Pages

Sandumal

Sandumal

Monday, December 7, 2015

•පරසතු කුසුමක්

"පරසතු කුසුමක් මා තුරුළට ආවා...
අප යළිදු උපන්නා ඒ දියණි නිසා"







"........උඹ කියන්නෙ මචං, ඊටපස්සෙ මරු සිද්ධිය උනේ හරී..... මූ නසරානි වෙන්න ගසල එනව මචං අපේ ගෙදර...... ඈ.... ඔව් බං, නෑ ඉතින් උඹල දන්නවනෙ.......හරි හරි.. ඔව් ඉතින් මාත් කරටි කැඩෙන පොරනෙ..."

"ඒ වෙලාව කීයද බං???"

"ඇයි බොට කොහෙ යන්නද? අනේ නිකං ඉඳහං බං..."

"නෑ බං දන්නවනෙ ඉතින් ගෑණි බර බරේ.. ඊයෙත් යනකොට එකයි. පවු බං ඒකි, පොඩි එකිත් එක්ක මං එනකල් බලාගෙන ඉන්නවා"

"අල්ලල දාහං බං... හැමදාම සෙට් වෙනවද... නෑනෙ.. මං නං වයිපට තේරුම්කරල දෙනව බං..."

"යකෝ... ටිකක් තෙරුම් ගනින්.. උඹ ඔය තාම පොඩි එකා වගේ දැඟලුවට උඹත් කසාද බැඳපු මිනිහෙක් නේද.."

"අනේ පලයන්ඩෝ... බලහං දාසයි මාසයක් වත් පේනවද.. බැන්ද කියල මං කඹේකින් ඔතලැයි බං.."

"නෑ මචං, උඹලට තේරෙන්නෙ නෑ.. උඹට තේරෙයි ටික කාලෙකින්, බොටත් මඟබලන් ඉන්න දරුපැටියෙක් එහෙම ඉන්න දාට..."

"පිස්සුද බං... ඒත් මං මේ ආතල් එකේම ඉන්න දිනෙත්ම තමයි බං... මොකෝ මං ගෙදරට අඩුවක් පාඩුවක් කරන නෙවෙයිනෙ බං.. යුතුකං සේරම ඕ..කේ.... මේ මගේ ආතල් එක... ඒක නෙවෙයි, ඒ මචෝ.... අල්ලහං කපුගේගෙ නම්බස් එකක්...."

'...රුවක් ඇදෙනවා.. කවුදෝ එනවා...
මීවත ඇඳිරිය දෑස වසනවා...'

මේ අපේ කතානායකය.. නියම පිස්සු ඩයල් එකක්. ආතල් ලෝකයක්.. සුපිරි බොක්කක් තියෙන හිත හොඳ සුපිරි කොල්ලෙක්.. කොල්ලෙක් කිව්වට කොල්ලෙක්ම නෙවෙයි, නාකි පැත්තට බරයි ටිකක්. ඒත් මිනිහ හිතන් ඉන්නෙ තාම ගැටය කියලා!! කනපැලෙන්න අඩියක් ගහල, හීනියට වමනෙ පාරකුත් දාලා පාර අයිනෙ කුණු කාණුවක හරි එලිවෙනකල් වැටිල ඉඳල ඊකෙනුත් ෆන් එකක් අරන් සුපිරියට ජීවිතේ විඳින යාලුවො වෙනුවෙන් පණ උනත් දෙන ගින්දර පොරක් විදියට තමයි යාලුවො මේකව දන්නෙ.

******************************************************

"ස්වීටී..... කෙල්ලේ... මං ආවා.."

"ආ... ආවද අදත් යාලුවොත් එක්ක සෙට් වෙලා.. අනේ මංද දිනෙත් ඔයානම්.."

"හරි හරි බබා... මං කොච්චර කාලෙකින්ද ලංකාවට ආවෙ.. ඉතින් යාලුවො කොච්චර ඉන්නවද හම්බෙන්න..උනුත් මං එනකල්නෙ ඉන්නෙ බබා..."

"අන්න ඒකම තමා මහත්තයෝ මටත් තියෙන ප්‍රශ්නෙ... ඔයා ඔච්චර කාලෙකින් ලංකාවට ආවමත් ඔයා මං ළඟ නෑ.. මං කොච්චර ආසාවෙන්ද බලං ඉන්නෙ ඔයා එනකල්.."

