"සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ"
ඉස්සර ඉස්කෝලෙ යනකාලෙ, මට අමාරුම පාඩම උනේ කුලක පාඩම. මොන හේතුවකටද මංදන්නෙ නෑ අනිත් උන් සේරටම ලේසිම පාඩමක් වෙච්ච කුලක පාඩම මට අමාරුම එක උනා. ඒ නිසා මුල ඉඳලම මං හිතන් හිටියෙ ඕලෙවල් වල ගණිත පේපරේ කුලක ගාන අත්තරින්න. හැබැයි.. කවදාවත් නොහිතපු විදියට මට කුලකත් ලේසිම පාඩමක් උනා. ඒ, අපේ අමරවර්ධන සර් අපිට උගන්නන්න පටන්ගත්තට පස්සෙ.
ඉස්කෝලෙ හිටපු හොඳම ගණිත ගුරුවරයා වගේම ඉස්කෝලෙ ඉඳපු සැරම ගුරුවරු අතරෙ ඉහලම ස්ථානයක් හිමිකරගත්ත ගුරුවරුවරයෙක් හැටියටයි අපි සර්ව දැනගෙන හිටියෙ. හැමෝම අපිට කිව්වෙත්. ඒත්, හරියටම සර් කියන්නෙ මොනවගේ කෙනෙක්ද කියල අපි දැනගත්තෙ සර්ත් එක්ක වැඩකරන්න පටන්ගත්තට පස්සෙ. සර්ගෙන් ඉගෙනගන්න ගත්තට පස්සෙ.
අවුරුදු දහතුනක පාසැල් ජීවිතේදි මං ඕනිතරම් ගුරුවරු දැකලතියෙනවා, ඕනිතරම් ගුරුවරුන්ගෙන් ඉගෙනගෙනත් තියෙනවා. ඒත් සර් වගේ "ගුරුවරයෙක්" මට හම්බෙලා නෑ. ඇස්වහක් කටවහක් නෑ, සර්නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙක්. උගන්නන්න ඒ වගේ හැකියාවක් තියෙන මනුස්සයෙක්.. මටනම් හිතාගන්නවත් බෑ. ඕනිම ගොං මැටිමෝලක් සර් එක පැයෙන්, එක පාඩමෙන් ඔපදාල හැඩකරල ගනී සරස්වතී පිළිරුවක් වගේ. සර්ගෙ ජීවිතේම වෙලා තිබුනෙ උගන්නන එක. දහසක් දෙනාගෙ ඇස් පාදන එක. අනේ මංද, ඉගැන්වීම වෙනුවෙන් ඒ වගේ කැපකිරීමක් සර් කොහොම කලාද කියාල.
සර් අපිට කියල දුන්නෙ ගණිතය විතරක් නෙවෙයි, සර් අපිට ජීවිතෙත් කියල දුන්නා. සර් අපිට සර්ගෙ ජීවිතෙන් අපිට ජීවිතේට පාර පෙන්නුවා. පොත්ත දිලිසෙන ඒත් මදේ හිස්, හක්කෙ බුදු බණ බොක්කෙ දඩමස් තියෙන බොරු හරබර දේසනා වලින් නොවුනත් සර් ජීවත් වෙනගමන් අපිට ජීවත් වෙන්න ප්‍රායෝගික පොතක් උනා සර් අපිට. ගොඩක් ඉස්කෝල වල ඉන්නවා තමන්ට කරන්න තියෙන දේ හරියට නොකර, ඒක කරනවා වෙනුවට තමන්ගෙ පෞර්ෂ්‍ය ගොඩනඟාගන්න බොරුවට ඇඩ් දාන ගුරුවරු. එක්කෝ කොල්ලෙක්ගෙ කොණ්ඩෙ අල්ලගනී, නැත්නම් කලිසමේ ඇදයක් හොයයි, එහෙම නැත්නම් සපත්තුවේ උල මනින්න හදයි, ඔය මොකක් හරි.නැත්නම් කොල්ලෙක් කෙල්ලෙක්ගෙ ලවු හුටපටයක් හරි අල්ලගෙන ඒක මත්තෙ නහී. ඒත් ඒ ගුරුවරුන්ට මතක වෙච්ච දේ තම එයාල එයාලගෙ ජොබ් එක හරියට කරල නෑ කියන එක.
