Pages

Sandumal

Sandumal

Sunday, July 13, 2014

•අවසන් හුස්ම පොද නොබියව හෙළන්නට

"මේ රළු පොළොව ජය ලැබුවෙමි වැතිර වැටී...අද මා මළත් හෙට මා උන් සුවඳ ඇතී..."





අද මේ කතාව කොහොමහරි ඉවරකරන්නෝනි. ඒ නිසා අද ලිපිය කොච්චර දිග උනත් කතාවෙ අවසානයට ළඟාවෙලා තමයි අදනම් මේ ලිපිය හමාර කරන්නෙ. මොකද ගීත විචාර, ගී සංවේදනා වලට වෙන් වුන මගේ බ්ලොග් එක මේ කතාව නිසා වෙනත් මාවතකට යොමුවූ බවයි මගේ අදහස.

කලින් කොටසෙදි කිව්වනේ මං කුඩාම කාලයේ අපි ජීවත් උන ගම ගැන. වගාව ගැන. මේ ගම ඇත්තෙන්ම ජීවත්වීමට සුදුසු ගමක් උනේ නෑ. ගේ වටේටම මුලු ගමේම හිටියේ බේබද්දො. කොයිවෙලාවෙත් බඹරු වගේ. ඒ ගමේ ගෑනු මිනිස්සු හැමවෙලාවකම හොඳ වචන වෙනුවට කතාකලේ කුණුහරුප. කටින් පිටවෙන හැම වාක්‍යකම පරුෂ වදන් දෙක තුනක් නම් වැරදුනේම නෑ. ඒ නිසාම ඒ ගමේ බහතෝරන කුඩා දරුවෙකුට හැදෙන්න පුලුවන් වාතාවරණයක් තිබුනෙම නෑ. මේ කාරණා නිසාම අකැමැත්තෙන් උනත් අම්මයි තාත්තයි දෙන්නම තීරණය කලා තමන්ටම කියල ගත්ත මේ ඉඩමත්, එහි තමන්ගෙම කියල හදාගත්ත ගේ පොඩ්ඩයි දෙකම විකුණන්න.

ඉතින් ඔන්න ඔය විදියට අපි ආයෙමත් කුලී නිවසකට වැටුණා. හැබැයි මේ ගෙදරනම් අපි හදාගත්ත අපේම ගෙටත් වඩා බොහොම ඉස්තරම්ව තිබුනා. හොඳට ගඩොලින් බැඳලා කපරාරු කරපු උළු වහපු කාමර තුන හතරක් තිබුන "ලොකු" ගෙදරක්.  ඒ සොරබොර වැව පාරේ. ඒ ගෙදර අයිතිකාරි උනේ "කුමී" ඇන්ටි. කුමී ඇන්ටි හිටියේ රට. ඒ ඇන්ටිගේ සැමියා මැරිලා. මැරිලා කිව්වට එයා දිවිනහගෙන. අපිට ඒ කුලියට දුන්නු ගෙදරම තමා ඒ මාමා වහබීල මැරිල ඉඳලා තියෙන්නෙත්. ඒත් මගේ අම්මවත්, තාත්තවත්, මංවත් බය උනේ නෑ එහේ ඉන්න.

මේ ගෙදර ගෙවුන ජීවිතය වටකරගෙනත් මගේ පුංචි මනසේ සිතුවම් ගොඩාක් ඇඳුනා. ඒ මතකයන් හරිම විවිධාකාරයි. සංවේදීයි, විහිළුයි, දුකයි, සතුටුයි, බයයි ඒ වගේම සමහර ඒවා ගුප්තයි. අම්මගෙයි තාත්තාගෙයි අප්‍රහති ධෛර්‍ය නිසාම මේ වෙනකොට අපේ ජීවිත ටිකක් සරලවෙලා තිබුනේ. ඒ කියන්නෙ එහෙමකට කියල දුකක් මේ කාලේ අපිට තිබුනේ නෑ. හැබැයි ඉතින් අම්මගෙයි මගෙයි ජීවිතේනම් ගෙවුනෙ පුදුමාකාර පාලු මූසල ගතියකින්. හැමදාම හවස හය වෙනකොට අපි පටන්ගන්නවා පෙරමඟ බලා සිටීම. තාත්තා එනකල්. මිදුලෙ තිබුනා උසම උස කුඹුක් ගහක්. ඒ ගහේ අත්තකට දාල අපූරු ඔන්චිල්ලාවක් හදලදුන්නා තාත්තා.

ඉතින් හවසට අම්මා ඔය ඔන්චිල්ලාවෙ වාඩිවෙනවා. මාවත් ඔඩොක්කෙට අරං එයා මඟබලං ඉන්නවා තාත්තා එනකල්. ඒ ඉන්න ගමන් එයා මට ලස්සන කතන්දර කියල දෙනවා. එයා ලස්සන සිංදු කියාදෙනවා. ඒ නිසා පුංචි කාලෙ ඉඳලම මගේ කටේම තිබුන සිංදු කිහිපයකුත් තිබුනා.

