Pages

Sandumal

Sandumal

Tuesday, October 29, 2013

•මියගිය බිරිඳ ගැන කවි පොතක් ලියන කවිකාර සැමියා

මියගිය බිරිඳ ගැන කවි පොතක් ලියන කවිකාර සැමියා








ලාංකේය ජන සමාජයේ බුද්ධිමය රසාස්වාදය වර්ධනය කිරීම උදෙසා විසල් මෙහෙයක් කළ අග‍්‍රගන්‍ය කවියකු හා ගී පද රචකයකුවන රත්න ශ්‍රී විජේසිංහ වෙනුවෙන් දැයේ කෘතවේදීත්වය පළ කරනු වස්, ”රත්න ශ්‍රී උල්පත පාමුල” නම් ප‍්‍රාසාංගික උපහාර උළෙලක් ජුනි මස 02 වෙනි දින ”නෙළුම් පොකුණ” මහින්ද රාජපක්ෂ ජාතික රංග කලා පරිශ‍්‍රයේදී පැවැත්වේ.

රත්න ශ්‍රී විජෙසිංහගේ නිර්මාණ දිවියට හතළිස් වසරක් ද, ඔහුගේ ජීවන ගමනට හැට වසරක්ද සපිරෙන එදිනට ”රත්න ශ්‍රී උල්පත පාමුල” කෘතිය එළිදැක්වීමට නියමිතය.

නව පරපුරේ ගී පද රචකයකු හා ලේඛකයකු වන පමිත ආර්. ලියනගේ විසින් සංස්කරණය කරනු ලබන එකී කෘතියෙහි රත්න ශ්‍රී විජේසිංහගේ නිර්මණකරණය පිළිබඳ විද්වතුන්ගේ විමර්ශනාත්මක ලිපි එකතුවක් හා ඔහුගේ ජීවන තොරතුරු ද, ස්වර ප‍්‍රස්ථාර සමග ජනප‍්‍රිය ගීත රැසක්ද අන්තර්ගත වේ.
රත්න ශ්‍රී විජේසිංහ විසින් රචිත, ජාතික රූපාවාහිනය මගින් නිෂ්පාදනය කරන ලද ”මියුරු සර” (ජාත්‍යන්තර සම්මාන දිනූ) ගීතාවලිය ෘඪෘ තැටි ද්විත්වයක් ලෙසින් ජනගත කිරීමද එදින සිදුවනු ඇත. එසේම, ඔහුගේ ජනප‍්‍රිය ගීත ඇතුළත් සංයුක්ත තැටියක් ද, ඔහුගේ තොරතුරු ඇතුළත් නව වෙබ් අඩවියක්ද එදින එළිදැක්වීමට නියමිතය.

උල්පත පාමුල
ඒ අද ඔහු සිටින තැනය
ගෙවීගිය දශක හයකට කලින්, උල්පතක් තියා දිය බිඳක්වත් නුදුටු ඔහුට උල්පත දකින්නට ලැබුණේ දශක හතරකට පෙරාතුවය.

ඒ උල්පත සාහිත්‍ය පිපාසයයි.
ඔහු රත්න ශ්‍රී විජේසිංහයි.

අද ජුනි මස දෙවැනි දින ජීවන ගමන් මගේ හැටවැනි වියට පිවිසෙන ඔහු, අද කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සිය උල්පත දෙස හැරීබලයි. කවියකු ගීත රචකයකු ළමා කතා රචකයකු ලෙස රාජ්‍ය සම්මානවලින් පවා පිදුම්ලද ඔහු උල්පත පාමුලට වී අද හුදෙකලාව පසුවන්නේ ජීවිතය සතු අනිත්‍යතාවයත් හුදෙකලාවත් මොනවාට වටහාගෙනය.

එහෙත්, ජීවිතයේ හැට වසරත් සාහිත්‍ය සේවනයේ හතළිස් වැනි වසරත් සමරන රත්න ශ්‍රීට ජීවිතය දෙස ආපසු හැරී බලන්නටවත් සිතෙන්නේ නැත. පසුපස ඇත්තේ සිහිපත් කර සතුටු වන්නට තරම් කරුණු කාරණා නොවන නිසාය. එහෙත් හැරී පසුපස බලනවා මිස එබී ඉදිරිපස බලන්නට මිනිසකුට හැකියාවක් නැත. ඉදිරිපස කිසිවක් නොපෙනෙන නිසාය.

