Pages

Sandumal

Sandumal

Friday, September 11, 2015

•දඹානේ "වැදි" ළමයි!


"අවරගිර කුලවතුන් සිටිද්දී නිරුවතින්... උන් හිඳියි විළි වසා සැතපුමක් ඉදිරියෙන්..."





මහියංගනය...
තවමත් හිතන උන් ඇත
එය අමුතු ලොවක් බව
මිහිමතින් දුර තිබෙන..

තවම කෙටේරිය කර මතය
තවම කොල අතු ඉණ වටය
තවම දුනු හී පිට මතය
තවම තලගොයි උරහිසය
යැයි සිතන උන අවරගිර හිඳ
බලයි හොටවල් උල් කරන්..
අසයි කටවල් බලි ඇරන්..

කෙටේරිය බිම තබා හුඟකලක් ඉක්ම ගොස්..
සිටින මුත් දඹානේ පොරමොලන්..
තවම දුනු හී අත දරාගත්
අවරගිර වැදි දනන්
විදියි අප හට වෙර අරන්..

සිතයි උන් දඹානේ කැලෑමල්
සිප් හලට එනබවක් මරාගෙන
තලගොයින්...
නැහැ එහේ මෙහෙ තරම්
සැර සුවඳ පියරු මල්..
ඇත හපුටු මල් කැකුලු
සුවඳ දෙන ජීවිතේ..

කෙල පැමිණි උගතුනේ
අසනු මැන මේ වගත්
මරාගෙන නොආවත් උන්
පාසලට තලගොයන්..
තිබූ මුත් ගොරහැඩිව
උන් අත්ල බෝ සෙයින්
ගල් තැලී ඇති නමුත්
දෙපායුග නිරුවතින්..
මහ පොළොවෙ පය ගසා
ඇත ඔවුන් දහිරියෙන්..

උන් නමට අපහාස
නගත් නුඹ මේ ලෙසින්
උන් දිහා වපරැහින්
බලත් නුඹ පිළිකුලෙන්
අවරගිර කුලවතුන් සිටිද්දී
නිරුවතින්...
උන් හිඳියි විලි වසා
සැතපුමක් ඉදිරියෙන්...

නිමිත්ත : මෑතදී හද පෑරු කථිකාචාර්ය දෙබසක්...

"Some students at the Dambana School bring roasted iguanas for their lunch..."