ආච්චිලා සීයලා, නැන්දලා මාමාලා, අයියලා අක්කලා, කවුරුවත් නැතිව තට්ට තනියම හැදෙන එක ලේසි පාසු කටයුත්තක් නෙවෙයි. ඒක මහ පුදුම තනිකමක්. ඒ තනිකමේ තරම ගෙවුන අතීතෙට වඩා  අතීතෙ සිහිපත් කරන වර්ථමානයේදී මට වැඩි වැඩියෙන් දැනෙනවා.

ළඟ සිටිය යුතු ඥාති පිරිස වෙනුවට ළඟම හිටියෙ අල්ලපු ගෙදර හිටපු අන්කලුයි, ඇන්ටියි. එයාල තරමක් වයසයි ඒ කාලෙත්. අම්මයි තාත්තයිත් ඒ දෙන්නට කිව්වෙ අන්කලුයි ඇන්ටියි. මං කිව්වෙත් ඒකමයි. එයාලට දරුවො කීපදෙනෙක්ම හිටියා. ඒ කාලෙ එයාල ඉස්කෝලෙ යනවා. අම්මා ගෙදර නැතිවෙලාවට මාව අදරෙන් බලාගත්තෙ ඒගොල්ලො තමයි. ඒ අතරින් ටෙක්ලා ඇන්ටි විශේෂයි. එතකොට එයා උසස්පෙල කරනවා. එයා තමයි ළමා කාලෙ මගේ හොඳම යෙහෙළිය. අම්මා පොලට ගියාම, අවශ්‍යතාවකට ටවුමට ගියාම ටෙක්ලා ඇන්ටි තමා මාව බලාගත්තෙ. අදටත් මතකයි මට එයාලගේ කඩුල්ල ළඟ තිබුන ටර්පන්ටයින් ගහ යටට වෙලා අම්ම එනකල් මඟ බලමින් අපි දෙන්නා කන් කන් බූරු..සිං සිං නෝරු.. කරපු හැටි. ඒ ගහේ දිගටි කොලවලින් නලා හදල පිම්බ හැටි. අම්මට හොරෙන් දුවල ගෙදර ගිහින් බිස්කට් සේරම අරන් ඇවිත් අපි දෙන්නත් එක්ක කාපු හැටි. ඉතින් මේ ටෙක්ලා ඇන්ටි තමයි මගේ පළමු යහලුවා. අදනම් ඇය ගොවිජන සේවා නිළධාරිණියක්. අද ඇයට එදා හිටපු මටත් වඩා ලොකු ළමයිනුත් ඉන්නවා. ඒත් අදත් මේ සොඳුරු මිනිසුන් හමුවුනාම අතීතේ මේ රසබර සිදුවීම් කඳුලු පුරෝගෙන අපි මතක් කරනවා.

අංකලුයි ඇන්ටියි මට පුදුම ආදරෙයි. ඒ අයට ඒ කාලේ පොඩි දරුවො හිටිය නැති නිසා මාව එයාලගේ හුරතලා උනා. මේ නිසාම සොරබොර ගෙවුන ළමා කාලය මට එච්චර දුකක් දැනුනෙ නෑ. හැමදාම වගේ මං රෑට කෑවෙ එහෙන්. කොහොමත් දවසම වගේ හිටියෙ එහෙට වෙලා. ඇන්ටිගේ ටකරං වහපු කුස්සියේ සීයෙ බල්බ් එක යටට වෙලා පරිප්පුයි බතුයි කාපු අතීතේට මං පුදුම ආදරෙයි. ඒ කුස්සියෙන් හැමදාමත් ආවෙ හරිම අමුතු සුවඳක්. ඒ සුවඳ බඩගිනි හැදෙන සුවඳක්. වැව් මාලු වේලලා හදන බට්ටො කරවල තෙල්දාලා, පරිප්පුත් එක්ක බොහෝ වෙලාවල මයියොක්කා කොල මැල්ලුමත් එක්ක ඇන්ටි බෙදා දෙන බත් එකේ රහ මේ දැනුත් මට මතක් වෙනවා. ඒ රහ ජීවිතේ කවදාවත් වෙන කිසිම දේකින් මට දැනිලා නෑ.

ඊළඟ ඉරිදා එහේ ගියානම් හොඳයි කියල හිතෙනවා. ඔයාලත් එක්ක මේවා කියනකොට මට ආයෙමත් පෙරේත කමක් ආවා.

ඒ දවස් වල අපි නෑවෙ ඇලෙන්. සොරබොර වැවෙන් ගලාගෙන ආව වතුර. කොලපාටින් ගලාගෙන එන ඇලේ වතුරට වෙලා නානකොට දැනෙන සනීපෙ නාලම බලන්නෝනි. ලියන්න ගියොත් තව මහා ගොඩයි. ඒ නිසා හිතට එන සේරම මේ වෙලාවෙ ලියන්න බෑ. කාලෙ තව තියෙනවානේ. ඉස්සරහට වෙන වෙනම කතා ලියන්නම්.

