Pages

Sandumal

Sandumal
Showing posts with label ගීත විචාර. Show all posts
Showing posts with label ගීත විචාර. Show all posts

Friday, May 23, 2014

•වියලී ගිය දෙතනේ නැත කිරි බිඳුවක් එරුණේ

"කප පවතින තුරු නොනිමෙන සුසුමෙන් සමුගැනුනේ"





ශ්‍රී ලංකාව යනු ඉතාම දරුණු ලෙස සාමාජීය හා ආර්ථික වශයෙන් පරිහානියට පත්ව ඇති තවමත් සංවර්ධනය වෙමින් පවතින තුන්වන ලෝකයේ රටකි. කවුරුන් විසින් කිනම් ආශ්චර්‍යක් ගැන කතාකලද කටුක සත්‍ය වන්නේ මෙයයි. මෙම දූපතෙහි වාසය කරන්නන් වශයෙන් අප අත් ඔසවා ඉතා නිහතමානීව මෙම සත්‍යය පිළිගත යුතුය. අද මවිසින් ඔබවෙත ගෙන එනු ලබන ගීතයේ සාකච්ඡා වනුයේ මෙම සමාජ ක්‍රමය තුල අපේ සමාජය මුහුණ පෑ සහ මේ මොහොත වනතුරුත් මුහුණ පාන්නාවූ කටුක ඛේදවාචකයක එක් පැතිකඩකි.

සාකච්ඡා කලයුතු බොහෝ කරුණු කාරණා ඇති බැවින්ද, එම කරුණු ගීතය තුලම සාකච්ඡා කිරීම වඩා සුදුසු හෙයින්ද අපි ගීතය සඳහා යොමුවෙමු. දයාසේන ගුණසිංහ නම් වූ අදීන මාධ්‍යවේදියා අතින් බිහිවූ, ගුණදාස කපුගේ නම් මානවවාදී ගායකයාණන්ගේ සහ අප හදවත් තුල සදා අමරණීයව සිටින් ගී කෝකිලාවක් වන විශාරද මාලිනී බුලත්සිංහලයන්ගේ හඬ පෞර්ෂ්‍ය මුහුවූ මෙම ගීතය ඛෙදනීය සමාජ ව්‍යසනයක් පිළිබඳ හඬ නඟනුයේ රසික අප ප්‍රකම්පනයට පත් කරමිනි. ඒ.. පවතින බිඳ වැටුනු ආර්ථිකය හමුවේ අවිහිංසක දියණියකට අහිමිවන සදාතනික මව්පිය සෙනෙහසත්, අසරණ යුවලකට අහිමි වන දාරක සෙනෙහසත්ය.

"වියලී ගිය දෙතනේ නැත කිරි බිඳුවක් එරුණේ
වැහැරී ගිය උකුලේ නැත සුව යහනක් සැදුනේ
කප පවතින තුරු නොනිමෙන සුසුමෙන් සමුගැනුනේ
හිරු ගිලිහෙන මොහොතක නුඹ මඟ අයිනක රැඳුනේ"

දයාබර පියෙකු මේ පවසන්නේ කිනම් වූ ශෝකාන්තයක්ද. අලුත ළදරුවෙකු බිහිකල තම ආදරණීය ප්‍රියාවිය දෙස ඔහු බලා හිඳියි. ඔහුට දිස් වන්නේ නැවුම් ක්ෂීරයෙන් පෝෂණීයව පිරිපුන් වූ ළය මඬලක්ද? තම සිඟිති දියණිය වෙනුවෙන්ම පේවී සිටින තොටිල්ලක් වන්වූ සුවපහසු උකුල්තලාවක්ද? නැත. ඔහුගේ නෙතට දිස් වන්නේ කිරි කඳුලකුදු නොම එරුණු වැහැරී ගිය ළපැත්තකි. දර ඉපලක් සේ වැහැරී ගිය උකුල් තලයකි. ඇගේ පියබඳ තම දයාබර දියණියට සුව යහනක් නොවන බව ඔහු දනී. ඇයව පෝෂණය කිරීමට තබා තම බිරියට යන්තම් පණ ගැටගසා ගැනීමට තරම්වත් හයියක් ඇයට නැතිබව ඔහු දකී. ඇයට මෙසේ වූයේ මංද. ඔහුට ඇයව පෝෂණය කිරීමට තරම් සවිමත් ආර්ථිකයක් නොමැති වීමයි. සමහර විට ඔහු කුලී කරුවෙක් වියහැක. නැතිනම් නාටාමිවරයෙක්, කම්කරුවෙක්, කරණවෑමියෙක්, කතුරු මුවාත් තියන්නෙක්, සපත්තු මසන්නෙක් හෝ මේ කුමන ආකාරයේ හෝ පීඩිත පංතියේ මිනිසකු වන්නට ඇත. එනම් ඔබේත් මගේත් පංතියේ මිනිසෙකු වන්නට ඇත. කෙසේ හෝ ඔහු දුප්පතෙකි. ඔහුගේ මෙම දුප්පත් බවට ඇත්තටම වගකිව යුත්තේ ඔහුද? නැත්නම් ඇයද? නැත්නම් මේ උපන් ලේ කිරි කැටියාද? එසේත් නොමැතිනම් රට කරවන න් අපට දායාද කල සමාජ ක්‍රමයද?

කෙසේ හෝ ඇයටත්, ඔහුටත් වැටහෙන කරුණ නම් මේ සිඟිත්තිය ජීවත් කරවීමට තරම් වත්කමක් තමන්ට නොමැති බවයි. තමාට අත්වී තිබෙන මේ නිරාදුක, මේ පීඩිතභාවය ඇයට අත්වනු දැකීමට, මතු යම් දිනෙක ඇයද මේ නරාවලට ඇදවැටී දුක් විඳිනු දැකීමට, මේ උතුම් මාපිය යුවල කැමති නොවෙත්. ඒ අනුව අවසානයේ ඔවුන් ගන්නා තීරණය කුමක්ද? කෙතරම් දුකක් වුවද දරාගත නොහැකි වුවද ඔවුන් අමාරුවෙන් හෝ ගත යුතුම හොඳම තීරණය ගනී. ඒ ඇය කෙරෙහි ඔවුන්ගේ හදවතෙහි පිරී ඉතිරී යන ආදරය නිසාම වේ. ඒ අපරිමිත සෙනෙහස වෙනුවෙන් ඔවුන් ඔවුන්ගේ සතුට කැපකරති. ඔවුහු දුක දරාගනිති.

දියණියගේ අනාගත සුබසිද්ධිය උදෙසා ඔවුන් ඇගෙන් ඈත් වී ඇයට සුන්දර ලෝකයක් තනාදීමට තීරණය කරයි.

"කප පවතින තුරු නොනිමෙන සුසුමෙන් සමුගැනුනේ
හිරු ගිලිහෙන මොහොතක නුඹ මඟ අයිනක රැඳුනේ"

දියණියගේ වෙන්ව යාම ඔවුන්ට එසේ මෙසේ දුකක් නොවේ. එය කල්පය පවතින තුරුත් නොනිමෙන වේදනා ගින්නකි. එසේ වුවද ඒ ගින්නෙහි දැවෙමින් ඔවුන් තම දියණිය අතහැර යයි.




මෙම අතැර යාම රචකයා පවසන අයුරු තරමක් සංකීර්ණ බවයි මගේ හැඟීම. එම පැදියෙහි අඩංගු සරල වචනාර්ථය සැලකූ කල රචකයා පවසන්නේ මෙම මාපිය යුවල මේ සිඟිත්තිය මඟ අයිනක දමා යන බවකි. නමුත් ගීතයේ මීළඟ කොටස අසන විට දරුවා මඟ අයිනක දමා ගියද, ඔවුන් දරුවාගේ ඉරණම, එනම් දරුවා කා සතු වූවාද යන වග හොඳින් දන්නා බව පෙනේ.

මෙම යුවල තම සිඟිත්තාට දක්වන අසීමාන්තික සෙනෙහස ගීතය පුරා දක්නට ලැබෙන හෙයින් ඔවුන් මේ බිලිඳා මෙලෙස මහමඟ දමා යනු ඇතැයි සිතිය නොහැක. සමහර විටෙක ඔවුන් තම බිළිඳා මහ මඟ අයිනක තබා ඇය නිරුපද්‍රිතව කා අතට හෝ පත් වන තුරු සැඟව බලා සිටියා විය හැක. නමුදු මෙම වචන කිහිපය තුල ඉන් එහා ගිය වඩා ගැඹුරු අරුතක් පවතී යැයි සිතීමට මා වඩා කැමතිය. මා විස්වාස කරන අන්දමට රචකයා "හිරු ගිලිහෙන මොහොතක" යන ප්‍රකාශයෙන් අර්ථගැන්වීමට උත්සාහ කරනුයේ එම දයාබර සිඟිත්තිය පත්ව ඇති අසරණභාවය, පිළිසරණක් නොමැති බව වීමට හැකිය.

හිරු නොමැති ලොවක් යනු කිසිදු ජීවයක් නොමැති පිළිසරණක් නොමැති ඉසව්වකි. මීළඟට "මඟ අයිනක රැඳුනේ" යනු ඒ සිඟිත්තියගේ ජීවිතයට එල්ලවී ඇති තර්ජනය විය හැක. මහ මඟක් යනු සෑම විටම දූවිල්ලෙන්, පීඩාවෙන් සහ යනෙන වාහන වලින්, මනුසතුන්ගෙන් අනාරක්ෂිත වූ ස්ථානයකි. ඇගේ ජීවිතයට පවතින අනාරක්ෂිත බව නිරූපණයට රචකයා මෙම සංඛේතය යොදාගත්තා විය හැක. එම නිසාම මෙම තත්වය තුල ඇයව හදා ගැනීමට වෙනත් දෑතකට ඔවුන් විසින් බාරකලා වියහැක. වඩාත්ම සාර්ථක අර්ථදැක්වීම මෙය විය හැකි බවයි මගේ අදහස.




කෙසේ හෝ මේ සදාතනික මවුපිය සෙනෙහසින් ඇයට වෙන්වීමට සිදුවෙයි. පවත්නා විශම සමාජ ක්‍රමය විසින් දරු සෙනෙහස මාපියන්ගෙන් ඈත්කරනු ලැබේ.

මෙම සමාජ ඛේදවාචකය ඉතාම මැනවින් ගීතයේ මීළඟ කොටසින් නිරූපණය කරයි.

"උපන් බිමට නුඹ වැඩිවා මිසක දුවේ
වැදූ මවට නුඹ වැඩියක් වේද දුවේ
දුක උහුලා ඉන්නට මට හැකිය දුවේ
නැවු නැඟිලා දුරු රටකට යන්න දුවේ"

මේ අහිංසක මාතාව මේ පවසන්නේ කුමක්ද? ඇය හඬ නගා මෙසේ පවසයි. "මගේ රත්තරන් දුවේ අසරණ අම්මට සමාවෙයන්. උඹව මෙහෙම දෙන්නෙ උඹේ අම්ම වෙච්ච මට උඹව වැඩිවෙලා නෙවෙයි. උඹව වදාපු උඹේ අම්මට උඹව වැඩියක් නෙවෙයි. ඒත් දුවේ මේ රටට උඹ වැඩියිලු. මේ රටට උඹ බරක්ලු. ඒකයි දුවේ උඹව මෙහෙම වෙන දෑතකට දෙන්නෙ. මගෙ රත්තරන් වෙනුවෙන් මං මගේ දුක කොහොමහරි උහුලගෙන ඉන්නම්.  උඹව බර වැඩි මේ රටින් පිටමං වෙලා පලයං මගෙ දුවේ.."

