Pages

Sandumal

Sandumal
Showing posts with label ගීත විචාර. Show all posts
Showing posts with label ගීත විචාර. Show all posts

Sunday, May 15, 2016

•නෑණන්ඩී


"නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි
සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි..."






ආදරය, සෙනෙහස, ප්‍රේමය... මේ කිනම් වචනයකින් හැඳින්වුවත් මේ අතිශය සංකීර්ණ වූත්, සංවේදීවූත්, කිසිදා කිසිවෙකුට අරුත් පසිඳලීමට නොහැකිවූත් මානව බැඳීම මිනිස් සංහතිය ආරම්භවූ දා පටන් මේ දක්වා පැවත එන්නේ ඊටම ආවේණික වූ කාලෙන් කාලෙට යුගයෙන් යුගයට සංස්කෘතියෙන් සංස්කෘතියට බද්ධවූ සංඛේත ගොන්නක්ද සමඟිනි.

දසදහසක් ප්‍රේම සංඛේත අතර අතිශය සංවේදී ප්‍රේම සංඛේතයක් ඇත. අතීත සිංහල ගැමි දිවි පෙවතට බද්ද වූ, හේනට කුඹුරට, පැලට, කමතට යාවූ, ගමේ පංසල තොවිල්පල, නාඩගම් මඩුව හා මුහු වූ, නෙළුම්,කෙසෙල් කොලවල ඇඹුලේ නැවුම් රසයෙන් රසවත් වූ මේ ප්‍රේම සංඛේතය අදවන විට වියැකෙමින් පැවතුනද මෑතක් වනතුරුත් ඈත ගම් දනවු පුරා සුවඳවත් වූ මෙම සංඛේතය ගැමි යෞවන යෞවනියන්ගේ සිත් සතන් ප්‍රේමයෙන් දයාවෙන් මුසපත් කරලීමටත්, අනේක දුක් සුසුම වේදනා වැව් බැම්මක් මෙන් දරා හිඳීමටද දහසකුත් කතා පුවත් හදවත් තුල ඉතිහාසගතකිරීමටද සමත් විය.

ඉතින් මගෙ මස්සිනේ, නෑණන්ඩියේ.... මේ ඔබේ පෙම් පුවතයි..

ඉස්සර ගං තුලාවල නීතියක් නොවුන රීතියක් තිබුනා. ඒ තමයි පවුලක නෑනා ඒ පවුලෙම මස්සිනාට නිතරඟයෙන්ම උරුම වීම. ඉතින් වැලි කෙලියෙ ඉඳලම එකටම ඉන්න මේ දෙන්නා පොඩ්ඩක් දෙපැත්තට වෙන්නෙ මේ නෑනා පොඩ්ඩ ගෙට උනාම. ඒත් ඊට ටික කාලෙකට පස්සෙ මේ ඈත්වීම යළි සීග්‍ර කිට්ටුවීමක් වෙන්නෙ අර පරණ වැලි කෙළියෙ බැඳීමෙ ස්වරූපයෙන් නම් නෙවෙයි.ඔන්න ඊට පස්සෙ අර පෝයදාට අහසෙ පායපු කොස් බෑය වගේ හඳ දෙන්න දකින්නෙ ඉස්සර දැකපු විදියට නෙවෙයි. බාල සංදියේ අත්වැල් පටලගෙන හඳේ ඉන්න හාවා හොයාගෙන උගෙන් කිරිපැනි ඉල්ලපු මේ යුවල දැන් උත්සාහ ගන්නෙ හඳේ සුන්දරත්වය එකිනෙකාගෙ මුහු. අඩ සඳ පායපු දාට අපේ මස්සිනාට අඩ සඳෙන් පෙනෙන්නෙ අපේ නෑනාගෙ නලල් තලාව. ඇල් හේනෙ කරල් කපනකොට, කුරහන් යායට හඳ පායනකොට, ඉස්සර කරපු දඟකාරකම් වෙනුවට දැන් කරන්නෙ සොඳුරු පෙම් කාරකම්.. දං පඳුරු වල හැංගි හැංගි දං කඩ කඩා රණ්ඩු වෙච්ච ඇච්චො දෙන්නා දැන් නම් දං කන්නෙ එකිනෙකාට ඉඟි මර මර. පෝය දාට සුදු ඇඳගෙන පංසල් ගිහින් බෝ මළුවෙ වැලි කෙලපු පොඩි නෑනයි පොඩි මස්සිනයි දැන් පෝය දාට පංසලේ පහන් පත්තුකරල හදවතින් ප්‍රාර්ථනා කලේ එකිනෙකා ගැන..

තව කතන්දර බොහොමයි.. ඉතින් ඔන්න ඔය තාලෙට තමයි මේ ප්‍රේමය දලු දාල වැඩුනෙ. ඔන්න ඔහොම ගමන ගියේ තම තමන්ගෙ දෙමවුපියන්ට හොරෙන් උනත් ඒක රහසක්ම වෙලා තිබුනෙත් නෑ. මොකද.. මේ නෑණන්ඩි, මස්සිනා පොඩ්ඩට රීතියෙන්ම හිමිවෙලා තිබ්බ හින්ද. ඉතින් ඒ ආශිර්වාදෙත් එක්කම හත්දා මඟුල් කාලා මේ යුවල එක්තැන් වෙන්නෙ හරියට ඇටෙන් පොත්තෙන් එන්නත් කලියෙන්මයි බොහෝ විට.. ඊටපස්සෙ තමන්ගෙම පැල් කොටේක තනිවෙලා ජීවන ගමන පටන්ගන්න දෙන්නා, ඒ වගේම තවත් පරම්පරාවක උරුමය හදල දෙනවා.

ඉතින් කොහොම උනත් කොයි දේකත් දෙපැත්තක් තියෙන්නා වගේ, මේ කතාවත් ටිකක් පරස් වෙලා පීල්ලෙන් පිට පනිනා අවස්ථාත් නැතිවම නොවෙයි. සමහර මස්සිනා පොඩ්ඩවල් නෑනණ්ඩිව තනිකරල සයුරෙන් එතෙරට දුරු කතරට යනවා.. ඔය අස්සෙ සමහර නෑණන්ඩිලා ගම හැරදා සිදාදියට දීග යනවා.. ඒ විතරක්ද, දාහක් පැතුම් පුරෝගෙන එක්තැන් වෙන්න බලන් ඉඳපු නෑනා මස්සිනාලට හිටි අඩියෙ දෙමාපිය විරෝධය මතුවෙනවා. කුරහන වපුරනකොට බැඳිච්ච ආදරේ කුරහන් කපන කාලෙ වෙද්දි ගිලිහිලා අතරමංවෙලා. ඉතින් මස්සිනා තමන් හැදූ පැල් කොටේ තනිවෙලා.

සමහර නෑනා මස්සිනාලට දළදා හාමුදුරුවොත් පිටුපාල. ඒ සමහර විට අඩ සඳ පායපු ඇහැල පෝයක දළදා වැන්ද නිසාද දන්නෙ නෑ. මොකද පුන් සඳ පායපු වෙසක් පෝය තමයි වඩා පිංවන්ත අඩ සඳ පායපු ඇහැල පෝයට වඩා. එහෙම අය එන ආත්මෙකවත් නෑනන්ඩී තමන්ගෙම වෙලා උපදින්න කියල ප්‍රාර්ථනා කරල ආදරෙන් වෙන් වෙනවා, හැබැයි මේ අහිංසක හදවත් වල එකිබෙන්කා කෙරෙහි උතුරා හැලෙන ප්‍රේමය, සුබ පැතීම් හැර තරහවක්, වෛරයක්නම් ගෑවිලාවත් නෑ. ඒකයි විශේෂත්වය.

අදටත් ඈත දුර ගම් රටවල් වල දයාබර නෑනා මස්සිනාලා ආදරෙන් බැඳිලා ඇති, ආදරෙන් වෙන් වෙනවත් ඇති. නවීන ලෝකයේ නවීන තාක්ෂණයත් එක්ක සංකර වෙලා අද. එදා රීතියෙන් අයිතිවෙලා තිබුන නෑන මස්සිනාල අද රීතියෙන්ම වෙන්කරලා, එයාල අහලවත් නොතිබුන වෛවාරණ විසාදි ගැන කියලා. ඒක හරිම දුකක්, ඒත් මොනව කරන්නද. අද කුරහන් හේන් නෑ, නෑනට පාලුවෙන් අහන්න ඉන්න පැල් කවි කියන මස්සිනාල සිදාදියට ඇවිත් ගේට්ටු මුරකරනවා. මස්සිනාලට ඇඹුල අරන් ආව නෑණන්ඩිලා අද සිදාදියේ සළු වියනවා. ඉතින් මේ මස්සිනාලට සිදාදියෙන් නෑනලා හම්බෙනවා, අපේ නෑණඩිලත් සිදාදියෙන්ම අයියණ්ඩිලා හොයාගන්නවා. ඒකෙ වරදක් නෑ. ඒත් හැමදේම අනිත්‍යබව පසක් කරමින් සොඳුරු උපසංස්කෘතියක්, ප්‍රේමයේ තවත් එක් සංඛේතයක් අද කාලයේ වැලි තලාවෙන් මැකී යමින් පවතිනවා.

ඉතින් ඒ සංඛේතය අපේ හදවත්වල සලකුණක් විදියට ඉතිරිවෙද්දි ඒ මතකය පාරවන ගීත ගොන්නක් ඒ වෙනුවට අපට ඉතිරිවෙලා තියෙනවා. ඒ ගීතවලින් අපිට කලින් පරම්පරාවෙ උදවියට බොඳවෙච්ච මතකයක සොඳුරු ඡායාවන් හදවතින් නෙත් මානයට කැන්දනවා නොඅනුමානයි. මේ සටහන කියවන ඔබ කිහිප දෙනෙක් හෝ, නෑණන්ඩී-මස්සිනා යුගයට නෑකම් උරුමකම් කියවනව ඇති. ඇල් හේනක, කුරහන් යායක, ඉපනැල්ලක, ගමේ පන්සලේ හඳුන්කූරු සුවඳ දැවටිච්ච පහන් වැටක, ඇල ඉවුරක, වැව් තාවුල්ලක සොඳුරු මතක හිතෙට නැගෙනවා ඇති. ඒවගේම මේ පහල තියෙන එක ගීයක් හෝ ඔබේම ගීතය වනවා ඇත. ඉතින් අප අවධිකරමු ඒ මතකය. සියුම් රිදුම් හදවත පොපියවන සතුටක් ජනිතකරනවා සමහර වෙලාවට. ඉතින් අපි ඒ රිදුම් තව තවත් පාරවමු...




සහසක් පැතුමන් ඉපදී මියගොස්..
ඉතිරිව ගිය එක පැතුම දරාගෙන..
ඇහැල මහක අඬ සඳ පැයූ දා..
මතකද සිරි දළඳා වැන්දා...
මතකද සිරි දළඳා වැන්දා...