මේ කාලෙ වෙද්දි මං මොන්ටිසෝරි යනවා. මං අර කලිනුත් කිව්වෙ, මගේ කකුල් කලුවෙයි කියලා තාත්තා කවදාවත් මාව පයින් යැව්වෙ නෑ. ඉතින් උදේට මාව ලෑස්තිකරගෙන අම්මයි තාත්තයි දෙන්නම යනවා. තාත්තා වැඩට යන්න යන ගමන් අම්මයි මාවයි බස් එකට ඇරලවනවා. මං මොන්ටිසෝරි ගියේ පූජානගරෙ සර්වෝදෙට. මහියංගණ පංසල ඉස්සරහා. අදටත් තියෙනවා. පස්සෙ කාලෙ මගේ මල්ලි ගියෙත් එහෙට. කවදහරි මගේ දරුවොත් ඒකටම යයි. දෛවය කොච්චරනම් පුදුමාකාරද. ලොකු ටීච තාමත් ඉන්නවා. තාමත් ඒ විදියමයි. හැමදාමත් ජීවිතේ ගෙවෙන්නෙ හිච්චි එවුන් එක්ක නිසාද මංද මටනම් ඇය එදා විදියමයි. වයස ගිහින් නෑ.

ඔන්න ඉතින් දැන් ලොකු ටීච ගැනයි මගේ මොන්ටිසෝරි ජීවිතේ ගැනයි ලියන්න හිතෙනවා. ඒ නිසා හරිම අමාරුවෙන් මඟඇරලා යන්නම්. කියන්න ආවේ උදේට මොන්ටිසෝරි ගිය හැටිනේ. ඉතින් තාත්ත වැඩට යනකොට ඒ එක්කම මාවත් අරං අම්මත් යනවා. ඉතින් මාව පයින් ඇවිද්දන්නෙ නැතිනිසාම තාත්තා මාව වඩාගෙන තමයි යන්නෙ. සොරබොර ගෙදර ඉඳල මහියංගන බස් ස්ටෑන්ඩ් එකට කිමී දෙකකටත් වැඩියි. ඔය දුරම තාත්තා මාව වඩාගෙන එනවා. ඇවිත් මාව බිමින් තියන්නෙ බස් එකේ පඩිය උඩින්. සීට් තිබ්බොත් මාව සීට් එකක වාඩිකරවලම තමයි ඔහු ආපහු යන්නෙ. එහෙම යන වෙලාවට එයා අම්මට කියන දේ මට මේ දැනුත් ඇහෙනවා.

"නිලූ, පුතාව හවසටත් අමාරුවෙන් හරි කමක්නෑ වඩාගෙනම එක්ක යන්න. අනේ පයින් එක්කන් යන්නෙපා. පේනවනේ කකුල්..රෝසම රෝස පාටයි.."

එදා ඒ වචන වල මට එච්චරම දෙයක් දැනුනෙ නෑ. ඒත් අද මේ වචන මතක් වෙනකොට මට ඇඬෙනවා. මට මගේ තාත්තගෙයි අම්මගෙයි ආදරේ මහමෙරක් වගේ දැනෙනවා. කෙනෙක්ට හිතෙයි මේවා මහා බොළඳ දේවල් කියලා. ඒත් මේ තාත්ත කෙනෙකුගේ අපරිමිත දරු සෙනෙහස.. අම්මා කෙනෙකුගේ අසීමාන්තික දාරක ප්‍රේමය.

ඉතින් මාව මොන්ටිසෝරියට දාන අම්මා මාව ඇරෙනකල් ඉන්නවා එකොළහ හමාර වෙනකල්. මං වගේම මොන්ටිසෝරි එන මගේ යාලුවන්ගෙ අම්මලත් එක්ක ඇය ඉන්නවා මාව ඇරෙනකල්. මේ ගොඩක් දවස් වල ඇය උදේට කාල එන්නෙත් නෑ. මොකද කන්න වෙලාව මදි. ඒ කියල කඩෙන් කන්න ඈට සල්ලි තිබුනෙත් නෑ. නොතිබුනාම නෙවෙයි, ඇය එහෙම වියදම් කලේ නෑ. මේ නිසාම ඇය ගෑස්ට්‍රයිටිස් රෝගියෙක් උනා. අදටත් ඇය ඒ රෝගෙන් පීඩා විඳිනවා. ඒ මං නිසා. මට උගන්නන්න ඇය කරපු කැපකිරීම් නිසා. රජයේ හොඳ රැකියාවක් කරන්න ඇයට ලැබුන අවස්ථා කිහිපයක්ම ඇය මඟහැරියේ, ඇය විස්වාස කලා ඇයත් රැකියාවකට හිර උනොත් මට හොඳට උගන්නගන්න, මාව යහපත් මනුෂ්‍යයෙකු කරන්න ඇයට බැරිවෙයි කියලා. ඕනිතරම් අධ්‍යාපන සුදුසුකම් තියෙද්දිත් ඈ ගෙදරටම සින්න උනේ මං ගැන හිතලා. මං වෙනුවෙන්. ඇය ඉතාම හොඳ ගුරුවරියක්. ශිෂ්‍යත්වය වෙනුවෙන් අනිත් අම්මමා එයාලගේ දරුවො රට වටේ ටියුෂන් එක්ක යද්දි මගේ අම්මා මාව කොහෙවත් නොයවා මට උගන්නව්වා. මං ඉතාම ඉහළින් විභාගෙ පාස් උනා. ඕලෙවල් දක්වාම ඇය මට ඉගැන්නුවා. ඒ දවස් වල හවසට අපේ ගෙදර තනිකරම ටියුෂන් එකක් වගේ.