ඒත් අපේ අමරවර්ධන සර්ට මේ කිසි දෙයක් එච්චර අදාල උනේ නෑ. සර්ට ඕනි උනේ වැඩ. හැමදේටම කලින් හොඳට ඉගෙන ගන්න එක. කොල්ලන්ගෙ කලිසම තියෙන තැන හොයන්න කලින් සර් හෙව්වෙ ඌට පාඩම තේරුනාද කියලා. කොල්ලන්ගෙ සපත්තුවේ උල හොයන්න කලින් සර් හෙව්වෙ උන්ගෙ පැන්සල හොඳට උල් වෙලාද කියලා. කොල්ලන්ගෙ කොණ්ඩෙ, රැවුල කපන්න කලින් සර් බැලුවෙ උන් හරියට සමච්ඡේදකේ කපලද කියලා. අන්න ඒවා හරියට නැතිකොට, සර් දුන්න ගෙදර වැඩ කෙරිල නැතිකොට, සර්ගෙ පීරියඩ් එකක් කට් කෙරුවම, අන්න එතකොටනම් සර්ට අසූ හාරදාහට මල පැන්නා. මල විද්ද කිව්වොත් වඩා නිවැරදියි.
එවැනි බොහෝ අවස්ථාවල කරාටි ඉගෙන ගෙන නැති උනත් සර්, කොල්ලන්ගෙ පස්චාත් බාගයට සර් බැලන්ස් කරන කික් එකේ අවසන් ප්‍රතිපලය උනේ කොල්ලා ගානට පන්තියේ දොරෙන් එලියට වීසිවෙච්ච එක. අන්න එතකොටනම් සර් පට්ට සැරයි. එහෙම නැත්නම් බොහොම සුන්දර වදන් මාලාවක් සර්ගෙ මුවින් හරිම ලාලිත්‍යවත්ව නිරායාසයෙන් පිටවුනා.
සර්ට එහෙම කේන්තියන්න බොහොම සාධාරණ හේතු තිබුනා. ඇත්තටම සර්ගෙන් ඉගෙන ගන්න කිසිම එකෙක්, සර් දුන්න වැඩක් හරියට නොකර ඉන්න, සර්ගෙ ක්ලාස් එකක් කට් කරන්න, කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ. සර්ගෙ කැපවීම ඒතරම්මයි. ඒ කැපවීමට සාධාරණ වටිනාකමක් නොදෙන උන්ට අම්මප හෙන ගැහුවත් මදි. සර් කිසිම දවසක සල්ලිවලට ඉගැන්නුවේ නෑ. සර් සල්ලිවලට යටවුනෙත් න, විකිණුනෙත් නෑ. ඉස්කෝලෙ බාගෙට උගන්නලා ඉතිරි ටික කරන්න ටියුශන් එකට එන්න කිව්වෙ නෑ සර් කවදාවත්. සර් ටියුෂන් කලේ නෑ. සර්ගෙ ඒ කාලෙත්, ඒ මහන්සියත් අපි වෙනුවෙන් නොමිලෙම වැය කලා.
හැම සතියෙම අඟහරුවාදයි බදාදයි හවස දෙකේ ඉඳල පහ වෙනකල් සර් අපිට අමතර පංති කලා. සතයක්වත් නොගෙන. ඊට අමතරම හැම සෙනසුරාදම උදේ අටේ ඉඳල දොලහ වෙනකල් සර් අපිට ඉගැන්නුවා. සර්ගෙ වියදමෙන් අපිට පාස් පේපර්, ටියුට් ගහල දුන්නා. මේ කිසි දේකට සර් තඹ සතයක් අය කලේ නෑ. ඒ නිසා දුප්පත් පෝසත් හැම එකාම හොඳට ඉගෙනගත්තා. එකොළහ වසර පන්ති හයම එකට දාල අපේ ඉස්කෝලෙ පරණම හෝල් එක වෙච්ච, අපි ආදරේට දැල් හෝල් එක කියපු ශාලාවෙ සර් අපිට අමතර පන්තිකලා.
