Pages

Sandumal

Sandumal

Tuesday, May 6, 2014

•දඬු මොනරෙ පිටින් ගිහින් එන්න

"අපෙ හඬ අරගෙන ඈත හඬන සක්වා ලිහිණී..."




නව සහශ්‍රකය බිහිවන්නේ සිංහල ගීතයේ ගමන්මඟ එක්වරම අහුරා දමමිනි. 1977 න් පසු උපන් 77 දරුවන් යෞවනයට පා තබන්නේ නව සහශ්‍රකය මතිනි.

විවෘත වෙළඳපොළ, රූපවාහිනී නාලිකා සහ ගුවන් විදුලි නාලිකා ඔවුන්ගේ ඇස, කන වර්ණවත් කරමින් මනස අපවිත්‍ර කළහ. ඒ නිසා නව සහශ්‍රය තුළ කවියන් ගීත රචකයන් බිහිවූයේ අල්ප වශයෙනි. මේ දශකය තුළ මතු වූ කලාකරුවෝ වැඩි දෙනෙක් හැත්තෑහතේ දරුවෝ නොවූහ. එහෙත් කවියකු ගීත රචකයකු කෙටිකතාකරුවකු ලෙසින් බිහිවන අමිල තේනුවර වූ කලී හැත්තෑහතේ දරුවෙකි. ඔහු සුවිශේෂ වන්නේ එබැවිනි.

සරු ගසක් වැවෙන්නට සරු පොහොර ඇවැසි ය. ඇතැම්විට නව යෞවනයේ දොරකඩ, විශිෂ්ට ගුරුවරුන් ලැබීම විශිෂ්ට කලාකරුවන් ඇසුරට ලැබීම කෙනෙකුගේ ප්‍රතිභාව ඔපවත් වීමට හේතුවෙයි.
   
අමිල තේනුවරට ඒ වාසනාව හිමි වුණා විය යුතුය. එවිට වයසට වඩා පරිණත නිර්මාණ බිහි කළ හැකිය. නව සහශ්‍රකයේ මුණගැසෙන කාව්යක්කාරයන් අතළොස්ස අතරට අමිල තේනුවර ද එක්වන්නේ එබැවිනි. 

"සක්වාලිහිණි" නැමැති ගීතය ඒ සඳහා කදිම උදාහරණයකි.

සක්වාලිහිණි වූ කලි තවත් එක් ලිහිණි වර්ගයකි. මොවුහූ පෙම්වතුන් වශයෙන් දවල් කාලයේ එකිනෙකා සමීපයේ ළබැඳි ව ගඟ දෑලේ කල් ගෙවති.



එහෙත් සඳපායන රාත්‍රියේ දෙදෙනා ඉවුරේ දෙපසට වෙන් ව යති. එතැන් සිට ඉවුරු දෙපස සිට ඔවුහු විරහ වේදනාවෙන් හඬා වැටෙති. "සක්වා දා" නැමැති ජාතක කතාවේද මෙබඳු පුවතක් දක්නට හැකිය.
මඟුල් ලකුණු එකසිය අටෙන් එකකට අයත් මේ සක්වාලිහිණින්ට ස්වභාව ධර්මයෙන් නියම කර ඇති දඬුවම අරුම පුදුම ය.

ඒ නිසාම සක්වාලිහිණින්ගේ හඬා වැටීම විරහ විරහනීන්ගේ හඬාවැටීමට බෙහෙවින් සමාන ය. මේ පාරිසරික සිද්ධාන්තය තත්කාලීන සමාජ දේශපාලන ආර්ථික තලය මත ස්ථාපිත කිරීමට අමිල තේනුවර උත්සාහ දරයි.

මෙහි ප්‍රථමයෙන් හමුවන්නේ ආර්ථිකය ජය ගැනීමට දුර රටකට යාමට සැරසෙන තම සැමියාට දුක සඟවාගෙන ඔහුගේ චිත්ත ධෛර්යය වඩවමින් සුබ පතන බිරියකි.

"දඬු මොනරෙ පිටින් ගිහින් එන්න
පෙම්බර ස්වාමී
දරු පැටව් බලා ඉන්නම්
ඔබ නමින්ම පේවී..."

මේ ඒ මොහොතේ ඈ තුළ ඇතිවන මනෝභාවයකි. හෙට දවසේ ඇයට දරුපැටවු බලාගැනීම ඇතැම් විට ගැටලුවක් විය හැකිය. එහෙත් ඈ ස්වාමියාගේ සිත නොබිඳ, තම ආත්ම විශ්වාසය ප්‍රකට කරයි. 

