Pages

Sandumal

Sandumal

Friday, May 9, 2014

•විදුලිය එළිය දැක ගිනි හුළ දියේ හොවා


"මං මුළා වූ දියණියක ගේ පාපොච්චාරණය..."







මීට දශක කීපයකට පෙර දිනයක ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවයට සවන් දෙමින් සිටියෙමි. මා හට එතරම් නුහුරු ළයාන්විත ගැමි හඬක් එයින් මතුව ආයේ ය. ඒ සමඟ ම ඒ හඬ හා බැඳුණු අපූර්වතම පද මාලාවක් මගේ සවන් සිසාරා ඇදී ගොස් හදවතේ කොතැනක හෝ තැන්පත් වනු මට දැනිණි. ගායනය අවසානයේ නිවේදකයා පැවසූයේ, ගීතය ගායනා කළේ ඉන්ද්‍රාණි බෝගොඩ බවයි.

මා මුලින් සිතා සිටියේ ගීතය ගයන්නේ රජරට ගායිකාවක බවයි. එහෙත් නම ඇසූ සැණින් මට සිහිවූයේ හැත්තෑව දශකයේ මගේ හද බැඳගත් තවත් ගීත දෙකකි. එනම් "පෙම් කළ වරදට මට වද දෙන්නේ" නැමැති ගීයත් "මගේ නීල නෙතු සඟළින් මොනවද ඔබ ඉල්ලන්නේ" නැමැති ගීතයත් ය. මේ ගයන්නේ ද ඒ ඉන්ද්‍රාණි බෝගොඩ ම ය. පසු දිනෙක මේ ගීය විකාශනය වෙද්දී මම වහාම පද මාලාව කොළයක කුරුටු ගා ගතිමි.

අද මේ සටහන ලියා තබන්නේ දශක ගණනාවක් මගේ මතකයේ ලියැවුණු ඒ අපූරු පදමාලාව පිළිබඳවයි. ජීවිතයේ මඟ වරද්දාගත් දියණියකගේ දුක්බර පාපොච්චාරණයක්, මෙතරම් හැඟීම්බර ලෙස ගැයෙනු අද වන තුරුත් මම අසා නොමැත්තෙමි.

පැරණි ගැමි සමාජය තුළ මව සහ දුව අතර පවතිනුයේ, අදට වඩා වෙනස් සබඳතාවයකි. අද සමාජයේදී දියණිය අවට සමාජය අනුකරණය කරමින් හැදෙන වැඩෙන අතර ගැමි සමාජයේ දී දියණිය මව අනුකරණය කරමින් හැදෙයි. වැඩෙයි. ඉවුම් පිහුම්වල සිට අනෙකුත් සියලු සමාජානුයෝජන ක්‍රියාවලීන් ඇය ඉගෙනගන්නේ මවගෙනි. ක්‍රමානුකූල ව මව දියණිය ගේ සෙවනැල්ල බවට පත්වෙයි.




එහෙත් යෞවනය පුදුමාකාර ය. නව යොවුන් වියේදී යොවුන් හදවත් ප්‍රේමයට විවර වන්නේ තමාටත් නොදැනුවත්වමය. එහිදී සියලු මානව සබඳතා ඉක්මවා ගෙන ප්‍රේම සබඳතා අතුපතර ලියලා වැඩෙයි. බුද්ධිය අබිබවා හැඟීම් ඉස්මතු වෙයි. එතැන් සිට ජීවිතය හිතුවක්කාර ලෙස ගලායාමට පටන් ගනියි. පියාගේ හෝ මවගේ සෙවණැල්ල හිරිහැරයක් බවට පත්වෙයි. මෙහිදී දියණියක නම් තම පෙම්වතාගේ සෙවණැල්ල මවගේ සෙවණැල්ලට වඩා උත්තම ලෙස සලකන්නට පටන් ගනියි. දෙමාපිය සෙනෙහස නැමති කූඩුවේ දොර විවර කරගෙන නිල් ආකාශයේ හිතුවක්කාර ලෙස පියාසලන්නට පටන් ගනියි.