ඉතින් මොන්ටිසෝරි ඇරුනම අපි ගොඩක් වෙලාවට මහියංගනේට එන්නෙ ඒ වෙලාවට එතනින් යන මහියංගන බදුල්ල බස් එක, චාන්දනී ට්‍රැවල්ස් බස් එකේ. ඒක දම් පාට හරි ලස්සන බස් එකක්. අදනම් ඒ බස් එක නෑ. ටවුමෙන් බැහැල තාත්තා කිව්ව විදියටම අම්මා මාව ගෙදරටම වඩාගෙන එක්ක එන්නෙ. ඒ එන මඟ ගෙවල් කිට්ටුවම වගේ කඩයක් තියෙනවා. අපි කිව්වෙ කජු ගහ යට කඩේ කියලා. ඔය කඩෙන් අම්මා මට යෝගට් එකක් අරන් දෙනවා. පරණ සිසිල් ෆ්‍රිජ් එකකින් අරන් දෙන ඒ මහවැලි යෝගට් එකේ රහ, සුවඳ මේ දෑනුත් මට දැනෙනවා. ඒ රහ අද වෙන තුරු වෙන කිසිම කඩේක කිසිම යෝගට් එකකින් මට ආයෙ දැනිලා නෑ.


ආයෙත් අතීතෙට. ඔන්න ඔහොම කාලෙ ගෙවුනා.ඔය අතරේ තාත්තා එයාගෙ පළවෙනි "වාහනේ" ගත්තා. ඒක බයිසිකලයක්. කඩේට ගිහින් අලුතින්ම ගෙනාපු දිලිසෙන එකක් නෙවෙයි. එයා වැඩකරපු ගරාජ් එකේ වීසිකරල දාල තිබුන බයිසිකල් ෆ්‍රේම් එකක් හොයාගෙන ඒකට අනිත් අඩුම කුඩුම ටිකත් සෙට් කරලා එයාම හදාගත්ත එකක්. ඉතින් එතනින් පස්සෙ නම් එයාට වැඩට යන එන එක ටිකක් ලේසි උනා. මට මතකයි, ඉස්සර තාත්තාත් එක්ක බයිසිකලේ නැඟලා මායි අම්මයි තුන්දෙනාම එහෙ මෙහේ ගිය හැටි. ඒවනම් ඇස්වලාට කඳුලු උනන පුදුමාකාර මතකයන්.

කාලෙකට සොරබොර වැව හිඳෙනවා. ඒ කාලෙට ඇලේ වතුර නෑ. අපි නාන්න යනවා මහවැලි ගඟට. දවසක් අම්මයි මායි නාලා ගෙදර එනවා. ඒ එනකොට තාත්තා වැඩ ඇරිලා බයිසිකලෙන් ගෙදර එනවා. අපිව මගදි හම්බ උනේ. ඉතින් එයා අපිවත් බයිසිකලේ නංගගත්තා. අම්ම පිටිපස්සෙ ලගේජ් එකේ. මං ඉස්සරහා බාර් එක උඩ. ඉතින් ඔහොම එනකොට එකපාරටාම මගේ කකුලක් වේගයෙක් කැරකෙන ඉස්සරහ රෝදෙ ස්පෝක් කූරු අතරෙ හිරවුනා. කකුල ඇඹරිලා ගියා. තුන්දෙනාම වැටුනා. මගේ කකුල හොඳටම තුවාල වෙලා ඇඹරිලා ගිහින්. මං අඬනවා හොඳටම. ඒත් ඊටත් වඩා අඬපු කෙනෙක් හිටියා. ඔව් ඒ මගේ තාත්තා. එයා අඬනවා හොඳටම. වටේ පිරුණ මිනිස්සුන්ටත් පුදුමයි. මගේ තාත්තා කියන්නෙ කලු ගලක් වගේ හයිය හිතක් තියෙන මිනිහෙක්. ඒ ඇස්වල කඳුලක් ඉණුවේ එහෙමත් කලාතුරකින්. පිදුරුතලාගල කන්ද වගේ සවිමත් මනුස්සයෙක්. මහා පුදුමාකාර දරාගැනීම ශක්තියක් තිබුනා, යකඩෙන් හැදුන මනුස්සයෙක්. එහෙව් තාත්තා එදා ඉකි ගගහ ඇඬුවා. කකුල් කැතවෙයි කියල මාව පයින් නොයවපු තාත්ත පොඩිවෙලා ලේ ගලන මගේ කකුල දිහා බලං ඉන්නෙ කොහොමද. අදටත් ඒ සිදුවීම මතක් කරන්නෙ ගොඩක් අමාරුවෙන් මං.