ඒ අතීතයේ මුල්ම අවදියේ ඔහුට සිහි කළ හැක්කේ ආදරණීය මෑණියන්ගේ වියෝවයි. දරුවකුට මවක් තරම් සෙනෙහසක් පුදන වටින කියන සම්පතක් තවත් කොයින්ද?



එහෙත් අවුරුදු දෙකක්වත් පිරෙන්නට කලින් තම මව ඔහු හැර යාමත් සමග, රත්න ශ්‍රීට හිමි වූයේ තාත්තාගේත් මිත්තනියගේත් ආදරයයි. ඒ තාත්තාද ඔහුට වසර හතක් පිරෙන විට ඔහු තනිකර දමා නොඑන ගමන් යන්නට ගියේය. ඒ නිසාම ඔහු යාම්තමට අකුරු ටිකක් එකතු කර කවියක් ලියාගන්නට සමත්කම් ලැබූ දා හාපුරා ලිව්වේ අම්මා ගැනය.

තනිවෙලා මා නන්නාඳුනන
දුරු රටක මග නොදන්නා
එන්න අම්මේ පාලූ අහසේ
අඳුර අතරින් පායලා

නිදා ගන්නට ඔබේ උණුසුම
පිරුණු ඇකයේ හිස තියා
හිනාවීගෙන එන්න අම්මේ
සිහිනයක් සේ පාවෙලා

පෙරී අතු ඉති අගින් මිදුලට
ගලා ආ සෙනෙහස ඔබේ
උරා බිව් හැටි කිරිඋරා බොන
නොදරුවකුසේ ඉකිගසා

පාළු හැන්දෑ සුළඟ සීතල
ඔබේ කිරි සුවඳින් තෙමා
එන්න අම්මේ නන්නාඳුනන
ඈත අහසින් පායලා

දෑස් පියවේ නපුරු සිහිනේ
අන්ධකාරේ තනිවෙලා
ඔළුව අතහා තුරුලූ කරගෙන
ඉන්න අම්මේ ළංවෙලා

දහසද ඉක්මවූ සිය ගීතාවලියේ ආරම්භක ගී පද මාලාව වූ එය රත්න ශ්‍රී තැපැල් කළේ ගුවන් විදුලියේ යෞවන සමාජය  වැඩසටහනටය. ප‍්‍රවීණ ගීත රචක ලූෂන් බුලත්සිංහලට හමු වූ ඒ ගී පද වැල විශාරද ගුණදාස කපුගේ ගේ සුරතින් සංගීවත් කෙරී ගායනා කෙරුණි.
එහෙත් මේ ගීතය එදා ගැයුනා මිස යළි යළිත් වාදනය කරන්නට පටිගත කෙරුණේ නැත. මේ නිසා ඊට වසර හතකට පසු එනම් 1978 දී එම ගී පද වැලම රත්න ශ්‍රී ටී.එම්. ජයරත්නට දුන්නේය.

ඔහු මේ ගීතය සිය සරල ගී වැඩසටහනකට ගයනු පිණිස ගුවන් විදුලියේ ගීත සමීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත් කළේය. එය කියැවූයේ ප‍්‍රකට විද්වතෙකි. එවකට පැවැතියේ එ.ජා.ප. ආණ්ඩුවකි. විපක්ෂ නායිකාව වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. ඇය ජනතා ආමන්ත‍්‍රණයට ලක් වූයේ මැතිනියත් අම්මාත් ලෙස බැවින් අම්මා යන උතුම් වචනය පොදුවේ මව්වරුනට කිව නොහැකි තරම්විය.

මේ නිසා රත්න ශ්‍රී ගේ ගීතයේ වූ එන්න අම්මේ යන වචන දෙක මැතිනියට කෙරුණු ආමන්ත‍්‍රණයක් යැයි පටු කල්පනාවක් ඇති කර ගත් සමීක්ෂකයා එම පද දෙක අනුචිත පද සේ සලකුණු කළේය. එබැවින් එම ගීතය ගායනා කිරීමට ටී.එම්.ටද නොහැකි විය.