මට මතක නෑ මං සර්ගෙන් ඉගෙනගත්තු අවුරුදු දෙකට්ම සර් නිවාඩු ගත්ත දවසක්. පීරියඩ් එකට පරක්කුවෙලා ආපු දවසක්. සර්ට, සර්ට කියල ගෙදරක් තිබුනෙ නෑ. සර් හිටියෙ ඉස්කෝලෙම චමරියක. පුංචි චමරියෙ බිත්තෙ හතරට කොටුවෙලා සරුයි සර්ගෙ පුංචි පවුලයි ජීවත් උනා. සර්ගෙ බිරිඳත් ගුරුවරියක්. හැබැයි අපේ ඉස්කෝලෙ නෙවෙයි, වෙන ඉස්කෝලෙක. සර්ගෙ ළමයි දෙන්නත් සර් වගේමයි. බොහොම නිහඬ චරිත. සර් ගෙව්වෙ බොහොම අල්පේච්ච ජීවිතයක්. ටීචත් එහෙම්මයි. හැමදාම සර්ගෙ හෙවනැල්ල වගේ සර් ලඟින්ම හිටිය, හැම දුකක්ම, කරදරයක්ම විඳගෙන. බිතුසිතුවමක් වගේ කවදාවත් සර්ට පිටුපෑවෙ නෑ. සර් වගේම අල්පේච්ච සරල ජීවිතයක් ඇයටත් තිබුනෙ. මාල වළලු අරුමෝසම් වලින් මිදිච්ච, හැබැයි හරිම ලස්සනට පිලිවෙලට ඇන්ද පැලැන්ද ඇයත් බොහෝම නිහතමානි ගුණ යහපත් කාන්තාවක්. සිල්ලර හීන පස්සෙ ගාල කඩාගෙන දුවන හිස් පොෂ් ගෑනු අතර ඇය ඇය පිපිල හිටිය සුදු නෙලුමක් වගේ. සර්ට මහලොකු සල්ලියක් තිබුනෙ නෑ, අතට පයට වැඩකාරයෝ හිටියෙත් නෑ. යන්න එන්න යාන වාහන තිබුනෙත් නෑ. සර් නිතරම ගියේ පයින්. සර්ට ඒක දැනෙන්නෙවත් නෑ. සෙනසුරාද අපිට පංති ඉවරකරල සර් යනව පොළට. අපේ ඉස්කෝලෙ ඉඳල ටවුන් එකට තියෙනවා කිලෝමීටර් දෙකක් විතර. ඒකාලෙනම් රුපිඅයල් හයක දුර. ඒත් සර් කවදාවත් බස් එකේ ගියේ නෑ. සර් ගියේ පයින්. ඒවගේම පොලෙන් ගත්ත බර බඩු මල්ලත් අරං සර් ආපහු ආවෙත් පයින්. ගිනි ගහන අවුවෙ පට්ට දවල් සර් එනවා, ඒත් සර්ට එක දාඩිය බින්දුවක්වත් දාල නෑ. ඒ සර්ගෙ තියෙන හිතේ හයියටද නැත්නම් පිංකාරකමටද නම් අපි දන්නෙ නෑ.
කොහොමත් සමාජෙ හොඳ මිනිහට තියෙන්නෙම කැපිලි කෙටිලි. ඒවගේම තමයි සර්ටත්. ස්ටාෆ් එකේ බොහෝ අය විතරක් නෙවේ, ප්‍රින්සිපල් පවා සර්ට අකුල් හෙලුව මිසක් එක ඩිංගිත්තක සහයෝගයක්නම් දුන්නෙ නෑ. හැබැයි සර් නැතුව ඉස්කෝලෙට කවදාවත් හොඳ ගණිත ප්‍රතිපලයක් ගන්න බැරිබවත් ඒ හැමෝම දන්නවා. ඒනිසා අර කපන්න බැරි අත ඉඹිනවා වගේ සර්ව තියාගෙන හිටිය මිසක් නැත්නම් අනිවාරෙන් මොකක් හරි කොක්කක් දානව උන් සර්ට. පොදු සමාජෙන් බොහෝ ඈත් වෙලා, සමාජශීලි නොවී සර් හිටපු නිසා සර්ගෙ ජීවන රටාව ඒගොල්ලන්ට දිරවන්න නැතුව ඇති. සාද සාජ්ජ, විනෝද චාරිකා, සර්ට හරි ගියේ නෑ. අරක්කු බිඳක්, දුම්වැටියක්, බුලත් විටක් කට අහලකටවත් නොගත්ත සර් හැමවෙලේම පන්සල්වල ලගින්න ගියේ නැතුවට හොඳ බෞද්ධයෙක් වගේ පන්සිල් ආරක්ෂා කරගෙන ජීවත් උනා.