සොරබොර කුලී ගෙදර ගෙවුන මගේ ළමා කාලයත් මට මතකයන් ගොඩක් ඉතිරිකරපු සොඳුරුතම නවාතැනක්. අදටත් සොරබොර වැව පාරෙ යන ඔබට සොරබොර පාරට හැරෙන හංදියේ ඉඳලා කිමී දෙකක් විතර ගියාම පාර අයිනෙම දකුණු පැත්තෙන් තියෙන ඒ නිවස දකින්න පුලුවන්. අදනම් ඒකෙ කවුරුත්ම පදිංචි නෑ. ඒ ලස්සන මගේ ගෙදර එන්න එන්නම ගරාවැටෙනවා දැන්.

ඉකමනට ඉවරකරන්න බලන්නම්. ඉතින් මේ අතරේ ආයෙමත් අපේම කියල ඉඩමක සුවඳ අපේ හදවත් වලට සමීප උනා. මහියංගන-පදියතලාව පාරෙ, මහියංගනේ ඉඳල කිමී තුනක් විතර දුරින් 47 කණුවෙ තිබුන ඉඩමක් ගැන තාත්තගේ කණට වැටිලා තිබුනා. මිලත් බොහොම අඩුවට. ඉතින් අම්මයි තාත්තයි ඉඩම බලන්න ආවා. දම්බරාව වැව පාවුල තිබුන බොහොම ලස්සන ඉඩමක්. ඉතින් දෙපාරක් හිතුවෙ නෑ තාත්තා ගත්තා ඒ ඉඩම. ඔන්න සංධිස්ථානය. මං මේ දැන් අකුරු ලියන්නත් ඒ පිං බිමේ ඉඳලයි.

ක්මනට වැඩ පටන්ගත්තා. කාලයක් මේ පළාතෙ අපිත් දැන් පුරුදුකාරයෝ නිසා හොඳ යාලුවෝ පිරිසක්, මිනිස්සු පිරිසක් හිටියා අපි වටේ. ඒ නිසා වැඩ ටික ලස්සනට කෙරුණා. බොහෝම ඉක්මනින් ලස්සන ගේ පොඩ්ඩ්ක් හදාගත්තා. මට තාම මතකයි..සොරබොර ගෙවපු අන්තිම දවස.. එදා පාන්දර පහට අම්මා මාව ඇහැරවලා මාව ලෑස්තිකලා. එදා දත් මදිනකොට හරිම ලස්සනට, පහන් තරුව පායලා තිබුනා. අම්මා මට ඒ ගැන කියල දුන්නා. ඒ නැවුම් දවසෙ අපි අලුත් වාසස්ථානෙට ආව පදිංචියට.

එතනින් එහාට ජීවිත මංපෙතේ මල් පිපුණා. පාර ලස්සනට හැදිලා තිබුනා. ජීවිතේ පියවරින් පියවර ඉස්සරහට ගියා. හැම දේම මෙතන ලියන්නෙ නෑ මේ වෙලාවේ. කෙටියෙන් කියන්නම්. මේ වෙනකොට මං එක වසරේ. ඒ කියන්නෙ ඉස්කෝලෙ යනවා.

කාලය වේගෙන් ගෙවුනා වසර ගනනාවක්. ඔය අතරෙ මල්ලිත් අපි අතරට ආවා. 

ඔයාලට මතකද ඉස්සරම දවසක්... මගේ අම්මට මාව ලැබෙන්න ඉන්න කාලේ.
අර පාං ගෙඩියෙ සිද්දිය.

එතනදි මං ඔයාලට නොකියපු දෙබසක් තිබුනා. ඇත්තටම ඒක ඒ දෙන්නගේ රහසක්. ඒකයි එතන නොකීවෙ. දැන් තමයි ඒක කියන්න හොඳම වෙලාව. අන්න එදා.. දරාගන්න බැරි දුකින් ඒ දෙන්නා එකිනෙකාට තුරුල්වෙලා අඬාවැටුණ එදා මගේ තාත්තා මගේ අම්මට පොරොන්දුවක් දීලා. ඇය ඒ පොරොන්දුව අධිෂ්ඨානයක් කරගෙන. එදා මගේ තාත්තා අම්මට මෙහෙම කිලය තියෙනවා.

"නිලූ..මං මැරෙන්න මොහොතකට කලින් හරි ඔයාට ඔයාගෙම කියලා ගරාජ් එකක් මං දාල දෙනවා."

