Pages

Sandumal

Sandumal

Sunday, July 6, 2014

•රජ මැදුරක ඉපදී සිටියානම්

"හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ..."






මේ මගේ සිත අදින් වසර විසි ගනනක් ඈතට දිව ගිය අවස්ථාවකි. මතකය එහි උපරිම කෙළවර දක්වා මාව සොඳුරු ගමනකට කැඳවාගෙන යයි. කතාවේ පෙර කොටසේ ඔබට හඳුන්වාදුන් තරුණ යුවල දිවිගමනේ තවත් සාර්ථක වසර කිහිපයක් ගෙවා දමා ඇත. එම කෙටි කාලය තුලදී ඔවුන් දිගු ගමනක් පැමිණ තිබුනි. ඔවුන්ගේ කිරිකැටියා තිළිණ වී ටික කලක් ගතවෙත්ම තමන් කුලියට ගෙන සිටි කඩකාමරය කෙසේවත් තම බිළිඳු සඳහා නොගැලපෙන බව දෙදෙනාම තේරුම්ගත් පසු, දයාබර පියාණන් දැඩි වෙහෙසක් ගත්තේ කෙසේ හෝ තරමක් හෝ හොඳ නිවසක් කුලියට ලබාගැනීමේ අරමුණෙනි.

නමුදු ඔවුනට සරිලන මට්ටමේ නිවසක් සොයා ගැනීම පහසු කටයුත්තක් වුනේ නෑ. අන්තිමේදී කුලියට ගෙවල් හෙවිල්ලෙන් ඔවුන් හෙම්බත් උනා. මේ අතර ගරාජයේ තමන් සමඟ වැඩකරන මිතුරෙක් ඔහුගේ කනේ හරි අපූරු ආරංචියක් තියනවා. ඒ ආරංචිය ඔවුන්ව නැවුම් බලාපොරොත්තු ගොන්නකින් පිරෙව්වා. ඒ තමයි මහියංගන ගම් උදා භූමියේ තියෙන ඉඩමක් ගැන. අඩුගානකට විකුණන්න තියෙන ඉඩමක් ගැන. ඒ කියන්නෙ තමන්ගෙම කියල තැනක්! ඉතින් දෙන්න තීරණය කරනවා කොහොමහරි ඒ ඉඩම මිලට ගන්න. ඒත් කෝ සල්ලි? ගාන පොඩි උනත් මේ දෙන්නටනම් ඒක ලොකුම ලොකු ගානක්.

මේ කතාවෙ තරුණයා, එහෙම නැත්නම් දැන් ඔයාලා හැමෝම දන්න පරිදි මගේ තාත්තා, තාත්තලාගෙ පවුලෙ බාලයා. බාලයා නිසාම පුංචි කාලෙ ඉඳලම ඔහුට අම්මා තාත්තා කියපු දෙයක් තිබුනා. 

"පුතේ උඹ පවුලෙ බාලයා, කවදහරි මේ වතුපිටි , ගෙවල් දොරවල්, දේපල සේරම උඹට. ඒනිසා අයියලාට ඉගෙන ගන්න අරිමු. උඹ දැන් ඉඳලම මේ දේවල් බලාහදා ගෙන ඉඳහන්. උඹ ඒ හැටි ඉගෙන ගන්නෙ මොකටද."

ඔන්න ඔහොමයි කියල තියෙන්නෙ. ඉතින් මේ විදියට කියලා අක්කර සිය ගානක් වෙච්ච කුඹුරුවල, දුම්කොල බාම් එකේ, වැඩකරන්න උනේ තාත්තාට. තමන්ගෙ ලස්සන ළමා කාලය තරුණ කාලයා ඔහු ගෙවා දැම්මෙ කුඹුරෙ මඩත් එක්ක ඔට්ටුවෙන්න.
ලඳු ඕවිටි කැලෑ මැද හරක් බලාගන්න. තවලම් අරන් යන්න. ඒ තමයි ඔහුගේ සොඳුරු ළමා විය. 

ඒත් ඔහුට බලාපොරොත්තුවක් තිබුනා. ඒ කවදාහරි තමන්ගෙ තාත්තාවගේම ආඩම්බරෙන් මේ හැමදේකම අයිතිය දරාගෙන ජීවත් වෙන්න. 

