"ඔබම මාද විය මාද ඔබම විය..."
2007.12.08
ආදරණීය මහී,
මේ ලියුම ලියන්න කලින් මං ගොඩාක් හිතුව. දවස් ගානක් කල්පනා කලා. ඇත්තටම මං ලියන්නෙ මොනාද කියලත් කල්පනා කලා. මට කියාගන්න මහ ගොඩක් දේවල් තියෙනවා. ඒව මගේ හිතට වතුර වගේ පැහැදිලියි, ඒත් ඒව මෙන්න මේවයි කියල වචන වලට පෙරලගන්න, අනේ මට කොච්චර මහන්සි උනත් බෑ. ඒව මට ඔයා ඉස්සරහට ඇවිත් කියාගන්නත් බෑ. ඔයා දන්නවනේ ඔයා ඉස්සරහ මං ගොලුවෙනවා, මට මාවම අමතකවෙනවා. ඉතින් කල්පනා කරල කරල අමාරුවෙන් ගැටගහගත්ත අකුරු ටික තමයි දැන් මේ ඔයා කියවන්නේ.
සමන් මලින් පවන් සලන, ජනේලෙන් පෙරිල එන සඳ රැස් යහන මත වැතිරිලා ලියුම් ලියන බොළඳ කෙල්ලෙක් නෙවෙයි ඔයාට ඉන්නෙ කියල ඔයාම දන්නවනේ. ඒත් මට ඔයාගෙ මූණ ඉස්සරහට ඇවිත් හරි, ඔයාගෙ පපුවට ඔලුව තියාගෙන හරි කියාගන්න මට බැරි කතාවක් මට තියෙනව ඔයාට කියන්න. ඒකයි මෙහෙම ලියන්නෙ මං.
අතීතෙ එක්තරා දවසක අපි ආදරෙන් බැඳුනා. ඔයාගෙ එකම එක බැල්මකට මගේ මුලු ජීවිතේම නතු වුනා. ගහක් ගලක් වගේ එක හිතකින් හිටිය මං ඔයාගෙ ආදරේ ඉස්සරහ වෙඬරු පිඬක් වගේ දියවෙලා ගියා. මට දැන් ඔයාගෙන් තොර පැවැත්මක් නෑ. ඔයා නැමැති විසල් වෘක්ෂයේ එතුනු ඔයාගෙන් යැපෙන පරපෝෂී වැලක් වගේ මං. ඉතින් මං අමුතුවෙන් ඔයාට නොකිව්වට ඔයා දන්නවා මට ඔයාගෙන් තොර ජීවිතයක් නෑ කියලා. ඒ වගේම ඔයා ගැනත් මං එහෙම දන්නවා.
දවසින් දවස ශක්තිමත් වෙච්ච අපේ බැඳීම මුලු හදවතින්ම අපි දෙන්නව දෙන්නෙක් නෙවෙයි, එක්කෙනෙක් බවට පත් කලා. ඒ බැඳීම මතින් නිර්මාණය වෙච්ච අපේ ලෝකයේ අපි හුදෙකලා උනා. පාරාදීසයන් වල ඇවිදගෙන ගියා. සිතින් සිත ලංවෙලා එකට යාවෙලා උන්නු අපි ගතිනුත් ලං උනා. අපි අපිට තුරුලු වෙලා ලෝකයෙන් සැඟවිලා වෙරළ ඉමේ ගතකල සැඳෑවන්.. මහ ගොඩක් නැතත් ඒ සොඳුරු මොහොතවල් මං බොහොම පරිස්සම් කරගනෙ ඉන්නවා. ඒ හැම මතකයක් අතරින්ම යුවතියක් විදියට මගේ හිතේ ගැඹුරින්ම සනිටුහන් වෙච්ච සුන්දරම මතකය, ඔව් මං දන්නවා ඔයාටත් ඒක එහෙමමයි කියලා. සාගර වෙරළක ඇඳුනු අපේ රහස් පියසටහන් ලෝකෙටම හොරෙන් මැකී බොඳවී ගිය විදියටම, ලෝකෙන්ම සැඟව ගිය, ලෝකයට බොඳව ගිය, ඒත් අපි දෙන්නටම සදාතනික නොමැකෙන පිය සටහනක් හදවතේ ඉතුරු කල ඒ සොඳුරුතම මොහොත, අපි ගෙවූ මිහිරිතම දිනය.. ඒ රන් හිරු රැස විහිදී අපේ ජීවිත එළිය කල මොහොතේ සිතින් වගේම අපි ගතිනුත් එක්කෙනෙක්ම උනා. ඔබම මා උනා, මාද ඔබම උනා.
ඉතින් ලෝකය හරිහැටි දකින්නත් කලින්, දාහක් දේ තව දැකගන්නට, දැන හැඳිනගන්නට ඉතිරිවෙලා අපිට තියෙද්දිත් අපි අපේම උනා. මේ ගමන තව හරි දුරයි, මේ පටන්ගත්ත විතරයි, ඒත් අපේ පටන්ගැන්මම විසල් පිම්මක් උනා. ඉතින් රත්තරන් ඒ හින්දම අපිට කතාකරන්න දේවල් ගොඩක් තියෙනවා, මහ ගොඩක් තියෙනවා. මට බය නෑ, මට ඔයා අවිස්වාසත් නෑ. මං දන්නවා කිසිම කිසි දවසක ඔයා මාව මඟ දාල යන්නෙ නැතිවග. මාව අතරමං කරන්නැතිවග. ඒකයි මං බය නැතිව දෙවි කෙනෙක් වගේ ඔයාව අදහන්නෙ. මට ඒ විස්වාසය කොන්දේසි විරහිතව ඔයා ගැන තියෙනවා.
ඒත් ඒ දකින්න තියෙන ලෝකය, ඉදිරියට ගමන් කරන්න තියෙන මහ දුර අතරෙ මගේ හිත හිරවෙලා වගේ දැනෙනවා. ඒ හැඟීම මට කියාගන්න තේරෙන්නෙ නෑ. මං මේ කියන්නෙ අවිස්වාසෙකින් හෙම නෙවෙයි, මට මගේ ජීවිතේ ගැන බයකුත් නෑ. ඒත්.. වෙලාවකට හිතෙනවා අනේ අපි ඉක්මන් උනා වැඩිවත්දෝ කියලා.මට නිකන් දැනෙන්නේ පුංචි කාලෙම හැමදාටම ඇඳන් ඉන්න ඔසරියක් ඇඳගත්තා වගේ. අනේ මට සමාවෙන්න මේ වචන නිසා හිත රිදෙනවා නම්, මං මේ ඒ මොහොත ගැන පසුතැවෙනවා නෙවෙයි. ඒත් අනේ මංද මට තේරෙන්නෙ නෑ කියාගන්න මේ දැනෙනෙ හැඟීම.
මට දැනෙන දෙයින් බිඳක් මං කියන්නම් රත්තරන්. මේ ලෝකෙ කෙල්ලෙක්ට තමන්ගෙ කොල්ලට දෙන්න පුලුවන් ලස්සනම සුන්දරම දේ මං මගෙ කොල්ලට ලබල දුන්න. නෑඹුලේම මං ඔයාගෙම ඔයාගෙම උනා. ඒක ඕනි පිරිමියෙක් තමන්ගෙ සොඳුරියගෙන් පතන දෙයක්. මට ඒ ගැන තියෙන්නෙ අප්‍රමාණ භක්තියක්, සතුටක්. එදා දුන්නු දේවල් ගැන මං ආත්ම තෘප්තියක් ලබනවා. ඒත් මට හිතෙනවා මං මේව මගෙ කොල්ලට දෙන්න ඉක්මන උනා වැඩිද කියල. මං එහෙම කිව්වෙ, අනාගතේ උදාවෙන ඔයා මගේම, මං ඔයාගෙම වෙන නැකතෙ මට අලුතින් ඔයාට දෙන්න දෙයක් නෑනෙ දැන්.
ඒත් එක්කම, මගේ මුලු සිරුරම දැන් ඔයා. මට මං කියල කෙනෙක් නෑ දැන්, මගේ හැම දෙයක්ම ඔයාගෙ, කොටින්ම මං කියන්නෙ ඔයා, ඔයා කියන්නෙ මං. සිතින් වගේම ගතින් මං කැපවුනේ ඔයාට. ඉතින් මට එදාවත්, අදවත්, හෙටවත් ඔයාගෙන් රකින්න රහස් මොකුත් නෑ. මං, මං ගැන දන්නෙ කොච්චරක්ද, අන්න එච්චරක්ම ඔයත් දැන් දන්නවා මං ගැන.ඒත් රත්තරන්, මෙතනින් ඉස්සරහට ඒ ආධ්‍යාත්මික හැඟීම හැර මට මගෙ රත්තරන් වෙනුවෙන් පෙන්නන්න වෙන කිසිම භෞතික දෙයක් නෑ. මං හිතන්නෙ ඔයාට තේරෙනව මං මේ කිව්ව දේ.
ඒකයි මං කිව්වෙ අපි ඉකමන් උනා වැඩිවත්දෝ කියලා. ඉතින් කාලයක් එක්ක ඔයාට මං ගැන පුංචිම හරි සැකයක්, අවිස්වාසයක් ඇතිවුනොත්, අනේ රත්තරන් මගේ නිදොස් බව ඔයා ඉස්සරහ ඔප්පු කරල පෙන්නන්න සාක්කියක් මං ළඟ නෑ දැන්. ඉතින් එහෙම දවසක ඔයාට මාව එපාවුනොත්. මට බයයි.. අන්න ඒ නිසා අපි හොඳ අවබෝධෙන් ජීවත් වෙමු. මට මාව විස්වාසයි. මට ඔයාවත් විස්වාසයි. ඒ වගේම අපේ ආදරෙත් විස්වාසයි. ඉතින් ඒ විසවාසෙ බැඳීම අපි සදාකල් පරිස්සම් කරමු රත්තරන්.