අවසානයේ ප්‍රේමයෙන් දිග්විජය ලබනු වස් කූඩුවෙන් මිදී තමන්ගේ කූඩුවක් තනා ගනියි. ස්වර්ණ ගුණවර්ධනයන් තම ගීතයට පසුබිම් කරගන්නේ හිතුමතේ ම කූඩුවක් තනන්නට ගොස් මග වරද්දාගත් දියණියක ගේ පසුතැවිල්ලකි. ඇය ඇස් ලබනුයේ සියල්ල සිදුවී නිමා වීමෙන් පසුවයි. එහෙත් රචකයා විසින් ගොඩනගනු ලබන පදමාලාව තවකකුට ඇස් ලබාදීමට සමත් ය. හිතුවක්කාර තීන්දුව ගත් දියණිය නියෝජනය කරනුයේ ගැමි වැඩවසම් සමාජයයි. ඒ නිසා ම ඇගේ පසුතැවිල්ල ප්‍රතිනිර්මාණය කිරීමේදී ගැමි උපමා ප්‍රස්තාව පිරුළු රචකයා විසින් යොදාගනු ලබයි.

දියණිය තම මව අතහැර පෙම්වතා වෙත අබිනික්මන් කිරීම පසුව ඇයට පෙනෙන්නේ විදුලිය දැක ගිනි හුළ දියේ ඔබා නිවා දැකීමක් ලෙසයි. එහිදි විදුලි එළිය නම් තම පෙම්වතාගෙන් බලාපොරොත්තු වූ ආදරය හා සුරක්ෂිත භාවයයි. ඒ වෙනුවෙන් ඇය අතහැර දමන ගිනිහුළ වන්නේ අම්මා ගේ ආදරයයි. එහෙත් විදුලිය එකවර ම ආලෝකය දී පසුව නිවී යන්නකි. විදුලිය දැක ගිනිහුළ නිවා දැමීම අනුවණ කමකි. ඇය ඒ අනුවණකම සිදුකර හමාරය. එසේ ම එය දුවන මුවන් දැක අතරැඳි පලාමිටිය, බිම දැමීමට සමාන ය. එහෙත් අම්මලා තම දූදරුවන් කෙරෙහි දක්වන්නේ වෙනත් ආකාරයෙනි. යස ඉසුරු චිත්‍රපටයට ධර්මසිරි ගමගේ ශූරීන් රචනා කළ ගීයක ඒ පිළිබඳව මෙසේ සඳහන් වෙයි.


"අම්මාවරුනේ.. අම්මාවරුනේ..
සම්මා සම්බුදු අම්මාවරුනේ..
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුරලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා..."
(යස ඉසුරු චිත්‍රපටය)

(Ammawarune - Nanda Malini)



මේ දියණියට ද පිහිටවීමට දැන් මිහිපිට සිටින එක ම චරිතය අම්මා ය. තම දියණියට නිවසේ දොර වසා දැමීමට අම්මාට නොහැකි ය. ආදරයේ කිරි සුවඳට ඉවකරමින් දියණිය ද අම්මා ගේ රැකවරණය සොයා පුනරාගමනය කරන්නී ය.


"විදුලිය එළිය දැක ගිනි හුළ දියේ හොවා
මග වැරදිලා වූයේ මං මුළා වෙලා
පැන යන මුවන් දැක හැලුවයි නෙළූ පලා
දොර ඇරපන් අම්මේ මට සමාවෙලා..."

ඇගේ අසරණ බව අවසාන ආයාචනයේ ගැබ් වී පවතී. ඈ ලද යථාවබෝධය ජන විඥානයෙන් සුපෝෂිත වදන් මාලාවකට ඒකරාශී කිරීමට ස්වර්ණගුණවර්ධනයෝ සමත්වෙති. "කස්තුරි කපුරු" කෙතරම් වටිනා දුර්ලභ වස්තූන් වුවද ඒවා කද්දී එපා වූ බවත්, මී පැණි ද ඇයට දැන් තිත්ත බවත්, තමා සිනාසුණේ ඇස් රතුවන විහිළුවකට බවත් ඇය පවසයි. මේ තුළින් දැනුවත් වන්නේ ඇය රසවත් යැයි සිතු කිසිවක් තුළ රසයක් නොදුටු බවයි. 