මේ තමයි මේ අසරණීගෙ විලාපය. තමන්ගෙ දයාබර දියණියගේ මුව මඬල අවසන් වතාවට සිපගෙන ඇය කීව කතාවයි ඒ. ඇත්තටම මේ කාළකන්ණි රටට මේ ජීවිතය ජීවත් කරන්න තරම් වත්කමක් නොතිබුනා මිසක් මේ උතුම් අම්මට ඇගේ දියණිය බරක් වෙලා නෙවෙයි, ඇයව හදාගන්න නොරටුන්ට දුන්නෙ. ගීතයේ මේ කොටසෙ අවසානෙදි තමයි ඇයව හදාගන්න දුන්නෙ පිටරටක යුවලකට බව කියවෙන්නෙ.

දයාබර රසිකයිනි, මෙහෙවු රටක් තුලයි ඔබත් මාත් ආශ්චර්‍ය පිළිබඳ තොල් මතුරමින්, සිහින දකිමින් ජීවත් වන්නෙ.රට මහජනතාවගෙනම්, මහජනතාව අයිති රජයටනම්, සෞඛ්‍ය සේවය නොමිලේනම්, අධ්‍යාපනය නොමිලේ නම්, දරු පරපුර අයිති රටට නම් ඇයි අපේ දියණියන් හදාගන්න පිටරටට යවන්නෙ? ඇයි අපේ දරුවන් අරාබියේ වලං හෝදන්නෙ? ඇයි අපේ පියවරුන් තමන්ගෙ දරුවන් ගඟට වීසිකොට ඔහුගේ දිවියද ගඟට බිලිදෙන්නෙ? ඇයි අපේ මවු වරුන් දයාබර දරු පැටවු කළු ගඟේ පාකරන්නෙ? ඇයි දයාබර පියවරුන් ගෙයි මැද මිනීවලවල් කපන්නෙ, තමන්ගෙ ලෙයින් ජාතක වුන දරුවන් මරා වළලන්න?
ඇයි අපේ දියණියන් පාසලේ සේවා පහසුකම් ගාස්තු ගෙවාගත නුහුණුව ගෙල වැළලාගන්නෙ? ඇයි ඔවුන් දෙපයට මිරිවැඬි නොමැතිව මරු තුරුලට යන්නෙ? අපට කියනු ලබන, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය, සීඝ්‍රයෙන් දියුණුවන ආර්ථිකය මේ සිරිලක පවතීනම් එදත් අදත් ඔබටත් මටත් මෙවැනි දේ ඇසීමට දැකීමට ලැබීමෙහි පව, කරුමය කුමක්ද? ඒ ඔබත් මාත් මුලාවී සිටින, මේ පවතින සමාජ ක්‍රමයයි. පවතින බිඳ වැටුණු ආර්ථිකයයි.

ගීත විචාරයක් ලිවීමට යතුරු පුවරුව මත  දෑඟිලි වෙහෙසවූවද මටත් නොදැනී මා ගීත විචාරයෙන් පරිභාහිරව සෞම්‍ය වචන වෙනුවට කටුක වදනින් ඔබට මේ පැවසීමට උත්සාහ කරනු ලැබුවේ පවතින ක්‍රමය හමුවේ අපද ඇතුලු සමස්ථ සමාජයම වැටී ඇති අඳුරු අගාධයේ ගැඹුර පිළිඳවයි.

නැවතත් ගීතයට යොමුවෙමු. මීළඟ කොටසින් මේ දයාබර මෑණියන් නොකියා පවසන්නේ තමන්ට තම දියණිය අහිමිකල මේ පවතින සමාජ, ආර්ථික ක්‍රමයට තමන් කෙතරම් වෛර කලද, ඇය මෙම රටට (වරදවා වටහා නොගන්න, ඇය මේ පවසනුයේ මේ සමාජයවත්, මේ පාලක පංතියවත්, පාලන ක්‍රමය ගැනවත් නොව, මේ පිං බිම ගැනයි. එනම් ශ්‍රී ලංකාව නම් භූමිය පිළිබඳවයි ) අසීමිතව ආදරය කරන බවයි. එනම් මේ උතුම් බිමෙහි ඉපදීමට ලැබීම පෙර පිනක් ලෙස ඇය දකියි. ඒත් එක්කම ඇය නඟන පැණය නම්, මෙබිමෙහි ඉපදීමට පිංකර ඇති මුත් ත දියණිය මෙබිමෙහි රැඳීමට වාසනාවන්ත නොමැතිද යන්නයි.

එනම් රට කෙතරම් පිංසාර වුවද රට කරවන හතුරන් විසින් මෙම භූමිය ජීවත් වීමට නුසුදුසු තත්වයට පත්කර ඇති බවයි මෙහි අදහස.

"පෙර කල මහ පිං මහිමෙනි මේ දෙස උපදින්නේ
ඉපදෙනු මිස රැඳෙනා පින ඇයි නුඹ සතු නොවුනේ
දරුවන් ඇස කඳුලින් ළය උණුවන මිනිසුන්ගේ
සරණින් ලොව කොතනක වුව සැනහෙන් දියණියනේ"

කෙසේ වුවද, කෙතරම් කතාකලද, තම දියණියට තවදුරටත් තම මවු රටෙහි දිවිගෙවීමට අවස්ථාව නැතිබවයි පෙනී යන්නෙ. එනිසා අවසාන වශයෙන් ඇය තම දියණියට පවසන්නේ මෙයයි. "දරුවන්ගේ නෙත් කෙවෙණිවල පැනනඟින කඳුලු කැට දැක තම ළය තෙත් කරගන්නා සංවේදී මිනිසුන් සෙවනේ ලොවේ කොතැනක හෝ යස ඉසුරින් තුටින් කල් ගෙවන ලෙසයි." කෙසේ වුවද මෙම ප්‍රකාශනයට අනුව අපටද සැනසුම් සුසුමක් හෙළිය හැකිවන්නේ රචකයා පවසන පරිදි ඇයව හදාගැනීමට දී ඇත්තේ ඉතාම සංවේදී හදවත් ඇති දරුවන්ට අසීමිතව ආදරය කරන විදේශීය යුවලකට බව හැඟී යන හෙයිනි.

එසේනම් එම මාපිය දෙපලට මෙන්ම අපටද හිත හදාගත හැකිවනු ඇත. මේ අනුව ඇගේ අනාගතය සුරක්ෂිත බව පැහැදිලිය.

ගීතයේ අවසාන කොටසින් සංවේදී හදවත් ඇත්තවුන්ගේ දෑසට කඳුලක් නංවන, දයාබර පියෙකුගේ අහිංසක පැතුමක්, බලාපොරොත්තුවක් පිළිබඳව කියවෙයි.

"මතුයම් දිනක සිතිවිල්ලෙන් සිටින සඳ
දෑතක පහස සිහිනෙක මෙන් දැනේවිද
සිතියම් පොතින් ලොව විමසා බලන සඳ
කඳුලක හැඩය මහ සයුරේ දකීවිද"

තම දයාබර දියණිය මෙම සුදු යුවල සමඟ සියලු සැප සම්පත් සමඟින් කෙමෙන් වැඩෙනු ඇත. ඒ සමඟම ලාබාල ඇගේ මනසෙහි සිහින සිතුවමක් සේ පැවති තම සැබෑ මා පියන් පිළිබඳවූ මතකය, තම මවු රට පිළිබඳවූ මතකය, කෙමෙන් කෙමෙන් වි‍යැකී මැකී යනු ඇත. නමුදු පියාණන්ගේ සිත තුල ඉතාම සියුම් බලාපොරොත්තුවක් පවතී. එනම් මෙලෙස උදාවෙන යම් දිනයක, තමා සදාදරණීය දියණිය උස් මහත්වූ ඒ අනාගතයේ දිනයක, සිහිනෙන් ගෑ සුවඳක් මෙන් හෝ සුපුරුදු දෑතක පහස, නුපුරුදු ලෙසකින් හෝ ඈට දැනෙනු ඇතිද යන්නයි. එනම් කිරිකැටි බාල වියේ අහිමිව ගිය මා පි සුවඳ ඇයට යම් දිනෙක යළි සිහිවනු ඇතැයි ඔහු සිතයි. 

එපමණක්ද නොව. අනාගාතයේ දිනයක ඇය වැඩුණු දියණියක් වනු ඇත. ඇය අධ්‍යාපනය ලබනු ඇත. ඇය සිතියම් පොතින් ලෝකය පිළිබඳ සොයනු ඇත. එවන් දිනයක ඉන්දියන් සාගරයේ කඳුලක හැඩය ගත් කුඩා දූපතක් ඇය නෙත් ගැටෙයිද? ඒ, තමන් උපන් දවස් වල තමන් රටට වැඩියැයි රටින් නෙරපාලූ දේශය බව ඇයට සිහිවනු ඇත්ද? 




මේ පුංචි දූපත තුල තමන්ගේ අතීතය සැඟවී ඇතැයි ඇය සිහිනෙකින් හෝ සිතනු ඇත්ද?

ගීතයේ මෙම අවසන් කොටසද ඉතාම ප්‍රබලව හදවතට කිඳා බසී. රචකයා මෙහිදීද අපේ රටට අත්ව ඇති අභාග්‍ය එකම එක වචනයකින් හිතට දැනෙන ලෙස ප්‍රකාශ කරයි. බොහෝ කවියන්, බොහෝ උගතුන් අපිට මෙම දිවයින දැකීමට හුරුපුරුදු කලේ මුතු ඇටයක් ලෙසයි. එනිසා ඉන්දියන් සාගරයේ මුතු ඇටය, පෙරදිග මුතු ඇටය, මේ ආදී වශයෙන් විවිධාකාරවූ අතිශය වටිනා වස්තූන් වලට උපමාකරමින් අපේ රට දැකීමට ඔව්හු අපට හුරු කලෝය. විවෘත ආර්ථිකය නම් වූ දෙපැත්ත කැපෙන ආයුධය අප රටට ලැබුනු සමයෙන් පසුව, ඇත්තටම මේ "ඇට" කිසිවක් අපේ රටට උපමා කිරීමට හැකිතරම් සුදුසු බවක් ඉන් පසුව අප පාලනය කල ඇත්තන් රටට ලබා නොදුන්නේය. නමුදු ඔවුන් හැමදාමත් උත්සාහ කලේ මුතු ඇටයක් අපට පෙන්වීමටය. අපිද ඊට යහමින් රැවටුණෙමු. නමුදු ගීතය තුලින් රචකයා අප දෑස් බැඳි කඩතුරා ඉරාදමමින් අපට සත්‍ය පසක් කරවීමට සමත් විය. සිතෙහි හටගන්නා මෙම හැඟීමත් සමඟම ගීතය අවසාන වන මොහොතේ උස් හඬින් වැයෙන ශ්‍රී ලංකා ජාතික ගීයෙහි "ශ්‍රී ලංකා මාතා" යන කොටස ශ්‍රවනය වත්ම සියුම් හිරිවැටීමක් සිරුර පුරා දිවයන්නේ අපේ මවුබිමට උරුමව ඇති ශෝකාන්තය පිළිබඳව ඉතාම සංවේගජනක හැඟීම ගොන්නක් සමඟිනි.





කෙසේ වුවද ඇත්ත වශයෙන්ම අපේ මවු බිම මුතු ඇටයක්ද, එසේත් නොමැතිනම් කඳුලු බිංදුවක්ද යන වග තීරණය කිරීමට ඔබට බාර කරමින් මම මේ සටහන මෙතෙකින් අවසන් කරන්නෙමි.







