"කාසි ඇතොත් මේ බෙලිමල් කඳුළු වතුර පොදක් බොන්න..."
කඳුකරයේ චාරිකාවක් යන ඕනෑම කෙනකු දුන්හිඳ නරඹන්න අමතක කරන්නේ නැත. බදුල්ල මහියංගන පාරේ ගොස් දුන්හිඳ නරඹන්නට යන මාර්ගය තරමක් දුෂ්කර වූවකි. ඒ මාර්ගයේ දෙපස බෙලිමල් තම්බමින් සංචාරකයන්ට බෙලිමල් විකුණන මිනිසුන්ගේ හා ගැහැනුන්ගේ දර්ශනය දුන්හිඳ නරඹන්නට යන කිසිවකුට අමතක නොවේ. කඳු ශිඛරයකින් කඩා හැලෙන බදුලු ඔයේ සුන්දරත්වය ඒ අවට ජීවත්වන මේ අහිංසක මිනිසුන්ගේ ජීවිත තුළ තිබේ ද?
සාර්ථක කලාකරුවකුට තුන්වන ඇසක් පැවතිය යුතු ය. එක් අතකින් ඔහු කලාකරුවකු බවට පත්වන්නේ ද මේ තුන්වන ඇස නිසා ය. එය ජන්මයෙන් දායක වන දුබල ප්රතිභාව ඔස්සේ කෙනකුට ලැබෙන්නකි. අපූර්ව දෙයක් නිර්මාණය කිරීමේ ප්රඥාව හෙවත් ප්රතිභාව එයයි. මේ ගීතයේ පද රචකයා තුළ ඒ දුලබ ප්රතිභාව මනාව දක්නට හැකි ය. මේ සඳහා රචකයා යම්තාක් දුරකට පැරණි ජනකවියකින් ආභාසය ලබයි.
"කැලේ ගොසින් ඉනි කැපුවා කැත්ත දනී
වෙලේ ගොසින් ඉනි හැඳුවා නියර දනී
පැලේ ගොසින් පැල් රැක්කා පැදුර දනී
පැලේ මෙදා පැල් ලැග්ගා දෙවියො දනී"
(ජනකවි)
මෙහි රචකයා මේ අහිංසක මිනිසුන්ගේ ආත්මයට ප්රවේශවී ඔවුන්ගේ හැඟීම් කවියට නඟයි.
"බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මඳක් නිවාගන්න
ඔබේ සතුටු මුහුණ අපට ටිකක් හොඳින් බලාගන්න
මහත්වරුනි බදුලු ඔයෙන් කිරි කඳුළක් අපිත් ගන්න
කාසි ඇතොත් මේ බෙලිමල්කඳුළු වතුර පොදක් බොන්න"
මේ ආයාචනය වූ කලී අතිශයින් සංයමශීලී ආයාචනයකි.
මේ රළු පොළවේ බොරළුකැට මේ ගැමියන්ට හුරුපුරුදු ය. එහෙත් සංචාරකයන්ට එය වෙහෙසකි. බෙලිමල් ඒ වෙහෙසට ඔසුවක් බව මේ ආයාචනයෙන් කියැවේ. ඔවුන්ගේ ආර්ථික දරිද්රතාවය රචකයා ව්යංගාර්ථ ජනිත කරවමින් ඉදිරිපත් කරයි.
“මහත්වරුනි බදුලු ඔයෙන් කිරි කඳුළක් අපිත් ගන්න” යන ප්රකාශය අතිශයින් හැඟීම් බරය. මුදල් ලැබෙන්නේ බෙලිමල් විකිණීමෙනි. බදුලුඔය කඩා හැලෙන්නේ නැතිනම් ඔවුන් කාට නම් බෙලි මල් විකුණන්නද? බදුලු ඔයෙන් ලබන කිරි කඳුළ නම් ඔවුන් ගොඩනඟන ආර්ථික යයි. ඒත් ඒ ආර්ථිකය ප්රමාණවත් වන්නේ යාන්තමට තුන්වේල පිරිමසා ගැනීමට පමණි. බදුලු ඔයට උදාවන උදෑසන ඔවුන්ගේ ජීවිතවලට උදාවන්නේ නැත.