"ඉතින් මේ ඉන්නෙ මං ඔයා ලඟම.. ඈ..."

"හරි හරි යං ගෙට..."

"මේ.. මගෙ මහත්තයට කියන්න දෙයක් තියෙනවා.. හැබැයි දැං කියන්න බෑ.. "

"ඒ මොකද්ද ඒ බබා.. ඇයි දැන් කියන්න බැරි??"

"ඒව ඔහොම අවසිහියෙන් ඉන්න මිනිස්සුන්ට කියන්න බෑ හරිද... පියවි සිහියට ආවම හෙට උදේම කියන්නම්.."

"අනේ බබා..."

"අනේ තමා.. හෙට කියන්නම්. දැන් ගිහින් නිදාගන්න.. චික් ගඳ..."

"හලෝ මේ ගඳ නෑ හරී.. වෙරි විතරයි.. ඒව ස්පෙෂල් බ්‍රෑන්ඩ්ස්..."

"හරි හරි.. නහය නැති ඌරන්ට ගඳ නෑ තමා!!"

මූට පන වගේ ආදරේ කරන මේ වගේ කෙල්ලෙක්ම ඉන්න නිසා හොඳයි. නැත්නම් මුගෙ ගෑනි මුගේ කොන්ද කඩල මෙලහට හුඟක් කල්. මේ කනමදය අද මෙහෙම ගෙදර ආවට මූ නොදන්නවට අද බොහෝම වැදගත් දවසක් මුන් දෙන්නටම. ඒත් ඉතින් මූට කොහොමද මෙහෙම මේව කියන්නෙ. ඉමුකො හෙට උදේ වෙනකල්.

******************************************************

"හ්ම්... ඇහරුනාද.."

"ඔව්..ආ....... කීයද වෙලාව??"

"කීය උනත් කමක් නෑ අදනම ගෙදරින් එලියට බහින්න දෙන්නෙ නෑ.."

"ම්... මේ ඒකනෙවෙයි.. අර මොකද්ද ඊයෙ රෑ කීවෙ කියන්න දෙයක් තියෙනවා කියල.. දැන්වත් කියනවකො..."

කලින්දා සූර් මතේට සුමානයක් නිදිමැරුව වගේ ඇස්ගෙඩි ඉදිමෙච්චමාසයක් සේලයින් දුන්න වගේ පරඬලා වෙච්ච අපේ කතානයකයගෙ සිරුර් උඩින් ඈ වැතිරුණා.. කනට කරල රහසක් කිව්වා.

"මොකක්??" දෙයියනේ ඔය හැබෑවක්මද.."

"ඔව් කොල්ලෝ..."

"අනේ මගෙ මැණිකේ......"

"ඒයි.. මේ මොකද.. දෙයියනේ වැටෙයි මං..... පිස්සෝ මාව බිමින් තියනවකෝ... ඒ කොහෙද මේ යන්නෙ..."

අහපු ආරංචිය මුගේ කනට මීපැනි වක්කරා වගෙ. දැනිච්ච සතුටට මේක කෙල්ලත් උස්සගෙන ගේ වටේ දුවනවද මංද..


"මට මේ සතුට දරාගන්න බෑ කෙල්ලේ.. ඉදින් මං යාලුවො ඔක්කොටම කියනවා.."

"හා හා මේ... යාලුවන්ට කිව්වට කමක් නෑ, මේකත් තව පාටියකට හේතුවක් නම් කරගන්නෙපා හොඳේ..."

"හරි හරි ළමයෝ..."

"ඒ මචෝ... අහපන්කො... පොඩි සීන් එකක්.. ඔව් බං.. ඒකයි මං මේ කියන්න ගත්තෙ.. නෑ නෑ බං, එහෙම එකක් නෙවෙයි..... යකෝ...... ඔන්න උඹලගේ දිනෙතයත් දැන් තාත්ත කෙනෙක් බොලවු...!!!!! ..... ඔව් යකෝ ඔව්....  මේ.. මේ.. මේ.. පිස්සු කෙලින්නැතුව හිටු...  යකෝ මං දැන් හොඳ පියෙක් හරී..."

ඔන්න ඕකයි සිද්ධිය... මිනිහ තාත්ත කෙනෙක් වෙලා.. සතුට දරාගන්න බෑ පොරට. දන්න කියන හැම යාලුවෙක්ටම කතාකරල මේ සුබ ආරංචිය කිව්ව මෙයා. හැමෝම මූට බොක්කෙන්ම සුබ පැතුවා. විහිලු කලා. අවවාද දුන්න, උපදෙස් දුන්නා..

