Pages

Sandumal

Sandumal

Saturday, October 4, 2014

•අබුඩාබියේදීය දයාබර ස්වාමිනී

"මා ඔබේ... ප්‍රියාදර... පියවතී.. ස්වාමිණී..."







ජීවිතයේ පළමුවන වතාවට අත්විඳි නුහුරු නුපුරුදු වෙහෙසකර අත්දැකීම් ගොන්නකට පසු ඇය අන්ත අසරණ විලාශයෙන් මිනිසුන් දහසක් අතර හුදෙකලා වී බලා සිටී. ගුවන් යානයෙන් බට ඇය අනෙක් මගීන් අනුගමනය කරමින් කලින් ලද උපදෙස් වලට අනුව මගී පර්යන්තයට පැමිණ ඇයට ලබා දී තිබූ නාම පුවරුව හොඳින් පෙනෙන සේ තම පපුව ඉදිරිපසින් සිටින ආකාරයට අල්ලා ගත්තාය. "පියවතී" ඉංග්‍රීසි ලොකු කැපිටල් අකුරින් එහි එලෙස සඳහන්ව තිබුනි.

මෙලෙස ඇය පැයකටත් අධික කාලයක් සිටගෙනම සිටි අතර දැඩි වෙහෙසකර බවින්, කුසගින්නෙන් හා පිපාසයෙන් හෙම්බත්ව ක්ලාන්තවීමට ආසන්නව සිටි අවස්ථාවක කිසියම් පුද්ගලයෙකු ඇය හමුවට පැමිණ පැහැදිලි සිංහලින් ඇය ඇමතූ විට ඇයට මහත් අස්වැසිල්ලක් දැණිනි. පෙර ලැබුනු උපදෙස් අනුව මේ ලංකාවෙන් තමා මෙරටට එවූ ඒජන්සියේ මෙරට නියෝජිතයාය. පළමුව ඔහු සමඟ මෙරට ඔවුන්ගේ කාර්‍යාලයට යා යුතුය. ඒ අනුව ඔහුත් සමඟ ගුවන් තොටුපලින් පිටතට ආ ඇය මීළඟට ඔහු විසින් සුඛෝපබෝගී රියකට නංවාගනු ලැබීය.

පැය බාගයක පමණ ගමනකින් පසු එක්තරා ගොඩනැගිල්ලක් අසලින් රිය නවත්වනු ලැබූ අතර ඔහු ඇයව රියෙන් බස්සවාගෙන එම ගොඩනැඟිල්ල තුලට කැඳවාගෙන යනු ලැබීය. එහි වූ කාර්‍යාලයක් තුලට ඇයව යොමුකල අතර එහි සිටි නිළධාරියා කිසියම් ලියකියවිලි සමූහයකට ඇගෙන් අත්සන් ලබාගෙන ඇයව තවත් ස්ථානයකට යොමුකරන ලදි. එහි තමන් මෙම ස්ථානයට කැඳවාගෙන එනු ලැබූ පුද්ගලයා සමඟ තවත් තිදෙනෙකු අසුන්ගෙන සිටි අතර ඇගේ පැමිණීමත් සමඟ ඔවුන් සිව් දෙනාගේම අවධානය ඇයවෙත යොමු විණි.

"මේ තමා ඔයා යන ගෙදර නෝනයි මහත්තයයි. මේ මෙයාලගේ වැඩිමල් පුතා. එහෙදිත් කිව්ව වගේ මෙයාල බොහෝම හොඳ කාරුණික අය. කියන විදියට වැඩටික කරගෙන පාඩුවේ හිටියොත් ඔයාට බොහොම හොඳින් මේ අයත් එක්ක ඉන්න පුලුවන්. මෙයාල ළඟ කලින් වැඩට හිටපු කෙනාත් අපි තමයි මෙයාලට හොයල දුන්නෙ. එයා මේ අයත් එක්ක අවුරුදු පහක් හිටිය. එයා ආපහු ලංකාඅවට ගියේ රැජිනක් වගේ."

ඔහු ඇයට තම හාම්පුතුන් ගැන කෙටි හැඳින්වීමක් එලෙස ලබා දුන්නේය. ඇගේ කම්මුල් රත් පැහැ වූ අතර අවිහිංසක ප්‍රීතිමත් සිනහවකින් ඇගේ මුව මඬල එකළු විය. ඒ සමඟින් ඇය බයාදු බැල්මක් තම හාම්පුත දෙස හෙලීය. එම කාන්තාව ඈ සමඟින් සුහදව සිනාසුන අතර උස් හැඩි දැඩි පුරුෂයා ඇගේ පාදාන්තයේ සිට කේශාන්තය තෙක් කිහිපවරක් බැලුවේය. ඒ සෑම විටකම ඔහුගේ දෙනෙත ඇගේ පිරුණු ළය මඬල අසලත් රත් පැහැ දෙතොල් අතරත් නතර වී සිටිනු දැකීමෙන් ඇය හිරි වැටී ගියාය.