"කැලේ ගිහින් නිදි වැරුවා කැකුණ සඳුන් දණ්ඩ දනී
ඒ සඳුනෙන් සිත තැවරූ සුවඳ පවා සිහින වැනී
අඳුරට දුක එකතු වෙලා නින්ද බිදුණු තැනට වඩී
අපට නැතත් බදුලු ඔයට හෙටත් උදෑසනක් වඩී"
මොවුන් කැකුණ සඳුන් දඬු අලෙවි කරන්නේ ද සංචාරකයන්ටයි. කැළෑවල රාත්රියේ නිදි වරමින් කැපූ සඳුන් දඬු දවල් කාලයේ අලෙවි කළ යුතුයි. බදුලු ඔයේ සුන්දරත්වයට වශී වන දෑස්වලට මේ මිනිසුන්ගේ දුක්බර ජීවිතය නොපෙනෙයි. ගීත රචකයා රසිකයාට ද ඒ තුන්වන ඇස ලබාදීමට වෙහෙසවෙයි.
"රෑන ගිරව් කටුසා කොබෙයි උරග නාග සතුනි වනේ
නුඹට වගේ මයි අපටත් දුක් පීඩා විඩා දැනේ
කඳු ඉස්මත්තෙන් පාවී වැගිරෙන දුන් හිඳ හීනේ
පුංචි එවුන්ටයි ලස්සන කිරිගරුඩෙන් කවිය උනේ"
අසල වනාන්තරයෙන් සිටින සතුන් විඳින දුක් පීඩා හා සමාන දුක් පීඩාවන් විඳින මේ මිනිසුන්ගේ එකම හීනය කුඩා දරුවන්ගේ අනාගතයයි. ඒ නිසා ම මේ රිදී දිය දහරාව මේ අහිංසක මිනිසුන්ට කිරිගරුඬ කවියකි.
නන්දන වීරසිංහ කවියාගේ ‘දුම්මල ගලට ගිය අම්මා’ නැමැති පද්‍ය නිර්මාණය මට මෙහිදී සිහිවෙයි. දුම්මල විකුණා දරුවන් නඩත්තු කළ අම්මා
වැසි දිනයක දුම්මල ගලෙන් ලිස්සා මිය යයි. එහෙත් දරුවා දුම්මල ගලට වෛර නොකරන්නේ මෙතෙක් තමන් ජීවත් වූයේ දුම්මල ගලේ පිහිටෙන් බැවිනි.
"ඇලබඩ රුප්පාව ළඟ රෑ හඳ පානේ
ඉන්නා කලට මට දුම්මල ගල පෙනුනේ
ලෝබ නැතිව ඔය ගල දුම්මල දුන්නේ
අම්මා පෙරළුවත් නෑ තරහක් හිතුනේ"
(නන්දන වීරසිංහ)
මේ අයුරින් ම මේ මිනිසුන්ටත් කවරදාකවත් දුන්හිඳට වෛර කළ නොහැකි වෙයි. මක් නිසා ද ඔවුන් ජීවත් කරවන්නේ දුන්හිඳ බැවිනි.
මේ පද රචනාව කවිතා ගුණය බහුල වූ පදමාලාවකි. කවියක් ගීතයක් බවට පත් කිරීම තරමක් අසීරු කාරියකි.
රෝහණ වීරසිංහයන්, ඒ අභියෝගය මැනවින් බාරගත් බවක් පෙනී යයි.
“කැලේ ගිහින් නිදි වැරුවා" වැනී දීර්ඝාක්ෂර යෙදූ ස්ථානවලින් මැනවින් ප්රයෝජන ගන්නා සංගීතඥයා රමණීය තනුවක් නිර්මාණය කරයි. ඒතුළ ජනනාද රටා මෙන් ම බටහිර නාද රටා ද සුසංයෝගී වී තිබුණ ද ජනගී රිද්මය මනාව සුරක්ෂිත වේ.
දීපිකා ප්රියදර්ශනී පීරිස් සතුව ඇත්තේ දේශීයත්වයෙන් පණ ගැසුණු කටහඬකි. ඇය "ආජි තපර ලාහිලා" (Aaji Thapara Laahila - Deepika priyadarshani) උච්චාරණය කරන්නේ ද ඒ දේශීයත්වය රැකගනිමිනි. එය ඇයවත් නොදන්නා වාසනා ගුණයකි. ඒ වාසනා ගුණය ඇගේ වෙනත් බොහෝ ගීතවලට මෙන් ම මේ ගීතයට ද ආරෝපණය වී තිබේ. ඒ නිසා ම මේ ගීතයේ රසයට ඇය ද හිමිකාරියක බවට පත්වේ. ගීත රචකයන් මෙවැනි ඉඩම් සොයා යා යුතු ය. රුචිර පරණවිතාන වැන්නන් දුන්හිඳට වැඩී යා යුතු ගීත රචකයන් නොවේ. එහෙත් ඔහුගේ වෙනත් නිර්මාණ ගැන මම එතරම් අසා දැක නැත්තෙමි.
