
03. තෙවැනි කාරණයනම් කවුරුන් කෙසේ කුමක් කීවද ජවිපෙ යනු අවශ්‍යතම මොහොතේ පක්ෂය වුවද අවධානමක හෙලා රට වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා දේශපාලන ව්‍යාපාරයක් බව ඔවුන් විසින්ම ඉතිහාසය තුල වරින් වර ඔප්පු කොට තිබේ. චන්ද්‍රිකා සමඟ පිහිට වූ පරිවාස ආණ්ඩුවේදීත්, මහින්ද සමඟ පිහිටවූ සන්ධාන ආණ්ඩුවේදීත් ඔවුන් මෙය ඔප්පු කර තිබේ. මෙවර සේම එදාද ගත් එම තීන්දුව හේතුවෙන් සන්ධාන ගතවීමේදීත් ඉන් ඉවත් වීමේදීත් ජවිපෙට විශාල පාක්ෂිකයන් සංඛ්‍යාවක් අහිමි කරගැනීමට සිදුවිය. නමුත් පක්ෂය පරදුවට තබා ඔවුන් සෑම විටම රට වෙනුවෙන් අත්‍යාවශ්‍යම මොහොතේ නිවැරදිම තීන්දු තීරණ ගන්නා ලදි. ඒ නිසාම පක්ෂයට සිදු වූ හානිය අතිමහත්ය. කොහොමත් කෑලි ගෙවෙනුයේ, කඩා වැටෙනුයේ දුවන වාහනයක් මිස එකතැන නවතා ඇති වාහනයක් නොවේ. ජවිපෙද එවැනිය. එවන් අවස්ථාවල දේශපාලන සවිඥාවක් නොමැති වෛරී විචාරකයන් පවසනුයේ ඔවුන් කිච වූ ප්‍රතික්ෂේප වූ කණ්ඩායමක් ලෙසිනි. නමුදු තේරුම්ගත යුතු යථාර්තය නම් ඔවුන් එලෙස කිච වූයේ රට වෙනුවෙන් මිස බඩ වෙනුවෙන් නොවන බවයි. දේශපාලනයේ කිච වන බොහෝ උදවිය කිච වෙනුවේ තමන්ට කරගැනීමට ගොස්ය. රට වෙනුවෙන් යමක් කොට කිච වූ දේශපාලන ව්‍යාපාරයක් වේ නම් එය ජවිපේ පමණමය. එනිසා එය බොහොම වැදගත් කිච වීමකි.
04. සහය දීමට කරනවා නම් එය බුද්ධිමත් යැයි පැවසීමට තවත් හේතුවක් ඇත. මෙලෙස පොදු විපක්ෂයක් ලෙස ඒකාබද්ධව පිහිටුවන ආණ්ඩුවක ජවිපෙටද අමාත්‍යංශ කිහිපයක් හිමිවනු ඇත. එමඟින් සන්ධානයෙන් ඉවත් වීමට ගත් "මෝඩ වීර" තීරණයෙන් සිදු වූ වරද යළි නිවැරදි කරගත හැකිවනු ඇත. ජවිපෙට තිබුනේ හෙළ උරුමය මෙන් ඇතුලේ සිටම විවේචනය කරමින් කෙසේ හෝ කාගෙන සිටීමය. එසේ වූවානම් මහින්ද වුවද එතරම් නටන්නේ නැත. මොකද ජවිපෙ යනු සන්ධාන ආණ්ඩුවේ සිටි ශ්‍රී ලනිපය හැරුණු විට ප්‍රබලතම දේශපාලන පක්ෂයයි.එනිසා සන්ධාන ආණ්ඩුව තුල ජවිපෙට යමක් කල හැකිව තිබුනි. නමුත් ප්‍රායෝගිකත්වයට වඩා ප්‍රතිපත්ති වලට ගරුකල පක්ෂයක් ලෙස (සැබෑවටන්ම සිදු විය යුත්තේ මෙයයි. නමුදු ලංකාව යනු ප්‍රතිපත්තිමය දේශපාලනයක් කල හැකි දේශයක් නොවන හෙයින් යම් අවස්ථාවල ඌරාගේ මාළු ඌරාගේම පිටේ තබා කැපීම වඩා ප්‍රායෝගික විය යුතුයි. ලිං කටින්ම ගොඩ ආ යුතුයි.) ඔවුහු ඉන් එළියට පැමිණියහ. නමුත් එසෙ නොකර ඒ තුලම සිටිමින් එම අමාත්‍යංශ දරමින් අන්තිම මොහොත වනතුරුම රැඳී සිටියානම් අඩුම තරමින් ජනතාවට