Pages

Sandumal

Sandumal

Saturday, May 3, 2014

•රන් කෙන්දන් බැඳ

"ඔබගෙන්දෝ ඔහුගෙන්දෝ මා හෙට දින සමුගන්නේ..."








මගේ මතකය හැත්තෑව දශකයේ මුල් භාගයට දිවයයි. වර්ෂය එකදාස් නමසිය හැත්තෑහය විය යුතුය. මම එකල කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ නේවාසික ශිෂ්‍යයෙක් වීමි. සෑම සති අන්තයක දීම සිනමාපටයක් බැලීමට අප නේවාසිකාගාරයෙන් පිටතට ගෙනයාම එකල විශේෂත්වයක් වී තිබිණ. මෙය සංවිධානය කරනු ලබන්නේ නේවාසිකාගාර භාර ව සිටි බන්දුල සර් සහ නේවාසිකාගාරයේ ශිෂ්‍ය නායකයකු ව සිටි ගයිරික පේරුසිංහයි. පාසලේ අට වසරේ ඉගෙනුම ලබමින් සිටි කුඩා ශිෂ්‍යයකු වුවද එක් ඉරිදා දිනයක මරදාන 'ක්‍රවුන්' සිනමා ශාලාවට 'දුහුළු මලක්' බලන්නට ගිය දවස මට තාමත් මතක ය. 

චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබුණේ විජය ධර්ම ශ්‍රී ය. සංගීතය සරත් දසනායකයන් ගේය. ගීත රචනා කර තිබුණේ අජන්තා රණසිංහයන් ය.

වයසින් මුහුකුරා ගොස් නොසිටිය ද අපි බොහෝ දෙනෙක් මේ චිත්‍ර පටය ආස්වාදය කළෙමු. එහි ගීත රසවින්දෙමු. රවීන්ද්‍ර, නීටා සහ ටෝනි රණසිංහයන්ගේ රංගනය අප කුල්මත් කිරීමට සමත් විය. 'බොඳ මීදුම් කඳුරැල්ලේ', 'රන් කෙන්දෙන්', 'වෙණ වයා නැළවෙමු', වැනි ගීත මුමුණමින් පාසල් ගියෙමු. ඒ ගීත තවත් දශක තුනකටත් පසුව අප අතර නොනැසී පවතී යැයි එදා අපි නොසිතුවෙමු.

මිහිරි හින්දි තනුවකට සිංහල වචන යෙදීම එකල සිනමාවේ ජනප්‍රිය අංගයක් විය. එසේ නැතිනම් තනුවකට වචන යෙදීම සිනමාවේ සිරිතක්ව පැවතිණ. "රන් කෙන්දෙන්" නැමැති ගීතය මේ කුමන අයුරින් ලියවුණා දැයි මම නොදනිමි. කෙසේ වෙතත්, චිත්‍රපටයේ තේමාව වඩාත් අර්ථවත් කිරීමට පමණක් නොව, චිත්‍රපටය බැහැර කොට වෙනම රසවිඳිය හැකි නිර්මාණයක් බවට අජන්තා රණසිංහයන්ගේ මේ අපූරු ගී පබැඳුම පත්වී ඇති බව නම් ප්‍රකාශ කළ යුතු ය.

මිනිස් සිතක් තුළ තවත් කෙනකු කෙරෙහි ඇතිවන ආදරය අතිශයින් සංකීර්ණ හැඟීමකි. එය කෙබඳු මොහොතක, කෙබඳු ආකාරයෙන් ඇතිවන්නේ ද යන්න නිගමනය කළ නොහැකි ය. ආදරය වූ කලී සියලු උස් මිටිකම් සියලු සමාජ සම්මතයෙන් සුණුවිසුණු කර දැමීමට සමත් අතිශයින් ආවේගශීලී වූ ද අතිශයින් අහිංසක වූ ද හැඟීමකි.