තවත් සියවස් ගණනාවක් දුන්හිඳ ගලා බසිනු ඇත. බොරලු පාගමින් තවත් බොහෝ අය මතු මතු වට ද, දුන්හිඳ නරඹන්නට යනු ඇත. බෙලි මල් විකුණූ මේ අහිංසකයන්ට මේ දුන්හිඳ මනාලිය, කිරිගරුඬ කවියක් වූවා ද නැති ද යන්න අනාගතය විසින් තීරණය කරනු ඇත.
එහෙත්!
“එන්න එන්න...
බෙලිමල් ටිකක් බොන්න, එන්න, එන්න...”
මේ මිනිසුන්ගේ හඬ දුන්හිඳේ හඬින් යටපත් කළ හැකි ද?
(Boralu Anena Paya Ridawana - Deepika Priyadarshani)
උපුටා ගැනුම : සිඵමිණ පුවත්පතෙහි පුන්කලස අතිරේකය සඳහා ධම්මික බණ්ඩාර මහතා විසින් ලියන ලද ලිපියකිනි.
"කියවල ඉවර වෙලා අදහසක් එකතු කරලම යන්න.. "
බදුලු ඔයෙන් කිරි කඳුළක් කියන එක මං දකිනවා මෙහෙම.
ReplyDeleteදිය ඇල්ල කිරි දහරාවක් වගේ ඇද හැලෙනවා.කිරි බින්දු නොවී කඳුළු වෙන්නේ ඔවුන්ගේ දුෂ්කර දිවිය නිසා.ඒත් එකපාරම කිරි කඳුළු කියන්නේ ඔවුන්ගේ කුඩා දරුවන්ගේ අනාගතය පෝෂණය කරන එක අරුතින් වෙන්නැති.www.amuthusithuwili.wordpress.com
ඇත්තටම ගොඩක් වටින අදහසක්.. ගීතයකට රූප රචනයක් එක් කිරීමෙන් ශ්‍රාවකයට ලොකු අසාධාරණයක් වෙනවා.. ඒකෙන් අපිව ඒ ගීතය ගැන එකම රාමුවක කොටුකරල තියනවා. රූප රචකයා කැමති තේරුම අපෙත් තේරුම වෙනවා.. ගීතය ගැන අනොනිමස් කීව අර්ථය ආවෙ අපි රූප රචනෙකට කොටු නොවී මේ ගීතය දිහා විවෘත මනසකින් බලපු නිසා.. අපි අපේ අදහස් මෙහෙම බෙදාගමු. ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා..
ReplyDeleteබ්ලොගර් ෆලෝවර් එක දාන්නකො
ReplyDeleteවර්ඩ් වෙරිපිකේන් අයින් කරන්න
ඒ මට ඒක දාන විදිය තේරෙන්නෙ නෑනෙ. බ්ලොග් වලට තාම අලුත් නිසා තාක්ෂනික පැත්ත ටිකක් අවුල්. වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන විදියයි, ෆලෝවර්ස් දාන විදියි කියල දෙන්කො.
Deleteඒ වගේම ඔයාට ගොඩක්ම ස්තූතියි මගේ බ්ලොග් එකේ පළවෙනි සඟය වෙච්ච එක ගැන..බ්ලොග් කලාවෙ ඔයාලා වගේ දැවැන්තයන්ගෙන් ආධුනික අපිට මේ ලැබෙන සහයෝගය ගොඩක්ම වටිනවා..
ඔන්න වර්ඩ් වෙරිෆිකේශන් අයින්කලා...
Deleteහොඳ බ්ලොග් එකක්.දිගටම එනවා!
ReplyDeleteමං අදටත් රස විඳින රසය නොනැසෙන ගීතයක්!
ජය පතමි !