ඒත් කවදාවත් එහෙම උනේ නෑ. 

බෝඩිං වල නවත්තල ඉහල කොලීජි වලට යවපු තමන්ගෙ වැඩිමහල් සහෝදරයෝ හොඳට ඉගෙන ගත්තා. හමුදාවෙ පොලීසියේ උසස් තනතුරුවලට ගියා. සමහරු උපාධිය අරං ඉස්කෝල ගුරුවරු උනා. ඒ හැමෝටම වියදම්කරන්න, තමන්ගෙ ළමා කාලෙ, තරුණ කාලේ ශ්‍රමය සමඟ දියකර හැරපු තාත්තට දෙමවුපියන්ගෙන් කියල කිසි දෙයක් ලැබුනේ නෑ. දෙනවා කිව්ව කිසිම දෙයක් දුන්නෙ නෑ.
හැම දෙයක්ම ලැබුනේ අර උගත් බුද්ධිමත් මහත්වරුන්ට. මහ ගෙදර පවා. 

එකම එක දෙයක් ලැබුනා තාත්තට. පංසල් වලට පවා ඉඩම් පූජා කරපු තාත්තගේ තාත්තා, මගේ තාත්ටට දීල තිබුනා අක්කර දෙකක කුඹුරු කෑල්ලක්. ඒ පැත්තෙ මිනිස්සු ඒ කුඹුරට කිව්වෙ හඳට මැරෙන කුඹුර කියලයි. ඒ තරම්ම කන්දක් උඩ තමයි ඒ කුඹුර තිබුනෙ. 

ඔය සියලු නොලැබීම, අහිමිවීම කළකිරීම් සමඟිනුයි ඔහු එක් තීරණාත්මක දිනයක ගෙදරින් පිටවෙලා තමන්ගේ ජීවිතේ අලුතින් හොයාගෙන යන්නේ. ඒ ගමන් මඟ තුලිනුයි අනර්ඝ වෑද්දුම් ශිල්පියෙක් බිහිවෙන්නෙ.

මං මේ කියන්න හැදුවෙ අර මුලින් කීව ගම් උදා භූමියේ ඉඩම මිලට ගන්න මේ දෙන්නට පාර කැපෙන විදිය ගැනයි. ඉතින් මේ දෙන්න තීරණය කරනවා තමන්ට කිසිම වැඩක් නැති අර ගමේ තියෙන තමන්ට කියල දූන්න එකම ඉඩම් කෑල්ල, අර හඳට මැරෙන කුඹුර විකුණලා දාන්න. ඒ විදියට ඒ ඉඩම විකුණලා ඔවුන් තමන්ට අවශ්‍ය මුදල හොයාගන්නවා. 

ඒ විදියට මේ ආදරණීය යුවල මහියංගනේ තමන්ගෙ මුල්ම වත්කම තහවුරු කරගන්නවා. රුපියල් තුන්සීයක් විතරක් අතේ තියාගෙන මේ නුහුරු නගරෙට පය තිබ්බ දෙන්න අවුරුදු තුනක් යනකොට තමන්ටම කියල බිම් කොටසක් මේ පෘථිවියෙන් අත්කරගන්නවා.

ඔය විදියට ගත්තු ඉඩමේ තමන්ටම කියල ගේ පොඩ්ඩක් අටවගන්නෙක තමයි ඊළඟ අභියෝගය උනේ. කොහොම හරි, කුඩාකල සිට එකටම හැදී වැඩුණු සුන්දරේ නම් තාත්තාගේ ඥාති සොහොයුරා හා එක්ව මෝඩ ගඩොල් මැටියෙන් එකිනෙක බැඳ අහිංසක ගේ පොඩ්ඩක් දෙතුන් දෙනාගෙම හයියෙන් ගොඩනඟා ගන්න මේ දෙන්නට හැකිවෙනවා. එකල යන්තම් ඇවිදින වයසේ පසු වූ මා, මැටි නාමින් මෝඩ ගඩොල් බිත්ති බැඳීමට එකතු වූ අයුරු සුන්දරේ බාප්පා  අදටත් අප එකතු වූ අවස්ථාවන් හීදී අපරිමිත සංතෝශයකින් නිතරම මතක් කරයි. "චච්චු" ඒ තමා කුඩා මගේ සවනට මැටි ගැටෙන හඬ ඇසුනු ආකාරය.