මේ පදමාලාවට පසුබිම් වන්නේ විවාහක ස්ත්‍රියක මුහුණ දෙන සංකීර්ණ මානසික අර්බුදයකි. ඇය මංගල යෝජනාවක් මත සරසවි ඇදුරකු හා විවාහ වූ තැනැත්තියකි. කෙළිලොල් ජීවිතයකට ප්‍රියකරන ඇයට සැමියාගේ අධික කාර්යබහුලකම මානසික පීඩාවක් බවට පත්වෙයි. මේ අතරතුර දී ඇයට ඉතා ආකර්ශණීය කෙළිලොල් යෞවනයකු අහඹු ලෙස මුණගැසෙයි.. ඇගේ නව යොවුන් සිතුවිලි සියලු සමාජ සම්මතයන් පුපුරවාගෙන ඔහු වෙත ඇදී යයි. තමා කරන්නේ සමාජ විරෝධී ක්‍රියාවක් බව දැන දැනත් ඇය ඒ ආදරයෙන් අත්නොමිදෙයි.

බුද්ධියට ඉඩ නොදෙන ඇය තම සිතුවිලි නැමැති විහඟුන්ට නිදහසේ සැරිසරන්නට ඉඩ හරියි. එහෙත් තමාට නොමසුරු ව ආදරය කරන තම සැමියා දකිද්දී, ඇගේ මනස, වේදනාවට පත්වෙයි. මේ තේමාව අජන්තා රණසිංහයන් විසින් ග්‍රහණය කරගන්නා ලද ආකාරයෙන් ඔහුගේ පරිකල්පන ශක්තියෙහි ඇති විශිෂ්ටත්වය හා අපූර්වත්වය මනාව විද්‍යමාන වේ.

"රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක්කළ ආදරයයි
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කළ ආදරයයි.."

තම විවාහක සැමියා වෙනුවෙන් පවතින ආදරය රන්කෙන්දෙන් බැඳී ආදරයකි. අනියම් සෙනෙහස වූ කලී ප්‍රේමය නැමැති රැහැනින් වෙලී ගිය සිතුම් වසඟ කළ ආදරයකි. ආදරයේ සංකීර්ණත්වය මෙහිදී මනාව තහවුරු වෙයි.

ඈ තුළ ඇගේ සැමියා කෙරෙහි ළෙන්ගතුකමක් පවතී. එය සැමියාගේ ගතිපැවතුම් සහ ඔහුගේ ආදරය මෙන් ම දුක සැප බෙදාගෙන එකට ජීවත්වීම නිසා හටගන්නා ළෙන්ගතුකමකි. එහෙත් ඒ ගෞරවාන්විත හැඟීම ඉක්මවා යන තම හැඟීම සැතපවිය හැකි ආලයේත් රාගයේත් සම්මිශ්‍රණයෙන් උපන් නැවුම් උණුසුමක් කරා ඇගේ සිත ඇදී යාම ඇයට පාලනය කරගත නොහැකි ය. ඒ නිසා ම ඇය වේදනා විඳින්නී ය.

"කිරිලිය සේ දුර පියා සලාලා
අත්තටු රිදුණා පමණයි
දෑල විදාහළ දෑත මගේ
ඔබටත් ඔහුටත් උරුමයි
හිරු සඳු එකවර දෙපස නැඟේ
කළුවර ඇයි විජිතයම මගේ..."

ඈ මුහුණ දෙන ගැටලුව සරල වූවක් නොවේ. එකකු අතහැර අනෙකා සමීපයට යාමට ඇගේ සිත ඉඩ නොදේ. දෙදෙනාගේ ම ආදරය ඇයට අවශ්‍ය ය. ඇගේ ලොවට මේ දෙදෙනා හිරු හා සඳු ය.
හිරු සඳු එකවර දෙපස නැඟුණත් ඇගේ ලෝකයට කළුවර ය. ඇය විසින් විඳින්නා වූ දුක් සම්භාරය අජන්තා රණසිංහයන් තම උපරිමයෙන් වචනයට පෙරළීමට සමත්වෙයි. ගී පද රචකයකු තුළ අනිවාර්යයෙන්ම පැවතිය යුත්තේ මේ ප්‍රතිභාවයි.