******************************************************

"බබා... මොනා කරන්නද ඉතින්.. මට යන්නම වෙනවනේ... මං යන්නෙ අපි දෙන්නයි මේ බඩේ ඉන්න අපේ පැටියයි වෙනුවෙන්මනේ.. ඒ නිසා දුක්වෙන්න එපා හරිද.. කාලෙ ඉක්මනට ගෙවෙයි... අම්මලා ඔයාව මලක් වගේ බලාගනී.. හරියට බේත් හේත් ටික ගන්න. ඩොකටර්ස්ල කියන විදියටම ඉන්න.. ආ.. මතකනේ ගොඩක් පළතුර කන්න ඈ... එතකොට අපේ පැටිය කහ කෑල්ල වගේ ඉඳී!!.. එහෙනම් මං යන්නම් කෙල්ලේ.. අපේ පැටියගෙ මූණ බලන්න මං ඉක්මනටම එනවා.."

කොච්චර අකමැත්තෙන් උනත් අපේ මේ කතානායකයට සතියකට දෙකකට පස්සෙ ඔන්න ඔහොම කියලා කටුනායකින් ප්ලේන් එකට නගින්න උනා. මොනා උනත් රස්සාව කරගෙන ඉන්නැපැයි.. හැබැයි.. ප්ලේන් එකට නැංගෙනම් ප්ලේන් එකෙන් බැස්ස දිනෙත් නෙවෙයි.. මේ දවසට දෙකට් මූ සෑහෙන්න පරිණත වෙලා. පණ්ඩිත වෙලා. ඇයි ඉතින් දැන් තාත්තා කෙනෙක් නොවෑ.. කලින් වගේ පුලුවනෑ...

ලෝකෙටනම් දින සති ගෙවුනෙ වේගෙන්,. ඒත් අපේ දිනෙත්ටයි, වයිෆ්ටයිනම් එහෙම නෑ.. ලෝකෙ දෙකොනකට වෙලා ඒත් හිතින් එක ලඟට වෙලා දිනෙන් දින මෝරන ඇගේ කුස පිරිමදින් කාලෙ ගෙව්ව දිනෙත්.. දැන් නම් මූ ගෙදරට ගෑණිට දවසකට වයිබර් කෝල් ගන්න වාර ගනන දහ දොලොස් ගුණයකින් වැඩිවෙලා. ඊට සාපේක්ෂව අපිව මතක් වෙන වෙලාව ප්‍රතිලෝමව සමානුපාතිකව අඩුවෙලා!!

කොහොම කොහොම හරි ඉතින්, ඉබි ගමනින් කාලෙ ගෙවුන මුන් දෙන්නටත්.. අන්තිමට ඒ දිනේ උදා උනා.දිනෙත්ගෙ වයිෆ් දියවඩන නිළමේ වගේ වෙලා. දිනෙත්ටත් ආපහු ගම් රට බලා එන්න දිනේ උදාවෙලා. මූ ආව ආයෙත් ලංකාවට..

******************************************************

ජෙනරල් හොස්පිටල් එකට දිනෙත් කාර් එක ඩ්‍රයිව් කලේ පිස්සුවෙන් වගේ.. මිනිහ හිනා වෙනව, සිංදු කියනවා එක කෙලියයි. මේක ගිය හැටියට එදා මූ වෙනුවෙන්ම ට්‍රැෆික් එකේ අය අන්ධවෙලා හිටියද මංද. නැත්නම් දඩ කොලයක් පට්ට ෂුවර්...

ඔව්.. රෝහලේ සයනයක් මත ඇය සිටියා... ඇගේ මූණෙ දිනෙත් දැක්කෙ මින් පෙර කවදාවත් නොදැක්ක අමුතුම මන්දහාසයක්.. ඒක කොහොමද කියන්නෙ. මවු පදවිය තිලිණ ලත් මේ ලෝකෙ හැම සුන්දර අම්මෙක්ගෙම මුහුණෙ මැවෙන ආදරය, කරුණාව, අසීමාන්තික සෙනෙහස කැටිකොටගත් ජීවිතයේ බහ තෝරන මහ අමුතුම සිරියාවන්ත ගැඹුරු හිනාවක් ඒ මූණෙ ඇඳිලා තිබුනා.