ඔන්න ඔහොමයි කියල තියෙන්නෙ. ඉතින් මගේ තාත්තා ඒ පොරොන්දුව ඉෂ්ඨ කලා. මගේ අම්මගේ අධිෂ්ඨානය මල්පල ගැන්වුනා. ඔව් තාත්තා, තාත්තගේම කියල ගරාජ් එකක් විවෘත කලා. ඉතින් ඔහු ඔහුගේම ව්‍යාපරයක හිමිකරුවෙක් උනා. ඇය ගරාජ් හිමියෙක්ගේ බිරිඳක් උනා. ඒ ලස්සනම දවසේ, අවුරුදු 10ක් වින්ද දුක් තුනී වෙනකල් ඒ දෙන්න සතුටු කඳුලු හෙලුවා. අන්න එදා මගේ තාත්තා මගේ අම්මට තවත් පොරොන්දුවක් දුන්නා.

"නිලූ..ඔන්න මං ඔයාට මීට අවුරුදු 10කට කලින් වෙච්ච පොරොන්දුව අද ඉෂ්ඨ කලා. මං අද ඔයාට තව පොරොන්දුවක් දෙනවා. මේකනම් මට මැරෙන්න කලින් කරනවා කිලය කියන්න ඕනිවෙන්නෙ නැතිවෙයි. මගේ ඊළඟ හීනෙ තමයි ඔයාට කාර් එකක් අරන්දෙන එක"

ඉතින් මේ හීනෙත් අම්ම එයාගෙ අධිෂ්ඨාන මල්ලට දාගත්තා. කිව්ව වගේම තාත්තා ඒ හීනෙත් ඊට අවුරුදු 10කට පස්සෙ ඉෂ්ඨ කලා.

මං දන්නෙ නෑ මේවා බ්ලොග් වල ලියන්න හොඳද නරකද කියලා. ඔයාල මාව කොහොම තේරුම් ගනීද කියලා. ඒත් මට මේ පටන්ගත්ත කතාව ඉවරකරන්නෝනි.

ඉතින් ඔන්න ඔය විදියට අපේ ජීවිත සාර්ථක උනා. ඒ මගේ තාත්තගේ අප්‍රතිහත ධෛර්‍යයෙනුත්, මගේ අම්ම තුල ජීවත් උන ශ්‍රේෂ්ඨ කළමණාකාරවරියගේ උත්සාහයනුත්. අද මගේ තාත්තා එයාගේ කාර් එක පදවගෙන මීට අවුරුදු විසිගානකට කලින් අතේ සතයක් නැතිව හිඟන්නෙක් වගේ රස්සාව හොයාගෙන ගිය ගරාජ් එකටම යනවා කාර් එකේ මිකෑනික් රෙපයාර් වලට. ලොකු බාසුන්නැහේ අදත් එදා වගේම ඉන්නවා. හැබැයි කාර් එකෙන් බැහැල ලොකුබාසුන්නැහේ ළඟට යන්නෙනම් ආඩම්බර සලුපිළි පොරවගෙන මාන්නෙන් හිස උදුම්ම්මාගත් පණ්ඩිතයෙකු නොව, එදා ඈත අතීතයේ හැන්දෑවට දෙකට තුනට නැවිල ඔළුව කසමින් රුපියල් හැත්තෑපහක් ඉල්ලගන්න ගියපු දුප්පත් තරුණයා විදියටමයි. ලොකුබසුන්නැහේට මගේ තාත්තා එදා දක්වපු ගෞරවය අදත් නොඅඩුවම ඔහුළඟ තියෙනවා. අදත් සිංහල අවුරුද්දට තාත්තා බුලත් අතක් අරන් යනවා ඔහුට කතාකරන්න. කාර් එකේ වැඩක් ඉවරවෙලා ට්‍රයල් එකක් යනකොටවත් තාත්තා අදත් පැකිලෙනවා ඔහු සමඟ ඉදිරිපස අසුනේ එකට ඉඳගෙන යාමට.

මටනම් හිතෙන්නෙ ඔහුගේ මේ තිබුන අති ශ්‍රේෂ්ඨ මානුෂීය ගුණාංගයන් තමයි තාත්තාගේ දියුණුවේ රහස. ඉතින් මේ විදියටම ඒ වයසක ලොකුබාසුන්නැහෙත් තාත්තට සලකන්නෙ තමන්ගෙම දරුවෙකුට තරම් සෙනෙහසින්. තාත්තා කෙනෙක් තමන්ගෙ පුතාට දක්වන ආදරය මට ඔහුගේ දෑසින් පේනවා.

හ්ම්.. මට හිතෙනවා දැන් මේ කතාව ඉවරකරන්න කාලය ආවා කියලා. කොහොමත් මේ මහියංගනේ පුරාවට මට තියෙන්නෙ මගේ අතීත පියසටහන්. එදිනෙදා ජීවිතයේ දකින හැම සිදුවීමක්ම මාව අරන් යන්නෙ මගේ අතීතයට. පහුගිය දවසක මං බයික් එකේ යනකොට මං දැක්ක දසුනකින් මගේ යටි හිත හඬා වැටුණා. ළමුන් දෙදෙනෙකු හා තම දයාබර බිරිඳ සමඟ පාපැදියක් නැඟී යන තරුණ පියෙක් මං ගියපු පාරෙම මගේ ඉස්සරහට ආවා. අනේ එකපාරටම පාරෙ තිබුන වලකින් බයිසිකලේ වැටුනා. ඒ ගැස්මට අර අම්මා බයිසිකලෙන් බිමට වැටුනා. ඇගේ නිකට තුවාල වෙලා ලේ ගලන්න ගත්තා. අකුණක් ගැහුවා වගේ මගේ හිත දුවලා ගියේ එදා මගේ තත්තා මාවයි අම්මයි එක්ක බයිසිකලේ යද්දි මගේ කකුල ස්පෝක් කම්බි අස්සෙ ගිහින් අපිව ඇදගෙන වැටුන සිදුවීම වෙතටයි. ඉතින් මං මොහොතකටවත් පැකිලුනේ නෑ ඒ අහිංසක යුවලට උදවුකරන්න.