මේ වූ කලි චපලකමයැයි කෙනකුට චෝදනා කළ හැකි ය. මේ ලෝකයේ සියල්ලෝ උත්තරීතර මිනිස්සු නොවෙති.

මෙය චපලකම නම් එය එසේ නොවේ යැයි අපි නොකියමු. චපලකම ද මනුෂ්‍යත්වයේ ම තවත් අංගයකි. මේ මානසික තත්ත්වය අත්විඳින තවත් ගැහැණු අප අතර කොපමණ සිටිත් ද?

එහෙත් යම් තැනකදී මේ චරිත සමාජය ඉදිරිපිට මේ ගැටලුවලට මුහුණදිය යුතුය. ඇය ද ඒ පසුබිම තේරුම් ගෙන තිබේ.

තමා ප්‍රතිපත්තියක් නැති ඔහේ පාවෙන සිතක් ඇති වල්මත් වූ තැනැත්තියක ය යන යථා අවබෝධය ඇය ලබා තිබේ.

ඒ නිසා ම මේ අර්බුදයට මුහුණ දෙන්නා වූ ගැහැනිය රසිකයා ගේ ද්වේශයට නොව අනුකම්පාවට පාත්‍රවේ.

"කණාටු සුළඟේ
දුහුළු මලකි ඈ
වල්මත් වී පාවෙන්නේ
ඔබගෙන් දෝ
ඔහුගෙන් දෝ
මා හෙට දින 
සමුගන්නේ..."

කාගෙන් හෝ ඇය හෙට දින සමුගත යුතුය. එය හෙට දින විසින් ම තීරණය කරන්නක් විනා අද ප්‍රකාශ කළ හැකි දෙයක් නොවේ.

මේ ගීතය දශක තුනක් තිස්සේ රසික ජනතාව තුළ රැඳී තිබීමේ රහස කුමක්ද? සැබැවින් ම එය සොයා බැලිය යුත්තකි. රසිකයන් මේ ගීතයට ප්‍රියකරන්නේ ඔවුන් "දුහුළු මලක්" නම් වූ සිනමා පටය නැරඹීම නිසා නොවේ. ඔවුන් මේ ගීතයට ප්‍රිය කරන්නේ සරල ගීයක් ලෙස සැලකිල්ලට හසු කරමිනි.

මෙතරම් මේ ගීතය රසිකයාට සමීපවන්නට බලපාන ප්‍රධාන හේතුව නම් මේ තේමාවේ ඇති නැවුම් බවයි. මේ අත්දැකීම හඳුනන පිරිස් බොහෝම ය. එහෙත් නිර්මාණවලට මේ අත්දැකීම ගොදුරු වූ අවස්ථා අල්ප ය. ඒ නිසා මේ නිර්මාණය ශ්‍රවණය කරද්දී ඒ රසිකයන්ගේ සිත් පහන් දැල්වෙයි.

මීළඟට මේ නිර්මාණයේ සාර්ථකත්වයේ, රහස රැඳෙන්නේ සංගීතඥයාගේ සහ ගායිකාව ගේ ප්‍රතිභාව මතයි.
ප්‍රේමසිරි කේමදාස මෙන්ම සරත් දසනායකයන් ද ලාංකීය සිනමා සංගීතයේ විප්ලවයක් කළ යුග පුරුෂයෝ වෙති. සාම්ප්‍රදායික සිනමා සංගීතයට පටහැනි තනුවක් මේ සඳහා සරත් දසනායකයන් විසින් යොදාගෙන තිබේ.

එසේම නන්දා මාලිනිය මේ ගීතය ගායනා කරන්නේ ද ඇගේ ගීතවල මල්වර අවධිය වූ හැත්තෑව දශකයේ ය.
ඇගේ හඬෙන් ලාංකීය කාන්තාවගේ හඬ ඇසෙන්නට පටන්ගන්නා යුගය හැත්තෑව දශකයයි. විටෙක දේශාභිමානය ද, විටෙක ශෘංගාරය ද විටෙක පාළු ශෝකී රසයක් ද ඇගේ හඬෙහි ගැබ් ව පවතී. ඒ ශෝකී රසයෙන් චිත්රපට අධ්‍යක්ෂවරයා ද, සංගීත අධ්‍යක්ෂවරයා ද උපරිම ප්‍රයෝජන ගනිති.