මට කියාගන්න ඕනි උනේ මේ දේවල්. මෙහෙම හරි ගලපගත්තෙ හරිම අමාරුවෙන්. අනේ මට කවදාවත්ම ඔයාගෙ මූණ බලාගෙන ඔයා ළඟට වෙලානම් මේ ටික කියාගන්න බෑ. ඒකයි කලාතුරකින් මෙහෙම ලිවුමක් ලිව්වෙ. මේ අපේ තුන්වෙනි ලියුම නේද. ඒකෙත් තියෙනවා කලාවක්. අපේ ආදරේ අපිටම ආවේණික දේවල් වලින් පිරිල නේද. ඉතින් එහෙනම් නවතිනව මං. අනේ මේ කීව දේවල් වලින් ඔලුව එහෙම අවුල් කරගන්නෙපා හොඳේ.. ඕනි අපේ මේ ආදරේ කප් සුවහස් කාලයක් ආදරෙන් පරිස්සම් කරගන්නයි මගෙ රත්තරන්.
ඔයාට බුදුසරණයි.
ඔබේම දයාබර,
රේඛා
ඔබම මාද විය
මාද ඔබම විය
සාගර වෙරළක පිය සටහන් මත
ඔබ මා සමගින් ගෙවූ දිනක් ඇත
ඒ රන් හිරු රැස විහිදුණු මොහොතේ
ඔබම මාද විය මාද ඔබම විය
පවසා ගන්නට දහක් වදන් ඇත
පෙන්විය නොහැකි වූ දහස් දසුන් විය
ඒ සැම මැද්දේ සිත් කය සිරවුණු
අහිංසකාවිය පමණ ද ඔබ ළඳ
ඔබමය මා සිත ඔබමය මා ගත
සිතින්ද සිරුරෙන්ද පොබ කළ හිමියනි
ඔබෙන් රකින්නට රහස් කිසිත් නැත
එවන් කලෙක මා එපා නොකල මැන
පද රචනය : බණ්ඩාර කේ. විජේතුංග
ගායනය : විශාරද මාලනී බුලත්සිංහල
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
චිත්‍රපටිය: මධුසමය
(Obama Mada Wiya - Nanda Malini)
1991 දී තිරගත වූ "මධුසමය" චිත්‍රපටය සඳහා බණ්ඩාර කේ. විජේතුංගයන් විසින් රචනා කොට මාලිනී බුලත්සිංහලයන් ප්‍රේමසිරි කේමදාසයන්ගේ තනුවට ගායනා කරන ලද මෙම ගීතය චිත්‍රපටයේ ආබාධිත තරුණයා සහ ඔහු වෙනුවෙන්ම පේවී උන් පතිනියක වටා ගෙතුනු සැකය පසුබිම් කොටගත් කතාවක් සඳහා තේමා විය.
චිත්‍රපටයෙන් පරිභාහිරව ගීතයේ අරුත වෙනත් මානයකින් දැකීමට මා ගත් කුඩා උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස මෙම සංවේදනාව ලියැවුනි. එහි සාර්ථක අසාර්ථකභාවය විචාරීම ඔබට බාර කරමි.
සංවේදනාවෙහි හමුවන පෙම්වතියන්, පෙම්වතුන් භාහිර සමාජය තුල අපට කොතෙකුත් හමුවනු ඇත. ඔවුන් අතරින් අතලොස්සක් තමන්ගේ ජීවිත මල් යහනාවන් බවට පත් කර ගනිති. නමුත් බහුතරයක් දෙනාගේ ජීවිත වලට එවන් සුන්දර ඉරණමක්ම අත්වේද? සුදු පිරුවටයයි මංගල යහනයි කඳුලින් තෙමා ගන්නා යුවතියන් කී දෙනෙකුනම් ඇත්ද. ඒ අවස්ථාව හෝ අහිමිව අනාථ අසරණ වෙන කී දෙනෙකුනම් ඇත්ද?
(ඡායාරූපය අන්තර්ජාලයෙනි)
අනේ මන්දා මෙකට මං මොනා කියන්නද කියලා.
ReplyDeleteපුරුද්දට වගේ උදේම මේ පැත්තට ආවම දැක්කේ මේ සටහන. කියවන ගමන් මං ඒ ගීතයත් ඇහුවා. අන් කවරදාකටත් වඩා මට ඒ ගීතය මගෙ හිතට දැනුනා.
ලස්සනයි.
හොදට දැනෙන්න ලියලා තියෙනවා.
ජය වේවා
සුභාවිත ගීතයේ විශේෂත්වය ඒක තමයි දීප්ති. අපිට රසවිඳිය හැකි දේ බොහෝයි ඒ තුල. ඔබට බෙහෙවින්ම ස්තූතියි.
Delete\\\මට නිකන් දැනෙන්නේ පුංචි කාලෙම හැමදාටම ඇඳන් ඉන්න ඔසරියක් ඇඳගත්තා වගේ\\\ කොහෙන්ද බං මේ උපහැරණේ හොයා ගත්තේ.. කියන්ඩ දෙයක් නෑ.. පට්ටම සුපිරි.. අහ්! එක අවසරයක් ඕනි.. මටත් කවද හරි කොහෙදි හරි ඕන උනොත් මේ උපහැරණේ පාවිච්චි කරන්න.. ඒ ඕනම වෙලාවක ඉස්සුවෙ උඹෙන් කියල මං පැහැදිලිවම කියන්නම්.. ජය ශ්‍රී!
ReplyDeleteඔන්න ඔහේ කටට ආව උපහැරණයක් බං ඕක. අදමයි මාත් ලිව්වෙ.
Deleteඒක හරි කතාවක්නෙ බං. ඕක මට සින්නක්කර ලියල දීලයෑ. උඹ ඕනි තැනක පාවිච්චි කරපන් මචෝ..
ඔය කියල තියෙන්නෙ නියමෙටම....
ReplyDeleteඕක තමයි ගොඩක් කෙල්ලන්ගෙ ඇත්ත කතාව... ආදරෙ හින්ද හැමදේම දීල ඊළඟට ඉතිං කසාද බඳිනකං විඳවනව... කරුමයක් තිබ්බොත් ඊට පස්සෙත් විඳවනව.. මොකද ඊට පස්සෙ සැකය කියන එක එන්න හරිම ලේසි හින්ද.... ඊට පස්සෙ හිත රිදෙන වචන... ඇනුම් බැනුම්.... ගුටි බැට.... ඒ විඳවිල්ලෙන් ගැලවෙන්න තියෙන එකම ‘‘ගැරන්ටිය‘‘ ඕක කියල මං කියන්නෙ බොරුවට නෙවෙයිනේ...
ගොඩක් කෙල්ලන්ට පොදු වෙච්ච කතන්දරේ ඕක තමයි හිරූ. මෙි කතාවෙ තියෙන්නෙත් එහෙම අවිනිශ්චිත බවක්. වර්තමාන සමාජය එදාටත් වඩා බෙහෙවින්ම සංකීර්ණ වෙලා තියෙනවා. ඒතුල මෙවැනි ශෝකාන්ත බහුලයි.
Deleteඅාදරේ මාර බරක් නෙව..
ReplyDeleteහදවතින්ම කරන ආදරයක ඇත්තෙන්ම ලොකු බරක් තියෙනවා.
Deleteඇයි ඒ.........ආදරය කියන්නේ බරක්ද.....ආදරය බර නැහැ. ආදරය වටා එල්ලෙන ආසාව, තන්හාව, ඊරිසියාව, සැකය, කෑදරය වගේ ඒවා නිසා තමයි ආදරය බර වෙන්නේ. ආදරය කියන්නේ ඉතා සැහැල්ලු හැඟීමක් කියලයි මට හිතෙන්නේ. ඒ මදිවාට අපි ආදරය කියන එක වටා වගකීම් කියලා සළුවකුත් පොරවනවා...ඒක නම් මාර බරයි.
Deleteඅරූ සමග සම්පූර්ණයෙන්ම එකඟය..
Deleteඅරූ, විභී..
Deleteකාරණය පටලවාගෙන ඇත. "බරක්" යන්නෙන් අදහස් කලේ හිතට දැනෙන ප්‍රශ්න කන්දරාවක බර නෙවෙයි. හැබෑ ආදරය කියන්නෙ වටිනාකම් වලින් පිරුණු, වගකීම් වලින් පිරුණු අගයක් ඇති දෙයක්. ඒ බර මෙහෙමයි, රත්තරන් වල අගේ වැඩිවෙන්නෙ බර වැඩි වෙනකොටනේ. අන්න ඒ වගේ බරක් ගැන මේ කියන්නේ.