"දැන් ඔයාට මෙයාලත් එක්ක යන්න පුළුවන්. කෝ ඔයාගෙ පාස්පෝට් එක දෙන්න. ඒක මේ මහත්තුරු ළඟ තියාගනීවි. ආයෙ ඔයා ආපහු එන දවසට ඒක ඔයාට ආපහු දෙයි."

මෙහි එතරම් බරක් පතලක් නොතේරුණු ඈ සිය විදෙස් ගමන් බලපත ඔවුන් අතට පත් කලාය.

පැමිණියාටත් වඩා අධිසුඛෝපබෝගී සුවිසල් රියකට ඇයව නංවාගත් ඔවුහු පවනට බඳු වේගයෙන් වැලි කතරේ සුවිසල් මං මාවත් මතින් ඉගිළ ගියෝය. වායුසමීකරණය කරන ලද මාළිගාවක් වන් රියෙහි විසල් අසුනක තනිවූ ඇය අඳුරු වීදුරු තුලින් පිටත දකින්නට උත්සාහ කලද, වේගයෙන් පසුවන ඡායා මාත්‍රයන්ගේ අඳුරු සෙවනැලි හැර කිසිවක් දකින්නට නොලැබුනි. යන්නේ කොහේ කොතැනකටදැයි ඇයට අරමුණක් නොවිණි. පැය තුනකට පමණ පසු රියෙහි වේගය තරමක් බාල වූ අතර තීව්‍ර නැම්මක් සමඟ "බරාස්" හඬින් තිරිංග තද වී රිය නතර විය.

අනතුරුව සියල්ලෝම කඩිමුඩියෙන් බැසගත් අතර දොර විවර කර ඇයටත් බැසීමට සන් කරන ලදි. නියෝගයත් සමඟ රියෙන් බට ඇය අබිමුව දිස් වූයේ තමන් ගමේ සිටියදී රූපවාහිණියෙන් දුටු මහගෙදර ටෙලිනාට්‍යයේ බඳු සුවිසල් නිවසකි. හතර වටින් තාප්ප වලින් වටවී යකඩ ගේට්ටුවලින් සිරව තිබූ මනරම් ගෙවත්තක තිබූ මාළිගාවක් ඈ අබියස මැවී තිබුනි. නිවැසියන් සමඟින් ඇයද ගෙතුලට කැඳවනු ලැබීය. ඈ සතු එකම වත්කම වූ ට්‍රැවලින් බෑගයද සමඟ ඇය කොටි බිලකට රිංගන මුව පොව්වෙකු සේ මඳක් පහතට නැවීගෙන ඔවුන් පසුපස ඇදිණි.

වංකගිරියක් බඳු වූ නිවස තුල තමා සමඟ පැමිණි පිරිමින් දෙදෙනා මොහොතින් අතුරුදන්වූ අතර, ගෙදර ස්වාමිදුව ඇය කැඳවා උඩුමහලට ගොඩවිය. තරප්පු බරාඳ පසුකරමින් බොහෝදුරක් ගිය ඈ කෙලවරක වූ කාමරයකට ඇයව කැඳවූයේය. හස්ත මුද්‍රාවලින් පැහැදිලිකල කරුණු අනුව ඒ ඇය වෙනුවෙන් සකස්වූ කමරය විය. සෑහෙන තරම් ඉඩකඩ සහිත වූ එම කාමරය පියවතීගේ ගමේ කුඩා පැලටත් වඩා බොහෝ විශාල විය. ලංකාවේ ඉහල පාන්තිකයකුගේ නිවසක සතු සියල බඩු භාහිරාදිය මෙම කාමරය තුලද නොඅඩුව පැවතුනි.

සැපපහසු සුපිරිසිදු සුදු සයනයක්, කණ්නාඩි මේසයක්, වායුසමීකරණයක්, ශීතකරණයක්, විදුලි උඳුන්, විදුලි කේතල, රෙදි සෝදන යන්ත්‍රයක්, රූපවාහිනියක් ආදී එකී නොකී සියලු දේවලින් එම කාමරය පරිපූර්ණව තිබුනි. මීළඟට සේවකයෙකු යැයි සිතිය හැකි අයෙකු ආහාර බඳුන් සහිත වූ ට්‍රොලියක් කාමරය තුලට ගෙන ආ අතර සේවකයා පිටව ගිය පසු ගෙහිමි කාන්තාව ඇයට ආහාර ගන්නා ලෙස දැනුම් දුන්නාය. ගමනක් ගොසින් ආපසු ඇඟ සෝදාගෙන වෙනත් ඇඳුමක් මාරුකරගෙන ආහාර ගනු මිස මෙලෙස ආහාර ගැනීමේ පුරුද්දක් ඈ සතු නොවූ මුත් දැනුනු අධික කුසගඉන්න නිසාත්, අලුත් පරිසරයට හැඩගැසීමට අවශ්‍ය නිසාත් ඇය නිහඬවම එම අණට කීකරු වූවාය.