අතීතයක් වෙන්වන රේඛාවෙන් 
අනාගතය හිස් කරවනු ලැබුවා..//
ඔබෙ අත අන් ලදකට හිමිකරදී
මතකද මා ඉකිබිඳ හැඬුවා..
මතකද මා ඉකිබිඳ හැඬුවා..

සහසක් පැතුමන්...

අහිමිව ගිය සම්පතට වඩා
හිමිවූ දුක මිහිරී සලකන්නම්...//
ඔබ වැනි කෙනෙකුට නෑනා වීමත්
පෙර පිනෙකැයි මා සැනසෙන්නම්..
පෙර පිනෙකැයි මා සැනසෙන්නම්..

සහසක් පැතුමන්...

ගායනය : මල්කාන්ති නන්දසිරි
පද රචනය : දයා ද අල්විස්
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි



පිළිතුරු ගීය...

සහසක් පැතුමන් නැත මා පැතුවේ..
එකම පැතුම පමණකි හිත රැදුනේ..
හද අඹරෙහි අඬ සඳ වැනි නෑනේ..
මතකයි සිරි දළඳා වැන්දා...
මතකයි සිරි දළඳා වැන්දා...

ඇස කඳුලැලි මෙන් හිස පිණි බින්දු
පිරිසිදු නාමල දෝතෙහි රැන්දූ..//
එකම පැතුම කඳුලට හරවා
මතකයි ඔබ පාමුල වැටුනා...
මතකයි ඔබ පාමුල වැටුනා...

සහසක් පැතුමන්...

අහිමි සැපත මිහිරී සිත පුරවා
තැවෙමු හඬමු මේ භවය පුරා..//
මතු භවයෙත් මගෙ නෑනා වනු මැන
අදට වඩා අනුකම්පාවෙන්...
අදට වඩා අනුකම්පාවෙන්...

සහසත් පැතුමන්...

ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : දයා ද අල්විස්
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි


*******************************************************

ගයා ගීතයන් ගමේ වෙල් එලියේ 
දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ
ඈ සමගින් එදා ඒ මා තමා
අද නැතුවා ‍වගේ ඈ මේ ගමේ...//

ගුරුතුම දවසක් මා හට තැළුවා
දැක මට මතකයි ඈ හැඩුවා
මා අසනීපෙන් සිටි එම දවසේ
ඇඳ ලග ඈ මුළු රෑ සිටියා..

අපි දෙන්නයි එකට පාසල් ගියේ
ගස් සෙවනේ ඉදන් පාඩම් කලේ
ඈ සමගින් එදා ඒ මා තමා
අද නැතුවා වගේ ඈ මේ ගමේ

ගයා ගීතයන් ගමේ...

නාන වෙලේ මා රැල්ලට අසුවී
යන විට ඔහු විත් ගොඩ ගත්තේ
මා බොරුවට දවසක් තරහා වී
කෑම නොකයි ඔහු සිට ඇත්තේ

අපි දෙන්නයි එකට ‍එහෙ මෙහෙ ගියේ
උදයේ හවහේ සෙල්ලම් කලේ
ඔහු සමගින් එදා ඒ මා තමා
අද නැතුවා ‍වගේ ඈ මේ ගමේ...

ගැයූ ගීතයන් ගමේ වෙල් එලියේ 
දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ
ඈ සමගින් එදා ඒ මා තමා
පුදුමයි යළි මේ හමුවීම අපේ

‍‍‍‍‍පදරචනය : සිසිර සේනාරත්න
සංගීතය : සිසිර සේනාරත්න
ගායනය : සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රානි සේනාරත්න




*************************************************************

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝය දා ‍වාගෙයි ගම්මානේ

එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට
ඇළ කණ්ඩියේ ඉදගෙන අත වැනුවාට
මගෙ හිතු මනාපෙට මං බහ දුන්නාට
නාඩන් මස්සිනේ පෙර පින් නැතුවාට

හැදුවේ ගෙපැල මට තනියෙන් හිදින්නද
බාලේ ඉදන් බැදි ආලේ බිදින්නද 
රෑ තුන්යමේ මේ හැටි දුක් ගෙවන්නද
සිහිනෙන් මිසක හැබැහින් එක් නොවන්නද

නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි
සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි
පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි
කුරහන් කපන දා මා සිහිකරයි

ගායනය : අබේවර්ධන බාලසූරිය 
පද රචනය : අජන්තා රණසිංහ
සංගීතය : සරත් දසනායක



****************************************************

කුරහන් යායේ සඳ උතුරාගෙන..
හිතට දුකක් ගලනා වේලේ..
රෑ තුන්යාමේ ගැයෙනා මේ ගී..
ඔබට ඇසේවා සුදු නැනේ..

එදා වගේ සැදැ අඳුර වැව් බැම්මේ ගලා ඇවිත්
උණ පඳුරේ සෙවන සදනවා..
කීව කථා රහසේ යලි සිතට නැගෙනවා...

මගේ පැලේ හිනැහීගෙන සිටිනා ලෙස නුබේ රුවින්
නිදි පැදුරේ සිහින පෙනෙනවා...
ඈත සිටින නුඹේ නාමෙන් දෑස තෙමෙනවා...

පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගායනය : ටී.එම්. ජයරත්න



************************************************


ගම හැරදා සිදාදියට දීග ගියත් නෑනෝ
ගැට තුඹ කොළ පුංචි බතල සුරල් වයන් නෑනෝ
හිත පාලුයි ගම පාලුයි නුඹ නොමැතිව නෑනෝ
කද බැඳගෙන සුබ නැකතින් ගමට වරෙන් නෑනෝ..

කන්දෙ ගෙදර මිනි පහනක් විලස දිලුනි නෑනෝ
බාල වියේ බැඳි ආලය අමතක කල නෑනෝ
දෑසෙ නැගෙන කඳුළු මකා අඳුන් උළා නෑනෝ
නැකැත් බලා අවුරුද්දට ගමට වරෙන් නෑනෝ...

සුබ නැකතින් තෙල් ගෑවා මට මතකයි නෑනෝ
එක ළඟ හිඳ හඳ බැලුවා මට මතකයි නෑනෝ
නව අවුරුදු  කුමරිය ලෙස සුබ සෙත ගෙන නෑනෝ
ලැසි ගමනින් දෙවට දිගේ ගමට වරෙන් නෑනෝ...

ගායනය  - විල්බට් ඇන්තනී
පද රචනය : තු.ව. කුසුම්පාල
සංගීතය : ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු




*******************************************************


කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ
කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ ....

පොඩි කාලේ වාගෙ අපී ඔන්න ඔට්ටුයි කියාලා
හැංඟි මුත්තා හොයාලා හැංගෙමුදෝ අයියේ ....

පුංචි හීනේ ගෝනි බිල්ලෝ නංඟි අල්ලන් යන්න ඒවී
මන් බය නෑ නේ අයියා මා ලඟ ඉන්නේ තුන් යම රෑ පානේ ....

කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ
කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ ....

ඉරිඟු යායෙන් කිරල ගාලෙන් කිරි වැදීලා කිරි ගොයමේ
නෑ නෑ අයියේ ඒ පින මේ ගම්මානේ සෝහුරු පින් මහිමේ ...

කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ
කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ ....

පොඩි කාලේ වාගෙ අපී ඔන්න ඔට්ටුයි කියාලා
හැංඟි මුත්තා හොයාලා හැංගෙමුදෝ අයියේ ....

කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ
කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ ....

චංචල රේඛා (1981) චිත්‍රපටයෙන්
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - සරත් දසනායක
ගායනය - මිල්ටන් මල්ලවආරච්චි සහ නීලා වික්‍රමසිංහ



**************************************************


සයුරින් එතෙරට වැලි කතරේ අයියණ්ඩී
ඔබ කවදා ඒදැයි බලාන ඉන්නේ නෑණ්න්ඩී//
පෙර වාගේ ඔබ හා මාළංවීලා
හිඳින්නයි ඕනි...//

දුරු ඈත මරු කතරෙ ගිනි අව්වෙ දැවිලා
ගිම් නිවන හැන්දෑකරේ..
ගම්මානෙ වෙල් එළියෙ මද පවනෙ මුදු සිහිල
සිහිවේද අයියණ්ඩියේ...

සයුරින් එතෙරට වැලි කතරේ අයියණ්ඩී
ඔබ කවදා ඒදැයි බලාන ඉන්නේ නෑණ්න්ඩී//
පෙර වාගේ ඔබ හා මාළංවීලා
හිඳින්නයි ඕනි...//

ඔබ ගේන මුතු මාල පට සේල පළඳින්න
පිරියක් නැගෙයි මා හිතේ..//
මල් පිපෙන බක් මහට කැන්දාන ගෙනියන්නෙ
එනවාද අයියණ්ඩියේ..

සයුරින් එතෙරට වැලි කතරේ අයියණ්ඩී
ඔබ කවදා ඒදැයි බලාන ඉන්නේ නෑණ්න්ඩී//
පෙර වාගේ ඔබ හා මාළංවීලා
හිඳින්නයි ඕනි...//


ගායනය : ස්වර්ණලතා කවීශ්වර






*************************************

පසුව ලියමි

ඉහත දක්වා තිබෙන ගීත කිහිපය අතරට එකතු කල හැකි ඔබට මතක වෙනත් ගීත ඇත්නම් කමෙන්ට්ස් ලෙස ඉදිරිපත් කර මෙම නෑණන්ඩී-මස්සිනා ගීත ගොන්න තවත් හැඩගන්වන ලෙස මම ඔබෙන් දයාබරව ඉල්ලමි. ඉහත පද වැල් වල, පද රචකයන් හා තනු නිර්මාපකයන්ගේ නම් වල කිසියම් වරදක් ඇතොත් නිවැරදි කරන මෙන් ඉල්ලා සිටින්නෙමි.

එසේනම් අවධිකරමු මතකය...



Tuesday, July 29, 2014

•විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි

"විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි..."







ශ්‍රී ලංකාව වනාහි දැඩි සංස්කෘතික මතධාරීන්ගෙන් ගහන වූ ආගම මුල් කොටගත් දැඩි සම්ප්‍රදායානූකූල ජනතාවක් වෙසෙන රටකි. ආසියානුකරයේ බොහෝ රටවල් වලට පොදු වූ මේ සාමාජීය වටපිටාව ලංකාව සඳහා වලංගු වන්නේ දුරාතීතයේ සිටමයි. මෙවන් සංස්කෘතික වටපිටාවක වෙසෙන ශ්‍රී ලංකාවේ කාන්තාව සඳහා සමාජය තුල හිමිව ඇත්තේ ඉතාම සුවිශේෂි ස්ථානයකි. එම තත්වය බොහෝවිට ලාංකීය කාන්තාවට ආවාසිදායක තත්වයක් උදා කලද, වර්ථමානය වනවිට එම තත්වය තරමක් පහවෙමින් පැවතියද, තවමත් බටහිර කාන්තාවට හිමි නිදහස ලාංකීය කාන්තාවට ඉමහත් දුරකින් පවතී.