උන්නු තැනම ගල් ගැහිලා ඒ මූණට වශී වෙලා දිනෙත් ඒ දිහාම බලන් උන්නා.. ඇගේ දෑසෙ දෙසම. ඒ දෙනෙත් හෙමි හෙමිහිට පහලට නැඹුරු උනා. ඇගේ වම් ඇලය දෙසට පහත් උනා. ඊට සමාන්තරව දිනෙත්ගෙ දෙනතත් ගමන් කලා. එතකොටයි ඔහු දැක්කෙ මේ මිහිමත සොඳුරුතම වස්තුව ඇගේ තුරුල්ලෙ උණුහුමට ගුලිවෙලා සුව නින්දක සිටින අයුරු.. රෝසම රෝස පාට බෝනික්කියක් හොඳට නිදි..!

"මගේ මැණික.. ඔයාට හුඟාක් පිං... ඔයා මාව බැන්ද දවසෙ මගේ ජීවිතේ එළිය කලා. ඔයා අද ඔයා එලිය කරපු ඒ ජීවිතේට අරුතක් එකතු කලා.."

අපි දන්නෙ නැහැ ඇගේ ඔලුව අතගාල පහත්වෙලා නලලට හාද්දක් දුන්න වෙලේ දිනෙත් ඇයට ක්‍රහසින් කිව්වෙ මොනාද කියලා. ඒත් අපි දන්නවා දිනෙත් හිතුවෙනම් ඔය උඩින් කිව්ව දේම තමයි කියලා.

******************************************************

ඔන්න ඔහොම ජීවිතේම පිස්සුවක් කරගෙන හිටපු ඒත් සීරියස් කොල්ලෙක්ට අලුතින් ජීවිතේ ලැබුන. ඌ අපිට කෙලින් නොකිව්වට අපේ හිත් දන්නවා, අපිට දැනෙනවා ඌ ඌටම වෙච්ච පොරොන්දු, ඒ අලුත් ආත්මෙ උගේ ජීවිතේ වෙලාගත්ත ඒ දවසෙ. ජීවිතේ වෙනුවෙන්, මේ රත්තරන් කෙල්ලගෙයි, ඒකිගෙ අම්මගෙයි අනාගතේ ලස්සන කරන්න හිත යටින් ඌ ඇඳපු සැලසුම්. තාමත් තොරතෝංචියක් නැතිව කියවන, ආතල් කොල්ලෙක් උනාට ඌ ඒ යටින්, උගේ ඇස්වල ගැඹුරින් අපිට දැනෙනවා ඉස්සරට වඩා නැවුම් ජීවිතයක්. මහප්‍රාණ බැල්මක්. කොටින්ම කියනවනම් ජීවිතේ ගැන බලාපොරොත්තු පිරිච්ච, අලුත් කෝණෙකින් ජීවිතේ දකින, අනාගතේ බර දරාගත්ත, සෙනෙහෙබර පියෙකුගේ රූපයක් අපිට පේනවා මේකගේ දෙනෙත් තුලින්..

******************************************************

"රත්තරන්... මට සමාවෙන්න. කොච්චර අමාරුවෙන් උනත් මට මේක කරන්නම වෙනවා. ඒ මේ දූ පැටියගෙයි, අපෙයි අනාගතේ වෙනුවෙන්මයි.. හ්ම්.. මං දැන් තාත්ත කෙනෙක් නොවෑ.. ඉතින් ජීවිතේ මේ බර දරන්න, අදින්න මට පුලුවන්. වැව් බැම්මක් වගේ දුක් උහුලන්නත් පුලුවන්.. ඒ නිසා බබෝ මට ඉතින් යන්නම වෙනවා. මං ආයෙත් ඉක්මනටම එනවා. එනකල්, අපේ මේ පුංචි සුරංගනාවිවත් පරිස්සම් කරගෙන ඔයත් හුඟක් පරිස්සමඉන් ඉන්න හොඳේ.."