ඇයව මවිත කරමින් එහි වූයේ සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකික ආහාර වේලකි. සම්බා සහලේ බතුත්, පරිප්පුත්, මුහුදු මාලුත්, මැල්ලුමකුත් එහි විය. ඇගේ මුහුණේ පිපි සිනා මල දුටු ස්වාමි දුවද ඈ සමඟ සිනාසුනු මුත් අභිනයෙන් ඇය කියා සිටියේ, පළමු දිනයේ පමණක් මෙසේ ලබා දෙන බවත් හෙට සිට ඇයටත් මොවුන්ගේ ආහාර වලට හුරු වීමට සිදුවන බවත්ය. නමුත් ඕනෑම මොහොතක අවැසි නම් තමන්ට සිරිලක් ආහාර පාන සකසා ගත් හැකි බවද, ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇයට සපයා ඇති බවද පෙන්වා දෙන ලදි. කෑම කන අතරේ ඇයට යම් යම් දේවල් කියාදුන් කාන්තාව කෑම ගෙන අවසන්ව යාබද නානකාමරයෙන් ස්නානය කොට හෙට උදේ වනතුරු විවේක ගත හැකි බව දැනුම් දුන්නේය.

ආහර ගෙන අවසන් වූ පසු පෙර සේවකයා යළිත් කැඳවන ලද අතර ආහාර බඳුන් නැවත රැගෙනයන ලදි. මීළඟට ස්වාමි දුව විසින් ඇයට කාමරයේ යතුරක් ලබා දුන් අතර දොර අගුලු දමා විවේක ගන්නා ලෙස දැනුම් දී පිටව ගියාය.

ඇයට ඉමහත් සහනයක් දැනුනි. තමන් සිතා සිටියාට වඩා ලැබුනු නිවස ඉතා හොඳ යැයි ඈ සිතන්නට විය. ඇය නිදහසේ සිය කාමරය පුරා ඇවිද බලන්නට විය. මින් පෙර දුටු, නොදුටු උපකාරණ, උපාංග දෙස ඇය විමසුමෙන් බැලුවාය. මීළඟට කෙදිනකවත් ගමේ තම කුඩා පැලෙහි නොවූ ශීතකරනය අසලට ඇය ආසාවෙන් ළඟා වූවාය. එහි දොර හැර බැලූ ඇයට නෙත් අදහාගත නොහැකි විය.විවිධ වර්ගයේ මිදි, කොල පාට ඇපල්, රතු පාට ඇපල්, දෙළුම්, කෙසෙල්, ඩ්‍රැගන් ෆෘට් ආදී මින් පෙර දැක ඇති, දැක නැති පළතුරු ලෝකයකින් එය පිරී ඉතිරී තිබුනි.

එපමණක් නොව කිරි වර්ග, බිත්තර, මස් වර්ග, චීස්, සොසේජස් ආදී අහාර වලින් එය පිරී පැවතුනි. නැඟුනු අසීමිත මදහාස මොහොතකින් ඇගෙන් පලාගියේ තමන් හට මෙවැනි රස මසවුළු ලැබුණද, ලංකාවේ සිටින තම කුඩා පුතුන් දෙදෙනා සහ දයාබර සැමියා සිහි වීමෙනි. දවසකට වේලක් කා සිටින තම හිඟන පැටවුන් සිහි වී ඇගේ හද පුපුරා යන තරම් ශෝකාග්නියක් දැල්වී ගියේය. නමුත් තව කෙටි කලකඉන් ඔවුන්ගේ සියළු දුක් අහවර වනු ඇත. තමන්ට දහසින් බැඳි පියලි ඔවුන් හට යැවිය හැකිවනු ඇත.තව දුරටත් කුසගිනි ඔවුනට පීඩා නොකරනු ඇත. තව දුරටත් වහලෙහි පොල් අතු සුළඟ සමඟ පොරබැද පැරදී නොයනු ඇත. ඇය සිහින මවන්නට විය.