පොල්ගහ ලකුණ රබර් සෙරෙප්පු දෙක දාල, ලා පාට කමිසෙ කලු කලිසමට යටකරල කොහේ ගියත් යන සර් කවදාවත් වයස ගියෙත් නැත්ද මංදා. දැන් අවුරුදු ගානකට කලින් දැක්ක සර්මයි තාමත් ඒ විදියමයි.
එකදවසක් සර් අපිට හවස පංතියේ උගන්න උගන්න ඉන්නකොට අපේ ප්‍රිසිපල්ට හදිසියකට වයිට් බෝඩ් එක ඕනි කියල සර් පාවිච්චි කර කර ඉඳපු වයිට් බෝඩ් එක උස්සන් ගියා. ඒතරම් කෙනෙහිලිකම් සර්ට. ඒදා ඒ වෙලාවෙ වේදනාව තද කරගත්තු සර්ගෙ ඇස්වල බිමට නොවැටුණු කඳුලු දීප්තිමත්ව දිලිසුනු හැටි මට අද වගේ මතකයි. ඒ හැමදේකින්ම තැලෙන්න තැලෙන්න සර් පන්නරය ලබල තව තවත් මුවහත් උනා මිසක් සර් කවදාවත් වැටුනෙ නෑ. ජීවිතේ අනන්ත බාධක දුක් ගැහට විඳල පොලොවෙන්ම පන්නරය ලබපු සර්ට අර කන්දක් ගිල්ල මිනිහට අග්ගලෙත් කජ්ජක්ද කිව්ව වගේ මේ හැමදේම නිකං පයට පෑගෙන දූවිලි වගේ. ඒ සිද්ධිය අපිට මහ දරුණුවටම දැනුනා. සර්ට තරම් දරාගැනීමේ හැකියාවක් නොතිබුන අපි හොරෙන් කඳුලු හංගගත්තා. එච්චරවත් හයියක් නොතිබුන අපේ කෙල්ලො ටික ඇඬුවා. කොහොම හරි ඕලෙවල් ලියන්න යන්න ලෑස්තිවෙලා අපේ කවිකාරියි (සර් එයාලගේ පංති බාර )එයාලගේ යාලුවොයි එකතුවෙලා සර්ට වයිට් බෝඩ් එකක් අරන් දීලා. අනිත් ගුරුවරු වගේ කවදාවත් තෑගි බලාපොරොත්තු නොවුන, දුන්නත් කිසිම තෑග්ගක් නොගත්ත අපේ සර් ඒ තෑග්ග නම් සතුටින් බාරගත්තලු. ඒ ඉදිරි පරම්පරාව වෙනුවෙන්මයි.
සර්ගෙ කැපවීමට, උත්සාහෙට පිං සිද්ධ වෙන්න ඉස්කෝලෙ විභාගෙට ලියපු එවුන් හැම අවුරුද්දෙම හැම එකාම පාස් උනා. එහෙමත් එකෙක් තමයි කලාතුරකින් ගනන් පේල් උනේ. ඉතින් අපිත් ඒ විදියට ඉහලින්ම විභාගෙ සමර්ථ උනා. බොහෝම දෙනා ඉතින් හොඳ හොඳ තැන්වලට ගියා. සමහරු අතාම ඉගෙනගන්නවා. සමහරු රස්සා කරනවා. සමහරු බැඳල ළමයිනුත් ඉන්නවා. සමහරු ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරන් බොහොම සැපෙන් ජීවිතේ ගෙවනවා. ඒත් අපේ සාර් තාමත් ඉස්සර වගේම ඉස්කෝලෙ යනවා. ඒ බාටා කෑලි දෙක ඒ විදියමයි. කලිසම, කමිසෙ එහෙම්මයි. සර් තාම පයින්. සර් තාම චමරියෙ.