"වියලී ගිය දෙතනේ නැත කිරි බිඳුවක් එරුණේ
වැහැරී ගිය උකුලේ නැත සුව යහනක් සැදුනේ
කප පවතින තුරු නොනිමෙන සුසුමෙන් සමුගැනුනේ
හිරු ගිලිහෙන මොහොතක නුඹ මඟ අයිනක රැඳුනේ

උපන් බිමට නුඹ වැඩිවා මිසක දුවේ
වැදූ මවට නුඹ වැඩියක් වේද දුවේ
දුක උහුලා ඉන්නට මට හැකිය දුවේ
නැවු නැඟිලා දුරු රටකට යන්න දුවේ

පෙර කල මහ පිං මහිමෙනි මේ දෙස උපදින්නේ
ඉපදෙනු මිස රැඳෙනා පින ඇයි නුඹ සතු නොවුනේ
දරුවන් ඇස කඳුලින් ළය උණුවන මිනිසුන්ගේ
සරණින් ලොව කොතනක වුව සැනහෙන් දියණියනේ

මතුයම් දිනක සිතිවිල්ලෙන් සිටින සඳ
දෑතක පහස සිහිනෙක මෙන් දැනේවිද
සිතියම් පොතින් ලොව විමසා බලන සඳ
කඳුලක හැඩය මහ සයුරේ දකීවිද"


පද රචනය - දයාසේන ගුණසිංහ
සංගීතය - ගුණදාස කපුගේ
ගායනය - ගුණදාස කපුගේ / මාලනී බුලත්සිංහල



ගීතය මෙතනින් download කරගන්න...
(Viyalee Giya Dethane - Gunadasa Kapuge / Malini Bulathsinhala)








(සියලු ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි.)


                     ගීත විචාරය,
                                                 -මනෝෂ් සඳරුවන් (සඳුමල්)




***************************************************************************

පසුව ලියමි

ගියවර පෝස්ට්ටුවෙන් පොරොන්දු වූ පරිදි අද මා ඔබ වෙත මෙලෙස ගෙන ආවේ මාගෙ දෙවැනි ස්ව්යං ගීත විචාරයයි. ඔබට මාගෙ පළමු ගීත විචාරය මඟහැරුනි නම්, මෙතනින් ගොස් එය රසවිඳින්න.

ගීත විචාරයට පසුව මෙලෙස පසු සටහන් තැබීමට සිත් වූයේ මෙම විශිෂ්ඨ ගීතයේ රචකයාණන් පිළිබඳව යමක් සාක්ච්ඡා කල යුතුම බැවිනි. විචාරය තුල එවැන්නකට ඉඩප්‍රස්ථාවක් නොවූ හෙයින් මෙම ඉඩ මම ඒ සඳහා ප්‍රයෝජනයට ගනිමි.

ඉහතින් සඳහන් කොට ඇති අයුරින්ම මෙම මනරම් ගේය පද රචනාවෙහි නිර්මාතෘවරයා වන්නේ දයාසේන ගුණසිංහයන්ය. මෙතුමා ඔබට නුහුරු නුපුරුදු චරිතයක් නොවන්නේ ඔහු කවියෙකු පමණක් නොව ප්‍රවීන පුවත්පත් කලාවේදියෙකු, නො එසේනම් මාධ්‍යවේදියෙකු වන හෙයිනි. මෙම නිර්මාණය සැලකීමේදී ඇත්ත වශයෙන්ම මෙම රචනය ගීතයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුවකින් සිදු වූ නිර්මාණයක් නොවේ. මේ කවි පංතියකි. මේ කවි පංතිය අඩංගු වනුයේ ඔහු විසින් ලියා පළ කරන ලද "නොවඳිමි සිදුහත්" කාව්‍ය සංග්‍රහය තුලයි.

පසු කලෙක ගීතයක් බවට පරිවර්ථනය වූයේ මෙම කාව්‍යයි. ඒ ගුණදාස කපුගේ ශූරීන් අතිනි. ඒ මෙම ගීතයේ උප්පත්ති කතාවයි.

දයාසේන ගුණසිංහයන් අපිට වැදගත් වනුයේ ඔහු කවියෙක් වූ නිසාම පමණක් නොවේ. ඔහු මාධ්‍යවේදියෙකි. නිකම්ම නිකන් මාධ්‍යවේදියෙකු නොව ප්‍රතිභාපූර්ණ, අදීන මාධ්‍යවේදියෙකි. 1950 දශකයේ අගභාගයේ පෙරාදෙණිය සරසවියෙන් ගෞරවවේදී උපාධියක් ලබා අධ්‍යාපනය හමාර කල මෙතුමා ඉන් පසු ගුරුවරයෙකු ලෙස තම වෘත්තීය දිවිය අරඹයි.

අනතුරුව ඔහු මාධ්‍යවේදියෙකු ලෙස කල එළි බසිනුයේ ප්‍රථමයෙන්ම "දිනමිණ" පුවත්පත හරහාය. (අපේ සහෘද බ්ලොග් සඟයෙකු, මාධ්‍යවේදියෙකු වන නලීන් සොහොයුරා මෙතුමන් සමීපව ඇසුරු කරන්නට ඇත.) පසු කලෙක දිවයින ඉරිදා සංග්‍රහයේ ආරම්භක කතෘ වූයේද මෙතුමායි. පුවත්පත් කලාව, කලාවක් කරගනිමින්, පෑන තම අවිය කරගත් මේ අදීන මාධ්‍යවේදියා කිහිප විටක්ම පැවති පාලනය යටතේ දණ්ඩනයට ලක්වූයේ ඔහු තුල තිබූ මෙම අදීන ගුණාංග නිසාවෙනි. ඔහු කිසිවෙකුටත් වහල් නොවූ නිවහල් මාධ්‍යවේදියෙකි. සමාජයට ආදරය කල ජනතාවාදී මාධ්‍යවේදියෙකි.

ලේක් හවුස් ආයතනයේ රාජකාරි කරන සමයේ මෙතුමා විසින් නිර්මිත "රන් තැටියක කඳුලු" කව්‍ය සංග්‍රහය සඳහා රාජ්‍ය සම්මාන හිමිවිය. තවද මෙතුමා කෙටිකතා කරුවෙකු ලෙසද තම ප්‍රතිභාව නංවාගත් අයෙකු විය. 1986දී පළවූ "කැනල් පාරෙ නිශාචරයෝ" කෙටි කතා සංග්‍රහය රාජ්‍ය සම්මානයට පාත්‍ර විය. එතුමාගේ අනෙක් කෙටිකතා එකතුව වූයේ "කේතුමතී හෝටලයේ රාත්‍රියක්" නම් කෙටිකතා සංග්‍රහයයි. කාව්‍යකරණයෙන්, කෙටිකතාකරණයෙන් නතර නොවූ මේ මිනිසා, විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යටද යොමුව ඇත. එහිදී එතුමන් විසින් " නිල් තාරකාවට ගිය තිදෙනා" නමින් විද්‍යා ප්‍රබන්ධයක්ද අපට තිළිණ කොට ඇත. ඔහු ඉන් නොනවතී. අනතුරුව ඔහු පරිවර්ථන කෘතියක්ද එලිදක්වා ඇත. ඒ "චිනුවා අචේබ්" නම් අප්‍රිකානු ලේඛකයාගේ "A Man Of The People" කෘතිය, "පොදු ජනයාගේ මිනිහෙක්" නමින් සිංහලට පරිවර්ථනය කරමිනි. ගුණසිංහයන් මෙම කෘතිය තුලින් ලාංකීය සමාජ ක්‍රමය වෙනස් කර බිඳ වැටුනු ආර්ථිකය, සමාජය යළි ගොඩනැංවීම කෙරෙහි  ප්‍රගතිශීලී නව සමාජ ව්‍යාපාරයක් ගොඩනැංවීමේ අවශ්‍යතාවය දැඩිව පෙන්වා දී ඇත. නිරතුරුවම සමාජය හා ගැටෙමින් පීඩිතයාගේ දුක, ඔහුගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න කරගනිමින් පෑන හැසිරවූ මේ උත්තරීතර මිනිසා මේ නිසාම පැවති පාලනයන් විවේචනය කිරීමේ වරදට දැඩි මර්ධනයකට මුහුන දුන්නේය.

එනිසාම ඉතා වෙහෙස මහන්සියෙන් අනුපමේය කැපවීමෙන් ඔහු බිහිකල දිවයින පුවත්පත් ආයතනයේ දොරටුවද මේ උදාර මාධ්‍යවේදියාණන් හට වැසෙනුයේ ඔහු අන්ත කලකිරීමට පත් කරවමිනි.
මිල මුදලට, වරප්‍රසාද වලට තම පෑන මෙහෙය නොවූ මේ මිනිසා සමාජය තුල සැබෑ මාධ්‍යවේදියෙකුගේ ප්‍රතිමූර්තිය ගොඩනැඟූයේ එදත් අදත්, නිවටයින් සේ පාලකයන්ගේ කටු ලෙවකමින්, උන් අබියස දනින් වැටී උන් වෙනුවෙන් ප්‍රශස්ති ලිවීමට තම පෑන හසුරුවන, තමන්ගේ පංතියේ මිනිසුන් අමතකකර තම මාධ්‍ය වගකීම බල්ලට දැමූ අමන "පත්තර කාරයන්හට" සැබෑම පුවත්පත් කලාව මේ යැයි හඬගා කියමිනි. එනිසා එතුමන් වැනි මිනිසෙකු අතින් නිර්මිත ඉහත ගීතය පිළිබඳ අප පුදුමවිය යුතු නැත.

කෙසේ වුවද මේ මහා මාධ්‍ය සෙන්පතියා අපෙන් වියෝ වී මේ වන විට වසර 18ක් පමණ ඉක්ම ගොස් ඇත. නමුත්, තවමත් ඔහු අප අතර ජීවමානව හිඳිමින් අපට පෙන්වනුයේ රට තුල කෙමෙන් වියැකී යන මාධ්‍යවේදීන්ගේ වගකීම යළි නඟාසිටුවිය යුතු බවයි. පාලකයන් වෙනුවෙන් නොව, ජනතාව වෙනුවෙන් සිදුකරන්නාවූ, පාලකවාදී නොව ජනතාවාදී වූ මාධ්‍ය මෙහෙවරක අඩුව එදාටත් වඩා තදින් අපට අද දැනෙමින් පවතී. එනිසා මේ මොහොතේ අප ප්‍රාර්ථනා කල යුත්තේ රටේත් ජනතාවගේත් අනාගතය උදෙසා අපේ දයාබර මාධ්‍ය සහෘදයන්ගේ නෙත් දැන්වත් විවර වේවා කියායි.


Tuesday, May 20, 2014

•ගංගා එන්නකෝ ගංගා


"නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ..."


 

හැත්තෑව දශකය තරම් සිංහල ගීතය සෞන්දර්යයෙන් සහ සාහිත්‍යමය පෞර්ෂයෙන් පිරීගිය යුගයක් පසුගිය සියවසෙහි දක්නට නොහැකි ය. මනරම් ගේය පබැඳුම් මෙන්ම රමණීය තනු නිර්මාණ ද සුලලිත ගායනාවන් ද හැත්තෑව දශකය වර්ණවත් කළ බව නොරහසකි. 
ප්‍රේමකීර්ති ද අල්විස්, අජන්තා රණසිංහ, සුනිල් ආරියරත්න යන ගේය පද රචකයන් ගේ් වසන්ත සමය ලෙසින් මේ දශකය නම් කළ හැකි ය.