මට බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ "හුණුවටයේ කතාව" සිහිවෙයි. සයිමන් සෂාවා යුද පෙරමුණට යන විට ගෲෂා මෙසේ පවසන්නී ය.

"යුද භටය යන යුදයට
හිඳින්නෙමි මම ඔබ එනතුරා
යනුය නොපැකිළ සටනට
ලෙයින් නැහැවුණු කුරිරු යුද බිම"

දුක සඟවාගෙන ගෲෂා කළ ප්‍රකාශයට සමාන ප්‍රකාශයක් මේ බිරියගේ මුවින් ද පිටවේ. මෙයට සැමියා දක්වන ප්‍රතිචාරය කුමක් ද?

"පුන්සඳ කොපුලත කඳුළු බිංදු
වියලී යාවී
අපෙ හඬ අරගෙන ඈත අඬන
සක්වා ලිහිණී"

දුක්බර බවක් අවට පරිසරයේ පවතී. ඒ සක්වා ලිහිණියන් ගේ හඬයි. ගඟ දෑල හිඳ වැලපෙන සක්වා ලිහිණින්ට දුක පවරා දී අඹුසැමියෝ නිහඬ ව සිටිති. අවසානයට දුටු බිරිඳගේ මුවමඬල, සඳමඬල සේ සැමියා දකියි. සඳමඬලේ කඳුළු බිංදු වියළෙන්නේ ඒ කඳුළු සක්වා ලිහිණියන් ගේ හඬට මුසු වී ඇති බැවිනි.

"දොළොස් මහේ පාන පත්තු වෙලා
හදවතේ"

තම දූ දරුවන් වෙනුවෙන් මෙහෙවරට යන සැමියා ගැන මතකය දොළොස්මහේ පහනක් ම ය. මේ වෙන්වන මොහොත අතිශයින් හැඟීම් බර බැවින් සැමියා ගේ සිතුවිලි අමිල තේනුවර මෙසේ ගීයට නගයි.

"ගිය ගමන් තැපැල් කරමී
සඳ කිඳුරු ජාතකේ
නාඬන්න දේවියේ..."

පති භක්තිය පිළිබඳ උත්තරීතර ලියවිල්ල සඳකිඳුරු ජාතකයයි. තම ආදරණීය බිරිය සමඟ සංසාරයෙන් සංසාරයට බැඳී එන සෙනෙහස මේ මොහොතේ ඔහුගේ හදවතේ උද්දීපනය වේ.

සඳකිඳුරු ජාතකය තැපැල් කර එවීමෙන් සංකේතවත් වන්නේ තම බිරිය පිළිබඳ කෘතගුණය මූලික කරගත් අපරිමිත ස්නේහයක් සැමියාගේ හදවතේ රැඳී ඇති බවයි.

එක්තරා ආකාරයකින් මෙය ද අභිනික්මනකි. ආධ්‍යාත්මික විමුක්තිය පතාගෙන සිද්ධාර්ථයන් අබිනික්මන් කරන ලදී. මේ සැමියාට බිරිය දරුවන් දමා අබිනික්මන් කරන්නට සිදුවන්නේ ආර්ථික විමුක්තිය අරභයා ය. එදා කන්ථක අශ්වයා නේරංජනාව තරණය කළා සේ අද ඔහුට ගුවන් යානයකින් සමුදුර තරණය කරන්නට සිදුවී තිබේ.

"නේරංජාවද මා මේ එතෙරව ආවේ"

එදා ඒ අබිනික්මනේ දී තිරිසන් සතෙකුගේ ද ළය උණු වී පැලී ගියේය. එහෙත් අහස් යන්ත්‍රයක එසේ ළය උණු නොවේ. නොපැලේ. වර්තමානයේ මානව හදවත් පවා අසංවේදී වී ඇති ආකාරය රචකයා සංකේතවත් කරයි.

"යකඩින් ළය සදා තිබුණු අහස් යන්තරේ
කන්ථක අසුමෙන් ළය පැළෙන්නෙ නෑ හිමි සඳුනේ
මම නාඩා ඉන්නේ..."

වෙන් වීමේ දුක ඔවුන්ම විඳගත යුතුය. ඔවුන් ගැන කඳුළක් ඔවුන්ම හෙළනු විනා වෙන කිසිවෙක් නොහෙළති. එහෙත් මේ බිරිය කඳුළු සඟවා ගන්නීය. ඒ කඳුළු සැලීමෙන් පලක් නොමැති බව ඈ හොඳින් දන්නා බැවිනි.