තවමත් කොල්ලන් හත් පඳුරේම ලැග ගෙදර ආවත් නාවා මයේ පුතේ කියා ගෙට ගන්නා සමාජයක ගැහැණු ළමයෙකුගේ ඉතාම කුඩා වරදකදී පවා ඇය හත් පඳුරියක ලෙස හංවඩු ගැසීමට දෙවරක් නොසිතයි. එවන් පසුබිමක් තුල ලාංකීය සමාජයේ දූෂණයට ලක් වූ කාන්තාවකගේ ඉරණමද ඊට කිසිසේත්ම දෙවනි නොවේ. අද ඔබවෙත ගෙන එන ගී සංවේදනාව, විචාරය එවන් ප්‍රස්තුතයකට ආනුව නිර්මාණය වූ ඉතාම අගනා ගීතයකි.

ජීවිතයේ කුමන හෝ අසව්ථාවක ඔබගේ සොයුරියක්, හිතවතියක් මේ තත්වයට පත්ව තිබෙනවානම් එවන් අවථාවක ඇය මුහුණ දෙන දැඩි ඛේදනීය තත්වය පිළිබඳ ඔබට හොඳ අවබෝධයක් පවතිනු ඇත. දූෂණයට ලක්වූ අහිංසකාවියකට මෙවන් රටක් ඉන් ඉදිරියට අනාගතයක් ඇත්නම් ඒ ඉතාම කලාතුරකිනි. බොහෝ අවස්ථාවල තමන්ට සිදුවූ අභාග්‍ය හොර රහසේම සඟවා ගැනීමට ඇය පෙළඹෙනුයේ තමන්ගේ ආත්ම ගරුත්වය සහ අනාගතය ආරක්ෂාකරගැනීමේ අරමුණෙනි. මෙවන් දියණියන් මේ සමාජයේ කොතෙකුත් ඉන්නවාට සැකනැත. එසේ ලොවෙන් සඟවා සිටියද, ඈ පතිකුලයට යන යම් දිනෙක ඇයට මහත්වූ ප්‍රශ්න රාශියකට මුහුණදීමට සිදුවන්නේ ගතානුගතික සම්ප්‍රදායෙන් ලංකාවේ මිනිස් ඔලු ගෙඩි පිරී ඉතිරී ඇතිහෙයිනි. එය එසේ නොවුනද, නොඉඳුල් කෙල්ලෙක් ලබාගන්න කවුරු උනත් කැමතියි. බෝධිසත්ව පෙම්වතෙකු මිස, වෙනත් අයෙකු කුමනාකාරයකින් හෝ කිළිටි වූ යුවතියක ලබා ගැනීමට අකමැති සමාජයක එවන් තත්වයකට මුහුණදුන් යුවතියකගේ ඉරණම කෙතරම් සෝචනීයදැයි ඔබට සිතාගත හැකිවනු ඇත.

මේ නිසා මෙවන් අවස්ථාවකදී නීතියේ පිළිසරණ පතා වරදකරුවන්ට නිසි දඬුවම් ලබා දීමට ඉදිරිපත්වන යුවතියන් ඉතම දුලබයි. ඇතැම් විට කුඩා කලම මෙවැනි අතවරයන්ට මුහුණපාන යුවතියන් තමන්ගේ මුලු මහත් අනාගතයම අඳුරුකරගන්නේ ඉතාම ඛේදනීය අයුරින්ය. එවන් බොහෝ දෙනා අවසානයේ තමන්ගේ සිරුර විකුණාදැමීමේ තත්වයට පත්වෙති.

කෙසේ වුවද ගීතය මඟින් නිරූපණය කෙරෙනුයේ එවැනි අවසනාවන්ත තත්වයකට මුහුණ දී නීතියේ පිළිසරණ මතා ආ යුවතියක් සම්බන්ධයෙනි.

ගීතය ගලාගෙන යනුයේ දයාබර සොහොයුරෙකු නැඟණියකට කරන ආමන්ත්‍රණයක ස්වභාවයෙනි.

"විසුරුණු මල් පෙති දෝතට ගත් කුමරි
ඒ පෙති එක්‌ කර මලක්‌ සොයන බොලදී
සරදම් නොකරමි ආදරයෙන් කියමි
විසුරුනු පෙති යලි මලක්‌ නොවෙයි නැගණි..."

මුලුමහත් සිද්ධි දාමයක්ම ගීතයේ මුල් කොටසින්ම ඉතාම කදිමෙට ඉදිරිපත් කරනුයේ, ගීතයේ නිර්මාතෘ වරයාවන බන්දුල නානායක්කාරවසම් නම් ප්‍රවීණ රචකයාගෙ ප්‍රතිභාව මනාව සපථ කරමිනි.

ඇය ඇගේ ජීවිතයේ කාන්තාවකට විඳිය හැකි අමිහිරිම දේ විඳ ඇත. මගේ නෙත්මානයේ මට මැවී පෙනෙනුයේ, හැඬූ කඳුලින් පිස්සියක මෙන් කල්ගතකරන, පාපතරයෙකු අතින් කිළිටිවී ගිය අවිහිංසක යුවතියකගේ මලාන්ක මුහුණයි. ඇය තමන්ට අහිමි වී ගිය උත්තරීතර පවිත්‍රත්වය යළි සොයමින් සිටී.

ඇය එය සොයමින් හඬමින් ඇවිදයයි. පොලීසියේ පිහිට පතයි. උසාවියෙන් යුක්තිය බලාපොරොත්තුවෙයි.  කෙලිදෙලින් සැහැල්ලුවෙන් කාලය ගතකල කුඩා ඇය, අද ගැහැණියකවී කිසිදා පය නොතැබූ උසාවි බිමක සිට ජීවිතයා ඉල්ලා හඬා වැටේ. අනාගතය උදෙසා ඉකිගසයි. නමුදු ඇත්තෙන්ම මේ සමාඅජය ඇයට ඒ දේවල් යළි ලබා දීමට සූදානමින් සිටීද? ඇයට ඇගේ අනාගතය, පවිත්‍රත්වය මේ උසාවියෙන් ලැබෙයිද. ඒසේ ලැබෙනු කෙසේ වෙතත් උසාවියේ නීතීඥයන් අබිමුව ඇය දෙවන වතාවටත් දූෂණය වෙයි. ගොරහැඩි තිරිසන් පපුවකට ඈ හිර වූ මොහොතේ පටන් ඒ පිසාචයාගේ පහත් නරුම ආසාවන් සංසිඳෙන තුරු ඇය මුහුණ දුන් කාලකණ්නි අත්දැකීම ඈට යලි යලිත් හඬගා ලෝකෙටම ඇසෙන්නට පැවසීමට සිදුවේ.

සල්ලිවලට හෘද සාක්ෂිය විකුණගෙන කන විත්තියේ උගත් නීතීඥ මහතුන් නැවත වරක් ඇයව ප්‍රසිද්ධියේ නිරුවත් කොට දමනු ඇත. අවසානයේ වරද කරුවන් නීතියේ රැහැනට හසුවුවද, ඇයට අහිමි වූ ඇගේ ජීවිතය ඇයට යලි ලබා දීමට උසාවියකට හැකිවනු ඇතිද? රචකයා පවසන්නේ එයයි. ඒ සඳහා ඔහු ඉතාම කදිම උදාහරණයක් ලබා දී ඇත. අලංකාරව පිපි මලක පෙති තලා පොඩිකර කඩා දැමූ පසු ඒ මල යලි පෙර තිබූ පරිදිම සකස් කරන්න බැහැ. ඉතින් මෙ අහිංසකාවිය කරන්න හදන්නෙ එයයි. තමන්ගෙ විසිරුණු ජීවිතය, අනාගතය, යලි මලක් කරන්නයි ඇගේ උත්සාහය. නමුත් ඇයට සාර්ථක වීමට නොහැකියි. ඒ වෙනුවට සමහරවිට ම්තැලුණු මලද නටුවෙන්ම ගැලවී මිලන වී යාමටද හැකිවේ.

ඉතින් ඇගේ මේ උත්සාහයේ නිශ්ඵල බවයි රචකයා ඈට මේ ආදරයෙන් කියල දෙන්නෙ. මේ කරන්නෙ විහිළුවක්වත් සරදමක්වත් නෙවෙයි, නමුත් පවතින ලෝක ස්ව්හාවයයි ඔහු ඇයට මෙසේ දයාබරව විස්තර කරන්නෙ.

දියණියක විසින් උගත යුතුම, සමාජයේ තිබෙන තවත් එක් කාරණයක් ගීතයේ ඊළඟ පදපෙලෙන් කියවෙනවා. අපූරු උපමා රූපක භාවිතා කරල එය රසික හදවත් තුලට සංගීතයවත්ව සම්ප්‍රේශණ්ය කරන්න යොදල තිබෙන පදමාලාවනම් අති විශිෂ්ඨයි.

"වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
වෙරලට කිසිදා දියඹ දකිනු හැකිදො
බදට පියපත් යුවලක්‌ ලැබුනත්
අහසේ දෙකෙලවර නුඹට දිනනු හැකිදෝ..."

මෙහි වෙරළට උපමා කොට ඇත්තේ මේ යුවතියගේ යොවුන් ජීවිතයයි. රළ පෙල යනු කිසිදු අරමුණක් හෝ ස්ථීරත්වයක් නොමැතිව ඉබාගාතේ යන මෙවැනි ජීවිත බිලිගැනීමට මාන බලන දඩ බලු රංචුවයි.

ඉතින් මේ වෙරළ කරා එන රළ පෙල වෙරළ විසින් කිසිදු විචාරයකින් තොරව ආදරයෙන් වැළඳගත්තද, මේ රළ පෙලේ අතීතයවත්, ගමන් ඇරඹුනු තැනවත් මීට කලින් නතර උන තැන්වත් මේ අහිංසක වෙරළ දන්නෙ නෑනෙ. එත් එක්කම කවදාවත් වෙරළට රැල්ල හොයාගෙන රැල්ල එක්ක යන්නත් බෑ. ඒ දියඹ දකින්නත් බෑ. ඒ කියන්නෙ තමන් වෙත එන මිනිස් වෙස් ගත් තිරිසනුන් ගැන අඳුනගන්න තරම් මේ යුවතියටහැකියාවක් නෑ කියනෙකයි.

ඒ වගේම මේ කිරිල්ලිට ඉගිල්ලෙන් සොබාදහමෙන් පියාපත් ලැබුනද, ලෝකයේ දෙකලවර කිසිදින ඇයට අභිනික්මන් කල නොහැකිවනු ඇත.