මීළඟට තමන් වෙනුවෙන් වෙන්වූ නාන කාමරයට වැදුනු ඇය සිත්සේ ස්නානය කලාය. ගමේ ගෙඹි ලිඳෙන් බාල්දියෙන් ඇද නා පුරුදු ඇයට ෂවර් වලින් නෑම අපහසු වුවද ඒජන්සියේ මසක පුහුණු කාලය තුල මේ හැම දෙයක්ම ඇයට කියාදෙනු ලැබීම නිසා එය එතරම් ගැටලුවක් නොවුණි. බොහෝ වේලාවක් දිය මල යට හුන් ඇය අනතුරුව ඉන් මිදී සැහැල්ලු ඇඳුමකින් සැරසුනාය. මීළඟට තමන් අතට දුන් යතුරින් කාමරයේ දොර අගුලු ලෑ ඇ‍ය, ඇය වෙනුවෙන්ම බලා සිටි ජීවිතයේ මින් පෙර කිසිදු දිනෙක් පහස නොලැබූ සුමුදු සයනය මත වැතිරිණි. ගොම මැටි ගෑ ගෙබිමෙහි එලා ගත් ඉරී ගිය පන් පැදුරට වඩා මෙම යහනාව කෙතරම් සුවපහසුදැයි ඇයට සිතිණි. ඈ මහත් ලෝබකමකින් එම සුවය විඳගන්නට විය.

දහසකුත් එකක් පැතුම් පොදි බඳිමින් සිහින නගරවල සිහින මාළිගා තනමින් ඇය ඒ මේ අත පෙරළෙමින් අනාගතය ගැන සුබ සිහින දකින්නට විය. දහසකුත් සැලසුම් අඳින්නට විය. තම දරුවන් දෙදෙනා මැදි කරගනිමින් තම දයාබර හිමි සඳ සමඟ මෙවැනි සුමුදු යහනාවක එකට ගුලිවී සිටිනයුරු ඇය මනසින් මවාගන්නට විය. ඇයට සිහින දකින්නට ඉඩහරිමින් ඇයව මොහොතකින් සුව නින්දක් විසින් රැගෙන යන ලදි.

ඇය කෙතරම් වේලාවක් නිදසිටියාද යනවග ඇයට නිච්චි නොවීය, එය විනාඩි ගණනක්ද, පැය ගණනක්ද බව ඇයට නොවැටහුණි. ඒ කෙසේ වුවද ඇගේ සිහින වලින් ඇය මුදවාලමින් ඇය පියවි ලොවට ගෙන ආයේ ඇසුණු සියුම් ශබ්දයකිනි. අගුලක් හැරෙන හඬ සමඟින් ඇය දුටුවේ මීට පෙර තමන් ලොක් කල දොර සෙමින් විවර වන බවකි. සංත්‍රාසයට පත් ඈ විගසින් ඇඳෙහි හිඳගත්තාය. කිසිත් සිතා ගැනීමටත් පෙර තමන් කැඳවාගෙන පැමිණි පුරුෂයා, එනම් මෙම නිවසේ හාම්පුතා ක්ෂණයකින් කාමරය තුල විය. ඒ සමඟම දොරද අගුල්ලා වසාදැමිණි.

ඉමහත් භීතියට පත් ඈ කෑ ගැසීමට වෙර දැරූවද කම්පනය නිසාම උගුරින් හඬක් පිට නොවුණි. මීළඟට ඇයට දෙලොව රත් වූයේ මෙම මිනිසා කෑදර බැල්මෙන් රාගයෙන් දිලෙන නෙත් විදාලමින් සෙමෙන් සෙමෙන් තමා අසලට පැමිණෙන අයුරු දැකීමෙනි. මෙවර ඇයට වැරෙන් කෑගැස්ස විණි. නමුත් ඒ වන විටත් සයනයෙහි පසෙකින් වාඩිවී සිටි ඔහු අතින් ඇගේ මුව තද කරන ලදි. මුවැත්තියක සේ අන්ත අසරණව බිරාන්ත වී සිටි ඇය මහ හඬින් හඬන්නට වූයේ දෙකොපුල් මත කඳුලු වැල් රූරා හරිමිනි. 

මොහොතකින් ඔහු ඇයව කිටි කිටියේ බදා සුවිසල් සුසිනිදු සයනය මත පෙරලාගත්තේය. තවත් මොහොතකින් සිදුවන්නට යන ඉරණම පිළිබඳ දැනහුන් ඈ හැකිවෙර යොදා ඔහුගෙන් මිදීමට දැඟලුවේය. නමුදු හැඩි දැඩි තම්බියාගේ දෑතට දෙපයට, මුලු මස් කඳටම සිරවී හුන් ඈ හට එය ලෙහෙසි පහසු නොවූවාය. පිහිටක් සරණක් ඉල්ලා අපමණ මොර දුන්නද ඇයට පිහිට වීමට තබා ඇගේ විලාපය ඇසීමටද කිසිවෙකු සැතපුම් දාස් ගානක් යනතුරුවත් නොසිටියේය. තමන්ට අවනත නොවන ගැහැණිය තව තවත් සිරකරගත් ඔහු ඇගේ දෙතොලට නැඹුරු වත්ම හැකි වෙර යොදා ඔහු දෑත සපා දැමූ ඇය වේදනාවෙන් ඇඹරී යමින් පසෙකට වූ ඔහු වෙතින් මිදී ඇඳෙන් පැන දොර අසලට දිවගොස් එය හැරගෙන හිස හැරුණු අතේ වේගයෙන් දිව ගියාය.