කාරෙකේ මං යද්දි පාර අයිනෙ බස් එකට ඉන්න මනුස්සයෙක්ව නංගගන්න මට කවුරුත් කියල දෙන්නෝනි නෑ. වැහි දවසක මං පාරෙ යනකොට මගේ වාහනේ රෝදවලින් වීසිවෙන මඩ පාරවල් ගැන මට කවුරුවත් කියල දෙන්නෝනි නෑ. මොකද මං පුංචි කාලෙ වැහි දවස් වල පාරෙ ගිය කාර් වලින් ඕනි තරම් මඩ වතුර නාල තියෙනවා. දූවිලි පාරවල් වල මං වේගෙන් වාහනේ පදවගෙන ගියොත් මට පිටිපස්සෙන් පාරෙ ඉන්න මිනිස්සුන්ව දූවිල්ලෙන් නෑවෙන බව මට කවුරුත් කියල දෙන්නෝනි නෑ. කියන්න ගියොත් මේ වගේ තව මහ ගොඩයි. මගේ ජීවිතේ මං පාඩම් ඉගෙනගත්තෙ මගේ අතීතෙන්. අපේ දුප්පත් කමෙන්.

මං පොලොවෙ පය ගහල ඉන්න මනුස්සයෙක් කරපු ඒ සුන්දරතම අතීතෙට මං මගේ පණටත් වඩා ආදරෙයි. අපි බිංදුවෙන් නැඟිටපු මිනිස්සු. ඒ නිසා මේ දැන් අපි ආයෙමත් බිංදුවට වැටුණත් අපිට කිසි ප්‍රශ්නයක් නෑ. මොකද දුක් විඳින්න අපිට අමුතුවෙන් ඉගෙනගන්න ඕනි නෑ. අදටත් අපි මහා සල්ලි කාරයෝ නෙවෙයි. හරිම සරල දුප්පත් මිනිස්සු. ඒකයි අදත් මගේ තාත්තා වැල්ඩිං ගහන්නෙ. අනුන්ගේ වාහන යට රිංග රිංග ඒවල ඉරුණු තැන් පාස්සන්නෙ. මෙන්න මේ පම්පෝරියත් පොඩ්ඩක් ගහන්නම්. අදටත් නුවරින් මෙහාට, බදුල්ලෙන් බිබිලෙන් මෙහාට, දෙහිඅත්තකණ්ඩියෙන් මෙහාට, අම්පාරෙන් මෙහාට ඉන්න හොඳම වෑද්දුම් ශිල්පියා මගේ තාත්තා. හැබැයි තියෙන්නෙ නම් බොහොම පුංචි ගරාජ් එකක්.

වැඩක් නැතිවෙලාවට ඒක ගරාජ් එකක්ද කියල හිතාගන්නත් බෑ. මොකද මං හදල දීපු ඩිජිටල් බෝඩ් එකත් මේ ළඟදි හුළඟට ගැලවිලා ගිහිල්ලා.

මේ ළඟදි මං වැඩකරපු තැන මගේ යාලුවෙක් මට මෙහෙම කිව්වා. උඹ මහ පුදුම මිනිහෙක් බං. උඹ වෙලාවකට කාර් එක එලවගෙන යනවා. තව වෙලාවක බයික් එකේ යනවා. හිටපු ගනක් කිලෝමීටර් ගනන් ගිනි අවුවෙ පයින් යනවත් මං දකිනවා.

ඉතින් ඒ තමයි මගේ හැටි. ඒ තමයි මං ලබපු පන්නරය. ඒ තමයි මගේ අතීතයෙන් මං ලබපු දායාදය. මට ඕනි දුරක් පයින් යන්න පුලුවන්. කන්න දෙයක් නැතිවුනොත් ගහක හැදෙන කොස් ගෙඩියක් තම්බගෙන හරි ජීවිතේ ගැටගහගන්න පුලුවන්. ඉස්සර මං ඉස්කෝලෙ දෙකේ පංතියේ විතර ඉන්න කාලෙ අපිට ටීවී තිබුනෙ නෑ. ඒත් පංතියේ මගේ යාලුවන්ගෙ ගෙවල් වල තිබ්බා, උන් හැමදාම රෑ අට හමාරෙ කතාව බලල ඇවිත් ඒ විස්තර පංතියේ කතාවෙනවා. ඉතින් මං පුලුවන් තරම් මඟ ඇරලා ඉන්න බලනවා. මොකද එව්වා ගැන කතාකරන්න එව්වා බලන්න මට ටීවී නොතිබුන නිසා. ඒ කාලෙ මට තිබිච්ච පුංචි මනසත් එක්ක මට එයාලට කියන්න ලැජ්ජයි ගෙදර ටීවී එකක් නෑ කියලා. ඒ නිසාම බැරිම අවස්ථාවක එයාලගෙන්ම අහුලගත්ත කෑලි දෙක තුනක් කියල මාත් ඒ කතා බලපු ගානට රඟපාපු අවස්ථා අනන්තයි ඒ පුංචි ජීවිතේ. ඉතින් මෙහෙම ගමනක් ආපු මට අද සාර්ථකත්වයේ හිනිපෙත්තෙ හිටියත් අදටත් හැමදාටමත් උලත් එකයි, පිලත් එකයි.