//මහ ගොඩක් නැතත් ඒ සොඳුරු මොහොතවල්//මේ අපේ තුන්වෙනි ලියුම නේද//
ReplyDeleteබොහොම ඉක්මනින් හැමදේම සිද්ධවෙලා තියෙන බව පේනවා. ඉන් පස්සෙ මොනවද ඉතුරු? පෙම්වතුන් යුවලක් ලං වෙන්න ඕනි ඉතාම හෙමින් දිගු කාලයක් අරගෙන. මම කියන්නේ කායික සබඳතා. ඔය කොයි දේත් පළමුවෙන් අත්විඳින තුරු පමණයි රසය. වටිනාකම. ඒ නිසා අඩුම වශයෙන් විවාහය තෙක් එක් නොවීම සුදුසුයැයි කියන්නේ, අපේ සංස්කෘතියේ දැඩි බැඳීම් හා නීති රීති මතම යැපිලා නෙවෙයි. අපේ ආකල්ප ඒ සංස්කෘතියෙන් බැහැර කරන්න බැරි නිසා. කොච්චර කිව්වත් බටහිර ජනයාත්, මිනිස්සුත් සත්තුත් ලිංගික ඊර්ෂ්‍යාව, සැකය හිසින් ගෙන ජීවත් වෙන්නෙ. මේක ඛෙදවාචකයක් වුවත් සත්‍යය එයයි. මනෝටත් මටත් ඒක පොදුයි.
//ඉදිරියට ගමන් කරන්න තියෙන මහ දුර අතරෙ මගේ හිත හිරවෙලා වගේ දැනෙනවා. ඒ හැඟීම මට කියාගන්න තේරෙන්නෙ නෑ//
ඇත්තෙන්ම කෙල්ලකෙුට ඒක විස්තර කරගන්න බැරි පාටක්, රසක්, සුවඳක් නැති අමුතුම හැඟීමක්. ඇත්තෙන්ම බියක්. පිරිමින් ආත්මාර්ථකාමීය යන ගැහැණුන් අතර ඇති පොදු මතය සත්‍යවන තැනක් මෙතන.
// ඒක ඕනි පිරිමියෙක් තමන්ගෙ සොඳුරියගෙන් පතන දෙයක්.// පිරිමියා නිසගයෙන් පෙළඹෙන්නේ අවස්ථානුකූල ශාරීරක අවශ්‍යතාවන් පිරිමසා ගැනීමට. තරුණිය එය දන්නා නමුත්, තමන් සතුදේ ඔහුට පුදන්නේ ඔහු වෙනතක යාවි යන බිය නමැති කුටියේ ඇය ඉන්නා නිසා. නමුත් එයින් ඇය විවර කරගන්නේ ඊට වඩා බිය ගෙනදෙන මන්දිරයක්. විවාහය තෙක් නොව එයින් පසුවත් ඇය මේ බියෙන් පෙළෙනවා. “මාව බඳින්න කලින් මා එක්ක හිටයනම් දැන් කී දෙනක් එක්ක ඉන්න පුලුවන්ද?“ වැනි ඉතා කෘර ප්‍රකාශයන් ඔහුගේ මුවින් පිටවිය හැකියි.
ගැහැණු සිත තුලට එබිලා ඇගේ ඇසින් දැකලා ඇගේ හැඟීම් ආරූඪ කරගෙන ලිව්ව ලිපියක්. ඒ සිතිවිලි වල ඇති බැගෑපත් බව තුලින් ඇය පෙළෙන බිය හරිම අපූරුවට මතුකරන්න ඔබ සමත් වෙලා තියෙනවා. මේ ඉන්නෙ අපිට පුරුදු මනෝෂ්.
මම යෝජනාවක් ඉදිරිපත් කරන්නම්. කැමතිනම් අත්හදා බලන්න. මිනිසුන් පෙළෙන දුක, බිය, සන්තාපය වැනි හැඟීම් සහිත ගීත වලට හද සසල වන පසුබිම් නිර්මාණ කරන්නට ඔබ සතුව ලොකු හැකියාවක් තියෙනවා. එවැනි ගීත තෝරගන්න බලන්න. ඔබ ඉතා සාර්ථක වේවි. (දැන් යන්න ඕනි අනිත් අය දාපු කමෙන්ට් බලන්න :ඩී) තව තවත් මෙවැනි නිර්මාණ බිහිකරන්නට හැකියාව ලැබේවා!!! (දැන් තරහ නෑනෙ? :පී)
++++
Delete"සංවේදනාවට විචාරයක්" ඔය තියෙන්නෙ නියමෙටම.. මට අතීතය සිහිපත් උනා.
Deleteඔබ මේ කතාව ත තවත් පැහැදිලි කරල නිරවුල් කලා මාධවී. ඔබත් එක්ක මං වගේම මේ හැමෝම එකඟ වෙනවා. ඇත්තෙන්ම වෙන්නෙ ඕකම තමයි. කොහොමත්, විවාහය කෙසේ වෙතත් මට හිතෙන්නෙ හැම දේම වෙන්න ඕනි සුදුසු කාලයක, සුදුසු පරිසරයක්, සුදුසු විදියකටයි, ඒතුලින් ලැබිය හැකි ආනන්දය අපරිමිතයි. ඉන් පරිභාහිර වුනොත් දෙදෙනාටම ඉතිරිවන්නේ සතුටු වෙන්න පුලුවන් අතීතයක් නෙවෙයි.
අනිත් කාරණේ, නිඅක්න් උදාහරණයක් දෙන්නම්. නිකමට හිතමු පෙම් යුවලකගේ එක්වීමකින් පෙම්වතියට දරුවෙක් පිළිසිඳගැනුන කියල. හිතන්න, ඒ යුවලගේ ජීවිතයේ කාලඛණ්නිම දවස වෙන්නෙ ඒ ආරංචිය ලැබෙන දවස. ඒ වගේම ඒ දෙදෙනා වටා ඉන්න සමීපතමයන්ට සහ ඔවුන්ගෙන් අනේක විධ ප්‍රශ්න කරදර සමූහයක ඇරඹුම වෙන්නෙ එතන. ඒත් ඔය ආරංචිය සුදුසු කල්හි සුදුසු විදියට ලැබුනනම්. එහෙනම් ඒ ඒ යුවල ජීවිතයේ වැඩියෙන්ම සතුටු වෙන දවස. ඒ වගේම ඔවුන් දෙදෙනාගෙ සමීපතමයන් වැඩියෙන්ම සතුටු වෙන දවස. සුබ පැතුම්, දිරිගැන්වීම්, ප්‍රශංසා අනන්තයි. නමුත් අර විදියට උනානම්, නින්දා අපහාස, ප්‍රශ්න කරදර නිමක් නෑ.
ඔව් විදානේ, මාධවීට ලකුණු දෙන්න ඔබත් එක්ක මාත් එකතුවෙනවා.
Delete\\(දැන් තරහ නෑනෙ? :පී)//
Deleteහීනෙකින්වත් එහෙම හිතන්න එපා.. ප්ලීස් මචංලා. මං එහෙම තරහ වෙන ජාතියේ එකෙක් නෙවෙයි.
//////නමුත් අර විදියට උනානම්, නින්දා අපහාස, ප්‍රශ්න කරදර නිමක් නෑ.//////
Deleteමෙතනින් අවසන් වෙන මනෝෂ්ගේ කමෙන්ට් එක පුරාවටම තියෙන්නේ ඒක් සංස්කෘතියකට අයත් පිරිසකට අයිතිවෙන කතාවක් මිසක් සැමට පොදු තත්වයක් නොවේ. මේ කොටුවුන සංස්කෘතිය වෙනස් විය යුතුද නැද්ද කියන එක වෙනම මාතෘකාවක්. මම මෙවන් කරුණු ගැන පෞද්ගලිකව හිතන්නේ මීට වඩා විවෘත මනසකින්. අපි අන් සියළු යදම් වලින් ගැලවිය යුතුයි කියන ගමන්ම, එක්තරා ආකරයකින් සංස්කෘතිය හෝ සාමාජීය ගති ලක්ශන පරිහරනයේදි එක් කෝවකට ඇතුල්වෙනවා නේද කියලා මට හිතෙනවා. ඒ කෝවට රිංගන පළවෙනි පියවරේ ඉඳන්ම ඔබේ ස්වාධීන චින්තනයෙන් ඔබට බැහැර වෙන්න වෙනවා. ආදරය සහ විවාහය ගැන මම සම්ප්‍රදායිකව හිතන්න අකැමති නිසා වෙන්න ඇති මට මෙහෙම හිතෙන්නේ. මට ඒ ගැන තියෙන්නේ වෙනමවූ අදහස්.
\\ඒක් සංස්කෘතියකට අයත් පිරිසකට අයිතිවෙන කතාවක් මිසක් සැමට පොදු තත්වයක් නොවේ//
Deleteමං හිතන්නෙ ලෝකයේ හැමෝටම නැතත් ඉන්දියන් සාගරයේ ආශ්චර්යමත් අහවල් ඇටයේ සියලු හුදී ජනතාවට මේ තත්වය පොදුයි. හිරු නොබසින අධිරාජ්‍යයේ වගේ නිදහසක් තාම මේ රටවල් අහලකටවත් ඇවිත් නෑ. ඉතින් කොච්චර අකමැත්තෙන් උනත් මේ තත්වය තුල කොටු වීමට අපිටත් සිදුවෙනවා. මේ එකක් වත් අපේ ප්‍රශ්න නෙවෙයි. මේව ඔක්කොම අපි වටා ඉන්න අය ඇතිකරන ප්‍රශ්න. ලංකාවෙ අපි හැමදාමත් ජීවත් උනේ අපිට ඕනි විදියට නෙවෙයි, ලෝකයට ඕනි විදියට. ඒ තත්වයෙන් ඩිංගක් අපගමය වෙච්ච ගමන් පොලු කඩු මුගුරු නින්දා අපහාස අමෝරාගෙන අර ලෝකයම අපට විරුද්ධව නැඟී සිටිනවා. ඒ අතර පෙරමුණේම ඉන්නෙ අපේ දෙමවුපියෝ. ඉතින් එතනින් එහාට කවර කතාද. ඊටවඩා හොඳයි අර රාමුව ඇතුලෙ කොටුවෙලා ඉන්න එක අවස්ථාව එනකල්.