එනිසා මැටි ගසමින් බිත්ති බැඳි සුන්දරේ බාප්පා මට චච්චු බාප්පා නම් විය. ඔහුද අද පවා මා දකින විට ආදරයෙන් "චච්චු" කියා මට ආමන්ත්‍රණය කරනුයේ අපරිමිත දයාබරත්වයකිනි.

කාලය හෙමිහිට ගතවුනා. උදේට තාත්තා වැඩට ගියවිට හුදෙකලා වුනු මාත් මගේ අම්මත් හවසට ආයෙත් තාත්තා එනතුරු පාලුවට පෙම් බඳිමින් හිටියා. අපේ කියල කාත් කවුරුත් අපි ළඟ නොහිටපු ඒ කාලේ මට මගේ මුළු ලෝකයම උනේ අම්ම විතරයි. අම්මගෙනුයි, තාත්තාගෙනුයි එපිටට ගිය වෙනත් ලෝකයක් තියෙනවාද කියලවත් මං දැනං උන්නෙ නෑ. අම්මටත් එහෙමයි. නාඳුනන ආගන්තුක පළාත් නිසා කිසිම කෙනෙක් ඕනිවට වඩා විස්වාස නොකර සිටීමට මගේ අම්ම පුරුදුවෙලා හිටියා. ඒ නිසාම කාත් සමඟවත් කිසිදු සමීප ඇසුරක් අපිට තිබුනෙ නෑ. අපිට තිබුනෙ හුදෙකලා ලෝකයක්. ඒ ලෝකෙ හිටියෙ අපි තුන්දෙනා විතරයි. අම්මයි, තාත්තයි, මමයි.

මේ මං ළඟා වුනේ මගේ මේ ජීවිතයේ මතකයේ අන්තිම කෙළවරට. ඒ කියන්නෙ පටන්ගැන්මට. මෙතැන් සිට ලියවෙන දේවල් මං අහපු දේවල් නෙවෙයි. මට මතක දේවල්. අපි හිටපු ගම් උදා භූමියේ තිබුන ගමට කිව්වෙ වගාව කියලා. ඒකට වගාව කියන්නෙ ඇයිද කියලනම් මං අදටවත් දන්නෙ නෑ. කොහොමහරි මේ ගම අසලින්මයි මහවැලි ගඟ ගලාගෙන ගියේ. ඒ නිසා ගමේ මිනිස්සුන්ගෙ ලොකුම සම්පත් උනේ මහවැලි ගඟ. මිනිස්සු නාන්න පාවිච්චි කලේ ගඟ. බොන්න වතුර ගත්තෙත් ගඟෙන්. බොහෝ දෙනෙක්ගෙ ජීවිකාව උනෙත් ගඟ. ඒ කිව්වෙ වැලි ගොඩ දැමීම.

හිටියෙ බොහොම නූගත් පිරිසක්. කුමක් හෝ වැඩක් කර හවසට කීයක් හරි අතට ගන්න මොවුන් මීළඟට හම්බුන තුට්ටු දෙක වියදම් කලේ කසිප්පු වලට. ඒ නිසාම හවස හයෙන් පස්සෙ මුලු ගමම අසූචි ගොඩක් කිව්වොත් වඩා නිවැරදියි.

කොහොම උනත් ගඟ සම්බන්ධයෙන් මට තියෙන්නෙ කවදාවත්ම අමතක නොවන මතකයන් පෙළක්. කොච්චර එපා කිව්වත් අම්ම කලෙත් අරන් වතුර ගේන්න ගඟට යනකොට බොහෝ වෙලාවලදි මාත් ඒ පස්සෙන්ම යනවා. මොකද ගඟේ වතුර කලේට එකතුකරග්න්න විදිය නට හරිම ආස හිතෙන දෙයක්. ගඟට බහින තැනින්ම බොන්න වතුර ගන්නෙ නෑ. ගඟේ මැදට වෙන්න තැනින් තැන තියෙනවා