පෙර කොටස් දෙක මෙන්ම ගීතයේ අවසාන කොටසද ඉතාම කදිම උදාහරණ රැසක් සමඟින් බන්දුල නානායක්කාර මහතා විසින් ලබා දී ඇත.
ලොවේ දසත බඹරු පියමනිනවා. විවිධ මල් උයන්වල නවාතැන් ගන්නවා. මල් නොතලා රොන් අරන් යනවා, සමහර විට මල් තලා පොඩිකර විනාස කර රොන් ලබා ගන්නවා. ඒත් එහෙම කරන බඹරුන්ට කවුරුත් මොකුත්ම නොකීවද, අහිංසක මල් ගොමුවටනම් එල්ලවන අපහාස, උපහාස කෙලවරක් නොමැතිවනු ඇත.

ගීතයේ අවසානයත් සමඟ සියලු දයාබර සොයුරියන්ට, යෙහෙලියන්ට පොදුවේ ඉතාම හොඳ උපදේශයක් ලබා දීමට මෙතුමා මේ ගීය යොදාගන්නවා.


"බඹරුන් පසුපස මල් දිව නොගියත්
අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ..."

කෙසේ හෝ, සමස්ථයක් ලෙස බැලූ පසු කෙටියෙන්ම ගීතයෙන් කියවෙන අර්ථය වනුයේ, දයාබර නංගියේ උඩ බලාගෙන කෙලගහන්න එපා කියනෙකයි. නමුත් බුද්ධියට ඉඩදී නුවණින් විමසූ කල මෙම ගීතය සමඟ එකඟ වෙන්න බැරිවුනත් සමාජයේ තවත් අහිංසක බිල්ලක් ගැනීමට පෙර අපි එවන් පාපතරයන් සමාජෙන් තුරන් කිරීමට හැකිනම් එයයි ඇත්තෙන්ම වටිනාකම.

වැරදි කාරයා වසර කිහිපයකින් නැවත සමජ ගත වනු ඇත. නමුදු ඔහු නිසා ජීවිතය විනාශ වූ මෙම යුවතියන්ට ජීවිත කාලය පුරාම සුසුම්ලමින් හිඳීමට වනු ඇත.

කෙසේ වුවද, ස්ත්‍රී දූෂකයාන් පිළිබඳ මාගෙ පුද්ගලික මතයනම් පැහැදිලිව සාක්ෂි සාධක සහිතව ඔප්පුවෙන මෙවැනි පාපතර වැරදිකරුවන් හට කිසිදු සමාවකින් තොරව මරණ දඬුවම ලබා දිය යුතු බවයි. මක් නිසාද ඔහු මේ තත්වයට පත්ව සිටින්නේ, අවිහිංසක තරුණ ජීවිතයක් මරා දැමීමෙනි.



එවැන්නෙකුට සමාවක් හිමි නොවිය යුතුමයි. එවැන්නන් මේ සමාජය ටුල නොසිටියම යුතු අයයි.

කෙසේ හෝ නානායක්කාරවසම්ගේ මෙම විශිෂ්ඨ පදරචනය රෝහණ වීරසිංහයන් විසින් අපූරු ගීතයක් බවට පෙරලද්දී එම ගීතයට ජීවය ලබා දෙන අතුල අධිකාරිගේ ලයාන්විත හඬ මාධූර්ය අප හදවත් ප්‍රකම්පනය කරනුයේ පුදුමාකාර ලෙසිනි. දයාබර නැගෙණියකට දයාබර සොහොයුරෙකුගේ සෙනෙහබර, අවවාදාත්මක ආමන්ත්‍රණය ගීය පුරා ඉතාම සංවේදීව රැකගැනීමට ඔහු සමත්වී ඇත.




විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි
ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි
සරදම් නොකරමි ආදරයෙන් කියමි
විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි

වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
බඳට පියාපත් යුවලක් ලැබුනත්
අහසේ දෙකලවර නුඹට දිනනු හැකිදෝ

බඹරුන් පසුපස මල් දිව නොගියත්
අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ


පද රචනය : බන්දුල නානායක්කාරවසම්
ගායනය : අතුල අධිකාරි
සංගීතය : රෝහණ වීරසිංහ



(Wisirunu Mal Pethi - Athula Adhikari)







ගීතයේ ස්වර ප්‍රස්ථාරය



ඡායාරූපය අන්තර්ජාලයෙනි.

විශේෂ ස්තූතිය : ගීතය සඳහා ස්වර ප්‍රස්ථාරයක් සොයා දුන් බ්ලොග් සහෘදයාට සහ මෙම ගීතය පිළිබඳ මගේ අවධානය යොමුකරවූ මගේ මිතුරු දීපාල් සොහොයුරා හට..


*********************************************************************************


පසුව ලියමි

වෙනදා නොවූ තරම් තරමක නිහැඬියාවකින් පසු අද මාඅ ඔබ හමුවට මේ විචාරය රැගෙන ආවද ඒතුල මා තෘප්තිමත් නොවන වගනම් පැවසිය යුතුමයි. බොහෝ අව්ස්ථාවන්හීදී මා ලියූ ලිපි පිළිබඳ හිතෙ පිරෙන පරිපූර්ණ බවක් මින්පෙර දැනී ඇතිමුත් මේ සටහන තුල මට යම් හිස් බවක් දැනේ. කෙසේ වුවද එසේ සිත මෙය නැවතත් ඩ්‍රාෆ්ට් ගොඩට තල්ලු කර දමා තවත් දින කිහිපයක් නිහඬවම සිටීමට මගේ ඇති බලවත් අකමැත්ත නිසාම මම මෙය ඔබ වෙත අදම ගෙන එන්නෙමි. කවදත් වගේ මගේ දයාබර සහෘදයන් පිරිස මගේ වැරදි අඩුපාඩු පෙන්වා දෙමින් මාව නිවැරදි මාවතට ගෙන ඒන බව මම දනිමි.

පහුගිය සති දෙක තුල මා මුහුණ දුන්  අතිශය කාර්‍ය බහුල කාලය නිසාත් අන්තර් ජාල සබඳතාවෙහි වූ දෝශ සහගත් බවත් නිසාත් ඔබෙන් තරමක් ඈත්ව සිටීමට සිදුවීම පිළිබඳ මම සමාව ඉල්ලා සිටිමි. මේ නිසාම පෝස්ට් එකක් ලිවීමට තබා ඔබේ ලිපි වලට අදහසක් එකතු කිරීමටද මා හට බොහෝවිට අතපසු විය. 

ඒසේනම් පරණ පුරුදු ලෙංගතු බවින්ම යළිත් අපි එකතුවෙමු. මේ අරාධනාව දයාබර ඔබ සැමටමයි.


Thursday, May 29, 2014

•අපි ආයෙත් හමු නොවුණා නම්

"ඉස්සර දවසක මිය ගිය සෙනෙහස..."




දෛවය පුදුමාකාර ය. නොසිතන මොහොතක කලින් නොදන්වා ම අපට කෙනකු මුණගස්වයි. ආදරණීය බැඳීම් ඇති කරවයි. යළිත් කිසිවකුට නොදන්වා ඒ බැඳීම් සියල්ල බිඳදමා එකිනෙකා දුරස්කර දමයි. ප්‍රේමකීර්ති ද අල්විස් නැමැති අපූරු රචකයා ඒ ගැන මෙසේ සඳහන් කරයි.

"දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමුවුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ"
(ගායනය වික්ටර් රත්නායක)

(Daiwayogayakin Nowedo - Victor Rathnayaka)

දෛවයේ වරදින් හෝ අන් කවර හේතුවකින් හෝ බිඳ වැටුණු ආදර සබඳතා තුළින් ඇතැම් විට දෙදෙනා ම දුක් විඳිති. ඇතැම්විට එකකු පමණක් දුක් විඳියි. මේ සියල්ල සාමාන්‍යයෙන් නිතර අපට දක්නට ලැබෙන සිදුවීම් ය.
එහෙත් දෛවය ඇතැම්විට ඉතා අසාධාරණ ලෙස කටයුතු කරන අවස්ථා දක්නට හැකිය. අජන්තා රණසිංහයන් පසුබිම් කරගෙන ඇත්තේ එබඳු දෛවයේ කුරිරු සරදමකි.

"අපි ආයෙත් හමු නොවුණා නම්
ඉස්සර දවසක මිය ගිය සෙනෙහස
යළි ඉපදි මා හද හඬවන්නට
අපි ආයෙත් හමු නොවුණා නම්"

මෙහිදී අපට මුණ ගැසෙන්නේ පරාජිත පෙම්වතෙකි. ඔහු වරෙක ප්‍රේමයෙන් පරාජිතයකු බවට පත්වුවද කාලයාගේ ඇවෑමෙන් අසීරුවෙන් හිත හදා ගනියි. බොහෝ හිත් වේදනා පහකර දැමීමට කාලය තරම් ඔසුවක් තවත් නොමැත. ඔහුගේ සිතේ තැළුණු රිදුණු තැන් සුවපත් කර කාලය විසින් මේ පුද්ගලයාගේ අඳුරු අතීතය වල දමා තිබිණි.



පරාජිත ප්‍රේමය පමණක් නොව තමා ආකර්ෂණය වූ සොඳුරු රූ සපුව පවා කාලය විසින් මකා දමමින් තිබිණි. එහෙත් නොසිතූ නොපැතූ මොහොතක, ඔහුට ඇය යළිත් මුණ ගැසෙයි. අසීරුවෙන් යටපත් කරගෙන සිටි සියලු හැඟීම් යළිත් ඇය දර්ශනය වීමත් සමඟ ඉස්මතු වෙයි. සුවපත් වී තිබුණු තුවාලය යළිඳු පෑරෙයි.
මේ කතකයා පවසන්නේ විරහ වේදනාව ඇය අඳුනාගෙන නොමැති බවයි. තම ආදරයට පිටුපා කලකට පෙර ඈත් වී ගිය ඇය කිසිදා විරහ වේදනාව නාඳුනන බවත් එය අඳුනන්නේ තමා පමණක් බව ඔහු ප්‍රකාශ කරයි. දෛවය කෙතරම් කුරිරු වීද යත් එකම විරහ වේදනාව ඔහුට දෙවරක් විඳින්නට සිදුවෙයි.