රසය සොයමින් අකීකරු වූ තමා දිහා අම්මා බලාසිටියේ උපේක්ෂාව පිරුණු දෑසින් බව ඇයට වැටහෙයි. අම්මාගේ ඒ සුවිශේෂ ගුණාංගය මේ මොහොතේ දියණිය තුළ ඇති කරන්නේ කම්පාවකි.


"කස්තුරි කපුරු කෑ තරමට එපා වුණි
තිත්තයි අනේ තිත්තයි මී වදේ පැනී
ඇස් රතුවන කොළොප්පමකට හිනා උනී
මහමෙර වගේ නුඹ නොදොඩා බලා උනී"


ඇයට අනුව ඇය සතුට සොයා ඇත්තේ වැරදි තැනකිනි. ගැමියා කොළොප්පම යන වචනය භාවිතා කරන්නේ "විහිළුව" යන්න අර්ථවත් කරමිනි. එහෙත් ඇය අත වැනුවේ මිරිඟුවකට ය. ඇය සිනා සී ඇත්තේ සිනාසිය යුතු අවස්ථාවක නොවේ. එය ඇස් රතුවන කොළොප්පමකි. එහෙත් මේ සියල්ල මහමෙරක් සේ නොසැලී උපේක්ෂා සහගත සිතින් අම්මා බලා සිටි ආකාරය දියණියට සිහිපත් වේ. තමාට වඩා සියදහස් ගුණයක දුරදක්නා නුවණක් අම්මා සතුව පැවති බව දියණිය වටහා ගනියි.

 "මහමෙර වගේ නුඹ නොදොඩා බලා උනී" යන යෙදුමෙන් "අම්මා" නැමති චරිතය පිළිබඳ, සානුකම්පිකවූ ද උත්තරීතර වූ ද හැඟීමක් හටගනී.

ජය පරාජය දෙක ම කර්මයට පැවරීම ජන විඥානයේ සුලබ ලක්ෂණයකි. ගැමි වහරට අනුව "කරුමෙට මෝල්ගහත් පත්තු වෙනවා" යනුවෙන් ඉඟි වැකියක් පවතී. මේ දියණිය තම පාපොච්චාරණයේ දී පවසන්නේ තම කර්මයට මෝල් ගහත් ඇවිළුණු බවයි. නිසි වයස එළඹෙන තුරු අම්මාගේ උණුසුම විඳීමට තමන්ට නොහැකිවීම පිළිබඳවත් තමා ජීවිත කාලය තුළ ගත් අනුවණ තීන්දු පිළිබඳවත් ඈ දිගින් දිගට ම පසුතැවිලි වන්නී ය. තමන් මහමගට ඇද වැටුණු හිඟන්නියක් හා සමාන ය. එහෙත් මේ පුංචි හිඟන්නියට අම්මා සමාවදෙන බව ඇයට විශ්වාස ය. 

මක්නිසාද ඒ කිරි සුවඳේ ආදරය මිස වෛරය නොමැති බැවිනි.




දැන් ඇය සිඟන්නේ ලෝකයේ අතිශයෙන් පවිත්‍රතම ආදරය වන අම්මාගේ ආදරයයි.
මේ පදමාලාව රසිකයා තුළ යම් තිගැස්මක්, සසලබවක් ඇති කිරීමට සමත්වෙයි. ඒ මේ තරුණිය මුහුණ දෙන ඛේදවාචකය නිසා ම නොවේ. අප සසල වන්නේ "අම්මා" යන වචනයට නිර්මාණය තුළදී ලැබෙන්නාවූ වටිනාකම නිසා ය.

මේ දියණිය ගේ ආයාචනයෙන් මතුවන ගැහැනිය, තම දියණියට, දොර වසාදමාවිය යනුවෙන් සැකයක් කුමන මොහොතක හෝ රසිකයා තුළ ඇති නොවන තරමට, "අම්මා" නැමැති චරිතයේ පෞර්ෂය, නිර්මාණය තුළ නිරායාසයෙන් වර්ධනය වීමට රචකයා අවස්ථාව සලස්වා තිබේ.