ජවිපෙ පිළිබඳ යම් ආකල්පයක් හෝ ඇතිවීමට හැකියාව තිබුනි. පැවති ආණ්ඩු විසින්ම ජන මනස් තුලට කාවද්දවා ඇති දේශපාලන දැක්ම, දේශපාලකයා පිළිබඳ දැක්මට අනුව ලංකාවෙ මහජනයා දේශපාලකයා දකිනුයේ පුදසත් කාර කල යුතු වැඳ වැටී යැදිය යුතු, තම රීරි මාංසයම හූරා කෑ යුතු, ඒ සියල්ල වෙනුවෙන් අතුරු පාරක බෝක්කුවක් හදා දුන් විට, උපාධිධාරී පුතාට ආණ්ඩුවේ කන්තෝරුවක පියන් රස්සාවක් ලබා දුන් විට, ආධාර මල්ලක් දුන් විට ප්‍රමාණවත් යැයි සිතාගන්නා දර්ශනයකි. එනිසා මහා ආහාර දාමයක් වැනි වූ රට කරවන ක්‍රියාවලියේ ඡන්දය දීම සහ කන්න ලැබීම කියන පුරුක් දෙක අතර සිටින මහජනතාවට ඉන් එහා විහිදී ඇති අනෙක් පුරුක් නොපෙනේ. පවතින ක්‍රමය තුල එම පුරුක් පෙනීමට හෝ සෙවීමට අවකාශයක් ජනයාට නොමැත. එනිසාම ඒ වැදගත්ම පුරුක් මත හිඳිමින් රට වෙනුවෙන් අත්‍යාවශ්‍යම අවස්ථාවල ජවිපෙ කරන සේවය ජනයාට නොපෙනෙයි නොහැඟෙයි. යමක් කමක් තේරෙණ රටේ උගතුන්ට බුද්ධිමතුන්ට මෙය පෙනුනද කුදු මහත් බහුතර මහජනයාට එය නොපෙනන නිසා. ඔවුන්ට ජවිපේ ඇති වටිනාකමක් නොමැත. එනිසා එම ජනප්‍රසාදය ඇතිකර ගැනීමටනම් ඔවුන් ජනතාවට දැක හුරු දේශපාලඥයන් සේ ඔවුන් අතරට යා යුතුය. එහිදී ජවිපෙ ප්‍රායෝගිකව වැඩකරන අයුරු ජනතාවට දැකගත හැකිය. සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්ව ජවිපෙ කරගත් ලොකුම මෝඩ කම එම අවස්ථාව අහිමිකරගැනීමයි. ඔවුන් ඇමතිවරු ලෙස සිටි ස්වල්ප කාලයේදී කල සේවාව පිළිබඳ බොහෝ දෙනා තවමත් කතාවෙති. නමුත් ඔවුන් එලෙස ඇමතිවරු ලෙස සිටි බව ජනයාට මතක හිටීමටවත් තරම් කාලයක් නොසිට ජවිපෙ අයින් වීමෙන් ජනයාට ඔවුන් එලෙස සිටියාද කියාවත් මතකයක් දැන් නොමැත. ඒ ලංකාවෙ ජනතාවගේ ස්වභාවයයි. එනිසා මෙවර එම වරද නිවැරදිකරගත හැකිය. කොහොමින් හෝ ගැටෙමින් ඒ තුලම සිටිමින් ජනතාව අතර හෝ මතයක් ගොඩ නඟාගෙන ජන පදනමක් නිර්මාණය කරගැනීමට මෙය අවස්ථාවක් කරගත හැකිය. ඒ තුලින් වඩා වාසිදායක් මොහොතක ආණ්ඩුව හැරගියද ගොඩනඟාගත් ජන බලය මත ඔවුනට වෙනසක් සිදු කල හැකිවනු ඇත. ඒ සඳහා කාලයක් ඉවසාගෙන "අල්ලා සිටිය යුතු" වේ. එවිට යම් දවසක ඔවුන්ටද මෙවර මෛත්‍රී කල සේ කඩා බිඳගෙන යා හැකිය. එනිසා මෙවර සිදුකරන මෙම දැලි පිහියෙන් කිරි කෑමේ අවධානම් ක්‍රීඩාව කෙසේ හෝ ජවිපේ යහපත් ඉදිරිගමන සඳහා මාවතක් කරගත යුතුමයි. මක් නිසාද යත් කෙදිනක හෝ ජවිපෙ ආණ්ඩුවක් බිහිවීම මේ රටේ ජනයාට කවදටත් වඩා හිතකර වීමයි.
-නිසැඳැස තරණය සඟරාවෙනි-