"ඔබ නාඳුනනා විරහ වේදනා
පෙරදා වින්දේ මා පමණයි
හුඟ කලකින් හමුවී සෝ ළතැවුල්
අදත් විඳින්නේ් මා පමණයි"

පදමාලාව සරල වුවද මේ මඟින් විවරණය වන මිනිස් හැඟීම් පිළිබඳ කතාන්දරය ඉතා ගැඹුරු ය. මක්නිසාද ආදරය තරම් හදවත් කම්පනය කරවන සංකීර්ණ හැඟීමක් තවත් නොමැති බැවිනි. ඔහු ඇයට ආදරය කරන්නට පටන් ගත්දා සිට සිහින දකින්නට පටන්ගන්නට ඇත. ඔහු තම අනාගතය පිළිබඳ ව සියලු සැලසුම් සකස් කරන්නට ඇත්තේ ඇය මුල් කරගෙන ය. ලෝකය ම ඔවුන් ගේ් සබඳකම දැන සිටින්නට ඇත. එහෙත් ඒ සියල්, ම ආයාසයෙන් අමතක කර දමමින් සිටින මොහොතක ඔහු වඩාත් ම ආදරය කරන රුව නැවතත් දර්ශනය වීම ඔහු තුළ විශාල කැලඹීමක් ඇති කිරීම සාධාරණ ය.

මට මගේ භද්‍ර යෞවනය සිහිවෙයි. කලකට ඉහත එක්තරා යුවතියක කෙරෙහි මම වැඩි ඇල්මක් දක්වමින් සිටියෙමි. එය ප්‍රේම සබඳකමක් තරම් දුරදිග නොගිය ද ඇගේ දසුන මට ඉතා ප්‍රියවිය. මා උදෑසන අවදිවන්නේ ඇගේ රුව දෑසේ ඇඳගනිමින. නින්දට යන්නේ ද ඈ පිළිබඳ ආදරණීය සිතුවිලි සමඟයි. එහෙත් යම් හේතු රාශියක් නිසා ඇයට සමීප වීමේ හැකියාවක් මට නොතිබිණි. එහෙත් ඇය දැකීමෙන් ද ඈ සමඟ කතා කිරීමෙන් ද මම මහත් ආස්වාදයක් ලැබුවෙමි. හිටි හැටියේ ම දුර පළාතකට වෙන්වයාම නිසා ඈ මගෙන් දුරස් විය. ප්‍රේම සබඳතාවක් නොමැති ව වුවද ඒ දුරස්වීමෙන්ලද වේදනාව මට තාමත් හොඳින් මතක ය. මුල් දින කිහිපයේ මට දැනුණේ විශාල ගලක් මගේ හදවත තුළ සිරවී තිබෙන්නාක් මෙනි. මගේ සටහන් පොතක මහගම සේකරයන් ගේ් කවියක් මම ලියා තැබීම.

"අරුණෝදයේ ළා හිරු රැස් 
මත නටන
පිණි බිඳුවක් ලෙසින් ඔබ මට 
මුණ ගැසිණ
දැඩි හිරු රැසින් මිරිකෙන්නට 
පෙර නිවෙන
පිණි බිඳුවක් ලෙසින් ඔබ 
අහසට නැගිණ"
(මහගම සේකර)

මෙවැනි කවි කීපයක් ම සටහන් පොත් අතර ලියා තැබුවා මට මතක ය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ටිකින් ටික මා තුළ පැවැති වේදනාව තුරන්වන්නට විය.

මේ සියල්ල ම අමතක වෙමින් සිටියදී වරෙක ඇය හදිසියේ ම දර්ශනය විය. පසු ව නිරන්තරයෙන් ඇස දකින අඩවියකට ඇය පැමිණ තිබිණි. පැරණි වේදනාව මා තුළ වෙනදාටත් වඩා වැඩියෙන් මතුවන්නට විය. එක්තරා රාත්‍රියක මම ඒ වේදනාව පත් ඉරුවක කුරුටු ගෑවෙමි.

පසු ව එය අමරසිරි පීරිස් විසින් ගායනා කරන ලදී. 

"ඔබ ආයෙමත් ඇවිදින්
හිත හදාගත්තා විතරයි
ඔබ ආයෙමත් ඇවිදින්”
උන්නු දා පෙර අත පොවන්නට
බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුණද 
කොයි තරම්
ඔබ නොදැක සිටි දිගු කාලයේ
නෙත කඳුළු මැකුණා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්..."

(Oba Ayemath Ewidin - Amarasiri Piries)



හමුවීම් හා වෙන්වීම් වල ස්වභාවය එයයි. ඒ රිදෙන තැන් සොයා යාමට මේ ගීතයේ රචකයා මැනැවින් සමත්වෙයි. රිදෙන තැන් පහසුවෙන් සොයාගත හැකිවන්නේ ඒ රිදුම් වලින් තැළුණු හිත් ඇති මිනිසුන්ට ය. එවිට එය කාටත් සමීප විය හැකි අව්‍යාජ නිර්මාණයක් බවට පත්වෙයි. ඒ අව්‍යාජත්වය මේ නිර්මාණයේ මනා ව ගැබ් ව පවතී. මේ හමුවීම තමන්ට කෙතරම් වේදනාවක් ද යන්න රචකයා තම නිර්මාණය අවසන් කරන ආකාරයෙන් පැහැදිලි වෙයි.

"සමුගන්නට නම් අහිමි ආදරෙන්
ආයෙත් ඇයි අප හමුවන්නේ
ආදරයේ කඳුළෙන් මිය යන්නද
ජීවිත ඉරණම විසඳෙන්නේ..."

කෙතරම් මේ සොඳුරු දර්ශනය ඇසට ගැටුණ ද, ආදරය අහිමි නම් මේ හමුවීම් වල අරුතක් නොමැති බව රචකයා දැනුවත් කරයි. එසේම ඔහු පවසන්නේ ආදරයේ කඳුළෙන් ම මියයාම, තම ජීවිතයේ ඉරණම බවයි. දෛවය දිගින්දිගට ම තමාට දඬුවම් දීම නිසා ඔහු ගේ් හදවත තදින් පැරී ඇති බව ඉතා හොඳින් පැහැදිලි වෙයි.



එක්තරා රුසියානු කෙටිකතාවක් මට මේ මොහොතේ දී සිහිපත් වෙයි. එනම් ඇලෙක්සැන්ඩර් කුප්‍රින් නම් වූ ලේඛකයාගේ "රන්මිණි වැල්ල" නැමැති කෙටිකතාවයි. මෙහි ප්‍රධාන චරිතය මිය යන්නේ ආදරයේ කඳුළෙනි. විවාහක ස්ත්‍රියකට තම සිතින් ආලය කරන ඔහු ඇගේ සෑම උපන්දිනයකදීම ඇයට වටිනා ත්‍යාගයක් තැපැල් කර යවයි. ඇය කෙදිනක හෝ ඔහු දැක නොමැත. ඇගේ සැමියා වරෙක ඔහු සොයා ගොස් තර්ජනය කරයි.
එහෙත් මේ නොදුටු පුද්ගලයා සොයාගෙන යන්නට ඇය තීරණය කරයි. ඇය ඔහු සොයා ගන්නා විට ඔහු මිය ගොසිනි. එහෙත් ගැහැනියක් ඔහු සොයා පැමිණිය හොත් ඇයට දෙන ලෙසට ලිපියක් ඔහු නිවසේ අයිතිකරුට දී තිබිණි. ඒ ලිපියේ තිබුණේ මහා සංගීතඥ බිතෝවන් ගේ සංගීත ඛණ්ඩයක ස්වර ප්‍රස්තාරයකි. තමා තුළ ඇයට තිබූ ආදරය හඳුනාගන්නට නම් ඒ සංගීත ඛණ්ඩය පියානෝවකින් වාදනය කරවා ගන්නා ලෙස ඔහු ඉල්ලා සිට තිබිණි. ආදරය එවැනි පුදුමාකාර හැඟීම්වලින් සමන්විත ය.

මේ ගීතය ගැයෙන්නාවූ හඬ ශ්‍රී ලංකා ගායන ක්ෂේත්‍රයට සුවිශේෂ වූ හඬකි. එසේම ඔහු සුවිශේෂ කලාකරුවෙකි. ගීත රචනය, තනු නිර්මාණය හා ගායනය යන සෑම ක්ෂේත්‍රයක් තුළ ම විහිදී ගිය පුළුල් ප්‍රතිභාවක් ජයමහ සතු ව පවතී.

"සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට" වැනි නිර්මාණයක් හැදෑරීම ඒ සඳහා ප්‍රමාණවත් ය.

ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ පදමාලාව වත්මන් ගීත නිබන්ධකයන්ට නිහඬ උපදේශ ගණනාවක් සපයයි. ගීත පදමාලාවක් යනු වචන ගොඩක් නොව සංක්ෂිප්ත පබැඳුමක් බව ඔහු අපට ප්‍රදර්ශනය කර තිබේ.

විරහ වේදනාව පිළිබඳ හෙට දවසේත් අප්‍රමාණ නිර්මාණ බිහිවනු ඇත. මේ ලියන මොහොතේ ද, කොතැනක හෝ කවියකු ආදරයේ විරහ වේදනාව පත් ඉරුවක කුරුටු ගාමින් සිටිනු ඇත. එසේ ම කවුරුන් හෝ ඒ වේදනාව අත්විඳිමින් සිටිනු ඇත. සෝමතිලක ජයමහගේ මේ ගීතය ගුවනින් ප්‍රචාරය වන මොහොතක එය සවන් වැකෙන හදවතක්, ආදරය මිහිරි වේදනාවක් බව වඩාත් හොඳින් පසක් කරගනු ඇත. ඔහුගේ මිහිරි වේදනාව මම ද ඔවුන් සමඟින් විඳ ගනිමි.




(Api Ayeth Hamu Novunanam - Victor Rathnayake)






(ගීත විචාරය ධම්මික බංඩාර මහතා විසිනි. ඡායාරූපය අන්තර්ජාලයෙනි.)



***********************************************************************************


මවිසින් විචාරය කරන ලද ගීත විචාරයන් දෙකකට පසුව, අද මම ඔබ වෙත සුපුරුදු ලෙසම ධම්මික බංඩාර මහතාගේ ගීත විචාරයක් ගෙන ආවෙමි.

මගේ ස්වයං ගීත විචාර කියවීමට ඔබට මඟ හැරුනි නම් මේ ඒ සඳහා පිවිසුම්ය.


(මවිසින් විචාරය කරන ලද ගීත විචාර මඟ හැරුනු අයට සමීප කොට ඔවුන්ගේ ගුණදොස් ද අසා දැනගැනීම මා හට රුකුලක් වන හෙයින් මෙලෙස ඒවාට සබැඳුම් ලබා දීම ගැන මා පාඨකයෝ උරණ නොවෙත්වා..)

අද ඔබට ගෙන ආ මෙම ගීත විචාරය තුලින් ඔබට, මෙම ගීත විචාරය රසවිඳීමට අමතරව ඔබ හට ඔබ නිතර ඇළුම් කරන ගී නිධාන කතාවක්ද රස විඳීමට අවස්ථාව ලැබී ඇත. ගීත විචාර වලටත් වඩා ඔබ මෙම ගීත නිධාන කතා පිළිබඳ දැනගැනීමට බලවත් ආශාවෙන් පසුවන බව මම දනිමි. ඉතින් මෙම ගීත විචාරය තුලම අඩංගු ධම්මික බංඩාරයන් විසින්ම විරචිත, "ඔබ ආයෙමත් ඇවිදින්" ගීතය ලිවීමට ඔහුට ප්‍රස්තුත වූ කතාව මෙහිදී ඔබට කියවා දැනගත හැක. එපමණක් නොව, ඔබට කියවා රසවිඳිය හැකි අපූරු නවකතාවක් පිළිබඳව හෝඩුවාවක්ද විචාරය තුල ඔබට සපයා ඇත. එනිසා ඔබ මෙය කියවීමට වැය කරන කාලයෙන් ඔබට පාඩුවක්නම් සිදු නොවනු ඇත.

