"මේ ලොව යම් කිසිවෙකු මා හට පෙම් කළ බව එතකොට ඒ ගී රාවය හීන් හඬින් මට කියාවි..."
මම මහගමසේකරයන් ව කිසි දිනෙක දැක නැත්තෙමි. ඔහුගේ උඩුකය පිළිබිඹුවක් මා ප්‍රථමයෙන් දුටුවේ මා පාසල් ශිෂ්‍යයෙකුව සිටියදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තුළයි. මහගමසේකර නම් පුද්ගලයකු මිහිපිට ජීවත් වූ බව මට දැනෙන්නට පටන්ගන්නේ
1980 වර්ෂයේදීය. එතුමන් ගේ ගීත අසා තිබුණද ඒවායේ රචකයා සොයා වෙහෙසීමට තරම් උනන්දුවක් එවකට මා තුළ නොපැවතිණි. එහෙත් මාගේ ජීවිතයේ මෙන්ම අධ්‍යාපනයේ ගමන් මඟද වෙනස් කළේ එතුමන් බව පාඨක ඔබට පවසන්නේ ඒ අතීතය මිහිරියාවකින් සිහිකරමිනි. එයට සවන්දීමට තරම් පාඨක ඔබ කාරුණිත වේ යැයි සිතමි.
කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් මම එකල උසස් පෙළ හදාරමින් සිටියෙමි. භෞතික විද්‍යා විෂය සඳහා සෙනසුරාදා හවස නගර ශාලාව අසල බෞද්ධ කාන්තා විද්‍යාලයේ පැවැත්වූ භෞතික විද්‍යා පන්තියකට මම සහභාගි වීමි. ආනන්ද බාලිකා විද්‍යාලයේ නේවාසිකාගාරයේ සිට ඒ පන්තියට පැමිණි තරුණියක කෙරේ මගේ හිත ඇදී ගොස් තිබිණි. ප්‍රේමය වචනයෙන් ප්‍රකාශ කිරීමට ආත්ම ශක්තියක් නොමැතිව සිටි මම ඇයට ලිපියක් දෙන්නට ගොස් මහත් ලැජ්ජාවකට පත් වුණෙමි. අම්බලන්තොට වැනි ඈත දුර සිට කොළඹ පැමිණ සිටි ඇයට ඒ වන විට පෙම්වතකු සිටින බවක් මම දැන නොසිටියෙමි. දැඩිසේ චිත්ත පීඩාවට පත් මම පාසලේ පන්තිවලට සහභාගි නොවී පුස්තකාලයට රිංගා කල් ගතකිරීමට පුරුදු වුණෙමි. විද්‍යාලයට ඇතුළු වී වසර පහක් යනතුරු පුස්තකාලයට පා නොතැබූ මා පොත් අල්මාරියකින් පළමු වරට ඇදගත්තේ කවි පොතකි. ඒ මහගමසේකරයන්ගේ “සක්වාලිහිණි” නැමැති කවි පොතයි. එහි තිබූ එක කවියක් මම කොළයක ලියා සාක්කුවේ දමා ගතිමි. ඒ එවකට මා විඳි චිත්ත පීඩාව නිසා විය යුතුය.
"අරුණෝදයේ ළා හිරු රැස් මත නටන
පිණි බිඳුවක් ලෙසින් ඔබ මට මුණ ගැසිණ
සැඩ හිරු රැසින් මිරිකෙන්නට පෙර නිවෙන
පිණි බිඳුවක් ලෙසින් ඔබ අහසට නැඟිණ"
එතැන් සිට මා ඔහු ගේ පොත් සොය සොයා කියවූ අතර අවසානයේ මම විද්‍යා අංශය අතහැර කලා අංශයෙන් විභාගයට පෙනී සිටියෙමි. එසේම මගේ පසුකාලීන නිර්මාණ ජීවිතයට ද දැඩිව ලැබුණේ මහගම සේකරයන් ආභාසයයි. අව්‍යාජ ලෙස හැඟීම් පළකිරීමට සේකර දැක්වූ කුසලතාව “මගේ පුංචි රෝස මලේ’ වැනි පද රචනාවක් සඳහා දැඩිව මට බලපෑ බව ප්‍රකාශ කළ යුතුය. කවදාවත් දැක නැති සේකර මගේ ජීවිතය වෙනස් කළේ ඒ ආකාරයෙනි.