මහැදුරු සරච්චන්ද්‍ර යන් මනමේ නාටකය අවසානයේ කුමරියගේ මුවට නංවා ඇත්තේ මෙබඳු වදන් පෙළකි.

"වින්ද මෙවන් දුක මෝඩ මනු ලොව
ඇද්ද වෙන අඟනා..
තිලෝපාලනා.. දෙවිඳුනි මා..
රකිනු මැනා..."



(Ran Kenden Benda - Nanda Malinee)






(ගීත විචාරය ධම්මික බංඩාර මහතා විසිනි. ඡායාරූප අන්තර්ජාලයෙනි.)





**********************************************************************************************************


මනුෂ්‍ය ජීවිතය තුල, ඔහුගේ මනස තුල උපදින මනුෂ්‍යත්වයේ උත්තරීතර ඵලය වන ආදරය නම් අතිශයින්ම මනස්කාන්තවූත්, සුන්දරත්වයෙන් අනූන වූත් අති සංවේදී හැඟීමෙහි තවත් එක් පැතිකඩක අරුමය කියාපාන්නාවූ මෙම ගීතය ප්‍රේමයේ මෙකී ඉසව්වේ සක්මන් කල පෙම්වතියන්ටත් පෙම්වතුන්ටත් එකල අමිහිරි වූ නමුදු දැන් මතකය මිහිරි වූ අතීතයක අහුමුලු ස්පර්ශ කරන සොඳුරු සිහිවටනයක් බවට කිසිදු සැකයක් නොමැති බව මාගේ විශ්වාසයි.

ගීතයේ විශේෂත්වය වන්නේ ප්‍රේමය තුල මෙකී සංවේදනාවකට හසුනොවූ අයෙකුට වුවද මේ ගීතයේ සුන්දරත්වය සුවසේ විඳගැනීමට හැකිතරම් සජීවීව, ගීතය සහ එහි සංගීතය පමණක් නොව නන්දා මාලිනිය නම් වූ ප්‍රතිභාපූර්ණ අසමසම ගායිකාවගේ හඬ පෞර්ෂයෙන්ද ගීතය පරිපූර්ණත්වයට පත්ව තිබීමයි. කෙසේ වෙතත් දුහුල් මලක් චිත්‍ර පටය තුල මෙම යුවතිය පිළිබඳ සානුකම්පිතව සිතිය හැකිමුත්, චිත්‍රපටයට පරිබාහිරව ගීතය රසවිඳින්නෙකුහට ස්ත්‍රියකගේ චපලත්වය පිළිබඳ සියුම් කළකිරීමක් ජනිත කිරීමටත්, ගීතයේ අවසාන බාගය වෙත්ම එම කළකිරීම යලි අනුකම්පාවකට පෙරලීමටත් සමත්කම් දැක්වීමටත් හැකිවීම මෙම පද රචනය තුල ඇති තවත් සුවිශේෂත්වයකි.

කෙසේ වුවත්, ඔබ යුවතියක් නම්, මෙම අත්දැකීම සජීවීව ලංකරගත් යුවතියක් නම් මෙම ගීතය, ඔබ පිළිබඳ සාධාරණ සිතුවිල්ලක් ජනිත කිරීමටත්, එමෙන්ම ඔබේ අනියම් ආදරයට යම් වටිනාකමක්, කලින් නොතිබූ වටිනාකමක් ජනිත කරවීමටත් සමත්වනු ඇත. ඔබ පෙම්වතෙකුනම් මෙම ගීතය නිසා ඔබේ පෙම්වතියට සමාව දීමට තරම් ඔබව පොළඹවනු ලබන ගීතයක් වනු ඇත.