//පුංචි කාලෙම හැමදාටම ඇඳන් ඉන්න ඔසරියක් ඇඳගත්තා වගේ//
Deleteඇත්තටම ඒක අමතක උනා. දැක්කත්, හිත පතුලටම වැදුනත් කමෙන්ට් එකේදි ඒක මගහැරුණා. මේ අදහස් කොහෙන්ද අප්පා එන්නෙ? මේක තමා මම කීවේ ගැහැණු හැඟීම් ආරූඨ කරගෙන කියලා. කියලා වැඩක් නෑ...අපූරුයි!
ඔන්න ඔහේ ලියාගෙන යද්දි ලියවුණු ඒව මචං. හිතල ලියපුවා නෙවෙයි. පොඩි කාලෙ කෙලි පැටවු සෙල්ලම් කරන කොට ඔසරි ඇඳලා ලිප්ස්ටික් ගාලා, ලොකු සෙරෙප්පු දෙකක් දාගත්තම මහා විකෘති ලුක් එකක් නේද එන්නෙ? අන්න ඒක මට මතක් උනා.
Deleteබොලාට කියන්න ලැජ්ජයි.. මේ ගීතය පලවෙනි වතාවට ඇහුවේ අද දැං තමයි..
ReplyDeleteඅනික් වදන් පවසන්න දෙයක් නෑ.... වෙනද වගේම ස්තතරම්...
මට දැනුනේ මේ සංවේදනාවේ මාත් එක් පාර්ෂව කරුවෙක් වගේ..(මලා)
ජ ය වේ වා !!
ඒ යෝජනාව මං ඉස්තීර කොරනවා...(හුටා)
Deleteලැජ්ජවෙන්න එපා බං. ඒක උඹේ වරද නෙවෙයි.
Deleteකාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තියෙනවා බං. ඒ නිසා ගනන් ගන්නෙපා. වැදගත් වෙන්නෙ දෙදෙනා එක්ව ගොඩනගන සාර්ථක ලෝකය. දෙන්නට දෙන්න ඉන්නවනම් ආයෙ මොනාද.
විසිටරයෝ..
Deleteදී කිරට බළල්ලුත් සාක්කිලු!
@විදානේ
Deleteමාත්..ඉස්තිර කරනවා...(හුට්ටපර හැට හතරයි)
මළකෙලියයි!!
Deleteහරිම සංවේදී සටහනක්. මම බටහිර සංගීතයට ටිකක් නැඹුරු කෙනෙක්. හැබැයි ලිපිය කියෙව්වම මේ සින්දුව නොඅහා ඉන්න හිතුණෙම නෑ. කියන්න දෙයක් නෑ නියමයි..!
ReplyDeleteබටහිර සංගීතය රසවිඳීමේ වරදක් නෑ. ඒත් එක්කම අප සතුවත් තියෙනවා විඳ නිම කල නොහැකි රස ගඟුලක් වන් ගීත රැසක්.
Deleteඔබට ගොඩක්ම ස්තූතියි..
අතීතේ.....වර්තමානය.....අනාගතය.....මම දැන් යන්න ඕන කොතනටද?
ReplyDeleteකසාදෙට කලින් වෙන්න ඕනෙම නැති දෙයක් විදිහටයි මම දකින්නෙ.ඒක එහෙම උනහම කෙල්ලො විඳින වේදනාව අකුරු කරන්න බෑ.ඒක මහ පවු වැඩක්.ඒත් හොඳට හෝ නරකට ඕව ගනන් ගන්නෙ නැති පරපුරකුත් අද ඉන්නව.
ඒ වේදනාව,බය වගේම බලාපොරොත්තුව උඹ නියමෙට අකුරු කරල තියනව.ජයවේවා.....
උඹව කේන්ති ගැස්සුවහම උඹ ලියන වේගය වැඩිකරනවද කොහේද.......
එය වේදනාවක් කරනවද, මිහිරියාවක් කරනද කියන එක තීරණය කරන්නෙ ඒ පෙම්වතා. නමුත් අද බොහොම හිඟයි බෝස්ත් පෙම්වතුන්. ඒ නිසා සුදුසුම දේ තමයි පෙම්වතියන් පරිස්සම් වීම.
Deleteඋඹල ඔක්කොම හිතන් ඉන්නෙ මට එදා කේන්ති ගියා කියල නේද. අනේ මචංලා, මට ඉන්න හොඳම රසිකයෝ එක්ක මං කේන්ති ගන්නවද.
/////එය වේදනාවක් කරනවද, මිහිරියාවක් කරනද කියන එක තීරණය කරන්නෙ ඒ පෙම්වතා. /////////
Deleteවයි ඔන්ලි පෙම්වතා...පෙම්වතියට ඒ වගකීම නැද්ද මේක වේදනාවක් කරනවාද මිහිරියාවක් කරනවාද කියන එක ගැන.
කොහොමද?? මුලින්ම සැකය පටන්ගන්නෙ පෙම්වතා. මොකද දැන් ඇයට ඔප්පු කරන්න යමක් නෑ. මං මේ කියන්නෙ හැමෝම ගැන නෙවෙයි. ඒත් ගොඩක් තැන් වල මෙහෙම වෙනවා. අනික, ගොඩක් පෙම්වත්තු කොට්ටෝරුවෝ. ඒකයි කිව්වෙ පෙම්වතියන් පරිස්සම් වෙන්න ඕනි කියලා.
Deleteඅමතක කරන්න එපා.මෙහෙම දේවල් දනහිසින් උඩට ගන්නෙ නැති පෙම්වතියෝ වගේම,තමන් අතින් මේවගේ දෙයක් වුනහම හැම වගකීමක්ම තමන් පිට පටවගන්න පෙම්ව්තුනුත් ඉන්නව.
Deleteනිකමට හිතල බලපන් මේ වගේ 2ක්ට ඔයවගේ දෙයක් වුනොත් තියන ආතල් එක.උඹේ කතාව සම්පූර්නයෙන් අනිත් පැත්ත ගහනව.
අනිවාරෙන්ම මචං, එහෙම කෙල්ලො නිසා දුක් විඳින කොල්ලො මාත් ඕනිතරම් දැකල තියෙනවා. උඹට මතක ඇතිනේ මගේ අජානීය ස්කූටර පෝස්ට් එක. ඒක මේ කතාවෙම අනිත් පැත්ත වගේ තමයි.
Deletehttp://masandumal.blogspot.com/2014/10/blog-post_9.html
මනෝෂ්......................
ReplyDeleteනිර්මාණය හරිම අගෙයි... වෙනදා හැඩය වෙනස් කරපු අපූරු නිර්මාණයක්.... හරි ලස්සනට පදගලපලා ලියලා තියෙනවා.
මනෝෂ් සුළං කපොල්ලේ සින්දුව ඔබ මීට කලින් සංවේදනාවකට ගත්තාද?? අැත්තට ම ඒ් ගීතයත් හරි ලස්සනට ඔබට ගලපන්න පුළුවන් වේවි.... මේ ගීතය තුළත් මට ඒ් හැගීම දැනෙනවා මනෝෂ්..............
කවදත් වගේ හිත පුරවන අගය කිරීමක් ගී පවුරෙන් අදත් ලැබිල. ඔබේ වචන මට මහමෙරක් ගී පවුරේ. හැමදාමත් ළඟින් හිටිය.
Deleteසුළං කපොල්ල ගීය ගැන කිසිම රචනාවක් මං ලියල නෑ ගී පවුරේ. ඒත් දැන් නම් ඔබ නිසා එය ගැනත් ලියන්න හිතෙනවා.
ලස්සනයි. අදහස් අහිංසකයි. උඹේ ලිවීමේ හැකියාව සමග නැවත ඉපදීම ගැන සතුටුයි. උඹ දන්නවනෙ මගේ අදහස් ගොන්න.
ReplyDeleteමේක ලිව්වෙ කවිකාරි නොමෙයි නේද? ඒකිට හෙම බොලා ඕක දැංම කලොත් මං උඹව සීස් කරනවා ඈ...
පොඩ්ඩක් ඉවසලා ඉඳාං මං ලෝං එකක් අරං දෙන්නංකො ගේ හදං එකතැං වෙංට.
(අලේ මතෝ සොලි වෙල්ලෝලි, ගියපාර මං එක වෙලා දාපු කොමෙන්ට් එකෙන් උඹ අප්සැට් ගියානං)
\\මේක ලිව්වෙ කවිකාරි නොමෙයි නේද//
Deleteබොලාලගෙන් එකෙක් හරි ඔය කතාව අහයි කියල අම්මප මට හිතුනා!! නෑ නෑ බොල එහෙම එකක් නෑ. මේක ලිව්වෙ මං. අනේ උඹේ කටනම් ඉතින්....
සහෝ බැංකු ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නේද? මං මුල ඉඳල හැමදේම ගොඩනගාගන්න ඕනි මනුස්සයා. ඒ කාලෙදි කියන්නම්කො. මට ලෝන් එකක් පාස් කරල දෙන්නකො, කවිකාරිගෙයි මගෙයි අරලිය මල් ආරාමෙ හදාගන්න.
\\(අලේ මතෝ සොලි වෙල්ලෝලි, ගියපාර මං එක වෙලා දාපු කොමෙන්ට් එකෙන් උඹ අප්සැට් ගියානං)//
අම්මප ළඟ හිටියනම් දෙනව කොන්ද කැඩෙන්න.. උඹල මාත් එක්ක තරහින් එහෙම කිව්වැයි බොල. අනික උඹ කිව්වෙ උඹේ අදහස. මං කිව්වෙ ගොඩක් අය අනෙක් කමෙන්ට් බලල නිර්මාණය ගැන තමන්ගෙ මතය අවුල් කරගන්නවා කියලයි. මට උඹලගේ අදහස වටිනව බං රට රාජ්ජ වලටත් වඩා. හැමදාම ළඟින්ම එකෙන්ම ඉස්සරහින්ම ඉඳපල්ල මාත් එක්ක.