ලූෂන් බුලත් සිංහලයන් ගේ "දම් පාටින් ළා සඳ බැස යනවා", රත්න ශ්‍රී විජේසිංහයන්ගේ "මගෙ බිසව්නේ අසාපන්" වැනි නිර්මාණයන්ගෙන් අමිල, උත්තේජනය ලබා ඇති බව පැහැදිලි ය. එහෙත් එම නිර්මාණ අනුකරණය කිරීමට ඔහු උත්සාහ නොකරයි.

ආදරය, හුදෙක් මනෝලෝක නැමැති වලාකුළු මතම පාවෙවී නොපවතී. ආදරයද මහපොළවේ පය ගැසිය යුතුය. පොළව මත ආදරය පය තැබූ විට සුන්දරත්වය ද අසුන්දරත්වය ද උපේක්ෂාවෙන් විඳගත යුතු වෙයි. නැතිනම් අසුන්දරත්වය සුන්දරත්වයකට හැරවිය යුතුවෙයි. අමිල තේනුවර ඒ අසුන්දරත්වය සුන්දරත්වය කරා ගෙන එයි.

ගංගාවක් නිසල ව ගලා බසියි. මුළු පරිසරය සඳ රැසින් නැහැවී ගොසිනි. දිවා කල ළඟින් සිටි සක්වාලිහිණි ජෝඩුව ස්වභාව ධර්මයේ නියාමයන්ට අනුව දෙපසට වෙන් කර තිබේ. උණුසුම අහිමි ව ඔවුහු ගඟ දෑලේ දෙපස සිට වැලපෙති. ආර්ථික, දේශපාලන, සංස්කෘතික නියාමයන්ට අනුව දුරස් වූ මානව සක්වාලිහිණින් ගේ විලාපය ඒ හා මුසුව ඈත කඳු යායක හැපී දෝංකාරය දෙයි. ඒ දෝංකාරය මගේ සවන පාරන බැවින් මම මෙතැනින් නවතිමි.










***************************************************************************


ධම්මික බංඩාරයන්ගෙ ගීත විචාරයත් සමඟ අද මා ඔබ හමුවට ගෙන ආ මෙම ගීතය බහුතරයක් දෙනාට එතරම් හුරුපුරුදු නොවනු ඇති බවයි මට හැඟෙන්නෙ. නමුත් අන් කවර ගීයක් තරම්ම මෙය ඔබේ හද බැඳගනු නොඅනුමානයි. කෙසේ වුවද විචාරය කියවා ගීතයද කියවූ විට මින් පෙර ඔබ මෙම ගීතය අසා නොමැතිනම් පෝස්ට්ටුව පුරා ඔබ මේ වන විටත් සොයමින් ඉන්නව ඇති වෙනදට තියෙන "ගීතය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න" ලින්ක් එක කොහෙද කියා. ඇත්තටම අවාසනාවන්තම කරුණත් එයයි. සයිබර් අවකාශය තුල මෙම සුන්දර ගීතය තිබෙන ඉසව්වක් මා හට තවම සොයාගැනීමට නොහැකිව ඇත.

මේ සොඳුරුතම ගීතය සහ විචාරය මෙතෙක් කලක් ඔබ හමුවට ගෙන ඒමට මා පසුබට වූයේද මෙමෙ හේතුව නිසාමය. සයිබර් අවකාශය පුරා මෙතෙක් කල් මේ ගීතය සොයමින් මා කරක් ගසමින් කල්මරමින් සිටියද, මෙම ගීතය මා හට මෙතෙක් හමුනොවුනි. මීට කීප මසකට පෙර Ananmanan.lk, Topsinhalamp3, වැනි වෙබ් අඩවි වෙත මේ ගීතය සඳහා ඉල්ලීම් ඉදිරිපත් කලද ඒවායින් මෙතෙක් සාර්ථක ප්‍රතිචාරයක්ද නොලැබුනි. එනිසා තවත් මෙම ගීතය ඔබට ගෙන ඒමට ප්‍රමාද වීමෙහි පලක් නොමැතිබව මා කල්පනා කල බැවින් මෙවර මෙය ඔබ සඳහා ගෙන ඒමට තීරණය කලෙමි.