"ගංගා" නම් වූ මේ අපූර්ව නිර්මාණයට මා සවන්දුන්නේ පාසල් ශිෂ්‍යයකු ව සිටි අවදියේ බව මට සිහිකළ හැකි ය. එකල මේ ගීතයේ ගැඹුර, වටහා ගැනීමේ හැකියාවක් මට නොතිබිණි. එහෙත් "ගංගා" නමින් සිදුවන ආමන්ත්‍රණයත්, අබේවර්ධනයන්ගේ සුමියුරු හඬත්, මා වශීකළ බව මට මතක ය. මට එකල දැනුණේ ගංගා නමැති තරුණියකට තරුණයකු කරන ආමන්ත්‍රණයක් ලෙස ය. හුදෙකලාව සිටියදී මේ පදමාලාව ආශාවෙන් මුමුණන්නට මම පුරුදු වී සිටියෙමි. ඒ පුරුද්ද අදත් මා තුළ පවතී.

සුනිල් ආරියරත්නයන් ගේ මුල්කාලීන නිර්මාණ ගණනාවක ම සංකේතාත්මක බවක් දක්නට හැකිවිය. වාචිකාර්ථය විනිවිද යන්නා වූ සියුම් ව්‍යාංගාර්ථ මැවීමට උපරිම ප්‍රතිභාවත් එතුමන් සතු විය. "තොටුපල අයිනේ" නම් වූ ගේය පද රචනාව මේ සඳහා නිදසුනකි. එහි එන තොටුපලෙන් ජීවිතයේ සංධිස්ථානයක් මෙන්ම සංසාරයේ සංධිස්ථානයක් ද එතුමෝ සංකේතවත් කරති. 



ඒ අයුරින් ම කාව්‍යමය ගුණයෙන් පිරිපුන් පදමාලාවක් ලෙසින් "ගංගා" නම් වූ පදමාලාව පෙන්වා දිය හැකි ය. සැබැවින් ම මේ ගංගා කවුද?

"ගංගා" සැබැවින්ම තරුණියක බවත් ඇය එනතුරු තරුණයකු මඟබලා සිටින ලෙසින් කෙනෙකුට මේ අත්දැකීම විඳගත හැකි ය. ඔහු ඇය එනතුරු බොහෝ වේලා මඟ බලා සිටියි. එහෙත් ගංගා පැමිණිය ද ඇගේ අවධානය ඔහු වෙත යොමු නොවෙයි. ඇය ඔහු දෙස නොබලා ගමන් කරන්නී ය. බොහෝ බලාපොරොත්තු පුරවාගෙන බොහෝ දුක් වළඳමින් සිටි තරුණයා ඉච්ඡාභංගත්වයට පත්වෙයි. හෙට දිනයේවත් ගංගා තමා දෙස බලනු ඇතැයි සිතමින් ඔහු සිත හදා ගනියි.

මේ ආකාරයෙන් කෙනෙකුට මේ නිර්මාණයට සමීප විය හැකිය. ගීතය වචනයෙන් වචන විච්ඡේදනය නොකොට ඉහත සඳහන් ආකාරයේ සරල වින්දනයකට යොමුවීමට හැකිවීම මේ නිර්මාණයේ එක් විශේෂත්වයකි.

මේ සීමාවෙන් ඔබ්බට ගිය විට සංකේත හා රූපක වලින් පිරි සුන්දර කාව්‍යයක් ලෙසින් මේ නිර්මාණයට සමීප විය හැකි ය. ආදරය සෙනෙහස තුළින් තෙතමනය නොලද වියළී ගිය යොවුන් හදවතක්, ආදරය සෙනෙහස නැමැති ගංගාව තම හදවත දොවා ගෙන යාවි ය යන අපේක්ෂාවෙන් සිටින ආකාරය ද මෙයින් අත්විඳිය හැකි ය.

"ගංගා එන්නකෝ ගංගා
මං බලාන ඉන්නේ
ඔබ එනතුරු ගංගා.."

යෞවනයකු සෙනෙහසක තෙතමනය බලාපොරොත්තුවෙන් සිටින ආකාරයක් මෙමඟින් හඳුනාගත හැකි ය. ඔහුගේ ජීවිතයට ආදරය සෙනෙහස නොලැබීම නිසා ඔහුගේ ආත්මයම වියළී ගිය තඩාගයක් බඳු ය. දිරූ ඉපල් අතු දඬු ඔසවාගෙන, නියඟින් දා ගිය තම ආත්මය අසීරුවෙන් ඔහු උසුලාගෙන සිටියි. එහෙත් තමා බලාපොරොත්තු වන, ආදරය සෙනෙහස නැමැති ගංගාව ඔහුට පෙනි පෙනීම වෙනතක ඇදීයයි.

ප්‍රේමය යදිමින් සිටින ඔහු දැන් පිපාසිතයකු හා සමාන ය. ආදරය නැමැති ගංගාවේ සිසිලස නොලබා වියළී ගොස්, පිපුරුණු දෙතොලින් අහස බලා සිටින්නේ අහසින්වත් දිය පොදක් වැටේවිය යන අපේක්ෂාවෙනි. එහෙත් ඒ කිසිවක් නොලබන ඔහු දකින්නේ තම වියළි හදවත තෙත් නොකොට තමා අසලින් ම ආදරයේ ගංගාව තමාට ඔච්චං කරමින් ඉවත බලාගෙන ගමන් කරන ආකාරයයි. 

යෞවනය, බොහෝවිට මෙබඳු ඛේදවාචකයන්ට මුහුණ දෙන බැවින් ද, යෞවන විය ඉක්මවා සිටින්නකුට ද, මෙවැනි ඉරණමකට මුහුණ දෙන්නට සිදුවිය හැකි බැවින් ද මේ ආකාරයෙන්, මේ නිර්මාණයට සමීප වීමේ හැකියාව ද පවතී.

මා අසා ඇති පරිදි මේ නිර්මාණය මීට වඩා වෙනස් අරමුණක් යටි මනසේ තබාගෙන බිහිවුණු නිර්මාණයකි. හැත්තෑව දශකය වූ කලී ශ්‍රී ලංකාවේ යෝධ සංවර්ධන ව්‍යාපෘතියක් ඇරැඹුණු අවධියකි. එනම් පොල්ගොල්ලේ විශාල වේල්ලක් බැඳ මහවැලි ගඟ රජරටට හැරවූ අවධියයි. එසේනම් එතෙක් සිඳී ගොස් සිටි රජරට ප්‍රදේශයේ වැවක් මහවැලි ගඟට කරන ආයාචනයක් ලෙස මේ නිර්මාණය රසවිඳිය නොහැකිද? එබඳු පරිකල්පනයක පිහිටා මේ නිර්මාණයේ රසය තව තවත් උද්දීපනය නොවේද? මේ ඇහෙන්නේ සියවස් ගණනාවක් වැසි දියෙන් පමණක් යැපෙමින් වරෙක පිටාර ගලමින් සිට, වසරේ වැඩිකලක් වියළී සිටින රජරට වාපියක් ම නොවේද?

"ගංගා එන්නකෝ ගංගා
මං බලාන ඉන්නේ
ඔබ එනතුරු ගංගා.."

රජරට, සිඳී ගිය වැව මහවැලි ගඟට අමතන්නේ ආයාචනාත්මක ස්වරයෙනි. ඒ ස්වරයෙන් පීඩිත බව ඉස්මතු වෙයි. එතැන් සිට රචකයා චිත්ත රූපයට නඟනුයේ වියළී ගිය ජලාශයේ ස්වභාවයයි. දිය සිඳීයාමත් සමඟ දිරාගිය ඉපල් අහස බලාගෙන සිටී. ඒ වැහි පොදක්වත් වැටෙන තුරු විය යුතුය. මේ තරම් දුක් වළඳමින් සිටියදී මෙතෙක් කල් තමා දෙස නොබලා අහක බලා ගිය මහා වාලුකා නදියට, ජලාශය විසින් අමතනු ලබන්නේ චෝදනාත්මක ස්වරයෙනි. එහෙත් හෙට දින මහවැලිය තම වියළී ගිය සිරුර තෙත් කරන බව දන්නා මේ දුක්විඳි වාපී තොමෝ දෙවනු ව මහවැලියට අප්‍රමාණ වූ ආදරයකින් අමතන්නී ය.



දැඩි කාෂ්ඨකයෙන් ඉරිතලා ගිය පොළොව රචකයා දකිනුයේ පිපුරුණු දෙතොලක් ලෙසයි. අහසට මුව විවර කරන වැව් පතුළ රසිකයාගේ මනසේ සිතුවම් වෙයි. තම තාරුණ්‍යය මේ වැවට අහිමිවන්නේ අකලට ය. ඒත් ඒ සියලු දුක් දොම්නස් හෙට දවසේ නැවත නොඑන්නට ම දුරස් වන බවට රචකයා ඉඟි කරන ආකාරය අපූරු ය.

"පිපුරුණු දෙතොළින් අහස බලාගෙන
දිය පොද රහිතව අකලට මහලුව
හඬා වැටෙද්දී මා
පෙනෙන ඉසව්වෙන් යන්න ගියා ඔබ
නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ..."

ගේය පද රචනයක, පිරිපුන් බවට මේ පද රචනය අපූරු නිදසුනකි. කෙතරම් සංකේත, රූපක භාවිතා කළ ද තම පදමාලාව තුළ ගීතමය ගුණය සුරක්ෂිත කරගැනීමට සුනිල් ආරියරත්නයෝ වග බලාගනිති.
රචකයාගේ පරිකල්පනයේ, වාහකයන් බවට පත්වන්නේ සංගීතඥයා සහ ගායකයා ය. "ගංගා" නැමැති යෙදුම වූ කලී සංගීතමය යෙදුමකි. සංගීතඥයකුට ඒ තුළ විශාල ස්වර පරාසයක් කරා ගමන් කළ හැකි ය. මේ නිර්මාණය තුළ දී වික්ටර් රත්නායකයන් ඒ වචනයෙන් උපරිම ප්‍රයෝජනය ගනියි. ගංගා යන යෙදුම ඉතා ම දුක්බර ආයාචනයක් ලෙසින් ඔහු යොදාගනියි. එසේ ම "එන්නකෝ" යන ව්‍යවහාරික යෙදුම ද, කරුණා රසය හා ශෝක රසය මතුවන අයුරින් භාවිතා කරනු ලබයි. ඒ නිසා රසිකයා ගේ සවන් වැකෙන මුල් ම වදන් මාලාව රසික අවධානය දිනාගැනීමට සමත් වේ.

අබේවර්ධන බාලසූරිය නම් ගායකයාගේ හඬ වූ කලී අතිශයින් ශෝකී හඬකි. එය හැත්තෑව දශකයේ තවත් එක් මං සලකුණක් බවට පත්වෙයි. මේ සමඟ ම මගේ සිහියට නැඟෙන්නේ ඒ දශකයේ මතු ව ආ තවත් ගීත කීපයකි. "බොඳ මීදුම් කඳුරැල්ලේ", "වැලිබත් ඉව්වා", "සිහිවටනය සේ කුමක් ලියන්නද", "සූරියකාන්තා", "කල්පනා ලොව මල්වනේ", "අනුරාධපුරය ඔබයි", වැනි නිර්මාණ තාමත් අපගේ මතකයේ රැඳී ඇත්තේ, ඒ හඬෙහි ඇති සුවිශේෂත්වය හේතුවෙනි. 

අද වැනි පරිගණක තාක්ෂණයක් නොතිබුණ යුගයත මතු වූ, එබඳු අව්‍යාජ හඬවල් රාශියක් ම එකල සංගීත කෙත අස්වද්දන්නට දායක විය. පදරචකයන්ට ඔවුන් ගේ හඬ ආලෝකයක් වූ අතර ඔවුන්ට ආලෝකයක් වීමට පද රචකයන්ට ප්‍රතිභාවක් තිබිණි. වර්තමානයේ අපෙන් ගිලිහී යන්නේ මේ ප්‍රතිභාවයි.