වැලි වලින් සැදුනු කුඩා දූපත්. ඉතින් බොන්න වතුර ගන්නවනම් ඉස්සෙල්ලාම මේ දූපතකට යනවා. ඊළඟට අඩියක් පමණ ගැඹුරට වැල්ලෙ වලක් හාරනවා. මෙහෙම හාරනකොට ඉතාම සුලු වෙලාවකින් ඒ වල ඉතාම පිරිසිදු වතුර වලින් පිරෙනවා. මේ විදියට ඉස්සෙල්ලාම පිරෙන වතුර ටික පොඩි කෝප්පයක ආධාරයෙන් ඉවතට ඉහල දානවා. ඊටපස්සෙ අලුතින්ම උනන වඩා පිරිසිදු වතුර තමයි කලේට පුරවගන්නෙ. ඒකත් මටනම් හරිම විනෝදයක් ඒකාලේ. ගෙදරින් අරන් එන පෙරහන් කඩය කලේ කට උඩින් හොඳට තියාගෙන ඒ මතට තමයි වතුර වත්කරන්නෙ. එතකොට හරිම ලස්සනට පිරිසිදු වතුර ටික කලේට එකතුවෙනවා. ඒක බලං ඉන්න හරිම ආසහිතෙන වැඩක්.

ඉතින් මේ විදියට කලේ පිරුණට පස්සෙ අම්මා එක උකුලකට කලේ ගන්නවා. අනිත් උකුලට මාව වඩාගෙන ආයෙමත් ගෙදර යනවා. ඇත්තමයි මං එහෙම පස්සෙන් යන එක ඇයට අමතර කරදරයක්. වෙහෙසක්. ඒත් ඉතින් ඒ කාලේ මට එහෙම තේරෙන්නෙ නෑනේ.

දිනක් මාව නිදිකරවපු අම්මා, මං නිදි අතරේ අසල කඩේට යනවා. නින්දෙන් ඇහැරුනු මං හිතල තියෙන්නෙ අම්මා වතුර ගේන්න ගඟට ගියා කියලයි. ඒ මහියංගනේට මුරුගසං වරුසා වැටෙන දෙසැම්බර් මාසෙ දිනයක්. ඉතින් එදා මහවැලි ගඟ පිටාර මට්ටමටම ළඟා උන දවසක්. මේ ගඟේ විශේෂත්වයක් තියෙනවා. ඒ ගඟ උඩහට වහිනකොට ගඟේ වතුර මට්ටම ක්ෂනිකව ඉහල නඟිනවා බලං ඉන්දැද්දිම. ඉතින් මේත් එහෙම දවසක්. කොහොමහරි අම්මා කඩේට ගිහින් ගෙදර එනකොට මාව නෑ කියල දැනගත්තගමන් ඇය දුවගෙන ඇවිත් ගඟ ළඟට. ඒ එනකොට මං අම්මා වෙනදට වතුර ගන්න ගඟට බහින තැන තිබුනු ගලක් උඩට වෙලා වාඩිවෙලා ගලාගෙන යන මඩ පැහැති වේගවත් ජල කඳ දිහා බලාගෙන කල්පනාකරකර ඉන්නවලු. ඒ වෙනකොටත් ගඟේ වතුර මට්ටම වේගයෙන් වැඩිවෙමින් තිබුනලු. අම්මා ඉක්මනට මාව එතනින් ඔසවගෙන ඉවත් වෙනවත් සමඟම ක්ෂණිකව ඉහල නැඟි ජල පහර මා වාඩිවී සිටි ගල යටකරගෙන ගලාගෙන ගියාලු. ඉතින් එදා අම්මා තව මොහොතක් ප්‍රමාද උනානම් අද කීයටවත් ඔබට මෙහෙම සටහනක් කියවන්න නම් ලැබෙන එකක් නෑ.

මාව තනියෙන් ගෙදර දමා යා නොහැකි නිසාම අම්මා ගොඩක් වෙලාවල එයා යන හැම තැනම මාව එක්කන් ගියා. ගඟට නාන්න යනකොටත් එහෙමයි. ඒ නාන්න ගියාම ගං ඉවුරෙ තියපු බේසම ඇතුලෙ ඇය මාව ඉන්දවල රෙදි සෝදනලු.  මාව නොවැටෙන විදියට බේසම වටේට සෝදපු රෙදි අහුරනවලු. අම්මා නාල එනකල් ළඟ තිබුන කෙසෙල් ගහක කොල ඉරමින් ඒවා සපමින් මං අඬනවලු. මේ අතීතය සිහිකරන හැම විටම අදටත් ඇගේ දෑස් කඳුලින් තෙමිලා යනවා. 