තවද නගර කිහිපයකම ගී තැටි අලෙවි සැල්වල මා මෙම ගීතය පිළිබඳ සොයා බැලුවද ඒවායින්ද සාර්ථක ප්‍රතිපල නොලැබුණි. එනිසා මා දයාබර බ්ලොග් පාඨක සහෘදයෙන් මෙන් මමද, මේ ගීතය ඇසීමට මඟබලා සිටින්නෙමි. ඉතින් මේ කාරුණික ඉල්ලීම මගේ සහෝදර මිතුරු, මිතුරියන්ටයි. ඔබ කිසිවෙකුට හෝ මෙම ගීතය සොයා ගැනීමට හැකිනම්, මා වෙතද මෙම ගීතය ලබා දීමට කාරුණික වන්න. ගීතය ඔබ සතු වීනම් මගේ ඊමේල් ලිපිනයට(masandumal@gmail.com) ගීතය එවන මෙන් මම දයාබරව ඔබෙන් ඉල්ලා සිටින්නෙමි. එමෙන්ම සයිබර් අවකාශය තුල කාටත් ඩවුන්ලෝඩ් කරගත හැකි ඉසව්වකට යොමු කිරීමට කාරුණික වන්න.

ගීතය ඇසීමට නොහැකි වුවද, ගීතයේ පදරචනය කියවීමෙන් පමණක්ම මේ ගීතය හදෙහි ලැගුම ගන්නේ එය එතරම්ම ආකර්ශනීය නිසාවෙනි. ලංකා ජනගහනයෙන් 1/4ක් වත් මේ ආකාරයෙන් සත් සමුදුරෙන් එතෙර වන්නේ මෙතෙර සිටින තම සෙනෙහෙවන්තයන්ගේ සුඛවිවරණය උදෙසාය. ඒ යන ගමන තුල සිත්හි හටගන්නා කඳුලු ගුලි ගැන හොඳින්ම දන්නෝ ඔවුහුම වෙති. මේ සංවේදී හැඟීම බ්ලොග් අවකාශයේ ඔබ කිහිපදෙනෙක්ම සජීවීවම විඳ ඇත්තන් බව මම හොඳින්ම දන්නෙමි. එනිසා මෙම ගීතය ඔබව වඩාත් සංවේදී කරනු ඇත. ඔබ කඳුලින් රසවිඳිනු ඇත.

ගායකයාණන් පිළිබඳව අප මින් ඉහත විවිධ අවස්ථාවන්හීදී කතාබහ කොට ඇති නිසාත් ඔහු පිළිබඳ කතා කිරීමට බ්ලොග් පෝස්ට්ටුවක් ප්‍රමාණවත් නොවන නිසාත් ඔහු පිළිබඳ ගුණ වැයීමට මෙය අවථාවක් කරනොගනිමි. ගායිකාව පිළිබඳ එසේවත් කතා නොකල යුත්තේ ඇයද පෙර දිනයක අප සාකච්ඡාවට බඳුන් කල අසංක ප්‍රියමන්ත මෙන් මඟ වරදාගත් ගායිකාවක වන හෙයිනි. ඇය තම ගායන දිවිය පමණක් නොව පුද්ගලික දිවිඅයද අසාර්ථක කරගත්තියක් වන නමුදු මා සැම විටම ගායකයකුගේ හෝ ගායිකාවගේ පුද්ගලික ජීවිතය හා ගායන නිපුණතාව, එම ප්‍රතිභාව පටලවා ගැනීමට අකැමති හෙයින් පුදග්ලිකත්වය කෙසේ වුවද ඔහුගේ/ඇයගේ හැකියාව ඉහලනම් ඊට දැඩිව ගරුකරන්නෙක්මි. නමුදු ඇය මේ දෙක තුලම අසාර්ථකවීම කණගාටුදායකය. මේ මොහොතේ ඇගේ, පැරණි වටිනා ප්‍රතිභාපූර්ණ ගායනා සිහිවන විට දැඩි කණගාටුවක් මා සිත්හි ඇතිවේ.

සියල්ල අමතක කර නිදහස් නිර්වුල විවෘත මනසින් මෙම ගීතය අපි රසවිඳිමු. වෙනද වගේම අපේ අදහස් බෙදාගමු. ඉතින් මේ ඇරයුම දයාබර ඔබටමයි..


ප.ලි. : මා නැවතත් ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබට මෙම ගීතය සොයා ගැනීමට හැකිවුවහොත්, එය මා හටද 
එවීමට කාරුණික වන්න.
masandumal@gmail.com