කාලෙ ඔහොම ගෙවුන. සර්ව අපිට මඟ තොටේදි මුණ ගැහෙනවා. හම්බුනොත් අනිවාරෙන් කතාකරල අපේ විස්තර අහනවා. අපි හොඳින් හොඳ තැන්වල ඉන්නව කියල දැනගත්තම සර් අපිට හොරෙන් හංගගන්න සතුටු කඳුලු අපිට පේනවා. මං කලිනුත් කිව්ව වගේ සර් කවදාවත් මූණෙන් නම් වයස ගියේ නෑ. ඒත් හදිසියේම සර් වයසට ගිහින් කියල අපිට දැනුනෙ අපේ මල්ලිලා දහය වසරෙ ඉන්නකොට හදිසියේම සර් පෙන්ෂන් යනව කියල ආරංචි උනාමයි. මටනම් දැනුනෙ ලෝකෙම නතර උනා වගෙයි. ඒත් අපේ කාලෙ ගෙවිල උදාවෙලා තිබ්බ මල්ලිලාගෙ යුගයෙ ළමයින්ට සර්ගෙ එච්චර වටිනාකමක් තිබුනෙ නෑ කියල උන්ගෙ කතාබහින්ම අපිට තේරුණා. ඒත් සර්, සර්ගෙ යුතුකම අකුරටම ඒ කාලෙ වගේම ඉටුකලා. සර් වෙනස් වෙලා නෑ, ඒත් ළමයි වෙනස් වෙලා. සර් ඉස්කෝලෙ ගෙව්ව අන්තිම කාලෙ සර් කාටවත් වැඩිය සැරවැර උනේ නෑලු, ගැහුවෙ බැන්නෙත් නෑලු. සර් හැමවෙලේම කිව්වලු ළමයිනේ මගේ මේ ඉස්කෝල ජීවිතේ අන්තිම කාලෙ මට ඕනි නෑ පොලිසි උසාවිවල යන්න උඹලට උගන්නන්න ගිහින් කියලා. ඒ තරමට සමාජෙ වෙනස් වෙලා.
සර් සතයක්වත් අයනොකරගෙන මහන්සියෙන් කරපු අතිරේක පන්තිවලට අපේ කාලෙනම අපි හැමෝම එකෙක් නෑර නොවැරදීම සහභාගි උනා. මුලු එකොලහ වසරම, ඒ කියන්නෙ ලමයි 250ක් විතර අනිවාරෙන් සර්ගෙ පංති හිටියා. ඒත්.. කිව්වට විශ්වාස කරන්න, අපේ මල්ලිලාගෙ එකොලහ වසර බැජ් එකෙන් ළමයි තුන්දෙනයි සර්ගෙ පංතිවලට ඉඳල තියෙන්නෙ! ඒත් කෙල්ලො දෙන්නෙකුයි, අපේ එකයි. මං සර් ගැන කියල තියෙන හින්ද අපේ එකා ගියා, ඒත් ඌ කිව්ව විදියට අනිත් උනටනම් සර්ගෙ මේ අපරිමිත කැපවීම අබමල් රේණුවක තරම්වත් වටිනාකමක් දැනිල නෑ. ඒ සර් නිකං උගන්නන නිසා වෙන්නැති. ඒ කාලකණ්නින්ගෙ පවට පින දෙන්න බැ. කවදාවත් නොවිච්ච විදියට උන්ගෙන් කිහිපදෙනෙක්ටම ඒ ලෙවල ණයට කරන්න වෙලා. ඕලෙවල් ගනන් පේල් වෙලා.
සර් පෙන්ෂන් ගියාට පස්සෙත් ළමයි වෙනුවෙන්, ඒ තුන්දෙනා වෙනුවෙන් නොමිලෙ පංති කලා. මගේ ළමයි ටික අනාථකරන්න මට බෑනෙ කියලා.