"ගංගා" ගැන ලියූ සටහන ප්‍රමාණවත් යැයි මම සිතමි. මේ අවසාන සටහන තබන්නේ මේ අපූරු ගීය ගායනා කළ අබේවර්ධනයන් වෙනුවෙනි. මා ඔහු සමඟ කිසිදිනෙක කතාබහ කර නොමැත. මම ඔහුගේ හඬට ප්‍රිය කරමි. මගේ යෞවනය අර්ථවත් කරන්නට ඔහුගේ හඬ දායක වී තිබේ. ඒ හඬෙන් හදවතේ සියුම් තැන් ස්පන්දනය කිරීමට ඔහු අනේකවාරයක් දායක වන්නට ඇත. එහෙත් ඔහුගේ හදවතේ ස්පන්දනය නතර වී අදට තෙමසක් පිරෙයි. කිසිදු රසික ගංගාවක් ඔබ දෙස බලා අහක බලා යන්නේ නැත. 
"ඔබට නිවන් සුව.."


"දිරූ ඉපල් අතු දඬු ඔසවාගෙන
නියඟින් දා ගිය සිරුර වාරුකර
බලා සිටිද්දී මා
අහක බලාගෙන යන්න ගියා ඔබ
නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ...
ගංගා
එන්නකෝ ... ගංගා
මං බලාන ඉන්නේ
ඔබ එනතුරු ගංගා
දිරූ ඉපල් අතු දඬු ඔසවාගෙන
නියඟින් දා ගිය සිරුර වාරුකර
හඬා වැටෙද්දී මා
අහක බලාගෙන යන්න ගියා ඔබ
නෑ නේද ඉතින් යළි 
අහක බලන් යන්නේ...
පිපුරුණු දෙතොලින් අහස බලාගෙන
දියපොද රහිත ව අකලට මහලු ව
බලා සිටිද්දී මා
පෙනෙන ඉසව්වෙන් මූදු ගියා ඔබ
නෑ නේද ඉතිං යළි අහක බලන් යන්නේ"

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - වික්ටර් රත්නායක
ගායනය - අබේවර්ධන බාලසූරිය



(Ganga Ennako Ganga - Abewardene Balasooriya)







(ගීත විචාරය ධම්මික බංඩාර මහතා විසිනි. ඡායාරූපය අන්තර්ජාලයෙනි.)



***************************************************************************

අද දින ඔබ වෙනුවෙන් මවිසින්ම විචාරය කරන ලද ගීතයක් ගෙන ඒමට බලාපොරොත්තුවෙන් සිටියද නොවැළක්විය හේතුවක් නිසා එම උත්සාහය ව්‍යර්ථ වුණි. කෙසේ වුවද එම විරාමය අතරතුර බ්ලොග් අඩවිය පාලුවට යා නොදී ඔබ හට ගෙන ආ මෙම ගීතය සහ විචාරයද ඔබේ සිත් සතන් පිනවනු ඇතිබව මා තරයේ විශ්වාස කරන්නෙමි.

ගීත විචාරයේ සඳහන් පරිදිම මුල් කාලයේ මාද මෙම ගීතය රසවිඳේ සැබෑවටම ගංගා නම් තරුණියක මුල් කොට ගැයූ ගීතයක් සේ සලකාය. නමුදු ඉතා මෑතකදී මා කියවූ පුවත්පත් ලිපියකින් මා ඉතා පුදුමයට පත් වූයේ මෙම ගීයෙහි සැබෑම අරුත වටහාගැනීමෙන් පසුවය. එම ලිපියට අනුව මෙම ගීතය මහවැලි ගඟ රජරටට හැරවීම වෙනුවෙන්ම ලියවුනු ගීතයකි. එපමණක් නොව වැඩිදුර විස්තර සොයා බැලීමේදී ගීතයේ ලියවුනේ එකල ආණ්ඩුවේ ප්‍රබලයකුගේ ඉල්ලීමක් මත බවද දැනගන්නට ලැබුනි. කරුණු කාරණා කෙසේ වුවද, කිනම් අදහසකින් ගීතය ලියැවුනද, ඇත්තටම ගංගා ගැන ලියවුනද, නැතිනම් මහවැලි ව්‍යාපාරය ගැන ලියවුනද ගීතය රසවිඳීමට මේ කිසිවක් බලනොපායි. ගීතය තමාට රිසි ප්‍රස්තුතයක් යටතේ රසවිඳීමට රසිකයාට අවස්ථාව සැලසී ඇත.

එසේ නම් අද දිනද මා දයාබර පාඨකයන්ට ආරාධනා කරනුයේ මෙම ගීතයද, විචාරයද රසවිඳින්න. ඔබේ අදහස් මාත් එක්ක බෙදාගන්න..

මවිසින් ඔබවෙත ගෙන එනු ලබන මීළඟ ලිපිය නැසැකවම මවිසින් නිර්මිත ස්වයං ගීත විචාරයක් වනු ඇත. එතෙක් මෙය රසවිඳින්න..


පසුව ලියමි

ධම්මික බංඩාරයන් මෙම විචාරය ලියන විට මේ සොඳුරු ගායකයාණන් අපෙන් වියෝවී තෙමසක් ගත වී ඇති බව ඔහු සඳහන් කර තිබුනා. නමුත් මා ඔබට මෙය ඉදිරිපත් කරන මේ මොහොත වනවිට මේ සුන්දර මිනිසා අපෙන් සමු අරං වසර හතරකුත් පිරිලා. නමුත් මෙතුමා අපට තිළින කර ගොස් ඇති සොඳුරු නිර්මාණ නිසා තවමත්, සදහටමත් ඔහු අපේ හදවත් තුල ජීවමානව සිටිනවා. ඉතාම සංවේදී කරුණනම් මේ අමරණීය ගායකයාණන් නිහඬ වූ මොහොතේ අපට අහිමි වූයේ ඔහුගේ හඬ පමණක් නොවීමයි. මේ සංවේගජනක මොහොතේ තවත් කෝකිලාවක් ගොලු වූවා. ඒ ඔහුගේ සදාදරණීය බිරිඳ, අපේ සදාදරණීය ගී කෝකිලාව, නිරංජලා සරෝජිනී මහත්මිය. ඇය සදහටම ඇගේ හඬ වසන් කලේ ඔහු වෙනුවෙන්. ඔහුට බැඳී අසීමිත සෙනෙහස වෙනුවෙන්. ගායක ගායිකාවන් තම පුද්ගලික ජීවිත් තුල බාල් නටන සමයක මේ උදාරතර පතිනිය ඇගේ දයාබර ස්වාමියා වෙනුවෙන් මේ කරන කැපකිරීම රසික අප හඬවාලුවද, එය සමාජයට දැරිය නොහැකි පාඩුවක් වුවද ඇය ඔවුන්ගේ සෙනෙහස වෙනුවෙන් සදා නිහඬව සිටී. ඇත්තෙන්ම අපි මෙම මොහොත මේ යශෝදරාවන් දයාබරව සිහිපත් කිරීමටද අවස්ථාවක් කරගමු. මේ සටහන් ලියූවේ එම බෝසත් ප්‍රේමවන්තයින් දෙදෙනා වෙනුවෙනි.



Saturday, May 17, 2014

•නවාතැනින් ඇය යනවා


"මගේ දුකට නුඹ නාඩන් පාන් කිරිත්තෝ..."





  සරසවිය හා බැඳුණු ගී නිර්මාණ රාශියක් අප සතු ව පවතී. ඒ අතරින් ඇතැම් නිර්මාණ අමරණීය නිර්මාණ බවට පත්වී තිබේ. ඒ අතරින් කලාතුරකින් ශ්‍රවණය වන අපූරු නිර්මාණයක් මෙහි දී සමීප කර ගනිමි. පාසල් ශිෂ්‍යයකු ලෙස සිටින අවදියේ මේ ගීතය ශ්‍රවණය කරද්දී මා තුළ පාළු ශෝකී හැඟීමක් ඇතිවුණා මට මතක ය. ඒ හැඟීම වචනයකින් විස්තර කිරීම අසීරු ය.

පසු කාලයේ දී "හන්තානට පායන හද" නැමැති ගීතය මා විසින් රචනා කිරීමට පොලඹවන්නේ මේ ගීතය තුළින් විඳි චමත්කාරයයි. තම පෙම්වතියට සරසවි වරම් හිමිවීම සතුටට කරුණකි. එහෙත් මේ පෙම්වතා ගේ සිත ඒ සතුටු විය යුතු අවස්ථාවේ තිගැස්සෙයි.

"නවාතැනින් ඇය යනවා
වරම් ලබා සරසවියට
මගේ දුකට නුඹ නාඩන්"
"පාන් කිරිත්තෝ"

ලාංකීක ගැමි විඥානය තුළ පාන් කිරිත්තා ගේ හඬ අසුබ නිමිත්තක් බවට පත්වෙයි. මේ පෙම්වතා සිතන්නේ පාන් කිරිත්තා හඬන්නේ තමාගේ දුකට බවයි. එහෙත් පාන් කිරිත්තාගේ හැඬීමෙන් ප්‍රයෝජනයක් නොමැත. ඔහුගේ යටි සිත ඔහුට පවසන්නේ තම පෙම්වතිය හෙට දවසේ දී තමාට අහිමි වන බවයි. පාරිසරික සංකේත භාවිත කිරීමේ දී සුනිල් සරත් පෙරේරා දක්වන ප්‍රතිභාව විශිෂ්ට ය.

ආදරය සමඟ ආත්මාර්ථය බැඳී පවතී. එය ස්වාභාවික ය. සරසවිය පිළිබඳ මේ තරුණයා තුළ චිත්‍රයක් පවතී. ඒ චිත්‍රය ඉතා ම අපූර්වත්වයකින් රචකයා ඉදිරිපත් කරයි. ගීතය තුළ භාෂාව සුභාවිත ලෙස යොදා ගත හැකි ආකාරය සඳහා සුනිල් සරත් පෙරේරා ගේ මේ ප්‍රකාශනය කදිම නිදසුනකි.

"භද්‍ර යොවුන් විය සපැමිණ
සක්මන් මළුවල පෙම් බැඳ
සිනා කවට බස් පවසති
කුමර කුමරියන්"

සරසවි බිම තුළ කෙළි කවට සිනා නංවමින් එහා මෙහා යන මානවක මානවිකාවන් මෙහිදී රසිකයාගේ මනසේ චිත්‍රණය වෙයි. "භද්‍ර යොවුන් විය", "සක්මන් මළු" ආදි සම්භාව්‍ය යෙදුම් ස්ථානෝචිත ලෙස රචකයා භාවිතා කරයි. ඇය ද හෙට දවසේ එක්වන්නේ මෙබඳු පරිසරයකටයි. මේ පරිසරය ප්‍රේමයට තෝතැන්නකි. 





එබඳු පරිසරයක දී ඇයට ද ප්‍රේමණීය ආරාධනා ලැබෙනු ඇත. සරසවියට පා තබන්නට වරම් නැති තමා පිළිබඳ මතකය ඇගෙන් ගිලිහී යාමට මේ පරිසරය හේතු වන බව ඔහුගේ යටි සිත ඔහුට කියයි.

"ඇසුර පතන දූත හසුන්
අවට මැවෙන නවක දසුන්
කුමර වියේ කුමර විකුම්
සසල කරයි සිතුම්"

මෙබඳු සැක සංකා මිනිස් සිතේ හටගැනීම ස්වභාවික ය. එය ආත්මාර්ථයේ ඵලයක් වුවද ඒ ආත්මාර්ථයෙන් අත්මිදීම අසීරු වූවකි.