දියමන්ති වගේ දිලිසෙන එහෙට මෙහෙට දුවන දෙනෙතින් ඔහු දෙසම බලාගෙන, පුංචි අතින් ඔහුගෙ ඇඟිල්ලක් දැඩිව අල්ලගෙන අම්මගෙ තුරුල්ලෙ ගුලිවෙලා ඉන්න ඒ අහිංසක මූණ ඉඹල දයාබර අම්මගෙත් මූණ ඉඹල අපේ දිනෙත් මෙහෙම කිව්වෙ කටුනායක එයාපෝට් එකේදි. නිවාඩුව ඉවරයි.. ආයෙ යන්න වෙනවා. දරන්න බැරි දුකක් ඒ මුහුණු දෙකේ පිරිල. ඒත් මොනව කරන්නද යන්නම වෙනවා. කොච්චර පඬි වදන් දෙඩුවත්.. මේ වෙන්වීම දරාගෙන මේ කිරිකෝඩු තාත්තට ඉන්න පුලුවන් උනේ බොහොම ටික වෙලාවයි. ඊළඟට බිඳිල ගිය වැව් බැම්මක් වගේ ඔහුගේ හද තුල සිරව තිබූ අපරිමිත දුක කැඩී බිඳී විසිරී ගියේ, ඔහු පමණක් නොව ගුවන් තොටුපලම හ්ඬවමින් වගෙයි. පුංචි සුරංගනාවියි, එයාගෙ අම්මයි බදාගෙන ඒ පිය සෙනෙහස උතුර උතුර කඳුලුවලින් පිටාර ගියහැටි අදටත් කතාවෙනව එතන හිටපු දිනෙත්ගෙ අතිජාත මිත්‍රයන්.

කොහොම උනත් හැමදේම ඉවසගෙන ආයෙත් ඉක්මනට එන්න බලාගෙන ඔහුට යන්නම උනා. මගී පර්යන්තෙන් නොපෙනී යන ඔහු දෙස කඳුලු පුරෝගෙන හැමොම බලන් හිටියා. දිනෙත්ව ඇරලවන්න එයාපෝර්ට් එකට ඇවිත් ඉඳපු ඔහුගෙ යහලුවන් දුටුවෙ වෙනදට හිනාවෙවී, කෑකගසමින්, විහිලු තහලුවෙන් පිස්සෙක් වගේ දඟලන සෙල්ලක්කාර දිනෙත් නොවෙයි, ඒ වෙනුවට ඔවුන් දුටුවෙ පිය සෙනෙහසින් හදවත බරකරගත්, දුක් වේදනා සන්තාප දරාගෙන අනාගතේ වෙනුවෙන් පියමං කරන සෙනෙහෙබර පියෙකුගේ  ඡායාවක්..



ඉතින් අපි සුබපතමු ඔවුන් ගේ ලස්සන අනාගතයට...



"පරසතු කුසුමක් මා තුරුළට ආවා
ලෝකය මොහොතක් නතර වුණා
දියණි දෙනෙත් සැලුනා
අප යළිදු උපන්නා
ඒ දියණි නිසා

උයන් පුරා මං සුවඳ ඉසිනවා
රුවන් වලාවන් යහන සදනවා
ඇසින් කඳුළු වී සතුට ගලනවා
සුරන් සමඟ දූ කුමරි නිදනවා

සුරන් සමඟ දූ කුමරි නිදනවා

පරසතු කුසුමක් මා තුරුළට ආවා
ලෝකය මොහොතක් නතර වුණා
දියණි දෙනෙත් සැලුනා
අප යළිදු උපන්නා
ඒ දියණි නිසා

සවි වී සියළු යස ඉසුරු කිරුළු ලා
නොවිඳි මහිම දියණිය ගෙන එනවා
ලොවම එරෙහි වෙද ඒ දුක පිසදා
දියණි යළිදු අපගේ ලොව වෙනවා

දියණි යළිදු අපගේ ලොව වෙනවා

පරසතු කුසුමක් මා තුරුළට ආවා
ලෝකය මොහොතක් නතර වුණා
දියණි දෙනෙත් සැලුනා
අප යළිදු උපන්නා
ඒ දියණි නිසා"


ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සහ ආචාර්ය රෝහණ වීරසිංහ
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ


(Parasathu Kusumak - Deepika Priyadarshani & Rohana Weerasinghe)


ගීතය අහනවනම්...



*******************************************

පසුව ලියමි

දයාබර පත්තරයෝ... මේ උඹ වෙනුවෙන් පුංචි තිලිණයක්... පුලුවන් හැටියට අපිට... අපේ සින්දු ඇනෝගෙනුයි.. මගෙනුයි.....

තෑග්ග දෙන්නනම් ටිකක් පරක්කු උනා.. සමාවෙයන් ඒකට හොඳේ...