මෙම අවස්ථාවේ ඉස්මතු කරලිය යුතු ඉතාම වැදගත් කාරණාවක්ද වේ. එනම් මීට පෙර මගේ සව්යං ගීත විචාරයක් තුලදී අප සහෘද බ්ලොග් සඟයෙකු වන අරූගේ අඩවිය ලියන අරූ අයියා මතුකල කරුණකි. ඔහු මතුකල කාරණය සාකච්ඡාවට බඳුන් කිරීමට එම පෝස්ට්ටුව ප්‍රමාද වැඩි වූ හෙයින්, මෙම පෝස්ට්ටුව තුල එය සාකච්ඡා කිරීම කාලෝචිත බව හැඟුනි. ඔහු යොදා තිබූ කමෙන්ට්ටුව මෙසේයි.


ඇත්තටම ඔහු මේ විමසුව පැනය, ගීත විචාර කියවන සහ ලිවීමට උත්සාහ කරන මටද මහත් වූ ගැටලුවක්. එනම් අප ගීතයක් විචාරය කිරීමේදී එහි පදෙන් පදේ ලිහමින් ඉතා දීර්ඝව විචාරය කල යුතුද යන්නයි. මේ දෙය පිළිබඳව මට සිතෙනුයේ, අප ගීත විචාරයක් තුලින් සිදුකල යුත්තේ පාඨකයා අසන ගීතයක් පිළිබඳ ඔහු නොසිතන ඉසව්වකට ඔහුගේ සිතිවිලි මෙහෙයවා ඔහුට නවමු අන්දමකින් ගීතයේ උපරිම රසය විඳීමට අවස්ථාව ලබා දීමයි. මෙහිදී, තරමක් ප්‍රබුද්ධ පාඨකයන් හට මෙය විඳීමට විචාරය ඉතා දීර්ඝ විය යුතු නැත. ඔවුන්ට ඉතා කෙටි වාක්‍ය කිහිපයකින් ගීතයේ අරුත පහදා දිය හැක.

එමෙන්ම ඔවුන්ට ගීතයේ රූපක නැවත නැවත් වර්ණනා කලයුතු වන්නේද නැත. නමුත්, අප සියලු දෙනාටම මෙලෙස ඉහල රසඥතාවක් නොමැත. සමහර අවස්ථාවල මෙම බොහෝ ගීත මින් පෙර රසවිඳ නොමැති හෙයින් එම ගීත බහුතරයක් දෙනාට නැවුම් ගීතයන්ය. ඉතින්, මෙවැනි අවස්ථාවල ගීත විචාරයක් ඉතා දීර්ඝව ඉදිරිපත් කිරීම තුලින් ගීතයේ රසය අනූනව ඔවුන්ගේ මනසට සම්ප්‍රේශණය කල හැකිබව මම විස්වාස කරමි.

කෙසේ වුවද මේ පිළිබඳව ඉතාම හොඳින් දන්නේ සහ ඉතාම හොඳ අදහසක් පළකල හැක්කේ මෙම ගීත විචාර රසවිඳින මගේ දයාබර යහලු යෙහෙලියන්ය. ඉතින් මං ඉතා දයාබරව ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ ඔබගේ අදහස ඉදිරිපත් කරන ලෙසයි. මෙම පෝස්ට්ටුව් සඳහා ඔබ ඉදිරිපත් කරන කමෙන්ට්ස් සඳහා මෙම කාරණාවද ඇතුලත් කරන්න. මෙය අපි සාකච්ඡාවට බඳුන් කරමු. කිසිදු අදහසක් නොකීවද මෙම කාරණය පිළිබඳ ඔබ කුමක් හෝ පවසනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තුවෙන්නමි.




ප.ලි. : බ්ලොග් අඩවියේ තේමාවට ගැලපෙන අයුරින් ප්‍රෝෆයිල් පික්චර් එක වෙනස් කිරීම කාලෝචිත බව හැඟුනු හෙයින්, බ්ලොගයෙහි තේමාවට අනුකූල වන අයුරින් පිංතූරයක් ඇතුලත් කලෙමි. 


Monday, May 26, 2014

•මිනින්දෝරු කන්තෝරුවෙ

"රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙනියේ පස් යට..."




කඩි ගුලක් සේ පොදිකමින් එළියට ඇදෙන ළමුන්ට පසුපසින් හෙමි හෙමින් ඔහු පාසැල් ගේට්ටුවෙන් පිටතට පැමිණියේය. සුරතේ වූ හම් බෑගය තුලට කණ්නාඩි කුට්ටම සහිත කුඩා පසුම්බිය දමා ගැනීමට මදක් පමා වූ ඔහු මිරිගුව නළියමින් ඉද්ද ගැසුවාක්මෙන් දිවෙන ගුරු පාරට පිය එසවූයේ ගුරු නිවහන තෙක් වූ සැතපුම් කිහිපය ඉක්මනින් ගෙවා දැමීම සඳහායි.

වියළි කලාපයේ හිසට ඉහළින් වූ ගිනියම් හිරුගේ චණ්ඩ රශ්මියට දකුණින් පැමිණි මේ ගුරුතුමා දැන් දැන් හුරු වී ඇතුවා සේය. වියළි කලාපයටම ආවේණික වූ ගිනියම් හුළඟ දහදියෙන් පෙඟුනු කමිසය සිහිල් කරමින් හමායන අයුරු විඳිමින් ඔහු දෙපස සොඳුරු දසුන් හා ගැටෙමින් හුදෙකලාවේම පියමැන්නේය.

උදේට දකින දසුන් සහ හවසට දකින දසුන් හැමදාමත් වෙනසක් නොවී තිබුනේ සිතුවම් පටක් නැවත නැවතත් නරඹන්නා සේය. සෞන්දර්යෙන් පිරුණු හිත මේ දසුන් දෙස බැලූයේ තම කවි සිතට විවිධ පදවැල් එක්කරමිනි. නුමුදු ඔහු ඒවා තම පන්හිඳට මුහු කලේ එහෙමත් අවස්ථාවල පමණි. ඒ ඔහුගේ හද පත්ලටම දැනුනු සංවේදී සිදුවීම් සඳහා පමණි.

හුලංදා ඔයට පෙම් බැඳීමට සිතට බලකරන මේ ගිනිගහන මද්දහන සතර අතින් අවි අමෝරා සිටියද තවත් මොහොතකින් පසු බැසිය යුතු වන්නේ තව මොහොතකින් හමුවන සියඹලා හෙවන නිසාවෙනි. 


ඔහු යා යුතු මගෙහි හමාරක් මේ වන විටත් නික්ම ගොස් තිබුනි. ගමනේ ඉතිරි අඩ වැටී ඇත්තේ හේන් ගම්මානය මැදිනි.මඟ දෙපස වූ කුඩා පැල්පත් සමඟ ඒවා වටකරගෙන සිටියේ වියළි හේන් බිම්ය. ඊටත් ඔබ්බෙහි වූයේ ගන වනාන්තරයයි. මෙම ගොවි නිවාස තුල සිටියේ අව්‍යාජ ගැමියන්ය. කිසිදු ලෝබකමකින් තොරව ඔවුන් ඔහු හා සිනාවූයේ අපරිමිත ගෞරවයකිනි.මෙම අහිංසක ගැමි සුවඳ ඔහු පපු කුහර තුලටම ඔබා ගත්තේ අතිශය කුළුණුබර හදවතිනි.නෙතට හුරු දසුන් සමඟින් පසුකර යන මෙම පැල්පත් සමූහය කෙළවර වන්නේ රංබණ්ඩාගේ පැල්කොටය අසලිනි. පිලට වී කුමක් හෝ කර්තව්‍යක නියැලෙමින් සිටින රංබණ්ඩා කවදත් මේ ඉස්කෝල මහත්තයා සමඟ කුලුපඟව සිනාසෙයි. නමුත් මෙදින එය තරමක් වෙනස් වී ඇත.ඔහු කම්මුලේ අතක් තබාගෙන වියළි ගිම්හානය දෙස ඔහේ බලා සිටියේය.

රංබණ්ඩාගේ මෙම ස්ව්භාවය දුටු ඔහු තුල ඇතිවූයේ තරමක කුකුසකි. එම කුකුස කතිරයට එකක් පන්නා දමා තිබූ උණ බට කඩුල්ලෙන් පැන ඔහු අසලට යෑමට තරම් බලවත් වූ හෙයිනුත්, ඇතැම් දිනවලදී පවස නිවන රංබණ්ඩාගේ ගුරුලේත්තුවේ සිහිල් දිය පහස විඳීමට ඇතිවූ පිපාසයත් නිසා ඔහු රං බණ්ඩාගේ පැල් කොටයට ගොඩවිය. නමුදු කල්පනා ලෝකයක් තුල මංමුලා වී සිටි මෙම මහල්ලා හට ගුරු මහතාගේ පැමිණීම හාන්කවිසියක්වත් නිච්චි නොවීය. කෙසේ නමුදු රැල් බුරුල් හැරි ගුරුතුමාගේ හඬ හමුවේ දැහැන්ගත ලොවින් මිදුනු මහල්ලා වහා නැඟී සිටියේ තම උරහිසේ රඳවා තිබූ ලේන්සුව දෝතින් ගෙන බුලත් කහට බැඳි දසන් කිහිපය දක්වා සිනාසුනේ ඉතාම ලෙංගතු අයුරිනි. නමුදු මේ සිනහවට සඟවාගත නොහැකිවූයේ ඔහු නෙත් කෙවෙනි තුල අරගල කල කඳුලු කැට කිහිපයයි. 

ඉතාම දයාබරව ඔහු වත්තන්කොට පසෙකින් වාඩිගත් ඉස්කෝලෙ මහතා,

"මාමේ, මොකද මේ? මාමා ලොකු හිතේ අමාරුවකින් වගේ..?" කියා ඇසුවේය.

සුසුමක් ගිනියම් වාතලයට මුදාහල මහල්ලා,

"එහෙමයි අපේ මහත්තයෝ.. මගේ පපුව වාවන්නෙ නෑ.." යැයි පිළිවඳන් දුනි.

"ඒ මොකෝ අපේ මාමෙ..? හිත සැහැල්ලුවෙයි. මට කීවනම් කාරණේ..?"