ආදරය, විශ්වාසය, සියල්ල යටපත් කරගෙන මේ හැඟීම ඉස්මතු වෙයි. ඇතැම් විට ඔවුන් අතර ප්‍රේම සබඳතාවක් නොතිබුණා විය හැකිය. ඔහු ඇය ව ප්‍රාර්ථනා කළා පමණක් විය හැකි ය. එනිසාම ඇය නිතර ඇස ගැටුණු පරිසරයෙන් මිදී සරසවියේ පරිසරයට ඇතුළුවීම තරුණයාට වේදනා බර වන්නේ එබැවිනි.

"මතක විමන් කවුළු දොරින්
හිස පීරන උදෑසනින්
ඇගේ රුවට ගී ගයන්න
එපා කුරුල්ලෝ"

රචකයා යළි යළිත් ප්‍රදර්ශනය කරනුයේ භාෂාව භාවිතයේ දී තමා සතු විදග්ධ භාවයයි. මතක විමන් කවුළුවෙන් හිස පීරීම යනුවෙන් අදහස් කරන්නේ මේ තරුණයා ගේ අතීතාවර්ජනයයි. ඒ අතීතය සමඟ ඇගේ රූපය ඔහුගේ දෑසේ මවයි.



ඇගේ රුව තවත් වර්ණා කිරීමෙන් පලක් නැති බව කුරුල්ලන්ට පවසන්නේ ඔහු තුළ ඇතිවී තිබෙන පරාධීන මනෝභාවය නිසා ය.

ප්‍රේමය බොළඳ ය. ප්‍රේමය රමණීය වන්නේ ද මේ බොළඳ බව නිසා ම ය. මහා පාණ්ඩිත්‍යයෙන් පෙළෙන්නකු ගේ වුවද ඇසට කඳුළක් නැංවීමේ හැකියාව ප්‍රේමය තුළ පවතී. එය ඊර්ෂ්‍යාව, ආත්මාර්ථය සමඟ බද්ධ වීම හේතුවෙන් ප්‍රේමය නිසා ශෝකය හට ගනී. නොදියුණු මානසික තත්ත්වයන් ඇති මිනිසුන් තුළ ඒ ශෝකය ඉතා ඉක්මනින් වෛරය බවට පත්වෙයි.

එහෙත් මේ ගීයේ මුණගැසෙන තරුණයා තුළ සියුම් ආත්මාර්ථකාමී ලක්ෂණ දක්නට ලැබුණ ද ඔහු තම ආදරය දිනු තැනැත්තිය දෙස බලන්නේ වෛරී ඇසකින් නොවේ. ඔහු තම පරාජිත භාවය කලින් ම පිළිගෙන ඒ ශෝකයට සූදානම් වන බවක් හැඟෙයි.

"සිල්ප සතර දැන එන තුරු
කල්පකාල පසුවන තුරු
ඉර අවරින් පායන තුරු
සිහින දකින්නම්"
   
ඈ පිළිබඳ සිහිනයන්ගෙන් අත් මිදීමට ඔහු උත්සාහ නොගනී. ඇයව ඔහුට හිමිවීම ඔහු සලකන්නේ ඉර අවරින් පෑයීමක් ලෙසයි. ඔහු පරාජිත පෙම්වතකු බවට පත්වන්නේ එබැවිනි.

මේ නිර්මාණය තුළ එක් අතකින් දක්නට ලැබෙන්නේ තමා ම තමාව පීඩාවට ලක්කර ගැනීම හෙවත් ස්වපීඩන කාමයයි. මහාචාර්ය සරච්චද්‍රන්යන්ගේ "මළගිය ඇත්තෝ" නවකතාවෙහි "දෙවෙන්දොරා සං" ගේ චරිතය මට සිහි වෙයි.

නොරිකෝ වෙනෙකකු සමඟ විවාහ වන්නට යන බව ආරංචි වූ විට ඔහු පරාජිතයකු බවට පත්වෙයි. ජපානයේ ඇය සමඟ ඇවිද ගිය වීදි දිගේ ඔහු තනි ව ඇවිදින්නට පටන් ගනියි. අතීතය සිහිපත් කරමින් ඔහු ශෝකය මුසු වින්දනයක් ලබයි. මේ ගීයෙහි හමුවන තරුණයා ද අනාගතයේ සිදුවන දේ කෙරෙහි පූර්ව විනිශ්චයකට පැමිණ සිටින්නෙකි. ඔහු ඒ දේ කල් ඇති ව මෙනෙහි කරමින් වේදනා විඳින්නට පටන් ගනී.

මේ ගීතය පුරා යම් රූප පෙළක් ගැබ් ව පවතී. තරුණයාගේ දොරකඩ නාද කරන පාන් කිරිත්තා පවා ශ්‍රාවකයාට පෙනෙන්නට පටන් ගනී. රචකයා කරනු ලබන පාරිසරික වර්ණනා අනුව මැවෙන්නේ පේරාදෙණිය වැනි සුන්දර සරසවියකි. ආලයෙන් වෙලී ගිය පෙම්වතුන් තුරු වදුළු යටින් එහා මෙහා ඇවිද යන ආකාරය චිත්‍රයට නැඟෙයි.



මේ ගීතයේ සංගීතය හා ගායනය පද මාලාව සමඟ දැඩි ව බද්ධ වීම නිසා එය සුගායනයක් බවට පත් වෙයි. තමා ආදරය කරන තැනැත්තියගේ සතුට තමාට ශෝකයක් වන අයුරු එහි දී මනාව ඉස්මතු වෙයි. ගලා හැලෙන නදියක ශෝකී රාවයක් මෙන් ගායකයාගේ කටහඬ රසිකයාගේ හෘද ස්පන්දනය සමඟ සම්මිශ්‍ර වෙයි. ඒ සමඟ ම හදවතේ උපන් ආදරය දිග්විජය කරගැනීමට නොහැකි ව ළතැවෙන තරුණයකු ගේ මලානික මුහුණ එක්වර ම මතු වී නොපෙනී යයි.







(Nawathanin Eya Yanawa - Sanath Nandasiri)







(ගීත විචාරය ධම්මික බංඩාර මහතා විසිනි. ඡායාරූපය අන්තර්ජාලයෙනි.)


***************************************************************************



ගියවර මා ඔබ වෙත ගෙන ආ මාගේ පළමු ස්වයං ගීත විචාරයට පසු අද දින මා මේ ඔබ වෙත ගෙන ආවේ සුපුරුදු පරිදි ධම්මික බංඩාරයන්ගේ ගීත විචාරයකි. එමෙන්ම අද මා ගෙන ආ ලිපියෙහි මා හට තරමක විශේෂත්වයක්ද පවතී. 

එනම් මේ මාගේ 50වෙනි පෝස්ට්ටුවයි.

හැකි සෑම අවස්ථාවකම මින් ඉදිරියට මවිසින්ම විචාරය කරන ලද ගීත විචාර ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තුවෙමි. නමුත් ස්වයං ගීත විචාරයක් ගෙන ඒම ඊට ආධුනිකයකු ලෙස ඉතාම වෙහෙසකර කටයුත්තකි. ඊට තරමක කාලයක්ද ගතවේ. එනිසා මගේ නිර්මාණයක් නිමකර ඔබවෙත ගෙන ඒම සඳහා ගතවන කාලය අතරතුර වෙනදා මෙන්ම ධම්මික බංඩාරයන්ගේ විචාරයන් ඔබට රස විඳිය හැකිවනු ඇත.

සනත් නන්දසිරි නම් අසහාය ගායකයාණන්ගේ මුල් කාලයේ ගීතයක් වන මෙම ගීතය ශ්‍රවණය කිරීමේදී මේ ඔහුගේම හඬ දැයි සැක සිතෙන තරමට ඔහුගේ යොවුන් හඬ ගීතය පුරා ගලා යන්නේ ගායනයට ඔහුගේ වූ කෝඩුකාරබවද අපට සිහිගන්වමිනි. කෙසේ වුවද ඔහුගේ සෑම ගීතයක් මෙන්ම රසයෙන් අනූන වූ මෙම ගීතයද සමාජය තුල හුතරයක් රසිකයන්ගේ සැබෑ ජීවන අත්දැකීමක් බවද නොකියාම බැරිය. 

සෙනෙහස පිළිබඳ කෝඩුකාර හැඟීම මෝදු වූ බාල සංදියේ සිටම අප කොතෙකුත්නම් මෙවැනි සංවේදී අත්දැකීම වලට මුහුණ දී ඇත්ද. ඔබ කුඩාකල පාසලේදී ඔබ සිත් ගත් පුංචි දැරිවිය ශිෂ්‍යත්වය සමත්වී වෙනත් පාසලකට යනවිට, නැතිනම් සාමාන්‍ය පෙළ දක්වා ඔබේ නෙත්මානයේ සිටි සිතැත්තිය උසස් පෙළ සඳහා තවත් පාසලකට යනවිට ඔබ මෙම අත්දැකීම විඳ ඇතුවාට සැක නැත. එසේත් නැතිනම් ගීතයේ ආකාරයටම ඔබේ පෙම්වතිය සරසවි වරම් ලැබූ දා ඔබ මීට මුහුණ දෙන්නට ඇත. ගීතයේ ලෙසින්ම ඔබ ඇයට සුබපැතුවේ හදවතින්මද? ඔබ ඇයට යන්න ඇරියේ හදවතින්මද? ඔබේම හදවතට තට්ටුකර පිළිතුරක් දෙන්න. ඔබයි ඔබේ පෙම්වතියයි සරසවි දෙකකට තේරුණ අවස්ථාවේ? නැත්නම් වෙනත් මොනයම්ම හෝ උසස් අධ්‍යාපන ආයතන දෙකකට තේරුණු අවස්ථාවේ ඔබ මෙය විඳින්නට ඇත.

මෙම අත්දැකීම මෙතකින් නිමා නොවේ. ජීවන මංතලාව තුල විවිධ අවස්ථාවල ඔබ මීට මුහුණ පාන්නට ඇත. සේවා ස්ථානයේ ඔබේ සිත්ගත් යුවතිය ස්ථාන මාරුවක් ලැබූ විට, නැත්නම් ඔබේ අසල්වාසී හිතවතිය වෙනත් ඉසව්වකට පදිංචියට යනවිට, ඔබේ දෑසට කඳුලු නැගෙන්නැති.

එසේනම් ප්‍රිය රසික රසිකාවියනි, මේ මොහොත ඒ කඳුලු වචන වලට පෙරලීමට අවස්ථාවයි. අපි බෙදා ගමු ඒ සංවේදී රසබර මතකයන්. අවුස්සාලමු යටගියාවූ ඒ සුමිහිරි අතීතය..



Tuesday, May 13, 2014

•පබළු නගේ නාමල් තිලකේ


"වැව් කන්දේ බෝ ගස් හෙවනේ මම අද තනියම ඔළිඳ ගණිනවා..."







සොබාදහමෙන් ඉතාම පුංචි කාලයක් ඉල්ලගෙන අපි මේ මිහිමත ජීවත් වීමට පැමිණ ඇත්තෙමු. ඒ කෙටි කාල සීමාව තුලදී අපි දහසකුත් බැඳීම අතිකරගන්නෙමු. නමුත් සදාකාලයටම ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි. ප්‍රියයන් හැර යාම අන් හැම දුකකටම වඩා අප හදවත් වලට දැනෙනුයේ මනුෂ්‍යයන් වශයෙන් අප බැඳීම මත පදනම් වූ සංවේදී ජීවිත ගතකරන්නන් වන හෙයිනි.මවු කුස තුල සිටිමින් දයාබර මවු සෙනෙහසට බැඳෙමින් පළමු බැඳීම ඇතිකරගනිමින් ඉන් අනතුරුව මෙලොව එළිය දුටුදා පටන් අප අනේක විද බැඳීම ඇති කරගනිමින් බැඳීම මත පදනම් වූ ජීවිතයක් ගත කරති. 