සර් ජීවිතේ ප්ලෑන් කරල තිබුන විදිය හරිම පුදුමයි. අපිත් දුක් උනේ කල්පනා කලේ පෙන්ෂන් ගියාට පස්සෙ සර් ඉන්නෙ කොහෙද කියන එකයි. සර් ජීවිත කාලෙම ළමයි වෙනුවෙන් කැප උනා මිසක් සර් වෙනුවෙන් මොකුත් කරගත්තෙ නෑ. සර්ට තිබුනෙ සර්ගෙයි ටීචගෙයි සොච්චම් පඩිය විතරයි. ළමයි දෙන්නෙකුටත් උගන්නන ගමන්. මේ තියෙන සමාජෙ, මේ ආර්ථිකේ ජීවත් වෙන එක මොන යුද්ධයක්ද කියල අපි හැමෝම දන්නවා. ඒත් පෙන්ෂන් ගියගමන්ම ගෙඩි පිටින් අතින් සල්ලි දීල ලක්ෂ දහයකට එකවරම ඉඩමකුයි ගේකුයි ගත්තා. හරි ලස්සන හුරුබුහුටි ගේ පොඩ්ඩක්. නිස්කලංක පරිසරයක්. අපිට දැනුනෙ දරාගන්න බැරි සතුටක්. අපේ සර් ජොබ් එකට ආ දා ඉඳල සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතුකරගත්ත සල්ලි ඒ ජීවිත කාලයක් පුරා. සර් කවදාවත් ලෝකෙට ණය උනේ නෑ. බැංකු වලින් ලෝන් ගත්තෙ නෑ. ඒ වෙනුවට කිලෝ මීටර් ගනන් පයින් ගිහින් සර් රුපියලෙන් රුපියල බැංකු පොතක ඉතිරිකරල ජීවිත කාලයක් පුරා...
සර් අපිට අදටත් මඟතොටේදි මුණගැහෙනවා. අපි සර්ව දකින්නෙ බස් එකේද, පේමන්ට් එකේද, පොලේද, කඩේකදිද, මේ කොහෙදි උනත් දණිස් දෙකම බිම ගහල සර්ට අපි වඳිනවා. හිතේ දරාගත්ත අපරිමිත භක්තියකින්. අපිට යාන වාහන වල යන්න පාර කපල දීල සර් අදටත් පාරදිගේ රබර් සෙරෙප්පු ගෙවෙනකල් පයින් යනවා. එහෙම යන වෙලාවක අපි ටවුමට යද්දි සර් උඩහට ආවත්,අපි අන්තිම හදිස්සි ගමනක් යද්දි සර්ව හම්බුනත්, බයික් එකේ පෙට්‍රල් ලෙල්ලටම හිඳිල බයික් එක බිමට ඇල කරල ස්ටාට් කරගෙන ගියත්, මොන මඟුලෙ කොහොම ගියත් සර්ව හම්බුන ගමන් අපේ ගමන් බිමන් සේරම අතෑරල දාල සර්ව සර් යනතැනට ඇරලවන්නෙ අපි උතුරන සතුටකින්. අපි සර්ව එක්ක යන්නෙ දළදා කරඬුව වඩම්මනවටත් වඩා භක්තියෙන්. සර් අපිට දුන්න දේවල් වලට අලගු තියන්න අපිට ආත්ම ගානකදිවත් බෑ. ඒත් ඒවගේ පුංචිම පුංචි දේකින් අපිට පුලුවන් සර් වෙනුවෙන් අපි පුංචි හරි දෙයක් කලා කියල ආත්ම තෘප්තියක් ලබන්න.
ජීවිතේ අපිට ගුරුවරු හම්බෙලා තියෙනවා, ඒත් මෙහෙම ගුරු දෙවියෙක් හම්බෙලා නෑ. අපි හැමෝම ඉස්කෝලෙ යන කාලෙ අපේ ගුරුවරුන්ට එක එක කාඩ් ගහනවා. අනිවාරෙන් වල් නමක් දානවමයි. අපේ ඉස්කෝලෙත් හැම ගුරුවරයටම එහෙම නමක් තිබුනා. නමක් නැත්නම් අඩුම තරමෙ සර්ගෙ නම කියල සර් නැති තැන්වල කතාකරනවා සර් කෑල්ල නොකිය. ඒක කොලු ගතිය. ඒත්.. එහෙම නමක් නොතිබිච්ච එකම එක සර් කෙනෙකුත් අපිට හිටියා. ඒ තමයි අපේ අමරවර්ධන සර්.. සර් අපිට හැමදාමත් අමරවර්ධන සර්මයි. ඉස්කෝලෙ හිටපු බ්‍රයිටටත්, අහින්සකයටත්, පරයටත්, මැරයටත් මේ හැමෝටම අපේ සර් "අමරවර්ධන සර්" මයි. ගුරුවරයෙක් මොන නම්බුනාම ගරු බුහුමන් ලැබුවත් මේ සම්මානෙ ගන්නෙකනම් බොහෝම අමාරුයි. කිසිම ගුරුවරයෙක්ට ඒක නොලැබෙන තරම්. ඒත් සර්ට ඒක තිබුනා. අපේ සර් වෙනුවෙන් කවදාවත් කවුරුවත් උපහාර උලෙලවල්, ගුණ කථනයන් පවත්වල නෑ, සර්ට එහෙම ඕනිවෙලත් නෑ, පැවැත්වුවත් සර් බාරගත්තෙත් නෑ.