එක්වරම ඇය තවත් දෝතක් වෙත වත්තම් වී ගියාය. බියෙන් සලිත වූ ඇය ඒ තම ස්වාමි දුව බව දැන සැනසුම් සුසුමක් හෙලීය. "මට යන්නෝනි, අනේ මාව ගෙදර ඇරලවන්න.." ඇය සිංහලෙන්ම මොරදුන්නාය. නමුදු කන්තාවගේ මුහුණේ කිසිදු මවිතයක් හෝ කැළඹීමක් දක්නට නොලැබුණි. ඒ වෙනුවට දෙවුරින් අල්ලා ඇයව වත්තන් කරගත් ඇය, ඈව නැවතත් ඇගේ කාමරයට රැගෙන යාමට උත්සාහ දැරීය. කෙසේ හෝ බලහත් කාරයෙන්ම යළිත් ඇයට කාමරයට යාමට සිදුවිය. දෙදෙනා නැවත යන විටත් හාම්පුතා එහි සිටි අතර ඔහු ඇය විසින් සපා කන ලද අත්ල පිරිමදිමින් සිටියේය.

ස්වාමි දුවගේ මුහුණේ කිසිදු අමුත්තක් නොවූ අතර කාමරය පැමිණි පියවතී වෙත වේගයෙන් පැමිණි ඔහු වැරෙන් ඇගේ කම්මුල හරහා පහරක් එල්ල කර ඇයව සයනයට තල්ලු කොට දමා කාමරයෙන් පිටව ගියේය. ඔහු පසුපසින් ස්වාමි දුවද පිටවුණාය. පියවතීට සියල්ල දැන් පැහැදිලිය. ස්වාමි දුවට පවා මේ දේවල් අතිශය සාමාන්‍ය දේවල් බව ඇයට වැටහිණි. තමන්ට කිසිදු ගැලවීමක් නොමැති බව දැන් ඈට පැහැදිලිය. පලක් නොවූවද නැවතත් ඈ දොර ලොක් කරගෙන ඇඳට වැටී හඬන්නට වූවාය.

කල යුත්තක් පිළිබඳව ඈට අදහසක් නොවීය. තමන් සිපිරි ගෙයක් තුල සිරවී හමාරය. පිහිටට කෙනෙකු නොමැතිය. තම දුක අසන්නට, විලාපය අසන්නට අයෙකු අසලකවත් නොමැතිය. තමන්ට පලා යා හැකි මඟක් නොමැතිය. තම මවු බිමෙන් සැතපුම් දහස් ගණනක් ඈත වූ නන්නාදුනන රටක කිසිදු පිළිසරණක් නොමැතිව ඇය අසරණ වී හුන්නාය. කාලය පැය ගනනින් ගෙවී ගියේය. කෙමෙන් කෙමෙන් අවටින්, එපිටින් ඇසුණු හඬවල් වියැකී මැකී ගියේය. රාත්‍රිය උදා වූවා විය යුතුය. තදින් දෙනෙත් පියා කොට්ටයට මුව සිරකර ගත්තාය. මොහොතින් මොහොත ගෙවී ගියද නිදිමතක් ඈ කරා නොආවේය.

නැවතත් ඇගේ දොර අසලින් කිසියම් හඬකි. සිතේ බයට ඇතිවූ මායාවක්ද, ඇය නැවතත් ප්‍රවේසමින් සවන් දුන්නාය. නොමැත, නිසැකවම ඇගේ කාමරයට පිටතින් කිසිවෙකු සිටී. දොරත් පොලොවත් අතර හිදැසින් ඡායාවක් ඇයට පෙනේ. මෙවර ඇයට පෙරටත් වඩා අසරණ බවක් දැනිනි. නමුදු නිර්භීතව සයනයෙන් බැස ගිය ඇය, ශීතකරනය අසල වූ පිහිය අතට ගත්තාය. එසැණින් දොර යළිත් විවෘත විය. එවර කාමරය කඩා වැදුනේ දහවල් තමාට හඳුන්වාදුන් මෙම පවුලෙහි වැඩිමල් පුතා යැයි කියූ නරුමයාය.