මෙවැනි බැඳීම් අතර ලේ බැම්මෙන් හට ගන්නා බැඳීම් වලට පසු අප ඇතිකරගන්නා අතිශය ප්‍රබලතම බැඳීම වනුයේ දිවි ගමන්මගෙහි අපගේ සෙවනැල්ල සමඟ අප ඇතිකරගන්නා බැඳීමයි. එනම් ආදරයේ බැඳීමයි. සෙනෙහෙවන්තයෙකු, සෙනෙහෙවන්තියෙකු අතර ඇතිවන්නාවූ බැඳීමෙහි අරුමය, එහි දිග පළල, එහි ගැඹුර කෙසේනම් විස්තර කරන්නද. එවන් වූ අපරිමේය බැඳීමක නිමාව, වියෝව ඔබට කෙසේනම් දරාගත හැකිවනු ඇතිද. එම වියෝව දිවියක නිමාව නම්.. ඔබට එය කෙසේ දැනෙනු ඇත්ද. මේ සටහන එබඳු අතිසංවේදී මොහොතක් පිළිබඳවයි.

ඔහුත් ඇයත් සදාතනික වූ අපරිමේය සෙනෙහසකින් බැඳී සිට ඇත. 



නමුදු ඒ අහිංසක ආදරයට කණකොක් තටුවක හෙවන වැටී අඳුරු වැටී ඇති සෙයකි. දෙදෙනෙකු විසින් ගොඩනැගූ ලොව තුල ඔහු අද තනිවී සිටියි.


"පබළු නගේ නාමල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ..
සුමනෝ...නුඹ ඇයි නැත්තේ.."


මෙම ශෝකාන්තය කෙතරම් අපූරුවට ගීයට නඟා ඇත්ද. ඔහුගේ සොඳුරිය ඔහුට කෙතරම් අගනේදැයි ඔහු ඉතාම සංයමයෙන් ගෙන එන අයුරු කෙතරම් ප්‍රසංශනීයද. ඇගේ සුකොමළ බව ප්‍රේමනීය බව, ගැමි ළියකගේ මොලකැටි බව  "පබළු නගේ නාමල් තිලකේ" යන ප්‍රකාශය තුල මනාව කැටි කොට ඇත. නමුත් ඇය ඉන් නතරවන බොළඳ පෙම්වතියක් නොවන බව ඒ සමඟම ඔහු පවසන අයුරු ඊළඟ පද පෙලින් නිරූපණය වේ. ඒ "පුංචි ඔසරි මැණිකේ "ලෙස ඇයට කරන දයාබර ආමන්ත්‍රණය තුලිනි. ඇය පුංචිය. එනම් ළා බාලය. නමුත් ඇය ඔසරි අඳින පුංචි කෙල්ලකි. මින් අදහස් වන්නේ හුදු ඇගේ ඇඳුම ගැන පමණක්ම නොවන බවයි මගේ අදහස. ග්‍රාමීය හෙළ සමාජය තුළ ඔසරිය යනු ආවාට ගියාට අඳින ඇඳුමක් නොවේ. ඔසරිය යනු සභ්‍ය ලාංකීය හෙළ කාන්තාවගේ ප්‍රතිමූර්තියයි.  එහෙයින් රචකයා මේ පවසන්නට උත්සාහගන්නේ ඇගේ සොඳුරු මොළකැටි බව තුළ සැඟවුණු උදාරතර යුවතිය පිළිබඳවයි. ඔහු මේ පවසන්නේ ඔහුගේ කෙළිලොල් පෙම්වතිය ගැන පමණක් නොව ඔහු සතුකර ගැනීමට සිහින මැවූ දයාබර බිරිඳ පිළිබඳවයි. ඔහුගේ දූ සිඟිත්තන්ගේ දයාබර අම්මා පිළිබඳවයි. මේ ඔහුට ඇය පිළිබඳව ඇති අසීමිත සෙනෙහසයි. ගෞරවයයයි. මොහොතකට සිතා බලන්න. මා මෙම ඡේදයක් පුරා ඔබට විස්තර කළ දේ රචකයා ඉතාම සරල වචන කිහියකින් නිරූපණය කර ඇති අපූර්වත්වය පිළිබඳව.

නමුත් ඒ සෙනෙහෙවන්තිය අද ඔහු අතර නොමැත.

"සුමනෝ...නුඹ ඇයි නැත්තේ"

මීළඟට ඔහු නිරූපණය කරන්නේ ඔහුගේ මෙම ශෝකය සොබාදහම සමඟ බැඳී ඇති ආකාරයයි. ගීතයේ සංවේදී බව මෙම සිදුවිමෙහි ඇති සංවේදී බව ඉතාම මැනවින් අප හදවත් තුළට කිඳා බැස්වීමට රචකයා මේ තුළින් සමත් වී ඇත.


"වැවේ දියේ ඇති නිකින්ණි නිල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
වැව් කන්දේ බෝ ගස් හෙවනේ
මම අද තනියම ඔලිද ගණිනවා.."


සොබාදහමේ සංසිද්ධීන් සමඟ ඔහු තම මතකයන් සහ ඒ මතකයන් තුලින් නැගෙන්නාවූ කටුක වේදනාව මුහු කර ඇති අන්දම රසික හදවත් කම්පනයට ලක් කරයි. 

ඔවුන්ගේ සබඳකම් මරණයෙන් වෙන්කර ඇතිමුත් එම මතකයන් හා බැඳුණු සොබාදහම් ගීය තවම මියගොස් නොමැත. මියයන්නේද නැත. එනිසා එදාවගේම අදත් වැව් දිය මත කෙකටිය පිපී ඇත. නමුත් ඒ සුපුන් සඳ මඩලක් යට නොවේ. රාහු ගිලගත් අඩ සඳක් යටයි. ඔහුගේ ලොවෙහි, නොමැති නම් ඔවුන්ගේ ලොවෙහි, ඔවුන් ගොඩනැගීමට සිහින මැවූ ලොවෙහි පුන් සඳ අද බැස ගොස්ඇත. ඉතිරිව ඇත්තේ ඔහුගේ මතකයන් වලින් පමණක් නැගුණු මළානික අඩ හදක් පමණි. "අඩ හඳ යායට කෙකටිය පිපිලා" යන්නෙහි අදහස එයයි.

මේ දයාබර සෙනෙහසේ සුවඳ බොහෝ දුර සිට පැමිණියක් විය යුතුය. ඔහුට මතක් වන්නේ බාල වියෙහි සිට ඔළිද කෙළියෙහි යෙදුණු වැවු කන්දයි. නමුදු අද ඔළිද ගැනීමට ඇය ඔහු ළඟ නොමැත. ඔහු ඔළිද ගහ යටට වී හිස් බැල්මෙන් බිඳෙන දිය රැළි දෙස බලාහිදිනවා විය යුතුය. දයාබර පාඨකයිනි, කෙදිනක හෝ ඔබ ඔළිද ගසක් යට හිඳ ඇතන්ම්, නුග සෙවණක් යට මෙන් ඔළිඳ සෙවනක් යට දැනෙන පාලු හුදෙකලා බව මේ මොහොතේ ඔබට මතක් වනු ඇත. නිහඬ මොහොතක "ටික් ටික්" හඬින් ඔළිද වැටෙන හඬට ඔබ සවන් දී ඇතිනම් සිතට නැගෙන පාලුව ඔබට සිහියට නැගෙනු ඇත. ශෝකය සමඟ බැඳි පාලුව විදීමටනම් මොහොතකට ඔළිද සෙවනක තනිවන්න. ඔබට මෙය දැනෙනු ඇත. 




රචකයා ඉන් නොනවතියි. මීළඟට ඔහුට දිස්වන්නේ ඇල ළඟ වත්තේ පිපෙන තල මලයි. මෙවැනි සොබාදම් නිර්මාණයන්හි සොඳුරු බව වැඩි වැඩියෙන් දැනෙනුයේ සුපෙම්බර දෙහදකින් මේ සුන්දරත්වය විඳින විටකදීය. නමුත් යම් දිනෙක මෙම සොඳුරුබව දැකීමට ලැබෙනුයේ ඉන් එක් හදකට පමණක් නම් මේ සියලු දසුන් වේදනාවේ උල්පත් පමණකි.

"වෙනදා වාගෙම තල මල පිපිලා
තිබුනට ඇල ලඟ වත්තේ...


සුමනෝ...උඹ ඇයි නැත්තේ..."

මේ මොහොතේ මගේ මතකය ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ සොඳුරුතම ගේය පද රචකයාණන්ගේ පද රචනයක් වෙත කැඳවාගෙන යයි.

"වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා"
(ගායනය - මර්වින් පෙරේරා)
මෙහි ගීත විචාරය රසවිඳිනවා නම්..


මේ පවසන්නේද එවැනිම වූ කතාවකි.

ගීතයේ අවසාන කොටසින් රචකයා අපව තවත් හඩවන්නේ ඉහත කී හුදෙකලාව තුල ඔහුත් අපත් සියල්ලන්ම තනි කරමිනි. 


"මළ හිරු එලියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට ඇඳ පෙට්ටියක තියාලා
පාන් දෙකක එළි මැද්දේ..."


මළ හිරු, සුදු කොකුන්, මේ හැම සංසිද්ධියක්ම අපව මේ රැගෙන යමින් තිබෙන්නේ මළගමකටය. ඒ දයාබර ඇගේ මළගමයි. ඔබට එය දරාගත හැකිනම් මේ  ඇගේ මළගමයි.  සිතින් මවාගන්න  මෙම ශෝකබරිත සිතුවම.

"පිරුවට ඇඳ පෙට්ටියක තියාලා
පාන් දෙකක එළි මැද්දේ.."

මොහොතකින් ඇය පස් යට සඟවමින් ඔහුට උදාවන්නේ ජීවිතයේ කටුකතම  රාත්‍රියයි. ඔහු ඇවිද යයි. නොදැනුවත්වම ඔහු යළිත් පැමිණෙන්නේ තවත් මතක මංකඩකටයි. 



"මදටිය වැටෙද්දී හඳ කැලතෙන ඇල
ඒ දණ්ඩේ ඉස්මත්තේ...
සුමනෝ...නුඹ ඇයි නැත්තේ..."



වචන කිහිපයකින් රචකයා මේ පවසන්නේ ශෝකී හුදෙකලාවක අනන්තය නොවන්නේද? මෙම කොටස සවන් වැකෙන විට මා සිත්හි නැගෙන සිතුවම ඔබට මං මෙසේ විස්තර කිරීමට උත්සාහ ගන්නම්.
ඔහු පැමිණෙනුයේ ඔවුන්ගේ සෙනෙහසේ සුවඳ තැවරුණු ඒදණ්ඩේ ඉස්මත්තටයි. ඒදණ්ඩ සහ ඒ යටින් ගලා යන ඇල අඳුරුකරමින් ඇති අතුපතර විහිදී ගිය රූස්ස මදටිය වෘක්ෂයකි. ඒ අතුපතරින් පෙරී ආ සඳ රැස් වැටී නිසල ඇල දියෙහි අඳුරුසිතුවම් මැවී ඇත. හිටිවනම සියුම් හඬින් ඇල දියට වැටෙන මදටිය ඇටවලින් හටගන්නා කැළඹීමෙන් සඳ එළිය ඇල දියමත බොඳව යයි. මදටිය ඇටයක වැටීමෙන් සසල වීමට තරම් ඇල දිය නිසල නම් මේ පරිසරය ගිලී ඇත්තේ මොනතරම් පාලු නිශ්චල නිහඬ බවක්දැයි ඔබට සිතාගන්නටවත් හැකිද? මෙයට හේතුව කුමක්ද? 