එසේම එවන් මවකට පිටුපෑ දියණි ගැන කෝපයක් හෝ අප්‍රසාදයක් නිර්මාණය අවසානයේ රසිකයා තුළ ඉතිරි නොවේ. ඒ නිසා රචකයා තුළ පවතින්නා වූ ආත්ම සංයමයද මනාව තහවුරුවෙයි. නැවතත් මට ධර්මසිරි ගමගේ මහතා "අම්මාවරුනේ" නමැති ගී පදමාලාව නිමා කළ ආකාරය සිහියට නැඟෙයි.

"සෙනෙහස වැඩි දා සිත ද බොළඳ වේ
ලොවම ආදරේ කියා සිතේ
මායාවක් වී එහි තනි වූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ"
(යස ඉසුරු චිත්රපටය)

ගී පද මෙන්ම සංගීතයේ හා ගායනයේ ද සුවිශේෂ අවස්ථා මෙහි දැකිය හැකි ය. ජනගී රිද්මයක් අනුගමනය කරන චන්ද්‍රදාස බෝගොඩ සිතාරයේ හඬ වැඩි වශයෙන් ගීතය තුළ යොදා ගනී. ඒ තුළින් තරුණියගේ ආධ්‍යාත්මයේ වැළපීම ඉස්මතු කිරීමට සංගීතඥයා උත්සාහ දරයි. 

ගායනය සාර්ථක වී ඇත්තේ එහි ඇති හැඟීම්බර බව නිසා ම ය. මේ අත්දැකීමට ගොදුරු වූ තරුණියගේ ම හද ගැස්ම ඉන්ද්‍රාණි බෝගොඩ ගේ හඬෙන් ඉස්මතු වේ. ඒ හඬ සවන් සිසාරා ගොස් අකීකරු දියණිය කෙරෙහි මෙන් ම අම්මා වෙනුවෙන් උපන් කඳුළක් ඇය ළඟ තබයි. උපදේශයක් දෙනු වෙනුවට මෙබඳු සංවේදී සිද්ධියක් ප්‍රතිනිර්මාණය කිරීම නිසා රචකයා උපදේශකයකු හෝ ප්‍රචාරකවාදියකු ගේ තත්ත්වයට පත් නොවී තිබීම ප්‍රශස්ත ය.

මේ සටහන ද මා අවසන් කරන්නේ ඇතැම් ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකාවන්ට චෝදනාවක් ඉතිරි කරමින් හා ප්‍රශ්නයක් ද එක්කරමිනි. මෙබඳු නිර්මාණයක් නැවතත් ජනතාව අතරට ගෙන යන්නට ඔබේ මාධ්‍ය තුළ ඉඩක් නැත්තේ ඔබේ අලෙවිකරණ ආකල්ප සමඟ මේ නිර්මාණ බද්ධ නොවන නිසා ද? එසේත් නැති නම් ඔබ නොදන්නාකම නිසාද?






(Viduliya Eliya Deka - Indrani Bogoda)






(ගීත විචාරය ධම්මික බංඩාර මහතා විසිනි. ඡායාරූප අන්තර්ජාලයෙනි.)




***************************************************************************

මගේ පාඨක සහෘදයන් සියලු දෙනාම පාහේ මින්පෙර රසනොවිඳි ගීතයක් ගෙන එමින් මා මීට පෙර පළකල පෝස්ට්ටුව අතිසාර්ථක වූ බවයි මගේ හැඟීම. බ්ලොග් අවකාශය තුල මාගේ ප්‍රයත්නය මල්ඵල ගැන්වූ එම පෝස්ට්ටුව නිසා මින් පෙර මාද, පදරචනය පමණක් රසවිඳ තිබූ එම ගීතය සජීවීව රසවිඳීමට මම භාග්‍ය ලදිමි. ගීතය පටිගත කර මාහට එවීමට තරම් කාරුණික වූ බ්ලොග් අවකාශයේ අපේ සහෝ දර සොහොයුරාට මා මෙහිදී විශේෂයෙන්ම ස්තූතිවන්ත වන අතර ගීතය සෙවීමට මහත් වූ වෙහෙසක් දරමින් මා හා අත්වැල් බැඳගත්, මේ මොහොතේද ගීතය සොයමින් සිටින බ්ලොග් අවකාශයේ මා දයාබර මිතුරු කැලටද මම මහත්සේ කෘතඥ වෙමි.