මං ඉපදුනේ අනෝරා වැහි වැටෙන පාන්දරකලු. ඒ නිසාද මංද අදටත් මං වැස්සට පුදුම ආදරෙයි. වැස්සයි පාලුවයි, තනිකමයි, මායි අතර තියෙන්නෙ කවදාවත් කඩලා වෙන්කරන්න බැරි මහ පුදුමාකාර ආත්මීය බැඳීමක්. මේ දැනුත් මට මතක් වෙනවා මාව ඇඳේ නිදිකරවල අම්මා ගඟට ගිය බොහෝ දවස් වල ඇඳ අසල ජනෙල් කවුලුවෙන් සීතලට මගේ කුඩා කාමරයට කඩාවැදුනු වැහි හිරිකඩට ලොබ බඳිමින් රූරා හැලෙන වැහි වතුර දිහා කටේ ඇඟිල්ලක් ගහගෙන බලං හිටපු හැටි මං. වහලෙ තිබුන තහඩු, උළු අරං යන්න තරම් වේගෙන් හමපු චණ්ඩ සුළඟට සවන් යොමමින් අමුතුම ලෝකයක තනිවෙලා මගේ පුංචි හිත කල්පනා කලා.

ඇත්තෙන්ම මාව ළඟම තියාගෙන ජීවත් වෙන්න, මට තනියක් වේදනාවන් නොදැනෙන්න මාව ආදරෙන් බලාගන්න මගේ ආදරණීය අම්මා පුදුමාකාර දුකක් වින්දා. විශේෂයෙන්ම පොළ දවසට. එදාටනම් එයා වින්දෙ පුදුම දුකක්. පොලෙන් සතියකට ගන්න අදටත් මට මහම මහ බරකට දැනෙන දැවැන්ත බඩු මලු දෙකත් අරන් ඒ දවස් වල මාවත් වඩාගෙන වගාවට තියෙන කිලෝ මීටර් දෙක පයින් යන එක අම්මට කොහොමටවත් කරන්න බෑ. ඉතින් එදාට එයා කරන්නෙ ඉස්සෙල්ලා බඩු මලු දෙක බිමින් තියලා මාව වඩාගෙන ටික දුරක් ගෙනත් මාව පාර අයිනෙ ගහක් යට හෙවනින් තියලා ආයේ බඩු මලු ළඟට යනවලු. ඊළඟට ඒ බඩු මලු දෙක මං ඉන්න තැනට ගෙනත්, ආයෙ ඒවා එතන තියල මාව තව ටිකක් දුරට වඩාගෙන ගිහින් තියෙනවා. ආයෙ ඇවිත් මලු දෙක අරන් එනවා. හිතාගන්නවත් පුලුවන්ද දයාබර ඔබට. ඒ තමයි මගේ අම්මගේ ආදරය. මාව අඩියක්වත් පයින් ඇවිද්දුවේ නෑ.

මගේ රෝස පාට කකුල් කැතවෙයි, කලුවෙයි, පිච්චෙයි කියලා ගෙදරත් ලස්සන හුරුබුහුටි මේස් සපත්තු දාලයි අම්මයි තාත්තයි මාව ආදරෙන් හැදුවෙ. ඉතින් පයින් මාව ඇවිද්දවන්නෙ කොහොමද එයාලා.

අම්මත් එක්ක නගරෙට ගියපුවම, අම්මයි තාත්තගෙයි දෙන්නගෙම අත්වල එල්ලිලා පෝයට පංසල් ගියාම, වෙසක් එකට, පොසොන් එකට ගියාම පාර දෙපැත්තෙ තියෙන දහසක් අරු මෝසම් කෙලි සෙල්ලම් බඩු අතර මං මොහොතකට තනිවෙනවා. ආසාවෙන් බලං ඉන්නවා. මගේ තාත්තට රුපියල් 80ක පඩියක් අරන් මට රුපියල් 100ක සෙල්ලම් කාර් එකක් අරං දෙන්න බැරිබව මං ඒ කාලෙ තේරුම් නොගෙන හිටියත් අතේ තියෙන ගානෙ හැටියට එයාල මට අරං දෙන සෙල්ලම් බඩු මං හරි ආසාවෙන් තුරුල්කරගත්තා. 