සුමනෝ...නුඹ ඇයි නැත්තේ....


අල්පයක් තරම් වූ තම නිර්මාණ තුලින් කල්පයක් තරම් වූ කාලයක් සිංහල සුභාවිත ගීත සාහිත්‍ය අස්වැද්දූ ඔහු අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ය. ඔහුගේ අතලොස්සක් වූ ගී සංකල්පනා අතර දවසක් පැල නැති  හේනේ,  ළඳුනේ, උලලේනෝ, වැනි විශිෂ්ඨතම නිර්මාණයන් අතරට එකතුවෙන මෙම පබළු නගේ ගීතයද රසික හදවත් ප්‍රකම්පනයට ලක් කල අති සංවේදී ගී සංකල්පනාවකි.  

ඊටම එකතු වූ ගුණදාස කපුගේ නම් අසහාය ගායකයාණන්ගේ හඬ මාධූර්ය පද රචනාව හා බැඳෙන කල්හි, ගීතයට එකතුවන් අගය පරිමිත කල නොහැක්කේ එවන් සුසංයෝගයක් සංරසකටත් වඩා මුහුවන බැවිනි.  කපුගේ සතු ඔහුටම ආවේණික වූ පාළු, ශෝකි ස්වරය  ගීතයට ජීවය දෙනු ලබන්නේ රසික අප හදවත් පතුලටම ගීතය කැඳවාගෙන යමිනි. මළගමක ශෝකය, ඉන් අනතුරුව ඇතිවන කලපාන්තයක් වන් පාලුව, ගීතය රසවිඳීමේදී සජීවීව හදවතට දැනෙනුයේ එහෙයිනි. එය වඩාත් තහවුරු වී ඔපමට්ටම් වන්නේ කපුගේ විසින්ම නිර්මාණය කල තනුව හා සංගීතය හේතුවෙනි.

ගීතය මෙතරම්ම සමීපව සජීවීව අප හදවත් තුලට දැනීමට පදරචනය තුල සැබ්බ්ගවුන තවත් සංවේදී රහසක් තිබේ. මගේ බ්ලොග් අඩවියේ ඉහල ඇති බැනරයේ මා උපුටා ගැනීමක් දක්වා ඇත.

"මුතු ඇටයක් වන්නේ බෙල්ලෙක්ගෙ බෙලිකටුවක සිරවුන වැලි කැටයේ වේදනාවයි"

ඉහත කියමන මෙම ගීතය සමඟ ලේ බැම්මකින් බැඳෙනුයේ  පුදුමාකාර ලෙසිනි.

මුතු ඇටයක් වන් මෙම ගීතය, ඇත්ත වශයෙන්ම අධිනීතීඥ රන්බංඩා සෙනෙවිරත්නයන්ගේ හදවතෙහි සිරගත වුනු වේදනාවයි! මෙය එතරම්ම සංවේදීව අප අතරට ගෙන ඒමට  සමත් වන්නේ ඔහුගේ මෙම වේදනාව විය යුතුය. මා අසා ඇති පරිදි මේ ඔහුගේම කතාවයි. මේ සෙනෙහෙවන්තිය, සුමනා ඔහුගේම සෙනෙහෙවන්තියයි. මෙම සිදුවීම සිදුව ඇත්තේ ඔහු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුව සිටි කාලයේදීයි. ඔහු හැමවතාවකම ගමට දිව එන්නේ ඔහුගේ සුමනා සොයාගෙනයි. නමුත් එක් වතාවක.....ඔහු පැමිණෙන විට සියල්ල සිදුව හමාර වී තිබුණි. වෙනදා ඔහු එනතුරු වැව් කණ්ඩිය මත පෙරමඟ බලා සිටි ඇය තවදුරත් එහි නොසිටියාය..



මෙම ගීතයත් සමඟම මට සිහිපත් වන මීටම සමාන්තර තවත් ගීතයක් ඔබට සිහිපත් කිරීමට මේ අවස්ථාව සුදුසු යැයි හැඟේ. එනම් මීට පෙර මවිසින් ඔබ වෙත ගෙන ආ ධම්මික බංඩාර මහතා විසින් විචාරය කරන ලද " ඇය යන්න ගියා මැකිලා" ගීතයයි.  එම ගීතයද මේ අයුරින්ම අප සියලු දෙනා කම්පනයට පත් කල ගීතයකි.

දෛවය පුදුමාකරය. ඇය අප හැරගොස් බොහෝ කල් ගතවී ඇත. ඔබත් මමත් මෙය රසවිඳින මේ අවස්ථාව වන විට ඇය ගැන අපට කියූ ඔහුද අප හැර ගොසිනි. නමුත් අද ඔහු ඇය සමඟ එක් වී ඇතැයි මට හැඟේ. ඔවුන් නික්ම ගොස් ඇත්තේ කෙතරම් අපූරු නිර්මාණයක් අපට තිළිණ කරමින්ද.

අදත් සඳ ඇති  රෑක, මදටිය ගහයට ඇල මත ඒදණ්ඩේ ඔවුන් අත් අල්ලාගෙන රහස් මුමුණන ආකාරය දෑස් පියාගත් විට මා මනසේ අඳුරු සිතුවක් ලෙස මැවී බොඳ වී යයි..







ගීතය මෙතනින්  Download කරගන්න...
(Pabalu Nage / Sumano - Gunadasa Kapuge)







(සියලු ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි.)

                                                          -මනෝෂ් සඳරුවන් (සඳුමල්)



*********************************************************************************


එසේනම් මා දයාබර මිතුරු මිතුරියනි මා ඒ අවසන් කලේ කලක සිට ඔබගේ ඉල්ලීමක් වූද, මගේ බලාපොරොත්තුවක් හා සිහිනයක් වූද, මා විසින් ප්‍රථම වරට විචාරය කරන්නට යෙදුනු මාගෙ මංගල ගීත විචාරයයි.

මෙම නිර්මාණ කර්තව්‍යයේදී, මෙහිලා මවිසින් විශේෂයෙන්ම මතක් කල යුතු කරුණු කිහිපයක් තිබේ. මෙම නිර්මාණය වූ කලී ඔබගේ ශක්තියෙන්, ඔබගේ දිරිගැන්වීමෙන් බිහි වූ මගේ උත්සාහයේ ප්‍රතිපලයයි. ඔබගේ උනන්දු කරවීම නොතිබුනි නම් තව බොහෝ කාලයකට මා අතින් ගීත විචාරයක් බිහි නොවීමට ඉඩ තිබුනි. 

මෙහිදී මෙම ගීත විචාරය නිර්මාණය කිරීම සඳහා ධම්මික බංඩාර නම් වූ සොඳුරු ගේය පද රචකයාණන්ගෙන්, ප්‍රවීණ ගීත විචාරකයාණන්ගෙන් මා ලැබූ පන්නරය මාඅ හට ව්චන වලට පෙරලීම අසීරුය. මේ මොහොතේ මම ඉතාම කෘතවේදීව එතුමා ගෞරවයෙන් සිහිපත් කරන්නෙමි. තවද, මෙතරම් ඉක්මනට මගේ ස්වයං ගීත විචාරයක් ඉදිරිපත් කිරීම සඳහා මා දැඩිලෙස උනන්දු කරවූ කුරුටු ගෑ ගී පවුරේ සාමාජිකයන්ට මාගේ ප්‍රණාමයා මෙසේ පුද කර සිටින්නෙමි. තවද, පෙර පෝස්ට්ටුවෙන් මා මේ පිළිබඳ සඳහන් කල මොහොතේ සිට මා හට මහමෙරක් තරම් ශක්තියක් වෙමින් නිබඳ මා දිරිගැන්වූ මගේ දයාබර බ්ලොග් සහෘදයින් ඉතාම කෘත්වේදීව සිහිපත් කරන්නෙමි. විශේෂයෙන්ම, ප්‍රියා, විදානෙ, දේශක, අරූ, තුශානි,සහෝදර,දිනේෂ්,හිම පියල්ලේ,මධුරංග, වැනි මගේ බ්ලොග් අඩවියෙහි යාවජීව මිතුරන්ට මගේ ගෞරවනීය ස්තූතිය ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කරගානිමි. එසේම නම් සඳහන් කල්, නොකල, මගේ අඩවිය සමඟ නිතර රැඳෙන, කලාතුරකින් හෝ පැමිණ රසවින්දනයක් ලබන සියලු දෙනාටම මම අතිශයින්ම කෘතවේදී වෙමි. ඔබ සියලු දෙන් ආගෙ සහයෝගය නොවන්නට මට මෙය සිහිනයක් පමණක්ම වනු ඇත.

ඔබ නොහඳුනන මුත්, මගේ මෙම නිර්මාණ දිවියටා මට මහඟු අත්වැලක් වන නිබඳ මා පසු පස සිට දිරිය ලබා දෙන මගේ ළබැඳියන් කිහිප දෙනෙකු සඳහන් කිරීමටත්, ඔවුනට මගේ කෘතවේදීතවය පලකර සිටීමටත් අවස්ථාවක් ලබා දෙන්න. පෙර පෝස්ටුවකද සඳහන් කල පරිදි මගේ දයාබර සෙනෙහෙවන්තිය මේ සෑම කටයුත්තකදීම මට ලබා දෙනුයේ නොමඳ සහයෝගායකි. ඉදිරියට පියවරක් තැබීමට මා පැකිලෙන සෑම අවස්ථාවකදීම ඔබ සියලු දෙනා  මෙන් මා තුල විස්වාසය ඇතිකරමින් මා ඉදිරියට තල්ලු කලේ ඇයයි. එමෙන්ම නිර්මාණ කියවමින් නිතර මට සුබ පතන, ආශිර්වාද කරන, වැරදි අඩුපාඩු අඩු ලුහුඬුකම් කියාදෙන මගේ දයාබර මෑණියන් මේ මොහොතේ මා ඉතාම ආදරයෙන් සිහිපත් කරන්නෙමි. කවදත් මගේ දිවි ගමනේ පහන් ටැඹ වූයේ ඇයයි. තවද මනා රසවින්දනයකට මට මඟ පෙන්වූ, මගේ හදවත තුල සොඳුරු රසවතෙකු බිහි කල ආදරණීය අලහකෝන් බංඩාර ගුරු පියාණන්ද, හරබර සාහිත්‍ය වචන වල අරුත් පහදා දෙමින් නිතර මට උදවු කරන අබේකෝන් හේරත් ගුරු පියාණන්ද මේ මොහොතේ බැතිබරව සිහිපත් කර සිටින්නෙමි.

අවසාන කිරීමට මත්තෙන් මා දයාබර පාඨක ඔබගෙන් ඉල්ලීමක් කරමි. ගීත විචාරය කියවන්න. රසවිඳිය හැකි මට්ටමේ පවතීදැයි බලන්න. ඉන් අනතුරුව නැගෙන ඔබගේ අවංක අදහස් මට කප්පරකටත් වඩා වටී. යම් හෙයකින් මා අධෛර්‍යමත් වනු ඇතැයි සිතා ඔබා ඔබගේ අවංක අදහස්, විවේචන, වැරදි, මා හටා නොපෙන්වා සිටියහොත් එය මගේ ඊළඟ නිර්මාණය කරාද ඇදී යනු ඇත, එනිසා ඔබේ අදහස්, යෝජනා, චෝදනා හා විවේචන මා ඉතා ඕනෑකමින් බලාපොරොත්තු වෙමි. 

එසේ නම් රසවතුනි, මේ ඔබේ අවස්ථාවයි. හැමදාමත් වගේ මම ඔබේ අදහස් බෙදා ගැනීමට මඟ බලාහිඳින්නෙමි...