තුවායක් පමණක් ඉණ දවටාගෙන උන් ඔහු මොහොතකින් එයද කඩා දමා නග්නව ඈ වෙත ළඟ වීමට උත්සාහ දැරුවේය. භීතියෙන් භීතියට පත් ඈ කල හැකි කිසිවක් නොවූ හෙයින් දෑතින් තරව අල්ලාගත් පිහිය තමන්ගේම පපු පෙදෙසට එල්ල කරගනිමින් දත් මිටි කමින් හති හලමින් ඔහු දෙස බලා සිටින්නට වූවාය. ඉන් මෙල්ල වූ පාපතරයා මොහොතකට ඇයට අස්වැසිල්ලක් ලබා දෙමින් කාමරයෙන් පසුබැස ගියේය. ඇය සිහි විකල් තත්වයට පත්ව සිටියාය. ලංකාවෙ හද්දා පිටිසර ගැමි ලියක් වූ ඇයට මෙවැනි ජුගුප්සාජනක දේවල් මහත් භීතියක්ම විය. ඇය මනසින් අවුල්ව පිස්සියකසේ කෙස් කඩා අදිමින් වැළපෙන්නට විය.

නිදි වර්ජිතවම ජීවිතයේ කටුකතම රාත්‍රිය එලෙස් ගෙවී ගියේය. පසුදා උදෑසනම ස්වාමි දුව කාමරයට පැමිණියාය. කිසිත් නොවුනු ගානට හැසිරුණු ඇය, නිවස තුල තමා සිදුකල යුතු රාජකාරි පිළිබඳ ඇයට කියාදෙන්නට විය. නිවස පුරා ඇයව ඇවිද්දවමින් සියලු බැළමෙහෙවරකම් ගැන ඇයට කියාදුන්නාය. මේ අතර පෙර දින තමන් වෙත ආ තිරිසනුන් දෙදෙනා කිසිවක් නොවුන තාලෙන් හොඳින් හැඳ පැළඳ මහත්වරුන් සේ නිවසින් පිටවී යනු ඇය දුටුවාය.

දවස ගෙවී ගියේය. රාත්‍රී දහය වනතුරු එක දිගට ඇයට කිරීමට කප්පරක් වැඩ තිබුනි. සියල්ල අවසානයේ තම කාමරයට පැමිණි ඇය නා පිරිසිදු වී නිදන්නට සූදානම් විය. පෙර දිනයේ තාත්තාත්, පුතාත් දෙදෙනාම තමන් විසින් ප්‍රතික්ෂේප කල නිසා මෙදින ඔවුන් තමන් වෙත නො එනු ඇතැයි ඈ සිතුවාය. දොර අගුලු දැමූ ඈ විදුලි පහන නිවා දමා රිදුම් දෙන අත් පා වලට විවේකයක් දෙනු රිසියෙන් ඇඳෙහි ගුලි වූවාය. පැයක් පමණ ගත විය. ඇයට නින්දයාගෙන ආ මොහොතේ ඇගේ කාමරයේ දොර යළිත් විවර විය. ඔව්.. මේ රාත්‍රියේත් පිසාචයන් ඈ වෙත පැමිණ ඇත. ඔවුන්ගේ නොනවතින ගිනිදැල් නිවාගනු උදෙසා ඇය සොයා පැමිණ ඇත. ඒ නමුදු මෙවර ඇයගේ ප්‍රතික්ෂේපයන් හමුවේ ඔවුහු ලෙහෙසියෙන් පසුබා නොගියහ. ඒ වෙනුවෙන් ඇයට අනේක විද වධ බන්ධනයන්ට මුහුණ දීමට සිදුවිය. ඇගේ පතිනි බව වෙනුවෙන් ඇය කල සටනේ අවසන් ඵලය වූයේ තවත් නිදිවර්ජිත රාත්‍රියක් සහ අනන්තවූ තැලීම් සීරීම්, තුවාල සමූහයකි. 

පසු දිනද පහන් විය. පෙර දින පරිද්දෙන්ම අනේක විද රාජකාරි ගොන්නක් සමඟ උදෑසන හතරේ සිට රාත්‍රී 10 වෙනතුරු ඇය කාර්‍ය බහුල විය. මෙදින ඈ නිදාගත්තේ නැත. අවධියෙන් සූදානමින් උන්නාය. සුපුරුදු ලෙසම නරුමයා පැමිණියේය. පොරබැදිල්ලට ඇය ලෑස්ති විය. අතට ගත්තේ මුවහත් පිහියකි. නරුමයා අත වූයේ කසයකි. තිරිසන් නරුමයා වේගවත් කස පහරක් ඇගේ අතට එල්ල කලේය. පිහිය වීසිවී ගිය අතර ඇය බිම ඇද වැටිණි. යක්සයකු සේ හැරුණු හැරුණු අතට නරුමයා කස පහරවල් එල්ල කරන්නට විය. ඇය විලාප නැඟුවාය. නමුදු ඒ විලාපයන් මේ සුවිසල් නරකාදියෙන් පිටතට නොගියේය.