කොච්චර අමාරුකම් තිබුනත් ඒ අමාරුකම් මට නොදැනෙන්න එයාල මං වෙනුවෙන් අනන්ත දුක් ඉහිලුවා. ඒක මං දන්නවා. කවදාවත් එක මොහොතකටවත් මට බඩගිනි උහුලන්න ඉඩතිබ්බෙ නෑ එයාලා. කවදාවත් මගේ කිරි එක වරද්දවුවේ නෑ ඒ දෙන්නා. මාළු මාමා ගේ ඉස්සරහින් "මාළෝ..මාළෝ..." කියල කෑගහගෙන යනකොට මාත් "ආළෝ.." ගාගෙන කඩුල්ල ළඟට දුවල ඉවරයි. මීකිරි මාමා, "මී..කිරී..., මී..කිරී..." කියාගෙන යනකොට මං ඊට වඩා හයියෙන් "පී..කිරී..." ගාගෙන දුවගෙන ආව හැටි අවුරුදු විසිගානකට පස්සේ, අදත් තවමත් මීකිරි විකුණන මාමා කඳුලු පිරිච්ච ඇස්වලින් මතක් කරනවා මං ඒ කාලේ "පී..කිරී..." කියල කෑගහපු හැටි, කලාතුරකින් හරි මුණගැහුනොත්.

කොහොම උනත් අම්මගේත් තාත්තාගේත් අසීමාන්තික ආදරයට තුරුල් වෙලා තට්ට තනියම පාලුවෙන්, ගතවෙච්ච මගේ ළමා කාලෙට අදත් මං පුදුම විදියට ආදරේ කරනවා. ඒ පාලුවට නිතරම හිත දුවල එනවා. ඒ හැඟීම මං පුදුම විදියට විඳිනවා. අදටත් ජනේලෙන් බේරිලා ආව හිරිකඩ හුළඟෙ සීතල මට දැනෙනවා. කුඹුක් ගස් හෙවනේ නිසංසලේ ගලාගෙන ගියපු ගඟේ වතුර වලින් ආව අමුතුම සුවඳ මේ දැනුත් මගේ නාස් කුහර පලාගෙන යනවා මට දැනෙනවා. තව ලියන්න දේවල් මහ ගොඩයි. ඒත් අදට මෙතනින් නතර කරනවා. 

මගේ බිළිඳු අවධිය ගැන සිහිපත් වෙන හැම මොහොතකම නිතැතින්ම මට සිහිවෙන ගීතයක් තියෙනවා. මේ ගීතයේ තියෙන හැම වචනයක්ම මගේ ළමා කාලෙට සමපාත නොවුනත් එහි බොහෝ තැන් මගේ බිලිඳු වියේ සියුම් තැන් තදින් ස්පර්ෂ කරනවා. ඒ නිසා මට මේ ගීය කවදාවත් මගේ හිත පතුලෙන් අයින්කරන්න බෑ. අදට නවතින්නම් මේ ගීතයත් සමඟින්..



"රජ මැදුරක ඉපදී සිටියානම් 
නුඹත් රජෙකි පුතුනේ..
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි 
අද නුඹෙ සිරියහනේ...
හීනෙන් හිනා නොවී 
මා හඬවාපන් මේ රෑ යාමේ...

පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලි..
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී..
අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...

ඉද හිට මොලවන ලිපත් දනී පුත කැද රස සුනු සහලේ..
දිව බොදුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ..
ඇදලා කල් ගිය රෙදි වැරලි නෑ මට වාවන්නේ..
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ..."


ගායනය : විශාරද මාලනී බුලත්සිංහල
පද රචනය : ලූෂන් බුලත්සිංහල
සංගීතය : එච්. එම්. ජයවර්ධන 




(Raja Meduraka Ipadi Sitiyanam - Malini Bulathsinhala)




ගීතයේ ස්වර ප්‍රස්ථාරය

******************************************************

ඡායාරූප අන්තර්ජාලයෙනි.

විශේෂ ස්තූතිය : ගීතය සඳහා ස්වර ප්‍රස්ථාරයක් සොයා දුන් බ්ලොග් සහෘදයාට..