ආසම කරන ගීයක් මනොෂ්..
ReplyDeleteෆිල්ම් එක කීප වතාවක්ම බැලුවා
කාලීනයි..
පුළුවන්නම්
http://osamagebomba.blogspot.com/2014/11/blog-post.html
ගියා.. දිගට ලියමු
Deleteඅනිවාරෙන් ඒ පැත්තට ගොඩවදිනවා. ඒ වගේම රැඳී ඉන්නවා.
Deleteඔබට බෙහෙවින් ස්තූතියි. ඒ වගේම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා මේ ඉසව්ව්ට.
ඇත්තෙන්ම විදානේ, අපි ඔහුට ශක්තියක් වෙමු. දිගටම ලියන්න.
Deleteමගෙ හිත පිරී තිබෙන්නේ
ReplyDeleteඔබ ගැන සිතිවිල්ලෙන්
වෙන කිසිවකු ගැන හිතන්න
හදවතට ඉඩක් නැහැනේ
මගෙ නෙත රැඳී තිබෙන්නේ
ඔබගේ සඳ මුහුණයි
වෙන කිසිවකු හෝ දකින්න
දෙනුවනට ඉඩක් නැහැනේ
අප ළං කරවා
කාලය පියඹා
ආලය ගැන විමසයි
කවුරුන් වේවා
හමු වූ මොහොතේ
මට ඔබ ගැන පවසයි
කඳුළැල් මැදුරේ
හසරැල් නැවතී
සෙනෙහස ගැන පවසයි
පීදෙන පියුමන්
දළුලන තුරු වැල්
මට ඔබ ගැන පවසයි
වසන්තය කියන්නේ ඔබටයි මටයි ///
ගායනය - නිරංජලා සරෝජිනී, අබේවර්ධන බාලසූරිය
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
බොඳ මීදුම් කඳුරැල්ලේ..
Deleteසුරංගනා රජ දහනේ..
ඔබේ සිනා කඳුළු බිඳක්
හෙටත් වාසනා..හෙටත් වාසනාවන්..
සිහින නදී රළ රැල්ලේ..
පැතුම් රුවල් රන් ඔරුවෙ..
ඔබේ නිමල නෙත් ද්‍රාහින්
මටත් වාසනා..මටත් වාසනාවන්..
හිතක තැවුල් සංසිඳිලා..
මිටියාවත මල් ඉසිලා..
මල් වරුසා සුවඳ සමය
මටත් වාසනා..මටත් වාසනාවන්..
රෑ සියන්ගේ නොනිමි නාද
තැවුල් කොවුල් විහඟ ගීත
අපට ඇරුණු හුදකලාව
හෙටත් වාසනා..හෙටත් වාසනාවන්..
සිහින නදී රළ...
මාල හතක් පළදන්නට..
හීන හතක් එලිවන්නට..
දොලොස් මහේ පහන් එළිය
මටත් වාසනා..මටත් වාසනාවන්..
අනාගතය කිරුළු දරා..
දෙපා මුලට වඩින තුරා..
ලවන් පොඟන මියුරු තෙපුල්
හෙටත් වාසනා..හෙටත් වාසනාවන්..
මටත් වාසනා හෙටත් වාසනාවන්..////
ගායනය : අබේවර්ධන බාලසූරිය, සුජාතා අත්තනායක
පද රචනය : අජන්තා රණසිංහ
@සින්දු
Deleteඑල ද බ්‍රා
අඩේ සිංදුවෝ...සිය දහස් වාරයක් සමාවෙයන්. මට මේ කමෙන්ට් එක මඟඇරුනා. හොඳ වෙලාවට මෙන්ඩිය හින්ද දැක්කේ..
Deleteමේ සිද්ධියට වඩාත් ගැලපෙන සිංදු දෙකක් උඹ මෙතනට ගෙනත්. ස්තූතියි බොක්කෝ...
මේ කෙල්ලට පිස්සු.. ඇයි යකෝ ඒ වහෙම නේ වැඩේ දීලා තියෙන්නේ.. අනික මම හිතන්නේ නෑ අද ඉන්න කෙල්ලෝ කොල්ලෝ ඔච්චර මෝඩයි කියලා.. විශේෂයෙන් කෙල්ලෝ.. මම දැක්කා නිලියක් ළඟදි බඳින්න යන එකාට කියලා තියෙනවා ලොකු ගානක් කෙල්ලගේ නමින් එකවුන්ට් එකක දාන්නේ එතකොට බඳින්නම් කියලා. එතනින් ලව් එක ඉවරයි. හැබයි කෙල්ල ග්‍රේට්. දෑවද්දයි පෙට්ටියයි දෙකම හොයනා ගොබ්බ කොල්ලෝ ඉන්න සමාජයක...
ReplyDelete/////දෑවද්දයි පෙට්ටියයි දෙකම හොයනා ගොබ්බ කොල්ලෝ ඉන්න සමාජයක...//////
Deleteමේක තමයි මාතා ඔය ඕන පට්ට සුද්ධවන්තයෙක් ගැන කියන්න තියෙන තිත්ත ඇත්ත. මේකේ විලිලැජ්ජාවක් නැති තැනේ හොඳම පාට් එක තමයි...දෑවැද්ද නැතිවුනත් පෙට්ටිය තියෙන්න ඕන යැයි කියන සෙට් එකකුත් ඉන්න එක. දෑවැද්ද නැති වේගෙන යන එක ලොකු දෙයක්. ඊට වඩා දරුණුයි පෙට්ටිය සෙවීම. බොක්ස්ගත ජීවිත!!!
සුදු පිරුවටයි මංගල යහනයි කදුලින් තෙමනු එපා ..
Deleteඔබේ නිදොස් බව ලොවට කියන්නම් ..
මට දොස් නගනු එපා ..//
මුඳු මුහුනේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද...
Deleteඔබෙ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද..
පුළුලුකුලේ සුව යහනේ නිදිවැරුවේ මං විතරද..
උර තලයේ හිස රන්ඳා සුව වින්ඳේ මං විතරද..
ඉඟ නෙරියේ රැළි බින්ඳේ පිය ළඳුනේ මං විතරද..
ඉඟ නෙරියේ රැළි සැදුවේ හිමි සඳුනේ මං විතරද..
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ/දීපිකා ප්‍රියදර්ශනී
දෑවැද්දනම් මට පිලිකුල්. පුංචි කාලෙ ඉඳල උස් මහත් කරල, පරිස්සම් කරල, උගන්නල, පින්නෙ පුපුනු මලක් වගේ ඉන්න කෙල්ල කොහෙවත් යන එකෙක්ට දීල දීපන්කො තව දෑවැද්දකුත්. හරිනම් දෑවැද්ද දෙන්න ඕනි කොල්ලයි, කෙල්ලගේ අම්මයි තාත්තටයි.
Deleteඅනික් කාරණේ ගැනනම් අපේ සිංදු ඇනෝම හරි අපූරුවට සිංදු දෙකකින් පැහැදිලි කරල තියෙන්නෙ ඔය. ඕකට මං මෙහෙම එකතුකිරීමක් කරන්නම්.
පෙරේතයන්ට දේව දානෙ දීල තේරුමකුත් නෑ, ඒ වගේම දෙවියන්ට පුළුට තියල තේරුමකුත් නෑ. ඒ නිසා පෙරේතයන්ට පුළුටුයි, දෙවියන්ට දේව දානෙයි ලැබුනම සාධාරණයි.
///බොක්ස්ගත ජීවිත////
Deleteලස්සන වචනෙ අරූ අයියෙ...හැබැයි දැන් දැන් දෑවැද්ද වගේම ඒකත් හොයන පරපුර අඩුවීගන යනව.හැබැයි බේරෙන්න බැරි හනිමුන් දවසෙන් පස්සේ රෙද්ද බලන්න එන නාකි අම්මන්ඩිලගෙන් තමයි
කටුසුලා එක්ක යමක් කතා කරන්න කැමතියි. බැහැනේ පුලුටු පෙරේතයින්ටත්,දිව්‍ය බොජුන් දෙවියන්ටත් වෙන් කරගත්ත පන්සල් සහ දන්නේ එකයි ඒක හොඳයි වගේ මිනිස්සුත් එක්ක මේ සංවාදය කරන්න. ඒ නිසා කතා කරමු වෙනම බිමක. වඩාත් සුන්දර බොක්ස් එකෙන් එලිය බලන මිනිස්සු.
Deleteහැබැයි ඉදිරිපත් වෙන්නේ සමාජවාදය වෙනුවෙන්. ඔන්න අනිත් අයට දෙන ආදර්ශය. පිස්සු ඕයි අපිට...උඩ ඉඳන් කියවගෙන වරෙන්. ඕකනේ කෙලවෙලා තියෙන්නේ. මට පෙරේදා පක්ෂ නායකයෙක් හම්බවුනා. ඒත් මේ වගේ. බොරුනම් අහපන් +++ ධර්මගෙන්. දන්න එකම දේ වමාරනවා.