රත්න ශ්‍රී ගේ පළමුවැනි ගී පද මාලාවේ සිය මව සේම අකල්හි දී ඔහුට අහිමිවුවත් ඉනික්බිති ඔහු ලියූ ගී සියල්ල රසික මන දොළ සපුරාලන්නට සමත්විය.
මේ වන විට ඔහු පෙම්වතකුව සිටියේය. උසස් අධ්‍යාපනය උදෙසා ගාල්ල නගරයට පැමිණි ඔහුගේ නවාතැන වූයේ ගාලූ කොටුවේ ලේන්බාන් වීදියේ වූ නිවෙසකි. එහි වාසය කළ සුරුපී යෞවනිය හේමමාලා රත්න ශ්‍රී ගේ කවි සිත පහන් කළේය. ඇගේ රූ සිරිය රත්න ශ්‍රී ගේ නෙත් සිත් අවදි කළේය. පුබුදු කළේය. රසවත් කළේය.

ඉතින් ඔහු ඒ පේ‍්‍රමණීය හැඟුම් වැල ගීතයක පද වැලක් බවට පත් කළේ අනායාසයෙනි.


නෙතු පියන් පියා මුතු දසන් වසා
නිදි දැහැන් වැදී කුමරි
සිහිනයෙන් එබී මා ළඟින් සැදී
මවුපියන් බලා නොඉඳී

නින්ද නොයන විට පැලේ පැදුර උඩ
ඈත දෙපා වෙහෙසී
එයි හීන් සැරේ ඔබ පවන් සලා මට
බලා ඉඳී හිනැහී

ලියා දෙවසරකට පමණ පසු බණ්ඩාර අතාවුදගේ හඬින් ගැයුණු මේ ගීතයත් සමගම හේමමාලිය සහ පේ‍්‍රමය වෙනුවෙන් තවත් බොහෝ ගීත ඔහු අතින් ලියැවුණි.

වයස අවුරුදු 21 වන විට තෙල්ලඹුරේ පාසලට ගුරුපත්වීමක් ලැබුණු රත්න ශ්‍රීට, දුෂ්කර මාරුව ලැබුණේ වෙල්ලස්සටය. ඒ වන විට හේමමාලිය සරණබැඳගෙන සිටි රත්න ශ්‍රීට මේ දුෂ්කර ගමන වියෝගයක් සේ දැනුණි. එහෙත් එකී සියලූ දුක්බර හැඟීම්  ගීත ලෙස සොම්නස් සහගත වෙමින් ප‍්‍රතිනිර්මාණය විය.

මගේ බිසවුනේ අසාපන්
නුඹ මන්ද්‍රි දේවි නොවුණී
දුෂ්කර වූ ඒ පළාතේ
මට යන්න දෙන්න දේවි

මේ කඳුළු ඇයිද දෑසේ
බෑ යන්න නුඹට හිම සේ
ගොස් ඉන්න කුලී නිවසේ
එම ඝෝර සර්ප භවනේ

දුවරුත් සමග හේමමාලිය ගාලූ කොටු පවුර ඇතුළෙහි තනි කර දමා වංකගිරියේ දුෂ්කර සේවයට යන අතරතුරේ ඔහු ලියූ මේ ගී පදවැල කපුගේ වඩාත් සංවේදී ලෙස ගායනා කළේය.

රත්න ශ්‍රීට ඔහුගේ මේ දුෂ්කර සේවය වංකගිරියේ අරණක් බඳු විය. ඒ වංකගිරිය අරණේ සිට ඔහු ලියූ කව් ගී වංකගිරිය අරණේ නමින් ගීත පොතක් බවට පත්විය. මෙකී ගීතයට ඔහු නම් දී තිබුණේ වංකගිරියට පිටත් වීම ලෙසිනි.

වෙල්ලස්ස ඉසව්වේ ගෙවී ගිය රත්න ශ්‍රීගේ දුෂ්කර ගුරු සේවයෙන් ඔහු උකහාගත් අත්දැකීම් රාශියකි. ඒ අත්දැකීම් තව තවත් විචිත‍්‍ර ගීත රචනා බිහි කර දෙන්නට සමත් වූ බව ඔහුට මතකය.

කුවේණියට වෙල්ලස්සේ මිනිස්සුන් කීවේ කුකුලාපොල කිරි අම්මා ලෙසිණි. මේ කතාවද රත්න ශ්‍රීට මියුරු ගීතයක්ම වූවේය.