"මා මළ පසු" නැමැති ගීතය හැත්තෑව දශකයේ දී රසිකයන් අතර අතිශයින් ජනප්‍රිය ගීතයක් බවට පත්වෙයි. මා අසා ඇති පරිදි මේ ඔහු ජීවිතයේ අවසානයට ලියූ පදමාලාවයි. තම රසිකයන් වෙත ඔහු කළ මේ අවසාන ආයාචනය එක් අතකින් දෛවෝපගතය. තම රසිකයන්ගෙන් හරිහම්බ කිරීමට තැක් නොකළ සේකරයන් මේ නිර්මාණය මඟින් ඉල්ලා සිටින්නේ කුමක්ද? එය සොයා බැලීමෙන් මහගමසේකර නම් වූ අව්‍යාජ කලාකරුවා තවදුරටත් හඳුනාගත හැකිවනු ඇත. මරණය පිළිබඳව මහගම සේකරයන්ගේ නිර්මාණයන්හි දැකිය හැක්කේ නැවුම් දැක්මකි. විටෙක මරණයට අභියෝග කරන ඔහු තවත් විටෙක මරණයේ සෞන්දර්‍ය දකී.
"මන්ද ඔතන හැංගී උඹ කරන්නේ
අන්දකාර සලු පොරවා වැනෙන්නේ
නින්ද නැතිව මං පැදුරේ දපන්නේ
නින්ද සදාකාලික කොට දියන්නේ"
(ව්‍යංගා)
එසේම “නොමියෙමි” නැමැති කාව්‍ය ග්‍රන්ථය තුළ ඔහු මරණය දකින්නේ සුන්දර යුවතියක ලෙසයි.
"පතුළ සිඹින වසින වරළ
ගන මේ කුළු හිසිනී
දෙතන දෙකඳු මැද ඇලි ඇලි
ගලන දුහුල රමණී
නිලන නිලඹ සිහිලඹ පිරි
නයන පොකුණු සොබනී
සසර කතර ගිම් සනහන
කෙම් බිම ඔබ මරණී"
(නොමියමි)
මරණය තමා කරා ඉක්මනින් පැමිණේවිය, වැනි හැඟීමක් සේකර තුළ නිරන්තරයෙන් තිබුණා විය යුතුය. ඒ නිසා තමාගේ නිර්මාණ ප්‍රියකළ රසිකයන් ගෙන් ඔහු ඉල්ලා සිටින්නේ ඉක්මනින් මරු තුරුළට යන තමා ගැන දුක් ගීයක් සොහොන්කොතේ ලියා තබන ලෙසයි. ඔහුට අවශ්‍ය වී ඇත්තේ, කිත් යසස් මිල මුදල් නොව රසිකයන්ගේ ආදරය පමණයි.
"මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කළ බව
එනකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවි"
සේකරයන් මේ බලාපොරොත්තු වන්නේ යෞවනියකගේ ප්‍රේමය නොව රසිකයන්ගේ ප්‍රේමයයි. "නන්නාදුනනා ඔබ" යන්නෙන් අදහස් කරන්නේ කවරදාවත් ඔහු දැක නැති ඔහුගේ රසික පිරිසයි.
'නන්නාඳුන නා ඔබගේ
අත් අකුරින් ලියණු මැනවි'
මේ මහා කවියා ගේ හදවත රසිකයන් ගේ ආදරය බලාපොරොත්තු වූ බව මේ තුළින් සංකේතවත් වේ. දුකෙන්ම පෝෂිත වූ ඔහුගේ කවිත්වය පෙරළා බලාපොරොත්තු වන්නේ ද දුකයි. මරණයෙන් පසුද තම ආදරණීය රසික රසිකාවියන්ගේ දුක වැලඳ ගැනීම මඟින් සේකරයන් තුළ පැවති දයාබරත්වය දැනුවත් වේ. යුරෝපීය රොමැන්ටික් සාහිත්‍යයද, සම්භාවනීය පැරණි සාහිත්‍යයද සිංහල ජනකවියද සේකරයන්ගේ කාව්‍යමය භාෂාව තුළ රඳා පවතින අතර අවැසි විටක ව්‍යවහාරික බස් වහරින් ද සේකර රසික හදවත් ස්පර්ශ කරයි.