ගීත නිර්මාණය හා රසවිඳීම කෙසේ වුවත් මගේ පුද්ගලික හැඟීම නම්, කිසිදු දිනෙක තම දයාබර සෙනෙහෙවන්තයාට හෝ සෙනෙහෙවන්තියට මෙවන් ද්‍රෝහි කමක් කිරීම මහා පාපයක් බවයි. ඔබට ලැබී ඇති සම්පතට අසීමිතව ආදරය කරන්න. ඒ ආදරය ඇයට/ඔහුට පමණක් සීමාකරන්න. කෙදිනෙකවත් පසුතැවීමට සිදුනොවන වටිනා තීරණයක් ඇරඹුමෙහිදීම ඔබ සතුකරගන්න. එවිට ඔබට තවත් ආදරයක අඩුව නොදැනෙනු ඇත.

අවසන් කිරීමට මත්තෙන් ගායිකාව ගැනත් යමක් සඳහන් කිරීමට අවසර දෙන්න. ඇය මගේ ප්‍රියතම ගායිකාවයි. මගේ හැඟීමට අනුව ඈ අසම සමයි. ඇගේ හඬ පෞර්ෂයට සමකල හැකි වෙනත් ගායිකාව ලොව තුල යලි බිහිනොවනු ඇත. ගීතයෙන් කියවෙන දෙය වඩා සජීවීව අප තුලට ගෙන එන්නට සමත්වන්නේ ඇගේ හඬයි. විටෙක පාලු ශෝකී හුදෙකලාවක් වන ඇගේ හඬ, විටෙක චන්ඩ කුණාටුවක් බවටත් තවත් විටෙක හද නිවන ශාන්ත බණ පදයක් බවටත් පත්වීම සමකල හැකිනම් ඒ කපුගේට පමණි. එනිසා මේ සොඳුරු කලාකරුවන් දෙදෙනාම අසම සම වන අතර අප හදවත් තුල සදාකාලික වනු ඇත.

මේ තුලම මසිතට දැනෙන කණාගාටුදායකම සිදුවීම නම් නන්දා මාලිනියගේ හඬ පෞර්ෂය අනුකරණය කිරීමට කාන්තාවක්වත් උත්සාහ නොකරන පසුබිමක ගැහැනුත් නොවන පිරිමිත් නොවන අමුතුම ආකාරයේ නපුංසකයන් කිහිප දෙනෙකු ඇගේ ගීත අනුකරණය කරමින් ගැයීමට පටන්ගෙන තිබීමයි. එය අනුකාරක ගායනාවක් ලෙස හැඳින්වීමද වරදක් වන අතර අමුතුම වූ අප්‍රසන්න ඇඟ කිලිපොලා යන අමිහිරි නපුංසක හඬකින් ඔවුන් එම ගීත විකෘති කරමින් සිටීම මහා ඛේදවාචයකි. කරුමය නම් එම විලාපය අසන, ඊට නටන, කකුල් වලට ගීත අසන එවැනිම නපුංසක රසික පිරිසක්ද සිටීමයි. 

කෙසේ වෙතත් අදත් මේ ලෙංගතු ඇරයුම මගේ දයාබර පාඨක සහෘදයන්ටයි. මා මෙන්ම සුභාවිත ගීතයට ඇලුම්කරන මිතුරු මිතුරියනි එන්න, රසවිඳින්න මෙම ගීතයත්. රසවිඳින්න ධම්මික බංඩාරයන්ගේ ගීත විචාරයත්. එකතු කිරීමට අදහස්, යෝජනා, චෝදනා හෝ විවේචන ඇත්නම් පහත ඉඩ අදත් ඔබ සඳහාමයි..




28 comments:

  1. ගීතයක් විදියට ගත්තම ඉතාම සාර්ථක ගීතයක්. එහි පසුබිම් හඩත් එක්ක රූ රටා මැවෙනවා..

    නන්දාගේ කට හඩ අනුකරණය කරන පිරිමි උදවිය දිහා එතුමිය උපේක්ෂාවෙන් බලා සිටින එකම පණ්ඩිත කමෙහි ලක්ෂණයක්..