කුකුලාපොළ කිරි අම්මියෙ
නුඹෙ උණුහුම කොයි
මේ පැටවුන් එක්කල මං
කොයි බට යන්දැයි
නිවැරැද්දේ අපට මෙහෙම
පිටුපෑවේ ඇයි
කුකුලාපොළ කිරි අම්මගෙ
නුඹෙ උණුහුම කොයි

කලකට පසු වංකගිරියෙන් පිටත් වූ රත්න ශ්‍රීට ගුරු විද්‍යාල කථිකාචාර්ය රැකියාවක්ද ඊටත් පසුව අමාත්‍යංශ මාධ්‍ය ලේකම් රැුකියාවක්ද ආදී වශයෙන් විවිධ රැුකියාවන් ලැබුණි. තවත් කලෙක රැුකියා අහිමිවීම්වලටද ලක්වන්නට ඔහුට සිදුවිය. ජීවිතයේ මේ සියලූ හැල හැප්පීම් දරාගෙන ජීවත් වූ ඔහුට ”ජීවිතය” අහිමිවූයේ හේමමාලි නම් සිය පි‍්‍රයම්බිකාවගේ නික්ම යෑමත් සමගය.

ඒ මීට වසරකට පමණ පෙරාතුවය. ඇගේ තුන් මස දානය දවසේ හේමමාලි නමින් කවිපොතක්ද නිකුත් කෙරුණි. ඒ රත්න ශ්‍රීගෙන් ආලෝකය ලැබූ කවියන්ගේ එකතුවෙනි. මේ පොත පිරුණේ හේමමාලියනට ලියැවුණු කවි සංකල්පනාවලිනි. කවියකුගේ බිරිඳකට තියා කවියකුටවත් එබඳු පොතක් නිකුත් නොවන රටක හේමමාලිට වෙන් වූ එකී කවි පොතද අරුමයකි. මේ සියලූ මතකයන් හිතේ තනිකම සමග පොරබදද්දී රත්න ශ්‍රී සිය බිරිඳ සහ පේ‍්‍රමය පිළිබඳව කවිපොතක් ලියන්නට පටන් ගත්තේය.


මූණ මුකුලූවෙන් රෑ හඳ වතුර පෙනේ
රෑන පිට රෑන කොන්ඬේ පිටට නැමේ
මූණ කන්ඩ ආ දිවියා එහෙම නෙමේ
මූණ බලාපං යනවා හෙටම ගමේ

මේ රත්න ශ්‍රී එම පොතට එක් කළ එක් කවියකි. ඒ හේමමාලිය හාපුරා මුණගැහුණු දවසක මතකය යළි අවදි කිරීමකි, එදා රත්න ශ්‍රී දැක මූණ හංගාගත් කෝල දැරිවිය පිළිබඳ මතක යළි මතකයට නගා ගැනීමකි.

දීර්ඝ කාව්‍යයක් වන මෙම පොතට කවියා දැමූ නම සක්වාය. සක්වා යන වදනෙහි අරුත යුගළක් යන්නය.

රත්න ශ්‍රී මේ කවිපොත ලහිලහියේ ලියාගෙන ගියත් ඔහු සිතූ තරම් ඉක්මණකට මෙය ලියා අවසන් කළ නොහැකි විය. එබැවින් උල්පත පාමුල උත්සවය දවසේ මෙම පොත දොරට වැඩම වීමට ඔහු තුළ වූ අපේක්ෂාව ඉටු වූයේ නැත.

එහෙත් නුදුරු දිනෙක එම කවිපොත රසික දොරට පිදුණු දිනෙක සැමියකු වෙතින් බිරියකට පිදෙනා ආදරයේ උත්තම ස්වභාවය ගැන කාට කාටත් අවබෝධයක් ලබාගත හැකිවනු ඇත.


"කියවල ඉවර වෙලා අදහසක් එකතු කරලම යන්න.. "

5 comments:

  1. රත්න ශ්‍රී විජේසිංහ මහතා ගැන නොදත් තොරතුරු ගොඩක් .. ඔබ http://aswanna.blogspot.com/ බලනවා ද .. මේ හා සමාන වටිනා තොරතුරු ඇති තවත් අඩවියක් .. ස්තුතියි ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මගේ මුල් කාලීන ලිපියකටත් ඔබේ අවදානය යොමුවෙලා. ගොඩක් සතුටුයි. අස්වැන්න බ්ලොග් එකේ ලිපියක් නෑර කියවනවා මං.

      Delete
  2. මේ විස්තරයත් මාත් දැනගෙන උන්නේ නෑ මනෝෂ්..මෙවැනි දේ තවතවත් බ්ලොග් එකේ පළ කරන්න..

    ReplyDelete
    Replies
    1. අනිවාරෙන්ම, ඔහු ගැන විශේෂ ලිපි මාලාවක්ම පලකරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ මං.

      Delete