Deleteඅරූ අයියේ, ඔබේ මතය නිවැරැදියි එක අතකින්. මේ දේවල් මහා ලොකු දේවල් නොවෙන්න පුලුවන්. ඒත් අපි ජීවත්වෙන ලංකාවේ තාමන් ඔය දේවල් තියෙනවා. මම දන්න තරමින් කොයි අම්ම තාත්තා උනත් තමන්ගේ පුතාට වඩා දුවව පරිස්සම්කරනවා. දුව ලොකුලමයෙක් උන දවසට වඩිහිටි ඔක්කොම එයාව දැනුවත්කරනවා.ඔයා තාත්තාකෙනෙක්නම් ඔයත් ඔයාගේ දුවව ඒතරමටම පරිස්සම්කරනව. ඒකයි ඇත්ත. දුව සහකාරයෙක් හොයාගත්තොත් ඒ ගැන හොයලබලනවා. ඒ කොල්ල තවත් කෙල්ලන් ආස්‍රයකරනවනම් දුවට අවවාදකරනවා.එයාට මොනාහරි දෙයක් වෙලා තිබූනොත්,අනේ ඕවා ගනන්ගන්නේ ගොබ්බ කොල්ලො කියල ඔයා නිකන් ඉන්නවද? ඔයාට තාත්තාකෙනෙක් විදිහට එහෙම ඉන්න නොහැකියි.කොහොමවුනත් මෙහෙම රැවටෙන්න ස්ත්‍රි පුරුශ බේදයක් නැහැ අර කටුසු කිව්ව වගේ. එහෙම දේවල් වෙලා සමාජයට මූණදෙන්න බරිව සියදිවි පවා හානිකරගත් අය බොහෝයි. ඔව්න්ට මේ සමාජේ ජීවත්වෙන්න ඉඩ නොමැකලා. එකඑක කෙනාගෙ මානසික මට්ටම් නිසයි. ඔවුන්ට සල්ලි තිබුනොත් මේ දේවල් ගනන් නොගන්න පිට රටකටවත් යන්න තිබුනා.මේ ලංකාවේ තාමත් තත්වෙ. කොහොමවුනත් නිර්මානකාරයෙක් නිර්මානකරන්නෙ සමාජෙ වෙන දේවලින්. ඒක නිර්මනකාරයාගෙ මතය විදියට පිලිගන්න එකත්, එයට දේශපාලනය සම්බන්දකරගනිමත් මම පිලිගන්නේ නැහැ.
Deleteඅරූ අයියේ, මොකද මේ? මට ඔබට කියන්න දෙයක් හිතාගන්න බෑ. කියන කාරණය මෙතරම්ම පටුවට වැරදියට තේරුම්ගත්තෙ ඇයි? අඩුම තරමෙ මේ නිර්මාණය පුරා මං පෙනී හිටියෙ මොකක් වෙනුවෙන්ද කියලවත් තේරුම්ගන්න බැරිවුනාද? ඒ ගානටම මාව පහතට දාල කතාකරන්නෙ ඇයි. පවතින සමාජය පිළිබඳ මං බොහොම සංවේදී මිනිහෙක්. මිනිස්සු විඳින දුක් කන්දරාව, පීඩාව ගැන සංවේදී මිනිහෙක්. පවත්නා චිරාගත සම්ප්‍රදායක්, සමාජ ක්‍රමයක් තුල ජීවත් වන මිනිස්සු අපි. ඒ සමාජෙන් මිදෙන්න කොච්චර ආස උනත් අපේ අත්තටු තාම හයිය නෑ. ඒ අතින් අරූ අයියලා වාසනාවන්තයි. ඔයාල මේ සමාජෙන් ඈතට පියෑඹුවා. ඒ කිව්වෙ පෙම්වතුන් බලාපොරොත්තු වන නිදහස් ස්වාධීන ලෝකය ගැන.
Deleteපුද්ගලිකව මං මගේ විදිය කියන්නම්. මං කැමති නෑ වටේ යන කොල්ලන්න්ට. දකින දකින ගහට කොටන කොට්ටෝරුවන්ට. ඒ වගේම මං කැමති නෑ වටේ යන කෙල්ලන්ට. ඒ සුනඛ ලිංගික ජීවිතය මට පිළිකුල්. ඒක පෙට්ටියක් තුලට රාමු කරන්න හදන්නෙපා. පොදුවේ දේව දානය සහ පුලුටු වෙන්කලේ පෙට්ටියකට නෙවෙයි. මේ දූෂිත සුනඛ ලිංගික ජීවිත වලට. කොහේ හරි ඉන්න පඩත්තරයෙක්ට රැවටුණ අහිංසකාවියෙක් මට පුළුටු නෙවෙයි. ඒ වගේම මනුස්සයා දාල වේස කමේ ගිය ගෑනියෙකුගේ මිනිහා මට පුලුටු නෙවෙයි. ඒ වගේම තමයි ඒ දෙන්නට ඒ ජීවිත උරුම කල මිනිහයි, ගැහැණියයි දෙන්නම මට න්ම් පෙරේතයෝ. ඒක ඔයා දකින්නෙ කොහොමද කියල මං දන්නෙ නෑ. ඒත් මේ මං දකින විදිය.
තමන්ටම කියල පේවිච්ච ගෑණියෙක්, බිරිඳක්, පෙම්වතියක් ඉන්න කොල්ලෙක් වෙන එකියක්ගෙ පහස ලබනවානම් ඒක හෙන ගහන අපරාධයක්. ඒ වගේම තම්න්ට ප්‍රේම කරන ස්වාමියෙක්, පෙම්වතෙක් මිනිහෙක් ඉන්න කෙල්ලක් වෙන එකෙක්ට අල්ලන්න යන එකත් හෙන ගහන අපරාධයක්. ඒකයි මගේ මතය. එහෙම නැතිව පෙට්ටියක් වැහිල තියෙන මස් වැදැල්ලක් ගැන නෙවෙයි මං කිව්වෙ.
හැබැයි, මේ දෙකම(තමන්ටම කියල පේවිච්ච ගෑණියෙක්, බිරිඳක්, පෙම්වතියක් ඉන්න කොල්ලෙක් වෙන එකියක්ගෙ පහස ලබනවානම් ඒක හෙන ගහන අපරාධයක්. ඒ වගේම තම්න්ට ප්‍රේම කරන ස්වාමියෙක්, පෙම්වතෙක් මිනිහෙක් ඉන්න කෙල්ලක් වෙන එකෙක්ට අල්ලන්න යන එකත් හෙන ගහන අපරාධයක්) එකිනෙකාට අවුලක් නැති සුනඛ ලිංගික ජීවිත ගතකරන එවුනුත් මේ සමාජෙ ඉන්නවා. මං ජීවත් වෙන පරිසරයෙත් ඉන්නවා. උන්ට එහෙම හොඳනම් උන් ඕනි මඟුලක් නටාගත්තට මට ප්‍රශ්නෙකුත් නෑ.
කොටින්ම කියන්නම්, කාමේසුමිච්චාචාරයට මං විරුද්ධයි. එච්චරයි.
මං දකින සමාජවාදය තුල උනත් බිහිවිය යුත්තේ සමාජයට වැරදිකරන පිළිලයක් නෙවෙයි, සමාජයට වැඩදායි මනුස්සයෙක්. ඒ තුල සුනඛ ලිංගික ජීවිත පැවතිය යුතු නෑ.
@ පිය සටහන් & මනෝෂ්....මම හිතන විදිහ මෙහෙමයි. ලිංගික අවශ්‍යතාවයන් එක වයස් සීමවාකින් පසුව ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ශරීරය ඉල්ලා සිටින්නක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ සොඳුරු උවමනාව කසාදයක් වෙනතෙක් ඉවසාසිටීම තමයිනේ ඔය කියන්නේ. හරි ඒක අපේ සංස්කෘතියේ කොටසක් කියලා කියමු. අපි මේවා ඇඟේ හිරකරගෙන සයිබර් එකෙන් බලබල මානසිකව සතුටට පත්වෙනවා. ඒ තාවකාලික මානසික සතුටෙන් තෘප්තිමත් වෙන්න බැරි නිසා තමයි අද නොයෙකුත් වර්ගයේ ලිංගික අපරාද සිද්ධවෙන්නෙත්, ඒ සැබෑ ලිංගික උවමනාවන් වෙනුවෙන් හතු පිපෙනවා වගේ නොයෙකුත් ක්‍රම සහ විධි සහ් ස්ථාන හැදෙන්නේත්. මගේ දරුවෙක් වේවා කාගේ හෝ කෙනෙකුගේ දරුවෙක් වේවා මේ තැන් වලට යනවා ඇති, පරිහරණය කරනවා ඇති. අන්න ඒ නිසා තමයි නිදහස් මනසකින් මේ දේවල් සාකච්ඡා කරන්න ඕන. ගතානුගතික ලයින් එක උඩ ඉඳගෙන, එය නිවැරදි යැයි කියමින් ගොළුබෙලිවත රැකීමට වඩා මේවා සාකචඡා කලයුතුයි. මාධ්ය නිදහස, අධ්‍යාපන නිදහස, ඒ නිදහස, බී නිදහස ගැන කෑ මොරදෙන සහ ඒ වෙනුවෙන් අරගල කරන අපම ලිංගික නිදහස කියන වචනේ ඇහුන ගමන්ම කාමේසු මිච්ඡාචාරා ප්‍රමුඛ පන්සිල් පද පහ එලියට දාගෙන ආපහු කටුව ඇතුලට ර්ංගගන්නවා. කාමය වරදවා හැසිරීම කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න. ඒ තුලින් විග්‍රහ කරන්නේ මොකක්ද..ඒ තුල විවාහයට පෙර සහ විවාහයට පසු කියලා විග්‍රහ තියෙනවාද...සන්සර්ඝය සහ වෙනත් ක්‍රම කියා විග්‍රහ තියෙනවාද...මම මේ මනෝෂ්ගේ සිල් බිඳින්න හදනවා නෙමේ. මගේ අදහස් කියා සිටිනවා.
