"සිහිල් සුළඟක දැවටුණ ආදරය..."
ආදරය ස්පර්ශ කළ නොහැකිය. එය කොහේ හෝ තිබේ. කායික ස්පර්ශයෙන් තොරව මනෝ ලෝකයේ සැරිසරන ආදරය පිවිතුරු ය. සුන්දරය විචිත්‍ර ය. හමන සුළඟක, දිය ඇල්ලක, ගලන ගඟක, මිටියාවතක, ඒ පිවිතුරු ආදරය රැඳෙයි. එය සුළඟක් වගෙයි. නොපෙනෙයි. එහෙත් දැනෙයි.
එන්න, අපි සුන්දර කඳුකරයේ කඳු මුදුනකට ඇවිද යමු. අපි පුංචි ගලක් උඩ වාඩි වෙමු. මෙන්න සීතල සුළං රැල්ලක්, හඳුනනා හෝ නාඳුනනා කෙනකුගේ සුපුරුදු හෝ නුපුරුදු සුවඳක් ඒ සුළං රැල්ලේ දැවටී තිබේ. හදවත කිතිකවා සලිත කිරීමේ ජීව ගුණය ඒ සුළං රැල්ලේ රැඳී තිබේ. එන්න ඒ සුවඳ ස්පර්ශ කරන්න. ඒ තමයි ආදරය. එය දැනෙන්නට හරින්න. අතින් අල්ලන්න එපා.
"සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ..."
මා මේ ගීතය ශ්රවණය කළේ මගේ පාසල් සමයේ. ආදරය පිළිබඳ ව අත්දැකීම් නොතිබුණත් රත්නපුරයේ කුඩා කඳුගැටයක් මතට වී මා මිතුරන් පිරිසක් සමඟ මේ ගීතය ගායනා කළ බව මට මතකයි. එදා හමා ආ සීතල සුළං රැල්ලක නුපුරුදු සුවඳක් තිබුණ බව මට තාමත් සිහි කළ හැකියි. නොතිබුණු ආදරයක් මේ ගීයත් සමඟ එදා හොඳට ම දැනුණා. ඒ අතීතය තාමත් මතක ඒ තරම්ම සුන්දර නිසයි. මේ ගී පද අමතක නොවෙන්නෙ ඒ නිසයි.
"සුදු වැලි කතරේ
පිපුණු මල වගේ
ලොව්තුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව් ලොවක් වේ"
ආදරය වූ කලී වැලි කතරට සෞම්‍ය පුෂ්පයක් මැයි. දිවිකතරට එය මල් වරුසාවක් මැයි. ජීවිතයේ දාහය නිවාගෙන දෙපා දොවා ගලායන ගංගාවක් මැයි. මරු කතර දෙව් ලොවක් කරන සුන්දර කවියක් මැයි. මට ධර්මසිරි ගමගේ ශූරීන් ගේ පද පෙළක් සිහි වෙයි.
"හද විල කලඹන පෙම් ජල රේඛා
ඒ විල මැද සීතල සඳ රේඛා
දෑසෙහි තවරා ආදර රේඛා
ඔබ රුව සීනෙන් හඳ ඇඳි රේඛා"
(ගායනය - නන්දා මාලිනි)
(Hada Vila Kalambana - Nanda Malini)
ආදරය රොමැන්ටික් ද? ඇත්තෙන් ම ඔව්. යථාර්ථය කටුකයි. එක වහලක් යට දරුමල්ලන් හදාගෙන, තුන්වේල පිරිමසා ගෙන ජීවත්වෙනකොට ජීවිතයේ යථාර්ථයට මුහුණ දෙනවා තමයි. එතකොට දෙදෙනෙක් අතර ඇතිවෙන්නෙ බැඳීමක්. එවැනි හැල හැප්පීම් තුළ රොමැන්ටික් හැඟීම්වලට ඉඩක් නෑ. නමුත් ඒ රොමැන්ටික් හැඟීම තරම් සුන්දර දෙයක් ලෝකෙ තවත් නෑ. මොකද කියන්නෙ?
"සීත හිමව්වේ
කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා
ඈත හිමේ කඳු අතරේ පාවෙන
අමා සුවය පැතුවේ..."
නැවත අපි කඳු මුදුනකට ගොඩ වදිමු. ඈත කන්දකින් පහළට රූරා හැලෙන් පුංචි දිය ඇල්ලක් ඔබට පෙනෙනවා ඇති.
අන්න ඒ දිය ඇල්ල මීදුමෙන් වැහෙනවා. මීදුම තුනී වෙනකන් ඉම්මු. මේ වගේ තැනකට වෙලා ජීවිතයේ මතක කවුළු විවර කරන කොට දුක සතුට මුසු සීතලක් දැනෙනවා. ඒ සීතලට ඇඟේ හිරිගඩු පිපෙනවා. ආදරය කියන්නෙ අන්න ඒ වගේ හැඟීමකට නේද?
"වරලස අක් බමරුන් රැඳි රේඛා
දෑසෙහි නිලුපුල් මල් පෙති රේඛා
දෙතොලෙහි ආදර හසරැලි රේඛා
ඔබ රුව සීනෙන් හද ඇඳි රේඛා"
(නන්දා මාලිනි)
ජීවිතය ප්රශ්න පත්රයක් තමයි. බහුවරණ, රචනා, ව්යුහගත ප්රශ්න ජීවිතය තුළ තියෙනවා. නමුත් සුන්දරත්වය අත්විඳින්න මේ කිසිවක් බාධා නොවෙයි. ඉතින් මගේ මතකය වසර තිහක් ඈතට දිව යනවා. මං මේ ගැන නිතරම කියනවා. අවුරුදු දාසයේදී මං ගෑනු ළමයකුට ලියුමක් දුන්නා. ගෑනු ළමයා ඒක ඉරල විසි කළා.
"
"මගේ කවිය ඉරා දැමු කුමරියේ
බිම නොදමා කියවනවානම්
සඳ ළඟ තරු දෙකක් වගෙයි ඔය ඇස් දෙක
මගේ දිහාවට හැරිලාවත් නොබලන
සුළඟ දිගේ පාවී යයි නිල් වරලස
වැදීමෙන් වත් මගෙ සියොලඟ නොහැපෙන
ළා දලු චාමර සලනා ඔය අත් දෙක
පෙරුම් පුරාගෙන හිටියත් මට නොලැබෙන
සංසාරේ කවදා හෝ යම් දවසක
එක මොහොතක් උදාවේ ද නුඹ හිමිවන"
මම උස ම උස කඳු මුදුනක වාඩිවී සිටිමි. ඈත කන්දකින් කඩා වැටෙන දිය ඇල්ලක් මට පෙනෙයි. වයස අවුරුදු දාසයේ දී මගේ කවිය ඉරා දැමු ඇය මට සිහි වෙයි.
(Sihil Sulan Relle - Victor Rathnayaka)
උපුටා ගැනුම : සිඵමිණ පුවත්පතෙහි පුන්කලස අතිරේකය සඳහා ධම්මික බණ්ඩාර මහතා විසින් ලියන ලද ලිපියකිනි.
"කියවල ඉවර වෙලා අදහසක් එකතු කරල යන්න පුලුවන් නම් ඒක මට ලොකු ශක්තියක්..."
මගෙත් කැමතිම විෂය ,,,,,,
ReplyDeleteසගීතය හා විචාරය ...
Music is the common language of UNIVERSE...
ReplyDelete