ඒ කොහොම උනත් කවදාවත්ම ගුරුවරයෙක්ට ලබන්න බැරි, අපේ හදවත් වල සර් ගැන තියෙන භක්තියේ, ආදරයෙ, ගෞරවයෙ සදාතනික සම්මානෙ සර්ට ලැබිල තියනවා. මං හිතන්නෙ ගුරුවරයෙක්ට ලබන්න පුලුවන් උසස්ම සම්මානෙ ඒක.
මටත් තියෙනවා හීනයක්, මමත් හෙට අනිද්දට ගුරුවරයෙක්. ගුරුවරයෙක් විදියට මං ගන්න පළවෙනි පඩියෙන් මට ඕනි පහල මං දාල තියෙන සිංදුව බැක්ග්‍රවුන්ඩ් එකෙන් දාල විශාල කරපු සර්ගෙ ෆොටෝ එකක් සර්ට තෑගි කරන්න. ඒ වගේම තෑගි බෝග ගොඩාක් උස්සගෙන සර්ව බලන්න යන්න. ඒක මගේ සිල්ලර සිහිනයක්. ඒත් මට තියෙනවා ඊට්‍ර වඩා ගැඹුරු හීනයක්. ඒ සර් දැකපු හීනයේ සර් කපපු පාර දිගේ, සර් නවත්තපු තැනින් ඉදිරියට ගමන් කරන්න. සර්ගෙ හීනෙට තව තවත් ජීවය දෙන්න.
මං දන්නව, මට වගේම මෙහෙම අත්දැකීම් ඔයාලටත් ඇති. අනිවාරෙන් අපේ ජීවිත කාලෙ තුලදි අපිට මෙහෙම ගුරුවරු හම්බෙනවා. මේ විදියට හදවතටම දැනුනු, ඔයගොල්ලො අද ඔයාල ඔය ඉන්න තැන්වලට ගෙනාපු, ඔයාලගෙ ජීවිත එලිය කරපු, ඔයා;අගෙ ජීවන ගමන මෙහෙම ලසනනට යන්න පාර කපල දුන්න සුන්දර ගුරු දෙවිවරු ඔයාලටත් ඇති. අපි ඒ මතකයන් අවධි කරමු. පඩි අරගෙන ගමට ගියාම, ඒ වයසක මිනිස්සුන්ට මොනාවත් අරං ගියේ නැතත් කමක් නෑ සල්ලි අමාරුයිනම්, ඒත් ඉන්න තැනකට ගිහින් ටිකක් හම්බෙලා කතාකරල වැඳල එන්න. පාලුවෙන් කාන්සියෙන් ඉන්න ඒ මිනිස්සු එක්ක ඒ කාලෙ අතීතෙ මතකයන් බෙදාගන්න. ඒ රත්තරං ජීවිත වලට ඒක කෝටියකටත් වඩා වටීවි. ඔවුන් අපරිමිත ආනන්දයක් ලබාවි.
අපේ දයාබර අමරවධන සර්ට උපහාරයක්ම වේවා.. එතුමන්ට දීර්ඝායුශ ලැබේවා. මේ විදියටම නිදුක් නිරෝගී සුවයෙන් තවත් සුවහසක් කාලයක් එතුමන්ගේ රැකවරණය ලැබීමට අපිට වාසනාව ලැබේවා..!
පැන මඩකඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ
සාමා අමර විකුණති බස් පොලේ කජු
කුමාරෝද පිටු දන්දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිඳ දඩුවමක් පැතූ
රන් මසු පටපිළී අභරණ උරන වෙලා
සමන් පිච්ච කැකුළිය ගෙයි මිලිණ වෙලා
තුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා
පැන මඩකඩිති...
පද රචනය : මහින්ද චන්ද්‍රසේකර
සංගීතය : රෝහණ වීරසිංහ
ගායනය : සුනිල් එදිරිසිංහ
(Pena Mada Kadithi - Sunil Edirisinghe)
ගීතය අහනවනම්...