"අඩ සද බැස ගෙන යන සඳ
සීතල අඳුරු රැයක
අඩ සඳ බැසගෙන යන සඳ
රූහි හඬන රැව් අතරින්
එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවි"
සේකරයන් විසින් මවනු ලබන්නේ පාළු ශෝකී පරිසරයකි. මේ මහා විශ්වයේම පවතින්නේ පාළු ශෝකී බව ඔහු වචන කීපයකින් මවාලනු ලබයි. කටුක යථාර්ථය ඉක්මවා යන මෝහනීය සෞන්දර්යයක් සේකරයන්ගේ ආත්මය පුරා ගැබ් වී තිබූ බව මෙහිදී පැහැදිලි වෙයි.
අවසන් හුස්ම හෙළීමෙන් පසුද ඒ මෝහනීය සෞන්දර්‍යයේ ජීවත්වීමට ඔහු ඇලුම් කළ බව මෙහිදී පසක් වෙයි. තවදුරටත් ජීවත්වන උන්ගේ ශෝකය වුවද බෙදා හදා ගැනීමට තම මියගිය ආත්මය සූදානම් බව මේ මඟින් දැනුවත් වෙයි.
මේ ගේය පද වලට සංගීතමය අරුත සපයන්නේ පණ්ඩිත් අමරදේවයන්ය. හැටේ දශකයේ පමණක් නොව හැත්තෑව දශකයේ අඩක් ද මහගම සේකර අමරදේව සුසංයෝගය තුළින් පිරී පැවතිණි. සේකර වචනයෙන් මවන පරිසරය අමරදේවයෝ සංගීතය හා සුගායනය ඔස්සේ අප වෙත ගෙන එති. එහෙත් සෙහොන් කොතේ එක් ගීයක් ලිවීමෙන් සේකර නොමැති දුක තුනීකරගත නොහැකිය. ඔහු වරෙක මෙසේ ලීවේය.
"මගෙ කවියෙන් මා නොසොයන්"
එහෙත් සේකරයාණනි. අපි ඔබේ කවියෙන් ගීයෙන් ඔබ සොයාගත්තෙමු. ඔබව සොයා නොගත්තේ නම් අප ඔබව අපේ හදවතට ඇතුළු කරගන්නේ කෙසේද? ආදරණීය සේකර... අපි ඔබේ සොහොන් කොතේ දුක් ගී නොලියමු. මන්ද ඔබ මිය නොඟිය බැවිනි. ජීවිතයේ අප්‍රමාණ දුක් වලදා ඒ දුකට මිහිරක් එක්කළ ඔබේ සෑම අකුරක් ම අප අපේ හදවතේ ගැඹුරුම තැන සඟවා ගන්නේ අන් කිසිවක් නිසා නොව, අප මිය ගිය පසු යළි යළිත් අපට ඇසෙනු පිණිසය.
"මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවි
මා මළපසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනවි
නන්නාදුන නා ඔබ ගේ
අත් අකුරින් ලියනු මැනවි
අඩ සඳ බැසගෙන යන සඳ
සීතල අඳුරු රැයක
අඬ සඳ බැසගෙන යන සඳ
රෑහි නඟන රැව් අතරින්
එතකොට ඒ ගී රාවයයාන්තමින් මට ඇසේවී"
පද රචනය – මහගම සේකර
සංගීතය හා ගායනය – ඩබ්.ඩී. අමරදේව
(Ma Mala Pasu - W.D. Amaradewa)
පසුව ලියන සටහන :
මාගේ බ්ලොග් අඩවියෙහි කිහිප පොලකම සඳහන් පරිදි මෙම බොහෝ ගීත විචාරවල හිමි කරු ධම්මික බංඩාර මහතාය. මෙය කියවන මගේ බ්ලොග් එකට එන ඔබට සමහරවිට මෙහෙම හිතෙන්නත් පුලුවන්. "මේකා මේ අනුන්ගෙ ගීත විචාර හොයාගෙන ඒවා උගේ වගේ පලකරනවා" කියල. මා ගැන වැරදි වැටහීමක් ඇතිකරගන්නෙපා. මේ විෂයට මං හරිම කැමතියි. ඒ නිසා හොයා හොයා කියවනවා. ඒව එකතු කරන්වා. ඒ විදියට කාලයක් එකතු කරගත්ත ඒවා තමා මං මේ බ්ලොග් එකේ දාන්නෙ. මං දන්නවා මං වගේම මේ විෂයට ආස කරන හුඟක් අය ඉන්නවා. ඉතින් මට ඕනි ඒවා ඔයාලත් එක්ක බෙදාගන්නයි. ඒකට ගත්ත පුංචි උත්සාහයක් විදියටයි මේ බ්ලොග් එකේ ආරම්බය සිදුවෙන්නෙ. සීරීස් එකක් විදියට මේ ගීත විචාර ඉදිරිපත් කරන්න්යි මගේ අදහස. ඉන් පස්සෙ මගේම නිර්මාණ සහ මා රස විඳි සිත්ගත් නිර්මාණත් ඔයාලත් එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙනව මම.