Deleteමතක තියා ගතයුතු කාරණය වෙන්නේ මේ වෙනකොට බ්ලොග් මාධ්‍ය කියන්නේ හිත මිතුරන් කිහිප දෙනෙක් එක්ව නියමයි මචං, පට්ට මචං කියන ආකාරයේ පිට කසාගන්නා බිම් කඩක් නොවන වග. දිනෙන් දින මොහොතින් මොහොත බ්ලොග් මාධ්‍ය පොදු ජනතාව අතර පුරවැසි මාධ්‍ය කලාවක් ලෙස ඉදිරියට ඇදෙමින් තිබෙනවා. මේ ගැන අපි නොදන්නා කතිකාවතක් තියෙනවා. ඒ නිසා තමයි වෙබ් අඩවි පවත්වාගෙන යන්නන්, බ්ලොග් කරුවන් දෙස විමසිල්ලෙන් ඉන්නේ. වෙබ් අඩවිතුලට බ්ලොග් අඩවි ඇතුල්කර ගන්නේ මේ සමාජ සංවාදය අවශ්‍ය නිසයි.
දැන් මාධ්‍ය ලෝකය තුල සිදුවිය යුත්තේත් මතුපිට අතපත ගෑම නොව . ඒ පෙඳ පාසි තාට්ටුවතුල සැඟවී ඇති දේ මතුපිටට ගෙන ඒමය. කරුමෙට අද නොවන්නේත් එයමය. මහ පොලවටගෙන එනදේ සුනඛ ලිංග හෝ අශ්ව ලිංග හෝ නපුංසක විය හැක. එහි ලිංගයේ ප්‍රභේද අදාල නොවේ. අදාලවන්නේ දැණුමේ සහ සමාජයට දෙන පනිවිඩයේ ප්‍රභේදයයි.
අරූගේ අඩවිය.
සයිබර් අවකාශයේ සරිසරමින් මන්දමානසික පිස්සන් ලෙස සමාජෙ ජීවත්වන නොයෙකුත් පෙරේතයන් ඇත. ඔවුන් මහත් සේ පිලිකුල් කරමි. කාමය වරදවා හැසිරීම යන්නෙන් අදහස් කල කාරරනය ඔබට වටහෙන්නට ඇත.
Deleteලෝකය දෙස විවෘත මනසකින් බැලීමට මෙන්ම ලෝකය සමග ජීවත්වීමට ගැහැනියකට හැකිය. නමුත් ඈ එහි පරිස්සමින් ජීවත්විය යුතුයි.
මම මේ කාමේසු මිච්ඡාචාරා ප්‍රශ්නය ඇහුවේ ඒ කාරණය මතුකරපු කෙනාගෙන්. ඒ කියන්නේ මනෝෂ්ගෙන්. පිය සටහන් එවැනි දෙයක් කිසිම තැනක සඳහන් කර නැහැනේ. ඔබ දෙදෙනා යනු එකම බ්ලොග්කරුවාද. මම එහෙම අහන්නේ එතකොට අදහස් හුවමාරු කරගන්න ලේසි නිසා. අපිට මෙහෙම අදහස් ලියා තබන්න බැරිනම් ඒ බව කියන්න (පිය සටහන් යනු සඳුමල් ලියන මනෝෂ්ම නම් ඒ බවත් අපට කියන්න. එහෙම නොවේ නම්, මේ සංවාදය ඉදිරියට ගෙන යායුතු නොවේ නම්, බ්ලොග පවත්වාගෙන යන මනෝෂ් ඒ බව කියන්න ) මම සංවාදකරුවෙක් මිස, කඩාකප්පල් කරුවෙක් නොවේ. ඒ බව වටහා ගන්නා. මං පොර ආකල්පයෙන් උත්තර දීම කොතරම් සදාචාර සම්පන්නද කියා නැවත නැවතත් හිතන්න.
Deleteඅරූ අයියේ මම ද මෙයට ඉදිපත් උනේ සන්වාදකරුවකු ලෙස මිස වෙනත් අදහසකින් නොවේ. මාතාලන් අයියන්ඩිගේ සන්වාදය හා ඔබද මෙහි එකතු ඌයේ ඔබ දෙදෙනා එකම අයෙකු නිසා නොවේ නේද? කෙසේ නමුත් මා පොර වීමට කෙසේවත් උත්සාහ නොකලෙමි. එයින් ඔබේ හිත රිදුනානම් සමාවන්න.
Delete@අරූ අයියා,
Delete01. ඔබ කාමේසුමිච්චාචාරය සහ ලිංගික නිදහස පිලිබඳ දැමූ කමෙන්ටුවට මුලින්ම පිළිතුරු දෙන්නම්. පළමුවෙන්ම ඔබ මෙම පෝස්ට්ටුවවත් හරි හැටි කියවා නොමැති බව පෙනී යයි. එසේ කීවේ, පෝස්ටුව තුලද මා ඉසමතු කොට ඇත්තේ මෙම සම්ප්‍රදායික චින්තනය තුල සිරවුනු යුවතියකගේ වේදනාව පිළිබඳවයි. ආදරය, රාගය, ශෘංගාරය සහ සමාජ සම්ප්‍රදාය, සංස්කෘතිය තුල සිරවුනු යුවතියකගේ අවංක හැඟීම අගේ අසරණ කම මම අකුරු කර තබා ඇත්තෙමි. විචාර බුද්ධියක් ඇති අයෙකුට ඒ කාරණාව සහ මගේ දෘෂ්ඨිය තේරුම්ගත හැකි විය යුතුය.
02.ලිංගික අවශ්‍යතාවය ගැන කියනවනම් එය කවදා කොතන කොහොම දෙදෙනෙකුට අවශ්‍ය වනවාදැයි, ඔවුන් එය කෙසේ සපුරාගත්තද මට ප්‍රශ්නයක් නෑ. ඒක ඔවුන් සතු දෙයක්. නමුත් කාමය වරදවා හැසිරීම කියන සිල් පදයේ අරුතද, අරූ වැන්නෙකුට පැහැදිලි කරදීමට සිදුවීම පිළිබඳ කණගාටු වෙමි.
03.සංවාදමය බ්ලොග් කලාව පිළිබඳ සිහින දකින ඔබ වැන්නවුන් සංවාදයට එකතුවන අයගෙන් මෙසේ ප්‍රශ්න කිරීම මටනම් හාස්‍යට කරුණක්මය.
\\මම මේ කාමේසු මිච්ඡාචාරා ප්‍රශ්නය ඇහුවේ ඒ කාරණය මතුකරපු කෙනාගෙන්. ඒ කියන්නේ මනෝෂ්ගෙන්. පිය සටහන් එවැනි දෙයක් කිසිම තැනක සඳහන් කර නැහැනේ.//
ඔබ එසේ සිතනවානම් හිතට එකඟව ඔබටට්ද මෙම සංවාදයට එකතු විය නොහැක. මොකද මේ සංවාදය තුල මාතලන් ප්‍රශ්නය නැඟුවේ මගෙන් නිසා. නමුත් එහෙම එකක් මේ බ්ලොග් වල නෑ. ඔබට අවශ්‍ය මේ සංවාදය මා හුදෙකලා කොට කිරීමටනම් එය පවසන්න. අපි මේල් වලින් මේක කරමු. මේ සංවාදයට ඕනෑම අයෙකුට එකතුවිය හැකි පහසුකම් බ්ලොගර් ලබා දී තිබෙන නිසයි පියසටහන් හට මීට එකතු විය හැකි වූයේ. තමන් දරණ මතයට විරුද්ධව තවත් අයෙකු අදහස් දැක්වීම ඉවසිය නොහැකිනම් එය සෘජුව පවසන්න.
04.\\පිය සටහන් යනු සඳුමල් ලියන මනෝෂ්ම නම් ඒ බවත් අපට කියන්න.// ඔබ මේ කරනුයේ ඉතාම බරපතල ප්‍රකාශයක් බව තරයේ සිහි තබා ගන්න. පිට කොන්දක් නැති මොලුස්කාවන් එලෙස ප්‍රෝෆයිල් දෙකතුනකින් එක් අයෙකු පෙනී සිටිනවා ඇත. අපමණකින් නොසෑහී ඇනෝ සංකල්පයද භාවිතා කරනු ඇත. නමුත් කිසිදා ඇනෝ සංකල්පයේ පිහිටවත් නොපතන මා පිළිබඳ ඔබ මේ පවසන දේ පිළිබඳ ඔබ ලැජ්ජා විය යුතුය. පියසටහන් ගැන නොදන්නවානම්, දැන ගන්න ඕනි නම් මේ ලින්ක් දෙකෙන් ගිහින් දැනගන්න.
http://masandumal.blogspot.com/2014/08/blog-post_7.html
ampiyasatahan.blogspot.com
04.\\එහෙම නොවේ නම්, මේ සංවාදය ඉදිරියට ගෙන යායුතු නොවේ නම්, බ්ලොග පවත්වාගෙන යන මනෝෂ් ඒ බව කියන්න//
මට සහ පියසටහන් හට එවැනි අවශ්‍යතාවක් ඇතිබව මෙතන කොහේ හෝ සඳහන් කොට නොමැත. ඔබට අවශ්‍යතරම් කාලයක් මේ සංවාදය සිදුකරගෙන යා හැක. හැබැයි බුද්ධිමත්ව, අභූත චෝදනා නොමැතිව.