ලේ ගලමින් සිහි සුන්ව ඇය ඇදවැටී සිටියාය. දින කිහිපයක් ඇය එම කාමරයේම සිරකාරියක් වූවාය. මුලු දවසටම වතුර කෝප්පයකුත්, රළු පාන් පිටි රොටියකුත් පමණක් ඈට හිමි විය. පියවි සිහියට පැමිණි ඈ කල්පනා කරන්නට විය. ගිවිසුම් කාලය තුන් වසරකි. මේ වසර තුනම තමන්ට මෙසේ දිවි ගෙවීමට නොහැකිය. තමන් තීරණයක් ගත යුතුය. තමන්ට දැන් මෙතනින් මිදී යාමටද මගක් නොමැත. ඒ කෙසේ වුවද තමන් පණමෙන් රැකි පතිදම් මේ මී හරකුන් හට කෙලසීමට ඉඩ දිය නොහැකිය. ඊට වඩා සියවරක් මිය යන එක සැපතකි, නම්බුවකි. ඇය එසේ සිතුවාය. තීරණයක් ගත්තාය.

අමාරුවෙන් නැඟී සිටි ඇය තම පොරෝනය දෑතට ගෙන අඹරවා සකස් කරගත්තාය. මීළඟට ඇඳ මත පුටුවක් තබා ඒ මත නැඟී සිවිලිමෙහි වූ කොක්කක පොරෝණය ගැට ගැසීමට උත්සාහ ගත්තාය. නමුත් ඇගේ අරමුණට බාධා කරමින් ගෙහිමි කාන්තාව ඇයට හඬගාන්නට විය. ඇයට යම් තරමකට දැන් මොවුන්ගේ භාශාව තේරුම් ගැනීමට හැකියා තිබුණි. ස්වාම් දුව හඬ ගෑවේ ඇයට දුරකතන ඇමතුමක් බව දැනුම් දෙමිනි. ඇය වහා එදෙසට දිව ගියාය. හතිලමින් දුරකතනය කනේ තබා ගත්තාය. එහා කොනෙන් ඇසුණේ ඇගේ දරු පැටවුන්ගේ හඬයි. හය හතර නොදත් පොඩිවුන් ගිරවුන් සේ නොයෙක් දේවල් කියවයි.

ඇය එවන මුදලින් ඉගෙන ගන්නා සැටි කියයි, කෙදිනක හෝ දොස්තර කෙනෙකු වී  අම්මාට බෙහෙත් දැන හැටි කියයි. අම්මා රටින් කතාකරන බෝනික්කන්, පියාඹන ගුවන් යානා ගෙන එනතුරු බලන් ඉන්නා බව කියයි. තාත්තා අලුත් ගෙදර වැඩ පටන්ගන්න සූදානම් වන හැටි කියයි. ඇයගේ මුළු ලෝකයම කරකැවී යන්නට විය. රිසීවරය බිම අතහැරි ඈ වේගයෙන් කාමරය කරා දුව විත් ඇඳේ පෙරළී ඉකිතලමින් හඬන්නට විය. කඳුලු ගංගා හෙලන්නට විය. නෙතේ කඳුලු සිඳෙන තුරු ඇය හැඬුවාය. මින් පසු කඳුලු නොහෙලන්නට තමන්ටම ශපථ කරගනිමින් ඇය අන්තිම වතාවට හැඬුවාය.

යක්ෂයාගේ රාත්‍රිය උදාවිය. නින්ද අසලකයවත් නො එන රාත්‍රියක ඇය දෙනෙත් පියා සිටියාය. මැදියම් රැයේ ඇගේ කාමරයේ දොර විවර විය. හැඩි දැඩි සිරුරක් අඳුරින්ම මතු විය. කිසිත් නොඇසුණු ලෙස ඇය නිසොල්මන්වම සිටියාය. දොර නැවත අගුලු වැටුණි. පිසාචයා ඇගේ සයනය මතට විය. මෙවර කිසිදු විරෝධයක් නොදක්වන ඈ දෙස වරක් මවිතයෙන් බැලූ තිරිසනා හැකි උපරිම වෙර යොදා මාසයක පමණ සිට ඇවිලෙන ගින්නට ඇගේ සිරුර මතට නිදහසේ කඩා හැලීමට ඉඩ දුන්නේය. කුණු ගඳ හමන රළු දෙතොලකට ඇගේ දෙතොල් සිරවෙනු ඇයට දැණුනු අතර පිළිකුල තදින් දරාගෙන ඇය නෙත් පියාගෙනම හුන්නාය.