ඉතින් මාත් සමඟ මේ නිර්මාණ රසවිඳින්න එකතුවෙන හැමෝටම ස්තූතියි. ඒ වගේම මේ කර්තව්‍ය සාර්ථක කරගැනීමට ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා හා විවේචන මට ගොඩක්ම වටිනවා.
පොඩි උපදෙස් කීපයක්.
ReplyDeleteකියවීමට පහසුුතාව ගැනත් හිතන්න. වැඩිහිටි අයට මේ වගේ අකුරු/පාට/පසුබිම එක්ක කියවන්න තරමක් අමාරුයි.
මෙතන අකුරු බෝල්ඩ්ෆේස් කරලා තියෙන්නේ පැහැදිලි නැති නිසා වුනත් ඒකෙන් තවත් වැඩේ අසීරු වෙනවා. කළ යුතුව තිබුණේ පසුබීම සහ අකුරු පාට අතර කන්ට්‍රාස්ට් එක වැඩි කිරීමයි. ලා පසුබීමකට ලා පාට අකුරු ගැලපෙන්නේ නෑ. කොහොමටත් අකුරු තරමක් ලොකු කරන්න.
පසුබිමේ පින්තුරය සුන්දර වුණාට පාඨකයෙකු මෙතනට එන්නේ කියවන්න මීස බලන්න නොවෙයි නේද?
ගොඩක් ස්තූතියි කතන්දර. ඔයාගෙ මේ උපදෙස් ටික මට ගොඩක්ම වටිනවා. බ්ලොග් එක කියවන්න වඩාත් පහසු වෙන විදියට පොස්ට් බොඩි එක වෙනස් කරන්න ඉදිරි දින කිහිපයේදි උත්සාහ කරන්නම්..
Deleteඔය ගීත විචාර ඔයා පත්තරේ / සඟරාව බලාගෙන ටයිප් කළාද නැති නම් කට් ඇන්ඩ් පේස්ට් කළාද?
ReplyDeleteඑක් වරක් වෙබ් එකේ පළවූ දෙයක් නම් නැවත පලකර තේරුමක් නෑ. එතැනට ලින්ක් එකක් දාන්න පුළුවනි.
ඒ සමගම ඔබට හිතෙන දෙයත් ලියන්න.
මේ අර්ටිකල් සිළුමිණ පුවත් පතේ පුන්කළස කියන අතිරේකයේ පළවුන ඒවා. මීට වසරකට පමණ පෙර. දැන්නම් මේව පළවෙන්නෙ නෑ. මට සිළුමිණ අන්තර්ජාල පුවත්පතෙන් මේ ලිපි පෙල අහම්බෙන් හම්බවුනේ. සතියකට එකක් වශයෙන් පළවෙලා තිබුනෙ. වසර කිහිපයක ලිපි තිබුනා. ඒ ඒ සතිවල පත්තරේ හොයාගෙන මං ඔක්කොම කියෙව්වා. කියවන ගමන් ඒවා සේව් කරගන්නත් අමතක කලේ නෑ. වර්ඩ් ෆයිල් විදියට සේව් කලා.