    ReplyDelete
    Replies
    1. ඔබ හරි දේශක. ඇගේ නිහතමානීබව ඉස්මතුවෙනවා වගේම ඒ තුලින් අර කීව උදවියගෙ අවර ගුණයත් මනාව ඉස්මතුවෙනවා.

      Delete
  2. Replies
    1. මාත් ඒ පැත්තට ඇවිත් බැලුවා. හැමදේකින්ම එකතුවෙච්ච ගොඩක් හොඳ අඩවියක්.

      Delete
  3. කාලෙකිං අහන්න නොලැබුණු ගීතයක මතකය නැවතත් අලුත් කරගත්තා..ස්තූතියි
    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. සතුටුයි මෙය රසවින්දනම්..

      Delete
  4. එල මාත් ආසම පට්ට තේරුමක් තියන සින්දුවක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඔබව සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  5. කිරිලිය සේ දුර පියා සලලා අත්තටු රිදුනා පමණයි...
    මෙය නන්දා මාලනියගේ කථාවයි මා අසා තිබෙනවා..
    අගෙයි
    මා කැමතිම එකක්..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මෙය නන්දා මාලිනියගේ කතාවද? ඇය කුඩා කලසිට බොහොම අසීරු ගමනක් ආව බව අහල තියෙනවා. නමුත් මෙය ඇගේ කතාව බව නම් මීට කලින් අහලම නෑ.

      Delete
  6. හිරු සදු එකවර දෙපස නැගේ ......
    කළුවර ඇයි..... විජිතයම මගේ......

    ජිවිතේ සැහෙන්න කාලයක් තිස්සේ මං අසපු සින්දුවක්.....තාමත් විදිනවා....... රසය..... පදරුත් සහ සංගීතයෙන්.....

    ReplyDelete
    Replies
    1. කවදාවත් රසය නොමැකෙන ගීතයක්. බේදයක් නැතිව්ස් කොයි කාටත් එක ලෙස රසවිඳින්න පුලුවන්.

      Delete
  7. හ්ම්ම් මනෝ, මම ඔය ගීතය රසවිඳින්න ගත්තෙ චිත්‍රපටයත් සමඟම නිසාදෝ මට ඒ දෙක වෙන්කර ගෙන රසවිදින්න ටිකක් අමාරුයි.

    කසාද බැදලා කාලයත් සමඟ සැමියාගෙන් අහිමි වෙන ඳගකාර ආදරය හොයාගෙන යන ගැහැණියක් තමා මම ඔතන දකින්නෙ. ඒ කියන්නෙ සැමියා ඇයට ආදරේ නැතිව නොව. ඔහු ඇයට ආදරේ බව ඇයත් දන්නවා. ඒත් ඒ ඇය බලාපොරොත්තුවෙන ආදරය නොවේ. ඒක හොයාගෙන ඇය වෙනකෙක් වෙත ගියත් ඇය ගිරයට හසු උන පුවක් ගෙඩියක් සේ අසරණ වෙනවා.

    මට හැඟෙන විදිහට අපි මෙතන දෙවනි පෙම අනියම් ප්‍රේම සම්බන්දයක් උනත් ඒක සාම්ප්‍රදායික අනියම් පෙමක් (අර සෙට් කර ගත්ත ගමන් රූම් එකකට අදින ජාතියෙ) නෙමේ.

    ReplyDelete
    Replies
    1. කීයටවත් මෙය ඒ ආකාරයේ ප්‍රේමයක් නම් නෙවෙයි තමා ප්‍රියා. ප්‍රියා බලල තියෙනවද කබි අල්වේදා නා කෙහෙනා කියන හින්දි ෆිල්ම් එක. රාණි මුඛර්ජි සහ ෂාරුක් ඛාන් ප්‍රධාන චරිත දෙක. ඊට අම්තරව අභිශේක් සහ ප්‍රීටි සින්තා හිටියා. අන්න ඒ වගේ ආදර කතාවක් තමයි මේකත්.