ඉන්පසුව අද මා ගෙන ආ මෙ ගීතයද මෑත කාලයේදී කිසිදු විද්‍යුත් මාධ්‍යක ඇසීමට නොලැබුනු බව මම විශ්වාස කරමි. එනිසාම පෙර ගීතය තරම්ම නොවූවද මෙම ගීතයද ඔබ බොහෝ දෙනෙකුට මින් පෙර ශ්‍රවනය කිරීමට අවථාවක් නොමැතිවන්නට ඇතැයි සිතමි. කෙසේ වුවද මේ ගීතය පෙර ගීතය මෙන් සොයාගැනීමට අපහසු ගීයක් නොවීම නිසා මෙවර ඔබට ඒ පිළිබඳ කරදරයට පත් නොවී ඉහත ඇති ලින්ක් එක තුලින් පහසුවෙන්ම ගීතය ඩවුන්ලෝඩ් කරගෙන රසවිඳීමට හැකිවනු ඇත.

මෙම ගීතයේ මා දකින විශේෂත්වය නම් ගීතය තුල නිරූපිත ප්‍රස්තුතය මේ ගීතය තුලින් හැර වෙන කිසිදු ගීතයකින් නිරූපණය නොවීමයි. එනම් මේ කියන කතාව, මේ සංවේදී සිදුවීම් දාමය නිරූපණය කල ලංකාව තුල බිහිවුන එකම සිංහල ගීතය මෙය පමණි. (මෙහිදී මගේ මෙම අදහස වැරදිනම් මගේ දයාබර හිතවතුන් මා හට සමාවී මා නිවැරදිකරනු මැනවි.)

ලාංකීය ජන සමාජය තුල තම දියණියගේ ප්‍රේම සබඳතාවක් කණ වැකුනු සැනින් මවු පියන් ඊට එරෙහි වීම අතිශය සාමන්‍ය සිදුවීමකි. බොහෝවිට මෙහිදී පෙම්වතිය මා පිය අණට කීකරුව පසුබසින අතර සුලු පිරිසක් ඊට අවනත් නොවෙමින් හිතුවක්කාර තීරණයක් ගැනීමට යොමුවෙති. මෙහිදී එම තීරණයේ සම්පූර්ණ වගකීම ඇය සතුවන අතර, යම් වැරදීමක් සිදු නොවීමට තරම් ඇයගේ තීරණය බුද්ධිමත් විය යුතුය. එසේ නොවන කල්හි දියණියන් හට මෙවැනි අභාග්‍යසම්පන්න ඉරණමකට ගොදුරුවීමට සිදුවේ. 

කෙසේ වුවද මෙවැනි අවස්ථාවක ඇයට සිටින එකම පිළිසරණ ඇගේ දයාබර මෑණියන්ගේ අපරිමිත සෙනෙහසයි. මවු වරුන් සියලු දේ අමතකකොට දියණියව තම තුරුල්ලේ හොවා සනහවන්නේ ඒ උදාරතර මවු ගුණය ශපත කරමිනි. එවන් මොහොතක දියණියක තුල ඇතිවන අසරණ බවෙහි ප්‍රතිමූර්තිය මෙම ගීතයයි. ඇගේ ආත්ම පාපොච්චාරණය මෙම ගීතයයි. මේ, මඟ වරදවාගත් දහසකුත් දියණියන්ගේ හදවතේ ගීතයයි. එමෙන්ම දොරගුලු හැර මවුපිය දෝතින් නික්ම යන නැකතෙහි පසුවන දයාබර දියණියන්ගේ හදවතට ගයන උපදේශයේ ගීතයයි.

ඉතින්.. දයාබර හිතවතුනි, අපි රසවිඳිමු ගීතය. මෙනෙහි කරමු දයාබර මවු සෙනෙහස. ප්‍රාර්ථනාකරමු දැයේ දියනියන් හට මෙවැනි ශෝකාන්තයක් උරුම නොවන්නට..