කොහොම උනත් පුංචි කාලෙ ඉඳලම ඥාති හිත මිත්‍රාදීන්ගෙන් දුරස් වෙලා පවුලෙ හතර දෙනා එක්ක විතරක් ගෙවුන පාලු හුදෙකලා ජීවිතයක් මට තිබ්බා හින්දද මංද අදටත් මං වඩා ප්‍රියකරන්නෙ තනියම ඉන්න. ඒ කිව්වෙ මං මගේ ජීවිතේට කෙනෙක්ව ලංකරගන්නෙ එහෙමත් වෙලාවක විතරයි. ඒ නිසාම මගේ ලෝකෙ මට සමීපතමයන් අදටහ් ඉන්නෙ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. ඒ මාව තේරුම් ගත්ත මං වගේම අය. මං එහෙම හදාගත්ත මගේ ලෝක සීමාවෙන් ඇතුලට කෙනෙක්ව ලේසියෙන් ගන්නෙත් නෑ මං. පාලුවට මං අදටත් හරිම ආදරෙයි. පුංචි කාලෙ ඉඳලම අම්මයි තාත්තයිත් මාව ගෙදරම හදපු නිසා වෙන්නැති සමාජානුයෝජනය මගෙන් ගොඩක් ඈතයි. මේවා මගේ අඩුපාඩු. මං උත්සාහ ගන්නවා ඒවා නිවැරදිකරගන්න.

කොහොම හරි රුපියල් තුන්සීයකුයි, ඇඳුම් බෑග් එකකුයි අරන් නුහුරු බිමට පයගහපු මගේ අම්මගෙයි තාත්තගෙයි මේ කතාව තමයි මං මගේ ජීවිතේ අහපු හොඳම සාර්ථකත්වයේ කතාව. මේ තම්යි මගේ ජීවන පරමාදර්ශය.

ඉතින් ගී සංවේදනාවලින් ගොඩක් ඈතට යන්න මට සිද්ධ වුනා. ඒත් මං ඒකට කැමති නෑ. ඒ නිසා මේ වගේ දේවල් මෙච්චර දිගට ආයෙ මේ බ්ලොග් එකේ නොලියවෙයි. ගී සංවේදනා, ගීත විචාර කියවන්න ආව ඔබට මේ වෙච්ච අලකලංචියට සිය දහස්වාරයක් මං සමාව ඉල්ලනවා. රජ මැදුරක ගීතයට සංවේදනාවක් ලියන්න ගිහිල්ල තමයි මේ හැමදේම උනේ.

කොහොම උනත් මගේ අම්මයි තාත්තයි වෙනුවෙන් මං මේ ගීතය මෙතන ලියලා තියන්නම්. මං හිතනවා මහපොලොවෙ පයගහලා, කාටවත්ම අතනොපා තමන්ගේම වෙර වීරියෙන් ගොඩනැඟුනු මගේ අම්මටයි තාත්තටයි මේ ගීතය උපහාරයක් වෙයි..




අවසන් හුස්ම පොද නොබියව හෙළන්නට
සිවු  රියනේ  හිත  සතුටින් නිදන්නට
මිනිසකු  විලස  ඉපදුණු  පල දකින්නට
පුළුවනි  මරණ   මංචකයේ   වුවද මට

දහදිය දිය උනේ නෑ මාලිගාවල
කඳුළැලි වැටුනෙ නෑ නිවටුන් දෙපාමුල
ගත හැඩි දැඩි උනේ ළඳුවල කැලෑ වල
කරගැට මතු උණේ නගුලට උදැල්ලට

මහ කෙත් රණ බිමට වැද  ගෙන  උදලු කෙටී
මේ රළු පොළොව ජය ලැබුවෙමි වැතිර වැටී
ඒ ජය මට නොවෙයි නුඹටයි ඉපිද නැතී
අද මා මළත් හෙට මා උන් සුවඳ ඇතී

පද රචනය : සුනිල් ආරියරත්න
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : අබේවර්ධන බාලසූරිය


(Awasan Husma Poda - Abewardana Balasooriya)







(ඡායාරූප අන්තර්ජාලයෙනි)