      Delete
  8. හුඟ කාලෙකින් මේ සිංදුව ඇහුවේ නෑ නේද කියලා මතක් වුනේ මේ ලිපිය කියවද්දී.. කෝම වුනත් ඕන වෙලාවක අහන්න ආස හිතෙන සිංදුවක්..

    ReplyDelete
    Replies
    1. මතකයෙන් බැහැරව යන ගීතයක් ඔබ යළිත් රසවිඳීම තුලින් මගේ ප්‍රයත්නයේ අරමුණ සඵල වෙනවා.

      Delete
  9. සිංදුවෙ හොදකම හිංද නෙව අදත් සහ හරක් ගායක යෝ කියා ගන්න අය ඔය සිංදුව පට්ට ගහන්නේ...
    වෙනදා වගේම පට්ටවිචාරයක්..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. උන් හිතන් ඉන්නෙ උනුත් නන්දා මාලිනී වගේ ගයනවා කියල.

      ස්තූතියි මහේෂ්.

      Delete
  10. මෙහි නම් අරුත පැහැදිලිවම එනවා දෙපසට විහිදී යන ආදරයක කතාවක් කියලා.ඔය නිර්මාණය ගැන කියද්දි ඕකේ "බොඳ මීදුම් කඳු ‍රැල්ලේ" ගීතය ගායනා කරන්න ‍තෝරගෙන හිටිය අබේවර්ධන බාලසූරිය ඒ කාලේ නවක ගායකයෙක් වෙච්ච හින්දා එයා එක්ක මේ චිත්‍රපටයේ මේ ගීතය ගායනයට ‍තෝරාගත් ප්‍රවීන ගායිකාව අකමැති වෙලා.පස්සේ සුජාතා අත්තනායක ගායිකාව තමයි ඒ ගීතය ගායනයට එක් වෙලා තියෙන්නෙ.සම්මානත් ලැබුනා ගීයට.ඒ ප්‍රතික්ෂේප කරපු ගායිකාව මං මේ ගී පද දිහා බලාගෙන කනෙන් පෙන්නන්නම්.

    ReplyDelete
    Replies
    1. දෙයියෝ සාක්කි!!

      මේ ගීතය සහ විචාරය පුරා අපිට හමුවෙන්නෙ එකම එක ගායිකාවක් විතරයි.....

      Delete
  11. ලස්සනම ගීයක් !

    ReplyDelete
    Replies
    1. ගීතය ගොඩක් ලස්සනයි තමා.

      Delete
  12. හුඟකාලෙකින් අහන්න ලැබුනේ නැති ගීතයක්... ගඹුරු අර්ථයක් තියෙන ලස්සන ගීතයක්...

    ReplyDelete
    Replies
    1. මතකයෙන් බැහැරවෙන්න දෙන්නෙපා මේ ලස්සන ගීත වලට.

      Delete
  13. "රන් කෙන්දෙන් බැඳ
    අතැඟිලි එක්කළ ආදරයයි
    පෙම් රැහැනින් බැඳ
    සිතුම් වසඟ කළ ආදරයයි.."

    ඇත්තටම ගොඩක් රසවිඳින්න පුළුවන් ගීයක්.. ස්තුතියි ආයේ මේක මතක් කරලා දුන්නට...

    ReplyDelete
    Replies
    1. පරණ උනත් කමෙන්ට් එකක් දාලා දිරි ගැන්වුවාට ස්තූතියි සිහින.

      Delete
  14. ලඟදි මියගිය බ්ලොග් කරුවෙකු මේ සින්දුව අමුණා තිබුණා.
    http://madiviyadatharunaya.blogspot.com/2011/12/blog-post_9289.html

    ReplyDelete
    Replies
    1. මේ මං බොහෝම ආසාවෙන් කියවපු බ්ලොග් එකක් ප්‍රභාත්. මාතලන් තමයි මේ බ්ලොග් එක ගැන ඔත්තුව දුන්නේ. මාව බෙහෙවින්ම ශෝකයට පත්කල මරණයක් ඒ.

      Delete