තරමක් වෙලා කල්පනාවක නිමග්න වූ මහල්ලා දිගු කතාවකට මුලපිරුවේය.

"මහත්තයෝ... අර ඈත පේනව නේද..?"

ඔහුගේ දෙනෙත් යොමුවූ දිශාවට සමාන්තරව අපේ කතානයක ගුරුතුමාගේ දෙනෙත්ද යොමුවිය. එහි වූයේ පැරණි සොහොන් කොතකි.

"ඔතන නිදාගෙන ඉන්නෙ  මගේ සුදුබණ්ඩි මහත්තයෝ. ඔය වැළලිලා තියෙන්නෙ මගේ පණ කෙන්ද. හැමදාම හැන්දෑකොරේ මං උන්දැ නිදන තැනට යනවා. බිං කළුවර වැටෙනකල් මං ඔතන ඉන්නවා.මගේ සුදුබණ්ඩි මං එක්ක ගතකරාපු අතීතෙ මට සිහිවෙනවා. පාළොස්වක පෝය දාට හඳ එළියට මේ පළාතම ලස්සනයි. එදාට මං එළිවෙනකල් ඔතනට වෙලා මගේ සුදුබණ්ඩි එක්ක කතාකරකර ඉන්නවා.. පහුගිය අවුරුදු 10ම මං ගතකලේ ඔහොම. ඒත්  මහත්තයෝ දෙතුන් දොහකට උඩදි මේ හැමදේම වෙනස් උනා.

"මගේ සුදුබණ්ඩි නිදන තැනට ටිකක් එපිටහින් අර ඈත පේන්නෙ මගෙ ලොකු පුතාගෙ ගෙදර. උන්ටත් දැන් දරුවො ඉන්නවා.. ඉතිං උන්ට දැන් ඕනිලු මේ ඉඩම කට්ටිවලට කඩල දරු මුණුපුරන්ට ලියල දෙන්න..අපි සේරම මෙච්චරකල් හිටියෙ එකම ඉඩමක.. ඒත් දැන් උන්ට ඕනිලු මේ ඉඩම මායිම් කොරල බෙදල වෙන්කොරගන්න. 

තව දෙතුන් දොහකින් මිනින්දෝරු මහතැන්ලා එනවලු මේ ඉඩම මනින්ඩ. 

අනේ මහත්තයෝ ඉඩම බෙදුවොත් මායිම වැටෙන්නෙ මගේ අහිංසකී, සුදුබණ්ඩිගේ සොහොන උඩින්. අනේ මහත්තයෝ එහෙම උනොත් මට ආයෙ මගේ සුදුබණ්ඩි ලඟට යන්න බැරිවෙයි. මයෙ පුතණ්ඩියටත් වඩා මෙහෙම කොරන්න උවමනා වෙලා තියෙන්නෙ උන්දැගෙ හාමිනේට. මගේ ලේලිට.සමහර විට උන් සොහොන කඩාදායි. මට වාවන්නෙ නෑ මහත්තයෝ. මං මගේ සුදුබණ්ඩිව තනි කලේ නෑ කවදාවත්. උන්දෑ කාටවත් කරදරයක් නැතිව සැතපිලා උන්නෙ ඔතන. තව ටික දොහකින් මාත් උන්දැගෙ ලෝකෙට යනකල් මට ඕනි සුදුබණ්ඩි ලඟට වෙලා ඉන්න විතරයි මහත්තයෝ."

දෙනෙතින් පැන ආ කඳුලු ගුලිවලට නිදහසේ තම දෙකොපුල් සිප ගැනීමට ඉඩදුන් රංබණ්ඩා ඈත පෙනෙන සුදුබණ්ඩිගේ සොහොන දිහා ඇහිපිය නොහෙලා බලා සිටියේය.



***************************************************************

වියළි කලාපයට තවත් උණුසුම් රාත්‍රියක් උදාකරමින් හාත්පස අඳුර ගිලගනිද්දී තනිකමට පෙම් බැඳි අප කතානායක ගුරුතුමා, තම කාමරය තුල සක්මන් කරමින් සිටියේ දහවල තමන් ඇසූ සංවේදී කතා පුවත යලි මෙනෙහි කරමිනි. පසෙක එල්ලා තිබූ බෝල කූඩුවත් එහි එල්ලා තිබූ කමීස කහිපයත්, කුඩා ඇඳත්, ඒ අසල වූ මේසයත්, කුඩා ලී පුටුවත් ඔහුගේ වත්කම කියාපාමින් ඔහු සමඟම පාලුවට හුරුවී තිබුණි.

මේ අතර වූ ඉඩෙහි සක්මන් කරන ඔහුට රංබණ්ඩාගේ සංවේදී කතා පුවත යලි යලිත් මතකයට වද දුන්නේ යටපත් කල නොහැකි ලෙසිනි. රංබණ්ඩා මාමාගේ කතාව ඔහුගේ හිතට ගෙනදුන්නේ මහත් වූ වේදනාවකි. ඔහු ඔහුගේ වේදනාව මුතු ඇටයක් බවට පත්කිරීමට උත්සාහ ගත්තේය. තවදුරටත් ඔහුට ඔහුගේ කවිසිත සඟවා ගත නොහැකි විය. සක්මන් කිරීම නවතාලූ ඔහු පුටුව පසෙකට ඇද, මේසයට වාඩිවිය.  

කවි උල්පතට ජීවය දුන් පන්හිඳ සුරතට ගත් ඔහු තම දින පොතේ යමක් කුරුටු ගෑවේ රංබණ්ඩා වෙනුවෙන් සදාතනික වූ මතක සටහනක් ලොවට දායාද කරමිනි.


"මිනින්දෝරු කන්තෝරුවෙ මුලාදෑණි ටික
සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනව ද
ඈ ඇහැ අරේවි යන්න හොඳයි දම්වැල් අරගෙන
තරහ අවසරයි යනව ද දම්වැල් අරගෙන

පිං ‍කුඹුරු නෙළන කාලෙට මට හීල අරන් එන
හිස විසාධියට තෙල් උලලා තොන්තුවා‍ වෙන
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙනියේ පස් යට
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙනියේ පස් යට

දෙයි හාමුදුරුවො දන්නවනම් දැන් ඈ නැති වග
තෙල් පාන වුණත් නිවා දමයි සංහිඳ පාමුල
වාවන් නෑ මේ දුරුත්ත සංසාරේ තනි මට
වාවන් නෑ මේ දුරුත්ත සංසාරේ තනි මට"

*********************************************************

ඔහු රත්න ශ්‍රී විජේසිංහයන්. නූතන යුගයේ සොඳුරුතම කවියා, ගේය පද රචකයා ඔහු බවයි මගේ හැඟීම. තම දිවි මං තලාවෙ හද සසල කල තැන් ඔහු හරි අපූරු ගීත බවට පත් කල ඔහු ඉතාම සංවේදී ප්‍රායෝගික ගීත රචයෙක්. දුෂ්කර පළාත් ගුරු සේවය තුල ඔහු ලද අත්දැකීම් ආශ්‍රයෙන් අපේ ගීත සාහිත්‍යට ඉතාම වටිනා ගී නිර්මාණ රැසක් දායාද වී ඇත. ඒ අතරින් මගේ බිසවුනේ අසාපන්, බිම්බරක් සෙනඟ ගැවසුණු, වැනි ගීත තවමත් අප රසික හදවත් ප්‍රකම්පනය කරනුයේ එහෙයිනි.

සිංහල ගීත සාහිත්‍යයේ විප්‍රලම්බ ශෘංගාර රසයේ මිහිරියාව මනාව විඳ ගත හැකි ගීත කිහිපය අතරට මේ ගීතයද අපට එකතු කරගත හැකිය. තම සෙනෙහෙවන්තිය සැතපී සිටින බිම බෙදා වෙන්කිරීමට සැරසෙන අවස්ථාවක ඒ දරුණු වේදනාව දයාබර සැමියෙකුට දැනෙන ආකාරය සහ ඔහුගේ නිස්කලංක ශෝකී ජීවිතයට එල්ලවන අභියෝගය මේ ගීතය තුලි නිරූපණය කෙරේ.

ගීතයේ ප්‍රස්තුතයට එකවරම ප්‍රවිශ්ඨ වන රචකයා මෙම කතාව, කතාවේ මැදින් පටන්ගෙන හරි අපූරු ආකාරයට මුල මැද අග ගලපයි. පළමු කොටම ඔහු මේ ආමන්ත්‍රණය කරනුයේ තම සොඳුරිය නිදන භූමිය මැනීම සඳහා පැමිණි මිනින්දෝරු කණ්ඩායමටයි. ඔහු ඔවුන්ගෙන් ඉතාම සංවේදී ඉල්ලීමක් කරයි. එනම්, ඔවුන් කිරීමට සැරසෙන කටයුත්තෙන් ඇයගේ නින්දට බාධාවෙයි. ඒනිසා පිං සිද්ධවෙයි, ඔය මිනුම් දම්වැල් ටිකත් අරගෙන යන්න පුලුවන්ද? ඔහු එසේ අසයි. එය වඩා සංවේදීව අපට දැනෙනුයේ රත්න ශ්‍රී කිවිඳු ඒ සඳහා යොදා ඇති යෙදුම නිසයි. "ඈ ඇහ ඇරේවි යන්න හොඳයි දම්වැල් අරගෙන". ඔහුට ඔවුන්ව පලවා හැරිය නොහැක. ඔහුට ඔවුන් කරන දේට විරුද්ධවිය නොහැක. එනිසා ඔහු ඉල්ලීමක් කරයි.

"මිනින්දෝරු කන්තෝරුවෙ මුලාදෑණි ටික
සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනව ද
ඈ ඇහැ අරේවි යන්න හොඳයි දම්වැල් අරගෙන
තරහ අවසරයි යනව ද දම්වැල් අරගෙන"

මීළඟට ඔහුට සිහිපත්වන්නේ තම දයාබර බිරිඳ පිළිබඳ වූ සොඳුරු මතක සටහන් පෙළකි. මේ ඔහුට ඇයගේ සෙනෙහස වඩාත්ම තදින් හදවතට දැනුනු අවස්ථා විය හැකියි. ඇය ඔහුට ඇඹුල අරන් ආව විදිය, බත් පත බෙදා අතට දුන් අයුරු, සමහර විට වෙල් නියර මත හිඳ බත් කැවූ සැටි ඔහුට යළි යළිත් මැවී පෙනෙනු ඇත. උදේ සිට අඳුරු වැටෙන තුරු, හේනේ කුඹුරෙ වෙහෙස වී ආ විට ඇය ආදරයෙන් ඔහුගේ හිස අත ගෑ හැටි, ලෙඩක් අසනීපයක් වූ විට ළඟම රැඳෙමින් ඔහුට සුවයක් වූ ආකාරය ඔහුට සිතුවම් පටක් මෙන් මැවී බොඳවී යයි. සැමියෙකුට බිරිඳගේ ආදරය වඩ වඩාත් දැනෙනුයේ මෙවන් අවස්ථාවල බවයි මගේ හැඟීම.ඔහුට එලෙස සැලකූ, ඔහුට එතරම්ම දයාබර වූ, ඔහුගේ දිවියට නිබඳ සෙවනැල්ල වූ මේ රත්තරන් දෑත, මේ රත්තරන් සෙනෙහස, මේ රත්තරන් ගැහැණිය තමයි අද මේ විදියට දෙණියේ පස් වලට යටවී සිටින්නේ.