Deleteඒ විදියට එකතු කල ලිපි පෙළ තමා මං මේ විදියට ඔයාලත් කියවන්න පෝස්ට් විදියට දාන්නෙ. ලින්ක් දාන්න පුළුවන්. ඒත් එහෙනම් ආයෙත් මුල ඉඳලා පසුගිය කලාප සේරම හොයන්නෝනි. මේ විදියට ඒ හැම ලිපියක්ම එක තැනකට එකතු කරන්නයි මට ඕනි උනේ. ඒ නිසා මේ විදියට ලිපි පෝස්ට් කරන එකේ අවුලක් නම් මට දැනෙන්නෙ නෑ. ඕනි කෙනෙක්ට එකම තැනින් සේරම කියවන්නත් පුළුවන් මේ දාන විදියෙන්. මට එහෙමයි හිතෙන්නෙ. අනික අදහස් හෝ විචාරයට හානියක් නොවෙන ලෙස පුවත් පතක කියවනවට වඩා තරමක් ආකර්ශනීය විදියට එනම් කියවන්නා තුල රුචිකත්වයක් ඇතිවෙන විදියට ඉදිරිපත් කිරීමයි මගේ අරමුණ උනේ.
එතනදි මමත් ඒ ලිපිවල පාඨකයෙක් ඔයාල වගේම.
මේ ගීත විචාරය අඩංගු වූ සිළුමිණ පුවත් පතේ අදාල ලිපියක සබැඳිය තමා පහළින් තියෙන්නෙ.
http://www.silumina.lk/punkalasa/20100919/_art.asp?fn=ar1009198
කැම්පස් කවියක් තියෙනවා මේ ගීතයෙන් ආදර්ශයක් ගත්තා වෙන්න පුළුවනි.
ReplyDeleteමා මළ පසු සොහොන් කොතේ
නරි පැටියෙක් බඳිනු මැනවි
එතකොට ඌ මගේ තනියට
මහ රෑටත් හූ කියාවි www.amuthusithuwili.wordpress.com
සරසවි කුරුටු ගීතත් අමුතුම කලාවක් නොවැ
Deleteඔයා සමහර තැන් වල රකාරාංශය පාවිච්චි කරල නෑ.. සමහර තැන් වල යංශය... කී එක දන්නැතුවද නැත්තං කම්මැලි කමටද....?
ReplyDeleteපළවෙනි 1 කියල හිතල මං උපදෙසක් දෙන්නං...
රකාරාංහය ගන්න `~ මේ සිමංබල් 1 තියෙන කී එකෙන්... Esc Key 1 පහලින් TaB Key 1ට උඩින් මගෙ නං තියෙන්නෙ... සමහර ලැප් වල තියෙන තැන වෙනස්... ඒත් කී 1 මේකමයි... ශිෆ්ට් ප්‍රෙස් කරන් ගහපුහහාම රේථය ගන්න පුලුවන්...
යංශය ගන්න ශිෆ්ට් ප්‍රෙස් කරන් එච් අකුර ගහන්න...
මං පද රචනාව කියවල තිබුනට ගීය අහල තිබුන්නැ... ඔබට ස්තූතියි...
අවන්හල
එන්න හැකියාවක් තියේ නං මෙහෙත්
සමාවෙන්නෝනි අක්ෂර දෝශ වලට. ඔන්න වැරදි නිවැරදි කලා. ඔයාට ගොඩක්ම ස්තූතියි මහේෂ් ඒ ටික පෙන්නල දුන්නට. ඒ වගේම මේ පැත්තෙ ආවටත් ස්තූතියි. මේ ක්මෙන්ට් එක දාපු ගමන් මාත් එනව ඔය පැත්තෙ.
Deleteස්තුතියි ඒ පැත්තෙ ආවට... ප්ලුවන් හැම වෙලේම එන්න බලන්න..
Deleteමං කියපු දේ ඔයාට උදව්වක් වුණ 1 ගැන මට පට්ට සතුටුයි
ජයවේවා.................
ඔයාටත් ගොඩක්ම ස්තූතියි. අලුතින් පෝස්ට් එකක් දාපු ගමන් එන්නම් කියවන්න අනිවාරෙන්.
Deleteඒක නෙවෙයි, අර ඊ මේල් එකකින් පෝස්ට් එකක් දාපු ගමන් ඇලර්ට් එකක් ගෙන්න ගන්න පුලුවන් විජෙට්ටුව දාගන්න විදිය කියල කියල දෙන්න පුලුවන්ද කරදරය්ක් නැත්නම්..?
මගුලයි මේ මොනවද මේ
ReplyDeleteමඟුලක් කෙසේ වෙතත් මේකෙ අවමඟුලක් ගැන ටිකක් කියවෙනවා ඇනෝ
ReplyDelete