පාළු සොඳුරු රැයක, කුප්පි ලාම්පු එළියේ සෙවණැලි තම නග්න සිරුර කඩින් කඩ මුවා කරන මොහොතක තම ප්‍රියාදර සැමියා අතින් ලත් දයාබර සියුම් රිදවුම් වලින්  ආනන්දව තම කෝමල නාරි දේහය ඔහුගේම ඔහුගේම පමණක් කරදෙමින් ගෙවූ මිහිරියාව වෙනුවට අරාබියේ මී හරකෙකු තම සියුමැලි පතිනි වත කෙලෙසා දමනු විඳදරාගෙන ඇය නිසොල්මනේම සිටියාය. දහසකුත් එකක් වද බන්ධනයන් සමඟ අතිශය වේදනාකාරී විරාමයන් පසු කරමින් නරුමයකුගේ නොසන්සිඳෙන නරුම අතිශය විකෘති ආශාවන් සන්තර්පණය උදෙසා ඇගේ සියොලඟම කැපවී ගියාය.

පැය කිහිපයකට පසු පරල වී ගිය ඇගේ නග්න කිලිටි සිරුරින් යක්ෂයා නික්මී ගිය අතර සිත් පිත් නැත්තියක සේ ඔහේ වැතිරී හුන් ඇය එලෙසින්ම විඩාවෙන් ක්ලාන්තව ගියාය. පසු දිනත් උදා වූ අතර එදින සාමාන්‍ය ලෙස ගෙවී ගියේය. රාත්‍රිය යක්ෂයාට කැපවූ අතර වේදනාව ඇයට දැන් සාමාන්‍යකරණය වී තිබිණ. එක රැයක් අප්පාගෙන්ද, තව රැයක් පුතාගෙන්ද කිලිටි වූ ඇය මෙලෙස කරුම අවීචි දිවියකට හුරුවී ගියාය.

කාලය කෙමෙන් වියකී ගිය අතර එදිනෙදා කන බොන තරමටම සාමාන්‍යකරණය වූ ඇගේ ලිංගික කටුක වහල් දිවිය සමඟ දිවා කල බැලමෙහෙයෙන්ද, රාත්‍රී කල ලිංගික මෙහෙයෙන්ද ඇය සැබෑ ලෙසම වහලියක වූවාය. තවත් කාලකණ්නි රාත්‍රියක උදාව සිදුවූ අතර අතිශය අස්වාභාවික වේදනාකාරි පැය කිහිපයක වෙහෙසකර කාල පරිච්ඡේදයක් අවසන සියොළඟම කිලිටි කරන ලද ඇය පාප ග්‍රහණයෙන් මිදුණාය. මොහොතක් ඇඳ වියලට හේත්තුව තමාට පිටුපා යන කුණු මස් කන්ද දෙස ඔක්කාරයෙන් බලා සිටි ඇය සිවිලිමට නෙත් හරවා තම පාපී කරුම දිවියත්, තමන් මෙම තත්වයට පත් කල හේතුවත්, තමන් උපන් කරුම කාලකණ්නි රට ගැනත් ඇය වේදනාවෙන් මෙනෙහි කලාය.

තමන්ගේ සියොළඟින්ම හමන දුර්ගන්ධයට තමන්ගේම දෙනාස්පුට හකුළුවා ගනඉමින් ඇය ඇඳෙන් නැඟිට මේසය අසලට ගොස් ඊට වාඩිවූ අතර තව දුරටත් ඈට මෙම වේදනාව, මෙම පාපය දරාගත නොහැකි හෙයින්ම  කොලයකුත් පෑනකුත් ගෙන සිය දයාබර සැමියාට ලිපියක් ලිවීමට පටන්ගත්තාය...




අබුඩාබියේදීය දයාබර ස්වාමිනී..
කිළිටි වූ ගැහැණියක ලෙස ඔබට ලියන්නෙමි..
නොකිළිටිව ඔබ සැවොම අහෝ රැක ගත නොහැක..
මගේ පව් සමාකර මේ ලිපිය කියවන්න..

අරාබියෙ මොලේ නැති කාලකණ්ණින් සමග
වැතිර හිද වෛරයේ ගිණිගොඩේ පැහෙන්නෙමි..
මා සිරුර මගේ නොව අනුන්ගේ යයි සිතා
ඩිරාමය ඩිරාමය ගනන් කර බලන්නෙමි..

මේ අපා දුකට මා පත් කලේ මගෙ රටයි
මගෙ රටේ මහ එකාලයි උන්ගෙ පන්තියයි..
එන්ට හැකිනම් උන්ට කරන දේ දන්නවා...
ගමන් බල කරදාසි අරාබියෙ උන් ලඟයි..

අනුන් හට අත නොපා දිවි ගෙවූ ජාතියක්..
කාණු හෝදන්ට නොරටක යැවූ අය කවුද...
උන්ට හෙණ හත වැදී නැසේවා නැසේවා..
මා ඔබේ... ප්‍රියාදර... පියවතී.. ස්වාමිණී..


ගායනය - නන්දා මාලිණිය 
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය -රෝහණ වීරසිංහ




(Abudabiyedeeya - Nanda Malini)


                                                       -සත්‍ය සිදුවීමක් ඇසුරිණි. ඡායාරූප අන්තර්ජාලයෙනි-