05. \\මං පොර ආකල්පයෙන් උත්තර දීම කොතරම් සදාචාර සම්පන්නද කියා නැවත නැවතත් හිතන්න.//
එලෙස පොර වීමක්ද නොමැත. නමුත් තමන්ට වඩා අනෙකා සදාචාර සම්පන්න යැයි හිතෙන අයෙකුට ඔහුව පොරක් සේ පෙනිය හැකිය.
හ්ම්ම්..... ආදරේ හරි පරෙස්සමින් ජීවිත කාලෙම රැක ගන්න පතන අහිoසක පැතුමක්..ලස්සනයි..
ReplyDeleteඒකනම් ඇත්ත සුසී..ගීතය පුරාම එය ගැබ්වෙලා.
Deleteඉතාමත් රසවත් ගීතයක්!!!
ReplyDeleteතනුවද, නැත්නම් පදරචනයද?
Deleteදකින්න අහන්න වැඩියේ ලැබිලා නැති වුනත් ගොඩක් තැන්වල තියෙන ශෝකාන්තයක්.
ReplyDeleteආශාව ආදරයට ඉස්සර වීම තමයි මේකට මුල.
ඔය දෙක අදාළ කාලෙට අදාළ විදියට ජීවිතේට ලං කර ගන්න එක බොහොම අමාරුයි.
කාලයක් මාත් ඔය අභියෝගේ ට මූණ දුන්නා...
කොහොම හරි ආශාව ට දෙවැනි තැන දෙන්න දාන්න මට පුළුවන් වුනා..( අන්තිමේදී ඒ ආදරෙත් අයින් කරලා දාන්න වුනා ...එක වෙනම කතාවක් බන්..)
--------------------------------------------------------
මනොෂ්...
වචන ටයිප් කරල් නම් උඹේ හැකියාව මෙතන අගයන්න මට අමාරුයි බන්..
එච්චරටම උඹේ ලියැවිල්ල සුපිරියි..
අර උඹේම ස්වතන්ත්‍ර උදාහරනේ නම් පුදුම විදියකට මේ වගේ සිද්දියකට ගැලපෙනවා.
//පුංචි කාලෙම හැමදාටම ඇඳන් ඉන්න ඔසරියක් ඇඳගත්තා වගේ//
උඹේ හැකියාව ට ජය වේවා...
මං හිතන්නෙ පෙරදිග රටවල් වල බොහෝ පෙම්වතුන් පෙම්වතියන් බහුතරයක් මේ තත්වයට මුහුණ දෙනව විභී.. ඒකට ඒ රටවල සංස්කෘතික පසුබිම වගකියන්න ඕනි. එක අතකට ඒක යහපත්. තවත් අතකට ඒකෙන් වෙන හානිය බලවත්, මේ කාරණය ඒ නිසා දෙපැත්ත කැපෙන පිහියක් වගේ.
Deleteඒ ආදර කතාව ගැනත් අපි ව්‍යංගයෙන් දවසක කතාකමු විභී.. විරහව කියන්නෙත් වෙදනාවක සිරවුන සියුම් රසයක්නේ.
වැඩිදුඅර නොහිත කිව්ව උදාහරණෙ නැගලම ගිහින් නොවෑ.
බොහොම ස්තූතියි මචෝ..
මගුලක්
ReplyDeleteමේකට කොයින්ද මහි යෙක් ඈදුනේ...
හිහි
අපූරුයි මනෝ ඇත්තටම හිත නතර වෙලා කියෙව්ව සෑහෙන වෙලාවක්... අපූරු සටහනක්
ජයෙන් ජයම වේවා
යකෝ..ලියුම අයිතිකාරය
Deleteඕව ඉතින් අපි දන්නෙ නෑ. මට මේක පාර් වැටිල තිබිල හම්බුනේ මං කෑගල්ල පැත්තෙ යනකොට!!
Deleteනෑ බං, මුලින් දැම්මෙ සඳුන් කියල, පස්සෙ වෙනස් කලා.
මේ ලියුමට අයිතිකාරයෝ ගොඩයි. උඹත් එකෙක්. උඩින් ඔය විදානයයි, විසිටරයයි දෙන්නම කියල තියෙන්නේ.
Deleteඔන්න මචං..මමයි ගැනියි යාලුවෙලා ඉන්න කාලේ මට කොටුවක් පනින්නම ඔිනේ..ගෑනි ගෙදර ඉදන් එන දවසේ කුරැනෑගලදි යමුකෝ මගේ යාලුවෙක්ගේ තැනක් තියනවා ටිකක් කතා කර කර ඉදලා එමු කියලා ත්‍රිවිල් එකකට නග්ග ගත්තා..සදු මට කිව්වා..
ReplyDelete..අයියේ ඔයාට ඔයාව පාලනය කරගන්න පුලුවන් හැබැයි ඔයා ඉදිරියේ මට මාව පාලනය කරගන්න බෑ ඒක නිසා අද සිද්ධ වෙන දේවල් වල වගකිම අපි දෙන්නටම කිව්වා..
මම ත්‍රිවිල් එක හරවගෙන ආපහු ආවා..මම ලේ බිංදුවක් විශ්වාස කරන්නේ නෑ..ඒ වුනාට සදූ ගේ විශ්වාසය මට වටිනවා..
සිංදුවකට කතාවක් ලියන එක තමයි උඔගේ හැකියාව..
එල ද බ්‍රා...
මචෝ උඹේ මේ විවෘත භාවයට මං හිස නමා ආචාර කරනවා. උඹලගේ මේ සැබෑ ජීවන අත්දැකීම් මගේ මේ නිර්මාණවලට ආලෝකය සපයල බබලවනවා. ඇත්තටම අද එයා එදා ගත්ත තීරණය ගැන උඹ සතුටු වෙනව නේද.
Deleteස්තූතියි මචෝ ගොඩක්ම.
අනිවා...බැදලා අවුරැදු 6කට පස්සෙත් එදා වගේම ආදරේන් ඉන්නේ..(ගෑනි සිනි බෝතලෙන් ඔලුවට ගහන එක වෙනම දෙයක්..)
Deleteකෙල්ලෙක්ට ගරැ කරන්න මම දන්නවා මචං එහම නැත්නම් මේ ක්ෂත්‍රෙය් පැවැත්මක් නෑ
අනිවාරෙන්ම මචං. මේ ක්ෂේත්‍රයේ ඉන්න කෙල්ලන්ගෙ තත්වෙ උඹ හොඳට්ම දන්නවනේ. ඔවුට ගෞරවනීය ජීවිතයක් උරුම කරල දෙන එකට උඹලට ලොකු දායක්ත්වයක් දක්වන්න පුලුවන්. මං කිව්වෙ, ආයතනයක් විදියටත්.
Deleteඉස්සර අපි විහිලුවට වගේ කියනවා...
ReplyDeleteමාද ඔබම විය
ඔබද මා විය
ඔබ අන්සතු විය
මට කෙල විය
කියලා.. හික්ස් :)
වෙනදා වගේම අදත් ලියවිල්ල පට්ටයි ඈ.
ඒ විහිළුව හැබෑ වෙච්ච එවුනුත් කොච්චරනම් ඇත්ද බං?
Deleteස්තූතියි මචෝ ඇගයුමට.
ela...
ReplyDeleteතෑන්ක්ස් මචෝ.
Deleteඔබ මේ ලියා ති ආකාරයට යම්කිසි ගීතයක් අරගෙන එයට නවමු අර්ථ කතනයක් දෙමින්, කිසියම් කතාපුවතක් එයට ඈඳා ගීතයේ ඒ ඒ කොටස වාදනය කරමින් කල වැඩසටහනක් තිබුනා 1970 දශකයේ අග භාගයීදී ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ. එය ඉදිරිපත් කල නිවේදිකාවගේ නම මේ ලියන මොහොතේ මට මතකයට නගාගන්න අමාරුයි. ඇයත් ගීත රචිකාවක්. එය අතිශයින් ජනප්‍රියව තිබුණු වැඩසටහනක්. ඇත්තෙන්ම එවැනි වැඩසටහන් මගින් අපි එදා අපේ ගීරස වින්දනය වැඩිදියුණු කරගත්තා. ඔබත් අද කරන්නේ එවැනිම සේවයක්. එය ඉහලින්ම අගය කරනවා.
ReplyDeleteඑවැනි වැඩසටහන් වලට මමත් පුදුම රුචිකත්වයක් දක්වන්නෙ විචාරක තුමනි. මේ දවස් වල ලක් හඬේ යන අඩසඳයාය අහනවද? කතා නැතත්, ඉතාම හොඳ විචාර යනවා. ඔබේ අගය කිරීමට බෙහෙවින්ම ස්තූතියි. එය මහත් දිරියක්.
Deleteඔබම මාද විය
ReplyDeleteමාද ඔබම විය
මේ වගේ ගීත විතරක් නොවේ, රචනයන්ද අද අහන්න අඩුයි සඳරුවන්. නමුත්, තවමත් කැකෑරෙමින් පවතින ආදරණීය මිනිස් සිතුවිලිය.
මං හිතන්නෙ මේ ඉසව්වෙදි ඔබව දකින පළමු වතාව. ඔබව බොහොම ගෞරවයෙන් සාදරයෙන් පිළිගන්නවා නිර්මලා.
Deleteඔබ කියන දේ හරි. අද මෙවන් ගී පද රචනා බිහිවෙන්නෙ නෑ. රටට සමාජයට සිංදු ලියපු මිනිස්සු වියැකිලා. අද ඉන්නෙ තමන්ගෙ බඩට සිංදු ලියන හාදයෝ.