දුලාගේ අඩවිය ලියන දුලා
තැන්ක්යූ දුලා.. ඔයාලා මේ කමෙන්ට්ස් මට ගොඩක් වටිනවා.. තවත් සාමාජිකයො හතර දෙනෙකුත් එකතුවෙලා.. දැන්නම් දිගටම ලියන්න ආස හිතෙනවා..
Deleteසාර්ථක උත්සාහයක්.. ධම්මික බන්ඩාරගේ විස්තර ඇති විජට් එක උඩටම ගන්න.. ජය වේවා. දිගටම කරන්න අපි එනවා කියවන්න.. ජය වේවා
ReplyDeleteඔයාලගේ මේ අදහස් යෝජනා මට ගොඩක්ම වටිනවා. තැන්ක්යු වෙරි මච් දේශකයාණෙනි. මං ඔයාලගේ සහයෝගය දිගටම බලාපොරොත්තුවෙනවා දිග ගමනක් යන්න.
ReplyDeleteඔන්න ධම්මික බංඩාර මහත්මයා ගැන තියෙන විජෙට්ටුව උඩට දැම්මා..
මම වැඩ කරන්නේ මහජන බැංකුවේ. අපේ කළා සංගමයෙන් වරක් සංවිධානය කළා ගායක ගායිකාවන් තිදෙනෙකුගේ ගීත විචාරක ප්‍රසංගයක්. මේකට තෝරා ගත්ත ගායක/ගායිකාවන් වුණේ දීපිකා ප්‍රියදර්ශනී/නිරෝෂා විරාජිනී/චන්න ජයනාත් කියන ත්‍රිත්වය. දීපිකාගේ බොරළු ඇනෙන ගීතය ගැන එහි සංගීතය කළ රෝහණ වීරසිංහයන් වගේම පදරචකයාගෙන්ද අදහස් විමසුවා. අවසානයේ ප්‍රේක්ෂකයින්ගේද අදහස් විමසුවා. එය මෙහෙයවපු චන්දන තිලකරත්න(කුරුං ගුරුං ගේ පුතා). කිහිප දෙනෙකුගෙන් අදහස් විමසුවා. සමහරු එහි ගොස් කිතුල් රා බී කතා පවසා මුළු සභාවම සිනා ගැස්සුවා. ඉන් අනතුරුව මා වෙත එළැඹුණු චන්දන තිලකරත්න "අපි තරුණයෙකුගෙන් අදහස් විමසමු" කියා මයික්‍රෆෝනය මා වෙත යොමු කළා. මම මගේ අත්දැකීම් ඉදිරිපත් කළා මේ විදියට
ReplyDelete"මම දුන්හිඳට දෙපාරක් ගිහිං තියෙනවා. එක දවසක් බොහොම ජනාකීර්ණ දවසක් සෙනග පිරිලා. තවත් දවසකක් ඉර බස යන සැන්දෑවක. පාලු ගොම්මන් වෙලාවක. එදින අපි ඇරෙන්න තවත් කිහිප දෙනෙකු පමණයි සිටියේ. මේ පාලු අඳුරු වෙලාවේ තිබුණු නිසල ගතිය මේ ගීතයට රෝහණ වීරසිංහ මහතා එක් කර තිබෙනවා" (ඉන් පෙර අදහස් දැක්වූ හෙතෙම පවසා සිටියා අහිකුන්ඨිකයින් යොදා ගන්නා ලීයක්/කිරිටින් එකක්/සහ බකට් කම්බි වලින් සාදා ගන්නා උපකරණයක හඬක් මුසු කල බව)
මා පැවසූවේ ඒ හඬ මට ඒ පාලු/මූසල සැන්දෑව සිහිපත් කළ බව. නමුත් පසුව මගේ මිතුරන් මට විහිළු කලේ අර පල් වූ කිතුල් රා කතාව සිහිපත් කරමින්.
බදුල්ලේ මිනිස්සු දුප්පත් ඇති. ජීවත් වෙන්න මහන්සි වෙනවත් ඇති. ඒත් ඒ මිනිස්සුන්ගේ ජීවිත මූසල නෑ. සුන්දරයි. සරලයි.
Deleteඅනුන්ගේ සල්ලි අත ගගා ජීවිතේම ගෙවන අයට ඒ සුන්දරත්වය පේන්නෙ නෑ. කොහොමත් සාමාන්‍යයෙන් මූසලයන්ට තමයි හැමදේම මූසලයි වගේ පේන්නෙ. ඌවයි පින්බිම සිංහලේ..