ගීතයේ මෙම කොටසේ අවසන් පැදිපෙල දෙවතාවක් ඉතාම හැඟීමබරව ගායනා වන්නේ ඔහුගේ මෙම හැඟීමෙහි ඇති කටුක වේදනාව රසික අප හදවත් තුලටද මනාව සම්ප්‍රේෂණය කරමිනි.

"පිං ‍කුඹුරු නෙළන කාලෙට මට හීල අරන් එන
හිස විසාධියට තෙල් උලලා තොන්තුවා‍ වෙන
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙනියේ පස් යට
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙනියේ පස් යට"


ගීතයේ අවසාන කොටසින් ඔහුගේ තනිකම, සුදුබණ්ඩි නැති ඔහුගේ ජීවිතයේ අසම්පූර්ණ බව වඩාත් තීව්‍ර ලෙස නිරූපණය කොට ඇත.


"දෙයි හාමුදුරුවො දන්නවනම් දැන් ඈ නැති වග
තෙල් පාන වුණත් නිවා දමයි සංහිඳ පාමුල
වාවන් නෑ මේ දුරුත්ත සංසාරේ තනි මට
වාවන් නෑ මේ දුරුත්ත සංසාරේ තනි මට"

සංහිඳ යනු දෙවියන්ට පුද පූජෝපහාර පවත්වන, දෙවියන් උදෙසා බාරහාර වෙන ස්ථානයයි. එසේත් නොමැතිනම් ගෙපැලක පහන් පැලයි. කෙසේ හෝ සංහිඳ යනු දෙවියන් උදෙසා වන පූජනීය ස්ථානයි. නමුත් රචකයා පවසනුයේ දෙවියන් උනත් දන්නවා නම් ඇය නැතිවග, දෙවියන් දන්නවානම් ඇය නොමැති ලොව තුල ඔහු හුදෙකලා වී ඇති ආකාරය, තම පුදසුනේ, එනම් සංහිඳ පාමුළ දැල්වෙන පහන වුවද දෙවියන් විසින් නිවාලනු ඇති බවයි. 

අනෙක් අතට ඇය මෙම නිවසේ පහන වී සිටි අවධියේ, සංහිඳ අසල ඇය පහනක් දල්වන්න ඇති. ඇය නොමැති මෙම පරිච්ඡේදයේ ඔහු එම අඩුව පුරවන්නට ඇත. නමුත් දෙයිහාමුදුරුවො ඇය නැතිවග දන්නවා නම් ඒ දල්වන පහන වුවද නිවාලනු ඇත යන්න විය හැකියි මෙහි අදහස. තවද මේ බැරෑරුම් ප්‍රකාශය තුල ඇයගේ චරිතය පිළිබඳව, නෝඑසේනම් පතිනියක ලෙස ඇගේ උතුම බව පිළිබඳව නිරූපණය වනවාද වියහැක.

කෙසේ වුවද ඔහු පවසන්නේ ඇය නොමැති මෙම ජීවිතය කෙසේ වත් ඔහුට තව දාරගනු නොහැකි බවයි. ඔහු දකින්නේ ඇයගේ නික්ම යාම තුලින් ඔහු සංසාරය පුරාවටම තනි වූ බවකි, අසරණවූ බවකි. 
"වාවන් නෑ මේ දුරුත්ත සංසාරේ තනි මට" 
වියලි කලාපයේ දුරුත්ත කෙතරම් කටුකදැයි එහි වෙසෙන්නෝ දනිති. අනෝරා වැහි වැටෙන, කටුකතම සීතලෙන් පීඩා ගෙන එන මෙම සීත සමය ඉතාම කටුක අවදියකි. එක දිගට දින හතක් දිවා රෑ වහින හත් දුරුත්තේ සීතල ඔබ විඳ ඇතිනම්, අන්න ඒ සීතලේ කටුක බවටයි රචකයා ඇය නොමැති ඔහුගේ ජීවිතය උපමා කරනුයේ.

කෙසේ වුවද, අවසාන වශයෙන් පැවසිය හැක්කේ ඔහුගේ සුදුබණ්ඩි නිදා සිටින ඉඩම, ඇගේ සොහොන මතින් බෙදා වෙන්කල හැකි වුවද, මේ සෙනෙහෙවන්ත යුවලගේ සෙනෙහස මිනින්දෝරුවන්ට, නීතියට පමණක් නොව, සොබාදහමට වුවද බෙදා වෙන්කල හැකිවේද?




(Minidoru Kanthoruwe - Karunarathna Divulgane)





(සියලු ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි.)


                ගීත විචාරය,
                                                        -මනෝෂ් සඳරුවන් (සඳුමල්)




***************************************************************************


මා දයාබර පාඨක සහෘදයන්හට ඉතාම සතුටින් පවසන වගනම්, අද මා ඔබ වෙනුවෙන් මේ ගෙන ආවේ මාගේ තුන්වෙනි ස්වයං ගීත විචාරයයි.


 මෙය වෙනදා ඔබට ගෙන එන ගීත විචාරයට වඩා තරමක් වෙනස් ආකාරයෙන් ඉදිරිපත් කිරීමට සිතුවේ මෙහි නිදාන කතාව, එනම් ගීතය නිර්මාණය කිරීමට වස්තු බීජය සැපයූ සිදුවීම පිළිබඳ මා අසා ඇති හෙයින් එය ඔබටද වඩාත් රසවත්ව රසවිඳීම සඳහායි. මගේ එම උත්සාහයේ සාර්ථක බව හෝ අසාර්ථක බව තීරණය කිරීම රසික ඔබට අයිති කර්තව්‍යයකි. කෙසේ වුවද මෙහිලා මා පැවසිය යුතු වැදගත්ම කරුණ නම් ඉහත කතාන්දරය මුලුමනින්ම මගේ හිතලුවකට අනුව මවිසින් නිර්මාණය කරන ලද්දකි. එනිසා එය සත්‍ය සිදුවීමෙන් කෙතරම් දුරස්ථදැයි මම නොදනිමි. අවශ්‍ය වූයේ වඩාත් රසවත් අයුරින් ඔබට මෙය විඳීමට අවස්ථාව ලබා දීමයි. නමුත් ගීතයේ උත්පත්ති කතාවේ, නොමැතිනම් මා හඳුන්වන ආකාරයට නිදාන කතාවේ මූලිකම හරය මෙම කතාව ගොඩනැගීමට ප්‍රස්තුත වූ සිද්ධිය බව ඔබට පවසනුයේ වගකීමෙනි. එම නිදාන කතාව මා මීට කලින් අසා ඇත්තෙමි. ඒ අනුව මෙම කතාව තරමක් ආලවට්ටම් දමා ඔබ වෙත ගෙන ඒමට උත්සාහ කලෙමි.

මෙහි නිර්මාතෲවරයා.. ඒ සොඳුරුතම මිනිසා.. රත්න ශ්‍රී විජේසිංහයන් පිළිබඳ මේ අවස්ථාවේ මම කිසිවක්ම පැවසීමට උත්සාහ නොකරන්නෙමි. මෙම අසහාය ගේය පද රචකයාණන්, කවියන්, මේ සංවේදී මනුෂ්‍යයා පිළිබඳව කතාකිරීමට මට කිසිසේත්ම මෙම ඉඩ ප්‍රමාණවත් නොවේ. ඔහු වෙනුවෙන් ලිපි පෙලක්ම සැකසිය යුතුය. එම ලිපි පෙල ඔබ වෙත අනාගතයේ දිනක තිලිණ කිරීමට මම බලාපොරොත්තුවන්නෙමි. එතෙක්, ඔහු පිලිබඳ ලියැවුනු අගනා ලිපියක් වෙත දැන් මම ඔබව යොමු කරමි. මෙම ලිපිය මගේ බ්ලොග් අඩවියෙහි මුල් කාලීන ලිපි අතර පවතින ලිපියකි. කියවීම සඳහා මෙතනින් යන්න.

මෙම පද රචනයට ජීවය දෙමින් එය ගීයක් බවට පත් කලේ, මෙහි පාට තැවරූයේ තවත් ඉතාම සොඳුරු මිනිසෙකු වන සංගීතය : එච්.එම්.ජයවර්ධනයන්ය.

පොළොවේ පයගසා හිඳිමින් උදාරතර මිනිසෙකුගේ අත් උදවුවෙන් මිනිසුන් අතරින් බිහිවූ මෙම ගායකයා පිළිබඳ මම කිසිවක්ම නොලියමි. ඔහු අපට ඉතිරිකල මෙවන් සොඳුරු නිර්මාණ කිහිපයකට පසු ඔහු අප හැරදා බොහෝ දුර ගොස් ඇත. එනිසා අද ඔහු අප අතර නැත. ජනතාව වෙනුවෙන්, ජනතාවගේ දුක ගැන සමාජයට උගන්වන්න යැයි ඔහුට ගුරුහරුකම් ඔහුට අද ඒ යුතුකම අමතකව ගොස් ඇති සැටියකි.

අවසාන වශයෙන්, මේ ඔබට මං ගෙන ආවේ ප්‍රිය සෙනෙහෙවන්තියගේ මරණීය වියෝවෙන් ප්‍රකම්පනයට පත් වූ තුන්වෙනි සෙනෙහෙවන්තයාගේ ශෝකාන්තයයි. මෙහි පළමුවැන්න ධම්මික බංඩාරන්ගේ විචාරයක් ලෙසින් පළකල "ඇය යන්න ගියා මැකිලා" ගීතයයි. ඉන් අනතුරුව ඔබ වෙත ගෙන ආවේ මගේ පළමු ස්ව්යං ගීත විචාරය වූ, "පබළු නගේ" ගීතයයි.  මේ තුන් වැන්නයි. එනිසා මෙම විරහ රසය දැන් ඔබ ඕනිවටත් වඩා විඳ ඇතැයි සිතමි. එනිසා තව දුරටත් මේ හා සමාන ගීත ඔබ වෙත ගෙන ඒමට උත්සාහ නොකරමි.

එසේනම් දයාබර මිතුරු මිතුරියනේ මේ ආරාධනය ඔබටමයි. එන්න රසවිඳින්න. ඔබගේ අදහස් පවසන්න. ඔබේ යෝජනා, චෝදනා සහ විවේචන ඉදිරිය සඳහා ඉතාමත්ම අගනේය.